Thursday, May 8, 2014

ඒක යක්ඛ කතා වස්තුව හෙවත් ජේමිස් බණ්ඩා දමනය​



එකල්හි ජේමිස් බණ්ඩා නම් කොළු ගැටයෙක් "අද මා පොරත්වය ප්‍රදර්ශනය කරන්නේ කෙසේ දැ, අද මා අවධානය දිනා ගන්නේ කෙසේ දැ" යි අහස පොළොව ගැටලමින්, සිටිනා අතර තුරේ ඒක යක්ඛ නම් යක්‍ෂයෙක් අමා මෑණි බුදු පියානන් වහන්සේට අපහාස කරමින් ලියා තිබූ කැලෑ පත්තර කැබැල්ලක් දැකැ, "අද නම් මාගේ වාසනාවන්ත දිනය වීයැ. යක්ඛයාට පුක්ඛය දානය කොට හෝ පොර වන්නෙමි යි" සිතා මහත් තුටු පහටුවැ, කැලෑ පත්තර කැබැල්ල තම නිවෙස් හි බිත්තිය මත අලවා ගත්තේය.

මේ දුටු පෙලක් මානවක මානවිකාවෝ මහත් උත්කර්‍ෂයට පත්වැ, "අද නම් තෙවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නේ යැ" යි ජය ගොස් කරමින්, කඩල, ප්ලේන්ටී, පොප් කෝන් යනාදිය ලහි ලහියේ පිළියෙල කිරීමට වන. පෙලක් මානව මානවිකාවෝ මහත් චින්ත සන්තාපයටැ පත්ව කම්මුලෙහි අත්ල රුවා ගනිමින් "අනේ අපොයි" කියැමින් විස්සෝප වූහ.

එතැනින් යන චමීර දේද්දුවගේ නම් යෝධයානන් මේ කැලෑ පත්තරය දැකැ, මහත් කෝප වන්නේ "සැබැවින්ම මේ කුමන ෆකක් දැ" යි අසමින් කැලෑ පත්තරය ගලවා දැමීමට අණ පැමිණිවී යැ.

එකල්හි ජේමිස් බණ්ඩා ද නොසෙල්වී, "මේ මාගේ නිදහසේ බිණීමේ අයිතියයි. මා ආගමක් ධර්මයක් නොමැත්තෙමි. තොප කෝප වූවාට මා කිසිදු ෆකක් නොදෙමි" යි වහසි බස් බෙනෙමින් ඉදිරියටම යන්නේය.

වටා පිටා වේ නෙරළු රුක් අතරින් සටන් නරඹනු රිසියේ එක රැසි වූ කොළු කුරුට්ටන් විසිල් ගසමින්, ප්‍රීති ඝෝෂා නගමින්, පොප් කෝන් යනාදිය සපමින්, "දැන් දැන් පහර දෙතැ" යි මහත් නොඉවසිලි වූහ.

රිටිගල ජයසේන නම් යක්‍ෂ සේනාධිපතියාද සටන ගැන අසා එතැනට පැමිණ, "එම්බල බණ්ඩ, තා මේ සටන ඇරඹීය. තාම මෙය අවසන් කල යුතුය. මා මෙයට මැදිහත් නොවෙමි" යි පවසමින්, අසල හුන් කොළු ගැටයෙක් ගෙන් පොප් කෝන් අහුරක් පැහැර ගෙන, අසල වූ උස් ගසෙකැ ඉහළ අත්තක වාඩි වී සටන නැරඹීමට හරි ගැසිනි.

එකල්හි යලිත් වසන්ත නම් මානවකයෙක් එතැනට පැමිණ චමීර යෝධයානන් අමතා "සගය, අප අමා මෑණි බුදු පියානන් වහන්සේ දස මර සෙන් පරදා ලොව්තුරු බුදු බව ලදහ. ආලවක, අංගුලිමාල යනාදී දරුණු මිනීමරුවන් යක්‍ෂයන් බලු කුක්කන් සේ දමනය කලහ. උන්වහන්සේ ගේ ගුණ මහිමය අපමණය. මහා කාරුණිකය. මහා ප්‍රඥා ඇත්තාහු ය. තිලොවටම අග්‍ර වන්නාහුය. මෙවන් සිකනළුන් දොඩනා මුග්ධ බසකින් උන්වහන්සේට වන අපහාසය කුමක් දැ?" යි පවසමින් උන් ගේ කෝප ගින්න තම ප්‍රඥාව සහ කරුණාව යන ජල ධාරාවෙන් නිවා ලූහ. චමීර දේද්දුවගේ යෝධයානන් ද "සගය නුඹ නිවැරදිය. මා දුර නොබැලීමි. මේ කෙලතොල්ලන් මාගේ කෝපය ලැබීමට වත් නුසුදුසු යැ" යි නැවත තමා පැමිණි කාර්‍යය සඳහා පිටත්ව ගියේය.

යලිත් වසන්ත මානවකයා ද රැස්ව සිටි පිරිස තම මනහර සිනාවෙන් පුබුදුවා ලන්නේ, "සගයෙනි, මොවුන් නොහික්මුණු කුඩා දරුවන් වැනිය. මොවුන්හට අවධානය යොමු කරත්මැ, මොවුන් වඩ වඩාත් නොහික්මුනු ක්‍රියා කරති. එබැවින් මෙවැනි ක්‍රියා උපේක්‍ෂාවෙන් ඉවැසිය යුතු වෙමු" යි අනුශාසනා කළහ. එවිට රැස්ව හුන්නෝද, "බුදුන් වහන්සේ ගේ ධර්මය වනාහී මහත් බල සම්පන්න යැ" යි සාධුකාර පවත්වමින් විසිර යන්නහු යැ.

යක්ඛයාට පුක්ඛය දී හෝ පොරක් වන්නට තැත් කළ ජේමිස් බණ්ඩා නම් කොළු ගැටයා තිබුණු පුක්ඛයටත් අහිමිවැ, මහත් චිත්ත පීඩාවෙන් පුක්ඛය විකාගෙන වැද හොත්තේය.

අමාමෑණි ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ගේ සද්ධර්මයේ හැසිරෙන්නන් එම ධර්මය විසින්ම රකිනු ලබන්නේයැ. වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව පසක් කොටැ මෛත්‍රියෙන් හා උපේක්‍ෂාවෙන් කටයුතු කරන්නට සිත්හි තබාගත යුතුයැ.

1 comment:

  1. ඌ මන්දබුද්ධික කොළු ගැටයෙක් නෙහ්...

    ReplyDelete