Thursday, May 8, 2014

ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රශ්න විසඳගන්න ආකාරය ගැන ජපානයෙන් පාඩමක්....


ජපානය විදුලි උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලය බහුලව යොදා ගත් රටකි. 2011 දී එහි න්‍යෂ්ටික බලාගාර 54ක් විය. 2011 මාර්තු මාසයේ ඇති වූ භූමිකම්පාවකින් සහ සුනාමියකින් පසු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් ඇති විය.

රටේ විපක්ෂය වියරුවෙන් පාරට පැන කුජීත වූ දේශපාලකයින් සහ තරු හැලුණු ජෙනරාල් වරු පෙරටු කරගෙන වැඩ වර්ජන කරන බවට තර්ජනය කරමින් ආණ්ඩුවෙන් "මස් රාත්තල" ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට රටේ ජනතාව න්‍යෂ්ටික බලාගාර වල අවදානම අඩු කරන ලෙස රජයට බල කර සිටියහ.

ජපන් රජය නොමිලේ සුෂී පැකට්ටු සහ සකේ බෝතල් බෙදා දී ඕනෑම කුණු ගොඩකට කර ගහන හෙන්චයියන් ලවා "මහජන උද්ඝෝෂණ" කලේ නැත. කිසිවෙකුත් විරෝධතා කරුවන්ට "NGO කාරයින්" "විදේශික කුමන්ත්‍රණ කරුවන්" යයි අපහාස කලේ නැත. න්‍යෂ්ටික බලාගාර වල ආරක්ෂණ නීති රීති (safety regulations) තර කරන ලදී.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන යුරේනියම් මාෆියාවට යටවී හෝ අත යටින් ලැබෙන මුදලට වහල් වී "වැඩේ ගොඩින් බේරා ගැනීමට" න්‍යෂ්ටික බලාගාර හිමි සමාගම් ඉඩ දුන්නේ නැත. බලාගාර 54න් 52ක් ම වසා දමන ලදී.

බලාගාර 54ක් වසා දැමූ නිසා දිනකට පැය 7ක් දක්වා විදුලි කප්පාදු කිරීමට රජයට සිදු විය. ජපන් ජනතාව ජපන් අගමැති තුමාටත්, බලශක්ති ඇමති වරයාටත් පලු යන්න බැන වැදුනේ නැත ඊළඟ චන්දයෙන් රජය පරාජය වුනේ ද නැත. ජපන්නු අදත් "අපි අනාගත පරපුර වෙනුවෙන් පැය 7ක විදුලි කප්පාදුවක් ඉවසුවා" කියන්නේ අභිමානයෙනි.

ජපන් රජය විදුලි කප්පාදු කර අර්බූදය පල් වන්නට හැර උඩ බලාගෙන සිටියේ නැත. රටේ බුද්ධිමතුන් සහ වෘත්තිකයන් බටහිර විද්‍යාව/ජාතික චින්තනය ගැනත් ජපනුන්ගේ ගෝත්‍රික/දූපත් මානසිකත්වය ගැනවත් කෙස් පැලෙන තර්ක විතර්ක පාමින් අන්තර්ජාලයේ තම පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කලේ නැත. විකල්ප තාක්ෂනයන් සෙවීම කරා යොමු වූහ. අද ලෝකයේ ඉහලම සපලතාවයක් සහිත ගල් අඟුරු බලාගාර ජපානයේ ඇත්තේ ඒ හේතුවෙනි.

අද ජපානයේ විදුලි කප්පාදුවක් නොමැත.

No comments:

Post a Comment