Thursday, May 8, 2014

ජාතික ගීය දෙමළෙන් ගැයීම​



ජාතික ගීය භාෂා එකකට වැඩි ගණනකින් ගැයෙන රටවල් ඇත්තේ අතලොස්සකි. ඒ සියල්ලේම සුවිශේෂී තත්වයන් ඒ සඳහා බලපා ඇත.

කැනඩාව -
කැනඩාවේ ප්‍රංශ බස කතා කරන්නන් 37% සිටී. එම නිසා ජාතික ගීය ඉංග්‍රීසි සහ ප්‍රංශ දෙබසින් ම ගැයෙන අතර, ඉඩම් කොල්ල කා දහස් ගනන් සමූල ඝාතනය කිරීම වෙනුවෙන් දෙන සීනිබෝලයක් හැටියට ස්වදේශීය ඉනුක්ටිටුට් බසින් ද ජාතික ගීය ගැයේ.

බෙල්ජියම -
බෙල්ජියම අතීතයේ සිටම ඕලන්ද කතාකරන ෆ්ලෙමිෂ් වරු සහ ප්‍රංශ කතා කරන වලූන් (59-41%) විසින් බිහි කරන ලද රටකි. එහි සංස්කෘතියට මේ දෙවර්ගයේම දායකත්වය සම සමව ලැබී ඇත.

ස්විට්සර්ලන්තය -
බෙල්ජියම සේම ස්විට්සර්ලන්තය ද ජර්මන්, ඉතාලි සහ ප්‍රංශ සංස්කෘතියන් විසින් සමව පෝෂනය වුනු රටකි. එහි නිල භාෂා හතරෙන්ම ජාතික ගීය ගැයේ.

දකුණු අප්‍රිකාව-
බෝයර් ඉංග්‍රීස් සහ විවිධ අප්‍රිකානු ජන වර්ග විසින් ජනාවාස කෙරුණු දකුණු අප්‍රිකාව එම සියළු සංස්කෘතීන් සතු භාෂා වලින් ජාතික ගීය ගයයි.

සූරිනාම්-
යටත් විජිත වාදීන් ගේ භාෂාව වන ඕලන්ද සහ ස්වදේශිකයන් 50%කට වැඩි පිරිසක් කතා කරන ස්‍රානන් ටොංගෝ දෙබසින් සූරිනාම් හි ජාතික ගීය ගැයේ.

නවසීලන්තය-
යටත් විජිත වාදීන් ගේ භාෂාව වන ඉංග්‍රීසි සහ ස්වදේශිකයන් ගේ භාෂාව වන මඕරි දෙබසින් නවසීලන්තයේ ජාතික ගීය ගැයේ.

ලංකාවේ සංස්කෘතිය සඳහා මේ ආකාරයෙන් සංස්කෘතීන් කීපයක සම සම දායකත්වයක් ලැබී නැත. දෙමළ සංස්කෘතික බලපෑම බහුතර සිංහල සංස්කෘතියට දැනී ඇත්තේ අල්ප වශයෙනි.

තවද, ලංකාවේ යටත්විජිත වාදීන් ගේ භාෂා තුනෙන් එකක්වත් ස්වදේශීන් තම භාෂාව ලෙස තෝරා නොගත්හ.

එම නිසා ලෝකයේ 90% රටවල් කරන ආකාරයට ලංකාවේ ජාතික ගීය ගැයෙන්නේ මූලික සංස්කෘතියට අදාල භාෂාවෙන් පමනි.

දෙමළෙන් ජාතික ගීයක් ඉල්ලීමේ පසුබිම ඇත්තේ දෙමළ නිජබිම් සංකල්පය තුලයි. දෙමළ ජාති(ක)වාදීන් දෙමළෙන් ජාතික ගීයක් ඉල්ලන්නේ "යටත් විජිත ආක්‍රමනයට පෙර ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස තිබූ නිසා, එම රාජ්‍යයන් දෙකේ සංකලනයක් ලෙස සෑදුනු වර්තමාන ලංකාවට එම සංස්කෘතීන් දෙකේම භාෂාවලින් ජාතික ගී දෙකක් තිබිය යුතුයි" යන පදනමෙනි.

මෙම දෙමළ නිජබිම් කතාව අලි කෙප්පයක් බව ඔප්පු වී හමාරය. එබැවින් එය මත පදනම්ව කෙරෙන මේ ඉල්ලීමටද එතරම් වටිනාකමක් දිය යුතු නොවේ.

මේවා වෙනුවට ලංකාවේ දෙමළ මිනිසුන්ට ඇත්තටම තිබෙන ප්‍රශ්න සාකච්ඡාවට ලක් විය යුතුය.  සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාටම මනුස්සයන්ට මෙන් සලකන සමාජයක් බිහි කිරීමේ කතිකාවක් ඇති විය යුතුය.

එය කළ හැක්කේ ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් නොවේ. ආර්ථික, සමාජීය, දේශපාලන යන ත්‍රිවිධ අංශයන් ගේ සමබර දියුණුවකිනි. ආර්ථික, දේශපාලන, සමාජයීය දියුණුවක් රටේ ඇතිවූ විට, දෙමළුන් ද තුට්ටු දෙකේ නිජබිම් කතා ඉවත ලා රටක් ලෙස ලංකාව ගැන ආකර්‍ෂනයක් ඇති කර ගනු ඇත.

එතකොට ඕනෙ නම් දෙමළෙනුත් ජාතික ගීය ගයන්න පුළුවන්.

1 comment:

  1. ජාතික ගීයට දෙමල පරිවර්තනයක් තිබීමේ වරදක් නැහැ. ඒකට අම්බානට අවසර දෙන්න දීන් එකකුත් නොවේ. මේ කලින් රජය එළිපිටම කොක්ක දාපු නිසාත් මෛත්‍රීගේ ෂෝ එකේ කොටසක් ලෙසත් ආපු ප්‍රසිද්ධියක්.

    එකම ජාතික ගීය භාෂා දෙකකින් ගයන එකෙන් නිජබිමක් තෘප්තවන්නේනැහැනේ. අවුල ගීත දෙකක් ගයනවානම්.

    ලංකා ඉතිහාසය ගත්තිත් සිංහල හා දෙමල භාෂා දෙකමනිල වශයෙන් භාවිතා වෙනවා. සුද්ද එන්න පෙරාතුව දෙමල සිංහලයා මත පවා පැතිරී තිබ්බා. දෙමල සිංහලබසට බලපෑමක් කර නැහැ කියනඅදහස වැරදියි.

    අනික මේක ලොකුසීන් එකක් වෙන්න ඕනේ දෙයක් නොවේ. ජාතික ගීය ගයන එක ගැසට් කරලා ව්‍යවස්ථාවට දාන්න ඕනේඑකක් නොවේ. අවාසනාවට මේක දැන් දේශපාලන තුරුම්පුවක් කරගෙන ඉවරයි

    ReplyDelete