Sunday, October 7, 2018

මාලදිවයිනේ අතොළු - 8 (දකුණු ප්‍රාන්තය​)


දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. ෆුවාමුලා
2. අඩ්ඩු

ෆුවාමුලා



නිල නාමය : ෆුවාමුලා
කේතය : ඥවියානි
ප්‍රාන්තය : දකුණු
අයත්වන සොබාවික අතොළු : ෆුවාමුලා
ජනගහණය : 7,984
දූපත් : 1
ප්‍රධාන දූපත : ෆුවාමුලා



තනි දූපතකින් සමන්විත අතොළුවක්. තනි දූපතකින් සමන්විත එකම අතොළුව වෙන්නේත් ෆුවාමුලා අතොළුව.

ෆුවාමුලා දූපත අතීතයේදී දකුණු කෙළවරින් මුහුදට විවර වී තිබුන අතර​, දූපත මැද කලපුවක් ව පැවතුනා. නමුත් පසුව විවරය කොරල් පර වලින් වැසී යාමත් සමඟම කලපුවක් ක්‍රමයෙන් ගොඩ වෙලා විශාල තනි දූපතක් බවට පත් වෙලා තියෙනවා. අද දූපතේ මැද ප්‍රදේශය වගුරු බිම් වලින් සහ කුඩා විල් දෙකකින් සමන්විතයි. මේ විල් දෙක "දදිමගු කිලි" සහ "බණ්ඩාර කිලි" ලෙස හැඳින්වෙනවා.



විශාල දූපතක් වීම නිසා ෆුවාමුලා දූපතේ මාලදිවයිනේ අනෙක් දූපත් වලට සාපේක්‍ෂව විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ නිසාම අතීතයේ පටන් මාලදිවයිනේ ලස්සනම දූපත විදිහට සැලකුනේ ෆුවාමුලා.

ඒ වගේම මාලදිවයිනේ වැඩිම උගතුන් පිරිසක් බිහිකල දූපත වෙන්නේත් ෆුවාමුලා. මේ අතර දේශපාලඥයින්, ඉස්ලාමීය ආගමික විද්වතුන්, රාජ්‍යය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මාලදිවයින් ඉතිහාසයේ විසූ විශිෂ්ඨම උගතෙක් වන මාගීදුරුගේ ඊබ්‍රහිම් ඩීඩි ගේ ජන්ම භූමිය වෙන්නේත් ෆුවාමුලා

ඒ වගේම ෆුවාමුලා 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගී වුනා.


වැදගත් ස්ථාන :

තූන්ඩු

කුඩා සුදුපාට පබළු වැනි වැලි වලින් සමන්විත මුහුදු වෙරළක්. මේ ආකාරයේ වැලි සහිත මුහුදු වෙරළක් මාලදිවයිනේ හමුවෙන එකම ස්ථානය මේක​.


ගෙන් මිස්කි

පැරණි බෞද්ධ ආරාමයක පාදම මත ඉඳිකළ ඉතාම පැරණි ඉස්ලාම් පල්ලියක්.


හවිත්තා

මාලදිවයිනෙන් හමුවන විශාලම සහ ඉතාමත් හොඳින් සුරැකුනු බෞද්ධ ස්ථුපය තියෙන්නේ ෆුවාමුලා දූපතේ. ඒක හැඳින්වෙන්නෙ "ෆුවාමුලා හවිත්තා" නමින්. මේ ස්ථුපය අඩි 40 ක් පමණ උසයි. ඒ අසලින් අඩි 15 පමණ උස කුඩා ස්ථුපයකුත් දකින්න පුළුවන්.



අඩ්ඩු



නිල නාමය : අඩ්ඩු
කේතය : සීනු
ප්‍රාන්තය : දකුණු
අයත්වන සොබාවික අතොළු : අඩ්ඩු
ජනගහණය : 19,319
දූපත් :  28
ප්‍රධාන දූපත : හිතදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 
(හුළුමීදූ, ෆේදූ, මරදූ, හිතදූ)

මේ දූපත් හතර​ පරිපාලනමය වශයෙන් දූපත් දෙකක් කියල සලකනවා. ෆේදූ, මරදූ සහ හිතදූ දූපත් "අඩ්ඩු නගරය​" වශයෙන් එක ඒකකයක් කියල සැලකෙන්නේ.

පදිංචිකරුවන් රහිත දූපත් : 26


මාලදිවයිනේ දකුණින්ම පිහිටි අතොළුව සහ ජනගහණය අතින් දෙවැනියට විශාලම පරිපාල​නමය ඒකකය​.


අඩ්ඩු අතොළුව සාගරයට සම් බන් ධ වෙන්නේ කුඩා කපොළු හතරකින් පමණයි. ඒ හැරුණු විට මුළු අතොළුවම ගොඩබිමින් සහ නොගැඹුරු මුහුදින් සම්බන්ධ වෙලා තියෙන්නෙ. මේ නිසා අතොළුව අභ්‍යන්තරයේ මුහුද ඉතාමත් සන්සුන්. අඩ්ඩු අතොළුවේ දූපත් වල පොල් වගාව ඉතා හොඳින් සිදු කෙරෙන අතර​, දූපත් සොබාවික විල් සහ වගුරු බිම් වලින් සමන්විතයි.

1959 බෙදුම්වාදී සුවදීව් ජනරජය පිහිටුවන්න මූලිකව කටයුතු කළ අතොළුව​.

වැදගත් ස්ථාන​ :

හුළුමීදූ දූපත​ -

හුළුමීදූ දූපත හුළුදූ සහ මීදූ වශයෙන් දිස්ත්‍රික්ක දෙකකට බෙදලා තියෙනවා.

දිවෙහි ජනවර්ගය ලංකාවේ ඉඳලා මාලදිවයිනට සංක්‍රමනය වීම පටන් ගත්තේ මාලදිවයිනේ දකුණේ ඉඳලා. දිවෙහි වරුන් ගේ පැරණිම ජනාවාස හමුවෙන්නේ හුළුමීදූ දූපතෙන්.



"කෝගන්නු" නමින් හැඳින්වෙන මාලදිවයිනේ පැරණිම සුසාන භූමිය තියෙන්නෙ හුළුමීදූ දූපතේ.


"හුළුමීදූ කිළි" නමින් හැඳින්වෙන විශාල වගුරු බිමක් දූපතේ බිම් ප්‍රමානයෙන් වැඩි හරිය වසා ගෙන තියෙනවා. මේ වගුරු බිම මාලදිවයිනේ හමුවෙන විශාලම වගුරුබිම​.

ගන් දූපත ​-

ඉතාමත් සරු පොල් වගාවක් සහිත දූපතක් වන ගන් දූපත අතීතයේ සිට ජනාවාසව පැවති දූපතක්. නමුත් 1941 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙහි ගුවන් හමුදා කඳවුරක් පිහිටුවනු ලැබුවා. ඒ සඳහා මෙහි පදිංචිකරුවන් සියල්ලම අසල්වැසි ෆේදූ දූපතට බලහත්කාරයෙන් සංක්‍රමනය් කරා.

අද මෙහි විශාල ගුවන්තොටුපොළක් තියෙනවා. එය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන් ගුවන්‍ යානා සඳහා පහසුකම් සලසනවා.


මාලදිවයිනේ දකුණින් ම පිහිටි බෞද්ධ නටබුන් හමුවුනේ ගැන් දූපතෙන්. මේ නටබුන් වලට විහාර ගෙයක් සහ කුඩා ස්ථුපයක් අයත්. නමුත් ගුවන් හමුදා කඳවුර පිහිටුවීමේදී මේ නටබුන් විනාශ කරල තියෙනවා.

ෆේදූ දූපත​ -

ගැන් දූපතේ පදිංචිකරුවන් ගුවන් හමුදා කඳවුර ඉඳිකිරීම සඳහා පදිංචි කළේ ෆේදූ දූපතේ. ෆේදූ දූපත ගැන් දූපත සමඟ පටු බිම් කඩකින් සම්බන්ධ කරල තියෙන්නෙ.


මරදූ දූපත -

අඩ්ඩු අතොළුවේ ධීවර කර්මාන්තය බහුලවා සිදු කෙරෙන්නෙ මරදූ දූපතේ.

ගන් දූපතේ පදිංචිකරුවන් ෆේදූ දූපතට මාරු කළ විට ෆේදූ දූපතේ හිටපු පදිංචිකරුවන් මරදූ දූපතේ දකුණු ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. අද ඔවුන් පදිංචිවෙලා ඉන්න කොටස "මරදූ-ෆේදූ" නමින් වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකෙනවා.


හිතදූ දූපත -

අඩ්ඩු අතොළුවේ ප්‍රධාන දූපත​.  මාලේ නගරය හැරුණුවිට මාලදිවයිනේ විශාලම ජනගහණයක් සහිත දූපත හිතදූ.

Friday, October 5, 2018

ජපන්නු කන හැටි - බත්



සහල්


අපි කෑමට ගන්න සියළුම සහල් වර්ග අයිති වෙන්නෙ පැලෑටි විශේෂ දෙකකට​​. එකක් අප්‍රිකානු සහල් (African Rice) හෙවත් "Oryza glaberrima". අනෙක ආසියානු සහල් (Asian Rice) හෙවත් "Oryza sativa".

ආසියානු සහල් මුලින්ම වගා කරන්න යොදා ගන්නෙ ක්‍රි.පූ. 8000 - 13500 අතර කාලයේ දකුණු චීනයේ "මුතු ගංගා" (Pearl River) නිම්නයේ. පසුව මේක ආසියාව පුරාම පැතිරිලා තියෙනවා.

ආසියානු සහල් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙද්දි උප විශේෂ දෙකක් බවට පරිණාමය වෙලා තියෙනවා.

දකුණට ව්‍යාප්ත වුන උප විශේෂය "Oryza sativa indica" හෙවත් ඉන්දියානු සහල් කියල හැඳින්වෙනවා. ඒවා අද වගා කෙරෙන්නෙ දකුණු චීනය​, ඉන්දියාව​, පාකිස්ථානය​, මියන්මාරය​, තායිලන්තය​, බංගලාදේශය​, වියට්නාමය​, ලාඕසය​, කාම්බෝජය​, මැලේසියාව​, ඉන්දුනීසියාව​, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල​. ඉන්දියානු සහල් වගා කරන්නේ වතුර පිරවූ කුඹුරු වල​. ලෝක සහල් නිෂ්පාදනයෙන් 75% පමණ ඉන්දියානු සහල්. ඉන්දියානු සහල් ඇට දිගටි හැඩයෙන් යුක්තයි. පිසීමෙන් පසු ඇට වෙන වෙනම තියෙනවා.

අනෙක් උප විශේෂය "Oryza sativa japonica" හෙවත් ජපන් සහල් කියල හැඳින්වෙනවා. ඒවා වගා කෙරෙන්නේ උතුරු චීනය​, ජපානය සහ කොරියාව යන රටවල​. ජපන් සහල් වගා කරන්නේ වියළි කුඹුරු වල.  ජපන් සහල් ඇට රවුම් හැඩයෙන් යුක්තයි. පිසීමෙන් පසු එකට ඇලෙනවා.



ජපන් සහල්


ජපන් බසින් පොදුවේ සහල් හැඳින්වෙන්නේ "උරුචිමයි" කියල​.

අස්වැන්න නෙලා ගත්තට පස්සෙ එන නිවුඩ්ඩ සහිත රතු සහල් "ගෙන්මයි" කියල හැඳින්වෙනවා. හෙන්මයි සහල් ආහාරයට ගන්න ජපන්නු එච්චර මනාප නෑ.

ගෙන්මයි පෑහීමෙන් පසු ලැබෙන සුදු සහල් හැඳින්වෙන්නේ "හකුමයි" කියල​. හකුමයි තමයි ජපන්නු බහුලව ආහාරයට ගන්නේ.

බාගෙට පාහින ලද සහල් හැඳින්වෙන්නේ "හයිගිමයි" කියලා.

සහල් පිසීමෙන් පසු ලැබෙන බත් වලට කියන්නෙ "ගොහන්" කියල​.

විවිධ සහල් වර්ග ජපන් ගොවියන් විසින් නිපදවාගෙන තියෙනවා. වඩාත්ම ජනප්‍රිය වර්ග තුන කොෂිහිකරි, අකිතකොමචි සහ සසනිෂිකි.

සකේ පෙරීම සඳහා පමණක් භාවිතා වන සහල් වර්ගය හඳුන්වන්නේ යමද නිෂිකි කියල​. ඒ වර්ගය කෑමට ගන්නෙ නෑ.

විශේෂ සහල් වර්ගයක් තියෙනවා "මොචිගොමෙ" නමින් හැඳින්වෙන​. ඒක ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ "glutinous rice" කියල​. මේ සහල් වර්ගය සාමාන්‍යය ජපන් සහල් වලට වඩා ඇලෙන සුළු බවින් වැඩියි.


සහල් වලින් හදන ආහාර වර්ග​


1. බත් (ගොහන්)



සහල් වැඩි වශයෙන්ම ආහාරයට ගන්නේ බත් විදිහට​. සාම්ප්‍රදායික ජපන් කෑම වේලක මූලික අංගය බත්. ඒත්, ඔවුන් කන බත් ප්‍රමානය ඉතාම අඩුයි. බත් හැඳි දෙකක පමණ ප්‍රමානයක් කුඩා කෝප්පයක දාල තමයි කන්නෙ.

බත් කන්නෙ කෝටු දෙකෙන්. ජපන් බත් වල ඇලෙන සුළු සොබාවය නිසා කෝටු දෙකෙන් කන්න ඉතාම පහසුයි.


බත් උයන හැටි


මුලින්ම සහල් වතුරට දාලා හොඳින් සෝදා ගන්න ඕනෙ. සාමාන්‍යයෙන් වතුර මාරු කරමින් තුන් පාරක් සහල් හෝදනවා.

ඊට පස්සෙ වතුර අයින් කරලා අල්ලෙන් සහල් ටික මෘදුවට තද  කරලා අතුල්ලන්න ඕනෙ. හරියට භාජනයක් පොලිෂ් කරනවා වගේ.

ඊට පස්සෙ පැය බාගයක් පමණ සහල් වේලෙන්න අරිනවා.

ඊට පස්සෙ සහල් කොටස් හතරකට වතුර කොටස් පහක් දාලා සහල් පෙඟෙන්න අරින්න ඕනෙ. උෂ්න ඍතුවේදී නම් පැයක් පමණත්, ශීත ඍතුවේදී නම් පැය දෙකක් පමණත් මේ වගේ පෙඟෙන්න අරිනවා.

පෙඟුනට පස්සෙ සහල් ලිපේ තියල තම්බනවා. බත් ඉදෙන්න යන කාලය විනාඩි 15 ක් පමණ​. මුලදී ලිපේ උණුසුම වැඩියෙනුත්, පහුවද්දි උණුසුම අඩුවෙනුත් සකස් කරන්න ඕනෙ.

බත් ඉදුනට පස්සෙ ටික වෙලාවක් හුමාලය වදින්න අරිනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ බත් ඇට වල මැද මෙලෙක් කරන එක​.

කිසිම අවස්ථාවක ලුණු එකතු කරන්නෙ නෑ.


2. මොචි



මොචි හෙවත් "සහල් කේක්" කියන්නේ ජපානයේ නව වසර වගේ විශේෂ උත්සව අවස්ථා වලදී පිළියෙල කරන කෑමක්. මොචි හදන්න පාවිච්චි කරන්නෙ මොචිගොමෙ සහල් පමණයි.

සාම්‍ප්‍රදායිකව මොචි හදන්නෙ රැයක් පුරා පෙඟවූ මොචිගොමෙ සහල් හුමාලයෙන් තම්බලා ගල් වංගෙඩියක දාල ලී මෝල්ගස් දෙකකින් කෙටීමෙන් ඇලෙන සුළු තලපයක් හදා ගැනීමෙන්. නමුත් වර්තමානයේදී මොචිගොමේ සහල් පිටි වතුර එක් කරලා ලිපේ තබා තම්බා ගැනීමෙන් මොචි හදන්න පුළුවන්.


මෙහිදී ලැබෙන ඇලෙන සුළු තලපය විවිධ හැඩයන්ට සකස් කරගන්න පුළුවන්.


3. ඔනිගිරි



ඔනිගිරි කියල හඳුන්වන්නේ නොරි කඩදාසි වලින් ඔතපු බත් ගුලි. ඔනිගිරි පාවිච්චි වෙන්නෙ ගමනක් යනකොට බත් අරගෙන යන්න පුළුවන් පහසු ක්‍රමයක් විදිහට​. බොහෝ විට ඔනිගිරි හදන්නෙ බත් වලින් විතරක් වුනාට​, බත් වලට විවිධ දේ මිශ්‍ර කරගන්නත් පුළුවන්.


4. තමගො කකෙ ගොහන්


ක්‍ෂනික ශක්ති ජනක උදේ ආහාරයක් විදිහට පාවිච්චි වන තමගො කකෙ ගොහන් හදන්නෙ බත් කෝප්පයකට අමු බිත්තරයක් සහ ෂෝයු සෝස් මිශ්‍ර කර ගැනීමෙන්.


5. චසුකෙ



චසුකෙ හදාගන්නේ බත් කෝප්පයකට උණු වතුර සහ කොළ තේ මිශ්‍ර කර ගැනීමෙන්. මේක ආහාරයට ගන්නේ සුප් එකක් විදිහට​. අවශ්‍යය නම් මාළු, මුහුදු පැලෑටි සහ එළවළුත් එක් කරගන්න පුළුවන්.


6. කයු



කයු කියල හැඳින්වෙන්නේ ජපන් බත් කැඳ​. බත් වලට වතුර ගොඩක් එක් කරගෙන දිගු වේලාවක් තිස්සේ තම්බා ගැනීමෙන් උකු කැඳ ලැබෙනවා. කයු වලට බොහ් වෙලාවට උමෙබොෂි නමින් හැඳින්වෙන ප්ලම් ගෙඩියකුත් එක් කරනවා. රෝගීන්ට බහුලව ලබා දෙන කෑමක්. කයු කන්නෙ හැන්දකින්.


7. දොන්බුරි



බත් කෝප්පයක් මත තවත් කෑම වර්ගයක් තැබීමෙන් පිළියෙල කරන කෑමක්. උඩින් තියන කෑම වර්ගය අනුව දොන්බුරි වර්ග ගණනාවක් තියෙනවා. මේ සඳහා හරක් මස්, ඌරු මස්, බැදපු ඉස්සෝ, මාළු, කුකුළු මස්, බිත්තර​, එළවළු සහ අල වර්ග යොදා ගන්නවා.


8. චහන්



චහන් කියල හඳුන්වන්නේ ෆ්‍රයිඩ් රයිස්. සාමාන්‍යයෙන් ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් හදන විදිහට සමාන ක්‍රමයකට තමයි චහන් හදන්නෙත්.


9. සෙංබෙයි



සෙංබෙයි කියල හඳුන්වන්නේ සහල් පිටි වලින් හදන ක්‍රැකර්ස් වර්ගයක්. සමහරවිට නොරි කඩදාසි වලින් ඔතලත්, පැණි රසෙන් වගේම මිරිස් සැරටත් සෙංබෙයි ගන්න පුළුවන්.


10. කොමෙපං



කොමෙපං කියන්නෙ සහල් පිටි වලින් හදන පාන් වර්ග වලට​.


11. සකෙ


සහල් වලින් හදන ප්‍රධාන නිෂ්පාදනයක් තමයි සකෙ. සකෙ ජපානයේ දෙවැනියට වැඩිම (පළවෙනියට බියර්) භාවිතාවෙන මත්පැන් වර්ගය​. සකෙ හදන්නෙ යමද නිෂිකි කියල විශේෂ සහල් වර්ගයකින්. ඒ වර්ගය කෑමට ගන්නෙ නෑ.


12. සහල් විනාකිරි



සහල් වලින් හදන විනාකිරි ජපානයේ ජනප්‍රිය නිෂ්පාදනයක්. සුෂි හදන්න වගේම වෙනත් ආහාර වර්ග විශාල ප්‍රමානයකටත් සහල් විනාකිරි යොදාගන්නවා. සහල් විනාකිරි පොල් විනාකිරි වලට වඩා ඇඹුල් ගතියෙන් අඩුයි.

Thursday, October 4, 2018

මාලදිවයිනේ අතොළු - 7 (ඉහළ දකුණු ප්‍රාන්තය​)


ඉහළ දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. හුවදූ අතොළු උතුරුබුරි
2. හුවදූ අතොළු දෙකුණුබුරි

හුවදූ අතොළු උතුරුබුරි



නිල නාමය : හුවදූ අතොළු උතුරුබුරි
කේතය : ගාෆු අලිෆ්
ප්‍රාන්තය : ඉහළ දකුණු
අයත්වන සොබාවික අතොළු : හුවදූ
ජනගහණය : 8,334
දූපත් : 82
ප්‍රධාන දූපත : විලිංගිලි

පදිංචිකරුවන් සහිත දූපත් : 11
(දාන්දූ, දෙව්වදූ, දියදූ, ගෙමනෆුෂි, හදහා, කන්ඩුහුළුදූ, කොලමාෆුෂි, කොන්ඩේ, මාමෙන්දූ, නිලන්දූ, විලිංගිලි)

පදිංචි කරුවන් රහිත දූපත් : 71

අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුනු අතොළුවක්. ඒ වගේම​ 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගීවූ අතොළුවක්.


වැදගත් ස්ථාන​:

දෙව්වදූ දූපත -

දෙව්වදූ දූපත සැලකෙන්නේ බෞද්ධ සමයේදී ඉතාමත් වැදගත් තත්වයක් ඉසිලූ දූපතක් විදිහට​. එහි බෞද්ධ නටබුන් රාශියක් දකින්නට පුළුවන්. ඒ අතර "උස්ගදු" නමින් හැඳින් වෙන බෞද්ධ ආරාම කීපයක පාදම විශේෂයි. මේවා මාලදිවයිනේ හමුවන විශාලම බෞද්ධ​ නටබුන් අතරට ගැනෙනවා. මේ වගේ උස්ගදු 5 ක් දෙව්වදූ දූපතේ දකින්නට පුළුවන්. මේ නටබුන් අද තියෙන්නේ අඩි 100 පමන දිග​, අඩි 50 පමණ පළල​, අඩි 4 පමණ උස ගොඩැලි වශයෙන්.

කොන්ඩේ දූපත -

මේ දූපතේත් බෞද්ධ නටබුන් රාශියක් දකින්න පුළුවන්. ඒ අතරින් මේවා විශේෂයි.
1. අඩි 47 දිග සහ පළල​, අඩි 4 ක් උස "කොන්ඩේ හවිත්තා" නමින් හැඳින්වෙන ස්ථුපයක්
2. අඩි 50 දිග සහ පළල​, අඩි 4 උස තවත් ස්ථුපයක්
3. අඩි 60 දිග සහ පළල, අඩි 6 උස තවත් ස්ථුපයක්

ඊට අමතරව ශිලාමය මකර හිසකුත් මේ දූපතෙන් හමුවෙලා තියෙනවා.

විලිංගිලි දූපත -

මුහුදු කෑමට ලක්වීමෙන් බොහෝ සෙයින් විනාශ වී ගිය ස්ථුපයක නටබුන් මේ දූපතේ හමුවෙනවා.


හුවදූ අතොළු දෙකුණුබුරි



නිල නාමය : හුවදූ අතොළු දෙකුණුබුරි
කේතය : ගාෆු දාලු
ප්‍රාන්තය : ඉහළ දකුණු
අයත්වන සොබාවික අතොළු : හුවදූ
ජනගහණය : 11,795
දූපත් : 153
ප්‍රධාන දූපත : තිනදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 10
(ෆරෙස්, ෆියෝරි, ගද්දූ, හොන්දෙද්දූ, මාතොදා, මඩවෙලි, නඩෙල්ලා, රතෆන්දූ, තිනදූ, වාදූ)

පදිංචි කරුවන් රහිත දූපත් : 143

අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුනු අතොළුවක් වගේම, මාලේ අගනුවර​ රාජ්‍ය​ බලයට විකල්පයක් ලෙස ඉදිරිපත් වුනු අතොළුවක්. පැරණි හුවදූ අතොළුව වෙනත් අතොළු වලට වඩා ස්වාධීනත්වයක් භුක්ති විඳල තියෙනවා. ඔවුන්ට තමාගේ නැව් සහ බෝට්ටු වල වෙනම කොඩියක් ඔසවන්න පවා අවසර තිබිල තියෙනවා. ඒ වගේම​ 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගීවූ අතොළුවක්.

හුවදූ කොඩිය
සියළුම අතොළු අතරින් වැඩිම දූපත් සංඛ්‍යාවක් අයත් වෙන්නේ මේ අතොළුවට​.

වැදගත් ස්ථාන​:

ෆියෝරි දූපත -

අඩි 32 ක පරිධියකින් සහ අඩි 3 ක උසින් යුත් බෞද්ධ ස්ථුපයක නටබුන් මේ දූපතේ තියෙනවා. ඒ වගේම "තුන්කුදුනා" නම් පන් වර්ගයකින් වියන පැදුරු වලට මේ දූපත ප්‍රසිද්ධයි. ඒ පන් වර්ගය මාලදිවයිනේ වැවෙන එකම දූපත මේ දූපත​.


ගද්දූ දූපත -

බෙලිපට්ට ගසේ පට්ට සහ තණකොළ වර්ගයක් යොදාගෙන වලින් වියන පැදුරු සඳහා මේ දූපත ප්‍රසිද්ධයි. මේ පැදුරු හැඳින්වෙන්නේ "කුනා" කියල​. බෙදුම්වාදී සුවාදිව් ජනරජය පිහිටවීමේ උත්සහය අසාර්ථක වුනාට පස්සෙ 1963 ඉඳල 1973 වෙනකං හුවදූ අතොළුවේ අගනුවර වශයෙන් කටයුතු කලේ ගද්දූ දූපත​.



රතෆන්දූ -

"කුනා" පැදුරු කර්මාන්තයට ප්‍රසිද්ධ තවත් දූපතක්. ඒ වගේම මේ දූපත මුහුදු කැකිරි වලටත් ප්‍රසිද්ධයි.

තිනදූ දූපත -

තිනදූ දූපත දකුණු මාලදිවයිනේ ප්‍රධාන දූපත වගේම මාලේ රාජ්‍යය බලයට විකල්පයක් විදිහට ඉදිරිපත් වුන දූපතක්. මාලදිවයිනේ බලවත්ම අතොළු ප්‍රධානියා වුන හුවදූ අතොළු ප්‍රධානියා හිටියේ තිනදූ දූපතේ. ඒ වගේම අවාසනාවන්ත අතීතයක් සහිත දූපතක්.

1573 දී මාලදිවයිනේ සුල්තාන් වරයාට දැනගන්න ලැබෙනවා තිනදූ දූපතේ මිනිස්සු බෞද්ධ වතාවත් වල යෙදෙන බව​. ඔහු එය නවත්වන්න අණ කළත් ඔවුන් ඒ අණ නොසලකා හරිනවා. ඊට පිළිතුරු වශයෙන් සුල්තාන් වරයා හමුදාව එවලා විශාල ජන ඝාතනයක් කරනවා. මාලදිවයින නිල වශයෙන් ඉස්ලාමය වැළඳගෙන අවුරුදු 500 කට පමණ පසුවත් දකුණු මාලදිවයිනේ ජනයා බෞද්ධ වතාවත් වල නිරත වීම විශේෂ සිද්ධියක්.

1959 දී දකුණු මාලදිවයිනේ අතොළු බෙදුම්වාදී සුවදිව් ජනරජය ප්‍රකාශ කළ පසු ඊට එරෙහිව මාලේ රජය දරුණු භීෂනයක් දියත් කරනවා. ඒ භීෂනයට කෙලින්ම ලක් වෙන්නේ තිනදූ දූපත​. මෙහිදී 200 ක් පමණ දෙනා මිය යනවා (මේ කලයේදී තිනදූ දූපතේ ජනගහණය 4800 යි). දූපත සම්පූර්නයෙන්ම ජන ශුන්‍යය කරලා දූපත් වැසියන්ව බලහත්කරයෙන් වෙනත් දූපත් වල පදිංචි කෙරෙනවා. තිනදූ දූපතේ නැවත මිනිස්සු පදිංචි වෙන්නෙ අවුරුදු 10 කට පසුව 1973 දී.

වාදූ දූපත -

වාදූ දූපත අතීත මාලදිවයිනේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්. බෞද්ධ නටබුන් ගණනාවක් මේ දූපතේ දකින්න පුළුවන්.
1. "වාදූ බොදු හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 90 ක පරිධියකින් සහ මීටර් 12 ක උසින් යුත් විශාල ස්ථුපයක නටබුන්
2. "වාදූ කුඩ හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 40 ක පරිධියකින් සහ මීටර් 7 ක උසින් යුත් තවත් ස්ථුපයක නටබුන්
කොරල් වලින් නිමවූ බුදු සිරිපතුලකුත් මේ දූපතෙන් හමුවෙලා තියෙනවා.

වාදූ බොදු හවිත්තා

මීට අමතරව "තුන්දේ සියාරයි" සහ "බුල්හන්නාබ්" නමින් හැඳින්වෙන පුරාණ සුසාන භූමි දෙකකුත් වාදූ දූපතේ තියෙනවා.

"වාදූ ගලේ මිස්කි" සහ "වාදූ ආසාරි මිස්කි" නමින් හැඳින්වෙන පැරණි ඉස්ලාම් පල්ලි දෙකකුත් වාදූ දූපතේ දකින්න පුළුවන්.

මාලදිවයිනේ ප්‍රථම ඉස්ලාමීය විද්වතෙක් වුන මොහොමඩ් ජමාලුදීන් ගේ සොහොන් ගැබ පිහිටලා තියෙන්නෙත් වාදූ දූපතේ.

ගන් දූපත -

ගන් දූපත වර්තමානයේ ජනාවාස නොවුනු දූපතක්. නමුත් ගන් දූපත 18 වෙනි සියවසේ අගභාගය වෙනතුරු ජනාවාස වී පැවති දූපතක්. වසංගත රෝගයක් නිසා මිනිස්සු ඒ දූපත අතහැර ගිහිල්ලා තියෙනවා.

ගන් දූපතත් අතීත මාලදිවයිනේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්. ඉපැරණි බෞද්ධ නටබුන් රාශියක් මේ දූපතෙන් හමු වෙලා තියෙනවා.
1. මාලදිවයිනෙන් මෙතෙක් හමුවූ විශාලම බෞද්ධ ස්ථුපයක් වන "ගමු හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 73 ක පරිධියක් සහ මීටර් 18 ක උසින් යුත් ස්ථුපයක නටබුන්.
2. මීටර් 55 ක පරිධියක් සහ මීටර් 1.5 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
3. මීටර් 15 ක පරිධියක් සහ මීටර් 1 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
4. මීටර් 58 ක පරිධියක් සහ මීටර් 9 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
5. මීටර් 42 ක පරිධියක් සහ මීටර් 6 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
6. මීටර් 37 ක පරිධියක් සහ මීටර් 3 ක උසින් යුත් ස්ථුපයක නටබුන්

ගමු හවිත්තා

Wednesday, October 3, 2018

පාදඩ කතා - 5 (සඳ ටෝක්)



(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)


එක



මේක අපි ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච සීන් එකක්. මොකද්දෝ වැඩකට ඉස්කෝලෙ ඇරිල මාළිගාවෙ ඇත්තු බඳින තැන හිටිය අපි. ඒ කාලෙ මාළිගාව ඉස්සරහ පාර වහල නෑ. 

ට්‍රිප් එකක් යන බස් එකක් වැව රවුම පැත්තෙ ඉඳල ඇවිල්ල තරුණ බෞද්ධ සමිතිය ඉස්සරහ නැවැත්තුව​. ඒ බස් එක පිටිපස්සෙ රතු පාට පොඩි කාර් එකකුත් කඟවේන වගේ ඇවිල්ල නැවැත්තුව​. ඒකෙන් බැස්ස පොඩි මැරවර පෙනුමක් තියන ඩයල් එකක්. ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ඇරල​. ලොකු චේන් එකක් කරේ. සරම කැහැපොට ගහල​.

බැහැපු ගමන් ගියා අර බස් එකේ ෆුට් බෝඩ් එකේ හිටපු කොල්ලො සෙට් එක ළඟට​. උන්ට හොඳටම බැන්න​. උං වැව රවුමෙන් එන ගමන් පාරෙ හිටපු මහමායා එකේ කෙල්ලො වගේකට මොනාදෝ කියල​. අරූ හොඳටම බැන්න​. මේක නුවර​. මේ තියෙන්නෙ දළදා මාළිගාව​. තොපේ ගමේ වගේ සත්තු විදිහට ඉන්න බෑ මේකෙ. අරකද​. මේකද. ඔක්කොම කියල බැන්න​.

බැනල ඉවර වෙලා ඌ ආපහු කාර් එක දිහාවට යන ගමන් මෙහෙම කියනවා.


"හැසිරෙන්න ඉගෙන ගනිං. පකයා."



දෙක​



මේක අපි කැම්පස් ඉද්දි වෙච්ච සීන් එකක්. ඒ කාලෙ අපි සිගරට් බොන්න යන කඩයක් තිබ්බ​. ඒ කඩේ කරේ නේවි එකේ හිටපු අයිය කෙනෙක්. ෆුල් ආතල් බුවෙක්. අපිත් එක්ක හෙන ෆිට්. අපි පොරගෙ කඩේට ඇවිල්ල පැය ගණං ලැගල ඉන්නවට පොරගෙ කිසි විරෝධයක් නෑ.

දවසක් අපි කඩේ ඉන්නව​. කඩේ පුරෝල සෙනඟ​. බිත්තියක එල්ලල තිබ්බ කැලෙන්ඩරයක්. ඒකෙ පින්තූරෙ තිබ්බෙ දකුණු ඉන්දියානු නිළියක්. දකුණු ඉන්දියානු නිළියක් කිව්වම දන්නවනෙ ඉතින්. හැට්ටය සහ සාරිය අතර වියත් තුනක් විතර එළියෙ.

මම මොකද්දෝ කල්පනාවක් දාගෙන ඉන්න ගමන් ඔය කැලෙන්ඩරේ දිහා බලාගෙන ඉඳල තියෙන්නෙ. මම දන්නෙත් නෑ.

කඩේ අයිය එක පාරටම මුළු කඩේටම ඇහෙන්න මෙහම අහපි.


"ආ මල්ලී...... බරිය බුලනව වගේ...."



තුන​



අපි කැම්පස් ඉද්දි අපේ බැච් එකේ එකෙක් තව බැච් දෙකක් විතර ජූනියර් බැච් එකේ කෙල්ලෙක්ට සීන් කරා. මූ නිකං කාලගෝලයා වගේ වුනාට ඒ කෙල්ල හා පැටියෙක් වගේ අහිංසකයි. හුරුබුහුටියි. සුදුයි.

දවසක් ඌයි මමයි ඒ කෙල්ලගෙ බැච් එකේ කොල්ලෙකුයි කැන්ටිමේ ඉන්නකොට අර කෙල්ල ඇවිල්ල මොනාදෝ අරගෙන ගියා. සීන් කරන එකා ආලයෙන් මුසපත් වෙලා බලාගෙන ඉන්නවා.

එතකොට කෙල්ලගෙ බැච් එකේ එකා කියනව මෙහම​.

(කෙල්ලගෙ නම සමල්කා කියල හිතමු)

"මචං අපේ බැච් එකේ වෙන කෙල්ලො මතක් කරල අතේ ගහද්දි පැය බාගයක් විතර ගහන්න ඕනෙ. හැබැයි සමල්ක මතක් කරල ගහද්දි දෙක හොල්ලනකොට විදිනව බං."


අරූ වලක් කපාගෙන වැළලෙනව දැක්ක​.



හතර​



මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් යන්න කලින් ගන්දබ්බ අවධිය ගත කරද්දි වෙච්ච වැඩක්.

මොකද්දෝ වැඩකට නුවර ටවුමට ගියා. ටවුමෙ ඉන්නකොට අපේ ඉස්කෝලෙ අපේ පන්ති වල එවුන් සෙට් එකක් හම්බුනා. ඉස්කෝලෙ කාලෙ හොඳ යාළුවො නොවුනත්, කාලෙකින් දැකපු නිසා නැවතිල කතා කරා.

උං ඔක්කොම නස්තාර් වෙන්න රා ගහල හිටියෙ. වෙලාව දවල් දොළහට විතර ඇති. දැන් මුං කරන්න දෙයක් නැතුව ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. උං ටික මාළිගාව පැත්තට ගියා. මමත් උං එක්කම ගියා.

දැන් අපි මාළිගාව ඉස්සරහින් වැව රවුමෙ ඇවිදගෙන යනවා. අර මාළිගාවට කෙලින්ම වැව අස්සෙ තට්ටු දෙකේ පරණ ගොඩනැගිල්ලක් තියෙන්නෙ. හරියටම ආන්න එතන​. එතන ඉන්නව ට්‍රිප් එකක් ආපු කොල්ලො සෙට් එකක්. උං ළඟ කොංගෝ එකක් තිබුන​.

අපේ සෙට් එකෙ එවුන් ටික අරුන්ට සෙට් වෙලා කොංගො එක ගහල සින්දු කියන්න ලෑස්තිය​. උන්ට තේරුන වැඩේ වාතයක් වේගෙන එන්නෙ කියල​. උං එක එක ඒව කියල ෂේප් වෙලා යන්න බලනවා.

"බෑ මචං මේ මාළිගාව ඉස්සරහ සින්දු කියන එක හරි නෑ නෙ"

අපේ සෙට් එකේ එකෙක් හිටිය පිස්සු බල්ල කියල​. ඌ මෙහෙම යෝජනාවක් දැම්මා.

"හරි මචං ඒනං අපි මගේ රටට දළදා හිමි සරණයි කියමු"

"බෑ මචං අපි මේ අනාත වෙලා ඉන්නෙ. අපේ සල්ලි ටික නැති වෙලා. අපිට ආපහු යන්න සල්ලි නැතුව ඉන්නෙ."

"අයියෝ මචං ඕකත් ගේමක් ද​? පොලිසියෙ අංකල් කෙනෙක්ට කියපං. ඩාං ගාල ගතම් එක හොයල දෙයි."

'පටාස්' ගාල සද්දයක් ඇහුනා.

පොලිස් රාළහාමි කෙනෙක් අපි පිටිපස්සෙ ඉඳල​. පොර පිස්සු බල්ලගෙ කණට ගහපු සද්දෙ තමයි අපිට ඇහුනෙ.

පිස්සු බල්ල ආපහු හැරුනෙ ස්ලෝ මෝෂන් එකේ.

"ඇයි ඔයා මට ගාන්නේ? මම ඔයාට අංකල් නෙ කිව්වෙ. මම ඔයාට කොච්චිය කිව්වෙ නෑ නෙ."

"තොගෙ අම්මට​..." කියල රාළහාමි පිස්සු බල්ලගෙ බෙල්ලෙන් අල්ල ගන්නව දැක්ක​.

අපි හැමෝම හිස් ලූ ලූ අත පැනල ගියා.


පස්සෙ ආරංචි වුනා පිස්සු බල්ලව කාමරේකට දාගෙන හොඳටම නෙළපු බවත්, ඌ මාසයක් විතර යනකං ශරීරයේ විවිධ ස්ථාන වල කැක්කුම් වලින් පෙලුන බවත්.



පහ​



මේ කතාව පාදඩයා පිට රටක හිටපු කාලෙ වෙච්ච වැඩක්. අපි වැඩ කරපු ඔෆිස් එකේ ලංකාවෙ එවුන් හතක් අටක් හිටියා. අපි හැමෝම හොඳටම ෆිට්.

මේ අතරෙ හිටිය ඩයල් එකක්. අපි පොරගෙ නම ජයලත් කියල හිතමු. පොර අපිට වඩා අවුරුදු පහක් විතර වැඩිමල්. අපි පොරට කියන්නෙ ජයලත් අයියා. ජයලත් අයියගෙ නමේ "දෑල බණ්ඩාර​" කියල කෑල්ලක් තියෙනවා. හැබැයි කවදාවත් අපිට වංසෙ දාල නෑ. හරි හොඳයි.

තව එකෙක් හිටිය අපේ හොඳ ෆිට් එකක් උගේ නමේ "මුදියන්සෙ" කෑල්ලක් තියෙනවා. මුදියන්සෙ කෑල්ල තියෙන එකා හොඳට බොන එකෙක්. ජලයත් අයියා බොන්නෙ නෑ. අපි බොන්න සෙට් වුනොත් සමහර වෙලාවට පොරත් එනවා. හැබැයි කවදාවත් බොන්නෙ නෑ.

අපේ නම් වල ඔය අනං මනං කෑලි මොකවත් නෑ.

දවසක් නිවාඩුවට ලංකාවට යද්දි ජයලත් අයියයි මුදියන්සෙයි එකට ගියේ. මුන් දෙන්න ෆ්ලයිට් එකේදිත් එක ළඟ වාඩි වෙලා ගිහින්. උඩදි මුදියන්සෙ බියර් එකක් අරගෙන​. ජයලත් අයියත් එකක් අරගෙන​. මුන් දෙන්න බිව්වලු.

අරූ ආපහු ඒ රටට ඇවිත් අපිට කියනවා "අඩේ එදා ජලයත් අයිය මාත් එක ෆ්ලයිට් එකේදි බිව්වනෙ" කියල​.

ඊට පස්සෙ වැඩට ගිය දවසෙ අපි ජයලත් අයියව හම්බෙලා ඒ ගැන ප්‍රශ්න කරාම ඌ ඒක පිළිගත්තා. මම උගෙන මෙහෙම ඇහුවා.

"ඇයි ජයලත් අයියා අපිත් එක්ක බොන්නෙ නැත්තෙ? අපි මුදියන්සෙල නෙවෙයි නිසාද​?"


ජයලත් අයියා යථා තත්වයට පත් වුනේ සෑහෙන වෙලාවක් ගිහිල්ල​.

(බයි ද වේ, ඌ එහෙම බොන්නෙ නැත්තෙ වංසෙ සීන් එකක් නිසා නෙවෙයි)



හය​



අපි කැම්පස් ඉද්දි කතාවක්.

පාදඩයා කැම්පස් එකේදි රැග් වුනේ නෑ. කැම්පස් එකේ සම්ප්‍රදාය අනුව කාටවත් බලෙන් රැග් කරන්න බෑ. ඒ නිසා රැග් වෙන්නෙ නෑ කියල තීරණය කරොත් රැග් කරන්න බෑ. ඒත් නිල නොවන මට්ටමෙන් තර්ජන ගර්ජන සහ අංචි ඇදිලි එමටයි. රැග් සීසන් එකේදි ඒවට මුහුණ දෙන්න ඕනෙ. ඊට පස්සෙත් බැච් එකේ "නිල සාමාජිකත්වය​" හිමි වෙන්නෙ නෑ. තමා පුද්ගලික මට්ටමෙන් ගොඩ නගා ගන්න සබඳතාවයන් තමයි.

දවසක් අපේ ජූනියර් බැච් එකේ රැග් නොවෙන එකෙක්ට සින්නෙක් තගක් දාල​. ඌ ඇවිත් රැග් නොවෙන එවුන්ට ඒක කිව්ව​.

ඊට සතියකට විතර පස්සෙ  තගට ලක් වුන එකා සහ උගෙ තවත් රැග් නොවෙන බැචෙක් ගෙදර යන්න බස් හෝල්ට් එකට එනවලු. මේ අනිත් එකා අඩි පහයි අඟල් තුනක් විතර උස කොටෙක්. හැබැයි ලොරියකට හරි මූණ තියන ජාතියෙ ඩයල් එකක්.

මුං දෙන්න එනකොට ඈත තියාම දැක්කලු හෝල්ට් එකේ දහයක් විතර ඉන්නව. අර තගට ලක් වුන එකා කිව්වලු "ආං අර කළු එකා තමයි මචං මට එදා තග දැම්මෙ" කියල​. කොටා උස එකා බලල හොඳට මීටර් කරගෙන හනිකට හෝල්ට් එකට ගියාලු ඌව අල්ලගන්න​. අරුත් පස්සෙන් ආවලු.

උං හෝල්ට් එකට එද්දිම බස් එකක් ඇවිල්ල එතන හිටපු එවුන් ඔක්කොම වගේ ඒකට නැගල​. හැබැයි වාසනාවකට වගේ "කළු එකා" බස් එකට නැග්ගෙ නැල්ලු.

කොටා කෙලින්ම ගියාලු කළු එකා ළඟට​.

"අයිය මටත් ගොං තෙලක් දෙන්න පුළුවන් ද​?"

අරූ උඩ බිම බැලුවලු.

"කවුද උඹ​?"

"නෑ මට ආරංචි වුනා උඹ එක එකාට ගොං තෙල් ගහනව කියල​. මටත් ගොං තෙලක් ගහපං කො."

අනිත් එකා කොටාගෙ අතින් අදිනවලු. මූ අත ගසල දාල කෙලින්ම ගේමටම යනවලු. කළු එකා උතුර දකුණ නැතුව බලං ඉන්නවලු.

"තෝ කවුද යකෝ. මම තෝව දැක්කෙත් අද​"

"ඒ වුනාට ගොං තෙලක් දීපං කො"

ඔය යනාදි වශයෙන් වලිය ඇදිල යද්දි අරූ දිගටම කොටා ගෙ අතින් අදිනවලු. බැරිම තැන කොටා උගෙන් "මොකද හුත්තො?" කියල ඇහුවලු.


"මූ නෙවෙයි බං. ඌ බස් එකේ නැගල ගියා. මූ වෙන එකෙක්."



හත​


ආයෙත් අපේ ජූනියර් බැච් එකේ රැග් සීසන් එකේ වෙච්ච සීන් එකක්.

රැග් සීසන් එකේ රැග් වෙන බැච් එකේ එවුන්ට ජිම් එකට​, නාට්‍යය බලන්න, පුස්තකාලෙට එහෙම යන්න තහනම්. ඒත් රැග් නොවෙන එවුන්ට ඒ නීති අදාල නැති නිසා අපේ ජූනියර් බැච් එකේ රැග් නොවෙන එවුන් ටික නාට්‍යයක් බලන්න ගිහිල්ල​. ඒක ඕගනයිස් කරල තියෙන්නෙ වෙන ෆැකල්ටියකින්.

නාට්‍යය ගූ හැත්තෑවයි ලු. බලගෙන ඉන්න බැරිම තැන මුං මගින් නැගිටල ඇවිත්. එන ගමං පශ්චිම අංගමාරය උත්සන්න වෙලා හූ ත් කියල​.

පාරෙ ටික දුරක් ඇවිදගෙන එද්දි බයිසිකල් වලින් ආපු සෙට් එකක් මුංව වට කරල​. බලද්දි නාට්‍යය ඕගනයිස් කරපු එවුං.

"උඹල කැම්පස් ද​?"

"ඔව් අයියා"

"මොන ෆැකල්ටි ද​?"

"--ෆැකල්ටියේ නම​--"

"මොන බැච් එකේ ද​?"

"ෆර්ස්ට් ඉයර් අයියා"

"තොපේ රැග් සීසන් නේද​?"

"ඔව් අයියා"

"ඉතිං නාට්‍යය බලන්න එන්නෙ? උඹලට සීනියර්ස් ල කියල දුන්නෙ නැද්ද​?"

"අපි රැග් වෙන්නෙ නෑ අයියා"

"රැග් වෙන්නෙ නෑ? ඇයි ඒ?"

"අපිට බෑ කියල හිතුන අයියා"

"හරි දැං උඹල හූ කිව්ව නේද​?"

"ඔව් අයියා"

"එහෙම හූ කියන්නෙ නෑ කියල දන්නෙ නැද්ද​?"

"නෑ අයියා"

"ඇයි උඹල හූ කිව්වෙ?"

"ආතල් එකට අයියා"


මූංට කියල වැඩක් නෑ බං කියල උං ටික ආපහු ගිහින්


අට​


ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ එයා හොස්ටස් නම්කිල ගෙ ලොකු සීන් ගැන හැමෝම දන්නව නෙ.

දවසක් මම යන ෆ්ලයිට් එකක අපි ෆ්ලයිට් එකට නගිද්දි නම්කිල දෙන්නෙක් දොර ළඟ හිටගෙන එන එවුන්ට ආයිබෝවන් කියනවා. හැබැයි සුද්දොන්ට හොඳට කට පුරා හිනාවෙලා. ලංකාවෙ උන්ට නිකං එපා වාහෙට හොදි බෙදනව වගේ.

මට කලින් හිටියෙ අවුරුදු 25 විතර සීමාවෙ කොල්ලො හතර පස් දෙනෙක්. උං කොහෙ හරි ආතල් එකට යන ගමනක්. සමහර එවුං ත්‍රී ක්වාටර් ගහල හිටියෙ. උං ටික දැක්ක විතරයි අර නම්කිල දෙන්න අහක බලාගෙන ඉන්නව​. ආයිබෝවන් කිව්වෙ නෑ.


සෙට් එකේ අන්තිමට හිටපු එකා ඇතුලට ගිහිල්ලත් ආපහු හැරිල ඇවිත් අරකිල දෙන්න ඉස්සරහ හිටගෙන දොහොත් මුදුන් තියල මහා සද්දෙන් "ආයිබෝං ඈ" කිව්ව​.

Tuesday, October 2, 2018

පාදඩ කතා - 4 (බොන කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

එක​


නුවර එකෙක් නං පවන කිව්වම ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑ. නුවර නොවන එවුන්ට පවන ගැන විස්තර කරොත්, පවන කියන්නෙ නුවර ටවුමෙ තියෙන බාර් එකක්. නාට්ටාමිලා සිට අතේ සතේ නැති කොළු ගැටව් හරහා පහළ මැද පන්තියේ අංකල් ල තමයි ඒකෙ බොන්නෙ. නගර සබාවෙ පඩි දවසට දෙමළ ආච්චිල එහෙම පිරිල​. ඕං හිතා ගනිල්ල ජොයින්ට් එකේ හැටි.

අපිත් ඒ කාලෙ පවනෙන් බොනවා. වෙන තැනකින් බොන්න සල්ලි නැති නිසා. පවනෙ අයිතිකාරය අරක්කු 1 ට කසිප්පු 1 අනුපාතයෙන් මිශ්‍ර කරල දෙන නිසා ගෙවන මිලට උපරිම වටිනාකම ලැබෙනවා.

ඔන්න එක දවසක් හවස තුනට විතර අපි කොල්ලො තුන් හතර දෙනෙක් පවනෙ බොනව​. අපිට එහා මේසෙ තව කොල්ලො සෙට් එකක්, පෙනුමෙන් සහ කතා බහෙන් ත්‍රීවිල් සෙට් එකක් වගේ, බොනවා. තව කීප දෙනෙක් තැන් තැන් වල බොනවා. හවස් වෙලා නැති නිසා ලොකු සෙනඟක් නෑ.

එක පාරටම අවුරුදු 50-60 විතර වයසක බුවෙක් වෙඩි කාපු ඌරෙක් වගේ වැසිකිළිය පැත්තට දිව්වා. ඒ දුවපු දිවිල්ලට ඌ අපේ අල්ලපු මේසෙ බිබී හිටපු එකෙක් ගෙ ඇඟේ හැප්පිල ගියේ. ඌ සැනෙකින් වැසිකිළිය ඇතුලට රිංගුවා.

අර ඇඟේ හැප්පුන එකාට මල පැන්න​. ඌට අරූට ගහන්න ඕනෙ වුනා. උගේ යාළුවො ටික වැඩේ ෂේප් කරන්න උත්සහ කරත් හරි ගියේ නෑ. ඌත් වෙඩි කාපු ඌරෙක් වගේ වැසිකිළියට රිංගුවා. උගෙ යාළුවො ටිකත් ඌ පස්සෙන් වැසිකිළියට රිංගුවා. නොමිලේ ලැබෙන ෂෝ එකක් නිසා අපිත් උං පස්සෙන් වැසිකිළිට ඇදුනා.

අරූ ගිය ගමන් වහල තිබ්බ දොරකට පයින් ගැහුවා. අර වයසක බුවා ඒක ඇතුලෙ රෙනවා. රිරී ඉන්න එකාව බෙල්ලෙන් ඇදල ගත්ත​.

"තෝ මොකද මගෙ ඇඟේ හැප්පුනේ?"

"අනේ මල්ලි සොරි සොරි මගෙ බඩේ අමාරුවක්"

ඌ නොවඳිනා වැඳුම් වඳිනවා ෂේප් වෙන්නෙ.

අරූගෙ යාළුවො ටික බොහොම අමාරුවෙන් ඌව ෂේප් කරල ආපහු එළියට එක්කරගෙන ගියා. ඒ යන ගමන් එකෙක් අර වයසක බුවාට මෙහෙම කිව්වා.


"ඔයා රෙන්ඩ අයියා"


දෙක​


කැම්පස් ඉද්දි අපි කොල්ලො හතර දෙනෙක් ටවුමට ගිහින් පුක්ස් මැක්ස් වෙන්න ගහල රෑ එකොළහට විතර ආපහු හොස්ටල් එකට ආව​. එද්දි අපේ සෙට් එකේ එකෙක්ට මදි වෙලා තවත් බොන්න ඕනෙ වුනා. රෑ එකොළහට කොහෙන්ද අරක්කු හොයන්නෙ. ඒත් අරූ එහෙම සැලෙන එකෙක් නෙවෙයි. ඌ යෝජනා කරා කසිප්පු බොන්න.

ඉතින් රේල් පාරෙ ටිකක් ගැවසෙනකොට අවුරුදු විසි දෙකක විතර කොල්ලෙක් සෙට් වුනා. ඌ කිව්ව කසිප්පු ජොයින්ට් එකකට එක් කරගෙන යන්නං කියල​. හැබැයි ටිකක් දුරයි. ඉතින් අපිට කිලෝ මීටර් දෙක තුනක් පයින් ගිහිල්ල කසිප්පු බොන්න තරං පුකේ අමාරුවක් තිබ්බෙ නැති නිසා බොන්න ඕනෙ වෙච්ච එකාව යවල අපි නැවතුනා.

ඌ ගිහිල්ල එනකං අපි රේල් පාරෙ එක පීල්ලකට ඔළුව තියාගෙන​, අනිත් පීල්ලට කකුල් දෙක තියාගෙන ඇළ වෙලා සිගරට් එකක් එහෙම පත්තු කරගෙන දාර්ශනික කතා බහක නිරත වෙලා හිටියා.

එක පාරටම ඉළ ඇට කූඩුව හරහා පයින් පාරක් වැදුනා. බැලුවම කසිප්පු හොයන්න ගිය එකා.


අපි තුන් දෙනාටම රේල් පාරෙ නින්ද ගිහිල්ල​.


තුන​


අපි කැම්පස් අවුට් වෙලා ජොබ් එකකට ගිය අළුත අත මිට එහෙම සරු නිසා නිතිපතා බොනවා. ඉතින් මගේ යාළුවෙක් (ඉහත කතාවෙ කසිප්පු හොයන්න ගිය එකා) ඔෆිස් එකේ සෙට් එකත් එක්ක බොන්න ගිහිල්ල​. බීල තියෙන්නෙ බියර්.

බිබී ඉන්නකොට ඌට බාර් එකේදි බැචෙක් සෙට් වෙලා. ඌත් උගෙ යාළුවෙක් එක්ක බොන්න ඇවිත්. අම්මට හුඩු බැචා කියල මූටත් උං එක්ක බොන්න කතා කරල​. උං බීල තියෙන්නෙ අරක්කු.

දැන් බීල ඉවර වෙලා මගෙ යාළුවා ආපහු බෝඩිමට එන්න හදද්දි බැචා උගේ අළුත්ම කාර් එකෙන් මූව ගිහින් ඇරලවන්න ඉදිරිපත් වෙලා. දැන් මුන් දෙන්න කාර් එකේ එනවළු. ෆුල් ඒසී. ජනෙල් එහෙම ඔක්කොම වහල​.

බියර් අරක්කු කවලං ගහපු නිසා මගෙ යාළුවට ටික වෙලාවක් යද්දි නාග සලං වේගෙන ඇවිල්ල​. ගොජ ෂුවර් වගේ තේරීගෙන එද්දි අමාරුවෙන් බැචාට කියල කාර් එක නවත්තපං කියල​.

"පිස්සුද බං දැන් කොහෙ නවත්තන්න ද​?"

අරූ ෂටර් එක ඇරගන්න ට්‍රයි කරල​. ඒත් බැරි වෙලා.

"මචං වමනෙ, ෂටර් එක ඇරපං"

බැචත් හොඳට ගසල නිසා බොක්ක උපරිමයි.

"මගේ කාර් එක ඇතුලෙ උඹ වමනෙ දාන්නෙ නැතුව කවුරු දාන්නද බං? ඔන්නොහෙ ඇතුලෙ දාපං"


එහෙම කිව්වට ඉතිං අළුත්ම කාර් එක ඇතුළෙ වමනෙ දාන්න පුළුවන් ද කියල හිතපු මගෙ යාළුවා ඇඳගෙන හිටපු කමිසෙ උඩ සාක්කුවට වමනෙ දාල​.


හතර​


අපේ කැම්පස් එකේ රගර් ටීම් එක මැච් එකකට පිට ගිහින් ආපහු එන ගමන් බීල එහම මගදි බස් එක නවත්තල නයිට් කඩේකට ගිහින් කන්න​. 

කාල බිල ගෙවල එළියට එද්දි එළියෙ ලොකු සිමෙන්ති පටවපු ලොරියක් නවත්තල තියෙනවලු. ඒකෙ ඩ්‍රයිවරුයි ගෝලයයි ලොරිය ස්ටාට් වෙන්නෙ නැතුව පුක කැඩිච්ච කඩි වගේ නටනව ලු.

සිමෙන්ති කොට්ට සීයක් විතර පටවපු ලොරියක් තල්ලු කරන එක ලේසි පාසු වැඩක් නොවුනත් රගර් මොරාල් එක සහ අරක්කු මොරාල් එක සංකලනය වෙලා මොරාල් එක ඕවර්ඩෝස් ගිහින් මුං ටික සෙට් වෙලා ලොරිය තල්ලු කරනවලු.

ටීම් එකේ විං ත්‍රී ක්වාටර් ගහන එකා ටොයිලට් ගිහිල්ලා. ඌ චූ කරල එළියට එද්දි මුළු ටීම් එකම කෑ ගහ ගහ ලොරිය තල්ලු කරනව ලු. ඒත් අඟලක් වත් හෙල්ලෙන්නෙ නැල්ලු. මූත් ඈත තියලම සද්දෙට කෑගහගෙන ආවලු වැඩේට සෙට් වෙන්න​.

"කමෝන් (කැම්පස් එකේ නම​)..................."

අනිත් එවුන් ටික බලනවලු මූ කෑ ගහගෙන ආවට ලොරිය ළඟට ආවෙ නැත්තෙ මොකද කියල​. මුගෙ නම කියල කතා කරාලු. එතකොට ළඟ තිබ්බ අකුලකින් සද්දයක් එනවලු.

"අපි මෙහේ....."


ඌ කරුවලේ දුවගෙන එද්දි බෝක්කුවකට වැටිල​.


පහ​


2006 දෙසැම්බර් පළවෙනි දා. එදා තමයි බ්‍රයන් ලාරා අන්තිම ටෙස්ට් මැච් එක ගැහුවෙ. වෙස්ට් ඉන්ඩීස් දෙවෙනි ඉනිමෙ ලාර අවුට් වුනේ 49 ට​.

එදා රෑ අපි මොකක් හරි හේතුවකට බිව්වා. බොන ගමන් අපේ එකෙක් ඉන්නෙ ෆුල් අප්සෙට් එකේ. කතාවක් බහක් නෑ. සින්දු කියන්නෙ නෑ. මඩ වලට පොල් කඩනව වගේ අරක්කු හලා ගන්නව විතරයි.

"මොකද බං මොකක් හරි අප්සෙට් එකක් ද​?"

කීප සැරයක්ම එහෙම ඇහුවට උත්තරයක් දෙන්නෙ නෑ.

"මොකද බොල වෙලා තියෙන්නෙ?"


"අඩේ ලාර කියන්නෙ මේ ලෝකෙ ලස්සන කරපු මිනිහෙක් බං"


හය​


මගෙ යාළුවෙක් (කලින් කතාවෙ ලාර ගෙ රසිකයා) ගියා ලාඕසෙට​. හැබැයි සාමාන්‍යය මිනිස්සු වගේ එම්බසියට ගිහින් වීසා අරගෙන නෙවෙයි. උගෙ යාළු සුද්දෙක් හිටියා එන්.ජී.ඕ. එකක​. ඌ කරන්නෙ තායිලන්තෙ ඈත ගම්මාන වල නළ ලිං ගහන එක​. මූ සුද්දත් එක්ක සෙට් වෙලා තායිලන්තෙට ගිහින්, මීකොං ගඟේ තියෙන හොර තොටුපොළකින් බෝට්ටුවකින් පැනල තමයි ලාඕසෙට ඇතුල් වෙලා තියෙන්නෙ.

සතියක් එහෙ ඉඳල පට්ටම ආතල් එකක් අරගෙන​. එහෙ ලිවිං කොස්ට් මාර අඩුයි ලු. ඒ නිසා පොඩි ගානක් අරගෙන ගිහින් අමර ෆන් එකක් ගන්න පුළුවන් ලු.

මූ දවසක් ඈත ඩොටේ ගමක ලාඕ එවුන් ටිකක් එක්ක බොන්න සෙට් වෙලා. විදේශිකයෙක් නිසා උනුත් ටිකක් සරුවට වැඩේ සෙට් කරල​.

බොද්දි එක එක විදිහෙ බයිට් තියෙනවලු. එක ප්ලේට් එකක තියෙනවලු නිකං ඉස්සො වගේ සීන් එකක්. මූ ඒවත් කාල​.

බොන ගමං එකෙක් ගෙන් ඇහුවලු ඒ ඉස්සො වගේ ඒව මොනාද කියල​.

බලද්දි බැදපු රැහැයියො.


ඌට වමනෙ යන එක නැවතිල තියෙන්නෙ පහුවදා.


හත​


මේකත් කැම්පස් ඉද්දි කතාවක්. අපි සෙට් එකක් හොස්ටල් එකේ රූම් එකක සෙට් වෙලා බිව්ව​. බෝතල් දෙක තුනක් හිස් වෙද්දි අපේ සද්දෙ අපිටත් නොදැනිම වැඩි වෙලා. ටික වෙලාවකින් කවුදෝ දොරට ගහනව ඇහුනා. අපි දොර ඇරියා.

රැවුල වවපු දෙමළ බුවෙක් ඇතුලට ආව​. 

"අයම් ද සබ් වෝඩ්න්"

සබ් වෝඩ්න් හෙවත් සබා කියන්නෙ හොස්ටල් එකේ පරිපාලනය සඳහා පත් කරල ඉන්නෙ කථිකාචාර්‍ය වරයෙක්. 

අපේ එකෙක් හිටියා. අපි හිතමු උගේ නම අබේසිංහ කියල​. ඌ මේසෙ උඩ කකුල් දෙක තියාගෙන ලෝඩ් පකීර් වගේ සිගරට් එකක් ගහ ගහ හිටියෙ.

"හෙලෝ, අයම් අබේසිංහ​"

ඌ හිතල තියෙන්නෙ සබා සීනියර් බැච් එකක ටැමිල් බුවෙක්, ඌ කියල තියෙන්නෙ උගෙ නම කියල​.

සබා අපිට බැන්නෙ නැත්තෙ කුණුහරුපෙන් විතරයි. දැන්ම බොන එක නවත්තපියව් කියල අපිව අපේ රූම් වලට එළෙව්ව​.

සබා යනකං ඉඳල අපි අඩුම කුඩුම ටිකත් අරගෙන උඩ තට්ටුවෙ කාමරේකට ගිහින් වැඩේ කන්ටිනියු කරා. මදි පාඩුවට කොම්පියුටර් එකක සින්දුවකුත් දාගත්ත​.

ටිකක් වෙලා යද්දි ආයෙත් දොරට ගැහුව​. දොර ඇරල බලද්දි ආයෙත් සබා.

"වට් ඊස් ඕල් දිස් නොයිස්?"

ඒ පාර උත්තර දුන්නෙ වෙන එකෙක්.

"සර් වී ආ වොචිං අ ෆිල්ම්. අ වෝ ෆිල්ම්"

සබාට එතකොට තමයි මීටර් වුනේ පල්ලෙහා හිටියෙත් අපිමයි කියල​.

"ආන්ට් යූ ද පීපල් හූ ව' ඩ්‍රින්කිං ඩවුන්ස්ටෙයාස්?"

"නෝ සර් වී ආ ඩිෆරන්ට් පීපල්"


වෝඩ්න් ගාවට නොගිහිං බේරුනෙ සබාගෙ පුකට වැඳල​.


අට​


කැම්පස් ඉද්දි අපි සෙට් එකක් හොස්ටල් එකේ රෑ බිව්ව​. බීගෙන බීගෙන යද්දි සිගරට් ඉවර වුනා. බොද්දි සිගරට් ඉවර වෙනව තරං කරුමයක් නෑ. අපි තීරණය කරා ටවුමට පයින් ගිහිං සිගරට් අරගෙන එන්න​. වෙලාව රෑ එකට විතර ඇති.

ටවුමට හැතැම්මක් විතර තියෙනවා. පයින්ම ගිහින් නයිට් කඩේකින් සිගරට් ගත්තා. නයිට් කඩේකටත් ආපු එකේ බිත්තර රොටියක් කාල ප්ලේන්ටියකුත් ගහලම යනව කියල හිතාගෙන කඩේ උඩ තට්ටුවට ගියා.

බිත්තර රොටී කකා ඉද්දි අපේ එකෙක්ට (ආයෙත් අර ලාරා ගෙ රසිකයා) වැඩි වුනා. දැන් මූ මෙලෝ සිහියක් නැතුව ටෝක් දෙනව​. වැඩිපුරම දෙන්නෙ ඌ තායිලන්තෙයි ලාඕසෙයි ගිය ඒව​. එකකට එකක් සම්බන්ධයක් තියෙන කතා නෙවෙයි.

"තායිලන්තෙ පන්සලකට ගියා මචං ඒවගෙ තියෙන බුදු හාමුදුරුවන් ගෙ කැත​..... වට්ටක්ක ඇට පිටින් කන්නෙ..... මේම් සයිස් ආඳො ඇළවල් වල ඇඟේ හැප්පි හැප්පි පීනගෙන යන්නෙ......"

කඩේ එවුන්ටත් පට්ටම ආතල්. හිනා වෙවී බලාගෙන ඉන්නවා.

එක පාරටම මූ පුටුවෙන් නැගිටලා උස්සල පොළවෙ ගහනව වගේ ඇක්‍ෂන් එකක් දාල මෙහෙම කියපි.

"මහින්ද රාජපක්‍ෂ මහත්තයව මේම උස්සල පොළවෙ ගහන්නෙ"

මේ කියන්නෙ 2008 විතර​. වැඩේ චා වුනොත් කුඩු වෙන්න ගුටි කන්න වෙනව ෂුවර්. ඒ නිසා වහාම එතැනින් මාරු වෙන්න තීරණය කරා. මූ පල්ලෙහාට බහින්න බෑ කියනව​. ඌව කරේ තියාගෙන පහළට ගෙනාවෙ. ඌව එහෙම්මම එළියට අරගෙන ගිහින් පේමන්ට් එකේ වාඩි කරවල බිල ගෙවන්න අපි ඇතුළට ගියා.

බිල ගෙවල එද්දි මූ නැගිටල එතනම පාරෙන් එහා පැත්තෙ තියෙන ත්‍රීවිල් පාක් එකෙන් ගේම කෝල් කරනව​. බොහොම අමාරුවෙන් එතනින් ඌව ගලව ගෙන ඇදගෙන ආපහු ආව​.

පහුවදා අපි ඌට ඌ කෙලපු පිස්සුව කිව්ව​. ඌ කියන කියන හැම එකම ගානක් නැතුව හිනාවෙවී අහගෙන ඉන්නව​.

"තෝ මහින්ද රාජපක්‍ෂව උස්සල පොළේ ගහනව් කියලත් කිව්ව​"

එතකොට උගෙ ඇස් පොඩ්ඩක් උඩ ගියා.


"අඩේ මම එහෙමත් කිව්වද​? අඩේ මම මහින්ද මහත්තයට ආදරෙයි නෙ?"