Friday, November 1, 2019

බොන්සයි - 3 (බොන්සයි කලාවේ මූලික නීති රීති​)



බොන්සයි ගසක උස​


බොන්සයි ගසක ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ එහි ඇති කුඩා බව​.

බොන්සයි කලාවේදී ගස් වල ප්‍රමානය​ අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.

මේ විදිහට වර්ග කරද්දි සාමාන්‍යය රීතියක් විදිහට ගසේ උස සඳහන් කළත්, යම්කිසි ගසක් ප්‍රමානය අනුව වර්ග කිරීමේදී එකම සාධකය වෙන්නෙ උස නෙවෙයි. ඒ සඳහා ගසේ මහත​, අතු ප්‍රමානය​, සිටුවා ඇති බඳුනේ ප්‍රමානය​, ගසක් ඔසවා ගැනීමේ පහසුව වගේ කරුණු කීපයක්ම බලපානවා.

1. කුඩා ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 1 සහ 10 අතර​
2. මධ්‍ය ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 10 සහ 36 අතර​
3. විශාල ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 30 සහ 80 අතර​

මේ ප්‍රධාන කොටස් අනු කොටස් වලට බෙදෙනවා.

කුඩා ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. කෙෂිත්සුබො (පොපි ඇට ප්‍රමානය) - උස අඟල් 1 සහ 3 අතර​
2. ෂිතො (ඇඟිලි තුඩු ප්‍රමානය) - උස අඟල් 2 සහ 4 අතර​
3. මමෙ (අල්ලේ ප්‍රමානය​) - උස අඟල් 2 සහ 6 අතර​
4. ෂෝහින් - උස අඟල් 5 සහ 8 අතර​
5. කොමොනො - උස අඟල් 6 සහ 10 අතර​

මධ්‍යම ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. කදතෙ-මොචි - උස අඟල් 10 සහ 18 අතර​
2. චුමොනො - උස අඟල් 16 සහ 36 අතර​
3. චිචු - උස අඟල් 16 සහ 36 අතර​

විශාල ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. ඔමොනො - උස අඟල් 30 සහ 48 අතර​
2. දයි - උස අඟල් 30 සහ 48 අතර​
3. හචි-උයෙ - උස අඟල් 40 සහ 60 අතර​
4. ඉන්පෙරියරු (රාජකීය​) - උස අඟල් 60 සහ 80 අතර​


අපිට සාමාන්‍යයෙන් බොන්සයි කිව්වම හිතේ මැවෙන්නෙ මධ්‍යම ප්‍රමානයේ බොන්සයි ගස්. වඩාත්ම බහුල වෙන්නෙත් මධ්‍යම ප්‍රමානයේ බොන්සයි. ඒ වගේම බොන්සයි කලාවේ තාක්‍ෂනය කුඩා සහ විශාල ප්‍රමානයේ බොන්සයි වලට යොදද්දි තරමක් වෙනස් වෙනවා.

ඒ නිසා මේ ලිපියේ කතා කරන්නෙ මධ්‍යම ප්‍රමානයේ බොන්සයි ගැන​.


බොන්සයි ගසක පෙනුම​


බොන්සයි ගසකින් බලාපොරොත්තු වෙන්නෙ මූලික වශයෙන් කුඩා ගසකට විශාල ගසක පෙනුම ලබා දීම​.



බොන්සයි ගසක "ඉදිරිපසක්" තියෙනවා. ගස තියල තියන්න ඕනෙ ඉදිරිපස නරඹන්නාගේ පැත්තට තියෙන විදිහට​. ගසක් දිහා බලන කෝනයෙන් ගසක පෙනුම විශාල වශයෙන් වෙනස් වෙන නිසා තමාගේ ගසේ "ඉදිරිපස​" තෝරා ගැනීම ඉතාම වැදගත්. සමහරවිට බොන්සයි කලාවේ වැදගත්ම අංගය ඒක වෙන්න පුළුවන්. ගස හැඩ ගැන්වීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ ගසේ ඉදිරිපස තෝරාගැනීම මත​.

ගසේ කඳ ඉහලට යන විට ක්‍රමයෙන් සිහින් වෙන්න ඕනෙ.

ගසේ මුදුන නරඹන්නා දෙසට තරමක් නැවිල තියෙන්න ඕනෙ. හරියට ගස නරඹන්නාට හිස නවා ආචාර කරනවා වගේ.

ගසේ කඳ තුවාල වී නොතිබිය යුතු අතර​, පාසි ආදිය නොබැඳී පිරිසිදු තත්වයේ තියෙන්න ඕනෙ.

ගසේ අතු බෙදෙන්න පටන් ගන්න ඕනෙ ගසේ සම්පූර්න උසෙන් තුනෙන් එකක උසකදී. ඒ කියන්නෙ ගසේ උසෙන් පළවෙනි තුනෙන් එක කඳ පමනක විය යුතු අතර​, ඉතුරු තුනෙන් දෙක අතු සහිත විය යුතුයි.

ගසේ ඉහළට යනකොට අතු වල ප්‍රමානය (මහත සහ දිග​) ක්‍රමයෙන් අඩු වෙන්න ඕනෙ.

ගසේ "ඉදිරිපසින්" බලනකොට ප්‍රධාන අතු කඳ හරස් වෙන විදිහට තියෙන්න බෑ.

අතු බෙදෙනකොට නරඹන්නා දෙසට අතු බෙදෙන්න බෑ.

එකම උසකින් අතු දෙකක් බෙදෙන්න බෑ.

එකම තැනකින් අතු දෙකක් බෙදෙන්න බෑ.

හැකි සෑම විටම අතු බෙදෙන දිශාව වමට​, දකුණට සහ පිටුපසට අතර මාරු වෙන්න ඕනෙ. ඒ කියන්නෙ එක ළඟ අතු දෙකක් එකම පැත්තට බෙදෙන්න බෑ.

ගසේ මුල් පොළව තුලට යාමට පෙර පොඩි දිගක් නරඹන්නාට පේන විදිහට මතුවෙලා තියෙන්න ඕනෙ.

ගසේ මුල් පොළව තුලට යාමට පෙර හොඳින් විහිදිලා තියෙන්න ඕනෙ. ඒවා විහිදෙන වට ප්‍රමානය ගසේ කඳට වඩා පළල් වෙන්න ඕනෙ.

මුල් පේන්න තියෙන හරියෙදි එකිනෙකා පැටලිලා තියෙන්න බෑ.

ගසේ කොළ ගසට සාපේක්‍ෂව කුඩා වෙන්න ඕනෙ.

මියගිය​, වියළුනු සහ රෝගී වුනු කොළ තියෙන්න බෑ.

ගසේ ඉදිරිපසට වඩා පසුපස කොළ වැඩිපුර තියෙන්න ඕනෙ.

කොළ වල මකුළු දැල්, කෘමි සතුන් ගේ අපද්‍රව්‍යය, තැන්පතු ආදිය නැතුව පිරිසිදුව තියෙන්න ඕනෙ.

මල් සහ් ගෙඩි තියෙනව නම්, අඩු පාඩු නොමැති පරිපූර්ණ තත්වයේ තියෙන්න ඕනෙ.

එක බඳුනක ගස් කීපයක් තියෙන අවස්ථාවක​, ඒ සියළුම ගස් එකම වර්ගයේ ගස් විය යුතුයි.

(මේ සමහර නීති සමහර බොන්සයි රටාවන් වලදි බිඳ වැටෙනවා)


බඳුන


බොන්සයි ගසක් අනිවාර්‍යයෙන්ම හිටවන්නෙ බඳුනක​. මේ බඳුන ගසට සාපේක්‍ෂව කුඩා ප්‍රමානයේ එකක් විය යුතුයි.

බඳුන පැතලි විය යුතු අතර​, වටකුරු, ඕවලාකාර හෝ හතරැස් හැඩයෙන් තියෙන්න ඕනෙ.

බඳුන චාම් වෙන්න ඕනෙ. විවිධ වර්ණයන් හෝ විසිතුරු කැටයම් ආදිය තියෙන්න බෑ. බොහෝ විට බඳුන කළු හෝ දුඹුරු පැහැය ගන්නවා.

බඳුන පිරිසිදු වෙන්න ඕනෙ.
බොන්සයි ගස (හෝ ගස්) සහ කලාකරුවා විසින් තෝරාගත් පාසි හැරුණු විට වෙනත් කිසිම ශාඛයක් බඳුනේ තියෙන්න බෑ.

බොන්සයි පස​, කලාකරුවා විසින් තෝරාගත් සොබාවික පෙනුමැති ගල් කීපයක් හැරුණුවිට වෙනත් කිසිම දෙයක් බඳුනේ තියෙන්න බෑ.

බොන්සයි ගස බඳුන තුල ස්ථානගත කරන්නෙ බඳුනේ හරි මැදින් මදක් පසුපසට සහ පැත්තකට වෙන්න​. ගස ස්ථානගත කරද්දි බඳුන සමඟ ගසේ සමබරතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. උදාහරණයකට ගසේ කඳ වමට ඇල වෙනව නම්, ගස මදක් දකුණට වෙන්න ස්ථානගත කරන්න ඕනෙ.

බඳුන කිසිම විටෙක ගස අභිබවා නොයා යුතු අතර​, ගසේ පෙනුම සමඟ මුහු වෙමින් එහි පෙනුම වඩා ඉස්මතු කරන්න ඕනෙ.

Sunday, October 20, 2019

බොන්සයි - 2 (බොන්සයි රටාවන්)



බොන්සයි රටාවන් කියල හැඳින්වෙන්නෙ බොන්සයි ගස් වල හැඩය සහ වෙනත් ලක්‍ෂන අනුව කෙරෙන වර්ගීකරනයන්.

බොන්සයි රටාවන් තීරණය වෙන්නෙ ලක්‍ෂන කීපයක් මත​

1. කඳේ හැඩය​
2. කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය​
3. මුල් වල පිහිටීම​
4. කඳන් සංඛ්‍යාව​
5. ගස් සංඛ්‍යාව​
6. අතු වල හැඩය​

ඒ ඒ රටාවට අයත් ගසක තියෙන්න ඕනෙ ලක්‍ෂන බොන්සයි කලාව ඇතුලෙ මනාව අර්ථ දක්වලා තියෙනවා.

ඒත් ඒ හැම නීතියක්ම අකුරටම පිළිපදින්න අවශ්‍යය නෑ. දක්‍ෂ කලාකරුවා නීතිය රකින්න ඕනෙ තැන වගේම නීතිය බිඳින්න ඕනෙ තැන ගැනත් හොඳ අවබෝධයකින් යුක්තයි.

කඳේ හැඩය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


1. චොක්කන් (විධිමත් ඍජු කඳ​)



වඩාත්ම සරළ බොන්සයි රටාව මේකයි. මේ රටාවේදී ගසේ ශක්තිය සහ බලය පිළිබඳ හැඟීමක් ලබාදෙනවා.

මේ රටාවේදී බොන්සයි ගස පහළ සිට ඉහලට යද්දි ක්‍රමයෙන් සිහින් වන ඍජු කඳකින් යුක්තයි. ගස පොළවට සවිවන තැනට හරි කෙළින් ඉහළින් ගසේ අග්‍රය පිහිටන්න ඕනෙ.

ගසේ අතු කඳ දෙපසින් සමමිතිකව දෙපසට​ විහිදෙන්න ඕනෙ. අතු වල මහත සහ දිග කඳ දිගේ ඉහලට යද්දි ක්‍රමයෙන් අඩු වෙන ආකාරයෙන් පිහිටන්න ඕනෙ. අතුවල හැඩය නිසා ගසට ත්‍රිකෝණාකාර හැඩයක් ලැබෙනවා. අතු කඳට ලම්බකව හෝ මදක් පහළට ඇලව පිහිටනවා. කඳේ උසට සාපේක්‍ෂව අතු කෙටියි. එමඟින් ගසේ උස පෙනුම වැඩි කරනවා.

ගසේ මුල් කඳ වටා සමබරව විහිදෙන්න ඕනෙ.


2. මොයෝගි (අවිධිමත් ඍජු කඳ​)



වඩාත්ම සුලභ බොන්සයි රටාව මේකයි. මේ රටාවෙන් මතු කරන්නේ රිද්මයානුකූල බව​, සමබරතාවය සහ ලාලිතය්‍යයි.

මේ රටාවේදී ගසේ කඳ ඍජු නෑ. එය ඒ මේ අත නැවිල තියෙනවා. ඒත්, ගසේ අග්‍රය පිහිටන්නේ ගස පොළවට සවිවන තැනට හරි කෙලින් ඉහළින්. චොක්කන් රටාවේදී වගේම කඳ ඉහළට යද්දී ක්‍රමයෙන් සිහින් වන හැඩයෙන් යුක්තයි.

ගසේ අතු චොක්කන් රටාවේදී වගේම කඳ දෙපසින් පිහිටනවා. ඒත් කඳේ වක්‍ර හැඩය නිසා අතු පිහිටීමේ සමමිතික බව බිඳිලා තියෙන්න පුළුවන්. ගසේ අතු කඳට මදක් පහතට සිටින ඇලයකින් සම්බන්ධ වෙනවා. ඒ වගේම කඳේ වක්‍රවීමට අනුකූල වෙන විදිහට මද වශයෙන් වක්‍ර වෙලා තියෙන්න ඕනෙ. සමස්තයක් වශයෙන් අතු පිහිටන්නෙ ගසේ ත්‍රිකෝණාකාර හැඩයක් පවතින විදිහට​.

කඳේ වක්‍ර සොබාවය නිසා මුල් සමබරව විහිදෙන්නෙ නෑ. කඳේ පළමු වක්‍රයට විරුද්ධ පැත්තෙ මුල් වඩා සවිමත් විය යුතුයි. ඒ ගස හොඳින් රඳවා ගැනීමට​.


3. ෂකන් (ඇළ වූ කඳ​)



මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නේ හිම ධාවයක් හෝ නායා යාමක් නිසා ඇලවුනු හෝ හිරු එළිය දෙසට වැඩුනු ගහක්.

ෂකන් රටාවේ ගසක කඳ ඍජු හෝ මදක් වක්‍ර වෙනවා. ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ ගසේ අග්‍රය ගස පොළවට සවිවන තැනට හරි කෙළින් නොපිහිටීම​. මේ නිසා සම්පූර්න ගසම පැත්තකට ඇලවුනු සොබාවයක් ගන්නවා. කඳේ ඇලය සිරසේ සිට අංශක 45 කට අඩු වෙන්න ඕනෙ. ගස් කඳ පහළට සිට ඉහළට ක්‍රමයෙන් සිහින් වන හැඩයෙන් තියෙන්න ඕනෙ.

අතු චොක්කන් රටාවේ වගේම කෙටියි. ඒවා කඳ දෙපසින් සමමිතිකව පිහිටනවා. කඳ දිගේ ඉහළට යන විට අතු වල මහත සහ දිහ ක්‍රමයෙන් අඩු වෙන්න ඕනෙ. විශේෂ ලක්‍ෂනය වෙන්නේ අතු කඳට ලම්බකව පිහිටනවා වෙනුවට පොළවට සමාන්තරව පිහිටීම​. මේ නිසා ඇල වූ කඳෙන් එන අසමබර පෙනුම අඩු වෙනවා.

ගසේ මුල් පිහිටන්න ඕනෙ කඳ ඇලවෙන පැත්තට විරුද්ධ පැත්තේ මුල් වඩා ශක්තිමත් වෙන ආකාරයට​.


4. කෙංගයි (කඩා හැළුණු කඳ​)



මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නෙ කඳු මුහුනතක වැඩුනු, පහලින් ඇති ගඟක් හෝ විලක් දෙසට වැඩුනු ගසක්.

කෙංගයි රටාවේ ගසක කඳ මුලින් ඉහළට යොමු වෙන්න පටන් අරගෙන​, එක වරම පහළට හැරිලා වර්ධනය වෙලා තියෙනවා. ගසේ අග්‍රය, ගස සිටුවා ඇති බඳුනේ පහළ මට්ටමටත් පහළින් තියෙන්න ඕනෙ.

ගසේ ප්‍රධාන කඳ පහළට වර්ධනය වෙද්දි, පළමුවන​ කෙළින්ම ඉහළට වර්ධනය වෙලා තියෙන්න ඕනෙ. මේ අත්තේ අග්‍රය ගස පොළවට සවි වන තැනට හරි කෙළින් ඉහළින් පිහිටන්න ඕනෙ. එය කඳට සම්බන්ධ වෙන්නේ කඳ පහතට නැමෙන වක්‍රයේ මුදුනට හැකිතාක් කිට්ටුවෙන්. ඒ වගේම එය පහළට නැමුනු කඳේ වක්‍රයට විරුද්ධ පැත්තට මදක් වක්‍ර වෙලා තියෙන්න ඕනෙ.

කෙංගයි රටාවේ බොන්සයි ගස් සිටුවන බඳුන් වෙනත් රටාවන් වලදී යොදා ගන්න බඳුන් වලට වඩා ගැඹුරුයි.


5. හන්-කෙංගයි (අර්ධ කඩා හැළුණු කඳ​)



හන්-කෙංගයි රටාවේ ගසක පෙනුම කෙංගයි රටාවේ ගසකට බොහෝ දුරට සමානයි. ප්‍රධාන වෙනස වෙන්නේ හන්-කෙංගයි රටාවේ ගසක පහළට වැඩුනු අග්‍රය බඳුනේ පහළ මට්ටමට ඉහළින් පිහිටා තිබීම​.

හන්-කෙංගයි රටාවේ ගසක පහළට වැඩෙන කොටස එක්කෝ ප්‍රධාන කඳ වෙනවා, එහෙම නැත්නම් පළවෙනි අත්ත වෙනවා. අනෙකුත් නීති රීති කෙංගයි රටාවේ ගසකට සමානයි.

මේ රටාවේදීත් යොදා ගන්න බඳුන තරමක් ගැඹුරු එකක්.


6. තකන්-කෙංගයි (කඩා හැළුණු බහු-කඳ​)



තකන්-කෙංගයි රටාවේදී කඳන් හෝ අතු එකකට වැඩි ගණනක් පහළට වර්ධනය වෙලා තියෙනවා. මේ රටාව තරමක් දුර්ලභ රටාවක්.


කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


7. සබමිකි (බොල් කඳ​)



මේ රටාවේදී නිරූපනය කෙරෙන්නෙ අකුණු පහරකින් හෝ වෙනත් ක්‍රමයකින් හානි වුනු කඳක් සහිත ගසක්. මේ රටාවේ ගහක කඳ පැලී හෝ විශාල කුහරයක් සහිතව තියෙනවා.

සාමාන්‍යෙයෙන් කඳේ ඇති කුහරය හදන්නේ ගස නොමැරෙන විදිහට පරිස්සමෙන් කඳේ කුහරයක් හෑරීමෙන්. විශේෂ නියනක් මේ සඳහා යොදා ගන්නවා.


8. ෂරිමිකි (පාවෙන දැව කඳ​)




ෂරිමිකි රටාවේ බොන්සයි ගසක කඳ ගඟක හෝ මුහුදේ පාවෙන ලී කැබැල්ලක ස්වරූපය ගන්නවා. පොත්ත හැලී ගිය සහ සුදු පැහැ වුනු සිනිඳු මතුපිටක් සහිත කඳක් මේ රටාවේ ගසක දකින්න පුළුවන්. ෂරිමිකි රටාවේ බොන්සයි ගසකින් මහළු නමුත් ජීවිතයට එල්ලී සිටින හැඟීමක් ලබා දෙනවා.

විශේෂ උපක්‍රම යෙදීමෙන් (කඳ පිළිස්සීම සහ රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් වැනි) කඳට ෂරිමිකි පෙනුම ලබා දෙන්න පුළුවන්. නමුත් ෂරිමිකි බොන්සයි ගසක සජීවී අතු සහ මුල් සම්බන්ධ කරන සජීවී පොත්තක් අනිවාර්‍යයෙන්ම ඉතුරු කරන්න ඕනෙ. නැතිනම් පෝෂණය නොමැති වීමෙන් ගහ මිය යනවා.

ෂරිමිකි රටාවේ ගසක් නිර්මානය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක්.


මුල් වල පිහිටීම අනුව අර්ථ දැක්වෙන රටාවන්:


9. නෙඅගරි (පෑදුනු මුල්)



මේ රටාවේ බොන්සයි ගසක මුල් පොළවෙන් ඉහලට මතු වී පෑදී තියෙනවා. නෙඅගරි රටාවෙ ගසකින් නරඹන්නාට ලබා දෙන්නේ ඉතා මහළු පුරාණ හැඟීමක්.

නෙඅගරි රටාවේ ගසක පෑදුනු මුල් වල දිග උපරිම වශයෙන් ගසේ සම්පූර්න උසෙන් තුනෙන් දෙකක් වෙන්න ඕනෙ. බොහෝ නෙඅගරි රටාවේ ගස් වල මුල් ඊට වඩා කෙටියි. සමහර විට සම්පූර්න මුල් පද්ධතියම පෑදී තිබුනත්, සමහර ගස් වල මුල් එකක් හෝ දෙකක් පමණක් පෑදී තියෙන්නත් පුළුවන්.


10. සෙකිජොජු (ගල් මත මුල්)




සෙකිජොජු රටාවේ බොන්සයි ගසක මුල් ගලක් මතින් පොළවට සම්බන්ධ වෙනවා. මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නේ ගලක් මත වැඩුනු ගසක්.

සෙකිජොජු බොන්සයි ගසක කඳ තියෙන්නෙ ගලක් උඩ​. ගලේ මතුපිටෙන් දිවෙන මුල් පොළවට සම්බන්ධ වෙනවා. ගසේ කඳ සහ ගල අතර කිසිම ඉඩක් තියෙන්න බෑ.


11. ඉෂිසුකෙ (ගලක් මත වැඩුනු)



ඉෂිසුකෙ බොන්සයි ගසක් හැදිල තියෙන්නෙ ගලක ඇති පැලුමක​. සෙකිජොජු රටාවේ ගසක මුල් පොළවට සම්බන්ධ වුනත්, ඉෂිසුකෙ රටාවේදී මුල් සම්බන්ධ වෙන්නෙ ගලේ ඇති පැලුමට​. සමහර විට ඉෂිසුකෙ බොන්සායි ගසක් සඳහා වෙනම බඳුනක් යොදාගන්නෙ නෑ. බඳුන වෙන්නෙ ගල​.


කඳන් සංඛ්‍යාව මත අර්ථ දැක්වෙන රටාවන්:


12. සොකන් (කඳන් දෙක​)



මේ රටාවේ බොන්සයි ගසක එකම මුල් පද්ධතියකින් පැන නැගුනු කඳන් දෙකක් තියෙනවා.  අනිවාර්‍යයෙන්ම කඳන් දෙකෙන් එකක් අනෙකට වඩා පැහැදිලිවම උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ.

කඳන් දෙක එකිකෙන ගෑවන තරම් ළඟින් පිහිටන්න ඕනෙ. සමහර විට කඳන් දෙක බිම් මට්ටමේදී එකට සම්බන්ධ වෙලා පවා තියෙන්නෙ පුළුවන්. කඳන් දෙක සමාන ස්වරූපයක් ගන්න ඕනෙ. එකක් ඍජු කඳක් නම්, අනෙකත් ඍජු කඳක් වෙන්න ඕනෙ. එකක් වක්‍ර වෙලා නම් අනෙකත් වක්‍ර වෙන්න ඕනෙ. ඒ වගේම ඉදිරියෙන් බැලුවම කඳන් දෙකම පැහැදිලිව දර්ශනය වෙන්න ඕනෙ - එකකින් එකක් වැහෙන්න බෑ.

කඳන් දෙකේ අතු එකිනෙකා දෙසට විහිදෙන්න බෑ. ඒ වගේම කඳන් දෙකේ අතු එකිකෙනා සමඟ පැටෙලෙන්නත් බෑ.


13. සන්කන් (කඳන් තුන​)



සන්කන් රටාවේ බොන්සයි ගසක එකම මුල් පද්ධතියකින් පැන නගින කඳන් තුනක් තියෙනවා. කඳන් තුනෙන් එකක් අනෙක් දෙකට වඩා උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ. කඳන් තුන එක පේලියට සරල රේඛීයව තියෙන්න බෑ. ඒවා ස්ථානගත වෙන්න ඕනෙ අසමමිතිකව​.


14. ගෝකන් (කඳන් පහ​), නන්කන් (කඳන් හත​), ක්‍යූකන් (කඳන් නවය​)



ගෝකන්, නන්කන් සහ ක්‍යූකන් රටාවන් ගේ පිළිවෙනින් කඳන් පහක්, හතක් සහ නවයක් තියෙනවා. මේ රටාවන් හිදී ප්‍රධාන කඳට අමතරව​, අනෙක් කඳන් වලට වඩා මහතින් සහ උසින් වැඩි උප​-ප්‍රධාන කඳන් එකක්, දෙකක් හෝ තුනක් දකින්න පුළුවන්.


15. කබුදචි (කඳන් පොදිය​)



මේ රටාවේදී කඳන් එකකට වැඩි ගණනක් එකම තැනකින් පැන නගිනවා. කඳන් ගණන අනිවාර්‍යයෙන්ම ඔත්තේ ගණනක් විය යුතුයි.


16. කොරබුකි (ඉබි කටුව​)



කොරබුකි රටාවේදී කබුදචි රටාවේදී වගේම කඳන් ඔත්තේ ගණනක් එකම තැනකින් පැන නගිනවා. නමුත් කඳන් වල පොදු පාදම ඉබි කටුවක අර්ධ ගෝලාකාර  හැඩයක් ගන්නවා.


17. ඉකදබුකි (ඍජු පෙරළුනු කඳ​)



මේ රටාවේ බොන්සයි ගසකින් නිරූපනය කෙරෙන්නේ කඩා වැටුනු ගස් කඳකින් පැන නගින කුඩා ගස් සමූහයක්.

ඉකදබුකි රටාවේ බොන්සයි ගසක් තිරස්ව ස්ථාන ගත කළ ඍජු කඳකින් සහ ඉන් පැන නගින කුඩා සිරස් අතු රැසකින් සමන්විතයි.


18. නෙත්සුනගරි (වක් පෙරළුණු කඳ​)



නෙත්සුනගරි රටාවේ බොන්සයි ගසක් ඉකදබුකි රටාවේ ගසකට සමානයි - වෙනස වන්නේ නෙත්සුනගරි රටාවේ ගසක තිරස් කඳ වක්‍ර වී තිබීම​


ගස් සංඛ්‍යාව අනුව අර්ථ දැක්වෙන රටාවන්:


19. සෝජු (ගස් දෙක​)


මේ රටාව සොකන් රටාවට බොහෝ දුරට සමානයි - නමුත් සොකන් රටාවේ ඇති එකම මූල පද්ධතියකින් පැන නඟින කඳන් දෙකක් වෙනුවට ගස් දෙකක් තියෙනවා. ගස් දෙකෙන් එකක් අනෙකට වඩා උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ.

ගස් දෙක සමාන ස්වරූප ගන්න ඕනෙ. එකක් ඍජු කඳ නම්, අනෙකත් ඍජු කඳ වෙන්න ඕනෙ. එකක් වක්‍ර කඳ නම් අනෙකත් වක්‍ර කඳ වෙන්න ඕනෙ. ඒ වගේම ගස් දෙක අනිවාර්‍යෙයෙන්ම එකම වර්ගයේ ගස් දෙකක් වෙන්න ඕනෙ.

ගස් දෙකේ අතු එකිනෙකා දෙසට විහිදෙන්න බෑ. ඒ වගේම ගස් දෙකේ අතු එකිකෙනා සමඟ පැටෙලෙන්නත් බෑ.


20. සම්බොන්-යොසෙ (ගස් තුන​)



මේ රටාවේදී එකම වර්ගයට අයත් ගස් තුනක් තියෙනවා. එක ගසක් අනෙක් දෙකට වඩා උසින් සහ මහතින් වැඩියි.


21. ගොහොන්-යොසෙ (ගස් පහ​), නනහොන්-යොසෙ (ගස් හත​), ක්‍යුහොන්-යොසෙ (ගස් නවය​)




ගොහොන්, නනහොන් සහ ක්‍යූහොන් රටාවන් ගෙදි පිළිවෙලින් එකම වර්ගයේ ගස් පහක්, හතක් සහ නවයක් තියෙනවා. මේ රටාවන් හිදිත් ප්‍රධාන ගසක් සහ උප​-ප්‍රධාන ගස් දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්.


22. යොසෙ-උඑ (කැලය​)



මේ රටාවේදී ගස් විශාල ප්‍රමානයක් යොදා ගන්නවා. එක්කෝ ගස් ගණන ඔත්තේ ගණනක් වෙන්න ඕනෙ - නැතිනම් බැලූ බැල්මට ගණන් කරන්න බැරි තරම් වැඩි ගණනක් වෙන්න ඕනෙ.

එක ගසකට යන ඉඩ ප්‍රමානය අවම නිසා මේ රටාවේදී වැඩිපුර භාවිතා කෙරෙනෙ ඍජු කඳ සහිත ගස්.

ගස් සියල්ලම එකම වර්ගයට අයත් වෙන්න ඕනෙ.


අතුවල හැඩය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


23. බුන්ජින්ගි (වියත්)



මේ රටාවේදී ගසේ අතු ප්‍රමානය අවම කරල තියෙනවා. මේ රටාවේ ගසකින් රළු කර්කෂ හැඟීමක් ලබා දෙනවා. නමුත් ඒ කර්කෂ බවේ ලාලිත්‍යයක් තියෙන්න ඕනෙ.

බුන්ජින්ගි රටාවේ ගසක් සිහින් දිගු, ඒ මේ අත ඇඹරුනු කඳකින් යුක්තයි. කඳේ මුල 60% සිට 90% දක්වා ප්‍රදේශය අතු වලින් තොරයි. කඳේ අග්ගිස්සේ ඉතා කුඩා අතු කිහිපයක් පමණක් දකින්න පුළුවන්. අතු වල දිග කඳේ දිගට සාපේක්‍ෂව ඉතා අඩුයි. සමහර විට කඳේ මැද හරියෙන් මැරුණු අත්තක් තියෙනවා.

කඳේ වක්‍ර වීම් ඉතා තියුණුයි. එක්වරම අංශක 180 කින් හැරෙන කඳන් පවා දකින්න පුළුවන්. බඳුන ඉතා කුඩා නොගැඹුරු එකක්.


24. හොකිදචි (ඉදළ​)



මේ රටාවේ ගහක් උඩ හට හැරවූ ඉදළක ස්වරූපය ගන්නවා. මේ රටාවේ ගසකින් ශීත ඍතුව පිළිබඳ හැඟීමක් ලබා දෙනවා.

හොකිදචි බොන්සයි ගසක කඳ කෙටි ඍජු එකක්. ගසේ සම්පූර්න උසින් තුනෙන් එකක උසකදී අතු බෙදීම ආරම්භ වෙනවා. අතු සැම අතටම විහිදෙන්නේ අර්ධ ගෝලාකාර හැඩයක් ගසට ලබා දෙමින්. එන්න එන්නම සිහින් වන බෙදීම් ගණනාවක් අතු වල දකින්න පුළුවන්. සම්පූර්ණ ගසේ අතු විශාල ප්‍රමානයක් තියෙනවා.

බඳුන නොගැඹුරු එකක් වෙන්න ඕනෙ.


25. තකොසුකුරි (බූවල්ලා)



මේ රටාවේදී කෙටි කඳක් මත වැඩුනු දිගු අතු කීපයක් දකින්න පුළුවන්. අතු ඒ මේ අත ඇඹරුනු හැඩයෙන් යුක්තයි. මේ රටාව දුර්ලභ එකක්.


26. ෆුකිනගෂි (සුළඟට හසුවූ)



මේ රටාවේදී නිරූපනය කෙරෙන්නෙ සුළං පහරට හසු වූ ගසක්. දිශාව​, චලනය සහ ආතතිය පිළිබඳ හැඟීමක් මේ රටාවේ ගසකින් ලබා දෙනවා.

මේ රටාවේ ගහක කඳ සහ අතු එක පසකින් හමන තද සුළඟකට හසු වී ඇති ආකාරයට එක දිශාවකට හැරිල තියෙන්න ඕනෙ. ගසේ කොළ ප්‍රමානය අඩු කිරීමෙන් මේ චලනය පිළිබඳ හැඟීම ඇති කරන්න ලේසියි. මැරුණු අතු යොදාගැනීම මේ රටාවේදී බහුලව කෙරෙනවා.



බොන්සයි ගසක් රටාවන් කීපයක ලක්‍ෂන දක්වන්න පුළුවන්. උදාහරණයකට අතු වල හැඩයෙන් සුළඟට හසු වූ රටාවේ ගහක් මුල් වල හැඩයෙන් ගල් මත මුල් රටාවට අයත් වෙන්න පුළුවන්. සියළුම රටාවන් ගැන හොඳ අවබෝධයක් තිබීමෙන් තමාගේ ගසට වඩාත් සුදුසු හැඩය ලබා දීමට කලාකරුවාට පුළුවන් වෙනවා.

Saturday, October 19, 2019

බොන්සයි - 1 (ඉතිහාසය සහ මූලධර්ම​)



"බොන්සයි" කියන්නේ ජපානයේ ජනප්‍රිය කලාවක්. බොන්සයි කලාවේදී කරන්නේ කුඩා ප්‍රමානයේ ගහකට විශාල ගහක තියෙන ලක්‍ෂන ලබාදීම මගින් විශාල ගහක් කුඩා කරල තියෙනවා යන හැඟීම ඇති කරන එක​.

"බොන්සයි" කියන ජපන් වචනයේ තේරුම "නොගැඹුරු බඳුනක සිටුවන ලද​" කියන එක​. ඒ චචනයෙන් කියැවෙන විදිහටම බොන්සයි ගස් වවන්නේ නොගැඹුරු බඳුන් වල​.


බොන්සයි කලාවේ ඉතිහාසය​


ජපන් සංස්කෘතියේ බොහෝ දේවල් වගේ බොන්සයි කලාවේත් උපත චීනය​.

ක්‍රි.ව​. 8 වන සියවසේදී චීනයේ වංශවතුන් ගේ විනෝදාංශයක් වුනේ "පෙන්ජිං" කලාව​. එහිදී ඔවුන් කුඩා මැටි බඳුන් වල කුඩා ප්‍රමානයේ ශාක වගා කළා. මේ කාලයේදී ජපානය සහ චීනය අතර නිරන්තර සබඳතා පැවතුනු අතර​, චීන සංස්කෘතිය ජපානයට ගලා ආවා. පෙන්ජිං කලාවත් මේ වගේ ආපු එක අංගයක්.

චීන පෙන්ජිං ගහක්
මුල් වරට බොන්සයි ගස් ජපන් සිතුවම් වල නිරූපනය කෙරෙන්නේ 11 වැනි සියවසේ දී. නමුත් මේවා හැඳින්වුනේ "බොන්සයි" කියල නෙවෙයි, "හචි නො කි" කියලා. හචි නො කි කියන ජපන් යෙදුමේ තේරුම "කෝප්පයක හිටවපු ගහ​" කියන එක​. මේ සමයේදී හචි නො කි කලාව සඳහා බහුලව භාවිතා වුනේ බත් කෑමට පාවිච්චි කරන කෝප්ප වල හැඩය ගත් බඳුන්.

කුරු ගස් කලාව බොන්සයි කියලා හඳුන්වන්න පටන් ගත්තේ 18 වන සියවසේ තරම් ඉඳලා. මේ වෙනකොට ජපන් බොන්සයි කලාව චීන පෙන්ජිං කලාවෙන් සෑහෙන තරම් වෙනස් වෙලා ජපන් මුහුණුවරක් අරගෙන​. ප්‍රධානම වෙනස වුනේ කෝප්ප හැඩය ගත් බඳුන් වෙනුවට පැතල නොගැඹුරු තැටි හැඩයේ බඳුන් භාවිතා කිරීම​. ඊට අමතරව ජපන් බොන්සයි කලාකරුවන් චීන සම්ප්‍රදායෙන් බැහැර වෙලා තමාගේ ගස් වලට වඩාත් සොබාවිකත්වයට නැඹුරු පෙනුමක් දෙන්න උත්සහ කළා. ඒ වගේම විසිතුරු ලෙස සැකසූ චීන බඳුන් වලට වඩා චාම් බඳුන් භාවිතා කරන්න පෙළඹුනා.

ජපන් බොන්සයි කලාව බොහෝ දුරට වර්ධනය වුනේ බෞද්ධ භික්‍ෂූන් අතින් වීම මේකට හේතුවක් වෙන්න පුළුවන්.

18 වෙනි සියවසේ අවසානය වෙද්දි බොන්සයි කලාව සාමාන්‍යය ජනතාව අතර ව්‍යාප්ත වෙලා අවසන්. 1780 දී පමණ කියෝතෝ නගරයේ වාර්‍ෂික බොන්සයි ප්‍රදර්ශනයක් පවා පැවැත්වෙන්න පටන් ගත්තා. ජපානයේ සෑම ප්‍රදේශයකින්ම බොන්සයි ගස් මේ සඳහා ඉදිරිපත් කෙරුනා.

බොන්සයි කලාවේ තාක්‍ෂනය අද පවතින තත්වයට සමාන ස්වරූපයකට පත් වුනේ 20 වැනි සියවසේ මුලභාගයේදී. කම්බි භාවිතයෙන් අතු හැඩගැන්වීම සහ අද භාවිතා කරන ආයුධ වලට සමාන ආයුධ භාවිතය පටන් ගත්තේ ඒ කාලයේදී.


බොන්සයි කලාවේ මූලධර්ම​




බොන්සයි කලාව ආවට ගියාට කරන්න බෑ. එහිදී අනුගමනය කරන්න ඕන මූලධර්ම කීපයක් තියෙනවා.

බොන්සයි මූලධර්ම මූලික වශයෙන් පදනම් වෙන්නේ බොහෝ ජපන් කලාවන් ගේ මූලය වන "වබි" සහ "සබි" සංකල්ප මත​.

වබි කියන්නෙ යම්කිසි දෙයක ඇති චාම් බව සහ දෝෂ සහගත බව​. පරිපූර්න නොවන බව​. බොන්සායි කලාවේදී මෙය බොන්සයි ගසක අසමමිතික බව වගේ දෙයකින් නිරූපනය කෙරෙනවා.

සබි කියන්නෙ කාලයත් එක්ක යම් කිසි දෙයක ඇති වන ගරා වැටීම. ජරා ජීර්ණ වීම​. බොන්සයි කලාවේදී මෙය ඉරි තැළුණු ගස් කඳක්, දිරා ගිය අත්තක් වගේ දෙයකින් නිරූපනය වෙනවා.

(වබි සහ සබි ගැන වැඩි දුරට මෙතැනින්)

බොන්සයි කලාවේ ප්‍රධානම මූලධර්ම කීපයක් මේ විදිහට දක්වන්න පුළුවන්


1. කුරු කිරීම​


බොන්සයි කලාවේ මූලිකම දෙය මේක​. බොන්සයි ගහක් ප්‍රමානයෙන් කුඩා වෙන්න ඕන​. නමුත් අනෙකුත් සියළු ලක්‍ෂන වලින් වැඩුනු ගසක පෙනුම තියෙන්න ඕනෙ.


2. කලාකරුවා ගේ අදෘෂ්‍යමාන බව​


ඊළඟට වැදගත්ම මූලධර්මය තමයි කලා කරුවාගේ අදෘෂ්‍යමාන බව​. කිසිම අවස්ථාවක කලා කරුවා විසින් ගසට කරන ලද "සැත්කම්" පේන්න බෑ. හැම විටම ඒවා සොබාවික පෙනුමක් ලබා දෙමින් නරඹන්නාගෙන් වසන් කළ යුතුයි. උදාහරණයකට කපා දමන ලද අත්තක මුල සකසන්නේ අත්ත දිරා ගිහින් කඩා වැටුනු පෙනුමක් එන විදිහට​.


3. දෘෂ්‍ය සබරතාවය​


ගසේ කඳ​, අතු සහ කොළ තනි තනිව ගත් විටත්, සමස්තයක් විදිහට ගත් විටත්, එකිනෙකා සමඟත් මනා දෘෂ්‍ය සමබරතාවයකින් යුක්ත වෙන්න ඕන​. මේ දෘෂ්‍ය සමබරතාවය ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් බොන්සයි කලාකරුවන් විසින් නිර්මානය කරල තියෙනවා.


4. අංගයන් අතර අනුපාතය​


බොන්සයි ගසක අංග​, ඒ කියන්නෙ කඳ, අතු සහ කොළ, අතර මනා අනුපාතයක් තියෙන්න ඕනෙ. ගසක් වැඩුනු ගසක් යන හැඟීම ලබා දෙන්න මේ අනුපාතයක් ඉතාම වැදගත් වෙනවා. මේ අනුපාතයන් පවත්වාගත නොහැකි ගස් වර්ග බොන්සයි සඳහා යොදා ගන්නෙ නෑ. උදාහරණයකට කඳේ ප්‍රමානයට සාපේක්‍ෂව විශාල කොල ඇති ගස් බොන්සයි කලාවට යොදා ගන්නෙ නෑ.


5. අසමමිතික බව​


බොන්සයි ගසක් සමමිතිකව නිර්මානය කරන්නෙ නෑ. යම් කිසි අසමමිතික බවක් කලාකරුවා විසින් ඊට ලබා දිය යුතුයි. ඒ මඟින් බලාපොරොත්තු වෙන්නෙ ගසක සොබාවික පෙනුම ඇති කිරීම​.


6. නීති වල නම්‍යශීලී බව​


අවසාන වශයෙන් මේ සියළුම නීති රීති නම්‍යශීලී බව කලාකරුවා වටහා ගත යුතුයි. බොන්සයි කලාවේ මූලික හරයට හානි නොවන පරිද්දෙන් නීති රීති වෙනස් කිරීමට කලාකරුවාට නිදහස තියෙනවා. මේ වෙනස් කිරීම් කොයිතරම් සාර්ථකද කියන එක රඳා පවතින්නෙ කලාකරුවාගේ දක්‍ෂතාවය මත​.


අවසාන වශයෙන්, බොන්සයි කලාව සෙන් භික්‍ෂූන් විසින් වර්ධනය කරනු ලැබුවේ කලාවක් වගේම සෙන් භාවනා ක්‍රමයක් විදිහට​. ඒ නිසා භාවනාව කියන දෙය මේ සියල්ලට යටින් සියල්ල එක් කරන හුයක් වගේ පවතින්න ඕනෙ.

Monday, July 15, 2019

බුදු දහමේ විකාශය 1 - දෙවන ධර්ම සංගායනාව සහ මුල්ම නිකාය භේදය​



පසුබිම


දෙවන ධර්ම සංගායනාව ඇති වෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසුව​. ඒ කියන්නෙ ක්‍රි.පූ. 380 දී පමණ​.

මේ කාලයේදී බුදු දහම උතුරු ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත වෙලා තිබුනේ නෑ.

දෙවන ධර්ම සංගායනාව ගැන තියෙන තොරතුරු අසම්පූර්ණයි වගේම විවිධ මූලාශ්‍රයන් එකිනෙකට පරස්පර කරුණු ඉදිරිපත් කරනවා. දෙවන ධර්ම සංගායනාව ගැන අපිට අද ප්‍රධාන මූලාශ්‍ර හතරක් තියෙනවා.

1. දීපවංශය (ක්‍රි.ව​. 3 වන සියවසසේ ලියැවුනු ථෙරවාදී ධර්ම​-ඉතිහාස ලියැවිල්ලක්)
2. වසුමිත්‍ර (ක්‍රි.පූ. 1 වන සියවසේ විසූ සර්වාස්තිවාදී භික්‍ෂුවක්)
3. විනිතදේව (ක්‍රි.ව​. 7 වන සියවසේ විසූ මූලසර්වාස්තිවාදී භික්‍ෂුවක්)
4. සාරිපුත්‍රපරිප්‍රච්ච (ක්‍රි.පූ. 2 වන සියවසේ ලියැවුනු මහාසාංඝික ධර්ම​-ඉතිහාස ලියැවිල්ලක්)

මීට අමතරව චීන බසින් ලියැවුනු මහායාන ධර්ම​-ඉතිහාස ලියැවිලි සහ තවත් පැරණි ලියැවිලි ගණනාවක මේ ගැන සඳහන් වෙනවා.

මේ ලිපියේ දක්වලා තියෙන්නේ මේ සියළු මූලාශ්‍ර වල එන කරුණු සලකා බලා නිර්මානය කරණ ලද සිදුවුනා යැයි සිතිය හැකි කථාවක්.


දෙවන ධර්ම සංගායනාව​


බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසු (ක්‍රි.පූ. 380 පමණ​) කාලයේදී වජ්ජි රටේ වෛශාලි නගරයට එවකට භාරතයේ සිටි ප්‍රමුඛ භික්‍ෂුවක් වුනු "යස කාකණ්ඩකපුත්ත​" වැඩම කරනවා. එහිදී උන්වහන්සේට දකින්න ලැබෙන්නේ වෛශාලි නගරයේ භික්‍ෂූන් ප්‍රශ්නකාරී සම්ප්‍රදායන් අනුගමනය කරන බව​. මේ ගැන ප්‍රශ්න කිරීම නිසා උන්වහන්සේව සහ වෛශාලි භික්‍ෂූන් අතර මත ගැටුමක් ඇති වෙනවා.

යස කාකණ්ඩපුත්ත හිමියන් මේ මතභේදය නිරාකරණය කරගැනිම සඳහා එවකට භාරතයේ විසූ ප්‍රමුඛ ධර්ම​-විනය ධර භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කරනවා. මේ අතරින් අහොගංගා පව්වේ "සම්භූත සානවාසී" හිමියන් සහ සන්කස්ස පුර "රේවත" හිමියන් ප්‍රධානයි. මීට අමතරව අවන්ති රට සහ පාවා නුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක​ භික්‍ෂූන් වහන්සේලා මීට සම්බන්ධ වෙනවා.

භාරතයේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා 800 ක් වෛශාලි නගරයට වැඩම කරන්නේ ධර්ම සංගායනාවක් පවත්වලා ප්‍රශ්නය නිරාකරනය කර ගන්න​.



සංගායනාවේදී වෛශාලි නුවර භික්‍ෂූන් ගේ "ප්‍රශ්නකාරී" පිළිවෙත් විදිහට පිළිවෙත් 10 ක් ඉදිරිපත් කෙරෙනවා.

1. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා හරක් අඟක ලුණු බහා තැබීම​
2. ඉර හැරුණු පසු ආහාර ගැනීම​
3. වරක් ආහාර වළඳා ඉතිරි වූ ආහාර නැවත පසුව වැළඳීම​
4. විහාරයක් තුළ වෙන් වෙන්ව උපෝසතා කර්ම කිරීම​
5. සංඝයා සම්පූර්නයෙන්ම එක් රැස් වීමට පෙර විනය කර්මයක් කර, පසුව ඒ සඳහා කැමැත්ත ගැනීම​
6. තම ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් එළෙසම පවත්වාගෙන යාම​
7. දහවල් දානය වැළඳූ පසු නොමේරු කිරි වැළඳීම​
8. රා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම​
9. වාටි නොමැසූ නිසිදනයක් හිඳ ගැනීම සඳහා පාවිච්චි කිරීම​
10. රන් සහ රිදී දානය ලෙස පිළිගෙන පරිහරනය කිරීම​

මේ පිළිවෙත් ගැන තීරණයක් ගැනීමට භික්‍ෂූන් වහන්සේලා අට නමක් තෝරා ගන්නවා. එහෙම තෝරා ගන්නේ බටහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් සහ නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් විදිහට​.

මෙහිදී තෝරාගන්නා ලද භික්‍ෂූන් වහන්සේලා වුනේ,

බටහිර ප්‍රදේශ නියෝජනය කරමින් - සබ්බකාමී, සාල්හ​, බුජ්ජසෝභිත​, වසභගාමික​
නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරමින් - රේවත​, සම්භූත වනවාසී, යස කාකණ්ඩපුත්‍ර​, සුමන​

අජිත නම් හිමිනමක් විසින් එක එක පිළිවෙත මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර උන්වහන්සේලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන්නේ හය​වැනි පිළිවෙත හැර අනෙකුත් සියළු පිළිවෙත් විනය විරෝධී බවත්, ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් කැපනම්, ඒවා පිළිපැදීම විනය විරෝධී නොවන බවත්, ඒවා අකැප නම් ඒවා පිළිපැදීම විනය විරෝධී බවත්.

මේ තීරණයට පසුව රේවත හිමියන් විසින් ධර්ම - විනය කරුණු වල අපැහැදිලිතාවයන් මගහැරීම සඳහා එක් රැස් ව සිටි භික්‍ෂූන් වහන්සේලා ගේ සහභාගීත්වයෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට යෝජනා කරන අතර​, එය අද දෙවන ධර්ම සංගායනාව නමින් හැඳින්වෙනවා.

නමුත් සංඝ සභාවේ තීරණයට එකඟ නොවන භික්‍ෂූන් පිරිසක් එම සංගායනාවට සහභාගී නොවී එතැන් සිට වෙනම නිකායක් වශයෙන් කටයුතු කිරීමට පටන් ගන්නවා. මෙය තමයි බුදු දහමේ ප්‍රථම නිකාය භේදය.

සංඝ සභාවේ තීරණය පිළිගත් පිරිස "ස්ථවිරවාදීන්" ලෙස හැඳින්වුනු අතර​, එය පිළිනොගත් පිරිස "මහාසාංඝික" ලෙස හැඳින්වුනා.


මතභේදය​


මේ තීරණය ගැන විවිධ මූලාශ්‍ර පරස්පර විරෝධී මතයන් ඉදිරිපත් කරනවා. ස්ථවිරවාදී මූලාශ්‍රයන්ට (දීපවංශය වැනි) අනුව රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එතෙක් පැවතුනු විනය නීති වලට අනුකූලව තීරණය ලබා දුන්නා. නමුත් මහාසාංඝික​ මූලාශ්‍රයන්ට (සාරිපුත්‍රපරිප්‍රච්ච වැනි) අනුව වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි වුනේ නෑ. සංඝ සභාව විසින් එම පිළිවෙත් අකැප ලෙස තීරණය කිරීමෙන් පසුව නව විනය නීති හඳුන්වා දුන්නා.

මෙහිදී කැපී පෙනෙන කරුණ වන්නේ නිකායන් දෙකම තමන් නියම මුල් බුදු දහමේ ආරක්‍ෂකයා ලෙසින් පෙනී සිටීම​.

මෙහිදී සිදුවුනා යැයි සිතිය හැක්කේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි නොවුනු බව (බුදුන් වහන්සේ විනය නීති පනවා ඇත්තේ ඒ සඳහා අවශ්‍යතාවයක් පැන නැගුනු අවස්ථාවන් හිදී).

නමුත් රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එම පිළිවෙත් බුදුදහමේ හරයට එකඟ නොවන බවට තීරණය කොට ඒවා අකැප ලෙස නම් කර පසුව නව විනය නීති හඳුන්වාදුන් බව හිතන්න පුළුවන්.

මෙතැනදී මහාසාංඝික ලෙස වෙන් වුනු පිරිස එසේ කරන්නට ඇත්තේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් අනුමත කිරීම නිසා නොව​, බුදුන් වහන්සේ විසින් පැනවූ විනය නීති වලට පසුව විනය නීති එක් කිරීමට එකඟ නොවූ නිසා බවත් හිතන්න පුළුවන්.

අවස්ථානුචිත ලෙස විනය නීති වෙනස් නොකර, විනය නීති දෘඩ, නොවෙනස් දෙයක් ලෙස සැලකීමෙන් "නීති මගහැර යා හැකි හිල්" නිර්මාණය කරගත හැකි නිසා එයින් විනය පිරිහී යා හැකි බව ස්ථවිරවාදීන් සිතූ බව හිතන්න පුළුවන්. නමුත් මහාසාංඝික නිකාය සිතන්නට ඇත්තේ වරින් වර​ විනය නීති වෙනස් කිරීමෙන් ඊට වඩා හානියක් සිදුවිය හැකි බව​.


මහාසාංඝික ධර්ම සංගායනාව​


විනය නීති පිළිබඳ මතභේදයක් විදිහට පටන් ගන්න මේ නිකාය බෙදීම කෙටි කළකින්ම මූලධාර්මික වෙනසක් බවට පරිවර්තනය වෙනවා.

මහාසාංඝික නිකාය විසින් සංඝ සභාව විසින් දුන් තීරණයට එකඟ නොවුනත් මෙහිදී ඔවුන්ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න සිදු වෙනවා.

සංඝ සභාවේ තීරණය සහ ඉන්පසුව පැවැත්වුනු දෙවන ධර්ම සංගායනාව ඔවුන් ප්‍රතික්‍ෂේප කළත්, ඒවා සඳහා සහභාගී වුනු රේවත​, සම්භූත වනවාසී ඇතුළු ජේෂ්ඨ භික්‍ෂූන් රහතුන් වහන්සේලා. ඒ නිසා රහතුන් වහන්සේලාගේ තීරණය ප්‍රතික්‍ෂේප කිරීමත් එක්කම රහතුන් වහන්සේලා යනු සියළු කෙළෙස් දුරු කළ​, අවිද්‍යාවෙන් මිදුනු වැරදි නොකරන උතුමන් යන අදහසත් ඔවුන් විසින් නිතැතින්ම ප්‍රතික්‍ෂේප කෙරෙනවා.

රහතන් වහන්සේලා මුළුමනින්ම කෙලෙස් දුරු කළ පිරිසක් යන්නට පටහැණි අදහස් මහාසාංඝික නිකාය තුලින් බිහි වෙන්නේ මේ පරස්පරය පැහැදිලි කර ගැනීමට​. මේ අදහස් වල කූඨප්‍රාප්තිය වෙන්නේ මහාසාංඝික ධර්ම සංගායනාව​.

දෙවන ධර්ම සංගායනාවෙන් වසර 30-50 පමණ කාලයකට පසු පාඨලීපුත්‍ර නුවරට එක් රැස් වන මහාසාංඝික නිකායේ භික්‍ෂූන් වහන්සේලා 10,000 ක පමණ විශාල පිරිසක්ගෙන් සමන්විත වුනු සංඝ සභාවක් ධර්ම සංගායනාවක් පවත්වනවා.

මෙහිදී මහාදේව නම් භික්‍ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලා පිළිබඳ ප්‍රවාද පහක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රවාදයන් සංගායනාවේදී පිළි ගන්නා අතර, එම අදහස් මහාසාංඝික නිකායේ මතවාදයක් ලෙස ස්ථාපනය කෙරෙනවා.

මේ ප්‍රවාදයන් පහ වෙන්නේ,

1. රහතුන් වහන්සේලා හට තෘෂ්ණාව පහළවිය හැක​
2. රහතුන් වහන්සේලා තුළ ඉතා සුළු වශයෙන් ක්ලේෂ පිහිටා තිබිය හැක​
3. රහතුන් වහන්සේලාට විචිකිච්ඡාව (සැකය​) පහළ විය හැක​
4. රහතුන් වහන්සේලා අනෙක් පුද්ගලයන් ගේ උදව් ඇතිව දැණුම ලබා ගනී
5. "අහෝ!" යනාදී හඬනගා කරන ප්‍රකාශයන් ධර්මාවබෝධයට උපකාරී වේ

මීළඟට ඇති වන ගැටළුව වන්නේ රහතන් වහන්සේලා තුළ කෙළෙසුන් පැවතිය හැකි නම්, නිර්වානය ලබා ගත හැක්කේ කෙසේද යන්න​. මෙහිදී බෝධිසත්ව සංකල්පය ඉස්මතු වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලා අතර වෙනස ඉස්මතු කිරීම සඳහා බුදුන් වහන්සේට අති-මානුෂීය ගුණාංග ආරෝපණය කිරීමත් ඇති වෙනවා.

මේ සංකල්ප මහායාන බුදුදහමේ සංකල්ප වල මුල් බීජ විදිහට සලකන්න පුළුවන්. නමුත්, මහායාන බුදුදහම සහ මහාසාංඝික නිකාය අතර ඍජු සබඳතාවයක් ඇති බව මෙයින් කියැවෙන්නේ නෑ.

Thursday, May 23, 2019

මුස්ලිම් සංස්කෘතියේ එන පදවි නාම​



කලීෆා (ඉංග්‍රීසි - කේලිෆ්)


කලීෆා කියන අරාබි වචනයේ තේරුම "අනුප්‍රාප්තිකයා". මුහම්මද් තුමා විසින් ගොඩ නංවපු ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වයට එතුමාගෙන් පසුව පත් වුනු අනුප්‍රාප්තිකයන්ව හැඳින්වුනේ මේ නමින්. කලීෆා වරයා සියළුම මුස්ලිම් වරුන් ගේ නායකයා බවට පොදු එකඟතාවයක් තියෙනවා.


ඉමාම්


ෂියා ඉස්ලාමයේ ඉමාම් කියල හඳුන්වන්නේ මුස්ලිම් ප්‍රජාවේ නායකයා. ඔහු අනිවාර්‍යයෙන්ම මුහම්මද් තුමාගේ දියණිය වන ෆාතිමා ගේ පරම්පරාවෙන් පැවත එන අයෙක් විය යුතුයි. පළමු ඉමාම් වරයා වුනේ ෆාතිමා ගේ සැමියා වුනු අලී. අලීගෙන් පසුව ඉමාම් වෙන්නේ ඔහුගේ සහ ෆාතිමා ගේ පුත් හසන්. ඉන් පසුව ඔවුන් ගේ පුතුන් ඉමාම් වරු විදිහට පත් වෙනවා. කලීෆා වරයා හුදෙක් රාජ්‍යය පාලකයෙක් පමණක් වුනාට​, ඉමාම් වරයා අධ්‍යාත්මික නායකයෙකුත් වෙනවා. ෂියා ඉස්ලාමයට අනුව ඉමාම් වරු දෙවියන් විසින් තෝරා ගන්නා අතර, ඔවුන්ට කුරානය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවා.

සුන්නි ඉස්ලාමයේ ඉමාම් කියල හඳුන්වන්නේ දේව නමැදුමක් මෙහෙයවන පුද්ගලයා. එය ඕනෑම පිරිසක් විසින් කරන නමැඳුමක් මෙහෙයවන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතැන සිටින පිරිස අතරින් වඩාත්ම ආගමික අවබෝධය සහිත කෙනා තමයි නමැඳුම මෙහෙයවන්න තෝරා ගැනෙන්නේ. ඊට අමතරව සුන්නි ඉස්ලාමයේ ආගමික විද්වතුන් හඳුන්වන ගෞරව නාමයක් විදිහටත් ඉමාම් යොදා ගැනෙනවා.


එමීර් / අමීර් - (ගැහැණු - එමීරා)


එමීර් කියන අරාබි වචනයේ තේරුම "අණදෙන්නා", "සෙන්පතියා" නැතිනම් "කුමාරයා". එමීර් කියල හැඳින්වුනේ මුස්ලිම් හමුදාවක ප්‍රධානියෙක්. පසු කාලීනව කුඩා ස්වාධීන රාජ්‍යය වල පාලකයන් තමාව හඳුන්වා ගැනීමට එමීර් කියල යොදාගත්තා.


සුල්තාන් (ගැහැණු - සුල්තානා)


සුල්තාන් කියන අරාබි වචනයේ තේරුම "බලධාරියා". කලීෆා කෙනෙකුගේ රාජ්‍යත්වය නාමිකව පිළිගන්නා ස්වාධීන මුස්ලිම් රාජ්‍යයක නායකයෙක් හඳුන්වන්න තමයි සුල්තාන් කියන පදවිය භාවිතා වෙන්නේ. උදාහරණයකට අබ්බාසි කලීෆා වරුන් බැග්ඩෑඩයේ ඉඳල ඉස්ලාමීය රාජ්‍යය පාලනය කරද්දී එහි බටහිර කොටස් වල හිටපු තුර්කි ජාතික පාලකයන් නාමිකව කලීෆා ගේ රාජ්‍යත්වය පිළිගත්තත් ඇත්තෙන්ම ඔවුන් කටයුතු කළේ ස්වාධීනව​. මේ පාලකයන් තමාව හඳුන්වා ගත්තේ සුල්තාන් කියලා.


මලික් (ගැහැණු - මලිකා)


මලික් කියන අරාබි වචනයේ තේරුම "රජු". මුස්ලිම් රටක පාලකයා හැඳින්වුනේ මලික් කියලා. මලික් ගේ සහ සුල්තාන් ගේ වෙනස සුල්තාන් නාමිකව කලීෆා කෙනෙක් යටතේ සිටීමත්, මලික් එසේ නොවීමත්. බොහෝ විට කලීෆා වරයෙක් නොමැති සමයන් ගේ මුස්ලිම් රටවල පාලකයන් තමාව හඳුන්වා ගත්තේ මලික් කියලා. උදාහරණයකට වර්තමාන සවුදි අරාබියේ පාලකයා ගේ නිල නාමය වෙන්නේ මලික්.


උලෙමා / උලමා (ගැහැණු - අලිමා)


උලෙමා කියන අරාබි වචනයේ තේරුම "උගතා" නැතිනම් "විද්වතා". ඉස්ලාමය ගැන ගැඹුරින් හදාරපු ඒ ගැන පුළුල් අවබෝධයක් ඇති විද්වතෙකුට දෙන ගෞරව නාමයක් තමයි උලෙමා.


අයතොල්ලා


අයතොල්ලා කියන අරාබි වචනයේ තේරුම "දෙවියන් ගේ සලකුණ​". ඉමාමි ෂියා නිකායේ ඉහළම විද්වතුන් හඳුන්වන නාමය අයතොල්ලා. අයතොල්ලා වරුන්ට නීති සම්පාදයන කිරීමට සහ සාමූහිකව කුරානය අර්ථ දැක්වීමට ඉඩ තියෙනවා.



මවුලාවි / මවුලානා


මවුලාවි කියන අරාබි වචනයේ තේරුම "උතුමාණන්". මවුලාවි කියන ගෞරව නාමය දෙන්නේ ඉස්ලාමය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් සහිත විශිෂ්ඨ ආගමික විද්වතෙකුට​.


මුල්ලා


මුල්ලා කියන අරාබි වචනයේ තේරුම "ප්‍රධානියා". ඉස්ලාමය ගන යම්කිසි හැදැරීමක් කළ ආගමික දැනුමක් සහිත අයෙකුට දෙන ගෞරව නාමයක්. බොහෝ විට මුල්ලා යනුවෙන් හඳුන්වන්නේ පල්ලියක ප්‍රධානියෙක්.


ෂෙයික් (ගැහැණු - ෂෙයිකා)


ෂෙයික් වරයෙක් කියන්නේ අරාබි ගෝත්‍රයක නායකයෙක්. මේ පදවිය සහ ඉස්ලාමය අතර සම්බන්ධයක් නෑ. නමුත් සමහර විට ජේෂ්ඨ උලෙමා වරයෙක්ට වැඩි ගෞරවයක් ලබා දෙන්න ෂෙයික් කියල යොදා ගන්නවා.


හජි / අල් හජ්


මක්කා නගරයට හජ් වන්දනාවක නිරත වූ මුස්ලිම් වරයෙක්ට දෙන ගෞරව නමයක්.


පිර් (ගැහැණු - පිරනි)


පිර් කියන පර්සියන් වචනයේ තේරුම "වැඩිහිටියා". පිර් කියල හඳුන්වන්නේ සූෆි ඉස්ලාමයේ ආගමික ගුරුවරයෙක්. ඔහුගේ කාර්‍යභාරය වෙන්නේ ශිෂ්‍යයන්ට මග පෙන්වීම​.

Saturday, May 4, 2019

ඉස්ලාමයේ බෙදීම්



ඉස්ලාම් ආගම ලෝකයේ බිහි වෙන්නෙ ක්‍රි.ව​. 610 දී මෙකා නගරයේ දී. අද වෙනකොට ඉස්ලාමය ලෝකය පුරාම ව්‍යාප්ත වුනු බිලියන 1.8 ක (ලෝක ජනගහණයෙන් 24% ක්) බැතිමතුන් පිරිසක් ඉන්න ආගමක්.

මුහම්මද් තුමා බලාපොරොත්තු වුනේ ඉස්ලාමය අදහන සියළුම දෙනා එකම පිරිසක්, එකම ප්‍රජාවක් විදිහට පවතියි කියල​. ඔහු ඒ ඉස්ලාමීය ප්‍රජාව "උම්මා" කියල හැඳින්වුවා. ඊට අමතරව ඉස්ලාමය තුල බෙදීම් ඇති කරග ගැනීම කුරානයේ තහනම් කරල තියෙනවා.

නමුත් අද ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අතර විවිධ බෙදීම් තියෙනවා. මේ බෙදීම් වල පදනම විදිහට ආගමික මූලධර්ම​, දේශපාලන හේතු, නීති සම්ප්‍රදායන්, විවිධ සිරිත් විරිත් හේතු වෙලා තියෙනවා.




ආගමික නිකායන්


අද ලෝකයේ ප්‍රධාන ඉස්ලාම් නිකායන් තුනක් තියෙනවා

1. සුන්නි
2. ෂියා
3. කවාරිජ්

මේ නිකාය බෙදීම ඇතිවෙන්නේ ආගමික මූලධර්ම මත ගැටුමකට වඩා දේශපාලන ගැටුමක් විදිහට​.

මුහම්මද් තුමාගේ ජීවිත කාලය තුල ඉස්ලාමීය ප්‍රජාවේ නායකයා වුනේ ඔහු. නමුත් ඔහු මිය යන්නේ නියමාකාරයෙන් අනුප්‍රාප්තිකයෙක් නම් කරන්නෙ නැතුව​. මේ නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයා (හෙවත් "කලීෆා") පත් කර ගැනීමේදී මත ගැටුමක් ඇති වුනා.

මේ සඳහා සුදුසුකම් ඇති අය දෙදෙනෙක් සිටියා.

එක් අයෙක් මුහම්මද් තුමා ගේ කිට්ටුම සහචරයෙක් සහ ඔහුගේ  බිරිඳක් වුනු අයිෂා ගේ පියා වූ අබු බකර්. අනෙක් කෙනා මුහම්මද් තුමාගේ සමීපතමයා, ඔහුගේ ප්‍රධාන යුධ සෙනවියා සහ ඔහුගේ දියණිය වුනු ෆාතිමා ගේ සැමියා වූ අලී.

මේ අතරින් අලී මුස්ලිම් වරු අතර ඉමහත් ජනප්‍රියත්වයක් ඉසුලූ කෙනෙක්. ඒ ඔහුගේ රණ ශූරත්වය සහ කාරුණික බව නිසා. නමුත් මුහම්මද් තුමා ගේ අනුප්‍රාප්තිකයා ලෙස මුස්ලිම් ප්‍රජාවේ ජේෂ්ඨයන් විසින් තෝරාගත්තේ අබු බකර්. ඊට හේතුව විදිහට හිතන්න පුළුවන් අලී මුහම්මද් තුමා ගේ ගෝත්‍රය වුනු බානු හෂීම් ගෝත්‍රයටම අයත් වීම​.  මේ නිසා අලීට කලීෆා තනතුර හිමි වුවොත් එය බානු හෂීම් ගෝත්‍රය අතරම පවතී යැයි ඔවුන් සිතුවා වෙන්න පුළුවන්.

අබු බකර් ට පසුව කලීෆා තනතුර හිමි වෙන්නේ පිළිවෙලින් උමර් සහ උත්මන් යන අයට​. අලී කලීෆා වරයා ලෙස පත් වෙන්නේ ඉන් පසුව​.

අලී කලීෆා තනතුරට පත් වුනු පසුව ඔහුට විරුද්ධව කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ අයිෂා ඇතුළු මුහම්මද් තුමාගේ සමීපතමයන් කීප දෙනෙක් සහ උමයියාද් ගෝත්‍රයට අයත් මුස්ලිම් වරු. කැරැල්ල අවසන් වෙන්නේ සාම ගිවිසුමකින්. යුධ පිටියේ වැඩි වාසිය අලීට අත් වුනත්, සාම ගිවිසුමේ දී වැඩි වාසි ලබා ගන්න කැරලි කරුවන් සමත් වෙනවා. මේ නිසා අලී ගේ අනුගාමිකයන් බොහොමයක් ඔහුගේ කඳවුර හැර යනවා. මේ නිසා කැරලි කරුවන් ශක්තිමත් වෙලා මුස්ලිම් රාජ්‍යයේ වැඩි ප්‍රදේශයක බලය අල්ලා ගන්නවා.



අලී ගේ කඳවුර හැර ගිය පිරිසක් අලීට සහ කැරලිකරුවන්ට එරෙහිව සටන් කරනවා. ඔවුන් ගේ සාහාසිකයෙක් ක්‍රි.ව​. 661 දී අලීව ඝාතනය කරනවා.

ඊළඟට කලීෆා තනතුර හිමි වීම ගැන ආයෙත් මත භේදයක් ඇති වෙනවා. වැඩි බලය තියෙන්නේ කැරලි නායක උමයියාද් ගෝත්‍රයේ මුආවියා ට​. නමුත් අලී ගේ අනුගාමිකයන් ඔහුගේ පුතා වන හසන් ව ඒ සඳහා නම් කරනවා. නමුත් මුආවියා කලීෆා වරයා ලෙස පත් වෙනවා. හසන් මිය යන අතර​, අලී ගේ බාල පුත් හුසේන් මුආවියාට එරෙහිව හමුදාවක් රැස් කරන්න කුෆා නගරය වෙත එනවා. මුආවියා අතර මගදී ඔහු සහ පිරිස අල්ලාගෙන සියල්ලන්ම මරා දමනවා.

මේ සිද්ධියෙන් මුස්ලිම් වරු අතර නැවත එක් කළ නොහැකි විදිහේ බෙදීමක් ඇති වෙනවා.

මුආවියා ගේ කලීෆා තනතුර පිළිගත් බහුතර පිරිස "සුන්නි" නිකාය ලෙස හැඳින්වුනු අතර​, අලී ගේ අනුගාමිකයන් හැඳින්වුනේ "ෂියා" නිකාය විදිහට​. මේ දෙපිරිසටම එරෙහි වුනු පිරිස "කවාරිජ්" නමින් හැඳින්වුනා.

එතැන් සිට මේ කණ්ඩායම් තුන වෙනම ආගමික සංවිධාන විදිහට කටයුතු කළා. ඒ බෙදීම අද දක්වා පවතිනවා.

වර්තමාන ලෝකයේ මුස්ලිම් ජනගහණයෙන් 85% පමණ සුන්නි මුස්ලිම්වරු වන අතර 15% පමණ ෂියා මුස්ලිම්වරු වෙනවා. කවාරිජ් වරු ඉන්නේ සුළු පිරිසක් පමණයි.



ඉරානය​, ඉරාකය, අසර්බයිජානය සහ බහරේන් ෂියා මුස්ලිම් වරු බහුතරයක් ඉන්න රටවල්. ඊට අමතරව කුවේට්, යෙමන් සහ ලෙබනන් යන රටවල සැලකිය යුතු සුළුතරයක් ඉන්නවා. කවාරිජ් මුස්ලිම්වරු බහුතරයක් ඉන්නේ ඕමානයේ පමණයි. අනෙක් සියළු රටවල් වල බහුතරය වෙන්නේ සුන්නි මුස්ලිවරු.


සුන්නි - ෂියා - කවාරිජ් නිකායන් අතර ඇති වෙනස්කම්


මේ නිකායන් අතර ඇති බෙදීම ආගමික මතවාද වලට වඩා දේශපාලනික එකක් නිසා ඔවුන් අතර මතවාදී වෙනස්කම් අඩුයි. ඊට වඩා තියෙන්නෙ දේශපාලනික වෙනස්කම්. ඒ එක්කම දීර්ඝ කාලයක් වෙන් වෙලා පරිණාමය වීම නිසා ඇති වුනු සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ගේ වෙනස්කමුත් තියෙනවා.

සියළුම දෙනා මුහම්මද් තුමා දෙවියන් ගේ පණිවුඩ කරුවා විදිහටත්, කුරානය දේව වාක්‍යය විදිහටත් පිළිගන්නවා. ඒ වගේම මුහම්මද් තුමා ගේ චර්‍යාවන් හෙවත් "හදීස" මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් විදිහට භාවිතා කරනවා. නමුත් සුන්නි වරු පිළිගන්න සමහර හදීසයන් ෂියා වරු පිළිගන්නේ නෑ.

මූලිකම වෙනස තියෙන්නේ කලීෆා වරුන් ගේ පිළිගැනීම සම්බන්ධයෙන්.

සුන්නි වරු අබු බකර්, උමර්, උත්මාන් සහ අලී යන හතර දෙනාම නීත්‍යානුකූල කලීෆා වරු විදිහට සලකනවා. නමුත් ෂියා වරු අබු බකර්, උමර් සහ උත්මාන් නීත්‍යානුකූල කලීෆා වරු විදිහට සලකන්නේ නෑ. ඔවුන් පිළි ගන්නේ මුහම්මද් තුමාගේ එකම නිවැරදි අනුප්‍රාප්තිකයා අලී කියලා. කවාරිජ් වරු අබු බකර්, උමර් සහ අලී නීත්‍යානුකූල කලීෆා වරු කියල පිළි ගන්න අතර උත්මාන් කලීෆා වරයෙක් විදිහට පිළිගන්නේ නෑ.

ෂියා වරු පිළිගන්න ආකාරයට කලීෆා තනතුර අනිවාර්‍යයෙන්ම මුහම්මද් තුමාගේ පවුලේ අයෙකුටම හිමි විය යුතුයි. ඔවුන් මේ තනතුර හඳුන්වන්නේ "ඉමාම්" නමින්. ඉමාම් වරයෙක් දේශපාලන නායකයෙක් වගේම අධ්‍යාත්මික නායකයෙක් විදිහටත්, ඔවුන්ට යම්කිසි දිව්‍යමය බවක් ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා ඉමාම් වරු පවින් තොර අය විදිහට ඔවුන් සලකනවා.

සුන්නි වරු පිළිගන්න ආකාරයට කලීෆා තනතුර හිමිවිය යුත්තේ මුස්ලිම්වරු අතර වැඩිම පිළිගැනීම තියෙන කෙනාට​. ඒ වගේම සුන්නි ඉස්ලාමයේදී කලීෆා වරයා දේශපාලන නායකයෙක් විතරයි. ඔහු සාමාන්‍යය මිනිහෙක් වන අතර​, කිසිම දිව්‍යමය තත්වයක් ඔහුට නෑ.

ෂීයා වරු සහ සුන්නි වරු අතර ඇති වැදගත් වෙනසක් වෙන්නේ සුන්නි වරු කුරානය "නිර්මානය නොකළ​" දෙයක්, එනම් සදාකාලිකව පැවතුන නොවෙනස්වන​ දෙයක් හැටියට පිළිගැනීමත්, ෂියා වරු කුරානය "නිර්මානය කළ​" දෙයක්, එනම් දෙවියන් විසින් අවස්ථානුචිතව වරින් වර ලබා දුන් දැනුමේ එකතුවක් ලෙසත් සැලකීම​.

මේ වෙනසේම දිගුවක් වශයෙන් ෂියා මුස්ලිම් වරුන් ගේ සහීර් සහ බාතින් සංකල්ප දක්වන්න පුළුවන්. ෂියා ආගමික ඉගැන්වීම් වලට අනුව කුරානයේ වචනාර්ථයක් (සහීර්) සහ සැඟවුනු අර්ථයක් (බාතින්) තියෙනවා. බාතින් හෙවත් සැඟවුනු අරුත් අර්ථ දැක්වීම නිවැරදිවම කළ හැක්කේ ඉමාම් වරයෙක්ට පමණයි යන්න ඔවුන් විශ්වාස කරනවා. ඉමාම් වරයෙක් නොමැති අවස්ථා වලදී ආගමික විද්වතුන් එක්වී සාමූහිකව මෙම අර්ථ ගැන්වීම් කරනවා. සමහර ෂියා නිකායන් මෙම සැඟවුනු අරුත් සෙවීමට ගූඪවාදී (mysticism) ක්‍රම භාවිතා කරනවා. මේක සූෆි වාදයත් එක්ක සමාන වෙන අවස්ථාවක්.

එක් එක් ෂියා නිකායන් සැඟවුනු අරුත් වලට දෙන බර වෙනස්. ඉමාමි නිකාය ඒ සඳහා අඩු බරකුත්, ඉස්මයිලි නිකාය ඒ සඳහා වැඩි බරකුත් ලබා දෙනවා.

මීට අමතරව සුළු වෙනස්කම් ගණනාවක් තියෙනවා.

සුන්නි වරුන් ගේ ෂහදාව වෙන්නේ "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත​, මුහම්මද් අල්ලාහ් ගේ දූතයාය" යන්න​. ෂියා වරුන් ගේ ෂහදාව මීට තරමක් වෙනස්. ඒ "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත​, මුහම්මද් අල්ලාහ් ගේ දූතයාය​, අලී අල්ලාහ් ගේ ආරක්‍ෂකයාය​" යන්න​.

සුන්නි වරු දවසකට පස් වතාවක් දෙවියන් නමැදීම කරන අතර ෂියා වරු දවසකට තුන් වතාවක් දෙවියන් නමදිනවා.

ෂියා වරු තාවකාලික විවාහ හෙවත් කලින් නියම කරගන්නා කාල සීමාවකට වලංගු වන විවාහ නීත්‍යානුකූල විදිහට පිළිගන්න අතර​, සුන්නි වරු ඒවා නීත්‍යානුකූල විදිහට පිළිගන්නේ නෑ.

සමහර​ ෂියා වරු අතර තියෙන සිරිතක් තමයි මුආවියා විසින් හසන් මරා දැමීම සිහිපත් කිරීමට කඩු වලින් තම සිරුර කපාගෙන ලේ වැගිරීමට සැලැස්වීම​. සුන්නි වරු මේ සිරිත පවක් ලෙස සලකලා දැඩි ලෙස පිළිකෙව් කරනවා.

සුන්නි වරු දෙවියන් නැමදීමේදී දෑත් පපුව මත බැඳගන්නා ස්වරූපයෙන් ඉන්න අතර ෂියා වරු දෙවියන් නමදින්නේ දෑත් සිරුර දෙපසින් තබාගෙන​.

සුන්නි වරු දෙවියන් නැමදීමේදී නළල බිම ස්පර්ශ කරන අතර ෂියා වරු නළල ස්පර්ශ කරන්නේ බිම තැබූ කුඩා ලී හෝ මැටි පුවරුවක් මත​.


සුන්නි ඉස්ලාමය


සුන්නි ඉස්ලාමය ලෝකයේ ප්‍රධාන ඉස්ලාම් නිකාය වෙනවා.

සුන්නි කියන වචනය ඇවිත් තියෙන්නේ "සුන්නාහ්" කියන වචනයෙන්. එහි තේරුම මුහම්මද් තුමාගේ චර්‍යාව කියන එක​. මුහම්මද් තුමාගේ චර්‍යාවන් අඩංගු හදීසයන් විශාල ප්‍රමානයක් සුන්නි මුස්ලිම් වරු ෂියා මුස්ලිම් වරුන්ට වඩා පිළිගන්නා නිසා ඔවුන් මේ නමින් හැඳින්වෙනවා.

සුන්නි ඉස්ලාමය තුළ ෂරියා හෙවත් ඉස්ලාමීය නීතිය අර්ථ ගන්වන ආකාරය අනුව නීති සම්ප්‍රදායන් කීපයක් හඳුනාගන්න පුළුවන්. මේවා නීති සම්ප්‍රදායන් මිස නිකායන් නෙවෙයි. ඒ නිසා මේවා අතර ආගමික වෙනස්කම් නෑ. නමුත් ෂරියා නීතිය අර්ථ ගැන්වීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වෙනස්කම් පවතිනවා.

වර්තමාන ලෝකයේ ප්‍රධාන සුන්නි ඉස්ලාම් නීති සම්‍ප්‍රදායන් හතරක් තියෙනවා.

1. හනෆි
2. මලිකි
3. ෂාෆී
4. හන්බලි


හනෆි සම්ප්‍රදාය​


වැඩිම දෙනෙක් අනුගමනය කරන සම්ප්‍රදාය වෙන්නේ හනෆි. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 699 - 767 කාලයේ ඉරාකයේ ජීවත් වූ පර්සියානු ජාතිකයෙක් වුනු අබු හනීෆා විසින්.

හනෆි සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
4. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
5. විශ්ලේෂනයෙන් එළැඹෙන නිගමන (ක්වියස්)
6. විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු (ඉස්තිහ්සාන්)
7. ප්‍රාදේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් (උර්ෆ්)

වර්තමානයේ හනෆි සම්ප්‍රදාය පිළිගන්නේ ඊජිප්තුව​, සිරියාව​, ජෝර්දානය​, පලස්තීනය​, ඉරාකය​, තුර්කිය​, මධ්‍යම ආසියානු රටවල්, පාකිස්ථානය, බංගලාදේශය​ සහ ඉන්දියාව යන රටවල​.

හනෆි සම්ප්‍රදාය වඩාත්ම නම්‍යශීලී සම්ප්‍රදාය විදිහට සැලකෙනවා.


මලිකි සම්‍ප්‍රදාය​


දෙවැනියට වැඩිම දෙනෙක් පිළිගන්න සම්ප්‍රදාය වෙන්නේ මලිකි සම්ප්‍රදාය​. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 711 - 795 කාලයේ මදීනා නගරයේ ජීවත් වුනු මලික් ඉබ්න් අනාස් විසින්.

මලිකි සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. මදීනා නගරයේ මුස්ලිම් වරු පිළිගත් සම්‍ප්‍රදායන් (අමල්)
4. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
5. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
6. විශ්ලේෂනයෙන් එළැඹෙන නිගමන (ක්වියස්)
7. විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු (ඉස්තිහ්සාන්)
8. ප්‍රාදේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් (උර්ෆ්)

මලිකි සම්ප්‍රදායේදී මදීනා නගරයේ වාසය කළ මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ අදහස් වලට වැඩි බරක් ලබා දෙනවා.

වර්තමානයේදී මලිකි සම්ප්‍රදාය පිළිගන්නේ උතුරු සහ බටහිර අප්‍රිකාවේ රටවල සහ කුවේටයේ​.


ෂාෆී සම්ප්‍රදාය​


තුන්වෙනියට වැඩිම දෙනෙක් පිළිගන්න සම්ප්‍රදාය වෙන්නේ මලිකි සම්ප්‍රදාය​. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 767 - 820 කාලයේ පලස්තීනයේ ජීවත් වුනු මුහම්මද් ඉද්‍රිස් අල්-ෂාෆී විසින්.

ෂාෆී සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
4. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
5. විශ්ලේෂනයෙන් එළැඹෙන නිගමන (ක්වියස්)

ෂාෆී සම්ප්‍රදායේදී විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු සහ ප්‍රාදේශීය සිරිත් සලකන්නේ නෑ. එමගින් සාමාන්‍යය පුද්ගලයන් ගේ දෘෂ්ටි කෝණයෙන් ෂරියාව අර්ථ ගැන්වීම අවම කරන්න උත්සහ කරලා තියෙනවා. මේ නිසා ෂාෆී සම්ප්‍රදාය හනෆි සහ මලිකි සම්ප්‍රදායන්ට වඩා දෘඪ සම්ප්‍රදායක් විදිහටයි සැලකෙන්නේ.

වර්තමානයේදී ෂාෆී සම්ප්‍රදාය පිළිගන්නේ නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඉරාකය, කුර්දිස්ථානය, යෙමනය, ඉන්දුනීසියාව, මැලේසියාව​, ශ්‍රී ලංකාව​ සහ මාලදිවයින යන ප්‍රදේශවල​.


හන්බලි සම්ප්‍රදාය​


අඩුම දෙනෙක් පිළිගන්න සම්ප්‍රදාය වෙන්නේ හන්බලි සම්ප්‍රදාය​. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 780 - 855 කාලයේ ඉරාකයේ ජීවත් වුනු අහ්මඩ් ඉබ්න් හන්බල් විසින්.

හන්බලි සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
4. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
5. දුර්වල හදීසයන්

හන්බලි සම්ප්‍රදායේදී විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු සහ ප්‍රාදේශීය සිරිත් වලට අමතරව විශ්ලේෂනයෙන් එලැඹෙන තීන්දුත් නීත්‍යානුකූල ලෙස සලකන්නේ නෑ.  එමගින් ෂරියාව අර්ථ දැක්වීම සම්පූර්නයෙන්ම ග්‍රන්ථවල ඇති දැණුමට සීමා කරල තියෙනවා. හන්බලි සම්ප්‍රදාය සැලකෙන්නේ වඩාත්ම දෘඪ සම්ප්‍රදාය විදිහට​.

වර්තමානයේදී හන්බලි සම්ප්‍රදාය පිළිගන්නේ සවුදි අරාබිය​, කටාර්, එක්සත් අරාබි එමීර් යන රටවල​.


සුන්නි ඉස්ලාමයේ ප්‍රධාන ධාරාවෙන් වෙනස්ව යන ධාරාවන් දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ සූෆි සහ සලාෆි.


සූෆි



හත්වෙනි සියවසේ උමයියාද් කලීෆා වරුන් ගේ පාලන සමයේදී ඉස්ලාමය ආධ්‍යාත්මක පැත්තෙන් ඈත් වෙලා ලෞකික සොබාවයක් ගත්තා. ඒකට පිළිතුරක් විදිහට සුන්නි ඉස්ලාමය තුලින් බිහිවුනු ආගමික ව්‍යාපාරය තමයි සූෆි වාදය​. සූෆි වාදය පසු කාලීනව ෂියා ඉස්ලාමයෙන් යම්කිසි ආභාෂයක් ලබලා තියෙනවා.

සූෆි වරු ගූඪවාදී (mysticism) පිළිවෙත් මගින් දෙවියන් වෙත ළඟා වීම විශ්වාස කරනවා.

සූෆි වරුන් ගේ ප්‍රධාන ඉගැන්වීම් සහ පිළිවෙත් මේ වගේ.

1. ලෞකික සැපයන් අත් හැරීම සහ අල්පේච්ඡ දිවි පෙවෙතක් ගත කිරීම​
2. දික්.ර් හෙවත් ස්ත්‍රෝත කීම​
3. මුරකබා හෙවත් භාවනා ක්‍රම
4. සමා හෙවත් කරකැවෙමින් කරන නැටුම් ක්‍රමයක්
5. ක්වාව්වලි හෙවත් සංගීත වාදනය​
6. වලි හෙවත් ශාන්තුවරු පිළිබඳ විශ්වාසය​
7. සියාරා හෙවත් ශාන්තුවරුන් ගේ සොහොන් වන්දනාව​
8. කරමත් හෙවත් හාස්කම් පිළිබඳ විශ්වාසය​

සමා නැටුම්
මේ පිළිවෙත් මගින් සිත දියුණු කිරීමත්, එමගින් දේව පණිවුඩය වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

සූෆි වරු "තුරුක්" නමින් හැඳින්වෙන සමූහයන් (order) වශයෙන් සංවිධානය වෙලා ඉන්නවා. මේ සමූහයන් ගේ නායකත්වය දරන්නේ වලි නමින් හැඳින්වෙන ශාන්තුවරයෙක්. සුෆි වරු සාමූහිකව රැස්වෙලා ආගමික වතාවත් කිරීම හැඳින්වෙන්නේ "මජලිස්" නමින්.

සූෆි වරුන් ග් පිළිවෙත් මූලධර්මවාදී සුන්නි ඉස්ලාම් විද්වතුන් ගේ දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා.

සූෆි සමූහ ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ,

1. බෙක්තෂි
2. චිෂ්ති
3. කුබ්‍රාවියා
4. මවුලාවියා
5. නක්‍ෂ්බන්දි
6. නිමතුල්ලාහි
7. කදිරි
8. සෙනුස්සි
9. ෂදිලියියා
10. ෂුහ්‍රවර්දියියා
11. තිජනියියා
12. ඔවෙයිස්සි


සලාෆිවාදය​


සලාෆිවාදය කියන්නේ සුන්නි ඉස්ලාමය තුලින් පැන නැගුනු මූලධර්මවාදී ආගමික ව්‍යාපාරයක්. සලාෆිවාදීන් විශ්වාස කරන්නේ කුරානයේ දැඩි වචනාර්ථ මත පදනම් වූ අරුත් ගැන්වීමක් සහ එමගින් ඉස්ලාමයේ මුල් සමයට (සලාෆ්) යා යුතු බව​.

සලාෆිවාදයේ මුල තියෙන්නේ 18 වෙනි සියවසේ වර්තමාන සවුදි අරාබියේ වාසය කළ ආගමික විද්වතෙක් වුනු මුහම්මද් අල් වහාබ් ගේ ඉගැන්වීම් තුල​. ඔහු සවුදි අරාබියේ සවුද් රජ පවුල සමඟ සම්බන්ධ වීමත් සමඟම සවුදි අරාබිය තුල සලාෆි වාදයට නිල පිළිගැනීමක් ලැබුනා. අල් වහාබ් ගේ ඉගැන්වීම් අනුගමනය කළ අය හැඳින්වුනේ වහාබ් වාදීන් විදිහට​. වහාබ්වාදී හමුදාවන් වර්තමාන සවුදි අරාබි රාජ්‍යය ගොඩ නැංවීමේදී වැදගත් කාර්‍ය භාරයක් ඉටු කලා. ඒ වගේම ඔවුන් තමාට අනුව "වැරදි" පිළිවෙත් අනුගමනය කළ මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හැරියා.

ඊට සමගාමීව 19 වෙනි සියවසේ ඊජිප්තුව මුල් කරගෙන මූලධර්මවාදී ව්‍යාපාරයන් ඇති වුනා. ඒ ප්‍රධාන වශයෙන් බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව​. ඔවුන් ක්‍රිස්තියානි රාජ්‍යයන්ට එරෙහිව කරන ජිහාඩයක් ගැන විශ්වාස කලා.

මේ සියළු ව්‍යාපරයන් පොදුවේ "සලාෆිවාදය​" කියල හැඳින්වෙනවා.

වර්තමානයේ සවුදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් තුල සලාෆිවාදය නිල ආගමික ධාරාව ලෙස සැලකෙනවා.. ඔවුන් කටාර් ජනගහණයෙන් 47% කුත්, එක්සත් අරාබි එමීර් හි ජනගහණයෙන් 45% කුත් සවුදි අරාබියේ ජනගහණයෙන් 23% කුත් වෙනවා. ලෝකය පුරා සලාෆිවාදීන් මිලියන 50ක් පමණ වාසය කරනවා.

සලාෆිවාදීන් ඉස්ලාමයේ එන ඉගැන්වීම් වලට ඉතා දෘඩ අර්ථ දැක්වීම් දෙන අතර​, ඒවායින් පිටපැනීම් දැඩි දඬුවම් පැමිනවීමෙන් "නිවැරදි" කිරීම ගැන විශ්වාස කරනවා.

සලාෆිවාදී ඉගැන්වීම් සහ විශ්වාසය කීපයක් පහත දැක්වෙනවා.

1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් වේ
2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය
3. සංගීත වාදන, නැටුම් තහනම් වේ
4. කාඩ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් වේ
5. දුම්පානය තහනම් වේ
6. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැගීම තහනම් වේ
7. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ
8. (අපරාධ පරීක්‍ෂනයක් හෝ වෛද්‍ය හේතු මත පවා) මලසිරුරක් විච්චේදනය කිරීම තහනම් වේ
9. මුහම්මද් තුමාගේ උපන් දිනය සැමරීම තහනම් වේ
10. කාන්තාවන් රැකියා කිරීම තහනම් වේ
11. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම තහනම් වේ
12. වහල් සේවය අනුමත කරයි
13. පිරිමි සහ කාන්තාවන් එක්‍ රැස් වීම තහනම් වේ

වඩාත් රැඩිකල් සලාෆිවාදී කණ්ඩායම් ප්‍රචන්ඩ ජිහාදයන් ගැන විශ්වාස කරනවා. අල්-කයේඩා, තලීබාන් සහ අයි.එස්.අයි.එස්. වැනි සංවිධාන සලාෆිවාදී ත්‍රස්ත සංවිධාන​.





ෂියා ඉස්ලාමය​


ෂියා කියන වචනය එන්නේ "ෂියාතු අලී" කියන අරාබි යෙදුමෙන්. ඒකෙ තේරුම "අලී ගේ පාර්ශවය​" කියන එක​. අලී මුහම්මද් තුමාගේ සැබෑ අනුප්‍රාප්තිකයා කියන විශ්වාසය නිසා ෂියා මුස්ලිම් වරු මේ නමින් හැඳින්වෙනවා.

ෂියා නිකායේ විශ්වාසයන්ට අනුව මුහම්මද් තුමාගේ අනුප්‍රාප්තිකයන් වශයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉමාම් තනතුරට පත් වෙනවා. මේ ඉමාම් වරු මුස්ලිම් ආගමේ දේශපාලනික වගේම ආධ්‍යාත්මික නායකයන් ලෙස ක්‍රියා කරන අතර​, දිව්‍යමය ගුණයන්ගෙන් සමන්විතයි. ඒ වගේම ඔවුන්ට කුරානයේ නියම අර්ථය අර්ථ දැක්වීමට හැකියි. මේ නිසාම ඉමාම් වරු පවින් තොර පුද්ගලයන් විදිහට සැලකෙනවා.

සුන්නි ඉස්ලාමය එකම ආගමික සම්ප්‍රදායක් අනුගමනය කළත්, ෂියා ඉස්ලාමය තුල අනු නිකායන් කීපයක් තියෙනවා. මේවා සුන්නි නීති සම්ප්‍රදායන් වගේ නෙවෙයි ආගමික කරුණු අතින්ම වෙනස්.

ප්‍රධාන ෂියා අනු නිකායන් තුනක් තියෙනවා.

1. ඉමාමියා (ජෆාරි)
2. ඉස්මයිලියා
3. සයිදියා




ඉමාමියා




ෂියා මුස්ලිම් වරුන් ගෙන් 85% පමණ (මිලියන 180 පමණ​) අයත් වෙන්නේ ඉමාමියා නිකායට​. ඉමාමියා නිකාය ජෆාරි සහ ට්වෙල්වර් (Twelver) යන නම් වලිනුත් හැඳින්වෙනවා. ඔවුන් වැඩි වශයෙන් ඉන්නේ ඉරනය, ඉරාකය, අසර්බයිජානය​, ලෙබනනය​, බහරේන්, ඇෆ්ගනිස්ථානය​, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල.

ඉමාමියා නිකායේ ඉගැන්වීම් වලට අනුව මුහම්මද් තුමාගෙන් පසුව ඉමාම් වරු දොළොස් දෙනෙක් සිටි අතර අවසාන ඉමාම් වරයා නිද්‍රාගත තත්වයකට පත් වී තිබෙනවා. ඔහු රහසිගත තැනක සිටින අතර​, ලෝකාවසානයට දින කීපයකට පෙර නැවතත් ජීවමාන වී ඉස්ලාමය ලොව පුරා පතුරුවන බව ඉමාමියා ෂියා වරු විශ්වාස කරනවා.

ඉමාමිය නිකායේ එන ඉමාම් වරු දොළොස් දෙනා මේ අය​:

1. අලී ඉබ්න් අබි තාලිබ්
2. හසන් ඉබ්න් අලී
3. හුසේන් ඉබ්න් අලී
4. අලී ඉබ්න් හුසේන්
5. මුහම්මද් ඉබ්න් අලී
6. ජෆර් ඉබ්න් මුහම්මද්
7. මූසා ඉබ්න් ජෆර්
8. අලී ඉබ්න් මූසා
9. මුහම්මද් ඉබ්න් අලී
10. අලී ඉබ්න් මුහම්මද්
11. හසන් ඉබ්න් අලී
12. මුහම්මද් ඉබ්න් අල් හසන්

ඉමාමි ෂියා වරුන් ගේ නීති සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ හය වැනි ඉමාම් වරයා වන ජෆර් ඉබ්න් මුහම්මද් (අල් සදීක්) විසින්. ඒ සම්ප්‍රදාය "ජෆරි" ලෙසිනුත් හැඳින්වෙනවා.

ජෆරි නීති සම්ප්‍රදාය සුන්නි නීති සම්ප්‍රදායන් ගෙන් වෙනස් වෙන ප්‍රධාන අංගය වෙන්නේ එහි විනිසුරුවාට වෙනත් මූලාශ්‍රයන් මත පදනම් නොවී හුදෙක් ඔහුට සාධාරන යැයි හැඟෙන තීන්දු ලබා දීමේ හැකියාව ලබා දී තිබීම​. මෙය හඳුන්වන්නේ ඉජ්තිහාඩ් කියලා. මේ හේතුව නිසා ෂියා නීතිය සුන්නි නීතියට වඩා නම්‍යශීලී වෙනවා. මෙය ෂියා ඉස්ලාමයේ එන බාතින් සංකල්පයෙන් පැමිණි ක්‍රමයක්.

ඉජ්තිහාඩ් සඳහා වැඩි ඉඩක් ලබා දෙන ජෆරි සම්ප්‍රදාය උසුලි නමිනුත්, ඉජ්තිහාඩ් සඳහා අඩු ඉඩක් ලබා දෙන ජෆරි සම්ප්‍රදාය අක්බාරි නමිනුත් හැඳින්වෙනවා. වර්තමානයේ අක්බාරි සම්ප්‍රදාය අනුගමනය කරන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් පමණයි.

ඉමාමියා වරුන් ගේ ආගමික නායකයන් හැඳින්වෙන්නේ අයතොල්ලා නමින්.


ඉස්මයිලියා



ෂියා ඉගැන්වීම් වලට අනුව හය වන ඉමාම් වරයා වුනේ ජෆර් ඉබ්න් මුහම්මද්. ඔහුට පුතුන් දෙන්නෙක් හිටියා. වැඩිමල් පුතා ඉස්මයිල් ඉබ්න් ජෆර්. බාල පුතා මූසා ඉබ්න් ජෆර්. ජෆර් තමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරලා තිබුනේ වැඩිමහල් පුතා වුනු ඉස්මයිල්.

නමුත් ඉස්මයිල් තරුණ වියේ දී එවකට බලයේ සිටි සුන්නි කලීෆා වරයාට එරෙහිව කැරැල්ලකට සම්බන්ධ වීම නිසා ඔහුව අත් අඩංගුවට ගැනීමට කලීෆා වරයා අණ කළා. මේ නිසා ජෆර් තමාගේ පුතාව හැංගුවා.

ඉස්මයිල් ට වුනු දේ හරියට පැහැදිලි නෑ. මේ සිද්ධියෙන් පස්සේ ඔහු ගැන නිශ්චිත අදහසක් නෑ. ජෆර් ගේ මරණයෙන් පස්සේ ඉම්ම වරයා ලෙස පත් වෙන්නේ ඔහුගේ බාල පුතා වන මූසා.

මෙතැනදී ෂියා මුස්ලිම් ප්‍රජාවේ බෙදීමක් ඇති වෙනවා. මූසා ඉමාම් වරයා ලෙස පිළිගන්න පිරිස ඉමාමි විදිහට හැඳින්වෙනවා. ඔවුන් මූසා සහ ඊට පසුව එන ඉමාම් වරු පස් දෙනා සැබෑ ඉමාම් වරු ලෙසත්, ඉස්මයිල් සැඟවී සිටියදී මිය ගිය බවත් විශ්වාස කරනවා.

තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉස්මයිල් මිය නොගිය බව සහ ඔහු නිද්‍රාගත තත්වයට පත්වුනු අවසන් ඉමාම් වරයා විදිහට​. මේ පිරිස හැඳින්වුනේ ඉස්මයිලි කියලා.

ඉස්මයිලි ෂියා වරු ඉමාමි ෂියායා වරුන්ට වඩා දේශපාලන මුහුණුවරක් ගත්තා. ක්‍රි.ව​. 900 පමණ වන විට උතුරු අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක තම බලය පතුරුවන්න ඔවුන්ට හැකි වුනා. මේ කාලයේදී ෂියා ඉස්ලාමයේ ප්‍රධාන ධාරාව වුනේ ඉස්මයිලි වරු.

නමුත් මේ ඉස්මයිලි ෂීයා රාජ්‍යය ක්‍රි.ව​. 1076 දී අභාවයට යාම සහ මොංගොල් වරුන් ගේ ආක්‍රමනයත් සමඟම ඉස්මයිලි වරුන් ගේ බලය ක්‍රමයෙන් අභාවයට යනවා. වර්තමානයේදී ඉස්මයිලි වරු ඉන් දියාවේ, පාකිස්ථානයේ සහ යෙමනයේ ප්‍රදේශ කීපයකට සීමා වෙනවා.

ඉස්මයිලි වරුන් ගේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සංඛ්‍යාත්මකව වැඩි පිරිස නිසාරි ලෙසත්, අඩු පිරිස මුස්තාඅලී ලෙසත් හැඳින්වෙනවා. මුස්තාඅලී වරු හැඳින්වෙන තවත් නමක් තමයි බෝරා.

ඉස්මයිලි වරුන් ගේ ඉගැන්වීම් වල වැඩි බරක් ලබා දෙන්නේ කුරානයේ වචනාර්ථයට (සහීර්) වඩා එහි සැඟවුනු අරුත් (බාතින්) වලට​. මේ නිසා ඉස්මයිලි වරුන් ගේ ඉගැන්වීම් වඩාත් නම්‍යශීලී බවක් උසුලනවා.

ඉස්මයිලි ෂියා ඉගැන්වීම් ගූඪ වාදයෙන් (mysticism) විශාල අභාෂයක් ලබා තියෙනවා. මේ නිසා ඉස්මයිලි ෂියා ඉගැන්වීම් සුෆී ඉගැන්වීම් වලට සමානකමක් දක්වනවා.


සයිදියා



ෂියා වරුන් ගේ හතරවැනි ඉමාම් වරයා වුනු අලී ඉබ්න් හුසේන් ට පුතුන් දෙදෙනෙක් හිටියා. වැඩිමහල් පුතා වුනු මුහම්මද් ඔහු විසින් තමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කළා. බාල පුතා වුනු සයිද් ක්‍රි.ව​. 740 දී කලීෆා වරයාට එරෙහිව කැරැල්ලක් පටන් ගත්තා. සයිද් ගේ ඉගැන්වීම් වලට අනුව අසාධාරන පාලකයෙක්ට එරෙහිව කැරලි ගැසීම් ඉස්ලාමයට අනුකූල දෙයක්. මේ කැරැල්ලට සමහර ෂියා මුස්ලිම් වරු සහ දුන් අතර සමහරු සහය දුන්නේ නෑ.

සයිද් ගේ කැරැල්ල අසාර්ථක වුනු අතර ඔහු කැරැල්ලේදී මරා දැමුනා.

සයිද් ට සහය දුන් ෂියා මුස්ලිම් වරු සයිදියා නමින් හැඳින්වුනු අතර​, ඔහුට සහය නොදී මුහම්මද් ගේ ඉමාම් තනතුර පිළිගත් අය ඉමාමියා ලෙස හැඳින්වුනා.

ආගමික ඉගැන්වීම් අනුව සයිදියා ෂියා මුස්ලිම් වරු ඉමාම් තනතුර මුහම්මද් තුමාගේ පවුලේ අයට පමණක් හිමිවිය යුතු බව සහ ඔවුන්ව දෙවියන් විසින් විශේෂයෙන් තෝරා ඇති බව විශ්වාස කරනවා. නමුත් අනෙක් ෂියා මුස්ලිම් වරුන්ගේ විශ්වාසයක් වන ඉමාම් වරයා පවින් තොර දිව්‍යමය තත්වයක් හිමි පුද්ගලයෙක් බව ඔවුන් විශ්වාස කරන්නේ නෑ.

වර්තමානයේ සංඛ්‍යාත්මකව දෙවැනියට විශාල ෂියා මුස්ලිම් නිකාය වෙන්නේ සයිදියා. ඔවුන් යෙමනයේ සහ දකුණු සවුදි අරාබියේ වාසය කරනවා.





මේ ප්‍රධාන නිකායන්ට අමතරව ඒවායින් බිඳී ගිය කුඩා කණ්ඩායම් කීපයක්ම ෂියා නිකායේ දකින්න පුළුවන්.


අලවීයා



අලවීයා නමින් හැඳින්වෙන්නේ සිරියාවේ සහ තුර්කියේ ව්‍යාප්ත වෙලා තියෙන ඉමාමි නිකායෙන් බිඳී ගිය ෂියා මුස්ලිම් නිකායක්. ඔවුන් සිරියාවේ මිලියන තුනක් පමණත් තුර්කියේ මිලියනයක් පමණත් වාසය කරනවා. වර්තමාන සිරියාවේ ජනගහණයෙන් 17% පමණ වන අතර විශාල දේශපාලන සහ ආර්ථික බලයකට හිමිකම් කියනවා. අලාවීයා වරු සමහර අවස්ථා වලදී අරාබි ජාතිකයන් කියල සැලකුවත් සමහර අවස්ථා වලදී වෙනම ජන වර්ගයක් කියල සලකනවා.

අලවීයා ෂියා වරුන් ගේ ඉගැන්වීම් අනෙක් මුස්ලිම් වරුන් ගේ ඉගැන්වීම් වලින් සෑහෙන තරම් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒවායේ විශාල ක්‍රිස්තියානි අභාෂයක් දකින්න පුළුවන්. ඔවුන් පුනරුප්පත්තිය විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් අදහන ආකාරයට අලී යනු දෙවියන් ගේ මනුෂ්‍යය ස්වරූපයක්. ඔවුන් ගේ නැමදීම් වලදී ක්‍රිස්තියානි දේව මෙහෙයන් ගේ වගේ පාන් සහ වයින් භාවිතා කිරීමත් දකින්න පුළුවන්. ඒ වගේම ඔවුන් බොහෝ ක්‍රිස්තියානි උත්සවයන් සමරනවා. නත්තල සහ ඇසිරියානු නව වසර ඉන් ප්‍රධානයි.

මේ හේතු නිසා බොහෝ සුන්නි මුස්ලිම් වරු සහ සමහර ෂියා මුස්ලිම් වරු අලවීයා වරු මුස්ලිම් වරු වශයෙන් සලකන්නේ නෑ.


අලෙවි



අලෙවි කියල හැඳින්වෙන්නේ තුර්කියේ ව්‍යාප්තව තියෙන ඉමාමි ෂියා නිකායෙන් බිඳී ගිය නිකායක්. එය තුර්කි ජාතිකයන් වගේම කුර්දි ජාතිකයන් අතරත් තියෙන අතර​, වර්තමාන තුර්කියේ ජනගහණයෙන් 11% පමණ අලෙවි මුස්ලිම් වරු.

අලෙවි වරුන් ගේ ඉගැන්වීම් අනෙක් මුස්ලිම් ඉගැන්වීම් වලින් වෙනස් වෙන ප්‍රධානම තැන වෙන්නේ ඔවුන් ගේ අල්-හක් කියන සංකල්පය​. එහිදී අල්ලාහ්, මුහම්මද් සහ අලී යනු එකම දෙවියන් ගේ සත්‍යයේ ස්වරූප තුනක් බව කියැවෙනවා. මෙය ක්‍රිස්තියානියේ ශුද්ධ වූ ත්‍රිත්වය සංකල්පයට කිට්ටුවෙන් යන සංකල්පයක්.

ඒ වගේම කුරානයට අමතරව බයිබලය සහ තෝරා වැනි ආගමික ග්‍රන්ථ වලිනුත් ඔවුන් දැණුම ලබා ගන්නවා. ඔවුන් දේව නැමදීම් සඳහා රැස් වෙන්නේ අනෙක් මුස්ලිම් වරු වගේ මස්ජීද වල වෙනුවට "කෙමෙවි" නමින් හැඳින් වෙන ශාලා තුල​. අනෙකුත් ෂියා මුස්ලිම් වරු වගේම ඔවුන් කුරානයේ සැඟවුනු අරුත් (බාතින්) ගැන විශ්වාස කරන අතර සූෆී මුස්ලිම් වරු වගේ ගූඪවාදී පිළිවෙත් කරනවා.


ෂයිකි


ෂයිකි කියන්නේ 19 වෙනි සියවසේ දී ෂයිකි අහමඩ් විසින් ඇති කරන ලද ආගමික ව්‍යාපාරයක්. ඔවුන් ඉමාමි ෂියා නිකායෙන් බිඳී ගිය කොටසක්. ෂයිකි වරුන් ගේ ඉගැන්වීම් සූෆි මුස්ලිම් වරුන් ගේ ඉගැන්වීම් වලින් වගේම බහානි සහ බහා ආගමික ඉගැන්වීම් වලින් දැඩි ආභාෂයක් ලබලා තියෙනවා.

වර්තමානයේදී ෂයිකි නිකාය ඉරාකයේ සහ ඉරානයේ ව්‍යාප්ත වෙලා තියෙනවා.


දුර්සි



දුර්සි (ඩෘස්) කියන්නේ ඉස්මයිලි ෂියා නිකායෙන් බිඳී ගිය නිකායකට​. වර්තමානයේ ඔවුන් ව්‍යාප්ත වෙලා ඉන්නේ සිරියාවේ, ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ. දුර්සි වරු සැලකෙන්නේ වෙනම ජන වර්ගයක් විදිහට​.

දුර්සි ඉගැන්වීම් වලට අනුව ඔවුන් දෙවියන් ලෙස සලකන්නේ සමස්තය​. මෙය අනෙකුත් ඉස්ලාමීය නිකායන් ගේ ඉගැන්වීම වන දෙවියන් යනු සමස්තයට ඉහලින් සිටින කෙනෙක් යන්නට පටහැණියි. ඒ වගේම ඔවුන් පුනරුප්පතිය ගැන විශ්වාස කරනවා. ඔවුන් ගේ නැමදීමේ ස්ථාන හැඳින්වෙන්නේ "කල්වත්" කියලා.

බොහෝ සුන්නි මුස්ලිම් වරු සහ සමහර ෂියා මුස්ලිම් වරු දුර්සි වරු මුස්ලිම් වරු කියල සලකන්නේ නෑ.





කවාරිජ් ඉස්ලාමය​


කලීෆා වරයෙක් තෝරාගැනීමේ අර්බුධයේදී මුආවියා සහ අලී යන දෙදෙනාටම එරෙහිවූ පිරිස කවාරිජ් නමින් හැඳින්වුනා. ඔවුන් අලී ව ඝාතනය කළ අතර මුආවියා ඝාතනය කිරීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වුනා.

කවාරිජ් වරු අධාර්මික පාලකයන්ට එරෙහිව කැරලි ගැසීමට ඇති අයිතිය පිළිබඳව තදින් විශ්වාස කරනවා. ඉතිහාසය පුරාම ඔවුන් සුන්නි සහ ෂියා යන දෙපිරිසටම එරෙහිව සටන් වැදිලා තියෙනවා. ඒ වගේම ඔවුන් තමාට වෙනස් මත දරන මුස්ලිම් වරු මුස්ලිම් වරු ලෙස සලකන්නේ නෑ. ඒ වගේම අසාධාරන පාලකයන්ට එරෙහිව කැරලි ගැසීමෙන් මරණයට පත් වීම ඉතා උතුම් දෙයක් කොට සලකනවා.

අතීතයේ අස්‍රකි, හරුරියියා, සුෆ්‍රි වැනි කවාරිජ් නිකායන් කීපයක්ම තිබුනත් වර්තමානයේ ඉතිරිව තියෙන්නේ ඉබාදි නිකාය පමණයි. ඉබාදි වරු පැරණි කවාරිජ් වරු තරම්ම දැඩි මතධාරී නෑ. වර්තමානයේ ඔවුන් ඕමානයේ ජනගහනයෙන් බහුතරය​. ඕමානයෙන් පිට කවාරිජ් වරු ඉන්නේ ඉතාම සුළු පිරිසක්.