Wednesday, October 24, 2018

ජපානයේ ඉතිහාසය (සාරාංශය​)



ජපානයේ ඉතිහාසය යුග හතරකට​ බෙදන්න පුළුවන්. මේ යුග නැවතත් කාල පරිච්ඡේද වලට බෙදන්න පුළුවන්. මේ බෙදීම් වලට පාදක වෙන්නෙ දේශපාලන​, සමාජයීය සහ ආර්ථික කරුණු.


ජපන් ඉතිහාසයේ යුගයන් බෙදෙන්නෙ මේ විදිහට​

1. ප්‍රාග් ඓතිහාසික යුගය (ක්‍රි.පූ. 30,000 - ක්‍රි.ව. 538)
2. පුරාතන යුගය (538 - 1185)
3. මධ්‍යතන යුගය (1185 - 1868)
4. නූතන යුගය (1868 - වර්තමානය​)


ප්‍රාග් ඓතිහාසික යුගය​


ප්‍රාග් ඓතිහාසික යුගය විදිහට ගැනෙන්නේ ලිඛිත ඉතිහාසයට පෙර යුගය​

ප්‍රාග් ඓතිහාසික යුගය කාල පරිච්ඡේද හතරකට බෙදනවා.


1. පූර්ව ශිලා සමය (ක්‍රි.පූ. 30,000 - ක්‍රි.පූ.14,000)



ජපානයේ මිනිස් වාසයන් ගැන පැරණිම සාක්‍ෂි ලැබෙන්නෙ ක්‍රි.පූ. 30,000 තරම් ඈතදී. මේ කාලයේදී ජපානය තිබුනේ අද වගේ දූපත් ගණනාවක් විදිහට නෙවෙයි. ජපානය උතුරින් ආසියානු මහද්වීපයට සම්බන්ධ වෙලා තිබුනා. ඒ වගේම සියළුම දූපත් එක තනි ගොඩබිමක් විදිහට තමයි තිබිල තියෙන්නෙ. මේ කාලයේදී සයිබීරියාවේ ඉඳල ජපානයට සංක්‍රමන සිද්ධ වෙලා තියෙනවා.

මේ සංක්‍රමනිකයන් ගල් ආයුධ වලින් දඩයම් කරල කළ අතර​, ලී සහ ඉපල් වලින් හදපු සරළ නිවහන් වල ජීවත් වෙලා තියෙනවා.


2. ජෝමොං සමය (ක්‍රි.පූ. 14,000 - ක්‍රි.පූ. 1000)



ජෝමොං සමයේදී ජපන් ඉතිහාසයේ පළමු වරට දියුණු සංස්කෘතියක ලක්‍ෂන සහ කර්මාන්ත වල ආරම්භය සටහන් වෙනවා. මුල්ම මැටි භාජන සහ මැටි පිළිම බිහිවෙන්නේ මේ සමයේදී. ඒ වගේම මුල් වරට ලී වලින් හදපු අර්ධ ස්ථිර වාසස්ථාන ඉඳි වෙන්නෙත් මේ සමයේදී.

මේ සමයේදී විශාල ජනගහණ වර්ධනයක් ඇතිවෙලා තියෙනවා. නමුත් ක්‍රි.පූ. 1500 දී පමණ දේශගුණය ශීත වීමත් සමඟම නැවතත් ජනගහණය අඩු වෙලා තියෙනවා.


3. යයොයි සමය (ක්‍රි.පූ. 1000 - ක්‍රි.ව​. 300)



ජෝමොං සමයේ අවසානයේදී ජනගහණය අඩු වීමත් එක්කම​, කොරියානු අර්ධද්වීපයේ ඉඳලා නව සංක්‍රමන රැල්ලක් ඇති වෙනවා. මේ සංක්‍රමනිකයන් මුලින්ම එන්නේ ධීවරයන් විදිහට​. පසුව ඔවුන් දකුණු ජපානයේ පදිංචි වෙලා ක්‍රමයෙන් උතුරට සංක්‍රමනය වෙනවා. මේ නව සංක්‍රමනිකයන් තාක්‍ෂනයෙන් වඩා දියුණුයි. ඔවුන් කෘෂිකාර්මික ජීවන රටාවක සහ ලෝකඩ කර්මාන්තයේ නිරතවුනා. ඒ වගේම ස්ථිර වාසස්ථාන ඉඳි කළා.

මේ වඩා දියුණු නව සංක්‍රමනිකයන් ජොමොං වරු එක්ක මිශ්‍රවුනා. සමහර ජොමොං වරු උතුරට පසු බැස්සා. ක්‍රි.ව​. 300 පමණ වන විට ජපානයේ ජනගහණය සම්පූර්ණයෙන්ම වගේ යයොයි-ජොමොං මිශ්‍රනයකින් සමන්විත වුනා. පිරිසිදු ජොමොං වරු ඉතුරු වුනේ උතුරු ජපානයේ ඈත ප්‍රදේශ වල විතරයි. වර්තමාන ජපන් ජාතිකයන් පැවත එන්නේ මේ යයොයි-ජොමොං මිශ්‍රනයෙන්. පිරිසිදු ජොමොං වරුන්ගෙන් පැවත එන අය අද "අයිනු" නමින් හැඳින්වෙනවා.

යයොයි වරු කුඩා ස්වාධීන රාජ්‍යයන් රැසක් ජපානය පුරා ඇති කළා. ක්‍රි.ව​. 240 දී පමණ එක් ප්‍රභල රාජ්‍යයක් කුඩා රාජ්‍යයන් රැසක් යටත් කරමින් විශාල රාජධාණියක් බිහි කළා. මේ රාජධාණිය හැඳින්වුනේ "යමතෝ" නමින්.


4. කෝෆුන් සමය (300 - 538)



යමතෝ රාජධාණියේ පාලන සමය හැඳින්වෙන්නේ කෝෆුන් සමය කියලා. මේ සමයේ ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ පාලකයන් සහ ප්‍රභූන් වෙනුවෙන් ඉඳි කළ විශාල සොහොන් ගැබ්.

ෂින්ටෝ ආගම බිහිවෙන්නේ මේ සමයේදී.

ජපානයේ මුල් වරට මධ්‍යගත පාලනයක් ඇති වෙන්නේ කෝෆුන් සමයේදී. යමතෝ රාජධාණියට දකුණු ජපානය සම්පූර්ණයෙන්ම අයිති වුනා. උතුරු ජපානය කුඩා ස්වාධීන රාජ්‍යයන් රැසකින් සමන්විත වුනා.

ජපානය චීනයත් එක්ක විශාල වශයෙන් සබඳකම් ඇති කරගත්තා. චීන සංස්කෘතියේ ආභාෂය මුල් වරට ජපානයට තදින්ම දැනුනේ කෝෆුන් සමයේදී.


පුරාතන යුගය


පුරාතන යුගය විදිහට හැඳින්වෙන්නේ ජපානයේ අධිරාජ්‍යයෙක් යටතේ මධ්‍යගත පාලනයක් පැවතුනු කාලය.

පුරාතන යුගය කාල පරිච්ඡේද තුනකට බෙදෙනවා.


1. අසුකා සමය (538 - 710)



අසුකා සමයේ වැදගත් සිද්ධීන් තුනක් වෙනවා. ඒ, චීනයේ ඉඳලා බුදු දහම පැමිණීම​, ජපානයේ වර්තමාන නම වන "නිහොං" හෙවත් "හිරු උදාවන රාජ්‍යය​" ජපානය වෙනුවෙන් පාවිච්චි කිරීම ඇරඹීම සහ ලිඛිත ඉතිහාස වාර්තා මුල් වරට බිහි වීම​.

අද අපි දකින ජපාන සංස්කෘතිය මුල් වරට බිහි වෙන්න පටන් ගන්නේ අසුකා සමයේදී.

අසුකා සමයේදී මධ්‍යගත රජය වඩාත් ශක්තිමත් වුන අතර​, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ චීන ආභාෂය ලැබූ පරිපාලන ක්‍රමයක් ඇති වුනා.


2. නරා සමය (710 - 794)



නරා සමය පටන් ගන්නේ අධිරාජ්‍යයා විසින් නරා හි අළුත් අගනුවරක් ඉඳි කිරීමත් සමඟ.

නරා සමයේ ජපන් සාහිත්‍යයේ සහ කලා ශිල්ප වල විශාල දියුණුවක් ඇති වුනා. ඒ වගේම බුදු දහම ජපානයේ ප්‍රභූ පැලැන්තියේ ආගම විදිහට ස්ථාපනය වුනා. බුදු දහමත් එක්ක චීනයේ ඉඳලා විශාල සංස්කෘතික රැල්ලක් ජපානයට ගලා ආවා.

ඒත් සොබාවික ව්‍යසන සහ වසූරිය වසංගත දෙකකින් ජපානයේ ජනගහණය අඩක් පමන මිය ගියා.


3. හේයන් සමය (794 - 1185)



හේයන් සමය ඇරඹෙන්නේ අගනුවර නරා සිට කියෝතෝ නගරයට මාරු වීමත් සමඟම​.

හේයන් සමයේදී මුළු ජපානයම අධිරාජ්‍යයා ගේ බලයට නතු වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වංශවතුන් බලවත් වීම මේ සමයේ වැදගත් සිදුවීමක්. මේ ප්‍රාදේශීය බලවතුන් විශාල ඉඩම් හිමියන් බවට පත්වීමත් එක්කම පුද්ගලික හමුදාවන් ඇති කරගත්තා. මේ තමයි සමුරායි වරුන් ගේ ආරම්භය​. විශේෂයෙන්ම ෆුජිවරා, තයිරා සහ මිනමොතෝ වංශ තුන මේ සමයේදී අධිරාජ්‍යයා තරම්ම බලවත් වුනා.

හේයයේ සමය කලා ශිල්ප අතින් විශාල දියුණුවක් ඇති වුනා. ජපන් සංස්කෘතියේ ස්වර්ණමය යුගය විදිහට සැලකෙන්නේ හේයන් සමය​. ඒ වගේම ජපන් සංස්කෘතිය චීන ආභාෂයෙන් මිදිලා ස්වාධීනව වර්ධනය වෙන්න පටන් ගන්නේ හේයන් සමයේදී.  නරා සමයේ අඩු වුනු ජනගහණය නැවත වර්ධනය වෙන්න පටන් ගන්නවා.


මධ්‍යතන යුගය​


මධ්‍යතන යුගය විදිහට හැඳින්වෙන්නේ අධිරාජ්‍යයාගේ බලය පිරිහිලා ජපානය බලවත් සමුරායි වරු විසින් පාලනය කළ යුගය​.

මධ්‍යතන යුගය කාල පරිච්ඡේද හතරකට බෙදෙනවා.


1. කමකුරා සමය (1185 - 1333)



හේයන් සමය අවසානයේදී මිනමොතෝ, තයිරා සහ ෆුජිවරා වංශ අතර විශාල යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධය හැඳින්වෙන්නේ "ගෙංපෙයි යුද්ධය​" කියලා. මේ යුද්ධයෙන් ජය ලබන මිනමොතෝ වාංශික සමුරායි වරු ජපානයේ බලය අත් කරගන්නවා. අධිරාජ්‍යයා ඔවුන් ගේ රූකඩයක් බවට පත් වෙනවා.

මිනොමොතෝ වාංශික සමුරායි වරු "ෂෝගුන්" යන තනතුරට පත් වෙලා අධිරාජ්‍යයා වෙනුවට ජපානය පාලනය කරනවා. අධිරාජ්‍යයාට තියෙන්නෙ නාමමාත්‍රික බලයක් විතරයි. මිනමොතෝ වංශයේ අගනුවර තියෙන්නේ කමකුරා නගරයේ.

කමකුරා සමයේදී ජපානයේ විශාල තාක්‍ෂනික දියුණුවක් ඇති වෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට මේ දියුණුව තදින් බලපානවා. යකඩ ආයුධ​, පොහොර භාවිතය සහ මිශ්‍ර බෝග වගාව නිසා කෘෂිකර්මාන්තය විශාල වශයෙන් දියුණු වෙනවා. ගොවීන් ගේ ජීවන තත්වනය ඉහළ යනවා. ජපානය ආර්ථික වශයෙන් සමෘධිමත් වෙනවා.

ඒ එක්කම මෙතෙක් ප්‍රභූන් ගේ ආගමක් විදිහට පැවතුනු බුදු දහම සාමාන්‍යය ජනතාව අතර පැතිරෙනවා. ජපානයේ ප්‍රධාන ආගම විදිහට බුදු දහම ස්ථාපිත වෙනවා.


2. මුරොමචි සමය (1333 - 1467)



1333 දී මිනමොතෝ වාංශික සමුරායි වරු බලයෙන් පහ කරලා අෂිකගා වාංශික සමුරායි වරු ෂෝගුන් තනතුරට පත් වෙනවා. ඔවුන් තමාගේ අගනුවර පිහිටුවා ගන්නේ කියෝතෝ නගරයේ මුරොමචි ප්‍රදේශයේ.

මුරොමචි සමයේදී ප්‍රාදේශීය සමුරායි වංශවතුන් අතිශයින් බලවත් වෙනවා. "දයිමියෝ" කියල හැඳින්වුනු මේ ප්‍රාදේශීය පාලකයන් ෂෝගුන් වරයාගේ බලය අභිබවා යනවා.

මුරොමචි සමයේදී ජපානයේ තවදුරටත් ආර්ථික සමෘදිමත් භාවය ඇති වෙනවා. චීනය සහ කොරියාව සමඟ වෙළඳ කටයුතු වර්ධනය වෙනවා. ඒ වගේම මෙතෙක් පැවති භාණ්ඩ හුවමාරුව මත රඳා පැවතුනු ආර්ථිකය වෙනුවට මුදල් භාවිතය ඇති වෙනවා. ඒ වගේම කලාශිල්ප වල විශාල දියුණුවක් ඇති වෙනවා. වර්තමාන ජපානයේ ප්‍රචලිත වෙලා තියෙන ගොඩක් කලා ශිල්ප පටන් ගන්නේ මුරොමචි සමයේදී.


3. සෙංගොකු සමය (1467 - 1603)


ෂෝගුන් වරයාගේ බලය පිරිහීමත් එක්කම ප්‍රාදේශීය පාලකයන් හෙවත් දයිමියෝ වරු ස්වාධීනව කටයුතු කරනවා. මේ සමයේදි ජපානයේ මධ්‍යගත පාලනයක් නෑ. ඒ වෙනුවට ස්වාධීන සහ අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවක් ඇති වෙනවා.

මේ රාජ්‍යයන් බලය වෙනුවෙන් එකිනෙකා සමඟ යුධ වදිනවා. අවුරුදු 100 ක් පමණ තියෙන මේ යුද්ධ වලින් ජපානය සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙනවා. 1573 දී අෂිකගා ෂොගුන් වරු බලයෙන් පහ කෙරෙනවා.

මේ යුධ සමය අවසන් වෙන්නේ 1575 දී ඔදා නොබුනගා සහ ඔහුගේ අනුගාමිකයන් වන තොයොතොමි හිදෙයොෂි සහ තොකුගව ඉඑයාසු ජපානය නැවත එක්සත් කිරීමෙන්. 1603 දී තොකුගව ඉඑයාසු ෂෝගුන් වරයා ලෙස නැවතත් බලයට පත් වීමෙන් සොගොකු සමය අවසන් වෙනවා.

ජපානයට මුලින්ම බටහිර ජාතීන් එන්නේ සෙංගකු සමයේදී. පෘතුගීසින් හරහා ජපානයට මුල් වරට තුවක්කු ලැබෙනවා.

සෙංගොකු සමයේදී ජපානය යුධ ශිල්පය අතින් විශාල දියුණුවක් ලබනවා. ආයුධ සහ සන්නාහ සැදීමේ ශිල්පය එහි උපරිමයට ළඟා වෙනවා. ඒ වගේම තුවක්කු භාවිතය ජපානය පුරා පැතිර යනවා. නමුත් මේ සමයේදී ජපානය ආර්ථික සහ සංස්කෘතික වශයෙන් පරිහානියට ලක් වෙනවා.


4. එදෝ සමය (1603 - 1868)



තොකුගවා ෂොගුන් වරු තමාගේ අගනුවර විදිහට තෝරා ගන්නේ එදෝ (වර්තමාන තෝකියෝ) නගරය. මේ සමයේදී ෂොගුන් වරයා දයිමියෝ වරුන් ගේ බලය යටපත් කිරීමට විශාල උත්සහයක් ගන්නවා. ඒ නිසා ෂෝගුන් වරයා සහ මධ්‍යගත පාලනය නැවතත් ශක්තිමත් වෙනවා.

තොකුගාවා සමයේදී ජපානයට ඉතාමත් සාමකාමී කාලයක් උදාවෙනවා. ඒ හේතුවෙන් නැවතත් ජපානයේ සංස්කෘතික පුබුදුවක් ඇති වෙනවා. නාට්‍යය කලාව, සාහිත්‍යය සහ චිත්‍ර ශිල්පය විශාල දියුණුවක් ලබනවා.

මාර්ග පද්ධතියෙ දියුණුවත් එක්ක ජපානයේ වෙළඳාම වේගයෙන් වර්ධනය වෙනවා. ඒ එක්කම කෘෂිකාර්මික උපක්‍රම වල දියුණුව නිසා ජනගහණයේ විශාල වර්ධනයක් ඇති වෙනවා. වසර 100 ක් ඇතුලත ජපානයේ ජනගහණය දෙගුණ වෙන අතර එදෝ නගරය ලෝකයේ වැඩිම ජනගහණයක් ඇති නගරය බවට පත් වෙනවා.

පෘතුගීසි, ඕලන්ද, ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය වෙළඳ නැව් ජපානයට එනවා. ඒ එක්කම ක්‍රිස්තියානි ආගම දකුණු ජපානයේ ව්‍යාප්ත වෙනවා. 1638 ඇතිවෙන ක්‍රිස්තියානින් ගේ කැරැල්ලකින් පසුව ෂෝගුන් වරයා ක්‍රිස්තියානි ආගම තහනම් කරලා විදේශිකයන්ට ජපානයට එන්නත්, ජපනුන්ට රටින් පිට වෙන්නත් සම්පූර්නයෙන්ම තහනම් කරනවා. මේ හුදෙකලාගත ප්‍රතිපත්තිය එදෝ සමයේ විශේෂ සලකුණක්.


නූතන යුගය​


නූතන යුගය වශයෙන් හැඳින්වෙන්නේ නැවතත් ජපානයේ මධ්‍යගත පාලනය ශක්තිමත් වීම සහ ජපානය ලෝකයට විවෘත වීමත්, ලෝක බලවතෙක් ලෙස නැගී සිටීමේ කාලය​.

නූතන යුගය කාල පරිච්ඡේද හතරකින් යුක්තයි.


1. මෙයිජි සමය (1868 - 1912)



1853 දී ඇමරිකානු යුධ නැව් ජපානයේ වරායන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරලා බලහත්කාරයෙන් වෙළඳ ගිවිසුම් අත්සන් කරනවා. මේ සිද්ධියෙන් ජපානය වටහා ගන්නවා හුදෙකලාගත ප්‍රතිපත්තිය තවදුරටත් සාර්ථක නොවන බවත්, ජපානයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගන්න නම් ජපානය තාක්‍ෂනික වශයෙන් බටහිර ජාතීන් එක්ක කරට කර සිටිය යුතු බවත්.

1868 දී සමුරායි වංශ කීපයක් එකතු වෙලා ෂොගුන් වරයා බලයෙන් පහ කරලා නැවතත් අධිරාජ්‍යයා බලයට පත් කරනවා. ජපානය ජාතික රාජ්‍යයක් බවට පත් වෙනවා.

අධිරාජ්‍යයා සහ ඔහුගේ හිතවත් ප්‍රභූන් ජපානය නවීකරණය කරනවා. සීමිත ඡන්ද බලයෙන් පත් වන පාර්ලිමේන්තුවක් සහ ව්‍යවස්ථාවක් පිහිටුවනවා. සමුරායි වරු පන්තියක් වශයෙන් අහෝසි වෙනවා. ඒ එක්කම බටහිර තාක්‍ෂනය ලබාගෙන ජපානයේ සියළුම අංශ වේගයෙන් නවීකරණය කෙරෙනවා.

මේ කාලයේදී ජපානය ආර්ථික සහ සංස්කෘතික අතින් විශාල දියුණුවක් ලබනවා. කාර්මීකරණය සහ යුධ හමුදාව නවීකරණය වීමත් සමඟම ජපානය ක්‍රමයෙන් ලෝක බලවතෙක් ගේ තත්වයට පත් වෙනවා.


2. තයිෂෝ සමය (1912 - 1926)



තයිෂෝ සමයේදී අධිරාජ්‍යයා ගේ පාලනය දුර්වල වෙලා ධනවත් ව්‍යාපාරිකයන් සහ උගතුන් අතට වැඩි බලයක් ලැබෙනවා. මේ කාලයේදී නිදහස් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත වෙනවා. 1925 දී සියළුම පිරිමින්ට ඡන් ද බලය ලැබෙනවා. සාමාන්‍යය ජනතාවට ඡන්ද බලය ලැබීමත් එක්කම සමාජවාදී අදහස් ජපානයේ ව්‍යාප්ත වෙනවා.


3. ෂෝවා සමය (1926 - 1952)



ෂෝවා සමයේදී ජපානයේ නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නැවත හකුලා දමනවා. අධිරාජ්‍යයා නැවතත් බලවත් වෙනවා.

ජපානයේ චීනය මත තම බලය පතුරුවන්න උත්සහ කිරීමත් සමඟම ජපාන - චීන යුද්ධයක් ඇති වෙනවා. මේ නිසා ජපන් සමාජය ක්‍රමයෙන් යුධකරණය කෙරෙනවා. යුධ හමුදාව සහ නාවුක හමුදාව දේශපාලන කටයුතු වලදී අතිශයින් බලවත් වෙනවා.

ජපන් - චීන යුද්ධයේදී ජපන් හමුදා ජයග්‍රහන රැසක් ලබා ගන්නවා. නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ජපානයට ආර්ථික සම්භාධක පැනවීමත් සමඟම ජපානයේ කර්මාන්ත වලට අවශ්‍යය අමුද්‍රව්‍යය ලබා ගැනීමේ ගැටළුවක් ඇති වෙනවා. මේ නිසා ජපානය ආසියාවේ අධිරාජ්‍යයක් ගොඩ නංවන්න තීරණය කෙරෙනවා. මේ සිද්ධි මාලාව අවසන් වෙන්ණේ ජපානය දෙවැනි ලෝක යුද්ධයට අවතීර්ණ වීමෙන්.

දෙවැනි ලෝක යුද්ධයෙන් ජපානය දරුණු පරාජයක් ලබනවා. ජපානයේ ආර්ථිකය සම්පූනර්නයෙන්ම විනාශ වෙනවා. ඇමරිකන් හමුදා ජපානය ආක්‍රමනය කරලා ජපනයේ ලැගුම් ගන්නවා. ඇමරිකාව විසින් ජපානයට නව ව්‍යවස්ථාවක් ලබා දෙනවා. අධිරාජ්‍යයා නාමමාත්‍රික බලයකට සීමා කෙරෙන අතර ජපානයට සර්වජන ඡන්දයෙන් පත් කෙරෙන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් හඳුන්වා දෙනවා.


4. නවීන සමය (1952 - වර්තමානය)



ජපානය නැවතත් ආර්ථිකය ගොඩනැංවීමේ වැඩ සටහනක් දියත් කරනවා. ලෝක ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න ඔවුන් සමත් වෙනවා. ජපානය කාර්මික අංශයෙන් ලෝකයේ ඉහළම තැනකට ළඟා වෙනවා. ඒ එක්කම දැවන්ත ආර්ථික සමෘධියක් ඇතිවෙනවා.

ඊට සමගාමීව ජපන් සංස්කෘතියේ සහ කලාශිල්ප වල නව පුබුදුවක් ඇති වෙනවා.

මේ සමයේදී ජපානයේ පාලන බලය දිගටම ලබා ගන්නේ ජාතිකවාදීන්.

1990 සිට ජපන් ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වුනත්, ජපානය දිගටම ලෝකයේ ඉහළම ආර්ථික බලවතෙක් වශයෙන් පවතින්න සමත් වෙනවා.

Wednesday, October 17, 2018

All Time Greatest English Test Team


ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය නියෝජනය කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සැදුම් ලත් ක්‍රිකට් කණ්ඩායම​.

(සන්සන්දනය කිරීමේ පහසුව සඳහා 1920 ට පෙර ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයන් නොසලකා හැර තිබේ)


1. ජැක් හොබ්ස්


ජෝන් බෙරී හොබ්ස් (The Master)
ප්‍රාන්ත පිල : සරේ



තාක්‍ෂනය අතින් පිරිපුන් ආරම්භක පිතිකරුවෙක් වුන ජැක් හොබ්ස් සැලකුනේ එංගලන්ත පිතිකරණයේ මුදුන් මල්කඩ විදිහට​.

1908 සිට 1930 දක්වා අවුරුදු 22 ක ටෙස්ට් ජීවිතය පුරාවට හොබ්ස් ලකුණු 5000 ක් සහ ශතක 15 ක් රැස් කළා. ඔහුගේ ශතක වලින් අඩක්ම වාර්තා කලේ ඔහු වයස 40 ඉක්මවූ පසුව​. ටෙස්ට් ශතකයක් රැස් කළ වයස්ගතම පිතිකරු වන්නේත් හොබ්ස්. හොබ්ස් පළමුපෙළ තරග වලදී ලකුණු 61,000 ක් සහ ශතක 199 ක් වාර්තා කළා. මේ දෙකම අදටත් නොබිඳුනු ලෝක වාර්තා. හොබ්ස් විශ්‍රාම යනවිට ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවා වුනේ ඔහු.

1920 දශකයේදී එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය වුනේ හර්බර්ට් සට්ක්ලිෆ් සහ ජැක් හොබ්ස්. මේ යුගලය අදටත් සැලකෙන්නේ ලොව බිහිවූ හොඳම ආරම්භක පිතිකරු යුගලයක් විදිහට​. ඉනිම 38 කදී ඔවුන් දෙදෙනා ශතක සබඳතා 15 ක් පවත්වා තියෙනවා.

සට්ක්ලිෆ් ගේ අදහස අනුව පන්දු යවන්නන්ට වාසි සහගත තණතිලි වලදී හොබ්ස් බ්‍රැඩ්මන්ටත් වඩා හොඳ පිතිකරුවෙක්. හොබ්ස් සැලකුනේ තාක්‍ෂනිකව ඉතාම නිවැරදි සහ ඉතාමත් අඩුවෙන් අවදානම් ගන්නා පිතිකරුවෙක් විදිහට​. මේ නිසාම අදටත් ඔහු සැලකෙන්නේ ආරම්භක පිතිකරුවන් අතර රජු විදිහට​.


2. ලෙන් හට්න්


ලෙනාර්ඩ් හට්න්
ප්‍රාන්ත පිල : යෝක්‍ෂයර්



දෙවන ලෝක යුද්ධයෙන් පසු කඩා වැටුනු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව යලි ගොඩනැංවීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කලේ ලෙන් හට්න්.

හට්න් තමාගේ දෙවන ටෙස්ට් තරගාවලියේදීම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 364 ක් රැස් කරමින් එවකට වැඩිම ටෙස්ට් ඉනිම සඳහා වූ ලෝක වාර්තාව බිඳ දැම්මා. නමුත් අවාසනාවකට හට්න් ට තමාගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම අවුරුදු හතක් යුද්ධය නිසා අහිමි වුනා. ඒ වගේම යුධ සේවයේදී අනතුරකට ලක් වීම නිසා ඔහුගේ වම් අත අඟල් දෙකක් කොට වුනා. මේ හේතුවෙන් යුද්ධයට පසු ඔහුගේ පහරවල් එල්ල කිරීමේ රටාව වෙනස් කරගන්න ඔහුට සිදු වුනා. ඒත් ඔහුගේ ලකුණු ලබාගැනීමේ හැකියාවට ඒකෙන් කිසිම බාධාවක් වුනේ නෑ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව දැඩි පසුබෑමකට ලක්වුනා. එංගලන්ත පිලේ පිතිකරණයේ බර සම්පූර්නයෙන්ම වගේ පැටවුනේ හට්න් ගේ කර මතට​. ඔහු ලින්ඩ්වෝල් සහ මිලර් වැනි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ට නොබියව මුහුණ දෙමින් මෙ කාර්‍යය සාර්ථකව ඉටු කලා.

1950 සංචාරයේදී දී රාමදීන් සහ වැලන්ටයින් යන කොදෙව් දඟපන්දු යවන්නන් දෙදෙනා එංගලන්ත පිතිකරුවන් විනාශ කලා. නමුත් හට්න් ඔවුන්ට සාර්ථකව මුහුණ දුන්නා. ඕවල් පිටියේ පැවැත්වුනු හතරවන ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල ලකුණු 344 කට සියල්ල දැවී යද්දී හට්න් නොදැවී ලකුණු 202 ක් රැස් කලා. මේ ඉනිම අදටත් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම ඉනිමක් විදිහට​.

හට්න් ආරම්භක පිතිකරුවෙක් විදිහට නිවැරදි තාක්‍ෂනයක් සහ ඉවසිලිවන්ත තරග රටාවක් අනුගමනය කළ පිතිකරුවෙක්. නමුත් ඔහුට අවශ්‍යවිටකදී ආක්‍රමනශීලී පිතිහරඹයක නියැලෙන්නත් හැකියාව තිබුනා. ඔහුගේ ටෙස්ට් දිවිය අවසන් වන විට 56.67 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 6,900 ක් රැස් කරන්න ඔහුට හැකි වුනා.

1952 දී එංගලන්ත නායකත්වය භාර ගත් හට්න් 1953 දී ඕස්ට්‍රේලියාව පරදවමින් අළුබඳුන ශූරතාවය එංගලන්තයට දිනා දුන්නා. මේ සඳහා හට්න් ගෙ පිත්තේ දායකත්වය කැපී පෙනුනා. 1954-55 ඕස්ට්‍රේලියානු සංචාරයේදී නැවතත් අළුබඳුන රැක ගන්න හට්න් ප්‍රමුඛ එංගලන්ත පිල සමත් වුනා. 1955 දී හට්න් විශ්‍රාම යනවිට ලොව හොඳම ක්‍රිකට් පිල වශයෙන් සැලකුනේ එංගලන්ත පිල​.


3. කෙන් බැරිංටන්


කෙනත් ෆ්‍රෑන්ක් බැරිංටන්
ප්‍රාන්ත පිල : සරේ




"කෙන් බැරිංටන් පන්දුවට පහර දෙන්න එනවිට ඔහු පිටුපසින් එංගලන්ත කොඩිය ලෙල දෙන හැටි මැවිලා පේනවා" ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් බැරිංටන් ගැන කිව්වෙ එහෙමයි. තම්න් ක්‍රීඩා කල හැම විනාඩියක් ම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල බැරිංටන් ගැන ඒක හොඳ හැඳින්වීමක්.

1950 දශකයේ අග භාගයේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවුන පිබිදීමේ ඉදිරියෙන්ම හිටපු ක්‍රීඩකයෙක් තමයි කෙන් බැරිංටන්. ක්‍රීඩාවට පිවිසෙනකොට ආක්‍රමනශීලී පිතිකරුවෙක් වුන බැරිංටන්, එංගලන්ත පිලේ එවකට පීටර් මේ, ටොම් ග්‍රැවනි වගේ ආක්‍රමනශීලී පිතිකරුවන් රැසක් හිටපු නිසා තමාගේ ක්‍රීඩා විලාශය වෙනස් කරගෙන ඉතාමත් ඉවසිලිවන්ත සුපරික්‍ෂාකාරී පිතිකරුවෙක් බවට පරිණාමය වුනා.

එංගලන්ත පිලේ අංක 3 ස්ථානය ස්ථිරවම හිමි වුනේ බැරිංටන්ට​. බැරිංටන්ගේ ටෙස්ට් ඉනිම 114 අතරින් 31 කදීම එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරු වුනේ ඔහු. ඒක එංගලන්ත පිල බැරිංටන් ගේ පිතිහරඹය මත කොයිතරම් රඳා පැවතුනාද කියන එක ගැන හොඳ දර්ශකයක්.

බැරිංටන්ගේ පන්දුවට පහරදීමේ විශිෂ්ඨත්වය මැනවින් ප්‍රදර්ශනය වුන අවස්ථාවක් තමයි 1967 දී ඉන්දියාවට, පාකිස්ථානයට සහ කොදෙව් පිලට එරෙහිව ඉනිම 13 කදී ඔහු ලබා ගත් අර්ධ ශතක 5 සහ ශතක 3.

ඔහු ක්‍රීඩාවෙන් සමු ගද්දී ටෙස්ට් ලකුණු 6,800 රැස් කලේ සාමාන්‍යය 58.67 ක් රඳවා ගනිමින්. අදටත් ටෙස්ට් ලකුණු 2000 ට වැඩියෙන් රැස් කළ පිතිකරුවන් අතර දෙවැනියට ඉහළම සාමාන්‍යයක් තියෙන්නේ බැරිංටන්ට.


4. වොලී හැමන්ඩ්


වෝල්ටර් රෙජිනෝල්ඩ් හැමන්ඩ්
ප්‍රාන්ත පිල : ග්ලූසෙස්ටෂයර්



එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම පිතිකරු විදිහට සැලකෙන්නේ වොලී හැමන්ඩ්. ඉතාමත් අලංකාර පිතිකරන රටාවක් තිබුනු පිතිකරුවෙක් වුන හැමන්ඩ් ගේ කවර් ඩ්‍රයිව් පහර සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ ඉතාමත් අලංකාර පහර විදිහට​.

1928 දී තමාගේ නව වැනි ටෙස්ට් තරගයට සහභාගී වන තරුණ පිතිකරුවෙක් විදිහට ඕස්ට්‍රේලියාවට එන හැමන්ඩ් සංචාරය පුරාවටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අසරණ කරමින් ටෙස්ට් තරග 5 කදී ලකුණු 905 රැස් කලා. ඒ ශතක දෙකක් සහ ද්විත්ව ශතක දෙකක් සමඟින්. ඒ සංචාරය අවසන් වුනේ හැමන්ඩ් ලෝකයේ හොඳම පිතිකරු ලෙස පොදු පිළිගැනීමට ලක් වෙමින්. නමුත් හැමන්ඩ් ගේ අවාසනාවට ඒ සංචාරයේදී ම ටෙස්ට් වරම් ලබන බ්‍රැඩ්මන් ඔහුගෙන් ඒ කිරුල උදුරා ගන්න සමත් වුනා.

තමාගේ ක්‍රිකට් ජීවිතය පුරාවටම කොයිතරම් පිත්තෙන් දස්කම් පෑවත්, හැම විටම බ්‍රැඩ්මන් හමුවේ දෙවැනි තැනට වැටීමේ අවාසනාවට හැමන්ඩ් ලක් වුනා. බ්‍රැඩ්මන් නොහිටින්න හැමන්ඩ් අද සැලකෙනු ඇත්තේ ලෝක ඉතිහාසයේ හොඳම පිතිකරු විදිහට​.

හැමන්ඩ් තමාගෙ ටෙස්ට් දිවිය නිම කරන විට ත්‍රිත්ව ශතකයක් සහ ද්විත්ව ශතක 5 ක් ඇතුළුව ශතක 22 ක් රැස් කර ගන්න සමත් වුනා. නවසීලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 336 ඔහු ලබා ගන්නේ විනාඩි 318 ඇතුලත​. ඊට හයේ පහර 10 සහ හතරේ පහර 34 ක් ඇතුලත් වුනා. හැමන්ඩ් ගේ ප්‍රවේගකාරී පිතිහරඹයට ඒ ඉනිම කදිම නිදසුනක්.

හැමන්ඩ් ටෙස්ට් තරග 85 කදී ලකුණු 7,200 ලබා ගන්නේ 58.46 ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. ඊටඅමතරව ඔහු පළමු පෙළ තරග වලදී ශතක 167 සමඟින් ලකුණු 50,000 ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පිතිකරුවෙක් වුනාට අමතරව ඔහු දක්‍ෂ මද වේග පන්දු යවන්නෙක් සහ විශිෂ්ඨ ස්ලිප් ක්‍රීඩකයෙක් වුනා. ඔහු රැකගත් උඩ පන්දු ගණන 110 ක්. එය එවකට ලෝක වාර්තාවක්.


5. ඩෙනිස් කොම්ප්ටන්


ඩෙනිස් චාර්ල්ස් ස්කොට් කොම්ප්ටන්
ප්‍රාන්ත පිල : මිඩ්ල්සෙක්ස්



ලෙන් හට්න් වගේම තමාගේ හොඳම කාලය යුද්ධය වෙනුවෙන් පූජා කරන්න වුන ක්‍රීඩකයෙක් තමයි ඩෙනිස් කොම්ප්ටන්. කොම්ප්ටන් එංගලන්ත ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වුනේ නිදහස් ක්‍රීඩා රටාවක් සහිත සටන්කාමී පිතිකරුවෙක් විදිහට​.

1937 දී ටෙස්ට් පිටියට අවතීර්න වන කොම්ප්ටන් එංගලන්ත පිලේ මැදපෙළ පිතිකරුවෙක් විදිහට තහවුරු වුනත්, යුද්ධය නිසා ඔහුට 1939 සිට 1946 දක්වා වසර හතක් ටෙස්ට් පිටිය අහිමි වෙනවා. කොම්ප්ටන් එංගලන්ත පිතිකරු ලැයිස්තුවේ තමාගේ සලකුණ සටහන් කරන්නේ 1947 වසරේදී ශතක 6 ක් සමඟ ලකුණු 1159 ක් රැස් කිරීමෙන්. මෙයට ඇඩිලේඩ් පිටියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම දෙකේදීම ශතක රැස් කිරීමත් ඇතුළත්.

කොම්ප්ටන් ගේ විශිෂ්ඨතම ඉනිම විදිහට සැලකෙන්නේ 1948 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව මැන්චෙස්ටර් හිදී නොදැවී ලබා ගත් ලකුණු 145. එංගලන්ත ඉනිමේ ඊළඟට වැඩිම ලකුණු ගණන වුනේ 37. පන්දු යවන්නන්ට ඉතාමත් වාසි සහගත තණ නිල්ලක ලින්ඩ්වෝල්, ජොන්ස්ටන්, තොෂැක් සහ ජොන්සන් වැනි දක්‍ෂ පන්දු යවන්නන් ට එරෙහිව ලබා ගත් මේ ශතකය කොම්ටන් ගේ සටන්කාමීත්වය මැනවින් ප්‍රදර්ශනය කලා.

1950 දී දණහිසේ ආබාධයකට ගොදුරු වීමෙන් පසු කොම්ප්ටන් ගේ පිතිකරණය මදක් පසු බෑවත්, ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට 50.06 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 5,800 ක් ලබා ගන්න සමත් වුනා.

කොම්ප්ටන් ගේ හැකියාවන් ක්‍රිකට් පිටියට පමණක් සීමා වුනේ නෑ. ඔහු ආසනල් පිල වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන්නත් සමත් වුනා.


6. ඉයන් බොතම්


ඉයන් ටෙරන්ස් බොතම් (Beefy, Guy de Gorilla)
ප්‍රාන්ත පිල : සමර්සෙට්, ඩර්හැම්, වෝසෙස්ටෂයර්



එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දඩබ්බරයා ලෙස සැලකුණු බොතම්, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව පසු බෑමකට ලක් වුන 70 සහ 80 දශක වලදී ඊට සටන්කාමීත්වයක් එකතු කරන්න සමත් වුනා.

ඉයන් බොතම් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ බිහිවුනු විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට​. ක්‍රීඩාවට එළැඹුනු මුල් දවස් වල ඉතාමත් වේගවත් පන්දු යවන්නෙක් වුන බොතම් වයස්ගත වෙද්දී වේගය අඩු වුනත් දෝලනය සහ කපටි කම පාවිච්චි කරමින් පිතිකරුවන් අභිබවා යන්න සමත් වුනා. ඒ වගේම ඔහු ඉතාම ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුනා. පන්දු රැකීමේදීත් බොතම් දැක්වුයේ නොමද හැකියාවක්.

ඉයන් බොතම් ටෙස්ට් කඩුළු 100 ලබා ගන්නේ ඔහුගේ 19 වැනි ටෙස්ට් තරගයේදී. ඊට වඩා අඩු ටෙස්ට් තරග ගණනකින් කඩුළු 100 ලබා ගත් ක්‍රීඩකයන් ඉන්නේ 6 දෙනෙක් පමණයි. බොතම් 1986 දී ඩෙනිස් ලිලී අභිබවා යමින් වැඩිම ටෙස්ට් කඩුළු ගණනක් දවා ගත් ක්‍රීඩකයා බවට පත් වුනා. ඔහු තම ක්‍රීඩා දිවිය අවසන් කලේ කඩුළු 383 ලබා ගණිමින්.

බොතම් අවස්ථා පහකදී ශතකයක් සහ ඉනිමක කඩුළු පහක් දවාගෙන තියෙනවා. එවැනි දස්කමක් කළ එකම ක්‍රීඩකයා ඔහු. අනෙක් කිසිම ක්‍රීඩකයෙක් දෙවතාවකට වඩා එවැනි දස්කමක් දක්වා නෑ.

බොතම් ගේ විශිෂ්ඨතම තරගය ලෙස සැලකෙන්නේ 1981 ඕස්ට්‍රේලියාවට එරෙහිව ලීඩ්ස් හිදී පැවැත්වුනු ටෙස්ට් තරගය​. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේදී බොතම් කඩුළු 6 ක් දවා ගන්නවා. ඒත් එංගලන්තය තම දෙවැනි ඉනිම අරඹන්නේ ලකුණු 227 ක් පිටුපසින්. ඔවුන් දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුළු 7 ක් දැවී අසීරු අවස්ථාවක සිටින විට බොතම් හතරේ පහර 27 ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 148 කදී ලකුණු 149 ක් රැස් කරමින් ඕස්ට්‍රේලියාවට ලකුණු 130 ක ඉලක්කයක් ලබා දෙනවා. ඕස්ට්‍රේලියාව ලකුණු 111 කට දැවී යන්නේ එංගලන්තයට ලකුණු 18 ක ජයක් ලබා දෙමින්.


7. ගොඩ්ෆ්‍රී එවන්ස්


තෝමස් ගොඩ්ෆ්‍රී එවන්ස්
ප්‍රාන්ත පිල : කෙන්ට්



එංගලන්තයෙන් බිහිවූ හොඳම කඩුළු රකින්නා විදිහට ගොඩ්ෆ්‍රේ එවන්ස් සහ ඇලන් නොට් යන ක්‍රීඩකයන් දෙන්නම විවිධ විචාරකයන් විසින් නම් කරනවා. ඒ ගැන ගොඩක් තර්ක විතර්ක තියෙනවා. ඒත් කිසිම තර්කයකින් තොරව හැමෝම පිළිගන්න කරුණ තමයි වඩාත්ම සටන්කාමී කඩුළු රකින්නා ගොඩ්ෆ්‍රී එවන්ස් බව​.

එවන්ස් ටෙස්ට් පිටියට අවතීර්න වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු 1946 දී. ඔහු බිඳ වැටුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවූ සමයේ සිට 1950 දශකයේ මැද භාගයේ ලෝකයේ හොඳම ක්‍රිකට් පිල දක්වා ගිය සමය දක්වා කඩුල්ල පිටුපස නොසැලෙන කාර්‍ය භාරයක් ඉටු කලා.

ටෲමන්, ටයිසන්, ස්ටේතම් වගේ වේග පන්දු යවන්නන්, බෙඩ්සර් වගේ පන්දුව දෝලනය කරන මද වේග පන්දු යවන්නන් වගේම ලේකර් සහ ලෝක් වැනි දඟ පන්දු යවන්නන් හමුවේ එවන්ස් විශිෂ්ඨ කඩුළු රැකීමක නිරත වුනා. ඔහු අතින් දවා ගැනීමක් හෝ අතිරේක ලකුණක් ගිලිහී ගියේ ඉතාම කලාතුරකින්.

එවන්ස් ගේ විශේෂත්වය වුනේ පිතිකරුගේ පා ඉන්න දෙසින් එන පන්දු රැක ගැනීම​. මද වේග පන්දු යවන බෙඩ්සර්ට එවන්ස් කඩුළු රැක්කේ කඩුල්ල අසලම රැඳී සිටිමින්. ඒ වුනත් පා ඉන්න පැත්තෙන් එක පන්දුවක්වත් එවන්ස් අතහැරියේ නෑ. සමහර අවස්ථාවලදී පිතිකරු ගේ ලෙග් ග්ලාන්ස් පහරවල් පවා උඩපන්දු විදිහට රැකගන්න ඔහු සමත් වුනා.

ඒ වගේම එවන්ස් සටන්කාමී පිතිකරුවෙක්. එංගලන්තය අසීරු අවස්ථාවකට පත්වුනු හැම වෙලාවේම එවන්ස් ගේ සටන්කාමී පිත්ත ක්‍රියාත්මක වුනා. ඔහු තම ක්‍රිකට් දිවිය නිමා කලේ ශතක දෙකක් සහ අර්ධ ශතක අටක් වාර්තා කරමින්.


8. හැරල්ඩ් ලාවූඩ්


හැරල්ඩ් ලාවූඩ්
ප්‍රාන්ත පිල : නොටිංහැම්‍ෂයර්



හැරල්ඩ් ලාවූඩ් සැලකෙන්නේ ලෝකයේ මෙතෙක් බිහිවුනු බිහිසුනුම වේග පන්දු යවන්නා විදිහට​.

පැයට සැතපුම් 100 ක පමණ වේගයෙන් පන්දු යැවූ ලාවූඩ් ගේ විශේෂත්වය වුනේ ශාරීරික යෝග්‍යතාවය සහ නිවැරදි එල්ලය​. එතරම් උස ක්‍රීඩකයෙක් නොවුනත් ඉතාමත් ශක්තිමත් සිරුරකට හිමිකම් කිවූ ලාවූඩ් අධි වේගයෙන් දවස පුරාවට වෙහෙස වීමකින් තොරව පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙක්.

1926 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලාවූඩ් ටෙස්ට් පිටියට පිවිසෙන්නේ තරුණ අධිවේගී පන්දු යවන්නෙක් විදිහට​. ඒ තරගාවලියේදී විශේෂයෙන් කැපී පෙනෙන යමක් නොකළත් ඉක්මනින්ම ඔහු ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා විදිහට නමක් දිනා ගත්තා. 1928 දී නැවතත් එංගලන්ත ටෙස්ට් පිලට ඇතුල්වන ලාවූඩ් එංගලන්ත පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නා විදිහට ස්ථාවර වුනා.

1930 ඕස්ට්‍රේලියානු පිලේ එංගලන්ත සංචාරයේදි බ්‍රැඩ්මන් එංගලන්ත පන්දු යවන්නන් සියළුම දෙනා විනාශ කර දැමුවා. ලාවූඩ් ටත් අත් වුනේ ඒ ඉරණම මයි. ටෙස්ට් තරග තුනකදී ඔහුට දවාගන්න ලැබුනේ කඩුළු හතරක් පමණයි.

1933 එංගලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් ඕස්ට්‍රේලියාවත් බ්‍රැඩ්මන්වත් නවතාලීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා. මේ සඳහා ඔහු යොදාගත් මූලික අවිය වුනේ තමාගේ වේග පන්දු බල​ඇණිය​. බිල් වෝස්, බිල් බෝව්ස්, ගබී ඇලන් ගෙන් සමන්විත වුනු මේ බලැණියේ මූලිකත්වය ගත්තේ ලාවුඩ්.

සංචාරය පුරාවටම එංගලන්ත වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ගේ සිරුරු ඉලක්ක කරගෙන පන්දු යැවීමේ උපක්‍රමයක් යොදා ගත්තා. "බොඩි ලයින්" නමින් හැඳින්වුනු මේ උපක්‍රමය නිසා පිතිකරුවන්ට ලකුණු රැස්කිරීම වෙනුවට සිද්ධ වුනේ තමාගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීම ගැන වෙහෙස වෙන්න.

ඇඩිලේඩ් හි පැවතුනු තුන්වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙක්ම ලාවූඩ් ගේ පන්දු වැදීමෙන් ඉතා දරුණු තුවාල ලැබුවා. තරගාවලිය පුරාවටම ලාවූඩ් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් භීතියෙන් මුසපත් කළා. තරගාවලිය පුරාවට ලකුණු 644 කට කඩුළු 33 ක් දවාගන්න ලාවූඩ් සමත් වුනා. තරගාවලිය 4-1 විදිහට එංගලන්තය ජය ගත්තා.

නමුත් තරගාවලියෙන් පසුව ඇතිවුනු මත ගැටුමේදී එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සියළු වැරදි ලාවූඩ් පිට පටවා අත සෝදා ගැනීම නිසා ඔහුව නැවත එංගලන්ත පිලට තෝරා ගැනුනේ නෑ. මේ නිසා ඉතාමත් අවාසනාවන්ත විදිහට ලාවූඩ් ගේ ටෙස්ට් දිවිය වසර 7 කට සහ තරග 21 කට සීමා වුනා.


 9. ජිම් ලේකර්


ජේම්ස් චාල්ස් ලේකර්
ප්‍රාන්ත පිල : එසෙක්ස්, සරේ

 

එංගලන්තයෙන් බිහි වුනු හොඳම දඟ පන්දු යවන්නා විදිහට සැලකෙන්නේ ජිම් ලේකර්.

දකුණතින් පිට දඟ පන්දු යවන ජිම් ලේකර් තමාගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අරඹන්නේ 1948 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පළමු ඉනිමේම කඩුළු 7 ක් දවා ගනිමින්. එතැන් සිට අවුරුදු 11 ක් පුරාවට එංගලන්ත පිලේ ප්‍රමුඛ දඟ
පන්දු යවන්නා ගේ භූමිකාව ජිම් ලේකර් ඉටු කළා.

1950 දශකයේ බිඳ වැටුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවමින් එංගලන්ත පිල ලෝකයේ හොඳම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දක්වා ගිය ගමනේදී ලේකර් විශාල කාර්‍ය භාරයක් ඉටු කළා. ලේකර් ගේ සහ පා දඟ පන්දු යවන ටෝනි ලෝක් ගේ පන්දු යැවීමේ සුසංයෝගය අදටත් සැලකෙන්නේ ලෝකයේ බිහිවුනු හොඳම දඟ පන්දු යුගලයක් විදිහට​.

ලේකර් ගේ නම ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය තැනක් ලබා ගත්තේ 1956 ඕස්ට්‍රේලියාවේ එංගලන්ත සංචාරයේදී. එහිදී 1-0 ලෙස ඉදිරියෙන් සිටි ඕස්ට්‍රේලියාව අභිබවා පිට පිට තුන් වැනි වරටත් අළු බඳුන රැක ගැනීමට එංගලන්‍තය සමත් වෙන්නේ තුන්වන සහ හතරවන ටෙස්ට් තරග ජයග්‍රහණය කරමින්. මෙහිදී ලේකර් තුන්වන තරගයේදී කඩුළු 11 සහ හතරවන තරගයේදී කඩුළු 19 ක් දවාගනිමින් ඉදිරියෙන්ම හිටියා.

වැස්සෙන් තෙමුණු තණතීරුවක් මත පැවැත්වුනු හතරවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලේකර් ලකුණු 37 කට කඩුළු 9 ක් දවා ගන්නේ ඕස්ට්‍රේලියාව ලකුනු 84 කට දවා ගනිමින්. දෙවන ඉනිමේදී ඔහු ලකුණු 53 කට කඩුළු 10 ම දවා ගනිමින් ලෝක වාර්තාවක් තිබ්බා. අදටත් ටෙස්ට් තරගයක ඉනිමක සහ තරගයක හොඳම පන්දු යැවීම විදිහට සටහන් වෙන්නේ ලේකර් ගේ මේ දස්කම​.

ඒ තරගාවලියේ දී ලේකර් තරග 5 කදී ලකුණු 442 කට කඩුළු 46 ක් ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් පෑවා.

එංගලන්ත තේරීම් කමිටුවේ ඒ කාලයේ ප්‍රතිපත්තිය අනුව ඕස්ට්‍රේලියානු සංචාර සඳහා යොදවා ගත්තේ පා දඟ පන් දු යවන්නන් පමණයි. ඒ නිසා ලේකර් ට ඕස්ට්‍රේලියානු සංචාරයක් ලැබෙන්න 1959 වන තුරු ඉන්න සිදු වුනා. මේක ඔහුගේ ක්‍රිකට් දිවියේ වුනු විශාල අවාසියක්.

නමුත් ඔහු ටෙස්ට් දිවිය නිමා කළේ තරග 46 කදී 21.24 ක සාමාන්‍යයක් සහිතව කඩුළු 193 ක් දවා ගනිමින්. පළමු පෙළ තරග වලදී ඔහු දවාගත් කඩුළු ගණන 1944 ක්.

10. ෆ්‍රෙඩී ටෲමන්


ෆ්‍රෙඩ්‍රික් සීවර්ඩ්ස් ටෲමන් (Fiery Fred)
ප්‍රාන්ත පිල : යෝර්ක්‍ෂයර්



කිසිම විවාදයකින් තොරව එංගලන්තයෙන් බිහිවුන හොඳම වේග පන්දු යවන්නා විදිහට ෆ්‍රෙඩී ටෲමන් සලකන්න පුළුවන්.

1952 දී 21 හැවිරිදි තරුණ වේග පන්දු යවන්නෙක් විදිහට ඉන්දියාවට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන ටෲමන් එවකට ඉතාමත් වේගවත් පන්දු යවන්නෙක් වුනා. තමාගේ වේගයෙන් ඉන්දීය පිතිකරුවන් භීතියෙන් මුසපත් කළ ටෲමන් තරගාවලිය අවසන් කළේ තරග 4 කදී ලකුණු 386 කට කඩුළු 29 ක් දවා ගනිමින්. මෙහිදී ඔහු මැන්චෙස්ටර් හිදී ඉන්දීය පළමු ඉනිමේදී  ලකුණු 31 කට ලබා ගත් කඩුළු 8 කැපී පෙනෙනවා.

ඉතාමත් සුමට පන්දු යැවීමේ ඉරියව්වක් හිමි වුනු ටෲමන් ඒ නිසාම ආබාධ වලට ලක් වුනේ ඉතාමත් අඩුවෙන්. ප්‍රතිවාදී පිතිකරුවන් භීතියට පත් කිරීම ටෲමන් ගේ ප්‍රධාන අවියක් වුනා. 

50 දශකයේ එංගලන්තය සතුව බෙඩ්සර්, ටයිසන්, ස්ටේතම්, ලෝඩර් වැනි හොඳ වේග පන්දු යවන්නන් ගණනාවක් සිටීම සහ ටෲමන් ගේ නිලධාරීන්ට අවනත නොවීමේ ගතිය නිසා ඔහුට ටෙස්ට් තරග ගණනාවක් මග හැරුනත්, 59-65 කාලය තුල ටෲමන් එංගලන්ත පිලේ නිත්‍ය සාමාජිකයෙක් වුනා. ඒ වන විට ඔහුගේ අධි වේගය අඩු වී තිබුන නමුත්, එල්ලය සහ දෝලනය විශිෂ්ඨ ආකාරයට යොදා ගත් නිසා පිතිකරුවන්ට එල්ල වුන තර්ජනයේ අඩුවක් වුනේ නෑ. ටෲමන් - ස්ටේතම් සුසංයෝගය අදටත් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ බිහි වුනු හොඳම වේග පන්දු සුසංයෝගයක් විදිහට​.

ටෙස්ට් ඉතිහාසයේ කඩුළු 300 ක් දවා ගත් පළමු පන්දු යවන්නා වුනේ ටෲමන්. ඔහු ටෙස්ට් දිවිය නිම කළේ තරග 67 කදී 21.57 ක සාමාන්‍යයක් සහිතව කඩුළු 307 ක් දවා ගනිමින්. පළමු පෙළ තරග වලදී ටෲමන් කඩුළු 2304 ක් දවා ගත්තා. ඔහුගේ කඩුළු ලබා ගැනීමේ ප්‍රහාරක වේගය පන් දු 49.4 කට එක කඩුල්ලක් විදිහට සටහන් වෙනවා. අදටත් කඩුළු 300 ට වඩා ලබා ගත් පන්දු යවන්නන් අතරින් ඔහුට වඩා හොඳ ප්‍රහාරක වේගයක් තියෙන්නේ ඩේල් ස්ටේන්, මැල්කම් මාෂල්, වකාර් යුනිස් සහ ඇලන් ඩොනල්ඩ් ට පමණයි.

11. ඩෙරෙක් අන්ඩර්වූඩ්


ඩෙරෙක් ලෙස්ලි අන්ඩර්වූඩ් (Deadly)
ප්‍රාන්ත පිල : කෙන්ට්



අසාමාන්‍යය පන් දු යැවීමේ රටාවකට හිමිකම් කිවූ අන්ඩර්වුඩ් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුළු ලබා ගත් දඟ පන්දු යවන්නා වෙනවා. 

අන්ඩර්වුඩ් වමත් පා දඟ පන් දු යවන්නෙක් වුනත්, ඔහුගේ පන්දු යැවීමේ වේගය මද වේග පන්දු යවන්නෙක්ට ආසන්න වුනා. වැස්සෙන් තෙමුණු තණතීරු අන්ඩර්වූඩ් ඉතාමත් අසීරු අභියෝගයක් වුනා. ඒ ඔහුගේ වේගය නිසා පන්දුව ඉහළ නැගීම හේතුවෙන්. වරක් පළමු පෙළ තරගයකදී සසෙක්ස් පිලට එරෙහිව වැස්සෙන් තෙමුණු පිටියකදී ඔහු ලකුණු 9 කට කඩුළු 8 ක් ලබා ගත්තා.

අන්ඩර්වුඩ් තමාගේ නම ටෙස්ට් පිටියේ රඳවන්න සමත් වුනේ 1968 ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුනු පස් වන ටෙස්ට් තරගයේදී. අවසාන දිනයේ තරගය නිම වීමට විනාඩි 6 ක් තිබියදී ඕස්ට්‍රේලියාව ලකුණු 125 කට දවාලමින් තරගයේ ජය එංගලන්තයට ලබා දෙන්න අන්ඩර්වුඩ් සමත් වුනා. එහිදී ඔහු අවසාහ කඩුළු 4 දවාගත්තේ පන් දු 27 කින්.

පන් දුව විශාල වශයෙන් දඟ කැවීමට ලක් නොකල අන්ඩර්වුඩ් ගේ ප්‍රධාන අවිය වුනේ නිවැරදිතාවය​.

අන්ඩර්වුඩ් 16 වසරක දීර්ඝ ටෙස්ට් දිවිය නිමකළේ තරග තරග 86 කදී කඩුළු 297 ක් බිඳ හෙලමින්. ඉනිමක කඩුළු 5 ක් දවාගත් අවස්ථා 17 සහ තරගයකදී කඩුළු 10 දවගත් අවස්ථා 6 ක් වාර්තා කරන්න ඔහු සමත් වුනා. පළමුපෙළ තරග වලදී ඔහු දවාගත් කඩුළු ගණන 2465 ක්.

අන්ඩර්වුඩ් ගේ අවසාන ටෙස්ට් තරගය වුනේ ලංකාවේ කුළුඳුල් ටෙස්ට් තරගය​. එහිදී පළමු ඉනිමේ කඩුළු 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුළු 3 ක් බිඳ හෙලමින් දස්කම් පාන්න ඔහුට හැකි වුනා.

Tuesday, October 9, 2018

ජපන්නු කන හැටි - තවත් කෑම​



මේ ජපානයේ ජනප්‍රිය තවත් කෑම වර්ග කීපයක්


1. සෂිමි



සෂිමි කියන්නෙ සිහින් පෙති වලට කපපු අමු මාළු. ජපන්නු මාළු උයල කනවට වඩා කන්නෙ අමුවෙන්. මාළු වල අලුත් බව සෂිමි වල තියෙන්න ඕනෙ අනිවාර්‍ය අංගයක්.

මාළු ඉතා හොඳින් හෝදලා සකස් කරල තියෙන නිසා අපි හිතන තරම් සෂිමි කන්න අපහසුවක් නෑ. අප්‍රියජනක ගඳක් හෝ පිලී රසයක් ඇත්තේම නැති තරම්. සාමාන්‍යයෙන් සෂිමි ආහාරයට ගන්නෙ ෂෝයූ සෝස් සමඟ​. ඒ වගේම සෂිමි සහිත ආහාර වේලක් එක්ක සකේ ත් බහුලව පාවිච්චි වෙනවා.

යොදා ගන්න මාළු වර්ගය අනුව සෂිමි වර්ග ගණනාවක් තියෙනවා.

මගුරෝ - කෙළවල්ලා මාළු (ටූනා)
සකෙ - සැමන් මාළු
තයි - සී බ්‍රීම්
සබ - තෝර මාළු (මැකරල්)
කත්සුවො - බල මාළු (ටූනා)
කංපචි - ඇම්බර්ජැක් මාළු
ඉක - දැල්ලා
තකො - බූවල්ලා
අමඒබි - ඉස්සා
හොතතෙ - බෙල්ලන් වර්ගයක්
හොක්කිගයි - බෙල්ලන් වර්ගයක්
ඉකුරා - සැමන් මාළු බිත්තර​
උනි - මුහුදු කැකිරි


2. තෙම්පුරා



තෙම්පුරා කියන්නෙ පිටි මිශ්‍රනයක (batter) ඔබාගෙන ගැඹුරු තෙලේ බැදගත්ත මාළු හෝ එළවළු. "කර​-කර​" ගාල හැපෙන සොබාවයෙන් සහ ඉතාමත් ප්‍රියජනක රසයකින් යුක්තයි. ජපන් කෑම හුරු නැති ලංකාවෙ කෙනෙක්ට ජපන් කෑම වලට හුරු වෙන්න පාලමක් විදිහට තෙම්පුරා පාවිච්චි කරන්න පුළුවන්.

තෙම්පුරා සාමාන්‍යයෙන් කෑමට ගන්නෙ බත් හෝ නූඩ්ල්ස් එක්ක​. තෙම්පුරා කන්න කලින් ෂෝයූ සෝස් වල ඔබල ගන්න ඕනෙ.

යොදා ගන්න මාළු හෝ එළවළු වර්ගය අනුව තෙම්පුරා වර්ග ගණනාවක් තියෙනවා.

එබි - ඉස්සන්
සකන - මාළු
නසු - වම්බටු
කිනොකො - බිම්මල්
කබොච - වට්ටක්කා
සත්සුමයිමො - බතල​
ෂිසො - කොල්ලන්කොල (කොල වර්ගයක්)
කකියගෙ - මාළු සහ එළවළු මිශ්‍රනයක්


3. තෝෆු



සෝයා කිරි මිදවීමෙන් තමයි තෝෆු හදන්නෙ. තෝෆු තියෙන්නෙ සුදු පාට කුට්ටි විදිහට​. මුදවපු කිරි වලට සමාන පෙනුමක් සහ සොබාවයක් තියෙනවා.

තෝෆු කෑම වර්ග ගණනාවක් එක්ක ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ජපන් කෑම වල මස් හෝ මාළු අනිවාර්‍ය අංගයක්. ජපානයේ ගන්න පුළුවන් නිර්මාංශික ආහාර අතලොස්සෙන් එකක් තමයි තෝෆු. මේ නිසා බෞද්ධ ආහාර ක්‍රම වල තෝෆු වැදගත් තැනක් ගන්නවා.

සකස් කරන ක්‍රමය අනුව තෝෆු වර්ග ගණනාවක් තියෙනවා

මෘදු තෝෆු - මේ තෝෆු මෘදු සොබාවයක් ගන්නවා.
දැඩි තෝෆු - මේ තෝෆු සොබාවයෙන් දැඩියි.
අබුරාගේ - ගැඹුරු තෙලේ බැදගත්ත සිහින් තෝෆු පෙති.
කොයදෝෆු - ශීත කිරීමෙන් වියළා ගත් තෝෆු.
තෝෆුයෝ - සහල් සහ අවමොර් මධ්‍යසාර යොදාගෙන පැසවූ තෝෆු.


4. යකිතෝරි



යකිතෝරි කියන්නෙ කෙටි කෑමක් විදිහට භාවිතාවන ඉතාමත් ජනප්‍රිය ආහාර වර්ගයක්. බැදපු කුකුළු මස් කැබලි ඉරටුවක අමුණාගැනීමෙන් තමයි යකිතෝරි හදන්නෙ.

පිළියෙල කරන ක්‍රමය අනුව යකිතෝරි වර්ග ගණනාවක් තියෙනවා.

නෙගිමා - කුකුළු මස් කැබලි අතරට බැදපු ලීක්ස් කැබලි සහිතව සකස් කරන යකිතෝරි වර්ගයක්
මොමො - කුකුළාගේ කලවා මස් වලින් පිළියෙල කරන යකිතෝරි
ත්සුකුනෙ - අඹරාගත් කුකුල් මස් බිත්තර සහ එළවලු වර්ග සමඟ මිශ්‍ර කරල හදන මස් බෝල​
තොරිකව - මේදය සහිත කුකුල් හම් කැබලි
තෙබසකි - කුකුල් අත්තටු
රෙබ - කුකුල් පීකුදු
නන්කොත්සු - කුකුලාගේ පපු අස්ථියේ කාටිලේජය​


5. ඔකොනොමියකි



ඔකොනොමියකි පිළියෙල කරන්නෙ විවිධ කෑම වර්ග ගණනාවක් යකඩ තැටියක් මත රත් කර ගැනීමෙන්. මේකට යොදන කෑම වර්ග ගැන හරියටම නීතියක් නෑ. තමන්ට කැමති දේ යොදන්න පුළුවන්. ඇත්තෙන්ම "ඔකොනොමි" කියන එකේ තේරුම "තමන්ට කැමති දෙයක්" කියන එක​.

ඔකොනොමියකි හදන්නෙ පිටි මිශ්‍රනයක් (batter) සහ ඒකට එකතු කරන දේ එකට කලවම් කරලා රත් කළ යක්ඩ තැටියක් මත රවුම් හැඩයකට අතුරාගෙන ඔම්ලට් එකක් වගේ රත් කර ගැනීමෙන්. පිසුවට පස්සෙ ඒකට උඩින් සිහින්ව කපා ගෙන වියළා ගත් මාළු තීරු (කත්සුවොබුෂි), සෝස් සහ මැයොනීස් එක් කරනවා.

ඔකොනොමියකි හදන්න ගන්න දේවල් අතර බිත්තර​, ගෝවා, මස් වර්ග​, මාළු සහ වෙනත් මුහුදු කෑම​, චීස් ජනප්‍රියයි.

ඔකොනොමියකි ගොඩක් ප්‍රචලිත බටහිර ජපානයේ.


6. කරෙ



කරෙ නැත්තම් "ජපන් කරි" කියල හඳුන්වන්නේ අපේ හොදි වලට සමාන කෑමක්. කරෙ ජපානයේ අතිශයින්ම ජනප්‍රිය කෑම වර්ගයක්.

කරෙ හදන්න මස් වර්ග​, අල​, කැරට් සහ ළූණු යොදා ගන්නවා. ඊට අමතරව තුනපහ වලට සමාන කුළුබඩු මිශ්‍රනයකුත් යොදාගන්නවා. සකස් කරන්නෙ අපේ හොද්දක් හදනවට ගොඩක් සමාන ක්‍රමයකට​.

කරෙ අපේ හොද්දකට වඩා උකුයි. ඒ වගේම සැර ගතියෙන් අඩුයි. යන්තම් පැණි රසින් යුක්තයි.


7. මිසෝ සුප්



මිසෝ සුප් තමයි සාම්ප්‍රදායික ජපන් කෑම අතරින් ජනප්‍රියම සුප් වර්ගය​.

මිසෝ සුප් හදන්නෙ මිසෝ කියල හැඳින්වෙන සෝයා බෝංචි ඇට, ලුණු සහ දිලීර වර්ගයක් යොදාගෙන හදන කුඩු වර්ගයකින්. මේ කුඩු දෂි කියල හැඳින්වෙන සුප් වතුරේ දිය කරගැනීමෙන් තමයි මිසෝ සුප් හදන්නෙ. මිසෝ සුප් වලට තෝෆු කැබලි, එළවළු, මුහුදු කෑම සහ මස් වර්ගත් එකතු කරන්න පුළුවන්.

උදෑසන ආහාරයක් විදිහට මිසෝ සුප් ඉතා ජනප්‍රියයි.


8. එදමමෙ



එදමමෙ කියල හැඳින්වෙන්නේ ලුණු දාපු සෝයා බෝංචි. ගොඩක් අවන්හල් වල එදමමෙ යොදා ගැනෙන්නෙ බියර් හෝ සකෙ බොද්දි කටගැස්මක් විදිහට​.


9. සුකියකි



සුකියකි කියල හැඳින්වෙන්නේ හරක් මස් ඉස්ටුවක්. සුකියකි වල සිහින්ව කැපූ හරක් මස් කැබලි වලට අමතරව එළවළු සහ තෝෆු ත් අඩංගු වෙනවා. ඉස්ටුව පිළියෙල කරන්නේ කෑම කන මේසය උඩම තියපු කුඩා උඳුනක් මත තියලා. ශීත කාලයට ගන්න ශක්තිජනක ආහාරයක් විදිහටයි සුකියකි සැලකෙන්නේ.


10. නත්තෝ



සෝයා බෝංචි ඇට වතුරේ පොඟවලා, හුමාලයෙන් තම්බලා, පැසවීමට ඇරීමෙන් තමයි නත්තෝ හදන්නේ. ඇලෙන සුළු මැලියම් සොබාවයකින්, අප්‍රසන්න රසකින් සහ අප්‍රසන්න ගඳකින් යුක්ත වුනත්, ජපන්නු නත්තෝ ආහාරයට ගන්නේ එහි ඇති සෞඛ්‍ය සම්පන්න කම නිසා. ඇඟේ තියෙන විෂ උරාගෙන පිට කිරීමට නත්තෝ වලට හැකියාව තියෙනවා.


11. ෆුගු



ෆුගු කියල හැඳින්වෙන්නේ පෆර් ෆිෂ් පවුලට අයත් මාළු වර්ග කීපයකින් පිළියෙල කරන කෑමක්. ෆුගු වල විශේෂත්වය වෙන්නේ මේ සඳහා යොදාගන්නා මාළු ඉතා අධික විෂ සහිත වීම​. මේ නිසා ෆුගු පිළියෙල කරන කෝකියන් විශේෂ පුහුණුවක් ලබාගත්ත අය​. පිළියෙල කිරීමේදී අත් වැරැද්දක් වුනොත් ආහාරයට ගන්න කෙනා ක්‍ෂනිකව මරණයට පත් වෙන්න පුළුවන්. ෆුගු අමුවෙන් වගේම උයලත් කෑමට ගන්නවා.


12. ෂෝයූ



සෝයා සෝස්. ජපන් කෑම වල ඉතාමත් බහුලව යොදා ගන්න සෝස් වර්ගය​. තරමක් ලුණු රසින් යුක්ත ෂෝයූ සෝස් කෑම උයද්දි වගේම සමහර කෑම වර්ග කන්න කලින් ඔබා ගන්නත් පාවිච්චි කරනවා.


13. වසබි



සාම්ප්‍රදායික ජපන් කෑම වේලක නොවරදින අංගයක් තමයි වසබි. වසබි කියන්නේ "ජපන් අශ්වරාබු" කියන රාබු අල වලින් හදන තලපයක්. කොළ පැහැයෙන් යුක්ත වසබි නාසය දවාගෙන යන සුළු රසකින් යුක්තයි. ප්‍රධාන කෑම වර්ග වල රස වැඩි කරන "කටගැස්මක්" විදිහට තමයි වසබි පාවිච්චි වෙන්නෙ.


14. බසෂි



සිහින් තීරු වලට කැපූ අමු අශ්ව මස්. බසෂි සාමාන්‍යයෙන් කෑමට ගන්නෙ ඉඟුරු සහ කොළ ළූණු එක්ක​. බසෂි සැලකෙන්නෙ තරමක් මිල අධික කෑමක් විදිහට​.


15. කෝබේ හරක් මස්




කෝබේ හරක් මස් සැලකෙන්නේ ලෝකයේ ඉස්තරම්ම හරක් මස් විදිහට​. ජපානයේ කෝබේ නගරය ආශ්‍රිතව තියෙන හරක් ගොවිපොළ වල නිෂ්පාදනය කරන හරක් මස්. මේ සඳහා යොදා ගන්නේ "තජිමා" කියල හැඳින්වෙන ජපානයටම ආවේනික හරක් වර්ගයක කෝබේ නගරය ආශ්‍රිතව උපත ලබන හරක් පමණයි. මේ හරකුන් මස් පිණිසම ඇති කරන අතර​, විශේෂ සැලකීම් වලට ලක් කෙරෙනවා. උන්ට කෑමට දෙන්නෙ විශේෂ කෑම වර්ග​. මේ කෑම වර්ග වලට බියර් අඩංගු වෙනවා. කෝබේ හරක් මස් ඉතාම මෘදු සොබාවයෙන් සහ උසස් රසයෙන් යුක්තයි. ඒ වගේම ඉතාමත් අධික මිලෙන් යුක්තයි. කෝබේ හරක් මස් අමුවෙන්, ස්ටීක් විදිහට​, ඉස්ටු විදිහට වගේම බැදලත් කෑමට ගන්න පුළුවන්.