Friday, May 30, 2014

ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නය ගැන


ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයේ ප්‍රධාන සංරචක දෙකක් දකිමි.
1. අධික වාහන තදබදය
2. පොදු ප්‍රවාහන සේවා වල දුර්වලතාවය

කොළඹ මාර්ග තදබදය​
 
අධික වාහන තදබදය ඇති වන්නේ මාර්ග වල ධාරිතාව ඉක්මවන වාහන ප්‍රමානයක් ධාවනය වීමයි.
මේ වාහන මොනවාදැයි සැලකූ විට පෙනී යන්නේ ඉන් වැඩි ප්‍රමානය ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් බවයි. ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් වල අධික භාවිතාවට එකම හේතුව පොදු ප්‍රවාහන සේවා වල දුර්වලතාවයයි. මේ වාහන සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ තමාට වාහනයක් ගැනීමට වත්කමක් නොමැති, ඉක්මනින් ගමනක් යාමට අවශ්‍ය ජනතාවයි. පොදු ප්‍රවාහන සේවා හොඳ මට්ටමක පවතී නම්, මේ වාහන වල භාවිතාව විශාල වශයෙන් අඩු වනු ඇත.

ඊළඟට වැඩියෙන්ම භාවිතා වන වාහන වන්නේ කාර් සහ වෑන් ය. මේවායේ භාවිතාව අධික වීමට ප්‍රධාන හේතුව වාහනයක් යන්න ස්ටේටස් සිම්බල් එකක් බවට පත්වී තිබීමයි. දහ අතේ ණය වී හෝ මරුටි කට්ටක් හෝ ගොඩ දමන්නේ එබැවිනි.

ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට නම් පහර දිය යුත්තේ මෙම මූලයන් දෙකටය.

මුලින්ම කළ යුත්තේ ප්‍රධාන නගර අතර, ප්‍රධාන නගර තුල සහ ප්‍රධාන නගර අවට පොදු ප්‍රවාහන සේවය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමයි.

මේ සඳහා වැඩි අවධානයක් දිය යුත්තේ දුම්රිය සේවයටයි. ප්‍රධාන නගර තුල තවදුරටත් දුම්රිය මාර්ග ඉඳි කිරීම අපහසු බැවින් බිම් මට්ටමට ඉහළින් ගමන් කරන මොනෝ රේල් දුම්රිය සහ උමං දුම්රිය මාර්ග ඇති කිරීම අවශ්‍යය වේ. ඊළඟ අනිවාර්‍ය කරුන වන්නේ ඩීසල් දුම්රිය සම්පූර්නයෙන්ම ඉවත් කොට 100% විදුලි දුම්රිය යොදා ගැනීමයි. එමඟින් දුම්රිය වල වේගය, කාර්‍යක්‍ෂමතාවය සහ පරිසර දූෂනය අඩු කරගත හැක.


 විදුලි දුම්රියක් - ජපානය​

ප්‍රධාන නගර අතර පවතින දුම්රිය මාර්ග ජාලය ව්‍යාප්ත කිරීම අත්‍යාවශ්‍ය වේ. අඩුම තරමින් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයට වත් දුම්රිය මාර්ගයක් තිබිය යුතුය. මේවායේ පැයකට වරක්වත් දුම්රියක් ධාවනය විය යුතුය. ඊළඟට ප්‍රධාන නගර වල සිට අවට ප්‍රදේශ දක්වා රේල් බස් සේවාවක් ඇති කළ යුතුය. මෙම රේල් බස් පැය කාලකට එකක් බැගින් වත් ධාවනය විය යුතුය. රේල් බස් සහ ප්‍රධාන දුම්රිය සේවා සඳහා අනිවාර්‍යයෙන්ම වෙන වෙනම දුම්රිය මාර්ග බැගින් තිබීමද වැදගත් වේ. දුම්රිය පොළවල රේල් බස් සහ ප්‍රධාන දුම්රිය සඳහා වෙන වෙනම වේදිකා තැනීමෙන් තදබදය අඩු කරගත හැකි වෙනු ඇත.

රේල් බස් රථයක් - ඇමරිකාව​


කොළඹ නගරය තුල බිම් මට්ටමට ඉහළින් යන මොනෝ රේල් සහ උමං දුම්රිය සේවාවක් ඇති කළ යුතුය. මේවායේ ඉතාමත් කාර්‍යක්‍ෂම දුම්රිය සේවයක් තිබිය යුතු අතර නගරය තුල ගමන් බිමන් වලින් 75%ක් වත් මෙම ප්‍රද්ධතිය හරහා සිදු කිරීම ඉලක්ක කළ යුතුය.


මොනෝ රේල් දුම්රියක් - ජපානය​

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන නගර අතර දුම්රිය සේවය පවත්වා ගත යුතු අතර, කොළඹ නගරය තුල සේවය පුද්ගලික ආයතන වලට පවරා දිය යුතුය.

මීට අමතරව කොළඹ සිට ගාළු පාර ඔස්සේ කෙරෙන ප්‍රවාහන කටයුතු සඳහා විකල්පයක් ලෙස පාවිච්චි කළ හැකි මුහුදු බෝට්ටු සේවයක් යෙදීමෙන් මාර්ග වල මගී සංඛ්‍යාවෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට හැකි වෙනි ඇත. අඩු තරමින් කොළඹ සිට මොරටුව දක්වාවත් මෙමෙ සේවය ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය ඉලක්ක කරගෙන මෙම සේවය ක්‍රියාත්මක කළ යුතුය.


 මගී ප්‍රවාහන බෝට්ටුවක් - මාලදිවයින​

පොදු ප්‍රවාහන සේවය කාර්‍යක්‍ෂම වූ විට ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා ඇති ඉල්ලුම අඩුවනු ඇත. නමුත් ඉන් නොනැවතී ප්‍රධාන නගර තුල ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් භාවිතය සම්‍පූර්නයෙන් තහනම් කිරීමෙන් මාර්ග තදබදය සෑහෙන දුරකට අඩු කරගත හැකි වෙනු ඇත.

කිලෝමීටරයක දුරින් දුම්රිය නැවතුම් පොළ සහිතව විනාඩි දහයකට එකක් බැගින් කොළඹ නගරය තුල දුම්රිය සේවයක් ක්‍රියාත්මක වේ නම්, ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් වල අවශ්‍යතාවයක් පැන නොනගී. කොළඹින් පිට ප්‍රදේශ වල රේල් බස් සේවය මගින් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් විස්ථාපනය කළ හැක. නගරය අවට ඇති රේල් බස් පළවලට තම නිවෙස් හි සිට ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් පාවිච්චි කර පැමින, එතැන් සිට ප්‍රධාන නගරයට රේල් බස් මගින් පැමිනීමට හැක. එමගින් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් ගම්බදට පමණක් සීමා කිරීමට හැකි වනු ඇත.

 උමං දුම්රියක් - ජපානය​

ඊළඟට කල යුත්තේ ප්‍රධාන නගර තුල - විශේෂයෙන් කොළඹ නගර තුල පුද්ගලික වාහන පාවිච්චිය සීමා කිරීමයි. මේ සඳහා ප්‍රධාන නගර තුල ධාවනය වන කාර් සහ වෑන් වලින් ගාස්තු අයකිරීම යොදා ගත හැක. මෙම ගාස්තුව ඇඟට දැනෙන ගණනක් වූ විට කාර් සහ වෑන් භාවිතය වෙනුවට පොදු ප්‍රවාහන සේවා සඳහා මිනිසුන් යොමු වනු ඇත. ජපානය වැනි රටවල ප්‍රධාන නගර තුල පුද්ගලික වාහන භාවිතය අවම වන අතර කාර්‍යාලයට යාමට 99% ක්ම භාවිතා කරන්නේ දුම්රිය සේවයයි.

හදිසි අවස්ථාවකදී පාවිච්චි කිරීම සඳහා ටැක්සි සේවයක් තිබීමද වැදගත් වේ. ටැක්සි ගාස්තු සහ පුද්ගලික වාහන පාවිච්චි කිරීමේ ගාස්තු නිර්නය කිරීමේදී පුද්ගලික වාහන වෙනුවට ටැක්සි වලට ප්‍රමුඛත්වය දෙන අන්දමට ඒවා නිර්නය විය යුතුය. නමුත් ටැක්සි ගාස්තුව හදිසි අවස්ථාවක පමණක් ටැක්සි භාවිතා කිරීමට පෙළඹෙන තරම් ඉහළ අගයක තිබීමද වැදගත් වේ.

ප්‍රධාන නගර අතර බස් සේවය හැකි තරම් අඩු විය යුතු අතර ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ දුම්රිය සේවයටයි. දුම්රිය සේවයෙන් ආවරණය නොවන මගීන් ආවරණයක් කිරීමට තරම් ප්‍රමානයක් බස් සේවයක් තිබීම ප්‍රමානවත්‍ ය. බස් ගාස්තුවට වඩා දුම්.රිය ගාස්තුව අඩු කිරීමෙන් බස් වෙනුවට දුම්රිය කරා මගීන් වැඩිපුර යොමු වනු ඇත. කොළඹ නගරය තුල බස් සේවය (උදාහරණයක් ලෙස කොටුව - බොරැල්ල බස්) සම්පූර්නයෙන්ම නවතා දැමිය යුතුය. බස් සේවය වැඩිපුරම යොදාගත යුත්තේ යුත්තේ ප්‍රධාන නගර අවට සහ දුර බැහැර ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු සඳහා ය.

Thursday, May 8, 2014

බුද්ධ ධර්මය​, බුද්ධාගම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය​



බුද්ධාගම සහ බෞද්ධ දර්ශනය ගැන මට හිතෙන දේ මෙහෙමයි.

බෞද්ධ දර්ශනය කියනවට වඩා මම කැමති වචනෙ බෞද්ධ ධර්මය කියන එක. බෞද්ධ ධර්මය කියන්නෙ බුදු හාමුදුරුවෝ දේශනා කරපු අදහස් වල අරටුව. ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍යය, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වගේ ඒවා. ඒවා තියෙන්නෙ නිවන් දැකීම අරමුණු කරගෙන.

බුද්ධාගම කියන්නෙ බෞද්ධ ධර්මය කියන අරටුව වටා ගොඩ නැංවුනු ගහක්. ඒක අරමුණු කරගෙන තියෙන්නෙ නිවන් දැකීම සඳහා අවශ්‍ය මානසික තත්වයන් මිනිස්සු තුල ගොඩ නැංවීම. පන්සිල්, දානමය පිංකම්, බෝධිපූජා, චෛත්‍ය වන්දනා වගේ ඒවා අයිති වෙන්නේ මේකට. ඒවායින් බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන් ගෙ සිත සන්සුන් කිරීම, ශීලය, හික්මීම ඇතිකිරීම, ඇලීම අඩු කිරීම, සමාජය සාමකාමී කිරීම වගේ දේවල්. ඒවා කරාම නිවන් දකින්නෙ නෑ. නමුත් නිවන් අවබෝධයට සුදුසු පරිසරයක් සකස් කරනවා.

එතකොට මේ ගහ හිටවල තියෙන්නෙ බෞද්ධ සංස්කෘතිය නැමැති උයනේ. ලංකාවෙ නම් මේ උයනට කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය කියල. ඒ කියන්නෙ බෞද්ධ ධර්මය සහ බුද්ධාගම පාදක කරගනිමින් ගොඩනැංවුනු ජීවන ක්‍රමයක්. හැබැයි මේකට වෙනත් සංස්කෘතීන් ගෙන් අවශෝෂනය වෙච්ච දේවල් අනන්ත තියෙනවා. මේ උයනේ වෙන ගස් ගොඩක් තියෙනවා. සමහර ගස් මේ ගහටයි ඒකෙ අරටුවටයි පිළිලයක් වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් පොදුවේ ගත්තම ගහ සහ අරටුව රැකෙන්නෙ උයන නිසා.


ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රශ්න විසඳගන්න ආකාරය ගැන ජපානයෙන් පාඩමක්....


ජපානය විදුලි උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලය බහුලව යොදා ගත් රටකි. 2011 දී එහි න්‍යෂ්ටික බලාගාර 54ක් විය. 2011 මාර්තු මාසයේ ඇති වූ භූමිකම්පාවකින් සහ සුනාමියකින් පසු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් ඇති විය.

රටේ විපක්ෂය වියරුවෙන් පාරට පැන කුජීත වූ දේශපාලකයින් සහ තරු හැලුණු ජෙනරාල් වරු පෙරටු කරගෙන වැඩ වර්ජන කරන බවට තර්ජනය කරමින් ආණ්ඩුවෙන් "මස් රාත්තල" ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට රටේ ජනතාව න්‍යෂ්ටික බලාගාර වල අවදානම අඩු කරන ලෙස රජයට බල කර සිටියහ.

ජපන් රජය නොමිලේ සුෂී පැකට්ටු සහ සකේ බෝතල් බෙදා දී ඕනෑම කුණු ගොඩකට කර ගහන හෙන්චයියන් ලවා "මහජන උද්ඝෝෂණ" කලේ නැත. කිසිවෙකුත් විරෝධතා කරුවන්ට "NGO කාරයින්" "විදේශික කුමන්ත්‍රණ කරුවන්" යයි අපහාස කලේ නැත. න්‍යෂ්ටික බලාගාර වල ආරක්ෂණ නීති රීති (safety regulations) තර කරන ලදී.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන යුරේනියම් මාෆියාවට යටවී හෝ අත යටින් ලැබෙන මුදලට වහල් වී "වැඩේ ගොඩින් බේරා ගැනීමට" න්‍යෂ්ටික බලාගාර හිමි සමාගම් ඉඩ දුන්නේ නැත. බලාගාර 54න් 52ක් ම වසා දමන ලදී.

බලාගාර 54ක් වසා දැමූ නිසා දිනකට පැය 7ක් දක්වා විදුලි කප්පාදු කිරීමට රජයට සිදු විය. ජපන් ජනතාව ජපන් අගමැති තුමාටත්, බලශක්ති ඇමති වරයාටත් පලු යන්න බැන වැදුනේ නැත ඊළඟ චන්දයෙන් රජය පරාජය වුනේ ද නැත. ජපන්නු අදත් "අපි අනාගත පරපුර වෙනුවෙන් පැය 7ක විදුලි කප්පාදුවක් ඉවසුවා" කියන්නේ අභිමානයෙනි.

ජපන් රජය විදුලි කප්පාදු කර අර්බූදය පල් වන්නට හැර උඩ බලාගෙන සිටියේ නැත. රටේ බුද්ධිමතුන් සහ වෘත්තිකයන් බටහිර විද්‍යාව/ජාතික චින්තනය ගැනත් ජපනුන්ගේ ගෝත්‍රික/දූපත් මානසිකත්වය ගැනවත් කෙස් පැලෙන තර්ක විතර්ක පාමින් අන්තර්ජාලයේ තම පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කලේ නැත. විකල්ප තාක්ෂනයන් සෙවීම කරා යොමු වූහ. අද ලෝකයේ ඉහලම සපලතාවයක් සහිත ගල් අඟුරු බලාගාර ජපානයේ ඇත්තේ ඒ හේතුවෙනි.

අද ජපානයේ විදුලි කප්පාදුවක් නොමැත.

ජාතික ගීය දෙමළෙන් ගැයීම​



ජාතික ගීය භාෂා එකකට වැඩි ගණනකින් ගැයෙන රටවල් ඇත්තේ අතලොස්සකි. ඒ සියල්ලේම සුවිශේෂී තත්වයන් ඒ සඳහා බලපා ඇත.

කැනඩාව -
කැනඩාවේ ප්‍රංශ බස කතා කරන්නන් 37% සිටී. එම නිසා ජාතික ගීය ඉංග්‍රීසි සහ ප්‍රංශ දෙබසින් ම ගැයෙන අතර, ඉඩම් කොල්ල කා දහස් ගනන් සමූල ඝාතනය කිරීම වෙනුවෙන් දෙන සීනිබෝලයක් හැටියට ස්වදේශීය ඉනුක්ටිටුට් බසින් ද ජාතික ගීය ගැයේ.

බෙල්ජියම -
බෙල්ජියම අතීතයේ සිටම ඕලන්ද කතාකරන ෆ්ලෙමිෂ් වරු සහ ප්‍රංශ කතා කරන වලූන් (59-41%) විසින් බිහි කරන ලද රටකි. එහි සංස්කෘතියට මේ දෙවර්ගයේම දායකත්වය සම සමව ලැබී ඇත.

ස්විට්සර්ලන්තය -
බෙල්ජියම සේම ස්විට්සර්ලන්තය ද ජර්මන්, ඉතාලි සහ ප්‍රංශ සංස්කෘතියන් විසින් සමව පෝෂනය වුනු රටකි. එහි නිල භාෂා හතරෙන්ම ජාතික ගීය ගැයේ.

දකුණු අප්‍රිකාව-
බෝයර් ඉංග්‍රීස් සහ විවිධ අප්‍රිකානු ජන වර්ග විසින් ජනාවාස කෙරුණු දකුණු අප්‍රිකාව එම සියළු සංස්කෘතීන් සතු භාෂා වලින් ජාතික ගීය ගයයි.

සූරිනාම්-
යටත් විජිත වාදීන් ගේ භාෂාව වන ඕලන්ද සහ ස්වදේශිකයන් 50%කට වැඩි පිරිසක් කතා කරන ස්‍රානන් ටොංගෝ දෙබසින් සූරිනාම් හි ජාතික ගීය ගැයේ.

නවසීලන්තය-
යටත් විජිත වාදීන් ගේ භාෂාව වන ඉංග්‍රීසි සහ ස්වදේශිකයන් ගේ භාෂාව වන මඕරි දෙබසින් නවසීලන්තයේ ජාතික ගීය ගැයේ.

ලංකාවේ සංස්කෘතිය සඳහා මේ ආකාරයෙන් සංස්කෘතීන් කීපයක සම සම දායකත්වයක් ලැබී නැත. දෙමළ සංස්කෘතික බලපෑම බහුතර සිංහල සංස්කෘතියට දැනී ඇත්තේ අල්ප වශයෙනි.

තවද, ලංකාවේ යටත්විජිත වාදීන් ගේ භාෂා තුනෙන් එකක්වත් ස්වදේශීන් තම භාෂාව ලෙස තෝරා නොගත්හ.

එම නිසා ලෝකයේ 90% රටවල් කරන ආකාරයට ලංකාවේ ජාතික ගීය ගැයෙන්නේ මූලික සංස්කෘතියට අදාල භාෂාවෙන් පමනි.

දෙමළෙන් ජාතික ගීයක් ඉල්ලීමේ පසුබිම ඇත්තේ දෙමළ නිජබිම් සංකල්පය තුලයි. දෙමළ ජාති(ක)වාදීන් දෙමළෙන් ජාතික ගීයක් ඉල්ලන්නේ "යටත් විජිත ආක්‍රමනයට පෙර ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස තිබූ නිසා, එම රාජ්‍යයන් දෙකේ සංකලනයක් ලෙස සෑදුනු වර්තමාන ලංකාවට එම සංස්කෘතීන් දෙකේම භාෂාවලින් ජාතික ගී දෙකක් තිබිය යුතුයි" යන පදනමෙනි.

මෙම දෙමළ නිජබිම් කතාව අලි කෙප්පයක් බව ඔප්පු වී හමාරය. එබැවින් එය මත පදනම්ව කෙරෙන මේ ඉල්ලීමටද එතරම් වටිනාකමක් දිය යුතු නොවේ.

මේවා වෙනුවට ලංකාවේ දෙමළ මිනිසුන්ට ඇත්තටම තිබෙන ප්‍රශ්න සාකච්ඡාවට ලක් විය යුතුය.  සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාටම මනුස්සයන්ට මෙන් සලකන සමාජයක් බිහි කිරීමේ කතිකාවක් ඇති විය යුතුය.

එය කළ හැක්කේ ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් නොවේ. ආර්ථික, සමාජීය, දේශපාලන යන ත්‍රිවිධ අංශයන් ගේ සමබර දියුණුවකිනි. ආර්ථික, දේශපාලන, සමාජයීය දියුණුවක් රටේ ඇතිවූ විට, දෙමළුන් ද තුට්ටු දෙකේ නිජබිම් කතා ඉවත ලා රටක් ලෙස ලංකාව ගැන ආකර්‍ෂනයක් ඇති කර ගනු ඇත.

එතකොට ඕනෙ නම් දෙමළෙනුත් ජාතික ගීය ගයන්න පුළුවන්.

ඒක යක්ඛ කතා වස්තුව හෙවත් ජේමිස් බණ්ඩා දමනය​



එකල්හි ජේමිස් බණ්ඩා නම් කොළු ගැටයෙක් "අද මා පොරත්වය ප්‍රදර්ශනය කරන්නේ කෙසේ දැ, අද මා අවධානය දිනා ගන්නේ කෙසේ දැ" යි අහස පොළොව ගැටලමින්, සිටිනා අතර තුරේ ඒක යක්ඛ නම් යක්‍ෂයෙක් අමා මෑණි බුදු පියානන් වහන්සේට අපහාස කරමින් ලියා තිබූ කැලෑ පත්තර කැබැල්ලක් දැකැ, "අද නම් මාගේ වාසනාවන්ත දිනය වීයැ. යක්ඛයාට පුක්ඛය දානය කොට හෝ පොර වන්නෙමි යි" සිතා මහත් තුටු පහටුවැ, කැලෑ පත්තර කැබැල්ල තම නිවෙස් හි බිත්තිය මත අලවා ගත්තේය.

මේ දුටු පෙලක් මානවක මානවිකාවෝ මහත් උත්කර්‍ෂයට පත්වැ, "අද නම් තෙවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නේ යැ" යි ජය ගොස් කරමින්, කඩල, ප්ලේන්ටී, පොප් කෝන් යනාදිය ලහි ලහියේ පිළියෙල කිරීමට වන. පෙලක් මානව මානවිකාවෝ මහත් චින්ත සන්තාපයටැ පත්ව කම්මුලෙහි අත්ල රුවා ගනිමින් "අනේ අපොයි" කියැමින් විස්සෝප වූහ.

එතැනින් යන චමීර දේද්දුවගේ නම් යෝධයානන් මේ කැලෑ පත්තරය දැකැ, මහත් කෝප වන්නේ "සැබැවින්ම මේ කුමන ෆකක් දැ" යි අසමින් කැලෑ පත්තරය ගලවා දැමීමට අණ පැමිණිවී යැ.

එකල්හි ජේමිස් බණ්ඩා ද නොසෙල්වී, "මේ මාගේ නිදහසේ බිණීමේ අයිතියයි. මා ආගමක් ධර්මයක් නොමැත්තෙමි. තොප කෝප වූවාට මා කිසිදු ෆකක් නොදෙමි" යි වහසි බස් බෙනෙමින් ඉදිරියටම යන්නේය.

වටා පිටා වේ නෙරළු රුක් අතරින් සටන් නරඹනු රිසියේ එක රැසි වූ කොළු කුරුට්ටන් විසිල් ගසමින්, ප්‍රීති ඝෝෂා නගමින්, පොප් කෝන් යනාදිය සපමින්, "දැන් දැන් පහර දෙතැ" යි මහත් නොඉවසිලි වූහ.

රිටිගල ජයසේන නම් යක්‍ෂ සේනාධිපතියාද සටන ගැන අසා එතැනට පැමිණ, "එම්බල බණ්ඩ, තා මේ සටන ඇරඹීය. තාම මෙය අවසන් කල යුතුය. මා මෙයට මැදිහත් නොවෙමි" යි පවසමින්, අසල හුන් කොළු ගැටයෙක් ගෙන් පොප් කෝන් අහුරක් පැහැර ගෙන, අසල වූ උස් ගසෙකැ ඉහළ අත්තක වාඩි වී සටන නැරඹීමට හරි ගැසිනි.

එකල්හි යලිත් වසන්ත නම් මානවකයෙක් එතැනට පැමිණ චමීර යෝධයානන් අමතා "සගය, අප අමා මෑණි බුදු පියානන් වහන්සේ දස මර සෙන් පරදා ලොව්තුරු බුදු බව ලදහ. ආලවක, අංගුලිමාල යනාදී දරුණු මිනීමරුවන් යක්‍ෂයන් බලු කුක්කන් සේ දමනය කලහ. උන්වහන්සේ ගේ ගුණ මහිමය අපමණය. මහා කාරුණිකය. මහා ප්‍රඥා ඇත්තාහු ය. තිලොවටම අග්‍ර වන්නාහුය. මෙවන් සිකනළුන් දොඩනා මුග්ධ බසකින් උන්වහන්සේට වන අපහාසය කුමක් දැ?" යි පවසමින් උන් ගේ කෝප ගින්න තම ප්‍රඥාව සහ කරුණාව යන ජල ධාරාවෙන් නිවා ලූහ. චමීර දේද්දුවගේ යෝධයානන් ද "සගය නුඹ නිවැරදිය. මා දුර නොබැලීමි. මේ කෙලතොල්ලන් මාගේ කෝපය ලැබීමට වත් නුසුදුසු යැ" යි නැවත තමා පැමිණි කාර්‍යය සඳහා පිටත්ව ගියේය.

යලිත් වසන්ත මානවකයා ද රැස්ව සිටි පිරිස තම මනහර සිනාවෙන් පුබුදුවා ලන්නේ, "සගයෙනි, මොවුන් නොහික්මුණු කුඩා දරුවන් වැනිය. මොවුන්හට අවධානය යොමු කරත්මැ, මොවුන් වඩ වඩාත් නොහික්මුනු ක්‍රියා කරති. එබැවින් මෙවැනි ක්‍රියා උපේක්‍ෂාවෙන් ඉවැසිය යුතු වෙමු" යි අනුශාසනා කළහ. එවිට රැස්ව හුන්නෝද, "බුදුන් වහන්සේ ගේ ධර්මය වනාහී මහත් බල සම්පන්න යැ" යි සාධුකාර පවත්වමින් විසිර යන්නහු යැ.

යක්ඛයාට පුක්ඛය දී හෝ පොරක් වන්නට තැත් කළ ජේමිස් බණ්ඩා නම් කොළු ගැටයා තිබුණු පුක්ඛයටත් අහිමිවැ, මහත් චිත්ත පීඩාවෙන් පුක්ඛය විකාගෙන වැද හොත්තේය.

අමාමෑණි ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ගේ සද්ධර්මයේ හැසිරෙන්නන් එම ධර්මය විසින්ම රකිනු ලබන්නේයැ. වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව පසක් කොටැ මෛත්‍රියෙන් හා උපේක්‍ෂාවෙන් කටයුතු කරන්නට සිත්හි තබාගත යුතුයැ.

Tuesday, May 6, 2014

වහාබි වාදයේ ඉතිහාසය - 1


සලාෆි

සලාෆි යනු මුස්ලිම් සමාජය මුහම්මද් තුමාගේ කාලයේ තිබූ අකාරයට අනුව සකස් විය යුතුය යන විශ්වාසය මත පදනම් වූ ආගමික ව්‍යාපාරයකි. ඔවුන් කුරානය අකුරටම අනුගමනය කිරීම මත තම ව්‍යාපරය පදනම් කරන අතර, ඉස්ලාමීය සමාජයට බැහැරින් පැමිනෙන සංස්කෘතික බලපෑම් සම්පූර්නයෙන්ම ඉවත හෙලිය යුතු බවට විශ්වාස කරති.


මුහම්මද් අල්-වහාබ් (1703-1792)

මුහම්මද් ඉබ්න් අද්-අල්-වහාබ් යනු දහඅටවන සියවසේ ජීවත් වූ අරාබි ජාතික ආගමික නායකයෙකි. ඔහු "සලාෆි" නමින් හැඳින්වෙන ඉස්ලාමීය ව්‍යාපාරයේ සාමාජිකයෙක් විය. වහාබි වාදයේ පියා ලෙස සැලකෙන්නේ ඔහුයි. ඔහු 1703 දී අරාබියේ නජ්ද් ප්‍රදේශයේ උපත ලැබීය. නජ්ද් යනු වර්තමාන සවුදි අරාබි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශය වන අතර, සවුදි අරාබියේ අගනුවර වන රියාද් පිහිටා ඇත්තේ ද නජ්ද් ප්‍රදේශයේ ය. නජ්ද් හි වැසියන් බොහොමයක් කාන්තාරයේ වාසය කරන සංචාරක අරාබි ගෝත්‍ර (බෙදූවියන් වරු) වන නමුත් අල්-වහාබ් අයත් වූයේ බෙදූවියන් නොවන අරාබි ගෝත්‍රයක් වූ බානු තමීම් ගෝත්‍රයටයි.

තරුණ වයසේ දී ඔහු අරාබි ලෝකය පුරා සංචාරය කරමින් ඉස්ලාමය හැදෑරීය. නමුත් මක්කමේ ඔහුගේ ගුරුවරයා පැවසුවේ ඔහු දුර්වල, උද්දච්ඡ සහ ගුරුවරුන්ට ගරු නොකල සිසුවෙක් වූ බවයි. ඔහු මෙම කාලයේ දී මක්කම, මදීනා, බස්‍.රා සහ බැග්ඩෑඩ් වැනි අරාබි ලෝකයේ ප්‍රමුඛ නගර වලට ගියේය.

1740දී නැවත තම ගම රට බලා පැමිණි අල්-වහාබ් ප්‍රාදේශීය පාලකයා සමඟ එක්ව තමාගේ අදහස් ක්‍රියාවට නංවන්නට විය. ඔහු සලාෆි වාදී අදහස් අන්තයට ක්‍රියාවට නංවමින් ප්‍රාදේශීය අරාබි වරුන් ගේ වන්දනාවට ලක්වූ නබිතුමාගේ සහචරයෙකු ගේ සොහොනක් කඩා බිඳ දමා අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගල් ගසා මැරීමේ නීතිය නැවත ස්ථාපිත කළේය (සටහන : අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගල් ගසා මැරීම කුරානයේ කිසිම තැනක සඳහන් නොවේ). අසල්වැසි අරාබි ගෝත්‍ර මෙම සිද්ධීන් ගෙන් කලබලයට පත්වී අල්-වහාබ් මරා දමන ලෙස බානු තමීම් ගෝත්‍රයේ පාලකයාට බලපෑම් කලහ. විශේෂයෙන්ම මෙම බලපෑම් එල්ල වුනේ වෙරළබඩ නාගරිකයන් ගෙනි. එබැවින් අල්-වහාබ් ට තම ගම අතහැර පලා යන්නට සිදුවිය.

ඔහු තව දුරටත් අරාබි අර්ධද්වීපයේ අභ්‍යන්තරයට පලා යමින් දිරියා නගරයට පැමිණියේය. දිරියා හි ප්‍රාදේශීය පාලකයා වූ මුහම්මද් බින් සාවුද් ඔහු පිළිගත් අතර දෙදෙනා අතර 1744දී ගිවිසුමක් ඇතිවිය. එයින් අල්-වහාබ්, සාවුද් ට අරාබිය පුරා තම බලය පැතිරවීමට සහාය දෙන බවටත්, සාවුද්, අල්-වහාබ් ට තමාගේ බල ප්‍රදේශය තුල අල්-වහාබ් ගේ ආගමික අදහස් පැතිරවීමට ඉඩ දෙන බවටත් ගිවිස ගැනිනි. පසුව සාවුද් ගේ පුතා සහ අල්-වහාබ් ගේ දියණිය අතර ඇතිවූ විවාහයෙන් මෙය වඩාත් තහවුරු විය.

සාවුද් සහ ඔහුගේ පුත් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් යටතේ දිරියා හි හමුදා දකුණු සහ බටහිර වෙරළ හැරුනු විට මුළු අරාබි අර්ධ ද්වීපයම තමා යටතට ගත් අතර, 1792 දී අල්-වහාබ් මිය යන විට දිරියා එමීර් රාජ්‍යය ඉතා බල සම්පන්න තත්වයේ පැවතිනි.


  දිරියා එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)

දිරියා එමීර් රාජ්‍යය​ (උපුටා ගැනීම විකීපීඩියා)


අල්-වහාබ් ගේ ඉගැන්වීම්


අල්-වහාබ් ගේ ඉගැන්වීම් වලට අනුව, මුස්ලිම් සමාජයේ සෑම අංගයක්ම කුරානයේ හෝ හදීසයන් ගේ ඉගැන්වීම් මත පදනම් විය යුතුය. 


අල්-වහාබ් ගේ ඉගැන්වීම් සමහරක් පහත දැක්වේ

1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් වේ
2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය
3. සංගීත වාදන, නැටුම් තහනම් වේ
4. කාඩ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් වේ
5. දුම්පානය තහනම් වේ
6. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැගීම තහනම් වේ
7. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ
8. (අපරාධ පරීක්‍ෂනයක් හෝ වෛද්‍ය හේතු මත පවා) මලසිරුරක් විච්චේදනය කිරීම තහනම් වේ
9. මුහම්මද් තුමාගේ උපන් දිනය සැමරීම තහනම් වේ
10. කාන්තාවන් රැකියා කිරීම තහනම් වේ
11. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම තහනම් වේ
12. කඩදාසි මුදල් භාවිතය තහනම් වේ
13. වහල් සේවය අනුමත කරයි
14. පිරිමි සහ කාන්තාවන් එක්‍ රැස් වීම තහනම් වේ


වහාබි වාදය සුන්නි ඉස්ලාම් නිකායේම උප කුලකයක් ලෙස සැලකිය හැකි වුවත්, ඔවුන් ගේ සමහර ඉගැන්වීම් සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් වරුන් ගේ විවේචනයට ලක් වේ. ෂියා සහ සුෆී මුස්ලිම් වරුද වහාබි වාදය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරති.


 මුහම්ම්ද් අල්-වහාබ් ගේ මරණින් පසු


අල්-වහාබ් මිය ගිය පසුවද දිරියා එමීර් රාජ්‍යයේ පැතිරීම දිගටම සිදු වූ අතර 1801 දී ඔවුන් ගේ හමුදා වර්තමාන ඉරාකයේ ඇති ෂියා වරුන් ගේ වඩාත්ම පූජනීය නගරය වන කර්බාලා නගරයට පහර දී එහි තිබූ ෂියා ඉමම් වරුන් ගේ සොහොන් රාශියක් විනාශ කලහ.


1804 දී මුස්ලිම් වරුන් ගේ පූජනීය නගර වන මක්කම සහ මදීනා පිහිටි හෙජාස් (අරාබි අර්ධද්වීපයේ බටහිර වෙරළ) ප්‍රදේශයට පහර දුන් දිරියා එමීර් රාජ්‍යයේ හමුදා ඒවා එතෙක් පාලනය කල ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයෙන් අල්ලා ගත්හ. මේ හේතුවෙන් බලවත් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය සහ දිරියා එමීර් රාජ්‍යය අතර යුද්ධයක් ඇති වූ අතර තුර්කි හමුදා 1818 දී දිරියා නගරයට පහර දී එය අල්ලා ගත්හ.

දිරියා හි එමීර් වරයා සහ වහාබි ආගමික නායකයන් ගනනාවක් මරණයට පත් කරන ලද අතර, මුළු අරාබි අර්ධද්වීපයම තුර්කි බලයට නතු විය. පළමුවන සවුදි රාජ්‍යයේ අවසානය අසේ සිදුවිය.


දෙවන සවුදි රාජ්‍යය (නජ්ද් එමීර් රාජ්‍යය)

1824 දී සවුද් පෙළපතට අයත් අබ්දුල්ලාහ් ඉබ්න් මොහොමඩ් විසින් තුර්කි හමුදා පලවා හැර රියාද් නගරයේ බලය අල්ලා ගැනීමත් සමඟම දෙවන සවුදි රාජ්‍යය ආරම්භ විය. එය නජ්ද් එමීර් රාජ්‍යය ලෙස හැඳින්වුනු අතර අගනුවර වූයේ රියාද් නගරයයි. නජ්ද් එමීර් රාජ්‍යයේ පැතිරීම නැගෙනහිර දෙසට වූ අතර 1890 වන විට එය මධ්‍යම අරාබි අර්ධද්වීපය සහ පර්සියානු බොක්ක අවට ප්‍රදේශ වසා පැතිරිනි.



නජ්ද් එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)



 නජ්ද් එමීර් රාජ්‍යය​ (උපුටා ගැනීම විකීපීඩියා)


1891 දී අල් රෂීඩ් පෙළපත විසින් පාලනය කල​ උතුරු අරාබියේ නගරයක් වූ හෛල් අගනුවර කරගත් ජබල් ෂමාර් එමීර් රාජ්‍යය සහ නජ්ද් එමීර් රාජ්‍යය අතර ආගමික ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටුමක් ඇති විය. තුර්කි වරුන් ගේ සහය අල් රෂීඩ් වරුන්ට ලැබුනු අතර, ඔවුහු 1891දී රියාද් නගරයත්, නජ්ද් එමීර් රාජ්‍යයේ වැඩි කොටසකුත් අල්ලා ගත්හ. මෙය දෙවන සවුදි රාජ්‍යයේ අවසානයයි.

ජබල් ෂමාර් එමීර් රාජ්‍යය තුර්කි වරුන් ගේ සහයෙන් අරාබි අර්ධද්වීපයේ වැඩි කොටසක සිය බලය පැතිරවූහ​. වහාබි වරුන්ට සහ ඔවුන් ගේ අනුග්‍රාහකයා වූ සාවුද් වරුන්ට පසු බසින්නට සිදුවිය​.

 ජබල් ෂමර් එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)

ජබල් ෂමර් එමීර් රාජ්‍යය​ (උපුටා ගැනීම විකීපීඩියා)