Friday, December 26, 2014

ජාතිය​, ජනවර්ගය සහ ගෝත්‍රය​



ජාතිය (nation), ජනවර්ගය (ethnic group) සහ ගෝත්‍රය (tribe) යනු අපැහැදිලි අර්ථකතන සහිතව පොදුවේ පාවිච්චි කෙරෙන​ වචන තුනකි.

Ethnic Group විකිපීඩියාවේ අරුත් නංවා ඇත්තේ මෙසේය​:
ජනවර්ගයක් යනු තමාගේ ආරම්භය පිළිබඳ පොදු ජනප්‍රවාදයක්, පොදු ඉතිහාසයක්, පොදු සංස්කෘතියක්, පොදු නිශ්චිත භූමියක්, සහ පොදු හැඟීමක් සහිත මිනිස් සමූහයකි.

Nation යනු ඊට වඩා දේශපාලන අර්ථගැන්වීමක් වඩා වියුක්ත සංකල්පයක් ලෙස විකීපීඩියාව දක්වන අතර Tribe යනු නොදියුණු මානව සමාජයන් හැඳින්වීමට යෙදෙනබව විකීපීඩියාව දක්වයි.

කෙසේ නමුත් මේවා 100% සමපාත වන ලෙස සිංහලට පරිවර්තනය කළ නොහැක​. සිංහල ජාතිය​, ජනවර්ගය සහ ගෝත්‍රය ඉංග්‍රීසි Nation, Ethnic Group සහ Tribe ගෙන් මදක් වෙනස් වේ.

මෙවැනි මානව බෙදීම් අර්ථ දැක්වීමේදී එක් එක් සංස්කෘතිය ඒවා වෙනස් අකාර වලින් කර ඇති බව දකින්නට හැක​. උදාහරණ දැක්වුවොත්:

1. රුවන්ඩාවේ හුටු සහ ටුට්සි යන ජනවර්ග අතර බෙදීමට ආර්ථික සාධයක් තිබේ. සාම්ප්‍රදායිකව ටුට්සි වරු එඬේරන් වන අතර හුටු වරු ගොවීහු වෙති. යම් කිසි හරකුන් සංඛ්‍යාවක් අත්  කර ගැනීමෙන් පසු හුටු ජාතිකයෙක්ට ටුට්සි ජාතිකයෙක් වීමට හැක​.

2. ජර්මන් සංස්කෘතියේ ජනවර්ගයට ඇත්තේ මුළුමනින්ම ප්‍රවේනිය සම්බන්ධ අර්ථ දැක්වීමකි. ජර්මන් ජාතිකයෙක් සහ යුදෙව්වෙක් අතර විවාහයෙන් ඇතිවන දරුවෙක් ජර්මන් ජාතිකයෙක් ලෙස සැලකුනේ නැත​. ජර්මන් සංස්කෘතියේ තරම් තදින් නොවුනත් පොදුවේ යුරෝපීයන් අතර ජනවර්ගය අර්ථ දැක්වීමේදී ප්‍රවේනි සාධකය ප්‍රභල වේ.

3. අරාබීන් අතර ජනවර්ගය අර්ථ දැක්වීමේදී භාෂාවට විශාල බරක් ලැබේ. ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන අරාබීන් බැඳ තබන පොදු සාධකය අරාබි භාෂාවයි. සමහර අර්ථ දැක්වීම් වලදී අරාබි බස වහරන අප්‍රිකානුවන් පවා අරාබීන් ලෙස සැලකීමට තරම් මෙය ප්‍රභලය​. සෝමාලියාව අරාබි ලීගයේ සාමාජිකයෙකි.

4. සිංහලයන් අතර ජනවර්ගය අර්ථ දැක්වීමේ මූලික සාධකය වූයේ සංස්කෘතියයි. විවිධ සංක්‍රමනික ජන කණ්ඩායම් වල මිශ්‍රනයක් වන සිංහල ජනවර්ගය සිංහල සංස්කෘතිය මගින් අර්ථ නැංවිනි. ඕනෑම සංක්‍රමනිකයෙක්ට සිංහල සංස්කෘතිය වැළඳගැනීමෙන් සිංහලයෙක් වීමට හැකි විය​. සිංහල වාසගම් වල දකුණු ඉන්දියානු සම්භවය සැලකා බැලුවහොත් මෙය මනාව පෙනී යනු ඇත​.

බටහිර යටත් විජිතවාදයේ සහ එහිම අංගයක් වන සංස්කෘතික ආක්‍රමනයේ ප්‍රතිඵලයක් ලෙස අද සියළුම සංස්කෘතීන් වල ජනවර්ගය අර්ථදැක්වීමේදී ප්‍රවේනි සාධකයට වැඩි බරක් දෙනු දැකිය හැක​. රුවන්ඩාවේ හුටු-ටුට්සි ගැටුමට එක් මූලික හේතුවක් වන්නේ මෙයයි.

මම මේ වචන වලට දෙන්නේ මෙවැනි අරුතකි.

ගෝත්‍රය​:
පොදු ප්‍රවේනික පසුබිමක් සහිත මානව සමූහයක්

ජනවර්ගය​:
ගෝත්‍ර එකක් හෝ වැඩි ගණනකින් සමන්විත, තමාගේ ආරම්භය පිළිබඳ පොදු ජනප්‍රවාදයක්, පොදු ඉතිහාසයක්, පොදු සංස්කෘතියක් සහ පොදු හැඟීමක් සහිත මිනිස් සමූහයක්

ජාතිය​:
ජනවර්ග එකක් හෝ වැඩි ගණනකින් සමන්විත පොදු සංස්කෘතියකින් සහ ඉතිහාසයකින් බැඳුනු, යම්කිසි නිශ්චිත භූමි ප්‍රදේශයක දීර්ඝකාලයක් වාසය කළ​, ඒ භූමියේ දේශපාලන​, ආර්ථික සහ සංස්කෘතික ඉතිහාසය හැඩගස්වපු මිනිස් සමූහයක්.

ගෝත්‍රයකට උදාහරණයක් ලෙස අතීතයේ සිටි යක්‍ෂ​, නාග දේව ගෝත්‍ර දැක්විය හැක​. ඔවුහු සියල්ලෝම පොදු සිංහල සංස්කෘතිය තුල මුහු වී සිටියද තමාගේ ප්‍රවේනික මූල අනුව උපකුලක ලෙස වෙන්වී උන්හ​. කාලයාගේ ඇවෑමෙන් මේ බෙදීම් දියවී යන ලදී. මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ලෙස සිංහලයන් තුළ ඇති විවිධ කුල දැක්විය හැක​. මෙම ගෝත්‍රික බෙදීමද දැන් දියවෙමින් පවතී.

ජනවර්ගයකට උදාහරණයක් ලෙස දෙමළ ජනවර්ගය දැක්විය හැක​​. තමිල්නාඩුවෙ, මැලේසියාවේ හෝ ලංකාවේ සිටියද ඔවුහු පොදු ප්‍රවේනික මූලයකින් පැවත එති. පොදු භාෂාවකින් සංස්කෘතියකින් බැඳී සිටිති.

ජාතියකට උදාහරණයක් ලෙස ඇමරිකන් ජාතිය දැක්විය හැක​. ඒ තුල සුදු, කළු, හිස්පැනික් ආදී විවිධ ජනවර්ග සිටිති. නමුත් සියල්ලෝම පොදුවේ ඇමරිකන් ජාතිය නම් දේශපාලන ඒකකයට අයත් වෙති.

විවිධ ජාතීන් තුල මේ සංකල්ප ඓතිහාසිකව පරිනාමය වී ඇත්තේ විවිධ අයුරිනි.

ජපන් ජනවර්ගය සහ ජාතිය එකක් ම වෙයි. නමුත් ඔකිනාවා වරු ජපන් ජනවර්ගය තුල සිටින ගෝත්‍රයකි.

ඇන්ගල් වරු, සැක්සන් වරු, බ්‍රිටන් වරු සහ නෝර්මන් වරු යනාදී විවිධ ජනවර්ග එක් වීමෙන් ඉංග්‍රීසි ජාතිය නිර්මානය විය​. නමුත් දැන් ඒ එකම ජනවර්ගයකි. අද ස්කොට් සහ වේල්ස් ජනවර්ග ඉංග්‍රීසි ජාතිය තුල උපකුලක වෙති.

සිංහල ජනවර්ගය අතීතයේ සැදුනේ යක්‍ෂ නාග දේව ආදී ගෝත්‍ර එක් වීමෙනි. පසුව එය දුටුගැමුණු රජු ගේ කල ජාතියක් විය​. දකුණු ඉන්දියාවෙන් පැමිනි දෙමළ​, මලයාලම් ආදී විවිධ ජනවර්ග සිංහල ජාතියට එක් වී, ක්‍රමයෙන් ඒ තුලම දියවී සිංහල ජනවර්ගයටම මුහු වූහ​.

යටත් විජිත සමයත් සමඟම මේ මුහු වීම් නිසියාකාරව සිදු නොවුනු බැවින් අද දෙමළ​, මුස්ලිම්, ජා ආදී විවිධ ජනවර්ග ලංකාවේ සිටිති. නමුත් ඔවුන් සිංහල ජාතියට එක් වී නොමැත​. ශ්‍රී ලාංකික ජාතියක් ගැන කතා කෙරුනද එය මහපොළවේ ඇති යථාර්තයක් නොවේ. හුදු සංකල්පයක් පමණි. අද අප හමුවේ ඇති අභියෝගය මේ විවිධ ජනවර්ග සිංහල ජාතිය තුලට අවශෝෂනය කරගැනීමේ ක්‍රියාවලිය කෙසේ සිදුවිය යුතුද යන්නයි.

Saturday, September 27, 2014

සුන්නි - ෂියා - 3 (සුන්නි මුස්ලිම් වරුන් ගේ සහ ෂීයා මුස්ලිම් වරුන් ගේ ආගමික වෙනස්කම්)



කලින් සඳහන් වූ ලෙස සුන්නි - ෂියා බෙදීමට මුල් වූයේ දේශපාලන හේතු මිස ආගමික හේතු නොවේ. එනමුත් සුන්නි මුස්ලිම් වරුන් ගේ සහ ෂියා මුස්ලිම් වරුන් ගේ ආගමික ඇදහීම් වල වෙනස් කම් ද දකින්නට ලැබේ. මෙයට හේතු ද සුන්නි - ෂියා බෙදීමේ මුල් ඉතිහාසය දක්වා දිව යයි.

සුන්නාහ් සහ හදීස​

සියළුම මුස්ලිම් වරුන් ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන්නේ කුරානයයි. එහි දැක්වෙන්නේ අල්ලහ් දෙවියන් විසින් මුහම්මද් තුමාට එවන ලද දිව්‍යමය පණිවිඩයි. සියළුම මුස්ලිම් වරු කුරානය දේව වාක්‍යයක් ලෙස පිළිගන්නා අතර එය පිළිපැදීමට බැඳී සිටිති.

කුරානයට අමතරව මුස්ලිම් වරයෙක් ගේ ජීවිතය හැඩ ගස්වන අනෙකුත් ආගමික ලියවිලි "හදීසයන්" (සම්ප්‍රදායන්) ලෙස හැඳින්වේ. හදීසයන් ගේ අඩංගු වන්නේ මුහම්මද් තුමා ගේ ජීවිත කාලය තුල එතුමන් මුහුණ දුන් සිද්ධි, එතුමන් ගේ හැසිරීම්, පුරුදු ආදිය පිළිබඳ එතුමාගේ සමීපතම සහචරයන් විසින් පවසන ලද කතාන්දරයි. එම හදීසයන් මුඛ පරම්පරාගතව පැමිණ පසු කලෙකදී ලේඛන ගන කර ඇත​. මුස්ලිම් වරුන් ගේ ජීවිතයේ විවිධ අවස්ථා සඳහා උපදේශන වශයෙන් හදීසයන් නොයෙක් විට යොදා ගනු ලැබේ.

එලෙස හදීසයන් ඇසුරෙන් මුහම්මද් තුමාගේ ජීවිතය ආදර්ශයක් කර ගනිමින් ජීවත් වීම "සුන්නාහ්" (යහපත් මාර්ගය​) ලෙස හැඳින්වේ.

කලින් දැක්වුනු ලෙස උමර් ගෙන් පසු කාලිෆ් වරයා තේරීමේ දී අලී විසින් කරන ලද "මා අනුගමනය කරන්නේ කුරානය සහ මුහම්මද් තුමාගේ ක්‍රියා මාර්ග පමණි" යන ප්‍රකාශය මෙහිදී විශේෂ වැදගත් කමක් දරයි. මේ ප්‍රකාශය නිසා ෂියා මුස්ලිම් වරු අබු බකර්, උමර්, උත්මන් වැනි මුහම්මද් තුමාගේ සමහර සහචරයන් ගේ ක්‍රියාවනට වැඩි වැදගත් කමක් නොදෙති. එබැවින් ඔවුන් සහ විශේෂයෙන් මුහම්මද් තුමාගේ ප්‍රියතම බිරිඳ වූ අයිෂා විසින් පවසන ලද හදීසයන් ෂියා මුස්ලිම් වරු පිළිනොගනිති. එබැවින් සුන්නි මුස්ලිම් වරු සහ ෂියා මුස්ලිම් වරු අතර වත් පිළිවෙත් වල යම් වෙනස්කම් ඇත​.

සුන්නි - ෂියා වෙනස්කම්

සුන්නි වරු සහ ෂියා වරු අතර ප්‍රධාන වෙනස වන්නේ පළමු කාලිෆ් වරු සතර දෙනා ගැන දරන ආකල්පයයි. සුන්නි වරු පළමු කාලිෆ් වරු හතර දෙනාම (අබු බකර්, උමර්, උත්මන්, අලී) නීත්‍යානුකූල සහ නිවැරදි කාලිෆ් වරු වශයෙන් පිළිගනිති. නමුත් ෂියා වරු පළමු නීත්‍යානුකූල කාලිෆ් වරයා ලෙස පිළිගන්නේ අලී වන අතර​, අනිත් තිදෙනා නියම කාලිෆ් වරු වශයෙන් පිළිනොගනිති.


ඉමාම් වරු

තවත් ප්‍රධාන වෙනසක් වන්නේ ෂියා වරුන් අතර ඇති "ඉමාම්" සංකල්පයයි. ෂියා වරු පිළිගන්නා අන්දමට ඉමාම් වරු යනු යම්කිසි දිව්‍යමය තත්වයක් හිමි සුවිශේෂී පුද්ගලයන් ය. ඔවුන් සැමවිටම නිවැරදි ලෙස පිළිගැනෙන අතර මෙය කතෝලිකයන් ගේ ශාන්තුවර සංකල්පයට සමාන කළ හැක​.

ෂියා වරුන් ගේ පළමු ඉමාම් වරයා අලී වන අතර ඉන් පසු පිළිවෙලින් අලී ගේ පුතුන් වූ හසන් සහ හුසේන් ද ඉමාම් වරු වශයෙන් සැලකේ. පිළිගන්නා ඉමම් වරුන් ගේ සංඛ්‍යාව අනුව ෂියා වරු නිකායන් තුනකට අයත් වන අතර ඒ ඉමාම් වරු 12ක් පිළිගන්නා (ඉත්නාෂරියා), ඉමාම්වරු 7ක් පිළිගන්නා (ඉස්මයිලි) සහ ඉමාම්වරු 5ක් පිළිගන්නා (සයිදි) වශයෙනි.

මේ ඉමාම් වරු සියල්ලන්ම අලී සහ ෆාතිමා ගෙන් පැවත එන්නන් වන අතර ඒ නිසා මුහම්මද් තුමාගේ ඍජු පරපුර වෙති. ඒ නිසාම මොවුන්ට මුස්ලිම් වරුන් ගේ නායකත්වය ලැබිය යුතු බව ෂියා වරුන් ගේ විශ්වාසයයි.

සුන්නි වරු ඉමාම් සංකල්පයක් පිළිනොගන්නා අතර​, කිසිම පුද්ගලයෙක් ට දිව්‍යමය තත්වයක් ලබා නොදෙති. මුස්ලිම් වරුන් ගේ නායකත්වය ලැබිය යුත්තේ මුස්ලිම් සමාජයේ ඉතාමත් සුදුසු පුද්ගලයාට බවත්, එම තෝරා ගැනීම මුස්ලිම් සමාජයේ වැඩිහිටියන් සහ විද්වතුන් එක්වී කළ යුතු බවත් ඔවුහු විශ්වාස කරති.


ෂහදා

ෂහදා යනුවෙන් හැඳින්වෙන්නේ මුස්ලිම් වරයෙක් තමා ගේ විශ්වාසය වෙනුවෙන් කරනා ප්‍රකාශයයි. මෙය සුන්නි වරු සහ ෂියා වරු පවසන ආකාරය වෙනස් වේ.

සුන්නි ෂහදාව​:
ලා ඉලාහා ඉල්ලා - ලාහ් මුහම්මදුන් රසූලු - ඉල්ලාහ්
(අල්ලහ් හැර වෙන දෙවියෙක් නොමැත​. මුහම්මද් අල්ලහ් ගේ දූතයා වේ)

ෂියා ෂහදාව​:
ලා ඉලාහා ඉල්ලා - ලාහ් මුහම්මදුන් රසූලු - ඉල්ලාහ් වා අලීයියුන් වලියියු - ඉල්ලාහ්
(අල්ලහ් හැර වෙන දෙවියෙක් නොමැත​. මුහම්මද් අල්ලහ් ගේ දූතයා වේ. අලී දෙවියන් ගේ ආරක්‍ෂකයා වේ)


Friday, September 26, 2014

සුන්නි - ෂියා - 2 (සුන්නි ෂියා බෙදීමේ ඉතිහාසය​)


මුහම්මද් තුමාගෙන් පසු කාලිෆ් වරු

අබු බකර් සහ උමර්


වෙනත් ආගමික නිකායන් බෙදීමේදී මෙන් නොව, සුන්නි-ෂියා බෙදීම ආගමික ස්වරූපයකට වඩා දේශපාලන ස්වරූපයක් ගනී.

මුහම්මද් තුමා ජීවත්ව සිටි කාලයේ සියළුම මුස්ලිම් වරු අතර නිකාය බේදයක නොතිබුනු අතර​, සියළුම මුස්ලිම් වරු අතර නායකයා ලෙස එතුමා අවිවාදයෙන් පිළිගැනිනි. නමුත් මුහම්මද් තුමාගේ මරණයෙන් පසු මුස්ලිම් ප්‍රජාවේ නායකයා හෙවත් කාලිෆ් වරයා ලෙස කවුරුන් තෝරා ගත යුතුදැයි මතබේදයක් ඇතිවිය​.

එක් පිරිසක් කාලිෆ් වරයා ලෙස මුහම්මද් තුමාගේ ළඟම සහචරයා, එතුමාගේ ජේෂ්ඨතම අනුගාමිකයා සහ එතුමාගේ ප්‍රියතම බිරිඳ වූ අයිෂා ගේ පියා වූ අබු බකර් සුදුසු යැයි යෝජනා කළ අතර තවත් පිරිසක් ඒ සඳහා මුහම්මද් තුමාගේ දියණියන් ගේ සැමියා සහ මුහම්මද් තුමා කුඩා කළ හදාවඩා ගත් අබු තාලිබ් ගේ පුත්‍රයා වූ අලී වඩාත් සුදුසු බවට යෝජනා කළහ​.

අලී සහ මුහම්මද් තුමාගේ පවුලේ සාමාජිකයන් එතුමාගේ අවමංගල්‍යය කටයුතු සම්පාදනය කරන අතර​, මුහම්මද් තුමාගේ ළඟම සහචරයන් පිරිසක් රැස්වීමක් පවත්වා අබු බකර් කාලිෆ් වරයා ලෙස තෝරා ගත්හ​. නමුත් අලී ඔහු කාලිෆ් වරයා ලෙස පිළිනොගත් අතර අබු බකර් ගේ අනුගාමිකයන් සහ අලී ගේ අනුගාමිකයන් අතර ඇති වූ මතබේදය ආරවුලක් දක්වා දුර දිග ගියේය​.

ෂියා වරුන්ට අනුව මේ ආරවුලේදී ඇති වූ තුවාල හේතුවෙන් අලී ගේ බිරිඳ (මුහම්මද් තුමාගේ දියණිය​) වූ ෆාතිමා මිය ගිය අතර ඇය ඒ වනවිට ගැබ් ගෙන සිටියාය​. කෙසේ වුවත් සුන්නි වරු මෙය ප්‍රතික්‍ෂේප කරති.

කාලයක් යනතුරු අලී කාලිෆ් රාජ්‍යයේ පාලන කටයුතු වලින් ඈත්ව සිටියත්,අබු බකර් ගේ මරණයෙන් පසු කාලිෆ් වරයා වූ උමර් ගේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළේය​.ඉස්ලාමීය කැලන්ඩරයේ ආරම්භක දිනය වශයෙන් මුහම්මද් තුමා මක්කමේ සිට මදීනාවට පලායාම තෝරා ගන්නා ලෙස උමර්ට උපදෙස් දෙන ලද්දේ අලී විසිනි.

උමර් ගේ මරණයෙන් පසු නැවතත් කාලිෆ් වරයා තෝරා ගැනීම පිළිබඳ ගැටළුව ඇති විය (අබු බකර් මිය යාමට පෙර තමාගෙන් පසු කාලිෆ් වරයා ලෙස උමර් ව නම් කර තිබූ නිසා එම අවස්ථාවේ එම ගැටළුව ඇති නොවීය​).

කාලිෆ් වරයා තෝරා ගැනීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර කමිටුව විසින් එම හය දෙනාගෙන් අයෙක් තෝරාගත යුතු විය​. මෙම කමිටුවට අලී සහ මුහම්මද් තුමාගේ තවත් සහචරයෙක් වූ උත්මාන් ද ඇතුළත් වූහ​. අවසනදී කමිටුව විසින් අලී සහ උත්මාන් අතරින් කාලිෆ් වරයා තෝරාගැනීම පිණිස ඔවුන් දෙදෙනා වෙත ප්‍රශ්නයක් යොමු කරන ලදී. ඒ "ඔබ ඔබට කලින් සිටි කාලිෆ් වරුන් ගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද​?" යන්නයි. උත්මාන් මෙයට "ඔව්" කියා පිළිතුරු දුන් නමුත් අලී පිළිතුරු දුන්නේ "මා අනුගමනය කරන්නේ කුරානය සහ මුහම්මද් තුමාගේ ක්‍රියාමාර්ගයි" ලෙසිනි. එබැවින් කමිටුව විසින් උත්මාන් තෝරා ගන්නා ලදී.

අලී ගේ මේ පිළිතුර පසුකාලීනව ෂියා වරුන් ගේ ආගමික විශ්වාසයන් සඳහා දැඩි බලපෑමක් ඇති කළේය​.

උත්මාන්ට එරෙහි කැරැල්ල​

උත්මාන් කාලිෆ් වරයා ඔහුට පෙර වූ කාලිෆ් වරුන් මෙන් නොව තමාගේ ගෝත්‍රයට (බානු අබ්ද්-ෂාම්) සහ නෑදෑයන්ට වාසි දායක ක්‍රියා පිළිවෙතක් ගෙනගිය අතර මේ නිසා ඔහුගේ ගෝත්‍රයේ සාමාජිකයන් විශාල දේශපාලන බලයක් ලැබූහ​. මේ නිසා මුස්ලිම් වරු අතර උත්මාන් ගේ ජනප්‍රියත්වය බිඳ වැටිනි. අලී ද ආගමික සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන් කීප වරක් උත්මාන් සමඟ මතභේද ඇති කරගත්තේය​.

ඊජිප්තුවේ උත්මාන් ට එරෙහිව ඇති වූ කැරැල්ලක් මර්ධනය කිරීමට උත්මාන් අපොහොසත් වූ අතර කැරළි කරුවන් මදීනාවට පැමින උත්මාන් ගේ නිවෙස වට කළහ​. මේ අවස්ථාවේදී උත්මාන් ගේ ආධාර කරුවන් කැරලි කරුවන්ට එරෙහිව සටන් කිරීමට ඔහුගේ අවසරය ඉල්ලා සිටියද​, මුස්ලිම් වරුන් අතර යුද්ධයක් ඇති වීම වැළැක්වීමට උත්මාන් එය ප්‍රතික්‍ෂේප කළේය​. මුහම්මද් තුමා ගේ බිරිඳ සහ අබු බකර් ගේ දියණිය වූ අයිෂා කැරළි කරුවන්ට එරෙහිව සටන් කළ යුතුය යන මතයේ තදින්ම සිටි අතර​, අලී ගේ පුතුන් දෙදෙනා වූ හසන් සහ හුසේන් ද උත්මාන් ගේ නිවස ආරක්‍ෂා කිරීමට එක් වූහ​.

නමුත් පසුපස දොරකින් නිවෙසට ඇතුල් වූ කැරළි කරුවෝ උත්මාන් මරා දැමූහ​.

අලී කාලිෆ් තනතුරට පත්වීම​


උත්මාන් ගේ මරණයෙන් පසු කැරළි කරුවන් කාලිෆ් තනතුර සඳහා අලීට ආරාධනා කළ අතර අලී එය ප්‍රතික්‍ෂේප කලේ කැරළි කරුවන් සමඟ ගනුදෙනු කිරීමට අකැමැති වූ බැවිනි. නමුත් කාලිෆ් වරයෙක් පත් නොවීම නිසා අරාජික තත්වයක් ඇති වූ හෙයින් පසුව ඔහු කාලිෆ් තනතුර භාර ගත්තේය​.

මුස්ලිම් වරුන් ගෙන් බහුතරය අලී කාලිෆ් වරයා ලෙස පිළිගත් නමුත්, උත්මාන් ගේ ගෝත්‍රයේ සාමාජිකයන් ඔහු නොපිළිගත්හ​.

අයිෂා සහ උත්මාන් ගේ ගෝත්‍රයේ සාමාජිකයන් කැරළි කරුවන්ට දඬුවම් දෙන ලෙස අලී ගෙන් ඉල්ලා සිටි නමුත්, ගැටුම් දුරදිග යන නිසා අලී එය ප්‍රතික්‍ෂේප කළේය​. එවිට ඔවුහු විශාල හමුදාවක් රැස් කොට බස් රා නගරය අසළ කඳවුරු ලෑහ​. මුස්ලිම් සමාජයේ ප්‍රධාන සහ වැදගත් පුද්ගලයන් රැසක් ඔවුන් හා එක් වූහ​.

අලී තම හමුදාවත් රැගෙන පැමිණි අතර​, දෙපිරිස අතර විශාල සටනක් ඇතිවිය​. මෙය අද හැඳින්වෙන්නේ "ඔටුවා ගේ සටන (Battle of the Camel)" ලෙසිනි. ඒ කැරළි හමුදාව මෙහෙයවූ අයිෂා ඔටුවෙක් පිට නැගී සටන් බිමට ආ හෙයිනි. මේ සටනින් අලී ජයගත් අතර​, කැරළි නායකයන් විශාල ප්‍රමානයක් මිය ගියද අයිෂා ට අනතුරක් නොවිනි.

මේ සටනින් පසු අලී මුස්ලිම් වරු අතර විශාල ජනප්‍රියත්වයක් අත් කරගත් අතර ඔහු ගේ දේශපාලන ප්‍රතිපත්ති සහ බදු සංශෝධන ඒ සඳහා බෙහෙවින් බලපෑවේය​. අලී ගේ අධාර කරුවන් හැඳින්වුනේ "ෂියා අලී" හෙවත් "අලී ගේ පාර්ශවය​" නමිනි.

සිරියාව ආශ්‍රිතව විසූ උත්මාන් ගේ ආධාර කරුවෝ මුආවියා ප්‍රධාන කර ගනිමින් කැරැල්ලක් ආරම්භ කලහ​. ඊජිප්තුවේ ප්‍රධානියෙක් වූ අමර් ද ඔවුන්ට සහය පලකළේය​. මෙය පළමු ෆිත්නාව හෙවත් පළමු සිවිල් යුද්ධය ලෙස හැඳින් වේ.

පළමු ෆිත්නාව (උපුටා ගැනීම විකිපීඩියා)
කොළ - අලී, රතු - මුආවියා, නිල් - අමර්


සටන් කිහිපයකින් පසු ස්ථිර ජයක් ලැබීමට දෙපක්‍ෂයම අපොහොසත් වූ නිසා සාකච්ඡා ඇති වූ නමුත්, එයින් ද ප්‍රතිඵලයක් නොලැබිනි. අලී කැරලි කරුවන්ට එරෙහිව යුද්ධ කිරීමට අකැමැති බව පෙනුනු නිසා දැඩි මතධාරීන් පිරිසක් අලී ගේ පක්‍ෂයෙන් ඉවත් වූහ​. අවුන් හැඳින්වුනේ "කරිජයිට්" වරු නමිනි.

කරිජයිට් වරු අලී සහ මුආවියා දෙදෙනාටම එරෙහිව සටන් කල අතර​, 661 දී කරිජයිට් ඝාතකයෙක් විසින් අලී මරා දැමිනි.

අලී ගේ මරණයෙන් පසු පලමු කාලිෆ් රාජ්‍යය වූ "රෂිදුන් කාලිෆ් රාජ්‍යය​" සමය අවසන් වන අතර​, ඉන් පසු ඇරඹෙන්නේ උමමයියාඩ් කාලිෆ් රාජ්‍යයයි.


උමයියාඩ් කාලිෆ් රාජ්‍යය සමය​

අලී ගේ මරණයෙන් පසු කාලිෆ් වරයා වශයෙන් ඔහුගේ වැඩිමල් පුතා වූ හසන් තෝරා ගැනුනු අතර හසන් මුආවියා සමඟ සටන් කිරීම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් සෙවීමට උත්සහ කළේය​. ඒ අනුව හසන් සහ මුආවියා ගිවිසුමකට එලැඹුනහ​. ගිවිසුමේ කොන්දේසි අනුව​,
1. මුආවියා කාලිෆ් වරයා වශයෙන් පත්වේ
2. මුආවියාගෙන් පසු හසන් කාලිෆ් වරයා වශයෙන් පත්වේ.
3. ඊට පෙර හසන් මියගියහොත් ඔහුගේ සොයුරු හුසේන් කාලිෆ් වරයා වශයෙන් පත් වේ.

ඒ අනුව හසන් කාලිෆ් තනතුරෙන් ඉවත් වී මුආවියා ඒ තනතුරට පත් කෙරිනි. මෙය උමයියාඩ් කාලිෆ් රාජ්‍යයයේ ඇරඹුමයි.

හසන් මදීනාවේ පදිංචියට පැමිණි අතර​, ඔහු මුආවියාගේ ආධාර කරුවන් ගේ මෙන්ම තමාගේ ආධාර කරුවන් ගේ ද අපවාදයට ලක් විය​. හසන් 670 දී මිය ගිය අතර, ෂියා වරුන්ට අනුව ඔහු මිය ගියේ මුආවියා විසින් වස දීමෙනි.

හසන් ගේ මරණයෙන් පසු මුආවියා ගිවිසුම බිඳ දමමින් තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පුතා වූ යසීද් නම් කළේය​.

හුසේන් ගේ මරණය​

680දී මුආවියා මිය ගිය අතර යසීද් කාලිෆ් වරයා වශයෙන් පත්විය​. හුසේන් මෙයට එරෙහි වූ අතර ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ මදීනාවෙන් මක්කමට පලා ගොස් එහිදී යසීද් ට එරෙහිව පිරිස් රැස් කරන්නට විය​. අලී තම අගනුවර ලෙස තෝරාගත් ඉරාකයේ කුෆා නගරයේ වැසියන් හුසේන්ට එහි පැමිණෙන ලෙස ආරාධනා කල අතර​, හුසේන් කුෆා නගරයට පැමිණියහොත් එහි තමාට විරුද්ධව කැරැල්ලක් ඇතිවේ යැයි බිය වූ යසීද් ඔහු කුෆා නගරයට පැමිනීම වැලැක්වීමට හමුදාවක් එවීය​.

කර්බාලා නගරය ආසන්නයේදී යසීද් ගේ හමුදාවට හුසේන් සහ ඔහුගේ සහචරයන් හමුවූ අතර එහිදී ඔවුන් සියල්ලන්ම සමූල ඝාතනය කෙරිනි.

මින් පසු පළමු කාලිෆ් වරයා වූ අබු බකර් ගේ මුණුපුරා වූ සුබායිර් මක්කමේ සිට තවත් කැරැල්ලක් ආරම්භ කළේය​. හුසේන් ගේ ඝාතනය ගැන කිපී උන් විශාල පිරිසක් ඔහුට සහය දුන් අතර​, දකුණු අරාබිය සහ ඉරාකය ඇතුළු විශාල ප්‍රදේශයක සිය බලය පැතිරවීමට ඔහු සමත්විය​. නමුත් පසුව ඔහු ගේ කැරළි හමුදාවන් පරාජය කරනලද අතර​, සුබායිර් ද මරා දමන ලදී.

සුන්නි ෂියා බෙදීම​

සුන්නි සහ ෂියා ලෙස බෙදීම ප්‍රධාන වශයෙන් ඇරඹෙන්නේ හුසේන් ගේ මරණයත් සමඟිනි. අලී සහ ඔහුගේ පුතුන් වූ හසන් සහ හුසේන් (හසන් සහ හුසේන් ගේ මව මුහම්මද් තුමාගේ දියණිය වූ ෆාතිමා වූ හෙයින් මොවුන් මුහම්මද් තුමාගේ මුණුබුරන් වූහ​) නියම කාලිෆ් වරු වශයෙන් පිළිගත් මුස්ලිම් වරු "ෂියා අලී" (අලී ගේ පාර්ශවය​) ලෙස හැඳින්වුනු අතර ඔවුහු පසුව ෂියා වරු ලෙස හැඳින්විනි.

උමයියාඩ් කාලිෆ් වරුන් ගේ බලය පිළිගත් මුස්ලිම් වරු සුන්නි මුස්ලිම් වරු ලෙස හැඳින්විනි. උමයියාඩ් වරුන්ට රාජ්‍ය බලය තිබූ හෙයින් ඔවුන් වඩා ප්‍රභල වූ අතර ෂියා වරු සුළුතරයක් වූහ​.

Wednesday, September 17, 2014

නිදහස​



නිදහස​

ටැංකියේ මාළු
කොයිතරම් අසරණ ද​?
මම වගේ
නිල් අහසේ පහස​
සුළං රැලි වල සිසිල​
ගස් කොළං පැද්දෙන හඬ​
විඳින්න​
උන්ට වරමක් නෑ නේද​?
උන් කොයිතරම් හිර වෙලාද​?
කුරුල්ලා හිතුවා
උගේ කූඩුවේ ඉඳලා.

වීදුරු පළිඟු


වීදුරු පළිඟු


මුළු මහත් දඹදිවම පසිඳු
මාහැඟි පළිඟු බඳුනකි
එහි හිමිකරු වීම​
ඉල්ලීස සිටු වරයා ගේ
එකම අරමුණ විය​.

පළිඟු බඳුන හිමිකර ගැනීමට​
සූ සැටක් ප්‍රයෝග ද​
අසූ කෙළක් ධනය ද​
යෙදීමට​
ඔහුගේ මුළු දිවියම කැපවිය​.

ධනය වැය වේ යැයි ලොබින්
නිසි අහරක් නොලද​
ඔහුගේ ගත​
ඉරටු කූරු මෙන්
සිහින් විය​.

පළිඟු බඳුන ගැනම සිතා
නිදි වැරීමෙන්
ඔහුගේ දෙනෙත්
විළිකුන් ඵල මෙන්
රත් පැහැ විය​.

දොළොස් වසක ඇවෑමෙන්
ඉල්ලීස සිටු තෙමේ
පළිඟු බඳුන හිමි කර ගත් දින​
ඉල්ලීස සිටු මැදුරේ
මහත් සාදයක් විය​.

දොළොස් වසක් පුරා
සිටු මැදුරට ආගන්තුක වූ
නෙක රස මසවුළු ද​
නෙක සුරා පානයන් ද​
නොමසුරුව පිළියෙල කෙරිනි.

මැදුම් යාමය නිමාවත්ම​
අමුත්තන් නික්ම ගිය පසු
ඉල්ලීස සිටු තෙමේ
පළිඟු බඳුන දෑතින් ගෙන​
සිත් සේ විඳින්නට විය​.

සුරාවෙන් මත් වූ
ඔහුගේ දෑත​
ඔහුට අකීකරු වූයෙන්
මද ප්‍රමාදයක් බැලූ
පළිඟු බඳුන​
ඔහු අතින් බිමට පැන​
මියුරු සංගීතය රාවයක් මවමින්
කැබලි සියයක් ව​
කාමරය පුරා
විසිරී ගියේය​.

වීදුරු කැබලි දෙස​
දෙනෙත් දල්වා බලා උන්
ඉල්ලීස සිටු තෙමේ
මද සිනා පා
සයනය වෙත ගොස්
දොළොස් වසකට පසු
සිත් සේ නිදා ගත්තේය​.

සකුරා මල​


සකුරා මල​


ගස් පුරා - වැල් පුරා
නෙක වනින් - නෙක ගඳින්
රොනින් බර - අත වනන​
මල් පොකුරු - මැද සරන​

දෙ සතියක් - පිපී හිඳ​
පෙති සැලී - පරව ගිය​
එ සකුරා - මලම වට​
පියාපත් - වෙහෙසවන​

බමර ඉඳු - බමන​'යුරු
මේ කිනම් - අරුමය ද​?

ලොතරැයිය​


ලොතරැයිය​

දහසක ගේ අවාසනාව වූ
එකෙකුගේ
වාසනාව​

Monday, September 15, 2014

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය - 1

 

 

 ආරම්භය​

 ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වන්නේ යුරෝපයේ අධ්‍යාපනය ලැබූ මධ්‍යම පාන්තික තරුණ පිරිසක් එවකට යුරෝපය හරහා කුණාටුවක් සේ හමා ගිය කොමියුනිස්ට් වාදයේ අදහස් රැගෙන ලංකාවට පැමිණිමත් සමඟය​.

එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන​, කොල්වින් ආර්. ද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ​, ලෙස්ලි ගුණවර්ධන​, එඩ්මන්ඩ් සමරක්කොඩි, පීටර් කේනමන්, රොබට් ගුණවර්ධන​, ජැක් කොතලාවල​, විවියන් ගුණවර්ධන​ වැන්නවුන් මේ අතරින් කැපී පෙණුනු චරිත වූහ​. 1930 දශකයේ මුල ලංකාවට පැමිණි ඔවුහු එකළ ලංකාව පුරා විසිරී තිබූ තරුණ සංගම් වල සාමාජිකත්වය ලබා ගත්හ​.

1933 දී ඔවුන් අධිරාජ්‍යය විරෝධී ව්‍යාපාරයක් ලෙස ඇරඹූ "සූරිය මල් ව්‍යාපාරය​" 1934-35 වකවානුවේ ලංකාව පුරා පැතිර ගිය මැලේරියා වසංගතයෙන් ව්‍යසනයට පත් ලාංකිකයන් ට සහන සැලසීමේ කටයුතු වලට සහභාගී වීම නිසා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය​.

තමා ලද ජන පදනමෙන් දිරි ලැබූ මේ තරුණයෝ 1935 දී "ලංකා සමසමාජ පක්‍ෂය​" නමින් දේශපාලන පක්‍ෂයක් ආරම්භ කළහ​. මේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භයයි.

සමසමාජ පක්‍ෂයේ ජන පදනම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත විය​.
1. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නාගරික කම්කරු ජනතාව​
2. ගැමි ගොවි ජනතාව​
3. මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ජනතාව​

සමසමාජ පක්‍ෂය සමාජවාදී ආර්ථික ක්‍රමයක් සඳහා මෙන්ම, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදයෙන් පූර්ණ නිදහස ලබාගැනීම​, නිදහස් අධ්‍යාපනය​, මව්බසින් අධ්‍යාපනය​, පොදු සේවා ජනසතු කිරීම, කම්කරුවන් ගේ වෘත්තීය අයිතිවාසිකම් වැනි පොදු ජනතාවට ආකර්‍ෂනීය ඉල්ලීම් සඳහා ද පෙනී සිටියහ​.


පැරණි වාමාංශික නායකයන්


පක්‍ෂය දෙකඩ වීම​

ස්ටාලින් විසින් ට්‍රොට්ස්කි සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයෙන් නෙරපා හැරීමෙන් ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ඇතිවූ දෙදරීම ලංකා සමසමාජ පක්‍ෂයටත් බලපෑවේය​. පක්‍ෂය තුළ ට්‍රොට්ස්කිවාදීන් " T කණ්ඩායම​" නමින් සංවිධාන ගත වූහ​. මෙහි නායකත්වය ගත්තේ පිලිප් ගුණවර්ධනයි.

දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමඟම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි දැඩි පිළිවෙතක සිටි සමසමාජ පක්‍ෂය​, බ්‍රිතාන්‍යය රජයේ යුධ ව්‍යාපාරයට ඍජුවම විරුද්ධ පිළිවෙතක් අනුගමනය කළහ​. නමුත් ජර්මනිය සෝවියට් දේශයට පහරදීමත් සමඟම සෝවියට් දේශය බ්‍රිතාන්‍යයේ මිත්‍ර රටක් බවට පත් වූ අතර​, පක්‍ෂය තුළ සිටි ස්ටාලින් වාදීන් යුද්ධයට සහය දෙන ප්‍රතිපත්තියකට මාරු වූහ​.

මෙය පක්‍ෂය දෙකඩ වීමට හේතුවක් වූ අතර 1940දී පක්‍ෂයේ සිටි ස්ටාලින් වාදීන් නෙරපා හරින ලදී. එස්.ඒ. වික්‍රමසිංහ​, පීටර් කෙනමන් සහ එම්.ජී. මෙන්ඩිස් ප්‍රමුඛ ස්ටාලින් වාදීහු එක්සත් සමාජවාදී පක්‍ෂය පිහිටුවා ගත්හ​. මෙය ලෝක කොමියුනිස්ට් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය​. මුළුමහත් ලෝකයේම කොමියුනිස්ට්වාදී පක්‍ෂයකින් ට්‍රොට්ස්කි වාදීන් බලවත් වී ස්ටාලින් වාදීන්ව පක්‍ෂයෙන් නෙරපන ලද්දේ ලංකාවේ සහ බොලීවියාවේ පමණි.

යුද්ධයට විරුද්ධ වීම නිසා 1941දී එන්.එම්. පිලිප් කොල්වින් සහ එඩ්මන්ඩ් සිරගත කරන ලද අතර​, 1942 දී ඔවුහු සියල්ලෝම ඉන්දියාවට පළා ගියහ​. ඉන්දියාවේදී රහසිගත ලෙස එක්‍ රැස් වූ සමසමාජ නායකයෝ ඉන්දියානු සහ බුරුම ට්‍රොට්ස්කිවාදීන් සමඟ එක්ව බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය - ඉන්දියාව​, ලංකාව සහ බුරුමය යන දේශපාලන පක්‍ෂය පිහිටුවා ගත්හ​. මේ පක්‍ෂය ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරය වූ හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයෙක් විය​.

යුද්ධයට සහය දීම නිසා එස්.ඒ. ප්‍රමුඛ ස්ටාලින් වාදීන්ට ලංකාව තුළ ප්‍රසිද්ධ දේශපාලනයේ නියැළීමට බාධාවක් නොවූ අතර​, ඔවුහු 1943 දී තම පක්‍ෂයේ නම කොමියුනිස්ට් පක්‍ෂය ලෙස වෙනස් කළාහ​.

පක්‍ෂය නැවත දෙකඩ වෙයි


ඉන්දියාවේදී ලංකා සමසමාජ පක්‍ෂයේ ඉදිරිය පිළිබඳ නායකත්වය අතර මතභේදයක් ඇතිවිය​. එන්.එම්. සහ පිලිප් ට අවශ්‍යය වූයේ පක්‍ෂය පොදුජන සහභාගීත්වයක් සහිත පුළුල් මහජන පක්‍ෂයක් ලෙසින් ප්‍රතිසංවිධානය කිරීමට වූ අතර කොල්වින් සහ ලෙස්ලි ට අවශ්‍යය වූයේ එය දැඩි විනයක් සහිත කුඩා විප්ලවකාරී කාඩරයකින් සමන්විත පක්‍ෂයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමටයි.

එඩ්මන්ඩ්, ජැක්, විවියන් (ලෙස්ලි ගේ බිරිඳ​), සෙලීනා පෙරේරා (එන්.එම් ගේ බිරිඳ​), බර්නාඩ් සොයිසා ඩොරික් ද සූසා වැනි නායකත්වයේ විශාල පිරිසක් කොල්වින් සහ ලෙස්ලිට සහය දුන් අතර​, රොබට් ඇතුළු පිරිසක් එන්.එම්. සහ පිලිප් සමඟ එක්වූහ​. මේ පිරිස හැඳින්වුනේ "කම්කරු විරුද්ධ පක්‍ෂය​" ලෙසිනි. කම්කරු විරුද්ධ පක්‍ෂය කොල්වින් ප්‍රමුඛ කණ්ඩායම පොතේ ගුරු වාදීන් ලෙස හැඳින්වූ අතර කොල්වින් ප්‍රමුඛ කණ්ඩායම කම්කරු විරුද්ධ පක්‍ෂය මෙන්‍.ෂෙවික් වාදීන් බවට චෝදනා කළහ​.

එන්.එම්. පිලිප් සහ රොබට් නැවත ඉන්දියාවේදී පොලිස් අත් අඩංගුවට පත්වුණු අතර ඔවුන් ලංකාවට එවන ලදී.

යුද්ධය අවසන් වූ පසු සමසමාජ නායකයන් ගේ වරෙන්තු අවලංගු කරන ලද අතර සිරගත වූවන් නිදහස් කරන ලදී. ඉන්දියාවේ සිටි නායකයන් ද නැවත ලංකාවට පැමිණියහ. කොල්වින් ප්‍රමුඛ කණ්ඩායම දිගටම බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය - ඉන්දියාව​, ලංකාව සහ බුරුමය පක්‍ෂයේ ලංකා ශාඛාව ලෙස කටයුතු කිරීමට තීරණය කළහ​. ඔවුහු 1945 දී බොල්.ෂෙවික් සමසමාජ පක්‍ෂය පිහිටුවා ගත් අතර එන්.එම්. සහ පිලිප් නැවතත් ලංකා සමසමාජ පක්‍ෂය පිහිටවූහ​.

බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය - ඉන්දියාව​, ලංකාව සහ බුරුමය හි ලංකා ශාඛාව වශයෙන් හතරවෙනි ජාත්‍යන්තරයේදී ලංකාව නියෝජනය කළේ බොල්.ෂෙවික් සමසමාජ පක්‍ෂය යි. එහි නායකත්වය කොල්වින්ට හිමිවිය​. එන්.එම්. සහ පිලිප් ගේ නායකත්වයෙන් ලංකා සමසමාජ පක්‍ෂය ඉදිරියට ගියේය​.

පක්‍ෂ දෙක අතර මත ගැටුම් ගුටි-බැට හුවමාරු දක්වා දුර දිග ගිය අවස්ථා ද එමට ඇතිවිය​.


1947 මහ මැතිවරණය​


1947 මහ මැතිවරණයට වාමාංශික පක්‍ෂ තුන තරග කළේ වෙන වෙනමය​.

 සමසමාජ පක්‍ෂයේ බලකොටු පිහිටා තිබුනේ අවිස්සාවේල්ල - රුවන්වැල්ල - යටියන්තොට ප්‍රදේශයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේය​. බොල්.ෂෙවික් වරු මොරටුව සිට කළුතර දක්වා වෙරළ තීරයේද කොමියුනිස්ට් වරු ගාල්ල​-මාතර දිස්ත්‍රික්කවල ද ශක්තිමත් වූහ​. කොළඹ නගරයේ පක්‍ෂ තුනටම සැලකිය යුතු බලයක් තිබිණි.

මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් අතර පක්‍ෂ තුනටම සෑහෙන ජනප්‍රියත්වයක් තිබුණද මැතිවරණයේදී ඔවුන් සහය දුන්නේ ලංකා ඉන්දීය කොංග්‍රසයටයි. ලංකා ඉන්දීය කොංග්‍රසය වාමාංශිකයන් ගේ මිතුරු පක්‍ෂයක් ලෙස කටයුතු කළේය​.
  1947 මැතිවරණ ප්‍රතිඵල​


ලංකාවේ පළමු පාර්ලිමේන්තුව සඳහා වූ 1947 මැතිවරණයේ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ වාමාංශිකයන්ට රටේ සැලකිය යුතු බලයක් හිමිව තිබූ බවයි. වෙන වෙනම තරග කිරීම නිසා ඔවුන්ට ආසන ගණනාවක් අහිමි විය​.

සමසමාජය ආසන 10ක් ද, බොල්.ෂෙවික් වරු ආසන 5ක් ද කොමියුනිස්ට් වරු ආසන 3ක් ද වශයෙන් වාමාංශිකයන් ආසන 18ක් දිනා ගත් අතර ප්‍රකාශිත ඡන්ද වලින් 20%ක් පමණ ඔවුන්ට අත්විය​.

1947 පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස එන්.එම්. පෙරේරා තෝරා ගැණිනි.


සමසමාජ බොල්.ෂෙවික් එකමුතුව​


1947 මහ මැතිවරණ ප්‍රතිඵල වලින් වාමාංශිකයන්ට කරුණු දෙකක් අවබෝධ විය​. එකක් බෙදී සටන් කිරීමට වඩා එක්ව සටන් කිරීම වාසි දායක බවයි. අනෙක එන්.එම්. සහ පිලිප් ගේ පුළුල් මහජන පක්‍ෂ මොඩලය වඩා සාර්ථක බවයි.

පක්‍ෂ තුනේ එකමුතුවක් ගැන සාකච්ඡා ඇතිවූ අතර කොල්වින් ප්‍රමුඛ දැඩිමතධාරී ට්‍රොට්ස්කි වාදීන් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය විවේචනය කිරීමේ කොන්දේසි විරහිත නිදහසක් ඉල්ලා සිටි බැවින් ස්ටාලින් වාදී කොමියුනිස්ට් පක්‍ෂයට සංධානගතවීම අපහසු විය​.

1950 දී සමසමාජය සහ බොල්.ෂෙවික් පක්‍ෂය එක්සත් වීමට එකඟතාවය පල කල අතර පිලිප් ප්‍රමුඛ සුළු පිරිසක් එයට විරෝධය පා පක්‍ෂයෙන් ඉවත්වී විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය පිහිටුවා ගත්හ​.

එක්සත් වීමත් සමඟම හතරවැනි ජාත්‍යන්තරයේ නියෝජිතත්වය නැවතත් ලංකා සම සමාජ පක්‍ෂයට හිමි විය​.

1952 මහ මැතිවරණය​


1952 මහ මැතිවරණයට සමසමාජය තනිව තරග කළ අතර විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්හ​.
  1952 මැතිවරණ ප්‍රතිඵල​

1952 මැතිවරණය සමස්තයක් ලෙස වාමාංශිකයන්ට පසු බෑමක් අත්කර දුන්නේය​.

සමසමාජයේ ආසන ගණන 14 සිට 9 දක්වා අඩු වූ අතර ඡන්ද ප්‍රතිශතයේද අඩුවීමක් දක්නට ලැබිනි.

1952 මහ මැතිවරණයේ වැදගත් සිදුවීම් දෙකක් විය​.

එකක් වතු කම්කරුවන් ගේ ඡන්ද බලය අහිමි වීමයි. ඒ නිසා වාමාංශිකයන්ට සහ ඔවුන් ගේ මිතුරු ලංකා ඉන්දීය කොංග්‍රසයට දැවැන්ත පාඩුවක් සිදුවිය​. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමයි. ජාතිකත්වයේ පක්‍ෂයක් වූ එයට වාමාංශිකයන් ගේ ගැමි ගොවි ජන පදනමෙන් සෑහෙන පංගුවක් ආකර්‍ෂනය විය​.

1953 හර්තාලය​


1953 දී හාල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ අතර ලංකා සමසමාජ පක්‍ෂය - විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය - කොමියුනිස්ට් පක්‍ෂය යන වාමාංශික පක්‍ෂ තුන මීට විරෝධය පෑමක් වශයෙන් හර්තාලයක් දියත් කළහ​.

හර්තාලය අති සාර්ථක වූ අතර​, අගමැති ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වීමට සිදුවිය. එක්සත් ජාතික පක්‍ෂයේ බලය දුර්වල වූ අතර වාමාංශිකයන් ගේ බලය නැවතත් හිස එසවීය​.


1956

1956 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතිකවාදී සංවිධාන සමඟ සංධාන ගත වී මහජන එක්සත් පෙරමුණ ඵිටුවා ගත්තේය​. ට්‍රොට්ස්කි වාදයෙන් ඈත්වී ජාතිකවාදය දෙසට නැඹුරු වී සිටි පිලිප් ද තම විප්ලවකාරී සම සමාජ පක්‍ෂය එම සංධානයටම එක් කළේය​. පිලිප් සමඟ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් වූ එම්.ජී. මෙන්ඩිස් ද මහජන එක්සත් පෙරමුණට එක්විය​. මහජන එක්සත් පෙරමුණ ජාතිකවාදී සහ සිංහල​-බෞද්ධ ප්‍රතිපත්ති ඔස්සේ මැතිවරණයට ඉදිරිපත් විය​.

ලංකා සමසමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ සමඟ නිතරග ගිවිසුම් ඇතිකර ගත්හ​.
   1956 මැතිවරණ ප්‍රතිඵල​

 වාමාංශිකයන්ට දැවැන්ත ජයක් හිමිවූ අතර ඔවුන් ගේ ආසන ගණන 17 දක්වා ඉහළ ගියේය​. මහජන එක්සත් පෙරමුණෙන් තේරී පත්වූ පිලිප් සහ එම්.ජී. මෙන්ඩිස් සමඟ එය 19කි. නැවතත් විපක්‍ෂ නායක ධූරයට එන්.එම්. පෙරේරා පත් විය​.

පිලිප් සහ එම්.ජී. නව රජයේ ඇමති ධූර සඳහා පත්වූ අතර, ඔවුන් දෙදෙනා පොදු ජන සුභ සිද්ධිය උදෙසා පියවර රාශියක් ගත්හ​. විශේෂයෙන් පිලිප් ගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් ඉහළ ගිය අතර​, ඔහු බණ්ඩාරනායක සහ ඩඩ්ලි ගෙන් පසු ලංකාවේ දැවැන්තම දේශපාලන ප්‍රතිරූපය බවට පත්විය​. පිලිප් ගේ ජනප්‍රියත්වය සහ සමාජවාදී ප්‍රතිපත්ති නොරිස්සූ මහජන එක්සත් පෙරමුනේ දක්‍ෂිනාංශික කණ්ඩායම පිලිප් ට එරෙහිව කුමන්ත්‍රනය කළහ​. බණ්ඩාරනායක මහතා මෙහිදී පිලිප් ගේ පක්‍ෂය ගත් හෙයින් ඔහුද දක්‍ෂිනාංශිකයන් ගේ වෛරයට භාජනය විය.

මහජන එක්සත් පෙරමුණේ අභ්‍යන්තර ආරවුල්, 1958 ජාතිවාදී අරගල සහ දෙමළ දේශපාලකයන් ගේ ආක්‍රමනශීලී දේශපාලනය නිසා රජය දුර්වල තත්වයකට පත්වූ අතර බණ්ඩාරනායක එක් අවස්ථාවකදී එන්.එම්. ප්‍රමුඛ සමසමාජ නායකයන්ට රජයට එක්වන ලෙස ආරාධනය කළේය. නමුත් රජය සහ එක්සත් ජාතික පක්‍ෂය දුර්වල වී ඇති අවස්ථාවක ඊළඟ මැතිවරණයෙන් තමාට ජය අත්වන බව ගණනය කළ ඔවුහු ඊට එකඟ නොවූහ​.

1958 දී පිලිප් සහ එම්.ජී රජයෙන් ඉවත් වූ අතර 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරිනි. මහජන එක්සත් පෙරමුණ විසිරී ගියේය​.

පිලිප් 1959 දී තම පක්‍ෂයේ නම මහජන එක්සත් පෙරමුන නමින් වෙනස් කළේය​. නව පක්‍ෂය ට්‍රොට්ස්කි වාදී මුහුනුවර සම්පූර්නයෙන්ම අතහැර දමා ජාතිකවාදී ප්‍රතිපත්තියකට නැඹුරු විය​.



Friday, September 5, 2014

සුන්නි - ෂියා - 1




ඉස්ලාමයේ ප්‍රධාන කොටස් දෙක වන සුන්නි සහ ෂියා මුස්ලිම් වරු, ඔවුන් ගේ බෙදීම ඇති වූ අයුරු සහ ඔවුන් ගේ ඇදහීමේ සමානකම් සහ වෙනස් කම් මොනවාද යන්න පිළිබඳ කෙරෙන විවරණයකි.

අද ඉස්ලාමයේ ප්‍රධාන නිකායන් හතරක් හඳුනා ගත හැක​.
1. සුන්නි
2. ෂියා
3. සුෆී
4. ඉබාඩි

මින් සුන්නි සහ ෂියා ප්‍රධාන වන අතර සුෆී සහ ඉබාඩි නිකායන්ට ඇත්තේ සාපේක්‍ෂව සුළු සාමාජික පිරිසකි.

ව්‍යාප්තිය​

අද ලෝකයේ මුස්ලිම් වරුන් ගෙන් සුන්නි වරු අති බහුතරය වෙති. සමස්ත මුස්ලිම් ජනගහණයෙන් සුන්නි වරු 80-85% පමණ වන අතර​, ෂියා වරු 10-15% පමණ වේ. ඉතිරිය සුෆී, ඉබාඩි සහ වෙනත් සුළු නිකායන්ටද​, කිසිම නිකායකට අයත් නොවන "මුස්ලිම් වරු" ලෙස පමණක් තමා හඳුන්වා ගන්නා අයගෙන් ද සමන්විත වේ.

සංඛ්‍යාත්මකව ගතහොත් ෂියා ජනගහණය මිලියන 200 පමණ වන අතර සුන්නි ජනගහණය බිලියන 1.6 ක් පමණ වේ.

ෂියා මුස්ලිම් වරුන් ගේ ප්‍රධාන රට වන්නේ ඉරානයයි. සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතයක් ලෙස ගත් කලද ලෝකයේ වැඩිම ෂියා මුස්ලිම් ප්‍රමානයක් සිටින රට ඉරානයයි. ඉරානයේ ෂියා මුස්ලිම් ප්‍රතිශතය 95% පමණ වේ.

ඉරානයට අමතරව ෂියා බහුතරයක් වෙසෙන රටවල් ඇත්තේ 3 කි. ඒ ඉරාකය, බහරේන් සහ අසර්බයිජානය යි.

මේ රටවල් හතරට අමතරව පකිස්ථානය​, ඉන්දියාව​, යේමනය​, තුර්කිය​, සිරියාව​, ලෙබනනය​, නයිජීරියාව​, ඇෆ්ගනිස්ථානය​, සවුදි අරාබිය සහ කුවේටය සැලකිය යුතු ෂියා මුස්ලිම් ජනගහණයන් සහිත රටවල් වේ.

මේවා අතරින් ලෙබනනය සහ සිරියාව විශේෂත්වයක් උසුලයි. ලෙබනනයේ ෂියා මුස්ලිම් ප්‍රතිශතය 30% පමණ වුවත්, එය ලෙබනනයේ විශාලතම ආගමික කණ්ඩායමයි. සිරියාවේ ෂියා මුස්ලිම් ප්‍රතිශතය 20% වුවත් එහි පාලන බලය අත් කරගෙන සිටින්නේ ෂියා මුස්ලිම් වරුන් ය​.

ඕමානයේ ප්‍රධාන ඉස්ලාමීය නිකාය වන්නේ ඉබාඩි නිකායයි.

ඉහත කී රටවල් (ඉරානය​, ඉරාකය, බහරේන්, අසර්බයිජානය සහ ඕමාන්) හැරුණු විට අනෙක් සියළුම රටවල බහුතරය සුන්නි මුස්ලිම් වරුන් ය​.



ලෝකයේ මුස්ලිම් බහුතරයක් සිටින රටවල සුන්නි - ෂියා - ඉබාඩි ව්‍යාප්තිය​



සුන්නි වරුන් ගේ ප්‍රධාන රට ලෙස සවුදි අරාබිය සැලකෙන අතර​, ෂියා වරුන් ගේ ප්‍රධාන රට ලෙස ඉරානය සැලකේ. සවුදි අරාබියේ මක්කම සහ මදීනා නගර සුන්නි-ෂියා බේධයකින් තොරව සියළු මුස්ලිම් වරු ශුද්ධත්වයේ ලා සලකති. ඊට අමතරව ෂියා වරු ඉරාකයේ කරබාලා නගරය සහ නජාෆ් නගරය ශුද්ධත්වයේ ලා සලකති.





Wednesday, July 30, 2014

Behind the Enemy Lines......







I was in an ambush
Behind the enemy lines
Hiding among the bushes
Waiting and Waiting


Then the enemy came
A man without a face
I shot him...dead
Right between the eyes


I walked up to him
Where he was lying
He stared blankly ahead
Face covered in blood


He must've been a fine lad
Young and charming
If I met him in bar
I'd buy him a drink, I promise


But now he just lay there
Without a word, even a smile
What the hell I have done
I didn't even know him


But what else could I do
I was in an ambush
And he was my enemy
Or he really was?

Once............



Once I was a mouse
In a rich house
Life was a party
Full of cheese
I thought the party would go for ever
But there was this cat
Those cats.....
What do they know about cheese?

Once I was a frog
In a big swamp in France
Life was fat
As a bunch of flies
I thought I was a prince
But they caught me and ate my legs
Those Frenchies.....
What do they know about flies?

Once I was a chameleon
In a bush
Life was colourful
As a rainbow
I thought I would live to be a hundred
But there was this bushfire
Those bushfires.....
What do they know about colours?

Once I was a fish
In a big Lake
Life was vast
As the big blue sky
I thought one day I would swim across the sky
But there was this kingfisher
Those kingfishers.....
What do they know about the sky?

Once I was a boy
In an island
Made of emerald
And I loved a girl
With beautiful eyes
Made of emerald
Life was a flawing dream
Full of joy
I thought I would never wake up
But I did ...........

Tuesday, July 15, 2014

වහාබි වාදයේ ඉතිහාසය - 3

 

හැෂමයිට් වරු තනිවීම​

බ්‍රිතාන්‍යයෝ මෙහිදී තම කූට රාජ්‍ය තාන්ත්‍රික ඥානය පාවිච්චි කරමින් හැෂමයිට් වරුන්ට එතෙක් ලබා දුන් සහය ඉවත් කළහ​. හුසේන් ගේ සුපිරි අරාබි රාජ්‍යය ගොඩනැංවුවහොත් එය බලවත් රාජ්‍යයක් බවට පත්වී තමාට තර්ජනයක් වන බව කල්පනා කල ඔවුහු හැෂමයිට් වරුන් ගේ බලය බිඳීම සඳහා කටයුතු කළහ​.

එහි පළමු පියවර වූයේ පැරණි තුර්කි අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ හැෂමයිට් වරුන් යටතේ එක්සත් අරාබි රාජ්‍යයක් බවට පත් කරනු වෙනුවට ඉරාකය​, පලස්තීනය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යයටත්, සිරියාව සහ ලෙබනනය ප්‍රංශයටත් ලැබෙන සේ ගිවිසුමක් අත්සන් කිරීමයි. මෙහිදී හැෂමයිට් වරුන්ව හිතාමතාම නොසලකා හරුනු ලැබූ අතර ඔවුන්ට අවසානයේ ඉතිරි වූයේ මක්කම සහ මදීනාව අයත් හෙජාස් ප්‍රදේශය පමණි.


හෙජාස් රාජධානිය (උපුටා ගැනීම විකිපීඩියා)

සාවුද් වරුන් ගේ නැගීම​

හැෂමයිට් වරුන් ගේ බලය බිඳීම සඳහා බ්‍රිතාන්‍යයන් මීළඟට තෝරා ගත්තේ අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් එමීර් වරයායි. ඔහුගේ වහාබි වාදය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නජ්ද් සහ හසා එමීර් රාජ්‍යයට බ්‍රිතාන්‍යය හමුදා සහය ගලා එන්නට විය​. බ්‍රිතාන්‍යය මුදල් සහ ආයුධ වලින් සහ වහාබි අන්තවාදයේ අදහස් වලින් සන්නද්ධ වූ ඉක්වාන් හමුදා අරාබිය සිසාරා තම ප්‍රහාර ඇරඹූහ​.

1918 දී සාවුද් වරු හෙජාස් රාජධානියට පහර දී අල්-කුර්මා ප්‍රදේශය අල්ලා ගත්හ​. නමුත් බ්‍රිතාන්‍යයන් ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගැනිනි.

1919-20 කාලයේදී තම පැරණි මිතුරා වූ කුවේට් එමීර් රාජ්‍යයට සාවුද්‍ වරු පහර දුන් අතර නැවතත් බ්‍රිතාන්‍යය මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගැනිනි.

මේ ගැටුම් දෙකෙන් පසු සාවුද් වරු සහ ඔවුන් ගේ ඉක්වාන් හමුදාවන් ගේ බලය වටහා ගත් බ්‍රිතාන්‍යයෝ තම ඍජු සහය සාවුද් වරුන්ට ලබා දුන්හ​.

1921 දී අබ්දුල් අසීස් තම රාජ්‍යයේ නම නජ්ද් සුල්තාන් රාජ්‍යය ලෙස වෙනස් කරගත් අතර ඔහු මෙතැන් සිට හැඳින්වුනේ සුල්තාන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ලෙසිනි.

නජ්ද් සුල්තාන් රාජ්‍යයේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)


1921 දී ඉක්වාන් හමුදා මේ වනවිට දුර්වල වී පැවතුනු ජබල්-ෂමර් එමීර් රාජ්‍යයට කඩා වැදී එහි බලය සම්පූර්නයෙන්ම අල්ලා ගත්හ​.

1922 දී කුවේටය සහ සාවුද් වරුන් අතර නැවතත් සටන් ඇවිළුනු අතර බ්‍රිතාන්‍යය මැදිහත් වීමෙන් කුවේට් එමීර් රාජ්‍යයේ භූමියෙන් තුනෙන් දෙකක් සාවුද් වරුන්ට හිමිවිය​. සාවුද් වරු කුවේටයට එරෙහිව වසර 14ක් ආර්ථික සම්බාධක පැනවූහ​.


ඉක්වාන් හමුදා ප්‍රහාර​

මේ වනවිට ඉක්වාන් හමුදාවන් ඉතාමත් ප්‍රභල ස්ථානයක පසු විය​. සාවුද් වරුන් ගේ බලය සම්පූර්නයෙන්ම රැඳී තිබුනේ ඔවුන් අතය​. ඉක්වාන් වරු වහාබිවාදය ප්‍රචලිත කිරීමේ අරමුණින් සාවුද් වරුන් ගේ දේශසීමාවලින් එපිටට තම ප්‍රහාරයන් දියත් කිරීම ඇරඹූ අතර මෙම ප්‍රහාරයන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ගේ එතරම් මනාපයට හේතු නොවුනේ සමහර විට මෙම ප්‍රහාර වල ඉලක්කය වූයේ මේ වනවිට ඔහුගේ අනුග්‍රාහකයා බවට පත්ව සිටි බ්‍රිතාන්‍යයන් ගේ පාලන ප්‍රදේශ වීමයි.

1921 දී ඉක්වාන් හමුදාවන් දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම් ගම්මාන වලට කඩා වැදී ෂියා මුස්ලිම් වරු 700ක් මරා දැමූහ​.

මින්පසු ඉක්වාන් හමුදාවන් තම අවධානය ජෝර්දානය වෙත යොමු කළ අතර මේ වනවිට ජෝර්දානය පාලනය වුනේ බ්‍රිතාන්‍යය ආරක්‍ෂාව යටතේ හැෂමයිට් පෙළපතට අයත් අබ්දුල්ලා රජු යටතේය​. අබ්දුල්ලා හට තනිවම ඉක්වාන් ප්‍රහාරයන්ට මුහුණ දීමට නොහැකි වූ අතර​, ජෝර්දානය ඉක්වාන් හමුදා යටතට පත්වීමේ තර්ජනයක් ඇතිවිය​. එම නිසා බ්‍රිතාන්‍යයෝ හමුදා බල ඇණියක් සහ ගුවන් හමුදා කඳවුරක් ජෝර්දානයේ පිහිටවූහ​.

1922 දී 1600ක ඉක්වාන් හමුදාවක් ජෝර්දානයේ ගම් දෙකකට කඩා වැදී එහි වැසියන් සමූල ඝාතනය කල අතර​, බ්‍රිතාන්‍යය හමුදාවන් ගේ පැමිණීමත් සමඟම ඔවුහු පලා ගියහ​.

1924 දී 4500ක ඉක්වාන් හමුදාවක් ජෝර්දාන අගනුවර වූ අම්මාන් නගරය වෙත ගමන් කළ අතර​, නගරය අවුන් යටතට පත්වීමේ අවදානමක් ඇතිවිය​. නමුත් බ්‍රිතාන්‍යය ගුවන් හමුදා ප්‍රහාරයකින් ඉක්වාන් හමුදාව සම්පූර්නයෙන්ම විනාශ වූ අතර ඉක්වාන් සෙබළු 500ක් පමණ මිය ගියහ​.

මේ ප්‍රහාරයන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ගේ අනුමැතියෙන් තොරව සිදුවූ නිසා ඉක්වාන් හමුදාවන් සහ ඔහු අතර හොඳහිත පළුදු විය​.

මක්කම සහ මදීනාව සාවුද් වරුන් යටතට පත්වීම​

1924 දී අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් හෙජාස් රාජධානියට එරෙහිව තම දෙවන ප්‍රහාරය ඇරඹීය​.

හෙජාස් හමුදාවන්ට සාවුද් වරුන්ට එරෙහිව වැඩි සටනක් දීමට අපහසු වූ අතර, විශේෂයෙන්ම ඉක්වාන් හමුදාවන් ඉදිරියේ ඔවුහු පසු බැස ගියහ​. 1924 ඔක්තෝබර් 13 දා මක්කම සාවුද් ගේ යටතට පත්වූ අතර, ඉස්ලාමයේ ශුද්ධ වූ නගරය වහාබිවරුන් ගේ ග්‍රහනයට නතුවිය​. සති දෙකකට පසු රියාද් නුවර සාවුද් වරුන් ගේ අනුග්‍රහයෙන් පැවැත්වුනු ඉස්ලාමීය සමුළුවකින් ලොව පුරා මුස්ලිම් වරු මක්කමේ පාලකයා ලෙස අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් පිළිගන්නා බවට දැනුම් දෙන ලදී.

1925 දී මදීනාව​, යන්බු සහ ජෙඩා යන නගර ද සාවුද් වරුන්ට අත් වූ අතර හෙජාස් රාජධානිය සම්පූර්නයෙන්ම බිඳ වැටිනි.

අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් තම රාජ්‍යයේ නම නැවත වරක් වෙනස් කලේ "නජ්ද් - හෙජාස් රාජධානිය​" ලෙස එය නම් කරමිනි. ඔහුගේ තනතුර "නජ්ද් සහ හෙජාස් හි රජු" ලෙස අළුත් විය​.

 නජ්ද් - හෙජාස් රාජධානියේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)



ඉක්වාන් කැරැල්ල

හෙජාස් රාජධානිය අත්පත් කරගැනීමෙන් පසු අබ්දුල් ඉබ්න් සාවුද් ගේ සහ ඉක්වාන් වරුන් ගේ අරමුණු අතර පැහැදිලි ගැටුමක් වර්ධනය විය​.

අබ්දුල් රජුට අවශ්‍යය වූයේ මේ වනවිට ඔහු අත්කරගෙන තිබූ ප්‍රදේශ වල බලය තහවුරු කරගෙන සමෘදිමත් රාජ්‍යයක් ගොඩ නැංවීමයි. නමුත් ඉක්වාන් වරු ප්‍රමුඛ වහාබි අන්තවාදීන්ට අවශ්‍යය වූයේ වහාබිවාදය ඉස්ලාම් ලෝකය පුරා පැතිරවීමටත්, වහාබිවාදය මුල් කරගත් ජිහාඩයක් ක්‍රියාත්මක කිරීමටත් ය​.

අබ්දුල් රජු නිවැරදිව අවබෝධ කරගත්තේ ඉක්වාන් වරුන් ගේ ප්‍රහාර දිගින් දිගටම බ්‍රිතාන්‍යය ආරක්‍ෂාව යටතේ පැවති ජෝර්දානයට සහ ඉරාකයට එල්ල වුවහොත් තමාට ලැබෙන බ්‍රිතාන්‍යය සහය නැතිවී යා හැකි බවයි. හැරත් ඔහුට තවදුරටත් තම රාජ්‍යය පුළුල් කිරීමේ අවශ්‍යයතාවයක් නොමැති වූ හෙයින් ඔහුට තවදුරටත් ඉක්වාන් වරු අනවශ්‍යය විය​.

අබ්දුල් රජු බ්‍රිතාන්‍යය සහ අසල්වැසි රාජ්‍යයන් සමඟ ගිවිසුම් ඇතිකරගත් අතර ඉක්වාන් හමුදාවේ නායකන් වූ සුල්තාන් බින් බජාද් අල්-ඔටාබි සහ ෆයිසාල් අල්-දුවායිෂ් මෙය දුටුවේ 1744 දී අල්-වහාබ් සහ මුහම්මද් බින් සාවුද් අතර ඇතිකරගත් එකඟතාවය බිඳ දැමීමක් ලෙසිනි. එමනිසා වහාබි වරුන් ගේ සහය තවදුරටත් සාවුද් රජවරුන්ට නොලැබෙන බව ප්‍රකාශ කල ඔවුහු තනිව ක්‍රියා කිරීමට පටන් ගත්හ​.


 අබ්දුල්ලා අසීස් ඉබ්න් සාවුද් රජු (උපුටා ගැනීම විකිපීඩියා)



ඉක්වාන් නායක සුල්තාන් බින් බජාද් අල්-ඔටාබි (උපුටා ගැනීම විකිපීඩියා)


 ඉක්වාන් නායක ෆයිසාල් අල්-දුවායිෂ් (උපුටා ගැනීම විකිපීඩියා)

1927 දී ඉක්වාන් හමුදාවන් ඉරාකයට සහ කුවේටයට පහර දුන් අතර අබ්දුල් රජු මේ ප්‍රහාරයන් අනුමත නොකළද​, ඒවා වැලැක්වීමට ක්‍රියා නොකලේය​. එවිට බ්‍රිතාන්‍යය හමුදා කුවේටයේ ආරක්‍ෂාව සඳහා කඳවුරු ඇතිකලහ​. බ්‍රිතාන්‍යයන් සමඟ ගැටුමක් ඇතිවීම ආසන්න බව දුටු අබ්දුල් රජු ඉක්වාන් වරු මර්ධනයට ක්‍රියාත්මක විය​.

1928 දී අබ්දුල් රජුගේ හමුදා සහ ඉක්වාන් හමුදා එකිනෙකා සමඟ සටන් වැදීම ඇරඹූ අතර 1929 දී සබීලා හිදී අබ්දුල් රජුගේ 30,000ක හමුදාවක් 10,000ක ඉක්වාන් හමුදාවකට පහර දුන්නේය​. ඉක්වාන් හමුදාවන් ඔටුවන් සහ අශ්වයන් යොදාගත් අතර රජුගේ හමුදාවන් බ්‍රිතාන්‍යය මැෂින් තුවක්කු සහ සන්නද්ධ රථ යොදාගනිමින් පහර දුන්හ​. ඉක්වාන් වරු දරුණු පරාජයකට ලක්වූ අතර​, ඔවුන් ගේ නායකයන් ගණනාවක් මරණයට පත්විය​.

ෆය්සාල් අල්-දුවායිෂ් මේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අතර​, කුවේටයට පලා ගොස් බ්‍රිතාන්‍යයන්ට යටත් විය​. අහු රියාද් හිදී සිරගත කරන ලද අතර 1931 දී සිර ගෙදරදී මිය ගියේය​. බජාද් අල්-ඔටයිබි ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන පලා ගියත් 1931 දී මරා දමන ලදී.

මේ සටනින් ඉක්වාන් වරුන් ගේ බලය සහමුලින්ම නැතිවී ගිය අතර​, අබ්දුල් රජු වහාබි වරු අභිබවා බලය තහවුරු කරගත්තේය​.

 

සවුදි අරාබිය​

1932 දී අබ්දුල් රජු නැවත වරක් තම රාජ්‍යයේ නම වෙනස් කරමින් එය සවුදි අරාබිය ලෙස නම් කලේය​. නූතන සවුදි අරාබියේ බිහිවීම එලෙස සිදුවිය​.

සවුදි අරාබියේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)

සවුදි අරාබිය (උපුටා ගැනීම විකිපීඩියා)


1934 දී දකුණු අරාබියේ කොටසක් සවුදි අරාබියට ඈඳා ගත් නමුත්, මින් පසු සවුදි අරාබියේ විශාල වශයෙන් භූමි වෙනසක් ඇති නොවීය​.

1938 දී සවුදි අරාබියේ තෙල් සොයාගන්නා ලද අතර මින් පසු සවුදි අරාබිය සහ බටහිර බලවතුන් අතර මිත්‍රත්වය වඩාත් තර විය​. ඊශ්‍රායලය ළඟට මැදපෙරදිග බටහිරයන් ගේ හොඳම මිතුරා බවට පත්වූයේ සවුදි අරාබියයි. නමුත් මේ මිත්‍රත්වය වහාබි උලමා වරුන් ගේ සතුටට හේතු නොවූ අතර ඔවුන් හා රජ පවුල අතර නොයෙක් මත ගැටීම් වලට මෙය හේතුවක් විය​.

නමුත් වහාබි වරුන් ගේ දේශපාලන සහ මිලිටරි බලය සම්පූර්නයෙන්ම බිඳවැටුනු හෙයින් රජු සමඟ ඍජු ගැටුමකට යාමට ඔවුනු අපොහොසත් විය​. මෙම තත්වය කැපී පෙනුනේ 1980 දී ඉක්වාන් සෙබළුන් ගේ පෙළපතකින් පැවත එන ජුහයිමන් ඉබ්න් මුහම්මද් නම් වහාබි වරයෙක් මෙහෙයවූ වහාබි අන්තවාදී සන්නද්ධ කල්ලියක් මක්කමේ දේවස්ථානයක් අල්ලාගැනීමේ සිද්ධියෙනි. මෙහිදී වහාබි උලමා වරු ජුහයිමන් ඍජුවම විවේචනය නොකලද, සවුදි රජු ගේ ඉල්ලීම පරිදි ඔහුට එරෙහිව ෆත්වාවක් නිකුත් කළහ​. 

අද තත්වය​


සවුදි අරාබිය අදත් බටහිරයන් විසින් 1919 දී මෙන්ම සෙකියුලර් අරාබි ජාතිකවාදයට එරෙහිව යොදා ගනිති. සෙකියුලර් අරාබි ජාතිකවාදීන් වූ ඊජිප්තුවේ නසර්, ලිබියාවේ ගඩාෆි, ඉරාකයේ සදාම් සහ සිරියාවේ බසාර් යන සියල්ලන් ගේම සතුරෙක් වූ සවුදි අරාබිය​, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට බටහිරයන්ට නොමද සහයක් ලබා දුන්නේය​. ඊට අමතරව ඉරානයේ නැග ආ ෂියා ඉස්ලාමීය ව්‍යාපාරයට එරෙහිව ද සවුදි වහාබි වාදය බටහිරයන් හා අත්වැල් බැඳගෙන ක්‍රියා කලේය​. මේ සැම තැනදීම බටහිරයන් යොදාගත් ආයුධය වූයේ සවුදි සුන්නි වහාබ් අන්තවාදයයි.

ඉක්වාන් හමුදාවන් ගේ වර්තමාන අනුප්‍රාප්තිකයා ලෙස සැලකිය හැකි අල්-කයිඩා ව්‍යාපාරය සවුදි වහාබ් වාදයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බව නොරහසකි. එසේම ඇෆ්ගනිස්ථානය​, ලිබියාව, සිරියාව සහ ඉරාකයේදී අල්-කයිඩා වරුන්ට බටහිරයන් ගේ නොමද අනුග්‍රහය ලැබුනු බවද නොරහසකි. එදා මෙන්ම අදත් එක පැත්තකින් ඉක්වාන් / අල්-කයිඩා අන්තවාදය සීමාව ඉක්මවා යන අවස්ථාවලදී ඔවුන්ට පහර දුන්නද, බටහිරයෝ තමාට අවශ්‍ය විට ඔවුන්ව තම අරමුණු කරා යොදාගනිති.

හුසේන් රජුගේ සෙකියුලර් අරාබි රාජ්‍යයක සිහිනය සැබෑ වුයේ නම් ඉතාමත් ප්‍රභල රාජ්‍යයක හිමිකරුවන් වීමට වාසනාව තිබූ අරාබීන් අද වහාබි අන්තවාදයේ අඳුරු සෙවනැලි යට විනාශය කරා ක්‍රමයෙන් ගමන් කරමින් සිටිති.