Friday, September 5, 2014

සුන්නි - ෂියා - 1




ඉස්ලාමයේ ප්‍රධාන කොටස් දෙක වන සුන්නි සහ ෂියා මුස්ලිම් වරු, ඔවුන් ගේ බෙදීම ඇති වූ අයුරු සහ ඔවුන් ගේ ඇදහීමේ සමානකම් සහ වෙනස් කම් මොනවාද යන්න පිළිබඳ කෙරෙන විවරණයකි.

අද ඉස්ලාමයේ ප්‍රධාන නිකායන් හතරක් හඳුනා ගත හැක​.
1. සුන්නි
2. ෂියා
3. සුෆී
4. ඉබාඩි

මින් සුන්නි සහ ෂියා ප්‍රධාන වන අතර සුෆී සහ ඉබාඩි නිකායන්ට ඇත්තේ සාපේක්‍ෂව සුළු සාමාජික පිරිසකි.

ව්‍යාප්තිය​

අද ලෝකයේ මුස්ලිම් වරුන් ගෙන් සුන්නි වරු අති බහුතරය වෙති. සමස්ත මුස්ලිම් ජනගහණයෙන් සුන්නි වරු 80-85% පමණ වන අතර​, ෂියා වරු 10-15% පමණ වේ. ඉතිරිය සුෆී, ඉබාඩි සහ වෙනත් සුළු නිකායන්ටද​, කිසිම නිකායකට අයත් නොවන "මුස්ලිම් වරු" ලෙස පමණක් තමා හඳුන්වා ගන්නා අයගෙන් ද සමන්විත වේ.

සංඛ්‍යාත්මකව ගතහොත් ෂියා ජනගහණය මිලියන 200 පමණ වන අතර සුන්නි ජනගහණය බිලියන 1.6 ක් පමණ වේ.

ෂියා මුස්ලිම් වරුන් ගේ ප්‍රධාන රට වන්නේ ඉරානයයි. සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතයක් ලෙස ගත් කලද ලෝකයේ වැඩිම ෂියා මුස්ලිම් ප්‍රමානයක් සිටින රට ඉරානයයි. ඉරානයේ ෂියා මුස්ලිම් ප්‍රතිශතය 95% පමණ වේ.

ඉරානයට අමතරව ෂියා බහුතරයක් වෙසෙන රටවල් ඇත්තේ 3 කි. ඒ ඉරාකය, බහරේන් සහ අසර්බයිජානය යි.

මේ රටවල් හතරට අමතරව පකිස්ථානය​, ඉන්දියාව​, යේමනය​, තුර්කිය​, සිරියාව​, ලෙබනනය​, නයිජීරියාව​, ඇෆ්ගනිස්ථානය​, සවුදි අරාබිය සහ කුවේටය සැලකිය යුතු ෂියා මුස්ලිම් ජනගහණයන් සහිත රටවල් වේ.

මේවා අතරින් ලෙබනනය සහ සිරියාව විශේෂත්වයක් උසුලයි. ලෙබනනයේ ෂියා මුස්ලිම් ප්‍රතිශතය 30% පමණ වුවත්, එය ලෙබනනයේ විශාලතම ආගමික කණ්ඩායමයි. සිරියාවේ ෂියා මුස්ලිම් ප්‍රතිශතය 20% වුවත් එහි පාලන බලය අත් කරගෙන සිටින්නේ ෂියා මුස්ලිම් වරුන් ය​.

ඕමානයේ ප්‍රධාන ඉස්ලාමීය නිකාය වන්නේ ඉබාඩි නිකායයි.

ඉහත කී රටවල් (ඉරානය​, ඉරාකය, බහරේන්, අසර්බයිජානය සහ ඕමාන්) හැරුණු විට අනෙක් සියළුම රටවල බහුතරය සුන්නි මුස්ලිම් වරුන් ය​.



ලෝකයේ මුස්ලිම් බහුතරයක් සිටින රටවල සුන්නි - ෂියා - ඉබාඩි ව්‍යාප්තිය​



සුන්නි වරුන් ගේ ප්‍රධාන රට ලෙස සවුදි අරාබිය සැලකෙන අතර​, ෂියා වරුන් ගේ ප්‍රධාන රට ලෙස ඉරානය සැලකේ. සවුදි අරාබියේ මක්කම සහ මදීනා නගර සුන්නි-ෂියා බේධයකින් තොරව සියළු මුස්ලිම් වරු ශුද්ධත්වයේ ලා සලකති. ඊට අමතරව ෂියා වරු ඉරාකයේ කරබාලා නගරය සහ නජාෆ් නගරය ශුද්ධත්වයේ ලා සලකති.





3 comments:

  1. ප්‍රශ්න කීපයක් තියෙනවා ඉදිරිපත් කරන්න දැනගැනීම උදෙසා,

    1.සලෆි,වහබි නිකායට අයත් යැයි පවසන මුස්ලිම්වරුන් සංඛ්‍යාත්මකව සුෆි නිකායට වඩා අඩුද?

    2.සලෆි සහ වහබි යනු සුෆි නිකායේ අනු නිකායන් ද?

    3.සුන්නි සහ ෂියා නිකායන් කුරානය හැරුණු විට ඉස්ලාම් ආගමික විශ්වාස සහ පිළිවෙත් අනුගමනය කිරීම සඳහා පොදුවේ භාවිත කරන වෙනත් උපදේශනාත්ම ග්‍රන්ථ තිබේද?ඒවා මොනවාද?

    ReplyDelete
  2. සලාෆි යනු සුන්නි මුස්ලිම් වරුන් ගේ දැඩි මතධාරී කොටසක්. වහාබි යනු සලාෆි ආගමික විද්වතෙක් වූ අල්-වහාබ් ගේ අනුගාමිකයන්. ඒ නිසා සලාෆි = වහාබි කියල ගන්න පුළුවන්. සවුදි අරාබියේ ක්‍රියාත්මක වන්නේ වහාබි වාදය​. වහාබි වරුන් අන්තවාදී මුස්ලිම් වරු විදිහට හඳුන්වන්න පුළුවන්.

    වහාබි (සලාෆි) වරු සුෆී වරුන්ට වඩා මම දන්න තරමින් සංඛ්‍යාත්මකව වැඩියි. සවුදි අරාබියේ ජනගහණයෙන් 20% පමණ වහාබි වරු. ඊත අමතරව කටාර් රාජ්‍යයේත් වහාබි වාදය ව්‍යාප්තවෙලා තියෙනවා. අල්-කයිඩා වැනි සංවිධාන සමඟ ඔවුන් ගේ සම්බන්ධකම් තියෙනවා.

    ඉස්ලාමයේ ප්‍රධාන ආගමික ග්‍රන්ථ වර්ග දෙකක් තියෙනවා. එකක් කුරානය​. අනෙක හදීසයන්. කුරානය කියන්නේ අල්ලාහ් දෙවියන් විසින් වරින් වර මුහම්මද් තුමා වෙත එවන ලද පණිවුඩ​. ඒ නිසා කුරානයේ තියෙන්නේ ඍජුවම දේව වාක්‍යය​. හදීසයන් කියන්නේ මුහම්මද් තුමාගේ ජීවිතයේ විවිධ සිද්ධීන් ගැන එතුමා ළඟින් ඇසුරු කළ අය කියන ලද කතාන්දර​. උදාහරණයක් විදිහට මුහම්මද් තුමා යම්කිසිවෙක්ට උපදේශයක් දුන්නා නම්, ඒ සිද්ධිය ඇසින් දුටු කෙනෙක් ඒ ගැන පසුව කරන ලද විස්තර කිරීමක් හදීසයක්.

    හදීසයන් ගේ අඩංගු වෙන්නේ මුහම්මද් තුමාගේ චරිතයේ විවිධ සිද්ධි. භක්තිමත් මුස්ලිම් වරයෙක් මුහම්ම්ද් තුමාගේ චරිතය පරමාදර්ශ කරගෙන ජීවත් විය යුතු බවට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හදීසයන් ගේ කියැවෙන දේවල් මුස්ලිම් වරු තමාගේ එදිනෙදා ජීවිතයට එක් කරගන්නවා. ඒවා අනුගමනය කරනවා. උදාහරණයකට බොහෝ මුස්ලිම් වරු කරන ආකාරයට උඩු රැවුල කපා දමා යටි රැවුල දිගට වැවීම ගන්න පුළුවන්. ඒ මුහම්මද් තුමා තමාගේ රැවුල කැපූ ආකාරය අනුගමනය කිරීමක්. ඒ වගේ මුහම්මද් තුමාගේ චරිතය අනුගමනය කිරීම හඳුන්වන්නේ සුන්නාහ් නමින්.

    ෂියා මුස්ලිම් වරු බොහෝ හදීසයන් පිළිගන්නේ නෑ. ඒකට හේතුව ඒ හදීසයන් කිවූ පුද්ගලයන් යහපත් මුස්ලිම් වරු විදිහට ඔවුන් පිළිනොගැනීම (වැඩි විස්තර දෙවෙනි කොටසින්). නමුත් සුන්නි මුස්ලිම් වරු හදීසයන් පිළිගන්නවා. ඒ අනුව සුන්නාහ් කරනවා. ඔවුන්ට සුන්නි කියන්නේ ඒ නිසා.

    ReplyDelete
  3. සමහර මුස්ලිම්වරු උඩු රැවුල කපන්නෙ ඕමාර් කලීෆා තුමා එසේකල නිසා නේද?

    ReplyDelete