Monday, September 15, 2014

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය - 1

 

 

 ආරම්භය​

 ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වන්නේ යුරෝපයේ අධ්‍යාපනය ලැබූ මධ්‍යම පාන්තික තරුණ පිරිසක් එවකට යුරෝපය හරහා කුණාටුවක් සේ හමා ගිය කොමියුනිස්ට් වාදයේ අදහස් රැගෙන ලංකාවට පැමිණිමත් සමඟය​.

එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන​, කොල්වින් ආර්. ද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ​, ලෙස්ලි ගුණවර්ධන​, එඩ්මන්ඩ් සමරක්කොඩි, පීටර් කේනමන්, රොබට් ගුණවර්ධන​, ජැක් කොතලාවල​, විවියන් ගුණවර්ධන​ වැන්නවුන් මේ අතරින් කැපී පෙණුනු චරිත වූහ​. 1930 දශකයේ මුල ලංකාවට පැමිණි ඔවුහු එකළ ලංකාව පුරා විසිරී තිබූ තරුණ සංගම් වල සාමාජිකත්වය ලබා ගත්හ​.

1933 දී ඔවුන් අධිරාජ්‍යය විරෝධී ව්‍යාපාරයක් ලෙස ඇරඹූ "සූරිය මල් ව්‍යාපාරය​" 1934-35 වකවානුවේ ලංකාව පුරා පැතිර ගිය මැලේරියා වසංගතයෙන් ව්‍යසනයට පත් ලාංකිකයන් ට සහන සැලසීමේ කටයුතු වලට සහභාගී වීම නිසා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය​.

තමා ලද ජන පදනමෙන් දිරි ලැබූ මේ තරුණයෝ 1935 දී "ලංකා සමසමාජ පක්‍ෂය​" නමින් දේශපාලන පක්‍ෂයක් ආරම්භ කළහ​. මේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භයයි.

සමසමාජ පක්‍ෂයේ ජන පදනම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත විය​.
1. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නාගරික කම්කරු ජනතාව​
2. ගැමි ගොවි ජනතාව​
3. මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ජනතාව​

සමසමාජ පක්‍ෂය සමාජවාදී ආර්ථික ක්‍රමයක් සඳහා මෙන්ම, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදයෙන් පූර්ණ නිදහස ලබාගැනීම​, නිදහස් අධ්‍යාපනය​, මව්බසින් අධ්‍යාපනය​, පොදු සේවා ජනසතු කිරීම, කම්කරුවන් ගේ වෘත්තීය අයිතිවාසිකම් වැනි පොදු ජනතාවට ආකර්‍ෂනීය ඉල්ලීම් සඳහා ද පෙනී සිටියහ​.


පැරණි වාමාංශික නායකයන්


පක්‍ෂය දෙකඩ වීම​

ස්ටාලින් විසින් ට්‍රොට්ස්කි සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයෙන් නෙරපා හැරීමෙන් ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ඇතිවූ දෙදරීම ලංකා සමසමාජ පක්‍ෂයටත් බලපෑවේය​. පක්‍ෂය තුළ ට්‍රොට්ස්කිවාදීන් " T කණ්ඩායම​" නමින් සංවිධාන ගත වූහ​. මෙහි නායකත්වය ගත්තේ පිලිප් ගුණවර්ධනයි.

දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමඟම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි දැඩි පිළිවෙතක සිටි සමසමාජ පක්‍ෂය​, බ්‍රිතාන්‍යය රජයේ යුධ ව්‍යාපාරයට ඍජුවම විරුද්ධ පිළිවෙතක් අනුගමනය කළහ​. නමුත් ජර්මනිය සෝවියට් දේශයට පහරදීමත් සමඟම සෝවියට් දේශය බ්‍රිතාන්‍යයේ මිත්‍ර රටක් බවට පත් වූ අතර​, පක්‍ෂය තුළ සිටි ස්ටාලින් වාදීන් යුද්ධයට සහය දෙන ප්‍රතිපත්තියකට මාරු වූහ​.

මෙය පක්‍ෂය දෙකඩ වීමට හේතුවක් වූ අතර 1940දී පක්‍ෂයේ සිටි ස්ටාලින් වාදීන් නෙරපා හරින ලදී. එස්.ඒ. වික්‍රමසිංහ​, පීටර් කෙනමන් සහ එම්.ජී. මෙන්ඩිස් ප්‍රමුඛ ස්ටාලින් වාදීහු එක්සත් සමාජවාදී පක්‍ෂය පිහිටුවා ගත්හ​. මෙය ලෝක කොමියුනිස්ට් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය​. මුළුමහත් ලෝකයේම කොමියුනිස්ට්වාදී පක්‍ෂයකින් ට්‍රොට්ස්කි වාදීන් බලවත් වී ස්ටාලින් වාදීන්ව පක්‍ෂයෙන් නෙරපන ලද්දේ ලංකාවේ සහ බොලීවියාවේ පමණි.

යුද්ධයට විරුද්ධ වීම නිසා 1941දී එන්.එම්. පිලිප් කොල්වින් සහ එඩ්මන්ඩ් සිරගත කරන ලද අතර​, 1942 දී ඔවුහු සියල්ලෝම ඉන්දියාවට පළා ගියහ​. ඉන්දියාවේදී රහසිගත ලෙස එක්‍ රැස් වූ සමසමාජ නායකයෝ ඉන්දියානු සහ බුරුම ට්‍රොට්ස්කිවාදීන් සමඟ එක්ව බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය - ඉන්දියාව​, ලංකාව සහ බුරුමය යන දේශපාලන පක්‍ෂය පිහිටුවා ගත්හ​. මේ පක්‍ෂය ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරය වූ හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයෙක් විය​.

යුද්ධයට සහය දීම නිසා එස්.ඒ. ප්‍රමුඛ ස්ටාලින් වාදීන්ට ලංකාව තුළ ප්‍රසිද්ධ දේශපාලනයේ නියැළීමට බාධාවක් නොවූ අතර​, ඔවුහු 1943 දී තම පක්‍ෂයේ නම කොමියුනිස්ට් පක්‍ෂය ලෙස වෙනස් කළාහ​.

පක්‍ෂය නැවත දෙකඩ වෙයි


ඉන්දියාවේදී ලංකා සමසමාජ පක්‍ෂයේ ඉදිරිය පිළිබඳ නායකත්වය අතර මතභේදයක් ඇතිවිය​. එන්.එම්. සහ පිලිප් ට අවශ්‍යය වූයේ පක්‍ෂය පොදුජන සහභාගීත්වයක් සහිත පුළුල් මහජන පක්‍ෂයක් ලෙසින් ප්‍රතිසංවිධානය කිරීමට වූ අතර කොල්වින් සහ ලෙස්ලි ට අවශ්‍යය වූයේ එය දැඩි විනයක් සහිත කුඩා විප්ලවකාරී කාඩරයකින් සමන්විත පක්‍ෂයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමටයි.

එඩ්මන්ඩ්, ජැක්, විවියන් (ලෙස්ලි ගේ බිරිඳ​), සෙලීනා පෙරේරා (එන්.එම් ගේ බිරිඳ​), බර්නාඩ් සොයිසා ඩොරික් ද සූසා වැනි නායකත්වයේ විශාල පිරිසක් කොල්වින් සහ ලෙස්ලිට සහය දුන් අතර​, රොබට් ඇතුළු පිරිසක් එන්.එම්. සහ පිලිප් සමඟ එක්වූහ​. මේ පිරිස හැඳින්වුනේ "කම්කරු විරුද්ධ පක්‍ෂය​" ලෙසිනි. කම්කරු විරුද්ධ පක්‍ෂය කොල්වින් ප්‍රමුඛ කණ්ඩායම පොතේ ගුරු වාදීන් ලෙස හැඳින්වූ අතර කොල්වින් ප්‍රමුඛ කණ්ඩායම කම්කරු විරුද්ධ පක්‍ෂය මෙන්‍.ෂෙවික් වාදීන් බවට චෝදනා කළහ​.

එන්.එම්. පිලිප් සහ රොබට් නැවත ඉන්දියාවේදී පොලිස් අත් අඩංගුවට පත්වුණු අතර ඔවුන් ලංකාවට එවන ලදී.

යුද්ධය අවසන් වූ පසු සමසමාජ නායකයන් ගේ වරෙන්තු අවලංගු කරන ලද අතර සිරගත වූවන් නිදහස් කරන ලදී. ඉන්දියාවේ සිටි නායකයන් ද නැවත ලංකාවට පැමිණියහ. කොල්වින් ප්‍රමුඛ කණ්ඩායම දිගටම බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය - ඉන්දියාව​, ලංකාව සහ බුරුමය පක්‍ෂයේ ලංකා ශාඛාව ලෙස කටයුතු කිරීමට තීරණය කළහ​. ඔවුහු 1945 දී බොල්.ෂෙවික් සමසමාජ පක්‍ෂය පිහිටුවා ගත් අතර එන්.එම්. සහ පිලිප් නැවතත් ලංකා සමසමාජ පක්‍ෂය පිහිටවූහ​.

බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය - ඉන්දියාව​, ලංකාව සහ බුරුමය හි ලංකා ශාඛාව වශයෙන් හතරවෙනි ජාත්‍යන්තරයේදී ලංකාව නියෝජනය කළේ බොල්.ෂෙවික් සමසමාජ පක්‍ෂය යි. එහි නායකත්වය කොල්වින්ට හිමිවිය​. එන්.එම්. සහ පිලිප් ගේ නායකත්වයෙන් ලංකා සමසමාජ පක්‍ෂය ඉදිරියට ගියේය​.

පක්‍ෂ දෙක අතර මත ගැටුම් ගුටි-බැට හුවමාරු දක්වා දුර දිග ගිය අවස්ථා ද එමට ඇතිවිය​.


1947 මහ මැතිවරණය​


1947 මහ මැතිවරණයට වාමාංශික පක්‍ෂ තුන තරග කළේ වෙන වෙනමය​.

 සමසමාජ පක්‍ෂයේ බලකොටු පිහිටා තිබුනේ අවිස්සාවේල්ල - රුවන්වැල්ල - යටියන්තොට ප්‍රදේශයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේය​. බොල්.ෂෙවික් වරු මොරටුව සිට කළුතර දක්වා වෙරළ තීරයේද කොමියුනිස්ට් වරු ගාල්ල​-මාතර දිස්ත්‍රික්කවල ද ශක්තිමත් වූහ​. කොළඹ නගරයේ පක්‍ෂ තුනටම සැලකිය යුතු බලයක් තිබිණි.

මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් අතර පක්‍ෂ තුනටම සෑහෙන ජනප්‍රියත්වයක් තිබුණද මැතිවරණයේදී ඔවුන් සහය දුන්නේ ලංකා ඉන්දීය කොංග්‍රසයටයි. ලංකා ඉන්දීය කොංග්‍රසය වාමාංශිකයන් ගේ මිතුරු පක්‍ෂයක් ලෙස කටයුතු කළේය​.
  1947 මැතිවරණ ප්‍රතිඵල​


ලංකාවේ පළමු පාර්ලිමේන්තුව සඳහා වූ 1947 මැතිවරණයේ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ වාමාංශිකයන්ට රටේ සැලකිය යුතු බලයක් හිමිව තිබූ බවයි. වෙන වෙනම තරග කිරීම නිසා ඔවුන්ට ආසන ගණනාවක් අහිමි විය​.

සමසමාජය ආසන 10ක් ද, බොල්.ෂෙවික් වරු ආසන 5ක් ද කොමියුනිස්ට් වරු ආසන 3ක් ද වශයෙන් වාමාංශිකයන් ආසන 18ක් දිනා ගත් අතර ප්‍රකාශිත ඡන්ද වලින් 20%ක් පමණ ඔවුන්ට අත්විය​.

1947 පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස එන්.එම්. පෙරේරා තෝරා ගැණිනි.


සමසමාජ බොල්.ෂෙවික් එකමුතුව​


1947 මහ මැතිවරණ ප්‍රතිඵල වලින් වාමාංශිකයන්ට කරුණු දෙකක් අවබෝධ විය​. එකක් බෙදී සටන් කිරීමට වඩා එක්ව සටන් කිරීම වාසි දායක බවයි. අනෙක එන්.එම්. සහ පිලිප් ගේ පුළුල් මහජන පක්‍ෂ මොඩලය වඩා සාර්ථක බවයි.

පක්‍ෂ තුනේ එකමුතුවක් ගැන සාකච්ඡා ඇතිවූ අතර කොල්වින් ප්‍රමුඛ දැඩිමතධාරී ට්‍රොට්ස්කි වාදීන් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය විවේචනය කිරීමේ කොන්දේසි විරහිත නිදහසක් ඉල්ලා සිටි බැවින් ස්ටාලින් වාදී කොමියුනිස්ට් පක්‍ෂයට සංධානගතවීම අපහසු විය​.

1950 දී සමසමාජය සහ බොල්.ෂෙවික් පක්‍ෂය එක්සත් වීමට එකඟතාවය පල කල අතර පිලිප් ප්‍රමුඛ සුළු පිරිසක් එයට විරෝධය පා පක්‍ෂයෙන් ඉවත්වී විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය පිහිටුවා ගත්හ​.

එක්සත් වීමත් සමඟම හතරවැනි ජාත්‍යන්තරයේ නියෝජිතත්වය නැවතත් ලංකා සම සමාජ පක්‍ෂයට හිමි විය​.

1952 මහ මැතිවරණය​


1952 මහ මැතිවරණයට සමසමාජය තනිව තරග කළ අතර විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්හ​.
  1952 මැතිවරණ ප්‍රතිඵල​

1952 මැතිවරණය සමස්තයක් ලෙස වාමාංශිකයන්ට පසු බෑමක් අත්කර දුන්නේය​.

සමසමාජයේ ආසන ගණන 14 සිට 9 දක්වා අඩු වූ අතර ඡන්ද ප්‍රතිශතයේද අඩුවීමක් දක්නට ලැබිනි.

1952 මහ මැතිවරණයේ වැදගත් සිදුවීම් දෙකක් විය​.

එකක් වතු කම්කරුවන් ගේ ඡන්ද බලය අහිමි වීමයි. ඒ නිසා වාමාංශිකයන්ට සහ ඔවුන් ගේ මිතුරු ලංකා ඉන්දීය කොංග්‍රසයට දැවැන්ත පාඩුවක් සිදුවිය​. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමයි. ජාතිකත්වයේ පක්‍ෂයක් වූ එයට වාමාංශිකයන් ගේ ගැමි ගොවි ජන පදනමෙන් සෑහෙන පංගුවක් ආකර්‍ෂනය විය​.

1953 හර්තාලය​


1953 දී හාල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ අතර ලංකා සමසමාජ පක්‍ෂය - විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය - කොමියුනිස්ට් පක්‍ෂය යන වාමාංශික පක්‍ෂ තුන මීට විරෝධය පෑමක් වශයෙන් හර්තාලයක් දියත් කළහ​.

හර්තාලය අති සාර්ථක වූ අතර​, අගමැති ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වීමට සිදුවිය. එක්සත් ජාතික පක්‍ෂයේ බලය දුර්වල වූ අතර වාමාංශිකයන් ගේ බලය නැවතත් හිස එසවීය​.


1956

1956 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතිකවාදී සංවිධාන සමඟ සංධාන ගත වී මහජන එක්සත් පෙරමුණ ඵිටුවා ගත්තේය​. ට්‍රොට්ස්කි වාදයෙන් ඈත්වී ජාතිකවාදය දෙසට නැඹුරු වී සිටි පිලිප් ද තම විප්ලවකාරී සම සමාජ පක්‍ෂය එම සංධානයටම එක් කළේය​. පිලිප් සමඟ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් වූ එම්.ජී. මෙන්ඩිස් ද මහජන එක්සත් පෙරමුණට එක්විය​. මහජන එක්සත් පෙරමුණ ජාතිකවාදී සහ සිංහල​-බෞද්ධ ප්‍රතිපත්ති ඔස්සේ මැතිවරණයට ඉදිරිපත් විය​.

ලංකා සමසමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ සමඟ නිතරග ගිවිසුම් ඇතිකර ගත්හ​.
   1956 මැතිවරණ ප්‍රතිඵල​

 වාමාංශිකයන්ට දැවැන්ත ජයක් හිමිවූ අතර ඔවුන් ගේ ආසන ගණන 17 දක්වා ඉහළ ගියේය​. මහජන එක්සත් පෙරමුණෙන් තේරී පත්වූ පිලිප් සහ එම්.ජී. මෙන්ඩිස් සමඟ එය 19කි. නැවතත් විපක්‍ෂ නායක ධූරයට එන්.එම්. පෙරේරා පත් විය​.

පිලිප් සහ එම්.ජී. නව රජයේ ඇමති ධූර සඳහා පත්වූ අතර, ඔවුන් දෙදෙනා පොදු ජන සුභ සිද්ධිය උදෙසා පියවර රාශියක් ගත්හ​. විශේෂයෙන් පිලිප් ගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් ඉහළ ගිය අතර​, ඔහු බණ්ඩාරනායක සහ ඩඩ්ලි ගෙන් පසු ලංකාවේ දැවැන්තම දේශපාලන ප්‍රතිරූපය බවට පත්විය​. පිලිප් ගේ ජනප්‍රියත්වය සහ සමාජවාදී ප්‍රතිපත්ති නොරිස්සූ මහජන එක්සත් පෙරමුනේ දක්‍ෂිනාංශික කණ්ඩායම පිලිප් ට එරෙහිව කුමන්ත්‍රනය කළහ​. බණ්ඩාරනායක මහතා මෙහිදී පිලිප් ගේ පක්‍ෂය ගත් හෙයින් ඔහුද දක්‍ෂිනාංශිකයන් ගේ වෛරයට භාජනය විය.

මහජන එක්සත් පෙරමුණේ අභ්‍යන්තර ආරවුල්, 1958 ජාතිවාදී අරගල සහ දෙමළ දේශපාලකයන් ගේ ආක්‍රමනශීලී දේශපාලනය නිසා රජය දුර්වල තත්වයකට පත්වූ අතර බණ්ඩාරනායක එක් අවස්ථාවකදී එන්.එම්. ප්‍රමුඛ සමසමාජ නායකයන්ට රජයට එක්වන ලෙස ආරාධනය කළේය. නමුත් රජය සහ එක්සත් ජාතික පක්‍ෂය දුර්වල වී ඇති අවස්ථාවක ඊළඟ මැතිවරණයෙන් තමාට ජය අත්වන බව ගණනය කළ ඔවුහු ඊට එකඟ නොවූහ​.

1958 දී පිලිප් සහ එම්.ජී රජයෙන් ඉවත් වූ අතර 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරිනි. මහජන එක්සත් පෙරමුණ විසිරී ගියේය​.

පිලිප් 1959 දී තම පක්‍ෂයේ නම මහජන එක්සත් පෙරමුන නමින් වෙනස් කළේය​. නව පක්‍ෂය ට්‍රොට්ස්කි වාදී මුහුනුවර සම්පූර්නයෙන්ම අතහැර දමා ජාතිකවාදී ප්‍රතිපත්තියකට නැඹුරු විය​.



No comments:

Post a Comment