Saturday, March 14, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 7 (පුරහඳ සටන හෙවත් බදර් හි සටන​)



පසුබිම​


ක්‍රි.ව​. 623 වන විට මදීනා හි මුස්ලිම් සමාජය හොඳින් තහවුරු වී තිබුනා. මුහම්මද් ට නායකයෙක් විදිහට මදීනාවේ සහ ඒ අවට යම්කිසි පිළිගැනීමක් ලැබෙමින් තිබුනා. නමුත් මක්කාවේ සිට මදීනාවට පැමිණි මුස්ලිම් වරු හෙවත් මුජිහරුන් එසේ කලේ ඔවුන් ගේ සියළු ධනය මක්කාවේ හැර දාලා. මේ නිසා ඔවුන් මදීනාවේ ජීවත් වුනේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද​.

මේ වන විට මක්කාවේ ප්‍රධානියා විදිහට සැලකුණු වලීඩ් ඉබ්න් අල්-මුගිරා මිය ගොස් තිබුණු නිසා ඒ තනතුර හිමි වී තිබුනේ මුහම්මද් තුමාගේ ප්‍රධාන එදිරිවාදියා වුනු ආමර් ඉබ්න් හිෂාම් හෙවත් අබු ජහල් ට​. මේ නිසා මක්කාවේ ඉස්ලාම් විරෝධී ප්‍රතිපත්තිය වඩාත් දැඩි වුනා.

මක්කා හි ප්‍රධානීන් මක්කාව හැර ගිය සියළුම මුස්ලිම් වරුන් ගේ දේපල රාජසන්තක කර ඒවා මක්කා වැසියන් අතර බෙදා දීමට තීරණය කළා. මේ තීරණය මක්කාවෙන් මදීනාවට පැමිණි මුස්ලිම් වරුන් ගේ දැඩි නොසතුටට හේතු වුනා. ඔවුන් එයට එකට එක කිරීමක් ලෙසට සහ අහිමි වුනු ධනය නැවත ලබා ගැනීමේ මාර්ගයක් විදිහට මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට යෝජනා කළා.

එවකට තිබුනු අරාබි සංස්කෘතිය අනුව අරාබි ගෝත්‍රයක කීර්තිය රැඳී තිබුනේ ඔවුන් ගේ රණකාමීත්වය මත​. දිගින් දිගටම හිංසා පීඩා වලට ලක් වන ගෝත්‍රයක් අනෙක් ගෝත්‍ර විසින් දැක්කේ දුර්වල ගෝත්‍රයක් විදිහට​. එවැනි ගෝත්‍ර අනෙකුත් ගෝත්‍ර වල පහසු ගොදුරක් බවට පත් වුනා. මේ නිසා අනෙකුත් අරාබි ගෝත්‍ර අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වී තිබුනා.

මේ හේතු දෙක නිසා මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට මුහම්මද් තුමා සිය අනුමැතිය ලබා දුන්නා. ඒත් ගැටළුවකට තිබුනේ ධනවත් මක්කා වැසියන් ගේ යුධ ශක්තිය හා ගැටීමට දුප්පත් මදීනා වැසියන්ට නොහැකි වීමයි. මක්කා නගරය ජනගහණයෙන් වැඩි විශාල නගරයක් වූ නිසා ඔවුන්ට විශාල පිරිස් බලයක් තිබුනා. ඒ වගේම ධනවතුන් වූ ඔවුන්ට ඉස්තරම්ම ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමේ හැකියාව තිබුනා. ඔටුවන් සහ අශ්වයන් විශාල ප්‍රමානයක් සිටි නිසා ඔවුන්ට ප්‍රභල ප්‍රහාරක හැකියාවක් තිබුනා.

මුහම්ම්ද් තුමාගේ සමයේ අරාබි යුධ සෙබළු

ඒ සමයේ අරාබි යුධ ශිල්පයට අනුව හමුදාවක් ගමන් කළේ ඔටුවන් පිට​. සටනට අවතීර්න වනවිට ඔවුන් ගෙන් සමහරක් අසු පිට නැගී යුධ වදින අසරු සෙබළුන් විදිහටත්, සමහරක් පාබල සෙබළුන් විදිහටත් කටයුතු කළා. ඔටුවන් නොමැති විට ඔවුන්ට ගමන් කිරීමට සිදු වුනේ පයින්. එවැනි අවස්ථාවකදී සටනට එලැඹෙන සෙබළු මහන්සි වී සිටි නිසා ඔවුන් ගේ සටන් කිරීමේ හැකියාව පහත වැටුනා. අශ්වයන් නොමැති විට සතුරාට එරෙහිව ක්‍ෂණික ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් නොමැති වන නිසා ප්‍රහාරක හැකියාව පහත වැටුනා. මේ නිසා අරාබි හමුදාවක ඔටුවන් සහ අශ්වයන් වැදගත් අංගයක් වුනා.

දුප්පත් මදීනා වැසියන්ට හොඳ ආයුධ හෝ සන්නාහ තිබුනේ නෑ. වඩාත් වැදගත් වුනේ ඔවුන්ට සිටි ඔටුවන් සහ අශ්වයන් ගණන ඉතා සීමිත වීමයි. මේ නිසා මුස්ලිම් වරුන් ගේ යුධ හැකියාව තිබුනේ මක්කා වැසියන්ට වඩා බොහෝ පහළින්.


තවලම් ප්‍රහාර​


තවලම් කොල්ල කෑමට ගත් තීරණය අනුව ක්‍රි.ව​. 623 මාර්තු මාසයේ දී හම්සා විසින් මෙහෙයැවුනු මුස්ලිම් වරු 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අබු ජහල් ගේ තවලමකට පහර දෙන්න සැරසුනා. නමුත් අබු ජහල් ගේ පිරිස 300 දෙනෙකුගෙන් සමන්විත වුනු නිසා මුස්ලිම් වරු ප්‍රහාරය අත හැර දමා ආපසු හැරුනා.

මේ මුස්ලිම් වරු හමුදාවක් වශයෙන් සංවිධානාත්මකව ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාවයි.

623 අවුරුද්දේ තවත් අවස්ථා හතරකදී මුස්ලිම් වරුන් ගේ කණ්ඩායම් මක්කා වැසියන් ගේ තවලම් වලට පහර දෙන්න සැරසුනත්, ඒ හැම අවස්ථාවකදීම මක්කා වරුන් ගේ පිරිස් බලය වැඩි වුනු නිසා ප්‍රහාරය නවතා දමා ආපසු හැරෙන්න මුස්ලිම් වරුන්ට සිදු වුනා.

ක්‍රි.ව​. 624 ජනවාරි මාසයේදී මුස්ලිම් වරු 6 දෙනෙකුගේ කණ්ඩායමක් ඔත්තු බැලීම සඳහා මක්කා නගරයට ඇතුල් වීමට උත්සහ කළා. නමුත් ඔවුන් නගරය අවට රැඳී සිටියදී එතැනින් ගියා මක්කා වරුන් ගේ තවලමක් ඔවුන් මුස්ලිම් වරු ලෙස හඳුනා ගත්තා. මුස්ලිම් වරු පළා යාමට තැත් කළ අතර​, එහිදී ඇති වූ ගැටුමෙන් මක්කා වැසියෙක් මිය ගියා.

දින කිහිපයකට පසු මේ ඝාතනයට එකට එක කිරීමක් විදිහට අබු සුෆියාන් විසින් මෙහෙයැවුනු මක්කා වැසියන් ගේ අසරුවන් පිරිසක් මදීනා නගරය අවට තිබූ මුස්ලිම් වරුන්ට අයත් ගොවි බිම් වලට පහර දී ඔවුන් ගේ වගා බිම් ගිනි තිබ්බා.

මේ නිසා 624 අවුරුද්දේ දී මුස්ලිම් වරු සහ මක්කා වැසියන් අතර ඉතා උණුසුම් තත්වයක් ඇති වී තිබුණා.


අබු සුෆියාන් ගේ තවලම​


ක්‍රි.ව​. 624 අප්‍රේල් මාසයේදී දී අබු සුෆියාන් ගේ නායකත්වයෙන් 40 ක පිරිසකගෙන් සමන්විත වුනු විශාල තවලමක් සිරියාවේ සිටි මක්කාව බලා ගමන් කළා. මදීනාව පිහිටා තිබුනේ මක්කාවට උතුරින් නිසා මේ තවලම ගමන් කළ යුතු වුනේ මදීනා නගරය අසළින්. ඒ වගේම මේ තවලමේ මක්කා නගරයෙ සියළුම ප්‍රධානින් සතු වෙළඳ බඩු තිබුනු අතර​, ඒවායේ වටිනාකම ඉතා අධික වුනා.

වටිනා බඩු පුරවාගත් විශාල තවලමක් සාපේක්‍ෂව අඩු පිරිසක් සමඟ මදීනාව අසළින් ගමන් කරන බව ඇසූ මුස්ලිම් වරු මේ තවලමට පහර දෙන්න තීරණය කළා.



මුස්ලිම් වරු තමාගේ තවලමට පහර දීමට සූදානම් වන බවදැනගත් විට අබු සුෆියාන් කළේ තමාගේගමන් මාර්ගය වෙනස් කිරීම​. මක්කා සහ මදීනා නගර පිහිටලා තිබුනේ රතු මුහුදේ වෙරළේ ඉඳන් කිලෝ මීටර් 80 පමණ ගොඩබිම දෙසින්. තවලමේ ගමන් මග වැටිල තිබුනේ මේ නගර දෙක අසලින්. අබු සුෆියාන් වහාම තවලම මුහුද දෙසට හරවලා රතු මුහුදේ වෙරළබඩ නගරයක් වුනු යාන්බු දක්වා තවලම ගෙන ගියා. ඒ අතර මක්කා නගරයට පණිවුඩ කරුවෙක් යවලා මුස්ලිම් වරු තවලමට පහර දෙන්න යන බව දැන්වුවා.


අබු සුෆියාන් ගේ පණිවුඩය ලැබුනු විගස මක්කාවේ ප්‍රධානීන් වහාම හමුදාවක් සූදානම් කලා. බොහෝ අය හමුදාවට එක් වුනේ තවලමේ ඇති තමාගේ වෙළඳ භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන්. නමුත් මක්කාවේ ප්‍රධානියා වුනු අබු ජහල් මුහම්මද් තුමා මරා දැමීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා. ඔහු හමුදාව වෙනුවෙන් තමා සතු ඔටුවන් 700 ක් සහ අශ්වයන් 100 ක් ලබා දුන්නා. අබු ජහල් ට අමතරව උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ් හමුදාවේ ප්‍රධානත්වය ගත්තා.

මක්කාවේ හමුදාවක් එක් රැස් වන බව නොදත් මුස්ලිම් වරු 313 ගෙනෙකුගෙන් සමන්විත හමුදාවක් සමඟ මදීනාවෙන් පිටත් වුනා. ඔවුන් සතුව හිටියේ ඔටුවන් 70ක් සහ අශ්වයන් දෙදෙනෙක් පමණයි. මේ නිසා එක ඔටුවෙක් පිටේ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් නැග යන්න ඔවුන්ට සිදු වුනා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ගමනාන්තය වුනේ මක්කාවට යන මාර්ගයේ පිහිටා තිබූ රට ඉඳි වගාවක් සහිත ස්ථානයක්. මේ ස්ථානය අවට පිහිටා තිබූ ළිං කීපයක් නිසා ඒ අවටින් යන ඕනෑම තවලමක් එතැන නැවතී වතුර පුරවාගෙන යාම සිරිතක්. අබු සුෆියාන් ගේ තවලම එතැනදී අල්ලා ගැනීම ඔවුන් ගේ සැලසුම වුනා.

මුස්ලිම් වරු තමාගේ ප්‍රධාන පිරිසට ඉදිරියෙන් අවට පරික්‍ෂා කර බැලීම සඳහා කීප දෙනෙක් ඉදිරියට යවා තිබුනා. මේ ඔත්තු කරුවන් රට ඉඳි වගාව අසලට පැමිණෙන විට ඔවුන්ට දකින්න ලැබුනේ ළිං වලින් වතුර පුරවා ගන්නා කීප දෙනෙක්. ඒ අබු සුෆියාන් ගේ තවලමෙන් පැමිණි පිරිසක් බව සැක කළ ඔවුන් වහා ඔවුන් මත කඩා පැන ඔවුන් අල්ලා ගත්තා. ඒත් ඔවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් ඔත්තු කරුවන්ට දැන ගන්න ලැබුනේ අබු සුෆියාන් තම තවලම සුරක්‍ෂිතව වෙනත් මගකින් මක්කාව වෙත යැවූ බවත්, අබු ජහල් ගේ ප්‍රධානත්වයෙන් යුත් විශාල​ හමුදාවක් ඔවුන් සිටි තැනට නුදුරින් කඳවුරු ලා සිටින බවත්, ළිං වලින් වතුර පුරවාගනිමින් සිටි අය ඒ හමුදාවේ සාමාජිකයන් බවත්. මේ ආරංචියෙන් කලබල වුනු ඔවුන් වහාම මුහම්මද් තුමා වෙත ගොස් මේ බව දැනුම් දුන්නා.

මුහම්මද් තුමා තමාගේ ප්‍රධාන සහචරයන් කැඳවා ඔවුන් ගේ අදහස් විමසුවා. ඔවුන් බලාපොරොත්තු වුනු තවලම ඔවුන් ට ගිලිහී ගිහින්. ඒ වෙනුවට ඔවුන් වගේ තුන් හතර​ ගුණයක් විශාල බලවත් හමුදාවක් ඔවුන්ට නුදුරින් කඳවුරු ලාගෙන​. එහිදී අබු බකර් සහ තවත් කීප දෙනෙක් සටන අත හැර දමා නැවත මදීනාවට යන ලෙස යෝජනා කළා. නමුත් මක්දාද් ඉබ්න් අස්වාද් වේගවත් කථාවක් කරමින් සටනට මුහුණ දෙන ලෙස යෝජනා කළා. මුහම්මද් තුමා අවසානයේ මක්දාද් ගේ යෝජනාව පිළිගත්තා.


​මක්කා හමුදාවේ මත ගැටුම​


මේ අතර මක්කා හමුදාව රට ඉඳි වගාවට නුදුරින් කඳවුරු ලා සිටියදී මක්කාවේ සිට පණිවුඩ කරුවෙක් ඔවුන් වෙත ආවා. පණිවුඩයෙන් කියැවුනේ අබු සුෆියාන් තවලමත් සමඟ අනතුරකින් තොරව මක්කාව වෙත ආ බවයි.

මේ පණිවුඩය ලත් විට මක්කා හමුදාව අතර මත ගැටුමක් ඇති වුනා. තවලම ආරක්‍ෂා කිරීමේ අදහසින් පැමිණි බොහෝ දෙනා නැවත මක්කාවට යන ලෙස යෝජනා කළා. නමුත් අබු ජහල් සිටියේ මුහම්මද් තුමා මරා දමා ඉස්ලාමයේ කරදරය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන්. ඔහු නැවතී සටන් කරන මතයේ දැඩිව එල්බ ගත්තා.

උත්මාන් ඉබ්න් කලාෆ් තමා නැවත මක්කාවට යාමට අදහස් කරන බව කියා සිටියා.

"තමුසෙට ඇස් යටට ගාන අඳුන් ගාන්න අමතක වෙලා" අබු ජහල් උත්මාන්ට කියා සිටියා. අබු ජහල් අදහස් කළේ උත්මාන් ගැහැණියක් බව​. ඉන් ලැජ්ජාවට පත් උත්මාන් නැවතී සටන් කිරීමට කැමැත්ත පළ කලා.

හමුදාවේ අනෙක් ප්‍රධානියා වුනු උත්බා ඉබ්න් රබියාත් නැවත මක්කාවට යාමට අදහස් කළා. උත්බා ගේ වැඩිමහල් පුතා ඉස්ලාමය වැළඳ ගෙන මදීනාවට පලා ගොස් සිටියා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ඔහුත් ඉඳීමට ලොකු ඉඩක් තිබුනා. අබු ජහල් මේ කරුණ ප්‍රයෝජනයට ගත්තා.

"තමුසෙට බයයි ද තමුසෙගෙ පුතා අපි අතින් මැරුම් කයි කියලා?"

මේ ප්‍රකාශයෙන් කෝපාවිෂ්ඨ වුනු උත්බා තමාගේ අදහස වෙනස් කර ගත්තා.

නමුත් මක්කා හමුදාවේ කොටසක් අබු ජහල් ගේ අදහසට විරුද්ධ වෙමින් නැවත මක්කාවට හැරී ගියා. මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබ්බාස් ගේ ප්‍රධානත්වයෙන් හමුදාවට එක් ව සිටි බැනු හෂීම් වාංශිකයන් නැවත යාමට උත්සහ කරද්දී අබු ජහල් ඔවුන් තර්ජනය කොට බලෙන්ම ඔවුන් රඳවා ගත්තා.

අවසානයේදී 900 ක පමණ පිරිසක් අබු ජහල් සමඟ සටන් බිමට පිවිසුනා.


සටන ඇරඹීම​


සටන් බිම පිහිටා තිබුනේ නැගෙනහිර සිට බටහිර දක්වා දිවෙන මද බෑවුමක් සහිත විශාල තැන්නක​. මේ තැන්නේ නැගෙනහිර කොනේ රටඉඳි වගාව පිහිටා තිබුණා. බෑවුම අවසන් වුනේ තරමක නිම්නයකින්. නිම්නයේ බටහිර කොනේ අකන්කාල් නම් කන්දක් තිබුණා. ළිං පිහිටා තිබුනේ නිම්නය සහ රට ඉඳි වගාව අතර, බෑවුමේ මැදට වෙන්න.


මුලින්ම සටන් බිමට පැමිණියේ මුස්ලිම් හමුදාව​. ඔවුන් රට ඉඳි වගාව පසු කරමින් ළිං දක්වා පැමිණ එතැන කඳවුරු ලා ගත්තා. එමගින් ඔවුන් භූමියේ වාසි දෙකක් ලබා ගත්තා. පළමුවැන්න​, වතුර තිබුනේ ඔවුන් සතුව​. සටන දිගට ඇදුනොත්, සතුරාට පිපාසයේ සටන් කරන්න සිදු වෙනවා. දෙවැන්න​, ඔවුන් සිටියේ බෑවුමේ ඉහළට වෙන්න​. ඔවුන් සතුරාට පහර දුන්නොත්, බෑවුමේ පහළට දිව යමින් පහර දෙන්න පුළුවන්. සතුරා ඔවුන්ට පහර දුන්නොත් බෑවුමේ ඉහළට එන්න සතුරාට සිදු වෙනවා.

එදින මැදියම් රැයේ මක්කා හමුදාව අකල්කාන් කන්ද තරණය කරමින් බටහිර දෙසින් සටන් බිමට පිවිසුනා. එදා ඇද හැළුණු අධික වර්‍ෂාව නිසා පොළව තෙත බරි වී තිබීම හේතුවෙන් ඔවුන් ගේ ඔටුවන් සහ අශ්වයන් කන්ද තරණය කළේ දැඩි අපහසුවෙන්.

සටන් බිම වර්තමානයේ
එදා පුරහඳ දවසක්. මේ නිසා පසුව සටන හැඳින්වුනේ "පුරහඳ සටන​" යන අරුත ඇති "බදර් හි සටන​" ලෙසින්. පසුව සටන සිදු වූ ස්ථානයත් "බදර්" නමින් හැඳින්වුනා.

පහුවදා උදේම දෙපිරිස සටන සඳහා පෙළ ගැසුනා. මක්කා හමුදාව නිම්නය දිගේ පෙළ ගැසුනු අතර​, මුස්ලිම් වරු බෑවුමේ ඉහළින් ළිං අසල පෙළ ගැසුනා. මක්කා හමුදාවේ ප්‍රධානත්වය දැරුවේ ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්), උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ්. මුස්ලිම් හමුදාවේ පෙරමුණ ගත්තේ හම්සා.

එකල අරාබි සිරිත අනුව සටන ඇරඹීමට පෙර දෙපාර්ශවයෙන් දක්‍ෂ කඩු සටන් කරුවන් ලෙස නම් දැරූ කීප දෙනෙක් ඉදිරියට පැමිණ ප්‍රතිවාදී පිලට ද්වන් දව සටන් සඳහා ආරාධනා කරනවා. ඒ අනුව මක්කා හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා වුනු ෂයිබා ඉබ්න් රබියා සහ උත්බා ගේ පුතා වුනු වාලිද් ඉබ්න් උත්බා. ඔවුන් මුස්ලිම් හමුදාවට අභියෝග කළා. අභියෝගය පිළිගෙන මුස්ලිම් හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ තිදෙනාම අන්සාරි වරු.

අන්සාරි වරු සමඟ පුද්ගලික ආරවුලක් නොතිබුණු නිසා මක්කා පිලේ සටන් කරුවන්ට ඔවුන් සමඟ සටන් කිරීමට අවශ්‍යය වුනේ නෑ. උත්බා ඒ බව කෑගසා දන්වා සිටියා.

"මුහම්මද්, අපිට සමාන කවුරු හරි එවන්න​"

ඒ අභියෝගය භාර ගනිමින් හම්සා, අලී සහ උබයිදා ඉබ්න් අල්-හරිත් ඉදිරියට ආවා. මුස්ලිම් හමුදාවේ දක්‍ෂම කඩු සටන් කරුවන් විදිහට සැලකුනේ ඔවුන් තිදෙනා.

හම්සා උත්බා සමඟත්, අලී වාලිද් සමඟත්, උබයිදා ෂයිබා සමඟත් කඩු හරඹයට එලඹුනා. සුළු මොහතකින් අලී ගේ කඩු පහරින් වලීද් මරණයට පත් වුනා. ඊළඟ මොහොතේ හම්සා ගේ කඩු පහරින් උත්බා මරු දැක්කා. ඒ අතර ෂයිබා ගෙන් එල්ල වූ කඩු පහරකින් කකුලට බරපතල තුවාල ලැබූ උබයිදා බිම ඇද වැටුනා. එසැනින් ෂයිබා වෙත කඩා පැන්න අලී ඔහු සමඟ සටනට එලැඹුනා. ෂයිබාටත් අලී ගේ කඩු පහරින් මරණය අත් වුනා. අලී සහ හම්සා තුවාල ලැබූ උබයිදාව ඔසවා ගෙන නැවත තම හමුදාව වෙත ආවත්, අධික ලේ වහනය නිසා උබයිදා මිය ගියා.

හම්සා සහ අලී මක්කා වරු සමඟ සටන් කිරීම​

ද්වන් දව සටනින් තම සටන්කරුවන් තිදෙනාම මිය යාම නිසා මක්කා හමුදාව යම්කිසි තිගැස්මකට ලක් වුනා. ඒ වගේම ඔවුන් ගේ අශ්වයන්ට තෙතබරි පොළවේ දිවීම අපහසු වුනු නිසා මුස්ලිම් හමුදාවට එරෙහිව ඔවුන්ට තිබුනු ලොකුම වාසිය ඔවුන්ට අහිමි වුනා. දැන් ඔවුන්ට තිබුනේ බෑවුම ඉහළට යමින් පහර දීමේ දුෂ්කර කාර්‍යය.


සටන​


සටන ඇරඹුනේ දෙපිලේම දුණුවායන් ඊතල ප්‍රහාර එල්ල කිරීමත් සමඟම​. මේ ඊ ප්‍රහාර නිසා දෙපිලේම කීප දෙනෙක් මරණයට පත් වුනා.

මක්කා හමුදාව කලබලයටත්, අධෛර්‍යයටත් පත් වන බව දුටු මුහම්මද් තුමා සතුරා වෙත කඩා වදින ලෙස අණ දුන්නා. ඒ ගල් කැට අහුරක් ගෙන සතුරා දෙසට දමා ගසමින්. "යා මන්සූර්, අමිත්" (දෙවියන් ගේ ආශිර්වාදය ලද්දනී, පහර දෙනු) යනුවෙන් කෑගසමින් මුස්ලිම් වරු බෑවුම පහළට දිව එමින් සතුරු පෙළ වෙත කඩා පැන්නා.

මුස්ලිම් හමුදාවේ ඉදිරියෙන්ම සිටියේ අලී සහ හම්සා. අලී සටන් වැදුනේ යක්‍ෂාරූඩයෙන් මෙන්. ඔහුගේ අසිපතට හසුවූ සතුරන් එකා පිට එකා මැරී වැටුනා.

සටන අතරතුරදී අන්සාරි ගැටවරයන් දෙදෙනෙක් අබ්දුර් රහ්මන් අබ්න් අව්ෆ් වෙත පැමිණියා.

"මාමේ, ඔබ අබු ජහල් ව දන්නවද​?"

"ඔව්. උඹලට මොකටද අබු ජහල්?" අබ්දුර් රහ්මන් ඔවුන් ගෙන් විමසා සිටියා.

"අපි අහල තියෙනවා ඔහු මුහම්මද් තුමාට ගොඩක් අපහාස කළා කියලා. අපිට අබු ජහල් සටන් බිමේ දී හමු වුනොත්, අපි දෙදෙනා හරි අබු ජහල් හරි මිය යන තුරු අපි අබු ජහල් ව අතාරින්නේ නෑ"

අබ්දුර් රහ්මන් තම සේනාව මෙහෙයවමින් සිටි අබු ජහල් ව අන්සාරි ගැටවරයන් දෙදෙනාට පෙන්නුවා.

මුආව්විද් ඉබ්න් අෆ්‍රා සහ මුආද් ඉබ්න් ආමර් නම් වූ මේ අන්සාරි ගැටවරයන් දෙදෙනා තම අසිපත් රැගෙන අබු ජහල් වෙත කඩා පැන්නා. මුආද් ගේ කඩු පහරකින් අබු ජහල් ගේ පාදයක් වෙන්වී විසිවී ගියා. අබු ජහල් බිම ඇද වැටුනු අතර, මුආව්විද් ඔහුට තම කඩුවෙන් පහර පිට පහර දුන්නා.

ඒ මොහොතේදී අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් මුආද් ගේ උරහිසට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් මුආද් ගේ වම් අත වෙන්වී සිහින් මස් තීරුවකින් සිරුරට සම්බන්ධ වෙමින් එල්ලා වැටුනා. එතැන් සිට මුආද් සටන් කළේ වම් අත එල්ලා ගෙන​. එය වේදනාකාරී වුනු විට ඔහු තම පයින් වම් අත පාගා ගෙන එය සිරුරෙන් ඉරා දැම්මා. සටන අතරතුර දී මුඅව්විද් වෙනත් මක්කා සෙබළෙක් අතින් මරණයට පත් වුනත්, මුආද් දිවි ගලවා ගන්න සමත් වුනා.

සටන පැවතුනේ පැය කීපයක් පමණයි. අලී ප්‍රමුඛ මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයෙන් කලබලයට පත් ව උන් මක්කා හමුදාවේ සමහරු, අබු ජහල් ගේ ඇද වැටීමෙන් සම්පූර්ණයෙන්ම භීතියට පත් ව පළා යාම ඇරඹුවා. අතරින් පතර පලායාම් සමඟම මක්කා හමුදාවේ පෙළ බිඳ වැටී ගියා. පෙළ බිඳ වැටුනු තැන් වලින් කඩා වැදුනු මුස්ලිම් වරු ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒත් එක්කම නායකයන් අහිමිව උන් සම්පූර්න මක්කා හමුදාවම එකා මෙන් සටන් බිමෙන් පළා ගියා.

මුස්ලිම් වරු මක්කා සෙබළුන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගන්න සමත් වුනත් තවත් බොහෝ දෙනෙක් පළා ගියා.

මුස්ලිම් හමුදාවෙන් 14 දෙනෙක් මිය ගිහින් තිබූ අතර, මක්කා හමුදාවේ 70 දෙනෙක් මිය ගිහින් තවත් 70 ක් සිර භාරයට ගෙන තිබුනා. මිය ගිය අයගෙන් 35 දෙනෙක්ම මිය ගියේ අලී ගේ අසිපතෙන්.


සටන අවසානයේ


මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක් වුනු අබ්ද්-අල්ලාහ් ඉබ්න් මසූද් අඩි පහක් පමණ උස කුඩා පුද්ගලයෙක්. ඔහු මක්කාවේ එඬේරෙක් වශයෙන් ජීවිකාව කළ තරුණයෙක්. සටන අවසානයේ ඔහු සටන් බිම පිරික්සමින් ඇවිදිද්දී ඔහුට හමු වුනේ පණ අදිමින් වැතිර සිටි අබු ජහල්.

අබ්ද්-අල්ලාහ් අබු ජහල් ගේ බෙල්ලට පය තබා ඔහු මරා දමන්න සැරසුනා.

"මට කියපන්, සටනෙන් දිනුවේ කවුද​?" අබු ජහල් ඔහුගෙන් විමසුවා

"අල්ලාහ් ගේ පණිවුඩ කරුවා ගේ හමුදාව"

"පුංචි එඬේරා උඹ ගොඩාක් උඩට නැගලා!"

අබු ජහල් "පුංචි එඬේරා" යන්නෙන් අදහස් කළේ අබ්ද්-අල්ලාහ් අබ්න් මසූද් වගේම මුහම්මද් තුමාව​.

අබ්ද්-අල්ලාහ් තමාගේ ගෙල සිඳ දැමීමට පෙර අබු ජහල් එක ඉල්ලීමක් කළා.

"උඹ වගේ මිට්ටෙක් අතින් මැරෙන්න සුදුසු මිනිහෙක් නෙවෙයි මම​. මාව මරන්න උඹට වඩා උස එකෙක් එවපන්"

නමුත් අබ්ද්-අල්ලාහ් ඔහුගේ ඉල්ලීම ඉටු කළේ නෑ. අබු ජහල් මිය ගියේ අඩි පහක් උස "මිට්ටා" අතින්.

අබු ජහල් ගේ මරණය​

මේ අතර මක්කා හමුදාවේ ඉතිරි වුනු එකම ප්‍රධානියා වූ උමයියා ඉබ්න් කලාෆ් මුස්ලිම් වරුන් ගේ සිර භාරයට පත්ව සිටියා. ඔහු තමාට ආරක්‍ෂාව ලබා දිය හැකිදැයි මුස්ලිම් හමුදාවෙන් විමසා සිටියා. එවිට අබ්‍දුර් රහ්මන් ඉබ්න් අව්ෆ් උමයියාට සහ ඔහුගේ පුතා වුනු වලීද් ට ආරක්‍ෂාව ලබා දෙන්න ඉදිරිපත් වුනා. අබ්දුර් රහ්මන් ඔවුන් දෙදෙනා සිර භාරයෙන් මුදාගෙන නිදහස් කිරීමට ගෙන ගියා.

උමයියාට මක්කාවේ කළු ජාතික වහලෙක් සිටියා. ඔහුගේ නම බිලාල්. බිලාල් ඉස්ලාමය වැළඳගත් නිසා උමයියා ඔහු දරුණු වධයට ලක් කළා. බිලාල් ජීවිතය බේරා ගත්තේ ඉතා අමාරුවෙන්. දැන් බිලාල් මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක්. ඔහු උමයියා නිදහස් කිරීම ගැන තම විරෝධය දක්වා සිටියා. අන්සාරි වරු කීප දෙනෙක් බිලාල් ගේ සහයට ආවා. අබ්දුර් රහ්මාන් උමයියා සහ වලීද් පලා යන්න සූදානම් වෙද්දී බිලාල් සහ අන්සාරි වරු ඔවුන් අල්ලා ගත්තා. එතැනදී වලීද් අන්සාරි වරුන් ගේ කඩු පහරින් මිය ගියා. උමයියා බිම දණ ගැසූ විට අන්සාරි වරු ඔහු මරා දැමීමට ළං වුනා. අබ්දුර් රහ්මාන් උමයියා ගේ සිරුර මත වැතිරී ඔහු රැක ගැනීමට උත්සහ කළත්, අන්සාරි වරු ඔහුගේ සිරුරට යටින් කඩු පහර දී උමයියා මරා දැමුවා.


සිරකරුවෝ


අල්ලා ගත් සිර කරුවන්ට මානුෂික ලෙස සැලකීමට මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට අණ කළා. ඔවුන් ව මදීනාව වෙත ගෙන ඒමේදී අත පා බැඳ දැමීමට වත් අවසර ලැබුණේ නෑ. මදීනාවේදී මුහම්මද් තුමා සිරකරුවන් අමතා කතා කළා.

මුලින්ම ඉස්ලාමය වැළඳගෙන මදීනාවේ මුස්ලිම් සමාජයට එක් වීමට සිරකරුවන්ට ආරාධනා කළා. ඒ අනුව දෙදෙනෙක් ඉස්ලාමය වැළඳ ගැනීමට කැමැත්ත පළ කලා. ඉන්පසුව තමාගේ නිදහස වෙනුවෙන් මුදලක් ගෙවීමට හැකි සියළුම දෙනාට ඒ මුදල ගෙවීමෙන් නිදහස් ව යාමට ඉඩ දුන්නා. මුහම්ම්ද් තුමා ගේ පියාගේ සොහොයුරෙක් වූ අබ්බාස් සිර කරුවන් අතර සිටියා. ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක් වූ අතර ඇය හිටියේ මක්කාවේ. මුහම්මද් තුමා අබ්බාස් වෙනුවෙන් වූ මුදල තමාම ගෙවා අබ්බාස් නිදහස් කළා.

ඉතිරි වූ කීප දෙනාට ලැබුනේ අපූරු "දඬුවමක්". ඔවුන්ට අණ ලැබුනේ මදීනාවේ නතර වී ලීවීමට කියවීමට නොදත් මුස්ලිම් වරුන්ට ඉගැන්වීමට​. මුස්ලිම් වරු දහ දෙනෙකුට ලිවීමට ඉගැන්වූ පසු ඔවුන්ව නිදහස් කළා.

මෙහිදී මක්කාවේ සමාජය සහ මදීනාවේ සමාජය ගැන හොඳ අදහසක් ලබා ගන්න අපිට පුළුවන්. ධනවත් විශාල නගරයක් වුනු මක්කාවේ බොහෝ දෙනාට ලිවීමට සහ කියැවීමට හැකි වුනු බවත්, කුඩා දුප්පත් නගරයක් වුනු මදීනාවේ බොහෝ දෙනෙකුට ලිවීමට කියැවීමට නොහැකි වුනු බවත් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මුහම්මද් තුමා ලිවීමට සහ කියැවීමට දුන් වැදගත් කම ගැනත් අපිට හිතා ගන්න පුළුවන්.


අබු ලැහැබ්


මක්කාවේ මුහම්මද් තුමා අයිති වුනු වංශය වූ බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ්. ඔහු සටනට එක් වුනේ නෑ. ඒ වෙනුවට සටනේදී බැනු හෂීම් වංශිකයන් මෙහෙයවූයේ ඔහුගේ සොහොයුරු අබ්බාස්.

මුස්ලිම් වරුන්ට එරෙහිව පහසු ජයක් අපේක්‍ෂා කළ නිසා අබු ලැහැබ් සටන ගැන ලොකු උනන්දුවක් දැක්වූයේ නෑ. ඔහු තමාගේ පවුලේ අය සහ මිතුරන් සමඟ එළිමහනේ විශාල භෝජන සංග්‍රහයක් පවත්වමින් සිටියා. ඔවුන් සිටියේ විශාල කූඩාරමක​

හදිසියේම සටනෙන් පළා ආ අයෙක් එතැනට ආවා. මුස්ලිම් හමුදාව අතින් මක්කා හමුදාව සම්පුර්නයෙන්ම පරාජය වුනු බවත්, අබු ජහල් සහ උත්බා ඉබ්න් රබියා සටනින් මියගිය බවත් ඔහු කියා සිටියා. අබු ලැහැබ් මේ පුවතින් කම්පනයට පත් වුනා.

කූඩාරමේ අනිත් කෙළවර අබ්බාස් ගේ බිරිඳ ලුබාබා සහ ඇගේ සේවකයා වුනු අබු රාෆි දඩයම් සඳහා ඊතල මුවහත් තබමින් සිටියා. ඔවුන් දෙදෙනාම මුස්ලිම් වරු. සටනින් මුස්ලිම් වරු ජයගත් බව දැනගත් ඔවුන් ඉමහත් ප්‍රීතියට පත් වුනා.

"මුහම්මද් ගේ හමුදාව දිනුවේ දේව දූතයන් ගේ පිහිටෙන්" අබු රාෆි කිව්වා.

ඒක ඇහුනු අබු ලැහැබ් කෝපයෙන් වියරු වැටුනා. ඔහු අබු රාෆිට පහර දුන්නා. අබු රාෆි බිම වැටුනු විට ඔහු අතේ තිබුනු පොල්ලකින් අබු රාෆිට දිගටම පහර දුන්නා.

ලුබාබා තරමක් තරබාරු ශක්තිමත් කාන්තාවක්.

"අබ්බාස් නැති නිසා අපේ සේවකයට ගහන්න පුළුවන් කියලද හිතුවේ?"

එහෙම කෑගහපු ලුබාබා කූඩාරමේ කණුවක් ගලවාගෙන අබු ලැහැබ් ගේ හිසට වැරෙන් පහරක් එල්ල කළා. පහරෙන් හිසේ පැත්තක දරුණු කැපුම් තුවාලයක් සහිතව අබු ලැහැබ් බිම ඇද වැටුනා.

පහුවදා අබු ලැහැබ් ගේ තුවාලය පැසවා දරුණු අතට හැරුනා. ටික දිනකින්ම ඔහුගේ මුළු සිරුරම එකම වණයක් බවට පත් වුනා. ඔහුගේ තුවාල වලින් හැමූ දුගඳ කොතරම් ප්‍රභල වුනාද කිව්වොත්, ඔහුගේ බිරිඳ සහ පුතුන්වත් ඔහු ළඟට ආවේ නෑ. සතියකින් පමණ අබු ලැහැබ් මිය ගියා. මිය ගිය පසුවත් ඔවුන් ඔහුගෙ සිරුර වළ දමන්නවත් ඉදිරිපත් වුනේ නෑ. මළ සිරුරේ ගඳ ඉවසන්න බැරි වුනු අසල්වැසියන් චෝදනා කළ පසු ඔවුන් වලක් හාරලා සේවකයෙක් ගැට ගැසූ ලණුවකින් මළ සිරුර වල ලඟට ඇදගෙන ආවා. ඉන්පසුව ඈත ඉඳන් වතුර ගහලා මළ සිරුර හෝදලා දිග රිටකින් එය වල තුලට තල්ලු කලා. ඉන්පසු ගල් දමා වල වහල දැම්මා.


සටනින් පසු - මක්කාව​


සටනින් මක්කාවේ විශාල වෙනසක් ඇති වුනා. සටනින් ප්‍රධානින් විශාල පිරිසක් මිය යාම නිසා බොහෝ වංශයන් ගේ බලය පිරිහී ගියා. කුඩා මුස්ලිම් හමුදාව අතින් දරුණු පරාජයක් ලැබීම නිසා මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට එල්ල වුනේ දැඩි කැළලක්.

මෙතෙක් මක්කාවේ ප්‍රභලම වංශය වුනු බැනු මක්සුම් වංශයේ බලය අබු ජහල් ගේ මරණයත් එක්කම සම්පූර්නයෙන්ම වග් නැතිවී ගියා. ඒ එක්කම අබු ලැහැබ් ගේ මරණයත් එක්කම බැනු හෂීම් වංශයේ බලයත් නැතිවී ගියා. බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ අබ්බාස්. ඔහු මුහම්මද්ට හිතවතෙක්. ඒ වගේම ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක්. ඒ නිසා බැනු හෂීම් වංශය තුල නැවතත් මුහම්මද්ට හොඳ තැනක් ලැබුනා. උමයියා ඉබ්න් කලාෆ් ගේ මරණයත් එක්කම බැනු ජුමාහ් වංශයේ බලයත් පිරිහී ගියා.

සටනින් බැනු උමයියා වංශයේ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා සහ පුතා මිය ගියා. ඒ බැනු උමයියා වංශයේ ප්‍රධානින් ගෙන් විශාල ප්‍රමානයක්. මේ නිසා ඔවුන්ටත් ලැබුනේ දරුණු පහරක්. ඒත් සටනට සහභාගී නොවුනු අබු සුෆියාන් ජීවතුන් අතර සිටි නිසා ඔවුන් ගේ බලය සම්පුර්නයෙන්ම පිරිහුනේ නෑ.

මක්කාවේ ප්‍රධානින් අතර ඉතුරු වුනේ අබු සුෆියාන් පමණයි. මේ නිසා ඔහුට බැනු උමයියා වංශයේ වගේම මක්කාවේ ප්‍රධානියා වෙන්න වරම් ලැබුනා. අනෙකුත් වංශ වල ප්‍රධානින් විදිහට ඉතුරු වුනේ තරුණ පිරිසක්. මේ නිසා අබු සුෆියාන් මක්කාවේ අසහාය නායකයා බවට පත් වුනා. මෙතෙක් නායකත්ව මණ්ඩලයකින් මක්කාව පාලනය වුනත්, මෙතැන් සිට මක්කාව පාලනය වුනේ අබු සුෆියාන් ගේ තනි මතයට​. ඒ එකක්ම බැනු උමයියා වංශය මක්කාවේ ඉතාම ප්‍රභල තැනක් ලබා ගත්තා.

සටනින් මිය ගිය උත්බා ඉබ්න් රබියා ගේ දියණිය වුනේ හින්.ද් බින්ට් උත්බා. ඇය අබු සුෆියාන් ගේ බිරිඳ​. සටනින් ඇගේ පියා වුනු උත්බා, ඇගේ සොහොයුරා වුනු වලීද් සහ පියාගේ සොහොයුරා වුනු ෂයිබා තිදෙනාම මිය ගියා. මේ වන විට ඇගේ අනෙක් සොහොයුරා ඉස්ලාමය වැළඳ ගෙන මක්කාවෙන් පළා ගිහින්. ඒ නිසා ඇයගේ මුළු පවුලම ඇයට අහිමි වුනා. ඇගේ පවුලේ අය මරා දැමූ අලී සහ හම්සා ගැන ඇය තුල ඉතා දරුණු වෛරයක් හට ගත්තා. මුහම්මද්, අලී සහ හම්සා කෙදිනක හෝ මරා දමන බවට ඇය දිවුරා සිටියා.

උමයියා වංශයේ නැගීම සහ හින්.ද් තුළ හටගත් වෛරය පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්‍ෂ්‍යය විදිහට දකින්න පුළුවන්.


සටනින් පසු - මදීනාව​


ඒ වගේම ප්‍රභල මක්කා හමුදාවට දරුණු පරාජයක් අත් කර දෙන්න සමත් වීමෙන් මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. එවැනි විශ්‍ෂ්ඨ ජයක් ලැබුනේ අල්ලාහ් ගේ උදව්වෙන් බව ඔවුන් සිතුවා. ඒ අනුව තමාගේ ගම නිවැරදි මග බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් ඇති වුනා.

ඒ එක්කම රණශූරයෙක් විදිහට තරුණ අලී මුස්ලිම් වරු අතර විශාල ප්‍රසාදයක් දිනා ගත්තා. මුහම්මද් තුමාගේ විශ්වාසවන්තම සගයා සහ කිට්ටුම සහචරයා ලෙස මෙතෙක් ඔහු වෙත තිබුනු ප්‍රතිරූපය මේ සටනින් පසුව වඩාත් තහවුරු වුනා.

අන්සාරි වරු සටනේදි දැක්වූ දක්‍ෂතාවය කැපී පෙනුනා. මේ නිසා අන්සාරි වරුන්ට මුස්ලිම් සමාජයේ තිබුණු තැන ඉහළ ගියා.

ඉස්ලාමීය ඉතිහාසයේ පළමු යුධ ජය විදිහට සැලකෙන්නේ බදර්. බදර් හි සටන් කළ අය මුස්ලිම් වරු අතර විශාල ගෞරවයකට ලක් වුනා. පසු කාලීනවත් බදර් සටනේ සාමාජිකයෙක් වීම මුස්ලිම් සමාජයේ ඉදිරි තැනක් ලබන්න හේතුවක් වුනා.

බදර් සටනින් මිය ගිය මුස්ලිම් වරු 14 දෙනා ඉමහත් ගෞරවයට ලක් වුනා. ඒ අය අතර මුහාජිරුන් වරු 6 දෙනෙක් සහ අන්සාරි වරු 8 දෙනෙක් හිටියා.

සටනින් මියගිය මුස්ලිම් වරුන් ගේ සොහොන්

Saturday, March 7, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 6 (හෙගිරා)


යාත්‍රිබ් නගරයේ ඉතිහාසය​


ක්‍රි.ව​. දෙවැනි සියවසේදී රෝම - යුදෙව් යුද්ධයෙන් යුදෙව්වන් පරාජය වුනු පසු ඊශ්‍රායලයේ සිත යුදෙව්වන් විශාල ප්‍රමානයක් යෙමනය බලා පලා ගියා. මේ යුදෙව්වන් සමහරක් නැවත උතුරට සංක්‍රමනය වෙලා රතු මුහුදු වෙරළබඩ ක්‍ෂේම භූමි ආශ්‍රිතව කෘෂිකාර්මික ජනාවාස පිහිටුවා ගත්තා. අරාබීන් අතර අවුරුදු සිය ගණනක් වාසය කිරීමෙන් පසු මේ යුදෙව්වන් අරාබි සංස්කෘතියේ අංග අවශෝෂනය කර ගත්තා. ඔවුන් ගේ නම් සැකසුනේ අරාබි ඌරුවට​. ඔවුන් කතා කළේ හීබෲ සහ අරාබි මුසු වුනු බසක්. ඔවුන් අරාබීන් සමඟ ආවහ​-විවාහ සිදු කර ගත්තා. නමුත් ඔවුන් තමාගේ යුදෙව් ආගම අතහැරියේ නෑ.

මේ විදිහට පිහිටුවා ගත් එක ජනාවාසයක් හැඳින්වුනේ යාත්‍රිබ් කියලා. යාත්‍රිබ් පිහිටා තිබුනේ මක්කා නගරයට කිලෝ මීටර් 300 ක් පමණ උතුරින්. එය ගොඩ නංවා තිබුනේ විශාල මඩ වගුරක් මත​. මේ නිසා යාත්‍රිබ් නගරය අවට බිම් කෘෂිකර්මයට සුදුසු වුනත්, නිතර මැසි මදුරුවන් ගෙන් බෝවෙන රෝග යාත්‍රිබ් නගරයේ පැතිර ගියා.


යාත්‍රිබ් නගරයේ මුල්ම පදිංචි කරුවන් වුනේ යෙමනයෙන් ආ යුදෙව් ගෝත්‍ර දෙකක්. ඒ බැනු කුරයිසා සහ බැනු කුවයිනුකා. බැනු කුරයිසා ගෝත්‍රය ප්‍රධාන වශයෙන් ජීවත් වුනේ ගොවිතැනින්. ඔවුන් මදීනාව අවට තෙත් බිම් වල ධාන්‍යය සහ රට ඉඳි වගා කළා. බැනු කුවයිනුකා ගෝත්‍රය ගොවිතැන් කලේ නෑ. ඔවුන් ජීවත් වුනේ ප්‍රධාන වශයෙන් යකඩ වැඩ​, රන් වැඩ සහ කුඩා හස්ත කර්මාන්තයන් ගෙන්. ඔවුන් තමන් නිෂ්පාදනය කළ රන් බඩු සහ ආයුධ යාත්‍රිබ් නගරය අවට වාසය කළ අරාබි ගෝත්‍ර සමඟ වෙළඳාම් කලා.

ක්‍රි.ව​. හතර වෙනි සියවසේදී යෙමනයේ සිට තවත් යුදෙව් ගෝත්‍රයක් වුනු බැනු නදීර් ගෝත්‍රය යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වුනා. කෙටි කලකින්ම ගොවිතැනින් සෑහෙන දියුණුවක් ලබන්න ඔවුන්ට හැකි වුනා. ඊට සුළු කලකට පසුව බැනු අව්ස් සහ බැනු කස්.රජ් නම් අරාබි ගෝත්‍ර දෙකක් යෙමනයේ සිට යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වුනා. ඔවුනුත් ජීවිකාව කළේ ගොවිතැනින්.

 

යාත්‍රිබ් නගරයේ අවුල් - වියවුල්


 මුල් කාලයේ යාත්‍රිබ් නගරයේ ආර්ථික බලය රැඳී තිබුනේ යුදෙව් ගෝත්‍ර තුන අතේ. හොඳම කෘෂිකාර්මික ඉඩම් අයත් වුනේ බැනු කුරයිසා සහ බැනු නදීර් ගෝත්‍රයන්ට​. නගරයේ පොදු වෙළඳපොළ මෙන්ම කර්මාන්ත අයත් වුනේ බැනු කුවයිනුකා ගෝත්‍රයට​. අරාබි ගෝත්‍ර දෙක යුදෙව් ගෝත්‍රයන්ට අයත් වුනු ඉඩම් වල ගොවිතැන් කලා. නමුත් ක්‍රි.ව​. 6 වැනි සියවසේ පමණ පටන් අරාබි ගෝත්‍රයන් ක්‍රමයෙන් යාත්‍රිබ් නගරයේ බලය තහවුරු කර ගත්තා.

හයවන සියව්සේ අග භාගය වෙද්දී යාත්‍රිබ් නගරයේ බලය වෙනුවෙන් අරාබි ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් එකිනෙකා සමග ගැටුනා. මේ ගැටුමේදී බැනු කුරයිසා සහ බැනු නදීර් ගෝත්‍රයන් බැනු අව්ස් ගෝත්‍රයටත්, බැනු කුවයිනුකා ගෝත්‍රය  බැනු කස්.රජ් ගෝත්‍රයටත් සහය දුන්නා. ඒ සමයේ අරාබි සිරිත අනුව බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍ර දෙකම යාත්‍රිබ් නගරය අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර වල සහය පැතුවා. ඒ අනුව දෙපිලම බෙදුවියන් ගෝත්‍රයන් කීපයක සහය ලබා ගන්න සමත් වුනා.

මේ බල අරගලය පිපිරීමක් බවට පත් වුනේ ක්‍රි.ව​. 617 දී බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු ආමර් ඉබ්න් නූමන් විසින් ඉඩම් ආරවුලකදී බැනු කුරයිසා ගෝත්‍රයට අයත් යුදෙව්වන් කීප දෙනෙක් මරා දැමීමෙන්. මේ සිද්ධියත් සමඟම බැනු අව්ස් ගෝත්‍රය බැනු කස්.රජ් ගෝත්‍රයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. මෙහිදී බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි සටනින් ඉවත් ව ස්වාධීනව සිටියා. ගෝත්‍ර දෙකම තමාගේ යුදෙව් මිතුරන් සමඟ එකිනෙකා සමඟ යුධ වැදුනා.

මදීනා නගරයට තරමක් දුරින් පිහිටි බැනු කුරයිසා ගෝත්‍රයට අයත් ගොවිබිමක් වුනු බුආත් හිදී සටන ඇවිලී ගියා. මාස කීපයක් පුරා ඇදී ගිය දරුණු සටනක් වුනු මෙයින් ආමර් ඉබ්න් නූමන් ඇතුළු දෙපිලේම නායකයන් විශාල ප්‍රමානයක් මිය ගියා. අවසානයේදී බැනු අව්ස් ගෝත්‍රය සටනින් ජයග්‍රහනය කළත්, දෙපිලේම ප්‍රධානීන් මිය ගිය නිසා දෙපිලම සිටියේ දුර්වල තත්වයක​.

අවසානයේදී සියළුම ගෝත්‍ර එක්ව සාකච්ඡා කළ අතර​, සියල්ලන්ටම පිළිගත හැකි නායකයෙක් ලෙස සටනේදී ස්වාධීනව උන් අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි පත් කර ගත්තා. ඒත් ස්ථිර සාමයක් ඇති වුනේ නෑ. සටනින් බොහෝ දෙනා මිය ගිය නිසා අරාබි සංස්කෘතියට අනුව පළිගැනීමේ ප්‍රහාර ඇති වුනු අතර​, නැවතත් යුද්ධයක් ඇති වන ලකුණු පහළ වුනා.


මුහම්මද් තුමා හමු වීම​


යාත්‍රිබ් නගරයේ වැසියන්ට මක්කාවේ නව ආගමක් දේශනා කරන මුහම්මද් නම් පුද්ගලයෙක් ගැන ආරංචි වෙන්නේ මේ අවස්ථාවේදී. මුහම්මද් තුමාට මක්කා නගරයේ සාධාරන සහ බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් තිබූ ප්‍රතිරූපය ගැන සලකා බැලූ යාත්‍රිබ් වැසියන් ඔහුට යාත්‍රිබ් නගරයට පැමින අපක්‍ෂපාතී විනිසුරුවෙක් ලෙස කටයුතු කරන ලෙස ආරාධනා කරන්න තීරණය කළා. මෙහිදී ඔවුන් බලාපොරොත්තු වුනේ ඔවුන් අතර තිබූ කෙළවරක් නැති ආරවුල් වලට සාධාරන විසඳුමක් ලබා ගැනීම​.

ක්‍රි.ව​. 620 වසරේ මක්කා නගරයේ වාර්‍ෂික වන්දනා ගමන සමයේදී බැනු කස්.රජ් ගෝත්‍රයට අයත් හය දෙනෙක් මුහම්මද් තුමා සොයා පැමිණියා. ඔවුන් රහසිගතව මුහම්මද් තුමා හමුවී ඔහුගේ දිව්‍යමය පණිවුඩය ගැන සාකච්ඡා කළා. සාකච්ඡාව අවසානයේදී ඔවුන් හය දෙනාම ඉස්ලාමය වැළඳ ගත්තා.

ඊළඟ අවුරුද්දේ වාර්‍ෂික වන්දනා ගමන සමයේ මේ හය දෙනාගෙන් පස් දෙනෙක් සහ තවත් යාත්‍රිබ් වැසියන් හත් දෙනෙක් මුහම්මද් තුමා සොයා ආවා.  ඔවුන් හමු වුනේ මක්කා නගරයට නුදුරින් ඇති "අක්බා" නම් කඳු ගැටය මත​. ඔවුන් දෙළොස් දෙනාම මුහම්මද් තුමා ඉදිරියේ අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ් ගේ පණිවුඩකරුවා බවටත්, ඔවුන් මුහම්මද් තුමා විසින් පනවන ලද සදාචාර නීති පිළිපදින බවටත් ප්‍රතිඥාවක් දුන්නා. එය හැඳින්වෙන්නේ "අල්-අක්බා හි පළමු ප්‍රතිඥාව" වශයෙන්.

ඔවුන් ආපසු යාත්‍රිබ් වෙත යද්දී මුහම්ම්ද් තුමා තමාගේ සහචරයෙක් වුනු මූසාබ් ඉබ්න් උමායිර් ඔවුන් සමඟ පිටත් කර හැරියා. ඒ යාත්‍රිබ් නගරයේ වැසියන්ට ඉස්ලාමයේ පණිවුඩය ලබා දීමට​. මූසාබ් ඉබ්න් උමායිර් ගේ ඉගැන්වීම් අනුව යාත්‍රිබ් වැසියන් විශාල ප්‍රමානයක් ඉස්ලාමය වැළඳ ගත්තා. යාත්‍රිබ් වැසියන් ඉස්ලාමයේ පණිවුඩය පහසුවෙන් පිළිගැනීමට හේතු දෙකක් තිබුනා.

1. දීර්ඝ කාලයක් පැවති ආරවුල් වලින් දැඩි පීඩාවට පත් ව සිටි නිසා සාම්ප්‍රදායික අරාබි දෙවිවරු සහ අරාබි සංස්කෘතිය පිළිබඳ විශ්වාසය ඔවුන් අතරින් බිඳ වැටී තිබීම​
2. දීර්ඝ කාලයක් යුදෙව්වන් අතර වාසය කිරීම නිසා එක දෙවියෙක් පිළිබඳ සංකල්පය හුරු පුරුදු එකක් වීම​


අල්-අක්බා හි දෙවන ප්‍රතිඥාව


ක්‍රි.ව​. 622 වන්දනා සමයේදී ඉස්ලාමය වැළඳ ගත් යාත්‍රිබ් වැසියන් 73 දෙනෙක් මුහම්ම්ද් තුමා සොයා ආවා. නැවතත් ඔවුන් අක්බා කඳු ගැටය මතදී මුහම්මද් තුමා මුණගැසුනා. එහිදී ඔවුන් මුහම්මද් තුමාට යාත්‍රිබ් නගරයට පැමිණෙන ලෙස ආරාධනා කළා. මුහම්මද් තුමා එම ආරාධනය පිළිගැනීමට නම් ඔවුන් පළමු ප්‍රතිඥාවේ සඳහන් කරුණු වලට අමතර කරුණු පහක් සම්බන්ධයෙන් ප්‍රතිඥා දිය යුතු බව ප්‍රකාශ කර සිටියා.

1. සියළුම අවස්ථා වලදී මුහම්මද් තුමාගේ අවවාදයන්ට අවනත වන බව​
2. ධනය ඇති කාලයන් හිදී මෙන්ම දුප්පත් කාලයන් හිදී ත් ඉස්ලාමයේ උන්නතිය වෙනුවෙන් වියදම් කිරීමට සූදානම් බව​
3. යහපත් දේ වෙනුවෙන් එක් වීමටත්, නපුර ප්‍රතික්‍ෂේප කිරීමටත් සූදානම් බව​
4. අල්ලාහ් වෙනුවෙන් සේවය කිරීමේදී කිසිවකුත් විසින් එල්ල කරන මර්ධනයන්ට බිය නොවන බව​
5. මුහම්මද් තුමාට විපතක් වන අවස්ථාවකදී ඔහුව ආරක්‍ෂා කිරීමට සූදානම් බව

යාත්‍රිබ් වැසියන් මේ කරුණු පහට එකඟ වී ප්‍රතිඥාව ලබා දුන්නා. එය හැඳින්වෙන්නේ "අල්-අක්බා හි දෙවන ප්‍රතිඥාව" වශයෙන්.

මේ අවස්ථාව ඉස්ලාමයේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. පළමු ප්‍රතිඥාවට අඩංගු වුනේ ආගමික මූලධර්ම සහ සදාචාරය සම්බන්ධ කරුණු පමණයි. ඒත් දෙවන ප්‍රතිඥාවට අඩංගු වුනු කරුනු දේශපාලන මුහුණුවරක් ගත්තා. මේ දක්වා හුදෙක් ආගමික මූලධර්මයන්ට සහ සදාචාරයන්ට පමණක් සීමා වුනු ඉස්ලාමයට දේශපාලන මුහුණුවරක් ලැබෙන්නේ මෙතැනදී.

ප්‍රතිඥාවෙන් අනතුරුව මුහම්මද් තුමාගේ ඉල්ලීම පරිදි ඔවුන් ගෝත්‍රයන් දෙකම නියෝජනය වන පරිදි නියෝජිතයන් දොළොස් දෙනෙක් පත් කර ගත්තා. ඒ යාත්‍රිබ් නගරයේ වැසියන් සහ මුහම්මද් තුමා අතර ඉදිරියේ දී සබඳතා පවත්වාගැනීම වෙනුවෙන්. මේ දොළොස්දෙනා සමන්විත වුනේ බැනු කස්.රජ් ගෝත්‍රයෙන් නව දෙනක් සහ බැනු අව්ස් ගෝත්‍රයෙන් තුන් දෙනෙක් වශයෙන්.


මක්කා වැසියන් ගේ ප්‍රතිචාරය​


මක්කා වැසියන්ට මේ හමුවීම ගැන ආරංචි වුනා. ඔවුන් මේ ප්‍රතිඥාව දැක්කේ යාත්‍රිබ් වැසියන් තමාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. ඔවුන් දැඩි කලබලයට පත්ව යාත්‍රිබ් වැසියන් ගේ කූඩාරම් වෙත පැමිණ ඔවුන් මුහම්මද් හමුවූ බවට චෝදනා කළා. නමුත් යාත්‍රිබ් වැසියන් මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කලා. එයින් සෑහීමකට පත්ව ඔවුන් පිටත් ව ගියා.

නමුත් දින කීපයකට පසුව ඔවුන්ට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් හමුවීම සහ ප්‍රතිඥාව පිළිබඳ සියළු විස්තර දැනගන්න ලැබුනා. ඒත් ඒ වන විට යාත්‍රිබ් වැසියන් මක්කාවෙන් පිටත් ව ගිහින්. ඔවුන් වහාම අශ්වාරෝහකයන් පිරිසක් සූදානම් කරගෙන යාත්‍රිබ් වැසියන් පසුපස හඹා ගියා.

නමුත් ඔවුන්ට අල්ලා ගන්න පුළුවන් වුනේ යාත්‍රිබ් වැසියන් දෙදෙනෙක් පමණයි. ඒ සාද් ඉබ්න් උබාදා සහ අල්-මුන්දීර් ඉබ්න් අමරු. අල්-මුන්දීර් පළා යාමට සමත් වුනත් සාද් ඉබ්න් උබාදා ට අත් වුනේ අවාසනාවන්ත ඉරණමක්. මක්කා වැසියන් ඔහු අල්ලා අත්පා බැඳ කෙස්වැටිය අශ්වයකුගේ ගැට ගසා මක්කා නගරය තෙක් ඔහුව බිම දිගේ ඇදගෙන ආවා. මක්කා නගරයේදී ඔහුව මරා දමන අදහසින් ඔවුන් ඔහුට දරුණු ලෙස පහර දුන්නා. අවසානයේදී ඔහු සමඟ වෙළඳ ගනු දෙනු කළ මක්කා වැසියන් දෙදෙනෙක් ඔහුගේ ජිවිතය බේරන ලෙස ඔහුට පහර දුන් අයගෙන් ඉල්ලා සිටි නිසා ඔහුගේ ජීවිතය බේරුනා.

යාත්‍රිබ් හි සැලකිය යුතු පිරිසක් ඉස්ලාමය වැළඳ ගත් පසු සහ ඔවුන් මුහම්මද් තුමා ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥා දුන් පසු මුහම්මද් තුමා මක්කා හි මුස්ලිම් වරුන්ට යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වන ලෙස උපදෙස් දුන්නා. මුස්ලිම් වරු යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වන බව සහ යාත්‍රිබ් වැසියන් ගේ "යුධ ප්‍රකාශය​" ගැන සලකා බැලූ මක්කා නගරයේ ප්‍රධානීන් තීරණය කළේ මුහම්මද් තුමා මරා දැමිය යුතු බවයි. ඒ ක්‍රි.ව​. 622 දී.


සැඟවීම​


මක්කා ප්‍රධානීන් ගේ තීරනය පිළිබඳව මුහම්මද් තුමාට විශ්වාසවන්තයෙක් මගින් ආරංචි වුනා. ඔහු තීරනය කළේ තව දුරටත් මක්කාවේ රැඳී සිටීම අනතුරුදායක බවයි. මේ නිසා ඔහුත් යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වීමට තීරණය කළා.

එදින රාත්‍රියේ මක්කා ප්‍රධානීන් සහ ඔවුන් ගේ සහචරයන් පිරිසක් මුහම්මද් තුමාගේ නිවසට පැමිණියේ ඔහු මරා දැමීමේ අරමුනින්. මේ පිළිබඳව කලින්ම අනුමාන කර තිබූ මුහම්මද් තුමා නිවසෙන් පිටත්ව ගොස් සිටියා. ඒ වෙනුවට ඔහුගේ ඇඳේ නිදා සිටියේ අලී ඉබ්න් අබු තාලිබ්. ඝාතක කණ්ඩායම මුහම්මද් තුමාගේ නිවසට ඇතුළු වුනු විට අලී තම කඩුවද රැගන ඔවුන් ඉදිරිපිට සිට ගත්තා.

"මම අලී, අබු තාලිබ් ගේ පුතා. නුඹලාගෙන් කවුරු හෝ මා සමඟ සටන් කරන්න පුළුවන් කියා හිතනවා නම් ඉදිරියට එන්න​." අලී ඝාතක කණ්ඩායමට අභියෝග කළා.

අලී ගේ කඩු හරඹ හැකියාව ගැන දැන සිටි ඔවුන් පසුබා සිටියත්, අබු ජහල් ගේ සේවකයෙක් ඉදිරියට පැමිණියා. සුළු මොහොතකින් අලී ඉදිරිපිට වැටී තිබුනේ ඔහුගේ මළ සිරුරයි. තමාගේ ඉලක්කය වැරදී ගිය බව සහ අලී සමඟ සටනට යාම නුවණට හුරු නොවන බව දුටු ඝාතකයන් මුහම්මද් තුමාගේ නිවසින් පිටව ගියා.

මුහම්මද් තුමා පළා ගිය බව දැනගත් මක්කා ප්‍රධානීන් ඔහුගේ හිස ගෙනවිත් දෙන කෙනෙකුට ඔටුවන් 100 ක​ ත්‍යාගයක් දෙන බව ප්‍රසිද්ධ කළා. මක්කා වැසියන් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී නගරය පුරාම මුහම්මද් තුමා සොයන්න පටන් ගත්තා. නගරයේ රැඳී සිටීම මරුට අත වැනීමක් බව දැනගත් මුහම්මද් තුමා විශ්වාසවන්ත සගයෙක් වූ අබු බකර් සමඟ රහසින් නගරයෙන් පිට වී මක්කා නගරයට දකුණින් පිහිටි "තව්‍.ර්" නම් කන්දේ ගල්ගුහාවක සැඟවුනා.

තව්.ර් ගුහාව​

මක්කා වැසියන් නගරය පුරා සහ නගරය අවට මුහම්මද් තුමා සෙව්වත් ඔවුන්ට ඔහු සොයා ගන්න පුළුවන් වුනේ නෑ. ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව එක පිරිසක් මුහම්ම්ද් තුමා සැඟවී සිටි ගල්ගුහාව අසලටම ආවත්, ගල්ගුහාව ඇතුළත පරීක්‍ෂා කළේ නෑ. ඒ අල්ලාහ් විසින් ගල් ගුහාවේ කට වැසෙන ලෙස මකුළු දැලක් මවා තිබීම නිසා. ඒ නිසා ඔවුන් ගල්ගුහාව ඇතුලත කිසිවෙක් නැතැයි තීරණය කළා.


පළායාම​


මුහම්මද් තුමා සහ අබු බකර් දින හතරක් ගල් ගුහාවේ සැඟවී සිටියා. ඒ මක්කා වැසියන් නගරය අවට සෝදිසි කිරීම නවතන තුරු.

මේ අතර අලීට ඉතාම දුෂ්කර කාර්‍යයක් පැවරී තිබුනා. මක්කා වැසියන් අතර තමාගේ වටිනා බඩු සහ මුදල් වැනි දේ මුහම්මද් තුමා භාරයේ ආරක්‍ෂාවට තාවකාලිකව තැන්පත් කරන පුරුද්දක් තිබුනා. ඒ ඔහු ඉතා අවංක පුද්ගලයෙක් ලෙස සැලකුණු නිසා. මේ බඩු ඒවායේ අයිතිකරුවන් හට බෙදා දීම අලීට භාර වුනා. මේ වන විට මක්කා නගරයේ රැඳී සිටියේ මුස්ලිම් වරු ඉතා සුළු දෙනෙක් පමණයි. බොහෝ දෙනා යාත්‍රිබ් බලා පිතව ගොස් තිබුනා. මේ නිසා අලී සිටියේ ඉතාමත් අවදානම් තත්වයක​. නමුත් මේ 22 හැවිරිදි තරුණයා ඉතාම නිර්භීත අයෙක්. ඔහු පොදු වෙළඳපොළ වෙත ගොස් මුහම්ම්ද් තුමා භාරයේ තිබූ බඩු තමා ළඟ ඇති බව ප්‍රසිද්ධ කොට ඒවා අයිතිකරුවන් අතරේ බෙදා දුන්නා.

පස්වන දිනයේ රාත්‍රියේදී මුහම්මද් තුමා සහ අබු බකර් යාත්‍රිබ් බලා පිටත්ව ගියා. මක්කා වැසියන් මක්කා සහ යාත්‍රිබ් අතර ඇති ප්‍රදේශය පුරා රැකවල් යොදා තිබුනත්, ඔවුන් ගෙන් ගැලවී යාමට මුහම්මද් තුමාට හැකි වුනා. ඔවුන් කාන්තාරය හරහා දින හතක් ගමන් කිරීමෙන් පසු යාත්‍රිබ් නගරයට කිලෝ මීටර් 6 ක් නුදුරින් ඇති "ක්වාබා" නම් ගමක් වෙත පැමිණියා.


මේ අතර අලීට තවත් දුෂ්කර සහ අවදානම් කාර්‍යයක් පැවරුනා. ඒ මක්කා නගරයේ රැඳී සිටි මුස්ලිම් කාන්තාවන් හතර දෙනෙක් යාත්‍රිබ් කරා රැගෙන ඒම​. මේ කාන්තාවන් අතරට ඔහුගේ මව වූ ෆාතිමා බින්ට් අසාද් සහ මුහම්මද් තුමාගේ දියණිය වූ ෆාතිමා බින්ට් මුහම්මද් අයත් වුනා. ඔහු මේ පිරිසත් සමඟ කාන්තාරය හරහා ගමන් කිරීම ඇරඹුවා. මේ වන විට මුහම්මද් තුමා සොයා ගැනීමට නොහැකිව විතරු වැටී උන් මක්කා වැසියන් අලී සහ පිරිස ලුහුබැඳ ආවා. කාන්තාරය අතර මගදී ඔවුන් අලී සහ පිරිස අල්ලා ගැනීමට සමත් වුනත්, අලී හුදෙකලාවම ඔවුන් සමඟ සටන් කර ඔවුන් පළවා හැරීමට සමත් වුනා. දැඩි ලෙස තුවාල ලබා සිටි අලී දින 14 ක දුෂ්කර ගමනකින් පසු කාන්තාවන් හතර දෙනා නිරුපද්‍රිතව යාත්‍රිබ් කරා ගෙන ආවා.



මුහම්මද් තුමා යාත්‍රිබ් නගරයට ඇතුළු නොවී අලී සහ පිරිස එනතුරු ක්වාබා හි රැඳී සිටියා. ඒ දින 14 ක කාලය තුල ඔහු ක්වාබා හි මස්ජීදයක් (පල්ලියක්) ඉඳි කළා. මේ ඉස්ලාමයේ ඉතිහාසයේ පළමු මස්ජීදයයි. පළමු ජුම්මා (සිකුරාදා) යඥාව පැවැත්වුනේ ක්වාබා මස්ජීදයේ. දින 14 කට පසු අලී සහ පිරිස පැමිණි විට මුහම්මද් තුමා ඔවුනුත් සමඟම යාත්‍රිබ් නගරයට ඇතුළු වුනා.

මක්කා සිට යාත්‍රිබ් බලා ආ මේ ගමන හැඳින්වෙන්නේ "හෙගිරා" නමින්.


මදීනා අන්-නබි


මුහම්මද් තුමා යාත්‍රිබ් නගරයේ පදිංචියට පැමිණි පසු යාත්‍රිබ් හැඳින්වුනේ "දිවැසිවරයා ගේ නගරය​" යන අරුත ඇති "මදීනා අන්-නබි" ලෙසින්. පසුව එය කෙටි කර "මදීනා" නමින් හැඳින්වුනා.

මුහම්මද් තුමා මදීනාවට පැමිණි පසු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍ර වල බොහෝ දෙනා ඉස්ලාමය වැළඳ ගත්තා. ඒ එක්කම එතෙක් ඉතියෝපියාවේ සිටි මුස්ලිම් වරු මදීනාව බලා සංක්‍රමනය වුනා. මේ නිසා මදීනාවේ විශාල මුස්ලිම් සමාජයක් නිර්මානය වුනා.

මේ මුස්ලිම් සමාජය සමන්විත වුනේ කණ්ඩායම් දෙකකින්. මක්කාවේ සහ ඉතියෝපියාවේ සිට මදීනාවට සංක්‍රමනය වුනු මුස්ලිම් වරු හැඳින්වුනේ "මුහජිරුන්" (සංක්‍රමනිකයෝ) නමින්. ඉස්ලාමය වැළඳගත් මදීනා වැසියන් හැඳින්වුනේ "අන්සාරි" (උදව් කළ අය​) නමින්.

මුහජිරුන් වරුන් මදීනාවට පැමිණියේ තමා සතු සියළු ධනය මක්කාවේ අතහැර දමලා. මේ නිසා ඔවුන් ආර්ථිකව සිටියේ ඉතා දුෂ්කර තත්වයක​. ඒ එක්කම මුහජිරුන් සහ අන්සාරි වරු අයත් වුනේ වෙනස් අරාබි ගෝත්‍ර වලට​. මේ නිසා දෙපිරිස අතර සමගිය ඇති කර මුහජිරුන් වරු මදීනා සමාජයට ඉක්මනින් ඇතුළු කර ගැනීම අවශ්‍යය වුනා. මුහම්මද් තුමා ඒ අරමුණෙන් සියළුම මුහජිරුන් වරයෙක්ට අන්සාරි වරු අතරින් සහෝදරයෙක් පත් කළා. එතැන් සිට මුහජිරුන් සොහොයුරා ආර්ථිකව ස්ථාවර වන තුරු ඔවුන් රැක බලා ගැනීම අන්සාරි සොහොයුරාට අයත් වුනා.

මුහම්මද් තුමා පමණක් තම සොහොයුරා තෝරා ගත්තේ මුහජිරුන් වරු අතරින් මයි. ඒ අලී ඉබ්න් අබු තාලිබ්.


මදීනා සම්මුතිය


මදීනා නගරයේ මුහජිරුන්, අන්සාරි මෙන්ම යුදෙව් ගෝත්‍රයන් ද වාසය කළා. මේ විවිධ ජන කොටස් වල සාමකාමී සහජීවනය පවත්වා ගැනීමට නම් සියල්ලන්ම එකඟ වන පොදු සම්මුතියක අවශ්‍යතාවය මුහම්මද් තුමාට වැටහී ගියා. ඒ අනුව ඔහු වගන්ති 47 කින් සමන්විත සම්මුතියක් පිළියෙල කළා. මදීනාවේ සියළුම වැසියන් මේ සම්මුතිය පිළිගැනීමටත්, ඒ අනුව ජීවත් වීමටත් එකඟ වුනා. මේ සම්මුතිය හැඳින්වෙන්නේ "මදීනා සම්මුතිය​" නමින්. මෙය ලෝකයේ මුල්ම දේශපාලන ව්‍යවස්ථාවක් විදිහට සැලකෙනවා.

මදීනා සම්මුතියට අයත් ප්‍රධාන කරුණු වෙන්නේ,

1. මුහජිරුන් සහ අන්සාරි වරු ලෝකයේ අනෙකුත් ජනයාගෙන් වෙනස් එකම සමාජයකට (උම්මා) අයත් වන බව​.

2. මදීනා හි අරාබි ජාතිකයන් ඔවුන් ගේ පවුල් අනුව වංශයන් 9 කට අයත් වන බව සහ ඒ ඒ වංශය තමාගේ වංශය ඇතුලත ආරවුල් වංශය ඇතුලත සාධාරන අයුරින් විසඳාගත යුතු බව​. මෙහිදී මුහජිරුන් වරු එක් වංශයක් ලෙස සලකා ඇති අතර​, අන්සාරි වරු වංශ 8 කට බෙදා දක්වනවා.

3. මුස්ලිම් වරු ආර්ථිකව දුෂ්කරතා වලට මුහුණ පා ඇති අනෙක් මුස්ලිම් වරුන්ට උදව් කළ යුතු බව සහ මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙක් ව පළිගැනීමේ අදහසින් මරා දැමිය නොයුතු බව​.

4. මුස්ලිම් වරු යුද්ධයකට එලැඹි ඇති අවස්ථාවකදී මුස්ලිම් වරුන් ගෙන් කොටසක් සතුරා සමඟ වෙනම සමාදානයකට එලැඹිය නොයුතු බව​.

5. මුස්ලිම් වරු සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුදෙව්වන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව සහ ඔවුන්ට සමානාත්මතාවයෙන් සැලකිය යුතු බව​. ඔවුන් ගේ සතුරන්ට උදව් නොකළ යුතු බව​.

6. කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් ඇති වූ විට එහි විසඳුම ලබා දීම මුහම්මද් ගේ වගකීමක් බව​.

7. එක්ව යුධ වදින අවස්ථාවකදී යුදෙව්වන් යුද්ධයේ වියදමට දායක විය යුතු බව​.

8. මදීනා හි යුදෙව්වන් ඔවුන් ගේ පවුල් අනුව වංශ 10 කට අයත් වන බව සහ මුස්ලිම් වරුන්ට හිමි සියළුම අයිතිවාසිකම් ඔවුන්තත් හිමිවන බව​.

9. මදීනා වැසියන්ට එරෙහිව යුද්ධයක් ඇති වූ අවස්ථාවක මුස්ලිම් වරු සහ යුදෙව්වන් සහයෝගයෙන් කටයුතු කල යුතු බව සහ සම්මුතිය බිඳ නොහෙලිය යුතු බව​.



මුස්ලිම් වරු මදීනාවට සංක්‍රමනය වීම සහ මදීනාවේ මුස්ලිම් දේශපාලන ඒකකයක් ඇති වීම ඉස්ලාමීය ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිද්ධිය විදිහට සලකන්න පුළුවන්. මෙතෙක් හුදෙක් ආගමක් විදිහට පැවතුනු ඉස්ලාමයට දේශපාලන මුහුණුවරක් ලැබෙන්නේ මෙතැන් සිට​. ජන සමාජයක දේශපාලන හැසිරීම කෙසේ විය යුතුද යන්න පළමු වරට ඉස්ලාමයේ අවධානයට ලක් වෙන්නේ මදීනාවේදී.

ඒ වගේම මක්කාවේදී ආගමික කණ්ඩායමක් වුනු මුස්ලිම් වරු මදීනාවේදී ඊට අමතරව දේශපාලන ඒකකයක් බවට පත් වෙනවා. මෙතැන් සිට මුස්ලිම් වරු කටයුතු කරන්නේ අරාබි ගෝත්‍රයක් විදිහට​. වෙනත් අරාබි ගෝත්‍ර පවුල් සබඳතා අනුව සංවිධානය වුනත්, මුස්ලිම් වරු සංවිධානය වෙන්නේ ආගමික විශ්වාසය මත​.

මේ වෙනස කොයිතරම් වැදගත් එකක් ද කියන එක ඔප්පු වෙන්නේ පසු කාලීනව මුස්ලිම් වරු ඔවුන් ගේ දින දර්ශනය නිර්මානය කිරීමේදී ආරම්භක වර්‍ෂය ලෙස යොදා ගන්නේ හෙගිරාව සිදු වුන වසර නිසා. එමගින් ඔවුන් මුහම්මද් තුමාට දිව්‍යමය පණිවුඩය ලැබීමටත් වඩා වැදගත් කමක් හෙගිරාවට ලබා දී තියෙනවා.

Thursday, March 5, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 5 (මක්කාවේ ඉස්ලාමය සහ මුස්ලිම් වරුන්ට එරෙහි මර්ධනය​)


මුහම්මද් තුමා ප්‍රසිද්ධියේ ඉස්ලාමය දේශනා කිරීම ඇරඹීමත් සමඟම මක්කා නගරයේ ප්‍රධානීන් ඉස්ලාමය මර්ධනය කරන්න තීරණය කළා. මේ නිසා මුල් කාලයේ මුස්ලිම් වරුන්ට මක්කා නගරයේදී විවිධ හිංසා පීඩා වලට ගොදුරු වීමට සිද්ධ වුනා.

එවකට පැවති අරාබි සිරිත් අනුව යම් කිසි කෙනෙකුට එදිරිවාදිකමක් සිදු වුනොත්, ඔහුගේ පවුලේ සාමජිකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු වුනා. මේ නිසා බලවත් සහ ධනවත් පවුල් වල මුස්ලිම් වරුන්ට තමාගේ පවුලේ ආරක්‍ෂාව ලැබුනු නිසා කෙලින්ම හානියක් කරන්න මක්කා වැසියන් පෙළඹුනේ නෑ. මේ හේතුව නිසා මුහම්මද් තුමා, කදීජා, අලී, උත්මාන්, අබ්ද් අල් - රහ්මන් වැනි මුස්ලිම් වරු පීඩාවට ලක් වුනේ සාපේක්‍ෂව අඩුවෙන්. නමුත් දුප්පතුන් දරුණු හිංසා පීඩා වලට ලක් වුනා.

අබු දාර් අල්-ගෆාරි


අබු දාර් අල්-ගෆාරි හෙවත් ජුන්දුබ් කියන්නේ බැනු ගෆාර් ගෝත්‍රයට අයත් තරුණ බෙදුවියන් වරයෙක්. බැනු ගෆාර් ගෝත්‍රයේ ප්‍රධාන ජීවිකාව වුනේ තවලම් මංකොල්ල කෑම​. මේ නිසා ඔවුන් සම්බන්ධයෙන් මක්කා නගරයේ වෙළඳුන් තුල තිබුනේ භීතිය මුසු වුනු හැඟීමක්.

බැනු ගෆාර් ගෝත්‍රයේ හිංසාකාරී ජීවන රටාව නිසා කළකිරීමෙන් සිටි අබු දාර් ට මුහම්මද් තුමා ගැන අහන්න ලැබුනා. ඔහු මුහම්මද් තුමා සොයාගෙන මක්කාව වෙත ආවා. මුහම්මද් තුමා හමුවෙන අදහසින් ඔහු කාබාව අසල ගැවසෙමින් සිටියා. එහිදී ඔහුට ගැටවරයෙක් හමුවුනා. අබු දාර් මේ ගැටවරයාගෙන් මුහම්ම්ද් තුමා පිළිබඳ විමසා සිටියා.

"ඔව් මම මුහම්මද්ව දන්නවා" යැයි පැවසූ ගැටවරයා අබු දාර් ව මුහම්මද් තුමා වෙත කැඳවාගෙන ගියා. එහිදී මුහම්මද් තුමා සමඟ කළ සංවාදයකින් පසුව අබු දාර් ඉස්ලාමය වැළඳ ගත්තා.

මේ වන විට ඉස්ලාමය වැළඳගත් පිරිස දහයකටත් අඩු ගණනක්. මුහම්මද් තුමා තවමත් ප්‍රසිද්ධියේ දේශනා කිරීම අරඹා තිබුනේ නෑ. මේ නිසා අබු දාර් නික්ම යාමට පෙර මුහම්මද් තුමා ඔහු ඉස්ලාමය වැළඳගත් බව කිසිවෙකුටත් නොපවසන ලෙසට පොරොන්දු කර ගත්තා.

"බය වෙන්න එපා. මම කාටවත් මේ ගැන කියන්නේ නෑ" යනුවෙන් සහතික කළ අබු දාර් මුහම්මද් තුමාගේ නිවසින් පිටත්ව ගියා.

සුළු වේලාවකට පසු නිවසින් බැහැරව ගිය ගැටවරයාට කාබාව දෙසින් විශාල කලබගෑණියක ශබ්ධයක් ඇසෙන්න වුනා. ඔහු වහාම ඒ දෙසට දිව ගියා. එහිදී ඔහුට දකින්න ලැබුනේ කාබාව අසල විශාල පිරිසක් එක් රැස් වී සිටින අයුරු.

අබු දාර් කාබාව මත නැගී මහා හඬින් කෑ ගසමින් සිටියා.

"මගේ නම ජුන්දුබ්. අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නෑ. මුහම්මද් අල්ලාහ් ගේ දූතයා"

එක් රැස් වී සිටි පිරිස කෝපයෙන් දැවෙමින් අබු දාර් ට ශාප කළා. සුළු මොහොතකින් ඔවුන් අබු දාර් ව පහතට ඇද බිම පෙරළා හොඳටම පහර දුන්නා.

එතැනට පැමිණි මක්කා නගරයේ ප්‍රධානියෙක් වුනු අබු සුෆියාන් කෝලහලය වැලැක්වීමේ අරමුණෙන් අබු දාර් ව අතහරින ලෙස නාගරිකයන් ගෙන් ඉල්ලා සිටියා. ඒත් කිසිවෙක් ඔහුට ඇහුම් කන් දුන්නේ නෑ. ඔවුන් දිගටම අබු දාර්ට ගුටි බැට දුන්නා.

"නුඹලා දන්නවද මේ කවුද කියලා? ඔහු බැනු ගෆාර් ගෝත්‍රයේ සාමාජිකයෙක්"

අබු දාර් ගේ ගෝත්‍රය ගැන ඇසූ සැනින් මක්කා වැසියන් භීතියට පත් ව ඔහුව අත හැර විසිර ගියා. ඒ නිසා අබු දාර් ගේ ජීවිතය ගැලවුනා. ගැටවරයා අබු දාර් ගේ තුවාල වලට සාත්තු කර ඔහු පිටත් කර හැරියා.

අබු දාර් ට කාබාව අසලදී හමු වුනු ගැටවරයා අලී ඉබ්න් අබු තාලිබ්. ඒ අලී සහ අබු දාර් අතර ජීවිත කාලයක් පැවතුනු මිතු දමක ආරම්භය​.


සුමයියා, යාසිර් සහ අම්මාර්


යාසිර් ඉබ්න් ආමර් යෙමනයේ සිට මක්කාවට සංක්‍රමන වූ දුප්පතෙක්. ඔහු මක්කා නගරයේදී සුමයියා නම් කාන්තාවක් විවාහ කර ගත්තා. ඔවුනට අම්මාර් ඉබ්න් යාසිර් නම් පුතෙක් සිටියා. මේ තිදෙනාම මක්කා නගරයේ ප්‍රධානියෙක් වුනු ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්) ගේ වහලුන් ලෙස සේවය කලා.

යාසිර් සහ සුමයියා මහළු වියට පත් වුනු පසු, ඔවුන් ගේ පුතාත් සමඟම ඉස්ලාමය වැළඳ ගත්තා. ඔවුන් ගේ ස්වාමියා වුනු ආමර් ඉබ්න් හිෂාම් මේ පිළිබඳව දැනගත් පසු කෝපයෙන් වියරු වැටුනා. ආමර් ඉබ්න් හිෂාම් සහ ඔහු ගේ සොහොයුරියගේ පුතා වුනු උමර් ඉබ්න් අල්-කත්තබ් යාසිර්, සුමයියා සහ අම්මාර් හට යකඩ සන්නාහ අන්දවා ගිනි අව්වේ සිටුවා තැබුවා. අව්වෙන් රත් වුනු යකඩ සන්නාහ නිසා ඔවුන් ගේ සිරුරු පිළිස්සෙන්නට වුනා.

නමුත් ඔවුන් ඉස්ලාමය අත හැරීමට එකඟ නොවුනු නිසා ආමර් ඉබ්න් හිෂාම් හෙල්ලයකින් සුමයියා ගේ රහස් පෙදෙසට ඇණ ඇය මරා දැමුවා. ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදූ පළමු පුද්ගලයා ලෙස සැලකෙන්නේ සුමයියා. ටික වෙලාවකට පසු යසීර් දරුණු වධ බන්ධන නිසා මරණයට පත් වුනා. වධ වේදනා වලින් සිහි විකල් ව සිටි අම්මාර් ඉස්ලාමය අත හැරීමට කැමැත්ත පළ කිරීම නිසා ඔහු ගේ ජීවිතය ගැලවුනා.

අම්මාර් ඉස්ලාමය අත හරින බව ප්‍රකාශ කලේ ජීවිතය ගලවා ගැනීමට නිසා සහ ඔහු හදවතින් ඉස්ලාමය අත් නොහැරි නිසා ඔහු තවමත් මුස්ලිම් වරයෙක් බව මුහම්මද් තුමා ප්‍රකාශ කළා. මේ මුස්ලිම් වරුන් අතර ඇති "අල් තකියා" (ජීවිතය ගලවා ගැනීම සඳහා ඉස්ලාමය අත හරින බව පැවසීමට අවසර දීම​) සම්ප්‍රදායේ ආරම්භය.

පසු කලක අම්මාර් ඉබ්න් යාසිර් මුහම්මද් තුමාගේ සහ අලී ගේ ඉතාමත් විශ්වාසවන්ත සගයෙක් බවට පත් වුනා.


බිලාල් ඉබ්න් රබා


බිලාල් ඉබ්න් රබා ඉතියෝපියානු (කළු) ජාතික වහලෙක්. ඔහු ගේ ස්වාමියා වුනේ මක්කා නගරයේ ප්‍රධානියෙක් වුනු උමයියා ඉබ්න්  කලාෆ්.

බිලාල් ඉස්ලාමය වැළඳගත් බව දැනගත් උමයියා ඔහු දරුණු වධ බන්ධනයන්ට පත් කළා. ඔහු බිලාල් ගේ අත් පා බැඳ දමා නගරය පුරා ඇදගෙන ගියා. නමුත් ඉස්ලාමය අත හැරීම ප්‍රතික්‍ෂේප කළ බිලාල් දිගින් දිගටම "අහද්, අහද්" (දෙවියන් පරිපූර්ණයි) යනුවෙන් හඬ නැගුවා.

උමයියා ඊළඟට කලේ බිලාල් නිරුවත් කර පොළවේ සිටවූ ලී කුඤ්ඤ හතරක ඔහුගේ අත් පා ගැට ගසා ඔහුට කස පහර දීම​. ඉන් පසු ඔහුට ගිනියම් වූ පොළව මත වැතිරී ඉන්න සැලැස්වුවා. නමුත් බිලාල් දිගින් දිගටම "අහද්, අහද්" යනුවෙන් හඬ නැගුවා. උමයියා එවිට රත් කරන ලද විශාල ගලක් බිලාල් ගේ පපුව මත තැබුවා. එහි බරින් මිරිකී ගිය බිලාල් ට හුස්ම ගැනීමට අපහසු වීම නිසා ඔහු සෙමින් සෙමින් මරණය වෙත ළඟා වුනා.

එවිට එහි පැමිණි ඉස්ලාමය වැළඳ ගත් වෙළෙන්දෙක් වූ අබු බකර් උමයියා වෙතින් බිලාල් මිලදී ගෙන ඔහුව වධ බන්ධනයන් ගෙන් සහ වහල් බවින් නිදහස් කළා. එයින් බිලාල් ගේ ජීවිතය ගැලවුනා.

පසු කලෙක බිලාල් ඉස්ලාමයේ පළමු "මුආසින්" වරයා (නැමදුම​ සඳහා කැඳවන්නා) තනතුර ලැබුවා.

බිලාල් නැමදුම​ සඳහා කැඳවීමේ පණිවුඩය දීම​

මුහම්මද් තුමා සහ අබු බකර්


මීට අමතරව අනෙකුත් මුස්ලිම් වරුන්ටත් නොයෙක් හිංසා පීඩා වලට ගොදුරු වීමට සිදු වුනා.

වරක් අබු බකර් ඉස්ලාමය වැළඳගත් බව ආරංචි වුනු තරුණයන් පිරිසක් මක්කා නගරයේ වීදියකදී අබු බකර්ට සිහි සුන් වනතුරු පහර දුන්නා. තවත් වරෙක අබු බකර් සහ තවත් ඉස්ලාමය වැළඳගත් තරුණයෙක් වුනු තල්හා ඉබ්න් උබයිදුල්ලා ලණුවකින් එකට ගැටගසා ගිනි අව්වේ සිටුවා තැබුවා.

මේ හිංසාවන් ගෙන් මුහම්මද් තුමාටත් ගැලවීමක් ලැබුනේ නෑ. මුහම්මද් තුමාට එරෙහිව වඩාත්ම හිංසාවන් කලේ ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්) සහ මුහම්ම්ද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ්.

වරක් මුහම්මද් තුමා කාබාව අසල දණ ගසාගෙන් දෙවියන් නමදිමින් සිටියදී ආමර් ඉබ්න් හිෂාම් මිය ගිය ඔටුවෙකුගේ අතුණු බහන් ඔහුගේ සිරුර මත හෙළුවා. රුධිරයෙන් සහ වෙනත් අපද්‍රව්‍යයන් ගෙන් නෑවී ගිය මුහම්මද් තුමා දණගසාගෙනම සිටියදී බලා සිටි පිරිස මහා හඬින් සිනා සෙන්නට වුනා. එවිට එතැනට පැමිණි මුහම්මද් තුමාගේ කුඩා දියණිය වුනු ෆාතිමා අතුණු බහන් ඔහුගේ සිරුරෙන් ඉවත් කොට ඔහු පිරිසිදු කළා.

තවත් වරෙක මුහම්මද් තුමා කාබාව අසල දෙවියන් නමදිමින් සිටියදී ආමර් ඉබ්න් හිෂාම් විශාල ගලක් ගෙන "මම මේ ගලෙන් මුහම්මද් ගේ ඔළුව දෙපළු වෙන්න ගහනවා" යැයි වහසි බස් දොඩමින් ඔහු වෙත ගියා. නමුත් විශාල ඔටුවෙක් ඔහු යන මග අවුරා සිටි නිසා මුහම්මද් තුමාට හානියක් වුනේ නෑ.

අබු ලැහැබ් ගේ බිරිඳ වුනු උම් ජමිල් මුහම්මද් තුමා යන මග කටු සහිත දර දැමීම පුරුද්දක් කර ගත්තා. මුහම්මද් තුමා නොයෙක් වර මේ දර කැබලි වල පැටලී බිම වැටුනා. ඔහුට තුවාල සිදු වුනා.


හම්සා ඉබ්න් අබ්ද්-අල් මුත්තාලිබ්

හම්සා කියන්නේ මුහම්මද් තුමාගේ පියාගේ බාල සොහොයුරා. ඔහු මක්කා නගරයේ ප්‍රසිද්ධ වුනේ ඉතාමත් නිර්භීත​, ඉතාමත් ශක්තිමත් යුධ ශිල්පයේ කෙළ පැමිණි අයෙක් විදිහට​. හම්සා වැඩිපුර කල් ගත කලේ මක්කා නගරය අවට කඳු, කාන්තාර සහ කැලෑ වල දඩයමේ නිරත වෙමින්. ඔහු නගරයට ආවේ ඉඳ හිට​.

වරක් මුහම්මද් තුමා වීදියකදී හමු වුන විට ආමර් ඉබ්න් හිෂාම් ඔහුට දරුණු ලෙස අපහාස කළා. මුහම්මද් තුමා ඔහු මගහැර යන්න උත්සහ කළත් ආමර් ඉබ්න් හිෂාම් දිගින් දිගටම ඔහු පසු පස යමින් ඔහුට අපහාස කලා. දඩයම් සවාරියකින් පසුව මක්කා නගරයට පැමිණි හම්සාට මේ බව ආරංචි වුනා. ඔහු වහාම ආමර් ඉබ්න් හිෂාම් සොයා ගියා. ඔහු හිටියේ දඩයම් සඳහා රැගෙන ගිය දුන්න උරහිසේ පැළඳගෙන​.

ආමර් ඉබ්න් හිෂාම් සහචරයන් පිරිසක් සමඟ කතා කරමින් සිටිනු දැක්ක හම්සා ඔහු ළඟට ගිහින් දුන්නෙන් මුහුණ හරහා වැරෙන් පහරක් දුන්නා. පහරේ වේගයට ආමර් ඉබ්න් හිෂාම් බිම වැටුනු අතර​, හම්සා ඔහුට අභියෝග කළා.

"මම මුහම්මද් ගේ ආගම වැළඳ ගත්තොත් උඹ දිගටම ඔහුට අපහාස කරයි ද​? පුළුවන් නම් මට ගහපන්"

ආමර් ඉබ්න් හිෂාම් ගේ සහචරයන් හම්සාට එරෙහිව අතක් ඔසවන්න බය වුනු නිසා ඔවුන් මොකවත් කළේ නෑ. හම්සා එවෙලේම මුහම්මද් සොයා ගිහින් ඉස්ලාමය වැළඳ ගත්තා.  මක්කාවේ ප්‍රභල චරිතයක් වුනු හම්සා ඉස්ලාමය වැළඳගැනීම මුස්ලිම් වරුන්ට විශාල ශක්තියක් වුනා.


ඉතියෝපියාවට සංක්‍රමනය වීම​


මේ කාලයේදී ඉතියෝපියාවේ පැවතුනේ අක්සුම් රාජධාණිය​. ඔවුන් ක්‍රිස්තියානි ආගම ඇදහූ පිරිසක්. අක්සුම් රාජධාණිය සහ අරාබිය වෙන්වුනේ පටු මුහුදු තීරයක් වුනු රතු මුහුදෙන්. මුස්ලිම් වරුන්ට මක්කා නගරයේ ඇතිවුනු හිංසා පීඩා එන්න එන්නම අධික වන විට මුහම්මද් තුමා ඔවුන්ට අක්සුම් රාජධාණියට සංක්‍රමනය වන ලෙස උපදෙස් දුන්නා. ඒක දේව ආගමක් වන ක්‍රිස්තියානිය අදහන ඉතියෝපියානුවන් මුස්ලිම් වරුන්ට සහනශීලි වනු ඇතැයි මුහම්ම්ද් තුමා බලාපොරොත්තු වුනා.

ඒ අනුව ක්‍රි.ව​. 613 දී පිරිමින් 12 සහ කාන්තාවන් 4 කගෙන් සමන්විත වුනු 16 දෙනෙකුගේ පිරිසක් රහසේම මක්කා නගරයෙන් පිට වී රතු මුහුද තරණය කරන වෙළඳ නැවක නැගී ඉතියෝපියාව බලා පිටත් වුනා.

පිරිසේ නායකත්වය දැරුනේ මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරාගේ පුතා සහ අලී ගේ වැඩිමල් සොහොයුරා වුනු ජෆර් ඉබ්න් අබු තාලිබ්. පිරිස වුනේ:

1. ජෆර් ඉබ්න් අබු තාලිබ් - මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරා. අලීගේ වැඩිමල් සොහොයුරා.
2. සාද් ඉබ්න් අබු වක්කාස්
3. ජාෂ් ඉබ්න් රියාබ්
4. අබ්ද් අල්ලාහ් ඉබ්න් ජාෂ් - ජාෂ් ඉබ්න් රියාබ් ගේ පුතා
5. උත්මාන් ඉබ්න් අෆ්ෆාන් - 35 හැවිරිදි ධනවත් වෙළෙන්දෙක්
6. රක්කයා බින්ට් මුහම්ම්ද් - මුහම්මද් තුමාගේ දියණිය සහ උත්මාන් ගේ බිරිඳ​
7. අබු හුදයිෆා ඉබ්න් උත්බා
8. සලා බින්ට් සුහයිල් - අබු හුදයිෆා ගේ බිරිඳ​
9. සුබායිර් ඉබ්න් අල් අවම් - මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරෙල්
10. මූසාබ් ඉබ්න් උමයිර්
11. අබ්දුර් රහ්මන් ඉබ්න් අව්ෆ් - 32 හැවිරිදි ධනවත් වෙළෙන්දෙක්
12. අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද්
13. උම් සලමා - අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද් ගේ බිරිඳ​
14. උත්මාන් ඉබ්න් මසූන්
15. අමීර් ඉබ්න් රබියා
16. ලයිලා බින්ට් අබු අස්මා - අමීර් ඉබ්න් රබියා ගේ බිරිඳ​

මුස්ලිම් වරු අක්සුම් රජු බැහැදැකීම​
මේ පිරිස අක්සුම් රාජධාණියේ රජතුමා ගේ රැකවරණය යටතේ ඉතියෝපියාවේ පදිංචි වුනා. මේ සංක්‍රමනය ගැන ආරංචි වුනු මක්කා වැසියන් ඔවුන් ගේ නියෝජිතයන් දෙදෙනෙක් (ආමර් ඉබ්න් අල්-අස් සහ අබ්ද්-අල්ලාහ් ඉබ්න් රබියා) අක්සුම් රජු වෙත යැව්වා. ඒ මුස්ලිම් වරු නැවත භාර දෙන මෙන් ඉල්ලා. නමුත් අක්සුම් රජු ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා.

ඉතියෝපියාවට සංක්‍රමනය වුනු මුස්ලිම් වරු සාර්ථකව එහි පදිංචි වී සාමකාමී දිවියක් ගත කරන බව ආරංචි වුනු මුස්ලිම් වරු විශාල පිරිසක් ඉතියෝපියාවට සංක්‍රනය වීමට කැමැත්ත පළ කලා. ඒ අනුව වසර දෙකකට පසු ක්‍රි.ව​. 615 දී පිරිමි 83 ක් සහ කාන්තාවන් 19 ක ගෙන් සමන්විත පිරිසක් ඉතියෝපියාවට සංක්‍රමනය වුනා.


උමර් ඉබ්න් අල්-කත්තබ්


මුස්ලිම් වරුන්ට මක්කාවේ සිටි ප්‍රධානම විරුද්ධවාදියා වුනේ ආමර් ඉබ්න් හිෂාම් හෙවත් අබු ජහල්. ඔහුගේ සොහොයුරියගේ පුතා වුනේ උමර් ඉබ්න් අල්-කත්තබ්. යසීර් සහ සුමයියා හට වධ දීමට ආමර් ඉබ්න් හිෂාම්ට සහය වුනේ උමර්. උමර් ඉතාමත් උස සහ ශක්තිමත් පුද්ගලයෙක්. ඔහු තදින් කිපෙන​, දරුණු ගති පැවතුම් ඇති අයෙක්. ඒ වගේම මල්ලව පොර ශූරයෙක් විදිහට ඔහු මක්කාවේ ප්‍රසිද්ධව සිටියා.

ක්‍රි.ව​. 616 වන විට මුස්ලිම් වරු 100 ක් පමණ ඉතියෝපියාවට සංක්‍රමනය වෙලා හිටියා. මක්කා නගරයේ තවත් මුස්ලිම් වරු සිය දෙනෙක් පමණ ඉතිරිව හිටියා. ඉස්ලාමය පිළිබඳ ආරවුල් නිසා බොහෝ පවුල් දෙකඩ වී තිබුනා. මේ පිළිබඳව උමර් හිටියේ මුහම්මද් තුමා පිළිබඳව දැඩි කෝපයෙන්. නමුත් බැනු හෂීම් ගෝත්‍රයේ, විශේෂයෙන්ම බැනු හෂීම් ගෝත්‍රයේ ප්‍රධානියා වූ අබු තාලිබ් ගේ, ආරක්‍ෂාව මුහම්මද් තුමාට ලැබුනු නිසා ඔහුට එරෙහිව යමක් කිරීම අපහසු වුනා.

එක් දිනක් උමර් ගේ කෝපය ඉහ වහා ගියෙන්, ඔහු මුහම්මද් තුමා මරා දමා මේ ඉස්ලාමය පිළිබඳ ආරවුල සදහටම අවසන් කිරීමට ඉටා ගෙන​, තම කඩුවද රැගෙන මුහම්මද් තුමා සොයා ගෙන ගියා. එසේ යන අතරමගදී ඔහුට දැන ගන්න ලැබුනේ ඔහුගේ සොහොයුරිය සහ ඇගේ සැමියාත් රහසින් ඉස්ලාමය වැළඳගෙන ඇති බවයි. ඔහුගේ කෝපයට නිමි හිම් නැති වුනා. ඔහු වහාම ගමන වෙනස් කොට සොහොයුරියගේ නිවස වෙත ගියා.

ඔහු එහි යන විට සොහොයුරිය සහ ඇගේ සැමියා වුනු සයීද් ඉබ්න් සයිද් කුරානයේ පාඨ කීපයක් කොළයක ලියා එය හඬ නගා කියවමින් සිටියා. උමර් එහි කඩා වැදී සයීද්ට පහර දෙන්න උත්සහ කළා. උමර් ගේ සොහොයුරිය සැමියා ආරක්‍ෂා කිරීමට උත්සහ කළ අතර උමර් ඇගේ මුහුණට වැරෙන් පහරක් දුන්නා. එම පහරින් සොහොයුරිය බිම ඇද වැටුනු අතර ඇගේ මුවින් ලේ ගලා ගියා.

සොහොයුරියගේ ලේ දුටු උමර් මදක් සන්සුන් වී, ඔවුන් කියවමින් සිටි කුරාන පාඨයන් ලියූ කොළය ගෙන එය කියවා බැලුවා. එම පාඨයන් ගේ තිබුණු කවීත්වය දුටු උමර් එයින් විශ්මයට පත් වුනා. එවැනි කවීත්වයක් සහිත යමක් නිර්මාණය කළ හැක්කේ දෙවියන්ට පමණක් බව තීරණය කළ උමර් ඉස්ලාමය වැළඳ ගත්තා.

මක්කාවේ ප්‍රධානම පවුලක ප්‍රභල සාමාජිකයෙක් වුනු උමර් ඉබ්න් අල්-කත්තබ් ඉස්ලාමය වැළඳ ගැනීම මුස්ලිම් වරුන්ට විශාල ජයග්‍රණයක් වුනා. උමර් ශක්තිමත් සහ දරුණු පුද්ගලයෙක් වීම නිසත්, ඔහුගේ පවුල් සබඳතාවය නිසාත් ප්‍රසිද්ධියේ ඔහුට එරෙහි වීමට මක්කා වැසියන් පැකිලුනා. මේ නිසා උමර් ප්‍රසිද්ධියේම කාබාව ඉදිරිපිට දෙවියන් නැමදීමට පටන් ගත්තා.මෙය මුස්ලිම් වරුන් ගේ ධෛර්‍යය වැඩි කිරීමට හේතු වුනා.

උමර් මුහම්මද් තුමාගේ ප්‍රධාන සහචරයෙක් වුනු අතර, පසු කළෙක ඉස්ලාමයේ ඉතාමත් වැදගත් චරිතයක් බවට පත් වුනා.


අලී ඉබ්න් අබු තාලිබ්


මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරා වුනු අබු තාලිබ් බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනා. ඔහුගේ පුතා වුනු අලී හැදී වැඩුනේ මුහම්මද් තුමා ළඟ​. මුහම්මද් තුමා අලීට සැලකුවේ තමාගේ පුතෙකුට​ වගේ.

ඉස්ලාමයේ පණිවුඩය ලැබුනු මුල් දින වල මුහම්මද් තුමා බැනු හෂීම් වංශයේ සාමාජිකයන් 40 දෙනෙකුට පමණ භෝජන සංග්‍රහයකට ආරාධනා කොට ඔවුන්ට ඉස්ලාමය වැළඳගැනීමට ආරාධනා කළා. කිසිවෙකුත් ඉස්ලාමය වැළඳගැනීමට කැමති වුනේ නෑ. අබු තාලිබ් ගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ් එහිදී මුහම්මද් තුමාට තදින් අපහාස කළා. අබු තාලිබ් සහ ඔහුගේ තවත් සොහොයුරන් දෙදෙනෙක් වුනු හම්සා සහ අබ්බාස් ඉස්ලාමය වැළඳ ගැනීමට අකැමැති වුනත්, ඔවුන් මුහම්මද් වෙනුවෙන් පෙනී සිටියා.

එම අවස්ථාවේදී මුහම්මද් තුමා තමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් දහතුන් හැවිරිදී අලී නම් කළා. මෙය අබු ලැහැබ් ඇතුළු බැනු හසීම් වංශයේ බොහෝ ප්‍රධානීන් ගේ හාස්‍යයට ලක් වුනා. අලී මුහම්මද් තුමාගේ කිට්ටුම විශ්වාස වන්තයා විදිහට සැලකෙන්න පටන් ගත්තේ මේ සිද්ධියෙන් පසුව​. මේ සිද්ධිය ඉස්ලාමීය ඉතිහාසයේ හැඳින්වෙන්නේ "දවාතුල් අෂීරා" නමින්.

ක්‍රි.ව​. 616 පමණ වන විට අලී 16 හැවිරිදි ගැටවරයෙක්. ඔහු කඩු ශිල්පයේ ශූරයෙක් වුනා. ඒ වගේම නිර්භීත කම සහ බුද්ධිමත් කම අතින් ඔහු සිටියේ තමාගේ වයසට වඩා බොහෝ ඉදිරියෙන්. මුහම්මද් තුමා සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීම නිසා ඔහුට ඉස්ලාම් දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද තිබුනා. මුහම්මද් තුමා ඔහු ගැන පැවසුවේ "මම දැණුමේ නගරයක්, අලී එහි දොරටුව​" ලෙසින් සහ "මම සහ අලී අල්ලාහ් ට කැමතියි, අලී සහ අල්ලාහ් මට කැමතියි, මම සහ අල්ලාහ් අලීට කැමතියි" යනුවෙන්.

මුහම්මද් තුමාට එරෙහිව එදිරිවාදී කම් වලින් ඔහු ආරක්‍ෂා කරමින් මුහම්මද් තුමාගේ ආරක්‍ෂකයා විදිහට කටයුතු කළේ අලී. අලී ගේ කඩු හරඹ හැකියාව ගැන දැන සිටි මක්කා වැසියන් ඔහුට කෙළින්ම අභියෝග කිරීම මරණයට අත වැනීමක් බව දැන සිටියා. මේ නිසා බොහෝ අවස්ථා වල ඔවුන් අලී සමඟ ගැටෙන්න ගිය් නෑ. ඒත් මේ 16 හැවිරිදි ගැටවරයා ප්‍රසිද්ධියේ මක්කා නගරයේ ප්‍රධානීන්ට ප්‍රසිද්ධියේ අභියෝග කිරීම ගැන ඔවුන් අලී සමඟ දැඩි වෛරයෙන් පසු වුනා.


බැනු හෂීම් වංශය වර්ජයන කිරීම​


ඉස්ලාමය ක්‍රමයෙන් මක්කා වැසියන් අතරේ පැතිර යද්දී මක්කා නුවර ප්‍රධානීන් එය වැලැක්වීමට උපක්‍රමයක් යෙදුවා. ඒ බැනු හෂීම් වංශය වර්ජනය කිරීම​. ඒ අනුව බැනු හෂීම් වංශය සමඟ වෙළඳ ගනු දෙනු කිරීම හෝ විවාහ සබඳතා පැවැත්වීම අනෙකුත් වංශ වලට සම්පූර්නයෙන්ම තහනම් කළා. මේ වර්ජනයේ අරමුණ වුනේ බැනු හෂීම් වංශය තනි කිරීම මගින් ඔවුන් ගේ ආදායම් මාර්ග අවහිර කොට​, මුහම්මද් කෙරෙහි ඇති බැනු හෂීම් වංශයේ ආරක්‍ෂාව ඉවත් කිරීමට බල කිරීම​.

ඒ අනුව ක්‍රි.ව​. 616 දී බැනු හෂීම් වංශයේ කිසිම අයෙකු සමඟ වෙළඳාම් කිරීම හෝ විවාහ සබඳතා පැවැත්වීම තහනම් කරමින් ආඥාවක් පැනවුනා. අබු ලැහැබ් කෙරෙහි පමණක් මේ වර්ජනය බලපැවැත්වුනේ නෑ.. ඒ ඔහු ඉස්ලාමයට එරෙහිව කටයුතු කළ නිසා.

මුහම්මද් තුමා, කදීජා සහ ඔවුන් ගේ පවුලේ අය වාසය කළේ කාබාවට නැගෙනහිරින් පිහිටි කුඩා නිම්නයක. මේ නිම්නය හැඳින්වුනේ අබු තාලිබ් ගේ නිම්නය නමින්.  ඒ බැනු හෂීම් වංශයේ නායකයා වුනු අබු තාලිබ් එහි වාසය කළ නිසා.

ක්‍රි.ව​. 616 සිට මුහම්මද් තුමා සහ ඔහුට හිතවත් වුනු බැනු හෂීම් වාංශිකයන් අබු තාලිබ් ගේ නිම්නයට කොටු කරනු ලැබුවා. ඔවුන්ට නගරයට ඇවිත් කිසිවක් මිලදී ගන්න ඉඩ ලැබුනේ නෑ. ඔවුන් සමඟ කිසි කෙනෙක් සබඳතා පැවැත්වූයේ නෑ. අඩුම තරමින් ආහාර හෝ වතුර මිලදී ගැනීමට පවා ඔවුන්ට නොහැකි වුනා. මේ නිසා ඔවුන් දැඩි පීඩාවට පත් වුනා.

අනෙක් මුස්ලිම් වරු සහ මුහම්මද් තුමාට හිතවත් සමහර මුස්ලිම් නොවන අයත් රහසින් ඔවුන්ට ආහාර සහ වතුර විකිණීමට ඉදිරිපත් වුනත්, මක්කා ප්‍රධානීන්ත හොරෙන් එය රහසිගතව කළ යුතු වීම නිසා එයත් අසීරු කටයුත්තක් වුනා.

මුහම්ම්ද් තුමා සහ පවුලේ අය බොහෝ විට කල් ගත කළේ කුසගින්නේ. රහසිගතව මිල දී ගත් දෙයක්, හිතවතෙක් හොරෙන් ඔවුන්ට ගෙනදුන් දෙයක් නොලැබුනු දින වල ඔවුන් කුසගිනි නිවා ගත්තේ තණකොළ සහ වෙනත් කොළ වර්ග ආහාරයට ගනිමින්. කදීජා බොහෝ දිනවල තිබුනු ආහාරයක් දරුවන්ට ලබා දී කුසගින්නේ ගත කළා. ආහර හිඟ කම නිසා කදීජා සහ මහළු අබු තාලිබ් රෝගාතුර වුනා.

ඔවුන්ට වෙළඳාම හෝ වෙනත් ජීවිකාවක නිරත වීමද තහනම් කෙරුනු නිසා ඔවුන්ට ආදයමක් තිබුනේත් නෑ. මේ වන විට කදීජා සෑහෙන තරම් ධනවත් කාන්තාවක්. ඇයගේ එක් රැස් කර තිබූ ධනය ඔවුන්ට එදිනෙදා වියදම් කිරීම සඳහා වැය වුනා.

බැනු හෂීම් වර්ජනයට අවුරුදු 3 ක් සම්පූර්ණ වෙද්දී මුහම්මද් තුමා සහ පවුලේ සාමාජිකයන් සිටියේ හොඳටම හෙම්බත් වෙලා. විශේෂයෙන්ම මහළු වයසින් සහ ආහාර හිඟකමින් පීඩා විඳිමින් සිටි කදීජා සහ අබු තාලිබ් තදින් රෝගාතුර වුනා. නිසි ප්‍රතිකාරයක් කිරීමට හැක්සියාවක් නොතිබුනු නිසා ඔවුන් දෙදෙනාම මිය ගියා.

කිසිදා තම පියා නොදැක සිටි මුහම්මද් තුමාට පියෙක් වුනේ අබු තාලිබ්. කදීජා ඔහුගේ වැඩිහිටි ජීවිතයේ සියල්ල වුනා. මේ දෙදෙනාම හදිසියේ මිය යාම ඔහුට දරා ගැනීමට ඉතා අපහසු වුනා. මේ නිසා ඔහු පසු කලෙක ක්‍රි.ව​. 619 හැඳින්වූයේ "ශෝකයේ වසර" නමින්.


වර්ජනය අවසන් වීම සහ ආරක්‍ෂාව අහිමි වීම​


බැනු හෂීම් වංශයේ නායකයා වුනු අබු තාලිබ් මිය ගිය පසු ඒ තැනට පත් වුනේ අබු ලැහැබ්. ඉස්ලාමයේ දැඩි සතුරෙක් වුනු ඔහු බැනු හෂීම් වංශයෙන් මුහම්මද් තුමාට  ලැබී තිබුනු ආරක්‍ෂාව ඉවත් කළා. ඒ එක්කම බැනු හෂීම් වර්ජනය තව දුරටත් මක්කා ප්‍රධානීන්ට අවශ්‍යය වුනේ නෑ. ඔවුන් වර්ජනය අවසන් කළා.

බැනු හෂීම් වංශයේ ආරක්‍ෂාව නැතිවීමත් සමඟම මුහම්මද් තුමාගේ ජීවිතයට එල්ල වුනේ දැඩි තර්ජනයක්. ඔහුගේ සතුරන් ප්‍රසිද්ධියේම ඔහුට ශාරීරික හිංසා කළා. කොයි මොහොතේ හෝ මරණීය ප්‍රහාරයක් තමාට එල්ල විය හැකි බව ඔහු වටහා ගත්තා.

මක්කාවට නුදුරින් පිහිටි නගරයක් වුනේ තායිෆ්. එහි පදිංචි වී සිටියේ බැනු තකීෆ් ගෝත්‍රයේ සාමාජිකයන්. මුහම්මද් තුමා තායිෆ් නගරයට ගොස් ඔවුන්ට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කළා. ඔහුගේ අරමුණ වුනේ තායිෆ් නගරයේ වැසියන් ඉස්ලාමය වැළඳගත් පසු මක්කා නගරයේ මුස්ලිම් වරු සමඟ එහි පදිංචි වීමට​. නමුත් මුහම්මද් ගේ ආරාධනාව තායිෆ් නගරයේ ප්‍රධානින් ප්‍රතික්‍ෂේප කළා. තායිෆ් නගරයේ වැසියන් ඔහුට අපහාස කර ගල් ගසා නගරයෙන් පන්නා දැමුවා.

තායිෆ් නගරයේ සිට නැවත මක්කාවට පැමිණි මුහම්මද් තුමා බැනු නව්ෆාල් වංශයේ ප්‍රධානියා වුනු මුතාඉම් ඉබ්න් ආදී ගෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටියා. මුතාඉම් ඔහුට බැනු නව්ෆාල් වංශයේ ආරක්‍ෂාව ලබා දෙන්න පොරොන්දු වුනා. එයින් මුහම්මද් තුමාට තාවකාලික අස්වැසිල්ලක් ලැබුනා.



ක්‍රි.ව​. 620 වන විට මක්කා නගරයේ 200 කට කිට්ටු පිරිසක් ඉස්ලාමය වැළඳගෙන සිටියා. ඉන් 80 ක් පමණ වාසය කළේ ඉතියෝපියාවේ. මුහම්මද් තුමා පුද්ගලිකව සිටියේ ඉතා අසීරු තැනක​. ඔහුගේ සමීපතමයන් වුනු කදීජා සහ අබු තාලිබ් මිය ගිහින්. ඔහුට ආදායම් මාර්ගයක් තිබුනේ නෑ. ඒ වගේම ඔහුගේ ජීවිතයට දැඩි තර්ජන එල්ල වී තිබුනා.

මුහම්මද් තුමාගේ මෙන්ම ඉස්ලාමයේ ගමන් මග සම්පූර්නයෙන්ම වෙනස් කරන සිද්ධියක් සිදු වුනේ ඒ මොහොතේදී.

Saturday, February 29, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 4 (ඉස්ලාමයේ මුල් දවස්​)



පළමු මුස්ලිම් වරු


මුහම්මද් තුමා තමාගේ දේව පණිවුඩය මුලින්ම කීවේ පවුලේ අයට​. ඔහුගේ පණිවුඩය පිළිගෙන මුලින්ම ඉස්ලාමය වැළඳ ගත්තේ කදීජා. මේ නිසා කදීජා පළමු මුස්ලිම් වරයා ලෙස පිළිගැනෙනවා.

ඊළඟට ඉස්ලාමයේ පණිවුඩය පිළිගත්තේ මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරා වුනු, ඔහුගේ පුතා ලෙස ඔහු ඇසුරේ හැදී වැඩුනු අලී ඉබ්න් අබු තාලිබ්. ඔහු එවකට දහ හැවිරිදි දරුවෙක්. මේ නිසා අලී පළමු මුස්ලිම් පිරිමියා ලෙස පිළිගැනෙනවා.

තුන්වැනියට ඉස්ලාමය වැළඳ ගත්තේ කදීජා සහ මුහම්මද් තුමා විසින් පුතෙකු ලෙස හදා වඩාගත් සයීද් ඉබ්න් හරිතා. ඔහු කලින් කදීජා ගේ මෙහෙකරුවෙක්.

ඉන්පසුව මුහම්මද් තුමාගේ සහ කදීජාගේ දියණියන් වන සයිනාබ්, රකායා, උම් කුතුම් සහ ෆාතිමා ඉස්ලාමය වැළඳගත්තා. මේ අය සියල්ලෝම මුහම්මද් තුමාගේ පවුලේ සාමාජිකයන්.

පවුලේ අයගෙන් පසු මුහම්මද් තුමා ඉතාම පරිස්සමෙන් තෝරාගත් විශ්වාසවන්තයන් කීප දෙනෙකුට තමාගේ "රහස​" ප්‍රකාශ කළා. මේ අයත් ක්‍රමයෙන් ඉස්ලාමයට හැරුනා.

පවුලෙන් පිට කෙනෙකු ලෙස මුලින්ම ඉස්ලාමය වැළඳ ගත්තේ මුහම්මද් තුමාගේ කිට්ටු මිතුරෙක් වුනු අබු බකර්. ඔහු එවකට 37 හැවිරිදි වෙළන්දෙක්. ඉස්ලාමය වැළඳගත් පළමු වැඩිහිටි පිරිමියා ලෙස සැලකෙන්නේ අබු බකර්.

ඊළඟට​ අබු බකර් ගේ මිතුරු ධනවත් වෙළෙන්දෙක් වුනු උත්මාන් ඉබ්න් අෆ්ෆන් අබු බකර් විසින් ඉස්ලාමයට හරවා ගත්තා. උත්මාන් ඒ වන විට 32 හැවිරිදි තරුණයෙක්.

613 දී දෙවියන් ගෙන් ලැබුනු උපදෙසක් අනුව මුහම්මද් තුමා ප්‍රසිද්ධියේ තම ආගම දේශනා කිරීම ඇරඹුවා.

ඉන්පසුව ක්‍රමයෙන් එකා දෙන්නා මුහම්මද් තුමාගේ පණිවුඩය පිළිගත්තා. මුලින්ම ඉස්ලාමය වෙත ඇදී ආවේ දුප්පතුන්, ගැටවරයන් සහ කාන්තාවන්. මේ අය එවකට පැවති අරාබි සංස්කෘතිය අනුව සමාජයේ පීඩාවට ලක් වුනු අය​. කෙනෙකුගේ උසස් පහත් බව තීරණය වන්නේ උපත​, ධනවත් බව, වයස හෝ ස්ත්‍රී-පුරුෂ බව අනුව නොව දෙවියන් කෙරෙහි ඇති භක්තිය අනුව බව මුහම්මද් තුමා විසින් ප්‍රකාශ කිරීම මේ අය ඉස්ලාමය වෙත ආකර්ශනය වීමට හේතුවක් වුනා.

මේ කාලයේ ඉස්ලාමය ප්‍රචලිත වුනේ දුප්පතුන් ගේ සහ කාන්තාවන් ගේ ආගමක් විදිහට​. මෙය මක්කා නගරයේ ධනවතුන් සහ බලවතුන් ඉස්ලාමය පහත් කර දැකීමට හේතුවක් කර ගත්තා.


මුලින්ම ඉස්ලාමය වැළඳගත් අය වුනේ මේ අය​:

කදීජා බින්ට් කුවයිලිඩ් :
මුහම්මද් තුමාගේ බිරිඳ​. ධනවත් වෙළෙන්දෙක්.

අලී ඉබ්න් අබු තාලිබ් :
මුහම්ම්ද් තුමාගේ ඥාති සොහොයුරා. 10 හැවිරිදි දරුවෙක්.

සයීද් ඉබ්න් හරිතා :
කදීජා ගේ හදා ගත් පුතා.

සයිනාබ් :
කදීජා ගේ දියණිය​. 11 හැවිරිදි දැරියක්.

රකායා :
කදීජා ගේ දියණිය​. 9 හැවිරිදි දැරියක්.

උම් කුතුම් :
කදීජා ගේ දියණිය​. 8 හැවිරිදි දැරියක්.

ෆාතිමා :
මුහම්මද් තුමා සහ කදීජා ගේ දියණිය​. ඇය උපදින විට මුහම්මද්ට දේව පණිවුඩය ලැබී අවසානයි. ඇය උපතේ සිටම හැදී වැඩෙන්නේ ඉස්ලාමයට අනුව​.

අබු බකර් :
මුහම්මද් තුමාගේ මිතුරෙක්. 37 හැවිරිදි වෙළෙන්දෙක්.

උත්මාන් ඉබ්න් අෆ්ෆාන් :
අබු බකර් ගේ මිතුරෙක්. 32 හැවිරිදි වෙළෙන්දෙක්.

අබු දාර් අල්-ගිෆාරි :
බැනු ගිෆාර් ගෝත්‍රයේ සාමාජිකයෙක්. දුප්පත් බෙදුවියන් වරයෙක්.

යාසිර් ඉබ්න් අමීර් :
දුප්පත් මක්කා වැසියෙක්. මහල්ලෙක්

සුමයියා :
යාසිර් ඉබ්න් අමීර් ගේ බිරිඳ​. දුප්පත් මක්කා වැසියෙක්. මැහැල්ලක්

අම්මාර් ඉබ්න් යාසිර් :
යාසිර් සහ සුමයියා ගේ පුතා. 40 හැවිරිදි දුප්පත් මක්කා වැසියෙක්.

සාද් ඉබ්න් අබි වක්කාස් :
17 හැවිරිදි තරුණයෙක්.

ලුබාබා බින්ට් අල්-හරිත් :
මුහම්මද් තුමාගේ පියා ගේ සොයුරෙක් වුනු අබ්බාස් ගේ බිරිඳ​.

අබ්ද් අල් - රහ්මන් ඉබ්න් අව්ෆ් :
29 හැවිරිදි තරුණයෙක්. වෙළෙන්දෙක්.

අබ්ද් අල්ලාහ් ඉබ්න් මසූද් :
17 හැවිරිදි තරුණයෙක්. එඬේරෙක්.

ජෆර් ඉබ්න් අබි තාලිබ් :
මුහම්ම්ද් තුමාගේ ඥාති සොහොයුරා. අලී ගේ සොහොයුරා. 20 හැවිරිද් තරුණයෙක්.

බිලාල් ඉබ්න් රබා :
31 හැවිරිදි ඉතියෝපියානු (කළු) ජාතික වහලෙක්.

සුබායිර් ඉබ්න් අල්-අවම් :
මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරෙක්. 17 හැවිරිදි තරුණයෙක්. "නාහෙට නාහන​" කලහකාරයෙක් ලෙස ප්‍රසිද්ධ ගැටවරයෙක්.

තල්හා ඉබ්න් උබයිදුල්ලා :
18 හැවිරිදි තරුණයෙක්.

අබු උබයිදා ඉබ්න් අල්-ජරා :
28 හැවිරිදි තරුණයෙක්. වෙළෙන්දෙක්.

අස්මා බින්ට් අබි බකර් :
අබු බකර් ගේ දියණිය. 16 හැවිරිදි තරුණියක්.

අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද් :
මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරා. තරුණයෙක්.

උම් සලමා :
අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද් ගේ බිරිඳ​. 15 හැවිරිදි තරුණියක්.

මක්දාද් ඉබ්න් අස්වාද් :
යෙමනයේ සිට මක්කාව වෙත සංක්‍රමනය් වුනු දුප්පත් තරුණයෙක්.


ඉස්ලාමයේ මුල් අවධිය​


ක්‍රි.ව​. 613 දී මුහම්මද් තුමා ඉස්ලාමයේ පණිවුඩය ප්‍රසිද්ධියේ ලබා දීම ඇරඹුවා. මේ වන විට ඉස්ලාමය වැළඳගත් 20-30 ක පමණ පිරිසක් මක්කා නගරයේ හිටියා. දුප්පතුන්, වහලුන්, ගැටවරයන් සහ කාන්තාවන්ගෙන් වැඩිපුර සමන්විත වුනු මේ අය ගැන වැඩි දෙනෙක් ලොකු අවධානයක් යොමු කරේ නෑ. මක්කා නගරයේ ධනවතුන් ඉස්ලාමය දැක්කේ "නොවැදගත් පුද්ගලයන් ගේ නොවැදගත් එකතුවක්" සහ "මුහම්මද් ගේ පිස්සු වැඩක්" විදිහට​.

මේ කාලයේදී මුස්ලිම් වරුන්ට යාඥා කරන්න පල්ලියක් තිබුනේ නෑ. ඔවුන් එක් රැස් වුනේ "අල්-අර්කම් ඉබ්න් අබි ල්-අර්කම්" නම් පුද්ගලයෙක් ගේ නිවසේ. පටු වීදියක පිහිටා තිබුනු මේ නිවසට කාගේවත් අවධානයට ලක් නොවී ඇතුල් වෙන්න සහ පිටවෙන්න හැකි වුනා. මුහම්මද් තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මේ නිවසේ එක් රැස් වෙලා මුහම්මද් තුමාට​ ලැබුනු දේව පණිවුඩය ගැන සාකච්ඡා කළා.

ක්‍රි.ව​. 614 දී මුහම්මද් තුමාට ලැබුණු පණිවුඩයකට අනුව ඔහු බහු දේව වන්දනාව සහ විශේෂයෙන්ම පිළිම වන්දනාවට එරෙහිව දේශනා කිරීමට පටන් ගත්තා. බහු දේව වන්දනාව හෙවත් අල්ලාහ් දෙවියන්ට සමානයන් ඇති බව ඇදහීම​, සහ පිළිම වන්දනාව ඉස්ලාමයේ හැඳින්වෙන්නේ "ෂිර්ක්" නමින්. ෂිර්ක් සිදු කරන පුද්ගලයෙක් (හෙවත් පිළිම වන්දනා කරුවෙක් හෝ බහු දේව වන්දනා කරුවෙක්) හැඳින්වුනේ "මුෂරික්" නමින්. ඉස්ලාමයේ එන පාපයන් අතරින් වඩාත්ම බරපතල පාපය ලෙස සැලකෙන්නේ ෂිර්ක්.

බහු දේව වන්දනාවට එරෙහිව මුහම්මද් තුමා දේශනා කිරීම ඇරඹීමත් සමඟම මක්කා නගරයේ ධනවතුන් සහ බලවතුන් කලබල වුනා. මක්කා නගරයේ වැදගත්කම, කිර්තිය සහ ධනය ගලා එන මාර්ග සම්පූර්නයෙන්ම වගේ රඳා පැවතුනේ මක්කා නගරයට වාර්‍ෂිකව පැවැත්වුනු වන්දනා ගමන මත​. මුහම්මද් තුමා දේශනා කරන්නේ ඒ වන්දනා ගමනේ හරයට එරෙහිව​. එමගින් ඔහු තර්ජනය කරන්නේ මක්කා නගරයේ ධනවත් වෙළඳුන් ගේ ධනයට සහ බලයට​.

ඉස්ලාමය තව දුරටත් "මුහම්මද් ගේ පිස්සු වැඩක්" නොවන බවත්, අතිශය භයානක ආගමික කල්ලියක් බවත් ඔවුන් තීරණයක කළා.


මක්කා නගරයේ පාලනය​


මක්කා නගරයේ බලය අත් කරගෙන හිටියේ බැනු කුරෙයිෂ් ගෝත්‍රය​. බැනු කුරෙයිෂ් ගෝත්‍රය වංශ 14 කින් සමන්විත වුනා. මේ වංශ අතරින් වඩාත් බලවත් වුනේ බැනු උමයියා, බැනු මක්සුම් සහ බැනු හෂීම් වංශ​. මුහම්මද් තුමා අයත් වුනේ බැනු හෂීම් වංශයට​.

මක්කා නගරය පාලනය වුනේ විවිධ වංශ වල ප්‍රධානීන් ගෙන් සමන්විත වුනු පාලන සභාවක් මගින්. මේ පාලන සභාව එක් රැස් වුනේ කාබාවට යාබදව තිබුණු "දාර් අල්-නද්වා" (රැස්වීම් ශාලාව​) නමින් හැඳින්වුනු ගොඩනැගිල්ලක​. මේ පාලන සභාවට කුරෙයිෂ් ගෝත්‍රයේ වංශයන් විසින් තමාගේ නියෝජිතයන් එව්වා. ඔවුන් එකතු වෙලා සාමූහිකව තීරණ ගත්තා. පාලන සභාවට පත් කෙරුනේ වයසින් අවුරුදු 40 ට වැඩි, බුද්ධිමත් සහ පිළිගැනීමක් සහිත පුද්ගලයන්.

බලවත් වංශ වලට පාලන සභාවේ වැඩි බලයක් හිමි වුනා. එවකට මක්කා නගරයේ ප්‍රධාන නායකයන් වුනේ:

බැනු මක්සුම් වංශය :
වලීඩ් ඉබ්න් අල්-මුගිරා (නායකයා)
ආමර් ඉබ්න් හිෂාම්

බැනු උමයියා වංශය :
අබු සුෆියාන් ඉබ්න් හාර්බ් (නායකයා)
උත්බා ඉබ්න් රබියා
උක්බා ඉබ්න් අබු-මුඅයිට්
හින්.ද් බින්ට් උත්බා (අබු සුෆියාන් ගේ බිරිඳ සහ උත්බා බින්ට් රබියා ගේ දියණිය​)

බැනු හෂීම් වංශය :
අබු තාලිබ් ඉබ්න් අබ්ද් අල් මුත්තාලිබ් (නායකයා. මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරා)
අබු ලැහැබ් ඉබ්න් අබ්ද් අල් මුත්තාලිබ් (මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරා)
නෆ්ලා ඉබ්න් කුවයිලිඩ් (කදීජා ගේ සොහොයුරා)

බැනු සුහ්.රා වංශය :
අල් අක්නාස් ඉබ්න් ෂුරයික්

බැනු සහ්ම් වංශය :
අල් අස් ඉබ්න් වයිල්

බැනු ජුමාහ් වංශය :
උමයියා ඉබ්න් කලාෆ්

බැනු මක්සුම් වංශයේ නායකයා වුනු වලීඩ් ඉබ්න් අල්-මුගිරා මක්කා නගරයේ නායකයා ලෙස පිළිගැනුනා. ඔහුගේ සොහොයුරාගේ පුතා වුනු ආමර් ඉබ්න් හිෂාම් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකුනා. ආමර් ඉබ්න් හිෂාම් වයස අවුරුදු 40 සම්පූර්ණ වෙන්නත් පෙර සිටම පාලන සභාවට ඇතුල් වුනු ඉතාමත් දක්‍ෂ සහ බුද්ධිමත් අයෙක්. ඔහුගේ බුද්ධිමත් බව නිසා "අබු අල්-හකම්" (බුද්ධිමත් විනිශ්චයේ පියා) යන නම ඔහුට පටබැඳුනා.

මක්කාවේ අනාගත නායකයා විදිහට මුහම්මද් තුමාට සහ ඉස්ලාමයට එරෙහිව වඩාත්ම තදින් ක්‍රියාත්මක වුනේ ආමර් ඉබ්න් හිෂාම්. ඒ නිසා ඉස්ලාමීය ඉතිහාසයේ ඔහු හැඳින්වෙන්නේ "අබු ජහල්" (අඳුරේ පියා) නමින්.

මේ නම් ඉස්ලාමීය ඉතිහාසයේ වැදගත් චරිත බවට පත් වුනු අය​.

Friday, February 28, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 3 (දිව්‍යමය පණිවුඩය​)



මුහම්මද් නිදහස් කාලයක් ලැබුණු විට මක්කා නගරයට කිලෝමීටර 3-4 පමණ දුරින් පිහිටි කන්දකට ගොස් හුදෙකලාව කල් ගත කිරීමට පුරුදු වී හිටියා. මේ කන්ද අද හැඳින්වෙන්නේ "ජබල් අල් නූර්" (ආලෝකයේ කන්ද​) නමින්. මේ කන්ද තරණය කිරීම ඉතාමත් අපහසු ආකාරයට පිහිටා තිබීම නිසා මක්කා වැසියන් එහි ගියේ කලාතුරකින්. මේ නිසා හුදෙකලාව දෙවියන් සහ ලෝකය පිළිබඳ ගැඹුරින් හිතන්නත්, භාවනාවේ නිරත වෙන්නත් මුහම්මද්ට එය කදිම ස්ථානයක් වුනා.

ජබල් අල් නූර් කන්ද
සමහර විට ඔහු දින ගණනාවක් එක දිගට ජබල් අල් නූර් කන් දේ ගත කළා. මීටර් 650 ක් පමණ උසින් යුත් මේ කන්දේ මීටර් 270 ක පමණ උසින් "හිරා" නමින් හැඳින්වෙන කුඩා ගල් ගුහාවක් පිහිටා තියෙනවා. ජබල් අල් නූර් කන්දේ රාත්‍රිය ගත කරන දින වලදී මුහම්මද් නිදා ගත්තේ මේ ගුහාව ඇතුලත​.

හිරා ගුහාව​

දිව්‍යමය පණිවුඩය


ක්‍රි.ව​. 610 අගෝස්තු 6 වැනිදා සිකුරාදා දවසක්. මුස්ලිම් වරුන් ගේ කැලැන්ඩරයට අනුව ඒ රාමදාන් මාසයේ 17 වැනිදා. එදා රෑ මුහම්මද් සුපුරුදු පරිදි හිරා ගුහාවේ නිදාගෙන උන්නා.

එක් වරම ඔහු ඉදිරියේ ආගන්තුකයෙක් දර්ශනය වුනා.

"ඉක්‍රා!" (කියවන්න​!) ආගන්තුකයා ඔහුට අණ කළා.

"මට කියවන්න බෑ" මුහම්මද් පිළිතුරු දුන්නා.

ආගන්තුකයා ඔහුව ඉතා තදින් වැළඳ ගත්තා. මුහම්මද්ට වේදනා ගෙන දෙන තරමට​. මුහම්මද්ට හුස්ම ගන්නත් අපහසු වුනා. මුළු ඇඟම වේදනාවෙන් වෙලී ගියා. තව දුරටත් වැළඳගැනීම දරා ගැනීමට අපහසු වෙද්දී ආගන්තුකයා ඔහු අතහැරියා.

"ඉක්‍රා!" ආගන්තුකයා නැවතත් අණ කළා.

"මට කියවන්න බෑ" මුහම්මද් නැවත පිළිතුරු දුන්නා.

නැවතත් ආගන්තුකයා ඔහුව වැළඳ ගත්තා. ආයෙත් වැළඳ ගැනීම වේදනාකාරී වෙද්දී ආගන්තුකයා ඔහු අතහැරියා.

"ඉක්‍රා!"

"මට කියවන්න බෑ"

ආගන්තුකයා නැවතත් ඔහුව වැළඳ ගත්තා. ආගන්තුකයාගේ වේදනාකාරී ග්‍රහනයෙන් මුහම්මද් නිදහස් වෙද්දීම ආගන්තුකයා නැවතත් ඔහු ඇමතුවා.


"මා කියන දේ කියවන්න​"

ඊට පස්සෙ ආගන්තුකයා පාඨයක් හඬ නගා කිව්වා. මුහම්මද් එය පුනරුච්ඡාරණය කළා.

"කියවන්න​! නිර්මාණය කළ දෙවියන් ගේ නාමයෙන්.

මවගේ ගැබට ඇලී ඇති ලේ කැටියකින් මිනිසා නිර්මාණය කළ දෙවියන් ගේ නාමයෙන්.

කියවන්න​! ඔබේ දෙවියන් ඉතාමත් ත්‍යාගශීලීය​.

පෑන පාවිච්චි කිරීමට කියාදුන් දෙවියන්

මිනිසා නොදත් දේ ඔහුට කියා දුන් දෙවියන්"

මුහම්මද් ඒ පාඨය කියවා අවසන් කළ පසු ආගන්තුකයා අතුරුදහන් වුනා.

මේ සිදු වීමෙන් භීතියට පත් වුනු මුහම්මද් මොහොතක්වත් එතැන නොරැඳී ගෙදර බලා දිව ගියා. ඔහු හිතුවේ ඔහුට මායා දර්ශන පෙනෙන බව​. ගෙදර ආ විගස ඔහු තම බිරිඳ කදීජාට මේ ගැන පැවසුවා.

මුහම්මද් හමුවට ආ ආගන්තුකයා දේව දූතයෙක්. ඔහු ඉස්ලාමයේ හැඳින්වෙන්නේ "ජිබ්‍රාඊල්" නැත්තම් "ජිබ්‍රිල්" නමින්. ක්‍රිස්තියානියේ "ගේබ්‍රියල්" නමින් හැඳින්වෙන්නේ මේ දේව දූතයාමයි.

ඔහු මුහම්මද්ට කියවීමට දුන් පාඨය අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද්ට ලබා දුන් පළමු දේව වාක්‍යය. එය අද කුරානයේ 96 වැනි පරිච්ඡේදයේ පළවෙනි පාඨයන් පහ ලෙස සටහන් කර තිබෙනවා.

දේව දූතයා කියවන්න ලෙසින් කළ අන කිරීමට මුහම්මද් මට කියවන්න බෑ ලෙස පිළිතුරු දීම නිසා මුහම්මද් ලිවීමේ කියවීමේ හැකියාව නොතිබූ අයෙක් ලෙස සමහර අර්ථ කථනයන් ගේ දැක්වෙනවා. නමුත් මුහම්මද් ගේ පසුබිම ගැන සිතා බැලීමේදී ඔහු වැනි සාර්ථක වෙළෙන්දෙක්, මක්කා නගරයේ ප්‍රධාන පවුලක සාමාජිකයෙක්, මක්කා නගර වැසියන් අතර බුද්ධිමතෙක් ලෙස නම් දරා සිටි අයෙක් ලිවීමේ කියැවීමේ හැකියාව නොමැති අයෙක් වීමට හැකියාව අඩුයි.

මුහම්මද් ගේ පිළිතුරේ අරුත දේව දූතයා කියවන්න අණ කළ නමුත්, කියවන්නේ කුමක්දැයි නොපැවසූ නිසා "මම කුමක් කියවන්නදැයි නොදන්නා" බව ලෙස සිතීම වඩා තාර්කිකයි.


පණිවුඩයෙන් පසු


මුහම්මද් ඔහුගේ අත්දැකීම කදීජාට කී පසු කදීජා ඔහුව තමාගේ ඥාති සොහොයුරා වෙත රැගෙන ගියා. වරකා ඉබ්න් නව්ෆාල් නම් වූ කදීජා ගේ ඥාති සොහොයුරා නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයෙක්.

වරකා ඉබ්න් නව්ෆාල් මහළු වියේ සිටි අයෙක්. මුහම්මද් ගේ කතාවට ඇහුම්කන් දුන් ඔහු කියා සිටියේ මුහම්මද්ට දර්ශනය වූ දේවදූතයා මූසා (මෝසස්) දර්ශනය වූ දේව දූතයාම බවත්, මුහම්මද් ව දෙවියන් ගේ දූතයෙක් ලෙස තෝරාගෙන ඇති බව ඔහුට හැඟී යන බවත්. ඔහු තව දුරටත් කියා සිටියේ ඔහු තරුණ වියේ සිටියේ නම් මුහම්මද්ට දේව පණිවුඩය පැතිරවීමට උදව් කරන බවත්, ඔහු මහළු වියේ නිසා එය කල නොහැකි වීම ගැන දුක් වන බවත්.

වරකා ඉබ්න් නව්ෆාල් ගේ අදහස් දැක්වීමෙන් පසු මුහම්මද් සන්සුන් වුනා. යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් වල එන තනි මැවුම්කාර දෙවියන් විසින් තමා දේව දූතයෙක් ලෙස තෝරාගෙන ඇති බව ඔහු පිළිගත්තා. මේ තනි මැවුම්කාර දෙවියන් අරාබි බසින් හැඳින්වුනේ "දෙවියන්" යන අරුත ඇති "අල්-ඉලාහ්" නැතිනම් "අල්ලාහ්" යන වචනයෙන්.

පළමු දේව පණිවුඩයෙන් පසු ක්‍රමයෙන් අවස්ථාවට අනුව මුහම්මද්ට තවත් පණිවුඩ ලැබෙන්න පටන් ගත්තා. ඔහු මේ පණිවුඩ කට පාඩම් කරගත්තා.


ඉස්ලාමය​


මුහම්මද් තමාට ලැබෙන දේව පණිවුඩ අනෙකුත් අයට ප්‍රකාශ කළේ නෑ. ඔහු මුලින්ම ඒ ගැන කීවේ පවුලේ අයට පමණයි.

ඔහු තමාගේ ආගම හැඳින්වූයේ "ඉස්ලාම්" යන නමින්. එහි අරුත "ස්ව කැමැත්තෙන් දෙවියන්ට යටත් වීම​" යන්න​. ඉස්ලාමය අනුගමනය කරන කෙනෙක් හැඳින්වුනේ "ස්ව කැමැත්තෙන් දෙවියන්ට යටත් වූ කෙනා" යන අරුත ඇති "මුස්ලිම්" යන වචනයෙන් හෝ "විශ්වාස කරන්නා" යන අරුත ඇති "මුමිනින්" යන වචනයෙන්.

මුහම්මද් ඉස්ලාමය දුටුවේ අළුත් ආගමක් විදිහට නෙවෙයි. ඔහු එය හඳුන්වා දුන්නේ මූසා (මෝසස්), ඊබ්‍රහිම් (ඒබ්‍රහිම්) වැනි යුදෙව් දේව දූතයන් සහ ඊසා (යේසුස්) වැනි ක්‍රිස්තියානි දේව දූතයන් විසින් ලබා දුන් දේව වාක්‍යයේම දිගුවක් විදිහට​. ඔහුගේ දෙවියන් වුනේ යුදෙව් සහ ක්‍රිස්තියානි දෙවියන්මයි. නමුත් යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් දේව පණිවුඩය විකෘති කර ඇති බව සහ එය නිවැරදි කර අවසාන පණිවුඩය ලෙස ලබා දීම තමාගේ වගකීම බව ඔහු ප්‍රකාශ කළා. ඒ නිසා ඔහු තමා හඳුන්වා දුන්නේ දෙවියන් ගේ අවසාන පණිවුඩකරුවා විදිහට​.

මුහම්මද් දෙවියන් ගේ පණිවුඩ කරුවා බැවින් ඔහු අරාබි බසින් හැඳින්වුනේ "රසූලු අල්ලාහ්" නමින්.

කෙනෙක් දේව පණිවුඩය පිළිගෙන මුස්ලිම් වරයෙක් බවට පත් වීමට නම් "විශ්වාසයේ ප්‍රකාශයක්" කළ යුතු වුනා. මෙය අරාබි බසින් හැඳින්වුනේ "ෂහදා" නමින්.



"අෂ්හදු අල් ලා ඉලාහා ඉල්ලා ලාහ්, වා අෂ්හදු අන්න මුහම්මදුන් රසූලු ල්ලාහ්"
(අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සහ මුහම්මද් අල්ලාහ් ගේ පණිවුඩකරු බවට මම සාක්‍ෂි දරමි)

මේ වාක්‍යය ස්ව කැමැත්තෙන් සහ හඬනගා කීමෙන් කෙනෙක් මුස්ලිම් වරයෙක් බවට පත් වුනා.


ෂහදාවේ අඩංගු වෙන්නේ ඉස්ලාමයේ මූලික කරුණු දෙක​. ඒ දෙවියන් (අල්ලාහ්) තනි දෙවියකු බවත්, වෙනත් දෙවිවරු නොමැති බවත්, මුහම්ම්ද් දෙවියන් ගේ දූතයා බවත්.

මේ ඒක දේව සංකල්පය අරාබීන් ගේ බහු දේව වන්දනාවට කෙලින්ම එදිරිව යන්නක් නිසා මුහම්මද්ට මක්කා වැසියන් ගෙන් විශාල ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න සිදු වුනා.

Sunday, February 16, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 2 (මුහම්මද් තුමා ගේ උපත සහ තරුණ කාලය​)


බැනු කුරෙයිෂ් ගෝත්‍රය​


මුහම්මද් තුමා උපත ලබන්නේ මක්කා නගරයේ ජීවත් වුනු බැනු කුරෙයිෂ් ගෝත්‍රයට අයත් පවුලක​.

බැනු කුරෙයිෂ් ගෝත්‍රය පැවත එන්නේ "කුසේයි ඉබ්න් කිලාබ්" නම් අයෙකුගෙන්. ක්‍රි.ව​. 400 දී පමණ කුසේයි උපත ලබන විට ඔහුගේ ඥාතීන් මක්කා නගරය අවට සංචාරක දිවි පෙවෙතක් ගත කළ එඬේරුන් වශයෙන් ජීවත් වුනා. එවකට මක්කා නගරයේ බලය අත්වී තිබුනේ බැනු කුසා ගෝත්‍රයට​. එම ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු හුලායිල් ඉබ්න් හුබ්‍ෂියියා කාබාවේ භාරකාරයා ලෙස කටයුතු කළා. කුසේයි ඔහුගේ දියණිය වුනු හුබ්බා විවාහ කර ගත්තා.

හුලායිල් ගේ මරණයෙන් පසු ඔහුට පුතුන් නොසිටි බැවින් කාබාවේ භාරකාරත්වය කුසේයි ට හිමි වුනා. ඔහු තම ඥාතීන් මක්කා නගරයේ පදිංචි කළා. ක්‍රමයෙන් ඔවුන් මක්කා නගරයේ සහ එයට ඇදී ආ වාර්‍ෂික වන්දනා ගමන වටා වුනු වෙළඳාම තමන් අතට ගත්තා. මේ වෙළඳාම මගින් ඔවුන් ක්‍රමයෙන් ධනයෙන් සහ බලයෙන් වර්ධනය වුනා.

මේ තමයි බැනු කුරෙයිෂ් ගෝත්‍රයේ ආරම්භය​.

බැනු කුරෙයිෂ් ගෝත්‍රය සමන්විත වුනේ වංශ 14 කින්.

1. බැනු අල්-හරිත්
2. බැනු අමීර්
3. බැනු ආදි
4. බැනු තයිම්
5. බැනු සහ්ම්
6. බැනු ජුමාහ්
7. බැනු මක්සුම්
8. බැනු සුහ්.රා
9. බැනු අබ්ද් අල්-දාර්
10. බැනු උමයියා
11. බැනු නව්ෆාල්
12. බැනු හෂීම්
13. බැනු මුත්තාලිබ්
14. බැනු අසාද්

මේ වංශයන් අතරින් ධනවත්ම සහ බලවත්ම වංශය වුනේ බැනු උමයියා වංශ සහ බැනු මක්සුම් වංශ​​. නමුත් කාබාවේ භාරකාරත්වය සහ වන් දනාකරුවන්ට වතුර සැපයීමේ වගකීම හිමි වුනේ බැනු හෂීම් වංශයට​.


බැනු හෂීම් වංශය​


බැනු හෂීම් වංශයේ පූර්වජයා වෙන්නේ ක්‍රි.ව​. 464 දී උපත ලැබූ "හෂීම් ඉබ්න් අබ්ද් මනාෆ්". ඔහුට පුතුන් දෙදෙනෙක් හිටියා. ඔහුට කාබාවේ සහ කාබාවට පැමිණෙන වන්දනා කරුවන් සමඟ කළ වෙළඳාම භාර වුනා. හෂීම් ට පුතු දෙදෙනෙක් හිටියා. ඒ අසාද් සහ අබ්ද් අල්-මුත්තාලිබ්.

අබ්ද් අල්-මුත්තාලිබ් කුඩා කලම ඔහුගේ පියා මිය ගියා. ඔහු හැදී වැඩුනේ ඔහුගේ පියාගේ බාල සොහොයුරා වූ මුත්තාලිබ් ළඟ​. මේ නිසා ඔහුට "මුත්තාලිබ් ගේ සේවකයා" යන අරුත ඇති "අබ්ද් අල්-මුත්තාලිබ්" යන නම පට බැඳුනා.

හෂීම් ගෙන් පසු බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ මුත්තාලිබ්. මුත්තාලිබ් මිය ගිය පසු අබ්ද් අල්-මුත්තාලිබ් ඒ තනතුරට පත් වුනා. ඒ එක්කම ඔහුට කාබාවේ සහ කාබාව ආශ්‍රිත වෙළඳාමේ භාරකාරත්වයත් හිමි වුනා. නමුත් බැනු උමයියා වංශයේ ප්‍රධානියා වුනු හාර්බ් ඉබ්න් උමයියා මේ අයිතිය වෙනුවෙන් ඔහු සමඟ තරග වැදුනා. නමුත් අවසානයේ කාබාවේ භාරකාරත්වය රැක ගන්න අබ්ද් අල්-මුත්තාලිබ් සමත් වුනා.

අබ්ද් අල්-මුත්තාලිබ් මක්කාවේ වැසියන් අතර ඉමහත් ගෞරවයක් අත් කරගත් අයෙක්.

අබ්ද් අල්-මුත්තාලිබ් ට බිරියන් හය දෙනෙක් හිටියා. මේ බිරියන්ට දාව ඔහුට පුතුන් දොළොස් දෙනෙක් සහ දියණියන් හය දෙනෙක් හිටියා.

1. ෂුම්.රා : අල්-හාරිත්
2. ෆාතිමා : අල්-සුබායිර්, අබු තාලිබ්, අබ්ද්-අල්ලාහ්, උම් හකීම්, බර්.රා, අර්වා, අටිකා, උමමා
3. ලුබ්නා : අබ්ද් අල්-උස්සා
4. හලා : හම්සා, සෆියා, අබ්ද් අල්-කාබා, අල්-මුගීරා
5. නටිලා : අල්-අබ්බාස්, ඩිරාර්, කුතුම්
6. මුමන්නා : මුසාබ්

අබ්ද්-අල් මුත්තාලිබ් ගේ පුතෙක් වුනු අබ්ද්-අල්ලාහ් ඉපදුනේ ක්‍රි.ව​. 546 දී. ඔහු විවාහ වුනේ බැනු සුහ්.රා වංශයේ අමීනා බින්ට් වහාබ් සමඟ​. ක්‍රි.ව​. 570 දී ඔහු වෙළඳ තවලමක් සමඟ සිරියාව බලා ගියා. නමුත් අතරමගදී තදින් රෝගාතුර වුනු ඔහු නැවත මක්කාවට එන්න පෙර අතරමගදී මිය ගියා.

 අබ්ද්-අල්ලාහ් මිය යාමෙන් මාස හයකට පසු අමීනා ට පුතෙක් ඉපදුනා. ඔහුගේ නම මුහම්මද්.


අලියා ගේ වසර​


මුහම්මද් උපත ලැබූ ක්‍රි.ව​. 570 වසරේ මක්කා නගරයේ ඉතාමත් වැදගත් සිදුවීමක් සිදුවුනා.

මේ කාලයේ ඉතියෝපියාවේ "අක්සුම් රාජධාණිය​" නම් ඕතඩොක්ස් ක්‍රිස්තියානි රාජ්‍යයක් තිබුනා. යෙමනයේ ක්‍රිස්තියානින්ට සිදුවුනු පීඩාවන් හෙන් ඔවුන් බේරා ගැනීමේ අරමුණෙන් අක්සුම් රජවරු ක්‍රි.ව​. 523 දී යෙමනය යටත් කර ගත්තා. මේ සඳහා ඔවුන්ට බයිසැන්ටයින් රාජධාණියේ සහය ලැබුණා.

අක්සුම් රාජධාණිය

මේ කාලයේදී අරාබි ජාතිකයන් අතර ප්‍රධානම වන්දනා ගමන වුනේ මක්කා නගරයට සිදු කළ වන්දනා ගමන​. යෙමනයේ සනා නගරයටත් වාර්‍ෂික වන්දනා ගමනක් පැවැත්වුනා.  යෙමනයේ අක්සුම් ආණ්ඩුකාරවරයා වුනු "ආබ්‍රහා" ට අවශ්‍ය වුනා සනා වන්දනා ගමන ප්‍රධාන වන්දනා ගමන බවට පත් කිරීමට​. ඒ අරමුණෙන් ඔහු සනා නගරයේ අල්-කුලයිස් නමින් විශාල සහ අලංකාර ක්‍රිස්තියානි දෙව් මැදුරක් ඉඳි කළා. නමුත් මක්කා නගරයේ සිට සනා නගරයට පැමිණ සිටි වෙළඳුන් පිරිසක් මේ දෙව් මැදුර ඇතුලත මූත්‍රා කිරීමෙන් සහ මළපහ කිරීමෙන් එය අපහාසයට ලක් කළා.

මේ සිදුවීමෙන් කෝප වුනු ආබ්‍රහා මක්කා නගරය ආක්‍රමනය කළා. මේ සඳහා ඔහු 40,000 ක විශාල හමුදාවක් සමඟ මක්කා නගරයට ගියා. මේ හමුදාවට යුධ ඇතෙක්ද ඇතුලත් වුනා  (සමහර වාර්තා අනුව ඇතුන් අට දෙනෙක්). ඔහු මුලින්ම මක්කා නගරයට පණිවුඩයක් යැව්වා ඔහු බලාපොරොත්තු වන්නේ කාබාව විනාශ කිරීමට පමණක් බවත්, නමුත් මක්කා නගර වැසියන් ඔහුට එරෙහි වුනොත් මුළු නගරයම විනාශ කරන බවත් දන්වා.

මක්කා නගරය වෙනුවෙන් අබ්‍රහා සමඟ සාකච්ඡා කිරීම පැවරෙන්නේ කාබාවේ භාරකරු වුනු අබ්ද් අල්-මුත්තාලිබ් ට​. ඔහු සාකච්ඡාව අවසානයේ "මේ පූජ්‍යස්ථානයේ හිමි කරු එහි ආරක්‍ෂකයා. ඔහු එය සතුරන් ගෙන් බේරාගනීවි" ලෙස පවසා නැගිට ගියා.

අබ්‍රහා ගේ දැවැන්ත හමුදාව සහ යුධ ඇතා දකින මක්කා නගර වැසියන් අවට කඳු වලට පලා ගියා. අබ්‍රහා යුධ ඇතා යොදාගෙන කාබාවට පහර දුන්නා. ඉස්ලාමීය පුරාවෘතයන්ට අනුව ඒ මොහොතේදී "අබදිල්" නමින් හැඳින්වෙන කුරුළු රංචුවක් කාබාවට ඉහල අහස වසා ගත්තා. ඒ කුරුල්ලන් විසින් යුධ ඇතාට සහ ආබ්‍රහ ගේ හමුදාවට ගල් වලින් පහර දුන්නා. බිය වෙන හමුදාව පලා ගියා.

ආබ්‍රහ ගේ හමුදාව කාබාවට පහර දීම​
සමහර විට අවට කඳු වලට පළා ගිය මක්කා නාගරිකයන් උස් කඳු වල සිට සතුරු හමුදාවට ගල් වලින් පහර දෙන්න ඇති.

මේ සිද්ධිය නිසා අරාබි ඉතිහාසයේ ක්‍රි.ව​. 570 හැඳින්වෙන්නේ "අලියා ගේ වසර​" නමින්. සමහර නූතන ඉතිහාසඥයන් මේ සිදුවීම සිදු වුනු වසර විදිහට සලකන්නේ ක්‍රි.ව​. 550 හෝ ඒ ආසන්න අවුරුද්දක්.

ක්‍රි.ව​. 575 දී පර්සියානු අධිරාජ්‍යයේ උදව්වෙන් අරාබීන් විසින් මක්සූම් අධිරාජ්‍යයාගේ හමුදාවන් යෙමනයෙන් සම්පූර්නයෙන්ම පළවා හැරියා.

මුහම්මද් ගේ ළමා කාලය​


මුහම්මද් උපත ලබන්නේ ක්‍රි.ව​. 570 දී. අබ්ද්-අල්ලාහ් මිය ගිය නිසා අමීනා සහ ළදරු මුහම්ම්ද් අබ්ද් අල්-මුත්තාලිබ් ගේ භාරකාරත්වය යටතට පත් වුනා.

මුහම්මද් ට වයස හයක් වන විට ඔහුගේ මව අමීනාත් මිය ගියා. එතැන් සිට ඔහුව සම්පූර්නයෙන්ම රැක බලා ගන්නේ ඔහුගේ සීයා වන අබ්ද් අල්-මුත්තාලිබ්. නමුත් මුහම්මද්ට වයස අවුරුදු අටේදී අබ්ද් අල්-මුත්තාලිබ් මිය ගියා.

ඉන්පසුව ඔහුව හදා වඩා ගන්නේ ඔහුගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු තාලිබ් විසින්. අබු තාලිබ් අබ්ද් අල්-මුත්තාලිබ් ගේ පුතුන් අතරින් දෙවැනි වැඩිමලා. ඒ වගේම අබ්ද් අල්-මුත්තාලිබ් ගෙන් පසුව කාබාවේ භාරකාර තනතුර සහ බැනු හෂීම් වංශයේ ප්‍රධානත්වය දැරුවේ ඔහු.

මේ වන විට බැනු හෂීම් වංශය ධනයෙන් සහ බලයෙන් පිරිහිලා තිබුනා. අබු තාලිබ්ට දරුවන් අට දෙනෙක් සිටියා. මුහම්මද් සහ ඔහුගේ දරුවන් අට දෙනා හදා වඩා ගැනීමට අබු තාලිබ්ට විශාල උත්සහයක් දරන්න සිදු වුනා. මේ නිසා මුහම්මද් ගේ ළමා කාලය ගෙවුනේ ඉතා දුප්පත් පරිසරයක​.

අබු තාලිබ් සිරියාව දක්වා කළ වෙළඳ ගමන් වලදී මුහම්මද් කැටුව ගියා. මේ ගමන් වලදී අවට ලෝකය ගැන සහ වෙළඳාම ගැන හොඳ අවබෝධයක් ලබන්න මුහම්මද්ට හැකි වුනා. ඒ වගේම දක්‍ෂ කවියෙක් ලෙස නම් දරා උන් අබු තාලිබ් ගේ ඇසුරෙන් මුහම්මද්ට කවීත්වය පිළිබඳ හොඳ දැණුමක් ලැබුනා.

සිරියාව දක්වා කළ එක් වෙළඳ ගමනකදී අබු තාලිබ්ට සහ මුහම්මද්ට හුදෙකලාව කල් ගෙවූ ක්‍රිස්තියානි පූජකයෙක් හමු වුනා. ළමා මුහම්මද් දුටු මේ පූජකයා ඔහු කෙදිනක හෝ දෙවියන් ගේ දූතයෙක් වනු ඇතැයි අනාවැකියක් පළ කළා.


මුහම්මද් ගේ තරුණ විය​


තරුණ වියට එළැඹුනු මුහම්ම්ද් වෙළෙන්දෙකු ලෙස ජීවිකාව කරගෙන ගියා. මක්කා නගර වැසියන් අතර ඔහු ප්‍රසිද්ධ වුනේ අවංක​, ඍජු සහ සත්‍ය ගරුක තරුණයෙක් විදිහට​. මේ නිසා ඔහුට "අල්-අමීන්" (විශ්වාසවන්ත​​) සහ "අල්-සදීක්" (සත්‍යගරුක​) යන නම් පටබැඳුනා. මක්කා නගර වැසියන් තමා අතර ඇති වුනු ආරවුල් විසඳීමට මුහම්මද් සොයා ආවා. ඒ ඔහුගේ බුද්ධිමත් බව සහ අපක්‍ෂපාතීබව නිසා.

එවැනි එක සිද්ධියක් කාබාවේ අළුත්වැඩියා කිරීමක් අරබයා ඇති වුනා. කාබාව අළුත්වැඩියා කිරීම සඳහා එහි තිබූ දේව රූප තාවකාලිකව ඉන් අවත් කෙරුණු අතර​, අළුත්වැඩියාවෙන් පසු නැවත ඒවා තැන්පත් කෙරුනා. නමුත් වඩාත්ම වැදගත් සහ වඩාත්ම පූජනීය වූ කළු පාෂාණය නැවත තැන්පත් කිරීමේ ගෞරවය ලබා ගැනීමට වංශ කීපයක් ම ඉදිරිපත් වුනා. ඔවුන් අතර ඇති වුනු ආරවුන විසඳා ගැනීමට අපොහොසත් වූ නිසා ඔවුන් තීරණයක් ලබා දීම මුහම්මද්ට බාර කළා. මුහම්ම්ද් ප්‍රශ්නය නිරාකරණය කළේ විශාල රෙදි කඩක් රැගෙන කළු පාෂාණය එහි මැද තබා සියළුම වංශ වලින් එක් අයෙකු බැගින් රෙදි කඩේ කොන් වලින් අල්ලාගෙන කළු පාෂාණය කාබාව තුලට රැගෙන යන ලෙසට යෝජනා කිරීමෙන්. ඒ මගින් සියළුම වංශ වලට ඔවුන් බලාපොරොත්තු වුනු ගෞරවය ලබා ගැනීමට හැකි වුනා. මේ සිද්ධියෙන් පසු මුහම්මද්ගේ බුද්ධිමත් බව සහ අපක්‍ෂපාතීත්වය මක්කා නගර වැසියන් අතර ප්‍රසිද්ධ වුනා.

කළු පාෂාණය කාබාවේ තැන්පත් කිරීම​
මුහම්මද් කටයුතු කළේ යෙමනය සහ සිරියාව අතර වෙළඳාමේ යෙදුනු තවලම් වල භාරකරුවෙක් විදිහට​. ධනවත් වෙළඳුන් මේ කාන්තාරය හරහා කෙරුණු දුෂ්කර වෙළඳගමන් වල තමාම යෙදෙනු වෙනුවට භාරකරුවන් ඒ සඳහා පත් කළා. මුහම්මද් ගේ අවංක භාවය නිසා ඔහු බොහෝ වෙළඳ තවලම් වල භාරකරු විදිහට කටයුතු කළා. මේ මගින් තරමක ධනයක් උපයා ගැනීමට ඔහුට හැකි වුනා.

මුහම්මද් යටතේ තමාගේ තවලම් භාර කළ එක් ධනවත් වෙළෙන්දෙක් වුනේ කදීජා බින්ට් කුවයිලිඩ් නම් ධනවත් කාන්තාවක්.


කදීජා


කදීජා බින්ට් කුවයිලිඩ් එවකට මක්කා නගරයේ සිටි ධනවත්ම වෙළෙන්දෙක්. ඇයගේ ජීවිතයේ මුල් කාලය පිළිබඳ එකිනෙකට පරස්පර විස්තර රැසක් තියෙනවා. ඒ නිසා ඒ ගැන පැහැදිලි චිත්‍රයක් නෑ.

සමහර වාර්තාවන්ට අනුව ඇය ඒ වන විට දෙවරක් විවාහ වෙලා, ඒ සැමියන් දෙදෙනාම මිය ගිහින්. සමහර වාර්තාවන්ට අනුව ඇය ඒ වෙද්දි විවාහ වෙලා හිටියෙ නෑ. සමහර වාර්තා වලට අනුව කලින් විවාහ වලින් ඇයට දරුවන් තුන් දෙනෙක් හිටියා. සමහර වාර්තා වලට අනුව ඒ ඇගේ සොයුරියගේ දරුවන්. සමහර වාර්තා වලට අනුව ඇය ඒ වෙද්දි 28 හැවිරිදියි. සමහර වාර්තා වලට අනුව 40 හැවිරිදියි.

ඇය ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වූ නිසා ඇගේ වයස 28 ට වඩා 40 ට ළං වුනු බවත්, වයස 40 වන තුරු අවිවාහකව සිටීම අසාමාන්‍යය නිසා ඇය කලින් විවාහ වී සිටි බවත් අනුමාන කරන්න පුළුවන්.

ඇගේ ඥාති සොහොයුරා නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයෙක්. ඇගේ ආගම පිළිබඳ පැහැදිලි තොරතුරක් නැතත්, බොහෝ අරාබීන් මෙන් ඇයත් බහු දේව ඇදහිලි වල යෙදුනු බව අනුමාන කරන්න පුළුවන්. සමහර විට ඇගේ ඥාති සොහොයුරා මෙන් ඇයත් ක්‍රිස්තියානි ආගම ඇදහුවා වෙන්නත් පුළුවන්.

කෙසේ නමුත් තමාගේ තවලම් භාරව කටයුතු කළ බුද්ධිමත් සහ අවංක තරුණයා පිළිබඳ පැහැදුනු කදීජා ඔහුව විවාහ කරගත්තා. ඒ ක්‍රි.ව​. 595 දී. එතකොට මුහම්මද්ට වයස අවුරුදු 25 යි.

මුහම්මද් සහ කදීජා ගේ විවාහය​
කදීජා සහ මුහම්මද්ට දරුවන් කීප දෙනෙක් සිටියා. ඔවුන් ගේ පළමුව් පුතා වුනේ කාසීම් (මේ නිසා මුහම්මද්ට "අබු කාසීම්" යන පටබැඳි නාමය ලැබුනා). කාසීම් දෙහැවිරිදි වියේදී මිය ගියා. ඉන්පසු ඔවුන්ට දූවරු හතර දෙනෙක් ලැබුනා. ඒ සයිනාබ්, රකයියා, උම් කුතුම් සහ ෆාතිමා. අවසානයේ ලැබුනු අබ්ද්-අල්ලාහ් නම් පුතා ද ළදරු වියේදී මිය ගියා.

සමහර වාර්තා වලට අනුව දූවරු හතර දෙනාගෙන් මුහම්මද්ට දාව ලැබුනේ ෆාතිමා පමණයි. අනෙක් තිදෙනා කදීජා ගේ පෙර විවාහ වල දරුවන් හෝ ඇගේ සොයුරියන් ගේ දරුවන්. ඇගේ වයස පිළිබඳව සිතා බලද්දී එහි කිසියම් සත්‍යතාවයක් ඇති බව හිතන්න පුළුවන්.

මේ දරුවන්ට අමතරව තවත් පිරිමි ළමුන් දෙදෙනෙක් ඔවුන් ළඟ හැදී වැඩුනා. එක් අයෙක් කළක් කදීජා ගේ මෙහෙකාරයෙක් ලෙස කටයුතු කළ සයීද්. පසුව කදීජා ඇය පුතෙක් ලෙස හදා වඩා ගත්තා. අනෙකා මුහම්මද් ගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු තාලිබ් ගේ පුතා වුනු අලී.


අලී ඉබ්න් අබු තාලිබ්


මේ වන විට බැනු හෂීම් වංශයේ ප්‍රධානියා විදිහට කටයුතු කළේ අබු තාලිබ්. නමුත් ඔහු ධනවත් කමින් පිරිහිලා සිටි නිසා මුහම්මද් ඔහුගේ බාලම පුතා වුනු අලී ඉබ්න් අබු තාලිබ් තමා ඇසුරේ හදා වඩා ගත්තා. නෑ කමින් අලී මුහම්මද් ගේ ඥාති සොහොයුරා වුනත්, තමාට වඩා වයසින් අවුරුදු 30 ක් බාල වුනු අලීට මුහම්මද් සැලකුවේ තමාගේ පුතා විදිහට.

පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසයේ දෙවැනියට වැදගත්ම පුද්ගලයා වෙන්නේ අලී ඉබ්න් අබු තාලිබ්.



ක්‍රි.ව​. 610 වන විට මුහම්මද් ගේ වයස අවුරුදු 40 යි. ඔහු සෑහෙන තරම් ධනයක් සහ කීර්තියක් අත් කරගෙන සිටි මක්කා නගරයේ වැදගත් පුද්ගලයෙක්. ඔහුගේ සහ කදීජා ගේ විවාහය ප්‍රීතිමත් එකක්.

නමුත් ඒ සියල්ල වෙනස් කරන සිදු වීමක් සිදු වුනා.