Tuesday, September 13, 2016

නිරාගමික තුමා සහ සොහොන​



උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.

ඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.

එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව එකෙක් සොහොන ඉස්මත්තෙ තියෙන කුරුසෙ දෙබල උඩ වාඩි වෙලා සොහොනෙ මූණ තියෙන හරියට ගූ වැටෙන විදිහට රෙනවා. අනිත් එකා රීල ඉවර වෙලා නැගිටලා සොහොන් කොතේ නම තියෙන හරිය තෙමෙන්න හුජ්ජ කරනවා.

නිරාගමික තුමා යක්‍ෂාවේස වුනා.

"තොපි මොකද යකෝ ඔය කරන්නෙ? තොපිට දෙයියන් ගෙ හාල් කැවිලද?"

කොළු ගැටව් තුන් දෙනා ගැස්සිල ගියා. අර බීඩියක් ගහ ගහ හිටපු එකා ඉඳගෙන ඉන්න ගමන් ම පොඩි හිනාවක් එහෙම දාල "උදේම හන්දියෙ කඩෙන් බිත්තර කොත්තු තුනක් කෑව අයියා. බඩ පොඩ්ඩක් අවුල් වගේ. ආයෙ ගෙදර දුවන්න වෙලාවක් නෑ. එහෙම්මම මෙතන වැඩේට සෙට් වුනා. වටේටම කැලේනෙ අයියා, මෙතන තමයි පොඩ්ඩක් එළිමහන තියෙන්නෙ. කැලේ රෙන්න ගිහිං පුකට කූඩැල්ලෙක් එහෙම ගියොත් සුනාමි කේස් නෙ" කිව්වා.

"යකෝ මේ මගේ තාත්ත ගෙ සොහොන"

"ඉතිං අපිට පුකෙයි? ඒ ඔයාගෙ තාත්ත වුනාට අපේ තාත්ත නෙවෙයි නෙ. අපිට පොර නිකම්ම නිකං ඕල්ඩ් මෑන්ස් කෙනෙක් විතරයි"

"යකුනේ තොපි ඔය රෙන්නෙ මගේ තාත්ත ගෙ මිනිය උඩට"

"ඉතින් බොස් තාත්තට අවුලක් නෑනෙ අපි රිව්ව කියල. පොර දැන් නෑනෙ? අපි පොර ජීවත් වෙල ඉද්දි පොර ගෙ කටට රෙන්න ආවෙ නෑනෙ?"

"ඒ වුනාට ඔතන මගේ තාත්ත....."

"පිස්සුද දොරේ? ඔතන ඇති තාත්තෙක් නෑ. ඔතන තියෙන්නෙ ඇටකටු ටිකක් විතරයි"

දෙබල උඩ වාඩි වෙලා රිරී හිටපු එකා දෙබලෙන් බැහැල නිරාගමික තුමා ළඟට ආව.

"නිකං මෙතන පිස්සු කෙලින්න එපා ලොක්කා. ඔයා නිකං මෙතන ඇටකටු ටිකක් වල දාගෙන ඒවට පහන් පත්තු කරනවා. ඒ වගේද අපේ සරමෙ රෙවුන නං? මේක මානුෂීය අවශ්‍යතාවයක්"

"අනිත් එක ඔයාට ෂුවර් ද ඔය මෙතන වල දාල ඉන්නෙ ඔයාගෙම තාත්තද කියල?" සොහොන් කොතට හුජ්ජ කර කර හිටපු එකා දෙපාරක් ගස්සල ඇතුළට දාගන්න ගමන් ඇහුව. "කොහෙද ඉතින් ඔයා ඕකට ඩී.එන්.ඒ. ටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑනෙ"

"වල් පරයෝ මගේ තාත්තට අපහාස කරන්න මම තොපිට ඉඩ තියන්නෙ නෑ"

"ලොක්කා නිකං ගෝත්‍රික ටෝක් දෙන්න එපා. ඒ ඔයාගෙ තාත්ට වුනාත අපේ තාත්ත නෙවෙයි. ඔයාගෙ ගරු කිරීම ඔයා තියාගන්න. ඔයා කියන්නෙ අපිට සරමෙ රෙන්න කියලද?"

"ඒ වුනාට *ත්තිගෙ පුතෝ මේක මගේ ඉඩම. තොපි කොහොමද මේක අස්සෙ රෙන්නෙ?"

"පිස්සුද ඕයි මේක බෙදා වෙන් කල පස් ගොඩක්"

ගබ්සාව ගැන​


ගබ්සාව පිළිබඳ මගේ මතය මේ වගේ.

පහත සඳහන් අවස්ථා වලදී වෛද්‍ය නිර්දේශයක් මත ගබ්සාව නීත්‍යානුකූල සහ රජයේ වියදමින් සිදු කළ යුතුයි.

1. මවගේ ජීවිතයට තර්ජනයක් වන විට
2. කළලය ඉතා දරුණු ආබාධයකින් පෙළෙන විට
3. දූෂනයකින් වන ගැබ් ගැනීමකදී

අනික් අවස්ථා වලදී ගබ්සාව අධිකරනයේ විශේෂ අනුමැතියකින් සහ කළලයේ වයස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද කාල සීමාවක් ඉක්මවා නොමැති විට මව්පියන් ගේ වියදමින් සිදු කිරීමට අවසර දිය යුතුයි. එහිදී අවසර දීම සඳහා පහත කරුණු (පමණක් නොවේ) සලකා බැලිය හැකියි.

1. හදිසියේ ඇති වූ තත්වයක් නිසා දරුවා නිසි පරිදි නඩත්තු කිරීමේ ආර්ථික (හෝ වෙනත්) හැකියාව දෙමාපියන්ට අහිමි වීම.
2. ගැබ් ගැනීමෙන් පසු දෙමාපියන් දික්කසාද වීම.
3. ගැබ් ගැනීමෙන් පසු මව දීර්ඝ කාලයකට සිරගත වීම සහ දරුවා නඩත්තු කිරීමට වෙනත් භාරකරුවෙක් නොමැති අවස්ථාවකදී.
4. මවගේ මානසික මට්ටම දරුවෙක් නඩත්තු කිරීමට සුදුසු තත්වයක නොතිබීම සහ දරුවා නඩත්තු කිරීමට වෙනත් භාරකරුවෙක් නොමැති අවස්ථාවකදී.
5. එට්සෙක්ට්‍රා....

අනෙකුත් සියළුම අවස්ථාවන් හිදී ගබ්සාව නීති විරෝධී වන අතර, ගබ්සාවක් සිදු කරන අවස්ථාවකදී මව සහ ගබ්සාව සිදු කරන තැනැත්තා දැඩි දඬුවම් වලට ලක් කල යුතුයි.

ගබ්සාව යනු උපත් පාලන ක්‍රමයක් නෙවෙයි.

කොන්ඩම් පැකට් එකක් සුළු මුදලකට ඕනෑම ෆාමසියකින් ලබා ගන්න​ පුළුවන්.

Sunday, August 21, 2016

හයිකු කවි - 3 (හයිකු කවියේ නීති)



ඔන් හෙවත් මාත්‍රා

මෙයින් සාකච්ඡා කෙරෙන්නෙ හයිකු කවියේ දෙවැනි නීතිය පිළිබඳවයි. ඒ කවියේ මාත්‍රා ගණනයි. මෙය හයිකු කවි පිළිබඳ නීති වලින් වඩාත්ම ප්රසිද්ධ නීතියයි.

මාත්‍රාවක් යනු වචනයක් උච්ඡාරනය කරන විට ඇති වන ශබ්ධයකි. මෙය ජපන් බසින් "ඔන්" යන නමින් හැඳින්වේ.

උදාහරණයකට, "රත්නපුර" යන වචනයේ මාත්‍රා 5 කි. ඒ "ර.ත්.න.පු.ර" ලෙසිනි. හල් අකුරක් ද මාත්‍රාවක් ලෙස සැලකේ.

දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකක් ලෙස සැලකිය යුතුය. උදාහරණයකට "කුරුණෑගල" යන වචනයේ මාත්‍රා 6 කි. ඒ "කු.රු.ණෑ(2).ග.ල" ලෙසිනි.

හයිකුවක ආකෘතිය


හයිකුවක් හැම විටම පද තුනකින් සමන්විත වේ. ඒ ඒ පදයට තිබිය යුතු මාත්‍රා ගණන නියම කොට ඇත.

පළමු පදය - ඔන් 5 යි
දෙවන පදය - ඔන් 7 යි
තෙවන පදය - ඔන් 5 යි

ජපන් හිරගනා හෝඩියෙන් අකුරු ලිවීමේදී හැම විටම එක් මාත්‍රාවකට එක අකුරක් බැගින් යෙදෙන නිසා ජපන් බසින් හයිකු ලිවීමේදී මාත්‍රා ගණන් කිරීම ඉතා පහසු වේ.

සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ කලාතුරකින් මේ ඔන් 5-7-5 ආකෘතිය වෙනස් කොට 6-7-5 හෝ 5-7-6 ලෙස ලියන අවස්ථා ද ඇති බවයි. නමුත් මාත්‍රා ගණන බොහෝ වැඩි වන ලෙස හයිකු ලිවීම නොකළ යුතුය.

පළමු පදය සහ තෙවන පදයට වඩා දෙවෙනි පදයේ මාත්‍රා ගණන වැඩි වුවත්, හයිකුව හඬ නගා කියැවීමේදී පද තුනටම වැය කළ යුත්තේ සමාන කාලයකි. එබැවින් දෙවෙනි පදය කියවීමේදී අනෙක් පද දෙකට වඩා තරමක් ඉක්මනින් කියැවිය යුතුය.

උදාහරණයකට මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණ" හයිකුව ගමු.

ෆුරුයිකෙ යා
කවසු තොබිකොමු
මිසු නො ඔතෝ

පළමු පදය - ඔන් 5 යි ( ෆු.රු.යි.කෙ.යා )
දෙවන පදය - ඔන් 7 යි ( ක.වා.සු.තො.බි.කො.මු )
තෙවන පදය - ඔන් 5 යි (මි.සු.නො.ඔ.තෝ)

(මෙහි "යා", "වා" සහ "තෝ" සඳහා මාත්‍රා දෙක බැගින් යොදා නැත්තේ, ඒවා ලිවීමේදී දීර්ඝ අක්ෂර ලෙස ලියුවද, ජපන් බසින් උච්චාරනයේදී කෙටි අක්ෂර ලෙස උච්චාරනය කරන බැවිනි. ජපන් බසේ දීර්ඝ අක්ෂර යෙදෙන්නේ කලාතුරකිනි).



සිංහල හයිකුවක මාත්‍රා

සාමාන්යයෙන් ජපන් වචන සිංහල වචන වලට වඩා තරමක් කෙටි වේ. මාත්‍රා දෙකේ සහ තුනේ වචන සිංහලයේ යෙදෙන්නේ කලාතුරකින් වුවද ජපන් බසේ ඒවා ඉතාමත් බහුලව යෙදේ. ඒ නිසා ජපන් බසින් කතා කිරීමේදී අඩු මාත්‍රා ගණනකින් වැඩි අදහස් ප්රමානයක් ඉදිරිපත් කළ හැක.

මේ නිසා සිංහලෙන් හයිකු ලිවීමේදී 5-7-5 ආකෘතිය අනුව යාම අපහසු වනවා සේම, භාෂාමය අතින් සාවද්‍යය​ වේ.

මගේ අත්දැකීම අනුව සිංහලෙන් හයිකු ලිවීමේදී 6-8-6 හෝ 6-7-6 හෝ 6-6-6 වැනි ආකෘතියක් යොදා ගැනීම වඩා සුදුසු වේ.

මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණේ" පහත සිංහල පරිවර්තනය බලමු.

පැරණි පොකුණ;
ගෙඹි පිනුමක්
වතුරේ හඬ

පළමු පදය - මාත්‍රා 6 යි ( පැ.ර.ණි.පො.කු.ණ )
දෙවන පදය - මාත්‍රා 6 යි (ගෙ.ඹි.පි.නු.ම.ක් )
තෙවන පදය - මාත්‍රා 6 යි ( ව.තු.රේ(2).හ.ඬ )

ඉංග්රීසි හයිකුවක මාත්රා


ඉංග්රීසි බසේ "මාත්‍රා" යන සංකල්පය වෙනුවට යෙදෙන්නේ syllable සංකල්පයයි. syllable එකක් යනු පණකුරකි (vowel).

උදාහරණයකට Japan යන වචනයේ මාත්‍රා 4 ක් ( ජැ.පෑ(2).න් ) තිබුනද, syllable ඇත්තේ 2 (a.a) ක් පමණකි.

එම නිසා syllable 5-7-5 ආකෘතියට ඉංග්රීසි හයිකු ලියුවොත්, ඉතා දීර්ඝ පද යොදා ගැනීමට සිදුවෙන අතර එය හයිකුවේ මූලික පරමාර්ථයට හානි කරය.

එම නිසා බොහෝ ඉංග්රීසි කවියෝ හයිකු ලිවීමේදී 4-5-4 ආකෘතියක් යොදා ගනිති.

මගේ අදහස නම් syllable සංකල්පය සම්පූර්නයෙන්ම ඉවත ලා මාත්‍රා සංකල්පය යොදා ගැනීම වඩා උචිත බවයි.

උදාහරණයකට මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණේ" පහත ඉංග්රීසි පරිවර්තනය බලමු.

Old pond;
A frog jumps in
Sound of water

පළමු පදය - මාත්‍රා 5 යි (o(2).ld.po.nd)
දෙවන පදය - මාත්‍රා 8 යි (a.fro.g.ju.mp.s.i.n)
තෙවන පදය - මාත්‍රා 8 යි (so.u.nd.o.f.wa(2).te) - r is silent

(සැලකිය යුතු කරුණක් වන්නේ ඉංග්රීසි මාත්‍රා ගණන් කිරීමේදී එක ළඟ හල් අකුරු දෙකක් යෙදෙන අවස්ථා වල එය එක මාත්‍රාවක් ලෙස සැලකිය යුතු වීමයි).



අවසාන වශයෙන් සාරාංශ ගත කිරීමේදී, ජපන් හයිකු ලිවීමේදී 5-7-5 ආකෘතිය ස්ථාපිත සම්ප්රදායක් වන අතර, ඉංග්රීසි හෝ සිංහල හයිකු පිළිබඳ එවන් ස්ථාපිත සම්ප්රදායක් නැත. බොහෝ කවියන් තම අත්දැකීම අනුව සුදුසු යැයි හැඟෙන ආකෘති භාවිතා කරති.

කෙසේ නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ආකෘතිය කුමක් වුවත් එය හයිකුවේ ජීව ගුණය සහ මූලික පරමාර්ථය හානි නොකළ යුතු බවයි.

හයිකු කවි - 2 (හයිකු කවියේ නීති)


කිගෝ හෙවත් සෘතු වදන

හයිකු කවියේ නීති තුනක් ගැන කලින් කියැවිනි. එම නීති තුනෙන් කිගෝ හෙවත් සෘතු වදන ගැන සවිස්තරාත්මකව බලමු.

හයිකු කවියකට හැමවිටම පාදක වන්නේ එක් තනි සිද්ධියකි. එම සිද්ධිය සිදුවන කාලය ගැන ඉඟියක් ලබා දීම සෘතු වදනේ අරමුණයි.

උදාහරණයකට මත්සුවෝ බාෂෝ විසින් රචිත පැරණි පොකුන ගනිමු.

ෆුරුයිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො ඔතෝ

පැරණි පොකුන;
ගෙඹි පිනුමක්
වතුරේ හඬ

Old pond;
A frog jumps in
Sound of water


මෙහිදී ගෙම්බා (කවාසු) යන වචනයෙන් වසන්ත කාලය ඇඟවේ. ජපානයේ ගෙම්බන් දැකිය හැකි වන්නේ වසන්ත කාලයටය. එබැවින් ගෙම්බා ගැන කියැවුනු සැනින් හයිකුවට අදාල සිද්ධිය සිදු වන්නේ වසන්ත කාලයේ බව කියැවේ.

සෘතු පිළිබඳ ජපන් සංස්කෘතියේ සංකල්පය වෙනත් සංස්කෘතීන්ට වඩා ඉතා ප්‍රභලය. ඔවුන් ගේ සංස්කෘතික උත්සව පමණක් නොව එදිනෙදා ජීවිතයේ බොහෝ දේ සෘතු සමඟ තදින් බැඳී පවතී. අවුරුද්ද පුරාවටම බොහෝ දුරට සමාන කාලගුණයක් අත් විඳින අපිට පමණක් නොව ජපානයට සමාන සෘතු වෙනසක් අත් විඳින බටහිර රටවල පුද්ගලයන්ටද මෙය තේරුම් ගැනීම තරමක් අපහසුය.

ජපානයේ ප්‍රධාන සෘතු හතරකි

1. හරු හෙවත් වසන්ත (spring) - පෙබරවාරි, මාර්තු, අප්‍රේල්
2. නත්සු හෙවත් ගිම්හාන (summer) - මැයි, ජූනි, ජූලි
3. අකි හෙවත් වස්සාන (autumn) - අගෝස්තු, සැම්තැම්බර්, ඔක්තෝබර්
4. ෆුයු හෙවත් ශීත (winter) - නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි



මේ සෑම ප්‍රධාන සෘතුවක්ම මුල මැද අග ලෙස කොටස් තුනකට බෙදා ඇත. ඒ අනුව වසරේ සෑම මාසයක්ම වෙනම සෘතුවක් ලෙස ජපන් ජාතිකයෝ සලකති. උදාහරණයකට අප්‍රේල් යනු වසන්තයේ අගයි. ජූනි යනු ගිම්හානයේ මැදයි. අගෝස්තු යනු වස්සානයේ මුලයි.

මේ හැම සෘතුවක්ම සහ උප-සෘතුවක්ම අඟවන කිගෝ වචන ජපන් සාහිත්‍යයේ අර්ථ දක්වා ඇත. ඒ වචන අඩංගු දීර්ඝ ලැයිස්තුවක් ජපන් කවියෝ භාවිතා කරති. එය හැඳින් වෙන්නේ "සයිජිකි" නමිනි.

කිගෝ හෙවත් සෘතු වදනේ වැදගත් කම ඇත්තේ හයිකුවට පාදකවන හයිකු මොහොත පිළිබඳ සිතුවිල්ල පාඨකයාට සන්නිවේදනය කිරීමේදීය. එකම සිද්ධියක් ගිම්හාන කාලයේ සිදුවන විට දැනෙන හැඟීම ශීත කාලයේ සිදුවන විට දැනෙන හැඟීමෙන් වෙනස් වේ.

නිවැරදි කිගෝව භාවිතා කිරීම මඟින් හයිකුවට අදාල සිදුවීම සිදුවන සෘතුව, මාසය පමණක් නොව සමහර විට දිනය පවා ඇඟවීමට හයිකු කවියෙකුට හැක.

සිංහල සංස්කෘතියේ එන සෘතු වදන්

ජපන් සංස්කෘතියේ තරම් ප්‍රභල නොවුවද සිංහල සංස්කෘතියේද සෘතු වදන් දැකිය හැක.

උදාහරණ :
එරබදු මල් - අප්‍රේල් මාසය
මැයි මල් - මැයි මාසය
බිනර මල් - සැප්තැම්බර් මාසය
අකුණු - අප්‍රේල් මාසය
කොහා - අප්‍රේල් මාසය
සරුංගල් - දෙසැම්බර් මාසය

හයිකු කවි - 1 (හැඳින්වීම​)


හයිකු යනු ජපන් පද්‍යය සම්ප්‍රදායකි. එය ඊටම සුවිශේෂී වූ නීති රීති කීපයකින් හයිකු කවි නිර්වචනය වී තිබේ.

හයිකුවක ප්‍රධාන ලක්‍ෂනය වන්නේ එහි කෙටි බවයි. හයිකුවක් වචන කීපයකට සීමා වේ.

හයිකු කවියේ ඉතිහාසය.

කවි ගණනාවකින් සමන්විත ජපන් කවි පන්තියක් හැඳින්වෙන්නේ "රෙංගා" හෝ "රෙංකු" යන නමිනි. රෙංකු කවි පන්තියක පළමු කවිය හැඳින්වුනේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ තේරුම "පළමු කවිය" යනුයි. හයිකුවේ අද ඇති නීති රීති බොහොමයක් හොක්කු කවියට ද අදාල විය.

දහ හත්වන සියවසේ ජපන් කවියෝ හොක්කු කවි, කවි පන්තියක පළමු කවිය වෙනුවට තනි නිර්මාන වශයෙන් යොදා ගැනීමට පටන් ගත්හ.

මේ තනි හොක්කු හැඳින්වුනේ "හයිකු" නමිනි.

හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කළේ "මත්සුවෝ බාෂෝ" විසිනි. ඔහු සාමාන්‍යයෙන් හයිකු කවියේ පියා සහ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම හයිකු කවියා ලෙස සැලකේ.

මත්සුවෝ බාෂෝ

හයිකුවක නීති - රීති

හයිකුවක ප්‍රධාන නීති තුනකි.

1. කිරෙජි (කැපුම් පදය)

හයිකු කවියක වැදගත්ම නීතිය මෙයයි. හයිකු කවියක් සැමවිටම අදහස් (හෝ රූප) දෙකකින් සමන්විත වේ. මේ අදහස් දෙක වෙන් කිරීමට "කිරෙජි" නමින් හඳුන්වන කෙටි වචනයක් යොදා ගැනේ. හයිකුවේ ආකෘතිය සහ එහි ශබ්ධ රසය රඳා පවතින්නේ කිරෙජි මතය.

2. ඔන් (මාත්‍රා)

හයිකුවක් සැම විටම පද තුනකින් සමන්විතය. මේ පද තුනේ මාත්‍රා ගණන 5-7-5 ලෙස තිබිය යුතුය.

3. කිගෝ (සෘතු වදන)

හයිකුවේ පාදක සිද්ධිය ඇති වන සෘතුව ඇඟවීම සඳහා වචනයක් හයිකුවේ අන්තර්ගත විය යුතුය. මේ වචනය කිගෝ ලෙස හැඳින්වේ. හයිකු වල යෙදීම සඳහා භාවිතා කරන කිගෝ වචන අඩංගු ලැයිස්තුවක් ජපන් කවියන් භාවිතා කරන අතර එය "සයිජිකි" ලෙස හැඳින්වේ.

මේ නීති අකුරටම පිළිපදින හයිකු "තෙයිකෙයි" හෙවත් "ස්ථාපිත ආර" හයිකු ලෙසත්, අවශ්‍යය ආකාරයට නීති වෙනස් කොට භාවිතා කරන හයිකු "ජියුරිත්සු" හෙවත් "නිදහස් ආර" හයිකු ලෙසත් හැඳින්වේ.

"හයිකු මොහොත"

ස්ථාපිත ආර වුවත්, නිදහස් ආර වුවත් හයිකුවක අනිවාර්‍යයෙන් තිබිය යුතු ලක්‍ෂනය වන්නේ "හයිකු මොහොත" යි.

හයිකුවකට පාදක වන්නේ යම් කිසි එක මොහොතක හෙවත් ක්‍ෂනයක සිදුවන සිදුවීමක් සහ ඒ අනුව ඇතිවන චිත්ත සංඥාවකි. හයිකුවක යටි පෙළක්, සැඟවුනු අරුතක්, සමාජයට දෙන පණිවිඩයක් හෝ උත්ප්‍රාසයක් නැත. යම්කිසි සිදුවීමක් දකින කවියා ඒ අනුව ඇතිවන චිත්ත සංඥාව කවියට නගයි.

හයිකුවේ විශිෂ්ඨත්වය ඇත්තේ හයිකු මොහොතේය.

එක් මොහොතක සිදුවන සිදුවීමක් අරමුණු කරන හයිකු සෙන් බෞද්ධ සම්‍ප්‍රදායේ බිහි වූවකි. හැම විටම එක මොහොතක් කෙරෙහි සිත අරමුණු කරවීමට පොළඹවන හයිකුව භාවනාවකි.

මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණ"

මත්සුවෝ බාෂෝ විසින් රචිත "පැරණි පොකුණ" නම් හයිකුව මේ නීති රීති සියල්ලම අකුරටම පිළිපදින ලද විශිෂ්ඨ හයිකුවකි. හයිකු පිළිබඳ ඉගෙන ගැනීමට අධ්‍යයනය කිරීමට කදිම හයිකුවකි, පැරණි පොකුණ.
අත් අකුරු බාෂෝ ගේ ය​
ෆුරුයිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො ඔතෝ

පැරණි පොකුන;
ගෙඹි පිනුමක්
වතුරේ හඬ

Old pond;
A frog jumps in
Sound of water

සිතේ මවා ගන්න, පැරණි, පෙඳ පාසි ගැවසුනු නිසල පොකුණක්. දැන් එක විටම ගෙම්බෙක් පොකුණට පනී. ජලය කැළඹී හඬක් නිකුත් කරයි. 

එපමනකි. ඊට වඩා දෙයක් හයිකුවේ නැත.

Saturday, August 20, 2016

යකඩ සහෝදරයා - ස්ටාලින් 2


සෝවියට් දේශයට එල්ල වූ විදෙස් ආක්‍රමනය​



1917 දී බොල්‍.ෂෙවික් වරු රුසියාවේ බලයට පැමිණ නොබෝ කලකින් පැරණි සාර් පාලනයේ හිතවාදීන් සහ වෙනත් බොල්.ෂෙවික් විරෝධීන් විසින් ඇති කළ දැවැන්ත කැරැල්ලකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය​.

මෙම කැරැල්ල සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර​, බොල්.ෂෙවික් වාදී රතු හමුදාව සහ බොල්‍.ෂෙවික් විරෝධී සුදු හමුදා අතර දරුණු යුද්ධයක් ඇති විය​.

රතු හමුදාව සහ සුදු හමුදාව සටන් වදින අයුරු නිරූපනය කරන සිතුවමක්

 එහිදී රුසියාවේ සිටි චෙක් සහ ස්ලොවැක් ජාතිකයන් ගෙන් සමන්විත හමුදාවක් වූ "චෙකොස්ලොවැකියානු ලීජනය​" සම්බන්ධ සිදුවීම් මාලාවක් දඩමීමා කරගත් බටහිර  රටවල් රැසක් සුදු හමුදාවන්ට සහයෝගය දක්වමින් සෝවියට් දේශය ආක්‍රමනය කරන ලදී.

ව්ලැඩිවොස්ටොක් නගරය අත්පත් කරගත් ඇමරිකන්, ජපන් සහ ප්‍රංශ හමුදා
මෙහිදී ඇමරිකාව (සෙබළු 11,000), ජපානය (සෙබළු 70,000), බ්‍රිතාන්‍යය (සෙබළු 30,000), ග්‍රීසිය (සෙබළු 23,000) ඉතාලිය (සෙබළු 2,500), චීනය​, ප්‍රංශය​, ඕස්ට්‍රේලියාව​, කැනඩාව ඇතුළු රටවල් රැසක් හමුදාව සහ ආයුධ ලබා දීමෙන් සුදු හමුදාවන්ට විශාල සහයක් ලබා දුන්හ​. ඔවුන් ගේ අරමුණ වූයේ ළදරු සමාජවාදී රාජ්‍යය විනාශ කර දැමීමත්, සෝවියට් දේශයට අයත් භූමිය කොල්ලකෑමත් ය​.

විශාල මිනිස් ජීවිත හානියකින්, ධන හානියකින් සහ ඉමහත් පරිශ්‍රමයකින් පසු සුදු හමුදා සහ ඔවුන් ගේ විදෙස් ආධාරකරුවන් පරදවා බලය තහවුරු කරගැනීමට බොල්.ෂෙවික් වරු සමත් වූහ​.

මෙම සිද්ධිය සෝවියට් දේශය විසින් බටහිර රටවල් කෙරෙහි දැක්වූ ආකල්පය හැඩ ගැස්වීමේ දී ඉමහත් බලපෑමක් කළේය​. බටහිර රටවල් හැකි සැම විටම තමා විනාශ කිරීමට කුරුමානම් අල්ලන බව සෝවියට් දේශයට සපථ විය​.

ස්ටාලින් සෝවියට් දේශය කාර්මීකරණය කිරීම​


ස්ටාලින් 1928 දී සෝවියට් දේශයේ බලය තහවුරු කරගත් පසු ඔහු ගේ ප්‍රධාන අරමුණ වූයේ හැකිතාක් ඉක්මනින් සෝවියට් දේශය කාර්මීකරණය කිරීමයි.

පළමුවන ලෝක යුද්ධයේදී රුසියානු හමුදා බටහිර රටවල, විශේෂයෙන්ම ජර්මන් හමුදාවට සාපේක්‍ෂව කාර්මික සහ තාක්‍ෂනික අතින් කෙතරම් දුර්වල තැනක පැවතුනේද යන්න තහවුරු විය​. ස්ටාලින් නිවැරදිව තීරණය කළේ නැවත් යුද්ධයක් ඇතිවුනහොත් තම පැවැත්ම තහවුරු කරගැනීමට නම් සෝවියට් දේශය කාර්මීකරණය අතින් බටහිර ජාතීන්ට සමාන තත්වයකට පැමිණිය යුතු බවයි.

ඒ වනවිට යුරෝපයේ ප්‍රධාන රටවල් අතරින් අඩුම කාර්මීකරණයක් තිබුනේ සෝවියට් දේශයටයි. ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ඊට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියහ​.

මේ තත්වය නිවැරදි කිරීමට ස්ටාලින් යෝධ පස් අවුරුදු සැලසුම් ඉදිරිපත් කළේය​. මේ පස් අවුරුදු සැලසුම් වලින්  සෝවියට් දේශයේ නව කම්හල් සිය ගණනක් ඇති කළ අතර​, කම්කරුවන් සංඛ්‍යාව කිහිප ගුණයකින් ඉහළ දැමිනි.
 
මොස්කව් නගරයේ ලොරි නිෂ්පාදනය කරන කම්හලක්
මේ නව නාගරික කම්කරුවන්ට අවශ්‍යය තරම් ආහාර සැපයීම ප්‍රශ්නයක් වූ වුට ස්ටාලින් කළේ රුසියාවේ ගම්බද, විශේෂයෙන්ම සෝවියට් දේශයේ තිරිඟු මල්ල වූ යුක්‍රේනය සහ දොන් ප්‍රදේශය දැඩි මධ්‍ය පාලනයකට ලක් කිරීමයි.

මෙහිදී ඔහුගේ මූලික පියවරක් වූයේ සමූහ ගොවිපල ඇති කිරීමයි. ඉඩම් හිමි ගොවියන් ගේ ඉඩම් සමූහ අයිතියට පවරා ගෙන ඒවා සාමූහිකව වගා කළ අතර​, ධාන්‍යය අස්වැන්නෙන් කොටසක් අනිවාර්‍යයෙන් රජයට පවරාගෙන ඒවා නාගරික කම්කරුවන් ගේ පරිභෝජනය පිණිස යොදා ගන්නා ලදී.

සමූහ ගොවිපල ඇති කිරීම පිළිබඳ ප්‍රචාරක පෝස්ටරයක්

මෙහිදී ගැමියන්ට ප්‍රමානවත් තරම් ධාන්‍යය ඉතිරි නොවීම සහ අනිවාර්‍යය පවරා ගැනීම් නිසා ආදායම් අඩු වීමෙන් ඔවුහු දැඩි ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්හ​.

එමෙන්ම ඉඩම් සමූහ අයිතියට ගැනීමේදී විශාල පරිමාන ඉඩම් හිමියන් ගේ මෙන්ම කුලාකයන් ලෙස හැඳින්වුන සුළු ඉඩම් හිමියන් ගේ ඉඩම් ද සමූහ අයිතියට පත් කරන ලදී. ස්ටාලින් ගේ වචන වලින්ම මෙය හැඳින්වුනේ "පන්තියක් ලෙස කුලාකයන් වඳ කර දැමීම​" ලෙසිනි.

කුලාකයන් වඳ කර දමමු!

මේ ව්‍යාපාරයට එරෙහිව ගොවියන් ගෙන් විරෝධතා එල්ල වූ විට ස්ටාලින් තම අයෝමය හස්තය යොදවා ඒවා මර්ධනය කළේය​.

කාර්මීකරණයට එරෙහිව කිසිම බාධකයක් නොතිබිය යුතු බවත්, ඇතිවන සියළුම බාධාවන් කුමන හෝ ක්‍රමයකින් මර්ධනය කිරීම සාධාරන බවත් ස්ටාලින් ගේ අදහස විය​.

මේ අතර​, ස්වාභාවික සම්පත් වලින් අනූන සයිබීරියාවේ නව නගර සහ ජනපද ඇති කරන ලද අතර​, ඒ ඉඳිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද්දේ දේශපාලන විරුද්ධවාදීන් ගේ වහල් ශ්‍රමයයි.


සයිබීරියානු ගුලාග් සිර කඳවුරක්

සමූහ ගොවිපල ව්‍යාපාරය සහ ධාන්‍යය පවරා ගැනීමේ නීති නිසා මිලියන ගණන් ගොවියන් සාගතයෙන් මරණයට පත් වූ අතර​, තම ඉලක්ක සපුරා ලීම සඳහා කම්කරුවන්ට ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ සේවය කිරීමට සිදු විය​. බොහෝ විට පතල් කම්කරුවන් ගේ වැඩ දිනය පැය 16 හෝ 18 කින් සමන්විත විය​. මේ තත්වයන් ප්‍රශ්න කිරීමට ලක් කළ වුන් ප්‍රතිවිප්ලවවාදී චෝදනා යටතේ එක්කෝ ඝාතනය කෙරිනි. නැතිනම් සයිබීරියාවට පිටුවහල් කෙරිණි.

 
සාගතයෙන් පීඩා විඳින යුක්‍රේනියානු ගොවියෝ
කෙසේ නමුත් ස්ටාලින් ගේ කාර්මීකරන වැඩ පිළිවෙල සාර්ථක විය​.

1928 සිට 1932 දක්වා වූ පළමු පස් අවුරුදු සැලසුම යටතේ සෝවියට් දේශයේ යකඩ නිෂ්පාදනය සහ ගල් අඟුරු නිෂ්පාදනය දෙගුණ වූ අතර යපස් නිෂ්පාදනය තුන් ගුණයක් විය​.

1933 සිට 1937 දක්වා වූ දෙවන පස් අවුරුදු සැලැස්ම යටතේ යකඩ සහ ගල් අඟුරු නිෂ්පාදනය නැවතත් දෙගුණ වන ලදී.

පස් අවුරුදු සැලසුම් යටතේ සෝවියට් දේශයේ කාර්මීකරනය​


නාසි වාදයේ නැගීම​


හිට්ලර් ජර්මනියේ බලයට පත් වීමත් සමඟම කාර්මීකරණ වැඩසටහන වඩා ඉක්මන් කළ යුතු බව ස්ටාලින් වටහා ගත්තේය​. හිට්ලර් තම "මෙයින් කාම්ෆ්" පොතේ සඳහන් කළ ආකාරයට ජර්මනියේ අභිලාෂය විය යුත්තේ නැගෙනහිර යුරේපයේ භූමිය අත්පත් කරගැනීමයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අප්‍රිකාවේ සහ ආසියාවේ ගොඩ නැංවූ ආකාරයේ යටත් විජිත අධිරාජ්‍යයක් ජර්මනිය නැගෙනහිර යුරෝපයේ ගොඩ නැංවිය යුතු බවත්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ස්වදේශිකයන්ට සැලකූ අමානුෂික ආකාරයටම ජර්මනිය නැගෙනහිර යුරෝපයේ ස්ලාව් වරුන්ට සැලකිය යුතු බවත් හිට්ලර් ගේ අදහස විය​.

"ලෙබෙන්ස්.රෝම්" - ජනාවාස බිහිකිරීමේ භූමිය​

මීට අමතරව හිට්ලර් තම අංක එකේ දේශපාලන සතුරා ලෙස සැලකුවේ කොමියුනිස්ට් වාදයයි.

මේ නිසා හිට්ලර් ගේ නැගීමත් සමඟම ජර්මනිය සමඟ යුද්ධයක් අත ළඟ බව ස්ටාලින් වටහා ගත්තේය​.

වර්සේලිස් ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ජර්මනිය තම යුධ ශක්තිය වර්ධනය කර ගැනීම සහ චෙකොස්ලොවැකියාව ආක්‍රමනය කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අවධානය යොමු නොකළේ ජර්මනිය සමඟ ඇති වන යුද්ධයකින් සෝවියට් දේශය විනාශ වනු දැකීමේ ආශාව නිසාය​. ස්ටාලින් ද මේ බව නොදුටුවේ නොවේ.

දෙවැනි ලෝක යුද්ධය​


ජර්මනිය සමඟ යුද්ධය නොවැලැක්විය හැකි බව පෙනී ගිය විට ස්ටාලින් සෝවියට් දේශයේ යුධ ශක්තිය ඉහළ දැමීම ඇරඹීය​.

ජර්මනිය සහ සෝවියට් දේශය දෙරටම 1933 - 1940 කාලය තුල තම යුධ ශක්තිය ඉහළ දමා ගැනීමට උත්සුක වූ අතර​, දෙරටම තමා නිසි ලෙස සූදානම් වීමට ප්‍රථම අනෙකාගෙන් ආක්‍රමනයක් එල්ල වීම වැලැක්වීමට නැගෙනහිර යුරෝපයේ "බෆර් කලාප​" ඇති කර ගැනීමට උත්සහ කළහ​.

මේ අනුව 1939 දී මොලොටොව් - රිබන්ත්‍රොප් ගිවිසුම මගින් ජර්මනිය සහ සෝවියට් දේශය එකිනෙකාට පහර නොදීමේ එකඟතාවකට එලැඹියහ​.

ඉන්පසු ස්ටාලින් එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ නැගෙනහිර පෝලන්තය සෝවියට් දේශයට ඈඳා ගත් අතර​, ෆින්ලන්තය ඈඳා ගැනීමට කළ උත්සහය ව්‍යර්ථ විය​.

ජර්මනිය සහ සෝවියට් දේශය නැගෙනහිර යුරෝපයේ බලය පැතිරවීම​

කෙසේ වුවත් ජර්මනිය සහ සෝවියට් දේශය අතර සාර්ථකව බෆර් කලාපයක් ඇති කර ගැනීමට ස්ටාලින් සමත් විය.

මෙහිදී බෝල්කන් රටවල සෝවියට් ආක්‍රමනයට එරෙහිව ඇති වූ විරෝධතාවය අමානුෂික ලෙස මැඩ පවත්වන ලද්දේ දහස් ගණන් ඝාතනය කිරීමෙනි.

1940 වන විට සෝවියට් දේශය යුධ ශක්තිය අතින් සහ කාර්මික හැකියාව අතින් යුරෝපයේ අනෙක් රටවල් සමඟ කරට කර සිටින තැනකට ගෙන ඒමට ස්ටාලින්ට හැකි විය​.

එහි වැදගත් කම ඔප්පු වූයේ 1941 දී ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කිරීමත් සමඟය​. ජර්මානු යුධ ශක්තිය හමුවේ සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න තත්වයකට පත් වුවත්, රැල්ල ආපසු හැරවීමට සෝවියට් දේශය සමත් විය​.


බාබරෝසා මෙහෙයුම - ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කිරීම

නමුත් මේ සඳහා මිල ගෙවන ලද්දේ මිලියන ගණනක මිනිස් ජීවිත වලින් සහ ගණනය කළ නොහැකි තරම් ධන විනාශයකිනි.

නමුත් ස්ටාලින් විසින් දමන ලද සෝවියට් පදනම බිඳ දැමීමට ජර්මානු ආක්‍රමනයට නොහැකි විය. එම ශක්තිමත් පදනම මත කෙටි කලකින් සෝවියට් දේශය ලෝක බලවතෙක්  ගේ තත්වයට පැමිනීමට සමත්විය​.

සෝවියට් T34 යුධ ටැංකි කර්ස්ක් සටනේ දී


නැවත බැලීම​


ස්ටාලින් ගේ පාලන සමය තුළදී මිය ගිය සෝවියට් වැසියන් ගේ සංඛ්‍යාව මිලියන 35.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

සයිබීරියාවේ ගුලාග් සිර කඳවුරු වලදී මිය ගිය ගණන - මිලියන 1
ඝාතනය කරන ලද දේශපාලන විරුද්ධවාදීන් - මිලියන 0.5
1930-32 සාගතයෙන් මිය ගිය ගණන - මිලියන 5
වාර්ගික ශුද්ධ කිරීමේ වැඩසටහන් යටතේ ඝාතනය කළ ගණන - මිලියන 0.2
යුධ සමයේදී මිය ගිය සෝවියට් හමුදා සෙබළු ගණන - මිලියන 11
යුධ සමයේදී ජර්මන් හමුදා විසින් ඝාතනය කෙරුනු සෝවියට් වැසියන් ගණන - මිලියන  10
යුධ සමයේදී සාගතය සහ වෙනත් හේතු නිසා මිය ගිය සෝවියට් වැසියන් ගණන - මිලියන 6
යුධ සමයේදී ජර්මන් හමුදාවට සහය දීම නිසා සෝවියට් හමුදා විසින් ඝාතනය කෙරුණු සෝවියට් වැසියන් ගණන - මිලියන  1.7


ස්ටාලින් ගේ NKVD පොලිසිය මගින් ඝාතනය කළ යුක්‍රේනියනු ජාතිකයන්

සාගතයෙන් මියගිය යුක්‍රේනියානු ගොවියන්

සටනකින් මියගිය සෝවියට් හමුදා සෙබළුන් ගේ මළ සිරුරු
ජර්මන් හමුදා විසින් සෝවියට් වැසියන් ඝාතනය කිරීම​
ජර්මානු හමුදා භාරයට පත් සෝවියට් යුධ සිරකරුවන්

මේ අතිවිශාල මනුෂ්‍යය සංහාරයෙන් කොටසකට ස්ටාලින් ඍජුවම වග කිවයුතු අතර කොටසක් ඔහුගේ පාලනයෙන් තොරව සිදු වූ ඒවා ය​.

කෙසේ නමුත්, 1928 සහ 1945 අතර කාලයේදී සෝවියට් දේශය මුහුණ දුන් අසාමාන්‍යය දේශපාලන තත්ව යටතේ සෝවියට් දේශයේ පැවැත්ම තහවුරු කර ගැනීමට නම් කළ යුතු දේ ස්ටාලින් නිවැරදිව වටහා ගත් අතර​, ඒ අරමුණ කරා ගමන් කිරීමේදී එල්ල වූ සියළු බාධා පොඩි පට්ටම් කර දැමීමට ඔහු කටයුතු කළේය​. එහිදී ගෙවීමට සිදු වන මිල හෝ සිදු වූ විනාශය ස්ටාලින් ගේ සැලකිල්ලට ලක් නොවීය​.

ඔහුට වැදගත් වූ එකම කරුණ සෝවියට් දේශයේ පැවැත්මයි. ඊට එල්ල වූ අභියෝගය නූතන ඉතිහාසයේ කවර රාජ්‍යය නායකයෙක්ට වත් එල්ල නොවූ තරම් දැවන්ත එකක් විය​. එම අහියෝගය ජය ගැනීමේ ලා ඔහු අති සාර්ථක විය​.

1928 දී ඔහු භාරගත් පසුගාමී දුර්වල දිළිඳු රාජ්‍යය වෙනුවට 1953 දී ඔහු මිය යන විට තිබුනේ සුපිරි ලෝක බලවතෙකි. සෝවියට් වැසියන් ගේ ජීවන තත්වය විශාල වශයෙන් ඉහළ නැංවීමටත්, සියළුම අංශයන් ගෙන් සෝවියට් දේශය ලෝකයේ ඉහළම තැනකට ගෙන ඒමටත් ඔහු සමත් විය​.

සෝවියට් දේශයේ පාසැලක්

ස්ටාලින් අසමත් වූයේ නම්, ජර්මානු ආක්‍රමනය සාර්ථක වූයේ නම්, රටක් වශයෙන් සෝවියට් දේශයේ පැවැත්ම අවසන් වන්නට තිබූ අතර​, රුසියානුවන් ඇතුළු විවිධ ජන වර්ග වලට අයත් සෝවියට් වැසියන් ගේ ඉරනම ඉතාමත් ඛේදජනක එකක් වන්නට තිබිනි.

ලෙනින්.ග්‍රාද් සටනේදී ජර්මානු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ නිවස ඉදිරිපිට හඬා වැටෙන මහළු කාන්තාවක්


ඒ සඳහා ගෙවූ මිල ඊට වටිනා එකක් ද යන්න සහ සමස්තයක් වශයෙන් ස්ටාලින් නිසා සෝවියට් දේශයට සිදු වූයේ යහපතක් ද විනාශයක් ද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතුය​.


Thursday, April 28, 2016

ආගම් සහ නිරාගම්

ආගම් සහ නිරාගම්


ආගම් වල උපත


ආගම් යන සංකල්පය මිනිස් ශිෂ්ඨාචාරයේ ඇති වන්නේ සාධක 5 ක් මත​.


1. එදිනෙදා ජීවිතයේ දී අපට ඍජුවම පාලනය කළ නොහැකි දේ "පාලනය කිරීමේ" උපක්‍රමයක් වශයෙන්

2. සමාජය තුල සාමූහිකත්වය වර්ධනය කිරීමේ මාධ්‍යයක් වශයෙන්

3. සමාජයේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට තිබිය යුතු හර පද්ධතීන් නිර්නය කිරීමට​

4. මිනිසාට ඇති වන දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට​

5. සංස්කෘතියේ අනිවාර්‍යය සංරචකයක් ලෙස​


1. ආදි කල්පිත මානවයෙක් ගත්තොත් ඌ දඩයමේ යද්දි කොටියෙක්ට ගොදුරු වෙලා මැරෙන්න පුළුවන්. ඉතින් ඌ ඕක ගැන හිත කරදර කර ගත්තොත් උට සාර්ථක දඩයක්කාරයෙක් වෙන්න බෑ. ඉතින් ඌ දඩයමේ යන්න කලින් ගහකට ගලකට "බාරයක්" වෙලා යනවා. එතන ඇතිකරගන්න හිතේ විශ්වාසය මත තමයි දවස ගෙවන්නෙ. නැත්තං හැම වෙලේම කොටියෙක්ට ගොදුරු වෙයිද කියන චකිතයෙන් හිටියොත් ඌ මානසික රෝගියෙක් වෙනවා. එඬේරෙක්ට නම් කුර ලෙඩක් හැදිල හරක් රංචුව මැරෙන්න පුළුවන්. ගොවියෙක්ට නම් නියඟයක් ඇවිල්ල වගාව පාළු වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි සංකල්පයක් නිර්මානය කරල ඒ වගකීම තමාගෙන් ඉවතට යොමු කරනවා.

ආගම් නිර්මානය වීමේ මූලිකම හේතුව මේකයි. ආදි කල්පිත ආගම් සියල්ලම ස්වභාවික බලවේගයන් පිදීමේ ස්වරූපයෙන් තියෙන්නෙ ඒ නිසා.


2. ඊළඟට ශ්‍රම විභජනයත් එක්ක එනවා සමාජය කියන සංකල්පය​. දඩයක්කාරයෙක් නම් තමාගේ ගෝත්‍රයේ දන්න හඳුනන කීප දෙනෙක් සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ. නමුත් සමාජය විශාල වෙද්දි එතන හැමෝම පුද්ගලිකව හඳුනන්නෙ නෑ. නමුත් ඒක ෆන්ක්‍ෂන් වෙන්න නම් සාමූහිකත්වයක් නිර්මානය වෙන්න ඕනෙ. ජන වර්ගය​, භාෂාව වගේ නිර්නායක එක්ක ආගම කියන නිර්නායකයත් මේ සඳහා යොදා ගැනුන​.


3. ඊළඟට සමාජයේ මිනිස්සු එක්ක අන්තර් සම්බන්ධතා තියා ගද්දි ඒක සමාජයට විනාශකාරී නොවන මට්ටමකින් තියාගන්න ඕනෙ. පුද්ගලික අභිමතාර්ථ සහ සමාජයේ පැවැත්ම කියන දෙක සමබර කරන්න අපිට අවශ්‍යය වෙනවා යම් කිසි හර පද්ධතියක්. මේ හර පද්ධතිය හඳුන්වා දීමේ වගකීම පැවරුනේ ආගම් වලට​. හර පද්ධතිය නිර්නය කරද්දි යම් කිසි මිනිහෙක් ඒක නිර්නය කරනවට වඩා අපේ එදිනෙදා කටයුතු බලාගන්න අපිට ඉහළින් ඉන්න බලවේගයකින් ඒක නිර්නය කරාම ඒකට වැඩි වටිනාකමක් ලැබුනා.


4. මිනිස් ශිෂ්ඨාචාරය දියුණු වෙනකොට මිනිසාට එනව දාර්ශනික ප්‍රශ්න​. විශ්වයේ ආරම්භය​, මරණින් මතු ජීවිතය​, විශ්වයේ ක්‍රියාවලීන් පාලනය වෙන්නෙ කොහොමද ආදී වශයෙන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නෙත් ආගම්. මෙතනදිත් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන දාර්ශනිකයන්ට අපිට ඉහළින් ඉන්න බලවේග වලින් උපකාර ලැබුන​. ඒ නිසාම ඒ පිළිතුරු වලට සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබුන​.


5. ඊළඟට ශිෂ්ඨාචාරය දියුණු වෙද්දි ජීවන ක්‍රියාවලීන් සංකීර්න වෙනවා. මිනිස්සු කරන්න ඕනෙ වැඩ සංකීර්න වෙනවා. මානසික ආතතිය වැඩි වෙනවා. ඒකෙන් සහනයක් ලබන්න මිනිස්සු නිර්මානය කරනවා සංස්කෘතික ක්‍රියාවලීන්. සතියකට දවසක් සමාජයේ හැමෝම වැඩ කරන එක නවත්තල සාමූහිකව එක් රැස් වෙලා යම් කිසි විනෝදාත්මක ක්‍රියාවක නිරත වෙනවා. ඒකාකාරී ජීවන රටාවෙන් බ්‍රේක් එකක් විදිහට​. මේ සඳහා ක්‍රීඩා, සංගීතය වගේ දේවල් වගේම ආගමික උත්සවත් පොදුවේ යොදා ගැනෙනවා.


මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රගමනයත් එක්ක ඇති වුන මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි ආගම් ඉදිරිපත් වෙන්නෙ.


මිනිසාගේ පොදු ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස බිහිවුන මේ ආගම් එක එක ස්වරූපය ගන්නෙ ඇයි? ඒකට හේතුව තමයි ඒවා බිහිවුන චින්තනයේ තිබුන වෙනස්කම්.


ඒබ්‍රහමික ආගම් වල විකාශය​


ඒබ්‍රහමික ආගම් වල උපත සිද්ධ වෙන්නෙ ඊශ්‍රායලයේ ජෝර්දාන් ගංගාව ආශ්‍රිතව බිහිවෙන යුදෙව් ජන සමාජයේ. මේ සමාජය යම්කිසි හේතුවක් නිසා අධික වියුක්ත චින්තනයක් හිමි සමාජයක්. මේ නිසා ඔවුන් නිර්මානය කරන ආගම අනෙක් ආගම් වල වගේ ස්වාභාවික සංසිද්ධිවලට අනුබද්ධ දෙවිවරු සමූහයක් මත පදනම් වෙන්නෙ නෑ. ඒ වෙනුවට මුළු මහත් විශ්වයේම නිර්මාතෲ විශ්වයට බාහිරව පවතින එක් තනි දෙවියෙක් කියන සංකල්පය ඇති වෙනවා. මේ සංකල්පය මානව ශිෂ්ඨාචාරයේ ඇතිවෙන එකම අවස්ථාව මේකයි.


පුරාන යුදෙව් රාජ්‍යය​


සාමාන්‍යයෙන් මානව ශිෂ්ඨාචාරයේ අපි දකින දෙයක් තමයි බලවත් අසල්වැසියන් රැසකට මැදි වෙලා ඉන්න කුඩා සමාජයක් තමාගේ පැවැත්ම ගෙනියන්නේ අතිශය රණකාමී සංස්කෘතියක් ඇති කර ගැනීමෙන්. ජපානය​, ඇෆ්ගනිස්ථානය වගේ උදාහරණ මේකට දෙන්න පුළුවන්. එහෙම නොවුන සමාජ අර බලවත් අසල්වැසියන් ඉදිරියේ මුලින්ම තමාගේ දේශපාලන නිදහස නැති කර ගන්නවා. ඊට පස්සෙ ඒ සංස්කෘතිය තුළ ගිලිලා නැති වෙලා යනවා.


නමුත් යුදෙව්වන් මේ සඳහා යොදාගන්නේ වෙනම උපක්‍රමයක්. මේ සඳහා ඔවුන් උපයෝගී කර ගන්නෙ තමා විශ්ව නිර්මාතෲ දෙවියන් විසින් තෝරාගත් ජන කණ්ඩායමක් කියන සංකල්පය​. ඒ නිසා මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා තමාගේ පැවැත්ම තිබිය යුතුයි කියන සංකල්පය ඔවුන් අතර ඇති වෙනවා. ඒ නිසා කොයිතරම් තමාගේ දේශපාලන නිදහස නැති වුනත් ඔවුන් තමාගේ සංස්කෘතික අනන්‍යයතාවය දිගටම තියාගන්න සමත් වෙනවා. තමාට කියල නිශ්චිත දේශපාලන වසමක් නැතුව අවුරුදු දෙදාහක් තිස්සේ තමාගේ සංස්කෘතික අනන්‍යයතාවය රැක ගැනීම වගේ විශිෂ්ඨ කාර්‍ය සිද්ධියක් අත්කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.


මේ අතිශය වියුක්ත යුදෙව් ආගමෙන් අතු දෙකක් කැඩෙනවා. එකක් ක්‍රිස්තියානිය​. අනෙක ඉස්ලාමය​. මේ දෙකම යුදෙව් ආගම තරම් වියුක්ත නැති ඊට වඩා සාමූහිකත්වයට තැන දෙන ආගම්.


අරාබි ජන වර්ගය සමන්විත වෙන්නෙ ගෝත්‍ර සිය ගණනක එකතුවෙන්. ඔවුන්ට පොදු නිර්නායකයක් විදිහට භාෂාව තිබුනත්, ගෝත්‍ර බැම්ම කඩල පොදු අරාබි ජාතියක් නිර්මානය කරන්න ඒක ප්‍රභල වෙන්නෙ නෑ. ඉස්ලාමය එන්නෙ ඒ අඩුව පුරවන්න​.


ඉස්ලාමය නිසඟයෙන්ම දේශපාලනිකයි. ඉස්ලාමීය රාජ්‍යයක් බිහි වීම සහ පැවැත්ම ඉස්ලාමයේ මූල ධර්ම වලම කියැවිලා තියෙනවා. අරාබින් ගේ ගෝත්‍ර බැම්ම කඩල ඒ වෙනුවට "මුස්ලිම් වරු" කියන ආගම මුල් කරගත්ත නව අනන්‍යයතාවයක් බිහි කරන්න ඉස්ලාමය සමත් වෙනවා. විශිෂ්ඨ අරාබි-මුස්ලිම් ශිෂ්ඨාචාරය බිහි වෙන්නෙ ඒ මත​.

                                                                                       
ක්‍රිස්තියානියට ඒ සාධකය බලපාන්නේ නෑ. ක්‍රිස්තියානිය බිහි වෙන්නෙ ඉස්ලාමය හෝ යුදෙව් ආගම වගේ එක් ජන වර්ගයක් පදනම් කරගෙන නෙවෙයි. ක්‍රිස්තියානිය මුලදි යුරෝපයේ පැතිරෙන්නෙ දුප්පතාගේ සහ පීඩිතයා ගේ ආගමක් විදිහට​. නමුත් පසුව එය රාජ්‍යය බලය අත් කරගත්තට පස්සෙ ඒ ස්වරූපය වෙනස් වෙනවා. ක්‍රිස්තියානිය යුරෝපයට එනකොටත් යුරෝපයේ වර්ධයන වූ ශිෂ්ඨාචාරයක් තියෙනවා. ඒ නිසා ක්‍රිස්තියානිය විසින් ශිෂ්ඨාචාරය හැසිරවීම සහ ශිෂ්ඨාචාරය විසින් ක්‍රිස්තියානිය හැසිරවීම කියන දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා යුරෝපයේ පැතිරෙන ක්‍රිස්තියානිය මුල් ස්වරූපයෙන් ගොඩක් වෙනස් එකක්. ඒ වගේම යුරෝපයේ සහ මැද පෙරදිග පවතින විවිධ සංස්කෘතීන් විසින් ක්‍රිස්තියානිය ග්‍රහනය කර ගද්දි විවිධ නිකායන් රාශියක් බිහි වෙනවා. ඒක යුදෙව් සහ ඉස්ලාම් ආගම් වල දකින්නට නැති ලක්‍ෂනයක්.

බටහිර ශිෂ්ඨාචාරයේ දාර්ශනික අර්බුදය සහ නිරාගමිකත්වය​


දේශපාලනික හේතු මත පහළොස්වෙනි සියවසේ බටහිර යුරෝපයේ චින්තන පෙරළියක් සිද්ධ වෙනවා. ග්‍රීක දාර්ශනිකයන් විසින් වර්ධනය කරන ලද දර්ශනය යුදෙව් චින්තනය මත පදනම් වෙලා බටහිර යුරෝපයට ලැබෙනවා. මේ නිසා යුරෝපීය ශිෂ්ඨාචාරය වඩා පුද්ගල කේන්.ද්‍රීය සහ වියුක්ත ස්වභාවයක් ගන්නවා. මෙහිදී බටහිර යුරෝපයේ මේ දක්වා තිබුන කතෝලික ආගමට තවදුරටත් බටහිර ශිෂ්ඨාචාරයේ දාර්ශනික සහ සංස්කෘතික කාර්‍ය භාරය ඉටු කරන්න බැරි වෙනවා.


මේ හිඩැස පුරවන්න සංකල්ප දෙකක් ඉදිරිපත් වෙනවා. සංස්කෘතික කාර්‍ය භාරය පුරවන්න ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය බිහි වෙනවා. සාමූහිකත්වය මත පදනම් වුන කතෝලික ආගම වෙනුවට ප්‍රොතෙස්තන්ත ආගම වඩා පුද්ගල කේන්.ද්‍රීය සහ වියුක්ත ආගමක් ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේ මිනිසා එක්ක පුද්ගලිකව සම්බන්ධ වන අවස්ථාවක් වන මරියා තුමිය ට කතෝලික ආගමේ තියෙන තැන ප්‍රොතෙස්තන්ත ආගමේ නෑ. ඒ වගේම කතෝලික ආගමේ එන සාමූහික දෙවියන් යැදීම​, පූජක තුමා ඉදිරියේ පව් පාපොච්චාරනය කිරීම, ආගමටම කැපවුනු බ්‍රහ්මචාරී පූජකයන් වගේ අංග නැති වෙලා දෙවියන් එක්ක කරන ගනුදෙනුව වඩා පුද්ගලික මට්ටමට එනවා.


දාර්ශනික හිඩැස පුරවන්නේ බටහිර විද්‍යාව විසින්. මේ දක්වා ආගම් මගින් පිළිතුරු දුන්න මිනිසාට ඇති වෙන දාර්ශනික ප්‍රශ්න වලට මින් ඉදිරියට පිළිතුරු දෙන්නේ බටහිර විද්‍යාව​. නමුත් මේ දෙන පිළිතුරු වලත් පදනම වෙන්නෙ අවුරුදු තුන්දාහකට කලින් යුදෙව්වෝ දීපු "විශ්වය දෙවියන් විසින් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනයටය​, මිනිසා යනු සුවිශේෂී සත්වයෙකි" යන පිළිතුරම තමයි. ඒ ශිෂ්ඨාචාරයේ පදනම් චින්තනය එකම නිසා. බටහිර විද්‍යාවේ අරමුණ වෙන්නෙ විශ්වය මිනිසගේ පැවැත්ම උදෙසා සකස් කිරීම​.


මේ බටහිර ශිෂ්ඨාචාරයේ දේශපාලන​-ආර්ථික මොඩලය වෙන්නෙ ලිබරල් ධනවාදය​. ඒ පුද්ගලවාදයේ අනිවාර්‍ය ප්‍රතිඵලය විදිහට​. නමුත් දාර්ශනික සංස්කෘතික මොඩලය තවම අපැහැදිලි තැනක තියෙන්නෙ.


බටහිර ශිෂ්ඨාචාරය වර්ධනය වෙද්දි බටහිර විද්‍යාවත් වර්ධනය වෙනවා. මෙතනදි හරි අපූරු සෙල්ලමක් වෙනවා. ඒ බටහිර විද්‍යාව මගින් දෙන දාර්ශනික පිළිතුරු ක්‍රිස්තියානි ආගමේ මූල ධර්ම සමඟ නොගැලපීම​. මේක ගැලීලියෝ ගේ කාලයේ ඉඳන් යම් ප්‍රමානයකින් තිබ්බ​. නමුත් මේකෙ කූඨප්‍රාප්තිය එන්නෙ චාල්ස් ඩාවින් විසින් පරිණාම වාදය ඉදිරිපත් කිරීමෙන්. කලින් එහෙන් මෙහෙන් වැදිච්ච ප්‍රහාර වෙනුවට මේකෙදි කෙලින්ම වදින්නෙ "දෙවියන් විසින් විශ්වය සහ මිනිසා මවනු ලැබීය​" කියන ක්‍රිස්තියානියේ පදනමට​.


මෙතනදි බටහිර ශිෂ්ඨාචාරයේ දෙවැනි පෙරළිය සිද්ධ වෙනවා. කතෝලික ආගම වෙනුවට ප්‍රොතෙස්තන්ත ආගම ගේනවා වගේ අර්ධ විසඳුමකින් ගොඩ දාන්න බැරි තරම් අර්බුධය බරපතලයි. මෙතනදි නැවතත් බටහිර යුරෝපයේ දාර්ශනික පුබුදුවක් ඇති වෙනවා.


ඒකෙ ප්‍රතිඑලයක් විදිහට බටහිර මිනිසා විසින් ආගම සහමුළින්ම ප්‍රතික්‍ෂේප කරනවා.



තාර්කිකක්ත්වයේ දේවස්ථානය
මේක අපිට මුලින්ම දකින්නට ලැබෙන්න ප්‍රංශ විප්ලවයේ එක තැනකදී විප්ලවකාරීන් විසින් ක්‍රිස්තියානි පල්ලිය වෙනුවට​ "තාර්කිකක්ත්වයේ දේවස්ථානය​​" පිහිටුවීමේ සිද්ධියෙදි. ඊට පස්සෙ කාල් මාක්ස් විසින් නැවතත් ආගම් ප්‍රතික්‍ෂේප කරනවා. ඔහුගේ කම්කරු රාජ්‍යයේදී ආගමට තැනක් නෑ. නමුත් දේශපාලනික හේතු මත මේ උත්සහයන් අසාර්ථක වෙනවා. කම්කරුවන් විසින් දේශපාලන බලය ඩැහැගැනීම ප්‍රභූන් සහ ධනවතුන් රුස්සන්නෙ නෑ. ඒ නිසා මේ ව්‍යාපාර ඇති වෙන්නෙ බටහිර ශිෂ්ඨාචාරයේ විරෝධාකල්ප ව්‍යාපාර විදිහට මිස එහි පදනම් ව්‍යාපරය විදිහට නෙවෙයි. නාසි වාදය මේ වගේ තවත් එක ව්‍යාපාරයක්.


මේ කැරලිකාරීන් බටහිර යුරෝපයේ දේශපාලන බලය වෙනුවෙන් සටන් කරනවා. ඒකෙ උච්චාවස්ථාව තමයි පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධය​. නැත්තං සමහර දාර්ශනිකයන් කියන විදිහට යුරෝපා සිවිල් යුද්ධය​. මෙතනදි ඇති වෙන තුන් කොන් අරගලයෙන් නාසි වාදය තීරණාත්මක විදිහට පරදිනවා. කොමියුනිස්ට් වාදය සහ ලිබරල් ධනවාදය යුරෝපය බෙදා ගන්නවා. එතනදි කොමියුනිස්ට් වාදයට ලැබෙන්නෙ නැගෙනහිර යුරෝපය​. ලිබරල් ධනවාදය බටහිර යුරෝපයේ බලය තහවුරු කරනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ලිබරල් ධනවාදයට බටහිර යුරෝපයේ දී සීරියස් තර්ජනයක් එල්ල වෙන්නෙ නෑ.


දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ තමයි "නිරාගමිකත්වය​" කරලියට එන්නෙ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිර යුරෝපයේ ආර්ථික - දේශපාලන මොඩලය විදිහට ධනවාදය තහවුරු වීමත් සමඟම එහි දාර්ශනික මොඩලය විදිහට "නිරාගමිකත්වය​" වර්ධනය වෙනවා.


මෙතන නම් වල පොඩි නොගැලපීමක් තියෙනවා. වචනාර්ථයෙන් ගත්තොත් මාක්ස්වාදයත් නිරාගමිකයි. නමුත් බටහිර ශිෂ්ඨාචාරයේ එන නිරාගමිකත්වය මාක්ස්වාදය එක්ක ගනුදෙනුවක් නෑ. ඔවුන් මාක්ස්වාදය තමාට සුළුවෙන් හෝ සම්බන්ධ දෙයක් කියල පිළිගන්නවත් කැමති නෑ. ඒ දාර්ශනිකව​, දේශපාලනිකව​, ආර්ථිකව සහ සංස්කෘතිකව බටහිර නිරාගමිකත්වය සහ මාක්ස්වාදය වෙනස් නිසා.


ඉතින් මේ "නිරාගමිකත්වය" කියන්නෙ මානව ශිෂ්ඨාචාරයේ අග්‍රඵලයක් වගේ මොකක්වත් බක්කක් නෙවෙයි. ශිෂ්ඨාචාරය විසින් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් මත බිහි වුන තවත් එක් දාර්ශනික ප්‍රතිඵලයක් පමණයි.


නිරාගමිකත්වය විසින් ආගම් විස්ථාපනය කරාට පස්සෙ යුද්ධ වගේ දේවල් නැවතිලා ලෝකය එක යායක් වෙයි වගේ දවල් හීන ඇති වෙන්නේ මේ සංසිද්ධිය හරි හැටි වටහා නොගැනීමෙන්. යුද්ධ ඇති වෙන්නෙ ආගම් නිසා මෙ නෙවෙයි. යුද්ධ ඇති වෙන්න දේශපාලන​-ආර්ථික​-සංස්කෘතික හේතු තියෙනවා. ආගම නැමැති සංස්කෘතික සංරචකය නිරාගමිකත්වය නැමැති සංස්කෘතික සංරචකය විසින් විස්ථාපනය වුනාට යුද්ධ නැති වෙන්නෙ නෑ. ඒක නිකං පොඩි එකෙක් ගෙ දවල් හීනයක් විතරයි.


හැබැයි මෙතන පොඩි පරහක් තියෙනවා. කලින් කිව්ව වගේ ආගම් විසින් මිනිසා ගේ මූලික අවශ්‍යයතා පහකට පිළිතුරු දෙනවා. නමුත් නිරාගමිකත්වය විසින් පිළිතුරු දෙන්නෙ මේවායෙන් එකකට​, ඒ කියන්නෙ "මිනිසාට ඇති වන දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට​" පමණයි.


අනෙක් ප්‍රශ්න හතර තාම එහෙම්මමයි.


මෙතනදි "සමාජයේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට තිබිය යුතු හර පද්ධතීන් නිර්නය කිරීමට​" කියන ප්‍රශ්නයට නිරාගමිකත්වය විසින් එතෙක් පැවතුන ක්‍රිස්තියානි හර පද්ධතියම සංශෝධනයට ලක් කරමින් යොදා ගන්න උත්සහ දරනවා. නමුත් අනික් ප්‍රශ්න තුනට නිරාගමිකත්වය විසින් පිළිතුරු දෙන්න අපොහොසත්.


මෙතනදි ප්‍රතිඵල දෙකක් වෙන්න පුළුවන්. එක, මේ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබීමෙන් බටහිර ශිෂ්ඨාචාරය අර්බුධයට යාම​. දෙක​, ක්‍රිස්තියානි ආගම හුදෙක් සංස්කෘතික අංගයක් ලෙස පවත්වාගනිමින් එහි දාර්ශනික මදය නිරාගමිකත්වය විසින් විස්ථාපනය කිරීම​. දැනට පේන විදිහට බටහිර ශිෂ්ඨාචාරය යන්නෙ දෙවෙනි පාරෙ.


නිරාගමිකත්වය කියන්නෙ බටහිර ශිෂ්ඨාචාරයේ වර්ධනයෙන් බිහිවුන අනිවාර්‍යය ප්‍රතිඵලයක් පමණයි. ඒක ක්‍රිස්තියානි ආගමේ තාර්කික පරිනාමීය ප්‍රතිඵලය​.