Saturday, August 20, 2016

යකඩ සහෝදරයා - ස්ටාලින් 2


සෝවියට් දේශයට එල්ල වූ විදෙස් ආක්‍රමනය​



1917 දී බොල්‍.ෂෙවික් වරු රුසියාවේ බලයට පැමිණ නොබෝ කලකින් පැරණි සාර් පාලනයේ හිතවාදීන් සහ වෙනත් බොල්.ෂෙවික් විරෝධීන් විසින් ඇති කළ දැවැන්ත කැරැල්ලකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය​.

මෙම කැරැල්ල සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර​, බොල්.ෂෙවික් වාදී රතු හමුදාව සහ බොල්‍.ෂෙවික් විරෝධී සුදු හමුදා අතර දරුණු යුද්ධයක් ඇති විය​.

රතු හමුදාව සහ සුදු හමුදාව සටන් වදින අයුරු නිරූපනය කරන සිතුවමක්

 එහිදී රුසියාවේ සිටි චෙක් සහ ස්ලොවැක් ජාතිකයන් ගෙන් සමන්විත හමුදාවක් වූ "චෙකොස්ලොවැකියානු ලීජනය​" සම්බන්ධ සිදුවීම් මාලාවක් දඩමීමා කරගත් බටහිර  රටවල් රැසක් සුදු හමුදාවන්ට සහයෝගය දක්වමින් සෝවියට් දේශය ආක්‍රමනය කරන ලදී.

ව්ලැඩිවොස්ටොක් නගරය අත්පත් කරගත් ඇමරිකන්, ජපන් සහ ප්‍රංශ හමුදා
මෙහිදී ඇමරිකාව (සෙබළු 11,000), ජපානය (සෙබළු 70,000), බ්‍රිතාන්‍යය (සෙබළු 30,000), ග්‍රීසිය (සෙබළු 23,000) ඉතාලිය (සෙබළු 2,500), චීනය​, ප්‍රංශය​, ඕස්ට්‍රේලියාව​, කැනඩාව ඇතුළු රටවල් රැසක් හමුදාව සහ ආයුධ ලබා දීමෙන් සුදු හමුදාවන්ට විශාල සහයක් ලබා දුන්හ​. ඔවුන් ගේ අරමුණ වූයේ ළදරු සමාජවාදී රාජ්‍යය විනාශ කර දැමීමත්, සෝවියට් දේශයට අයත් භූමිය කොල්ලකෑමත් ය​.

විශාල මිනිස් ජීවිත හානියකින්, ධන හානියකින් සහ ඉමහත් පරිශ්‍රමයකින් පසු සුදු හමුදා සහ ඔවුන් ගේ විදෙස් ආධාරකරුවන් පරදවා බලය තහවුරු කරගැනීමට බොල්.ෂෙවික් වරු සමත් වූහ​.

මෙම සිද්ධිය සෝවියට් දේශය විසින් බටහිර රටවල් කෙරෙහි දැක්වූ ආකල්පය හැඩ ගැස්වීමේ දී ඉමහත් බලපෑමක් කළේය​. බටහිර රටවල් හැකි සැම විටම තමා විනාශ කිරීමට කුරුමානම් අල්ලන බව සෝවියට් දේශයට සපථ විය​.

ස්ටාලින් සෝවියට් දේශය කාර්මීකරණය කිරීම​


ස්ටාලින් 1928 දී සෝවියට් දේශයේ බලය තහවුරු කරගත් පසු ඔහු ගේ ප්‍රධාන අරමුණ වූයේ හැකිතාක් ඉක්මනින් සෝවියට් දේශය කාර්මීකරණය කිරීමයි.

පළමුවන ලෝක යුද්ධයේදී රුසියානු හමුදා බටහිර රටවල, විශේෂයෙන්ම ජර්මන් හමුදාවට සාපේක්‍ෂව කාර්මික සහ තාක්‍ෂනික අතින් කෙතරම් දුර්වල තැනක පැවතුනේද යන්න තහවුරු විය​. ස්ටාලින් නිවැරදිව තීරණය කළේ නැවත් යුද්ධයක් ඇතිවුනහොත් තම පැවැත්ම තහවුරු කරගැනීමට නම් සෝවියට් දේශය කාර්මීකරණය අතින් බටහිර ජාතීන්ට සමාන තත්වයකට පැමිණිය යුතු බවයි.

ඒ වනවිට යුරෝපයේ ප්‍රධාන රටවල් අතරින් අඩුම කාර්මීකරණයක් තිබුනේ සෝවියට් දේශයටයි. ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ඊට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියහ​.

මේ තත්වය නිවැරදි කිරීමට ස්ටාලින් යෝධ පස් අවුරුදු සැලසුම් ඉදිරිපත් කළේය​. මේ පස් අවුරුදු සැලසුම් වලින්  සෝවියට් දේශයේ නව කම්හල් සිය ගණනක් ඇති කළ අතර​, කම්කරුවන් සංඛ්‍යාව කිහිප ගුණයකින් ඉහළ දැමිනි.
 
මොස්කව් නගරයේ ලොරි නිෂ්පාදනය කරන කම්හලක්
මේ නව නාගරික කම්කරුවන්ට අවශ්‍යය තරම් ආහාර සැපයීම ප්‍රශ්නයක් වූ වුට ස්ටාලින් කළේ රුසියාවේ ගම්බද, විශේෂයෙන්ම සෝවියට් දේශයේ තිරිඟු මල්ල වූ යුක්‍රේනය සහ දොන් ප්‍රදේශය දැඩි මධ්‍ය පාලනයකට ලක් කිරීමයි.

මෙහිදී ඔහුගේ මූලික පියවරක් වූයේ සමූහ ගොවිපල ඇති කිරීමයි. ඉඩම් හිමි ගොවියන් ගේ ඉඩම් සමූහ අයිතියට පවරා ගෙන ඒවා සාමූහිකව වගා කළ අතර​, ධාන්‍යය අස්වැන්නෙන් කොටසක් අනිවාර්‍යයෙන් රජයට පවරාගෙන ඒවා නාගරික කම්කරුවන් ගේ පරිභෝජනය පිණිස යොදා ගන්නා ලදී.

සමූහ ගොවිපල ඇති කිරීම පිළිබඳ ප්‍රචාරක පෝස්ටරයක්

මෙහිදී ගැමියන්ට ප්‍රමානවත් තරම් ධාන්‍යය ඉතිරි නොවීම සහ අනිවාර්‍යය පවරා ගැනීම් නිසා ආදායම් අඩු වීමෙන් ඔවුහු දැඩි ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්හ​.

එමෙන්ම ඉඩම් සමූහ අයිතියට ගැනීමේදී විශාල පරිමාන ඉඩම් හිමියන් ගේ මෙන්ම කුලාකයන් ලෙස හැඳින්වුන සුළු ඉඩම් හිමියන් ගේ ඉඩම් ද සමූහ අයිතියට පත් කරන ලදී. ස්ටාලින් ගේ වචන වලින්ම මෙය හැඳින්වුනේ "පන්තියක් ලෙස කුලාකයන් වඳ කර දැමීම​" ලෙසිනි.

කුලාකයන් වඳ කර දමමු!

මේ ව්‍යාපාරයට එරෙහිව ගොවියන් ගෙන් විරෝධතා එල්ල වූ විට ස්ටාලින් තම අයෝමය හස්තය යොදවා ඒවා මර්ධනය කළේය​.

කාර්මීකරණයට එරෙහිව කිසිම බාධකයක් නොතිබිය යුතු බවත්, ඇතිවන සියළුම බාධාවන් කුමන හෝ ක්‍රමයකින් මර්ධනය කිරීම සාධාරන බවත් ස්ටාලින් ගේ අදහස විය​.

මේ අතර​, ස්වාභාවික සම්පත් වලින් අනූන සයිබීරියාවේ නව නගර සහ ජනපද ඇති කරන ලද අතර​, ඒ ඉඳිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද්දේ දේශපාලන විරුද්ධවාදීන් ගේ වහල් ශ්‍රමයයි.


සයිබීරියානු ගුලාග් සිර කඳවුරක්

සමූහ ගොවිපල ව්‍යාපාරය සහ ධාන්‍යය පවරා ගැනීමේ නීති නිසා මිලියන ගණන් ගොවියන් සාගතයෙන් මරණයට පත් වූ අතර​, තම ඉලක්ක සපුරා ලීම සඳහා කම්කරුවන්ට ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ සේවය කිරීමට සිදු විය​. බොහෝ විට පතල් කම්කරුවන් ගේ වැඩ දිනය පැය 16 හෝ 18 කින් සමන්විත විය​. මේ තත්වයන් ප්‍රශ්න කිරීමට ලක් කළ වුන් ප්‍රතිවිප්ලවවාදී චෝදනා යටතේ එක්කෝ ඝාතනය කෙරිනි. නැතිනම් සයිබීරියාවට පිටුවහල් කෙරිණි.

 
සාගතයෙන් පීඩා විඳින යුක්‍රේනියානු ගොවියෝ
කෙසේ නමුත් ස්ටාලින් ගේ කාර්මීකරන වැඩ පිළිවෙල සාර්ථක විය​.

1928 සිට 1932 දක්වා වූ පළමු පස් අවුරුදු සැලසුම යටතේ සෝවියට් දේශයේ යකඩ නිෂ්පාදනය සහ ගල් අඟුරු නිෂ්පාදනය දෙගුණ වූ අතර යපස් නිෂ්පාදනය තුන් ගුණයක් විය​.

1933 සිට 1937 දක්වා වූ දෙවන පස් අවුරුදු සැලැස්ම යටතේ යකඩ සහ ගල් අඟුරු නිෂ්පාදනය නැවතත් දෙගුණ වන ලදී.

පස් අවුරුදු සැලසුම් යටතේ සෝවියට් දේශයේ කාර්මීකරනය​


නාසි වාදයේ නැගීම​


හිට්ලර් ජර්මනියේ බලයට පත් වීමත් සමඟම කාර්මීකරණ වැඩසටහන වඩා ඉක්මන් කළ යුතු බව ස්ටාලින් වටහා ගත්තේය​. හිට්ලර් තම "මෙයින් කාම්ෆ්" පොතේ සඳහන් කළ ආකාරයට ජර්මනියේ අභිලාෂය විය යුත්තේ නැගෙනහිර යුරේපයේ භූමිය අත්පත් කරගැනීමයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අප්‍රිකාවේ සහ ආසියාවේ ගොඩ නැංවූ ආකාරයේ යටත් විජිත අධිරාජ්‍යයක් ජර්මනිය නැගෙනහිර යුරෝපයේ ගොඩ නැංවිය යුතු බවත්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ස්වදේශිකයන්ට සැලකූ අමානුෂික ආකාරයටම ජර්මනිය නැගෙනහිර යුරෝපයේ ස්ලාව් වරුන්ට සැලකිය යුතු බවත් හිට්ලර් ගේ අදහස විය​.

"ලෙබෙන්ස්.රෝම්" - ජනාවාස බිහිකිරීමේ භූමිය​

මීට අමතරව හිට්ලර් තම අංක එකේ දේශපාලන සතුරා ලෙස සැලකුවේ කොමියුනිස්ට් වාදයයි.

මේ නිසා හිට්ලර් ගේ නැගීමත් සමඟම ජර්මනිය සමඟ යුද්ධයක් අත ළඟ බව ස්ටාලින් වටහා ගත්තේය​.

වර්සේලිස් ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ජර්මනිය තම යුධ ශක්තිය වර්ධනය කර ගැනීම සහ චෙකොස්ලොවැකියාව ආක්‍රමනය කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අවධානය යොමු නොකළේ ජර්මනිය සමඟ ඇති වන යුද්ධයකින් සෝවියට් දේශය විනාශ වනු දැකීමේ ආශාව නිසාය​. ස්ටාලින් ද මේ බව නොදුටුවේ නොවේ.

දෙවැනි ලෝක යුද්ධය​


ජර්මනිය සමඟ යුද්ධය නොවැලැක්විය හැකි බව පෙනී ගිය විට ස්ටාලින් සෝවියට් දේශයේ යුධ ශක්තිය ඉහළ දැමීම ඇරඹීය​.

ජර්මනිය සහ සෝවියට් දේශය දෙරටම 1933 - 1940 කාලය තුල තම යුධ ශක්තිය ඉහළ දමා ගැනීමට උත්සුක වූ අතර​, දෙරටම තමා නිසි ලෙස සූදානම් වීමට ප්‍රථම අනෙකාගෙන් ආක්‍රමනයක් එල්ල වීම වැලැක්වීමට නැගෙනහිර යුරෝපයේ "බෆර් කලාප​" ඇති කර ගැනීමට උත්සහ කළහ​.

මේ අනුව 1939 දී මොලොටොව් - රිබන්ත්‍රොප් ගිවිසුම මගින් ජර්මනිය සහ සෝවියට් දේශය එකිනෙකාට පහර නොදීමේ එකඟතාවකට එලැඹියහ​.

ඉන්පසු ස්ටාලින් එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ නැගෙනහිර පෝලන්තය සෝවියට් දේශයට ඈඳා ගත් අතර​, ෆින්ලන්තය ඈඳා ගැනීමට කළ උත්සහය ව්‍යර්ථ විය​.

ජර්මනිය සහ සෝවියට් දේශය නැගෙනහිර යුරෝපයේ බලය පැතිරවීම​

කෙසේ වුවත් ජර්මනිය සහ සෝවියට් දේශය අතර සාර්ථකව බෆර් කලාපයක් ඇති කර ගැනීමට ස්ටාලින් සමත් විය.

මෙහිදී බෝල්කන් රටවල සෝවියට් ආක්‍රමනයට එරෙහිව ඇති වූ විරෝධතාවය අමානුෂික ලෙස මැඩ පවත්වන ලද්දේ දහස් ගණන් ඝාතනය කිරීමෙනි.

1940 වන විට සෝවියට් දේශය යුධ ශක්තිය අතින් සහ කාර්මික හැකියාව අතින් යුරෝපයේ අනෙක් රටවල් සමඟ කරට කර සිටින තැනකට ගෙන ඒමට ස්ටාලින්ට හැකි විය​.

එහි වැදගත් කම ඔප්පු වූයේ 1941 දී ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කිරීමත් සමඟය​. ජර්මානු යුධ ශක්තිය හමුවේ සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න තත්වයකට පත් වුවත්, රැල්ල ආපසු හැරවීමට සෝවියට් දේශය සමත් විය​.


බාබරෝසා මෙහෙයුම - ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කිරීම

නමුත් මේ සඳහා මිල ගෙවන ලද්දේ මිලියන ගණනක මිනිස් ජීවිත වලින් සහ ගණනය කළ නොහැකි තරම් ධන විනාශයකිනි.

නමුත් ස්ටාලින් විසින් දමන ලද සෝවියට් පදනම බිඳ දැමීමට ජර්මානු ආක්‍රමනයට නොහැකි විය. එම ශක්තිමත් පදනම මත කෙටි කලකින් සෝවියට් දේශය ලෝක බලවතෙක්  ගේ තත්වයට පැමිනීමට සමත්විය​.

සෝවියට් T34 යුධ ටැංකි කර්ස්ක් සටනේ දී


නැවත බැලීම​


ස්ටාලින් ගේ පාලන සමය තුළදී මිය ගිය සෝවියට් වැසියන් ගේ සංඛ්‍යාව මිලියන 35.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

සයිබීරියාවේ ගුලාග් සිර කඳවුරු වලදී මිය ගිය ගණන - මිලියන 1
ඝාතනය කරන ලද දේශපාලන විරුද්ධවාදීන් - මිලියන 0.5
1930-32 සාගතයෙන් මිය ගිය ගණන - මිලියන 5
වාර්ගික ශුද්ධ කිරීමේ වැඩසටහන් යටතේ ඝාතනය කළ ගණන - මිලියන 0.2
යුධ සමයේදී මිය ගිය සෝවියට් හමුදා සෙබළු ගණන - මිලියන 11
යුධ සමයේදී ජර්මන් හමුදා විසින් ඝාතනය කෙරුනු සෝවියට් වැසියන් ගණන - මිලියන  10
යුධ සමයේදී සාගතය සහ වෙනත් හේතු නිසා මිය ගිය සෝවියට් වැසියන් ගණන - මිලියන 6
යුධ සමයේදී ජර්මන් හමුදාවට සහය දීම නිසා සෝවියට් හමුදා විසින් ඝාතනය කෙරුණු සෝවියට් වැසියන් ගණන - මිලියන  1.7


ස්ටාලින් ගේ NKVD පොලිසිය මගින් ඝාතනය කළ යුක්‍රේනියනු ජාතිකයන්

සාගතයෙන් මියගිය යුක්‍රේනියානු ගොවියන්

සටනකින් මියගිය සෝවියට් හමුදා සෙබළුන් ගේ මළ සිරුරු
ජර්මන් හමුදා විසින් සෝවියට් වැසියන් ඝාතනය කිරීම​
ජර්මානු හමුදා භාරයට පත් සෝවියට් යුධ සිරකරුවන්

මේ අතිවිශාල මනුෂ්‍යය සංහාරයෙන් කොටසකට ස්ටාලින් ඍජුවම වග කිවයුතු අතර කොටසක් ඔහුගේ පාලනයෙන් තොරව සිදු වූ ඒවා ය​.

කෙසේ නමුත්, 1928 සහ 1945 අතර කාලයේදී සෝවියට් දේශය මුහුණ දුන් අසාමාන්‍යය දේශපාලන තත්ව යටතේ සෝවියට් දේශයේ පැවැත්ම තහවුරු කර ගැනීමට නම් කළ යුතු දේ ස්ටාලින් නිවැරදිව වටහා ගත් අතර​, ඒ අරමුණ කරා ගමන් කිරීමේදී එල්ල වූ සියළු බාධා පොඩි පට්ටම් කර දැමීමට ඔහු කටයුතු කළේය​. එහිදී ගෙවීමට සිදු වන මිල හෝ සිදු වූ විනාශය ස්ටාලින් ගේ සැලකිල්ලට ලක් නොවීය​.

ඔහුට වැදගත් වූ එකම කරුණ සෝවියට් දේශයේ පැවැත්මයි. ඊට එල්ල වූ අභියෝගය නූතන ඉතිහාසයේ කවර රාජ්‍යය නායකයෙක්ට වත් එල්ල නොවූ තරම් දැවන්ත එකක් විය​. එම අහියෝගය ජය ගැනීමේ ලා ඔහු අති සාර්ථක විය​.

1928 දී ඔහු භාරගත් පසුගාමී දුර්වල දිළිඳු රාජ්‍යය වෙනුවට 1953 දී ඔහු මිය යන විට තිබුනේ සුපිරි ලෝක බලවතෙකි. සෝවියට් වැසියන් ගේ ජීවන තත්වය විශාල වශයෙන් ඉහළ නැංවීමටත්, සියළුම අංශයන් ගෙන් සෝවියට් දේශය ලෝකයේ ඉහළම තැනකට ගෙන ඒමටත් ඔහු සමත් විය​.

සෝවියට් දේශයේ පාසැලක්

ස්ටාලින් අසමත් වූයේ නම්, ජර්මානු ආක්‍රමනය සාර්ථක වූයේ නම්, රටක් වශයෙන් සෝවියට් දේශයේ පැවැත්ම අවසන් වන්නට තිබූ අතර​, රුසියානුවන් ඇතුළු විවිධ ජන වර්ග වලට අයත් සෝවියට් වැසියන් ගේ ඉරනම ඉතාමත් ඛේදජනක එකක් වන්නට තිබිනි.

ලෙනින්.ග්‍රාද් සටනේදී ජර්මානු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ නිවස ඉදිරිපිට හඬා වැටෙන මහළු කාන්තාවක්


ඒ සඳහා ගෙවූ මිල ඊට වටිනා එකක් ද යන්න සහ සමස්තයක් වශයෙන් ස්ටාලින් නිසා සෝවියට් දේශයට සිදු වූයේ යහපතක් ද විනාශයක් ද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතුය​.


1 comment:

  1. ඉතාමත් ආශාවෙන්, එක හුස්මට ලිපි දෙකම කියෙව්වා. බොහොම වටින ලිපි දෙකක්....

    ReplyDelete