Saturday, April 25, 2015

මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුත්තේ ඇයි?



පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් ඇත​.
1. කේවල ආසන ක්‍රමය​
2. සමානුපාතික ක්‍රමය​

කේවල ආසන ක්‍රමයේදී එක් එක් මැතිවරණ කොට්ඨාශය සඳහා වෙන වෙනම මන්ත්‍රීවරයෙක් පත් කරගනු ලබයි. මෙහිදී ඡන්ද දායකයන් විසින් කෙලින්ම අපේක්‍ෂකයා වෙත ඡන්දය ප්‍රකාශ කරන අතර​, ඒ කොට්ඨාශයේ වැඩිම ඡන්ද ලැබූ අපේක්‍ෂකයා මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත් වෙයි. ලංකාවේ 1947 සිට 1977 දක්වා යොදා ගැනුනේ මෙම මැතිවරණ ක්‍රමයයි.

සමානුපාතික ක්‍රමයේදී ඒ ඒ පක්‍ෂය (හෝ ස්වාධීන කණ්ඩායම) විසින් දිස්ත්‍රික්කය සඳහා අපේක්‍ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරනු ලබන අතර​, දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පක්‍ෂය වෙනුවෙන් ඡන්දය ලකුණු කොට, ඊට අමතරව මනාප තුනක් ලබා දෙයි. ඒ ඒ පක්‍ෂ විසින් ලබා ගන්නා ඡන්ද අනුව එම දිස්ත්‍රික්කය වෙනුවෙන් ඒ ඒ පක්‍ෂයට හිමි මන්ත්‍රී ධූර ගණන වෙන් කෙරෙන අතර​, මනාප වැඩියෙන් ලබාගත් අපේක්‍ෂකයන් මන්ත්‍රීවරු වශයෙන් තේරී පත් වෙයි. ලංකාවේ 1977 සිට මේ වන තෙක් ක්‍රියාත්මක වන්නේ මේ මැතිවරණ ක්‍රමයයි.

බැලූ බැල්මට සමානුපාතික ක්‍රමය වඩා සාධාරන බව පෙනෙන්නට තිබුනත්, අත්දැකීමෙන් පෙනෙන්නේ පෙර තිබූ ක්‍රමය වඩා සාර්ථක බවයි. ඇත්තෙන්ම ලංකාවට වඩා ගැලපෙන්නේ කේවල ආසන ක්‍රමයයි.

ඊට හේතු ගණනාවක් ඉදිරිපත් කළ හැක​.


1. ඡන්ද දායකයන්ට "තමාගේ" මන්ත්‍රීවරයෙක් සිටීම​


සමානුපාතික ක්‍රමය ඇරඹුණු පසු දැකගත හැකි වූ ප්‍රධානම වෙනසක් නම් මන්ත්‍රීවරු සහ ඡන්ද දායකයා අතර ඇති වූ දුරස්ථ භාවයයි. කලින් මැතිවරණ කොට්ඨාශයට පමණක් අයත් වූ මන්ත්‍රීවරයා දැන් මුළු දිස්ත්‍රික්කයටම අයත්‍ වේ. එම නිසා එදා සිටි "අපේ මන්ත්‍රීතුමා" වෙනුවට නිකම්ම "මන්ත්‍රීතුමා" ආදේශ වී ඇත​. නමුත් කේවල ආසන ක්‍රමය යටතේ මන්ත්‍රීවරයා කෙලින්ම මැතිවරණ කොට්ඨාශයට වග කියන නිසා නිතැතින්ම ඔහු හා ජනතාව අතර සමීප බවක් වර්ධනය වේ.


2. විශාල මුදලක් නොමැතිව ඡන්දයක් කිරීමට හැකි වීම​


කේවල ආසන ක්‍රමය යටතේ මැතිවරණ ව්‍යාපාර කටයුතු කළ යුතු වූයේ මැතිවරණ කොට්ඨාශය තුළ පමණි. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ මුළු මහත් දිස්ත්‍රික්කය තුළම මැතිවරණ ව්‍යාපාර කටයුතු කිරීමට අපේක්‍ෂකයාට සිදු වෙයි. මෙය විශාල ධනයක් සහ පිරිස් බලයක් අවශ්‍යය වන ක්‍රියාවකි. විශේෂයෙන්ම තමාගේ මනාප අංකය ඡන්ද දායකයා ගේ මතකයේ එබ්බීම සඳහා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක යෙදීමට අපේක්‍ෂකයාට සිදු වී තිබේ. මෙය සුවිසල් ධන නාස්තියකි.

මේ නිසා එක්කෝ නොයෙකුත් බාහිර පාර්ශවයන් ගෙන් මුදල් ආධාර ලබා ගැනීමට අපේක්‍ෂකයාට සිදුවන අතර​, ජයග්‍රහනයෙන් පසු ඔවුන් ගේ විෂමාචාර කටයුතු වලට සහය දීමට ඔහුට සිදු වේ. නැතහොත් මැතිවරණය සඳහා ඉදිරිපත් විය හැක්කේ සල්ලිකාරයන්ටය​. මෙය විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ වලදී කැපී පෙනෙන අතරම් ජයග්‍රාහකයන් සියළුදෙනාම පාහේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හෝ වෙනත් ධනවතුන් බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. අනාගත දේශපාලක පරම්පරාව මෙසේ ධනවතුන් ගේ ග්‍රහණයට ලක්වීම ඉතාමත් භයානක බව පැහැදිලිය​.

කේවල ආසන ක්‍රමය පැවතුන යුගයේ ප්‍රාදේශීයව හොඳ නමක් දිනා සිටි පුද්ගලයන් විශාල මුදලකින් තොරව හොඳ හිත මත යැපෙමින් කළ මැතිවරණ ව්‍යාපාර තවදුරටත් දකින්නට නැත​.


3. සුළු පක්‍ෂ නැවත හිස එසවීම​


බැලූ බැල්මට පෙනෙන පරිදි සමානුපාතික ක්‍රමය සුළු පක්‍ෂ වලට වාසිදායකය​. තනි මැතිවරණ කොට්ඨාශයක් ජය ගැනීමට නොහැකි වුවත් දිස්ත්‍රික්කය පුරා එකතු කරගන්නා ඡන්ද වලින් මන්ත්‍රීධූර දිනා ගැනීමට සුළු පක්‍ෂ වලට හැක​.

නමුත් දත්ත පිරික්සා බැලීමේදී පෙනෙන්නේ ඉඳුරාම වෙනස් කතාවකි.



පැහැදිලිවම පෙනෙන පරිදි කේවල ආසන ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 15%-20% අතර නියෝජනයක් ලැබීමට සුළු පක්‍ෂ වලට හැකි විය​. (මෙම තත්වය වෙනස් වන්නේ එජාපය දැවැන්ත ජයක් ලැබූ 77 දී පමණි).

ඇත්තෙන්ම ස්වාධීන මන්ත්‍රීවරු ද සුළු පක්‍ෂ ගොඩටම දමා සැලකුවොත් මේ ප්‍රතිශතය 20%-25% දක්වා ඉහළ යයි (1947 දී මෙය​ 48% තරම් ඉහළ අගයක් ගත්තේය​). එනම් පාර්ලිමේන්තුවෙන් හතරෙන් එකක් පමණ සමන්විත වූයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ වලින් බැහැර වූ මන්ත්‍රීවරුන් ගෙනි.

මෙය එජාප​-ශ්‍රිලනිප දේශපාලන අධිකාරියට කදිම ප්‍රතිභාරයක් විය​. අද කාලයේ නිතර ඇසෙන "පාර්ලිමේන්තුවේ රිමෝට් කන්ට්‍රෝල් එක​" එදා සැබැවින්ම සුළු පක්‍ෂ සතුවිය​.

නමුත් සමානුපාතික ක්‍රමය යටතේ මේ නියෝජනය 5%-10% දක්වා පහත වැටී ඇති බව ඉහත දත්ත වලින් පෙනේ. සුළු පක්‍ෂ එජාප​-ශ්‍රිලනිප විසින් ගිලගෙන ඇති අතර​, පාර්ලිමේන්තුව සම්පූර්නයෙන්ම එජාප​-ශ්‍රිලනිප ප්‍රධාන පක්‍ෂ වලට නතුවී ඇත​.

මෙහි අවාසි තුනකි.
1. එජාප - ශ්‍රිලනිප පක්‍ෂ වලට අසීමිත බලයක් ලැබීම​
2. ඡන්ද දායකයන්ට විකල්ප නොමැති වීම​
3. සුළු ජාතික පක්‍ෂ වල කේවල් කිරීමේ හැකියාව ඉහළ යාම​

මෙම තත්වයට හේතු කිහිපයක් දැක්විය හැක​.

1. දැවැන්ත මැතිවරණ ව්‍යාපාර වල යෙදීමට සුළු පක්‍ෂ වලට ආර්ථික හැකියාවක් නොමැති වීම​
2. අපේක්‍ෂකයාට වඩා පක්‍ෂයට ඡන්දය දෙන සමානුපාතික ක්‍රමය යටතේ සුළු පක්‍ෂ වලට අවාසියක් සිදු වීම​


4. පක්‍ෂයට නොව අපේක්‍ෂයාට ඡන්දය දීමේ හැකියාව​


කේවල ආසන ක්‍රමයේදී ඡන්ද දායකයාට ඇත්තේ සරළ තේරීමක් කිරීමටය​. එනම් අපේක්‍ෂකයන් කීපයක් අතුරින් තමා කැමතිම අපේක්‍ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමයි. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ මෙය වඩා සංකීර්න වේ.

උදාහරණක් සලකා බලමු.

ගාල්ල දිස්ත්‍රික්කයට A පක්‍ෂයෙන් (b, c, d) යන මන්ත්‍රී වරු ඉදිරිපත් වී ඇතැයි සිතමු. A පක්‍ෂයෙන් ඉදිරිපත් වී ඇති b අපේක්‍ෂකයා කාගෙත් සිත දිනූ යහපත් දේශපාලකයෙක් යැයි ද​, එම පක්‍ෂයේ අනෙක් අය දූෂිත අදක්‍ෂයන් යැයි ද සිතමු.

b අපේක්‍ෂකයා හට කෙතරම් කැමති වුවත්, ඔහුට මනාපය දීමට නම් ඡන්ද දායකයෙක්ට A පක්‍ෂයට ඡන්දය දීමට සිදුවේ. එය වක්‍රාකාරයෙන් c සහ d අපේක්‍ෂකයන්ට ඡන්දය දීමකි (පක්‍ෂයට දෙන ඡන්දය නිසා A පක්‍ෂයෙන් තේරෙන මන්ත්‍රීවරුන් ගණන වැඩි වන නිසා).

එම නිසා එක්කෝ හිත හදාගෙන A පක්‍ෂයේ දූෂිතයන්ටද වාසි වන අයුරින් ඡන් දය ප්‍රකාශ කළ යුතුය​. නැති නම් තම සගයන් නිසා දක්‍ෂ දේශපාලකයෙක්ට මන්ත්‍රී ධූරයක් අහිමි වෙයි.

මේ අයුරින් ජන මතය විකෘති වීම සමානුපාතික ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවයකි.

නමුත් කේවල ආසන ක්‍රමයේදී පක්‍ෂයට අකැමැති වුවත් හොඳ දක්‍ෂ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් වේ නම්, ඡන්ද දායකයාට ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. ඇත්ත වශයෙන්ම අතීතයේ එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන වැනි අපේක්‍ෂකයන්ට එක්සත් ජාතික පාක්‍ෂිකයන් පවා ඡන්දය ප්‍රකාශ කළ බව කියැවේ.

මෙය අතීතයේ සුළු පක්‍ෂ වලට තිබූ ප්‍රධාන වාසියක් ඒවාට අහිමි වීමකි. සුළු පක්‍ෂ වලින් සහ ස්වාධීනව ඉදිරිපත් වූ දක්‍ෂ දේශපාලකයන් (එන්.එම්. පිලිප් කොල්වින් වැනි) නිරතුරුව පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කේවල ආසන ක්‍රමයේ තිබූ මේ පක්‍ෂය වෙනුවට අපේක්‍ෂකයාට ඡන්දය දෙන ක්‍රමය නිසාය​. නමුත් අද තම ඡන්දය අපතේ යයි යන බිය නිසා සුළු පක්‍ෂවලින් ඉදිරිපත් වන දේශපාලකයන්ට දැවැන්ත අවාසියක් සිදු වී ඇත​.

මෙසේ අපේක්‍ෂකයා අභිබ්වා පක්‍ෂය ඉදිරියට එන ක්‍රමය නිසා සිදුවන අනෙක් අවාසිය නම් මන්‍ත්‍රීවරයා අසීමිත ලෙස පක්‍ෂය මත යැපීමයි. තමා පත්වූයේ පක්‍ෂයට ලැබුණු ඡන්දය නිසා බව දන්නා මන්ත්‍රීවරයාට පක්‍ෂයට එරෙහිව හඬ නැගීමේ හැකියාවක් නැත​. එය මන්ත්‍රීවරයාගේ ස්වාධීනත්වයට එල්ල වන බාධාවකි.


6. සුළු පක්‍ෂ වල ස්වාධීනත්වය ආරක්‍ෂා වීම​


කේවල ආසන ක්‍රමය පැවතුණු සමයේ මැතිවරණ සංධාන ඉතාමත් දුලබ විය​. එසේ සංධානයකින් මැතිවරණයට ඉදිරිපත් වූ එකම අවස්ථාව 1956 ශ්‍රිලනිපය ප්‍රමුඛ පක්‍ෂ කීපයක් මහජන එක්සත් පෙරමුණ සෑදීමයි. එදා පැවති ක්‍රමය වූයේ පක්‍ෂ කීපයක් එක්ව නිතරග ගිවිසුම් වලට එළැඹීමයි. එහිදී සුළු පක්‍ෂ වල අපේක්‍ෂයන් තම පක්‍ෂයේ ලකුණෙන්ම මැතිවරණයට ඉදිරිපත් වූහ​. එවිට පාර්ලිමේන්තුවේදී ඔවුන් සැලකුණේ තම පක්‍ෂයේ මන්ත්‍රීවරු වශයෙනි. එය පක්‍ෂයේ ස්වාධීනත්වය රැක් ගැනීමට කදිම පිටුවහලක් විය​.

උදාහරණයකට 1970 දී ශ්‍රිලනිපය සමඟ නිතරග ගිවිසුමකට එළඹුණු ලංකා සමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂයන් 19 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුනු අතර ඔවුහු පාර්ලිමේන්තුවේ දී කටයුතු කලේ සමසමාජ මන්ත්‍රීවරු වශයෙනි. එහිදී ඔවුන්ට සභාග රජය තුළ විශාල කේවල් කිරීමේ හැකියාවක් ලැබිණි.

නමුත් සමානුපාතික ක්‍රමයත් සමඟ මැතිවරණ සංධාන ඇති වුණු අතර​, මේ සංධාන තුළ ප්‍රධාන පක්‍ෂය විසින් සුළු පක්‍ෂ ගිල ගන්නා ලදී. ප්‍රධානම වෙනස වූයේ සුළු පක්‍ෂ වල මන්ත්‍රීවරු සැලකුණේ සංධානයේ මන්ත්‍රීවරු වශයෙන් වීමය​. ඊට අමතරව දිස්ත්‍රික්කයටම ඉදිරිපත් වන පොදු ලැයිස්තුවකින් තරග කිරීමේදී සුළු පක්‍ෂ වල අපේක්‍ෂකයන්ට ප්‍රධාන පක්‍ෂයේ අපේක්‍ෂකයා සමඟ මනාප වලට තරග කිරීමට සිදු වීම විශාල අවාසියක් විය​.

උදාහරණයකට කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉදිරිපත් වන හෙළ උරුමය අපේක්‍ෂකයාට මනාප සඳහා තරග කිරීමට සිදුවන්නේ ශ්‍රිලනිප අපේක්‍ෂකයන් සමඟය​. එය ඔහුට පැහැදිලි අවාසියක් ගෙන දෙයි.


7. මනාප පොරය නැති වීම​


එකම පක්‍ෂවල අපේක්‍ෂකයන් මනාප සඳහා කුලල් කා ගැනීම සිතල යුද්ධ වල තත්වයෙන් බැහැරව ඇණ කොටා ගැනීම් දක්වා දුර දිග ගිය අවස්ථා එමට දකින්නට ලැබිණි. මෙය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමට විශාල හේතුවක් විය​. නමුත් කේවල ආසන ක්‍රමයේදී පක්‍ෂ අතර ගැටුම් ඇති වුනත්, එකම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර ගැටුම් ඇති වීමේ අවස්ථාවක් නැත​.


8. ස්ථාවර ආණ්ඩු පිහිටුවීමේ හැකියාව 


1947 සිට අද දක්වා පාර්ලිමේන්තු මැතිවරණ වලදී ජයග්‍රාහී පක්‍ෂය ලැබූ ආසන ප්‍රතිශතයන් සලකා බලමු



කේවල ආසන ක්‍රමය යටතේ 1947, 1960 මාර්තු, 1965 යන අවස්ථා වලදී හැරුණු විට අනෙක් සියළුම අවස්ථා වල ජයග්‍රාහී පක්‍ෂයට පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් හිමි වී ඇත​. දේශපාලන පක්‍ෂ හරිහැටි සංවිධාන නොවුණු පසුබිමක පැවැත්වුණු 1947 පළමු මහ මැතිවරණය සහ මාස තුනක ආයු කාලයකට සීමා වූ 1960 මාර්තු මැතිවරණය අමතක කළහොත් කේවල ආසන ක්‍රමය යටතේ සරළ බහුතරය ලබා ගැනීමට ජයග්‍රාහී පක්‍ෂයට නොහැකි වන්නේ 1965 දී පමණි.

නමුත් සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වුණු මැතිවරණ වලදී ජයග්‍රාහී පක්‍ෂයට සරළ බහුතරය හිමි වන්නේ අතිශය ප්‍රශ්නකාරී පසුබිමක පැවැත්වුණු 1989 මැතිවරණයේදී සහ යුධ ජයග්‍රහනය සමඟ තිබූ 2010 මැතිවරණයේදී පමණි. සාමාන්‍යයෙන් සුවිශේෂී ජයක් ලෙස සැලකෙන 1994 පොදු පෙරමුණු ජයග්‍රහනයේදී පවා ජයග්‍රාහකයාට සරළ බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය​.

මෙයට හේතුව වන්නේ ප්‍රභල ප්‍රධාන පක්‍ෂ දෙකක් සිටිනා පසුබිමක පක්‍ෂ දෙකටම ආසන්න වශයෙන් සමාන ඡන්ද ලැබීමයි.

මෙසේ සරළ බහුතරය අහිමි පක්‍ෂ රජයක් පිහිටුවීමට යාමේදී ඒවා වාර්ගික පක්‍ෂවල සහය ලබා ගත යුතු තත්වයක් යටතේ වාර්ගික දේශපාලනයට දැවැන්ත කේවල් කිරීමේ බලයක් හිමිවිය​. එහි ප්‍රතිපල අමුතුවෙන් විස්තර කළ යුතු නැත​.



කේවල ආසන ක්‍රමයේ අවාසි


කේවල ආසන ක්‍රමයේ ඇති එකම අවාසිය නම් සමහර අවස්ථා වලදී පරාජිත ප්‍රධාන පක්‍ෂයට හිමි වන ආසන ගණන මගින් එය ලබා ගන්නා සම්පූර්ණ ඡන්ද ගණනට සාධාරනයක් ඉටු නොවීමයි. ප්‍රධාන පක්‍ෂ දෙක මැතිවරණ වලදී ආසනයකට ලැබූ ඡන්ද සලකා බැලීමෙන් මෙය මනාව පැහැදිලි වේ.



කේවල ආසන ක්‍රමය යටතේ පරාජිත පක්‍ෂයේ ආසනයකට ලැබුනු ඡන්ද ගණන ජයග්‍රාහී පක්‍ෂයට වඩා බෙහෙවින් වැඩි බව පෙනේ. උදාහරණයකට 1970 දී එජාපයේ සෑම ඡන්ද 111,325 කටම එක් ආසනයක් ලැබුණු අතර​, ශ්‍රිලනිපයට ලැබුණු සෑම ඡන්ද 20,220 කටම ආසනයක් ලැබී ඇත​!

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙය බොහෝ දුරට අඩු වී ඇති බව පෙනේ.

මෙය වළක්වා ගැනීම සඳහා හොඳම විසඳුම නම් කේවළ​-සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමයි. මෙහිදී යම් ආසන සංඛ්‍යාවක් සමානුපාතික ක්‍රමය යටතේ ලබා දීමෙන් (මනාප වලින් තොරව​) ක්‍රම දෙකේම ඇති යහපත් ලක්‍ෂන ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත​.

Sunday, April 19, 2015

දෙලොවක් අතර​

 

 

ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය හැමදාමත් තිබුනේ දෙලොවක් අතරය​. ඒ මාක්ස්වාදී සිද්ධාන්ත සහ ජාතිකවාදයයි.

ඕනෑම සමාජවාදී ව්‍යාපරයක් ප්‍රායෝගික වශයෙන් ජනතාවාදී වීමට නම්, යම් දුරකට ජාතිකවාදී විය යුතු බව මගේ විශ්වාසයයි (අනිත් අතට ඕනෑම ජාතිකවාදී ව්‍යාපාරයක් ප්‍රායෝගික වශයෙන් ජනතාවාදී වීමට නම්, යම් දුරකට සමාජවාදී විය යුතුය​). සමාජවාදී ව්‍යාපාරයක් ජනතාවාදී වීමට නම්, ජාන්තාවගේ සිතුම් පැතුම් සමඟ ගමන් කළ යුතුය​. ඕනෑම ජනතාවක් තුල ජාතිකවාදී චින්තනයක් ඇති නිසා ජනතාවාදී ප්‍රායෝගික සමාජවාදයක් ජාතිකවාදී වීම අනිවාර්‍යයකි.

 

සමාජවාදයේ පළමු යුගය - ලංකා සමසමාජ පක්‍ෂය

එක්දාස් නවසිය තිස් ගණන් වලින් ඇරඹෙන ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ පළමු යුගයේ ද මේ බෙදීම දැකගත හැකි විය​.

පලමු යුගයේ සමාජවාදී නායකයෝ යුරෝපයේ අධ්‍යාපනය ලැබූ, මධ්‍යම පාන්තික තරුණයෝ වූ අතර​, ඔවුන් මාක්ස්වාදී සිද්ධාන්ත හැදෑරුවේ ඉංග්‍රීසි පොත පත පරිශීලනයෙනි. මාක්ස්වාදී සිද්ධාන්ත ගැන හොඳ දැණුමක් ඔවුන් සතුවූ අතර​, ඒ නිසාම දෝ ඔවුන් වඩා නැඹුරු වූයේ ට්‍රොට්ස්කිවාදය දෙසටයි.

සමසමාජ - බොල්.ෂෙවික්

ලංකාවේ සමාජවාදයේ නියමුවා වූ සමසමාජය​ එක්දාස් නවසිය හතලිස් හතරේදී දෙකඩ වන්නේ පක්‍ෂය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ ඇති වූ මත ගැටුමක් හෙයිනි.

එන්.එම්. සහ පිලිප් ට පක්‍ෂය පුළුල් ජනතාවාදී පක්‍ෂයක් ලෙස සංවිධානය කිරීමට අවශ්‍යය විය​. ඔවුන්ගේ ජන බලය පැතිරී තිබුණේ තුන් කෝරළය​, හතර කෝරළය සහ හේවාගම් කොරළය ආශ්‍රිත සිංහල ගැමියන් අතරය​. සිංහල ගැමියන් මත පදනම් වූ නිසාම ඔවුන් ගේ දෘෂ්ටිය ජාතිකවාදී නැඹුරුවක් ගත්තේය​.

නමුත් පක්‍ෂයේ නායකත්වයෙන් වැඩි පිරිස (කොල්වින්, ලෙස්ලි, බර්නාඩ්, ඩොරික්, විවියන්, එඩ්මන්ඩ්, සෙලීනා, ජැක්) පක්‍ෂය රුසියානු බොල්.ෂෙවික් පක්‍ෂයේ පන්නයට කාඩර් පක්‍ෂයක් ලෙස සංවිධානය කළ යුතුය යන මතයේ සිටියහ​. මොවුහු "පිරිසිදු" ට්‍රොට්ස්කිවාදයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ නිසාම ජාතිකත්වය ප්‍රතික්‍ෂෙප කළහ​. ඔවුන් ගේ බලය පැතිරී තිබුනේ කොළඹ නගරය සහ අවට ප්‍රදේශ වලය​. මේ පිරිස බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය ලෙස වෙනම පක්‍ෂයක් පිහිටුවා ගත්හ​.

1947 මහ මැතිවරණයට මේ පක්‍ෂ දෙක වෙන වෙනම තරග කළහ​. නායකත්වයේ වැඩි පිරිස අහිමි වුවත්, එන්.එම්. සහ පිලිප් ගේ ජනතාවාදය සහ මහජන ආකර්‍ෂනය මත පදනම් වූ සමසමාජය බොල්.ෂෙවික් වරුන් මෙන් දෙගුණයක් ඡන්ද ලබාගත් අතර​, බොල්.ෂෙවික් වරුන් ආසන 5ක් දිනා ගනිද්දී සමසමාජයට ආසන 10ක් හිමි විය​. පිරිසිදු මාක්ස්වාදී සිද්ධාන්ත වලට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත ජනතාවාදී සමාජවාදයක් වඩා සාර්ථක බව ලංකාවේ පළමුවන මහ මැතිවරණයෙන් ම ඔප්පු වන්නේ එලෙසය​.

මහජන එක්සත් පෙරමුණ​

පසුව මේ පක්‍ෂ දෙක එක්සත් වූ අතර​, එවිට මධ්‍යම කාරක සභාවේ වැඩි බලය හිමි වූයේ බොල්.ෂෙවික් වරුන්ටයි. මේ පිළිබඳව තම විරෝධය පාමින් පිලිප් සමසමාජයෙන් ඉවත් වී විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවා ගත් අතර, පසුව එය මහජන එක්සත් පෙරමුණ බවට පරිවර්තනය විය​. පිලිප්ට වඩා මධ්‍යස්ථ මතධාරී එන්.එම්. දිගටම සමසමාජයේ රැඳී සිටි අතර​, සමසමාජයට යම් තරමක ජනතා වාදයක් දිගටම  පවත්වා ගැනීමට ඒ නිසා හැකි විය​.

පණස් ගනන් සහ හැට ගනන් පුරාවටම ලංකා සමාජවාදයේ ප්‍රධාන පක්‍ෂ දෙක ලෙස මහජන එක්සත් පෙරමුණ සහ සමසමාජය දිගටම කටයුතු කළ අතර​, ගැමි ජනයා අතර මේ පක්‍ෂ දෙකම එක ලෙස ජනප්‍රසාදයක් ලැබූහ​.

සමසමාජයේ වැටීම​

1963 සැදූ වාමාංශික එක්සත් පෙරමුන බිඳ වැටීමත් සමඟම පිලිප් සමාජවාදයෙන් ඈත් වෙමින් පිරිසිදු ජාතිකවාදයක් කරා ගිය අතර​, එය අවසන් වූයේ ඔහු 1965 එක්සත් ජාතික පක්‍ෂ රජයේ ඇමති ධූරයක් ලබා ගැනීමෙනි. එය ඔහුගේ දේශපාලන ගමනේ කෙළවර වූ අතර 1970දී ඔහුට අවිස්සාවේල්ල අසුනත් අහිමි විය​. සමසමාජය ශ්‍රිලනිපය සමඟ එක්වී සභාග දේශපාලනයකට ගිය අතර හැට ගණන් පුරාවට ලංකාවේ සිදු වූ සමාජවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ වලට බෙහෙවින් දායක විය​. නමුත් 70-77 ශ්‍රිලනිප රජයට එල්ල වූ ජනතා අප්‍රසාදයට සමසමාජයත් ලක් වූ අතර 1977 ඔවුන්ට එක් ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි විය​.

එන්.එම්. ගේ මරණයත් සමඟම සමසමාජයේ නායකත්වයට පත් වූයේ කොල්වින් සහ ඉන් පසු බර්නාඩ් ය​. පැරණි බොල්.ෂෙවික් වාදීන් වූ ඔවුහු එන්.එම්. ගේ ජනතාවාදයෙන් මිදී පිරිසිදු ට්‍රොට්ස්කිවාදයක් කරා යාමට උත්සහ කිරීම නිසා සමසමාජය කාඩර් පක්‍ෂයක් බවටත්, ඉන් පසුව බෝඩ් ලෑලි පක්‍ෂයක් බවටත් පත්වී විනාශ විය​. අද සමසමාජය යනු පොසිලයක් පමණි. හතරවන ජාත්‍යන්තරය නැමැති මළකඳ පසුපස කොර ගසන විවිධ ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් සහ ඊනියා ජාත්‍යන්තරවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියමින් දෙමළ ජාතිවාදයට කඩේ යන නව සමසමාජය සහ සමසමාජ පක්‍ෂය අතර කිසිදු වෙනසක් අද නැත​.

 

සමාජවාදයේ දෙවන යුගය - ජනතා විමුක්ති පෙරමුණ​

ලංකා සමාජවාදයේ දෙවන යුගය ඇරඹෙන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් බිඳී යන කුඩා කණ්ඩායමක් 1971 දී රාජ්‍ය බලය වෙනුවෙන් සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීමෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සමන්විත වූයේ උගත් ගැමි සිංහල තරුණයන් ගෙනි. ඔවුන් මාක්ස්වාදී සිද්ධාන්ත උගත්තේ සිංහල පොත පත පරිශීලනයෙනි. ඒ නිසාම මාක්ස්වාදී සිද්ධාන්ත ගැන ගැඹුරු දැනුමක් ඔවුන්  සතු නොවීය (මෙය ජවිපෙ නායක විජේවීරටත් පොදුය​). නමුත් සමාජ අසාධාරනයට සහ ආර්ථික සූරාකෑම් වලට ඍජුවම ලක්වූ අය නිසා විප්ලවවාදී ජීව ගුණය සහ කැපවීම අතින් ඉතා ඉදිරියෙන් සිටියහ​.

ජවිපෙ සන්නද්ධ අරගලයක් ඉලක්ක කරගෙන සෑදූ පක්‍ෂයක් නිසා එය නිතැතින්ම කාඩර් පක්‍ෂයක් විය​. පුළුල් මහජන ආකර්‍ෂනයක් සහිත පක්‍ෂයක් වීමට ජවිපෙ තැත් නොකළේ පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක නොකර හෙයිනි. එහි සැකැස්ම ඉතා දැඩි මධ්‍යගත විනයක් සහිත වූ අතර වැඩි වශයෙන්ම රහසිගත දේශපාලනයක නිරත වූ නිසා සාමාජිකත්වය රහසිගත විය​. අදටත් මුල්කාලීන ජවිපෙ නායකත්වය ගැන සාමාන්‍යය ජනතාවට ඇත්තේ අඩු දැණුමකි. එම දැණුම වික්ටර් අයිවන් ගේ "71 කැරැල්ල​" පොතට සහ 71 කැරැල්ලේ නඩු වාර්තා වලට සීමා වී පවතී.


නව ජවිපෙ

88-90 කැරැල්ලෙන් ජවිපෙ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ පසු නව නායකත්වයක් යටතේ නව මුහුණුවරකින් පක්‍ෂය නැවත ගොඩ නැංවීම අරඹන ලදී. මේ නව නායකත්වය සමන්විත වූයේ සෝමවංශ අමරසිංහ​, ටිල්වින් සිල්වා, නන්දන ගුණතිලක​, විමල් වීරවංශ​, අනුර කුමාර දිසානායක වැන්නවුන් ගෙනි.

නව ජවිපෙ වඩා ජනතාවාදී දේශපාලනයක නිරත වන බවක් පෙනෙන්නට තිබිණි. 88-90 සමයේ සිදු කළ භීෂන ක්‍රියාකාරකම් අමතක කරමින් එයට ජනතා ප්‍රසාදය වැඩි වැඩියෙන් හිමිවන බව පෙනෙන්නට තිබිණි. පාර්ලිමේන්තු මැතිවරණ වලදී එය 94 දී ආසන 1ක්, 2000දී ආසන 10ක්, 2001 දී ආසන 16ක් ලෙස ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කළේය​. සෝමවංශ අමරසිංහ කැරිස්මැටික් නායකයෙක් නොවුවත්, ඔහුගේ උපක්‍රම සාර්ථක වන බව පෙනෙන්නට තිබිණි.

2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ රජයේ දෙමළ ජාතිවාදයට හිතවත් ප්‍රතිපත්ති වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික තීන්දුවක් ගනිමින් ශ්‍රිලනිපය සමඟ එක්ව තරග කිරීමට එකඟ විය​. එහිදී ජවිපේ අපේක්‍ෂකයන් සෑම දිස්ත්‍රික්කයකම පාහේ වැඩිම මනාප දිනා ගැනීමට සමත් වූ අතර​, එක්සත් ජනතා නිදහස් සංධානයට හිමිවූ ආසන 105න් 39ක් ම ජවිපෙ මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත විය​.

මෙය ලංකාවේ මැතිවරණයකදී සමාජවාදී පක්‍ෂයක් ලද දැවැන්තම ජයග්‍රහණය වන අතර, ජවිපෙ ඉතිහාසයේ මෙන්ම ලංකා ඉතිහාසයේද හැරවුම් ලක්‍ෂයක් විය හැකිව තිබූ සිද්ධියක් විය​. ජවිපෙ සමාජවාදී-ජනතාවාදී-ජාතිකවාදී දේශපාලනය ජනතාව මහ ඉහළින් අනුමත කරන බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

2005 ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්‍ෂ ගේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දුන්නේ ජවිපෙ විසිනි. ජවිපෙ සැබැවින්ම ලංකා දේශපාලනයේ දුරස්ථ පාලකය හිමිකරගත් බව පෙනෙන්නට තිබිණි.

නමුත් මේ ස්වර්ණමය අවස්ථාව ජවිපෙ විසින් විනාශ කරගන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි.

ජවිපෙ දෙදරයි

නමුත් ජවිපෙ කාඩර් පක්‍ෂයක තත්වයෙන් මිදී නොමැති බව පෙන්නුම් කරවන සිද්ධියක් 2008 දී සිදු විය​. ඒ අයවැයට සහය දීම උඩ සිදු වූ මත ගැටුමක් නිසා පක්‍ෂය දෙකඩ වීමයි. යුද්ධාය සාර්ථකව කෙරීගෙන යන අවස්ථාවකදී අය වැයට පක්‍ෂව ඡන්දය නොදීමට ජවිපෙ නායකත්වය තීරණය කළ අතර​, පක්‍ෂය තුළ සිටි විමල් වීරවංශ සහ නන්දන ගුණතිලක ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම ඊට පිටින් යමින් අයවැයට පක්‍ෂව ඡන්දය දීම නිසා ඔවුන්ව පක්‍ෂයෙන් නෙරපා හරින ලදී.

පසුව විමල් වීරවංශගේ "නැත්ත වෙනුවට ඇත්ත​" පොතෙන් පක්‍ෂය තුළ කණ්ඩායම් කීපයක් තිබුණු බව ප්‍රකාශ කෙරිනි. "කුමාර් මහත්තයා" නමින් හැඳින්වුනු චරිතයක් පිරිසිදු මාක්ස්වාදී සිද්ධාන්ත මත පක්‍ෂය ගොඩනැංවීමට කටයුතු කරන බව සහ​, ඒ නිසාම ඔහු ජාතිකවාදී කණ්ඩායමට විරුද්ධ වන බවට ඉන් චෝදනා කෙරිනි. ජවිපෙ විසින් මේ චෝදනා ප්‍රතික්‍ෂේප කළද​, පසුව ඇතිවූ සිද්ධීන් ගෙන් පෙනී ගියේ මේ චෝදනා සත්‍යය බවයි.

විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ජාතිකවාදී කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණ නමින් වෙනම පක්‍ෂයක් පිහිටුවාගෙන දිගටම ශ්‍රිලනිපය සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර​, යුධ ජයග්‍රහනයටත්, ඉන් පසුව ඇතිවූ ජාතිකවාදී දේශපාලන පුබුදුව වෙනුවෙනුත් දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කළහ​. නමුත් ඔවුන් ක්‍රමයෙන් තම සියළු දේ ශ්‍රිලනිපය වෙනුවෙන් උකසට තබන තත්වයක් ඇතිවන බව පෙනෙන්නට වූ අතර ඒ නිසාම ක්‍රමයෙන් ඔවුන් ගේ ජනප්‍රියත්වයද ගිලිහී යන ලදී.

විමල් වීරවංශ ගේ "නැත්ත වෙනුවට ඇත්ත" පොතෙන් හෙළි කළ පරිදි සෝමවංශ අමරසිංහ 2008 දී දරා ඇත්තේ ජාතිකවාදී කණ්ඩායමට හිතවාදී මතයකි. නමුත් දැඩි මධ්‍යගත පක්‍ෂ විනය නිසා ඔහු ඒ බව ජනතාවට හෙළි  නොකරන ලද අතර​, පක්‍ෂයේ තීන්දුව රටට අහිතකර බව විශ්වාස කරමින් ම එය ක්‍රියාත්මක කළේය​. මෙය ජවිපෙ තවමත් කාඩර් පක්‍ෂයක තත්වයෙන් නොමිදුනු බවට හොද සාක්‍ෂියක් විය​.

පසුව නැවතත් පක්‍ෂය දෙකඩ කරමින් කුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු "පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය​" බිහිවිය​. මෙම පක්‍ෂය "පිරිසිදු" මාක්ස්වාදී පක්‍ෂයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර, දැඩි ලෙස ජාතිකත්වයට විරුද්ධ සහ දෙමළ ජාතිවාදයට හිතවාදී ස්ථාවරයක් දැරීය​. ජවිපේ ජීවනාලිය ලෙස බොහෝ දෙනෙක් මෙතෙක් හඳුනාගෙන සිටි සමාජවාදී ශිෂ්‍යය සංගමය පෙරටුගාමීන් අතට පත් විය​. එය ජවිපෙ තුළ පැවති ජාතිකවාදී සහ සෛද්ධාන්තික මාක්ස්වාදී බල අරගලය පුපුරා යාමක් බව වඩාත් තහවුරු කළේය (සෛද්ධාන්තික මාක්ස්වාදයට නැඹුරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පෙරටුගාමීන්ට ළං වූ අතර​, අනෙකුත් කාඩරය ජවිපෙ තුළම රැඳී සිටියහ).

පෙරටුගාමීන් තවත් බෝඩ් ලෑලි පක්‍ෂයක තත්වයෙන් ඉදිරියට යන බවක් මේ වන තුරු පෙන්වා නැත​. ජාතිකවාදී-ජනතාවාදය අමතක කරමින් ඊනියා පිරිසිදු මාක්ස්වාදී මාවතේ ඔවුන්ට පෙර ගමන් කළ පක්‍ෂ වලට අත්වූ ඉරණමට වඩා වෙනස් ඉරණමක් ඔවුන්ට අත් නොවීමට කිසිදු හේතුවක් නැත​.

2015 දී පක්‍ෂය තුළ අර්බූදය අවසන් වී නැති බව සනාථ කරමින් පැරණි නායක සෝමවංශ අමරසිංහ පක්‍ෂයෙන් ඉවත් විය​. ඔහුගේ ප්‍රධාන චෝදනා දෙක වූයේ පක්‍ෂය තුළ ජාතිකවාදයට කිසිදු ඉඩක් නොමැති වීම (පිරිත් නූලක් බැඳගෙන සිටීම පවා පක්‍ෂයෙන් ප්‍රතික්‍ෂේප කරන බව කියැවිනි) සහ පක්‍ෂය කාඩර් පක්‍ෂයක තත්වයෙන් මිදී පුළුල් ජනතාවාදී පක්‍ෂයක තත්වයට යාමේ කිසිදු සැලසුමක් නොමැති වීමයි.

ඉදිරිය​

ජවිපේ අද අත්දැක ඇත්තේ අමුතු අර්බූදයක් නොව එදා සිටම සමාජවාදී පක්‍ෂ විසින් මුහුණ දුන් ප්‍රශ්නයකි. සමාජවාදී-ජනතාවාදී-ජාතිකවාදී දේශපාලනය ලාංකික ජනතාව විසින් ඉහළින්ම අනුමත කරන බව පැහැදිළිවම පෙනෙන්නට තිබියදීත්, දැන දැනම ඊනියා මාක්ස්වාදයක් කරා ගමන් කිරීමට ගොස් 2008 දී සෝමවංශ අමරසිංහ කරගත් ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට අවුරුදු හතකට පසු ඔහු අද ඉදිරිපත් වී තිබේ. අපි ඔහුට සුබ පතමු.

Tuesday, April 7, 2015

සමරකෝන් සහ මහින්ද මහත්තයා.




අපේ වැඩපොළේ සමරකෝන් (අන්වර්ථ නමකි) කියා ඩයල් එකක් සිටී. අවුරුදු පනස් පහක් පමණ වයසය. හිත හොඳ මනුස්සයෙකි. පොතේ උගතෙක් නොවෙතත් (සමරකෝන් පාස් සාපේ පමණි) නියම වැඩකරුවෙකි. අපි වැනි (සාපේක්‍ෂව​) තරුණ වයසේ අයට සමරකෝන් හරි ආදරේය​.

පහගිය සති අන්‍තයේ සමරකෝන් පවුලේ උදවියත් සමඟ කතරගම ගොස් ඇත​. අද උදේ මා වැඩට එන විට කොම්පියුටරයක් වට කරගෙන වැඩපොළේ සගයන් සමරකෝන් කතරගම ගිය ෆොටෝ බලයි.

ෆොටෝ බලන ගමන් මම විහිළුවට "සමරකෝන් ගියෙ නැද්ද මැදමුලනෙ?" කියා ඇසීමි.

බලද්දී මූ ඇත්තටම මැදමුලනේ ගොස් ඇත​.

"ගියා මහත්තයා - ජනාධිපතිතුමා බලල ආවෙ".

සමරකෝන්ට තවමත් මහින්ද රාජපක්‍ෂ මහතා "ජනාධිපතිතුමා" ය​. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ගැන කතා කළේ සංවේගයෙනි.

"කොළ පාට අත්කොට ෂර්ට් එකක් ඇඳල හිටියෙ. ගාඩ්ල තුන හතරක් හිටියා. එස්ටීඑෆ් කාරයෙක් ටොම්බ ගන් එකක් තියාගෙන හිටිය​. එච්චර තමයි. බොහොම සාමාන්‍යය විදිහට හිටියෙ. ටිකක් ඇදිල ගිහිල්ල වගේ මහත්තයා. මට දුකේ බෑ. රජෙක් වගේ හිටපු මනුස්සය නෙ. හැබැයි හොඳට මාත් එක්ක කතා බහ කරා"

මට එක පාරටම මතක් වුනේ සමරකෝන් පහුගිය ඡන්දයේ ඡන්දය දුන්නේ මයිත්‍රීපාල සිරිසේන මහතාට බවයි.

"සමරකෝන් ගිය පාර හංසයට නේද ගැහුවෙ?"

"ඔව් මහත්තය​. හංසයට කියන්නෙ අලියට. අපි එදා ඉඳල අලියට නෙ"

"එහෙනං මොකද මහින්ද මහත්තය බලන්න ගියේ?"

"යුද්ධෙ ඉවර කරපු මනුස්සයනෙ මහත්තය​. අනිත් එක හිත හොඳ මිනිහ​. ඔය අනික් උං වගේ නෙවෙයි කිසි ආඩම්බරයක් නෑ."

"ඒ කියන්නෙ සමරකෝන් මේ පාර මහින්දට ද දෙන්නෙ?"

"අනේ නෑ මහත්තය​. සතා දැක්කම වෙන එකකට ගහන්න හිතෙන්නෙ නෑ"

සමරකෝන් "සතා" කිව්වේ අලියාටය​

මෙහෙව් උං ඉන්න රටක දේශපාලනය කතා කරන අපිට පුකේ ඉඳන් පිස්සුය​.

Tuesday, March 10, 2015

1947 මහ මැතිවරණය​




නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව සඳහා මහ මැතිවරණය පැවැත්වුනේ 1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දින තෙක් ය​.

දේශපාලන පක්‍ෂ​

 1947 මහ මැතිවරණය සඳහා තරග කළ දේශපාලන පක්‍ෂ පහත පරිදි වේ.

කොන්සර්වේටිව් පක්‍ෂ​

බටහිර හිතවාදී කොන්සර්වේටිව් ප්‍රතිපත්ති යටතේ එක්සත් ජාතික පක්‍ෂය තරග කළ අතර​, එය බොහෝ දුරට ලංකා ජාතික කොංග්‍රසයේ දිගුවක් විය​. බ්‍රිතාන්‍යය පාලනය යටතේ වරප්‍රසාද ලත් සහ පාරම්පරික ප්‍රභූන් එහි නායකත්වය ඉසිලූහ​.

 

වාමාංශික පක්‍ෂ​

වාමාංශික පක්‍ෂ තුනක් මැතිවරණය සඳහා සහභාගී වූ අතර ඒ සියල්ල පැරණි සම සමාජ පක්‍ෂයෙන් බිඳී ආ කොටස් විය​. සම සමාජය සහ බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය ට්‍රොට්ස්කිවාදී මත දැරූ අතර​,  දැඩි අධිරාජ්‍යය විරෝධී ස්ථාවරයක් දැරූහ​.කොමියුනිස්ට් පක්‍ෂය සෝවියට් හිතවාදී විය​. මේ පක්‍ෂ වල නායකත්වය සමන්විත වූයේ යුරෝපයේ අධ්‍යාපනය ලද තරුණයන් ගෙනි. ඔවුන් ගේ ඡන්ද පදනම නාගරික කම්කරුවන් සහ ගැමි ගොවීන් අතර එකසේ පැතිරී තිබිණි.

 

 දෙමළ ජාතිවාදී පක්‍ෂ​

දෙමළ කොංග්‍රසය උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව පදනම් කරගත් පක්‍ෂයක් වූ අතර එහි නායකත්වය බ්‍රිතාන්‍යය පාලන සමයේ වරප්‍රසාද ලත් දෙමළ උගතුන් ගෙන් සමන්විත විය. ලංකා ඉන්දීය කොංග්‍රසය උඩරට දෙමළ ජනතාව පදනම් කර ගත්තේය​. දෙමළ කොංග්‍රසය බ්‍රිතාන්‍යයත් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ස්ථාවරයක් දැරුවද​, ලංකා ඉන්දීය කොංග්‍රසයේ ඡන්ද පදනම මුළුමනින්ම පාහේ වතු කම්කරුවන් ගෙන් සමන්විත වූ නිසා ඔවුහු වාමාංශික නැඹුරුවක් සහිත වූහ​.



 වෙනත් පක්‍ෂ​

ලංකා කම්කරු පක්‍ෂය කොළඹ නගරයේ කම්කරුවන් පදනම් කර ගත් පක්‍ෂයක් විය​. නිදහසට පෙර එය සැලකිය යුතු බලයක් සහිත පක්‍ෂයක් වුවද​, 1947 වද්දී වාමාංශික පක්‍ෂ විසින් එහි ඡන්ද පදනම මුළුමනින්ම පාහේ ගිලගෙන තිබිණි.





මැතිවරණ ප්‍රතිඵල​

 

මැතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම ආසන ගනනක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වුවද​, ඔවුන්ට සරළ බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය​.

වාමාංශික පක්‍ෂ තුනට බෙදී තරග කළ අවස්‍ථාවක් යටතේ වුවද දැවැන්ත ජයක් ලැබීමට සමත් වූ අතර​, ප්‍රකාශිත මුළු ඡන්ද වලින් 20% පමණ ලබා ගත්හ​. කොළඹ අවට සහ කළුතර​, කෑගල්ල, මාතර දිස්ත්‍රික්ක වල වාමාංශික බලය කැපී පෙනිනි.

දෙමළ කොංග්‍රසයට යාපනය අර්ධ ද්වීපයේ බලය හිමි වුවද​, නැගෙනහිර හෝ වන්නියේ සැලකිය යුතු බලයක් හිමි නොවිනි. ඉන්දියානු කොංග්‍රසය උඩරට ආසන සියල්ලම පාහේ දිනා ගත්තේය​.

ස්වාධීන මන්ත්‍රීවරු විශාල ප්‍රමානයක් පත්වීමද කැපී පෙනිනි.


 මැතිවරණ ප්‍රතිඵල සටහන​




මැතිවරණ සිතියම​

අවසානයේ දී ස්වාධීන මන්ත්‍රීවරුන් ගෙන් කොටසක් සහ දෙමළ කොංග්‍රසයේ සහය ඇතිව රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි විය​. ඩී.එස්. සේනානායක ලංකාවේ පළමු අගමැති වශයෙන් තෝරා ගැනිනි.

විපක්‍ෂ නායක ධූරය එන්.එම්. පෙරේරා ට හිමි විය​.

Wednesday, February 11, 2015

ශ්‍රී ලංකාවේ පළාත් බෙදීම් - අළුත් යෝජනාවක්



ත්‍රි සිංහලය (රුහුණු-මායා-පිහිටි)

 ශ්‍රී ලංකාවේ මුල්ම පළාත් බෙදීම අපට හමුවන්නේ එළාර රජුගේ යුගයේදීය​. එකළ ලංකාව ත්‍රි සිංහලය හෙවත් රුහුණු-මායා-පිහිටි නමින් කොටස් තුනකට බෙදා තිබූ බව වංශ කතාවල දැක්වේ.

ඉන්පසු විවිධ අවස්ථා වලදී ලංකාවේ විවිධ ආකාරයේ පළාත් බෙදීම් අපට හමුවේ.

මෑත ඉතිහාසයේ පළමු පළාත් බෙදීම වාර්තා වන්නේ 1833 දීය​. එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පළාත් පහකට (උතුරු, දකුණු, නැගනහිර, බටහිර සහ මධ්‍යයම ලෙස​) බෙදන ලදී. මේ බෙදීම කිසිදු පදනමකින් තොරව සිදු කෙරුණු අතර එය හුදෙක් සිතියමක් මත පැන්සලයකින් ඉරි ඇඳීමක් පමණක් විය​. මේ බෙදීමෙන් බලාපොරොත්තු වුන මූලික කරුණ නම් පැරණි කන්ද උඩ රට රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශ පහතරට ප්‍රදේශ සමඟ එක් කොට, එමඟින් කන්ද උඩරට රාජධානිය කැබැලි වලට කඩා දැමීමයි.


බ්‍රිතාන්‍යයන් ගේ 1833 පළාත් බෙදීම​


ඉන්පසු 1845 දී වයඹ පළාතත්, 1873 දී උතුරු මැද පළාතත්, 1886 දී ඌව පළාතත්, 1889 දී සබරගමුව පළාතත් වශයෙන් නව පළාත් 4 ක් ඇති කරන ලදී.

මේ පළාත් තවදුරටත් දිස්ත්‍රික්ක 25කට බෙදා වෙන් කර ඇත​.

මේ අනුව අද අපි දකින පළාත් බෙදීම 1900 වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරන ලද්දකි.

වර්තමාන පළාත් සහ දිස්ත්‍රික්ක බෙදීම්


නව පළාත් බෙදීමේ යෝජනාව​

මේ බ්‍රිතාන්‍යයන් විසින් අප මත පටවන ලද ක්‍රමය වෙනුවට නව, වඩාත් පදනමක් සහිත පළාත් බෙදීමේ ක්‍රමයකට යෝජනාවකි මේ.


මෙහිදී ශ්‍රී ලංකාව "රට​" නමින් හැඳින්වෙන පළාත් 7 කට බෙදා ඇත​. ඒ එක් එක් "රට" දිස්ත්‍රික්ක 2ක්, 3ක් හෝ 4ක් වශයෙන් අනු බෙදීම් වලට ලක් කොට ඇත​. ඊට අමතරව කොළඹ නගරය ප්‍රදේශය වෙනම ඒකකයක් වශයෙන් සලකා ඇත​.

මේ පළාත් බෙදීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ඇත​.

1. මෙම බෙදීමේ දී කුඩාම ඒකකය ලෙස සලකා ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයි.

2. භූගෝලීය සහ දේශගුණික සන්තතික බව
මෙය සැලකිල්ලට ගෙන ඇති ප්‍රධානම කරුණයි. එකම දේශගුණික සහ භූ ගෝලීය ලක්‍ෂන සහිත ප්‍රදේශ හැකි තාක් දුරට එකම පළාතකට ගෙන ඇත​. මින් බලාපොරොත්තු වූයේ භූගෝලීය - දේශගුණික සාධක මත බොහෝ දුරට ඒ ඒ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත රඳා පවතින හෙයින් එකම ආකාරයේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත සහිත ප්‍රදේශ එකම පළාතකට ගෙන ඒමයි.

3. ජනගහ​ණය
පළාතක හෝ දිස්ත්‍රික්කයක ජනගණය ඉතා කුඩා හෝ ඉතා විශාල නොවන ලෙස බෙදීම් සිදු කර ඇත​. එක් පළාතක් තුල දිස්ත්‍රික්ක බෙදීමේදී හැකිතාක් දුරට සමාන ජනගහණයන් සිටින සේ දිස්ත්‍රික්ක බෙදීම් කර ඇත​.

4. විශාලත්වය​
පළාත් ඉතා කුඩා හෝ ඉතා විශාල නොවන ලෙස බෙදීම් සිදු කර ඇත​.

5. වාර්ගික බෙදීම්
සමස්ත ජාතියක් වශයෙන් අනුගත වීමට ඇති ප්‍රධානම බාධාව "වාර්ගික කුට්ටි" (Ethnic Enclaves) බිහි වීම නිසා හැකි තාක් දුරට ජනවර්ගයන් සඳහා "වාර්ගික කුට්ටි" නොලැබෙන සේ බෙදීම් කර ඇත​.

6. දැනට පවතින බෙදීම්
හැකිතාක් දුරට දැනට පවතින බෙදීම් පදනම් කර ගනිමින් නව බෙදීම් සිදු කර ඇත​.

7. පරිපාලනමය අවශ්‍යයතා
දිස්ත්‍රික්ක බෙදීම් සිදු කිරීමේදී ඒ ඒ දිස්ත්‍රික්කයට ප්‍රධාන නගර අඩු තරමින් තුනක්වත් හසු වන ආකාරයට බෙදීම් කර ඇත​.

8. සම්පත් බෙදී යාමේ සමමිතික බව​
හැකි තරම් සම්පත් සමමිතිකව බෙදී යන ලෙස පළාත් බෙදා ඇත​. උදාහරණයකට (එක් පළාතකට හැරුණු විට) සියළුම පළාත් වලට වෙරළ තීරයක් සහ වරායක් හසු වන ලෙස බෙදීම් සිදු කර ඇත​.

9. පළාත් සහ දිස්ත්‍රික්ක නම් කිරීමේදී ඓතිහාසික ප්‍රදේශ නාමයන් අනුව ඒවා නම් කර ඇත​.

 


පළාත් බෙදීම්


දිස්ත්‍රික්ක බෙදීම්




ඒ ඒ දිස්ත්‍රික්ක සහ පළාත් වල විස්තර​

Wednesday, February 4, 2015

දසමහා යෝධයන් ගේ උප්පත්ති කතා




අපේ ජාතික වීරයන් පිළිබඳ විස්තර සමාජගත කිරීමේ අභිලාෂයෙන් ලියැවෙන ලිපියකි. ථූපවංශය ඇසුරෙනි

 නන්දිමිත්‍ර​

එළාර රජු යටතේ මිත්‍ර නම් සිංහල සෙනෙවියෙක් සේවය කළේය​. ඔහු ගේ නැඟණිය වාසය කළේ අනුරාධපුර නගරයට නැගෙනහිරින් පිහිටි සිතුල්පව්ව ප්‍රදේශයේ කඩරොද නම් ගමේය​. එම නැඟණියගේ පුතා හට මිත්‍ර සෙනෙවියාගේ නමින් "මිත්‍ර​" යන නම තබන ලදී.

මිත්‍ර කුඩා දරුවා දණගානා වියේදී නිවසින් ඈතට යාම වළක්වනු පිණිස ඔහුගේ මව දරුවාගේ ඉණ වටා රැහැණක් බැඳ එය නිවසේ කුරහන් ගලට ගැට ගසා තැබුවාය​. නමුත් කුඩා මිත්‍ර කුරහන් ගලත් ඇදගෙනම නිවසේ එළිපත්ත දක්වා පැමිණියේය​. එළිපත්තේදී කුරහන් ගල පඩියේ පැටලී දරුවාට තව දුරටත් කුරහන් ගල ඇදගෙන යාමට නොහැකි විය​. නමුත් කුඩා දරුවා වැර යොදා ඇද්ද විට ඉණවටා බැඳි රැහැණ කැඩී ගියේය​. මෙසේ වරපට කැඩී ගිය නිසා ඔහු එතැන් සිට "නන්දිමිත්‍ර​" යන නමින් ප්‍රසිද්ධ විය​.

ඉතාමත් ශක්තිමත් තරුණයෙක් ලෙස වැඩුණු නන්දිමිත්‍ර ඇතුන් දස දෙනෙකුගේ ශක්තියෙන් යුක්ත වී යැයි කියනු ලැබේ. නන්දිමිත්‍ර තරුණයා අනුරාධපුරයට ගොස් මිත්‍ර මාමා යටතේ එළාර රජතුමාගේ හමුදාවට බැඳී සේවය කළේය​.

එකල එළාර රජුගේ විදේශික හමුදා සෙබළු ථුපාරාම මළුව සහ ශ්‍රී මහා බෝධි මළුව විනාශ කරමින් හැසිරීම සිරිතක් කර ගත්හ​. නන්දිමිත්‍ර තරුණයා මේ දැක බෞද්ධ සිද්ධස්ථාන රැකීම තම යුතුකමක් කොට සළකමින් මළුවේ සැඟවී සිට එසේ පැමිණන සෙබළුන් අල්ලා එක් පයක් තම දකුණු පයින් පාගා ගෙන අනෙක් පයෙන් අල්ලා දෙකට ඉරා දමා මළ සිරුරු බෝධි මළුවේ ප්‍රාකාරයෙන් එළියට විසි කළේය​.

තම සෙබළුන්ට අත්වන විපත දුටු එළාර රජුගේ සෙනෙවියෝ සාහාසිකයා අල්ලා ගැනීම පිණිස මුරකාවල් යෙදුවද, නන්දිමිත්‍ර අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය​.

මෙසේ තනිවම සටන් කොට ජයක් ලැබිය නොහැකි බව තේරුණු නන්දිමිත්‍ර තරුණයා රුහුණට පලා ගොස් කාවන්තිස්ස රජු යටතේ සේවයට පිවිසියේය​.


සුරනිමල​

කාවන්තිස්ස රජතුමා එළාර රජුගේ හමුදාව මහවැලි ගඟින් මෙගොඩට පැමිණීම වැලැක්වීමට ගඟ දිගට ආරක්‍ෂක රැකවල් යොදා තිබිණි. ඉන් එක් ස්ථානයක් වූ කසාතොට රැකීමට පත්කරන ලද්දේ තම පුතෙකු වූ (අග බිසව වූ විහාරමහා දේවිය ගේ පුතෙකු නොවේ) දීඝාභය කුමරුයි. දීඝාභය කුමරු කසාතොටට ගව් හතරක් නුදුරින් වූ සියළුම ගම් වලින් එක් තරුණයෙක් බැගින් රාජකාරි සඳහා කැඳවීය​.

කෙළිවාරි නම් ජනපදයේ කඩවිටි ගම සංඝ හට පුතුන් හත් දෙනෙක් ඇති බව ඇසූ දීඝාභය කුමරු ඉන් එක පුතෙකු රාජ සේවයට එවන ලෙස ඔහුට දන්වා සිටියේය​. සංඝ ගේ බාලම පුතා වූ "නිමල​" ඉතාමත් සවි බල ඇති තරුණයෙකු වූ මුත් කිසිදු රැකියාවක් නොකළ හෙයින් වැඩිමල් සෝයුරෝ රාජ සේවය සඳහා ඔහුව යවන ලෙස පියා කැමැති කරවා ගත්හ​.

නිමල තරුණයාද හිමිදිරියේම කඩවිට ගමෙන් පිටත් වී හිරු නැගෙන විට වන විට දොළොස්ගව්වක් දුරින් පිහිටි කසාතොට ට පැමිණියේය​. එතරම් දුරක් එතරම් කෙටි කලකින් පැමිණීම පිළිබඳ විශ්මයට පත් දීඝාභය කුමරු, තරුණයා පරීක්‍ෂා කිරීමට සිතා මිහින්තලය සමීපයේ පිහිටි ද්වාරමණ්ඩල නම් ගමේ වාසය කළ තම මිතුරු බමුණෙකු ට ඔහු අත හසුන් පතක් යැවීය​. කසාතොටින් උදෑසන බත කා පිටත් වූ නිමල​, ගව් තිස් හයක් දුර ගෙවා දහවල් වනවිට ද්වාරමණ්ඩලයට පැමිණියේය​.

මේ පුවත් ඇසූ මිතුරු බමුණා විශ්මයට පත්වී දහවල් බත කෑමට තිසා වැවට ගොස් ස්නානය කොට පැමිණෙන ලෙස තරුණයාගෙන් ඉල්ලා සිටියේය​. අනුරාධපුරයට ගොස් නිමල තිසා වැවෙන් දිය නා, ශ්‍රී මහා බෝධියට මල් පුදා ථූපාරාමයද වැඳගෙන දහවල් බතට නැවත මිහින්තලයට පැමිණියේය​. බමුණා තරුණයා ගේ දස්කමින් විස්මයට පත්ව ඔහු කාවන්තිස්ස රජු යටතේ සේවයට යවන මෙන් දීඝාභය කුමරුට දන්වා සිටියේය​.

දීඝාභය කුමරු නිමල තරුණයාට තෑගි බෝග දී පිය රජතුමා යටතේ සේවය කිරීමට මාගමට යැවීය​. නිමල ද එක දිනකින් මග ගෙවා මාගමට පැමිණ කාවන්තිස්ස රජතුමා යටතේ සේවයට බැඳුනේය​. බොහෝ සූර වීර වූ නිසා ඔහු "සුරනිමල​" නමින් ප්‍රසිද්ධ විය​.


මහාසොණ​

මල්වතුමඬුල්ලේ උතුරු කරවිටි ගමේ විසූ තිස්ස ට පුතුන් අට දෙනෙක් විය​. ඉන් බාලම පුතා සොණ ඉතාමත් ශක්තිවන්තයෙක් විය​. ඔහු හත් හැවිරිදි වියේදී තමා තරම් උස තල් ගස් උදුරා දමන්නේය​. දස හැවිරිදි වියේදී හොඳින් වැඩුණු තල් ගස් උදුරා දමන්නේය​. ඔහු දහසය වන වියට පත් වූ විට ඇතුන් දස දෙනෙකු තරම් ශක්තිමත් වූයේ යැයි කියනු ලැබේ. ඉතාමත් ශක්තිමත් වූ බැවින් සොණ තරුණයා "මහාසොණ​" නමින් ප්‍රසිද්ධ විය​.

කාවන්තිස්ස රජතුමා ඔහු ගැන අසා, තමා යටතේ සේවයට කැඳවා ගත්තේය​.



ගොඨයිම්බර​

දොළොස්දහස් රට නිටුල්විටි නම් ගමේ මහානාග හට පුතුන් හත් දෙනෙක් විය​. බාලම පුතා අභය නම් විය​. ඔහු මිටි තැනැත්තෙක් වූ හෙයින් වැඩිමල් සොහොයුරෝ ඔහුට "ගෝඨයා" නමින් උසුළු-විසුළු කළහ​. මිටි වුවද අභය ඉතාමත් ශක්තිමත් තරුණයෙක් විය​.

දිනක් වැඩිමල් සෝයුරන් හය දෙනා හේනක් කෙටීම සඳහා පිටත් ව ගිය ද අභය අලස කමින් ගෙදරට වී උන්නේය​. වැඩිමල් සෝයුරෝ ඉඹුරු වනයකින් කොටසක් ගස් කපා සකස් කොට නැවත නිවසට පැමිණ​, අලස කමින් කමින් ගෙදරට වී නිදා නොසිට හේන කෙටීමට යන ලෙස කියා සිටියහ​. අභය ද තනිවම ඉඹුරු වනයට ගොස් තල් ගස් - පොල් ගස් තරම් වන ඉඹුරු ගස් තනිවම උදුරා දමා කැලය සුද්ධ කොට පොළව මට්ටම් කොට සකසා නැවත පැමිණියහ​.

වැඩිමල් සෝයුරෝ මේ කර්මාන්තය දැක මහත් විශ්මයට පත් වූය​. ඉඹුරු වනයක් ඉදිරූ හෙයින් එතැන් සිට අභය "ගෝඨයිම්බර​" නමින් ප්‍රසිද්ධ විය​.

කාවන්තිස්ස රජතුමා ගෝඨයිම්බර ගැන අසා සතුටු වී තමා යටතේ සේවයට කැඳවා ගත්තේය​.


ථෙරපුත්තාභය​

කොටගල කන්ද අසල කැතිගම ගමේ රෝහණ නැමැත්තාට අභය නමින් පුතෙක් උපන්නේය​. ඒ දරුවා ඉතාමත් ශක්ති සම්පන්නයෙක් විය. දොළොස් හැවිරිදි වූ විට හතර පස් දෙනෙකුට ඔසවා ගත නොහැකි විශාල ගල් ඉතා පහසුවෙන් ඔසවා ඒ මේ අත විසි කිරීමට හැකියාව ඇත්තෙක් විය​. ඔහු දහසය වැනි වියට එළඹෙත්ම ඔහුට පියා විසින් අඟල් තිස් අටක වටප්‍රමානය ඇති වඩු රියන් දොළහක් දිග යගදාවක් සදා දෙන ලදී. අභය තරුණයා එම යගදාවෙන් ගසා වැඩුණු තල් ගස් පොල් ගස් බිම හෙළුවේය​.

රෝහණ පසු කළෙක මහාසුමන නම් තෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වී පැවිදි වී රහත් විය​. අභය කුමරු ද පියා අනුව යමින් පැවිදි බිමට එළැඹියේය​.

දිනක් ගෝඨයිම්බර යෝධයා යම් කටයුත්තක් සඳහා යන අතර තුර පිරිවර ද සමඟ අභය සාමනේරයන් වහන්සේගේ පන්සලට පැමිණියේය​. පන්සල් වත්තේ තිබූ පොල් ගස් වලින් කුරුම්බා කඩාගෙන බී පිරිස තැන තැන වැටී නිදන්නට වූහ​. ඔවුන් කපා දැමූ කුරුම්බා කෝම්බ පන්සල් වත්ත පුරා වැටී තිබිණි.

අභය සාමණේරයන් මෙය දැක "යස පාඩමක් උගන්වමි" යි සිතා නිදා උන් ගෝඨයිම්බර යෝධයාගේ පාදයේ නිලයක් අල්ලා ඔහු අඩපන කොට පන්සල් වත්ත පුරා බිම දිගේ ඇදගෙන ගියහ​. ගෝඨයිම් බරයෝධයා ද සාමණේරයන් ගෙන් සමාව අයැද පන්සල් වත්ත පිරිසිදු කිරීමට පොරොන්දු වූයෙන් ඔහු නිදහස් කරන ලදී.

කාවන්තිස්ස රජතුමා මුණ ගැසුණු ගෝඨයිම්බර යෝධයා මේ පුවත සැළ කල පසු රජු ඒ සාමණේරයන් තම සේවයට කැඳවා එන්නැයි ගෝඨයිම්බර යෝධයාට අණ කළේය​. ගෝඨයිම්බර යෝධයා මුලින් කල ඉල්ලීම අභය සාමණේරයන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළද​, පසුව ඔහුගේ ඉල්ලීමට එකඟ වී සිවුරු හැර රාජ්‍යය සේවයට එක් විය​.

 පියා මහණ වූ හෙයින් ඔහු "ථෙරපුත්තාභය​" නමින් ප්‍රසිද්ධ විය​.



මහාභරණ

 කප්කඳුරු නම් ගමේ භරණ නම් තරුණයෙක් විසීය​. ඔහු ඉමහත් කාය ශක්තියෙන් ද ජවයෙන් ද යුක්ත විය​. දෙළොස් හැවිරිදි වියේදී ගම් වැසියන් සමඟ දඩයමේ යන විට කැලයේ දිව යන හාවුන් පසු පස ලුහුබඳවා ගොස් පයින් ගසා මරන්නේය​. දහසය හැවිරිදි වියේදී මුවන්, ගෝනුන් පසු පස එළවා ගොස් පසු පස ගාතයන් ගෙන් අල්ලා පොළවේ ගසා මැරීමට තරම් හැකියාව ඇත්තෙක් විය​.

මෙසේ මහත් බලසම්පන්න වූ හෙයින් භරණ තරුණයා "මහාභරණ​" නමින් ප්‍රසිද්ධ විය​.

කාවන්තිස්ස රජතුමා ඔහු ගැන අසා තමා ගේ රාජ්‍යය සේවයට කැඳවා ගත්තේය​.


වෙළුසුමන​

ගිරිනිල් ජනපදයේ කෙළයඟන නම් ගමෙහි වාසය කළ වසභ හට පුතෙක් ඇති විය​. ඔහු තම මිතුරන් දෙදෙනා වූ වෙළු සහ සුමන ගේ නමින් එම දරුවා වෙළුසුමන යැයි නම් කළේය​.

තරුණ වියට පත් වෙළුසුමන තම බාප්පා හා යම් කාර්‍යයකට යන අතරේ කිසිවෙකුටත් දමනය කළ නොහැකි මුරණ්ඩු අශ්වයෙක් දිටීය​. බාප්පා ගේ ඉල්ලීමෙන් අශ්වයා මෙල්ල කොට ඌ පිට නැගුණු වෙළුසුමන ඉන්පසු රැස්ව සිටි ජනයාට පෙණෙන පරිදි නොයෙකුත් සරඹ පාමින් තම හැකියාවන් පෙන්නුම් කළේය​.

වෙළුසුමන ගේ මේ හැකියාව කාවන්තිස්ස රජතුමාට දැන ගන්නට ලැබී, වහාම ඔහු තමා යටතට කැඳවා රාජ්‍යය සේවයේ යෙදවීය​.


ඛංඡදේව​

අජනිපව්ව පර්වතය සමීපයේ වූ මීදෙනිය නම් ගමේ අභයට දාව උපන් පුතා පාදයේ සුළු කොරයක් සහිත බැවින් ඔහු "ඛංඡදේව​" නමින් ප්‍රසිද්ධ විය​.

ඛංඡදේව තරුණ වියට පැමිණි පසු මහත් බල සම්පන්න විය​. ගම් වැසියන් සමඟ දඩයමේ යන ඔහු කැලයේ සිටින් කුළු හරකුන් හා පොර බදා උන් අල්ලා පොළවේ ගසා මැරීමට පවා හැකියාවක් සහිත විය​.

කාවන්තිස්ස රජතුමා ඛංඡදේව පිළිබඳ දැනගන්නට ලැබී වහාම ඔහු මාගමට කැඳවා රාජ්‍යය සේවයේ නිරත කරවීය​.


උන්මාද ඵුස්සදේව

සිතුල්පව්ව සමීපයේ වූ ගොඩිගමුව ගමේ උත්පල හට පුතෙක් සිටි අතර ඒ දරුවා ඵුස්සදේව නමින් හැඳින්විනි.

කුඩා ඵුස්ස්දේව දිනක් අනෙකුත් ගම්වාසී දරුවන් සමඟ පන්සලට ගිය අවස්ථාවක එහි බෝධීන් වහන්සේට පූජා කර තිබූ හක්ගෙඩියක් දැක එය ගෙන මහත් වැර යොදා පිඹීය​. එවිට ඉන් නිකුත් වූ හෙණ හඬ පරදන හඬින් බියට පත් ඵුස්ස්දේව ගේ මිතුරෝ උමතු වූවන් මෙන් ඒ මේ අත පලා ගියහ​. එබැවින් ඔහු "උන්මාද ඵුස්සදේව" නමින් ප්‍රසිද්ධ විය​.

තම පියාගෙන් දුනු ශිල්පය උගත් ඵුස්සදේව තරුණ වියට එළැඹෙත්ම අති දක්‍ෂ දුනු ශිල්පියෙක් විය​.

ඔහුගේ දස්කම් ගැන ඇසූ කාවන්තිස්ස රජතුමා ඵුස්සදේව රාජ්‍යය සේවයේ පිහිටුවා ලූහ​.


ලභිය වසභ​

තරල්පව්ව සමීපයේ වෙරවැසිගම ගමේ මන්ත නැමැත්තා හට වසභ නම් පුතෙක් සිටියේය​. ඔහු කුඩා කල සිටම ඉතාමත් කඩවසම් සිරුරක් ඇති හෙයින් "ලභිය වසභ" නමින් ප්‍රසිද්ධ විය​.

තරුණ වියට එළඹෙත්ම මහත් බලසම්පන්න වූ ලභිය වසභ ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙක් විය​.

වරක් ගම් වාසීන් හා එක්ව වැවක් බැඳීමේ කාර්‍යයකට සහභාගී වූ ඔහු විසි තිස් දෙනෙක්ට ඔසවා ගත නොහැකි විශාල පස් පිඩැලි තනිවම උදැල්ලෙන් අදිමින් වැවේ වැඩ කටයුතු අවසන් කළේය​.

ලභිය වසභ ගේ කාය ශක්තිය ගැන ඇසූ කාවන්තිස්ස රජතුමා ඔහු වහාම රාජ්‍යය සේවයට බඳවා ගත්තේය​.

නිදහස ගැන​



මේ ලංකාවේ 67 වන නිදහස් දිනයේ මා ලියූ ෆේස්බුක් කොමන්ට් කීපයක දැක්වූ අදහස් එක් කර තැනූ සටහනකි.

සුද්දා අපිට නිදහස දුන්නේ ඇයි?




ඕනම ප්‍රශ්නයක් දිහා සාධක තුනක් ඔස්සේ බලන්න වෙනවා. දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික (සංස්කෘතික කිව්වෙ පුළුල් අරුතකින්).

දේශපාලන සාධක ඔස්සේ බැලුවම සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

කාරනා කීපයක් තියෙනවා. වැදගත්ම එක දෙවෙනි ලෝක යුද්ධෙන් නට්ටං වෙන්න කාල හිටපු සුද්දට යටත් විජිත පාලනය කරන්න තරම් යුධ ශක්තියක් තිබ්බෙ නෑ.
දෙවෙනි එක ඉන්දියානු නිදහස් සටන. ඉන්දියාව ට නිදහස දුන්නට පස්සෙ ලංකාව යටත් විජිතයක් වශයෙන් පවත්වාගෙන යාම අපහසුයි වගේම එච්චර ලාභදායී වැඩක් නෙවෙයි.
තුන්වෙනි එක බ්‍රිතාන්‍යයේ බලයට පත්වෙන්නෙ කම්කරු පක්‍ෂ රජයක්. දැන් කම්කරු පක්‍ෂය වගේ නෙවෙයි ඒ කාලෙ ඇට්ලී ගේ කම්කරු පක්‍ෂය ඇත්තටම සමාජවාදියි. ඒ නිසා යටත් විජිත ගැන ඔවුන් කන්සර්වේටිව් පක්‍ෂයට වඩා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා.
හතරවෙනි එක, ලංකාවේ නිදහස් සටනේ ඉදිරියෙන්ම හිටියෙ වාමාංශිකයො. ඒ නිසා නිදහස නොදී ඉඳල නිදහස් සටන ඇවිලිලා ගියොත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බලවත් වෙයි කියන බය සුද්දට තිබ්බ.

ආර්ථික සාධක ඔස්සේ බැළුවොත් සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

ප්‍රධානම හේතුව යටත් විජිත ආර්ථික ක්‍රමයට වඩා නව යටත් විජිත ආර්ථික ක්‍රමය ලාභදායී වීම. මිනිහෙක් ගෙන් බලෙන් වැඩගන්නවට වඩා ඌව අන්දවල වැඩ ගන්න එක හැම අතින්ම ලාභදායී. වහල් ක්‍රමයට වඩා ලාබ කම්කරු ශ්‍රමය ලාභදායී වීම නිසා ඇමරිකන් සිවිල් යුද්ධය ඇතිවෙනවා වගේ මෙතනදිත් නව යටත් විජිත වාදයට ඉඩ දීලා යටත් විජිත වාදය හැලිල යනවා.
ඊළඟට සුද්ද ලංකාව තියාගත්තේ "ෂෝ පීස්" එකක් හැටියට. තේ, කුරුඳු වගේ ලක්‍ෂරි වෙළඳ ද්‍රව්‍යය තමයි මෙහෙ හැදුවෙ. වෙන යටත් විජිත වගේ තොග ගානට ස්වාභාවික සම්පත් හෝ මානව සම්පත් කොල්ල කන තැනක් වශයෙන් නෙවෙයි. ඉතින් ඉන්දියාව නැතුව ලංකාව විතරක් තියාගන්න එක ආර්ථික අතින් පාඩුයි.

සංස්කෘතික සාධක ඔස්සේ බැළුවොත් සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

වැදගත්ම දේ. ඉන්දියාවෙ වගේ ලංකාවෙ ජාතික සටනක් ඇති වුනේ නෑ. ලංකාවේ දේශපාලන නායකත්වය සුද්දට කඹුරපු උගෙ සුවච කීකරු බලු කුක්කො සෙට් එකක්. ඉන්දියාවේ දේශපාලන නායකත්වය දෙවෙනි ලෝක යුද්ධයට සහය නොදීමේ ප්‍රතිපත්තියක ඉන්නකොට ලංකාවෙ අය අත් දෙකම උස්සල ඒකට සහය දුන්න. ඒ නිසා ඊනියා නිදසහ දුන්නත් රටේ ඇත්තම මාස්ටර්ල තමා බව සුද්ද දැනගෙන හිටියා.

පණස් හයේ පෙරලියෙන් සුද්දගෙ මේ කැල්කියුලේෂන් එකට නොසිතූ හෙණ ගෙඩියක් පාත් වෙනවා. ඒත් ඒක වෙනම කතාවක්.


සුද්ද ආවෙ නැත්තං අපි කොහොමට ඉඳියි ද​?



මේ ප්‍රශ්නෙට ගොඩක් අය දෙන උත්තරේ ජිස්ට් එක "සුද්ද ආවෙ නැත්තං අපි තාම වැඩවසම් රාජාණ්ඩුවක් වෙලා තියෙයි" කියන එක​.

මේ ගොල්ලො අමතක කරන වැදගත් කාරණාව තමයි සුද්දා ආවත් නැතත් ලංකාවට (හෝ ලෝකයේ ඕනම රටකට​) ලෝකය හරහා හමා යන දේශපාලන - ආර්ථික - සංස්කෘතික ප්‍රවාහයන් ගෙන් මිදෙන්න බෑ කියන එක​. ලංකාවට දවසක්වත් සුද්දට යටත් නොවී තිබ්බ නං ඒත් ලෝකයේ සිද්ධ වෙන සමාජ පරිණාමය ලංකාවට දැනෙනවා. රාජාණ්ඩුවක් විදිහට තියෙන්න බෑ. ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවා.

ලෝකයේ සුද්දට යටත් නොවී තිබ්බ රටවල් තියෙනවා. අද ඒවයේ ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා. ජපානය​, රුසියාව​, තායිලන්තය​, ඉතියෝපියාව​, තුර්කිය උදාහරණ​.

ඒ වගේම අද ලෝකයේ රාජාණ්ඩු තියෙන්නෙ හයයි. ඒ සවුදි අරාබිය​, ඕමාන්, කටාර්, එක්සත් අරාබි එමීර්, බෲනෙයි, ස්වාසිලන්තය​. මේ අතරින් සවුදි අරාබිය ඇරෙන්නෙ අනික් හැම රටක් ම සුද්දට යටත් වෙලා තිබ්බ රටවල්. ඒකෙන් පේනවා රාජාණ්ඩු සහ සුද්ද අතර කිසිම සම්බන්ධයක් නෑ කියල​. මේ රටවල රාජාණ්ඩු තියෙන්න හේතු වෙනස්. සවුදි අරාබිය​, කටාර් සහ එක්සත් අරාබි එමීර් රටවල් වල රාජාණ්ඩු තියෙන්නෙ වහාබි වාදයේ අනුහසින්.

ආයෙ ඇහෙන කතාවක් තමයි සුද්දො පාරවල් හදලා දැවැන්ත සංවර්ධනයක් සිද්ධ කරා (පන් ටෝටලි ඉන්ටෙන්ඩඩ්) කියන එක​.

මේ අය අමතක කරණ කාරණය තමයි 1505 පරංගි එනකොට අපේ රට කොහොමත් ආර්ථික අතින් සෑහෙන ඉදිරියෙන් හිටපු රටක් කියන එක​. එතකොට මේ අය අහනවා "එහෙනම් කර්මාන්ත මොනවද තිබ්බෙ" කියල​. ඒකට මම දෙන උත්තරය තමයි "1505 යුරෝපයේ මොනවද තිබ්බ කර්මාන්ත?" කියන එක​. 1505 ලංකාවයි 2005 යුරෝපයයි සසඳන්න බෑ නේ. 1505 සුද්දො ආවත් නැතත් ලෝකය පොදුවේ ලබන කාර්මික දියුණුව අපිටත් ලැබෙනවා. ලංකාව 1505 වෙනකං ලබාගෙන තිබ්බ දැණුම 100% ලංකාවෙ නිෂ්පාදනයක් නෙවෙයි නෙ. ඒකත් බාහිරින් උකහා ගත්ත දැණුමක් තමයි. ඒ ක්‍රියාවලියම අනිවාර්‍යයෙන්ම 1505 පස්සෙත් සිද්ධ වෙනවා. පරංගින් ගෙ තුවක්කු අනුකරණය කරල අපි හදපු තුවක්කු උංගෙ ඒවටත් වඩා හොඳ තත්වයේ තිබ්බ කියන එක විතරක් මෙතන සටහන් කරල තියනවා.

ඒ වගේම ඒ දේශපාලන - ආර්ථික - සංස්කෘතික පරිණාමය සිද්ධ වෙන්නෙ අපිට ඕනෙ විදිහට මිසක් සුද්දට ඕනෙ විදිහට නොවන නිසා ලංකාවේ අද තියෙන විකෘති සමාජය බිහි නොවී මීට වඩා හැම අතින්ම සමබර දියුණු සමාජයක් තියෙන්න තිබ්බ​. සුද්ද අපිට උගේ සංස්කෘතියෙ කෑලි පටවල ගියාට ඒවට පසුබිම් වුන දේශපාලන - ආර්ථික - සංස්කෘතික සාධක අපේ රටේ ඒ විදිහටම නොතිබුණ නිසා ඒව අපිට ලැබුණේ ශක්තිමත් පදනමකින් තොරව​. අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය​, සර්වජන ඡන්ද බලය මඩේ හිටවපු ඉණි වගේ වැනෙන්නෙ ඒ නිසා.


සුද්ද ගියේ නැත්තං අපි අද කොහොම ඉඳියි ද​?

 

සුද්ද ගියේ නැත්තං මේක අද ඕස්ට්‍රේලියාවක් කැනඩාවක් කියන කතාව තමයි ඇහෙන්නෙ.

මේක වෙන්න පුළුවන් එකම විදිහ ඕස්ට්‍රේලියාවෙ කැනඩාවෙ සිද්ධ වුනා වගේ ස්වදේශිකයන්ව සමූල ඝාතනය කරල සුද්දො බුරුතු පිටින් ඇවිල්ල ලංකාවෙ පදිංචි වෙන එක​. වාසනාවකට වගේ නුවරඑළියෙ සුදු ජනපදයක් හදන්න දරපු ප්‍රයත්නය අසාර්ථක වුන නිසා එහෙම අබග්ගයක් අපිට වුනේ නෑ.

ලංකාව ස්වදේශිකයො පිටින්ම සුද්දට දිගටම යටත් වෙලා තිබ්බ නම් තත්වය බලන්න පුළුවන් උදාහරණ දෙක තුනක් තියෙනවා අප්‍රිකාවෙ. එක්කො දකුණු අප්‍රිකාවෙ වගේ උපන් බිමේ දෙවෙනි පන්තියේ පුරවැසියො වෙලා ඉන්න තිබ්බ​. නැත්තං මොසැම්බික්, නමීබියාව වගේ සුද්ද එක්ක ලේ හැලෙන යුද්ධයක් කරන්න තිබ්බ​.

බැරිවෙලාවත් සුද්ද නොගියනං එහෙම​...

ඉංග්‍රීසි උගත් කොළඹ ධනවත්තු සෙට් එකක් රාජ්‍යය බලය සහ නිල බලය අරගෙන සුද්දගෙ සට්ටැඹි කම් කර කර ඉඳියි. බහුතර ගැමි ජනතාව හරි හමන් අධ්‍යාපනයක් නැතුව ඔහේ වේලි වේලි ඉඳියි.

හරි හමං අධ්‍යාපනයක් නැති නිසා සමාජ සදාචාරය, සෞඛය මට්ටම එහෙම මීට වඩා ගොඩක් දුර්වල තත්වයක තියෙයි.

සුද්දො නීතියට උඩින් ඉඳියි (දැන් මැරයො නීතියට උඩින් ඉන්නව වගේ).

උතුරු නැගනහිර බොහෝ දුරට දකුණෙන් ගොඩාක් ස්වාධීන වෙලා තියෙයි. වෙනම රටක් වෙන එකක් නෑ - ඔක්කොම සුද්දගෙ රට නෙ. එහෙත් ඉංග්‍රීසි උගත් යාපනේ ධනවත්තු සෙට් එකක් රාජ්‍යය බලය සහ නිල බලය අරගෙන සුද්දගෙ සට්ටැඹි කම් කර කර ඉඳියි. බහුතර ගැමි ජනතාව හරි හමන් අධ්‍යාපනයක් නැතුව ඔහේ වේලි වේලි ඉඳියි.

රටේ ආර්ථික ප්‍රතිපත්ති සුද්දට ඕනෙ විදිහට තියෙයි. ඒ කියන්නෙ තේ කර්මාන්තය වගේ ඌට ඕනෙ කර්මාන්ත පට්ටෙටම දියුණු වෙලා තියෙයි. අනික් ඒවට අබ සරණ වෙලා තියෙයි.

යටිතල පහසුකම් එහෙමත් සුද්දගෙ බිස්නස් වලට ඕනෙ විදිහට තියෙයි. ඒ කියන්නෙ උඩරට දුම්.රිය මාර්ගය, එයාපෝට් එකට යන පාර එහෙම ෆුල් සුපිරියට තියෙයි. ඈත පැති වල පාරවල් එහෙම කරත්ත පාරවල් වගේ තියෙයි.

අතින් පාඩු කරගෙන ලංකාවෙ උන්ට කරන්ට් දෙන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා එක්කො ලංකාවෙන් 75%කට විතර විදුලි බල පහසුකම් නැතිවෙයි. නැත්තං ලයිට් බිල පට්ට ගණන් වෙලා තියෙයි.

අතින් වියදම් කරගෙන ලංකාවෙ බයියන්ට උගන්නන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා ලංකාවෙ සාක්‍ෂරතාවය 50% විතර වෙයි.

අතින් වියදම් කරගෙන ලංකාවෙ උන්ට බෙහෙත් කරන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා ඉස්පිරිතාල වල සල්ලි වලට බෙහෙත් දෙයි. දුප්පත් උන්ට අබ සරණ වෙයි.

මොනවහරි ඉල්ලල සද්දයක් දැම්මොත් ඌව-වෙල්ලස්සෙ කරා වගේ නැත්තං අම්‍.රිත්සාර් වල කරා වගේ නැත්තං 1914 සිංහල-මරක්කල කෝලහලෙ කාලෙ කරා වගේ හැත්ත බුරුත්තටම වෙඩි තියල දායි. සුද්දට ජිනීවා වල මානව හිමිකම් චෝදනා ගේන්නත් කවුරුත් නැතිවෙයි