Sunday, April 19, 2015

දෙලොවක් අතර​

 

 

ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය හැමදාමත් තිබුනේ දෙලොවක් අතරය​. ඒ මාක්ස්වාදී සිද්ධාන්ත සහ ජාතිකවාදයයි.

ඕනෑම සමාජවාදී ව්‍යාපරයක් ප්‍රායෝගික වශයෙන් ජනතාවාදී වීමට නම්, යම් දුරකට ජාතිකවාදී විය යුතු බව මගේ විශ්වාසයයි (අනිත් අතට ඕනෑම ජාතිකවාදී ව්‍යාපාරයක් ප්‍රායෝගික වශයෙන් ජනතාවාදී වීමට නම්, යම් දුරකට සමාජවාදී විය යුතුය​). සමාජවාදී ව්‍යාපාරයක් ජනතාවාදී වීමට නම්, ජාන්තාවගේ සිතුම් පැතුම් සමඟ ගමන් කළ යුතුය​. ඕනෑම ජනතාවක් තුල ජාතිකවාදී චින්තනයක් ඇති නිසා ජනතාවාදී ප්‍රායෝගික සමාජවාදයක් ජාතිකවාදී වීම අනිවාර්‍යයකි.

 

සමාජවාදයේ පළමු යුගය - ලංකා සමසමාජ පක්‍ෂය

එක්දාස් නවසිය තිස් ගණන් වලින් ඇරඹෙන ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ පළමු යුගයේ ද මේ බෙදීම දැකගත හැකි විය​.

පලමු යුගයේ සමාජවාදී නායකයෝ යුරෝපයේ අධ්‍යාපනය ලැබූ, මධ්‍යම පාන්තික තරුණයෝ වූ අතර​, ඔවුන් මාක්ස්වාදී සිද්ධාන්ත හැදෑරුවේ ඉංග්‍රීසි පොත පත පරිශීලනයෙනි. මාක්ස්වාදී සිද්ධාන්ත ගැන හොඳ දැණුමක් ඔවුන් සතුවූ අතර​, ඒ නිසාම දෝ ඔවුන් වඩා නැඹුරු වූයේ ට්‍රොට්ස්කිවාදය දෙසටයි.

සමසමාජ - බොල්.ෂෙවික්

ලංකාවේ සමාජවාදයේ නියමුවා වූ සමසමාජය​ එක්දාස් නවසිය හතලිස් හතරේදී දෙකඩ වන්නේ පක්‍ෂය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ ඇති වූ මත ගැටුමක් හෙයිනි.

එන්.එම්. සහ පිලිප් ට පක්‍ෂය පුළුල් ජනතාවාදී පක්‍ෂයක් ලෙස සංවිධානය කිරීමට අවශ්‍යය විය​. ඔවුන්ගේ ජන බලය පැතිරී තිබුණේ තුන් කෝරළය​, හතර කෝරළය සහ හේවාගම් කොරළය ආශ්‍රිත සිංහල ගැමියන් අතරය​. සිංහල ගැමියන් මත පදනම් වූ නිසාම ඔවුන් ගේ දෘෂ්ටිය ජාතිකවාදී නැඹුරුවක් ගත්තේය​.

නමුත් පක්‍ෂයේ නායකත්වයෙන් වැඩි පිරිස (කොල්වින්, ලෙස්ලි, බර්නාඩ්, ඩොරික්, විවියන්, එඩ්මන්ඩ්, සෙලීනා, ජැක්) පක්‍ෂය රුසියානු බොල්.ෂෙවික් පක්‍ෂයේ පන්නයට කාඩර් පක්‍ෂයක් ලෙස සංවිධානය කළ යුතුය යන මතයේ සිටියහ​. මොවුහු "පිරිසිදු" ට්‍රොට්ස්කිවාදයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ නිසාම ජාතිකත්වය ප්‍රතික්‍ෂෙප කළහ​. ඔවුන් ගේ බලය පැතිරී තිබුනේ කොළඹ නගරය සහ අවට ප්‍රදේශ වලය​. මේ පිරිස බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය ලෙස වෙනම පක්‍ෂයක් පිහිටුවා ගත්හ​.

1947 මහ මැතිවරණයට මේ පක්‍ෂ දෙක වෙන වෙනම තරග කළහ​. නායකත්වයේ වැඩි පිරිස අහිමි වුවත්, එන්.එම්. සහ පිලිප් ගේ ජනතාවාදය සහ මහජන ආකර්‍ෂනය මත පදනම් වූ සමසමාජය බොල්.ෂෙවික් වරුන් මෙන් දෙගුණයක් ඡන්ද ලබාගත් අතර​, බොල්.ෂෙවික් වරුන් ආසන 5ක් දිනා ගනිද්දී සමසමාජයට ආසන 10ක් හිමි විය​. පිරිසිදු මාක්ස්වාදී සිද්ධාන්ත වලට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත ජනතාවාදී සමාජවාදයක් වඩා සාර්ථක බව ලංකාවේ පළමුවන මහ මැතිවරණයෙන් ම ඔප්පු වන්නේ එලෙසය​.

මහජන එක්සත් පෙරමුණ​

පසුව මේ පක්‍ෂ දෙක එක්සත් වූ අතර​, එවිට මධ්‍යම කාරක සභාවේ වැඩි බලය හිමි වූයේ බොල්.ෂෙවික් වරුන්ටයි. මේ පිළිබඳව තම විරෝධය පාමින් පිලිප් සමසමාජයෙන් ඉවත් වී විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවා ගත් අතර, පසුව එය මහජන එක්සත් පෙරමුණ බවට පරිවර්තනය විය​. පිලිප්ට වඩා මධ්‍යස්ථ මතධාරී එන්.එම්. දිගටම සමසමාජයේ රැඳී සිටි අතර​, සමසමාජයට යම් තරමක ජනතා වාදයක් දිගටම  පවත්වා ගැනීමට ඒ නිසා හැකි විය​.

පණස් ගනන් සහ හැට ගනන් පුරාවටම ලංකා සමාජවාදයේ ප්‍රධාන පක්‍ෂ දෙක ලෙස මහජන එක්සත් පෙරමුණ සහ සමසමාජය දිගටම කටයුතු කළ අතර​, ගැමි ජනයා අතර මේ පක්‍ෂ දෙකම එක ලෙස ජනප්‍රසාදයක් ලැබූහ​.

සමසමාජයේ වැටීම​

1963 සැදූ වාමාංශික එක්සත් පෙරමුන බිඳ වැටීමත් සමඟම පිලිප් සමාජවාදයෙන් ඈත් වෙමින් පිරිසිදු ජාතිකවාදයක් කරා ගිය අතර​, එය අවසන් වූයේ ඔහු 1965 එක්සත් ජාතික පක්‍ෂ රජයේ ඇමති ධූරයක් ලබා ගැනීමෙනි. එය ඔහුගේ දේශපාලන ගමනේ කෙළවර වූ අතර 1970දී ඔහුට අවිස්සාවේල්ල අසුනත් අහිමි විය​. සමසමාජය ශ්‍රිලනිපය සමඟ එක්වී සභාග දේශපාලනයකට ගිය අතර හැට ගණන් පුරාවට ලංකාවේ සිදු වූ සමාජවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ වලට බෙහෙවින් දායක විය​. නමුත් 70-77 ශ්‍රිලනිප රජයට එල්ල වූ ජනතා අප්‍රසාදයට සමසමාජයත් ලක් වූ අතර 1977 ඔවුන්ට එක් ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි විය​.

එන්.එම්. ගේ මරණයත් සමඟම සමසමාජයේ නායකත්වයට පත් වූයේ කොල්වින් සහ ඉන් පසු බර්නාඩ් ය​. පැරණි බොල්.ෂෙවික් වාදීන් වූ ඔවුහු එන්.එම්. ගේ ජනතාවාදයෙන් මිදී පිරිසිදු ට්‍රොට්ස්කිවාදයක් කරා යාමට උත්සහ කිරීම නිසා සමසමාජය කාඩර් පක්‍ෂයක් බවටත්, ඉන් පසුව බෝඩ් ලෑලි පක්‍ෂයක් බවටත් පත්වී විනාශ විය​. අද සමසමාජය යනු පොසිලයක් පමණි. හතරවන ජාත්‍යන්තරය නැමැති මළකඳ පසුපස කොර ගසන විවිධ ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් සහ ඊනියා ජාත්‍යන්තරවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියමින් දෙමළ ජාතිවාදයට කඩේ යන නව සමසමාජය සහ සමසමාජ පක්‍ෂය අතර කිසිදු වෙනසක් අද නැත​.

 

සමාජවාදයේ දෙවන යුගය - ජනතා විමුක්ති පෙරමුණ​

ලංකා සමාජවාදයේ දෙවන යුගය ඇරඹෙන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් බිඳී යන කුඩා කණ්ඩායමක් 1971 දී රාජ්‍ය බලය වෙනුවෙන් සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීමෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සමන්විත වූයේ උගත් ගැමි සිංහල තරුණයන් ගෙනි. ඔවුන් මාක්ස්වාදී සිද්ධාන්ත උගත්තේ සිංහල පොත පත පරිශීලනයෙනි. ඒ නිසාම මාක්ස්වාදී සිද්ධාන්ත ගැන ගැඹුරු දැනුමක් ඔවුන්  සතු නොවීය (මෙය ජවිපෙ නායක විජේවීරටත් පොදුය​). නමුත් සමාජ අසාධාරනයට සහ ආර්ථික සූරාකෑම් වලට ඍජුවම ලක්වූ අය නිසා විප්ලවවාදී ජීව ගුණය සහ කැපවීම අතින් ඉතා ඉදිරියෙන් සිටියහ​.

ජවිපෙ සන්නද්ධ අරගලයක් ඉලක්ක කරගෙන සෑදූ පක්‍ෂයක් නිසා එය නිතැතින්ම කාඩර් පක්‍ෂයක් විය​. පුළුල් මහජන ආකර්‍ෂනයක් සහිත පක්‍ෂයක් වීමට ජවිපෙ තැත් නොකළේ පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක නොකර හෙයිනි. එහි සැකැස්ම ඉතා දැඩි මධ්‍යගත විනයක් සහිත වූ අතර වැඩි වශයෙන්ම රහසිගත දේශපාලනයක නිරත වූ නිසා සාමාජිකත්වය රහසිගත විය​. අදටත් මුල්කාලීන ජවිපෙ නායකත්වය ගැන සාමාන්‍යය ජනතාවට ඇත්තේ අඩු දැණුමකි. එම දැණුම වික්ටර් අයිවන් ගේ "71 කැරැල්ල​" පොතට සහ 71 කැරැල්ලේ නඩු වාර්තා වලට සීමා වී පවතී.


නව ජවිපෙ

88-90 කැරැල්ලෙන් ජවිපෙ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ පසු නව නායකත්වයක් යටතේ නව මුහුණුවරකින් පක්‍ෂය නැවත ගොඩ නැංවීම අරඹන ලදී. මේ නව නායකත්වය සමන්විත වූයේ සෝමවංශ අමරසිංහ​, ටිල්වින් සිල්වා, නන්දන ගුණතිලක​, විමල් වීරවංශ​, අනුර කුමාර දිසානායක වැන්නවුන් ගෙනි.

නව ජවිපෙ වඩා ජනතාවාදී දේශපාලනයක නිරත වන බවක් පෙනෙන්නට තිබිණි. 88-90 සමයේ සිදු කළ භීෂන ක්‍රියාකාරකම් අමතක කරමින් එයට ජනතා ප්‍රසාදය වැඩි වැඩියෙන් හිමිවන බව පෙනෙන්නට තිබිණි. පාර්ලිමේන්තු මැතිවරණ වලදී එය 94 දී ආසන 1ක්, 2000දී ආසන 10ක්, 2001 දී ආසන 16ක් ලෙස ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කළේය​. සෝමවංශ අමරසිංහ කැරිස්මැටික් නායකයෙක් නොවුවත්, ඔහුගේ උපක්‍රම සාර්ථක වන බව පෙනෙන්නට තිබිණි.

2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ රජයේ දෙමළ ජාතිවාදයට හිතවත් ප්‍රතිපත්ති වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික තීන්දුවක් ගනිමින් ශ්‍රිලනිපය සමඟ එක්ව තරග කිරීමට එකඟ විය​. එහිදී ජවිපේ අපේක්‍ෂකයන් සෑම දිස්ත්‍රික්කයකම පාහේ වැඩිම මනාප දිනා ගැනීමට සමත් වූ අතර​, එක්සත් ජනතා නිදහස් සංධානයට හිමිවූ ආසන 105න් 39ක් ම ජවිපෙ මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත විය​.

මෙය ලංකාවේ මැතිවරණයකදී සමාජවාදී පක්‍ෂයක් ලද දැවැන්තම ජයග්‍රහණය වන අතර, ජවිපෙ ඉතිහාසයේ මෙන්ම ලංකා ඉතිහාසයේද හැරවුම් ලක්‍ෂයක් විය හැකිව තිබූ සිද්ධියක් විය​. ජවිපෙ සමාජවාදී-ජනතාවාදී-ජාතිකවාදී දේශපාලනය ජනතාව මහ ඉහළින් අනුමත කරන බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

2005 ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්‍ෂ ගේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දුන්නේ ජවිපෙ විසිනි. ජවිපෙ සැබැවින්ම ලංකා දේශපාලනයේ දුරස්ථ පාලකය හිමිකරගත් බව පෙනෙන්නට තිබිණි.

නමුත් මේ ස්වර්ණමය අවස්ථාව ජවිපෙ විසින් විනාශ කරගන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි.

ජවිපෙ දෙදරයි

නමුත් ජවිපෙ කාඩර් පක්‍ෂයක තත්වයෙන් මිදී නොමැති බව පෙන්නුම් කරවන සිද්ධියක් 2008 දී සිදු විය​. ඒ අයවැයට සහය දීම උඩ සිදු වූ මත ගැටුමක් නිසා පක්‍ෂය දෙකඩ වීමයි. යුද්ධාය සාර්ථකව කෙරීගෙන යන අවස්ථාවකදී අය වැයට පක්‍ෂව ඡන්දය නොදීමට ජවිපෙ නායකත්වය තීරණය කළ අතර​, පක්‍ෂය තුළ සිටි විමල් වීරවංශ සහ නන්දන ගුණතිලක ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම ඊට පිටින් යමින් අයවැයට පක්‍ෂව ඡන්දය දීම නිසා ඔවුන්ව පක්‍ෂයෙන් නෙරපා හරින ලදී.

පසුව විමල් වීරවංශගේ "නැත්ත වෙනුවට ඇත්ත​" පොතෙන් පක්‍ෂය තුළ කණ්ඩායම් කීපයක් තිබුණු බව ප්‍රකාශ කෙරිනි. "කුමාර් මහත්තයා" නමින් හැඳින්වුනු චරිතයක් පිරිසිදු මාක්ස්වාදී සිද්ධාන්ත මත පක්‍ෂය ගොඩනැංවීමට කටයුතු කරන බව සහ​, ඒ නිසාම ඔහු ජාතිකවාදී කණ්ඩායමට විරුද්ධ වන බවට ඉන් චෝදනා කෙරිනි. ජවිපෙ විසින් මේ චෝදනා ප්‍රතික්‍ෂේප කළද​, පසුව ඇතිවූ සිද්ධීන් ගෙන් පෙනී ගියේ මේ චෝදනා සත්‍යය බවයි.

විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ජාතිකවාදී කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණ නමින් වෙනම පක්‍ෂයක් පිහිටුවාගෙන දිගටම ශ්‍රිලනිපය සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර​, යුධ ජයග්‍රහනයටත්, ඉන් පසුව ඇතිවූ ජාතිකවාදී දේශපාලන පුබුදුව වෙනුවෙනුත් දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කළහ​. නමුත් ඔවුන් ක්‍රමයෙන් තම සියළු දේ ශ්‍රිලනිපය වෙනුවෙන් උකසට තබන තත්වයක් ඇතිවන බව පෙනෙන්නට වූ අතර ඒ නිසාම ක්‍රමයෙන් ඔවුන් ගේ ජනප්‍රියත්වයද ගිලිහී යන ලදී.

විමල් වීරවංශ ගේ "නැත්ත වෙනුවට ඇත්ත" පොතෙන් හෙළි කළ පරිදි සෝමවංශ අමරසිංහ 2008 දී දරා ඇත්තේ ජාතිකවාදී කණ්ඩායමට හිතවාදී මතයකි. නමුත් දැඩි මධ්‍යගත පක්‍ෂ විනය නිසා ඔහු ඒ බව ජනතාවට හෙළි  නොකරන ලද අතර​, පක්‍ෂයේ තීන්දුව රටට අහිතකර බව විශ්වාස කරමින් ම එය ක්‍රියාත්මක කළේය​. මෙය ජවිපෙ තවමත් කාඩර් පක්‍ෂයක තත්වයෙන් නොමිදුනු බවට හොද සාක්‍ෂියක් විය​.

පසුව නැවතත් පක්‍ෂය දෙකඩ කරමින් කුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු "පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය​" බිහිවිය​. මෙම පක්‍ෂය "පිරිසිදු" මාක්ස්වාදී පක්‍ෂයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර, දැඩි ලෙස ජාතිකත්වයට විරුද්ධ සහ දෙමළ ජාතිවාදයට හිතවාදී ස්ථාවරයක් දැරීය​. ජවිපේ ජීවනාලිය ලෙස බොහෝ දෙනෙක් මෙතෙක් හඳුනාගෙන සිටි සමාජවාදී ශිෂ්‍යය සංගමය පෙරටුගාමීන් අතට පත් විය​. එය ජවිපෙ තුළ පැවති ජාතිකවාදී සහ සෛද්ධාන්තික මාක්ස්වාදී බල අරගලය පුපුරා යාමක් බව වඩාත් තහවුරු කළේය (සෛද්ධාන්තික මාක්ස්වාදයට නැඹුරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පෙරටුගාමීන්ට ළං වූ අතර​, අනෙකුත් කාඩරය ජවිපෙ තුළම රැඳී සිටියහ).

පෙරටුගාමීන් තවත් බෝඩ් ලෑලි පක්‍ෂයක තත්වයෙන් ඉදිරියට යන බවක් මේ වන තුරු පෙන්වා නැත​. ජාතිකවාදී-ජනතාවාදය අමතක කරමින් ඊනියා පිරිසිදු මාක්ස්වාදී මාවතේ ඔවුන්ට පෙර ගමන් කළ පක්‍ෂ වලට අත්වූ ඉරණමට වඩා වෙනස් ඉරණමක් ඔවුන්ට අත් නොවීමට කිසිදු හේතුවක් නැත​.

2015 දී පක්‍ෂය තුළ අර්බූදය අවසන් වී නැති බව සනාථ කරමින් පැරණි නායක සෝමවංශ අමරසිංහ පක්‍ෂයෙන් ඉවත් විය​. ඔහුගේ ප්‍රධාන චෝදනා දෙක වූයේ පක්‍ෂය තුළ ජාතිකවාදයට කිසිදු ඉඩක් නොමැති වීම (පිරිත් නූලක් බැඳගෙන සිටීම පවා පක්‍ෂයෙන් ප්‍රතික්‍ෂේප කරන බව කියැවිනි) සහ පක්‍ෂය කාඩර් පක්‍ෂයක තත්වයෙන් මිදී පුළුල් ජනතාවාදී පක්‍ෂයක තත්වයට යාමේ කිසිදු සැලසුමක් නොමැති වීමයි.

ඉදිරිය​

ජවිපේ අද අත්දැක ඇත්තේ අමුතු අර්බූදයක් නොව එදා සිටම සමාජවාදී පක්‍ෂ විසින් මුහුණ දුන් ප්‍රශ්නයකි. සමාජවාදී-ජනතාවාදී-ජාතිකවාදී දේශපාලනය ලාංකික ජනතාව විසින් ඉහළින්ම අනුමත කරන බව පැහැදිළිවම පෙනෙන්නට තිබියදීත්, දැන දැනම ඊනියා මාක්ස්වාදයක් කරා ගමන් කිරීමට ගොස් 2008 දී සෝමවංශ අමරසිංහ කරගත් ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට අවුරුදු හතකට පසු ඔහු අද ඉදිරිපත් වී තිබේ. අපි ඔහුට සුබ පතමු.

No comments:

Post a Comment