Tuesday, March 10, 2015

1947 මහ මැතිවරණය​




නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව සඳහා මහ මැතිවරණය පැවැත්වුනේ 1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දින තෙක් ය​.

දේශපාලන පක්‍ෂ​

 1947 මහ මැතිවරණය සඳහා තරග කළ දේශපාලන පක්‍ෂ පහත පරිදි වේ.

කොන්සර්වේටිව් පක්‍ෂ​

බටහිර හිතවාදී කොන්සර්වේටිව් ප්‍රතිපත්ති යටතේ එක්සත් ජාතික පක්‍ෂය තරග කළ අතර​, එය බොහෝ දුරට ලංකා ජාතික කොංග්‍රසයේ දිගුවක් විය​. බ්‍රිතාන්‍යය පාලනය යටතේ වරප්‍රසාද ලත් සහ පාරම්පරික ප්‍රභූන් එහි නායකත්වය ඉසිලූහ​.

 

වාමාංශික පක්‍ෂ​

වාමාංශික පක්‍ෂ තුනක් මැතිවරණය සඳහා සහභාගී වූ අතර ඒ සියල්ල පැරණි සම සමාජ පක්‍ෂයෙන් බිඳී ආ කොටස් විය​. සම සමාජය සහ බොල්.ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂය ට්‍රොට්ස්කිවාදී මත දැරූ අතර​,  දැඩි අධිරාජ්‍යය විරෝධී ස්ථාවරයක් දැරූහ​.කොමියුනිස්ට් පක්‍ෂය සෝවියට් හිතවාදී විය​. මේ පක්‍ෂ වල නායකත්වය සමන්විත වූයේ යුරෝපයේ අධ්‍යාපනය ලද තරුණයන් ගෙනි. ඔවුන් ගේ ඡන්ද පදනම නාගරික කම්කරුවන් සහ ගැමි ගොවීන් අතර එකසේ පැතිරී තිබිණි.

 

 දෙමළ ජාතිවාදී පක්‍ෂ​

දෙමළ කොංග්‍රසය උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව පදනම් කරගත් පක්‍ෂයක් වූ අතර එහි නායකත්වය බ්‍රිතාන්‍යය පාලන සමයේ වරප්‍රසාද ලත් දෙමළ උගතුන් ගෙන් සමන්විත විය. ලංකා ඉන්දීය කොංග්‍රසය උඩරට දෙමළ ජනතාව පදනම් කර ගත්තේය​. දෙමළ කොංග්‍රසය බ්‍රිතාන්‍යයත් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ස්ථාවරයක් දැරුවද​, ලංකා ඉන්දීය කොංග්‍රසයේ ඡන්ද පදනම මුළුමනින්ම පාහේ වතු කම්කරුවන් ගෙන් සමන්විත වූ නිසා ඔවුහු වාමාංශික නැඹුරුවක් සහිත වූහ​.



 වෙනත් පක්‍ෂ​

ලංකා කම්කරු පක්‍ෂය කොළඹ නගරයේ කම්කරුවන් පදනම් කර ගත් පක්‍ෂයක් විය​. නිදහසට පෙර එය සැලකිය යුතු බලයක් සහිත පක්‍ෂයක් වුවද​, 1947 වද්දී වාමාංශික පක්‍ෂ විසින් එහි ඡන්ද පදනම මුළුමනින්ම පාහේ ගිලගෙන තිබිණි.





මැතිවරණ ප්‍රතිඵල​

 

මැතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම ආසන ගනනක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වුවද​, ඔවුන්ට සරළ බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය​.

වාමාංශික පක්‍ෂ තුනට බෙදී තරග කළ අවස්‍ථාවක් යටතේ වුවද දැවැන්ත ජයක් ලැබීමට සමත් වූ අතර​, ප්‍රකාශිත මුළු ඡන්ද වලින් 20% පමණ ලබා ගත්හ​. කොළඹ අවට සහ කළුතර​, කෑගල්ල, මාතර දිස්ත්‍රික්ක වල වාමාංශික බලය කැපී පෙනිනි.

දෙමළ කොංග්‍රසයට යාපනය අර්ධ ද්වීපයේ බලය හිමි වුවද​, නැගෙනහිර හෝ වන්නියේ සැලකිය යුතු බලයක් හිමි නොවිනි. ඉන්දියානු කොංග්‍රසය උඩරට ආසන සියල්ලම පාහේ දිනා ගත්තේය​.

ස්වාධීන මන්ත්‍රීවරු විශාල ප්‍රමානයක් පත්වීමද කැපී පෙනිනි.


 මැතිවරණ ප්‍රතිඵල සටහන​




මැතිවරණ සිතියම​

අවසානයේ දී ස්වාධීන මන්ත්‍රීවරුන් ගෙන් කොටසක් සහ දෙමළ කොංග්‍රසයේ සහය ඇතිව රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි විය​. ඩී.එස්. සේනානායක ලංකාවේ පළමු අගමැති වශයෙන් තෝරා ගැනිනි.

විපක්‍ෂ නායක ධූරය එන්.එම්. පෙරේරා ට හිමි විය​.

No comments:

Post a Comment