Monday, October 23, 2017

යාකොව් සහ​ ඇන්‍ යි


මේ ඉන්නෙ යාකොව් යුගාෂ්විලි.



මෙයාගෙ තාත්ත තමයි ඒ කාලෙ සෝවියට් දේශයේ අසහාය නායක​, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ නියමු ජෝශප් ස්ටාලින්.

දෙවෙනි ලෝක යුද්ධය පටන් ගන්නවත් එක්කම යාකොව් රතු හමුදාවට බැඳනවා. ඒ කාලතුවක්කු බල ඇණියක ලුතිනන් වරයෙක් හැටියට​.

සෝවියට් දේශය ආක්‍රමනය කරන ජර්මන් හමුදා වලට එරෙහිව ස්මොලෙන්ස්ක් නගරය අසල දී රතු හමුදාව සටන් වදිනවා. යාකොව් ගෙ බල ඇණියත් මේ සටනට සහභාගී වෙනවා. සටනෙන් රතු හමුදාව දරුණු පරාජයක් ලබනවා. යාකොව් ජර්මන් අත් අඩංගුවට පත් වෙනවා.

යාකොව් මරණය තෙක් සටන් නොවැදුන එක ගැන ස්ටාලින් අමනාපයට පත් වෙනවා.

අවුරුදු දෙකකට ආසන්න කාලයක් යාකොව් ජර්මන් සිර කඳවුරු වල අපා දුක් විඳිනවා. නමුත් 1943 පෙබරවාරි මාසෙදි යාකොව් ගෙ වාසනාව පෑදෙනවා. ස්ටාලින්ග්‍රාද් සටනෙන් ජර්මන් හමුදා පරාජයට පත් වෙනවා. එහිදී ඔවුන් ගේ ෆීල්ඩ් මාෂල් වරයෙක් සෝවියට් අත් අඩංගුවට පත් වෙනවා. ජර්මනිය ස්ටාලින් ට යෝජනාවක් කරනවා ෆීල්ඩ් මාෂල් වරයා සහ යාකොව් ව හුවමාරු කර ගන්න​.

ස්ටාලින් කියන්නෙ සෝවියට් දේශයේ අසහාය නායකයා. ඔහුගේ වචනය තමයි ඒ කාලෙ සෝවියට් දේශයේ නීතිය​. යාකොව් ඔහුගේ පුතා. ස්ටාලින් ට තියෙන්නෙ අණ දෙන්න විතරයි. යාකොව් ට නිදහස ලැබෙනවා.

ඒත් ස්ටාලින් ජර්මන් යෝජනාව අවඥාවට ලක් කරනවා.

"ෆීල්ඩ් මාෂල් කෙනෙක් එක්ක ලුතිනන් වරයෙක් මාරු කර ගන්න මට පිස්සුද​?"

යාකොව් රඳවලා ඉන්නෙ ජර්මනියේ සැෂෙන්හෝසන් සිර කඳවුරේ. 1943 අප්‍රේල් 14 වෙනිදා යාකොව් එළිමහනේ ඇවිදිමින් ඉන්නවා. මුර සෙබළෙක් ඔහුට බැරැක්කයට යන ලෙස නියෝග කරනවා. යාකොව් ඒක ප්‍රතික්‍ෂේප කරනවා. මුර සෙබළා ඔහුට වෙඩි තබන බවට තර්ජනය කරනවා.

"ඉතින් වෙඩි තියපන්"

ඔළුවට එල්ල වන වෙඩි පහරින් යාකොව් එතැනම මිය යනවා.




 මේ ඉන්නෙ මාඕ ඇන්‍ යිං.



 
මෙයාගෙ තාත්තා තමයි රතු චීනයේ නායක​, චීන විප්ලවයේ නියමු මාඕ සේදොං.

1941 දි ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කරද්දි ඇන් යිං සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය ලබනවා. ඔහු රතු හමුදාවට බැඳිලා සටන් පෙරමුණට යනවා. ඒ කාලතුවක්කු බල ඇණියක ලුතිනන් වරයෙක් හැටියට​. එතකොට ඔහුට වයස 19 යි.

ඔහු ජර්මන් හමුදා වලට එරෙහිව පෝලන්ත පෙරමුණේ සටන් කරනවා.

1946 චීන විප්ලවය ඇරඹුනාම ඇන් යිං චීනයට ඇවිත් මහජන විමුක්ති හමුදාවට බැඳිලා සටන් කරනවා.

චීන විප්ලවය දිනලා කොමියුනිස්ට් වාදීන් චීනයේ බලය අල්ලගන්නවා. ඇන් යිං ගෙ පියා මාඕ තමයි චීනයේ නායකයා වෙන්නෙ.

1950 දි කොරියානු යුද්ධය ඇවිලෙනවා. උතුරු කොරියාවට උදව්වට ලක්‍ෂ තුනක චීන හමුදාවක් කොරියාවට යනවා. ඒකෙ අණදෙන නිලධාරියා වෙන්නෙ ඒ කාලෙ චීනයේ අසහාය යුධ වීරයා වුන මාෂල් පෙං ඩෙහුවායි.

ඔහුගේ රුසියානු භාෂා පරිවර්තකයා විදිහට ඇන් යිං ත් කොරියාවට යනවා.

මාෂල් පෙං තමාගෙ මූලස්ථානය පිහිටුවා ගන්නෙ පියොංයැං නගරයට උතුරෙන් තිබ්බ අත් හැර දාපු රත්තරන් පතලක​. ඒ ඇමරිකන් ගුවන් ප්‍රහාර වලින් ආරක්‍ෂා වෙන්න​.

1950 නොවැම්බර් 25 වෙනිදා මාඕ ඇන් යිං සහ ඔහුගේ මිතුරෙක් පතල ආසන්නයේ තියෙන අත් හැර දැමූ පොඩි පැලක දහවල් ආහාරය පිළියෙල කරමින් ඉන්නවා. නමුත් ලිපෙන් දුම අහසට නගින බව ඔවුන්ට අමතක වෙනවා.

එක පාරටම කොහෙන්දෝ ආපු සතුරු අහස් යානාවක් පැලට නාපාම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා.

දැවී අඟුරු වී ගිය ඇන් යිං ගෙ මළ සිරුර පියොංයැං නගරය අසල වළ දානවා.

Thursday, October 12, 2017

පාදඩයා කූඹියෝ බලපු හැටි


නෑ මේ අර ටෙලි නාට්‍යය බලපු හැටි නෙවෙයි. කාලෙකට ඉහතදී "AntZ" කියල කාටූන් එකක් ආව​. මේ තියෙන්නෙ පාදඩයා ඒක බලපු හැටි.

පාදඩය ඒ කාලෙ හිටියෙ කැම්පස් එකේ. ඒ දවස් වල පාදඩය හොඳ ළමයෙක් නිසා නිති පතා මල් පහන් පූජා කරල තමයි ඉන්නෙ. මේත් ඒ වගේ දවසක්. හවස හයට විතර තවත් යාළුවෙක් එක්ක මලක් පූජා කරල​, සුවඳ දුම් පූජාව පවත්වලා හොස්ටල් එකට ආව​.

කැන්ටිමෙන් ගත්ත මිරින්ඩා බෝතලෙ එක්ක සිගරට් එකක් ගහනකොට තමයි තේරුනෙ දැන් දෙන්නම ඉන්නෙ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙකට ඇතුල් වෙන්න ඔන්න මෙන්න ලෙවල් එකේ කියල.

ඒ දවස් වල අපි ඔක්කොම නිතර සෙට් වෙන "ගුණෙ අයියගෙ කාමරේ" වගේ සීන් එකක් තිබ්බ​. ඒකෙ අයිති කාරය අපේ බැචෙක් වුනාට හිටියෙ ගජේට ඉන්න සින්නෙක්. ඌ ළඟ කොම්පියුටර් එකක් තිබ්බ​. ඒ නිසා තමයි ඔක්කොමල්ල ඒකට සෙට් වෙන්නෙ (ඔව් ඕයි මේ එක්දාස් නවසිය බර ගණං. දැං වගේ හැම කොල්ල බල්ලම කොම්පියුටර් සෙල්ෆෝන් පාවිච්චි කරේ නෑ). ඉතින් අපි දෙන්නත් ගුණෙ අයියගෙ කාමරේට ආව​.

එතන ඉන්නව අපේ බැචෙක් සහ උගේ යාළුවෙක්. යාළුව කැම්පස් නෙවෙයි. ඌ අපේ ඉස්කෝලෙ අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක්. බුදු ෆිට් එකක් නොවුනට සාමාන්‍යෙයෙන් දන්න කියන එකෙක්.

අපි දෙන්න කාමරේට ඇතුල් වුනාම අපේ ඉස්කෝලෙ එකා මට හිනාවක් දැම්ම​. ඒත් මම ඌව ගණං ගත්තෙ නෑ. ලොකු කමකට නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙ ඉඳල මනුස්ස ලෝකෙට ඩිරෙක්ට් කොමියුනිකේෂන් අමාරු නිසා. අපි දෙන්න කතාවක් බහක් නැතුව කොම්පියුටරේ ඔන් කරා.

දැන් කොම්පියුටරේ බූට් වෙනකං අපි දෙන්න ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. අරුන් දෙන්න කටවල් ඇරගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා.

බැරිම තැන මගේ බැචා

"මචං මූ උඹලගෙ ඉස්කෝලෙ, උඹ මූව දන්නවද​?" කියල ඇහුව​

අරුන් දෙන්න හිටියෙ අපි දෙන්නගෙ පිටිපස්සෙන්. මම හැරිල උන් දෙන්න දිහාවට මාරුවෙන් මාරුවට බැලුව​.

"නෑ"

මම ආපහු කොම්පියුටරේ දිහා බලා ගත්ත​. අරූ ගෙ මූණ දෙල් වෙලා යනව යාන්තමට පෙනුනත් ඒ වෙලාවෙ ඒක එච්චර ප්‍රශ්නයක් වුනේ නෑ.

කොම්පියුටරේ බූට් වෙන්න ගිය විනාඩි පහක විතර කාලය ඇතුලත ඒ කාමරේ අස්සෙ ආපහු වචනයක් වත් කතා වුනේ නෑ.

"AntZ" දැම්ම​. දැන් අපි දෙන්න ෆුල් සිරාවෙලා "AntZ" බලනවා. බලනවා කියන්නෙ මාරම උනන්දුවෙන්. ඩිස්නි කාටූන් එකක් වුනත් මෙළෝ මගුලක් තේරෙන්නෙ නෑ. කොටින්ම කතාවෙ චරිත ටිකවත් වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න අමාරුයි. ෆුල් සිරා ප්‍රබුද්ධ කාටූන් එකක් වෙන්න ඇති කියල හිතුවා. එක දෙබසක් අහගෙන ඒකෙ තේරුම ප්‍රොසෙස් කරල ඒකෙ යටි පෙළ ගැන හිතල ඒක කතාවට ගලපගන්න උත්සහ කරද්දි දෙබස කිව්වෙ කවුද කියල මතක නෑ. ඒ වුනාට ගේම අතෑරියෙ නෑ. ආපහු ඊළඟ දෙබස වත් අල්ල ගන්නව කියල දිගටම ට්‍රයි කරා.

ඔය ෆිල්ම් එකේ තියෙනවා කූඹි සෙට් එක යුද්ධෙකට යන සීන් එකක්. එතන අහස එහෙම කළු වෙලා හාත්පස අඳුරු වෙලා තියෙද්දි මාචිං සෝං එකකට අනුව පය තබමින් රණ ගී ගයමින් කූඹියෝ දහස් ගානක් එක පෙළට යුධ බිමට යනව තමයි තියෙන්නෙ.

https://www.youtube.com/watch?v=EnULSmNbCuo

මේක ටිකක් වෙලා බලාගෙන ඉද්දි මට කලිසමේ හුජ්ජ යන ගානට බය හිතුනා. බය කියන්නෙ ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලද්දි වත් එහෙම බය හිතිල නෑ. උගුර කට ඔක්කොම වේලිලා. ඒත් මේසෙ උඩ තියෙන වතුර බෝතලෙන් වතුර උගුරක් බොන්න වත් අත උස්සන්න බයයි. දත්මිටි කාගෙන බය තද කරගෙන දිගටම බලාගෙන හිටිය​. මුළු ඇඟම දාඩියෙන් පෙඟීගෙන යනවා.

මගේ බැචාට මේ වෙද්දි වැඩේ මීටර්. ඌ අමාරුවෙන් හිනාව නවත්තගෙන අහනවා.

"මොකද්ද බං උඹල ඔය බලන්නෙ? පට්ට සිරා ෆිල්ම් එකක් ද​?"

මගෙ යාළුව ඌට මෙහෙම උත්තරයක් දුන්නා.

"ඔව් බං මේක කූඹි ගුලක කතාවක්"

"මම යන්නං මචං" කියපු අපේ ඉස්කෝලෙ එකා දොරත් ඇරගෙන කාමරෙන් ගියා. අපේ බැචත් ඌත් එක්ක ගියාද කියල මට දැන් නිච්චි නෑ.



Friday, October 6, 2017

ෆෙඩරල්




ෆෙඩරල් පාලනයක් කියන්නෙ මොකද්ද​?

සරළවම කිව්වොත් ෆෙඩරල් පාලනයක් කියන්නෙ මධ්‍යගත රජයක් සහ ප්‍රාන්ත රජයන් කීපයකින් හැදුන පාලනයක්. ප්‍රාන්ත රාජ්‍යයන්ට තමාගේ ප්‍රාන්තය තුල විවිධ මට්ටමෙන් වැදගත් තීරන ගන්න හැකියාව තියෙනවා.

ෆෙඩරල් පාලනයක සහ මධ්‍යගත පාලනයක වෙනස තියෙන්නෙ බොහෝ දෙනා හිතන පරිදි ප්‍රාන්ත රජයන්ට සහ මධ්‍යම රජයට තියෙන බලතල වල නෙවෙයි. වෙනස ෆන්ඩමෙන්ටල් එකක්.

ෆෙඩරල් රටක් කියන්නෙ ඒකක කීපයක් එකතු වෙලා තනි රටක් බිහි කර ගැනීමෙන්. ලෝකයේ තියෙන ෆෙඩරල් රාජ්‍යය වලට උදාහරණ බැලුවම මේක අපිට වඩා පැහැදිලි වෙනවා.

ඇමරිකාව - ස්වාධීන ජනපද දහ තුනක් එකතු වෙලා "ඇමරිකා එක්සත් ජනපද" (ජනපදය නෙවෙයි) කියන තනි රට පිහිටුවා ගන්නෙ. ඊට කලින් මේ ජනපද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය යටතේ වෙන වෙනම ඒකක ලෙස පාලනය වුන ඒවා.

සෝවියට් සංගමය - කලින් රුසියානු අධිරාජ්‍යයට අයිති වෙලා තිබිල පසුව ස්වාධීන වුන සමාජවාදී රටවල් ගණනාවක් එකතු වෙලා තමයි සෝවියට් සංගමය පිහිටුවන්නෙ.

දකුණු අප්‍රිකාව - බ්‍රිතාන්‍යයට අයත් යටත් විජිත වුන කේප් කොලනිය සහ නතාල් බෝයර් වරු පිහිටුවා ගත්ත ඔරේන්.ජ් ෆ්‍රී සහ ට්‍රාන්ස්වාල් කියන ස්වාධීන රටවල් දෙක එක්ක එකතු වෙලා තමයි දකුණු අප්‍රිකාව කියන රට පිහිටුවන්නෙ.

ඕස්ට්‍රේලියාව - බ්‍රිතාන්‍යයන්ට අයත් වුන ස්වාධීනව පාලනය වුන ජනපද හයක් 1901 දී එකතු වෙලා ජනමත විචාරනයකින් තමයි ඕස්ට්‍රේලියාව කියන තනි රට බිහි කරන්නෙ.

ඉන්දියාව - බ්‍රිතාන්‍යය පාලනයට පෙර ඉන්දියාව කියල තනි රටක් තිබිල නෑ. සමහර කාල වලදී ප්‍රභල අධිරාජ්‍යයන් ගේ පාලනයට නතු වුනත්, බ්‍රිතාන්‍යය පාලනයට පෙර වර්තමාන ඉන්දියාවට අයත් වෙන භූමි ප්‍රදේශය එක පාලන ඒකකයක් වෙලා නෑ. ඔවුන් ගේ පොදු බව තිබ්බෙ සංස්කෘතියේ පමණයි. 1947 නිදහස ලැබනකොට කෙලින්ම බ්‍රිතාන්‍යය යටතේ පාලනය වුන ප්‍රදේශ සහ බ්‍රිතාන්‍යයන් ගෙ "රැකවරනය​" යටතේ තිබ්බ මහරාජා වරුන් ගේ පාලන ප්‍රදේශ ගණනාවක් එකතු වෙලා තමයි ඉන්දියාව හැදෙන්නෙ. ඒ එකතු වෙන්න අකැමැති වුන ප්‍රදේශ කීපයක් තමයි පාකිස්ථානය විදිහට වෙන් වෙන්නෙ.

මේ වගේ උදාහරණ ගණනාවක් බැලුවොත් අපිට පැහැදිලි වෙනවා ෆෙඩරල් රටක් කියන්නෙ වෙන්ව තිබූ ප්‍රදේශ කීපයක් එකතු වෙලා රටක් බිහි කරගත්ත අවස්ථාවක් කියල​.

එතකොට ලංකාවෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන බෙදුම්වාදීන් මේක ඉල්ලන්නෙ උතුරු නැගෙනහිර දෙමළ නිජබිමක් කියන සංකල්පයේ ඉඳල​. ඔවුන් ගේ තර්කය වෙන්නෙ උතුර කියන දෙමළ ප්‍රදේශය සහ දකුණ කියන සිංහල ප්‍රදේශය එකතු වෙලා ලංකාව කියන ෆෙඩරල් රට බිහිවිය යුතු බව​.

එතකොට අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිගත්ත කියන්නෙ කෙලින්ම නිජබිම් සංකල්පය පිළිගත්ත කියන එක​.

නිජබිම් සංකල්පය කියන්නෙ කිසිම ඓතිහාසික පදනමක් නැති පට්ටපල් බොරුවක්.

මෙතන තවත් වැදගත් දෙයක් තමයි ෆෙඩරල් කියන සංකල්පයේම තියෙනවා "සිය කැමැත්තෙන් එකතු වූ පාලන ඒකක වලට කැමැත්තෙන් වෙන් වී යාමේ අයිතිය තියෙනවා" කියන එක​. දැන් මම කියන්නෙ මේ යෝජිත ව්‍යවස්ථාවේ මේක තියෙනව කියල නෙවෙයි. නමුත් ෆෙඩරල් සංකල්පයේ මේක තියෙනවා.

උදාහරණයකට සෝවියට් සංගමයේ ව්‍යවස්ථාව අනුව ඕනෑම සමූහාන්ඩුවකට තමා කැමති ඕනම වෙලාවක ඉවත් වෙන්න පුළුවන්. සමාජවාදයේ බිඳවැටීමත් එකක් මේ සමූහාන්ඩු කිසිම අරගලයකින් ලේ හැලීමකින් තොරව ස්වාධීන රටවල් බවට පත් වුනේ ඒ අනුව​.

ඇමරිකාවේ ව්‍යවස්ථාව අනුව ජනපදයකට වෙන් වෙන්න බැරි වුනත්, අර "කැමැත්තෙන් එක වූ නිසා කැමැත්තෙන් වෙන්වීමේ අයිතිය ඇත​" කියන සංකල්පය මත බොහෝ විට "වෙන්වීමේ ව්‍යාපාර​" ඇමරිකානු ඉතිහාසයේ දකින්නට පුළුවන්. 1860 දි ඒ වගේ වෙන්වීමේ තැතක් කෙලවර වුනේ මිලියනයක් දෙනා මියගිය සිවිල් යුද්ධයකින්.

ශුද්ධභූමි


ජපානයට බුදු සමය එන්නෙ 625 දි. මේ මුල් යුගයේදී බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ම ජපානයේ ව්‍යාප්ත වුනා. මේ කාලයේදී ජපානයේ ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදායන් වුනේ මේවා:

1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)
2. හොස්සො-ෂු (යෝගචර​)
3. සංරොන්-ෂු (මධ්‍යමක​)
4. කෙගොන්-ෂු (අවතම්සක​)
5. රිත්ස්-ෂු (ධර්මගුප්තික​)
6. කුෂා-ෂු (සර්වස්ථිවාදී)
7. තෙන්දයි-ෂු

මේ සම්ප්‍රදායන් ගැඹුරු ධර්ම කරුණු සහ දැඩි භාවනා වෘත මත පදනම් වුනා. මේ කාලයේදී ජපානයේ බුදු සමය උගතුන් සහ සමුරායි වරු අතර වේගයෙන් ජනප්‍රිය වුනා. බුදු දහම මත පදනම් වුන බුද්ධි ප්‍රබෝධයක් ජපානයේ ඇති වුනා.

නමුත් 1180 දි ජපානයේ සිවිල් යුද්ධයක් ඇති වුනා. මේ යුද්ධය හඳුන්වන්නෙ "ගෙංපෙයි යුද්ධය" කියල​. ගෙංපෙයි යුද්ධය නිසා ජපානය දැඩි විනාශයකට ලක් වෙනවා. සමාජය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා. ගම් බිම් විනාශ වෙනවා. විශාල ජීවිත ජානියකුත් සිද්ධ වෙනවා.

ඒ නිසාම බුදු දහමත් දැඩි අනතුරකට පත් වෙනවා. යුධ කෝලහල අස්සෙ යන්තම් පණ ගැටගහ ගන්න මිනිස්සුන්ට ගැඹුරු ධර්ම කරුණු ගැන වෙහෙසෙන්න වෙලාවක් නැති වෙනවා.

ගෙංපෙයි යුද්ධය පටන් ගන්න අවුරුදු පහකට කලින් අළුත් බෞද්ධ සම්ප්‍රදායක් ජපානයට එනවා චීනයේ ඉඳලා. මේක හැඳින්වෙන්නෙ ජෝදෝ හෙවත් "ශුද්ධභූමි" බුද්ධාගම කියල​.

මේ බෞද්ධ සම්ප්‍රදාය මුල් තැන දෙන්නෙ ශ්‍රද්ධාවට​. මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී​) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.

මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.

අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදායේ පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය​, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන​.

මෙහිදී මෙලොවදීම ධර්මාවබෝධය ලැබීමට වඩා තැන දෙන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට​. ශුද්ධ භූමියට ඇතුල් වෙන්න අවශ්‍යය වෙන්නෙ ශ්‍රද්ධාව​.

ගෙංපයි යුද්ධයට අහුවෙලා පැරණි බෞද්ධ සම්ප්‍රදායන් වේගයෙන් විනාශ වෙද්දි ජෝදෝ සම්ප්‍රදාය වේගයෙන් මිනිස්සු අතර පැතිරෙනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව අතර​. මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ මනුෂ්‍යය ලෝකය පිරිහී ගියත් අපිට ධර්මාවබෝධය කරන්න ක්‍රමයක් තියෙනවා කියන අදහස ජෝදෝ සම්ප්‍රදායේ තිබීම​.

ජෝදෝ සම්ප්‍රදායේ ම අනු සම්ප්‍රදායක් වන ජෝදෝ ෂින් සම්ප්‍රදාය මේක තවත් පියවරක් ඉදිරියට ගෙනියනවා. ඒ සම්‍ප්‍රදායේ පුරෝගාමී භික්‍ෂුව වුන ෂිංරන් හිමියන් යෝජනා කරනවා බෞද්ධ භික්‍ෂූන්ට මස් කෑම​, මත්පැන පානය සහ විවාහ වීම කැපයි කියලා.
එතුමන් ගේ තර්කය වෙන්නෙ අමිතාභ බුදුන් පිළිබඳ ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධ භූමියට ඇතුල් විය හැකි නිසා මෙලොවදී දැඩි ශීලයක් රැකීම අනවශ්‍යය බවයි.

ෂිංරන් හිමියන් මේ කරන්නෙ සම්‍යක් ප්‍රයෝගයක්. යුද්ධය විසින් පන්සල් විනාශ වෙලා භික්‍ෂූන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩු වුන සමයක විනය නීති ලිහිල් කිරීමෙන් භික්‍ෂූ සසුන නොනැසී පවත්වා ගැනීම තමයි උන් වහන්සේගේ අරමුණ වෙන්නෙ.

ඒ සම්‍යක් ප්‍රයෝගය සාර්ථක වෙනවා. අද ජපානයේ මුල් බෞද්ධ සම්ප්‍රදායන් තියෙන්නෙ ඉතා සුළු වශයෙන්. නමුත් ජෝදෝ සම්ප්‍රදාය විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. ඉනුත් වඩාම ජනප්‍රිය ජෝදෝ ෂින් සම්ප්‍රදාය​.

ජපන් බෞද්ධයෙන් ගෙන් 45% ක්ම අද අනුගමනය කරන්නෙ ජෝදෝ සම්ප්‍රදාය​.

දුෂ්කර සමයකදී බුදු සසුන නොනැසී පවත්වාගන්න උපකාරී වුනත්, දීර්ඝ කාලීනව ජෝදෝ සම්ප්‍රදාය නිසා ජපන් බුදු සමයට වුනේ හානියක් කියල හිතන්නත් පුළුවන්. අද ජපානයේ බුදු දහමේ පදනම වෙන්නෙ ශ්‍රද්ධාව​. ශීලය සහ ප්‍රඥාවට එහි ඇති තැන අල්පයි.

ලංකාවේත් යුද්ධ නිසා බුදු සමය මේ වගේ පරිහානියට ලක් වුන අවස්‍ථා වලදී භික්‍ෂූන් වහන්සේලා මේ වගේ සම්‍යක් ප්‍රයෝග යොදන්න ඇති. නමුත් උන්වහන්සේලා බුදු සමයේ මූලික සංකල්ප වලට හානියක් වෙන්න නොදී ආරක්‍ෂා කර ගැනීම ගැන අපි උන්වහන්සේලාට පින් දෙන්න ඕනෙ.

මාතලේ අළුවිහාරය කියන්නෙ අපේ රටේ වැදගත්ම පින්බිම වෙන්නෙ ඒ නිසා.

කඳුකර යක්‍ෂයා


කාලය : 1901

තැන : ලංකාව​

බෝයර් යුද්ධයේ සටන් කරල තුවාල ලබපු හමුදා සෙබළෙක් වන ලුතිනන් විලියම් ස්ටේන් විවේක ගන්න ලංකාවට එනවා. ඔහු නවතින්නේ ඔහුගේ ළමා කාලයේ මිත්‍රයෙක් වන දොස්තර ග්‍රෙගරි මිඩ්වින්ටර් එක්ක​. දොස්තර මිඩ්වින්ටර් සේවය කරන්නෙ තලවකැලේ ආශ්‍රිත ප්‍රදේශයක වෛද්‍යවරයෙක් හැටියට​.

ලුතිනන් ස්ටේන් බෝයර් යුද්ධයේ කෲර කම දෑසින් දැකලා අධිරාජ්‍යවාදය ගැන තිබ්බ විශ්වාසය නැති කරගත්ත සුද්දෙක්.

දොස්තර මිඩ්වින්ටර් ගෙ රෝගීන් අතර වැඩිපුර ඉන්නෙ තේවතු වල සේවය කරන දෙමළ කම්කරුවන් සහ කොත්මලේ ආශ්‍රිත ගම් වල සිංහල ගැමියන්. වසංගත රෝග වලින් මේ මිනිස්සු මැස්සො වගේ මැරෙනවා. මේ මිනිස්සුන් ගෙ ජීවන තත්වය උසස් කරන්න දොස්තර මිඩ්වින්ටර් අවංක උත්සහයක් දරනවා. ඒක බටහිර ශිෂ්ඨාචාරයේ වගකීමක් කියල ඔහු විශ්වාස කරනවා.

දොස්තර මිඩ්වින්ටර් සුදු ජාතික වැවිළි කාරයොන් ගෙ සමාජයක සාමජිකයෙක්. ලුතිනන් ස්ටේන් තමාගෙ මිත්‍රයා එක්ක මේ සමාජ ශාලා වලට යනවා. එතන බිලියඩ් සෙල්ලම් කරන්න එන වැවිළිකාර සුද්දො ඔහුට වැඩිය දිරවන්නෙ නෑ. මේ වැවිලිකාරයො ස්වදේශිකයන්ට සලකන්නෙ සත්තුන්ට වගේ. ඒ නිසාම ලුතිනන් ස්ටේන් වැවිලිකාරයො එකක් ආරවුල් කීපයකුත් ඇති කර ගන්නවා

මේ අතරෙ මිනී කන කොටි දෙන්නෙක් අවට ගම් වල සැරිසරන්න පටන් ගන්නවා. මුං දෙන්නා වතු කම්කරුවන්ව සහ සිංහල ගැමියන්ව මරනවා. මුළු ප්‍රදේශයම ත්‍රාසයෙන් මුසපත් වෙනවා. වැවිලිකාරයො කොටි දෙන්න දඩයම් කරන්න උත්සහ කරනවා. ඒත් කොටි දෙන්නා ඉතාම කපටියි. කොටි දෙන්නගෙ ගොදුරු ගාන 50 පනිනකොට තේවතු වල නිෂ්පාදනයටත් ඒක බලපානවා. මිනිස්සු වැඩට යන්න බය වෙනවා.

කොටි දඩයම් කරන්න යන වැවිලිකාරයෙක් කොටින්ට ගොදුරු වුනාට පස්සෙ වැවිලිකාරයො අකැමැත්තෙන් ලුතිනන් ස්ටේන් ගෙ උදව්ව ඉල්ලනවා. මිනිහ කැමති වෙන්නෙ නෑ.

එක දවසක් ලුතිනන් ස්ටේන් දොස්තර මිතුරා එක්ක කොටින්ට ගොදුරු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන​ 16 හැවිරිදි ගෑණු ළමයෙක් බලන්න යනවා. ගෑණු ළමය මැරෙනවා. ඒත් සිද්ධියෙන් කම්පනය වෙන ලුතිනන් ස්ටේන් කොටින්ව දඩයම් කරන්න කැමති වෙනවා.

ඊට පස්සෙ තියෙන්නෙ ලුතිනන් ස්ටේන් කැලේ, ගම් සහ තේ වතු අස්සෙ රිංගගෙන කොටි දෙන්න ලුහුබඳින හැටි. කොටි දෙන්න ලුතිනන්ට වෙට්ටු දදා බේරෙනවා. ලුතිනන් ගේම අතාරින්නෙත් නෑ.

හැබැයි මාසයක් විතර ගතවෙද්දි ලුතිනන් ට කොටි දෙන්න ගැන ගෞරවයක් ඇති වෙනවා. ඒ එක්කම ප්‍රදේශයේ අහුමුළු නෑර කරක් ගහද්දි ඔහු දකිනවා කොටි අතින් විඳිනවට වඩා දුකක් යටත්විජිත වාදය නිසා මිනිස්සු විඳින බව​. ඔහුගෙ සහයට එන දොස්තර මිඩ්වින්ටර්ටත් ඒක ඒත්තු යනවා.

මාස තුනක දඩයමකින් පස්සෙ කොටි දෙන්නවම මරන්න ස්ටේන් සමත් වෙනවා. හැබැයි ඔහු ඒ ගැන දුක් වෙනවා. කොටින් ගෙ හම ගලව ගන්න එන වැවිලිකාරයෙක්ට ලුතිනන් ස්ටේන් වෙඩි තියන්න තර්ජනය කරනවා. කොටි දෙන්නව තමාගෙ අතින්ම හාරපු වලක වළලලා ඔහු පහුවදා උදේම කෝච්චියෙන් කොළඹ යන්නෙ එංගලන්තය බලා නැව් නගින්න​.

මිතුරාව ඇරලලා ආපහු හැරෙන දොස්තර මිඩ්වින්ටර් ට දුම්.රිය වේදිකාවෙදි වත්තක වැඩ කරන මනුස්සයෙක් කතා කරනවා.

"යක්‍ෂයාගෙන් අපිව බේර ගත්තට ඔබේ මිතුරාට ස්තූති කරන්න​"

"යක්‍ෂයා තාම ඉන්නවා"

දොස්තර මිඩ්වින්ටර් දුම්.රිය වේදිකාව දිගේ ඇවිදගෙන යද්දි පසුබිමෙන් කැලෑවෙන් වැහුන උස් කඳුගැට දර්ශනය වෙනවා. ඒවා දොස්තර මිඩ්වින්ටර් ට වඩා ගොඩාක් උසයි.

Thursday, October 5, 2017

උමා ඔය


(මෙච්චර බුකියෙ පොර ටෝක් දුන්නට මාව තාම මීඩියා එකකින් ඉන්ටර්විව් කරල නෑ නෙ බොලව්. ඉතිං මාත් ආසයි එහෙම එකකට​. ඉතිම් මේ පොඩි පැන්ටසි ආතල් එකක්.)

"ඔව් හිතවත් ප්‍රේක්‍ෂකයනී/අසනන්නනී/පාඨකයනී අපි අද කතා කරන්නේ වර්තමාන ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන උමා ඔය අර්බුධය පිළිබඳව​. ඒ පිළිබඳ කතා කිරීමට අපි දැන් සම්බන්ධ කර ගන්නවා ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා මහතාව."

"ආයුබෝවන්"

"ආයුබෝවන්"

"මුලින්ම අපිට කියන්න මේ පිළිබඳ අදහස් දැක්වීමට ඔබට ඇති සුදුසුකම් මොනවද කියල"

"මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙනවා"

"අහ් එහෙනම් ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා. හොඳයි අපි සාකච්ඡාවට යොමු වෙමු. මොකද්ද මේ උමා ඔය කියන්නෙ?"

"උමා ඔය කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ගඟක්. ඒක මහවැලි ගඟේ අතු ගංගාවක්. මේකෙ ප්‍රධාන ශාඛාවන් දෙකක් තියෙනවා. එකක් ඔහිය පැත්තෙන් පටන් ගන්න මාතොටිල්ල ඔය​. අනිත් එක අඹේවෙල - පට්ටිපොළ පැත්තෙන් පටන් ගන්න උමා ඔය​. මේ දෙක එකතු වෙනවා හාලි ඇල - වැලිමඩ පාරේ තියෙන වැල්ලවෙල ට නුදුරින්. ඊට පස්සෙ මේක ගිහිල්ල වැටෙනවා රන්ටැඹේ ජලාශයට​. එතනදි තමයි උමා ඔය සහ මහවැලි ගඟ එකතු වෙන්නෙ"

"එතකොට උමා ඔය බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය කියන්නෙ මොකද්ද​?"

"උමා ඔය බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියෙන් කරන්නෙ මේ උතුරු පැත්තට යන උමා ඔය දකුණට හරවලා ඒ වතුර මොණරාගල දිස්ත්‍රික්කයට යවන එක​. ඒ අතරෙදි මේ වතුරෙන් ජල විදුලි උත්පාදනයකුත් සිද්ධ වෙනවා"

"මොනවද මේ බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ?"

"බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ අරමුණු කීපයක් සහිත ව්‍යාපෘති. උදාහරණයකට උමා ඔය ව්‍යාපෘතියෙ කෘෂි කර්මයට ජලය සපයන අරමුණක් සහ ජල විදුලි උත්පාදනය කරන අරමුණක් වශයෙන් අරමුණු දෙකක් තියෙනවා"

"එහෙම නැති ඒවත් තියෙනවද​?"

"ඔව්. උදාහරණයකට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය ගන්න පුළුවන්. ඒකෙන් කරන්නෙ විදුලි බල උත්පාදනය විතරයි"

"කවුද මේ ව්‍යාපෘතිය කරන්න අපිට උදව් කරන්නෙ?"

"මේකට ප්‍රධාන වශයෙන් සල්ලි දෙන්නෙ ඉරාන රජයෙන්. ඒත් සම්පූර්න වියදමෙන් 15% ක් දරන්නෙ ශ්‍රී ලංකා රජය​. සල්ලි දෙනව කියන්නෙ අධාරයක් නෙවෙයි. ණයක් විදිහට තමයි අරමුදල් ලැබෙන්නෙ."

"එතකොට වැඩේ කරන්නෙ කවුද​?"

"මේ ව්‍යාපෘතියෙ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ෆරාබ් කියල ඉරාන සමාගමක්. ඔවුන් තමයි සිවිල් ඉංජිනේරු කොටස කරන්නෙ."

"පොඩ්ඩක් ඉන්න​, ණය දෙන්නෙත් ඉරානයෙන්, ප්‍රධාන කොන්ත්‍රාත්කරුත් ඉරානයෙන්. මේක මොකක් හරි ජිල්මාට් එකක් ද​?"

"නෑ. ගොඩක් රටවලින් රජයකින් රජයකට ණයක් දෙද්දි ඔවුන් කොන්දේසියක් දානවා තමාගේ රටක සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දිය යුතුයි කියල​. උදාහරණයකට ජයිකා ආයතනය හරහා ලැබෙන ජපන් ණය වලින් කරන ව්‍යාපෘති වල කොන්ත්‍රාත්තුව යන්නෙ ජපන් සමාගම් වලට​"


"හොඳයි, ඒ සිවිල් ඉංජිනේරු කොටස නෙ. එතකොට විදුලි ඉංජිනේරු කොටස​?"

"ඒ කොටස කරන්නෙ ඇන්ඩ්‍රිට්ස් කියල ඕස්ට්‍රියන් සමාගමක්. ඔවුන් තමයි ජෙනරේටර් ඇතුළු විදුලි උපාංග ලබා දෙන්නෙ"

"හොඳයි. උමා ඔය ව්‍යාපෘතියෙ සැලසුම මොන වගේද​?"

"උමාඔය ව්‍යාපෘතියෙ ප්‍රධාන අංග තුනක් තියෙනවා. පළවෙනි එක ජලාශ දෙකක්. දෙවෙනි අංගය උමං මාර්ගයක්. තුන්වෙනි එක භූගත ජලවිදුලි බලාගාරයක්."

"අපි ජලාශ දෙකෙන් පටන් ගමු. මේ ජලාශ කොහෙද තියෙන්නෙ?"

"එක ජලාශයක් හැදෙන්නෙ මාතොටිල්ල ඔය හරස් කරලා ඩයරාබ හන්දිය ආසන්නයේ. ඒ ජලාශය හඳුන්වන්නෙ ඩයරාබ ජලාශය කියල​. අනිත් ජලාශය හැදෙන්නෙ උමා ඔය හරස් කරල පුහුල්පොළ ආශ්‍රිතව​. ඒ ජලාශය හඳුන්වන්නෙ පුහුල්පොළ ජලාශය කියල​"



"මේ ජලාශ විශාල ඒවද​? වික්ටෝරියා කොත්මලේ වගේ"

"නෑ. මේ ජලාශ දෙකම ඉතාම පොඩි ජලාශ දෙකක්. ඩයරාබ ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 0.97 ක්. පුහුල්පොළ ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 0.63 . අපි මේ දෙක වික්ටෝරියා ජලාශය එක්ක සසඳලා බැලුවොත් වික්ටෝරියා ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 722 ක් වෙනවා."

"අපෝ හරි පොඩියි නෙ. මේවයින් වැඩක් තියෙයි ද​?"

"වැඩ ගන්න ක්‍රම තියෙනවා. මම පස්සෙ පැහැදිලි කරන්නම්."

"හොඳයි. මොනවද මේ උමං මාර්ග​?"

"උමං මාර්ග තියෙන්නෙ ජලාශ දෙකේ ඉඳල විදුලි බලාගාරයට වතුර අරන් යන්න​. විදුලි බලාගාරය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ රන්දෙණිය අසල​."

"රන්දෙණිය කියන්නෙ ටිකක් හුරු පුරුදු නමක් වගේ"

"රන්දෙණියෙදි තමයි උඩරට හමුදාව කොන්ස්තන්තීනු ද සා ගේ පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරල විශිෂ්ඨ යුධ ජයක් ලැබුවෙ. ඒක තියෙන්නෙ වැල්ලවායට පොඩ්ඩක් උතුරු දිශාවට වෙන්න​."

"හොඳයි හොඳයි, ඔබේ කතාව කරගෙන යන්න​"

"එතකොට මේ උමං මාර්ගය කොටස් තුනකින් සම්න්විත වෙනවා. පළවෙනි එක පුහුල්පොළ ජලාශයේ ඉඳලා ඩයරාබ ජලාශය දක්වා තියෙන කෑල්ල​. ඒකෙ දිග කිලෝ මීටර් 4 යි. දෙවෙනි කොටස යන්නෙ ඩයරාබ ජලාශයේ ඉඳල විදුලි බලාගාරයට. ඒ කෑල්ල කිලෝ මීටර් 15 යි. තුන්වෙනි කොටස විදුලි බලාගාරයෙන් පිටවෙන ජලය කිරිඳි ඔය දක්වා ගෙනියනවා. ඒ කෑල්ල කිලෝ මීටර් 4ක් දිගයි. එතකොට උමඟේ සම්පූර්න දිග කිලෝ මීටර් 23 ක් වෙනවා. සම්පූර්න කරාට පස්සෙ මේක තමයි ලංකාවේ දිගම උමං මාර්ගය වෙන්නෙ."

"පොඩි අතුරු ප්‍රශ්නයක්. දැන් ඔය උමඟක්ම ඕන වෙන්නෙ ඇයි? අපිට ඕක ඇළක් දිගේ ගෙනියන්න බැරිද​?"

"පුළුවන්, ජල විදුලි බලාගාරයක් නොතිබ්බ නම්. උමඟක් පාවිච්චි කරන්නෙ ජලයේ පීඩනය පවත්වාගෙන යන්න​. විවෘත ඇළක ජලයේ පීඩනය වෙන්නෙ වායුගෝලීය පීඩනය. ඒ නිසා ඒ වතුරෙන් ටර්බයින් කරකවන්න බෑ. උමඟක් දිගේ යන වතුරේ තියෙන්නෙ ජලාශය මගින් ඇති කරන තෙරපුමෙන් එන පීඩනය​. ඒ පීඩනය තරමක් ලොකු එකක්. ඒ පීඩනය තමයි ටර්බයින් කරකවන්න උපයෝගී කර ගන්නෙ."

"හොඳයි. අපි දැන් එමු විදුලි බලාගාරයට​."

"ඔව්. විදුලි බලාගාරයේ මෙගාවොට් 60 බැගින් වන ජෙනරේටර් දෙකක් තියෙනවා. එතකොට බලාගාරයේ සම්පූර්න ධාරිතාවය මෙගාවොට් 120 යි. මේ බලාගාරයෙන් අවුරුද්දකට විදුලිය ගිගාවොට් පැය 230 ක්, ඒ කියන්නෙ විදුලි ඒකක මිලියන 230 ක් නිපදවන්න බලාපොරොත්තු වෙනවා."

"මේ ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න​. දැන් අපි යොමු වෙනවා විරාමයකට​"

======================================================================

"හොඳයි විරාමයෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙනවා ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා සමඟ​. අපි දැන් කතා කරමු ව්‍යාපෘතියෙන් ඇති වෙලා තියෙනවා යැයි කියන ප්‍රශ්න පිළිබඳව​. ඇත්තටම මේ ව්‍යාපෘතිය නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද​?"

"ඔව්. ලෝකෙ හැම ව්‍යාපෘතියකින් වගේම මේකෙනුත් පාරිසරික​, සමාජයීය ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා."

"ඒ මොනවද​?"

"ප්‍රධාන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ දෙකක්. එක, ප්‍රදේශයේ ජල උල්පත් සිඳී යාම​. දෙක​, ප්‍රදේශයේ පොළව ගිලා බැසීම​. මේ නිසා ගෙවල් කැඩී යාම​, ඉරිතැලීම, ළිං සහ ඇළ දෙළ සිඳී යාම වගේ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා."

"ජල උල්පත් සිඳී යන්නෙ කොහොමද​?"

"අපි දන්නවා පොළවේ තියෙනවා භූ පාෂාන ස්ථර​. මේ පාෂාන ස්ථර අතර ජලය රැඳිලා තියෙනවා. මේ භූගත ජලය තමයි අපි උල්පත් කියල හඳුන්වන්නේ. මේ උල්පත් ජලය ජලාශයක් වගේ නෙවෙයි තියෙන්නෙ. පාෂාන ස්ථර අතර තියෙන පැලීම්, වැලි සහිත කොටස්, දුර්වල පාෂාන ස්ථර වගේ තැන වල රැඳිලා. මේ ජලය රඳවාගෙන ඉන්න සමත් භූ පාෂාන වලට අපි කියන්නෙ 'ඇක්විෆයර්ස්' කියල​. ඉතින් පොළවේ තැන් තැන් වල විවිධ උස මට්ටම් වල මේ ඇක්විෆයර්ස් තියෙනවා. අපි උමඟක් හාරද්දි ඇක්විෆයර් එකක් තුවාල වුනොත් එතැන රැඳී තිබ්බ වතුර සියල්ලම උමඟේ කුහරය තුලට කාන්දු වෙනවා."



"උමා ඔය තියෙනවා කියල ජල කාන්දුවත් ඒ වගේ එකක් ද​?"

"ඔව්."

"මේ වගේ ජල කාන්දු වෙලා තියෙන්නෙ උමා ඔය විතරද​?"

"අපොයි නෑ. ඕනම උමඟක් හාරද්දි මේ වගේ ජල කාන්දු සිද්ධ වෙනවා. ඒක බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි උමා ඔය උමඟේ ජල කාන්දුව තරමක් විශාල එකක්. ඒ නිසා තමයි ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ."

"එතකොට පොළව ගිලා බහින්නෙ කොහොමද​?"

"පාෂාන ස්ථරයේ තිබුන ජලය ඉවත් වුනාම එතැන හැදෙනවා හිස් අවකාශ​. මේ හිස් අවකාශ ගොඩක් ලොකු වුනොත් ඊට ඉහළ තියෙන ගල්, පස් තට්ටු වල බර නිසා පොළව එතැනින් ගිලා බහින්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වල හදල තියෙන ගෙවල් ඉරිතැලෙන්න හෝ සම්පූර්නයෙන්ම කැඩී යන්න පුළුවන්."

"ඉතින් මේක දිගටම සිද්ධ වෙන තත්වයක් ද​?"

"උමඟ හිස් වෙලා තියෙන තාක් කල් මේ වැඩේ වෙනවා. නමුත් උමඟ ජලයෙන් පිරෙව්වම කාන්දු වෙන එක නවතිනවා."

"ඒ කොහොමද එහෙම වෙන්නෙ?"

"උමඟට වතුර පිරෙව්වම උමඟ ඇතුලෙ වතුර තියෙන්නෙ පීඩනයක් යටතේ. ඒ නිසා ඇතුලට වතුර කාන්දු වෙන්නෙ නෑ"

"එතකොට උමඟ සම්පූර්නයෙන් පිරිල නැති වෙලාවට​?"

"මට පේන්නෙ ඔබට උමඟේ වතුර තියෙන ආකාරය ගැන පැහැදිලි වැටහීමක් නෑ. මම ඒක පැහැදිලි කරන්නම්. ජල විදුලි බලාගාරයක ජලාශයේ ඉඳලා බලාගාරය දක්වා ජලය ගෙනියන උමඟට කියන්නෙ "හෙඩ් රේස් ටනල් එක" නැත්තං "පෙරාර උමඟ​" කියල​. ජලාශයෙන් පෙරාර උමඟට වතුර ඇතුල් වෙන තැන හඳුන්වන්නෙ "ටනල් ඉන්ටේක් එක​" හෙවත් "තුළු මග​" කියල (A). ඊට පස්සෙ පෙරාර උමඟ පොඩි ආනතියක් සහිතව දිවෙනවා (B). පෙරාර උමඟේ අවසන් කොටස එකපාරටම ලොකු ආනතියකින් ඉවර වෙන්නෙ. ඒ කෑල්ල හඳුන්වන්නෙ පෙන්ස්ටොක් එක හෙවත් "කොටු දොර​" කියල (C). පෙන්ස්ටොක් එක කෙළවර වෙන්නෙ බලාගාරයෙන්. එතන තමයි ටර්බයින් එක තියෙන්නෙ (D)."



"මේ පින්තූරයෙන් පේන්නෙ ඒක නේද​?"

"ඔව්. ඔය තියෙන්නෙ මේ සැකැස්මේ සරල නිරූපනයක්. එතකොට ජලාශයේ ජල මට්ටම හැම වෙලේම පවත්වාගන්නෙ ඉන්ටේක් එකට උඩින්. කිසිම අවස්ථාවක ජලාශයේ ජල මට්ටම ඉන්ටේක් එකට පහලට යන්න දෙන්නෙ නෑ. ඒ නිසා හැම වෙලේම උමඟ සම්පූර්නයෙන්ම ජලයෙන් පිරිල තියෙන්නෙ. අපි කොයි වෙලේවත් ඉන්ටේක් එක ළඟින් වතුර පාර වහන්නෙ නෑ. එතනින් උමඟ හැමවෙලේම විවෘතයි."

"එතකොට වැස්ස අඩු කාලෙට මොකද වෙන්නෙ?"

"වැස්ස අඩු කාලෙට ටර්බයින් යන්ත්‍ර හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මුළු දවස තිස්සෙම ජලාශ දෙකට එකතු වෙන වතුර දවසේ විදුලි ඉල්ලුම වැඩිම පැය දෙක තුන තියෙන වෙලාවට විතරක් ක්‍රියාත්මක කරනවා. ටර්බයින ක්‍රියාත්මක වෙන්නෙ නැති වෙලාවට උමඟ ඇතුලෙන් වතුර ගලන්නෙ නෑ. නමුත් උමඟ වතුරෙන් පිරිල තියෙන්නෙ."

"හැමනියං කාලෙටම එහෙමද​?"

"හැමනියං කාලෙටම එහෙමයි"

"එතකොට උමඟ ඇතුලෙ වතුර පීඩනයෙන් තියෙනව කිව්වෙ?"

"උමඟට වඩා ජලාශයේ ජලමට්ටම වැඩි නිසා උමඟ ඇතුලේ තියෙන ජල කඳට හැම වෙලේම ජලාශයේ තියෙන ජල කඳ මගින් පීඩනයක් එල්ල වෙලා තියෙන්නෙ. ඒ නිසා ටනල් එක ඇතුලෙ ජල කඳ හැම වෙලේම පීඩනයක් යටතේ තියෙන්නෙ. මේ පීඩනය තියෙන්නෙ ඇතුලේ සිට එළියට​. ඒ කියන්නෙ ජල කඳ විසින් උමඟේ ඇතුලත බිත්ති එළියට තෙරපිලා තියෙන්නෙ හැම වෙලේම (රූප සටහන​). ඒ නිසා උමඟ ඇතුලට ජල කාන් දුවක් වෙන්නෙ නෑ."

"ඒත් භූ ගත ජල කඳේ උස ජලාශයේ උසට වැඩා වැඩි නම් ඇතුලට කාන්දු වෙන්න පුළුවන් නේද​?"

"එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. හේතු දෙකක් නිසා. පළවෙනි එක ඩයරාබ ජලාශයේ උපරිම ජල මට්ටම තියෙන්නෙ ඉන්ටේක් එකට වඩා මීටර් 22 ක් උඩින්. එහෙනං භූ ගත ජල කඳේ උස මීටර් 22 ට වඩා වැඩි වෙන්න ඕනෙ. ඒක ටිකක් විශාල අගයක්. දෙවෙනි එක​, භූ ජල කඳ තියෙන්නෙ ජලාශයක් වගේ එක පොදියට නෙවෙයි. ඒ නිසා ජලාශයෙන් එන පීඩනය වගේ කන්ටිනිවස් පීඩනයක් එන්නෙ නෑ. ජල කඳ ෆ්‍රැග්මන්ට් වෙලා තියෙන්නෙ. ඒ නිසා ලොකු පීඩනයක් දෙන්න අමාරුයි."

"හරි. එතකොට ඔබ කියන විදිහට උමඟ ජලයෙන් පිරෙව්වට පස්සෙ තව දුරටත් කාන්දු වෙන්නෙ නෑ. ඒත් දැනටම වෙලා තියෙන හානිය එහෙම්මමයි නේද​?"

"පොළව ගිලා බැහැපුවා සහ ගෙවල් කැඩිච්ච ඒව ආයෙ හරියන්නෙ නෑ. නමුත් ආපහු වැහි කාලයක් ආව ගමන් අර හිඳිච්ච උල්පත් ආපහු පිරෙනවා. ඒ නිසා වතුර හිඳිච්ච එක ආපහු හරියනවා. හැබැයි 100% හරියන එකක් නෑ. නමුත් බොහෝ දුරට හරියනවා. ඒ වගේම උමඟ ඇතුලෙ පීඩනය වැඩි නිසා සමහර තැන් වල උමඟෙන් එළියට වතුර කාන්දු වෙන්නත් පුළුවන්. ඒ වගේ තැන් වල භූගත ජල මට්ටම කලින් තිබුනටත් වඩා යහපත් වෙනවා. මොකද නියං කාලෙටත් උමඟෙන් වතුර කාන්දු වෙන නිසා. ඒ වගේම කලින් තිබ්බ උල්පත් නැවත හරි නොයන්නත්, කලින් නොතිබුන උල්පත් මතු වෙන්නත් පුළුවන්."

"එතකොට මේ සමහරු කියනව නේද රාවණා ඇල්ල හිඳිල ගියා කියල​. ඒ මොකද්ද​?"

"එතන පොඩි පටලැවිල්ලක් තියෙන්නෙ. අපි ඔය රාවණා ඇල්ල කියල හඳුන්වන ඇල්ල - වැල්ලවාය පාර අයිනෙ තියෙන දිය ඇල්ල ඇත්තටම රාවණා ඇල්ල නෙවෙයි. ඒකට කියන්නෙ බඹරගල ඇල්ල​. බඹරගල ඇල්ලට කිසි දෙයක් වෙලා නෑ. නියම රාවණා ඇල්ල තියෙන්නෙ තව ටිකක් ඇතුළට වෙන්නෙ. ඒක පාරට පේන්නෙ නෑ."

"එතකොට ඒ ඇල්ල හිඳිල කියන්නෙ බොරු ද​?"

"නෑ. ඒක බොරුවක් නෙවෙයි. මේ දවස් වල රාවණා ඇල්ල හිඳිල තියෙන්නෙ. හැබැයි ඒක හැමනියං කාලෙටම වෙන දෙයක්. සමහර දිය ඇලි මතුවෙන්නෙ වැහි කාලෙට විතරයි. ඒක කඳුකර වැසියන්ට නං බොහොම සාමාන්‍යය දෙයක්. රාවණා ඇල්ලත් ඒ වගේ වැහි කාලෙට විතරක් මතු වෙන දිය ඇල්ලක්."

"එතකොට රාවණා ඇල්ලට උමඟෙන් බලපෑමක් නැද්ද​?"

"උමඟ ඔය ආසන්නයෙන් යනවා. ඒ කියන්නෙ පොඩි බලපෑමක් ඇති. නමුත් රාවණා ඇල්ල තියෙන්නෙ වැහි කාලෙට විතරයි. වැස්ස පටන් ගත්තම ආපහු දිය ඇල්ල මතු වෙලා එයි. උමඟෙන් බලපෑමක් තිබ්බත් මම කලින් කිව්ව වගේ උමඟට වතුර පිරෙව්වම ඒක නැති වෙලා යනවා."

"ඔබ ඔය උමඟ වතුරෙන් පිරුනම හරියයි කිව්වට මට නං හිතෙන්නෙ ඕක සුරංගනා කතාවක් වගේ. ඕක ඇත්තටම වෙයි ද?"

"මේක කලින් උමං වලදිත් වුන දෙයක්. වික්ටෝරියා, ඉහළ කොත්මලේ, කොත්මලේ වගේ උමං හදපු තැන් වලත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වුනා."

"එතකොට ප්‍රදේශවාසීන් ට කිසිම බලපෑමක් නැද්ද​?"

"බලපෑමක් තියෙනවා. ගෙවල් වෙලට වුන හානිය​. ඒක ආපහු හරියන්නෙ නෑ."

"ඒකට මොකද කරන්න පුළුවන්?"

"සුළු හානියක් විතරක් වෙලා තියෙන තැන් වල ගෙවල් අළුත්වැඩියා කරල දෙන්න පුළුවන්. නමුත් ලොකු හානියක් වුන තැන්වල සමහර විට ගෙවල් අළුතෙන්ම හදන්න වෙයි. පොළව ගොඩක් ගිලා බැහැල නම් ඔවුන් ව නැවත පදිංචි කරන්න වෙයි. එතකොට උලපත් සිඳී ගිය අයට විකල්ප ජල මූලාශ්‍ර ලබා දෙන්න වෙයි. මේ හැමෝටම වන්දි දෙන්න වෙයි."

"ඒක කවුද කරන්න ඕනෙ?"

"ඒක ව්‍යාපෘතියේම කොටසක් වෙන්න ඕනෙ."

"මේක මෙච්චර ප්‍රමාද වෙලා තියෙන්නෙ ඇයි? කාගෙද ඒකෙ වැරැද්ද​?"

"මම හිතන්නෙ කාන්දුවෙ මෙච්චර දරුණු වෙයි කියල බලාපොරොත්තු නොවුන නිසා තමයි මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. තත්වය මේ තරම් දරුණු වෙන්න කලින් පාලනය කර ගන්න බැරිවුන එක ව්‍යාපෘතියේ අඩුපාඩුවක්."

"එතකොට දැන් අපිට මොකද කරන්න පුළුවන්? මේ මිනිස්සුන්ට සාධාරන විසඳුමක් ලැබන කං හරි ව්‍යාපෘතිය නවත්තන එක නේද වෙන්න ඕනෙ?"

"නෑ. ඒක තමයි කරන්න පුළුවන් නරකම දේ. කරන්න ඕනෙ පුළුවන් තරම් ඉක්මනට ව්‍යාපෘතිය ඉවර කරල උමඟ ජලයෙන් පුරවන එක​. උමඟ ජලයෙන් පිරුනට පස්සෙ කාන්දුව සහ හානිය නවතිනවා. ව්‍යාපෘතිය නැවැත්තුවොත් ඒ නවත්තල තියෙන හැම තප්පරයකින් ම වෙන්නෙ හානිය තවත් වැඩි වෙන එක​. දැන් ව්‍යාපෘතිය නවත්තනව කියන්නෙ හානියට පත් ජනතාව කබලෙන් ලිපට ඇදල දානව වගේ වැඩක්."

"හොඳයි අපි නැවතත් විරාමයකට යොමු වෙනවා. විරාමයෙන් පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතියේ ඉතිහාසය​, සිද්ධ වුනා යැයි කියන ඩොලර් මිලියන ගාණක වංචාව සහ මේ ව්‍යාපෘතියෙන් අපිට වැඩක් තියෙයි ද කියන දේ ගැන කතා කරන්න​."

=======================================================================

"හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවේ තුන් වෙනි අදියර සඳහා. අපිත් එක්ක අද කතා කරන්නෙ ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා. අපි කතාව පටන් ගමු මේ උමඟ හාරන්න පාවිච්චි කරන ක්‍රමවේදය ගැන කතා කරල​."

"ඔව්. මේ උමඟ හාරන්න පාවිච්චි කරන්නෙ ටනල් බෝරිං මැෂින් (TBM) ලෙස හඳුන්වන ලොකු ඩ්‍රිල් එකක්. මේ ඩ්‍රිල් එකේ විෂ්කම්භය උමඟේ විෂ්කම්භයට සමානයි. මේකෙන් කරන්නෙ උමඟේ එක පැත්තක ඉඳල හාරගෙන උමඟේ ගමන් මාර්ගය දිගේ මැෂින් එක අරගෙන යන එක​. ටනල් මක් එක ලෙස හඳුන්වන ඉවත් වන ගල් සහ ගල් කුඩු මැෂින් එකේ පිටුපසින් ඉවත් කරනවා."

"එතකොට උමඟේ ඇතුලත බිත්තිය සකස් වෙන්නෙ කොහොමද​?"

"ඒ මැෂින් එකෙන්ම උමඟේ ඇතුලත බිත්තියට කොන්ක්‍රීට් ලයිනින් එකක් දාගෙන යනව​."

" ඒ කියන්නෙ එතනම කොන්ක්‍රීට් සකස් කරනවද​?"

"නෑ. ලයිනින් එක සමන්විත වෙන්නෙ පෙර සෑදූ කොන්‍ක්‍රීට් කෑලි වලින්. මේ කෑලි ජිග්සෝ පසල් එකක කොටස් වගේ එකිනෙක් සම්බන්ධ කරල උමඟේ ඇතුලත වළලු ආකාරයට සකස් කරනවා. කෑලි අතරට රබර් ලයිනින් එකක් යනවා."

"පොඩ්ඩක් ඉන්න​. උමඟේ ඇතුලත බිත්තිය කොන්ක්‍රීට් වෙනව නම් ලීක් එකක් ආවෙ කොහොමද​?"

"ඩ්‍රිල් එක සහ කොන්ක්‍රීට් ලයිනින් එක දමන තැන අතර මීටර් 20 විතර ගැප් එකක් තියෙනවා. කොන්ක්‍රීට් ලයිනින් එක දාන්න කලින් ලීක් එක ආවොත් ලයිනින් එක දාන්න බැරි වෙනවා."

"පැහැදිලියි. එතකොට දැන් ලීක් එක තියෙද්දි ලයිනින් එක දාන්න බෑ නෙ. ලීක් එක නවත්තන්න බැරිද​?"

"සාමාන්‍යයෙන් මේ වගේ උමඟක් හාරද්දි එන ලීක් නවත්තන්නෙ බදාම (ග්‍රවුට්) පාවිච්චි කරල​. නමුත් මෙතන වතුර පාර එහෙම වහන්න සැර වැඩියි. මෙතන අධි ශීත කරල වතුර අයිස් කිරීමෙන් ලීක් එක නවත්තන යෝජනාවක් තිබ්බ​. ඒකට මොකද වුනේ කියන්න මම දන්නෙ නෑ. සමහර විට තාක්‍ෂනික ගැටළු නිසා කරන්න බැරි වෙන්න ඇති."

"මේ උමඟ හෑරුවෙ ශක්තිමත් පාෂාන ස්ථරයක් හරහා නෙවෙයි ද​?"

"උමං හාරද්දි හමුවන පාෂාන ශක්තිය අනුව ඛාණ්ඩ කීපයකට වර්ග කරනවා. ශක්තිමත්ම එකට කියන්නෙ ග්‍රේඩ් A කියල​. නමුත් ටනල් බෝරිං මැෂින් එකෙන් උමඟක් හාරද්දි ග්‍රේඩ් A පාෂාන උවමනාවෙන්ම මග හරිනවා. ඒ අධික කාලයක් ගත වන නිසා. ඊට වඩා අඩු ශක්තියෙන් යුක්ත පාෂාන ස්ථර තමයි තෝර ගන්නෙ. නමුත් උමඟ ඇතුලට කොන්ක්‍රීට් ලයිනින් එකක් දාන නිසා පාෂාන ශක්තිය අඩු වීම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මෙතනදි වගේ වතුර ලීක් ආවෙ නැත්තම්."

"හොඳයි මේ තාක්‍ෂනික කරුණු පොඩ්ඩක් පැත්තකින් තියල අපි යොමු වෙනවා මේ ව්‍යාපෘතියෙ ඉතිහාසයට​. මේ ව්‍යාපෘතිය මහින්ද මහත්තයගෙ අදහසක් කියන්නෙ ඇත්තද​?"

"උමා ඔය නිම්නයේ ජලය විදුලි බල උත්පාදනයට සහ කෘෂිකර්මය සඳහා යොදාගන්න පුළුවන් ද බලන්න මුලින්ම ශක්‍යතා අධ්‍යයනයක් කරේ 1959 ඇමරිකානු සහ කැනේඩියානු සමාගම් දෙකකින්. එතකොට මහින්ද මහත්තයට වයස අවුරුදු 14 යි."

"එහෙමද​? එතකොට ඊට පස්සෙ මොකද වුනේ?"

"ඊට පස්සෙ ශක්‍යතා අධ්‍යයන කීපයක්ම වුනා. වැදගත්ම එකක් තමයි 1987 දි ජර්මන් සමාගමකින් කරපු එක​. ඒකෙදි විදුලි බලාගාර තුනක් සහ ජලාශ තුනක් හදන්න යෝජනා කරා. මේ මුල් කාලීන යෝජනා ක්‍රම වලදි උමා ඔයේ සොබාවික ගමන් මාර්ගයේ වෙනසක් කරන්න උත්සහ කරේ නෑ. වතුර ටික අවසානයේදී රන්ටැඹේ ජලාශයටම වැටෙන විදිහට තමයි යෝජනා වුනේ."

"එතකොට මේක වෙනස් කරල උමා ඔයේ වතුර කිරිඳි ඔයට හරවන සංකල්පය මහින්ද මහත්තයගෙ යෝජනාවක් ද​?"

"උමා ඔයේ වතුර කිරිඳි ඔයට හරවන්න මුලින්ම යෝජනා කරන්නෙ 1989 දි. ඒ මධ්‍යම ඉංජිනේරු උපදේශක බියුරෝවෙන් (CECB)."

"ඊට පස්සෙ මොකද වුනේ?"

"2002 දි කැනේඩියානු සමාගමකින් නැවතත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනවා. ඒකෙදිත් බලන්නෙ උමාඔයේ වතුර කිරිඳි ඔයට හරවන්න​. ඊට පස්සෙ 2004 දි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තවත් ශක්‍යතා අධ්‍යයනයක් කරනවා. 2009 දි තමයි වර්තමාන යෝජනාව ඉදිරිපත් වෙන්නෙ."

"එතකොට මහින්ද මහත්තය මේකට කිසිම සම්බන්ධයක් නැද්ද​?"

"මහින්ද මහත්තය කරේ ලංකාවෙ දීර්ඝ කාලයක් තිස්සෙ එක තැන පල් වෙවී තිබ්බ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම. මේ අතරින් 1990 ගණන් වල ඉඳල පල් වුන ගල් අඟුරු බලාගාරය​, 1985 ඉඳල පල් වුන ඉහළ කොත්මලේ එහෙම ප්‍රධානයි. ඔබ දන්නවනෙ ලංකාවෙ ඕනම ව්‍යාපෘතියක් යෝජනා වුනාම ඒකට නොයෙක් සංවිධාන මගින් විවිධ විරෝධතා එන බව​? ඉතින් දේශපාලඥයන් මේ විරෝධතා ඉදිරියේ මේ ව්‍යාපෘති දියත් කරන්න අදි මදි කරනවා. මහින්ද මහත්තය එහම පල් වෙවී තිබ්බ ව්‍යාපෘතියක් තමයි මේ විදිහට පටන් ගත්තෙ."

"මේ විරෝධතා කියන්නෙ නරක දෙයක් නේද​?"

"නෑ. අනිවාර්‍යෙන්ම ඒ විරෝධතා එන්න ඕනෙ. ඒවයින් තමයි ව්‍යාපෘති වල තියෙන අඩුපාඩු සකස් වෙන්නෙ. නමුත් ඒ විරෝධතා සාධාරන සහ නම්‍යශීලී වෙන්න ඕනෙ. විවිධ යටි අරමුණු සහිතව මස් රාත්තලම ඉල්ලල කරන විරෝධතා වලින් වෙන්නෙ අනර්ථයක්."

"ඔබ සඳහන් කලා 2002 කැනේඩියානු ශක්‍යතා අධ්‍යනයක් ගැන​. මේකෙදි ඉදිරිපත් කෙරුණු ඇස්තමේන්තුව සහ වර්තමාන ඇස්තමේන්තුව අතර ලොකු වෙනසක් තියෙනව නේද​?"

"ඔව්. එහෙම චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අපි වටහා ගන්න ඕනෙ ශක්‍යතා අධ්‍යයනයක් සහ ව්‍යාපෘතියක් දියත් වීම අතරතුරේදී ව්‍යාපෘතියේ සැලැස්ම සහ වපසරිය වෙනස් වෙන්න පුළුවන් කියන එක​. උදාහරණයකට 2002 යෝජනාවේ අඩංගු විදුලි බලාගාරය මෙගාවොට් 90 යි. වර්තමාන විදුලි බලාගාරය මෙගාවොට් 120 යි. මේ වගේ නොයෙකුත් වෙනස්කම් තවත් තියෙන්න පුළුවන්. උදාහරණයක්ට කිරිඳි ඔය නිම්නයේ සංවර්ධන කටයුතු මේ ඇස්තමේන්තු වලට අයත් වෙනවද​? එහෙනම් ඒ මොනවද​? වගේ කරුණු මත මේ ඇස්තමේන්තු වෙනස් වෙන්න පුළුවන්."

"එතකොට ඔබ කියන්නෙ මෙතන දූෂනයක් වෙලා නෑ කියලද​?"

"අපෝ නෑ. මම එහෙම කියන්නෙ නෑ. මම කියන්නෙ හරිහැටි දත්ත නැතුව දූෂනයක් වුනා හෝ නොවුනා කියන නිගමනයට එන්න බෑ කියල​. චෝදනාව ඉදිරිපත් කරන අය මේ දත්ත ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සෙ සාධාරන සැකයක් තියෙනව නම් පරීක්‍ෂනයක් තියල දූෂනයක් වුනාද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්. දූෂනයක් වුනා වෙන්නත් පුළුවන්. මේක ලංකාව නෙ. ඒත් "අර ඇස්තමේන්තුව අච්චරයි. මේ ඇස්තමේන්තුව මෙච්චරයි. අටෙන් පහක් අඩු කරාම තුනයි." කියල මේ නිගමනයට එන්න බෑ."

"හරි අපි දැන් කතා කරමු මේ උමා ඔයෙන් අපි හරවන වතුරට මොකද වෙන්නෙ කියල​."

"මේ වතුර මුලින්ම පාවිච්චි වෙන්නෙ මෙගාවොට් 120 ක විදුලි බලාගාරයෙන් විදුලි උත්පාදනයට​. ඊට පස්සෙ ඒ වතුර මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 127 කට ලබා දෙනවා. ඒ මගින් අළුත් කුඹුරු හෙක්ටාර 3800 ක් සහ දැනට මහ කන්නය විතරක් වගා කරන කුඹුරු හෙක්ටාර 1500 වගා කෙරෙනවා. මේ මගින් දැනට තියෙන වැව් විශාල කිරීම වගේම අළුතින් වැව් කීපයක් සෑදීමත් සිද්ධ කෙරෙනවා. ඒ වැඩ කටයුතු දැනටම පටන් අරන් තියෙන්නෙ."

"හම්බන්තොට ටත් වතුර දෙනවද​?"

"නෑ. හම්බන්තොටට වතුර දෙන්න වෙනම වයාපෘතියක් ක්‍රියාත්මකයි. උමා ඔයේ වතුර ඒ සඳහා පාවිච්චි වෙන්නෙ නෑ."

"ඔබ ඔහොම කිව්වට ව්‍යාපෘති වාර්තා වල මේ වතුර හම්බන්තොටට ගෙනියනව කියල තියෙනවා නෙ."

"ව්‍යාපෘති වාර්තා කියන්නෙ ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ එකක් නෙවෙයි. ඒව කාලයත් එක්ක අවශ්‍යයතාවයන් අනුව වෙනස් කරනවා. 2010 දි මේ වතුර හම්බන්තොටට ගෙනියන්න සැලසුම් කරා. ඒත් දැන් ඒ සැලසුම වෙනස් කරලා. දැන් මේ වතුර පාවිච්චි වෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ විතරයි."

"හොඳයි. මේ ව්‍යාපෘතියට තියෙන තවත් චෝදනාවක් තමයි ඊශාන දිග මෝසමෙන් ජලය ලබා ගන්න ගංගාවක වතුර ඊශාන දිග මෝසමෙන් ජලය ලැබෙන පැත්තකට ගෙනියනව කියල​."

"ඔය චෝදනාවෙ අවුල් කීපයක් තියෙනවා. මුලින්ම උමා ඔයේ අතු දෙකම පටන් ගන්නෙ හපුතලේ-ඔහිය​-පට්ටිපොළ ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයට නිරිත දිග මෝසමෙනුත් වතුර ලැබෙනවා. ඒත් උමා ඔයට වැඩිපුර වතුර ලැබෙන්නෙ ඊශාන දිග මෝසමෙන්. ඊළඟට ඊශාන දිග මෝසමෙන් හැම තැනටම එක ගානට වතුර ලැබෙන්නෙ නෑ. උමා ඔය නිම්නයට වහින ප්‍රමානය කිරිඳි ඔය නිම්නයට වහින ප්‍රමානයට වඩා ගොඩක් වැඩියි. ඊ ළඟට කිරිඳි ඔය නිම්නයේ වැව් සංවර්ධනය කරන නිසා ඊශාන දිග මෝසමට වැස්සත් උමා ඔයෙන් එන වතුර රඳවා ගන්න ඒ වැව් වලට පුළුවන් වෙනවා. ඊට පස්සෙ ඒ වතුරෙන් වියළි කාලයට වගා කරන්න පුළුවන්. ඒ නිසා ඔය චෝදනාවෙ පදනමක් නෑ."

"එතකොට තවත් ලොකු චෝදනාවක් තියෙනව නේද උමා ඔයේ විශාල රොන් මඩ ප්‍රමානයක් එන නිසා අළුත් ජලාශ දෙක ඉක්මනින්ම පිරෙයි කියල​?"

"උමා ඔය කියන්නෙ විශාල රොන් මඩ ප්‍රමානයක් සහිත ගඟක්. ඒක හරි. ඒත් දැනටමත් මේ මඩ රන්ටැඹේ ජලාශයේ තැන්පත් වෙනවා. ඒ මඩෙන් කොටසක් පුහුල්පොළ සහ ඩයබරා ජලාශ වලට ගන්න එක කරන්නෙ. එතකොට රන්ටැඹේ ට නැති අමුතු ප්‍රශ්නයක් පුහුල්පොළටයි ඩයබරා ටයි එන්නෙ නෑ. ඊට අමතරව අළුත් ජලාශ දෙකේ මඩ ඉවත් කිරීම සඳහා තියෙන යාන්ත්‍රනය ගැන විශේෂ අවධානයක් යොමු කරල තමයි සැලසුම් කරල තියෙන්නෙ. අවසාහ වශයෙන්, දැනට රන්ටැඹේ පිරෙන මඩ ටික ජලාශ තුනකට බෙදා දීමෙන් ඒ ප්‍රශ්නය විසඳ ගන්න පහසු වීමකුත් වෙනවා."

"මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරන ෆරාබ් සමාගම කාන්තාර වල තෙල් ළිං හාරන මේ වගේ ව්‍යාපෘති ගැන කිසිම අත්දැකීමක් නැති සමාගමක් ලු නේද​?"

"සම්පූර්නයෙන්ම වැරදි කතාවක්. මේ සමාගම ජල විදුලි ක්‍ෂේත්‍රයේ ඉතා ඉහළ අත්දැකීම් තියෙන සමාගමක්. ඔවුන් ඉරානය​, කෙන් යව​, ආමේනියාව, තාජිකිස්ථානය​, ඉරාකය සහ පාකිස්ථානය යන රටවල ජල විදුලි ව්‍යාපෘති 30 කට අධික ප්‍රමානයක් කරල තියෙනවා. මේ සමහර ව්‍යාපෘති මෙගාවොට් 1000 ක දැවැන්ත බලාගාර."

"හොඳයි මේ ව්‍යාපෘතියේ ප්‍රයෝජන මොනවාද​?"

"ප්‍රධාන ප්‍රයෝජනය තමයි කුඹුරු හෙක්ටාර 5000 කට අධික ප්‍රමානයක් වගා කරන්න ජලය ලැබීම​. මේකෙන් රටේ කෘෂි කාර්මික නිෂ්පාදනය වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන මට්ටමත් ඉහළ යනවා. මොණරාගල කියන්නෙ අද ලංකාවෙ යුද්ධය නොතිබූ දිස්ත්‍රික්ක අතරින් දුප්පත්ම දිස්ත්‍රික්කය​."

"එතකොට විදුලි බලය පැත්තෙන්?"

"බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 120 ක්. මේක උපයෝගී කර ගන්නෙ විදුලි ඉල්ලුම වැඩිම පැය කීපයේ ජනනය සඳහා. ඒ කියන්නෙ හවස 6 සිට රාත්‍රී 9 දක්වා. මේ කාලසිමාවේ විදුලි ඉල්ලුම සම්පූර්න කිරීම තමයි අද ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ ලොකුම අභියෝගය​. මේකෙන් ඒකට ලොකු උදව්වක් ලැබෙනවා. බලාගාරයේ වාර්‍ෂික ශක්ති ජනනය ගිගාවොට් පැය 230 ක්. ඒ කියන්නෙ විදුලි ඒකක මිලියන 230 ක්."

"මේක රුපියල් වලින් කිව්වොත් මොන වගේ ලාබයක් ද​?"

"මේ බලාගාරය නැත්තම් අපිට මේ විදුලි ප්‍රමානය උත්පාදනය කර ගන්නෙ වෙන්නෙ ඩීසල් වලින්. එතකොට ඩීසල් වලින් විදුලි ඒකකයක් නිපදවන්න ජල විදුලියට වඩා රුපියල් 25 ක් යනව කියල උපකල්පනය කරොත් අවුරුද්දකට රුපියල් බිලියන 5.57 ක ඉතිරියක්. ඊට අමතරව ඒ ඉතුරු වෙන ඩීසල් කියන්නෙ අපිට ඉතුරු වෙන විදේශ විනිමය​. මේ ව්‍යාපෘති වලට එරෙහි වෙන පරිසර වේදීන් මෙමගින් ඩීසල් දහනය අඩු වීම මගින් වක්‍රව ඇතිවන පරිසර හිතකාමී බව නොසලකා හැරීම කණගාටුවට කරුණක්."

"එච්චරද​?"

"නෑ. ඌව​-හම්බන්තොට​-අම්පාර ප්‍රදේශයේ දැනට තියෙන්නෙ විදුලි බලාගාර ඉතාම ස්වල්පයක්. ඒවත් අඩු ධාරිතාවක ඒවා. ඉතින් දුර ඉඳල මේ ප්‍රදේශ වලට විදුලිය සම්ප්‍රේෂනය කිරීමේදී ලොකු ශක්ති හානියක් වෙනවා. ඊට අමතරව පද්ධතියේ වෝල්ටීයතා පාලනය අපහසු වීමෙන් පද්ධතිය අස්ථාවර වෙනවා. මේ බලාගාර ආවොත් ඒ සියළු ප්‍රශ්න වලට හොඳ විසඳුමක් ලැබෙනවා."

"හොඳයි පාදඩයා. අපි මේ සාකච්ඡාව මෙතැනින් අවසන් කරනවා. ඔබට බොහොම ස්තූතියි. අවසාන වශයෙන් කියන්න යමක් තියෙනවද​?"

"අපි වර්තමාන ලෝකයේ පිළිපදින්නෙ නූතන බටහිර සංවර්ධන මොඩලය​. මේ මොඩලය අනුව කෙරෙන සංවර්ධන කටයුතු වලදී පරිසරයට බලපෑම් වෙන එක නවත්තන්න බෑ. අපිට කරන්න පුළුවන් බලපෑම් අවම කිරීම පමණයි. ඒ නිසා මේ වගේ දැවැන්ත සංවර්ධන වයාපෘතියකදී පරිසරයට බලපෑමක් වෙන එක අරුමයක් නෙවෙයි. ඉතින් අපි ඒ වගේ වෙලාවකදි කරන්න ඕනෙ ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වුන මිනිස්සු මරාගෙන කන එක නෙවෙයි. ඉවසීමෙන් ගැටළු විසඳගෙන ඉදිරියට යන එක​. පරිසරයට හානි නොවී සංවර්ධනය කරන්න බෑ. එහෙම අවශ්‍යය නම් අපි මේ සංවර්ධන මොඩලය ඉවත් කරලා වෙනත් සංවර්ධන මොඩලයක් කරා යන්න ඕනෙ. ඒක රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර ඇති වෙන්න ඕනෙ කතිකාවක්. ඒත් අවාසනවට අපේ රටේ එවැනි කතිකා ඇති වීම වෙනුවට දේශපාලන පක්‍ෂ, කණ්ඩායම් සහ ජන මාධ්‍යය මගින් ප්‍රශ්න වවාගෙන කෑමක් තමයි සිදු කරන්නෙ. මේ දීර්ඝ සාකච්ඡාව නැරඹූ/සවන්දුන්/කියැවූ ඔබ සැමට ස්තූතියි."

Saturday, August 5, 2017

පෙරහැර සහ වැස්ස​


මේක පෙරහැර කාලෙට නුවරට වහිනවා කියල තියෙන ජනප්‍රවාදයේ ගැන කරපු දත්ත විශ්ලේෂනයක්.

ජනප්‍රවාදය :

"පෙරහැර කාලෙට නුවරට වහිනවා"

මේක තරමක් අපහැදිලි ප්‍රකාශයක් නෙ. ඒ නිසා මේ දත්ත විශ්ලේෂනයේ අරමුණ වෙන්නෙ කෙලින්ම මේ ජනප්‍රවාදය තහවුරු කිරීම හෝ බිඳ හෙලීම නෙවෙයි. ජනප්‍රවාදය ආශ්‍රිතව තියෙන දත්ත ඇසුරෙන් වර්‍ෂාපතන රටාවක් හදන්න පුළුවන් ද කියල බලන එක​.


පාවිච්චි කළ දත්ත :

1971 ඉඳල 2001 වෙනකං අනිවත්තේ "කිංස් පැවිලියන්" හෝටලය ආශ්‍රිතව ලබා ගත්ත දෛනික වර්‍ෂාපතන දත්ත​. මේ ස්ථානය මහනුවර නගරයට කිලෝ මීටර් 2 ක් ඈතින් පිහිටි තැනක්.

විශ්ලේෂනයේ සීමාවන්:

පහත කරුණු හේතුවෙන් මේ විශ්ලේෂනය අසම්පූර්න එකක් වෙනවා.

1. දත්ත තියෙන්නෙ අවුරුදු 31 ක පමණයි. වර්‍ෂාපතන රටාවන් හඳුනගන්න මේ දත්ත ප්‍රමානය සෑහෙනවා. නමුත් මීට වඩා සෑහෙන හොඳ නිගමනයකට එන්න පුළුවන් තවත් දත්ත තිබ්බ නම්.

2. දත්ත තියෙන්නෙ එක ස්ථානයක පමණයි. මේකෙන් මහනුවර ප්‍රදේශයේ හොඳ නියෝජනයක් ලැබෙන්නෙ නෑ.

3. දත්ත ලබාගත්ත ස්ථානය මහනුවර නගරයට කිලෝමීටර් 2 ක් ඈතින් පිහිටි තැනක්. මේ දුර ප්‍රමානයක් තවත් අඩු වුනා නම් දත්ත වඩා සාධාරන වෙන්න තිබ්බා.

4. තියෙන්නෙ වැස්සේ ප්‍රමානය විතරයි. වැස්සේ තීව්‍රතාවය ගැන අදහසක් ගන්න මේ දත්ත වලින් බෑ. පැය දහයක් තිස්සේ මිලිමීටර 10 ක් වහින වැස්සක් සහ පැය බාගෙකට මිලිමීටර 10 ක් වහින වැස්සක් අතර වෙනස මේ දත්ත වලින් හඳුනගන්න බෑ.

මේ හේතු නිසා මේ විශ්ලේෂනය කොහෙත්ම සම්පූර්න එකක් වෙන්නෙ නෑ. ඒ නිසා මේකෙන් ගන්න පුළුවන් ඉතාම දළ අදහසක් පමණයි.

පෙරහැර පැවැත්වෙන කාල සීමාවන්:

මුලින්ම අපි "පෙරහැර කාලය​" කියන කාල සීමාව හඳුනාගෙන ඉන්න ඕනෙ.

පෙරහැර කාලය පටන් ගන්නෙ කප් සිටුවීමෙන්. ඊට පස්සෙ දවස් හතරක් "ඇතුල් පෙරහැර​" පැවැත්වෙනවා. ඒ පෙරහැර තියන්නෙ දළදා මාළිගාව ඇතුලේ.

ඊට පස්සෙ දවස් පහක් කුඹල් පෙරහැර පැවැත්වෙනවා. කුඹල් පෙරහැරෙන් තමයි පෙරහැර මහනුවර නගරයේ වීදි සංචාරය කිරීම පටන් ගන්නෙ.

ඊළඟ දවස් පහේදී පෙරහැරේ උත්කර්‍ෂවත්ම අංගය වෙන රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. ඒ කාල සීමාව අවසන් වෙන්නෙ නිකිණි පුර පසළොස්වක පෝය දවසෙන්.

පෝයට පස්සෙ දවසෙ උදේ දිය කපලා දවල් පෙරහැර පැවැත්වීමෙන් පෙරහැර උත්සවය අවසාන වෙනවා.

එතකොට පෙරහැර පැවැත්වෙන කාල සීමාව මේ වගේ:
කප් සිටුවීම - දවස් 1
ඇතුල් පෙරහැර - දවස් 4
කුඹල් පෙරහැර - දවස් 5
රන් දෝලි පෙරහැර - දවස් 5
දිය කැපීම සහ දවල් පෙරහැර - දවස් 1
එකතුව - දවස් 16

දත්ත විශ්ලේෂනයට භාවිතා කළ ක්‍රමවේදය :

විශ්ලේෂනය කරේ කොටස් දෙකකට​.

පළවෙනි කොටසෙන් කරේ ඒ ඒ අවුරුදු වල පෙරහැරට කලින්, පෙරහැර සහ පෙරහැරට පසුව කියන කාලසීමාවන් වල "වැස්සද​, නැද්ද​" කියන එක හඳුනා ගැනීම​.

මෙහිදී වැස්සා හෝ වැස්සෙ නෑ කියන එක හඳුන ගන්න සංඛ්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරේ නෑ. ඒ වෙනුවට මිනිස් තක්සේරුවකින් තමයි ඒ වැඩේ කරේ. ඒකට හේතුව වුනේ වැස්ස වගේ දෙයක් හුදෙක් සංඛ්‍යා වලින්ම නිවැරදිව තක්සේරු කිරීම අපහසු වීම​. මිනිස් තක්සේරුවක් ඊට වඩා නිවැරදියි.

උදාහරණයකට නියං අවුරුද්දක "වැහි දවසක්" සහ වහින අවුරුද්දක "වැහි දවසක්" අපි හඳුන ගන්නෙ එකම විදිහට නෙවෙයි. නියං අවුරුද්දක වැහි දවසක් කියල හඳුන ගන්න දවසක් වහින අවුරුද්දක පායන දවසක් වෙන්න පුළුවන්.

හැබැයි මෙහිදී වෙන අවාසිය තමයි ප්‍රතිඵල පුද්ගලානුබද්ධ වීම​. වෙනත් කෙනෙක් කරන තක්සේරුවකින් මීට වඩා වෙනස් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

"වැස්සද නැද්ද​" කියන එක මත අපිට විය හැකි සියළුම සංයෝජන 8 ක් හඳුනගන්න පුළුවන්. පෙරහැරට පෙර කාලය X විදිහටත්, පෙරහැර කාලය Y විදිහටත් පෙරහැරට පසු කාලය Z විදිහටත් ගත්තොත් ඒ සංයෝජන 8 එන්නෙ මේ විදිහට​:

A..... X - පායන Y - වැහි Z - පායන​
B..... X - පායන Y - වැහි Z - වැහි
C..... X - වැහි Y - වැහි Z - පායන
D..... X - වැහි Y - වැහි Z - වැහි
E..... X - පායන Y - පායන Z - පායන
F..... X - පායන Y - පායන Z - වැහි
G..... X - වැහි Y - පායන Z - පායන
H..... X - වැහි Y - පායන Z - වැහි

හැම අවුරුද්දම මේ සංයෝජන 8 න් එකක් යටතට දැම්මා.

දෙවෙනි කොටස සංඛ්‍යාත්මක විශ්ලේෂනයක්.

එහිදී පෙරහැරට කලින් දවස් 14 ක්, පෙරහැර දවස් 16ක් සහ පෙරහැරට පස්සෙ දවස් 14 ක් කියන කාලසීමාවන් වල සියළුම දෛනික වර්‍ෂාපතන දත්ත අරගෙන පහත දේවල් හොයාගත්තා.

1. කාලසීමාවේ සම්පූර්න වර්‍ෂාපතනය​
2. කාලසීමාවේ දෛනික සාමාන්‍යය වර්‍ෂාපතනය​
3. කාලසීමාව තුල වැසි ලැබුණු දවස් ගණන​
4. කාලසීමාව තුල වැසි ලැබුණු දවස් ගණන සම්පූර්න දවස් ගණනේ ප්‍රතිශතයක් ලෙස​

මෙතනදි වැඩි බරක් දුන්නෙ වර්‍ෂාපතනයට වඩා වැසි ලැබුණු දවස් ගණනට​​. ඒකට හේතු වුනේ අධික වර්‍ෂාපතනය ලැබුණු එක දවසකින් වර්‍ෂාපතන දත්ත දූෂනය විය හැකි වීම සහ නියං අවුරුද්දක දත්ත සහ වැසි අවුරුද්දක දත්ත සැසඳීමේ නොහැකියාව​.

විශ්ලේෂනය :

පළමුවෙනි කොටස​

මුලින්ම කරේ හැම අවුරුද්දෙම ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල දෛනික වර්‍ෂාපතන දත්ත ප්‍රස්ථාරගත කිරීම​.

ඒ ප්‍රස්තාර  මෙතැනින්  බලන්න පුළුව​න්

ඊට පස්සෙ හැම අවුරුද්දම ඉහත කියපු සංයෝජන එකක් යටතට දැම්මම ඒ ප්‍රතිඵල ආවෙ මේ විදිහට​.


ඒ ඒ සංයෝජනය සඳහා ආපු ප්‍රතිඵල මේ වගේ


 මේකෙන් එන්න පුළුවන් නිගමනය මොකද්ද​?

1. අවුරුදු 31 න් 21 ක ම "පෙරහැර කාලෙට වැහැල තියෙනවා" (A, B, C, D). හැබැයි මෙතන පෙරහැර කාලෙ විදිහට අපි ගත්තෙ දවස් 16 ක් වගේ දිග කාලයක් නිසා ඒකෙන් කිසි දෙයක් ගන්න අමාරුයි.

2. පෙරහැරට වහින කතාවට වඩාත් එකඟ සංයෝජන වෙන්නෙ ආ, B සහ C.  මේ සංයෝජන තුනට පිළිවෙලින් ප්‍රතිඵල 8, 6, සහ 3 බැගින් ලැබිල තියෙනවා. ඒ කියන්නෙ පෙරහැරට වහින කතාවට සහමුලින්ම එකඟ වෙන අවුරුදු 8 ක් (25%) සහ දළ වශයෙන් එකඟ වෙන අවුරුදු 9 (25%) තියෙනවා.

3. ඒ එක්කම කතාවට එකඟ නොවෙන සංයෝජන (E, F, G, H) සහිත අවුරුදුඅපිට හමුවෙන්නෙ ඊට අඩුවෙන්.

ඒ නිසා පෙරහැරට වහින කතාව සනාථ වෙන පැත්තට සුළු ප්‍රවනතාවයක් දත්ත වලින් පෙන්නුම් කරනවා. හැබැයි මේ ප්‍රවනතාවය පැහැදිලි ප්‍රවනතාවයක් නෙවෙයි.


දෙවෙනි කොටස​

දෙවෙනි කොටසෙදි අපි එකතු කරපු දත්ත වලින් අපිට ලැබෙන ප්‍රස්තාර මේ වගේ.

දෛනික සාමාන්‍යය වර්‍ෂාපතනය​

වැසි දිනයක් තිබීමේ ප්‍රතිශතය​
 ප්‍රතිඵල සංඛ්‍යාත්මකව ගත්තම මේ වගේ


පැහැදිලි රටාවක් හඳුනා ගන්න අමාරුයි.

ඒ නිසා අපි කරනවා මේ වගේ වැඩක්.

1. පෙරහැරට පෙර සහ පසු කාල සීමාව දින 7 ක් දක්වා අඩු කරනවා. මේකෙන් අපි සලකන කාලසීමාවන් බොහෝ දුරට සමාන වෙනවා.

2. දිය කැපීමට පෙර දින දෙක වෙනම සලකනවා.

එතකොට ප්‍රතිඵල මේ වගේ.


දෛනික සාමාන්‍යය වර්‍ෂාපතනය​

වැසි දිනයක් තිබීමේ ප්‍රතිශතය​


ප්‍රතිඵල සංඛ්‍යාත්මකව ගත්තම මේ වගේ


මෙතැනදි රටා කීපයක් දළ වශයෙන් හඳුන ගන්න පුළුවන්.

1. කප් සිටුවන දිනයේ වහිනව අඩුයි. නමුත් ඊට පෙර දවස් දෙක සහ ඇතුල් පෙරහැර දවස් හතර තුල වහිනවා වැඩියි. කප් සිටුවන දවසේ වහිනවා කියන කතාවට මේකෙ යම් කිසි අනුකූලතාවයක් තියෙනවා.

2. කුඹල් පෙරහැර දවස් පහෙත් වැස්ස වැඩියි. කුඹල් පෙරහැරත් එක්ක වැස්ස පටන් ගන්නවා කියන කතාවත් එක්ක මේකෙ අනුකූලතාවයක් තියෙනවා.

3. රන්දෝලි පැරහැර දවස් වල වැස්ස අඩු වෙනවා. පෙරහැර වීදි සංචාරය කරද්දි වහිනවා කියන කතාව මේකෙන් සපෝට් කරන්නෙ නෑ. වීදි සංචාරය කරද්දි වහින්නෙ කුඹල් පෙරහැරට විතරයි.

4. අඩුවෙන්ම වහින්නෙ දිය කපන දවසට​

5. පෙරහැර ඉවර වුන වහාම වැස්සත් අඩු වෙනවා.


සමස්ත රටාව මේ වගේ හඳුනගන්න පුළුවන්.

1. පෙරහැරට කලින් වැස්ස අඩුයි
2. දිය කැපීම ලං වෙද්දි වැස්ස වැඩි වෙනවා
3. දිය කපන දවසෙ වැස්ස අඩුයි
4. ඇතුල් පෙරහැරට ආපහු වැස්ස වැඩියි
5. කුඹල් පෙරහැරටත් වැස්ස වැඩියි
6. රන් දෝලි පෙරහැරට වැස්ස ආපහු අඩු වෙනවා
7. දිය කැපීමට වැස්ස තවත් අඩු වෙනවා
8. පෙරහැර ඉවර වුන වහාම තියෙන්නෙ අඩු වැස්සක්


නමුත් මේ රටාවන් පැහැදිලිව පේන රටාවන් නෙවෙයි.

තවත් දත්ත ලැබුණොත් මීට වඩා සාර්ථක විදිහට රටාවන් හඳුනා ගැනීම කරන්න පුළුවන් වෙයි.

ස්තූතිය :
දත්ත ලබා දුන් නොතිර සසර සහ මලිත් ෆර්නැන්ඩෝ වෙත​.