Saturday, August 20, 2016

යකඩ සහෝදරයා - ස්ටාලින් 2


සෝවියට් දේශයට එල්ල වූ විදෙස් ආක්‍රමනය​



1917 දී බොල්‍.ෂෙවික් වරු රුසියාවේ බලයට පැමිණ නොබෝ කලකින් පැරණි සාර් පාලනයේ හිතවාදීන් සහ වෙනත් බොල්.ෂෙවික් විරෝධීන් විසින් ඇති කළ දැවැන්ත කැරැල්ලකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය​.

මෙම කැරැල්ල සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර​, බොල්.ෂෙවික් වාදී රතු හමුදාව සහ බොල්‍.ෂෙවික් විරෝධී සුදු හමුදා අතර දරුණු යුද්ධයක් ඇති විය​.

රතු හමුදාව සහ සුදු හමුදාව සටන් වදින අයුරු නිරූපනය කරන සිතුවමක්

 එහිදී රුසියාවේ සිටි චෙක් සහ ස්ලොවැක් ජාතිකයන් ගෙන් සමන්විත හමුදාවක් වූ "චෙකොස්ලොවැකියානු ලීජනය​" සම්බන්ධ සිදුවීම් මාලාවක් දඩමීමා කරගත් බටහිර  රටවල් රැසක් සුදු හමුදාවන්ට සහයෝගය දක්වමින් සෝවියට් දේශය ආක්‍රමනය කරන ලදී.

ව්ලැඩිවොස්ටොක් නගරය අත්පත් කරගත් ඇමරිකන්, ජපන් සහ ප්‍රංශ හමුදා
මෙහිදී ඇමරිකාව (සෙබළු 11,000), ජපානය (සෙබළු 70,000), බ්‍රිතාන්‍යය (සෙබළු 30,000), ග්‍රීසිය (සෙබළු 23,000) ඉතාලිය (සෙබළු 2,500), චීනය​, ප්‍රංශය​, ඕස්ට්‍රේලියාව​, කැනඩාව ඇතුළු රටවල් රැසක් හමුදාව සහ ආයුධ ලබා දීමෙන් සුදු හමුදාවන්ට විශාල සහයක් ලබා දුන්හ​. ඔවුන් ගේ අරමුණ වූයේ ළදරු සමාජවාදී රාජ්‍යය විනාශ කර දැමීමත්, සෝවියට් දේශයට අයත් භූමිය කොල්ලකෑමත් ය​.

විශාල මිනිස් ජීවිත හානියකින්, ධන හානියකින් සහ ඉමහත් පරිශ්‍රමයකින් පසු සුදු හමුදා සහ ඔවුන් ගේ විදෙස් ආධාරකරුවන් පරදවා බලය තහවුරු කරගැනීමට බොල්.ෂෙවික් වරු සමත් වූහ​.

මෙම සිද්ධිය සෝවියට් දේශය විසින් බටහිර රටවල් කෙරෙහි දැක්වූ ආකල්පය හැඩ ගැස්වීමේ දී ඉමහත් බලපෑමක් කළේය​. බටහිර රටවල් හැකි සැම විටම තමා විනාශ කිරීමට කුරුමානම් අල්ලන බව සෝවියට් දේශයට සපථ විය​.

ස්ටාලින් සෝවියට් දේශය කාර්මීකරණය කිරීම​


ස්ටාලින් 1928 දී සෝවියට් දේශයේ බලය තහවුරු කරගත් පසු ඔහු ගේ ප්‍රධාන අරමුණ වූයේ හැකිතාක් ඉක්මනින් සෝවියට් දේශය කාර්මීකරණය කිරීමයි.

පළමුවන ලෝක යුද්ධයේදී රුසියානු හමුදා බටහිර රටවල, විශේෂයෙන්ම ජර්මන් හමුදාවට සාපේක්‍ෂව කාර්මික සහ තාක්‍ෂනික අතින් කෙතරම් දුර්වල තැනක පැවතුනේද යන්න තහවුරු විය​. ස්ටාලින් නිවැරදිව තීරණය කළේ නැවත් යුද්ධයක් ඇතිවුනහොත් තම පැවැත්ම තහවුරු කරගැනීමට නම් සෝවියට් දේශය කාර්මීකරණය අතින් බටහිර ජාතීන්ට සමාන තත්වයකට පැමිණිය යුතු බවයි.

ඒ වනවිට යුරෝපයේ ප්‍රධාන රටවල් අතරින් අඩුම කාර්මීකරණයක් තිබුනේ සෝවියට් දේශයටයි. ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ඊට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියහ​.

මේ තත්වය නිවැරදි කිරීමට ස්ටාලින් යෝධ පස් අවුරුදු සැලසුම් ඉදිරිපත් කළේය​. මේ පස් අවුරුදු සැලසුම් වලින්  සෝවියට් දේශයේ නව කම්හල් සිය ගණනක් ඇති කළ අතර​, කම්කරුවන් සංඛ්‍යාව කිහිප ගුණයකින් ඉහළ දැමිනි.
 
මොස්කව් නගරයේ ලොරි නිෂ්පාදනය කරන කම්හලක්
මේ නව නාගරික කම්කරුවන්ට අවශ්‍යය තරම් ආහාර සැපයීම ප්‍රශ්නයක් වූ වුට ස්ටාලින් කළේ රුසියාවේ ගම්බද, විශේෂයෙන්ම සෝවියට් දේශයේ තිරිඟු මල්ල වූ යුක්‍රේනය සහ දොන් ප්‍රදේශය දැඩි මධ්‍ය පාලනයකට ලක් කිරීමයි.

මෙහිදී ඔහුගේ මූලික පියවරක් වූයේ සමූහ ගොවිපල ඇති කිරීමයි. ඉඩම් හිමි ගොවියන් ගේ ඉඩම් සමූහ අයිතියට පවරා ගෙන ඒවා සාමූහිකව වගා කළ අතර​, ධාන්‍යය අස්වැන්නෙන් කොටසක් අනිවාර්‍යයෙන් රජයට පවරාගෙන ඒවා නාගරික කම්කරුවන් ගේ පරිභෝජනය පිණිස යොදා ගන්නා ලදී.

සමූහ ගොවිපල ඇති කිරීම පිළිබඳ ප්‍රචාරක පෝස්ටරයක්

මෙහිදී ගැමියන්ට ප්‍රමානවත් තරම් ධාන්‍යය ඉතිරි නොවීම සහ අනිවාර්‍යය පවරා ගැනීම් නිසා ආදායම් අඩු වීමෙන් ඔවුහු දැඩි ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්හ​.

එමෙන්ම ඉඩම් සමූහ අයිතියට ගැනීමේදී විශාල පරිමාන ඉඩම් හිමියන් ගේ මෙන්ම කුලාකයන් ලෙස හැඳින්වුන සුළු ඉඩම් හිමියන් ගේ ඉඩම් ද සමූහ අයිතියට පත් කරන ලදී. ස්ටාලින් ගේ වචන වලින්ම මෙය හැඳින්වුනේ "පන්තියක් ලෙස කුලාකයන් වඳ කර දැමීම​" ලෙසිනි.

කුලාකයන් වඳ කර දමමු!

මේ ව්‍යාපාරයට එරෙහිව ගොවියන් ගෙන් විරෝධතා එල්ල වූ විට ස්ටාලින් තම අයෝමය හස්තය යොදවා ඒවා මර්ධනය කළේය​.

කාර්මීකරණයට එරෙහිව කිසිම බාධකයක් නොතිබිය යුතු බවත්, ඇතිවන සියළුම බාධාවන් කුමන හෝ ක්‍රමයකින් මර්ධනය කිරීම සාධාරන බවත් ස්ටාලින් ගේ අදහස විය​.

මේ අතර​, ස්වාභාවික සම්පත් වලින් අනූන සයිබීරියාවේ නව නගර සහ ජනපද ඇති කරන ලද අතර​, ඒ ඉඳිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද්දේ දේශපාලන විරුද්ධවාදීන් ගේ වහල් ශ්‍රමයයි.


සයිබීරියානු ගුලාග් සිර කඳවුරක්

සමූහ ගොවිපල ව්‍යාපාරය සහ ධාන්‍යය පවරා ගැනීමේ නීති නිසා මිලියන ගණන් ගොවියන් සාගතයෙන් මරණයට පත් වූ අතර​, තම ඉලක්ක සපුරා ලීම සඳහා කම්කරුවන්ට ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ සේවය කිරීමට සිදු විය​. බොහෝ විට පතල් කම්කරුවන් ගේ වැඩ දිනය පැය 16 හෝ 18 කින් සමන්විත විය​. මේ තත්වයන් ප්‍රශ්න කිරීමට ලක් කළ වුන් ප්‍රතිවිප්ලවවාදී චෝදනා යටතේ එක්කෝ ඝාතනය කෙරිනි. නැතිනම් සයිබීරියාවට පිටුවහල් කෙරිණි.

 
සාගතයෙන් පීඩා විඳින යුක්‍රේනියානු ගොවියෝ
කෙසේ නමුත් ස්ටාලින් ගේ කාර්මීකරන වැඩ පිළිවෙල සාර්ථක විය​.

1928 සිට 1932 දක්වා වූ පළමු පස් අවුරුදු සැලසුම යටතේ සෝවියට් දේශයේ යකඩ නිෂ්පාදනය සහ ගල් අඟුරු නිෂ්පාදනය දෙගුණ වූ අතර යපස් නිෂ්පාදනය තුන් ගුණයක් විය​.

1933 සිට 1937 දක්වා වූ දෙවන පස් අවුරුදු සැලැස්ම යටතේ යකඩ සහ ගල් අඟුරු නිෂ්පාදනය නැවතත් දෙගුණ වන ලදී.

පස් අවුරුදු සැලසුම් යටතේ සෝවියට් දේශයේ කාර්මීකරනය​


නාසි වාදයේ නැගීම​


හිට්ලර් ජර්මනියේ බලයට පත් වීමත් සමඟම කාර්මීකරණ වැඩසටහන වඩා ඉක්මන් කළ යුතු බව ස්ටාලින් වටහා ගත්තේය​. හිට්ලර් තම "මෙයින් කාම්ෆ්" පොතේ සඳහන් කළ ආකාරයට ජර්මනියේ අභිලාෂය විය යුත්තේ නැගෙනහිර යුරේපයේ භූමිය අත්පත් කරගැනීමයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අප්‍රිකාවේ සහ ආසියාවේ ගොඩ නැංවූ ආකාරයේ යටත් විජිත අධිරාජ්‍යයක් ජර්මනිය නැගෙනහිර යුරෝපයේ ගොඩ නැංවිය යුතු බවත්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ස්වදේශිකයන්ට සැලකූ අමානුෂික ආකාරයටම ජර්මනිය නැගෙනහිර යුරෝපයේ ස්ලාව් වරුන්ට සැලකිය යුතු බවත් හිට්ලර් ගේ අදහස විය​.

"ලෙබෙන්ස්.රෝම්" - ජනාවාස බිහිකිරීමේ භූමිය​

මීට අමතරව හිට්ලර් තම අංක එකේ දේශපාලන සතුරා ලෙස සැලකුවේ කොමියුනිස්ට් වාදයයි.

මේ නිසා හිට්ලර් ගේ නැගීමත් සමඟම ජර්මනිය සමඟ යුද්ධයක් අත ළඟ බව ස්ටාලින් වටහා ගත්තේය​.

වර්සේලිස් ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ජර්මනිය තම යුධ ශක්තිය වර්ධනය කර ගැනීම සහ චෙකොස්ලොවැකියාව ආක්‍රමනය කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අවධානය යොමු නොකළේ ජර්මනිය සමඟ ඇති වන යුද්ධයකින් සෝවියට් දේශය විනාශ වනු දැකීමේ ආශාව නිසාය​. ස්ටාලින් ද මේ බව නොදුටුවේ නොවේ.

දෙවැනි ලෝක යුද්ධය​


ජර්මනිය සමඟ යුද්ධය නොවැලැක්විය හැකි බව පෙනී ගිය විට ස්ටාලින් සෝවියට් දේශයේ යුධ ශක්තිය ඉහළ දැමීම ඇරඹීය​.

ජර්මනිය සහ සෝවියට් දේශය දෙරටම 1933 - 1940 කාලය තුල තම යුධ ශක්තිය ඉහළ දමා ගැනීමට උත්සුක වූ අතර​, දෙරටම තමා නිසි ලෙස සූදානම් වීමට ප්‍රථම අනෙකාගෙන් ආක්‍රමනයක් එල්ල වීම වැලැක්වීමට නැගෙනහිර යුරෝපයේ "බෆර් කලාප​" ඇති කර ගැනීමට උත්සහ කළහ​.

මේ අනුව 1939 දී මොලොටොව් - රිබන්ත්‍රොප් ගිවිසුම මගින් ජර්මනිය සහ සෝවියට් දේශය එකිනෙකාට පහර නොදීමේ එකඟතාවකට එලැඹියහ​.

ඉන්පසු ස්ටාලින් එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ නැගෙනහිර පෝලන්තය සෝවියට් දේශයට ඈඳා ගත් අතර​, ෆින්ලන්තය ඈඳා ගැනීමට කළ උත්සහය ව්‍යර්ථ විය​.

ජර්මනිය සහ සෝවියට් දේශය නැගෙනහිර යුරෝපයේ බලය පැතිරවීම​

කෙසේ වුවත් ජර්මනිය සහ සෝවියට් දේශය අතර සාර්ථකව බෆර් කලාපයක් ඇති කර ගැනීමට ස්ටාලින් සමත් විය.

මෙහිදී බෝල්කන් රටවල සෝවියට් ආක්‍රමනයට එරෙහිව ඇති වූ විරෝධතාවය අමානුෂික ලෙස මැඩ පවත්වන ලද්දේ දහස් ගණන් ඝාතනය කිරීමෙනි.

1940 වන විට සෝවියට් දේශය යුධ ශක්තිය අතින් සහ කාර්මික හැකියාව අතින් යුරෝපයේ අනෙක් රටවල් සමඟ කරට කර සිටින තැනකට ගෙන ඒමට ස්ටාලින්ට හැකි විය​.

එහි වැදගත් කම ඔප්පු වූයේ 1941 දී ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කිරීමත් සමඟය​. ජර්මානු යුධ ශක්තිය හමුවේ සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න තත්වයකට පත් වුවත්, රැල්ල ආපසු හැරවීමට සෝවියට් දේශය සමත් විය​.


බාබරෝසා මෙහෙයුම - ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කිරීම

නමුත් මේ සඳහා මිල ගෙවන ලද්දේ මිලියන ගණනක මිනිස් ජීවිත වලින් සහ ගණනය කළ නොහැකි තරම් ධන විනාශයකිනි.

නමුත් ස්ටාලින් විසින් දමන ලද සෝවියට් පදනම බිඳ දැමීමට ජර්මානු ආක්‍රමනයට නොහැකි විය. එම ශක්තිමත් පදනම මත කෙටි කලකින් සෝවියට් දේශය ලෝක බලවතෙක්  ගේ තත්වයට පැමිනීමට සමත්විය​.

සෝවියට් T34 යුධ ටැංකි කර්ස්ක් සටනේ දී


නැවත බැලීම​


ස්ටාලින් ගේ පාලන සමය තුළදී මිය ගිය සෝවියට් වැසියන් ගේ සංඛ්‍යාව මිලියන 35.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

සයිබීරියාවේ ගුලාග් සිර කඳවුරු වලදී මිය ගිය ගණන - මිලියන 1
ඝාතනය කරන ලද දේශපාලන විරුද්ධවාදීන් - මිලියන 0.5
1930-32 සාගතයෙන් මිය ගිය ගණන - මිලියන 5
වාර්ගික ශුද්ධ කිරීමේ වැඩසටහන් යටතේ ඝාතනය කළ ගණන - මිලියන 0.2
යුධ සමයේදී මිය ගිය සෝවියට් හමුදා සෙබළු ගණන - මිලියන 11
යුධ සමයේදී ජර්මන් හමුදා විසින් ඝාතනය කෙරුනු සෝවියට් වැසියන් ගණන - මිලියන  10
යුධ සමයේදී සාගතය සහ වෙනත් හේතු නිසා මිය ගිය සෝවියට් වැසියන් ගණන - මිලියන 6
යුධ සමයේදී ජර්මන් හමුදාවට සහය දීම නිසා සෝවියට් හමුදා විසින් ඝාතනය කෙරුණු සෝවියට් වැසියන් ගණන - මිලියන  1.7


ස්ටාලින් ගේ NKVD පොලිසිය මගින් ඝාතනය කළ යුක්‍රේනියනු ජාතිකයන්

සාගතයෙන් මියගිය යුක්‍රේනියානු ගොවියන්

සටනකින් මියගිය සෝවියට් හමුදා සෙබළුන් ගේ මළ සිරුරු
ජර්මන් හමුදා විසින් සෝවියට් වැසියන් ඝාතනය කිරීම​
ජර්මානු හමුදා භාරයට පත් සෝවියට් යුධ සිරකරුවන්

මේ අතිවිශාල මනුෂ්‍යය සංහාරයෙන් කොටසකට ස්ටාලින් ඍජුවම වග කිවයුතු අතර කොටසක් ඔහුගේ පාලනයෙන් තොරව සිදු වූ ඒවා ය​.

කෙසේ නමුත්, 1928 සහ 1945 අතර කාලයේදී සෝවියට් දේශය මුහුණ දුන් අසාමාන්‍යය දේශපාලන තත්ව යටතේ සෝවියට් දේශයේ පැවැත්ම තහවුරු කර ගැනීමට නම් කළ යුතු දේ ස්ටාලින් නිවැරදිව වටහා ගත් අතර​, ඒ අරමුණ කරා ගමන් කිරීමේදී එල්ල වූ සියළු බාධා පොඩි පට්ටම් කර දැමීමට ඔහු කටයුතු කළේය​. එහිදී ගෙවීමට සිදු වන මිල හෝ සිදු වූ විනාශය ස්ටාලින් ගේ සැලකිල්ලට ලක් නොවීය​.

ඔහුට වැදගත් වූ එකම කරුණ සෝවියට් දේශයේ පැවැත්මයි. ඊට එල්ල වූ අභියෝගය නූතන ඉතිහාසයේ කවර රාජ්‍යය නායකයෙක්ට වත් එල්ල නොවූ තරම් දැවන්ත එකක් විය​. එම අහියෝගය ජය ගැනීමේ ලා ඔහු අති සාර්ථක විය​.

1928 දී ඔහු භාරගත් පසුගාමී දුර්වල දිළිඳු රාජ්‍යය වෙනුවට 1953 දී ඔහු මිය යන විට තිබුනේ සුපිරි ලෝක බලවතෙකි. සෝවියට් වැසියන් ගේ ජීවන තත්වය විශාල වශයෙන් ඉහළ නැංවීමටත්, සියළුම අංශයන් ගෙන් සෝවියට් දේශය ලෝකයේ ඉහළම තැනකට ගෙන ඒමටත් ඔහු සමත් විය​.

සෝවියට් දේශයේ පාසැලක්

ස්ටාලින් අසමත් වූයේ නම්, ජර්මානු ආක්‍රමනය සාර්ථක වූයේ නම්, රටක් වශයෙන් සෝවියට් දේශයේ පැවැත්ම අවසන් වන්නට තිබූ අතර​, රුසියානුවන් ඇතුළු විවිධ ජන වර්ග වලට අයත් සෝවියට් වැසියන් ගේ ඉරනම ඉතාමත් ඛේදජනක එකක් වන්නට තිබිනි.

ලෙනින්.ග්‍රාද් සටනේදී ජර්මානු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ නිවස ඉදිරිපිට හඬා වැටෙන මහළු කාන්තාවක්


ඒ සඳහා ගෙවූ මිල ඊට වටිනා එකක් ද යන්න සහ සමස්තයක් වශයෙන් ස්ටාලින් නිසා සෝවියට් දේශයට සිදු වූයේ යහපතක් ද විනාශයක් ද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතුය​.


Thursday, April 28, 2016

ආගම් සහ නිරාගම්

ආගම් සහ නිරාගම්


ආගම් වල උපත


ආගම් යන සංකල්පය මිනිස් ශිෂ්ඨාචාරයේ ඇති වන්නේ සාධක 5 ක් මත​.


1. එදිනෙදා ජීවිතයේ දී අපට ඍජුවම පාලනය කළ නොහැකි දේ "පාලනය කිරීමේ" උපක්‍රමයක් වශයෙන්

2. සමාජය තුල සාමූහිකත්වය වර්ධනය කිරීමේ මාධ්‍යයක් වශයෙන්

3. සමාජයේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට තිබිය යුතු හර පද්ධතීන් නිර්නය කිරීමට​

4. මිනිසාට ඇති වන දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට​

5. සංස්කෘතියේ අනිවාර්‍යය සංරචකයක් ලෙස​


1. ආදි කල්පිත මානවයෙක් ගත්තොත් ඌ දඩයමේ යද්දි කොටියෙක්ට ගොදුරු වෙලා මැරෙන්න පුළුවන්. ඉතින් ඌ ඕක ගැන හිත කරදර කර ගත්තොත් උට සාර්ථක දඩයක්කාරයෙක් වෙන්න බෑ. ඉතින් ඌ දඩයමේ යන්න කලින් ගහකට ගලකට "බාරයක්" වෙලා යනවා. එතන ඇතිකරගන්න හිතේ විශ්වාසය මත තමයි දවස ගෙවන්නෙ. නැත්තං හැම වෙලේම කොටියෙක්ට ගොදුරු වෙයිද කියන චකිතයෙන් හිටියොත් ඌ මානසික රෝගියෙක් වෙනවා. එඬේරෙක්ට නම් කුර ලෙඩක් හැදිල හරක් රංචුව මැරෙන්න පුළුවන්. ගොවියෙක්ට නම් නියඟයක් ඇවිල්ල වගාව පාළු වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි සංකල්පයක් නිර්මානය කරල ඒ වගකීම තමාගෙන් ඉවතට යොමු කරනවා.

ආගම් නිර්මානය වීමේ මූලිකම හේතුව මේකයි. ආදි කල්පිත ආගම් සියල්ලම ස්වභාවික බලවේගයන් පිදීමේ ස්වරූපයෙන් තියෙන්නෙ ඒ නිසා.


2. ඊළඟට ශ්‍රම විභජනයත් එක්ක එනවා සමාජය කියන සංකල්පය​. දඩයක්කාරයෙක් නම් තමාගේ ගෝත්‍රයේ දන්න හඳුනන කීප දෙනෙක් සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ. නමුත් සමාජය විශාල වෙද්දි එතන හැමෝම පුද්ගලිකව හඳුනන්නෙ නෑ. නමුත් ඒක ෆන්ක්‍ෂන් වෙන්න නම් සාමූහිකත්වයක් නිර්මානය වෙන්න ඕනෙ. ජන වර්ගය​, භාෂාව වගේ නිර්නායක එක්ක ආගම කියන නිර්නායකයත් මේ සඳහා යොදා ගැනුන​.


3. ඊළඟට සමාජයේ මිනිස්සු එක්ක අන්තර් සම්බන්ධතා තියා ගද්දි ඒක සමාජයට විනාශකාරී නොවන මට්ටමකින් තියාගන්න ඕනෙ. පුද්ගලික අභිමතාර්ථ සහ සමාජයේ පැවැත්ම කියන දෙක සමබර කරන්න අපිට අවශ්‍යය වෙනවා යම් කිසි හර පද්ධතියක්. මේ හර පද්ධතිය හඳුන්වා දීමේ වගකීම පැවරුනේ ආගම් වලට​. හර පද්ධතිය නිර්නය කරද්දි යම් කිසි මිනිහෙක් ඒක නිර්නය කරනවට වඩා අපේ එදිනෙදා කටයුතු බලාගන්න අපිට ඉහළින් ඉන්න බලවේගයකින් ඒක නිර්නය කරාම ඒකට වැඩි වටිනාකමක් ලැබුනා.


4. මිනිස් ශිෂ්ඨාචාරය දියුණු වෙනකොට මිනිසාට එනව දාර්ශනික ප්‍රශ්න​. විශ්වයේ ආරම්භය​, මරණින් මතු ජීවිතය​, විශ්වයේ ක්‍රියාවලීන් පාලනය වෙන්නෙ කොහොමද ආදී වශයෙන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නෙත් ආගම්. මෙතනදිත් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන දාර්ශනිකයන්ට අපිට ඉහළින් ඉන්න බලවේග වලින් උපකාර ලැබුන​. ඒ නිසාම ඒ පිළිතුරු වලට සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබුන​.


5. ඊළඟට ශිෂ්ඨාචාරය දියුණු වෙද්දි ජීවන ක්‍රියාවලීන් සංකීර්න වෙනවා. මිනිස්සු කරන්න ඕනෙ වැඩ සංකීර්න වෙනවා. මානසික ආතතිය වැඩි වෙනවා. ඒකෙන් සහනයක් ලබන්න මිනිස්සු නිර්මානය කරනවා සංස්කෘතික ක්‍රියාවලීන්. සතියකට දවසක් සමාජයේ හැමෝම වැඩ කරන එක නවත්තල සාමූහිකව එක් රැස් වෙලා යම් කිසි විනෝදාත්මක ක්‍රියාවක නිරත වෙනවා. ඒකාකාරී ජීවන රටාවෙන් බ්‍රේක් එකක් විදිහට​. මේ සඳහා ක්‍රීඩා, සංගීතය වගේ දේවල් වගේම ආගමික උත්සවත් පොදුවේ යොදා ගැනෙනවා.


මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රගමනයත් එක්ක ඇති වුන මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි ආගම් ඉදිරිපත් වෙන්නෙ.


මිනිසාගේ පොදු ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස බිහිවුන මේ ආගම් එක එක ස්වරූපය ගන්නෙ ඇයි? ඒකට හේතුව තමයි ඒවා බිහිවුන චින්තනයේ තිබුන වෙනස්කම්.


ඒබ්‍රහමික ආගම් වල විකාශය​


ඒබ්‍රහමික ආගම් වල උපත සිද්ධ වෙන්නෙ ඊශ්‍රායලයේ ජෝර්දාන් ගංගාව ආශ්‍රිතව බිහිවෙන යුදෙව් ජන සමාජයේ. මේ සමාජය යම්කිසි හේතුවක් නිසා අධික වියුක්ත චින්තනයක් හිමි සමාජයක්. මේ නිසා ඔවුන් නිර්මානය කරන ආගම අනෙක් ආගම් වල වගේ ස්වාභාවික සංසිද්ධිවලට අනුබද්ධ දෙවිවරු සමූහයක් මත පදනම් වෙන්නෙ නෑ. ඒ වෙනුවට මුළු මහත් විශ්වයේම නිර්මාතෲ විශ්වයට බාහිරව පවතින එක් තනි දෙවියෙක් කියන සංකල්පය ඇති වෙනවා. මේ සංකල්පය මානව ශිෂ්ඨාචාරයේ ඇතිවෙන එකම අවස්ථාව මේකයි.


පුරාන යුදෙව් රාජ්‍යය​


සාමාන්‍යයෙන් මානව ශිෂ්ඨාචාරයේ අපි දකින දෙයක් තමයි බලවත් අසල්වැසියන් රැසකට මැදි වෙලා ඉන්න කුඩා සමාජයක් තමාගේ පැවැත්ම ගෙනියන්නේ අතිශය රණකාමී සංස්කෘතියක් ඇති කර ගැනීමෙන්. ජපානය​, ඇෆ්ගනිස්ථානය වගේ උදාහරණ මේකට දෙන්න පුළුවන්. එහෙම නොවුන සමාජ අර බලවත් අසල්වැසියන් ඉදිරියේ මුලින්ම තමාගේ දේශපාලන නිදහස නැති කර ගන්නවා. ඊට පස්සෙ ඒ සංස්කෘතිය තුළ ගිලිලා නැති වෙලා යනවා.


නමුත් යුදෙව්වන් මේ සඳහා යොදාගන්නේ වෙනම උපක්‍රමයක්. මේ සඳහා ඔවුන් උපයෝගී කර ගන්නෙ තමා විශ්ව නිර්මාතෲ දෙවියන් විසින් තෝරාගත් ජන කණ්ඩායමක් කියන සංකල්පය​. ඒ නිසා මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා තමාගේ පැවැත්ම තිබිය යුතුයි කියන සංකල්පය ඔවුන් අතර ඇති වෙනවා. ඒ නිසා කොයිතරම් තමාගේ දේශපාලන නිදහස නැති වුනත් ඔවුන් තමාගේ සංස්කෘතික අනන්‍යයතාවය දිගටම තියාගන්න සමත් වෙනවා. තමාට කියල නිශ්චිත දේශපාලන වසමක් නැතුව අවුරුදු දෙදාහක් තිස්සේ තමාගේ සංස්කෘතික අනන්‍යයතාවය රැක ගැනීම වගේ විශිෂ්ඨ කාර්‍ය සිද්ධියක් අත්කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.


මේ අතිශය වියුක්ත යුදෙව් ආගමෙන් අතු දෙකක් කැඩෙනවා. එකක් ක්‍රිස්තියානිය​. අනෙක ඉස්ලාමය​. මේ දෙකම යුදෙව් ආගම තරම් වියුක්ත නැති ඊට වඩා සාමූහිකත්වයට තැන දෙන ආගම්.


අරාබි ජන වර්ගය සමන්විත වෙන්නෙ ගෝත්‍ර සිය ගණනක එකතුවෙන්. ඔවුන්ට පොදු නිර්නායකයක් විදිහට භාෂාව තිබුනත්, ගෝත්‍ර බැම්ම කඩල පොදු අරාබි ජාතියක් නිර්මානය කරන්න ඒක ප්‍රභල වෙන්නෙ නෑ. ඉස්ලාමය එන්නෙ ඒ අඩුව පුරවන්න​.


ඉස්ලාමය නිසඟයෙන්ම දේශපාලනිකයි. ඉස්ලාමීය රාජ්‍යයක් බිහි වීම සහ පැවැත්ම ඉස්ලාමයේ මූල ධර්ම වලම කියැවිලා තියෙනවා. අරාබින් ගේ ගෝත්‍ර බැම්ම කඩල ඒ වෙනුවට "මුස්ලිම් වරු" කියන ආගම මුල් කරගත්ත නව අනන්‍යයතාවයක් බිහි කරන්න ඉස්ලාමය සමත් වෙනවා. විශිෂ්ඨ අරාබි-මුස්ලිම් ශිෂ්ඨාචාරය බිහි වෙන්නෙ ඒ මත​.

                                                                                       
ක්‍රිස්තියානියට ඒ සාධකය බලපාන්නේ නෑ. ක්‍රිස්තියානිය බිහි වෙන්නෙ ඉස්ලාමය හෝ යුදෙව් ආගම වගේ එක් ජන වර්ගයක් පදනම් කරගෙන නෙවෙයි. ක්‍රිස්තියානිය මුලදි යුරෝපයේ පැතිරෙන්නෙ දුප්පතාගේ සහ පීඩිතයා ගේ ආගමක් විදිහට​. නමුත් පසුව එය රාජ්‍යය බලය අත් කරගත්තට පස්සෙ ඒ ස්වරූපය වෙනස් වෙනවා. ක්‍රිස්තියානිය යුරෝපයට එනකොටත් යුරෝපයේ වර්ධයන වූ ශිෂ්ඨාචාරයක් තියෙනවා. ඒ නිසා ක්‍රිස්තියානිය විසින් ශිෂ්ඨාචාරය හැසිරවීම සහ ශිෂ්ඨාචාරය විසින් ක්‍රිස්තියානිය හැසිරවීම කියන දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා යුරෝපයේ පැතිරෙන ක්‍රිස්තියානිය මුල් ස්වරූපයෙන් ගොඩක් වෙනස් එකක්. ඒ වගේම යුරෝපයේ සහ මැද පෙරදිග පවතින විවිධ සංස්කෘතීන් විසින් ක්‍රිස්තියානිය ග්‍රහනය කර ගද්දි විවිධ නිකායන් රාශියක් බිහි වෙනවා. ඒක යුදෙව් සහ ඉස්ලාම් ආගම් වල දකින්නට නැති ලක්‍ෂනයක්.

බටහිර ශිෂ්ඨාචාරයේ දාර්ශනික අර්බුදය සහ නිරාගමිකත්වය​


දේශපාලනික හේතු මත පහළොස්වෙනි සියවසේ බටහිර යුරෝපයේ චින්තන පෙරළියක් සිද්ධ වෙනවා. ග්‍රීක දාර්ශනිකයන් විසින් වර්ධනය කරන ලද දර්ශනය යුදෙව් චින්තනය මත පදනම් වෙලා බටහිර යුරෝපයට ලැබෙනවා. මේ නිසා යුරෝපීය ශිෂ්ඨාචාරය වඩා පුද්ගල කේන්.ද්‍රීය සහ වියුක්ත ස්වභාවයක් ගන්නවා. මෙහිදී බටහිර යුරෝපයේ මේ දක්වා තිබුන කතෝලික ආගමට තවදුරටත් බටහිර ශිෂ්ඨාචාරයේ දාර්ශනික සහ සංස්කෘතික කාර්‍ය භාරය ඉටු කරන්න බැරි වෙනවා.


මේ හිඩැස පුරවන්න සංකල්ප දෙකක් ඉදිරිපත් වෙනවා. සංස්කෘතික කාර්‍ය භාරය පුරවන්න ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය බිහි වෙනවා. සාමූහිකත්වය මත පදනම් වුන කතෝලික ආගම වෙනුවට ප්‍රොතෙස්තන්ත ආගම වඩා පුද්ගල කේන්.ද්‍රීය සහ වියුක්ත ආගමක් ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේ මිනිසා එක්ක පුද්ගලිකව සම්බන්ධ වන අවස්ථාවක් වන මරියා තුමිය ට කතෝලික ආගමේ තියෙන තැන ප්‍රොතෙස්තන්ත ආගමේ නෑ. ඒ වගේම කතෝලික ආගමේ එන සාමූහික දෙවියන් යැදීම​, පූජක තුමා ඉදිරියේ පව් පාපොච්චාරනය කිරීම, ආගමටම කැපවුනු බ්‍රහ්මචාරී පූජකයන් වගේ අංග නැති වෙලා දෙවියන් එක්ක කරන ගනුදෙනුව වඩා පුද්ගලික මට්ටමට එනවා.


දාර්ශනික හිඩැස පුරවන්නේ බටහිර විද්‍යාව විසින්. මේ දක්වා ආගම් මගින් පිළිතුරු දුන්න මිනිසාට ඇති වෙන දාර්ශනික ප්‍රශ්න වලට මින් ඉදිරියට පිළිතුරු දෙන්නේ බටහිර විද්‍යාව​. නමුත් මේ දෙන පිළිතුරු වලත් පදනම වෙන්නෙ අවුරුදු තුන්දාහකට කලින් යුදෙව්වෝ දීපු "විශ්වය දෙවියන් විසින් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනයටය​, මිනිසා යනු සුවිශේෂී සත්වයෙකි" යන පිළිතුරම තමයි. ඒ ශිෂ්ඨාචාරයේ පදනම් චින්තනය එකම නිසා. බටහිර විද්‍යාවේ අරමුණ වෙන්නෙ විශ්වය මිනිසගේ පැවැත්ම උදෙසා සකස් කිරීම​.


මේ බටහිර ශිෂ්ඨාචාරයේ දේශපාලන​-ආර්ථික මොඩලය වෙන්නෙ ලිබරල් ධනවාදය​. ඒ පුද්ගලවාදයේ අනිවාර්‍ය ප්‍රතිඵලය විදිහට​. නමුත් දාර්ශනික සංස්කෘතික මොඩලය තවම අපැහැදිලි තැනක තියෙන්නෙ.


බටහිර ශිෂ්ඨාචාරය වර්ධනය වෙද්දි බටහිර විද්‍යාවත් වර්ධනය වෙනවා. මෙතනදි හරි අපූරු සෙල්ලමක් වෙනවා. ඒ බටහිර විද්‍යාව මගින් දෙන දාර්ශනික පිළිතුරු ක්‍රිස්තියානි ආගමේ මූල ධර්ම සමඟ නොගැලපීම​. මේක ගැලීලියෝ ගේ කාලයේ ඉඳන් යම් ප්‍රමානයකින් තිබ්බ​. නමුත් මේකෙ කූඨප්‍රාප්තිය එන්නෙ චාල්ස් ඩාවින් විසින් පරිණාම වාදය ඉදිරිපත් කිරීමෙන්. කලින් එහෙන් මෙහෙන් වැදිච්ච ප්‍රහාර වෙනුවට මේකෙදි කෙලින්ම වදින්නෙ "දෙවියන් විසින් විශ්වය සහ මිනිසා මවනු ලැබීය​" කියන ක්‍රිස්තියානියේ පදනමට​.


මෙතනදි බටහිර ශිෂ්ඨාචාරයේ දෙවැනි පෙරළිය සිද්ධ වෙනවා. කතෝලික ආගම වෙනුවට ප්‍රොතෙස්තන්ත ආගම ගේනවා වගේ අර්ධ විසඳුමකින් ගොඩ දාන්න බැරි තරම් අර්බුධය බරපතලයි. මෙතනදි නැවතත් බටහිර යුරෝපයේ දාර්ශනික පුබුදුවක් ඇති වෙනවා.


ඒකෙ ප්‍රතිඑලයක් විදිහට බටහිර මිනිසා විසින් ආගම සහමුළින්ම ප්‍රතික්‍ෂේප කරනවා.



තාර්කිකක්ත්වයේ දේවස්ථානය
මේක අපිට මුලින්ම දකින්නට ලැබෙන්න ප්‍රංශ විප්ලවයේ එක තැනකදී විප්ලවකාරීන් විසින් ක්‍රිස්තියානි පල්ලිය වෙනුවට​ "තාර්කිකක්ත්වයේ දේවස්ථානය​​" පිහිටුවීමේ සිද්ධියෙදි. ඊට පස්සෙ කාල් මාක්ස් විසින් නැවතත් ආගම් ප්‍රතික්‍ෂේප කරනවා. ඔහුගේ කම්කරු රාජ්‍යයේදී ආගමට තැනක් නෑ. නමුත් දේශපාලනික හේතු මත මේ උත්සහයන් අසාර්ථක වෙනවා. කම්කරුවන් විසින් දේශපාලන බලය ඩැහැගැනීම ප්‍රභූන් සහ ධනවතුන් රුස්සන්නෙ නෑ. ඒ නිසා මේ ව්‍යාපාර ඇති වෙන්නෙ බටහිර ශිෂ්ඨාචාරයේ විරෝධාකල්ප ව්‍යාපාර විදිහට මිස එහි පදනම් ව්‍යාපරය විදිහට නෙවෙයි. නාසි වාදය මේ වගේ තවත් එක ව්‍යාපාරයක්.


මේ කැරලිකාරීන් බටහිර යුරෝපයේ දේශපාලන බලය වෙනුවෙන් සටන් කරනවා. ඒකෙ උච්චාවස්ථාව තමයි පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධය​. නැත්තං සමහර දාර්ශනිකයන් කියන විදිහට යුරෝපා සිවිල් යුද්ධය​. මෙතනදි ඇති වෙන තුන් කොන් අරගලයෙන් නාසි වාදය තීරණාත්මක විදිහට පරදිනවා. කොමියුනිස්ට් වාදය සහ ලිබරල් ධනවාදය යුරෝපය බෙදා ගන්නවා. එතනදි කොමියුනිස්ට් වාදයට ලැබෙන්නෙ නැගෙනහිර යුරෝපය​. ලිබරල් ධනවාදය බටහිර යුරෝපයේ බලය තහවුරු කරනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ලිබරල් ධනවාදයට බටහිර යුරෝපයේ දී සීරියස් තර්ජනයක් එල්ල වෙන්නෙ නෑ.


දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ තමයි "නිරාගමිකත්වය​" කරලියට එන්නෙ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිර යුරෝපයේ ආර්ථික - දේශපාලන මොඩලය විදිහට ධනවාදය තහවුරු වීමත් සමඟම එහි දාර්ශනික මොඩලය විදිහට "නිරාගමිකත්වය​" වර්ධනය වෙනවා.


මෙතන නම් වල පොඩි නොගැලපීමක් තියෙනවා. වචනාර්ථයෙන් ගත්තොත් මාක්ස්වාදයත් නිරාගමිකයි. නමුත් බටහිර ශිෂ්ඨාචාරයේ එන නිරාගමිකත්වය මාක්ස්වාදය එක්ක ගනුදෙනුවක් නෑ. ඔවුන් මාක්ස්වාදය තමාට සුළුවෙන් හෝ සම්බන්ධ දෙයක් කියල පිළිගන්නවත් කැමති නෑ. ඒ දාර්ශනිකව​, දේශපාලනිකව​, ආර්ථිකව සහ සංස්කෘතිකව බටහිර නිරාගමිකත්වය සහ මාක්ස්වාදය වෙනස් නිසා.


ඉතින් මේ "නිරාගමිකත්වය" කියන්නෙ මානව ශිෂ්ඨාචාරයේ අග්‍රඵලයක් වගේ මොකක්වත් බක්කක් නෙවෙයි. ශිෂ්ඨාචාරය විසින් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් මත බිහි වුන තවත් එක් දාර්ශනික ප්‍රතිඵලයක් පමණයි.


නිරාගමිකත්වය විසින් ආගම් විස්ථාපනය කරාට පස්සෙ යුද්ධ වගේ දේවල් නැවතිලා ලෝකය එක යායක් වෙයි වගේ දවල් හීන ඇති වෙන්නේ මේ සංසිද්ධිය හරි හැටි වටහා නොගැනීමෙන්. යුද්ධ ඇති වෙන්නෙ ආගම් නිසා මෙ නෙවෙයි. යුද්ධ ඇති වෙන්න දේශපාලන​-ආර්ථික​-සංස්කෘතික හේතු තියෙනවා. ආගම නැමැති සංස්කෘතික සංරචකය නිරාගමිකත්වය නැමැති සංස්කෘතික සංරචකය විසින් විස්ථාපනය වුනාට යුද්ධ නැති වෙන්නෙ නෑ. ඒක නිකං පොඩි එකෙක් ගෙ දවල් හීනයක් විතරයි.


හැබැයි මෙතන පොඩි පරහක් තියෙනවා. කලින් කිව්ව වගේ ආගම් විසින් මිනිසා ගේ මූලික අවශ්‍යයතා පහකට පිළිතුරු දෙනවා. නමුත් නිරාගමිකත්වය විසින් පිළිතුරු දෙන්නෙ මේවායෙන් එකකට​, ඒ කියන්නෙ "මිනිසාට ඇති වන දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට​" පමණයි.


අනෙක් ප්‍රශ්න හතර තාම එහෙම්මමයි.


මෙතනදි "සමාජයේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට තිබිය යුතු හර පද්ධතීන් නිර්නය කිරීමට​" කියන ප්‍රශ්නයට නිරාගමිකත්වය විසින් එතෙක් පැවතුන ක්‍රිස්තියානි හර පද්ධතියම සංශෝධනයට ලක් කරමින් යොදා ගන්න උත්සහ දරනවා. නමුත් අනික් ප්‍රශ්න තුනට නිරාගමිකත්වය විසින් පිළිතුරු දෙන්න අපොහොසත්.


මෙතනදි ප්‍රතිඵල දෙකක් වෙන්න පුළුවන්. එක, මේ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබීමෙන් බටහිර ශිෂ්ඨාචාරය අර්බුධයට යාම​. දෙක​, ක්‍රිස්තියානි ආගම හුදෙක් සංස්කෘතික අංගයක් ලෙස පවත්වාගනිමින් එහි දාර්ශනික මදය නිරාගමිකත්වය විසින් විස්ථාපනය කිරීම​. දැනට පේන විදිහට බටහිර ශිෂ්ඨාචාරය යන්නෙ දෙවෙනි පාරෙ.


නිරාගමිකත්වය කියන්නෙ බටහිර ශිෂ්ඨාචාරයේ වර්ධනයෙන් බිහිවුන අනිවාර්‍යය ප්‍රතිඵලයක් පමණයි. ඒක ක්‍රිස්තියානි ආගමේ තාර්කික පරිනාමීය ප්‍රතිඵලය​.
 

Saturday, April 23, 2016

යකඩ සහෝදරයා - ස්ටාලින් - 1 ස්ටාලින් බලයට පැමිණීම

යකඩ සහෝදරයා - ස්ටාලින් - 1ස්ටාලින් බලයට පැමිණීම


ලෝකයේ ඒකාධිපතීන් බිහි වන්නේ බල රික්තයක් තුළිනි. බොහෝ විට ඒකාධිපතියාව බලයට ගෙන එන්නේ එම රික්තය තුලට පැනගැනීමට ඇති වල බල අරගලයේ යම් කිසි පාර්ශව කරුවෙක් විසින් තම ප්‍රතිවාදීන් පාලනය කිරීමේ උපක්‍රමයක් විසිනි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම විරුද්ධවාදීන් මර්ධනය කළ පසු ඒකාධිපතියා බලයෙන් පහ කිරීමෙන් හෝ ඔහුව තමාට අවශ්‍යය ආකාරයට හසුරුවා ගැනීමෙන් බලය තමා අතට ගැනීමටය. ඔවුන් සැමවිටම වරද්දා ගනිති.

හිට්ලර් ජර්මනියේ බලයට ගෙන එන්නේ කොන්සර්වේටිව් පක්‍ෂ විසින් ක්‍රමයෙන් වර්ධනය වන සමාජවාදී-කොමියුනිස්ට් වාදීන් මර්ධනය කිරීමේ මෙවලමක් වශයෙනි. නමුත් බලයට ආ පසු හිට්ලර් කොන්සර්වේටිව් වරු තුට්ටුවකට මායිම් නොකලේය. හිට්ලර් ජර්මනිය සන්නද්ධ කරද්දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව ඇස් කන් පියා සිටියේ හිට්ලර් ලවා සෝවියට් දේශය විනාශ කරවීමටය. නමුත් එය ඔවුන්ටම පාරා වළල්ලක් විය.

ස්ටාලින් ගේ බලයට ඒමේ කතාවේද මෙම රටාව දැකිය හැක.

රුසියන් විප්ලවය සමයේ ස්ටාලින් බොල්‍.ෂෙවික් පක්‍ෂයේ දැවැන්තයෙක් නොවීය. ඔහු පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට පත් වන්නේ 1917 අප්‍රේල් මාසයේදීය. මේ සමයේදී පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස සැලකුනේ ට්‍රොට්ස්කි ය. එමෙන්ම ග්‍රිගෝරි සිනොවිව්, ලෙව් කමනෙව් සහ නිකොලායි බුකාරින් පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් ලෙස සැලකිනි.

1917 ඔක්තෝබර් විප්ලවය සිදු කිරීමට ලෙනින් තීරණය කල අවස්ථාවේදී සිනොවිව් සහ කමනෙව් ඊට දැඩි විරෝධයක් එල්ල කළහ. ලෙනින් විසින් ස්ටාලින් මධ්‍යයම කාරක සභාවට පත් කරන ලද්දේ ඔවුන් ගේ බලය අඩු කිරීමේ ඉලක්කය ඇතිවය. බලාපොරොත්තු වූ ලෙසටම ස්ටාලින් ලෙනින් ගේ විශ්වාසවන්ත සගයෙක් ලෙස ප්‍රකට විය.

1919
දී රුසියානු සිවිල් යුද්ධය ඇති වූ අවස්ථාවේදී ලෙනින් විසින් පස් දෙනෙකුගෙන් සමන්විත පොලිට්බියුරෝවක් ඇති කළ අතර, එහි සාමාජිකත්වය හිමි වූයේ ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින්, කමනෙව් සහ ට්‍රොට්ස්කි ගේ සගයෙක් වූ නිකොලායි ක්‍රෙස්ටින්ස්කි හටය. මෙහිදී සිනොවිව් අභිබවා ස්ටාලින් ඉදිරියට ඒම කැපී පෙනිනි.

රුසියානු සිවිල් යුද්ධයේදී රතු හමුදාව ගොඩ නැංවීමේ වගකීම පැවරෙන ලද්දේ ට්‍රොට්ස්කිටය. එහිදී ඔහුගේ විශිෂ්ඨ සංවිධාන ශක්තිය කැපී පෙනුනු අතර, සිවිල් යුද්ධයෙන් බොල්.ෂෙවික් වරු ජයග්‍රහනය කිරීමත් සමඟම ඔහුගේ බලය වර්ධනය විය.

1921
දී ලෙනින් විසින් යුද්ධයෙන් විනාශ වූ සෝවියට් ආර්ථිකය ගොඩ නැංවීමට "නව ආර්ථික ප්‍රතිපත්තිය" හඳුන්වා දෙන ලදී. මෙමගින් සීමිත දේපල අයිතියකට ඉඩ දුන් අතර, ධනවාදී-සමාජවාදී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් විය. ට්‍රොට්ස්කි ඇතුළු බොල්.ෂෙවික් පක්‍ෂයේ වාමාංශය මෙයට තදින්ම විරුද්ධ වූහ. නමුත් ස්ටාලින් සහ බුකාරින් ගේ සහයෙන් ලෙනින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය.

මෙම මත ගැටුම නිසා ට්‍රොට්ස්කි සහ ලෙනින් අතර දුරස්ථ වීමක් වර්ධනය වූ අතර, ලෙනින් ගේ සමීපතමයෙක් ලෙස ස්ටාලින් තම බලය වර්ධනය කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේය.

ට්‍රොට්ස්කි ගේ වර්ධනය වන බලය හමුවේ සිනොවිව් සහ ඔහුගේ සගයා වූ කමනෙව් තෝරා ගත්තේ ස්ටාලින් බලවත් කිරීමයි. ස්ටාලින් මගින් ට්‍රොට්ස්කි මර්ධනය කරවීමටත්, ලෙනින් ගෙන් පසු ලෙනින් ගේ සහය අහිමිවන ස්ටාලින් පහසුවෙන් බලයෙන් ඉවත් කොට පක්‍ෂයේ බලය අල්ලා ගැනීම ඔවුන් ගේ අභිප්‍රාය විය.


1922 දී කමනෙව් ගේ සහය ඇතිව ලෙනින් විසින් ස්ටාලින්ව පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත් කෙරෙන්නේ මේ අනුවය.

මෙතෙක් ලෙනින් ගේ විශ්වාසවන්තයා ලෙස පෙනී සිටි ස්ටාලින් තම බලය නංවා ගැනීම අරඹන්නේ මින් පසුවය.

1922
දෙසැම්බරයේ දී ලෙනින් ට හෘදයාබාධයක් ඇති වූ අතර පිරිහුනු සෞඛයෙන් යුත් ලෙනින් පාලන කටයුතු වලින් ඈත් විය. බොල්.ෂෙවික් පක්‍ෂයේ බල අරගලය උග්‍ර වන්නේ මින් පසුවය.

ලෙනින් ගේ අනුප්‍රාප්තිකයා ලෙස සාමාන්‍යයෙන් සැලකුණු ට්‍රොට්ස්කි සහ ඔහුගේ වාමාංශික කණ්ඩායම එක් පසෙකින් විය. සිනොවිව් සහ ඔහුගේ සගයා වූ කමනෙව් එක් පසෙකින් විය. බුකරින්, ඇලෙක්සි රයිකොව් සහ මිඛායිල් ටොම්ස්කි ගේ මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම අනෙක් පසින් විය.


ලෙනින් තමා මියගියහොත් ඔහු මහ ලේකම් ධූරයෙන් ඉවත් කරන ලෙස පක්‍ෂ නායකයන්ට රහසේ උපදෙස් දුන්නේය. ඒ ස්ටාලින් පාලනය කළ හැක්කේ තමන්ට පමණක් බව ඔහු හොඳින් වටහාගෙන සිටි නිසාය.

නමුත් ට්‍රොට්ස්කි ඉවත් කිරීමට කුරුමානම් ඇල්ලූ සිනොවිව් සහ කමනෙව් ස්ටාලින් සමඟ එක්ව "ත්‍රොයිකා" ලෙස හැඳින්වුන සංධානයක් සාදා ට්‍රොට්ස්කි ගේ බලය මර්ධනය කිරීමට සමත් වූ අතර, මීට බෙහෙවින් උපකාරී වූයේ මහ ලේකම් ධූරයේ සිටි ස්ටාලින් පක්‍ෂයේ වැදගත් නිල තල වලට තම සගයන් පත් කරගෙන තිබීමයි.

1924
දී ලෙනින් මියගිය විට බලය අත්කර ගැනීමට ස්ටාලින් සමත් විය.

බලය ලබා ගත් පසු ස්ටාලින් සිනොවිව් සහ කමනෙව් මර්ධනය ඇරඹූ අතර ඔවුන් දෙදෙනා පක්‍ෂයේ සියළු වැදගත් තනතුරු වලින් ඉවත් කෙරිනි. එවිට සිනොවිව් සහ කමනෙව් ට්‍රොට්ස්කි සමඟ සංධානගත වූහ. ස්ටාලින් මෙවිට බුකරින් ගේ මධ්‍යස්ථ කණ් ඩායම සමඟ සන්ධානගත වී ඔවුන්ට එරෙහිව තම බලය තහවුරු කර ගත්තේය. මෙම අරගලය අවසන් වූයේ 1927 දී ට්‍රොට්ස්කි, සිනොවිව් සහ කමනෙව් තිදෙනාම පක්‍ෂයෙන් නෙරපීමෙනි.

තව දුරටත් බුකාරින් ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරීන් ගේ සහය අවශය නොවූ ස්ටාලින් මීළඟ මර්ධන එල්ල කලේ ඔවුන් දෙසටය.

බොල්.ෂෙවික් පක්‍ෂයේ ප්‍රභලයන්ට අත්වූ ඉරණම මෙලෙස දැක්විය හැක:

ලියොන් ට්‍රොට්ස්කි - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1928 දී පිටුවහල් කරන ලදී. 1940 දී මෙක්සිකෝවේදී ඝාතනය කෙරිනි.

ග්‍රිගෝරි සිනොවිව් - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1936 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

ලෙව් කමනෙව් - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1936 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

නිකොලායි ක්‍රෙස්ටින්ස්කි - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

නිකොලායි බුකාරින් - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

ඇලෙක්සි රයිකොව් - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

මිඛායිල් ටොම්ස්කි - 1936 දී අත් අඩංගුවට ගැනීමට ගිය විට සිය දිවි නසා ගත්තේය.


1938
දී ස්ටාලින් සෝවියට් දේශයේ අසාහය නායකයා බවට ඉතිරි විය.


Wednesday, April 13, 2016

අපේ ලොකු හාමුදුරුවෝ

අපේ ලොකු හාමුදුරුවෝ




අපේ ගමේ පන්සල අපි ගැටව් කාලේ අන්තයටම පිරිහිල තිබ්බෙ. එක කාලයක් තිබ්බ උපසම්පදා හාමුදුරුවො කෙනෙක් හිටියෙ නෑ. පොඩි සාමනේර උන්නාන්සෙල දෙන්නෙක් හිටියෙ.

පස්සෙ අළුත් නායක හාමුදුරුවො නමක් ආව. නායක හාමුදුරුවො කිව්වට උන්නාන්සෙට 30-35 ඇති. ටිකක් වෙනස් විදිහට හිතන්නෙ. හාමුදුරුවො පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න කොල්ලන්ට ඉඩ දෙනව. නිවාඩුවක් තිබ්බොත් හාමුදුරුවොත් ගහනව. කළු කෙට්ටු ඇඟයි, බූ ගාපු හිසයි නිසා ගමේ කොල්ලො හාමුදුරුවන්ට ආදරේට කියන්නෙ "උසේන් බෝල්ට්". හාමුදුරුවන්ට ෆාස්ට් බෝල් එහෙම හොඳට දාන්න ඇහැකි. කොල්ලන්ට පන්සල් වත්තෙ කුරුම්බ කඩන්න එහෙමත් තහනමක් නෑ.

දැන් පන්සල හරි වෙනස්. ඔක්කොම ගොඩනැගිලි අළුත්වැඩියා කරල, සුදුපාට ගාල. දහම් පාසල ආපහු පටන් අරන්. ධර්ම ශාලාව අළුතින්ම හදල.

අද අවුරුදු දවසෙ හවස හයට හාමුදුරුවො මුළු ගමටම පන්සලට එන්න කිව්ව. ගමේ එවුං තුනෙන් දෙකක් විතර ඇවිත් හිටිය. ඔක්කොටම පන්සිල් දීල අනුසාශනාවක් කරා. පොඩියට පිරිතක් කිව්ව. පිරිත් නූල් බැන්ද.

හාමුදුරුවො ගිය අවුරුද්දෙ වෙසක් එකට ගමේ හැම ගෙදරටම කැටයක් දීල තියෙනවා. අවුරුද්ද පුරාවටම කැටේට පුළු-පුළුවන් විදිහට සල්ලි දාන්න කියල. අද ගම්මු පන්සලට කැට අරගෙන ආව. සාමාන්‍යයෙන් එක කැටේක රුපියක් තුන්දහක් විතර තිබ්බ. ඊට වැඩි කැටත් තිබ්බ. අඩු කැටත් තිබ්බ. පන්සලේ වෙසක් උත්සවය කරන්නෙ ඒ සල්ලි වලින් ලු.

එක පාරට ලොකු ගානක් පිනට දෙන්න මිනිස්සුන්ට හැකියාවක් නෑ කියල - විශේෂයෙන් අවුරුදු මාසෙට පස්සෙ මාසෙ - හාමුදුරුවො දන්න නිසා අවුරුද්ද පුරාවටම සුළුවෙන් කීය කීය හරි එකතු කරන එක මිනිස්සුන්ට පහසුයි කියල හිතල තමයි කැට සංකල්පය දාල තියෙන්නෙ. ඒ වගේම එක පාර ලොකු ගානක් දෙනකොට දන් දෙන සිත පහළ වෙන්නෙ එක පාරයි, මෙහෙම කරද්දි අවුරුද්දෙ හැම දාම දන් දෙන සිත පහළ වෙනව කියලත් අනුසාශනාවෙදි කියවුනා.

අද වැඩේට බැහැල හිටියෙ ගමේ කොල්ලො සෙට් එක. පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න එන එවුන්. ජිම් යන ඇඟක් තියෙන රවීන්.ද්‍ර ජඩේජා වගේ රැවුලක් තියෙන මලයෙක් තමයි වැඩේ නායකත්වය දැරුවෙ.

කොල්ලො ටික හවස් වරුවෙම පන්සලේ නිසා ගමේ තැන තැන බූරු ගහන්නයි අරක්කු බොන්නයි ගිහිල්ල නෑ. (හැබැයි පන්සල් වත්තෙ කොනක හොරෙන් හොරෙන් සිගරට් එකක් ගහනව නං දැක්ක).

මේ වගේ හාමුදුරු නමක් ගමකට ආශිර්වාදයක්. සසර ගමන කෙටි වේවා! බුදුන් දැක නිවන් දකීවා!