Saturday, February 8, 2020

පාදඩයා අරක්කු පැන්නුව හැටි




මම කාලයක් මුස්ලිම් රටක රස්සාව කරා. ඒ රටේ මත්පැන් පාවිච්චි කරන්න තහනම්. තහනම් කියන්නෙ ලෙසටම තහනම්. හිස් අරක්කු බෝතලයක් තිබිල අහුවුනත් උසාවි දානවා. මාස හත අටකට හිරේ ඉන්න පුළුවන් වැරැද්දක්. අරක්කු එක්ක බෝතලයක් අහුවුනොත් හිතා ගන්න පුළුවන් නෙ.

එහෙමයි කියල අපි අරක්කු නොබී ඉන්නවද​? නෑ නේ. නෑ නේ. අපි විවිධ ක්‍රම වලට අරක්කු බොනවා. එයාපෝට් එකේ බාර් එකෙන් බොනවා. ටුවරිස්ට් හොටෙල් වලින් බොනවා. ඒ දෙකම ඉතා මිල අධිකයි. ඒ වුනාට අපි බොනවා. සමහර එවුන් හොරෙන් කසිප්පු පෙරනවා. රටඉඳි වලින්. අපි නං ඒක ට්‍රයි කරේ නෑ.

වැඩියෙන්ම බොන්නෙ ටුවරිස්ට් හොටෙල් වලින් පන්නන අරක්කු. හොටෙල් වල වැඩ කරන ලංකාවෙ එවුන් බෝතල් පන්නල අපිට විකුණනවා. ඒව ලැබෙන්න සහන මිලට​. හැබයි පට්ට රිස්කි වැඩක්. අහුවුනොත් ගස්.

එක දවසක් ආරංචියක් ආව හොර වොඩ්කා බෝතල් හයක් එනව කියල​. ඔරිජිනල් ගානෙන් හාෆ් ප්‍රයිස් එකට දෙන්නෙ. හැබැයි හයම එකට ගන්න ඕනෙ. අපි කවදාවත් එක බෝතලේකට වඩා අරං නෑ. හයක් එක්ක අහුවුනොත් මොනාවයිද කියන්න බෑ. බෝතල් හයක් හංගගෙන පාරෙ අරං එන්නත් බෑ. ඒත් අතාරින්න හිතෙන්නෙත් නෑ.

බෝතල් එන්නෙ බෝට්ටුවකින් බීච් එකට​. එතනට ගිහිල්ල ගන්න ඕනෙ. අපේ එකෙක්ට ස්කූටර් එකක් තිබ්බා. ඒකෙන් ගිහිල්ල ගන්න ප්ලෑන් කරේ. බෝතල් හයක් බස් එකේ හෝ පයින් හංගගෙන එන්න බෑ නෙ. අරූ ස්කූටරේ පදිනවා. මම පිටිපස්සෙ බෑග් එකක් කරේ දාගෙන යනවා. බෝතල් හය බෑග් එකේ. ඕක තමයි ප්ලෑන් එක​.

බඩු එනවා කියල කෝල් එක ආව​. රෑ නවයට විතර ඇති. අරුයි මායි ස්කූටරේ ගියා. තිත්ත කළුවර​. එකෙක් බෝට්ටුවකින් කළුවරේම හබල් ගාගෙන ආව​. සල්ලි ගත්ත​. බඩු දුන්නා. ඌ ගියා. වචනයක් වත් කතා කරේ නෑ. අපි බෝතල් ටික කළුවරේම බෑග් එකට දාගෙන ආපහු ආව​.

ආපහු එද්දි රෑ මුර සංචාරයේ යන පොලිස් කාරයො පාරෙ. නිකමට හරි උන්ට සැක හිතුනොත් මුං දෙන්න රෑ බීච් එකේ ඉඳන් එන්නෙ ඇයි කියල අපි ඉවරයි. මගෙ පපුව ගැහෙනව නිකං කම්මල වගේ. අරූ වෙව්ලනව කියල උගෙ කටහඬින් තේරෙනවා. මට තව බයයි මූ බයටම ස්කූටරේ ඇණ ගනියි කියල​. කෝකටත් මාර හෙමිං ආවෙ.

අන්තිමට ගෙදර එද්දි අපි දෙන්නම මැරිල ඉපදිල වගේ.
 
 
එදා රෑ තමයි මගේ ජීවිතේට වැඩියෙන්ම බීපු දවස​. රෑ දහයට විතර පටන් අරගෙන පාන්දර හතර වෙනකං බිව්ව​. හතර දෙනෙක් ලීටර් 1.1 බෝතල් දෙකයි. ඔය පින්තූරෙ තියෙන බ්‍රෑන්ඩ් එක​. ෂැන්ඩි කරේ දෙහි ජූස් වලින්.

අරුයි මායි දෙන්නම දැන් ලංකාවෙ ඉන්නෙ. අපි දෙන්නම දැන් බොන්නෙ හරි කලාතුරකින්. ගෑණු බර බරේ දාන නිසා.

3 comments:

  1. රා අරක්කු බොන්න එපා මහත්තයා. මහත්තයා ඇයි මේ වගේ උතුම් වූ ඉස්ලාම් දහමට අපහාස කරන්නේ? හරිම කණගාටුයි ඔබතුමා ගැන.

    මොහොමඩ් ඉර්ශාඩ්
    irshadmh78@live.com

    ReplyDelete
    Replies
    1. මොකද්ද මහත්මයා ඉස්ලාම් දහමට මම කරපු අපහාසය​?

      Delete