Tuesday, January 1, 2019

කෝටු දෙකෙන් කන හැටි


අපි කවුරුත් දන්නව වගේ ජපන්නු කෑම ගන්නෙ කෝටු දෙකෙන්. මේක ජපානයට විතරක් ආවේනික සිරිතක් නෙවෙයි. ජපානය​, චීනය​, කොරියාව​, වියට්නාමය​, ලාඕසය​, කාම්බෝජය, තායිලන්‍තය වගේ නැගෙනහිර ආසියානු රටවල් බොහොමයක කෑම ගන්න පාවිච්චි කරන්නෙ කෝටු දෙක​.

වෙනත් ඕනෑම ආහාර සංස්කෘතියක වගේම කෝටු දෙකෙන් කෑම ගද්දිත් පිළිපැදිය යුතු තාක්‍ෂනයක් සහ සිරිත් විරිත් තියෙනවා.

කෝටු දෙකෙන් කෑමේ සිරිත ආරම්භ වන්නෙ චීනයේදී. ඒ ක්‍රි.පූ. 1200 දී පමණ​. පසුව මේ සිරිත ජපානයටත් ඇවිල්ල තියෙනවා.

ජපන් බසින් ආහාර ගන්න පාවිච්චි කරන කෝටු හඳුන්වන්නේ "හෂි" නැත්තම් "ඔතෙමොතො" කියල​. හෂි කෝටු සෙන්ටිමීටර් 20 ක් පමණ දිගයි.

කෑම උයන්න පාවිච්චි කරන ප්‍රමානයෙන් විශාල කෝටු වර්ගයකුත් තියෙනවා. ඒවා කෑම කන්න පාවිච්චි කරන්නෙ නෑ. මේ කෝටු හැඳින්වෙන්නේ "සයිබෂි" කියලා. සයිබෂි සෙන්ටිමීටර් 30-40 පමණ දිගයි.

හෂි සහ සයිබෂි

හෂි හදන හැටි සහ ජපන් හෂි වල ලක්‍ෂන​


හෂි නැත්තම් ආහාර ගන්න පාවිච්චි කරන කෝටු සාම්ප්‍රදායිකව හැදුවේ ලී වලින්. මේ සඳහා බහුලව භාවිතා වුනේ උණ ලී සහ යිව් ලී. ඊට අමතරව ප්ලාස්ටික්, සුදු යකඩ​, රන්, රිදී, ජේඩ්, පෝසිලේන්, ඇත් දත් වගේ ද්‍රව්‍යය වලිනුත් හෂි හදනවා.

නමුත් එදිනෙදා පාවිච්චි කරන හෂි වලින් 90% ක් ම ලී වලින් හදපු ඒවා.

ජපන් හෂි චීන හෂි වලට වඩා තරමක් කොටයි. ජපානයේ පිරිමින් සඳහා නිපදවන හෂි සෙන්ටිමීටර් 23 ක් පමණ දිග වන අතර​, චීනයේ ඒවා සෙන්ටිමීටර් 27 ක් පමණ දිගයි. කාන්තාවන් සහ ළමුන් සඳහා නිපදවන හෂි මීට වඩා තරමක් කොටයි.

චීන හෂි සහ ජපන් හෂි අතර ප්‍රධාන වෙනස තමයි ජපන් හෂි වල ආහාර අල්ලන කෙලවර උල් හැඩයෙන් යුක්ත වීම​. චීන හෂි වල ඒවා ඊට වඩා තරමක් රවුම්, මොට හැඩයෙන් යුක්ත වෙනවා.

කොරියන් හෂි ජපන් හෂි වලින් වෙනස් වෙන්නේ ඒවා වඩා කෙටි වීම සහ පැතලි හැඩයෙන් යුක්ත වීම නිසා.

සාම්ප්‍රදායික ජපන් හෂි යුවලක් හතරැස් හැඩයෙක් යුක්ත වෙනවා. ඒ වගේම ඒවා උඩ කෙලවරින් මහතටත්, ආහාර අල්ලන කෙලවරෙන් සිහින් උල් හැඩයකටත් හදල තියෙනවා. සමහර හෂි රවුම් හැඩයෙනුත් යුක්ත වෙන්න පුළුවන්.

සාම්ප්‍රදායික ජපන් හෂි

සමහර විට ආහාර අල්ලන කෙලවරේ කුඩා කට්ට කපල තියෙන්නේ ආහාර වඩා හොඳින් අල්ල ගන්න පහසු වෙන්න​.

හොඳින් නිම කල හෂි ඔප දමා ලැකර් ආලේප කරලා තියෙනවා. ඒ ආහාර ගැනීමේදී තෙත් වීමෙන් වලක්වන්න​.

වරක් පාවිච්චි කර ඉවත දමන හෂි උණ ලී වලින් නිපදවෙනවා. ඒවා වඩා පැතලි හැඩයෙන් යුක්තයි. ඒ වගේම නිමාව අතින් දුර්වලයි. මේ වරක් පාවිච්චි කර ඉවත දමන හෂි හැඳින්වෙන්නේ "වරිබෂි" කියලා. වරිබෂි යුවලක් පාවිච්චියට පෙර තියෙන්නේ උඩ කෙලවරෙන් එකට සම්බන්ධ වෙලා. පාවිච්චි කරන්න පෙර ඒ දෙක වෙන් කර ගන්න ඕනෙ. එහෙම කරන්නේ ඒවා කලින් පාවිච්චි නොකල බව තහවුරු කරන්න​.

වරිබෂි

හෂිඔකි


හෂි යුවලකින් ආහාර ගනිද්දි ඒවා මේසය මත තියන්න අවශ්‍ය වුනොත්, ආහාර ඇල්ලීමට පාවිච්චි කරන සිහින් කෙලවර මේසයේ ගෑවෙන්න තියන්නෙ නෑ. එහෙම කිරීම සලකන්නේ අපිරිසිදු පුරුද්දක් විදිහට​. මේ නිසා ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න කුඩා රඳවනයක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ "හෂිඔකි" කියලා.

හෂිඔකි කියන්නේ ලී හෝ පෝසිලේන් වලින් හදපු කුඩා කැටයක්. හෂි මේසය උඩින් තියනකොට සිහින් පැත්ත හෂිඔකි මත තියන්න ඕනෙ. මහත කෙලවර මේසයේ ගෑවීම ප්‍රශ්නයක් නෙවෙයි.



බොහෝ විට හෂිඔකි සරල හැඩයකින් යුත් ලී කැටයක් විදිහට දකින්න පුළුවන්. ඒත් සමහර විට විසිතුරු කැටයම් වලින් අලංකාර කල හෂිඔකිත් තියෙනවා.


හෂි අල්ලන විදිහ​


හෂි පාවිච්චි කිරීම සම්පූර්නයෙන්ම වගේ රඳා පවතින්නේ නිවැරදි ආකාරයට හෂි අල්ලා ගැනීම මත. නිවැරදිව හෂි අල්ලා ගත්තොත් හෂි වලින් ආහාර ගැනීම ඉතාම පහසුයි. ඒ වගේම නිවැරදිව අල්ලා නොගත්තොත් හෂි වලින් ආහාර ගැනීම ඉතාම අපහසුයි.


මුලින්ම එක කෝටුවක මහත කෙලවර අතේ මහපට ඇඟිල්ලත්, දබරැඟිල්ල අල්ලට සවිවන තැනත් අතරට තියලා තද කරගන්න ඕනෙ. ඒ කෝටුවේ මැද හරිය නවාගත් වෙදැඟිල්ලට තද වෙන්න ඕනෙ. ආහාර ගද්දි මේ කෝටුව හොලවන්නේ නෑ. ඒ නිසා හම වෙලේම මේ කෝටුව මහපට ඇඟිල්ලෙන් හොඳට තද කරල තියාගන්න ඕනෙ.

ඊළඟට අනෙක් කෝටුව මහපට ඇඟිල්ල, මැද ඇඟිල්ල සහ දබරැඟිල්ල පාවිච්චි කරලා පෑනක් අල්ලනව වගේ අල්ල ගන්න ඕනෙ. ආහාර අල්ලා ගැනීමේදී අපි එහා මෙහා කරන්නේ මේ කෝටුව​. ඒ නිසා මේ කෝටුව අල්ල ගන්න ඕනෙ පහසුවෙන් හොලවන්න පුළුවන් විදිහට​. කෝටුව හොලවන්න පාවිච්චි කරන්නේ දබරැඟිල්ලත්, මැද ඇඟිල්ලත් පමණයි.

කෝටු දෙකේම සිහින් කෙලවර එක මට්ටමේ තිබීම ඉතාම වැදගත්.


හෂි පාවිච්චි කිරීමේදී පිළිපැදිය යුතු සිරිත් විරිත්


1. තතෙ-බෂි


හෂි පාවිච්චි කරද්දි කරන්න පුළුවන් අංක එකේ වැරැද්ද තමයි මේක​. කිසිම අවස්ථාවක හෂි කෝටු දෙක සිරස් අතට තියෙන විදිහට බත් කෝප්පයේ සිටුවා තැබීම නොකළ යුතුයි. මේක සාම්ප්‍රදායික ජපන් අවමඟුල් උත්සවයකදී කරන වතාවතක් නිසා කෑම මේසයේදී මේක කරන එක සලකන්නේ ඉතාම අශුභ දෙයක් විදිහට​. ඔබ කෑම මේසයේදී මේ දෙය කළොත්, අනෙක් අය මේසයෙන් නැගිටල යන්න පවා පුළුවන්.


2. හිරො-බෂි


හිරො-බෂි කියල හඳුන්වන්නේ කෝටු දෙකකින් කෝටු දෙකකට ආහාර හුවමාරු කිරීම​. මේකත් ජපන් අවමගුල් උත්සවයකදී කරන වතාවතකට බැඳුනු දෙයක්. මළ සිරුරක් ආදාහනය කළ පසු පිලිස්සී ඉතුරු වුනු අස්ථි කොටස් කුඩා බඳුනකට එකතු කරනවා. මෙහිදී අස්ථි කොටස් අහුලා ගන්න සහ එකිනෙකා අතර හුවමාරු කරන්න භාවිතා කරන්නේ හෂි කෝටු. කෑම හුවමාරු කිරීමත් මීට ගොඩක් සමාන නිසා ඒකත් සලකන්නේ ඉතාම අශුභ දෙයක් විදිහට​.


3. මයොයි බෂි



ආහාර බඳුන් මේසය මතට ගෙනාවට පස්සෙ ආහාර බෙදා ගනිද්දි හෂි කෝටු දෙක ආහාර බඳුන් වලට ඉහළින් ඒ මේ අත ගෙනයමින් "ආහාර සෙවීම​" සැලකෙන්නේ කෑදර පුද්ගලයෙක් ගේ ලක්‍ෂනයක් විදිහට​. ඒ නිසා ඒ දෙයත් කිසිසේත්ම නොකළ යුතු දෙයක්. තමා බෙදා ගන්නා දෙය මුලින් තීරණය කරලා එක වරම බෙදා ගැනීම තමයි කළ යුත්තේ.


4. නිගිරි-බෂි



හෂි කෝටු අල්ලද්දි කිසිම විටෙක අත මිට මොළවලා හෂි කෝටු දෙක අල්ලන්න හොඳ නෑ. ඒක සැලකෙන්නේ ඉතාමත් අශිෂ්ඨ හැසිරීමක් විදිහට​.


5. නෙබුරි-බෂි සහ කමි-බෂි



කිසිම අවස්ථාවක හෂි වල සිහින් කෙලවර ලෙව කෑම හෝ සැපීම නොකල යුතුයි. හෂි වලින් ආහාර කටට දා ගැනීමේදී හැකි සෑම විටම ඒවා තොල් වල අවම විදිහට ස්පර්ශ වන විදිහට කෑම ගන්න වග බලා ගන්න ඕනෙ.


6. සගුරි-බෂි



සුප් ආහාරයට ගද්දි කිසිම අවස්ථාවක සුප් එක කලවම් කරන්න හෂි කෝටු භාවිතා නොකල යුතුයි. මේ පුරුද්දෙන් අවට ඉන්න අයට ඔබ කෑම සමඟ සෙල්ලම් කරන බවක් හැඟෙන්න පුළුවන්. ඒක ජපන්නු සලකන්නේ ආහාර වලට කරන අගෞරවයක් විදිහට​.


7. යොසෙ-බෂි


කිසිම අවස්ථාවක මේසය මත තියෙන කෑම බඳුනක් තමා දෙසට ඇද ගන්න හෂි භාවිතා නොකල යුතුයි. හෂි තියෙන්නෙ කෑම කන්න මිස බඳුන් එහෙ මෙහෙ කරන්න නෙවෙයි.


8. සෂි-බෂි


කිසිම අවස්ථාවක හෂි කෝටුවෙන් ඇනල කෑම අමුනාගෙන කටට දාගන්න එක නොකල යුතුයි. හෂි කෝටු භාවිතා කරන්නේ කෑම අල්ලා ගැනීමට පමණයි.


9. මොචි-බෂි


කිසිම විටෙක බත් කෝප්පය සහ හෂි එකම අතෙන් අල්ලාගෙන ඉන්න බෑ. හැම විටම බත් කෝප්පය අල්ලන්න ඕනෙ නිදහස් අතෙන්.


10. වතෂි-බෂි


කෑම ගනිමින් ඉන්නකොට හෂි කෝටු දෙක බත් (හෝ වෙනත් කෑම​) කෝප්පය මත දිග අතට නොතැබිය යුතුයි. මේකෙන් අදහස් කරන්නේ ඔබ කෑම කාල අවසන් බව​. කෝප්පය තුල කෑම ඉතුරු වෙලා තිබියදී කෑම කාල අවසන් කරන එක ජපන්නු සලකන්නේ කෑම වලට කරන නිගරුවක් විදිහට​.


11. නමිද​-බෂි


කෑමක් සෝස් වල එබීමෙන් පස්සෙ කටට දාගන්න හෂි වලින් අල්ලල අරගෙන එද්දි කිසිම විටෙක සෝස් හැලෙන්න බෑ. ඔබ කෑම කටට දාගන්න පළමුව කෑමෙන් සෝස් වැක්කෙරෙන්නෙ නැති බව තහවුරු කරගන්න ඕනෙ.


12. ඔදොරි-බෂි


කෑම කන ගමන් කතා කරද්දි හෂි අතේ තියාගෙන අතින් අභිනයන් පෑම සැලකෙන්නේ ඉතාමත් අශිෂ්ඨ හැසිරීමක් විදිහට​. අතෙන් අභිනයන් පෑමට පෙර හැම විටම හෂි බිමින් තියල ඉන්න ඕනෙ.


13. වරිබෂි කඩන විදිහ​


වරිබෂි පාවිච්චි කරන්න කලින් කෝටු දෙක වෙන් කරන්න ඕනෙ. මේක කඩන නිවැරදි ක්‍රමය තමයි කෝටු දෙක තිරස්ව මේසයට කිට්ටුවෙන් තියාගෙන අල්ලල කඩන එක​. කිසිම විටෙක කෝටු සිරස්ව අල්ලගෙන හෝ තමාගේ පපුවට කෙලින් තියලගෙන කඩන්න හොඳ නෑ. සාමාන්‍යෙයෙන් වරිබෂි එන්නේ කඩදාසි දවටනයක ඔතලා. වරිබෂි පාවිච්චි කල පසු නැවත කඩදාසි දවටනයටම දාල තියන්න ඕනෙ.


14. පොදු පිඟානකින් කෑම බෙදා ගන්න විදිහ​

මේසය මත තියෙන පොදු පිඟානකින් කෑම බෙදා ගන්නකොට තමා ආහාරගන්න පාවිච්චි කරපු හෂි ඒ සඳහා පාවිච්චි කිරීම ඉතාම අශිෂ්ඨ හැසිරීමක්. නියම ක්‍රමයට නම් ඒ සඳහා වෙනම හෂි යුවලක් තියෙන්න ඕනෙ. වෙන කරන්න කිසිම දෙයක් නැත්තං තමාගේ හෂි වල මහත පැත්ත ඒ සඳහා භාවිතා කලාට කමක් නෑ. හැබැයි වෙන කරන්න කිසිම දෙයක් නැත්තං පමණයි.

පොදු පිඟානකින් කෑම බෙදාගද්දි කිසිම විටෙක පිඟාන අවුස්සමින් "හොඳ කෑලි" හොයන්න නරකයි. හැම වෙලේම උඩින්ම තියෙන දේ බෙදා ගන්න ඕනෙ.

ඒ වගේම කිසිම විටෙක පොදු පිඟානෙන් කෙලින්ම කෑම කටට දාගන්නෙ නෑ. මුලින් තමාගේ පිඟානට බෙදාගෙන ඉන්න ඕනෙ.


15. හෂිඔකි පාවිච්චි කිරීම​




හෂි මේසය මත තියන හැම වෙලාවකම ඒ සඳහා හෂිඔකි භාවිතා කරන්න ඕනෙ. ඒ වගේම හැම වෙලේම හෂි මේසය මත තියන්න ඕනෙ සිහින් පැත්ත වම් පැත්තට තියෙන විදිහට​.

සමහර වෙලාවට සමහර කුඩා අවන්හල් හෂිඔකි සපයන්නේ නෑ. ඒ වගේ වෙලාවට වරිබෂි ඔතල එන කඩදාසිය නවලා තාවකාලික හෂිඔකියක් හදා ගන්න පුළුවන්.


3 comments:

  1. මේ කෝටු දෙකෙන් බත් කන්නත් පුලුවන්ද කොහොමද එය කරන්නෙ

    ReplyDelete
  2. APITA MONATADA BAN MEWA .. ANIKA OKEN KANA BATHA BERI UNA ALAWENA BATHAK..

    ReplyDelete