Saturday, July 8, 2017

කොංගෝ අර්බුධය (1960-65) - 2

කොංගෝ ජනරජය​


1960 ජූනි 30 වෙනිදා කොංගෝවට නිල වශයෙන් නිදහස ලැබෙනවා. මේ සඳහා බෙල්ජියම් රජතුමා වන බෝඩුයින් රජු ලියෝපෝල්ඩ්විල් නගරයට එනවා.

නිදහස් දින උත්සවයේදී බෝඩුයින් රජු ඔහුගේ කථාවේදී කොංගෝවට නිදහස ලැබීම ලියෝපෝල්ඩ් රජු විසින් කොංගෝව ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමේ අවසානය විදිහටත්, ඉදිරියටත් කොංගෝව බෙල්ජියමේ අධාර පතනු ඇති බවට විශ්වාස කරන බවටත් කියනවා.

කොංගෝවට ඉමහත් විනාශයක් අත් කර දුන්න ලියෝපෝල්ඩ් රජුගේ පාලනය "ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමක්" විදිහට හඳුන්වාදීම ගැන උත්සව සභාවේ ඉන්න ස්වදේශිකයන් ඉමහත් කෝපයට පත් වෙනවා.

දෙවෙනි කතාව කරන ජනාධිපති කසවුබු උත්සවයට සහභාගී වීම ගැන බෙල්ජියම් රජුට ස්තූති කරලා කතාව කෙටියෙන් නිම කරනවා.

ඊළඟට අගමැති ලුමුම්බා කලින් සැලසුම් නොකළ කතාවක් පවත්වනවා. ප්‍රංශ භාෂාවෙන් පවත්වන මේ ව්‍යක්ත කතාවේදී ලුමුම්බා බෙල්ජියම් යටත් විජිත පාලනය දැඩි විවේචනයට ලක් කරනවා. ඊට අමතරව ඔහු කොංගෝ ජාතිකයන් ගෙන් වාර්ගික බැඳීම් අත හැරලා කොංගෝ ජාතිකවාදය වැළඳ ගන්නා ලෙසත්, බෙල්ජියමෙන් "නිදහස් සහ සමාන රාජ්‍යය දෙකක් අතර කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට එලැඹෙන" ලෙසත් ඉල්ලනවා. ඔහු කථාව අවසන් කරන්නේ කොංගෝවේ නිදහස මුළු මහත් අප්‍රිකා මහද්වීපයේ ම නිදහස් අරගලයේ සන්ධිස්ථානයක් විය යුතු බවට ප්‍රකාශ කරමින්.

සභාව අමතා කතා කරන ලුමුම්බා
මේ කථාවේදී ඔහු බෙල්ජියම් රජු අමතලා ප්‍රංශ භාෂාවෙන් "අපි තවදුරටත් නුඹලාගේ වඳුරන් නොවෙමු (නොවුස් නෙ සොමේස් ප්ලුස් වොස් මකාක්ස්)" යනුවෙන් පැවසූ බවට ජනප්‍රිය කතාවක් ඇතත්, ඒ බව තහවුරු කරන සාක්‍ෂි කිසිවක් නෑ.

මේ කතාව ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම දේශපාලන දේශනයක් විදිහටයි අද සැලකෙන්නෙ. මේ කතාව නිසා ලුමුම්බා බෙල්ජියම් වරුන් ගේ නොමද වෛරයට පාත්‍ර වෙනවා.

1960 ජූනි 30 වෙනිදා කොංගෝ ජනරජය (Republic of the Congo) ප්‍රකාශයට පත් කෙරෙනවා.

කොංගෝ ජනරජයේ කොඩිය​

හමුදා කැරලි


මේ වෙද්දි කොංගෝ හමුදාවේ හමුදාපති වෙන්නෙ බෙල්ජියම් ජාතික ලුතිනන් ජනරාල් එමිල් ජැන්සෙන්ස්. හමුදාවේ සියළුම නිලධාරීන් සුදු ජාතිකයෝ.

නිදහසත් එක්ක මේ තත්වය වෙනස් වෙලා තමාටත් නිලධාරී තනතුරු ලැබෙයි කියල ස්වදේශික සෙබළු බලාපොරොත්තු වෙනවා.

ඒත් ජැන්සෙන්ස් ලියෝපෝල්ඩ්විල් හමුදා කඳවුරේ ස්වදේශික සෙබළු කැඳවලා රැස්වීමක් තියෙනවා. එහිදී ඔහු කළු ලෑල්ලක "නිදහසට පෙර = නිදහසට පසු" කියල ලියනවා.

මේකෙන් ස්වදේශික සෙබළු ඉමහත් කැළඹීමකට ලක් වෙනවා. ඒ කැලඹීම ජූලි 5 වෙනිදා හමුදා කැරැල්ලක් දක්වා වර්ධනය වෙනවා.

ජැන්සෙන්ස් බලාපොරොත්තු වෙන්නෙ කැරැල්ල මැඩ පවත්වන්න බෙල්ජියම් හමුදා ඛන්ඩ යොදවයි කියලා. නමුත් ලුමුම්බා කරන්නෙ ඔහුව සහ සුදු ජාතික නිලධාරීන් රැසක් තනතුරු වලින් ඉවත් කරලා හමුදාව "කොංගෝ ජාතික හමුදාව​" විදිහට නම් කිරීම​.

නව හමුදාපති විදිහට සාජන්ට් මේජර් වරයෙක් වන වික්ටර් ලුන්ඩුලා මේජර් ජනරාල් තනතුරට උසස් කරලා පත් කෙරෙනවා. ඔහුගේ මාණ් ඩලික ප්‍රධානියා විදිහට හිටපු සාජන්ට් මේජර් වරයෙක් සහ ලුමුම්බා ගේ කිට්ටු මිත්‍රයෙක් වන ජෝශප් මොබුටු කල්නල් තනතුරට උසස් කරලා පත් කරනවා.

ජෝශප් මොබුටු
කසවුබු සහ ලුමුම්බා පුද්ගලිකවම හමුදා කඳවුරු වලට ගිහින් කැරැල්ල සමථයකට පත් කරන්න උත්සහ කරනවා. මේ උත්සහය යම් දුරකට සාර්ථක වුනත්, ගම්බද ප්‍රදේශ වල කැරලි කාරී හමුදා සෙබළු සුදු ජාතිකයන් ඝාතනය කරන්න සහ ඔවුන් ගේ දේපල මංකොල්ල කන්න පෙළඹෙනවා.

මේක නැවතත් කොංගෝවට අත පොවන්න බෙල්ජියම හේතුවක් කර ගන්නවා.

විදේශීය බලපෑම්


කොංගෝවේ තියෙන යුරේනියම් නිධි මේ වෙද්දි ඇමරිකාවේ සහ සෝවියට් දේශයේ අවධානයට ලක් වෙලා තිබ්බෙ. ඇත්තෙන්ම දෙවෙනි ලෝක යුධ සමයේ ඇමරිකාවේ පරමාණු බෝම්බ නිපදවන ව්‍යාපෘතියට යුරේනියම් ලබා ගත්තෙ කොංගෝවෙන්.

මේ නිසා ඇමරිකාව සහ සෝවියට් දේශය කොංගෝව දිහා සැලකිල්ලෙන් බලනවා. ඊට අමතරව බෙල්ජියම තමාගේ රටේ සමාගම් වලට අයිති තඹ​, කොබෝල්ට් සහ දියමන්ති පතල් ගැන සැලකිලිමත් වෙනවා.

මේ පතල් බොහොමයක් තියෙන්නෙ රටේ දකුණු දිග ප්‍රාන්ත වන කටන්ගා සහ කසායි ප්‍රාන්ත වල​.

බෙල්ජියම තමාගේ ඉත්තා විදිහට තෝරා ගන්නෙ දැඩි බටහිර හිතවාදී සහ සමාජවාදී විරෝධී මොයිසි ෂොම්බේ ව​. ඔහු කටන්ගා ප්‍රාන්තයේ වැඩි බලයක් අත් කරගෙන ඉන්නෙ.

බෙල්ජියම් හමුදා කොංගෝවට ඇතුල් වීම​


කොංගෝවේ ඉන්න බෙල්ජියම් ජාතිකයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා බෙල්ජියම් හමුදාව රටේ ප්‍රධාන නගර වලට පැරෂුට් සේනාංක ගොඩ බස්වනවා. මේ මෙහෙයුම නිසා ලුමුම් බා සහ කසවුබු අතර තිබුන සහයෝගය අවසන් වෙනවා.

කසවුබු බෙල්ජියම් හමුදා මෙහෙයුම් ඉවසුවත් ලුමුම්බා සලකන්නේ එය කොංගෝවේ ස්වෛරී භාවයට කරන තර්ජනයක් විදිහට​. ඔහු බෙල්ජියම් හමුදාවට පහර දෙන්න කොංගෝ ජාතික හමුදාවට අණ දෙනවා. නමුත් මේ ප්‍රහාර පහසුවෙන් මැඩ පවත්වන්න බෙල්ජියම් සෙබළු සමත් වෙනවා. බෙල්ජියම් නාවුක හමුදාව මටාඩි නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා.

කටන්ගාව වෙන්වීම​


1960 ජූලි 11 වැනිදා බෙල්ජියමේ අනුග්‍රහය මත මොයිසි ෂොම්බේ කටන්ගා ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස නම් කරනවා. එහි ජනාධිපති ලෙස ඔහු තමාවම පත් කර ගන්නවා. අගනුවර වෙන්නේ එළිසබෙත්විල් නගරය​.

කටන්ගා කොඩිය​
කටන්ගා ප්‍රාන්තය තමයි කොංගෝවේ වඩාත්ම සංවර්ධිත සහ ධනවත්ම ප්‍රාන්තය​. ෂොම්බේ කියන්නෙ කටන්ගා වැසියන් වන ලුබා සහ ලුන්ඩා ගෝත්‍රිකයන් අනෙකුත් කොංගෝ වැසියන් ගෙන් වෙනස් බවත්, කොංගෝවේ අනෙක් ප්‍රදේශ වල පවතින කලහකාරී තත්වයෙන් කටන්ගාව වෙන් කළ යුතු නිසා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළ බවත්.

ඒත් කටන්ගාවේ ප්‍රධානම පතල් සමාගම වන බෙල්ජියානු UMHK සමාගම ෂොම්බේ ට සහය දෙන්නෙ ඔවුන් ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන්.

කටන්ගාව කිසිම රටක් විසින් නිල වශයෙන් පිළිගන්නෙ නෑ. ඒත් ඊට බෙල්ජියානු සහ ඇමරිකන් ආධාර ලැබෙනවා.

ෂොම්බේ තමාගේ නව රාජ්‍යයට ජේසන් සෙන්ඩ්වේ ගේ සහය ලබා ගන්න උත්සහ කරත්, ඔහු ඊට සහය දෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු දිගටම ලියෝපෝල්ඩ්විල් රජයට සහය දෙනවා.

දකුණු කසායි වෙන්වීම​


1960 අගෝස්තු 9 වෙනිදා ඇල්බට් කලොන්ජි කසායි ප්‍රාන්තයේ ස්වාධීන පාලන ඒකකයක් ප්‍රකාශට පත් කරනවා. මේක කටන්ගාව වගේ වෙනම රාජ්‍යයක් විදිහට නෙවෙයි ප්‍රකාශ කෙරෙන්නෙ. කලොන්ජි අදහස් කරන්නේ කොංගෝව ඇතුළතම ස්වාධීන පාලන ප්‍රදේශයක් බිහි කරන්න​.

නමුත් ඔහුට සහය දෙන්නෙ කසායි ප්‍රාන්තයේ දකුණු දිග කුඩා කොටසක් පමණයි. ඔහු ඒ ප්‍රදේශය "දකුණු කසායි" ලෙස නම් කරනවා. කලොන්ජි එහි ජනාධිපති වශයෙන් පත් වෙනවා. අගනුවර වශයෙන් තෝරා ගැනෙන්නෙ බක්වන්ගා නගරය​.

දකුණු කසායි කොඩිය​
කසායි ප්‍රාන්තය දියමන්ති නිධි බහුල ප්‍රදේශයක්. කලොන්ජිට බෙල්ජියානු දියමන්‍ති පතල් සමාගමක් වන "ෆොමිනෙරේ" සමාගමේ සහය ලැබෙනවා.

එක්සත් ජාතීන් ගේ සාම මෙහෙයුම​


ෂොම්බේ සහ බෙල්ජියානු පතල් සමාගම් කටන්ගාව වෙනුවෙන් සටන් කරන්න යුරෝපීය සහ දකුණු අප්‍රිකාණු කුලී හමුදා යොදා ගන්නවා. මේ පළපුරුදු කුලී හමුදා සමඟ සටන් කරන්න කොංගෝ හමුදාවට ලේසි වෙන්නෙ නෑ.

කොංගෝව ක්‍රමයෙන් බිඳ වැටෙද්දි ලුමුම්බා එක්සත් ජාතීන් ගේ උදව් පතනවා. ඒ අනුව ජූලි 14 වෙනිදා එක්සත් ජාතීන් ගේ සංවිධානය සියළුම බෙල්ජියානු හමුදා කොංගෝවෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝහ කරනවා. ඊට අමතරව සාම සාධක හමුදාවක් කොංගෝවට එවනවා.

ලුමුම්බා බලාපොරොත්තු වෙන්නෙ එක්සත් ජාතීන් ගේ හමුදා කටන්ගාවට එරෙහිව සටන් කරන්න තමාට සහය දෙයි කියල​. ඒත් ඔවුන් කොංගෝවට එන්නෙ සාමය රැකීමේ කටයුතු සඳහා පමණයි.

ලුමුම්බා ඇමරිකාවෙන් සහය ඉල්ලනවා. ඒත් ඇමරිකාව සහය ලබා දීම ප්‍රතික්‍ෂේප කරනවා.

ලුමුම්බා ඊළඟට යොමු වෙන්නේ සෝවියට් දේශය දෙසට​. සෝවියට් දේශය මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. හමුදා උපදේශකයන් 1000 ක් සමඟ සෝවියට් යුධ ආයුධ රැසක් කොංගෝවට ලැබෙනවා.

සෝවියට් හමුදා උපදේශකයන් කොංගෝවට ආව බව දැන ගන්න ඇමරිකාව කලබල වෙනවා. ඔවුන් වහාම ලුමුම්බා බලයෙන් පහ කළ යුතු බව තීරණය කරනවා. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ ජනාධිපති කසවුබු.

කටන්ගාව වෙනුවෙන් සටන් කරන දකුණු අප්‍රිකාණු කුලී හමුදා

දකුණු කසායි යටත් වීම​


1960 අගෝස්තු මාසෙදි සෝවියට් හමුදා සහයෙන් ලුමුම්බා දකුණු කසායි ට එරෙහිව හමුදා මෙහෙයුමක් පටන් ගන්නවා. මේ ප්‍රහාරය අති සාර්ථක වෙනවා. අගෝස්තු 27 වෙනිදා කොංගෝ හමුදාව බක්වන්ගා නගරය අල්ලා ගන්නවා.

ඒත් මේ ජයග්‍රහණයත් එක්කම කසායි ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් ඇති වෙනවා. දකුණු කසායි බෙදුම්වාදයට සහය දුන්න ලුබා වාර්ගිකයන්ට එරෙහිව ප්‍රහාර ගණනාවක් ඇති වෙනවා. මේ ප්‍රහාරයන්ට කොංගෝ හමුදාවත් සහභාගී වෙනවා. ප්‍රහාරයන් ගෙන් ගැලවෙන්නෙ කටන්ගා ප්‍රාන්තයට පලා යන ලුබා වාර්ගිකයන්ට කටන්ගා හමුදාවේ සහ සිවිල් වැසියන් පහර දෙනවා. මේ ප්‍රචන්ඩ ක්‍රියා වලින් 3000 පමණ මිය යන අතර 100,000 පමණ සරණාගතයන් බවට පත් වෙනවා.

මේ ප්‍රචන්ඩ ක්‍රියාවන් තමයි ලුමුම්බා ගේ මරණ වරෙන්තුව වෙන්නෙ.

කොංගෝවේ රජය අර්බුධයට පත් වීම​


සෝවියට් සහය ලබන ලුමුම්බා ගේ කොංගෝ හමුදාව දකුණු කසායි යටත් කරගෙන ඊළඟට කටන්ගා ප්‍රාන්තයට පහර දෙන්න සූදානම් වෙනවා. ඒ වෙලාවෙ තමයි ඇමරිකානු මෙහෙයවීම යටතේ ලුමුම්බාට එරෙහිව කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙන්නෙ.

බෙල්ජියමේ සැලසුම වෙන්නෙ මධ්‍යගත පාලනයක් වෙනුවෙන් පෙනී ඉන්න ලුමුම්බා වෙනුවට ෆෙඩරල් මතධාරී කසවූබූ බලයට පත් කරලා ෆෙඩරල් කොංගෝවක් නිර්මානය කරන්න​. දුර්වල ෆෙඩරල් කොංගෝවක් හරහා තමාගේ පතල් කර්මාන්ත ආරක්‍ෂා  කරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඇමරිකාවේ අරමුණ වෙන්නෙ සෝවියට් හිතවාදී ලුමුම්බා බලයෙන් පහ කරල කොංගෝවේ ඇමරිකන් හිතවාදී රජයක් පත් කර ගැනීම​.

මේ සඳහා ඔවුන් ලුමුම්බාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කසවුබු පොළඹවනවා.

ඒ අනුව 1960 සැප්තැම්බර් 5 වෙනිදා කසවුබූ නිවේදනය කරනවා තමා ලුමුම්බා ව අගමැති ධූරයෙන් ඉවත් කළ බව​. ඒකට හේතුව ලෙස ඔහු දක්වන්නේ කසායි හි ඇතිවුන වාර්ගික ගැටුම් සහ කොංගෝ හමුදාව සිදුකළ සමූහ ඝාතන​.  ඔහු ඒ වෙනුවට ඇල්බට් කලොන්ජි ගේ MNC-K පක්‍ෂයේ ජෝශප් ඉලෙයෝ අගමැති ලෙස නම් කරනවා.

නමුත් පාර්ලිමේන්තුව කසවුබු ගේ නිවේදනය පිළිගන්නේ නෑ. ඔවුන් ලුමුම්බාට සහය දෙන බව ප්‍රකශ කරනවා. ලුමුම්බා කරන්නෙ ඔහු කසවුබුව බලයෙන් පහ කළ බව නිවේදනය කිරීම​. නමුත් කසවුබු කියනවා ඔහුට එසේ කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව​. මේ අනුව දැඩි රාජ්‍යය අර්බුධයක් ඇති වෙනවා.

සැප්තැම්බර් 20 වෙනිදා ජෝශප් මොබුටු තමාට හිතවත් හමුදා කණ්ඩායම් යොදවලා ලුමුම්බා සහ කසවුබු යන දෙදෙනාවම අත් අඩංගුවට ගන්නවා. ඔහු කියන්නෙ තමා කොංගෝවේ ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාකළ බව​.

මොබුටු විශ්ව විද්‍යාල උපාධිධාරීන් පිරිසකගෙන් සමන්විත අන්තර්වාර රජයක් පිහිටුවනවා. එහි සභාපති වෙන්නෙ ජස්ටින් බොම්බෝකො.

මේ අතර ඇල්බට් කොලොන්ජි යටතේ දකුණු කසායි ප්‍රාන්තයට අර්ධ ස්වාධීන තත්වයක් හිමිවෙනවා.

මොබුටු සෝවියට් යුධ උපදේශකයන්ට වහාම කොංගෝවෙන් පිට වෙන්න නියෝග කරනවා. ඒ අතර මොබුටු විසින් ලුමුම්බා ව නිවාස අඩස්සියට පත් කරනවා. ඔහුගේ ආරක්‍ෂාවට එක්සත් ජාතීන් ගේ හමුදා ඛණ්ඩයකුත් රඳවනවා.

කැරලිකාරී රජය


1960 නොවැම්බර් 13 වෙනිදා අන්තෝනි ගිසෙන්ගා සහ තවත් ලුමුම්බා හිතවාදීන් පිරිසක් නැගෙනහිර කොංගෝවේ ස්ටැන්ලිවිල් නගරයට පලා ගිහින් කැරලිකාරී විකල්ප රජයක් පිහිටුවන්න කටයුතු කරනවා. ඔවුන්ට ඔරියෙන්ටාල් සහ කිවූ ප්‍රාන්ත වල බලය තහවුරු කර ගන්න පුළුවන් වෙනවා. 12,000 ක සෙබළ ප්‍රමානයක් සහිත කොංගෝ හමුදාවෙන් 5000 ක් ඔවුන්ට පක්‍ෂපාතීත්වය පළ කරනවා.

1960 දෙසැම්බර් 12 වෙනිදා ගිසෙන්ගා "නිදහස් කොංගෝ ජනරජය​" ප්‍රකාශයට පත් කරනවා. සෝවියට් දේශය සහ චීනය ඇතුළු සමාජවාදී කඳවුරේ රටවල් ඔහුගේ රජය කොංගෝවේ නීත්‍යානුකූල රජය විදිහට පිළිගන්නවා. බටහිර රටවල් පිළිගන්නේ ලියෝපෝල්ඩ්විල් රජයයි.

1961 දී කොංගෝවේ දේශපාලන වාතාවරණය​

ලුමුම්බා මරා දැමීම​


1960 නොවැම්බර් 27 වෙනිදා ලුමුම්බා තමාගේ ජීවිතය අනතුරේ බව වටහාගෙන ස්ටැන්ලිවිල් කරා පලා යන්න උත්සහ කරනවා. නමුත් අතරමගදී ඔහු මොබුටු හිතවාදී හමුදා විසින් අත් අඩංගුවට ගන්නවා.

ලුමුම්බාගේ අත් අඩංගුවට ගැනීමත් සමඟම සෝවියට් දේශය එක්සත් ජාතීන් ගේ මහ ලේකම් දැඩි විවේචනයට ලක් කරලා වහාම ලුමුම්බා අගමැති විය යුතු බවටත්, කටන්ගාවට සහය දෙන බෙල්ජියම් හමුදා ඉවත් විය යුතු බවටත් ඉල්ලා සිටිනවා. නමුත් ඒ යෝජනාවන් පරාජයට පත් වෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් යුගොස්ලාවියාව​, ඝානාව සහ ලංකාව ඇතුළු රටවල් කීපයක් කොංගෝවේ ඉන්න තමාගේ හමුදා ඉවත් කරගන්නවා.

මේ අතර ලුමුම් බා සහ ඔහුගේ අනුගාමිකයන් දෙදෙනෙක් වන මොරිස් ම්පෝලෝ සහ ජෝශප් ඔකිටෝ රඳවා තියෙන හමුදා කඳවුරේ කැරැල්ලක් ඇති වෙනවා. තත්වය භයානක බව තේරුම් ගන්න මොබුටු සහ කසවුබු බෙල්ජියම් රජයේ උපදෙස් පිට ලුමුම්බා සහ අනුගාමිකයන් ව කටන්ගාවට පිටත් කර හරිනවා.

1961 ජනවාරි 17 වෙනිදා ලුමුම්බා එළිසබෙත්විල් නගරයට ගුවන් මගින් ගෙනියනවා. එහිදී ඔහු නොයෙකුත් වධ බන් ධනයන්ට ලක් කෙරෙනවා. එහිදී පහර දීම සහ ඔහුගේ කථා ලියූ කඩදාසි බලෙන් කැවීම සිදු කෙරෙනවා. මේ සියල්ල කෙරෙන්නේ මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම​. මේ සඳහා බෙල්ජියම් හමුදා නිලධාරීන් සහභාගී වෙනවා.

ලුමුම්බා, ම්පෝලෝ සහ ඔකිටෝ අත් අඩංගුවේ
ජනවාරි 17 වෙනිදා මහ රෑ ලුමුම්බා, ම්පෝලෝ සහ ඔකිටෝ පාළු ස්ථානයකට රැගෙන ගොස් ගසකට හේත්තු කර වෙඩි තැබීමෙන් මරා දැමෙනවා. මේ අවස්ථාවට ෂොම්බේත් සහභාගී වෙනවා.

පසුව බෙල්ජියම් හමුදා නිලධාරීන් ඔහුගේ සිරුර කැබලි කොට සල්ෆියුරික් අම්ලයේ දිය කර අස්ථි කුඩු කර විසිරුවා හැරීමෙන් විනාශ කර දමනවා.

කසවුබු පාලනය​


ජනවාරි මාසය පුරාම බෙල්ජියම් සහය ලබන මොබුටු ගේ ලියෝපෝල්ඩ්විල් හමුදා සහ ගිසෙන්ගා ගේ ස්ටැන්ලිවිල් හමුදා අතර සටන් ඇවිලෙනවා. ස්ටැන්ලිවිල් හමුදා සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වමින් බලය රැක ගන්න සමත් වෙනවා. ඒ එක්කම ඔවුන් කටන්ගාවේ උතුරු කොටස ආක්‍රමනය කරලා එහි බලය තහවුරු කරගන්නවා.

තත්වය දරුණු අතට හැරීගෙන එද්දි පෙබරවාරි 9 වෙනිදා ඇමරිකානු සහ බෙල්ජියම් උපදෙස් පිට මොබුටු අන්තර්වාර රජය විසුරුවා හැරලා කසුවුබු නැවත ජනාධිපති ධුරයට පත් කරනවා. කසුවුබු තමාගේ අගමැති ලෙස නැවතත් ජෝශප් ඉලෙයෝ තෝරා ගන්නවා.

කසුවුබු ෆෙඩරල් කොංගෝවක් ගොඩ නැංවීමට කැරලිකාර පාර්ශවයන් එක්ක සාකච්ඡා කරනවා.මේ සාකච්ඡා සාර්ථක වෙන්නෙ නෑ. ඒ අතරෙ කටන්ගාවේ දී කටන්ගා හමුදාව සහ එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාව අතර සටන් ඇතිවෙනවා.

ඒ නිසා ඇමරිකන් උපදෙස් පිට අගෝස්තු 2 වෙනි දා මධ්‍යස්ථ මත ධාරී ලුමුම්බා පාක්‍ෂිකයෙක් වන සිරිල් අඩූලා අගමැති ධූරයට පත් කෙරෙනවා. එහි අරමුන වෙන්නෙ සියළු පාර්ශවයන් ගේ සහය ලබා ගෙන ගැටුම් නිමා කිරීම​.

අඩූලා අගමැති වීමත් එක්කම ගිසෙන්ගා ඔහුගේ උප අගමැති වශයෙන් නැවතත් රජයට එක් වීමට කැමැත්ත පළ කරනවා. දකුණු කසායි අර්ධ ස්වාධීන ප්‍රාන්තයක් කිරීමේ පොරොන්දුව මත ඇල්බට් කොලොන්ජිත් රජයට සහය පළ කරනවා. නමුත් ෂොම්බේ සමඟ සාකච්ඡා සාර්ථක වෙන්නෙ නෑ.

මේ අතර ෂොම්බේ දකුණු අප්‍රිකානු සහ බෙල්ජියම් ජාතික කුලී හේවායන් විශාල ප්‍රමානයක් ගෙන්වාගෙන එක්සත් ජාතීන් ගේ හමුදාවන්ට පහර දෙන්න පටන් ගන්නවා. 1961 සැප්තැම්බර් මාසයේදී ගැටුම් උග්‍ර වෙනවා.

එක්සත් ජාතීන් සහ කටන්ගාව අතර සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරන්න කොංගෝවට එන එක්සත් ජාතීන් ගේ මහ ලේකම් ස්වීඩන් ජාතික හැමර්ස්ජොල්ඩ් ගුවන් අනතුරකින් මිය යනවා. නව මහ ලේකම් විදිහට පත් වෙන්නෙ බුරුම ජාතික යූ තාන්ට්. ඔහු හැමර්ස්ජොල්ඩ් ගේ කටන්ගාවට සහනශීලී ප්‍රතිපත්තිය ඉවත දාල දැඩි ප්‍රතිපත්තියකට යනවා.

මේ අතර අඩූලා සහ ගිසෙන්ගා අතර ගැටුම් ඇති වෙනවා. අඩූලා බටහිර රටවල රූකඩයක් කියල චෝදනා කරන ගිසෙන්ගා නැවත ස්ටැන්ලිවිල් කරා යනවා.

ගිසෙන්ගා ස්ටැන්ලිවිල් නගරයේ ඉඳලා හමුදාවක් රැස් කරනවා කටන් ගාවට පහර දෙන්න​. නමුත් මේ ප්‍රහාරය අසාර්ථක වෙනවා. ඒ අතර ගිසෙන්ගා ගේ සෙබළු එක්සත් ජාතීන් ගේ හමුදා ඛන්ඩයකට පහර දීම නිසා 1962 ජනවාරි 10 වෙනිදා කොංගෝ හමුදාපති වික්ටර් ලුන්ඩුලා සහ එක්සත් ජාතීන් ගේ නියෝජිතයන් ඒ පිළිබඳව පරීක්‍ෂන කරන්න ස්ටැන්ලිවිල් නගරයට එනවා. ගිසෙන්ගාට වහාම ලියෝපෝල්ඩ්විල් නගරයට එන ලෙස රජය නියෝග කරනවා. නමුත් ගිසෙන්ගා ඒ නියෝගය ප්‍රතික්‍ෂේප කරලා ලුන්ඩුලා සහ එක්සත් ජාතීන් ගේ නියෝජිතයන් ව අත් අඩංගුවට ගන්න උත්සහ කරනවා.

ජනවාරි 10-16 කාලය පුරාවට කොංගෝ රජයේ හමුදා සහ එක්සත් ජාතීන් ගේ හමුදා ගිසෙන්ගාට හිතවත් හමුදාවන් එක්ක ස්ටැන්ලිවිල් නගරයේ සටන් කරනවා. සටන නිම වෙන්නෙ ගිසෙන්ගා අත් අඩංගුවට පත් වීමෙන්.

ගිසෙන්ගා සිර ගත කෙරෙනවා. ලුමුම්බා පාක්‍ෂිකයන් ගේ  නිදහස් කොංගෝ ජනරජය එතැනින් නිමාවට පත් වෙනවා.

බෙදුම්වාදී රාජ්‍යයන් යටත් කර ගැනීම​


1962 සැප්තැම්බර් මාසයේදී ඇල්බට් කලොන්ජි ට එරෙහිව දකුණු කසායි හි කුමන්ත්‍රනයක් ඇති වෙනවා. කොංගෝ හමුදාව ඔක්තෝබර් 5 වෙනිදා කුමන්ත්‍රනකාරීන්ට සහය පල කරමින් දකුණු කසායි සම්පූර්නයෙන්ම යටත් කර ගන්නවා.

1962 දෙසැම්බර් මාසය වෙද්දි එක්සත් ජාතීන් ගේ හමුදා සහ කටන්ගාව අතර සටන් දරුණු අතට හැරිලා. 1962 අවුරුද්ද අවසන් වෙද්දි එක්සත් ජාතීන් ගේ හමුදා කටන් ගා හමුදා සම්පූර්නයෙන්ම පරාජය කරලා කටන්ගාව කොංගෝ රජයේ භාරයට පත් කරනවා.

1963 ජනවාරි 21 වෙනිදා ෂොම්බේ රොඩීෂියාව හරහා ස්පාඤ්ඤයට පැනලා යනවා. එතැනින් කටන්ගාවේ බෙදුම්වාදය නිමා වෙනවා. කොංගෝව සම්පූර්නයෙන්ම එක්සත් රාජ්‍යයක් වෙනවා.

කොංගෝ ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජය​


1963 දි සියළු දේශපාලන කණ්ඩායම් අතර සම්මුතියෙන් නව ව්‍යවස්ථාවක් ඇති කර ගන්නවා. මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෙ බලය වැඩි කරන අතර​, අගමැති ගේ බලය අඩු කෙරෙනවා. ඒ එක්කම කොංගෝව ප්‍රාන්ත 21 කට බෙදලා ඒ ඒ ප්‍රාන්තයට සෑහෙන ස්වාධීනත්වයක් හිමිවන ආකාරයට බලය බෙදනවා.

මේ ව්‍යවස්ථාවෙන් රටේ නම "කොංගෝ ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජය​" කියල වෙනස් කෙරෙනවා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ධජය​
ෆෙඩරල් ව්‍යවස්ථාවට විරෝධය පාලා ලුමුම්බා වාදීන් පිරිසක් අසල්වැසි කොංගෝ ජනරජයේ (වෙනත් රටක්) "ජාතික විමුක්ති සංවිධානය​" කියල සංවිධානයක් පිහිටුවා ගන්නවා.

අළුත් ව්‍යවස්ථාව හැදුවට පස්සෙ බටහිරයන්ට තව දුරටත් මධ්‍යස්ථ මත ධාරී සිරිල් අඩූලා වැදගත් වෙන්නෙ නෑ. කසවුබු ඔහුව ඉවත් කරල නව අගමැති වශයෙන් ස්පාඤ්ඤයට පලා ගිය මොයිසි ෂොම්බේ නම් කරනවා.

සිම්බා කැරැල්ල​

ෂොම්බේ බලයට පත් වෙන්නෙ 1964 ජූලි 10 වෙනිදා. ඔහු 1965 මාර්තු මාසයේදී මැතිවරණයක් තියන්න සැලසුම් කරනවා.

ඒත් බටහිර හිතවාදී ෂොම්බේ බලයට පත් වීමත් එක්කම නැවතත් කොංගෝවේ කැරලි ඇති වෙනවා.

ප්‍රධාන වශයෙන් කැරලි දෙකක් ඇති වෙනවා. පළමුවැන්න "කිවිලු කැරැල්ල​". එහි නායකත්වය ගන්නෙ ලුමුම්බා පාක්‍ෂිකයෙක් සහ මාඕ වාදියෙක් වන පියරේ මුලේලේ. ඔහුට චීන සහය ලැබෙනවා. කිවිලු දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කර ගන්න ඔහුට පුළුවන් වෙනවා.

පියරේ මුලේලේ
වඩා බරපතල දෙවෙනි කැරැල්ල පැන නගින්නෙ ඔරියෙන්ටාල් සහ කිවූ ප්‍රාන්ත වල​. එහි නායකත්වය ගන්නෙ ජාතික විමුක්ති සංවිධානයේ නායක ක්‍රිස්ටෝපර් ග්බෙන්‍.යේ.

ක්‍රිස්ටෝපර් ග්බෙන්‍.යේ
ඔහු ගේ සංවිධානය තමාව හඳුන්වා ගන්නේ "සිම්බා" කියල​. ස්වාහිලි භාෂාවෙන් "සිම්බා" කියන්නෙ සිංහයා. කැරැල්ලේ අනිකුත් නායකයන් වෙන්නෙ ගැස්ටන් සෝමියාලොට් සහ ලෝරන්ට් කබීලා.

මේ කැරැල්ල දැඩි ජාතිකවාදී ස්වරූපයක් ගන්නවා. කැරලිකරුවන් සාම්ප්‍රදායික අප්‍රිකාණු මතවාදීන් වන අතර​, ඔවුන් දැඩි විදේශීය විරෝධී පිළිවෙතක් අනුගමනය කරනවා.

කැරැල්ල පටන් අරන් ටික දවසකින්ම නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශයක් කැරලි කරුවන් යටතට පත් වෙනවා. 1964 අගෝස්තු මාසය වෙද්දි කැරලි කරුවන් ස්ටැන්ලිවිල් නගරය අල්ලා ගන්නවා. කැරලිකරුවන් සමඟ සටන් බිමට යන සාම්ප්‍රදායික යකැදුරන් නිසා කොංගෝ රජයේ සෙබළු ඔවුන්ට විරුද්ධව සටන් කරන්න බය වෙනවා. ස්ටැන්ලිවිල් නගරයට පහර දෙන්නෙ කැරලි කරුවන් 40 ක පිරිසක්. ඔවුන් නගරයට කඩා වදිද්දි 1500 ක රජයේ හමුදාව සටන් නොකරම පළා යනවා.

සිම්බා කැරලිකරුවන්
කැරලි කරුවන් "කොංගෝ මහජන ජනරජය" නමින් වෙනම රටක් ප්‍රකාශ කරනවා.

කැරලි කරුවන් තමාට යටත් වුන ප්‍රදේශ වල දේශපාලන විරුද්ධවාදීන් සහ සුදු ජාතිකයන්ට විරුද්ධව දරුණු භීෂනයක් දියත් කරනවා. දහස් ගණනක් ඝාතනය කෙරෙනවා.

අගෝස්තු මාසය අවසන් වෙද්දි 3000 ක පමණ කැරලි කාර හමුදාවක් කසායි ප්‍රාන්තයට කඩා වදිනවා. කසායි ප්‍රාන්තය කැරලි කරුවන් යටතට පත් වුනොත් කොංගෝ රජයේ පාලන ප්‍රදේශ දෙකට කැඩෙන නිසා ෂොම්බේ නැවතත්  විදේශීය කුලී හමුදා කැඳවන්න තීරණය කරනවා.

1964 අගෝස්තු මාසයේදී කොංගෝවේ තත්වය​
 කුලී හමුදාවන් ගෙන් සහය ලබන කොංගෝ රජයේ හමුදා කසායි ප්‍රාන්තයේ දී සිම් බා කැරලි කරුවන් ට දරුණු පරාජයක් ලබා දෙන්න සමත් වෙනවා.

කසායි ප්‍රාන්තයෙන් කැරලි කරුවන් ව පලවා හැරිය පසු රජයේ හමුදා කිවූ ප්‍රාන්තයේ අගනුවර වන ඇල්බට්විල් නගරය අල්ලා ගන්නවා. ඇල්බට්විල් නගරය අහිමි වීමෙන් කැරලිකරුවන්ට ටැන්සානියාවේ සිට එන යුධ ආධාර අහිමි වෙන නිසා ඔවුන් ගේ තත්වය නරක අතට හැරෙනවා.

කැරලි කරුවන් පසු බහිද්දි ෂොම්බේ ගේ කුලී හමුදාවන් ප්‍රතිභීෂනයක් දියත් කරනවා. දහස් ගණන් මරා දැමෙනවා. 

මරා දැමුණු කැරලි කරුවන්
1964 නොවැම්බර් මාසය වෙද්දි කැරලි හමුදාව ස්ටැන්ලිවිල් නගරයට කොටු කරන්න රජයේ හමුදා සමත් වෙනවා. ඔවුන් සුදු ජාතිකයන් 1800 ක් ප්‍රාන ඇපකරුවන් විදිහට රඳවා ගන්නවා.

ප්‍රාන ඇපකරුවන් මුදවා ගන්න ඇමරිකානු ගුවන් යානා වලින් බෙල්ජියම් පැරෂුට් සෙබළු ස්ටැන්ලිවිල් නගරයට ගොඩ බසිනවා. ඔවුන් කැරලි කරුවන් විනාශ කරලා ප්‍රාන ඇපකරුවන් මුදවා ගන්න සමත් වෙනවා. නමුත් ප්‍රහාරයෙන් ස්වදේශිකයන් 1000 ක් පමණ මිය යනවා.

ප්‍රහාරයට සහභාගී වුනු බෙල්ජියම් සෙබළු
මේ ප්‍රහාරයෙන් පස්සෙ සිම්බා කැරලිකරුවන් ගෙ බලය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. ඔවුන් කොංගෝවේ නැගෙනහිර දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශ කීපයකට සීමා වෙනවා. කැරලි නායකයන් රටෙන් පලා ගිහින් විදේශ ගතව කැරල්ල මෙහෙයවනවා.

කිවුලු කැරැල්ලත් ඉක්මනින්ම මැඩ පවත්වන්න රජයේ හමුදාවන් සමත් වෙනවා. මුලේලේ රටෙන් පලා යනවා.

1965 අප්‍රේල් මාසයේදී චේ ගුවාරා සහ කියුබානු ගරිල්ලා සෙබළු පිරිසක් කැරලිකරුවන්ට උදව් කරන්න කොංගෝවට එනවා. නමුත් ඒ වෙද්දි කැරලි කරුවන් ගේ බලය සම්පූර්නයෙන්ම බිඳ වැටිලා අවසානයි. මාස කීපයක අසාර්ථක උත්සහයකින් පස්සෙ චේ සහ කියුබානුවන් ආපසු යනවා.

චේ කොංගෝවේ

 මැතිවරණය සහ මොබුටු බලයට පත්වීම​


1965 මාර්තු මාසයේ පවත්වන මැතිවරණයෙන් ෂොම්බේ ගේ කොංගෝ ජාතික සංගමය ආසන 167 න් 38 ක් ජයගෙන වැඩිම ආසන ගණනක් දිනා ගන්න පක්‍ෂය බවට පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතර සහය ඔහුට ලැබෙන්නෙ නෑ. පාර්ලිමේන්තු බලය කුඩා ප්‍රාදේශීය පක්‍ෂ ගණනාවක් අතරේ බෙදී යනවා. ෆෙඩරල් මොඩලයේ අසාර්ථක භාවය තහවුරු වෙනවා.

කසවුබු අගමැති ධූරය ෂොම්බේ ට නොදී එවරිස්ටේ කිම්බාට ලබා දෙනවා. නමුත් ඔහුටත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. ඒකෙන් නැවතත් පාර්ලිමේන්තුව අර්බුධයට යනවා.

නොවැම්බර් 25 වෙනිදා මොබුටු නැවතත් බලය අල්ලා ගන්නවා. ඔහු කසවුබු සහ කිම්බා බලයෙන් පහ කරලා සියළුම බලය තමා වෙත පවරා ගන්නවා. අවුරුදු පහකින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඔහු පොරොන්දු වෙනවා.

කොංගෝවේ නැවතත් මැතිවරණයක් පැවැත්වෙන්නෙ 2006 දි.

පසු කතාව​


මොබුටු නැවතත් කොංගෝව මධ්‍යගත ජාතිකවාදයක් ඔස්සේ ගොඩ නංවනවා. ප්‍රාන්ත ගණන අඩු කරලා ඒවාට ලැබෙන බලතල අඩු කරනවා. "අප්‍රිකාණු කරන" වැඩ සටහනක් දියත් කරනවා. ඒ අනුව රටේ නම "සයරේ" ලෙස වෙනස් කරනවා. සියළුම ප්‍රධාන නගරවලට අප්‍රිකාණු නම් ලබා දෙනවා. ඒ අනුව ලියෝපෝල්ඩ්විල් නගරය කින්‍ශාෂා ලෙසත්, ස්ටැන්ලිවිල් නගරය කිසන්ගානි ලෙසත්, එළිසබෙත්විල් නගරය ලුබුම්බාෂි ලෙසත් නම් කෙරෙනවා.

සයරේ ධජය​
නමුත් මොබුටු ගේ පාලනය අන්ත දූෂිත සහ දැඩි මර්ධනකාරී එකක්. ඔහු තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ට රටේ ජාතික ධන කොල්ල කන්න ඉඩ දෙනවා. බටහිර රටවල් මොබුටු ට සහය දෙමින් කොංගෝවේ සොබාවික සම්පත් කොල්ලය දිගටම සිදු කරනවා.

ලුමුම්බා මරණයෙන් පස්සෙ අප්‍රිකාවේ ජාතික වීරයෙක් බවට පත් වෙනවා. අප්‍රිකාවේ යටත් විජිතවාදයට එරෙහි සටනේ සංකේතය වෙන්නෙ ලුමුම්බා. සෝවියට් දේශයේ මිත්‍රත්ව සරසවිය ඔහු නමින් නම් කෙරෙනවා.

මොබුටු දැඩි ඒකාධිපති පාලනයක් ගෙනියනවා. 1997 දී ලෝරන්ට් කබීලා ගේ කැරලි හමුදාව කොංගෝවේ බලය අල්ලා ගන්නවා. ඔහු මොරොක්කෝවට පලා යනවා. 1997 සැප්තැම්බර් 7 වෙනිදා ගුද මාර්ගයේ පිළිකාවකින් මිය යනවා.

කසවුබු බලයෙන් පහ කෙරුණු පසු දේශපාලනයෙන් සමු ගන්නවා. 1969 දී ඔහු තමාගේ ගොවිපොළේ දී මිය යනවා.

ෂොම්බේ මොබුටු ගේ බලය පැහැර ගැනීමෙන් පස්සේ නැවතත් ස්පාඤ්ඤයට පලා යනවා. මොබුටු ඔහුට මරණ දඬුවම නියම කරනවා. 1967 දී ඔහු ගමන් කළ ගුවන් යානය පැහැරගෙන ඇල්ජීරියාවට ගෙනියනවා. එහිදී ඔහු සිරගත කෙරෙනවා. 1969 දී ඔහු හෘදයාබාධයකින් මිය යනවා.

ගිසෙන්ගා මොබුටු බලයට පත් වීමත් සමඟම නිදහස් කෙරෙනවා. ඔහු සෝවියට් දේශයේ පදිංචියට යනවා. රටවල් ගණනාවක ජීවත් වෙන ගිසෙන්ගා 1993 දී නැවත කොංගෝවට ඇවිත් ලුමුම්බා වාදී දේශපාලන පක්‍ෂයක් හදනවා. 2006 සිට 2008 දක්වා කොංගෝවේ අගමැති ධූරයත් දරනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන ඔහු කොංගෝවේ ජාතික වීරයෙක් වශයෙන් නම් කෙරෙනවා.

අඩූලා ෂොම් බේ අගමැති වීමත් සමඟම රටින් පිටවෙනවා. මොබුටු බලය ලබා ගැනීමත් එක්කම නැවත කොංගෝවට ඇවිත් තානාපති ධූරයක් සහ ඇමති ධූරයක් දරනවා.1978 දී ඔහු මිය යනවා.

මුලේලේ රටෙන් පලා ගියත් මොබුටු බලය ලබා ගැනීමෙන් පසු ඔහුගේ ආරාධනයෙන් නැවතත් කොංගෝවට එනවා. එහිදී ඔහුව ඇස් උගුල්ලලා, අත් පා සහ ලිංගේන්.ද්‍රිය කපා දමලා මරා දැමෙනවා. ඔහුගේ සිරුර කොංගෝ නදියට විසි කරනවා.

ග්බෙන්.යේ උගන්ඩාවට පලා යනවා. මොබුටු බලයෙන් පහ වීමත් සමඟම නැවත කොංගෝවට එන ඔහු 2015 දී මිය යනවා.

කොංගෝව මොබුටු ගේ පාලනය අතරතුරත් ඉන් පසුවත් දුප්පත් රටක් විදිහට පවතිනවා. දිගින් දිගටම රටේ කැරලි සහ යුද්ධ ඇති වෙනවා. 1998 - 2003 දෙවෙනි කොංගෝ යුද්ධයෙන් මිලියන 5 ක් මිය යනවා.

අදටත් කොංගෝවේ පතල් කර්මාන්තය පාලනය කරන්නෙ විදේශීය සමාගම්.

2 comments:

  1. දිග කතාව කොට කලොත් වීරයෙක් කියලා එකෙක් පෙන්නන්න බැරි කොන්ගෝ දේශයේ මගේ වැඩිම ප්‍රසාදය ලබන්නේ මොබුටු. වඩාත්ම ප්‍රායෝගික මිනිහා ඔහු. ඒ වගේම ඔහු පිටරැටියන් ගේ අතකොලු ස්වදේශිකයන්ට වදදුන් රටක ඊට වඩා හොඳින් විදෙස් බලපෑම් පාලනය කරනවා. කොන්ගෝ ඉතිහාසය ලේ විලක් එහි එකම ස්ථාවර කාලය මොබුටු පාලන කාලය.

    ලුමුම්බා අතාත්විකයි අසාර්ථකයි එයා ගිය ගමන කොහොමත් යන්න ලැබෙන්නේ නැහැ. අනික ඔහොම රටක් පවත්වා ගන්නත් බැහැ. ඕක බෙල්ජියම් කාරය හදාපු විකෘතියක්. මොබුටු නොඉන්න මෙලාකටත් ඕක කැඩිලා. දැනුත් මේ මොහොතේ කබීලා පිය පුතු අසාර්ථක පාලනය අගනුවර අවට පමණයි ක්‍රියාත්මක. රටතුල මෙල්ල නොකළ අවි දරණ කල්ලි විසි ගානක් තැන තැන බලය තහවුරු කරගෙන ඉන්නවා.

    මෑත ඉතිහාසයේ ලෝකයේ විශාලතම ජීවිත විනාශයක් වුන තැනක්.

    ReplyDelete