Wednesday, January 25, 2017

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 3 (ගෙංකි)



ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

තුන්වෙනි වචනය : ගෙංකි


ගෙංකි කියන එක කෙලින්ම පරිවර්තනය කරන්න අමාරුයි. ඒකෙ අදහස "ශක්තිය, ජීව ගුණය, සෞඛ්‍යය සම්පන්න බව, උද්‍යෝගීමත් බව" වගේ දෙයක්. ඒක යම් කිසිවෙක්ට දැනෙන හැඟීමක්. දුකක්, සතුටක් වගේ.

ජපන්නු මුණගැහිල එකිනෙකාට සුබ පතද්දි (සුබ උදෑසනක්, සුබ සැන්දෑවක් වගේ ඒව කිව්වට පස්සෙ) "ගෙංකි දෙස් කා?" කියල අහනව. ඒකෙ තේරුම "ඔබ ඉන්නෙ ගෙංකි බවකින් ද?" (ඒ කියන්නෙ ඔබ සුවෙන් ද? ඔබ උද්‍යෝගීමත් ද? ඔබ ජීවයෙන් පිරිලද?). ඒකට උත්තර දෙන්නෙ, "හයි, ගෙංකි දෙස්" කියල. ඒ කියන්නෙ "ඔව්, මම ඉන්නෙ ගෙංකි බවකින්".

ගෙංකි කියන කන්ජි අක්‍ෂර වලින් ලියන්නෙ 元気 කියල. මේ අකුරු දෙකේ අර්ථය මෙහෙමයි:
元 - ගෙං - ප්‍රභවය
気 - කි - ආධ්‍යාත්මික ශක්තිය

මේ "කි" කියන එක චීන සංස්කෘතියෙන් ආපු දෙයක්. චීන සංස්කෘතියේ "ක්වි (Qi)" කියල සංකල්පයක් තියෙනවා. ඒ කියන්නෙ ප්‍රාණියෙක් ගෙ ජීව ගුණය කියන එක. චීන වෛද්‍ය ක්‍රමයට අනුව මිනිහෙක් ලෙඩ වෙන්නෙ ක්වි වල සමබරතාවය නැති වීමෙන් (හරියට අපේ වා පිත් සෙම් කෝප වීමෙන් වගේ).

දැන් අපි ආපහු එනව ගෙංකි වලට. ගෙංකි කියන්නෙ "ජීව ගුණයේ ප්‍රභවය" කියන එක.

සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ සැලකෙන්නෙ අපි උද්‍යෝගීමත්ව ශක්ති සම්පන්නව ඉන්න නම්, අපි සෞඛ්‍යයය සම්පන්න වෙන්න ඕනෙ කියල.

නමුත් ජපන් සංස්කෘතියෙ සැලකෙන්නෙ ඒකෙ අනික් පැත්ත. අපි උද්‍යෝගීමත්ව ශක්ති සම්පන්නව ඉන්නව නං අපි සෞඛ්‍යය සම්පන්න වෙනව කියල.

ඒ නිසා පුළුවන් හැම වෙලේම "ගෙංකි" වෙලා ඉන්න තමයි ජපන්නු ට්‍රයි කරන්නෙ. කරන හැමදේම උපරිම උද්‍යෝගයෙන්, උපරිම ශක්තියෙන් කරන්න. එතකොට තමාගේ සෞඛ්‍යය සම්පන්න බව රැකෙනව කියල ඔවුන් හිතන්නෙ.


ජපානය අපේක්‍ෂිත​ ආයු කාලය අතින් ලෝකෙ අංක එකට ඉඳීමේ සහ ගෙංකි වල සම්බන්ධයක් තියෙනවද කියල මම දන්නෙ නෑ.

No comments:

Post a Comment