Saturday, November 19, 2016

සමාජයීය වගකීම ගැන ජපන් කතාවක්



ජපානයේ සමාජයීය වගකීම ආරක්‍ෂා කෙරෙන හැටි ගැන​ පොඩි කතාවක් කියන්න යන්නෙ.

ජපානයේ නගර වල නිවාස වල එකතුවෙන කසල නිවෙස ළඟ පාරෙන් තියන්න ඕනෙ. එතකොට කසල එකතු කරන මිනිස්සු ඇවිල්ල ඒව එකතු කරගෙන යනව ප්‍රතිචක්‍රීකරණය කරන්න​​.

හැබැයි මේ වැඩේ කියන තරම් සරළ නෑ. නීති ගොඩයි.

මුලින්ම​, අපිට ඕනෙ විදිහට කසල පාරෙ තියන්න බෑ. ඒවට විශේෂ මලු තියෙනවා. ඒ මලු වල පමණයි කසල දාන්න ඕනෙ.

ඊළඟට, කසල එකතු කරල ප්‍රතිචක්‍රීකරණය කරන නිසා ඒව වර්ගීකරනය කරන්න ඕනෙ. ඒ කරදරයෙන් මිදෙන්න ඔවුන් අපූරු උපක්‍රමයක් යොදනවා. සතියේ එක එක දිනවල එකතු කරන්නෙ එක එක වර්ගයේ කසල පමණයි.

උදාහරණයකට​, සඳුදට පොලිතීන්. අඟහරුවාදට ප්ලාස්ටික් බෝතල්. බදාදට කඩදාසි. බ්‍රහස්පතින්දට වීදුරු. සිකුරාදට කාබනික දේවල්. සෙනසුරාදට ලෝහමය දේවල්. ඒ වගේ. (උදාහරණයක් විතරයි ඈ)

කසල එකතු කරන ආයතනය තමාගෙ වසමේ පදිංචිකාරයන්ට කසල එකතු කරන දවස් සහ එදාට එකතු කරන වර්ගය සටහන් කාල සටහනක් දීල තියෙනවා.

මේ වගේ එකක්

කවුරුහරි වැරදි දවසට වැරදි කසල එළියෙන් තිබ්බොත් හෝ නියමිත බෑගයේ නැතුව කසල එළියෙන් තිබ්බොත් හෝ කසල පාර පුරා විසිරෙන අන්දමට තිබ්බොත් හෝ වෙනත් පිස්සුවක් කෙලියොත් ඔවුන්ට දඩයක් ගෙවන්න වෙනව​. මේ දඩය ටිකක් ලොකු ගාණක්.

වැඩේ ස්මූත්ලි වෙනවද කියල මොනිටර් කරන්න පදිංචිකාරයො පිහිටුවගෙන ඉන්නව කමිටුවක්. සාමාන්‍යයෙන් කාන්තාවො තමයි කමිටුවෙ ඉන්නෙ. (ජපානයේ ගොඩක් කාන්තාවො රැකියා කරන්නෙ නෑ).

මම දන්න මහත්තයෙක් ඔහුගේ පවුලත් එක්ක මාස හයක විතර කාලයක් ජපානයේ පදිංචි වෙලා හිටිය​. මේ ඔහු මට කියපු ඔහුගේ අත්දැකීමක්.

පදිංචි වුන මුල දවස් වල මේ සෙල්ලම හරියටම මේ මහත්තයට මීටර් වෙලා නෑ. වැඩිය සීරියස් අරගෙනත් නෑ. දවසක් එයා ප්ලාස්ටික් බෝතල් දවසෙ ගෙදර තිබ්බ කාඩ්බෝඩ් වගයකුත් එළියෙන් තියල​.

කුණු එකතු කරන එවුන් එන්නෙ හවස හතරට විතර​. හවස තුනට විතර කවුදෝ ගෙදර දොරට තට්ටු කරාලු. දොර ඇරල බැලුවම තරුණ ගෑණු ළමයෙක්.

එයා මුලින්ම තමන්ව හඳුන්වල දුන්නලු. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. එයාගෙ අම්ම තමයි ඒ පැත්තෙ කුණු කමිටුවෙ සභාපති. අම්ම තමයි මෙයාව එවල තියෙන්නෙ.

මේ ගෑණු ළමය බොහෝම විනීතව මේ මහත්තයට සහ බිරිඳට පැහැදිලි කරල දුන්නලු කුණු එකතු කරන සිස්ටම් එක​. ඒ කරල වැරදි දවසෙ වැරදි කුණු බැහැර කරන්න එපා ඔබට ලොකු දඩයක් ගෙවන්න වෙයි කියල කිව්වලු.

මේ මහත්තය සහ ඔහුගේ බිරිඳ බොහෝම ලැජ්ජාවට පත් වෙලා. ගෑණු ළමය ගියාම මහත්තය දඩබඩ ගාල දුවගෙන ගියාලු කාඩ්බෝඩ් ටික අරගෙන එන්න​. හැබැයි ඒ බෑග් එක තිබිල නෑ.

පස්සෙ කඩදාසි දවසෙ ඒ මහත්තය දැක්කලු තමාගෙ කාඩ්බෝඩ් ටික​ අර ගෑණු ළමයගෙ ගෙදර ඉස්සරහ තියල තියෙනවා.

ඒ ගෑණු ළමය ඒක තමාගෙ ගෙදරට අරගෙන ගිහිල්ල නියමිත දවස එනකං තියාගෙන ඉඳල.

මුලින්ම​, උං කුණු බැහැර කරන්න පාවිච්චි කරනව හරිම සරළ නමුත් හරිම දියුණු සිස්ටම් එකක්.

ඊළඟට ඒක කඩන එවුන්ට දැඩි දඬුවම් දෙනව​.

නමුත්, සිස්ටම් එක රන් කරන්න රජයට දීල මිනිස්සු බලාගෙන ඉන්නෙත් නෑ. මිනිස්සු සිස්ටම් එක හරියට රන් කරවන්න තමන්ම ස්වේඡාවෙන් ඉදිරිපත් වෙනවා.

වැරැද්දක් දැක්කම වැරැද්ද කරපු මිනිහා ඒක නිවැරදි කරනකං බලාගෙන ඉන්නෙ නැතුව ඒක තමාගෙ වගකීමක් බවට පත් කරගෙන තමා විසින්ම ඒක නිවැරදි කරනවා.

ඔන්න සෙල්ලම​.



ජපන් බස - 2 (කතා කරන ජපන්)



ඔන්.යොමි සහ කුන්.යොමි

මුලින්ම ජපන් භාෂාවෙ වචන හඬ නගන ආකාර දෙකක් තියෙනව​.

1. ඔන්.යොමි
2. කුන්.යොමි

ඔන්.යොමි කියන්නෙ ඔරිජිනල් ජපන් කියැවීම​. කුන්.යොමි කියන්නෙ චීනෙන් ආපු එක​.

උදාහරණයකට "කන්ද" කියන අර්ථය දෙන ජපන් වචනය (山) ඔන්.යොමි විදිහට කියන්නෙ "සන්" කියල​. නමුත් කුන්.යොමි විදිහට කියන්නෙ "යම​" කියල.

ඒ කියන්නෙ එකම වචනය​, එකම කන්ජි අකුර​, නමුත් කියවන විදි දෙකයි. සමහර වචන වල ඔන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ. සමහර වචන වල කුන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ.

නමුත් සමහර වචන වල දෙවිදිහම පාවිච්චි වෙනව​.

උදාහරණයකට අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ "ෆුජි" ගිනි කන්ද හඳුන්වන්නෙ "ෆුජියම​" කියල​. ඒත් කෝබේ නගරය අසල තියෙන තවත් ප්‍රසිද්ධ කන්දක් වන "රොකො" කන්ද හඳුවන්නෙ "රොකොසන්" කියල​.

ෆූජි කන්දට "ෆුජිසන්" කිව්වොත් ටෙක්නිකලි වැරදි නෑ. නමුත් එහෙම ව්‍යවහාර වෙන්නෙ නෑ. කොතනට එන්නෙ මොන ව්‍යවහාරයද කියන එක අපි දැනගන්න ඕනෙ පාවිච්චියෙන්.

හැබැයි "සන්" කිව්වත් "යම​" කිව්වත් ලියන්නෙ "山" කියල​.

තවත් උදාහරණයක් ගත්තොත් "හත​" කියල ඔන් ව්‍යවහාරයෙන් කියන්නෙ "නන​" කියල​. කුන් ව්‍යවහාරයෙන් කියන්නෙ "ෂිචි" කියල​.

එතකොට අපි එක දෙක තුන කියල ගණන් කරද්දි හත වෙනුවට කියන්න ඕනෙ ෂිචි. නමුත් "විසි හත​" කියද්දි හත වෙනුවට කියන්න ඕනෙ නන (නිජූ නන​).

ඉතින් කලිනුත් කිව්ව වගේ මේවගෙ කිසි ලොජික් එකක් නෑ. ව්‍යවහාරයෙන්ම තමයි හරි විදිහ දැනගන්න ඕනෙ.


වාක්‍යය හැදෙන විදිහ​.

වාක්‍යය හැදෙන විදිහෙන් ජපන් භාෂාව සමාන වෙන්නෙ සිංහල භාෂාවට​. ජපන් ඉගෙන ගද්දි තියෙන ලොකුම වාසිය ඒකයි.

උදාහරණයක්.

අපි සිංහලෙන් කියන්නෙ "මම වතුර බොනව​".

එතකොට වාක්‍යය ඇතුලෙ පද ගැලපෙන පිළිවෙල එන්නෙ උක්තය - කර්මය - ආඛ්‍යාතය​. මම - වතුර - බොනව​.

නමුත් ඉංග්‍රීසියෙන් ලියද්දි "I drink water". එතකොට පද ගැලෙපෙන්නෙ උක්තය - ආඛ්‍යාතය - කර්මය කියන පිළිවෙලට​.

ජපන් වලින් කියද්දිත් පද ගැලපෙන්නෙ උක්තය - කර්මය - ආඛ්‍යාතය පිළිවෙලට​. "වතෂිව මිසු වො නොන්දෙ ඉමස්". වතෂිව (මම​) මිසු (වතුර​) නොන්දෙ ඉමස් (බොනව - හරියටම කිව්වොත් බොමින් සිටිනවා).

මේක ජපන් ඉගෙන ගද්දි ලොකු පහසුවක්. සිංහලෙන් වාක්‍යය හිතල ගෙඩිය පිටින් ජපන් වචන ටික ආදේශ කරන්නයි තියෙන්නෙ.


ඒක වචන බහු වචන​

ජපන් භාෂාවේ ඒක වචන බහු වචන නෑ. ජපන් වලින් "පූසා" කියල කියන්නෙ "නෙකො". පූසෝ කියල කියන්නෙත් "නෙකො" මයි. අපි දැන ගන්න ඕනෙ කතා කරන්නෙ එක පූසෙක් ගැන ද පූසො ගොඩක් ගැන ද කියල​.

එතකොට "The Last Samurai" ෆිල්ම් එකේ කියවෙන්නෙ එක සමුරායි කෙනෙක් ගැනද සමුරායි ල සෙට් එක ගැනමද කියල දන්නෙ ඒකෙ නම දාපු එකා විතරයි.

ඒක වචන බහු වචන වෙන් වෙන එකම තැන පුද්ගල නාම පද වලදි විතරයි. මම (වතෂි), අපි (වතෂිතචි), ඔබ (අනත​) ඔබලා (අනතත​චි) වලට වෙනම වචන තියෙනවා.

සමහර වෙලාවට වචනය දෙපාරක් යෙදීමෙන් බහු වචනය හඟවන්න පුළුවන්. උදාහරණයකට කන්දට කියන්නෙ "යම​". කඳු කියල කියන්නෙත් "යම​" කියල​. හැබැයි ඕනෙ නම් කඳු කියන එක "යමයම​" කියල කියන්න පුළුවන්.


ගෞරව නාම

අපි ඉංග්‍රීසියෙන් කතා කරද්දි මනුස්සයෙක් ගෙ නමක් ඉස්සරහට Mr.. Mrs. Miss කියල දානව ගෞරව නාමයක් වශයෙන්.

සිංහලෙන් කතා කරද්දි ඒක දාන්නෙ නම අගට​. නිමල් මහතා. කුමාරි මහත්මිය​. අනූෂා මෙනවිය​. ඒ වගේ.

ජපන් වලින් ගෞරව නාමය දාන්නෙ සිංහලෙන් වගේ අගට​. හැබැයි ඔක්කොටම දාන්නෙ එකයි. "සන්".

ඒ කියන්නෙ මොරිකාවා මහතා කියන්නෙ මොරිකාවා සන්. අයිකෝ මහත්මිය කියන්නෙ අයිකෝ සන්. හරුකෝ මෙනවියත් හරුකෝ සන්.

හැබැයි විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු දෙකක් තියෙනව​.

එක​, තමා ගැන කතා කරද්දි "සන්" දාන්නෙ නෑ.

දෙක​, අනුන් ගැන කතා කරද්දි හොඳම යාළුවෙක් නෙවෙයි නං අනිවාර්‍යයෙන් "සන්" දාන්න ඕනෙ.

අපි එදිනෙදා කතා කරද්දි එකිනෙකාට කතා කරගන්නකොට "අනුර මහතා" කියන්නෙ නැති වුනාට ජපනා අනිවාර්‍යයෙන්ම "උමිනෝ සන්" කියල කියනව​.

එහෙම කිව්වෙ නැත්තං සැලකෙන්නෙ ඔබ කතා කරන්න දන්නෙ නැති අශිෂ්ඨයෙක් විදිහට​.

ජපන්නු හරි ආචාරශීලියි.


විශේෂ වචන​

ආචාරශීලී කම ගැන කියද්දි නොකියම බැරි වචන තුනක් තියෙනවා.

ගොසයිමස්
මේ වචනයට​ අනුරූප සිංහල හෝ ඉංග්‍රීසි වචනයක් නෑ. ඒක නිකං ගෞරවය හඟවන යෙදුමක්. උදාහරණයකට රෙස්ටුරන්ට් එකකට මිනිහෙක් ඇතුල් වෙද්දි කැෂියර් හෝ වේටර් කෙනෙක් ඔහුව පිළිගන්නෙ "ගොසයිමස්" කියල​.

ඒ වගේම වචනයක ආචාරශීලී කම වැඩි කරන්නත් "ගොසයිමස්" පාවිච්චි කරනවා. උදාහරණයක්ට ජපන් වලින් "ස්තූතියි" කියල කියන්නෙ "අරිගතෝ" කියල​. නමුත් ඒක ටිකක් වැඩි කරල කියන්න ඕනෙ නම් "අරිගතෝ ගොසයිමස්" කියනව​.

සුමිමසෙන්
"සුමිමසෙන්" කියන එක සාමාන්‍යයෙන් "සමාවෙන්න​" කියල පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් ඒක ඊට වඩා පුළුල් අරුතකින් පාවිච්චි වෙනව​.

ඔබ පාරෙ යද්දි මිනිහෙක් ගෙ ඇඟේ හැප්පුනොත් "සුමිමසෙන්" කියල සමාව ගන්න පුළුවන්.

ඒ වගේම පොඩි උදව්වකට ස්තූති කරන්න්නත් "සුමිමසෙන්" පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට ඔබ අතින් යමක් වැටිල කෙනෙක් ඒක අහුලල දුන්නොත් "සුමිමසෙන්" කියන්න පුළුවන්. එතනදි ඒක යෙදෙන්නෙ "මම නිසා ඔබට​ කරදර වීමට සිදුවීම ගැන මට කනගාටුයි" කියන අරුතෙන්.

ඒ වගේම "එක්ස්කියුස් මී" කියන්නත් "සුමිමසෙන්" පාව්විච්චි වෙනව​. පිරිසක් ඉන්න කාමරයකට ඇතුල් වෙද්දි "සුමිමසෙන්" කියන්න ඕනෙ. වේටර් කෙනෙක් ගෙ අවධානය ගන්නත් "සුමිමසෙන්" කියන්න පුළුවන්.


කුදසායි"කුදසායි" කියන්නෙ කරුණාකරල කියන එක​. හැබැයි මේක අපි කතාකරද්දි කරුණාකරල කියනවට වඩා සිය ගුණයක් විතර වැඩියෙන් පාවිච්චි වෙනව​.

උදාහරණයකට අපි සිංහලෙන් වතුර ඉල්ලද්දි කියන්නෙ "මට වතුර ටිකක් දෙන්න​" කියල​. ඒකට කරුණාකරල කියන කෑල්ල දාන්නෙ අලංකාරයක් විදිහට. ඕනෙ නම් නොකිය ඉන්න පුළුවන්.

නමුත් ජපන් වලින් වතුර ඉල්ලන්නෙ "මිසු වො කුදසායි" කියල​. එතනදි "කුදසායි" කියන්නෙ වාක්‍යයේ කෑල්ලක්. අලංකාරයක් නෙවෙයි. "මිසු වො" කියල විතරක් වතුර ඉල්ලන සිරිතක් නෑ.


ඇඟෙන්ම කතා කිරීම​

අනිත් වැදගත් දේ තමයි ඔබ නිවැරදි විදිහට ජපන් කතා කරනව නම් ඇඟෙන්ම කතා කරන්න ඕනෙ.

පාරෙ යද්දි මිනිහෙක් ගෙ ඇඟේ හැප්පුනොත් අපි නිකම්ම "සොරි" කියල ගියාට ජපන් වලින් නිකම්ම "සුමිමසෙන්" කියල යන්න බෑ. "සුමිමසෙන්" කියන ගමන් නැමිල ආචාරශීලීත්වය පෙන්නන්න ඕනෙ. නැමෙනකොට එක අතක් වඳින මුද්‍රාවෙන් පපුව ඉස්සරහ තියාගන්න ඕනෙ.

එහෙම නොකළොත් ඔබ හැසිරෙන්න දන්නෙ නැති අශිෂ්ඨයෙක්.



ඒ වගේම පාරක් අහගගෙන ස්තූති කරද්දි නිකම්ම "අරිගතෝ" කියල බෑ. අරිගතෝ කියන ගමන් නැමෙන්න ඕනෙ. එතනදි අත් දෙක ඇඟ දෙපැත්තෙ තියෙන්න ඕනෙ.

නිලයෙන්, වයසෙන්, තත්වයෙන් උසස් කෙනෙක් එක්ක කතා කරද්දි නිතරම හිස නවල ආචාරශීලි වෙන්න ඕනෙ. උදේට සුබ පතද්දි හිස නවල ආචාර කරන්න ඕනෙ. නිකම්ම "ඔහායෝ ගොසයිමස්" කිව්වොත් ඒක නිකං කණට ගැහුව වගේ.

නැවෙන එක ගැන කියනව නං, ඒක ඉතාම සංකීර්න හැසිරීමක්. එක එක සිටූවේෂන් එකට අනුව කොන්ද නවන්න ඕනෙ ප්‍රමානය වෙනස්. මේව ළමයින්ට ජපන් පාසැල් වල උගන්නනව​. නමුත් මේ ඒ ගැන කතා කරන්න තැන නෙවෙයි.

බොහෝ දෙනා කරන කොමන් මිස්ටේක් එකක් ගැන විතරක් කියන්නම්. ඔබ කෙනෙක්ට අතට අත දෙනව නම් නැවෙන්න ඕනෙ නෑ. එක්කො නැවෙන්න. නැත්තම් අතට අත දෙන්න​. දෙකම කරොත් වැරදියි.

ඔබාමා වගේ වෙන්න එපා

චියර්ස් කියන හැටි

බොද්දි චියර්ස් කියන හැටි දැන ගත්තෙ නැත්තං ඒක ලොකු අඩුවක් නෙ, ඒ නිසා ඒකත් කියන්නම්.

බොන්න කලින් ජපන්නු කියන්නෙ "කන්පායි". වීදුරුව මූණ මට්ටමට උස්සල "කන්පායි" කියන්න ඕනෙ. වීදුරු හප්පන එක සාමාන්‍යයෙන් කෙරෙන්නෙ නෑ.

කන්පායි කියන එකේ තේරුම "bottoms up" කියන එක​.


අන්තිමට - අපි ජපානය කිව්වට, සුද්ද ජැපෑන් කිව්වට​ ජපන්නු කියන්නෙ "නිහොන්"


ජපන් බස​ - 1 (ලිඛිත ජපන්)



ජපන් භාෂාව කියන්නෙ ලෝකයේ භාවිතාවෙන භාෂා අතරින් අමාරුම භාෂාව කිව්වොත් නිවැරදියි.

මුලින්ම අපි බලමු ජපන් භාෂාව ලියන හැටි.


ලිඛිත ජපන්

ජපන් භාෂාව ලියන හැටි එහෙම්පිටින්ම අපභ්‍රංසයක්. ඒ ගැන අහද්දි පුදුම හිතෙනව මේ තරම් දියුණු නිර්මානශීලී ජාතියක් තමන් ගෙ ලිඛිත භාෂාව වශයෙන් මේ වගේ වඳුරු කුණුහරුපයක් භාවිතා කිරීම ගැන​.

සාම්ප්‍රදායිකව ජපන් භාෂාව ලියන්නෙ උඩ ඉඳන් පහලට සහ දකුණේ ඉඳන් වමට​. නමුත් දැන් සමහර අවස්ථා වලදී ඉංග්‍රීසි භාෂාවේ ආරයට වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට ජපන් ලියන අවස්ථා තියෙනවා. නමුත් සාම්ප්‍රදායික විදිහට ලියන තැනුත් තියෙනවා. විශේෂයෙන් දැන්වීම්, පෝස්ටර්, පුවත්පත්, සඟරා එහෙම සාම්ප්‍රදායික විදිහට ලියල තියෙනව​. භාවිතය අතින් මේ දෙකම 50-50 පාවිච්චි වෙනව කියල කියන්න පුළුවන්.

ජපන් හෝඩිය​.

හෝඩිය කිව්වට ඇත්තටම ජපන් භාෂාවේ හෝඩි තුනක් තියෙනවා.

1. කන්ජි

2. හිරගන​

3. කතකන​

කන්ජි

කන්ජි කියන්නෙ රූපාක්‍ෂර හෝඩියක් (Logographic). ඒ කියන්නෙ එක එක භාෂාමය අදහසක් වෙනුවෙන් වෙනම අකුරක් (සංකේතයක්) තියෙනවා.

උදාහරණයකට "අම්මා" කියන අදහස වෙනුවෙන් වෙනම අකුරක් තියෙනවා. "තාත්තා" ටත් එහෙමයි. ගඟ​, ගහ​, ගේට්ටුව​, කුඹුර මේ හැම අදහසක් වෙනුවෙන් ම වෙනම අකුරක් තියෙනවා.

කන්ජි වලින් ලියපු ලියවිල්ලක්
 උදාහරණ :
අම්මා 母 තාත්තා 父 ගඟ 川 ගේට්ටුව 門 කුඹුර 田

මේ අකුරු බොහෝ විට ඒ අකුරේ අර්ථය දෙන රූපයට සමාන හැඩයකින් යුක්තයි. බලන්න තාත්තා අකුර රැවුලක් තියෙන මූනක් වගේ. ගඟ අකුර ගඟක දිය රැළි වගේ. ගේට්ටුව අකුර ගේට්ටුවක් වගේ. කුඹුර අකුර ලියැදි හතරක කුඹුරක් වගේ.

කන්ජි අකුරු ජපානයට ඇවිල්ල තියෙන්නෙ ක්‍රි.ව​. 50 දි විතර චීනයේ ඉඳල. ඇත්තෙන්ම "කන්ජි" කියන වචනයේ තේරුම "චීන අකුරු" කියන එක​.

දැන් මේ සිස්ටම් එකේ බැලූ බැල්මට වාසියක් සහ අවාසියක් පේන්න ඕනෙ.

වාසිය තමයි අඩු අකුරු ගාණකින් වැඩි අදහස් ප්‍රමානයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අවාසිය තමයි අකුරු විශාල ප්‍රමානයක් ඕනෙ.

ඇත්තෙන්ම කන්ජි අකුරු ඔක්කොම 50,000 විතර තියෙනව​.

ඉතින් මෙලෝ යකෙක්ට ඔය පණස් දාහම මතක තියා ගන්න බැරි නිසා නිතර දෙවේලෙ අවශ්‍යය වෙන අකුරු විතරක් අඩංගු කෙටි හෝඩි කීපයක් ජපන්නු පාවිච්චි කරනව​.

ක්‍.යොයිකු කන්ජි - අකුරු 1006 - ප්‍රාථමික පාසැල් වල උගන්වන හෝඩිය​. මේකෙ තියෙන්නෙ මූලිකම අකුරු ටික​.

ජෝයෝ කන්ජි - අකුරු 2136 - ද්වීතික පාසැල් වල උගන්වන හෝඩිය​. ක්.යොයිකු කන්ජි හෝඩියට තවත් අකුරු 1130 ක් එක් කර ගෙන හදල තියෙන්නෙ. ජපන් භාෂාව එදිනෙදා භාවිතයට නම් ජෝයෝ කන්ජි අත්‍යාවශ්‍යය වෙනවා.

ජින්මෙයියෝ කන්ජි - අකුරු 3119 - ජෝයෝ කන්ජි වලට අමතර අකුරු 983 ක් එකතු කරල හදල තියෙන්නෙ. මේ අමතර අකුරු වලින් කියැවෙන්නෙ පුද්ගල නාම​.

හිරගන​

දෙවෙනි හෝඩිය තමයි හිරගන​. මේක රූපාක්‍ෂර හෝඩියක් නෙවෙයි. ශබ්ධාක්‍ෂර හෝඩියක් (Syllabic ). ඒ කියන්නෙ එක එක ශබ්ධයට වෙනම අකුර ගානෙ තියෙනවා.

උදා :
ක か කි き කු く කෙ け කො こ

හිරගන හෝඩියෙ අකුරු 46 ක් තියෙනවා. සමහර ශබ්ධ (උදාහරණයකට "ඇ") ජපන් භාෂාවේ භාවිතා නොවෙන නිසා ඒවට අනුරූප හිරගන අකුරු නෑ.

හිරගන භාවිතා වෙන්නෙ කන්ජි වලින් ලියන්න බැරි වචන ලියන්න​. ශබ්ධ අනුව අකුරු තියෙන නිසා ඕන වවනයක් හිරගන වලින් ලියන්න පුළුවන්.

හිරගන හෝඩිය සකස් කරගෙන තියෙන්නෙ ක්‍රි.ව​. 500 දි විතර. කන්ජි හෝඩිය උගත්තු අතරේ භාවිතා වුනත්, සාමාන්‍යය ජනතාවට විශාල අකුරු ප්‍රමානයක් මතක තබා ගන්න බැරි නිසා හිරගන හෝඩිය සකස් කරගෙන තියෙනවා. හිරගන හෝඩිය මුලින්ම භාවිතා කරල තියෙන්නෙ කාන්තාවන්. ඒ කාන්තාවන්ට අධ්‍යාපන පහසුකම් අඩු නිසා. ඊට පස්සෙ සාමාන්‍යය පොදු ජනයා අතර මේක පැතිරිලා තියෙනවා.

හිරගන වලින් ලියපු නාම පුවරුවක්

කතකන​

තුන්වෙනි හෝඩිය තමයි කතකන​. කතකන හෝඩියත් හිරගන වගේ ශබ්ධාක්‍ෂර හෝඩියක් (Syllabic ). කතකන හෝඩියෙ අකුරු 48ක් තියෙනවා.

උදා:
ම マ මි ミ මු ム මෙ メ මො モ

කතකන හෝඩිය ක්‍රි.ව​. 800 දි පමණ බෞද්ධ භික්‍ෂූන් විසින් ධර්ම ග්‍රන්ථ ලිවීමට තමයි මුලින්ම සකස් කරගෙන තියෙන්නෙ. ඊට පස්සෙ කතකන හෝඩිය රාජ්‍යය ලියැවිලි ලිවීමට යොදා ගෙන තියෙනවා.
අද කතකන අකුරු භාවිතා වෙන්නෙ විදේශීය භාෂා වලින් අවශෝෂනය කරගත්ත වචන (උදා : කොම්පියුතා - පරිගණකය​) ලියන්න​.

කතකන අකුරු වලින් ලියල තියන වචනයක් කියවද්දි අපි දැනගන්න ඕනෙ මේක විදේශීය භාෂාවකින් ආපු එකක් කියල​.

විදේශිකයන් ගෙ නම් ලියන්නෙත් කතකන වලින්. ඔබේ නම ජපන් වලින් ලියනව නම් ලියන්න ඕනෙ කතකන වලින්
කතකන වලින් ලියපු නාම පුවරුවක්

ජපන් භාෂාවෙන් ලියනකොට මේ හෝඩි තුනේම අකුරු එකට භාවිතා වෙනව​. ඒ කියන්නෙ එකම වාක්‍යයක හෝඩි තුනේම අකුරු තියෙන්න පුළුවන්.
මේ දැන්වීම් පුවරුවේ කන්ජි, කතකන​, හිරගන සහ ඉංග්‍රීසි හෝඩි හතරම පාවිච්චි කරල තියෙනව​.

ඒ මදිවට සාම්ප්‍රදායික ජපන් භාෂාවේ විරාම ලකුණු නෑ. ඒ කියන්නෙ කොමා, තිත්, වචන අතර හිස්තැන් මොකවත් නෑ. ඔක්කොම ලියන්නෙ එක ගොඩේ. කියවන කෙනා දැනගන්න ඕනෙ වචන, වාක්‍යය කඩා ගන්න​.

දැන් ඉහත ඡේදය සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට ලියනව නම් ලියන්නෙ මෙහෙම​:

ඒමදිවටසාම්ප්‍රදායිකජපන්භාෂාවේවිරාමලකුණුනෑඒකියන්නෙකොමාතිත්වචනඅතරහිස්තැන්මොකවත්නෑඔක්කොමලියන්නේකගොඩේකියවනකෙනාදැනගන්නඕනෙවචනවාක්‍යයකඩාගන්න​

හැබැයි දැන් නැවතීමේ ලකුණ වෙනුවට පොඩි බින්දුවක් සමහර අවස්ථා වලදි පාවිච්චි කරනව​. හැබැයි එහෙම නැති තැන් ඊට ගොඩක් වැඩියි.

ඔළුව කැරකෙනව වගේද​? තව පටන් ගත්ත විතරයි.