හැෂමයිට් වරු තනිවීම
බ්‍රිතාන්‍යයෝ මෙහිදී තම කූට රාජ්‍ය තාන්ත්‍රික ඥානය පාවිච්චි කරමින් හැෂමයිට් වරුන්ට එතෙක් ලබා දුන් සහය ඉවත් කළහ. හුසේන් ගේ සුපිරි අරාබි රාජ්‍යය ගොඩනැංවුවහොත් එය බලවත් රාජ්‍යයක් බවට පත්වී තමාට තර්ජනයක් වන බව කල්පනා කල ඔවුහු හැෂමයිට් වරුන් ගේ බලය බිඳීම සඳහා කටයුතු කළහ.
එහි පළමු පියවර වූයේ පැරණි තුර්කි අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ හැෂමයිට් වරුන් යටතේ එක්සත් අරාබි රාජ්‍යයක් බවට පත් කරනු වෙනුවට ඉරාකය, පලස්තීනය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යයටත්, සිරියාව සහ ලෙබනනය ප්‍රංශයටත් ලැබෙන සේ ගිවිසුමක් අත්සන් කිරීමයි. මෙහිදී හැෂමයිට් වරුන්ව හිතාමතාම නොසලකා හරුනු ලැබූ අතර ඔවුන්ට අවසානයේ ඉතිරි වූයේ මක්කම සහ මදීනාව අයත් හෙජාස් ප්‍රදේශය පමණි.
හෙජාස් රාජධානිය (උපුටා ගැනීම විකිපීඩියා)
සාවුද් වරුන් ගේ නැගීම
හැෂමයිට් වරුන් ගේ බලය බිඳීම සඳහා බ්‍රිතාන්‍යයන් මීළඟට තෝරා ගත්තේ අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් එමීර් වරයායි. ඔහුගේ වහාබි වාදය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නජ්ද් සහ හසා එමීර් රාජ්‍යයට බ්‍රිතාන්‍යය හමුදා සහය ගලා එන්නට විය. බ්‍රිතාන්‍යය මුදල් සහ ආයුධ වලින් සහ වහාබි අන්තවාදයේ අදහස් වලින් සන්නද්ධ වූ ඉක්වාන් හමුදා අරාබිය සිසාරා තම ප්‍රහාර ඇරඹූහ.
1918 දී සාවුද් වරු හෙජාස් රාජධානියට පහර දී අල්-කුර්මා ප්‍රදේශය අල්ලා ගත්හ. නමුත් බ්‍රිතාන්‍යයන් ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගැනිනි.
1919-20 කාලයේදී තම පැරණි මිතුරා වූ කුවේට් එමීර් රාජ්‍යයට සාවුද් වරු පහර දුන් අතර නැවතත් බ්‍රිතාන්‍යය මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගැනිනි.
මේ ගැටුම් දෙකෙන් පසු සාවුද් වරු සහ ඔවුන් ගේ ඉක්වාන් හමුදාවන් ගේ බලය වටහා ගත් බ්‍රිතාන්‍යයෝ තම ඍජු සහය සාවුද් වරුන්ට ලබා දුන්හ.
1921 දී අබ්දුල් අසීස් තම රාජ්‍යයේ නම නජ්ද් සුල්තාන් රාජ්‍යය ලෙස වෙනස් කරගත් අතර ඔහු මෙතැන් සිට හැඳින්වුනේ සුල්තාන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ලෙසිනි.
නජ්ද් සුල්තාන් රාජ්‍යයේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)
1921 දී ඉක්වාන් හමුදා මේ වනවිට දුර්වල වී පැවතුනු ජබල්-ෂමර් එමීර් රාජ්‍යයට කඩා වැදී එහි බලය සම්පූර්නයෙන්ම අල්ලා ගත්හ.
1922 දී කුවේටය සහ සාවුද් වරුන් අතර නැවතත් සටන් ඇවිළුනු අතර බ්‍රිතාන්‍යය මැදිහත් වීමෙන් කුවේට් එමීර් රාජ්‍යයේ භූමියෙන් තුනෙන් දෙකක් සාවුද් වරුන්ට හිමිවිය. සාවුද් වරු කුවේටයට එරෙහිව වසර 14ක් ආර්ථික සම්බාධක පැනවූහ.
ඉක්වාන් හමුදා ප්‍රහාර
මේ වනවිට ඉක්වාන් හමුදාවන් ඉතාමත් ප්‍රභල ස්ථානයක පසු විය. සාවුද් වරුන් ගේ බලය සම්පූර්නයෙන්ම රැඳී තිබුනේ ඔවුන් අතය. ඉක්වාන් වරු වහාබිවාදය ප්‍රචලිත කිරීමේ අරමුණින් සාවුද් වරුන් ගේ දේශසීමාවලින් එපිටට තම ප්‍රහාරයන් දියත් කිරීම ඇරඹූ අතර මෙම ප්‍රහාරයන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ගේ එතරම් මනාපයට හේතු නොවුනේ සමහර විට මෙම ප්‍රහාර වල ඉලක්කය වූයේ මේ වනවිට ඔහුගේ අනුග්‍රාහකයා බවට පත්ව සිටි බ්‍රිතාන්‍යයන් ගේ පාලන ප්‍රදේශ වීමයි.
1921 දී ඉක්වාන් හමුදාවන් දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම් ගම්මාන වලට කඩා වැදී ෂියා මුස්ලිම් වරු 700ක් මරා දැමූහ.
මින්පසු ඉක්වාන් හමුදාවන් තම අවධානය ජෝර්දානය වෙත යොමු කළ අතර මේ වනවිට ජෝර්දානය පාලනය වුනේ බ්‍රිතාන්‍යය ආරක්‍ෂාව යටතේ හැෂමයිට් පෙළපතට අයත් අබ්දුල්ලා රජු යටතේය. අබ්දුල්ලා හට තනිවම ඉක්වාන් ප්‍රහාරයන්ට මුහුණ දීමට නොහැකි වූ අතර, ජෝර්දානය ඉක්වාන් හමුදා යටතට පත්වීමේ තර්ජනයක් ඇතිවිය. එම නිසා බ්‍රිතාන්‍යයෝ හමුදා බල ඇණියක් සහ ගුවන් හමුදා කඳවුරක් ජෝර්දානයේ පිහිටවූහ.
1922 දී 1600ක ඉක්වාන් හමුදාවක් ජෝර්දානයේ ගම් දෙකකට කඩා වැදී එහි වැසියන් සමූල ඝාතනය කල අතර, බ්‍රිතාන්‍යය හමුදාවන් ගේ පැමිණීමත් සමඟම ඔවුහු පලා ගියහ.
1924 දී 4500ක ඉක්වාන් හමුදාවක් ජෝර්දාන අගනුවර වූ අම්මාන් නගරය වෙත ගමන් කළ අතර, නගරය අවුන් යටතට පත්වීමේ අවදානමක් ඇතිවිය. නමුත් බ්‍රිතාන්‍යය ගුවන් හමුදා ප්‍රහාරයකින් ඉක්වාන් හමුදාව සම්පූර්නයෙන්ම විනාශ වූ අතර ඉක්වාන් සෙබළු 500ක් පමණ මිය ගියහ.
මේ ප්‍රහාරයන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ගේ අනුමැතියෙන් තොරව සිදුවූ නිසා ඉක්වාන් හමුදාවන් සහ ඔහු අතර හොඳහිත පළුදු විය.
මක්කම සහ මදීනාව සාවුද් වරුන් යටතට පත්වීම
1924 දී අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් හෙජාස් රාජධානියට එරෙහිව තම දෙවන ප්‍රහාරය ඇරඹීය.
හෙජාස් හමුදාවන්ට සාවුද් වරුන්ට එරෙහිව වැඩි සටනක් දීමට අපහසු වූ අතර, විශේෂයෙන්ම ඉක්වාන් හමුදාවන් ඉදිරියේ ඔවුහු පසු බැස ගියහ. 1924 ඔක්තෝබර් 13 දා මක්කම සාවුද් ගේ යටතට පත්වූ අතර, ඉස්ලාමයේ ශුද්ධ වූ නගරය වහාබිවරුන් ගේ ග්‍රහනයට නතුවිය. සති දෙකකට පසු රියාද් නුවර සාවුද් වරුන් ගේ අනුග්‍රහයෙන් පැවැත්වුනු ඉස්ලාමීය සමුළුවකින් ලොව පුරා මුස්ලිම් වරු මක්කමේ පාලකයා ලෙස අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් පිළිගන්නා බවට දැනුම් දෙන ලදී.
1925 දී මදීනාව, යන්බු සහ ජෙඩා යන නගර ද සාවුද් වරුන්ට අත් වූ අතර හෙජාස් රාජධානිය සම්පූර්නයෙන්ම බිඳ වැටිනි.
අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් තම රාජ්‍යයේ නම නැවත වරක් වෙනස් කලේ "නජ්ද් - හෙජාස් රාජධානිය" ලෙස එය නම් කරමිනි. ඔහුගේ තනතුර "නජ්ද් සහ හෙජාස් හි රජු" ලෙස අළුත් විය.
නජ්ද් - හෙජාස් රාජධානියේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)
ඉක්වාන් කැරැල්ල
හෙජාස් රාජධානිය අත්පත් කරගැනීමෙන් පසු අබ්දුල් ඉබ්න් සාවුද් ගේ සහ ඉක්වාන් වරුන් ගේ අරමුණු අතර පැහැදිලි ගැටුමක් වර්ධනය විය.
අබ්දුල් රජුට අවශ්‍යය වූයේ මේ වනවිට ඔහු අත්කරගෙන තිබූ ප්‍රදේශ වල බලය තහවුරු කරගෙන සමෘදිමත් රාජ්‍යයක් ගොඩ නැංවීමයි. නමුත් ඉක්වාන් වරු ප්‍රමුඛ වහාබි අන්තවාදීන්ට අවශ්‍යය වූයේ වහාබිවාදය ඉස්ලාම් ලෝකය පුරා පැතිරවීමටත්, වහාබිවාදය මුල් කරගත් ජිහාඩයක් ක්‍රියාත්මක කිරීමටත් ය.
අබ්දුල් රජු නිවැරදිව අවබෝධ කරගත්තේ ඉක්වාන් වරුන් ගේ ප්‍රහාර දිගින් දිගටම බ්‍රිතාන්‍යය ආරක්‍ෂාව යටතේ පැවති ජෝර්දානයට සහ ඉරාකයට එල්ල වුවහොත් තමාට ලැබෙන බ්‍රිතාන්‍යය සහය නැතිවී යා හැකි බවයි. හැරත් ඔහුට තවදුරටත් තම රාජ්‍යය පුළුල් කිරීමේ අවශ්‍යයතාවයක් නොමැති වූ හෙයින් ඔහුට තවදුරටත් ඉක්වාන් වරු අනවශ්‍යය විය.
අබ්දුල් රජු බ්‍රිතාන්‍යය සහ අසල්වැසි රාජ්‍යයන් සමඟ ගිවිසුම් ඇතිකරගත් අතර ඉක්වාන් හමුදාවේ නායකන් වූ සුල්තාන් බින් බජාද් අල්-ඔටාබි සහ ෆයිසාල් අල්-දුවායිෂ් මෙය දුටුවේ 1744 දී අල්-වහාබ් සහ මුහම්මද් බින් සාවුද් අතර ඇතිකරගත් එකඟතාවය බිඳ දැමීමක් ලෙසිනි. එමනිසා වහාබි වරුන් ගේ සහය තවදුරටත් සාවුද් රජවරුන්ට නොලැබෙන බව ප්‍රකාශ කල ඔවුහු තනිව ක්‍රියා කිරීමට පටන් ගත්හ.
අබ්දුල්ලා අසීස් ඉබ්න් සාවුද් රජු (උපුටා ගැනීම විකිපීඩියා)
ඉක්වාන් නායක සුල්තාන් බින් බජාද් අල්-ඔටාබි (උපුටා ගැනීම විකිපීඩියා)
ඉක්වාන් නායක ෆයිසාල් අල්-දුවායිෂ් (උපුටා ගැනීම විකිපීඩියා)
1927 දී ඉක්වාන් හමුදාවන් ඉරාකයට සහ කුවේටයට පහර දුන් අතර අබ්දුල් රජු මේ ප්‍රහාරයන් අනුමත නොකළද, ඒවා වැලැක්වීමට ක්‍රියා නොකලේය. එවිට බ්‍රිතාන්‍යය හමුදා කුවේටයේ ආරක්‍ෂාව සඳහා කඳවුරු ඇතිකලහ. බ්‍රිතාන්‍යයන් සමඟ ගැටුමක් ඇතිවීම ආසන්න බව දුටු අබ්දුල් රජු ඉක්වාන් වරු මර්ධනයට ක්‍රියාත්මක විය.
1928 දී අබ්දුල් රජුගේ හමුදා සහ ඉක්වාන් හමුදා එකිනෙකා සමඟ සටන් වැදීම ඇරඹූ අතර 1929 දී සබීලා හිදී අබ්දුල් රජුගේ 30,000ක හමුදාවක් 10,000ක ඉක්වාන් හමුදාවකට පහර දුන්නේය. ඉක්වාන් හමුදාවන් ඔටුවන් සහ අශ්වයන් යොදාගත් අතර රජුගේ හමුදාවන් බ්‍රිතාන්‍යය මැෂින් තුවක්කු සහ සන්නද්ධ රථ යොදාගනිමින් පහර දුන්හ. ඉක්වාන් වරු දරුණු පරාජයකට ලක්වූ අතර, ඔවුන් ගේ නායකයන් ගණනාවක් මරණයට පත්විය.
ෆය්සාල් අල්-දුවායිෂ් මේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අතර, කුවේටයට පලා ගොස් බ්‍රිතාන්‍යයන්ට යටත් විය. අහු රියාද් හිදී සිරගත කරන ලද අතර 1931 දී සිර ගෙදරදී මිය ගියේය. බජාද් අල්-ඔටයිබි ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන පලා ගියත් 1931 දී මරා දමන ලදී.
මේ සටනින් ඉක්වාන් වරුන් ගේ බලය සහමුලින්ම නැතිවී ගිය අතර, අබ්දුල් රජු වහාබි වරු අභිබවා බලය තහවුරු කරගත්තේය.
සවුදි අරාබිය
1932 දී අබ්දුල් රජු නැවත වරක් තම රාජ්‍යයේ නම වෙනස් කරමින් එය සවුදි අරාබිය ලෙස නම් කලේය. නූතන සවුදි අරාබියේ බිහිවීම එලෙස සිදුවිය.
සවුදි අරාබියේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)
සවුදි අරාබිය (උපුටා ගැනීම විකිපීඩියා)
1934 දී දකුණු අරාබියේ කොටසක් සවුදි අරාබියට ඈඳා ගත් නමුත්, මින් පසු සවුදි අරාබියේ විශාල වශයෙන් භූමි වෙනසක් ඇති නොවීය.
1938 දී සවුදි අරාබියේ තෙල් සොයාගන්නා ලද අතර මින් පසු සවුදි අරාබිය සහ බටහිර බලවතුන් අතර මිත්‍රත්වය වඩාත් තර විය. ඊශ්‍රායලය ළඟට මැදපෙරදිග බටහිරයන් ගේ හොඳම මිතුරා බවට පත්වූයේ සවුදි අරාබියයි. නමුත් මේ මිත්‍රත්වය වහාබි උලමා වරුන් ගේ සතුටට හේතු නොවූ අතර ඔවුන් හා රජ පවුල අතර නොයෙක් මත ගැටීම් වලට මෙය හේතුවක් විය.
නමුත් වහාබි වරුන් ගේ දේශපාලන සහ මිලිටරි බලය සම්පූර්නයෙන්ම බිඳවැටුනු හෙයින් රජු සමඟ ඍජු ගැටුමකට යාමට ඔවුනු අපොහොසත් විය. මෙම තත්වය කැපී පෙනුනේ 1980 දී ඉක්වාන් සෙබළුන් ගේ පෙළපතකින් පැවත එන ජුහයිමන් ඉබ්න් මුහම්මද් නම් වහාබි වරයෙක් මෙහෙයවූ වහාබි අන්තවාදී සන්නද්ධ කල්ලියක් මක්කමේ දේවස්ථානයක් අල්ලාගැනීමේ සිද්ධියෙනි. මෙහිදී වහාබි උලමා වරු ජුහයිමන් ඍජුවම විවේචනය නොකලද, සවුදි රජු ගේ ඉල්ලීම පරිදි ඔහුට එරෙහිව ෆත්වාවක් නිකුත් කළහ.
අද තත්වය
සවුදි අරාබිය අදත් බටහිරයන් විසින් 1919 දී මෙන්ම සෙකියුලර් අරාබි ජාතිකවාදයට එරෙහිව යොදා ගනිති. සෙකියුලර් අරාබි ජාතිකවාදීන් වූ ඊජිප්තුවේ නසර්, ලිබියාවේ ගඩාෆි, ඉරාකයේ සදාම් සහ සිරියාවේ බසාර් යන සියල්ලන් ගේම සතුරෙක් වූ සවුදි අරාබිය, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට බටහිරයන්ට නොමද සහයක් ලබා දුන්නේය. ඊට අමතරව ඉරානයේ නැග ආ ෂියා ඉස්ලාමීය ව්‍යාපාරයට එරෙහිව ද සවුදි වහාබි වාදය බටහිරයන් හා අත්වැල් බැඳගෙන ක්‍රියා කලේය. මේ සැම තැනදීම බටහිරයන් යොදාගත් ආයුධය වූයේ සවුදි සුන්නි වහාබ් අන්තවාදයයි.
ඉක්වාන් හමුදාවන් ගේ වර්තමාන අනුප්‍රාප්තිකයා ලෙස සැලකිය හැකි අල්-කයිඩා ව්‍යාපාරය සවුදි වහාබ් වාදයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බව නොරහසකි. එසේම ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව සහ ඉරාකයේදී අල්-කයිඩා වරුන්ට බටහිරයන් ගේ නොමද අනුග්‍රහය ලැබුනු බවද නොරහසකි. එදා මෙන්ම අදත් එක පැත්තකින් ඉක්වාන් / අල්-කයිඩා අන්තවාදය සීමාව ඉක්මවා යන අවස්ථාවලදී ඔවුන්ට පහර දුන්නද, බටහිරයෝ තමාට අවශ්‍ය විට ඔවුන්ව තම අරමුණු කරා යොදාගනිති.
හුසේන් රජුගේ සෙකියුලර් අරාබි රාජ්‍යයක සිහිනය සැබෑ වුයේ නම් ඉතාමත් ප්‍රභල රාජ්‍යයක හිමිකරුවන් වීමට වාසනාව තිබූ අරාබීන් අද වහාබි අන්තවාදයේ අඳුරු සෙවනැලි යට විනාශය කරා ක්‍රමයෙන් ගමන් කරමින් සිටිති.