Friday, September 7, 2018

දන්තුරේ හටන​

දන්තුරේ කියන්නේ කොළඹ - නුවර පාරේ ඇති පිළිමතලාව නගරයට කිලෝමීටර් 3 ක් පමණ නුදුරින් ඇති කුඩා ගමක්. අද මේ ගම කිසිම විශේෂත්වයක් ඇති තැනක් නෙවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන තවත් එක කුඩා ගමක් විතරයි - දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ යම්කිසි ප්‍රසිද්ධියක් හැරුණු විට​.

ඒත් දන්තුරේ කියන්නෙ පින් බිමක්. සිංහල බෞද්ධ රාජ්‍යය සදහටම විනාශ වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි, සිංහල බෞද්ධ රාජ්‍යය ඉතිහාසයේ අවදානම්ම තැනකට පත් වෙලා තියෙද්දි, නැවතත් පිහිටුවන්නේ දන්තුරේ දී. අවුරුදු 2000 ක උරුමය සදහටම මියැදීමේ අවදානමක් තියෙද්දි, නැවතත් පණ පොවන්නේ දන්තුරේ දී.

ඒ 1594 දන්තුරේ හටනෙන්.

පසුබිම​

1581 දී පළවෙනි රාජසිංහ රජතුමා සීතාවක රජකමට පත් වෙද්දි ලංකාවේ පාලන ප්‍රදේශ හතරක් තියෙනවා.

1. දොන් ජොආඕ ධර්මපාල රජු ගේ පාලනය යටතේ තිබුනු කෝට්ටේ රාජධාණිය​
2. රාජසිංහ රජුගේ පාලනය යටතේ තිබුනු සීතාවක රාජධාණිය​
3. කරල්ලියද්දේ බණ්ඩාර රජු ගේ පාලනය යටතේ තිබුණු මහනුවර රාජධාණිය​
4. පුවිරාජ පණ්ඩරම් රජු ගේ පාලනය යටතේ තිබුණු යාපනය රාජධාණිය​


කෝට්ටේ රාජධාණිය සම්පූර්ණයෙන්ම පෘතුගීසින් ගේ ග්‍රහනය යටතේ තියෙන්නේ. කතෝලික ආගම වැළඳ ගත්ත දොන් ජොආඕ ධර්මපාල රජු පෘතුගීසින් ගේ රූකඩයකට වඩා වැඩි දෙයක් වුනේ නෑ. හැබැයි නිරන්තර සීතාවක ප්‍රහාරයන් හමුවේ ඔවුන්ට මේ වෙද්දි ඉතුරු වෙලා තිබුනේ බටහිර වෙරළ තීරය විතරයි.

සීතාවක රාජධාණිය තමයි සිංහලයන් ප්‍රධාන රාජ්‍යය විදිහට සැලකුවේ. එයට පහතරට භූමියෙන් වැඩි කොටස අයත් වුනා.

මහනුවර සහ යාපනය රාජධාණි කෝට්ටේ රජුට (පෘතුගීසින්ට​) කප්පම් ගෙවන අවනත රාජ්‍යයන් දෙකක් විදිහට පැවතුනා. කරල්ලියද්දේ බණ් ඩාර රජුගේ වැඩිමල් දියණිය තමයි ධර්මපාල රජු ගේ බිසව වෙන්නෙ.

රජ වුනාට පස්සෙ රාජසිංහ රජතුමාගේ අවධානය මුලින්ම යොමු වෙන්නේ මහනුවර රාජධාණියට​. ඔහු 1582 දී මහනුවර ආක්‍රමනය කරනවා. එහිදී ඔහුට පේරාදෙණියේ සිටි ප්‍රභූ වරයෙක් වුන වීරසුන්දර මුදියන්සේ ගේ අධාර ලැබෙනවා. බලන දුර්ගයේ සිදු වෙන සටනකින් මහනුවර හමුදාව පරාජය වුනාට පස්සෙ මහනුවර රජ පවුල මන්නාරම පෘතුගීසි බලකොටුවේ ආරක්‍ෂාව පතා පැනලා යනවා. රාජසිංහ රජු මහනුවර සීතාවකට ඈඳා ගන්නවා. ඔහු එහි ප්‍රාදේශීය පාලකයා විදිහට වීරසුන්දර මුදියන්සේ පත් කරනවා.

1587 දී කෝට්ටේ රාජධාණියේ ප්‍රදේශ වලින් විශාල පංගුවක් අත් කරගන්න රාජසිංහ රජතුමා සමත් වෙනවා. ඒ අනුව ලංකාවේ බලවත්ම දේශපාලන ඒකකය විදිහට සීතාවක පත්වෙනවා. පෘතුගීසින් ගේ තත්වය පත් වෙන්නෙ අවදානම් අඩියකට​.


මේ අතරේ කරල්ලියද්දේ බන්ඩාර රජු, ඔහුගේ බිසව සහ ඔහුගේ පුතා වසූරිය වැළඳීමෙන් මන්නාරමේදී මිය යනවා. මිය යාමට පෙර ඔහු තමාගේ අනුප්‍රාප්තිකයා විදිහට තමාගේ බෑණා වන යමසිංහ බණ්ඩාර නම් කරනවා. ඒ වගේම තම දියණිය වන කුසුමාසන දේවිය වැඩිවිය පැමිණි පසු ඇයව යමසිංහ බණ්ඩාරට විවාහ කර දෙන ලෙස පෘතුගීසින් ගෙන් ඉල්ලා සිටිනවා. පෘතුගීසින් මේකට එකඟ වෙනවා එක කොන්දේසියක් මත - යමසිංහ බණ්ඩාර සහ කුසුමාසන දේවිය කතෝලික ආගම වැළඳ ගත යුතුයි. ඒ අනුව ඔවුන් දෙදෙනා දොන් ෆිලිපේ සහ දෝන කැතරිනා නමින් බෞතීස්ම කෙරෙනවා.

නමුත් මේ තත්වය සම්පූර්නයෙන්ම කණපිට හැරෙන්නෙ ගතවෙන්නෙ ඉතාම කෙටි කාලයයි.

රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගෙන බුද්ධාගමට අඩන්තේට්ටම් කරන නිසා සිංහලයන් අතර ඔහුගේ ජනප්‍රියත්වය අඩු වෙනවා. ඉන්දියාවේ ඉඳල එන අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් ඔහුගේ ප්‍රධාන උපදේශක තනතුරේ ලා කටයුතු කිරීම සිංහල ප්‍රභූන් ගේ දැඩි අප්‍රසාදයට හේතු වෙනවා.

මේ තත්වය පුපුරා යන්නේ මහනුවර රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති වීමෙන්. කැරැල්ලේ නායකත්වය දරන්නේ වීරසූරිය මුදියන්සේ. රාජසිංහ රජු සාම සාකච්ඡාවකට වීරසුන්දර මුදියන්සේට සීතාවකට ආරාධනා කරලා ඔහු පැමිණි පසු රහසේම ඔහුව ඝාතනය කරනවා. ඒ බොරු වලක වැටෙන්නට සැලැස්වීමෙන්. ඊට පස්සෙ හමුදාවකුත් සමඟ මහනුවරට යන රාජසිංහ රජු දරුණු ආකාරයට කැරැල්ල මැඩපවත්වනවා.

වීරසුන්දර මුදියන්සේ ගේ තරුණ පුතා වන කොනප්පු බණ්ඩාර ආරක්‍ෂාව පතා පෘතුගීසින් වෙත පැනල යනවා. එහිදී ඔහු ඕස්ට්‍රියාවේ දොන් ජොආඕ නමින් බෞතීස්ම කෙරෙනවා. ඔහු පෘතුගීසින් ගේ ලැස්කොරින් හමුදාවේ මුළාදෑණියෙක් විදිහට සේවයට බැඳෙනවා. කෙටි කාලයකින්ම තම රණ ශූරත්වය නිසා පෘතුගීසින් ගේ සිත් දිනාගන්න මේ තරුණයා ලැස්කොරින් හමුදාවේ නායක තනතුරට පත් වෙනවා.

1592 දී කතෝලික භක්තික මුදලි වරයෙක් වන දොන් ෆ්‍රැන්සිස්කෝ යටතේ මහනුවර තවත් කැරැල්ලක් ඇති වෙනවා. කැරලි කරුවන් රාජසිංහ රජුගේ හමුදාව මහනුවරින් පළවා හැරල සිහසුන භාර ගන්න දොන් ෆිලිපේ ට ආරාධනා කරනවා. මහනුවර තමාගේ ග්‍රහනයට ගන්න ලැබුනු මේ කදිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන පෘතුගීසීන් කපිතන් ජොආඕ ඩි මේලෝ යටතේ 400 ක පෘතුගීසි බලඇණියක් සහ දොන් ජොආඕ යටතේ ලැස්කොරින් බල​ඇණියක් සමඟ දොන් ෆිලිපේ කුමරුවා මහනුවරට යනවා.

මහනුවරට එන දොන් ෆිලිපේ මහනුවර රජු විදිහට අභිෂේක ලබනවා.

ඒත් ටික දවසකට පස්සේ තදබල විදිහට රෝගාතුර වීමෙන් දොන් ෆිලිපේ මිය යනවා. පෘතුගීසින් චෝදනා කරන්නේ දොන් ජොආඕ ඔහුට වස දී මරා දැමූ බවට​. දොන් ජොආඕ පෘතුගීසින් ඔහුට වස දුන් බවට පෙරළා චෝදනා කරනවා. මේ ගැටුම ඉක්මනින්ම පෘතුගීසින්ට එරෙහිව කැරැල්ලක් බවට පත් වෙනවා. උඩරට ප්‍රභූන් දොන් ජොආඕ ට සහය පළ කරනවා. තත්වයේ බැරෑරුම් කම වටහා ගන්න පෘතුගීසින් ඉක්මනින්ම මන්නාරම බලා පසු බසිනවා.

ඒ එක්කම නැවතත් බුද්ධාගම වැළඳ ගන්න දොන් ජොආඕ, විමලධර්මසූරිය නමින් මහනුවර රජ වෙනවා.


1593 දී රාජසිංහ රජතුමා මහනුවර ආක්‍රමනය කරනවා. නමුත් බලනේදී ඔහුගේ හමුදාවට දරුණු පරාජයක් අත් කර දෙන්න විමලධර්මසූරිය සමත් වෙනවා. පරාජය වෙලා ආපහු යද්දි රාජසිංහ රජතුමා කකුලේ උණ කටුවක් ඇනීමෙන් ලේ විෂ වෙලා රෝගාතුර වීමෙන් මරණයට පත් වෙනවා.

මේ ජයග්‍රහනයත් එක්ක විමලධර්මසූරිය මහනුවර රජු වශයෙන් තහවුරු වෙනවා. නමුත් රජ වුනත්, විමලධර්මසූරිය රාජවංශිකයෙක් නෙවෙයි. මේ නිසා මහනුවර ප්‍රභූන් ගෙන් ඔහුට ලැබෙන්නේ ඇල් මැරුණු සහයෝගයක්.

රාජසිංහ රජතුමාගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තිකයෙක් නොමැති වීම නිසා සීතාවක රාජධාණිය අභාවයට යනවා. එයට අයත්ව තිබුණු ප්‍රදේශයන් කෝට්ටේ රාජධාණියට ඈඳා ගන්න පෘතුගීසින් සමත් වෙනවා.

රාජසිංහ රජතුමාගේ ප්‍රභල හමුදාව පෘතුගීසින් යටතේ ලැස්කොරින් බලකායක් විදිහට ඈඳා ගැනෙනවා. එහි නායකත්වය ගන්නේ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්. නමුත් ඔහු මේ වෙද්දි ජයවීර බණ්ඩාර මුදලි විදිහට නම වෙනස් කරගෙන​. රාජසිංහ රජුගේ භාණ්ඩාගාරයෙන් විශාල වස්තු සම්භාරයක් කොල්ල කෑමෙන් ඔහු සෑහෙන ධනයක් එක් රැස් කරගන්නත් සමත් වෙලා. මේ ධනය නොමසුරුව බෙදාදීමෙන් ඔහු තමාට ලැදි සැලකිය යුතු පිරිසක් හදාගන්න සමත් වෙනවා. මේ ධනය සහ බලය පාවිච්චි කරල ඔහු පෘතුගීසින් අතර තැනක් හදාගන්න සමත් වෙනවා.


සැලැසුම​


මේ කාලයේදී ලංකාවේ පෘතුගීසි ආණ්ඩුකාරයෙක් හිටියේ නෑ. ඒ වෙනුවට ලංකාවේ පෘතුගීසි හමුදාවල අණදෙන නිලධාරියා වුනේ කපිතන්-මේජර් වරයෙක්. 1594 දී මේ තනතුර දැරුවේ පේද්‍රෝ හොමේම් පෙරෙයිරා විසින්.

කපිතන්-මේජර් වරයා යටතේ කපිතන් වරු ගණනාවක් සේවය කළා. මේ අතරින් ජේෂ්ඨ කපිතන් වරු කොළඹ​, මන්නාරම​, ගාල්ල​, මීගමුව​, හලාවත ආදී බලකොටු බාරව හිටියා. මේ අය අතරින් ප්‍රධාන වුනේ ප්‍රධාන පෘතුගීසි බලකොටුව වුනු කොළඹ බාර කපිතන් වරයා. 1594 දී මේ තනතුර දැරුවේ ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා විසින්.

1594 දී වංශවත් පෘතුගීසි ජාතිකයෙක් - ෆිඩල්ගෝ වරයෙක් - මොලුක්කා හි පෘතුගීසි කොලනි වල ඉඳලා ගෝව බලා යද්දි දින කීපයකට කොළඹ නතර වෙනවා. ඔහු පේද්‍රෝ ලෝපෙස් ඩි සූසා.

පේඩ්‍රෝ ලෝපේස් ඩි සූසා ඉතාමත් කඩවසම් ආරෝහ පරිණාහ දේශයකින් සහ ඊටම ගැලපෙන තඹවන් රැවුලකින් යුක්ත බොහොම ප්‍රතාපවත් පුද්ගලයෙක් කියලයි විස්තර කෙරෙන්නේ. ඔහු පෙරදිග පෘතුගීසි යටත් විජිත වල සේවය කළ පළපුරුදු සොල්දාදුවෙක්.

ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා තමාගේ හිතේ ඇඳුනු සැලසුමක් ගැන මේ ගමනේදී සූසා ට කියනවා. ඒ ලංකාව සම්පූර්නයෙන්ම පෘතුගීසි ග්‍රහනයට ගැනීම සඳහා සකස් කෙරුනු බොහොම සූක්‍ෂම උපායක්.

සිල්වා ගේ සැලසුම අනුව එවකට දොළොස් හැවිරිදි දෝන කැතරිනා කුමරිය - මහනුවර රජ පවුලේ ජීවතුන් අතර සිටි එකම කෙනා - පෙරටු කරගත්ත පෘතුගීසි හමුදාවක් මහනුවර ආක්‍රමනය කරනවා. තමාගේ රාජ වංශික කුමරිය සමඟ එන මේ හමුදාවට උඩරැටියෝ එරෙහි වෙන්නේ නෑ. පෘතුගීසින් කුමරිය සිහසුනේ තබනවා. ඒ පෘතුගාලයේ රජුගේ යටත් පාලකයෙක් විදිහට​. ඊට පස්සේ ඇයව වංශවත් පෘතුගීසි ජාතිකයෙක්ට විවාහ කරල දෙනවා. කුමරිය දැනටමත් කතෝලික ආගම වැළඳගෙන ඇති නිසා මේ විවාහය කිරීම අපහසු වෙන්නේ නෑ. එමගින් පෘතුගීසි ලෙය ඇති කුමාරයෙක් මහනුවර සිහසුනට පත් කෙරෙනවා. කෝට්ටේ දැනටමත් පෘතුගාලයේ යටත් රාජ්‍යයක් විදිහට පවතින නිසා මේ උපායෙන් මුළු ලංකාවම පෘතුගීසි ග්‍රහනයට ගැනීමට ඔවුන්ට හැකි වෙනවා.

සූසා මේ උපාය ගැන ගෝවේ දී පෘතුගීසි පාලන අධිකාරියට කියනවා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් ඒ සැලසුම පිළිගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා.

මේ මෙහෙයුමේ ප්‍රධාන අණදෙන නිලධාරියා විදිහට ඔවුන් පත් කරන්නේ පේද්‍රෝ ලෝපේස් ඩි සූසාව මයි. දෝන කැතරිනා කුමරියට විවාහ කරදෙන්න අපේක්‍ෂා කරන පෘතුගීසි ජාතිකයා කවුද කියන එක හරියටම පැහැදිලි නෑ. සමහර තැන් වලදී කියැවෙන්නේ ඒ කොළඹ කොටුවේ කපිතන් ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා කියලා. සමහර තැන් වලදී කියැවෙන විදිහට ඒ සූසා ගේ පුතා. සිල්වා වංශවත් ෆිඩල්ගෝ වරයෙක් නොවුනු නිසාත්, සූසා ෆිඩල්ගෝ වරයෙක් වුනු නිසාත්, දෝන කැතරිනාට විවාහ කරදෙන්න යෝජනා වුනේ සූසා ගේ පුතා කියල හිතන එක වඩා සාධාරනයි.

මෙහෙයුම සඳහාම අළුත්ම නිලයක් හඳුන්වා දීලා පේද්‍රෝ ලෝපේස් ඩි සූසා ඒ නිලයට පත් කරන්න ගෝවේ පාලනාධිකාරිය කටයුතු කරනවා. ඒ ලංකාවේ පෘතුගීසි බලප්‍රදේශ වල ආණ්ඩුකාර තනතුර​. ඒක හැඳින්වෙන්නේ "විජයග්‍රාහී සෙන්පතියා" (General Conquistador) නමින්.

නමුත් සූසා ලංකාවේ සේවය නොකළ සොල්දාදුවෙක් නිසා ඔහුට සිංහලයන් ගේ සටන් ක්‍රම හෝ ලංකාවේ භූගෝලීය පිහිටීම් ගැන අවබෝධයක් තිබුනේ නෑ. ඒ එක්කම තමාට ඉහළින් නිලධාරියෙක් පත් කිරීම ගැන කපිතන්-මේජර් පේද්‍රෝ හොමේම් පෙරෙයිරා දැඩි නොසතුටට පත් වෙනවා. ඒ නිසා ඔහු මෙහෙයුමට දක්වන්නේ ඇල් මැරුණු සහයක්.


ආක්‍රමනය​


1594 අප්‍රේල් මාසයේදී පේද්‍රෝ ලෝපේස් ඩි සූසා නැව් 18 ක් සහ පෘතුගීසි සෙබළු 600 ක් සමඟ ගෝවෙන් පිටත් වෙනවා. නමුත් මීගමුව අසල මුහුදේදී ඔවුන් ගේ සැපයුම් නැව මුහුදු බත් වීම නිසා ඔවුන් මහත් කරදරයට පත් වෙනවා. මේ හේතුවෙන් මුළු මෙහෙයුම පුරාම ඔවුන්ට සටන් කරන්න සිද්ධ වෙන්නේ ප්‍රමානවත් තරම් සැපයුම් නොමැතිව​.

රළු මුහුද නිසා කොළඹට යාත්‍රා කිරීම අපහසු බව තීරණය කරන සූසා මීගමුවෙන් ගොඩ බැහැලා කොළඹ දක්වා පාගමනින් එනවා. කොළඹදී විවේක ගන්න හමුදාව සීතාවක දක්වා ගමන් කරනවා. සීතාවකදී ඔවුන්ට ජයවීර බණ්ඩාර මුදලි 15,000 ක ලැස්කොරින් හමුදාවක් එක්ක එකතු වෙනවා. ආක්‍රමනික හමුදාවේ ලැස්කොරින් සෙබළුන්ට අණ දෙන්නේ ඔහු. මේ ලැස්කොරින් හමුදාවෙන් වැඩි පිරිස රාජසිංහ රජතුමා ගේ හමුදාවේ සේවය කළ අය​. මේ ලැස්කොරින් හමුදාවට අලි ඇතුන් 47 දෙනෙක් ගෙන් සමන්විත ඇත් පන්තියකුත් ඇතුළත්.

මේ අතර මන්නාරමේ ඉඳලා කපිතන් ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා පෘතුගීසි සෙබළු 200 ක් සහ දෝන කැතරිනා කුමරිය සමඟ ඇවිත් ප්‍රධාන හමුදාවට එක් වෙනවා.

ලංකාවේ යුධ කටයුතු ගැන අවබෝධයක් තියෙන සෙබළුන් ගේ අවවාද නොතකා සූසා උඩරට බලා තමාගේ ප්‍රභල හමුදාවත් එක්ක ගමන් අරඹනවා. ඒත් මේ වෙද්දි නිරිතදිග මෝසම පටන් අරගෙන නිසා ඔවුන්ට හමුවන හැම ගංගාවක්ම පිරී ඉතිරී ගිහිල්ලා. මේ නිසා ඔවුන්ට ඉදිරියට යන්න වෙන්නේ බොහොම හෙමින්.

ප්‍රමාද වුනත් වැඩි කරදරයකින් තොරව ඔවුන් බලන දුර්ගය පාමුලට එනවා. එතැන ඉඳලා කඩුගන්නාව දක්වා ඔවුන්ට යන්න තියෙන්නෙ ඉතාමත් දුෂ්කර වගේම ඉතාමත් භයානක කඳුකර මාර්ගයක් ඔස්සේ. උඩරැටියෝ ගස් කපා හෙලීමෙන් ඔවුන් ගේ මග අවහිර කරලා, ආරක්‍ෂිත ස්ථාන වල ඉඳල ඔවුන්ට පහර දෙනවා. ඒත් හෙල්ල ගත් සෙබළුන් විසින් එල්ල කරන ප්‍රහාර වලින් පහසුවෙන්ම උඩරැටියන්ව පළවා හරින්න පෘතුගීසින්ට පුළුවන් වෙනවා.

නොසිතූ තරම් පහසුවෙන් ආක්‍රමනික හමුදාවේ පෙරමුණු බල​ඇණිය උඩරැටියන් ගේ ප්‍රහාර වළක්වමින් බලන දුර්ගය තරණය කරනවා. ඔවුන් එදා හවස් වෙද්දී ගන්නෝරුව දක්වා ඇවිත් මහවැලි ගඟ අසල කඳවුරු ලාගෙන හමුදාවේ ඉතිරිය පැමිණෙන තුරු ඉන්නවා.

පහුවදා, 1594 ජූලි 5 වැනිදා, පෘතුගීසින් සටනකින් තොරවම මහනුවරට ඇතුල් වෙනවා.

විමලධර්මසූරිය රජතුමා තමාගේ සේනාවත් එක්ක වෙල්ලස්සට පැනලා යනවා. සටනකින් තොරවම ඔහු මේ විදිහට පැනල යන හේතුව අපැහැදිලියි. සමහරවිට වඩා වාසිසහගත අවස්ථාවක් එනතුරු කල් මරන්න සංග්‍රෝමපායන් ගේ කෙළ පැමිණි සෙන්පතියෙක් වන ඔහු තීරණය කරන්න ඇති. නැතිනම් රාජ වංශික කුමාරිකාවක් එක්ක එන හමුදාවට එරෙහි වීම උඩරැටියන් ප්‍රතික්‍ෂේප කරන්න ඇති.


මහනුවර


සාර්ථක විදිහට මහනුවර අල්ලා ගත්තට පස්සේ සූසා තමාගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. දින තුනකට පස්සේ දෝන කැතරිනා කුමරිය උත්සවාකාරයෙන් මහනුවර රැජිණ විදිහට ඔටුනු පළඳිනවා. මහනුවර වැසියෝ ඉතාම උත්සවාකාරයෙන් ඒක සමරනවා. පෘතුගීසින් ගේ සැලසුම සාර්ථක වෙන්න ඉතාම ආසන්න බව පේන්න තියෙනවා. මේ අවුරුදු 2000 ක සිංහල බෞද්ධ රාජ්‍යයේ අවසානය.



ඒත් පෘතුගීසින් මෙතැනදී වැරදි දෙකක් කරනවා.

පළමුවැන්න​, දෝන කැතරිනා කුමරිය බැහැ දැකීමට මහනුවර ප්‍රභූන්ට අවසර නොදී ඇයව පෘතුගීසි කාන්තාවක් සහ කතෝලික පියතුමෙක් ගේ ආරක්‍ෂාව යටතේ තැබීම​. මේ හේතුවෙන් මහනුවර ප්‍රභූන් දැඩි කනස්සල්ලට පත් වෙනවා. ඒ එක්කම ඇයව පෘතුගීසියෙක්ට විවාහ කරදීමේ සැලසුම ගැන ආරංචි වෙද්දි ඔවුන් ආක්‍රමනයට සහය පලකරන තැන ඉඳලා ආක්‍රමනයට සතුරු තැනක් දක්වා වෙනස් වෙනවා.

දෙවැන්න, පෘතුගීසි සෙබළු තමාගේ සුපුරුදු හැසිරීම දක්වමින් අවට ගම් කොල්ල කන්නත්, කාන්තාවන් දූෂනය කරන්නත් පටන් ගැනීම​. මේ හේතුවෙන් මහනුවර අවට සාමාන්‍යය වැසියන් පෘතුගීසින් ගැන දැඩි අප්‍රසාදයක් ඇති කර ගන්නවා.

මේ විදිහට මහනුවර ප්‍රභූන් සහ සාමාන්‍යය වැසියන් යන දෙපිරිසම පෘතුගීසින්ට විරුද්ධ වෙනවා.

විමලධර්මසූරිය ක්‍රියාත්මක වෙන්නේ හරියටම මේ වෙලාවේ.


ගරිල්ලා සටන්


සූසා මේ මොහොතේ දරුණු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒ 15,000 කට අධික තමාගේ හමුදාවට අවශ්‍යය කෑම බීම සැපයීම​. කෑම සොයා ගැනීමේ අරමුණෙන් ඔහු කුඩා හමුදා කණ්ඩායම් අවට ගම් වලට යවනවා. මේ හමුදා කණ්ඩායම් ගම්වාසීන් බිය වද්දමින් ඔවුන් සතු ආහාර මංකොල්ල කනවා. ඒ අතරේ විමලධර්මසූරිය රජතුමාගේ හමුදාව මේ හමුදා කණ්ඩායම් වලට ගරිල්ලා ප්‍රහාර එල්ල කරනවා. මේ ප්‍රහාර කොයිතරම් දරුණු වෙනවද කිව්වොත් ටික දවසකින්ම සූසා ගේ හමුදාවට අවශ්‍යය තරම් ආහාර නොලැබී යනවා.

ගරිල්ලා ප්‍රහාර වලින් පීඩා විඳගනිමින් මහනුවර දීර්ඝ කාලයක් රැඳී ඉන්න අපහසු බව වටහා ගන්න සූසා ජයවීර බණ්ඩාර යටතේ ලැස්කොරින් සේනාංකයක් වෙල්ලස්සට පිටත් කර යවනවා. ඒ සැඟවී සිටින විමලධර්මසූරිය රජතුමා අල්ලා ගැනීමේ අරමුණෙන්. ඒත් ඔවුන්ට හැකි වෙන්නේ ඔහුගේ මහළු මාමා කෙනෙක් අත් අඩංගුවට ගන්න විතරයි. මහනුවරට රැගෙන එන මේ සිරකරුවාව හිස ගසා දමා මරණයට පත් කරන්න සූසා අණ දෙනවා. මේ සිද්ධියෙන් මහනුවර ජනතාව අතර පෘතුගීසින් තවත් අප්‍රසාදයට පත් වෙනවා.

කතෝලික ආගම වැළඳ ගත් සිංහල මුදලි වරයෙක් වූ ලුයිස් මොරෝ 3000 ක ලැස්කොරින් සේනාංකයක් එක්ක ඌවට යන්නේ විමලධර්මසූරිය අල්ලා ගන්නා අදහසින්. ඒත් විමලධර්මසූරිය රජු මේ ලැස්කොරින් හමුදාවට පහර දීලා සම්පූර්නයෙන්ම විනාශ කරනවා. අත් අඩංගුවට පත් වෙන ලුයිස් මොරෝ ගේ හිස ගසා දමනවා. ඒ සූසා කළ අපරාධයට පළි ගැනීමක් විදිහට​.

මේ අතර නිරිත දිග මෝසම් වැසි තදින්ම ඇද හැලෙනවා. මහවැලි ගඟ උතුරලා යනවා. සූසා ගේ හමුදාවේ බොහෝ දෙනෙක් වැස්සත් එක්ක එන උණ රෝගයෙන් පීඩා විඳිනවා.


කුමන්ත්‍රනය​


මේ අතරේ ඉතාම රහසිගතව විමලධර්මසූරිය රජතුමා ජයවීර බණ්ඩාර සමඟ කුමන්ත්‍රනයක් පටන් ගන්නවා. ජයවීර බණ්ඩාර පෘතුගීසින්ට විරුද්ධව තමාට සහය දුන්නොත්, කෝට්ටේ සහ සීතාවක ඔහුට පවරා දෙන බවට විමලධර්මසූරිය රජතුමා පොරොන්දු වෙනවා. මේ සියළු කතාබහ වෙන්නේ රහස් ලියුම් ඔස්සේ.

ජයවීර මේ යෝජනාවට එකඟ වුනාට පස්සේ, ඒ එකඟතාවය පළ කල ලියුම ඇතුළු තවත් ලියුම් කීපයක් සමඟ විමලධර්මසූරිය රජු ගේ පණිවුඩ කරුවෙක් පෘතුගීසින්ට අහුවෙනවා. ඒත් ඒක වෙන්නෙ විමලධර්මසූරිය රජුගේ උපදෙස් පරිදි. ලියුම් එක්ක පණිවුඩ කරුවා පෘතුගීසින්ට එකතු වෙන්නේ විමලධර්මසූරිය රජු ගේ උපදෙස් පරිදි.

ජයවීර බණ්ඩාර ගේ කුමන්ත්‍රනය ගැන දැනගන්න පෘතුගීසින් වියරු වැටෙනවා.

සූසා සහ පෘතුගීසි කපිතන් වරු කීප දෙනෙක් ජයවීර ගේ වාසස්ථානයට ගිහින් ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. ඔහුගේ පිළිතුරු වලින් පෘතුගීසින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. පෘතුගීසි කපිතන් වරු තුන් දෙනෙක් -අන්තෝනියෝ බාබෝසා, ෆ්‍රැන්සිස්කෝ ඩි බ්‍රිටෝ, ෆ්‍රැන්සිස්කෝ ඩැලියුම්- ජයවීරට කිණිසි වලින් ඇනලා මරනවා.


මේ සිද්ධිය සාමාන්‍යය සෙබළුන්ට ආරංචි වුනාට පස්සේ දරුණු කලකෝලහල ඇති වෙනවා. බියෙන් හා කෝපයෙන් වියරු වැටුනු පෘතුගීසි සෙබළු ලැස්කොරින් සෙබළුන්ට පහර දෙනවා. ලැස්කොරින් සෙබළු පණස් දෙනෙක් පමණ මිය යනවා.

ඒ අතර පෘතුගීසි සෙබළු ජයවීර රැස් කරගෙන සිටි රාජසිංහ රජතුමාටායත්ව තිබුණු වස්තු සම්භාරය කොල්ල කනවා. ඔහු සතුව රන්කාසි බුසල් 9 ක් තිබුණු බව කියැවෙනවා.

ලැස්කොරින් සෙබළු කඳවුර අත හැරලා තමාගේ ආයුධත් එක්ක විමලධර්මසූරිය රජු වෙත පලා යනවා. පහුවදා උදේ වෙද්දි පෘතුගීසින්ට ඉතුරු වෙන්නෙ කොළඹින් සහ මන්නාරමෙන් ආපු ලැස්කොරින් සෙබළු විතරයි. 15,000 පමණ වුන සීතාවක බල​ඇණිය උඩරැටියන්ට එකතු වෙලා.

තමා පත් වෙලා ඉන්න තත්වය ගැන පෘතුගීසි සෙබළු මහත් කනස්සල්ලට පත් වෙනවා. ඔවුන්ට හරිහැටි කෑම බීම වත් සපයා ගන්න බෑ. කොළඹ ගොඩක් දුරයි. උතුරා යන ගංගා සහ බලන දුර්ගය ඔස්සේ පසුබසින එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි.

ඉතුරු වුන ලැස්කොරින් සෙබළුන් ගේ පක්‍ෂපාතීත්වය තියා ගන්න සූසා ඔවුන්ට සතියක් ඇතුළත දෙපාරක් වැටුප් ගෙවනවා. ඒත් දෙවැනි වැටුප ගත්තට පස්සෙ ඔවුනුත් උඩරැටියන්ට එකතු වෙනවා.


පසුබැසීම​


තමාගේ සැලසුම ව්‍යර්ථ වුන බව වටහා ගන්න සූසා කොළඹ බලා පසුබසින්න තීරණය කරනවා. ඔහු දෝන කැතරිනා කුමරියත් සමඟ ආපසු යෑමට තමාගේ හමුදාව සූදානම් කරනවා.

1594 ඔක්තෝබර් 5 වෙනිදා පෘතුගීසි හමුදාව මහනුවරින් පිටත් වෙන්වා. සූසා තමාගේ හමුදාව සකස් කරන්නෙ කොටස් තුනකට​. කපිතන් ගැස්ටාඕ කුටිඤ්ඤෝ ගේ නායකත්වයෙන් යුත් පෙරමුණු බල​ඇණිය ඉදිරියෙන්ම යනවා. ඊළඟට යන්නෙ ඇතුන් පිට පැටවූ වෙඩි බෙහෙත්, ආහාරපාන​, දෝන කැතරිනා කුමරිය සහ සූසා ගේ පුතා වන දියේගෝ ලෝපේස් ද සූසා සමඟ යන ප්‍රධාන බල​ඇණිය​. ජනරාල් සූසා ගේ නායකත්වයෙන් යුතු පසු බල​ඇණිය අන්තිමට එනවා. ලුහුබැඳ පහර දෙන උඩරැටියන් ගේ ප්‍රහාර මැඩපැවැත්වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

එදා හවස් වෙද්දි ඔවුන් ගැටඹේ දක්වා ඇවිත්, මහවැලි ගඟ තරණය කරලා ගන්නෝරුවේ කඳවුරු ලනවා. එදා දවසේ උඩරැටියන් ඔවුන්ට පහර දෙන්නේ නෑ. තමාට වඩා වාසි සහගත තත්වයක් එනතුරු විමලධර්මසූරිය කල් මරනවා.

මේ වෙද්දි පෘතුගීසින් ගේ ආහාර සියල්ලම පාහේ ඉවර වෙලා. මේ නිසා පහුවෙනිදා සූසා තීරණය කරනවා ගන්නෝරුවේ රැඳී ඉඳලා අවට ගම් වලින් ආහාර ලබා ගැනීමට​. ඔවුන් මේ සඳහා පෘතුගීසි සෙබළු 150 ක් සහ ලැස්කොරින් සෙබළු කීපදෙනෙක් ගෙන් සමන්විත පිරිසක් සූදානම් කරනවා. මේ පිරිසට නායකත්වය දෙන්නේ කපිතන් වරු වන අන්තෝනියෝ බාබෝසා, ෆ්‍රැන්සිස්කෝ කොරේරා සහ අයිවාරෝ ඩි සූසා. ලැස්කොරින් සෙබළුන් ගේ නායකත්වය පේද්‍රෝ අෆොන්සෝ සහ මිගුවෙල් මොන්ටේරෝ මුදලි වරු දෙන්නට පැවරෙනවා.

මේ පිරිස කෑම හොයාගන්න එන්නෙ හල්ලොළුව ගම්මානය වෙත​. ඔවුන් එහිදී ගම්වාසීන් සතු වී සහ සහල් විශාල ප්‍රමානයක් කොල්ල කන්න සමත් වෙනවා. ඒත් ආපහු කඳවුරට යනවා වෙනුවට ඔවුන් ගමේ පන්සල සහ ගෙවල් ගිනිබත් කරන්න පටන් ගන්නවා.

මේ මොහොතේදී 7000 ක හමුදාවක් එක්ක විමලධර්මසූරිය ඔවුන් වෙත කඩා වදිනවා. ප්‍රහාරයේ ඉදිරියෙන්ම ඉන්නෙ සීතාවකින් ඇවිත් උඩරැටියන්ට එක් වුන ලැස්කොරින් සෙබළු. පෘතුගීසින් වී ගෝනි අතහැරලා කඳවුර වෙත පසුබසින්න උත්සහ කළත්, උඩරැටියන් කල් තියාම ඔවුන් ගේ මාර්ගය ගස් කපා දැමීමෙන් අවහිර කරලා. ආපහු කඳවුරට එන්න පුළුවන් වෙන්නෙ කපිතන් අල්වාරෝ ඩි සූසා සහ පෘතුගීසි සෙබළු අතළොස්සකට විතරයි.

ඔක්තෝබර් 8 වෙනිදා කුසගින්නේම නැවතත් පසු බැසීම පටන් ගන්න සූසා අණ දෙනවා. කතෝලික පියතුමෙක් විසින් පවත්වන දේව මෙහෙයක් සහ සූසා ගේ කෙටි කතාවකට පස්සෙ ඉතුරු වෙලා ඉන්න පෘතුගීසි සෙබළු 386 දෙනා බලන දුර්ගය දක්වා ගමන් අරඹනවා.


දන්තුරේ සටන​


පෘතුගීසි හමුදාව පසුබසින් මාර්ගය දෙපස ඇති කඳුගැට කරා විමලධර්මසූරිය තමාගේ හමුදාව මෙහෙයවනවා. ඔවුන් පහර දීම සඳහා සුදුසු තැනක් එනතුරු පෘතුගීසින් එක්කම ගමන් කරනවා. තමාව ලුහුබඳින මේ බියකරු සතුරාව පෘතුගීසි සෙබළෙක් විස්තර කරන්නෙ මෙහෙමයි.

"කැරලිකාර [උඩරට​] හමුදාව කොයිතරම් විශාලද කිව්වොත් අවට කඳුගැට සහ නිම්න සම්පූර්නයෙන්ම ඔවුන් ගෙන් වැහිලා ගියා. මේ රටේ සේවය කරල පලපුරුදු [පෘතුගීසි] සෙබළුන්ට මේ රටේ මේ තරම් මිනිස්සු ඉන්නවද කියල අදහ ගන්න බැරි වුනා."

විමලධර්මසූරිය රජතුමා කල්මරන්නේ පෘතුගීසින් ගන්නෝරුව තැන්න පහු කරන තුරු. ඔහු ඒකනායක මුදලි යටතේ හමුදාවක් බලන ද්ක්වා යවනවා පෘතුගීසින් ගේ පසුබැසීමේ මාර්ගය අවහිර කරන්න​. පෘතුගීසි හමුදාව ගන්නෝරුව තැන්න පහු කරලා සූරියගොඩ හරහා දන්තුරේට පිවිසෙනවාත් එක්කම ඔහු පෘතුගීසින්ව වට කරනවා.

සටන ඇරඹෙනවා.

උඩරැටියන් මුලින්ම පහර දෙන්නේ පෙරමුණු බලඇණියට​. සටන දිගැහැරෙන්නේ එකම අනුපිළිවෙලකට​. උඩරැටියන් පෘතුගීසින් ව වට කරලා ඔවුන් ගේ ගමන අවහිර කරනවා. උඩරැටියන් තමාගේ තුවක්කු වල සීමාව දක්වා එනතුරු ඉන්න පෘතුගීසින් වෙඩිමුරයක් තියනවා. ඊට පස්සෙ හෙල්ල ගත්ත සෙබළුන් එක පෙළට හිටගෙන උඩරැටියන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. උඩරැටියන් නැවතත් කඳුගැට දක්වා පසු බැහැල පෘතුගීසින්ට ඊතළ වලින් පහර දෙනවා. පෘතුගීසින් ඊතළ ප්‍රහාර මැද්දේ නැවතත් ඉදිරියට යනවා. උඩරැටියන් නැවතත් පෘතුගීසින්ව වට කරනවා.

එල්ල වන දරුණු ප්‍රහාරයන් මැද්දේ පෙරමුණු බල​ඇණිය ඉතාමත් අපහසුවෙන් ඉදිරියට ඇදෙනවා. ඔවුන් ගේ කපිතන් වරු තුන් දෙනෙක් -ගැස්ටාඕ කුටිඤ්ඤෝ, සිමාඕ පෙරෙයිරා, ෆ්‍රැන්සිස්කෝ ඩි බ්‍රීටෝ- මරනයට පත් වෙනවා.

උඩරැටියන් තමාගේ ප්‍රහාරයන් එල්ල කරන්නේ පෘතුගීසි හමුදාව දන්තුරේ අසල ඇති විශාල වෙල් යායකට යොමු වෙන විදිහට​. මේ උපක්‍රමය සාර්ථක වෙනවා. පෙරමුණු බල​ඇණිය වෙල් යායට ආවට පස්සෙ ඔවුන් එතැන කොටු වෙනවා. මඩ සහිත භූමියේ එරෙමින් ඉතා අපහසුවෙන් සටන් වදින ඔවුන් සුළු මොහොතකින් සම්පූර්නයෙන්ම විනාශ වෙනවා.

මේ වෙද්දි පෙරමුණු බල​ඇණිය පසුපස එන ප්‍රධාන බලැණියත් දන්තුරේ වෙලට ඇතුල් වෙනවා. පැය තුනක දරුණු සටනකින් පස්සෙ ඔවුන්ටත් අත් වෙන්නේ ඒ ඉරණමමයි. සටන මැද්දේ බිය වෙන අලි ඇතුන් සී සී කඩ පලා යන නිසා පෘතුගීසින්ට තමාගේ වෙඩි බෙහෙත් සහ කෑම අහිමි වෙනවා. දැන් ඔවුන්ට සටන් කරන්න වෙන්නෙ හිස් අතින් සහ හිස් කුසයකින්.

ඊටත් වඩා දරුණු ප්‍රශ්නයකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ දෝන කැතරිනා කුමරිය පිට නංවා ගත් අලියා බිය වී පළා යද්දී උඩරැටියන් විසින් ඌ අල්ලා ගැනීමට සමත් වීම නිසා කුමරිය උඩරැටියන් අතට පත් වීම​.

දැන් පෘතුගීසි හමුදාවෙන් ඉතුරු වෙලා ඉන්නෙ ජනරාල් පේද්‍රෝ ලෝපේස් ඩි සූසා ගේ නායකත්වයෙන් යුතු පසු බල​ඇණිය විතරයි.

සූසා තමාගේ බල​ඇණිය වෙල් යාය මගහැරලා මෙහෙයවන්න සමත් වෙනවා. ඔවුන් කුඩා කඳුගැටයක් උඩට යනවා. කඳු ගැටය මත ස්ථානගත වෙන පෘතුගීසින් මුළු දවස පුරාම උඩරැටියන් ගේ ප්‍රහාර වලට මුහුණ දෙමින් ඉතාමත් නිර්භීතව සටන් කරනවා. ඔවුන් සතු වෙඩි බෙහෙත් ඉක්මනින්ම ඉවර වෙන්වා. වෙඩි බෙහෙත් අවසන් වුනු පසු ඔවුන් සටන් කරන්නේ කඩු සහ හෙල්ල වලින්.

රෑ බෝවන තුරු උඩරැටියන් ගේ ප්‍රහාර සාර්ථකව මැඩ පවත්වන්න ඔවුන් සමත් වෙනවා. ඒත් ඔවුන් ගේ තත්වය ඉතාමත් දුක්ඛිතයි. එදා උදේ ඉඳල ඔවුන් කිසිම කෑමක් අරගෙන නෑ. ඔවුන් ගේ වෙඩි බෙහෙත් ඉවර වෙලා. ඔවුන් සියළුම දෙනා පාහේ තුවාල ලබලා. ජනරාල් වරයා ඉන්නෙත් තුවාල අටක් ලබලා ඉතාම අසීරු තත්වයේ.

රාත්‍රිය උදාවත් එක්කම උඩරැටියන් තමාගේ ප්‍රහාර නවත්වනවා. ඒ වෙනුවට ඔවුන් අවට කඳුවල ඉඳල මුළු රෑම බෙර වයමින්, හූ කියමින්, පෘතුගීසින් ගේ නින්දට බාධා කරනවා.

මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නෙ පෘතුගීසි සෙබළු 93 දෙනෙක් විතරයි.


යටත් වීම​


ඔක්තෝබර් 9 වෙනිදා උදේ පෘතුගීසින් යටත් වෙනවා.

දෝන කැතරිනා කුමරිය සහ දියේගෝ ලෝපේස් ද සූසා උඩරැටියන් විසින් අල්ලා ගන්න සමත් වෙනවා. තුවාල ලැබූ සුසාට ප්‍රතිකාර කරන්න විමලධර්මසූරිය තමාගේ වෛද්‍යවරුන්ට නියම කරනවා.

නමුත් අනෙක් පෘතුගීසින් ගේ ඉරණම ඒ තරම් යහපත් වෙන්නේ නෑ. අත් අඩංගුවට ගන්නා පෘතුගීසි සෙබළුන්ට ඔවුන් පසුගිය මාස කීපයේ උඩරැටියන්ට කළ නොපනත් කම් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඔවුන් කෙරෙහි දැඩි කෝපයෙන් පසු වෙන උඩරැටියන් ඔවුන්ව දරුණු වධ බන්ධන වලට ලක් කරනවා. බොහෝ දෙනාගේ ඇස් උගුල්ලා දමන අතර​, කන්, නාසා සහ ලිංගික අවයව කපා දැමෙනවා.

අත් අඩංගුවට පත් වෙන පෘතුගීසින් ගෙන් කොටසක් නැවතත් කොළඹ බලා යැවෙන්නේ කොළඹ ඉන්න පෘතුගීසින්ට නැවතත් මහනුව ආක්‍රමනය නොකිරීමට කෙරෙන අනතුරු ඇඟවීමක් විදිහට​. අනෙක් සිරකරුවන් බලන කොටුව හදන්න සහ මහනුවර දළදා මාළිගාව හදන්න යොදා ගන්නවා.

ජනරාල් සූසා තුවාල හේතුවෙන් දින තුනකට පස්සේ මරණයට පත් වෙනවා. ඔහු මිය යන්න කලින් විමලධර්මසූරිය රජුගෙන් කරන එකම ඉල්ලීම තමාගේ පුතාට අනතුරක් නොකරන ලෙස​. ඒ ඉල්ලීම අකුරටම ඉටු කරමින් විමලධර්මසූරිය රජතුමා දියේගෝ ලෝපේස් ද සූසා නිරුපද්‍රිතව කොළඹට යවනවා. පසුව ගෝවට යන ඔහු වසර කීපයකට පසුව අසු පිටින් වැටීමෙන් මිය යනවා.

දෝන කැතරිනා කුමරිය විවාහ කරගැනීමෙන් තමාගේ රාජ්‍යයත්වය තහවුරු කරගන්න විමලධර්මසූරිය රජතුමා සමත් වෙනවා. එතැනින් ඇරඹෙන මහනුවර රාජධාණිය සිංහල බෞද්ධ රාජ්‍යයේ ස්වාධීනත්වය තවත් අවුරුදු 200 ක් පුරාවට රැකගන්න සමත් වෙනවා.

පෘතුගීසින් ගේ ව්‍යර්ථ වුනු මහනුවර ආක්‍රමනය ගැන පෘතුගීසි ඉතිහාසඥ ක්වේරොස් කියන්නෙ මෙහෙම​.

"ඒ තරම් විශිෂ්ඨ සහ සියල්ලන් විසින් අත් කරගැනීමට ප්‍රයත්න දැරූ දූපතක සම්පූර්න බලය අල්ලා ගැනීමට ඔවුන් [පෘතුගීසින්] සමත් වුනා නම්......... එහි තහවුරු කර ගන්නා බලය සහ පෘතුගීසි ලෙය ස්වදේශිකයා සමඟ මිශ්‍ර වී පැතිරවීම මගින් මුළු මහත් පෙරදිගම ස්වාමීත්වය තහවුරු කර ගැනීමට තිබිණි........ පෘතුගීසි ජාතිය පෙරදිග මුල් බැස ගැනීමට තිබිණි. එහි දේශගුණයේ සොබාවය ජනගහණ වර්ධනයට ඉතා හිතකර වන නිසා සහ රටේ ධනස්කන්ධය නිසා අවුරුදු කීපයකින්ම ඉන්දියාවේ [පෙරදිග​] සතුරු ආක්‍රමන වලින් මිදුනු නව පෘතුගාලයක් බිහි කිරීමට තිබිණි."

සිතුවම : ප්‍රසන්න වීරක්කොඩි

(ප්‍රධාන මූලාශ්‍රය : Kandy Fights the Portuguese by Gaston Perera)

Sunday, July 22, 2018

සෙන් කතා - 3


බිමින් තැබීම​



තරුණ සෙන් භික්‍ෂුන් වහන්සේලා දෙනමක්, තන්සන් සහ එකිදෝ, වන්දනා ගමනක් යමින් හිටියා. කලින් දවසෙ වට වැස්සකින් පාරවල් මඩ වෙලා තිබුනේ.

පාරේ හතරමං හන්දියක දි ඔවුන් දැක්කා තරුණියක් පාර පනින්න බලාගෙන ඉන්නවා. ඇය ඉතාම ලස්සනයි. ඇය ඇඳල හිටියේ ඉතාම වටිනා සිල්ක් කිමෝනාවක්. පාරේ මඩ කිමෝනාවේ ගෑවෙයි කියන බය නිසා ඇය පාර පනින්න පැකිලෙමින් හිටියා.

තන්සන් ඇයව ඔසවාගෙන පාරෙ එහා පැත්තට ගෙනිච්චා. එකිදෝ ඒ දිහා බලාගෙන හිටියෙ අදහගන්න බැරි පුදුමයෙන්.

එදා දවසෙම එකිදෝ වචනයක් වත් කතා කලේ නෑ.

ඔවුන් රාත්‍රී නවාතැන් පොළට ඇවිත් නිදගන්න සූදානම් වුනා. එකපාරටම එකිදෝ කතා කළා.

"තන්සන් ඔබට වටින්නේ නෑ ඒ වගේ වැඩක් කරන්න​. අපි භික්‍ෂූන්. අපි බ්‍රහ්මචර්‍යාව ගැන දිවුරල තියෙන්නෙ. අපි කාන්තාවන් ළඟට යන්නෙ නෑ. විශේෂයෙන් ඒ වගේ තරුණ ලස්සන කෙල්ලො ගාවට​. ඇයි ඔබ ඒ වගේ වැඩක් කලේ?"

"මම ඇයව හතරමං හන්දියේ බිම තියල ආව​. ඒත් ඔබ තාමත් ඇයව ඔසවාගෙන යනව වගේ?"


මාර්ග දෙකක්



සටන් කලාව උගන්වන ගුරුවරයෙක් ගෙන් දවසක් ඔහුගේ ගෝලයෙක් මෙහෙම ඇහුවා.

"මම කැමතියි මගේ සටන් කලාව තවත් ප්‍රගුණ කරන්න​. මම තවත් ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තට කමක් නැද්ද​? මට තවත් සම්ප්‍රදායක් දැන ගන්න පුළුවන් වෙයි."

"හාවො දෙන්නෙක් පස්සෙ එළවන දඩයක්කාරයෙක් එක හාවෙක් වත් අල්ලගන්නෙ නෑ"


තාරුකා මාළුවෝ



ර්.යෝකන් නැමැති සෙන් ගුරුතුමා මුහුදු වෙරළේ ඇවිදිමින් උන්නා. කලින් දවසෙ රෑ කුණාටුවක් හැමුවා. කුණාටුව නිසා සිය ගණන් තාරුකා මාළුවො වෙරළට ගොඩ ගහල හිටියා. ඉර ක්‍රමයෙන් මුදුන් වෙද්දි සැඩ හිරු රැස් වලින් තාරුකා මාළු එක එකා මැරෙන්න පටන් ගත්තා.

ර්.යෝකන් තාරුකා මාළුවෝ එකා බැගින් ඇහිදිමින් මුහුදට විසි කළා.

වෙරළේ හිටපු ධීවරයෙක් දැක්කා ර්.යෝකන් කරන වැඩේ. ඔහු භික්‍ෂුව ළඟට ආවා.

"ඇයි ඔබ මේ වගේ පිස්සු වැඩ කරන්නෙ? කුණාටුවක් හමන හැම සැරේම සිය ගණන් තාරුකා මාළු ගොඩ ගහනවා. ඔබට ඔවුන් ඔක්කොම බේරගන්න බෑ. ඔබ ඔය කරන වැඩෙන් කිසිම වෙනසක් වෙන්නෙ නෑ."

"ඒත් මම වෙනස් වෙනවා."

ර්.යෝකන් තවත් තාරුකා මාළුවෙක් මුහුදට විසි කළා.


දෛවය​



සමුරායි වරයාගේ හමුදාව හිටියේ ඉතාම මහන්සි වෙලා. ඔවුන්ට වඩා තුන් ගුණයක් විශාල බලවත් සතුරු හමුදාවක් ඔවුන් පසුපස ලුහුබඳිමින් හිටියා. තවදුරටත් පලා ගියොත් ඔවුන් සියළු දෙනාම විනාශ වන බව සමුරායි වරයාට තේරුණා. ඒත් ඔහුගේ සෙබළු හිටියේ සටන් කරන්න සුදුසු තත්වයක නෙවෙයි.

ඔවුන් කඳුකරයේ ඈතට පලා ගියා. අතරමගදි ඔවුන්ට කුඩා දේවාලයක් හමුවුනා. ඔවුන් දෙවියන් පුද සත්කාර කරන්න මොහොතක් එතැන නතර වුනා.

සමුරායි වරයා හමුදාව අමතලා මෙහෙම කිව්වා.

"අපි කොයි වෙලේ හරි සතුරාට මුහුණ දෙන්න ඕනෙ. ඒත් අපේ දෛවය මොනවගේද කියල අපි කවුරුත් දන්නෙ නෑ. අපි දෙවියන් ඉදිරියේ දෛවය පිරික්සලා බලමු. මම මේ කාසිය උඩ දානවා. හිස වැටුනොත් අපි සටනෙන් දිනනවා. අගය වැටුනොත් පරදිනවා."

සෙබළු ඉතා ඕනෑකමින් බලාගෙන හිටියා. සමුරායි වරයා කාසිය උඩ දැම්මා. වැටුනේ හිස​.

සෙබළු එකා වගේ නැගිටලා ජයඝෝෂා කලා. ආපහු හැරිල ගිහින් තමාව ලුහුබඳින සතුරාට පහර දුන්නා. ඔවුන් එදා රෑ වෙද්දි විශිෂ්ඨ ජයක් ලැබුවා.

තරුණ සමුරායි වරයෙක් සමුරායි වරයාට කිට්ටු කලා.

"දෛවය වෙනස් කරන්න කාටවත් බෑ නේද​?"

"ඔව්. කාටවත් දෛවය වෙනස් කරන්න බෑ."

සමුරායි වරයා උඩ දාපු කාසිය පෙන්නුවා. ඒකෙ දෙපැත්තම තිබුනේ හිස​.


නිරය සහ දෙව්ලොව​



එක දවසක් සමුරායි වරයෙක් හකුයින් නැමැති ඉතාම ප්‍රසිද්ධ සෙන් භික්‍ෂුව හොයාගෙන ආව​.

"මට දැන ගන්න ඕනෙ නිරය සහ දෙව්ලොව ගැන​. ඒව ඇත්තටම තියෙනවද​?"

හකුයින් සමුරායි වරයා දිහා බැලුවා.

"ඔබ කවුද​?"

"මම සමුරායි කෙනෙක්"

"හා!" හකුයින් අවඥාවෙන් හිනා වුනා.

"ඒ වගේ සියුම් දේවල් තේරුම් ගන්න ඔබට පුළුවන් ද​? ඔබ නිකම්ම නිකම් සොල්දාදුවෙක්. මෙතනින් යනවා. ඔය වගේ මෝඩ ප්‍රශ්න අහල මගේ කාලය නාස්ති කරන්න එපා."

සමුරායි වරයාට යකා වැහුනා. ඔහු කඩුව ඇදල ගත්තේ හකුයින් ගෙ හිස දෙපළු කරන්න​. ඔහු කඩුව ඔසවද්දිම හකුයින් බොහොම සන්සුන්ව ආයෙත් කතා කළා.

"මේ තමයි නිරය​"

සමුරායි වරයා එක පාරටම ගල් ගැහුනා. ඔහු කඩුව බිම දාල භික්‍ෂුව ඉදිරියේ දණින් වැටුනා.

"මේ තමයි දෙව්ලොව​"

ඉතිහාස රස කතා - 1 (සැපරෝෂියානු කොසෑකයන් ගේ පිළිතුර)


සැපරෝෂියාව කියන්නෙ 16 වෙනි සියවසේ ඉඳල 18 වෙනි සියවස වෙනතුරු ක්‍රිමියානු අර්ධ ද්වීපයට ටිකක් උතුරට වෙන්න ද්නීපර් ගඟ අසබඩව පැවතුනු කොසෑක් වරුන්ගේ අර්ධ​-ස්වාධීන රාජ්‍යයක්.

1676 දී සැපරෝෂියානු කොසෑකයන් සහ තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය අතර යුධ ගැටුම් ඇති වෙනවා. ඔටෝමන් හමුදා සැපරෝෂියාව ආක්‍රමනය කළත්, ඔවුන්ව පරාජය කරන්න කොසෑකයන් සමත් වෙනවා.

නමුත් ඔටෝමන් අධිරාජ්‍යයා වුන හතරවන මෙහ්මඩ් කොසෑකයන්ට යටත් වන ලෙසට අණ කරමින් ලියුමක් එවනවා. ඒ ලියුම තියෙන්නෙ මේ වගේ :

සුල්තාන් මෙහ්මඩ් විසින් සැපරෝෂියානු කොසෑකයන් වෙත​,

මුහම්මද් නබි තුමාගේ පුත්‍රයා වන​, හිරු සහ සඳු ගේ සහෝදරයා වන​, දෙවියන් වහන්සේ ගේ මුණුපුරා සහ ප්‍රතිරාජයා වන​, මැසිඩෝනියාව​, බැබිලෝනියාව​, යෙරුසෙලම​, ඉහළ සහ පහළ ඊජිප්තුව​, ය​න රාජධාණි වල පාලකයා වන​, අධිරාජ්‍යයන් ගේ අධිරාජ්‍යයා වන​, රජුන් ගේ රජු වන​, අසාමාන්‍යය නයිට් වරයෙක් වන​, අපරාජිත​, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන් ගැබේ අචල ආරක්‍ෂකයා වන​, දෙවියන් වහන්සේ විසින්ම තෝරාගනු ලැබූ උන්වහන්සේ ගේ විශ්වාසවන්තයා වන​, මුස්ලිම් වරුන් ගේ බලාපොරොත්තුව සහ සහනය වන​, ක්‍රිස්තියානින් ගේ ආරක්‍ෂකයා වන​, සුල්තාන් වරයා වශයෙන් මම ඔබට​, සැපරෝෂියානු කොසෑකයන්ට​, ස්වේච්ඡාවෙන් යටත් වන ලෙසත්, කිසිදු ප්‍රතිරෝධයක් නොදක්වන ලෙසත්, නුඹලාගේ ප්‍රහාර වලින් මට තවදුරටත් කරදර නොකරන ලෙසත් අණ කර සිටිමි.

- තුර්කි සුල්තාන් මෙහ්මෙඩ්

සැපරෝෂියානු කොසෑකයෝ ඒ ලියුමට පිළිතුරක් යවනවා. ඒ පිළිතුර තියෙන්නෙ මේ වගේ:

සැපරෝෂියානු කොසෑකයන් විසින් තුර්කි සුල්තාන් වෙත​,

සුල්තාන් වරය, තුර්කි යක්‍ෂය, මකබෑවෙච්ච යක්‍ෂයාගේ ඥාති වරය​, ලුසිෆර් ගේ ලේකම් වරය​.

උඹ මොන යකාගේ නයිට් වරයෙක් ද​? උඹට උඹේ හෙළුවැලි පුකෙන් ඉත්තෑවෙක් මරන්නවත් පුළුවන් ද? යක්‍ෂයා රෙන කොට උඹේ හමුදාව කනවා. වේසිගෙ පුතෝ, උඹට කිසිම ක්‍රිස්තියානි කාරයෙක් ව පාලනය කරන්න බෑ. අපි උඹේ හමුදාවට බය නෑ. අපි ගොඩබිමත් මුහුදෙත් උඹට විරුද්ධව සටන් කරනවා. උඹේ අම්මට හැමනියං.

තෝ බැබිලෝනියාවේ කුස්සි අතුගාන එකෙක්. මැසිඩෝනියාවේ කරත්ත රෝද හදන එකෙක්. යෙරුසලමේ කසිප්පු පෙරන එකෙක්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ එළුවන්ට හැමනෙන එකෙක්. ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඌරන් බලන එකෙක්. ආමේනියාවේ ඌරෙක්. පොඩෝලියාවේ හොර දෙටුවෙක්. ටාටාර් වරුන් ගේ බච්ච කොල්ලෙක්. කම්‍යානෙට් හි අළුගෝසුවෙක්. මේ ලෝකයේ සහ අනිත් ලෝකයේ විහිළුකාරයෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ පල් මෝඩයෙක්. සර්පයෙක් ගේ මුණුපුරෙක්. අපේ පයියවල් වල උළුක්කුවක්. ඌරු හොම්බෝ, වෙළඹ ගෙ පුකෝ, මස්මඩුවේ අවලම් බල්ලෝ, බෞතීස්ම නොකළ කුකුළ් පෙන්දෝ ගිහිං උඹේ අම්මට හැමනියං.

නීචයා, ඒක තමයි සැපරෝෂියාවේ පිළිතුර​. උඹට ක්‍රිස්තියානි කාරයෙක් ගෙ ඌරන් බලන්නවත් ලැබෙන්නෙ නෑ. දැන් අපි නතර වෙන්නම්, මොකද අපි දන්නෙ නෑ අද දවස මොකද්ද කියලා. අපිට කැලැන්ඩරයක් නෑ. ආකාසේ හඳ තියෙනවා; අවුරුද්ද දෙවියන් සමඟ​; උඹලට උදාවෙන දවසම තමයි අපිටත් උදාවෙන්නේ. ඒ නිසා අපේ පුක ඉඹපං.

- ප්‍රධාන අටාමාන් ඉවාන් සිර්කෝ, මුළු මහත් සැපරෝෂියාවම සමඟ​

Wednesday, July 18, 2018

සෙන් කතා - 2



ධර්මාවබෝධය​



අධිරාජ්‍යයා දවසක් ප්‍රසිද්ධ මහළු සෙන් භික්‍ෂුවක් හමු වෙන්න ගියා.

"ගුරුතුමනී, ධර්මාවබෝධය ලබපු කෙනෙක් මිය ගියාම වෙන්නෙ මොකද්ද​?"

"මම දන්නෙ නෑ"

අධිරාජ්‍යයා පුදුම වුනා.

"ඒත් ඔබවහන්සේ ධර්මාවබෝධය ලබපු කෙනෙක් නෙ?"

"ඒත් මම මැරිල නෑ නෙ?"


ගෝනුස්සා



මහළු සෙන් භික්‍ෂුවක් ගඟක් ළඟ තිබුණ ගහක් මුල භාවනා කරමින් සිටියා. විවේක ගන්නා මොහොතක ඇස් දෙක ඇරල බැලුවම ඔහු දැක්කා ගඟේ ගෝනුස්සෙක් ගහගෙන එන හැටි. ඌ අසරණ වෙලා අඬු විහිදමින් බේරෙන්න උත්සහ කළත්, සැඩ රළ පාර ඌව දිහටම ගඟ පහලට ඇදගෙන ගියා.

භික්‍ෂුව ගහේ මුලක් අල්ල ගෙන ගඟට එබිලා ගෝනුස්සව අතින් අරගන්න උත්සහ කළා. ඒත් අත දැම්ම විතරයි ගෝනුස්සා අතට දෂ්ඨ කලා. දළ පාර යන්තම් වැදුනත්, ගෝනුස්සා විෂ සහිත එකෙක් නිසා භික්‍ෂුවට තද වේදනාවක් දැණුනා. ඔහු අත ආපහු ඇදල ගත්තා.

ඒත් ඊළඟ මොහොතේදී භික්‍ෂුව ගහේ මුල තවත් තදින් අල්ලගෙන ආපහු සැරයක් ගඟට අත දැම්මෙ ගෝනුස්සව බේරගන්න​.

ඒ සැරෙත් ගෝනුස්සා අතට දෂ්ඨ කළා. ඒ සැරේ නම් දළ පාර තදින්ම වැදුනා. භික්‍ෂුව වේදනාවෙන් මිරිකෙමින් බිම පෙරළුනා. ඔහුගේ අතෙන් ලේ බින්දු කඩා හැලුනා. ටික වේලාවකින්ම අත ඉදිමුනා.

අසලින් ගිය මගියෙක් භික්‍ෂුව වේදනාවෙන් පෙළෙනවා දැකල එතැනට දුවගෙන ආවා. සිද්ධ වුන දෙය දැනගත්තම ඔහු භික්‍ෂුවට දොස් පැවරුවා.

"ඔබට මොකද වෙලා තියෙන්නෙ? ඒ වගේ නපුරු, විසකුරු සතෙක් බේරගන්න තමාගෙ ජීවිතය අනතුරේ දාගන්නෙ මෝඩයෙක් විතරයි. ඔබ දන්නවද ඔය විෂෙන් ඔබ මිය යන්න වුනත් පුළුවන් කියලා?"

භික්‍ෂුව බිම වැතිර ඉන්න ගමන්ම ඔහුට උත්තර දුන්නා.

"දෂ්ඨ කිරීම ගෝනුස්සගෙ සොබාවය​. ඒත් ඒක එහෙමයි කියල මට මගේ සොබාවය වෙනස් කරගන්න පුළුවන් ද​?"


හොඳ නරක​



බන්කෙයි කියන්නේ ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක්. ඔහුගෙන් භාවනාව ඉගෙන ගන්න ජපානයේ හතර කොනේ ඉඳලම භික්‍ෂූන් ආවා.

එක දවසක් මේ භාවනා පන්තියක හිටපු ගෝල භික්‍ෂුවක් හොරකමක් කරල අහුවුනා. අනෙක් භික්‍ෂූන් "සොර භික්‍ෂුව​" බන්කෙයි ඉදිරියට අරගෙන ආවා. ඒත් බන්කෙයි ඒක ගැන කිසි දෙයක් කළේ නෑ.

දවස් කීපයකට පස්සේ ඒ භික්‍ෂුවම ආයෙත් හොරකමක් කරල අහුවුනා. අනෙක් භික්‍ෂූන් ආපහු සැරයක් බන්කෙයිට පැමිණිලි කලා. ඒත් ඔහු ආයෙත් මොකවත් කරේ නෑ.

අනෙක් භික්‍ෂූන් මේකෙන් දැඩි කලකිරීමකට පත් වුනා. ඔවුන් එකතු වෙලා තීරණයක් ගත්තා. ඔවුන් පහුවදාම සියළු දෙනා අත්සන් කළ පෙත්සමක් බන්කෙයිට බාර දුන්නා. ඒ පෙත්සමේ තිබුනේ එක්කෝ බන්කෙයි සොර භික්‍ෂුව භාවනා පන්තියෙන් ඉවත් කරන්න ඕනෙ, නැතිනම් අනෙක් සියළු දෙනා පන්තියෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශයක්.

බන්කෙයි පෙත්සම කියවල බැලුවා. සියළුම භික්‍ෂූන් ව කැඳෙව්වා.

"ඔබ සියළුදෙනා හරි වැරැද්ද හොඳින් දන්නවා. ඔබලා කැමති නම් වෙනත් භාවනා පන්තියකට සහභාගී වෙලා ඔබේ අධ්‍යන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒත් මේ භික්‍ෂුව හරි වැරැද්ද මොකද්ද කියල දන්නෙ නෑ.  මම ඔහුව මෙතැනින් ඉවත් කළොත් ඔහුට උගන්වන්නෙ කවුද​? ඒ නිසා ඔබ සියළු දෙනා ඉවත් වුනත් මම ඔහුට උගන්වන්න ඕනෙ"


වාසනාව​



දුප්පත් මහළු ගොවියෙක් හිටියා. ඔහු තරුණ කාලෙ ඉඳල මහළු වෙනකම්ම කලේ කුඹුරු ගොවිතැන​.

එක දවසක් ඔහුගේ අශ්වයා කැලේට පැනල ගියා. ඔහුගේ අසල්වැසියෝ කණගාටුවෙන් හිස සලලා මෙහෙම කිව්වා.

"කොච්චර අවාසනාවක් ද​?"

ඒත් ගොවියා කලබල වුනේ නෑ.

"හ්ම්....... අපි බලමුකෝ"

පහුවදා පැනල ගිය අශ්වයා කැලෑ අශ්වයො තුන් දෙකනෙක් එක්ක ආපහු ආවා. ඒක දැකපු අසල්වැසියෝ ඉතාමත් ප්‍රීතියට පත් වුනා.

"කොච්චර වාසනාවක් ද​?"

ඒත් ගොවියා කිව්වෙ මෙච්චරයි.

"හ්ම්....... අපි බලමුකෝ"

ඊළඟ දවසේ ගොවියාගේ පුතා කැලෑ අශ්වයෙක් පිටේ නගින්න හදද්දි අශ්වයා පිටින් වැටිලා කකුල කැඩුනා. අසල්වැසියෝ ගොවියා හමුවෙලා තමාගෙ කණගාටුව ප්‍රකාශ කලා.

"කොයිතරම් අවාසනාවක් ද​?"

ඒත් ගොවියා කම්පා වුනේ නෑ.

"හ්ම්....... අපි බලමුකෝ"

පහුවදා හමුදා සේවයට බඳවා ගැනීමේ නිලධාරීන් ගමට ආවා. ඔවුන් ආවේ ළඟ එන යුද්ධයක් වෙනුවෙන් තරුණයන් හමුදාවට බඳව ගන්න​. ඒත් මහළු ගොවියාගේ පුතාගේ කැඩුණ කකුල නිසා ඔහුව හමුදාවට බඳවා ගත්තේ නෑ.

අසල්වැසියෝ ආයෙත් තමාගේ ප්‍රීතිය පළ කලා.

""කොච්චර වාසනාවක් ද​?"

"හ්ම්....... අපි බලමුකෝ"


පෙළහර​



තරුණ සෙන් භික්‍ෂූන් තුන් දෙනෙක් දිය පාරක් අසබඩ භාවනා කරා. ඔවුන් රාත්‍රියට නිදාගත්ත පැල තිබුනේ ගඟෙන් එහා පැත්තේ.

එක දවසක් ඔවුන් භාවනා කරන්න පටන් ගන්න හදද්දිම එක පාරටම එක භික්‍ෂුවක් නැගිට්ටා.

"මට මගේ පැදුර අමතක වුනා නෙ"

ඔහු කිසි අමුත්තක් නැතුව දිය පාරට බැහැල වතුර මතුපිටින් ඇවිදගෙන එහා පැත්තට ගිහින් පැදුරත් අරගෙන ආපහු වතුර මතුපිටින් ඇවිදගෙන මෙගොඩට ආවා.

ඒක බලාගෙන හිටපු දෙවැනි භික්‍ෂුවත් නැගිට්ටා.

"මට දැන් මතක් වුනේ, මට අද උදේ හෝදපු ඇඳුම් වේලෙන්න දාන්න අමතක වුනා"

ඔහුත් දිය පාරට බැහැල වතුර මතුපිටින් ඇවිදගෙන එහා පැත්තට ගිහින් ටික වෙලාවකින් ආපහු වතුර මතුපිටින් ඇවිදගෙන මෙගොඩට ආවා.

මේක බලාගෙන හිටපු තුන් වැනි භික්‍ෂුව කලබල වුනා. මේ දෙන්න මට පේන්න පෙළහර පානවද​? ඔවුන් මට වඩා භාවනාවෙන් ඉදිරියට ගිහින් ද​?

ඔවුන්ට දෙවෙනි නොවෙන්න හිතපු තුන්වැනි භික්‍ෂුවත් නැගිට්ටා.

"එහෙනං මට පෙළහර පාන්න බෑ කියලද හිතන්නෙ? ඔන්න බලාගන්නවා!"

ඔහුත් දිය පාර ළඟට ගිහින් වතුර උඩට අඩිය තියල දිය මතුපිට ඇවිදින්න හැදුවා. ඒත් ඔහු ඉණක් දක්වා වතුරේ ගිලිල ගියා. මුළු ඇඟම තෙත බරිත වෙලා තිබුනත් ඔහු නැවත නැවත වතුර මතුපිට ඇවිදින්න උත්සහ කළා. ඒ හැම සැරේම ඔහු වතුරේ ගිලුනා.

අනෙක් භික්‍ෂූන් දෙන්නා සගයා දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියා.

ටික වෙලාවකින් එක් භික්‍ෂුවක් අනෙක් භිෂුවගෙන් මෙහෙම ඇහැව්වා.

"අඩිය තියන්න ඕනෙ ගල් තියන තැන අපි මිනිහට කියමුද​?"

Tuesday, July 17, 2018

මැග්යාර් මායාකාරයෝ - 4


ලෝක කුසලාන පරාජයෙන් පසු


ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වුනු පසු හන්ගේරියානු පිල නැවත සියරට බලා ආවා. ඒත් හන්ගේරියානු ක්‍රීඩා ලෝලීන් ගෙන් සහ හන්ගේරියානු රජයෙන් ඔවුන්ට ලැබුනේ උණුසුම් පිළිගැනීමක් නෙවෙයි.

ලෝක කුසලාන අවසන් තරගය දවසේ හන්ගේරියාවේ අගනුවර විශාල මහජන කැරලි ඇති වුනා. පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා ලෝලීන් වීදි බැහලා රජයේ ආයතන වලට පහර දුන්නා. විශාල පිරිසක් ගුවන් විදුලිය පිහිටි ගොඩනැගිල්ල වටකරලා විස්තර විචාරකයන් මරා දමන බවට තර්ජනය කළා.

මේ කැරලි වලින් හන්ගේරියානු රජය කලබල වුනා. මෙය ඔවුන් දැක්කේ රජයට එරෙහි නැගිටීමක් විදිහට​. ඒ වගේම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් කොමියුනිස්ට් සමාජයේ උසස් බව ලෝකයට කියාපෑමේ අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි වුනා. මේ කාරනා නිසා රජයත් පාපන්දු කණ්ඩායම කෙරෙහි දැක්වුයේ සතුරු ආකල්පයක්.

හන්ගේරියානු පාපන්දු පිළ සියරට බලා ආ විට දුම්‍.රිය පොළේ දී ඔවුන්ව පිළිගනිමින් හන්ගේරියානු රජයේ නායක රාකොස්කි ප්‍රකාශ කලේ "මේ තරගය වෙනුවෙන් ඔබ කිසි කෙනෙක්ට අපි දඬුවම් කරන්නේ නෑ" යනුවෙන්. එමගින් ඔහු ඉඟි කලේ ක්‍රීඩකයන් රාජ්‍යයට එරෙහිව කටයුතු කළ බව​.

පරාජයේ චෝදනා මූලික වශයෙන් එල්ල වුනේ කළමණාකාර සෙබෙස් සහ නායක පුස්කාස් වෙත​. විශේෂයෙන්ම පුස්කාස් අවසාන තරගයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කිරීම බොහෝ දෙනෙක් ගේ දැඩි විවේචනයට හේතු වුනා.

ඒත් නොබෝ කළකින්ම හන්ගේරියානු රජය සියළු වරද දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් වෙත එල්ල කලා. බටහිර ජර්මනිය ගෝල තුනක් ලබාගත්තේ ඔහුගේ දැල රැකීමේ දුර්වලතා නිසා බව චෝදනා කළ ඔවුන් ඔහු ඊට අමතරව බටහිර ධනවාදී රටවල් වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදුනු බවට චෝදනා කළා. මේ සඳහා දඬුවම වශයෙන් ඔහුව ඈත කුඩා නගරයකට පිටුවහල් කරා. අවුරුද්දක කාලයක් ඔහුට පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වුනා.


නැවතත් සුපුරුදු ගමනට​


පරාජයේ වේදනාවත් සමඟම මාස දෙකක විවේක කාලයකින් පසු මායාකාරයෝ නැවතත් පිටියට බැස්සා. ඒ රුමේනියාවට එරෙහිව 5-1 ක ජයක් ලබමින්. ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ සෝවියට් දේශයත් සමඟ​. මේ වන විට සෝවියට් දේශයත් හන්ගේරියාව අනුව යමින් ඉතා ශක්තිමත් පාපන්දු කණ්ඩායමක් ගොඩගනාගෙන හිටියා. තරගය 1-1 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

ඊට පස්සේ ස්විට්සර්ලන්තය 3-0 වශයෙන්, චෙකොස්ලොවැකියාව 4-1 වශයෙන් සහ ඕස්ට්‍රියාව 4-1 වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ ස්කොට්ලන්තයට එරෙහිව ග්ලාස්ගෝ නගරයේ. මේ තරගය ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ පැවැත්වුනා. දෙපිලෙන්ම ඉතාමත් ආක්‍රමන්ශීලී තරග රටාවක් දකින්න ලැබුනු මේ තරගය අවසානයේ 4-2 වශයෙන් ජයගන්න හන්ගේරියාව සමත් වුනා. ඒ ජයත් එක්ක නැවතත් ලෝකයේ පළමුවන කණ් ඩායම විදිහට හන්ගේරියාව ඉදිරියට ආවා.

ඊළඟට මායාකාරයෝ තවත් යුරෝපෝය තරග මාලාවකට සහභාගී වුනා. ඒවායින් නෝර්වේ 5-0, ස්වීඩනය 7-3, ඩෙන්මාර්කය 6-0, ෆින්ලන්තය 9-1, ස්කොට්ලන්තය 3-1 සහ ස්වීඩනය 4-2  වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඊළඟට සෝවියට් දේශයත් සමඟ පැවති තරගය නිම වුනේ ජය පැරදුමෙන් තොරව​. ඒ 1-1 වශයෙන්.


මධ්‍යම යුරෝපීය තරගාවලිය​


මේ අතර 1955 දී නැවතත් මධ්‍යම යුරෝපියානු තරගාවලියක් ආරම් භ කෙරුනා. එයට සහභාගී වුනේ චෙකොස්ලොවැකියාව​, හන්ගේරියාව​, ඔස්ට්‍රියාව​, යුගොස්ලාවියාව​, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය​.

හන්ගේරියාව සහභාගී වුන පළවෙනි තරගය ඔස්ට්‍රියාවත් සමඟ 2-2 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. ස්විට්සර්ලන්තයත් සමඟ තරගයෙන් 5-4 ලෙස තියුණු ජයක් ලබන්න හන්ගේරියාවට හැකි වුනා. ඊළඟට චෙකොස්ලොවැකියාව 3-1 වශයෙනුත් ඔස්ට්‍රියාව 6-1 වශයෙනුත් ඉතාලිය 2-0 වශයෙනුත් පරාජය කරමින් ලකුණු සටහනේ මුල් තැන ගන්න හන්ගේරියාව සමත් වුනා.


හන්ගේරියාවේ දේශපාලන තත්වය​


හන්ගේරියාවේ දේශපාලන බලය 1949 දී කොමියුනිස්ට් වරු අතට පත් වුනා. කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වුනේ මාතියාස් රාකොස්කි. ඔහු තමාව හඳුන්වාගත්තේ "ස්ටාලින් හේ හොඳම ගෝලයා" විදිහට​. ස්ටාලින් ගේ පන්නයේ ඉතා දැඩි මර්ධනකාරී පාලනයක් ඔහු හන්ගේරියාවේ ගෙනිච්චා. ඔහුගේ මර්ධනයට කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළත වගේම ඉන් පිටත් ඉන්න දේශපාලන විරුද්ධවාදීන් ලක් වුනා. මේ නිසා ඔහුගේ රජය මහජනයා අතර දැඩි අප්‍රසාදයක් දිනා ගත්තා.

මේ තත්වය වෙනස් වෙන්නේ 1953 දී ස්ටාලින් මිය යාමත් සමඟම​. සෝවියට් දේශයේ බලයට පත්වෙන කෘෂයෙව් ස්ටාලින් ගේ ප්‍රතිපත්ති ලිහිල් කරා. ඒ එක්කම හන්ගේරියාව තුල රාකොස්කි ගේ බලය පිරිහුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 1954 දී රාකොස්කි බලයෙන් පහ කරලා මධ්‍යස්ථ මතධාරී කොමියුනිස්ට් පාක්‍ෂිකයෙක් වන ඉම්.රේ නාගි හන්ගේරියාවේ අගමැති ධූරයට පත් වුනා. ඔහු රාකොස්කි ගේ පාලය සමයේ තිබුනු මර්ධනකාරී ප්‍රතිපත්ති බොහොමයක් නවතා දැම්මා.


නමුත් 1955 දී ස්ටාලින් වාදීන් නැවතත් කොමියුනිස්ට් පක්‍ෂය තුළ බලවත් වුනා. ඔවුන් නාගි අගමැති ධූරයෙන් පහ කරලා ඒ වෙනුවට අන්.ද්‍රාස් හෙගෙඩුස් පත් කරගත්තා. මේ බල පෙරළිය හන්ගේරියානු ජනතාවගේ සතුටට හේතුවක් වෙන්නේ නෑ. ඒ වගේම සෝවියට් හමුදාව තවමත් හන් ගේරියාවේ රැඳී සිටීමත් ඔවුඞේ දැඩි අප්‍රසාදයට ලක් වුනා. ඔවුන් ඒක දැක්කේ හන් ගේරියාවේ ස්වෛරී භාවයට කරන හානියක් විදිහට​. මේ නිසා හන්ගේරියානු ජනතාව තුළ දැඩි සෝවියට් විරෝධයක් ගොඩ නැගෙමින් තිබුනා.

සෝවියට් - හන්ගේරියා තරගය​


මේ අතර හන්ගේරියානු පාපන්දු පිළ බෙලිජියම අතින් 4-5 විදිහට පරාජය ලැබුවා. කළමණාකරු සෙබෙස් ගෙන් පලිගන්න අවස්ථාවක් බලමින් සිටි රජයට මේක හොඳ අවස්ථාවක් වුනා. ඔවුන් සෙබෙස් කළමණාකාර තනතුරෙන් ඉවත් කළා. මායාකාරයන්ට පළමු වරට තමාගේ නිර්මාතෘ වරයා අහිමි වුනා.

හන්ගේරියාවේ මීළඟ තරගය තිබුනේ සෝවියට් දේශයත් සමඟ​. සෝවියට් පාපන් දු කණ්ඩායම මේ වෙද්දී ඉතාමත් ප්‍රභල තැනක සිටියා. ඔවුන් හන්ගේරියාවත් සමඟ මීට පෙර පැවැත්වුන තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමා කරන්න සමත් වුනා. සෝවියට් දේශය දැක්කේ ලෝකයේ හොඳම පාපන්දු කණ් ඩායම තමා බව​. ඒ වගේම කොමියුනිස්ට් කඳවුරේ නායකයා විදිහට ඔවුන් හන්ගේරියාව තමාට ඉදිරියෙන් සිටීම ඉවසුවේ නෑ.

මේ නිසා තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය පැවැත්වුනේ මොස්කව් නුවර ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරිපිට​. ඉතාම තියුණු සහ රළු තරගයක් වුන මේ තරගයේ වාර්තා වුන එකම ගෝලය වුනේ සීබොර් 16 වැනි විනාඩියේදී ලබා ගත් ගෝලය​. හන්ගේරියාව 1-0 වශයෙන් තරගය ජය ගත්තා.

මේ ජය හන්ගේරියානු ජනතාවට ඉමහත් ආශ්වාදයක් ගෙන දුන්නා. සෝවියට් දේශය යනු පරාජය කළ හැකි බලවේගයක් බව ඔවුන්ට ඒත්තු ගියා.



විප්ලවය​


1956 ශිෂ්‍යය අරගලයක් හේතුවෙන් හන්ගේරියාවේ දේශපාලන තත්වය ඉතාම උණුසුම් සොබාවයක් ගත්තා. ඔක්තෝබර් 23 වැනිදා බූදපෙස්ට් නගරයේ එක්‍ රැස් වන 20,000 ක පමණ පිරිසක් ජාතිකවාදී ගී ගයමින් "විදේශ බලවේග​" වලට එර්හිව සටන් කරන බවට ප්‍රකාශ කළා. සවස් වෙද්දී මේ පිරිස ලක්‍ෂ 2 ක පිරිසක් බවට වර්ධනය වුනා. මේ පිරිස කොමියුනිස්ට් පක්‍ෂයේ සහ රජයේ ගොඩනැගිලි වට කරන්න පටන් ගත්තා. ඔවුන් මර්ධනය කිරීම සඳහා එවන හන්ගේරියානු හමුදා සේනාංක උද්ඝෝෂන කරුවන්ට එක් වීමත් සමඟම තත්වය කැරැල්ලක් දක්වා වර්ධනය වුනා.

රට පුරාම ජනතාව "කම්කරු කවුන්සිල​" සහ ජනතා මිලිෂියා සංවිධානය කරන්න පටන් ගත්තා. මේ කවුන්සිල සහ මිලිෂියාවන් ප්‍රාදේශීය පාලනය අත්පත් කර ගත්තා. බූදපෙස්ට් නගරයේදී කැරලි කරුවන් සෝවියට් හමුදාවත් සමඟ සටන් වැදුනා. ඔවුන් සෝවියට් හමුදා සේනාංක බැරැක්ක තුළට සීමා කරන්න සමත් වුනා.


ඒ එක්කම දැඩි මතධාරී කොමියුනිස්ට් පක්‍ෂ නායකයන් සෝවියට් දේශය වෙත පලා ගියා. පක්‍ෂයේ බලය නැවතත් නාගි ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරින් අතට පත්වුනා. නාගි නැවතත් අගමැති තනතුරට පත්වුන අතර​, යානොස් කාදාර් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා බවට පත් වුනා.

සෝවියට් දේශය විප්ලවය පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නෑ. සෝවියට් හමුදා නැවත කැඳවන්න ඔවුන් තීරණය කළා. නාගි තමාගේ බලය තහවුරු කරගැනීමත් එක්කම රට නැවතත් සාමකාමී වුනා. නාගි නැවතත් තමාගේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.


ඒත් ඔක්තෝබර් 31 වැනිදා හන්ගේරියානු රජය වෝර්සෝ ගිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කිරීමත් සමඟම තත්වය වෙනස් වුනා. මෙය සෝවියට් දේශය දැක්කේ තමාගේ ආරක්‍ෂාවට තර්ජනයක් විදිහට​. ඔවුන් හන්ගේරියාව ආක්‍රමනය කරන්න තීරණය කළා.

ඒ අනුව නොවැම්බර් 1 වැනිදා යුධ ටැංකි ප්‍රමුඛ කරගත්ත විශාල සෝවියට් හමුදාවක් හන්ගේරියාව ආක්‍රමනය කළා. හන්ගේරියාවේ කුඩා හමුදාවට ඔවුන් සමඟ සටන් වදින්න හැකියාවක් තිබ්බේ නෑ. නොවැම්බර් 4 වැනිදා වෙද්දී සෝවියට් හමුදා හන්ගේරියාවේ බලය සම්පූර්නයෙන්ම තහවුරු කර ගත්තා.

ගැටුම් වලින් හන්ගේරියානු ජාතිකයන් 2500 සහ සෝවියට් සෙබළු 700 මිය ගියා.


සෝවියට් හමුදා විසින් යානොස් කාදාර්ට අගමැති තනතුර බාර ගන්න ආරාධනා කරනවා. ඔහු එය පිළිගත්තා. අත් අඩංගුවට පත් වෙන නාගිට 1958 දී මරණ දඬුවම හිමිවුනා.


මායාකාරයන් ගේ අවසානය​


විප්ලවය සිදුවෙද්දී හන්ගේරියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෙන් අතිබහුතරය අයත් වුන හොන්වේඩ් ක්‍රීඩා සමාජය යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ස්පාඤ්ඤයට ගිහිල්ලා හිටියා. තමාගේ රට සෝවියට් දේශය විසින් ආක්‍රමනය කිරීම පිළිබඳව කම්පාවට පත් වුන ක්‍රීඩකයන් ගෙන් බහුතරය විරෝධය පෑමක් විදිහට නැවත සියරට බලා නොයාමට තීරණය කළා.

දේශපාලනය මතින් බිහි වෙලා අවුරුදු හතක් පුරාවට පාපන්දු ලෝකය දෙවනත් කරමින් තම අනසක පැතිරවූ මැග්යාර් මායාකාරයන් ගේ අවසානය ඒ විදිහට දේශපාලනය මතින්ම සිදු වුනා.

1949 සිට 1956 දක්වා කාලය තුළදී මායාකාරයෝ තරග 62 කට සහභාගී වෙනවා. ඉන් තරග 50 ක් ම ජය ගන්න ඔවුන් සමත්වෙනවා. තරග 9 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වෙන අතර​, පරාජයට පත් වෙන්නේ තරග 3 ක් පමණයි.

1950 මැයි 14 වැනිදා සිට 1954 ජූලි 4 වැනිදා දක්වා තරග 32 ක අපරාජිත වාර්තාවක් තබා ගන්නත් ඔවුන් සමත් වෙනවා.

මේ කාලසීමාව තුල ඔවුන් ලබා ගත් ගෝල ගණන 264 ක්. තරගයකට ගෝල සාමාන්‍යය අදහාගත නොහැකි 4.26 ක් විදිහට වාර්තා වෙනවා. ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ගෝල 77 පමණයි.

මේ අද්විතීය වාර්තාව සහ ඔවුන් ගේ ආක්‍රමනශීලී අලංකාර ක්‍රීඩා රටාව නිසා අදටත් එතෙක් මෙතෙක් ලොව බිහිවුන හොඳම පාපන්දු කණ් ඩායම විදිහට සැලකෙන්නේ මැග්යාර් මායාකාරයන්ව​.


පසු කතාව​


යානොස් කදාර් ගේ නායකත්වය යටතේ හන්ගේරියාව 1989 දක්වා පාලනය වුනා. හන්ගේරියාව සැලකුනේ නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවල් අතරින් මර්ධනය සාපේක්‍ෂව අඩු රටක් විදිහට.


හන්ගේරියානු පිළෙන් ඉවත් වීමෙන් පසු ක්‍රීඩකයන් විවිධ මාර්ග වල ගමන් කළා.

නායක පුස්කාස් 1958 දී ස්පාඤ්ඤයේ රෙයාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. එහිදී ඔහු ආජෙන්ටිනා ජාතික ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ සමඟ එක්ව ලොව බිහිවූ විශිෂ්ඨතම ප්‍රහාරක සුසංයෝගයක් බිහි කළා. ඔවුන් දෙදෙනාගේ සහයෙන් රෙයාල් මැඩ්‍රිඩ් කණ්ඩායම යුරෝපීය කුසලාන හතරක් සහ ස්පාඤ්ඤය ලීග ශූරතා හතක් දිනා ගත්තා. පසුව ඔහු ස්පාඤ්ඤය පුරවැසිභාවය ලබාගෙන ස්පාඤ්ඤ්‍ය වෙනුවෙන් තරග හතරකට සහභාගී වුනා. ඉන් තුනක් 1962 ලෝක කුසලානයේ. නමුත් මේ තරග වලදී ඔහුට එක ගෝලයක්වත් ලබා ගන්න හැකි වෙන්නේ නෑ.

ක්‍රීඩාවෙන් සමුගත් පසු කළමණාකරුවෙක් විදිහට යුරෝපීය ක්‍රීඩා සමාජ ගණනාවක සේවය කරන පුස්කාස් නැවත හන් ගේරියාවට එන්නේ 1993 දී. ඔහු ඇල්සයිමර් රෝගය වැළඳීමෙන් 2006 දී මිය ගියා. අද ඔහු සැලකෙන්නේ හන්ගේරියාවේ ජාතික වීරයෙක් විදිහට​.

සාන්ඩෝර් කොචිස් 1958 දී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. බාසිලෝනා පිළ වෙනුවෙන් තරග 75 කට සහභාගී වෙන කොචිස් 1965 දී ක්‍රිඩාවෙන් ගත්තා. කළමණාකරුවෙක් විදිහට කෙටි කලක් කටයුතු කරන ඔහු ලියුකේමියාව සහ ආමාශයේ පිළිකාවක් වැළඳී ප්‍රතිකාර ගන්නා අතර 1979 දී බාසිලෝනා හි රෝහලක හතරවැනි තට්ටුවෙන් වැටීමෙන් මිය ගියා. බොහෝ දෙනා සිතන්නේ එය දිවි නසා ගැනීමක් බවයි. කොචිස් නැවතත් කිසි දිනෙක හන්ගේරියාවට යන්නේ නෑ.

නාන්ඩෝර් හිඩෙග්කුටි හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයෙක් නොවන නිසා හන්ගේරියාව හැර යන්නේ නෑ. නමුත් ඔහු 1958 දී ක්‍රීඩාවෙන් සමුගත්තා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ ගණනාවක කළමණාකරුවෙක් විදිහට කටයුතු කරන ඔහු මිය යන්නේ 2002 දී.

සොල්තාන් සීබොර් කොචිස් සමඟම 1958 දී බාසිලෝනා සමාජයට එක් වුනා. 1961 වන තුරු එහි ක්‍රීඩා කරන සීබොර් 1965 වන තුරු තවත් සුළු සමාජ ගණනාවක ක්‍රීඩා කළා. නැවත හන්ගේරියාවට එන සීබොර් 1997 දී මිය ගියා.

ජෝෂෙෆ් බොෂික් වර්ජනයට සහභාගී වුනේ නෑ. ඔහු නැවත හන්ගේරියාවට ඇවිත් දිගටම ජාතික කණ්ඩායමට සහ හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කළා. 1962 දී ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු හොන්වේඩ් සහ ජාතික කණ්ඩායම් වල කළමණාකරු විදිහට කටයුතු කළා. ඔහු 1978 දී හෘදයාබාධයකින් මිය ගියා.

දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් බටහිර යුරෝපයේ ජීවත් වෙන්න උත්සහ කළත් එය සාර්ථක වුනේ නෑ. ඔහු නැවතත් 1958 දී හන්ගේරියාවට ආවා. නමුත් ඔහුට හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කරන්න රජය ඉඩ දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහුව කුඩා ක්‍රීඩා සමාජයකට මාරු කෙරුනා. 1962 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තා. පෙණහළු වා සහ හදවතේ රෝග වලින් පීඩා විඳි ග්‍රොචිස් 2014 දී මිය ගියා.

හන්ගේරියාව නැවතත් කිසි දිනෙක් පාපන්දු ලෝකයේ බලවතෙක් වුනේ නෑ. 1962 සහ 1966 ලෝක කුසලාන වල අර්ධ අවසන් පූර්ව තරග දක්වා යාමට ඔවුන් සමත් වුනත්, එතැනින් එහාට යන්න ඔවුන්ට හැකි වෙලා නෑ. 1990 සිට අද දක්වා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට පවා ඔවුන් අසමත් වෙලා තියෙනවා.


Wednesday, July 11, 2018

සෙන් කතා - 1



තේ කෝප්පය​







බොහොම ඉස්සර කාලෙ ඉතාම බුද්ධිමත් සෙන් ගුරුතුමෙක් හිටියා. සෙන් බුදු දහම ගැන ඉගෙනගන්න බොහෝ දෙනා ඔහු හොයාගෙන ආව​.

එක දවසක් ඉතාම ප්‍රසිද්ධ උගතෙක් සෙන් ගුරුතුමා හොයාගෙන ආවා.

"මම ආවෙ ඔබෙන් සෙන් දහම ගැන ඉගෙනගන්න​. මගේ මනස සෙන් මගට විවෘත කරන්න​."

ඔහු ගුරුතුමාගෙන් ඉල්ලා හිටියා.

ගුරුතුමා ඔහුට තේ කෝප්පයක් බොන්න ආරාධනා කරා. වතුර උණුවෙන තුරු උගතා සෙන් දහම ගැන තමා දන්න දේවල් ගුරුතුමාට කියන්න පටන් ගත්තා. වතුර උණුවෙලා තේ පැහෙන තුරුම ඔහු දිගටම කතා කළා.

ඔහුගේ කතාවට ඇහුම්කන් දෙමින්ම ගුරුතුමා තේ කෝප්පයක් වත් කළා. ඒත් කෝප්පය පිරුණම තේ වත්කරන එක නැවැත්තුවේ නෑ. කෝප්පය උතුරා උණු තේ තතමි පැදුර දිගේ ගලාගෙන ගියා.

"නවත්තන්න මොනාද මේ ඔබ කරන්නෙ? ඔබට පිස්සුද​?"

උගතා කෑ ගැහුවා.

"තේ කෝප්පය පිරිලා නම් ඒකට තවත් තේ වත්කරන්න බෑ. ඔබේ කෝප්පය හිස් කරගන්න​."



දුණුවායා



මහළු සෙන් ගුරුතුමෙක් හිටියා. ඔහු තරුණ කාලේ දුණු ශිල්පය ගැන ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්.

දවසක් තරුණ ඉතාමත් දක්‍ෂ දුණුවායෙක් ගුරුතුමා හොයගෙන ආවා. ඔහු ආවෙ ගුරුතුමාට දුණු හරඹයකට අභියෝග කරන්න​. ගුරුතුමා එකඟ වුනා.

මුලින් විද්දේ තරුණයා. ඔහු ඉතාම ඈත තිබ්බ ඉල්ලක්කයකට හරියටම ඊතලය විද්දා. ඔහුගේ දෙවැනි ඊතලය මුල් ඊතලය දෙපලු කරගෙන ආයෙත් හරියටම ඉලක්කයට වැදුනා.

"පුළුවන් ද එහෙම කරන්න​?"

තරුණයා මහළු ගුරුතුමාගෙන් අවඥාවෙන් ඇහුවා.

"ඔබේ දුන්න පාලනය කිරීමේ හැකියාව පුදුම උපදවන සුළුයි"

එහෙම උත්තර දීපු ගුරුතුමා තරුණයා කැඳවාගෙන කඳු ගැටයක් උඩට ගියා.

එතැන ඉතාම ගැඹුරු ප්‍රපාතයක් හරහා ඒදණ්ඩක් විදිහට දාපු දිරච්ච ලී කොටයක් තිබුනා. ගුරුතුමා ලී කොටය මැදට ගිහින් ඒ නුදුරේ තිබ්බ ගහක කඳකට ඊතලයක් විද්දා.

"දැන් ඔබේ වාරය​"

තරුණයා ප්‍රපාතය ළඟට ගියා. පහල බැලුවා. ඊතලයක් විදිනවා තියා ලී කොටය උඩට කකුලක් තියන්න වත් ඔහු බය වුනා.

"ඔබේ දුන්න පාලනය කිරීමේ හැකියාව පුදුම උපදවන සුළුයි. නමුත් ඊතලය මුදාහරින හිත පාලනය කිරීමේ හැකියාව ඉතාම දුර්වලයි."


සඳ



බොහෝම ප්‍රසිද්ධ සෙන් ගුරුතුමෙක් වුන ර්.යෝකන් ජීවත් වුනේ කඳුකරයේ තිබුන පුංචි ගෙපැලක​. ඔහු ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළා.

දවසක් හොරෙක් ඔහුගේ පැලට පැන්නා. හැම තැනම හෙව්වත් හොරකම් කරන්න තරම් වටිනා දෙයක් හොයාගන්න බැරි වුනා. එතකොටම ර්.යෝකන් ආවා.

"ඔබ බොහොම දුර ඉඳල මාව බලල යන්න ඇවිත්. මට ඔබව හිස් අතින් යවන්න බෑ. මෙන්න මගේ ඇඳුම්, මේවා මගෙන් එන තෑග්ගක් විදිහට පිළිගන්න​."

ර්.යෝකන් තමා ඇඳගෙන හිටපු ඇඳුම් ටික ගලවලා හොරා අතට දෙන ගමන් කිව්වා.

තක්කු මුක්කු වෙලා මොහොතක් බලාගෙන හිටපු හොරා ඇඳුම් පොදියත් අරගෙන අතුරුදහන් වුනා.

ර්.යෝකන් නිරුවතින්ම එළියට ඇවිත් හඳ දිහා බැලුවා. හඳ බොහෝම ලස්සනට පායල තිබුනා.

"අසරණයා. මට මිනිහට මේ ලස්සන හඳ දෙන්න තිබුන නං....."


මාළු



චුවාං ත්සු සහ ඔහුගේ මිතුරෙක් දවසක් ගං ඉවුරක ඇවිදිමින් හිටියා. ඔවුන් දැක්කා මාළු රෑණක් එහෙ මෙහෙ පීනන හැටි.

"අර බලනවකො අර මාළු දිහා. උං කොයිතරම් සන්තෝසෙන් ද ඉන්නෙ."

චුවාං ත්සු යාළුවට කිව්වා.

"තමුසෙ කොහොමද එහෙම කියන්නෙ? තමුසෙ මාළුවෙක් ද​? තමුසෙ මාළුවො සන්තෝස වෙන හැටි ගැන මොකවත් දන්නෙ නෑ නෙ."

යාළුව එහෙම කිව්වා.

"තමුසෙ මම ද​? තමුසෙ දන්නෙ කොහොමද මම මාළු ගැන දන්නවද නැද්ද කියල​?"

චුවාං ත්සු පිළිතුරු දුන්නා.


අම්බලම​



දවසක් ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ගමනක් යමින් ඉද්දි රෑ බෝවුනා. ඔහු ඒ පළාතේ ප්‍රධාන සමුරායි වරයා ගේ මාළිගාවට ගියා. සමුරායි වරයා ඔහුව හඳුනා ගත්තා.

"සුබ සැන්දෑවක් ගුරුතුමනී, මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ"

සමුරායි වරයා ගුරුතුමාව පිළිගත්තා.

"මට අද රෑට මේ අම්බලමේ නවාතැන් ඕනෙ"

සමුරායි වරයා යක්‍ෂාවේෂ වුනා.

"මේක අම්බලමක් වුනේ කොහොමද​? මේක මගේ පරම්පරාවෙ මාළිගාව​."

"මට සමාවෙන්න​. ඔබට කලින් මෙහෙ හිටියෙ කවුද​?"

"මගේ තාත්තා"

"දැන් ඔහු කෝ?"

"ඔහු මැරිලා"

"හොඳයි. ඊට කලින් මෙහෙ හිටියෙ කවුද​?"

"මගේ සීයා"

"දැන් ඔහු කෝ?"

"ඔහුත් මැරිලා"

ගුරුතුමා හිස සැලුවා.

"මේ ගොඩනැගිල්ල​, මිනිස්සු කාලෙන් කාලට පදිංචි වෙලා ඉඳල නික්ම යන මේ ගොඩනැගිල්ල අම්බලමක් නෙවෙයි කියලද ඔබ කිව්වේ?"

Tuesday, July 10, 2018

බ්‍රසීලයේ පාපන්දු නිල ඇඳුම​


ලෝකයේ වඩාත්ම හුරුපුරුදු පාපන්දු නිල ඇඳුම හිමි රට මොකද්ද කියල ඇහුවොත් උත්තරය බ්‍රසීලය. කහ පාට කමිසය, නිල් පාට කලිසම සහ සුදු පාට මේස් දුටු පමණින්ම ඕනම කෙනෙක් දන්නවා ඒ බ්‍රසීල කණ්ඩායම කියලා.

ඒත් බ්‍රසීලය හැමදාම ඇන්දෙ මේ පාට නෙවෙයි.

1919 ඉඳල 1950 වෙනතුරු බ්‍රසීල පිලේ ඇඳුම වුනේ තනි සුදු පාට ඇඳුමක්. කමිසයේ කොලරය සහ අත් කෙලවර පමණක් නිල් පාට සිහින් ඉරක් තිබුනා.

1950 ලෝක කුසලානය පැවැත්වුනේ බ්‍රසීලයේ. ඒ වෙනුවෙන්ම බ්‍රසීල රජය අළුත් ක්‍රීඩාංගනයක් ඉඳි කළා. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ "මරකනා" ක්‍රීඩා පිටිය​.

පළමු වටයේ තරග පැවැත්වුනේ කාණ්ඩ හතරකට​. අර්ධ අවසන් පූර්ව​, අවසන් පූර්ව හෝ අවසන් තරගයක් පැවැත්වුනේ නෑ. ඒ වෙනුවට කාණ්ඩ හතරේ මුල් තැන ආපු රටවල් හතර සහභාගී වුන ලීගයක් පැවැත්වුනා. ලීගයේ වැඩිම ලකුණු ලබාගන්න කණ්ඩායම තමයි ජයග්‍රාහකයා වුනේ.

කාණ්ඩ හතරෙන් අවසන් වටයට සුදුසුකම් ලැබුනේ බ්‍රසීලය, ස්පාඤ්ඤය​, ස්වීඩනය සහ උරුගුවේ.

අවසන් වටයේ බ්‍රසීලය සහභාගී වුන පළමු තරගයෙන්ම ඔවුන් ස්වීඩනය 7-1 ලෙස පරාජය කිරීමත් එක්කම ලෝක කුසලානය පිළිබඳ බ්‍රසීල ජනතාව තුල උණුසුම් බලාපොරොත්තු ඇති වුනා. මේ වෙන තුරු බ්‍රසීලය ලෝක කුසලානයක් දිනල තිබුනේ නෑ.

ඒ බලාපොරොත්තු ඉහළ නංවමින් ස්පාඤ්ඤය සමඟ ඊළඟ තරගය ඔවුන් දිනුවේ 6-1 විදිහට​.

මේ අතර උරුගුවේ ස්පාඤ්ඤය තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා. ස්වීඩන් උරුගුවේ තරගයෙන් උරුගුවේත්, ස්පාඤ්ඤය ස්වීඩන් තරගයෙන් ස්වීඩනයත් ජය ලැබුවා.

මේ නිසා අවසන් තරගය වුන උරුගුවේ - බ්‍රසීල තරගයේ දී ලෝක කුසලානය ජය ගැනීම සඳහා බ්‍රසීලයට අවශ්‍යය වුනේ තරගය ජය පැරදුමෙන් තොරව නිම කිරීම පමණයි.

දකුණු ඇමරිකානු පාපන්දු දැවැන්තයන් දෙදෙනා අතර තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා.

47 වැනි විනාඩියේදී බ්‍රසීලය ගෝලයක් ලබාගෙන ඉදිරියට ආවත් 66 වෙනි සහ 79 වෙනි විනාඩි වලදී ගෝල දෙකක් ලබාගනිමින් උරුගුවේ කවුරුත් නොසිතූ විදිහට තරගයත්, ලෝක කුසලානයත් ජයග්‍රහනය කලා.


මේ පරාජයෙන් මුළු බ්‍රසීල ජාතියම කම්පා වුනා. බ්‍රසීල පිලේ ක්‍රීඩකයන් මානසික කඩා වැටීමකට ලක් වුනා. මානසික පීඩනය නිසා ඔවුන්ට තවදුරටත් පාපන්දු ක්‍රීඩා කරන්න නොහැකි වුනා.

මේ නිසා බ්‍රසීල ක්‍රීඩා කොන්ෆෙඩරේෂනය "සුවපත් වීමේ" වැඩසටහනක් හඳුන්වා දුන්නා. ඒ වැඩසටහනේ එක අංගයක් විදිහට කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කරන්න ඔවුන් තීරණය කලා.

අළුත් නිල ඇඳුම සඳහා ඔවුන් තරගයක් පැවැත්වුවා. ඕනෑම කෙනෙක්ට තරගය වෙනුවෙන් සැලසුම් එවන්න ආරාධනා කළා.

තරගයෙන් ජය ගත්තේ බ්‍රසීලයේ දකුණු කෙලවරේ ඈත කුඩා නගරය වාසය කළ 19 හැවිරිදි ගැටවරයෙක්. ඔහු "අල්ඩයීර් ෂ්ලී".

 අල්ඩයීර් නිර්මානය කළ ඇඳුම තමයි අද බ්‍රසීල කණ්ඩායමේ කවුරුත් දන්න කහ - නිල් - සුදු ඇඳුම​.


ඇඳුමේ යම් කිසි වාසනාවක් තියෙනවා කියල හිතන්න පුළුවන්. මොකද ඇඳුම මාරු කරලා අවුරුදු 8 කින් 1958 දී බ්‍රසීලය තමාගේ පළමු ලෝක කුසලානය දිනා ගත්තා. එදා ඉඳල අද දක්වා ඔවුන් ලෝක කුසලාන පහක් දිනල තියෙනවා.

මේ කතාවේ උත්ප්‍රාසය මේකයි.

බ්‍රසීල ජාතිකයෙක් වුනත් අල්ඩයීර් එදා ඉඳල අද දක්වාම පාපන් දු තරග වලදී සහය දක්වන්නේ උරුගුවේ කණ්ඩායමට​. මෙවර ලෝක කුසලානයේදීත් ඔහු සහය දුන්නේ උරුගුවේ පිලට​.