Thursday, April 28, 2016

ආගම් සහ නිරාගම්

ආගම් සහ නිරාගම්


ආගම් වල උපත


ආගම් යන සංකල්පය මිනිස් ශිෂ්ඨාචාරයේ ඇති වන්නේ සාධක 5 ක් මත​.


1. එදිනෙදා ජීවිතයේ දී අපට ඍජුවම පාලනය කළ නොහැකි දේ "පාලනය කිරීමේ" උපක්‍රමයක් වශයෙන්

2. සමාජය තුල සාමූහිකත්වය වර්ධනය කිරීමේ මාධ්‍යයක් වශයෙන්

3. සමාජයේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට තිබිය යුතු හර පද්ධතීන් නිර්නය කිරීමට​

4. මිනිසාට ඇති වන දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට​

5. සංස්කෘතියේ අනිවාර්‍යය සංරචකයක් ලෙස​


1. ආදි කල්පිත මානවයෙක් ගත්තොත් ඌ දඩයමේ යද්දි කොටියෙක්ට ගොදුරු වෙලා මැරෙන්න පුළුවන්. ඉතින් ඌ ඕක ගැන හිත කරදර කර ගත්තොත් උට සාර්ථක දඩයක්කාරයෙක් වෙන්න බෑ. ඉතින් ඌ දඩයමේ යන්න කලින් ගහකට ගලකට "බාරයක්" වෙලා යනවා. එතන ඇතිකරගන්න හිතේ විශ්වාසය මත තමයි දවස ගෙවන්නෙ. නැත්තං හැම වෙලේම කොටියෙක්ට ගොදුරු වෙයිද කියන චකිතයෙන් හිටියොත් ඌ මානසික රෝගියෙක් වෙනවා. එඬේරෙක්ට නම් කුර ලෙඩක් හැදිල හරක් රංචුව මැරෙන්න පුළුවන්. ගොවියෙක්ට නම් නියඟයක් ඇවිල්ල වගාව පාළු වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි සංකල්පයක් නිර්මානය කරල ඒ වගකීම තමාගෙන් ඉවතට යොමු කරනවා.

ආගම් නිර්මානය වීමේ මූලිකම හේතුව මේකයි. ආදි කල්පිත ආගම් සියල්ලම ස්වභාවික බලවේගයන් පිදීමේ ස්වරූපයෙන් තියෙන්නෙ ඒ නිසා.


2. ඊළඟට ශ්‍රම විභජනයත් එක්ක එනවා සමාජය කියන සංකල්පය​. දඩයක්කාරයෙක් නම් තමාගේ ගෝත්‍රයේ දන්න හඳුනන කීප දෙනෙක් සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ. නමුත් සමාජය විශාල වෙද්දි එතන හැමෝම පුද්ගලිකව හඳුනන්නෙ නෑ. නමුත් ඒක ෆන්ක්‍ෂන් වෙන්න නම් සාමූහිකත්වයක් නිර්මානය වෙන්න ඕනෙ. ජන වර්ගය​, භාෂාව වගේ නිර්නායක එක්ක ආගම කියන නිර්නායකයත් මේ සඳහා යොදා ගැනුන​.


3. ඊළඟට සමාජයේ මිනිස්සු එක්ක අන්තර් සම්බන්ධතා තියා ගද්දි ඒක සමාජයට විනාශකාරී නොවන මට්ටමකින් තියාගන්න ඕනෙ. පුද්ගලික අභිමතාර්ථ සහ සමාජයේ පැවැත්ම කියන දෙක සමබර කරන්න අපිට අවශ්‍යය වෙනවා යම් කිසි හර පද්ධතියක්. මේ හර පද්ධතිය හඳුන්වා දීමේ වගකීම පැවරුනේ ආගම් වලට​. හර පද්ධතිය නිර්නය කරද්දි යම් කිසි මිනිහෙක් ඒක නිර්නය කරනවට වඩා අපේ එදිනෙදා කටයුතු බලාගන්න අපිට ඉහළින් ඉන්න බලවේගයකින් ඒක නිර්නය කරාම ඒකට වැඩි වටිනාකමක් ලැබුනා.


4. මිනිස් ශිෂ්ඨාචාරය දියුණු වෙනකොට මිනිසාට එනව දාර්ශනික ප්‍රශ්න​. විශ්වයේ ආරම්භය​, මරණින් මතු ජීවිතය​, විශ්වයේ ක්‍රියාවලීන් පාලනය වෙන්නෙ කොහොමද ආදී වශයෙන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නෙත් ආගම්. මෙතනදිත් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන දාර්ශනිකයන්ට අපිට ඉහළින් ඉන්න බලවේග වලින් උපකාර ලැබුන​. ඒ නිසාම ඒ පිළිතුරු වලට සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබුන​.


5. ඊළඟට ශිෂ්ඨාචාරය දියුණු වෙද්දි ජීවන ක්‍රියාවලීන් සංකීර්න වෙනවා. මිනිස්සු කරන්න ඕනෙ වැඩ සංකීර්න වෙනවා. මානසික ආතතිය වැඩි වෙනවා. ඒකෙන් සහනයක් ලබන්න මිනිස්සු නිර්මානය කරනවා සංස්කෘතික ක්‍රියාවලීන්. සතියකට දවසක් සමාජයේ හැමෝම වැඩ කරන එක නවත්තල සාමූහිකව එක් රැස් වෙලා යම් කිසි විනෝදාත්මක ක්‍රියාවක නිරත වෙනවා. ඒකාකාරී ජීවන රටාවෙන් බ්‍රේක් එකක් විදිහට​. මේ සඳහා ක්‍රීඩා, සංගීතය වගේ දේවල් වගේම ආගමික උත්සවත් පොදුවේ යොදා ගැනෙනවා.


මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රගමනයත් එක්ක ඇති වුන මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි ආගම් ඉදිරිපත් වෙන්නෙ.


මිනිසාගේ පොදු ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස බිහිවුන මේ ආගම් එක එක ස්වරූපය ගන්නෙ ඇයි? ඒකට හේතුව තමයි ඒවා බිහිවුන චින්තනයේ තිබුන වෙනස්කම්.


ඒබ්‍රහමික ආගම් වල විකාශය​


ඒබ්‍රහමික ආගම් වල උපත සිද්ධ වෙන්නෙ ඊශ්‍රායලයේ ජෝර්දාන් ගංගාව ආශ්‍රිතව බිහිවෙන යුදෙව් ජන සමාජයේ. මේ සමාජය යම්කිසි හේතුවක් නිසා අධික වියුක්ත චින්තනයක් හිමි සමාජයක්. මේ නිසා ඔවුන් නිර්මානය කරන ආගම අනෙක් ආගම් වල වගේ ස්වාභාවික සංසිද්ධිවලට අනුබද්ධ දෙවිවරු සමූහයක් මත පදනම් වෙන්නෙ නෑ. ඒ වෙනුවට මුළු මහත් විශ්වයේම නිර්මාතෲ විශ්වයට බාහිරව පවතින එක් තනි දෙවියෙක් කියන සංකල්පය ඇති වෙනවා. මේ සංකල්පය මානව ශිෂ්ඨාචාරයේ ඇතිවෙන එකම අවස්ථාව මේකයි.


පුරාන යුදෙව් රාජ්‍යය​


සාමාන්‍යයෙන් මානව ශිෂ්ඨාචාරයේ අපි දකින දෙයක් තමයි බලවත් අසල්වැසියන් රැසකට මැදි වෙලා ඉන්න කුඩා සමාජයක් තමාගේ පැවැත්ම ගෙනියන්නේ අතිශය රණකාමී සංස්කෘතියක් ඇති කර ගැනීමෙන්. ජපානය​, ඇෆ්ගනිස්ථානය වගේ උදාහරණ මේකට දෙන්න පුළුවන්. එහෙම නොවුන සමාජ අර බලවත් අසල්වැසියන් ඉදිරියේ මුලින්ම තමාගේ දේශපාලන නිදහස නැති කර ගන්නවා. ඊට පස්සෙ ඒ සංස්කෘතිය තුළ ගිලිලා නැති වෙලා යනවා.


නමුත් යුදෙව්වන් මේ සඳහා යොදාගන්නේ වෙනම උපක්‍රමයක්. මේ සඳහා ඔවුන් උපයෝගී කර ගන්නෙ තමා විශ්ව නිර්මාතෲ දෙවියන් විසින් තෝරාගත් ජන කණ්ඩායමක් කියන සංකල්පය​. ඒ නිසා මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා තමාගේ පැවැත්ම තිබිය යුතුයි කියන සංකල්පය ඔවුන් අතර ඇති වෙනවා. ඒ නිසා කොයිතරම් තමාගේ දේශපාලන නිදහස නැති වුනත් ඔවුන් තමාගේ සංස්කෘතික අනන්‍යයතාවය දිගටම තියාගන්න සමත් වෙනවා. තමාට කියල නිශ්චිත දේශපාලන වසමක් නැතුව අවුරුදු දෙදාහක් තිස්සේ තමාගේ සංස්කෘතික අනන්‍යයතාවය රැක ගැනීම වගේ විශිෂ්ඨ කාර්‍ය සිද්ධියක් අත්කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.


මේ අතිශය වියුක්ත යුදෙව් ආගමෙන් අතු දෙකක් කැඩෙනවා. එකක් ක්‍රිස්තියානිය​. අනෙක ඉස්ලාමය​. මේ දෙකම යුදෙව් ආගම තරම් වියුක්ත නැති ඊට වඩා සාමූහිකත්වයට තැන දෙන ආගම්.


අරාබි ජන වර්ගය සමන්විත වෙන්නෙ ගෝත්‍ර සිය ගණනක එකතුවෙන්. ඔවුන්ට පොදු නිර්නායකයක් විදිහට භාෂාව තිබුනත්, ගෝත්‍ර බැම්ම කඩල පොදු අරාබි ජාතියක් නිර්මානය කරන්න ඒක ප්‍රභල වෙන්නෙ නෑ. ඉස්ලාමය එන්නෙ ඒ අඩුව පුරවන්න​.


ඉස්ලාමය නිසඟයෙන්ම දේශපාලනිකයි. ඉස්ලාමීය රාජ්‍යයක් බිහි වීම සහ පැවැත්ම ඉස්ලාමයේ මූල ධර්ම වලම කියැවිලා තියෙනවා. අරාබින් ගේ ගෝත්‍ර බැම්ම කඩල ඒ වෙනුවට "මුස්ලිම් වරු" කියන ආගම මුල් කරගත්ත නව අනන්‍යයතාවයක් බිහි කරන්න ඉස්ලාමය සමත් වෙනවා. විශිෂ්ඨ අරාබි-මුස්ලිම් ශිෂ්ඨාචාරය බිහි වෙන්නෙ ඒ මත​.

                                                                                       
ක්‍රිස්තියානියට ඒ සාධකය බලපාන්නේ නෑ. ක්‍රිස්තියානිය බිහි වෙන්නෙ ඉස්ලාමය හෝ යුදෙව් ආගම වගේ එක් ජන වර්ගයක් පදනම් කරගෙන නෙවෙයි. ක්‍රිස්තියානිය මුලදි යුරෝපයේ පැතිරෙන්නෙ දුප්පතාගේ සහ පීඩිතයා ගේ ආගමක් විදිහට​. නමුත් පසුව එය රාජ්‍යය බලය අත් කරගත්තට පස්සෙ ඒ ස්වරූපය වෙනස් වෙනවා. ක්‍රිස්තියානිය යුරෝපයට එනකොටත් යුරෝපයේ වර්ධයන වූ ශිෂ්ඨාචාරයක් තියෙනවා. ඒ නිසා ක්‍රිස්තියානිය විසින් ශිෂ්ඨාචාරය හැසිරවීම සහ ශිෂ්ඨාචාරය විසින් ක්‍රිස්තියානිය හැසිරවීම කියන දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා යුරෝපයේ පැතිරෙන ක්‍රිස්තියානිය මුල් ස්වරූපයෙන් ගොඩක් වෙනස් එකක්. ඒ වගේම යුරෝපයේ සහ මැද පෙරදිග පවතින විවිධ සංස්කෘතීන් විසින් ක්‍රිස්තියානිය ග්‍රහනය කර ගද්දි විවිධ නිකායන් රාශියක් බිහි වෙනවා. ඒක යුදෙව් සහ ඉස්ලාම් ආගම් වල දකින්නට නැති ලක්‍ෂනයක්.

බටහිර ශිෂ්ඨාචාරයේ දාර්ශනික අර්බුදය සහ නිරාගමිකත්වය​


දේශපාලනික හේතු මත පහළොස්වෙනි සියවසේ බටහිර යුරෝපයේ චින්තන පෙරළියක් සිද්ධ වෙනවා. ග්‍රීක දාර්ශනිකයන් විසින් වර්ධනය කරන ලද දර්ශනය යුදෙව් චින්තනය මත පදනම් වෙලා බටහිර යුරෝපයට ලැබෙනවා. මේ නිසා යුරෝපීය ශිෂ්ඨාචාරය වඩා පුද්ගල කේන්.ද්‍රීය සහ වියුක්ත ස්වභාවයක් ගන්නවා. මෙහිදී බටහිර යුරෝපයේ මේ දක්වා තිබුන කතෝලික ආගමට තවදුරටත් බටහිර ශිෂ්ඨාචාරයේ දාර්ශනික සහ සංස්කෘතික කාර්‍ය භාරය ඉටු කරන්න බැරි වෙනවා.


මේ හිඩැස පුරවන්න සංකල්ප දෙකක් ඉදිරිපත් වෙනවා. සංස්කෘතික කාර්‍ය භාරය පුරවන්න ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය බිහි වෙනවා. සාමූහිකත්වය මත පදනම් වුන කතෝලික ආගම වෙනුවට ප්‍රොතෙස්තන්ත ආගම වඩා පුද්ගල කේන්.ද්‍රීය සහ වියුක්ත ආගමක් ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේ මිනිසා එක්ක පුද්ගලිකව සම්බන්ධ වන අවස්ථාවක් වන මරියා තුමිය ට කතෝලික ආගමේ තියෙන තැන ප්‍රොතෙස්තන්ත ආගමේ නෑ. ඒ වගේම කතෝලික ආගමේ එන සාමූහික දෙවියන් යැදීම​, පූජක තුමා ඉදිරියේ පව් පාපොච්චාරනය කිරීම, ආගමටම කැපවුනු බ්‍රහ්මචාරී පූජකයන් වගේ අංග නැති වෙලා දෙවියන් එක්ක කරන ගනුදෙනුව වඩා පුද්ගලික මට්ටමට එනවා.


දාර්ශනික හිඩැස පුරවන්නේ බටහිර විද්‍යාව විසින්. මේ දක්වා ආගම් මගින් පිළිතුරු දුන්න මිනිසාට ඇති වෙන දාර්ශනික ප්‍රශ්න වලට මින් ඉදිරියට පිළිතුරු දෙන්නේ බටහිර විද්‍යාව​. නමුත් මේ දෙන පිළිතුරු වලත් පදනම වෙන්නෙ අවුරුදු තුන්දාහකට කලින් යුදෙව්වෝ දීපු "විශ්වය දෙවියන් විසින් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනයටය​, මිනිසා යනු සුවිශේෂී සත්වයෙකි" යන පිළිතුරම තමයි. ඒ ශිෂ්ඨාචාරයේ පදනම් චින්තනය එකම නිසා. බටහිර විද්‍යාවේ අරමුණ වෙන්නෙ විශ්වය මිනිසගේ පැවැත්ම උදෙසා සකස් කිරීම​.


මේ බටහිර ශිෂ්ඨාචාරයේ දේශපාලන​-ආර්ථික මොඩලය වෙන්නෙ ලිබරල් ධනවාදය​. ඒ පුද්ගලවාදයේ අනිවාර්‍ය ප්‍රතිඵලය විදිහට​. නමුත් දාර්ශනික සංස්කෘතික මොඩලය තවම අපැහැදිලි තැනක තියෙන්නෙ.


බටහිර ශිෂ්ඨාචාරය වර්ධනය වෙද්දි බටහිර විද්‍යාවත් වර්ධනය වෙනවා. මෙතනදි හරි අපූරු සෙල්ලමක් වෙනවා. ඒ බටහිර විද්‍යාව මගින් දෙන දාර්ශනික පිළිතුරු ක්‍රිස්තියානි ආගමේ මූල ධර්ම සමඟ නොගැලපීම​. මේක ගැලීලියෝ ගේ කාලයේ ඉඳන් යම් ප්‍රමානයකින් තිබ්බ​. නමුත් මේකෙ කූඨප්‍රාප්තිය එන්නෙ චාල්ස් ඩාවින් විසින් පරිණාම වාදය ඉදිරිපත් කිරීමෙන්. කලින් එහෙන් මෙහෙන් වැදිච්ච ප්‍රහාර වෙනුවට මේකෙදි කෙලින්ම වදින්නෙ "දෙවියන් විසින් විශ්වය සහ මිනිසා මවනු ලැබීය​" කියන ක්‍රිස්තියානියේ පදනමට​.


මෙතනදි බටහිර ශිෂ්ඨාචාරයේ දෙවැනි පෙරළිය සිද්ධ වෙනවා. කතෝලික ආගම වෙනුවට ප්‍රොතෙස්තන්ත ආගම ගේනවා වගේ අර්ධ විසඳුමකින් ගොඩ දාන්න බැරි තරම් අර්බුධය බරපතලයි. මෙතනදි නැවතත් බටහිර යුරෝපයේ දාර්ශනික පුබුදුවක් ඇති වෙනවා.


ඒකෙ ප්‍රතිඑලයක් විදිහට බටහිර මිනිසා විසින් ආගම සහමුළින්ම ප්‍රතික්‍ෂේප කරනවා.



තාර්කිකක්ත්වයේ දේවස්ථානය
මේක අපිට මුලින්ම දකින්නට ලැබෙන්න ප්‍රංශ විප්ලවයේ එක තැනකදී විප්ලවකාරීන් විසින් ක්‍රිස්තියානි පල්ලිය වෙනුවට​ "තාර්කිකක්ත්වයේ දේවස්ථානය​​" පිහිටුවීමේ සිද්ධියෙදි. ඊට පස්සෙ කාල් මාක්ස් විසින් නැවතත් ආගම් ප්‍රතික්‍ෂේප කරනවා. ඔහුගේ කම්කරු රාජ්‍යයේදී ආගමට තැනක් නෑ. නමුත් දේශපාලනික හේතු මත මේ උත්සහයන් අසාර්ථක වෙනවා. කම්කරුවන් විසින් දේශපාලන බලය ඩැහැගැනීම ප්‍රභූන් සහ ධනවතුන් රුස්සන්නෙ නෑ. ඒ නිසා මේ ව්‍යාපාර ඇති වෙන්නෙ බටහිර ශිෂ්ඨාචාරයේ විරෝධාකල්ප ව්‍යාපාර විදිහට මිස එහි පදනම් ව්‍යාපරය විදිහට නෙවෙයි. නාසි වාදය මේ වගේ තවත් එක ව්‍යාපාරයක්.


මේ කැරලිකාරීන් බටහිර යුරෝපයේ දේශපාලන බලය වෙනුවෙන් සටන් කරනවා. ඒකෙ උච්චාවස්ථාව තමයි පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධය​. නැත්තං සමහර දාර්ශනිකයන් කියන විදිහට යුරෝපා සිවිල් යුද්ධය​. මෙතනදි ඇති වෙන තුන් කොන් අරගලයෙන් නාසි වාදය තීරණාත්මක විදිහට පරදිනවා. කොමියුනිස්ට් වාදය සහ ලිබරල් ධනවාදය යුරෝපය බෙදා ගන්නවා. එතනදි කොමියුනිස්ට් වාදයට ලැබෙන්නෙ නැගෙනහිර යුරෝපය​. ලිබරල් ධනවාදය බටහිර යුරෝපයේ බලය තහවුරු කරනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ලිබරල් ධනවාදයට බටහිර යුරෝපයේ දී සීරියස් තර්ජනයක් එල්ල වෙන්නෙ නෑ.


දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ තමයි "නිරාගමිකත්වය​" කරලියට එන්නෙ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිර යුරෝපයේ ආර්ථික - දේශපාලන මොඩලය විදිහට ධනවාදය තහවුරු වීමත් සමඟම එහි දාර්ශනික මොඩලය විදිහට "නිරාගමිකත්වය​" වර්ධනය වෙනවා.


මෙතන නම් වල පොඩි නොගැලපීමක් තියෙනවා. වචනාර්ථයෙන් ගත්තොත් මාක්ස්වාදයත් නිරාගමිකයි. නමුත් බටහිර ශිෂ්ඨාචාරයේ එන නිරාගමිකත්වය මාක්ස්වාදය එක්ක ගනුදෙනුවක් නෑ. ඔවුන් මාක්ස්වාදය තමාට සුළුවෙන් හෝ සම්බන්ධ දෙයක් කියල පිළිගන්නවත් කැමති නෑ. ඒ දාර්ශනිකව​, දේශපාලනිකව​, ආර්ථිකව සහ සංස්කෘතිකව බටහිර නිරාගමිකත්වය සහ මාක්ස්වාදය වෙනස් නිසා.


ඉතින් මේ "නිරාගමිකත්වය" කියන්නෙ මානව ශිෂ්ඨාචාරයේ අග්‍රඵලයක් වගේ මොකක්වත් බක්කක් නෙවෙයි. ශිෂ්ඨාචාරය විසින් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් මත බිහි වුන තවත් එක් දාර්ශනික ප්‍රතිඵලයක් පමණයි.


නිරාගමිකත්වය විසින් ආගම් විස්ථාපනය කරාට පස්සෙ යුද්ධ වගේ දේවල් නැවතිලා ලෝකය එක යායක් වෙයි වගේ දවල් හීන ඇති වෙන්නේ මේ සංසිද්ධිය හරි හැටි වටහා නොගැනීමෙන්. යුද්ධ ඇති වෙන්නෙ ආගම් නිසා මෙ නෙවෙයි. යුද්ධ ඇති වෙන්න දේශපාලන​-ආර්ථික​-සංස්කෘතික හේතු තියෙනවා. ආගම නැමැති සංස්කෘතික සංරචකය නිරාගමිකත්වය නැමැති සංස්කෘතික සංරචකය විසින් විස්ථාපනය වුනාට යුද්ධ නැති වෙන්නෙ නෑ. ඒක නිකං පොඩි එකෙක් ගෙ දවල් හීනයක් විතරයි.


හැබැයි මෙතන පොඩි පරහක් තියෙනවා. කලින් කිව්ව වගේ ආගම් විසින් මිනිසා ගේ මූලික අවශ්‍යයතා පහකට පිළිතුරු දෙනවා. නමුත් නිරාගමිකත්වය විසින් පිළිතුරු දෙන්නෙ මේවායෙන් එකකට​, ඒ කියන්නෙ "මිනිසාට ඇති වන දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට​" පමණයි.


අනෙක් ප්‍රශ්න හතර තාම එහෙම්මමයි.


මෙතනදි "සමාජයේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට තිබිය යුතු හර පද්ධතීන් නිර්නය කිරීමට​" කියන ප්‍රශ්නයට නිරාගමිකත්වය විසින් එතෙක් පැවතුන ක්‍රිස්තියානි හර පද්ධතියම සංශෝධනයට ලක් කරමින් යොදා ගන්න උත්සහ දරනවා. නමුත් අනික් ප්‍රශ්න තුනට නිරාගමිකත්වය විසින් පිළිතුරු දෙන්න අපොහොසත්.


මෙතනදි ප්‍රතිඵල දෙකක් වෙන්න පුළුවන්. එක, මේ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබීමෙන් බටහිර ශිෂ්ඨාචාරය අර්බුධයට යාම​. දෙක​, ක්‍රිස්තියානි ආගම හුදෙක් සංස්කෘතික අංගයක් ලෙස පවත්වාගනිමින් එහි දාර්ශනික මදය නිරාගමිකත්වය විසින් විස්ථාපනය කිරීම​. දැනට පේන විදිහට බටහිර ශිෂ්ඨාචාරය යන්නෙ දෙවෙනි පාරෙ.


නිරාගමිකත්වය කියන්නෙ බටහිර ශිෂ්ඨාචාරයේ වර්ධනයෙන් බිහිවුන අනිවාර්‍යය ප්‍රතිඵලයක් පමණයි. ඒක ක්‍රිස්තියානි ආගමේ තාර්කික පරිනාමීය ප්‍රතිඵලය​.
 

Saturday, April 23, 2016

යකඩ සහෝදරයා - ස්ටාලින් - 1 ස්ටාලින් බලයට පැමිණීම

යකඩ සහෝදරයා - ස්ටාලින් - 1ස්ටාලින් බලයට පැමිණීම


ලෝකයේ ඒකාධිපතීන් බිහි වන්නේ බල රික්තයක් තුළිනි. බොහෝ විට ඒකාධිපතියාව බලයට ගෙන එන්නේ එම රික්තය තුලට පැනගැනීමට ඇති වල බල අරගලයේ යම් කිසි පාර්ශව කරුවෙක් විසින් තම ප්‍රතිවාදීන් පාලනය කිරීමේ උපක්‍රමයක් විසිනි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම විරුද්ධවාදීන් මර්ධනය කළ පසු ඒකාධිපතියා බලයෙන් පහ කිරීමෙන් හෝ ඔහුව තමාට අවශ්‍යය ආකාරයට හසුරුවා ගැනීමෙන් බලය තමා අතට ගැනීමටය. ඔවුන් සැමවිටම වරද්දා ගනිති.

හිට්ලර් ජර්මනියේ බලයට ගෙන එන්නේ කොන්සර්වේටිව් පක්‍ෂ විසින් ක්‍රමයෙන් වර්ධනය වන සමාජවාදී-කොමියුනිස්ට් වාදීන් මර්ධනය කිරීමේ මෙවලමක් වශයෙනි. නමුත් බලයට ආ පසු හිට්ලර් කොන්සර්වේටිව් වරු තුට්ටුවකට මායිම් නොකලේය. හිට්ලර් ජර්මනිය සන්නද්ධ කරද්දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව ඇස් කන් පියා සිටියේ හිට්ලර් ලවා සෝවියට් දේශය විනාශ කරවීමටය. නමුත් එය ඔවුන්ටම පාරා වළල්ලක් විය.

ස්ටාලින් ගේ බලයට ඒමේ කතාවේද මෙම රටාව දැකිය හැක.

රුසියන් විප්ලවය සමයේ ස්ටාලින් බොල්‍.ෂෙවික් පක්‍ෂයේ දැවැන්තයෙක් නොවීය. ඔහු පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට පත් වන්නේ 1917 අප්‍රේල් මාසයේදීය. මේ සමයේදී පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස සැලකුනේ ට්‍රොට්ස්කි ය. එමෙන්ම ග්‍රිගෝරි සිනොවිව්, ලෙව් කමනෙව් සහ නිකොලායි බුකාරින් පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් ලෙස සැලකිනි.

1917 ඔක්තෝබර් විප්ලවය සිදු කිරීමට ලෙනින් තීරණය කල අවස්ථාවේදී සිනොවිව් සහ කමනෙව් ඊට දැඩි විරෝධයක් එල්ල කළහ. ලෙනින් විසින් ස්ටාලින් මධ්‍යයම කාරක සභාවට පත් කරන ලද්දේ ඔවුන් ගේ බලය අඩු කිරීමේ ඉලක්කය ඇතිවය. බලාපොරොත්තු වූ ලෙසටම ස්ටාලින් ලෙනින් ගේ විශ්වාසවන්ත සගයෙක් ලෙස ප්‍රකට විය.

1919
දී රුසියානු සිවිල් යුද්ධය ඇති වූ අවස්ථාවේදී ලෙනින් විසින් පස් දෙනෙකුගෙන් සමන්විත පොලිට්බියුරෝවක් ඇති කළ අතර, එහි සාමාජිකත්වය හිමි වූයේ ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින්, කමනෙව් සහ ට්‍රොට්ස්කි ගේ සගයෙක් වූ නිකොලායි ක්‍රෙස්ටින්ස්කි හටය. මෙහිදී සිනොවිව් අභිබවා ස්ටාලින් ඉදිරියට ඒම කැපී පෙනිනි.

රුසියානු සිවිල් යුද්ධයේදී රතු හමුදාව ගොඩ නැංවීමේ වගකීම පැවරෙන ලද්දේ ට්‍රොට්ස්කිටය. එහිදී ඔහුගේ විශිෂ්ඨ සංවිධාන ශක්තිය කැපී පෙනුනු අතර, සිවිල් යුද්ධයෙන් බොල්.ෂෙවික් වරු ජයග්‍රහනය කිරීමත් සමඟම ඔහුගේ බලය වර්ධනය විය.

1921
දී ලෙනින් විසින් යුද්ධයෙන් විනාශ වූ සෝවියට් ආර්ථිකය ගොඩ නැංවීමට "නව ආර්ථික ප්‍රතිපත්තිය" හඳුන්වා දෙන ලදී. මෙමගින් සීමිත දේපල අයිතියකට ඉඩ දුන් අතර, ධනවාදී-සමාජවාදී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් විය. ට්‍රොට්ස්කි ඇතුළු බොල්.ෂෙවික් පක්‍ෂයේ වාමාංශය මෙයට තදින්ම විරුද්ධ වූහ. නමුත් ස්ටාලින් සහ බුකාරින් ගේ සහයෙන් ලෙනින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය.

මෙම මත ගැටුම නිසා ට්‍රොට්ස්කි සහ ලෙනින් අතර දුරස්ථ වීමක් වර්ධනය වූ අතර, ලෙනින් ගේ සමීපතමයෙක් ලෙස ස්ටාලින් තම බලය වර්ධනය කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේය.

ට්‍රොට්ස්කි ගේ වර්ධනය වන බලය හමුවේ සිනොවිව් සහ ඔහුගේ සගයා වූ කමනෙව් තෝරා ගත්තේ ස්ටාලින් බලවත් කිරීමයි. ස්ටාලින් මගින් ට්‍රොට්ස්කි මර්ධනය කරවීමටත්, ලෙනින් ගෙන් පසු ලෙනින් ගේ සහය අහිමිවන ස්ටාලින් පහසුවෙන් බලයෙන් ඉවත් කොට පක්‍ෂයේ බලය අල්ලා ගැනීම ඔවුන් ගේ අභිප්‍රාය විය.


1922 දී කමනෙව් ගේ සහය ඇතිව ලෙනින් විසින් ස්ටාලින්ව පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත් කෙරෙන්නේ මේ අනුවය.

මෙතෙක් ලෙනින් ගේ විශ්වාසවන්තයා ලෙස පෙනී සිටි ස්ටාලින් තම බලය නංවා ගැනීම අරඹන්නේ මින් පසුවය.

1922
දෙසැම්බරයේ දී ලෙනින් ට හෘදයාබාධයක් ඇති වූ අතර පිරිහුනු සෞඛයෙන් යුත් ලෙනින් පාලන කටයුතු වලින් ඈත් විය. බොල්.ෂෙවික් පක්‍ෂයේ බල අරගලය උග්‍ර වන්නේ මින් පසුවය.

ලෙනින් ගේ අනුප්‍රාප්තිකයා ලෙස සාමාන්‍යයෙන් සැලකුණු ට්‍රොට්ස්කි සහ ඔහුගේ වාමාංශික කණ්ඩායම එක් පසෙකින් විය. සිනොවිව් සහ ඔහුගේ සගයා වූ කමනෙව් එක් පසෙකින් විය. බුකරින්, ඇලෙක්සි රයිකොව් සහ මිඛායිල් ටොම්ස්කි ගේ මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම අනෙක් පසින් විය.


ලෙනින් තමා මියගියහොත් ඔහු මහ ලේකම් ධූරයෙන් ඉවත් කරන ලෙස පක්‍ෂ නායකයන්ට රහසේ උපදෙස් දුන්නේය. ඒ ස්ටාලින් පාලනය කළ හැක්කේ තමන්ට පමණක් බව ඔහු හොඳින් වටහාගෙන සිටි නිසාය.

නමුත් ට්‍රොට්ස්කි ඉවත් කිරීමට කුරුමානම් ඇල්ලූ සිනොවිව් සහ කමනෙව් ස්ටාලින් සමඟ එක්ව "ත්‍රොයිකා" ලෙස හැඳින්වුන සංධානයක් සාදා ට්‍රොට්ස්කි ගේ බලය මර්ධනය කිරීමට සමත් වූ අතර, මීට බෙහෙවින් උපකාරී වූයේ මහ ලේකම් ධූරයේ සිටි ස්ටාලින් පක්‍ෂයේ වැදගත් නිල තල වලට තම සගයන් පත් කරගෙන තිබීමයි.

1924
දී ලෙනින් මියගිය විට බලය අත්කර ගැනීමට ස්ටාලින් සමත් විය.

බලය ලබා ගත් පසු ස්ටාලින් සිනොවිව් සහ කමනෙව් මර්ධනය ඇරඹූ අතර ඔවුන් දෙදෙනා පක්‍ෂයේ සියළු වැදගත් තනතුරු වලින් ඉවත් කෙරිනි. එවිට සිනොවිව් සහ කමනෙව් ට්‍රොට්ස්කි සමඟ සංධානගත වූහ. ස්ටාලින් මෙවිට බුකරින් ගේ මධ්‍යස්ථ කණ් ඩායම සමඟ සන්ධානගත වී ඔවුන්ට එරෙහිව තම බලය තහවුරු කර ගත්තේය. මෙම අරගලය අවසන් වූයේ 1927 දී ට්‍රොට්ස්කි, සිනොවිව් සහ කමනෙව් තිදෙනාම පක්‍ෂයෙන් නෙරපීමෙනි.

තව දුරටත් බුකාරින් ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරීන් ගේ සහය අවශය නොවූ ස්ටාලින් මීළඟ මර්ධන එල්ල කලේ ඔවුන් දෙසටය.

බොල්.ෂෙවික් පක්‍ෂයේ ප්‍රභලයන්ට අත්වූ ඉරණම මෙලෙස දැක්විය හැක:

ලියොන් ට්‍රොට්ස්කි - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1928 දී පිටුවහල් කරන ලදී. 1940 දී මෙක්සිකෝවේදී ඝාතනය කෙරිනි.

ග්‍රිගෝරි සිනොවිව් - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1936 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

ලෙව් කමනෙව් - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1936 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

නිකොලායි ක්‍රෙස්ටින්ස්කි - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

නිකොලායි බුකාරින් - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

ඇලෙක්සි රයිකොව් - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

මිඛායිල් ටොම්ස්කි - 1936 දී අත් අඩංගුවට ගැනීමට ගිය විට සිය දිවි නසා ගත්තේය.


1938
දී ස්ටාලින් සෝවියට් දේශයේ අසාහය නායකයා බවට ඉතිරි විය.


Wednesday, April 13, 2016

අපේ ලොකු හාමුදුරුවෝ

අපේ ලොකු හාමුදුරුවෝ




අපේ ගමේ පන්සල අපි ගැටව් කාලේ අන්තයටම පිරිහිල තිබ්බෙ. එක කාලයක් තිබ්බ උපසම්පදා හාමුදුරුවො කෙනෙක් හිටියෙ නෑ. පොඩි සාමනේර උන්නාන්සෙල දෙන්නෙක් හිටියෙ.

පස්සෙ අළුත් නායක හාමුදුරුවො නමක් ආව. නායක හාමුදුරුවො කිව්වට උන්නාන්සෙට 30-35 ඇති. ටිකක් වෙනස් විදිහට හිතන්නෙ. හාමුදුරුවො පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න කොල්ලන්ට ඉඩ දෙනව. නිවාඩුවක් තිබ්බොත් හාමුදුරුවොත් ගහනව. කළු කෙට්ටු ඇඟයි, බූ ගාපු හිසයි නිසා ගමේ කොල්ලො හාමුදුරුවන්ට ආදරේට කියන්නෙ "උසේන් බෝල්ට්". හාමුදුරුවන්ට ෆාස්ට් බෝල් එහෙම හොඳට දාන්න ඇහැකි. කොල්ලන්ට පන්සල් වත්තෙ කුරුම්බ කඩන්න එහෙමත් තහනමක් නෑ.

දැන් පන්සල හරි වෙනස්. ඔක්කොම ගොඩනැගිලි අළුත්වැඩියා කරල, සුදුපාට ගාල. දහම් පාසල ආපහු පටන් අරන්. ධර්ම ශාලාව අළුතින්ම හදල.

අද අවුරුදු දවසෙ හවස හයට හාමුදුරුවො මුළු ගමටම පන්සලට එන්න කිව්ව. ගමේ එවුං තුනෙන් දෙකක් විතර ඇවිත් හිටිය. ඔක්කොටම පන්සිල් දීල අනුසාශනාවක් කරා. පොඩියට පිරිතක් කිව්ව. පිරිත් නූල් බැන්ද.

හාමුදුරුවො ගිය අවුරුද්දෙ වෙසක් එකට ගමේ හැම ගෙදරටම කැටයක් දීල තියෙනවා. අවුරුද්ද පුරාවටම කැටේට පුළු-පුළුවන් විදිහට සල්ලි දාන්න කියල. අද ගම්මු පන්සලට කැට අරගෙන ආව. සාමාන්‍යයෙන් එක කැටේක රුපියක් තුන්දහක් විතර තිබ්බ. ඊට වැඩි කැටත් තිබ්බ. අඩු කැටත් තිබ්බ. පන්සලේ වෙසක් උත්සවය කරන්නෙ ඒ සල්ලි වලින් ලු.

එක පාරට ලොකු ගානක් පිනට දෙන්න මිනිස්සුන්ට හැකියාවක් නෑ කියල - විශේෂයෙන් අවුරුදු මාසෙට පස්සෙ මාසෙ - හාමුදුරුවො දන්න නිසා අවුරුද්ද පුරාවටම සුළුවෙන් කීය කීය හරි එකතු කරන එක මිනිස්සුන්ට පහසුයි කියල හිතල තමයි කැට සංකල්පය දාල තියෙන්නෙ. ඒ වගේම එක පාර ලොකු ගානක් දෙනකොට දන් දෙන සිත පහළ වෙන්නෙ එක පාරයි, මෙහෙම කරද්දි අවුරුද්දෙ හැම දාම දන් දෙන සිත පහළ වෙනව කියලත් අනුසාශනාවෙදි කියවුනා.

අද වැඩේට බැහැල හිටියෙ ගමේ කොල්ලො සෙට් එක. පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න එන එවුන්. ජිම් යන ඇඟක් තියෙන රවීන්.ද්‍ර ජඩේජා වගේ රැවුලක් තියෙන මලයෙක් තමයි වැඩේ නායකත්වය දැරුවෙ.

කොල්ලො ටික හවස් වරුවෙම පන්සලේ නිසා ගමේ තැන තැන බූරු ගහන්නයි අරක්කු බොන්නයි ගිහිල්ල නෑ. (හැබැයි පන්සල් වත්තෙ කොනක හොරෙන් හොරෙන් සිගරට් එකක් ගහනව නං දැක්ක).

මේ වගේ හාමුදුරු නමක් ගමකට ආශිර්වාදයක්. සසර ගමන කෙටි වේවා! බුදුන් දැක නිවන් දකීවා!

Monday, March 21, 2016

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය ගැන - 2 (විදුලි උත්පාදනය)

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය ගැන - 2 (විදුලි උත්පාදනය)




විදුලි පද්ධතියක විදුලිය උත්පාදනය කරන්නේ මූලික වශයෙන් ජෙනරේටර් යන්ත්‍ර භාවිතයෙනි. ජෙනරේටරයකින් විදුලිය උත්පාදනය කිරීමට නම් එය කරකැවිය යුතුය​. ජෙනරේටරය කරකැවීමට වෙනත් ශක්ති ප්‍රභවයක් භාවිතා කළ යුතුය​.

එනම් ජෙනරේටරකින් සිදු වන්නේ යම්කිසි යාන්ත්‍රික ශක්තියක් විද්‍යුත් ශක්තිය බවට හැරවීමයි.

ජෙනරේටරය කරකැවීමට භාවිතා කරන ශක්ති ප්‍රභවයන් අනුව විදුලි බල උත්පාදනය වර්ගීකරණය කළ හැක.

අද ලෝකයේ වාණිජ්‍යය මට්ටමින් විදුලි බල උත්පාදනයට භාවිතා කරන ශක්ති ප්‍රභව මේවාය :

1. ජලය​
2. ගල් අඟුරු
3. ඩීසල්
4. න්‍යෂ්ටික බලය​
5. ස්වාභාවික වායු
6. සුළං
7. සූර්‍ය ශක්තිය​

මින් ජලය​, සුළං සහ සූර්‍ය ශක්තිය පුනර්ජනනීය බල ශක්ති ලෙස හැඳින්වේ. භාවිතා කල පසු ක්‍ෂය වීමක් සිදු නොවන බැවිනි ඒ.

ගල් අඟුරු, ඩීසල් සහ ස්වාභාවික වායු පොසිල ඉන්ධන ලෙස හැඳින් වේ. ඒවා භාවිතයේ දී ක්‍ෂය වේ. එම නිසා පොසිල ඉන්ධන යනු සීමිත ශක්ති ප්‍රභවයකි.

න්‍යෂ්ටික බලය භාවිතයේදී ක්‍ෂය වීමක් සිදු වුවද​, ඒ සඳහා න්‍යෂ්ටික ඉන්ධන භාවිතා කෙරෙන්නේ ඉතා සුළු ප්‍රමාන වලින් නිසා එය එතරම් සැලකිය යුතු තත්වයක් නොවේ.

ලංකාවේ විදුලි උත්පාදනය​


ලංකාවේ වාණිජ්‍යය මට්ටමෙන් විදුලි උත්පාදනයට භාවිතා වන්නේ ජලය​, ගල් අඟුරු, ඩීසල් සහ සුළං බලයයි. සූර්‍ය ශක්තිය භාවිතය ක්‍රමයෙන් වැඩි වන රටාවක් පැවතුනද​, තවමත් එය වාණිජ්‍යය මට්ටමට පැමින නැත​.

ලංකාවේ විදුලිය උත්පාදනය කරන පාර්ශව දෙකකි.
1. ලංකා විදුලි බල මණ්ඩලය (Ceylon Electricity Board - CEB)​
2. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් (Independent Power Producers - IPP)

ලංකා විදුලි බල මණ්ඩලය රජයේ ආයතනයක් වන අතර විදුලි උත්පාදනයෙන් වැඩි පංගුව එමගින් සිදු කරයි.

ඊට අමතරව පුද්ගලික සමාගම් වලට අයත් බලාගාර ද ඇති අතර, ඒවායින් උත්පාදනය කරන විදුලිය විදුලි බල මණ්ඩලය මගින් මිල දී ගෙන​, පාරිභෝගිකයන්ට බෙදා හරී.

ජල විදුලිය​


ජල විදුලි උත්පාදනයේදී ජලාශයක රැස් කරන ජලය පහත මට්ටමක ඇති බලාගාරයේ ඇති ජල ටර්බයිනයක් කරකැවීමට යොදා ගනී.

ලංකාවේ ප්‍රධාන වශෙයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන්නේ මහවැලි සහ කැළණි ගංගා දෙක ආශ්‍රිතවය​.

මෙගාවොට් 10 ට අඩු ධාරිතාවයකින් යුත් ජල විදුලි බලාගාර "මිනි හයිඩ්‍රෝ" හෙවත් "කුඩා ජලවිදුලි බලාගාර​" ලෙසයි.

ලංකාවේ විශාල පරිමාන (මෙගාවොට් 10 ට වැඩි) ජල විදුලි බලාගාර සියල්ලම විදුලිබල මණ් ඩලයට අයත්‍ ය​.

මිනි හයිඩ්‍රෝ බලාගාර තුනක් හැර සියල්ලම පුද්ගලික බලාගාරයි.

දැනට පද්ධතියට එක් කර ඇති ජල විදුලි බලාගාර වලට අමතරව ජල විදුලි බලාගාර තුනක් දැනට ඉඳි වෙමින් පවතී. මේ බලාගාර තුන ඉඳි කළ පසු ලංකාවේ ජල විදුලි බලාගාර ඉඳි කිරීමට සුදුසු ස්ථාන තව දුරටත් නොපවතී. එනම්, ලංකාවේ ජල විදුලි බල ශක්‍යතාවය දැනටමත් සම්පූර්නයෙන්ම ප්‍රයෝජනයට ගෙන අවසන් ය​.

ලංකාවේ විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ලැයිස්තුවක් පහත දැක්වේ.


මීට අමතරව මිනි හයිඩ්‍රෝ බලාගාර රැසක් ඇති අතර ඒවායේ සම්පූර්න ධාරිතාව මෙගාවොට් 400 කට ආසන්නය​.

ගල් අඟුරු


ගල් අඟුරු බලාගාර වල විදුලිය උත්පාදනය කරන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් ලැබෙන තාපයෙන් ජලය වාෂ්ප කොට​, එම හුමාලයෙන් හුමාල ටර්බයිනයක් කරකැවීමෙනි.

මෙම හුමාලය නිපදවීමේ ක්‍රියාව අධික උෂ්නත්වයක් සහ පීඩනයක් යටතේ සිදු කෙරේ. එම අවශ්‍යය උෂ්නත්ව සහ පීඩනයන් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන හෙයින්, සම්පූර්නයෙන්ම නවත්වන ලද ගල් අඟුරු බලාගාරයක් නැවත විදුලිය නිෂ්පාදනය කරන මට්ටමට ගැනීමට දින තුනක් පමණ ගතවේ. මේ නිසා ගල් අඟුරු බලාගාර පණගැන්වූ පසු මාස ගණනක් එක දිගට විදුලිය උත්පාදනය කරයි. ඒවා නවත්වන්නේ නඩත්තු සඳහා පමණි.

ලංකාවේ ගල් අඟුරු  බලාගාර ඇත්තේ එකක් පමණි. ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයයි. එය විදුලිබල මණ්ඩලයට අයත් ය​. දැනට යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය  විදුලිබල මණ්ඩලයට සහ ඉන්දියානු සමාගමකට (NTPC) 50% බැගින් අයිතිය හිමිවන පරිදි ගිවිසුම් ගත කොට ඇත.



ඩීසල්


ඩීසල් බලාගාර වල භාවිතා වන තාක්‍ෂනය අනුව තෙවර්ගයකි.

1. ගෑස් ටර්බයින් (Gas Turbine - GT)
ගෑස් ටර්බයින් බලාගාර වල ටර්බයිනය කරකවන්නේ ඩීසල් බිඳිති සමඟ මිශ්‍ර කළ වාතය දහනය කිරීමෙන් ලැබෙන රත් වූ වායු ධාරාව මගිනි.

2. සංයුක්ත චක්‍ර (Combined Cycle - CC)
සංයුක්ත චක්‍ර බලාගාර වල ගෑස් ටර්බයිනයක් සහ හුමාල ටර්බයිනක් ලෙස ටර්බයින දෙකක් ඇත​. හුමාල ටර්බයිනය කරකැවීමට අවශ්‍යය හුමාලය නිෂ්පාදනය කෙරෙන්නේ ගෑස් ටර්බයිනය කරකැවීමට භාවිතා කළ රත් වූ වාතයෙනි.

3. එන්ජින් (Diesel Engine)
මේ වර්ගයේ බලාගාර වල ටර්බයිනයක් නැත​. විශාල ප්‍රමානයේ ඩීසල් එන්ජිමක් මගින් ජෙනරේටරය කරකවනු ලැබේ.

ලංකාවේ ඇති ඩීසල් බලාගාර වලින් වැඩි ප්‍රමානයක් පුද්ගලික අංශයට අයත් ය​. විදුලිබල මණ්ඩලය සතු බලාගාර ඇත්තේ අතළොස්සකි. පුද්ගලික අංශය සතු වූ බලාගාර රැසක් පසු ගිය වසර කීපය තුළ වසා දමන ලදී. ඒ ඒවායේ ගිවිසුම් කල් ඉකුත් වීම නිසාය​.


සුළං


සුළං විදුලි බලාගාර වල සුළං ටර්බයිනයක් කරකැවීමෙන් විදුලිය නිෂ්පාදනය කරයි.

සුළං විදුලි බලාගාරයක් හැඳින්වෙන්නේ "සුළං ගොවිපළක්" (wind farm) ලෙසිනි.

ලංකාවේ වැඩිම සුළං විදුලි ශක්‍යතාවයක් ඇත්තේ පුත්තලම සිට මන්නාරම දක්වා වන වෙරළ තීරයේයි.

දැනට ලංකාවේ විදුලිබල මණ් ඩලය සතුව එක් සුළං ගොවිපළක් ඇති අතර​, පුද්ගලික සමාගම් සතු සුළං ගොවිපල රැසක් පවතී.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වූ දැවැන්තම සුළං විදුලි ව්‍යාපෘතිය වශයෙන් මෙගාවොට් 100 ක සුළං ගොවිපළක් මන්නාරමේ ඉඳිවීමට යෝජිතය​.



සූර්‍ය ශක්තිය​


සූර්‍ය ශක්තිය මගින් විදුලිය ජනනය කෙරෙන්නේ සූර්‍ය පැනලයක් මතට හිරු එළිය වැටෙන්නට සැලැස්වීමෙනි. මෙමගින් සරළ ධාරවක් උත්පාදනය වේ.

සූර්‍ය ශක්තියෙන් විදුලිය නිපදවීම ක්‍රම දෙකකට සිදු කෙරේ.

1. ස්වාධීන (isolated) - මෙය ජාතික පද්ධතියට සම්බන්ධ නොවේ. කම්හලකට​, වෙළඳ සැලකට හෝ නිවෙසකට විදුලිය සැපයීමට යොදාගත හැක​. දහවල් කාලයේ නිපදවන විදුලිය බැටරියක ගබඩා කොට රාත්‍රියට පාවිච්චි කිරීමේ හැකියාව ඇත​.

2. පද්ධතියට සම්බන්ධිත (grid connected) - මෙම පැනල මගින් උත්පාදනය කෙරෙන විදුලිය කෙලින්ම ජාතික පද්ධතියට සම්බන්ධ කෙරේ. පැනලයෙන් නිපදවෙන සරළ ධාරාව ඉන්වර්ටරයක් මගින් ප්‍රත්‍යාවර්ථ ධාරාවක් බවට හරවා ජාතික පද්ධතියට ලබා දෙනු ලබයි. ලංකාවේ මේ ආකාරයේ සූර්‍ය පැනල හිමි කරුවන්ට ඔවුන් උත්පාදනය කරන විදුලි ඒකක ගණන ඔවුන් ගේ මාසික බිලෙන් අඩු කිරීමේ ක්‍රමයක් අනුගමනය කෙරෙයි (net metering).

සූර්‍ය ශක්තිය නිපදවීම වෙනුවෙන්ම ඉඳිකළ පැනල පද්ධති දෙකක් හම්බන්තොට (1.2MW) සහ තිරප්පනේ (0.1MW) පවතී.

ස්වාභාවික වායු


ලංකාවේ තවමත් විචුලි උත්පාදනයට ස්වාභාවික වායු යොදා නොගනී. මන්නාරම අවට මුහුදේ ස්වාභාවික ගෑස් නිධියක් හමුවුවහොත් ඒ තත්වය වෙනස් විය හැක​. දැනට ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරන කෙරවළපිටිය යුග දනවි බලාගාරය ස්වාභාවික වායු වලින් විදුලිය උත්පාදනයට භාවිතා කළ හැකි බලාගාරයකි.

න්‍යෂ්ටික බලය​


න්‍යෂ්ටික බලයද තවමත් ලංකාවේ විදුලිය උත්පාදනයට යොදා නොගැනේ. න්‍යෂ්ටික බලාගාර සාමාන්‍යයෙන් විශාල ධාරිතාවයකින් (1000MW වැනි) වන නිසා ලංකාව වැනි කුඩා විදුලි පරිභෝජනයක් ඇති පද්ධතියකට න්‍යෂ්ටික බලාගාර නුසුදුසු ය​.


ස්ථාපිත ධාරිතාව (installed capacity)


පද්ධතියක ඇති සියළුම බලාගාර වල සම්පූර්ණ ධාරිතාව ස්ථාපිත ධාරිතාව ලෙස හැඳින්වේ.

ලංකාවේ ස්ථාපිත ධාරිතාව ප්‍රභවය අනුව පහත ආකාර වේ.



Sunday, March 20, 2016

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය​ ගැන - 1 (මූලික සංකල්ප​)

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය​ ගැන - 1 (මූලික සංකල්ප​)






විදුලිය යනු ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.

විදුලිය ගැන කතා කිරීමේදී මූලික ගුණාංග තුනක් වැදගත් වේ.
1. ධාරාව (current) - තප්පරයකට ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමානය. මනින ඒකකය ඇම්පියර් (A) වේ.
2. වෝල්ටීයතාවය (voltage) - විදුලි ධාරාව ගලා යාමට ඇති තල්ලුව​. මනින ඒකකය වෝල්ට් (V) වේ.
3. ප්‍රතිරෝධය (resistance) - විදුලි ධාරාව ගලා යාමට ඇති බාධාව​. මනින ඒකකය ඕම් (Ω) වේ. මෙය ධාරාව ගලායන සන්නායකයේ ගුණයකි.




බලය (power)

පරිපථයක් හරහා ධාරාවක් ගලා යාමේදී අපට විවිධ ස්වරූප වලින් කාර්‍යයන් කළ හැක​. විදුලි ප්‍රභවයක කාර්‍යය කිරීමේ හැකියාව "බලය​" ලෙස හැඳින්වේ. බලය මනින්නේ වොට් (W) ඒකකයෙනි.

ශක්තිය (energy)

යම්කිසි කාල සීමාවක් තුල විදුලි ධාරාවක් විසින් කෙරෙන කාර්‍යය ප්‍රමානය මැනෙන්නේ ශක්තියෙනි. ශක්තිය මනින ඒකකය වොට් පැය (Wh) වේ.

බලය සහ ශක්තිය අතර සම්බන්ධතාවය තේරුම් ගැනීමට සරළ උදාහරණයක් යොදා ගත හැක​.

මිනිස්සු දහ දෙනෙකුගෙන් සමන්විත වැඩ කණ්ඩායමක් ගත් විට එහි බලය "මිනිස්සු 10 කි". එම වැඩ කණ්ඩායම දවස් දෙකක කාලයක් පුරා ගෙයක් සෑදුවේ යැයි සිතමු. එවිට එම කණ්ඩායම වැය කළ ශක්තිය මිනිස් දින 20 කි.

මිනිස්සු පස් දෙනෙකුගෙන් සමන්විත වැඩ කණ් ඩායමක් ගත් විට එහි බලය "මිනිස්සු 5 කි". එම වැඩ කණ්ඩායමට ඉහත ගෙය සෑදීමට දින හතරක් ගතවේ. නමුත් වැඩ කණ්ඩායම වැය කළ ශක්තියේ වෙනසක් නැත​. ඒ මිනිස් දින 20 ක් ම වේ.

මේ ආකාරයටම අපි විදුලි උපාංගයක් පාවිච්චි කිරීමේදී එය ක්‍රියා කරවීමට අවශ්‍යය බලය වොට් (හෝ කිලෝවොට් හෝ මෙගාවොට්) වලින් මනිමු. එම උපාංගය යම්කිසි කාලයක් ක්‍රියාකළ විට වැය වන ශක්තිය වොට්පැය (හෝ කිලෝවොට් පැය හෝ මෙගාවොට්පැය​) වලින් මනිමු.

අපි විදුලියට ගෙවන්නේ බලය වෙනුවෙන් නොව ශක්තිය වෙනුවෙනි. අපේ විදුලි බිලේ ඇති "ඒකකයක්" නැතිනම් "යුනිට් එකක්" යනු කිලෝවොට් පැය​ 1 ක ශක්ති ප්‍රමානයකි.

වොට් 100 විදුලි බුබුලක් ක්‍රියා කරවීමට වොට් 100 ක විදුලි බලයක් අවශ්‍යය වේ. එය පැය 10ක් දැල් වූ විට කිලෝවොට් පැයක් (නැතිනම් ඒකක 1 ක​) ශක්තියක් වැය වේ.

විදුලි බලාගාර වල ඇති විදුලිය ජනනය කරන ජෙනරේටර් යන්ත්‍ර වල ධාරිතාවය මැනෙන්නේ එයට ජනනය කළ හැකි විදුලියේ බලය අනුවය​. ඒ අනුව​, වික්ටෝරියා බලාගාරයේ එක් ජෙනරේටරයක් මෙගාවොට් 70 ක බලයකින් යුක්තය​. එම ජෙනරේටරය පැයක් ක්‍රියාත්මක වූ විට මෙගාවොට් පැය 70 ක ශක්තියක් උත්පාදනය කරයි. එනම්, විදුලි ඒකක 70,000 ක් උත්පාදනය කරයි.

සරළ ධාරාව (DC) සහ ප්‍රත්‍යාවර්ථ ධාරාව (AC)


සරළ ධාරාවක ධාරාව සහ වෝල්ටීයතාවය නොවෙනස්ව පවතී. බැටරි, සූර්‍ය කෝෂ වැනි ප්‍රභව වලින් උත්පාදනය කරන්නේ සරළ ධාරාවන් ය​.

ප්‍රත්‍යාවර්ථ ධාරාවක ධාරාව සහ වෝල්ටීයතාවය කාලයත් සමඟ දිශාව මාරු කරයි. සාමාන්‍යයෙන් ප්‍රත්‍යාවර්ථ ධාරාවක ධාරාව සහ වෝල්ටීයතාවය කාලය සමඟ දක්වන්නේ සයිනාකාර වක්‍රයක සම්බන්ධතාවයකි. ජෙනරේටර වලින් උත්පාදනය කරන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවන්‍ ය​.



ජෙනරේටර් වලින් උත්පාදනය කෙරෙන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවන් නිසා රටක විදුලි පද්ධතිය ප්‍රත්‍යාවර්ථ එකකි.

ප්‍රත්‍යාවර්ථ ධාරාවක් තප්පරයකට දිශාව මාරු කරන වාර ගණන එම ධාරාවේ සංඛාතය (frequency) ලෙස හඳුන්වයි. සංඛ්‍යාතය මනිනු ලබන්නේ හර්ට්ස් (Hz) ඒකකයෙනි. ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල විදුලි පද්ධතියේ සංඛ්‍යාතය 50Hz වේ. නමුත් ඇමරිකාව වැනි රටවල් කීපයක මෙය 60Hz වේ.


ජාතික විදුලි පද්ධතිය (National Power System)


රටක ජාතික විදුලි පද්ධතිය කොටස් තුනකින් සමන්විත වේ.
1. ජනනය (generation)
2. සම්ප්‍රේෂනය (transmission)
3. බෙදා හැරීම (distribution)

ජනනය යනු විදුලි බලාගාර වලින් විදුලිය උත්පාදනය කිරීමයි.

මෙම උත්පාදනය කරන විදුලිය විදුලි බලාගාර වල සිට රට පුරා බෙදා හැරිය යුතුය​. ඒ බෙදා හැරීම් මධ්‍යස්ථාන උප පොළවල් (grid substation) ලෙස හැඳින්වේ.

විදුලි බලාගාර වල සිට උප පොළවල් දක්වා විදුලිය රැගෙන ඒම සම්ප්‍රේෂනයයි. මේ සඳහා භාවිතා වන්නේ අධි සැර (high voltage) විදුලි රැහැන් ය​. ඒ සම්ප්‍රේෂනයේදී සිදු වන ශක්ති හානිය අවම කර ගැනීමටය​. ලංකාවේදී මේ සඳහා 220kV සහ 132kV වෝල්ටීයතා භාවිතා වේ.

උපපොළ වල සිට නිවෙස් සහ කම්හල් දක්වා විදුලිය රැගෙන යාම බෙදා හැරීමයි. මේ සඳහා මධ්‍ය සැර (medium voltage) සහ අඩු සැර (low voltage) විදුලි රැහන් ය​. ලංකාවේ මධ්‍ය සැර වෝල්ටීයතාව ලෙස 33kV සහ අඩු සැර වෝල්ටීයතාව ලෙස 400V භාවිතා වේ.


පද්ධති පාලන මධ්‍යස්ථානය (system control center)


ජාතික විදුලි පද්ධතියක විදුලිය ගබඩා කිරීමක් සිදුවන්නේ නැත​. රටේ විදුලිය පාවිච්චි කරන ප්‍රමානයට සමාන ප්‍රමානයක් විදුලිය උත්පාදනය කිරීම සිදු කරයි. එමනිසා ඕනෑම අවස්ථාවක රටක විදුලි පරිභෝජනය විදුලි උත්පාදනයට සමාන වේ.

විදුලි පරිභෝජනයට වඩා උත්පාදනය වැඩි වුවහොත් පද්ධතියේ සංඛ්‍යාතය ඉහළ යයි. උත්පාදනයට වඩා පරිභෝජනය වැඩි වුනහොත් සංඛ්‍යාතය පහළ යයි. මේ අවස්ථා දෙකම පද්ධතියේ අස්ථාවර අවස්ථාවන් ය​. සමතුලිත පද්ධතියක සංඛ්‍යාතය සම්මත අගයේ (50Hz හෝ 60Hz) හෝ ඊට ආසන්න අගයක තිබිය යුතුය​.

සංඛ්‍යාතය ඉහළ ගිය විට බලාගාර වල විදුලි උත්පාදනය අඩු කළ යුතුය​. සංඛ්‍යාතය පහළ ගිය විට බලාගාර වල විදුලි උත්පාදනය වැඩි කළ යුතුය​. මේ කාර්‍යය කිරීම සඳහා බලාගාර වලට අවශ්‍යය උපදෙස් ලබා දෙන්නේ පද්ධති පාලන මධ්‍යස්ථානය (system control center) මගිනි. පද්ධති පාලන මධ්‍යස්ථානයේ සිට පැය 24 පුරාම පද්ධතියේ විදුලි පරිභෝජනය සහ විදුලි උත්පාදනය නිරීක්‍ෂනය කෙරෙයි. සංඛ්‍යාතය සම්මත අගයෙන් බැහැර වන විට පද්ධති පාලන මධ්‍යස්ථානය මගින් බලාගාර වෙත උත්පාදනය අවශ්‍යය ආකාරයට අඩු වැඩි කිරීමට උපදෙස් ලැබෙයි.

Sunday, February 21, 2016

චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්

චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්





ෂෙහාන් කරුණාතිලක ගෙ අති සාර්ථක "චයිනමන්" නවකතාවෙන් පස්සෙ ඔන්න මිනිහ තව නවකතාවක් ලියනවලු.

ඒකත් ලංකාවෙ ක්‍රිකට් ගැන.

කතාව තියෙන්නෙ කොටස් දෙකකට.

පළවෙනි කොටස පටන් ගන්නෙ එක්දාස් නවසිය හැත්තැ ගණන් වල අග හරියෙන්. තරුණ කොලු ගැටව් තුන් දෙනෙක් කොළඹ එනව ලංකාවෙ නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න. තුන් දෙනාම එන්නෙ කෝච්චියෙන්.

පළවෙනි එකා ධනුෂ්ක බණ්ඩාර. මහනුවර විද්‍යාර්ථෙට ගහපු වේග පන්දු යවන්නෙක්. මහනුවර ධර්මරාජෙ ටී.බී. "කෙහෙල් යකා" කෙහෙල්ගමුවට පස්සෙ ලංකාවෙ බිහිවුන වේගවත්ම පන්දු යවන්න. කඟවේනෙක් වගේ බෝල් කරන්නෙ.

දෙවෙනි එකා සුනෙත් හේවාමිතිගේ. මාතර සර්වේෂස් එකේ. බෝලර්ස්ල තුට්ටුවකට මායිම් නොකර හැල්මේ බැටදෙන බැටෙක්. මිනිහගෙ කවර් ඩ්‍රයිව් එක ගහද්දි ඕෆ් සයිඩ් එකේ ෆීල්ඩර්ස් ල එකෙක්ටවත් හෙල්ලෙනවත් වෙලාවක් නෑ.

තුන්වෙනි එකා ගැන වැඩි විස්තරයක් දාල නෑ. ඌ බදුල්ලෙ කොල්ලෙක්. වතු වල මහත්තුරු ක්‍රිකට් ගහද්දි උන්ට නෙට් එකේ බෝල් කරපු පොඩි කොල්ලෙක්. එක වතු මහත්තයෙක් සීසීසී එකේ කොන්ටැක්ට් එකකින් තමයි ඌව කොළඹ එවල තියෙන්නෙ. අපි ඌ ගැන එච්චරයි දන්නෙ. ඌ ගිය ඉස්කෝලයක් ගැන සඳහනක් නෑ. කොටින්ම උගේ නම දාල තියෙන්නෙත් රාජා කියල විතරයි. ඒක රාජසිංහ ද රාජලිංගම් ද කියලවත් අපි දන්නෙ නෑ. හැබැයි දකුණතින් පා දඟ පන්දු යවන මේ කොල්ලට ලෙග් ස්පින්, ගුග්ලි, ෆ්ලිපර්, ටොප් ස්පින් ඕන එකක් ඔට්ටුයි කියල දන්නව.

මුන් තුන් දෙනා සිලෝන් ටීම් එකත් එක්ක ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ක්ලබ් මැචස් ගහනවා. ඉන්ටර්නැෂනල් මැච් ගහනවා.

රාජා ගේ බෝල් වලට ටීම් එකේ පත බැට්ස්මන් ල ඇඹරිල යනව. ලොකු ලොකු නම් තියෙන කොළඹ ඉස්කෝලවලට ගිය මහත්තුරු ප්‍රැක්ටිස් නෙට් වල නිකං විහිළුකාරයො වගේ වෙනව. උං ඒවයෙ ඇරියස් අල්ලන්නෙ ඩ්‍රෙසිං රූම් එකේදි. රාජා ඇවිදින විදිහ, කතා කරන විදිහ, ඌට ඉංග්‍රීසි වචනයක් වත් බැරි වීම, හැඳි ගෑරැප්පු පාවිච්චි කළ නොහැකි වීම වගේ ඌ ගැන හැම දෙයක් ම මේ මහත්තුරුන් ගෙ ඉලක්ක වෙනව. කොටින්ම රාජා ඩ්‍රෙසිං රූම් එකේ බයිට් එක වෙනව. රාජා ව බයිට් නොකරන එවුන් පවා ඌ එක්ක ප්‍රසිද්ධියේ යාළුකම් පවත්වන්න බයයි. රාජා බදුල්ලෙන් එනකොට ගෙනාව ආත්ම විශ්වාසය ටික ටික දිය වෙලා යනවා. මුලදි මුලදි මැච් වල ලකුණු 30-40 දීලා විකට් 5-6 ගත්තු රාජා පස්සෙ පස්සෙ ලකුණු 80-90 දීලා විකට් 2-3 ගන්න ලෙවල් එකට යනවා.

සුනෙත් හේවාමිතිගේ ගේ ප්‍රහාරාත්මක පිති හරඹයට බෝලර්ස්ල බය වෙනවා. හැම මැච් එකේම සුනෙත් ගෙ පළවෙනි ඕවර් හත අටේ හයේ-හතරෙ ඒව දහයක් දොලහක් වරදින්නෙ නෑ. සුනෙත් ඉන්ටර්නැෂනල් මැච් වලත් ලකුණු හැට හැත්තෑව ගහනවා. ලකුණු ගානට වඩා බෝල ගාන වැඩි වෙන්නෙ කලාතුරකින්. හැබැයි කෝච් මිනිහට කැමති නෑ. ඒ කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නැති නිසා. ඒ නිසා කෝච් මිනිහව සිලෙක්ට් කරන්න හොරයි. කෝච් කියන්නෙ ඉන්ටර්නැෂනල් මැච් වල හොඳ ඉනිමක් සෙල්ලං කරන්න නං හොඳ ටෙක්නික් එකක් තියෙන්නෙ ඕනෙ කියල. සුනෙත් ට කවදාවත් සෙන්චරියක් ගහන්න බැරි ලු ටෙක්නික් අවුල් නිසා. සුනෙත් වෙනුවට කෝච් තෝරන්නෙ කොළඹ ඉස්කෝලවලට ගිය පර්ෆෙක්ට් ටෙක්නික් එකක් තියෙන හැමදාම දහයට පහළොවට අවුට් වෙන අවාරෙට පොල් වැටෙනව වගේ සෙන්චරියක් ගහන ප්ලේයර්ල ව. "ඉට්ස් නොට් හව් මෙනි රන්ස් යූ ස්කෝර් සනා. ඉට්ස් හව් යූ ස්කෝර් දෙම්". අන්තිමේදී සුනෙත් ට්‍රයි කරනවා ස්ට්‍රේට් බැට් එකක් තියාගෙන කවර් ඩ්‍රයිව් එක ගහන්න. මිනිහත් දහයට පහළොවට අවුට් වෙන්න පටන් ගන්නව.

ධනුෂ්ක බණ්ඩාර ගෙ බෝල් වලට බැට්ස්මන් ලගෙ හෙල්මට්, ඉළඇට කූඩු, ග්ලවුස් එහෙම හොඳට පුරුදුයි. සිලෝන් ටීම් එකේ ඕපනිං බැට්ස්මන් පවා බණ්ඩ ගෙ බෝලට බැට් එක දාගන්නෙ ඕවෙරේට දෙතුන් පාරයි. හැබැයි ධනුෂ්ක හැමදාම සිලෙක්ට් වෙන්නෙ ඉන්දියා - පකිස්තාන් ටුවර් වලට. ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා නිව් සීලන්ඩ් ටුවර් වලට සිලෙක්ට් වෙන්නෙ රෝයල්, සෙන් තෝමස්, සෙන් පීටර්ස් ට්‍රිනිටි ගහපු කොල්ලො. ලාහෝර් වල, බැංගලෝර් වල දුඹුරු පාට දූවිලි ගොඩවල් උඩ බණ්ඩ දුම දාගෙන බෝල් කරනයවා. විකට් 4-5 ගන්නව. ඉළ ඇට දෙක තුනක් කුඩු කරනවා. හැබැයි ඕස්ට්‍රේලියා ටුවර් එක එද්දි බණ්ඩ හැමදාම ඉන්ජර්ඩ්. බණ්ඩ දන්නව මිනිහට හැමදාම පැයට හැතැම්ම අනූවක වේගෙන් බෝල් කරන්න බෑ කියල. එක්දාස් නවසිය අසූ දෙකේ සවුත් ඇෆ්‍රිකන් රෙබෙල් ටුවර් එකට බණ්ඩත් සයින් කරනවා. සල්ලි වලටම නෙවෙයි. කොළ පාට විකට් එකක බෝල් කරන්න ආසාවට. ඒ ටුවර් එකේ දි බණ්ඩ මයික් ප්‍රොක්ටර් ගෙ හෙල්මට් එක ගැලවෙන්න බවුන්සර් එකක් දානව. තව එකක් වදින්නෙ පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කූඩුවෙ.

බිඳුන ආත්ම විශ්වාසයත් එක්ක රාජා ආපහු කෝච්චියෙම බදුල්ලෙ යනව. අද රාජා පොඩි මැණිකෙ එකේ වඩේ විකුණනවා.

සුනෙත් හේවාමිතිගේ ට ගෙදර ආර්ථික ප්‍රශ්නත් එක්ක දිගටම අතින් වියදම් කරගෙන ක්ලබ් ක්‍රිකට් ගහන එක ප්‍රශ්නයක් වෙනව. ඉන්ටර්නැෂනල් මැච් වලට මිනිහ සිලෙක්ට් වෙන්නෙත් නෑ. සුනෙත් ගෙ මාම සුනෙන්ත් ට මාතර මහජන බැංකුවෙ ජොබ් එකක් සෙට් කරනවා. සුනෙත් ආපහු මාතර යනව. මිනිහ අද වයිෆුයි ළමයි දෙන්නයි එක්ක මාතර පදිංචිය.

බණ්ඩ සවුත් ඇෆ්‍රිකා වල ඉඳන් ඇවිල්ල කටුනායකින් කෙලින්ම යන්නෙ නුවර. ටුවර් එකේ සල්ලි වලින් පොඩි හාඩ්වෙයාර් බිස්නස් එකක් පටන් ගන්නව. අද මිනිහ සාර්ථක ව්‍යාපාරිකයෙක්. බණ්ඩට දැන් පොඩි මුදලාලි බඩක් එහෙම තියෙනවා. ආයෙත් පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කුඩු වෙන්න බෝල් කරන්න බෑ.

කතාවෙ දෙවෙනි කෑල්ල පටන් ගන්නෙ හරියටම අවුරුදු දහයකට පස්සෙ. නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න මාතර සර්වේෂස් ගහපු කොල්ලෙක් කොළඹ එනව කෝච්චියෙන්. ඉස්සර සුනෙත් හේවාමිතිගේ ඉස්කෝලෙ ක්‍රිකට් ගහද්දි වැට අයිනට වෙලා ඇස් පිල්ලන් නොගහ බලන් හිටපු මේ කොල්ල යකෙක් වගේ කලුයි. කඟවේනෙක් වගේ ජව සම්පන්නයි. වමත් පිතිකරුවෙක්. ගහද්දි ගහනව බෝලෙ පතුරු ගැලවෙන්නෙ. හැබැයි කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නෑ.

මේ කොල්ලටත් එහෙන් මෙහෙන් කැපිලි එනව. හැබැයි ටීම් එකේ ඉන්න බඩ මහත ආනන්ද කාරයෙක් මිනිහට උදව් කරනව. මිනිහ වැඩිපුර ලකුණු නොගැහැව්වත් දිගටම මැච් වලට ගන්නව. ටෙක්නික් එක වෙන්ස් කරන්න දෙන්නෙ නෑ. "උඹට පුළුවන් විදිහට ගහපන් මල්ලි". අවුරුදු පහකට පස්සෙ ඕස්ට්‍රේලියාවෙ ඇඩිලේඩ් වල ටෙස්ට් මැච් එකක්........

මම පොඩි විහිළුවක් කරේ.

ෂෙහාන් කරුණාතිලක මෙහෙම පොතක් ලියන්නෙ නෑ.

ගල්කිස්සෙ ප්‍රයිවට් ඉස්කෝලෙක ඉගෙන ගත්ත, නිව් සීලන්ඩ් වල යුනිවර්සිටියක ඩිග්‍රිය කරපු ෂෙහාන් කරුණාතිලක කවදාවත් මෙහෙම පොතක් ලියන්නෙ නෑ.

මේ පොත ලියන්න ඕනෙ අපි.

Monday, February 15, 2016

සිංහල භාෂාව දුප්පත් ද​?

සිංහල භාෂාව දුප්පත් ද​?



ලංකාව අද පත්ව ඇති ඌන සංවර්ධිත තත්වයට හේතුව ලෙස සමහර දෙනෙක් දක්වන හේතුවක් වන්නේ සිංහල භාෂාවයි. සිංහල භාෂාවේ අඩුපාඩු ලෙස ඔවුන් දක්වන හේතු කීපයක් මෙසේය​.

1. අකුරු ගණන වැඩි වීම​
2. ඉස්පිලි, ඇලපිලි ආදිය වැඩි වීම​
3. පර්‍යාය පද වැඩි වීම​
4. කතා කරන භාෂාව සහ ලියන භාෂාව දෙකක් වීම​
5. ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගණන වැඩි වීම​

බොහෝ විට මේ සංසන්දනය කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමඟය​. නමුත් ඔලුගෙඩි තුල ඇති හීනමානය පසෙකින් තබා තරමක් හොඳින් විමසා බැලුවොත් පෙනී යන්නේ සිංහල භාෂාව, විශේෂයෙන්ම ඉංග්‍රීසියට සාපේක්‍ෂව ඉතාමත් දියුණු සහ විද්‍යාත්මක භාෂාවක් බවයි.

අක්‍ෂර මාලාව 

ලිඛිත භාෂාවේ තැනුම් ඒකකය වන්නේ හෝඩිය හෙවත් අක්‍ෂර මාලාවයි. අද ලෝකයේ ඇති හෝඩි ප්‍රධාන කොටස් පහකට බෙදා දක්වනු ලැබේ

1. Alphabetic - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ ස්වර සහ ව්‍යංජන කීපයක එකතුවෙනි. උදාහරන : ඉංග්‍රීසි, ග්‍රීක්, ලතින්

2. Abjad - ව්‍යංජන සඳහා පමනක් සංකේත ඇත​. ස්වර සඳහා සංකේත නැත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ එහි ව්‍යංජනාක්‍ෂර වලින් පමනි. අවස්ථාව අනුව ස්වර කවරේදැයි කියවන්නා උපකල්පනය කළ යුතුය​. උදාහරන : අරාබි, හිබෲ

3. Abugida - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ ව්‍යංජනාක්‍ෂරය සඳහා අමතරව එක් කරන "පිළි" මගිනි. උදාහරණ : සිංහල​, දෙමළ​, ඉතියෝපියානු, තායි

4. Logographic - ශබ්ධ සඳහා සංකේත නැත​. එක් එක් භාෂාමය අදහසක් සඳහා වෙන වෙනම සංකේත ඇත​. උදාහරන : චීන, කන්ජි (ජපන්)

5. Syllabic - එක් එක් ශබ්ධය සඳහා වෙන වෙනම සංකේත ඇත​. උදාහරණ : කනා (ජපන්)

මේ වර්ගීකරනය අනුව ඉංග්‍රීසි Alphabetic හෝඩියක් වන අතර සිංහල Abugida හෝඩියකි.

වඩා විද්‍යාත්මක ලිවීමේ ක්‍රමය වන්නේ Abugida බව අමුතුවෙන් කිව යුතු නැත​.

Alphabetic ක්‍රමයේදී, උදාහරණයකට ඉංග්‍රීසි භාෂාවේදී, ශබ්ධයක් නිරූපනය කිරීම සඳහා අක්‍ෂර කීපයක එකතුවක් යොදාගත යුතු වේ. උදාහරණයකට "බි" ශබ්ධය නිරූපනය සඳහා "bi" යන අක්‍ෂර දෙකේ එකතුවක් යොදා ගනී. සිංහල භාෂාවේදී එය කරන්නේ මූලික ව්‍යංජනාක්‍ෂරය වන "බ​" සඳහා පිල්ලමක් යෙදීමෙනි.

ඉංග්‍රීසියේදී මෙය කර ඇත්තේ එහෙම්පිටින්ම අච්චාරුවක් ආකාරයෙනි. උදාහරන කීපයකින් මෙය මනාව පෙන්වාදිය හැක​.

"ඉ" ශබ්ධය "i" මගින් නිරූපනය කෙරෙන විට "ඊ" නිරූපනය කෙරෙන්නේ "ee" මගිනි. තර්කානුකූලව නම් එය "ii" විය යුතුය​.

"උ" ශබ්ධය "u" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඌ" නිරූපනය කෙරෙන්නේ "oo" මගිනි. තර්කානුකූලව නම් එය "uu" විය යුතුය​.

"ඔ" ශබ්ධය "o" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඕ" සඳහා සමහර විට "oa" යෙදෙන අතර (oak) සමහර විට "o" යෙදේ (dog).

"a" අකුර සමහරවිට "අ" සඳහා යෙදෙන අතර (normal) සමහරවිට "ආ" සඳහා යෙදේ (arm). සමහරවිට "ඇ" සඳහා යෙදේ (bat). සමහරවිට "ඒ" සඳහා යෙදේ (save).

සමහර අවස්ථා වලදී තාර්කික භාවයට එහෙම්පිටින්ම පයින් ගසා "අ" ශබ්ධය සඳහා "u" යොදා ගනී (but).

බොහෝ අක්‍ෂර වින්‍යාසයන් කුමන අවස්ථාවේ කුමන ආකාරයෙන් යෙදේදැයි කියවන්නා හෝ ලියන්නා දැනගත යුත්තේ මතකයෙන් පමනි. එහි කිසිම තාර්කික බවක් නැත​. "cat" කට් නොවී කැට් වන්නේත්, "cut" කුට් නොවී කට් වන්නේත් ඇයිදැයි දන්නේ ඉංග්‍රීසි භාෂාව හැදූ එකාගේ බාප්පා පමණි.

මේ විකාර සහගත භාවිතය නිසා බොහෝ ශබ්ධකෝෂ වල ඉංග්‍රීසි වචන උච්චාරනය කළ යුතු ආකාරය දැක්වීමට වෙනම සංකේත පද්ධතියක් භාවිතා කෙරේ (water - wɔːtə).

මෙවැනි උදාහරණ දහස් ගණනක් දැක්විය හැක​.

නමුත් සිංහල භාෂාවේ මතක තබා ගත යුත්තේ අකුරු පණස් හතර සහ පිල්ලම් යෙදෙන ආකාරය පමණි. පිල්ලම්‍ යෙදෙන ආකාරය අවස්ථා සුළු ගණනක (නු සහ කු වැනි) හැරුණු විට සම්පූර්නයෙන්ම ඒකමිතිකය​. තාර්කිකය​. මේ අකුරු සහ පිල්ලම් යෙදෙන ආකාරය දැනගත් අයෙකුට තමා කිසි දිනෙක නොඇසූ ශබ්ධයක් පවා 90% අවස්ථා වල නිවැරදිව ලිවීමේ හැකියාව ඇත.

ඉංග්‍රීසියේ ඇති "spelling bee" තරග සිංහලෙන් තැබිය නොහැක්කේ ඇයි දැයි මදකට සිතා බලන්න​.

මේ හැරුණු විට මිනිස් දිවකට වර නැගියහැකි සියළුම ශබ්ධ පාහේ සිංහලෙන් ලිවිය හැක​. එසේ නොහැකි ශබ්ධ අතලොස්සෙන් එකක් වූ "F" සඳහා දැන් "ෆ" අකුර හඳුන්වාදී ඇත​. "Z" සඳහා පමණක් තවම අකුරක් නැත​. එය හඳුන්වාදීමත් මහ ලොකු කාරියක් නොවේ. ඊට අමතරව සමහර අප්‍රිකානු භාෂා වල ඇති "ක්ලික්" ශබ්ධ සඳහා සිංහල අකුරු නැත​.

නමුත් ඉංග්‍රීසි භාෂාවේ නොයෙදෙන ශබ්ධ එමටය​. ඒ ශබ්ධ ඉංග්‍රීසි දිවට නුහුරුය​. උදාහරණයකට "මඤ්ඤොක්කා" "පිට්ඨමාංසිකයා" වැනි වචන ඉංග්‍රීසි කතා කරන්නෙකුට නිවැරදිය උච්චාරනය කිරීම සිහිනයකි. එපමනක් නොව ඒ වචන හැරි හැටි ලිවීමට පවා ඉංග්‍රීසියේ පහසුකම් නැත​. "ඨ​" ශබ්ධය ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද​?

ප්‍රාදේශීය ප්‍රබේධ ගතහොත් ඉංග්‍රීසිය යනු එහෙම්පිටින්ම කැඳ හැළියකි. නමුත් මෙය එතරම් සාධාරන කතාවක් නොවන්නේ ඉංග්‍රීසිය ලොව පුරා පැතිරී ඇති හෙයිනි. කෙසේ නමුදු ප්‍රාදේශීය ව්‍යවහාරයන් අනුව ඉංග්‍රීසිය ලියන ආකාරය (colour - color) උසුරුවන ආකාරය (බැට්‍රි - බැටරි) පමණක් නොව යෙදුම් පවා හාත්පසින්ම වෙනස් ය​. ඇමරිකාවේ ගෙටෝ වාසී කලු ජාතිකයෙකු කතා කරන (එබොනික්ස් යන අවමන් සහගත පදයෙන් හඳුන්වන​) ඉංග්‍රීසි භාෂාව අපිට තේරුම් ගත නොහැකි තරම් වෙනස් ය​.

"නිවැරදි" ඉංග්‍රීසිය කුමක්දැයි සිතා ගත නොහැකි තරමට මේ වෙනස් කම් ප්‍රචලිත වී ඇත​. තාර්කිකව ගතහොත් "නිවැරදි" ඉංග්‍රීසිය විය යුත්තේ එංගලන්තයේ කතා කරන ඉංග්‍රීසිය වුවත්, පරිගණක වල "colour" ලෙස ටයිප් කල වචනයක් නිවැරදි වචනයක් ලෙස හඳුනා නොගනී. ඒ ඇමරිකන් කාරයාගේ මුදලේ බලයට පින් සිදු වන්නටය​.

පර්‍යාය පද


පර්‍යාය පද (සමාන වචන​) වැඩි වීම නිසා සිංහල භාෂාව අනවශ්‍යය ලෙස සංකීර්න වී ඇති බව තවත් චෝදනාවකි.

ඉංග්‍රීසි භාෂාවේ පර්‍යාය පද නැතැයි යමෙකුට සිතිය හැකි වුවත් ඒ ඉංග්‍රීසියට කරන නිගරුවකි. පර්‍යාය පද නොමැති වීමට තරම් ඉංග්‍රීසිය දුප්පත් බසක් නොවේ. උදාහරණයකට "water" යන්නට පර්‍යාය පද ලෙස "aqua" සහ "hydro" දැක්විය හැක​.

ඇත්තටම පර්‍යාය පද අවශ්‍යය වන්නේ ඇයි?

"වතුර" යන සංකල්පය අපිට සැමවිටම එකම ආකාරයේ හැඟීම් ජනිත නොකරයි. ජල ගැල්මකදී වතුර ගැන ඇතිවන හැඟීම පිපාසයෙන් පෙළෙන කෙනෙකුට දෙන වතුර වීදුරුවකින් ඇති නොවේ. ඒ සම්පූර්නයෙන්ම වෙනස් හැඟීම් දෙකකි. මේ වෙනස් හැඟීම් ඇඟවීමට පර්‍යාය පද යොදා ගනු ලැබේ. ඒ මගින් කියවන්නාට වඩා පැහැදිලි ලෙස පණිවුඩය සන්නිවේදනය කළ හැක​.

"පිරිත්වතුර" කියා දෙයක් කොහෙවත් නැත​. ඒ වගේම "පැන් ගැල්මක්" කොතැනවත් ඇති නොවේ. "පැන්" වචනයෙන් අඟවන්නේ ප්‍රියජනක හැඟීමකි. "වතුර​" සහ "ජල​" යෙදුම් ඊට වඩා අපක්‍ෂපාතීය​. අරක්කු පානයෙහි ප්‍රිය අයෙක් "මත්පැන්" ලෙස හඳුන්වන දේ අමධ්‍යප පුද්ගලයෙක් "මත්වතුර" ලෙස හැඳින්වූ විට ඔහු අරක්කුවලට දක්වන විරෝධය ඉන් මැනවින් සන්නිවේදනය වේ.

ඉංග්‍රීසිය මේ තරම් දියුණු නැත​. නමුත් ඉංග්‍රීසියේ පර්‍යාය පද නැති බවක් ඉන් අදහස් නොකෙරේ. "water power plant" ලොව කොහෙවත් නැත​. ඇත්තේ "hydro power plant" ය​.

පර්‍යාය පද අඩු වීමෙන් බස වඩා සරළ වී තාක්‍ෂනික භාවිතයට වඩා සුදුසු බව කියැවේ. මෙය සම්පූර්නයෙන්ම වැරදි මතයකි.

සිංහලයේද තාක්‍ෂනික යෙදුම් සඳහා භාවිතා කෙරෙන්නේ චවන අතලොස්සකි. කොත්මලේ ඇත්තේ "ජල විදුලි බලාගාරයකි". "පැන් විදුලි බලාගාරයක්" නොවේ. "දිය විදුලි බලාගාරත්" කොහෙවත් නැත​. තාක්‍ෂනික භාවිතයට පමණක් සිංහලය යොදා ගන්නා කෙනාට ඒ සඳහා යෙදෙන වචන අතලොස්ස දැන ගැනීම පමණක් සෑහේ. සිංහලයේ වතුරට පර්‍යාය පද විසි ගණනකි. නමුත් ජල විදුලි බලාගාර ගැන කියවන්නට "ජලය​" පමණක් දැන් ගැනීම ප්‍රමානවත් ය​.

කියන බස සහ ලියන බස​


සිංහලයේ කතා කරන බස සහ ලියන බස දෙකකි. ඉංග්‍රීසියේද එසේය​. ඒ එසේ නොවේ කියන්නා හරි හැටි ඉංග්‍රීසි නොදන්නා පුද්ගලයෙකි.

ඉංග්‍රීසියෙන් තාක්‍ෂනික පොතක් ලියන්නේ යාළුවන් සමඟ හවසට බාර් එකේ අඩියක් ගසන ගමන් කතා කරන ඉංග්‍රීසියෙන් නොවේ. "above mentioned items were tested more than two years ago" ලෙස ලිවිය යුතු තැන "dude, you know the stuff I was talking about before, we tested them like two years ago" ලෙස ලිව්වොත් එය විහිළුවක් වේ.

එකම වෙනස වන්නේ කතා කරන ඉංග්‍රීසි භාෂාවේ වියරණ පිළිබඳ කතා කරන සිංහල භාෂාවට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වීමයි. එය ඉංග්‍රීසි ලිවීමට ලෙහෙසියක් නොව කතා කිරීමට අපහසුවක් පමණි.


සිංහල සමඟ දියුණු විය නොහැකි ද​?



සිංහල බසේ අඩු පාඩු නිසා දියුණු විය නොහැකියි කියන වැරදි මතය බිඳීමට උදාහරණ දෙකක් දිය හැක​. ඒ චීනය සහ ජපානයයි.

චීන හෝඩිය "logographic" හෝඩියකි. එනම් සෑම අදහසක් සඳහා වෙන වෙනම අකුර බැගින් ඇත​. සාම්ප්‍රදායික චීන හෝඩියේ අකුරු දහස් ගණනක් ඇත​. ඊට අමතරව ඉතිහාසයේ වරින් වර විවිධ උගතුන් මේ හෝඩිය වඩා සරළ කිරීමට ගත් උත්සහයන් නිසා "සරළ කරන ලද​" චීන හෝඩි ගණනාවක් ද ඇත​.

ජපන් හෝඩි තුනක් ඇත​. ප්‍රධාන හෝඩිය වන කන්ජි හෝඩිය චීන බස මත පදනම් වූ "logographic" හෝඩියකි. එහි නිතර භාවිතා වන අකුරු 2000 පමණ ඇති අතර සාමාන්‍යය උගතෙක් අකුරු 5000 පමණ භාවිතා කරයි. මුළු කන්ජි අකුරු ගණන 50,000 පමණ වේ.

කන්ජි අකුරු වලින් ප්‍රකාශ කළ නොහැකි අදහස් ප්‍රකාශ කිරීම සඳහා "හිරගනා" නම් අකුරු 46 ක වෙනත් හෝඩියක් යොදා ගැනේ. මෙය "syllabic" ආකාරයේ හෝඩියකි.

විදේශීය භාෂා වලින් ණයට ගත් වචන ලිවීම සඳහා අකුරු 46 ක "කතකනා" නම් තවත් හෝඩියකි. එයත් "syllabic" ආකාරයේ හෝඩියකි.

ජපන් බසින් ලිවීමේදී මේ හෝඩි තුනේම අකුරු මිශ්‍රව භාවිතා වේ. ඊට අමතරව ජපන් බසේ තිත්, කොමා වැනි විරාම ලක්‍ෂන​, වචන කැඩීම අදිය නැත​. මේ නිසා ජපන් ලියැවිල්ලක් පෙනෙන්නේ එක ගොඩට ලියූ අකුරු සමූහයක් ලෙසිනි.

ජපන් බස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ලෝකයේ අමාරුම බස ලෙසයි.

අද ලෝකයේ තාක්‍ෂනික නිපැයුම් වලින් අඩක පමණ මුල් බිම චීනයයි. ජපානය අද ලෝකයේ තාක්‍ෂනික සහ ආර්ථික දැවැන්තයෙකි. ඉතින් මේ සා අතාර්කික අපහසු භාෂා සමඟ මෙවැනි තාක්‍ෂනික ජයග්‍රහන ලැබීමට ජපනුන්ට සහ චීනුන්ට හැකි නම්, සිංහල වැනි තාර්කික​, පහසු, විද්‍යාත්මක බසක් සමඟ තාක්‍ෂනයට මුහුණ දිය නොහැකියි කියන්නේ අදක්‍ෂ​, නිර්මානශීලි නොවන පුස්සන් පමණි.


තාක්‍ෂනික සිංහල​


සිංහලෙන් තාක්‍ෂනික අදහස් පළ කළ නොහැකියි යන මතයට ප්‍රධාන හේතුවක් වන්නේ "transformer"එකට "තරාපැවිය​"ත් "universal joint" එකට "සර්වලෝක පූට්ටුව"ත් ලෙසින් තාක්‍ෂනික යෙදුම් සැදූ පඬියන් ය​.

වෙනත් භාෂා වලින් වචන ණයට ගැනීම කිසිසේත්ම ලැජ්ජාවට කාරණයක් නොවේ. සිංහලෙන් මටසිළුටු සහ කියන විට අරුත වැටහෙන සරළ වචනයක් (transformer - පරිණාමකය​, bicycle- පාපැදිය​) සෑදිය නොහැකි නම් කල යුත්තේ විදෙස් වචනය සිංහල ආරට ඔපමට්ටම් කර පාව්ච්චි කිරීමය​. එසේ නොමැතිව කියවන විට දිව උළුක් වන කුණුහරුපයක් නිර්මානය කිරීම නොවේ.

beer වෙනුවට "බීර​" යන්න එලෙස ඔපමට්ටම් කර තැනූ කදිම චවනයකි. මෙය අපි අනාදිමත් කලක සිට කර ඇත​. කමිස, කලිසම්, කොකිස්, සපත්තු, අල්මාරි, කුස්සි පමණක් නොව කක්කුස්සි ද පර භාෂා වලින් අපි ණයට ගත් වචනයි. නමුත් දැන් ඒවා සිංහල වචනයි.

මේ සඳහා අවශ්‍යය ලස්සන මට​සිළුටු වචන නිර්මානය කළ හැකි සිංහල උගතුන් සහ​, ඒ වචන උගෙන ඉංග්‍රීසි තාක්‍ෂනික පොත් සිංහලට පරිවර්තනය කල හැකි තාක්‍ෂනික උගතුන් පමනි.

ජපනා ඉංග්‍රීසි වචනයක් වත් නොදැන ලොව දෙවන විශාලම ආර්ථිකය ගොඩ නැංවුයේ නම්, මේසා අනගි බසක් සමඟ අපිට ඉන් බාගයක් වත් දියුණු විය නොහැකි නම් මඩු වලිගයකින් තලා ගත යුත්තේ අපටම මිස බසට නොවේ.