Sunday, October 20, 2019

බොන්සයි - 2 (බොන්සයි රටාවන්)



බොන්සයි රටාවන් කියල හැඳින්වෙන්නෙ බොන්සයි ගස් වල හැඩය සහ වෙනත් ලක්‍ෂන අනුව කෙරෙන වර්ගීකරනයන්.

බොන්සයි රටාවන් තීරණය වෙන්නෙ ලක්‍ෂන කීපයක් මත​

1. කඳේ හැඩය​
2. කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය​
3. මුල් වල පිහිටීම​
4. කඳන් සංඛ්‍යාව​
5. ගස් සංඛ්‍යාව​
6. අතු වල හැඩය​

ඒ ඒ රටාවට අයත් ගසක තියෙන්න ඕනෙ ලක්‍ෂන බොන්සයි කලාව ඇතුලෙ මනාව අර්ථ දක්වලා තියෙනවා.

ඒත් ඒ හැම නීතියක්ම අකුරටම පිළිපදින්න අවශ්‍යය නෑ. දක්‍ෂ කලාකරුවා නීතිය රකින්න ඕනෙ තැන වගේම නීතිය බිඳින්න ඕනෙ තැන ගැනත් හොඳ අවබෝධයකින් යුක්තයි.

කඳේ හැඩය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


1. චොක්කන් (විධිමත් ඍජු කඳ​)



වඩාත්ම සරළ බොන්සයි රටාව මේකයි. මේ රටාවේදී ගසේ ශක්තිය සහ බලය පිළිබඳ හැඟීමක් ලබාදෙනවා.

මේ රටාවේදී බොන්සයි ගස පහළ සිට ඉහලට යද්දි ක්‍රමයෙන් සිහින් වන ඍජු කඳකින් යුක්තයි. ගස පොළවට සවිවන තැනට හරි කෙළින් ඉහළින් ගසේ අග්‍රය පිහිටන්න ඕනෙ.

ගසේ අතු කඳ දෙපසින් සමමිතිකව දෙපසට​ විහිදෙන්න ඕනෙ. අතු වල මහත සහ දිග කඳ දිගේ ඉහලට යද්දි ක්‍රමයෙන් අඩු වෙන ආකාරයෙන් පිහිටන්න ඕනෙ. අතුවල හැඩය නිසා ගසට ත්‍රිකෝණාකාර හැඩයක් ලැබෙනවා. අතු කඳට ලම්බකව හෝ මදක් පහළට ඇලව පිහිටනවා. කඳේ උසට සාපේක්‍ෂව අතු කෙටියි. එමඟින් ගසේ උස පෙනුම වැඩි කරනවා.

ගසේ මුල් කඳ වටා සමබරව විහිදෙන්න ඕනෙ.


2. මොයෝගි (අවිධිමත් ඍජු කඳ​)



වඩාත්ම සුලභ බොන්සයි රටාව මේකයි. මේ රටාවෙන් මතු කරන්නේ රිද්මයානුකූල බව​, සමබරතාවය සහ ලාලිතය්‍යයි.

මේ රටාවේදී ගසේ කඳ ඍජු නෑ. එය ඒ මේ අත නැවිල තියෙනවා. ඒත්, ගසේ අග්‍රය පිහිටන්නේ ගස පොළවට සවිවන තැනට හරි කෙලින් ඉහළින්. චොක්කන් රටාවේදී වගේම කඳ ඉහළට යද්දී ක්‍රමයෙන් සිහින් වන හැඩයෙන් යුක්තයි.

ගසේ අතු චොක්කන් රටාවේදී වගේම කඳ දෙපසින් පිහිටනවා. ඒත් කඳේ වක්‍ර හැඩය නිසා අතු පිහිටීමේ සමමිතික බව බිඳිලා තියෙන්න පුළුවන්. ගසේ අතු කඳට මදක් පහතට සිටින ඇලයකින් සම්බන්ධ වෙනවා. ඒ වගේම කඳේ වක්‍රවීමට අනුකූල වෙන විදිහට මද වශයෙන් වක්‍ර වෙලා තියෙන්න ඕනෙ. සමස්තයක් වශයෙන් අතු පිහිටන්නෙ ගසේ ත්‍රිකෝණාකාර හැඩයක් පවතින විදිහට​.

කඳේ වක්‍ර සොබාවය නිසා මුල් සමබරව විහිදෙන්නෙ නෑ. කඳේ පළමු වක්‍රයට විරුද්ධ පැත්තෙ මුල් වඩා සවිමත් විය යුතුයි. ඒ ගස හොඳින් රඳවා ගැනීමට​.


3. ෂකන් (ඇළ වූ කඳ​)



මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නේ හිම ධාවයක් හෝ නායා යාමක් නිසා ඇලවුනු හෝ හිරු එළිය දෙසට වැඩුනු ගහක්.

ෂකන් රටාවේ ගසක කඳ ඍජු හෝ මදක් වක්‍ර වෙනවා. ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ ගසේ අග්‍රය ගස පොළවට සවිවන තැනට හරි කෙළින් නොපිහිටීම​. මේ නිසා සම්පූර්න ගසම පැත්තකට ඇලවුනු සොබාවයක් ගන්නවා. කඳේ ඇලය සිරසේ සිට අංශක 45 කට අඩු වෙන්න ඕනෙ. ගස් කඳ පහළට සිට ඉහළට ක්‍රමයෙන් සිහින් වන හැඩයෙන් තියෙන්න ඕනෙ.

අතු චොක්කන් රටාවේ වගේම කෙටියි. ඒවා කඳ දෙපසින් සමමිතිකව පිහිටනවා. කඳ දිගේ ඉහළට යන විට අතු වල මහත සහ දිහ ක්‍රමයෙන් අඩු වෙන්න ඕනෙ. විශේෂ ලක්‍ෂනය වෙන්නේ අතු කඳට ලම්බකව පිහිටනවා වෙනුවට පොළවට සමාන්තරව පිහිටීම​. මේ නිසා ඇල වූ කඳෙන් එන අසමබර පෙනුම අඩු වෙනවා.

ගසේ මුල් පිහිටන්න ඕනෙ කඳ ඇලවෙන පැත්තට විරුද්ධ පැත්තේ මුල් වඩා ශක්තිමත් වෙන ආකාරයට​.


4. කෙංගයි (කඩා හැළුණු කඳ​)



මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නෙ කඳු මුහුනතක වැඩුනු, පහලින් ඇති ගඟක් හෝ විලක් දෙසට වැඩුනු ගසක්.

කෙංගයි රටාවේ ගසක කඳ මුලින් ඉහළට යොමු වෙන්න පටන් අරගෙන​, එක වරම පහළට හැරිලා වර්ධනය වෙලා තියෙනවා. ගසේ අග්‍රය, ගස සිටුවා ඇති බඳුනේ පහළ මට්ටමටත් පහළින් තියෙන්න ඕනෙ.

ගසේ ප්‍රධාන කඳ පහළට වර්ධනය වෙද්දි, පළමුවන​ කෙළින්ම ඉහළට වර්ධනය වෙලා තියෙන්න ඕනෙ. මේ අත්තේ අග්‍රය ගස පොළවට සවි වන තැනට හරි කෙළින් ඉහළින් පිහිටන්න ඕනෙ. එය කඳට සම්බන්ධ වෙන්නේ කඳ පහතට නැමෙන වක්‍රයේ මුදුනට හැකිතාක් කිට්ටුවෙන්. ඒ වගේම එය පහළට නැමුනු කඳේ වක්‍රයට විරුද්ධ පැත්තට මදක් වක්‍ර වෙලා තියෙන්න ඕනෙ.

කෙංගයි රටාවේ බොන්සයි ගස් සිටුවන බඳුන් වෙනත් රටාවන් වලදී යොදා ගන්න බඳුන් වලට වඩා ගැඹුරුයි.


5. හන්-කෙංගයි (අර්ධ කඩා හැළුණු කඳ​)



හන්-කෙංගයි රටාවේ ගසක පෙනුම කෙංගයි රටාවේ ගසකට බොහෝ දුරට සමානයි. ප්‍රධාන වෙනස වෙන්නේ හන්-කෙංගයි රටාවේ ගසක පහළට වැඩුනු අග්‍රය බඳුනේ පහළ මට්ටමට ඉහළින් පිහිටා තිබීම​.

හන්-කෙංගයි රටාවේ ගසක පහළට වැඩෙන කොටස එක්කෝ ප්‍රධාන කඳ වෙනවා, එහෙම නැත්නම් පළවෙනි අත්ත වෙනවා. අනෙකුත් නීති රීති කෙංගයි රටාවේ ගසකට සමානයි.

මේ රටාවේදීත් යොදා ගන්න බඳුන තරමක් ගැඹුරු එකක්.


6. තකන්-කෙංගයි (කඩා හැළුණු බහු-කඳ​)



තකන්-කෙංගයි රටාවේදී කඳන් හෝ අතු එකකට වැඩි ගණනක් පහළට වර්ධනය වෙලා තියෙනවා. මේ රටාව තරමක් දුර්ලභ රටාවක්.


කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


7. සබමිකි (බොල් කඳ​)



මේ රටාවේදී නිරූපනය කෙරෙන්නෙ අකුණු පහරකින් හෝ වෙනත් ක්‍රමයකින් හානි වුනු කඳක් සහිත ගසක්. මේ රටාවේ ගහක කඳ පැලී හෝ විශාල කුහරයක් සහිතව තියෙනවා.

සාමාන්‍යෙයෙන් කඳේ ඇති කුහරය හදන්නේ ගස නොමැරෙන විදිහට පරිස්සමෙන් කඳේ කුහරයක් හෑරීමෙන්. විශේෂ නියනක් මේ සඳහා යොදා ගන්නවා.


8. ෂරිමිකි (පාවෙන දැව කඳ​)




ෂරිමිකි රටාවේ බොන්සයි ගසක කඳ ගඟක හෝ මුහුදේ පාවෙන ලී කැබැල්ලක ස්වරූපය ගන්නවා. පොත්ත හැලී ගිය සහ සුදු පැහැ වුනු සිනිඳු මතුපිටක් සහිත කඳක් මේ රටාවේ ගසක දකින්න පුළුවන්. ෂරිමිකි රටාවේ බොන්සයි ගසකින් මහළු නමුත් ජීවිතයට එල්ලී සිටින හැඟීමක් ලබා දෙනවා.

විශේෂ උපක්‍රම යෙදීමෙන් (කඳ පිළිස්සීම සහ රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් වැනි) කඳට ෂරිමිකි පෙනුම ලබා දෙන්න පුළුවන්. නමුත් ෂරිමිකි බොන්සයි ගසක සජීවී අතු සහ මුල් සම්බන්ධ කරන සජීවී පොත්තක් අනිවාර්‍යයෙන්ම ඉතුරු කරන්න ඕනෙ. නැතිනම් පෝෂණය නොමැති වීමෙන් ගහ මිය යනවා.

ෂරිමිකි රටාවේ ගසක් නිර්මානය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක්.


මුල් වල පිහිටීම අනුව අර්ථ දැක්වෙන රටාවන්:


9. නෙඅගරි (පෑදුනු මුල්)



මේ රටාවේ බොන්සයි ගසක මුල් පොළවෙන් ඉහලට මතු වී පෑදී තියෙනවා. නෙඅගරි රටාවෙ ගසකින් නරඹන්නාට ලබා දෙන්නේ ඉතා මහළු පුරාණ හැඟීමක්.

නෙඅගරි රටාවේ ගසක පෑදුනු මුල් වල දිග උපරිම වශයෙන් ගසේ සම්පූර්න උසෙන් තුනෙන් දෙකක් වෙන්න ඕනෙ. බොහෝ නෙඅගරි රටාවේ ගස් වල මුල් ඊට වඩා කෙටියි. සමහර විට සම්පූර්න මුල් පද්ධතියම පෑදී තිබුනත්, සමහර ගස් වල මුල් එකක් හෝ දෙකක් පමණක් පෑදී තියෙන්නත් පුළුවන්.


10. සෙකිජොජු (ගල් මත මුල්)




සෙකිජොජු රටාවේ බොන්සයි ගසක මුල් ගලක් මතින් පොළවට සම්බන්ධ වෙනවා. මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නේ ගලක් මත වැඩුනු ගසක්.

සෙකිජොජු බොන්සයි ගසක කඳ තියෙන්නෙ ගලක් උඩ​. ගලේ මතුපිටෙන් දිවෙන මුල් පොළවට සම්බන්ධ වෙනවා. ගසේ කඳ සහ ගල අතර කිසිම ඉඩක් තියෙන්න බෑ.


11. ඉෂිසුකෙ (ගලක් මත වැඩුනු)



ඉෂිසුකෙ බොන්සයි ගසක් හැදිල තියෙන්නෙ ගලක ඇති පැලුමක​. සෙකිජොජු රටාවේ ගසක මුල් පොළවට සම්බන්ධ වුනත්, ඉෂිසුකෙ රටාවේදී මුල් සම්බන්ධ වෙන්නෙ ගලේ ඇති පැලුමට​. සමහර විට ඉෂිසුකෙ බොන්සායි ගසක් සඳහා වෙනම බඳුනක් යොදාගන්නෙ නෑ. බඳුන වෙන්නෙ ගල​.


කඳන් සංඛ්‍යාව මත අර්ථ දැක්වෙන රටාවන්:


12. සොකන් (කඳන් දෙක​)



මේ රටාවේ බොන්සයි ගසක එකම මුල් පද්ධතියකින් පැන නැගුනු කඳන් දෙකක් තියෙනවා.  අනිවාර්‍යයෙන්ම කඳන් දෙකෙන් එකක් අනෙකට වඩා පැහැදිලිවම උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ.

කඳන් දෙක එකිකෙන ගෑවන තරම් ළඟින් පිහිටන්න ඕනෙ. සමහර විට කඳන් දෙක බිම් මට්ටමේදී එකට සම්බන්ධ වෙලා පවා තියෙන්නෙ පුළුවන්. කඳන් දෙක සමාන ස්වරූපයක් ගන්න ඕනෙ. එකක් ඍජු කඳක් නම්, අනෙකත් ඍජු කඳක් වෙන්න ඕනෙ. එකක් වක්‍ර වෙලා නම් අනෙකත් වක්‍ර වෙන්න ඕනෙ. ඒ වගේම ඉදිරියෙන් බැලුවම කඳන් දෙකම පැහැදිලිව දර්ශනය වෙන්න ඕනෙ - එකකින් එකක් වැහෙන්න බෑ.

කඳන් දෙකේ අතු එකිනෙකා දෙසට විහිදෙන්න බෑ. ඒ වගේම කඳන් දෙකේ අතු එකිකෙනා සමඟ පැටෙලෙන්නත් බෑ.


13. සන්කන් (කඳන් තුන​)



සන්කන් රටාවේ බොන්සයි ගසක එකම මුල් පද්ධතියකින් පැන නගින කඳන් තුනක් තියෙනවා. කඳන් තුනෙන් එකක් අනෙක් දෙකට වඩා උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ. කඳන් තුන එක පේලියට සරල රේඛීයව තියෙන්න බෑ. ඒවා ස්ථානගත වෙන්න ඕනෙ අසමමිතිකව​.


14. ගෝකන් (කඳන් පහ​), නන්කන් (කඳන් හත​), ක්‍යූකන් (කඳන් නවය​)



ගෝකන්, නන්කන් සහ ක්‍යූකන් රටාවන් ගේ පිළිවෙනින් කඳන් පහක්, හතක් සහ නවයක් තියෙනවා. මේ රටාවන් හිදී ප්‍රධාන කඳට අමතරව​, අනෙක් කඳන් වලට වඩා මහතින් සහ උසින් වැඩි උප​-ප්‍රධාන කඳන් එකක්, දෙකක් හෝ තුනක් දකින්න පුළුවන්.


15. කබුදචි (කඳන් පොදිය​)



මේ රටාවේදී කඳන් එකකට වැඩි ගණනක් එකම තැනකින් පැන නගිනවා. කඳන් ගණන අනිවාර්‍යයෙන්ම ඔත්තේ ගණනක් විය යුතුයි.


16. කොරබුකි (ඉබි කටුව​)



කොරබුකි රටාවේදී කබුදචි රටාවේදී වගේම කඳන් ඔත්තේ ගණනක් එකම තැනකින් පැන නගිනවා. නමුත් කඳන් වල පොදු පාදම ඉබි කටුවක අර්ධ ගෝලාකාර  හැඩයක් ගන්නවා.


17. ඉකදබුකි (ඍජු පෙරළුනු කඳ​)



මේ රටාවේ බොන්සයි ගසකින් නිරූපනය කෙරෙන්නේ කඩා වැටුනු ගස් කඳකින් පැන නගින කුඩා ගස් සමූහයක්.

ඉකදබුකි රටාවේ බොන්සයි ගසක් තිරස්ව ස්ථාන ගත කළ ඍජු කඳකින් සහ ඉන් පැන නගින කුඩා සිරස් අතු රැසකින් සමන්විතයි.


18. නෙත්සුනගරි (වක් පෙරළුණු කඳ​)



නෙත්සුනගරි රටාවේ බොන්සයි ගසක් ඉකදබුකි රටාවේ ගසකට සමානයි - වෙනස වන්නේ නෙත්සුනගරි රටාවේ ගසක තිරස් කඳ වක්‍ර වී තිබීම​


ගස් සංඛ්‍යාව අනුව අර්ථ දැක්වෙන රටාවන්:


19. සෝජු (ගස් දෙක​)


මේ රටාව සොකන් රටාවට බොහෝ දුරට සමානයි - නමුත් සොකන් රටාවේ ඇති එකම මූල පද්ධතියකින් පැන නඟින කඳන් දෙකක් වෙනුවට ගස් දෙකක් තියෙනවා. ගස් දෙකෙන් එකක් අනෙකට වඩා උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ.

ගස් දෙක සමාන ස්වරූප ගන්න ඕනෙ. එකක් ඍජු කඳ නම්, අනෙකත් ඍජු කඳ වෙන්න ඕනෙ. එකක් වක්‍ර කඳ නම් අනෙකත් වක්‍ර කඳ වෙන්න ඕනෙ. ඒ වගේම ගස් දෙක අනිවාර්‍යෙයෙන්ම එකම වර්ගයේ ගස් දෙකක් වෙන්න ඕනෙ.

ගස් දෙකේ අතු එකිනෙකා දෙසට විහිදෙන්න බෑ. ඒ වගේම ගස් දෙකේ අතු එකිකෙනා සමඟ පැටෙලෙන්නත් බෑ.


20. සම්බොන්-යොසෙ (ගස් තුන​)



මේ රටාවේදී එකම වර්ගයට අයත් ගස් තුනක් තියෙනවා. එක ගසක් අනෙක් දෙකට වඩා උසින් සහ මහතින් වැඩියි.


21. ගොහොන්-යොසෙ (ගස් පහ​), නනහොන්-යොසෙ (ගස් හත​), ක්‍යුහොන්-යොසෙ (ගස් නවය​)




ගොහොන්, නනහොන් සහ ක්‍යූහොන් රටාවන් ගෙදි පිළිවෙලින් එකම වර්ගයේ ගස් පහක්, හතක් සහ නවයක් තියෙනවා. මේ රටාවන් හිදිත් ප්‍රධාන ගසක් සහ උප​-ප්‍රධාන ගස් දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්.


22. යොසෙ-උඑ (කැලය​)



මේ රටාවේදී ගස් විශාල ප්‍රමානයක් යොදා ගන්නවා. එක්කෝ ගස් ගණන ඔත්තේ ගණනක් වෙන්න ඕනෙ - නැතිනම් බැලූ බැල්මට ගණන් කරන්න බැරි තරම් වැඩි ගණනක් වෙන්න ඕනෙ.

එක ගසකට යන ඉඩ ප්‍රමානය අවම නිසා මේ රටාවේදී වැඩිපුර භාවිතා කෙරෙනෙ ඍජු කඳ සහිත ගස්.

ගස් සියල්ලම එකම වර්ගයට අයත් වෙන්න ඕනෙ.


අතුවල හැඩය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


23. බුන්ජින්ගි (වියත්)



මේ රටාවේදී ගසේ අතු ප්‍රමානය අවම කරල තියෙනවා. මේ රටාවේ ගසකින් රළු කර්කෂ හැඟීමක් ලබා දෙනවා. නමුත් ඒ කර්කෂ බවේ ලාලිත්‍යයක් තියෙන්න ඕනෙ.

බුන්ජින්ගි රටාවේ ගසක් සිහින් දිගු, ඒ මේ අත ඇඹරුනු කඳකින් යුක්තයි. කඳේ මුල 60% සිට 90% දක්වා ප්‍රදේශය අතු වලින් තොරයි. කඳේ අග්ගිස්සේ ඉතා කුඩා අතු කිහිපයක් පමණක් දකින්න පුළුවන්. අතු වල දිග කඳේ දිගට සාපේක්‍ෂව ඉතා අඩුයි. සමහර විට කඳේ මැද හරියෙන් මැරුණු අත්තක් තියෙනවා.

කඳේ වක්‍ර වීම් ඉතා තියුණුයි. එක්වරම අංශක 180 කින් හැරෙන කඳන් පවා දකින්න පුළුවන්. බඳුන ඉතා කුඩා නොගැඹුරු එකක්.


24. හොකිදචි (ඉදළ​)



මේ රටාවේ ගහක් උඩ හට හැරවූ ඉදළක ස්වරූපය ගන්නවා. මේ රටාවේ ගසකින් ශීත ඍතුව පිළිබඳ හැඟීමක් ලබා දෙනවා.

හොකිදචි බොන්සයි ගසක කඳ කෙටි ඍජු එකක්. ගසේ සම්පූර්න උසින් තුනෙන් එකක උසකදී අතු බෙදීම ආරම්භ වෙනවා. අතු සැම අතටම විහිදෙන්නේ අර්ධ ගෝලාකාර හැඩයක් ගසට ලබා දෙමින්. එන්න එන්නම සිහින් වන බෙදීම් ගණනාවක් අතු වල දකින්න පුළුවන්. සම්පූර්ණ ගසේ අතු විශාල ප්‍රමානයක් තියෙනවා.

බඳුන නොගැඹුරු එකක් වෙන්න ඕනෙ.


25. තකොසුකුරි (බූවල්ලා)



මේ රටාවේදී කෙටි කඳක් මත වැඩුනු දිගු අතු කීපයක් දකින්න පුළුවන්. අතු ඒ මේ අත ඇඹරුනු හැඩයෙන් යුක්තයි. මේ රටාව දුර්ලභ එකක්.


26. ෆුකිනගෂි (සුළඟට හසුවූ)



මේ රටාවේදී නිරූපනය කෙරෙන්නෙ සුළං පහරට හසු වූ ගසක්. දිශාව​, චලනය සහ ආතතිය පිළිබඳ හැඟීමක් මේ රටාවේ ගසකින් ලබා දෙනවා.

මේ රටාවේ ගහක කඳ සහ අතු එක පසකින් හමන තද සුළඟකට හසු වී ඇති ආකාරයට එක දිශාවකට හැරිල තියෙන්න ඕනෙ. ගසේ කොළ ප්‍රමානය අඩු කිරීමෙන් මේ චලනය පිළිබඳ හැඟීම ඇති කරන්න ලේසියි. මැරුණු අතු යොදාගැනීම මේ රටාවේදී බහුලව කෙරෙනවා.



බොන්සයි ගසක් රටාවන් කීපයක ලක්‍ෂන දක්වන්න පුළුවන්. උදාහරණයකට අතු වල හැඩයෙන් සුළඟට හසු වූ රටාවේ ගහක් මුල් වල හැඩයෙන් ගල් මත මුල් රටාවට අයත් වෙන්න පුළුවන්. සියළුම රටාවන් ගැන හොඳ අවබෝධයක් තිබීමෙන් තමාගේ ගසට වඩාත් සුදුසු හැඩය ලබා දීමට කලාකරුවාට පුළුවන් වෙනවා.

Saturday, October 19, 2019

බොන්සයි - 1 (ඉතිහාසය සහ මූලධර්ම​)



"බොන්සයි" කියන්නේ ජපානයේ ජනප්‍රිය කලාවක්. බොන්සයි කලාවේදී කරන්නේ කුඩා ප්‍රමානයේ ගහකට විශාල ගහක තියෙන ලක්‍ෂන ලබාදීම මගින් විශාල ගහක් කුඩා කරල තියෙනවා යන හැඟීම ඇති කරන එක​.

"බොන්සයි" කියන ජපන් වචනයේ තේරුම "නොගැඹුරු බඳුනක සිටුවන ලද​" කියන එක​. ඒ චචනයෙන් කියැවෙන විදිහටම බොන්සයි ගස් වවන්නේ නොගැඹුරු බඳුන් වල​.


බොන්සයි කලාවේ ඉතිහාසය​


ජපන් සංස්කෘතියේ බොහෝ දේවල් වගේ බොන්සයි කලාවේත් උපත චීනය​.

ක්‍රි.ව​. 8 වන සියවසේදී චීනයේ වංශවතුන් ගේ විනෝදාංශයක් වුනේ "පෙන්ජිං" කලාව​. එහිදී ඔවුන් කුඩා මැටි බඳුන් වල කුඩා ප්‍රමානයේ ශාක වගා කළා. මේ කාලයේදී ජපානය සහ චීනය අතර නිරන්තර සබඳතා පැවතුනු අතර​, චීන සංස්කෘතිය ජපානයට ගලා ආවා. පෙන්ජිං කලාවත් මේ වගේ ආපු එක අංගයක්.

චීන පෙන්ජිං ගහක්
මුල් වරට බොන්සයි ගස් ජපන් සිතුවම් වල නිරූපනය කෙරෙන්නේ 11 වැනි සියවසේ දී. නමුත් මේවා හැඳින්වුනේ "බොන්සයි" කියල නෙවෙයි, "හචි නො කි" කියලා. හචි නො කි කියන ජපන් යෙදුමේ තේරුම "කෝප්පයක හිටවපු ගහ​" කියන එක​. මේ සමයේදී හචි නො කි කලාව සඳහා බහුලව භාවිතා වුනේ බත් කෑමට පාවිච්චි කරන කෝප්ප වල හැඩය ගත් බඳුන්.

කුරු ගස් කලාව බොන්සයි කියලා හඳුන්වන්න පටන් ගත්තේ 18 වන සියවසේ තරම් ඉඳලා. මේ වෙනකොට ජපන් බොන්සයි කලාව චීන පෙන්ජිං කලාවෙන් සෑහෙන තරම් වෙනස් වෙලා ජපන් මුහුණුවරක් අරගෙන​. ප්‍රධානම වෙනස වුනේ කෝප්ප හැඩය ගත් බඳුන් වෙනුවට පැතල නොගැඹුරු තැටි හැඩයේ බඳුන් භාවිතා කිරීම​. ඊට අමතරව ජපන් බොන්සයි කලාකරුවන් චීන සම්ප්‍රදායෙන් බැහැර වෙලා තමාගේ ගස් වලට වඩාත් සොබාවිකත්වයට නැඹුරු පෙනුමක් දෙන්න උත්සහ කළා. ඒ වගේම විසිතුරු ලෙස සැකසූ චීන බඳුන් වලට වඩා චාම් බඳුන් භාවිතා කරන්න පෙළඹුනා.

ජපන් බොන්සයි කලාව බොහෝ දුරට වර්ධනය වුනේ බෞද්ධ භික්‍ෂූන් අතින් වීම මේකට හේතුවක් වෙන්න පුළුවන්.

18 වෙනි සියවසේ අවසානය වෙද්දි බොන්සයි කලාව සාමාන්‍යය ජනතාව අතර ව්‍යාප්ත වෙලා අවසන්. 1780 දී පමණ කියෝතෝ නගරයේ වාර්‍ෂික බොන්සයි ප්‍රදර්ශනයක් පවා පැවැත්වෙන්න පටන් ගත්තා. ජපානයේ සෑම ප්‍රදේශයකින්ම බොන්සයි ගස් මේ සඳහා ඉදිරිපත් කෙරුනා.

බොන්සයි කලාවේ තාක්‍ෂනය අද පවතින තත්වයට සමාන ස්වරූපයකට පත් වුනේ 20 වැනි සියවසේ මුලභාගයේදී. කම්බි භාවිතයෙන් අතු හැඩගැන්වීම සහ අද භාවිතා කරන ආයුධ වලට සමාන ආයුධ භාවිතය පටන් ගත්තේ ඒ කාලයේදී.


බොන්සයි කලාවේ මූලධර්ම​




බොන්සයි කලාව ආවට ගියාට කරන්න බෑ. එහිදී අනුගමනය කරන්න ඕන මූලධර්ම කීපයක් තියෙනවා.

බොන්සයි මූලධර්ම මූලික වශයෙන් පදනම් වෙන්නේ බොහෝ ජපන් කලාවන් ගේ මූලය වන "වබි" සහ "සබි" සංකල්ප මත​.

වබි කියන්නෙ යම්කිසි දෙයක ඇති චාම් බව සහ දෝෂ සහගත බව​. පරිපූර්න නොවන බව​. බොන්සායි කලාවේදී මෙය බොන්සයි ගසක අසමමිතික බව වගේ දෙයකින් නිරූපනය කෙරෙනවා.

සබි කියන්නෙ කාලයත් එක්ක යම් කිසි දෙයක ඇති වන ගරා වැටීම. ජරා ජීර්ණ වීම​. බොන්සයි කලාවේදී මෙය ඉරි තැළුණු ගස් කඳක්, දිරා ගිය අත්තක් වගේ දෙයකින් නිරූපනය වෙනවා.

(වබි සහ සබි ගැන වැඩි දුරට මෙතැනින්)

බොන්සයි කලාවේ ප්‍රධානම මූලධර්ම කීපයක් මේ විදිහට දක්වන්න පුළුවන්


1. කුරු කිරීම​


බොන්සයි කලාවේ මූලිකම දෙය මේක​. බොන්සයි ගහක් ප්‍රමානයෙන් කුඩා වෙන්න ඕන​. නමුත් අනෙකුත් සියළු ලක්‍ෂන වලින් වැඩුනු ගසක පෙනුම තියෙන්න ඕනෙ.


2. කලාකරුවා ගේ අදෘෂ්‍යමාන බව​


ඊළඟට වැදගත්ම මූලධර්මය තමයි කලා කරුවාගේ අදෘෂ්‍යමාන බව​. කිසිම අවස්ථාවක කලා කරුවා විසින් ගසට කරන ලද "සැත්කම්" පේන්න බෑ. හැම විටම ඒවා සොබාවික පෙනුමක් ලබා දෙමින් නරඹන්නාගෙන් වසන් කළ යුතුයි. උදාහරණයකට කපා දමන ලද අත්තක මුල සකසන්නේ අත්ත දිරා ගිහින් කඩා වැටුනු පෙනුමක් එන විදිහට​.


3. දෘෂ්‍ය සබරතාවය​


ගසේ කඳ​, අතු සහ කොළ තනි තනිව ගත් විටත්, සමස්තයක් විදිහට ගත් විටත්, එකිනෙකා සමඟත් මනා දෘෂ්‍ය සමබරතාවයකින් යුක්ත වෙන්න ඕන​. මේ දෘෂ්‍ය සමබරතාවය ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් බොන්සයි කලාකරුවන් විසින් නිර්මානය කරල තියෙනවා.


4. අංගයන් අතර අනුපාතය​


බොන්සයි ගසක අංග​, ඒ කියන්නෙ කඳ, අතු සහ කොළ, අතර මනා අනුපාතයක් තියෙන්න ඕනෙ. ගසක් වැඩුනු ගසක් යන හැඟීම ලබා දෙන්න මේ අනුපාතයක් ඉතාම වැදගත් වෙනවා. මේ අනුපාතයන් පවත්වාගත නොහැකි ගස් වර්ග බොන්සයි සඳහා යොදා ගන්නෙ නෑ. උදාහරණයකට කඳේ ප්‍රමානයට සාපේක්‍ෂව විශාල කොල ඇති ගස් බොන්සයි කලාවට යොදා ගන්නෙ නෑ.


5. අසමමිතික බව​


බොන්සයි ගසක් සමමිතිකව නිර්මානය කරන්නෙ නෑ. යම් කිසි අසමමිතික බවක් කලාකරුවා විසින් ඊට ලබා දිය යුතුයි. ඒ මඟින් බලාපොරොත්තු වෙන්නෙ ගසක සොබාවික පෙනුම ඇති කිරීම​.


6. නීති වල නම්‍යශීලී බව​


අවසාන වශයෙන් මේ සියළුම නීති රීති නම්‍යශීලී බව කලාකරුවා වටහා ගත යුතුයි. බොන්සයි කලාවේ මූලික හරයට හානි නොවන පරිද්දෙන් නීති රීති වෙනස් කිරීමට කලාකරුවාට නිදහස තියෙනවා. මේ වෙනස් කිරීම් කොයිතරම් සාර්ථකද කියන එක රඳා පවතින්නෙ කලාකරුවාගේ දක්‍ෂතාවය මත​.


අවසාන වශයෙන්, බොන්සයි කලාව සෙන් භික්‍ෂූන් විසින් වර්ධනය කරනු ලැබුවේ කලාවක් වගේම සෙන් භාවනා ක්‍රමයක් විදිහට​. ඒ නිසා භාවනාව කියන දෙය මේ සියල්ලට යටින් සියල්ල එක් කරන හුයක් වගේ පවතින්න ඕනෙ.