Monday, January 14, 2019

පොම්ප ජල විදුලි බලාගාර​



මොකද්ද මේ පොම්ප ජල විදුලි බලාගාරයක් කියන්නෙ?

අපි දන්නව ජල විදුලි බලාගාරයක් කියන්නෙ ඉහළ උසක හදල තියෙන ජලාශයක තියෙන වතුර පහළින් තියෙන විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක් කරකවන්න පාවිච්චි කරල​, එමගින් විදුලිය උත්පාදනය කරන තැනක් කියල​.

ජල විදුලි බලාගාරයක වතුර ටර්බයින් එක කරකවල ඉවර වෙලා පිට කරන්නෙ ආපහු ගඟකට​. ඊට පස්සෙ ඒ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.

නමුත් පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයින් එක කරකවල පිට වෙන වතුර යන්නෙ තවත් ජලාශයකට​. ඒ පහළ තියෙන ජලාශයේ එකතු වෙන වතුර නැවත ඉහළ තියෙන ජලාශයට පොම්ප කෙරෙනවා. ඒ වතුර නැවතත් විදුලිය උත්පාදනයට යොදා ගන්න පුළුවන්.



මෙතන බැලූ බැල්මට ප්‍රශ්නයක් තියෙනවා.

පහළ ජලාශයේ ඉඳල ඉහළ ජලාශයට වතුර පොම්ප කරන්න වැය වෙන ශක්තිය ඉහළ ජලාශයේ ඉඳල පහළ ජලාශයට වතුර යවල ජනනය කරන ශක්තියට වඩා වැඩියි. ඒ කියන්නෙ මේ වැඩෙන් අපිට ශුද්ධ ශක්ති හානියක් සිද්ධ වෙනවා.

එහෙනම් මේ වැඩේ කරන්නෙ ඇයි? ඒකට හේතු කීපයක් තියෙනවා.


පොම්ප ජල විදුලි බලාගාර වල අවශ්‍යතාවය​.


1. ඉල්ලුම අඩු අවස්ථා වලදී තාප විදුලි බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය කරවීම


විදුලි බල පද්ධතියක ජල විදුලි බලාගාර වලට අමතරව තාප විදුලි බලාගාරත් තියෙනවා. තාප විදුලි බලාගාර කියල මෙතන අදහස් කරන්නෙ ගල් අඟුරු, සොබාවික වායු සහ න්‍යෂ්ටික බලය යොදාගෙන හුමාලයෙන් ටර්බයිනයක් කරකවල විදුලිය ජනනය කරන බලාගාර​.

අපි දන්නව පද්ධතියක විදුලි බල ඉල්ලුම නියත අගයක පවතින්නෙ නෑ. ඒක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. ඒ වගේ අවස්ථා වලදී අපි ජනනය කරන විදුලිය ප්‍රමානයත් හරියටම ඉල්ලුමට සමාන වෙන පරිදි වෙනස් කරන්න ඕනෙ.

එහෙනං දවසේ විදුලි බල ඉල්ලුම අඩු කාලසීමාවන් වලදි අපේ ජනනය අඩු වෙන්න ඕනෙ.

ඒත් මේ තාප විදුලි බලාගාර අපිට ඕන ඕන විදිහට නවත්තන්න බෑ. තාප විදුලි බලාගාරයක් නැවැත්තුවොත් ආපහු ක්‍රියාත්මක කරන්න විශාල කාලයක් යනවා. ඒ වගේම තාප විදුලි බලාගාරයක් අඩු ධාරිතාවකින් ජනනය කරද්දි ඒකෙ කාර්‍යක්‍ෂමතාවය සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙනවා. ඒ කියන්නෙ මෙගාවොට් එකක් නිපදවන්න යන මුදල සැලකිය යුතු ප්‍රමානයකින් වැඩි වෙනවා.

උදාහරණයකට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ජනන යන්ත්‍රයක පූර්ණ ධාරිතාව මෙගාවොට් 300. හැබැයි මේ ජනන යන්ත්‍රය මෙගාවොට් 150 ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වුනොත් මේකෙ කාර්‍යක්‍ෂමතාවය ගොඩක් අඩුයි.

ඒ වගේ වෙලාවට අපි කරන්නෙ පද්ධතියේ කෘතිම ඉල්ලුමක් හදල දෙන එක​. එතකොට තාප විදුලි බලාගාර වලට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ කෘතිම ඉල්ලුම හදන්නෙ පොම්ප ජල විදුලි බලාගාර වල පහළ ජලාශයේ ඉඳල ඉහළ ජලාශයට ජලය පොම්ප කිරීමෙන්.

පහත ප්‍රස්ථාරයෙන් මේක පැහැදිලිව දකින්න පුළුවන්.



2. ඉල්ලුම වැඩි අවස්ථා වලදී ජල විදුලියෙන් සැපයුම වැඩි කර ගැනීම​


කලින් දැක්ක වගේ ඉල්ලුම අධික වෙලාවන් වලදී අපිට තාප විදුලි බලාගාර වලින් විතරක් සැපයුම සම්පූර්ණ කරගන්න බෑ. ඒ වෙලවට අපිට ජල විදුලි බලාගාර හෝ තෙල් විදුලි බලාගාර (ඩීසල්) යොදා ගන්න සිද්ධ වෙනවා.

නමුත්, තෙල් යොදාගෙන විදුලිය ජනනය කිරීම ඉතාමත් වියදම් අධික කටයුත්තක්. ඒ නිසා ඒ වගේ වෙලාවන් වලදී අපිට ජල විදුලියෙන් ලොකු විදුලි ප්‍රමානයක් ජනනය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.

පොම්ප ජල විදුලි බලාගාර වලින් ඉල්ලුම අඩු වෙලාවන් වලදී ඉහළ ජලාශයට පොම්ප කරන වතුර මේ වගේ ඉල්ලුම වැඩි අවස්ථා වලදී ජනනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙන් අපි තෙල් වලින් ජනනය කරන්න ඕනෙ විදුලි ප්‍රමානය පහත දා ගන්න පුළුවන්.


3. ඉල්ලුම අඩු අවස්ථා වලදී සංඛ්‍යාත පාලනය කිරීම​


අපි දන්නවා හැම මොහොතේම පද්ධතියක ඉල්ලුම වෙනස් වෙන බව​. සෑම තප්පරයක් පාසාම ඉල්ලුම වෙනස් වෙනවා. ඉතින් අපි ජනනය කරන්න ඕනෙ හරියටම ඉල්ලුමට සමාන විදුලි ප්‍රමානයක් නිසා අපිට ජනනය කරන්න ඕනෙ විදුලි ප්‍රමානයත් ඒ විදිහටම මොහොතින් මොහොත වෙනස් කරන්න ඕනෙ.

මේ කටයුත්තට කියන්නෙ සංඛ්‍යාත පාලනය (Frequency Controlling) කියල​.

මේ වැඩේට තාක්‍ෂනික පැත්තෙන් ගත්තම ඉතාම යෝග්‍යය වෙන්නෙ ජල විදුලි බලාගාර​.

ඒත් අපි කලින් දැක්ක වගේ ඉල්ලුම අඩු වෙලාවට අපි සම්පූර්න ඉල්ලුමම වගේ සපයන්නෙ තාප විදුලි බලාගාර වලින්. මේ නිසා ඒ වගේ වෙලාවට සංඛ්‍යාත පාලනය කිරීම සඳහාම ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම කලොත් ඉල්ලුම වැඩි වෙලාවට අපිට ප්‍රයෝජනයට ගන්න තියෙන ජල විදුලි ප්‍රමානය අඩු වෙනවා.

ඒත් පොම්ප ජල විදුලි බලාගාර වල පොම්ප කිරීමේ කටයුත්ත සංඛ්‍යාත පාලනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙන් අපිට ජල විදුලි බලාගාර වල වතුර ඉල්ලුම වැඩි අවස්ථා සඳහා ඉතුරු කරගන්න පුළුවන්.


4. පද්ධතියේ බැටරියක් වශයෙන් කටයුතු කිරීම​


ලංකාව වගේ රාත්‍රී කාලයේ අධික ඉල්ලුමක් තියෙන පද්ධති වලට තියෙන ප්‍රශ්නයක් තමයි සූර්‍ය ශක්තිය ප්‍රයෝජනයට ගැනීම​. මොකද සූර්‍ය ශක්තිය තියෙන දවල් කාලයේ ඉල්ලුම රාත්‍රියට සාපේක්‍ෂව අඩු නිසා. නමුත් ඒ වගේ අවස්ථා වලදී පොම්ප ජල විදුලි බලාගාරයකට පද්ධතියේ බැටරියක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්.

ඒ කියන්නෙ දහවල් කාලයේ නිපදවන සූර්‍ය විදුලි බලය ප්‍රයෝජනයට අරගෙන ඉහළ ජලාශයට වතුර පොම්ප කරගෙන​, ඉල්ලුම වැඩි රාත්‍රී කාලයට ජනනය කිරීමෙන්. මෙතනදි පොම්ප විදුලි බලාගාරය බැටරියක් ආරෝපණය කරලා අවශ්‍යය වෙලාවට ප්‍රයෝජනයට ගැනීමට සමාන ආකාරයකට ක්‍රියා කරනවා.


මේ විදිහට අපිට පේනවා පොම්ප ජල විදුලි බලාගාරයක ක්‍රියාවලියේ ශක්තිය අතින් ගත්තම ශුද්ධ පාඩුවක් තිබුනට​, මුදල් අතින් ගත්තම ලාබ දායකයි කියල​.


පොම්ප ජල විදුලි බලාගාරයක අංග​


පොම්ප ජල විදුලි බලාගාරය අංග සාමාන්‍යය ජල විදුලි බලාගාරයක අංග වලට බොහෝ දුරට සමානයි. ඒත් වැදගත් වෙනස් කම් කීපයකුත් තියෙනවා.

ප්‍රධාන වෙනස තමයි සාමාන්‍යය ජල විදුලි බලාගාරයක ජලාශ එකක් තියෙද්දි පොම්ප ජල විදුලි බලාගාරයක ජලාශ දෙකක් තිබීම​. මේ ජලාශ දෙක "ඉහළ පොකුණ​" (Upper Pond) සහ "පහළ පොකුණ​" (Lower Pond) කියල හඳුන්වනවා.



බොහෝ විට ඉහළ පොකුණ හදන්නෙ ගඟකට සම්බන්ධ කරල නෙවෙයි. වෙනම පිහිටි කෘතිම ජලාශයක් විදිහට​. ඒත් එකම ගඟේ ඉහළ සහ පහළ වේලි දෙකක් ඉඳි කරල ඉහළ පොකුණ සහ පහළ පොකුණ හදන අවස්ථාත් තියෙනවා.

ඒ වගේම තවත් වැදගත් වෙනසක් තමයි පොම්ප ජල විදුලි බලාගාරයක් දෙපැත්තටම ක්‍රියාකිරීම​. ඒ කියන්නෙ ජනනය සහ පොම්ප කිරීම​. මේ ක්‍රියාවන් දෙකට වෙන වෙනම උපාංග නෑ. ජනනය කිරීමේදී උපයෝගී කරගන්න ටර්බයිනය සහ ජනන යන්ත්‍රයම පොම්ප කිරීමේදී පොම්පය සහ මෝටරය විදිහට භාවිතා වෙනවා.

මේ නිසා පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයිනයේ හැඩය​ සාමාන්‍යය ජල විදුලි බලාගාරයක ටර්බයිනයට වඩා මදක් වෙනස් විදිහට සැලසුම් කරල තියෙනවා.



ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර භාවිතය​


අපිට දැකපු විදිහට පොම්ප ජල විදුලි බලාගාරයක් ප්‍රයෝජනවත් වෙන්න නම් පද්ධතියේ න්‍යෂ්ටික​, ගල් අඟුරු සහ සොබාවික වායු වලින් ක්‍රියා කරන තාප විදුලි බලාගාර විශාල ප්‍රමානයක් තියෙන්න ඕනෙ. පොම්ප ජල විදුලි බලාගාරයක වාසිය ලැබෙන්නෙ එතකොට​. මේ හේතුව නිසා පොම්ප ජල විදුලි බලාගාර වැඩි පුර තියෙන්නෙ කාර්මීකරණය වුනු රටවල​.

ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර වැඩිපුරම භාවිතා කරන රටවල් පහ වෙන්නේ මේවා.

1. චීනය (32 GW)
2. ජපානය 28 GW)
3. ඇමරික එක්සත් ජනපදය (23 GW)
4. ස්පාඤ්ඤය (8 GW)
5. ඉතාලිය (7 GW)

ලෝකයේ විශාලම පොම්ප ජල විදුලි බලාගාර පහ මේවා.

1. බාත් කවුන්ටි (ඇමරිකා එක්සත් ජනපදය​) - 3003 MW
2. ගුවැංදොං (චීනය​) - 2400 MW
3. හුයිෂෝ (චීනය​) - 2400 MW
4. ඔකුතතරගි (ජපානය​) - 1932 MW
5. ලුඩිංටන් (ඇමරිකා එක්සත් ජනපදය​) - 1872 MW

බාත් කවුන්ටි පොම්ප ජල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර​

ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න රට විදිහට සැලකෙන්නේ ජපානය​. ඔවුන් පොම්ප ජල විදුලි බලාගාර තාක්‍ෂනයේ පුරෝගාමී මෙහෙයක් කරල තියෙනවා. ජපානයේ ජල විදුලි බලයෙන් 50% ක් ම සපයන්නේ පොම්ප ජල විදුලි බලාගාර වලින්.

Monday, January 7, 2019

සරරීමන්



"සරරීමන්" කියල ජපන් බසින් හඳුන්වන්නේ ජපානයේ සමාජ - ආර්ථික පන්තියක්. ජපානය ලෝක ආර්ථික බලවතෙක් කරන්න ප්‍රධාන දායකත්වයක් දීලා තියෙන්නෙ මේ අය​. මේ අය නූතන සමුරායි ල කියල කිව්වොත් නිවැරදියි.

"සරරීමන්" කියන වචනය ජපන් බසට ඇවිල්ල තියෙන්නෙ "Salary Man" කියන ඉංග්‍රීසි වචන දෙකෙන්. මේ වචනයෙන් අදහස් කරන්නෙ ජපානයේ සමාගමක සුදු කරපටි රැකියාවක සේවය කරන පිරිමියෙක්. ඔහු මධ්‍යම පන්තියට අයත්, කාර්‍යාලයක සේවය කරන අයෙක්. කම්කරු රැකියාවන් කරන අය​, ඉහළ විධායක නිලධාරීන්, ඉතා ධනවත් අය සහ දොස්තරවරු, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් සරරිමන් ගණයට වැටෙන්නෙ නෑ.

සරරීමන් කෙනෙකුගේ ජීවිතය​

සරරීමන් කෙනෙක් කියන්නෙ අනිවාර්‍යයෙන්ම පිරිමියෙක්.

ඔහු තමාගේ රැකියාව අනුව එක්කෝ පාසැලෙන් නැත්තම් විශ්ව විද්‍යාලයෙන් පිටවූ වහාම ජපානයේ "හොඳ​" සමාගමක හෝ රාජ්‍යය ආයතනයක සුදු කරපටි රැකියාවක් ලබා ගන්නවා. වයස අවුරුදු 60 දී විශ්‍රාම යන තුරු ඔහු සේවය කරන්නේ ඒ සමාගමේ මයි.

සරරීමන් රැකියාවට යද්දි අඳින්නේ අනිවාර්‍යයෙන්ම සම්පූර්න යුරෝපීය ඇඳුම් කට්ටලයක්. බොහෝ විට මේ ඇඳුම කළු පාටයි. අනිවාර්‍යයෙන්ම මිල අධිකයි. ඔහු බ්‍රීෆ්කේස් එකක් අරගෙන යනවා.

සරරීමන් ඉතා මහන්සි වී වැඩ කරන කෙනෙක්. ඔහු සාමාන්‍යයෙන් සතියකට පැය 50 - 60 ක් පමණ සේවය කරනවා වෙන්න පුළුවන්. ඔහු හැමදාම වැඩට එන්නේ හරියටම නියමිත වෙලාවට​. වැඩ ඇරී ගෙදර යන්න ඔහුට නිශ්චිත වෙලාවක් නෑ. කාර්‍යාලීය වේලාව අවසන් වෙලත් බොහෝ වෙලා යනතුරු කුමක් හෝ වැඩක නිරත වෙමින්, නැත්තම් අඩුම තරමින් ඊමේල් බැලීම වගේ පොඩි පොඩි වැඩක් හෝ කරමින් සරරීමන් කාර්‍යාලයට වෙලා කල් ගත කරනවා.

ඒ ඔහුට වැඩක් තියෙන නිසාම නෙවෙයි. කාර්‍යාලය කියන්නේ ඔහුගේ ජීවිතය නිසා.


සරරීමන් කාර්‍යාලයෙන් පිට වෙන්නේ රාත්‍රී 7 ට හෝ 8 ට වෙන්න පුළුවන්. බොහෝ විට ඒ ඔහුගේ ප්‍රධානියා කාර්‍යාලයෙන් පිට වුනාට පස්සේ.

කාර්‍යාලයෙන් පිට වෙන සරරීමන් ගෙදර යන්නේ දුම්රියේ. ගෙදර යන ගමන් ඔහු බොහෝ විට මග දෙපස ඇති කුඩා අවන්හලකින් රාත්‍රී ආහාරය ගන්නවා.

සතියකට සැරයක් හෝ දෙසැරයක් සරරීමන් ඔහුගේ කාර්‍යාලීය සගයන් සමඟ රාත්‍රී ආහාරයකට යනවා. මේ රාත්‍රී ආහාරයට අනිවාර්‍යයෙන්ම මත්පැන් පානය අඩංගුයි. මේ සාදයන් බොහෝ විට මධ්‍යම රාත්‍රිය පසුවෙනතුරුම පැවැත්වෙනවා. සරරීමන්ලා ට ආහාර සහ මත්පැන් සපයන රාත්‍රීය පුරාම ඇරල තියෙන අවන්හල් ජපානයේ සුලභයි. සරරීමන් කැමතිම මත්පැන් වර්ගය බීර​.


සරරීමන් පවුල් ජීවිතය ගැන එච්චර උනන්දු නෑ. සමහරවිට ඔහු විවාහ වෙන්නෙම නෑ. විවාහ වුනත් ගෘහස්ත වැඩ කටයුතු සම්පූර්නයෙන්ම වගේ කරන්නේ ඔහුගේ රැකියාවක් නොකරන බිරිඳ​. ඔහුගේ වගකීම වෙන්නේ බිරිඳට සහ දරුවන්ට මුදල් උපයා දීම​. සරරීමන් මාසේ පඩිය සම්පූර්නයෙන්ම බිරිඳගේ අතට දෙනවා. ඔහුගේ එදිනෙදා වියදමට අවශ්‍යය මුදල බිරිඳ ඔහුට ආපහු දෙනවා. සරරීමන් කාර්‍යාලයේ කොයිතරම් ලොක්කෙක් වුනත් ගෙදර ලොක්කා ඔහුගේ බිරිඳ​.

කාලා බීලා ආපහු ගෙදර යන සරරීමන් ලා කෝච්චියේ හෝ මග දෙපස පවා තැන තැන වැටිලා නිදාගෙන ඉන්න එක ජපානයේ සුලභ දසුනක්. සමහරවිට ඒ නිදිමතෙන්. සමහරවිට ඒ වෙරිමතෙන්.

සරරීමන් ගෙදර යද්දි ගොඩක් රෑ වෙලා. ඔහු ගෙදර එන්නෙ නිදා ගන්න පමණයි. කලින් දවසෙ රෑ කොච්චර බීල හිටියත් පහුවදා අනිවාර්‍යයෙන්ම ඔහු වෙලාවට වැඩට යනවා.


සරරීමන් ජීවත් වෙන්නේ තෝකියෝ, ඕසකා වගේ විශාල නගරයක තියෙන ගෙදරක​.

ඔහු විවාහක නම් බොහෝ විට මේ ගෙදර තට්ටු නිවාස සංකීර්ණයක පිහිටලා තියෙනවා. තරමින් සාපේක්‍ෂව​ කුඩා වුනත් සියළු පහසුකම් තියෙන මේ ගෙදර මිල අධිකයි.

සරරීමන් උසස් රැකියාවක් කරන ජේෂ්ඨයෙක් නම්, බොහෝ විට ඔහුගේ බිරිඳ සහ දරුවන් ජීවත් වෙන්නේ නගරයේ සීමාවේ පිහිටි විශාල ගෙදරක​. සරරීමන් නගරය මැද පිහිටි තට්ටු නිවාසයක කුඩා ගෙදරක වාසය කරනවා. සරරීමන් අවිවාහක නම් ඒත් ඔහු තට්ටු නිවාසයක ඇති කුඩා ගෙදරක ජීවත් වෙනවා.

මේ කුඩා ගෙවල් සමන්විත වෙන්නේ කුස්සිය නිදන කාමරය සහ නාන කාමරයෙන් පමණයි. සරරීමන් ගෙදර එන්නේ නිදාගන්න විතරක් නිසා ඒක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි.

සරරීමන් ට කාර්‍යාලයෙන් පිට මිතුරන් ඉන්නෙ ඉතා අඩුවෙන්. බොහෝ විට ඔහුගේ මිතුරන් වෙන්නෙ ඔහුගේ කාර්‍යාලීය සගයන්මයි. සරරීමන් කන්නෙ, බොන්නෙ, විනෝද වෙන්නේ මේ අය එක්ක​.

සතියේ දවසක නම් වැඩ ඇරිල ගෙදර යන ගමන් සරරීමන් ඔහුගේ මිතුරන්/කාර්‍යාලීය සගයන් එක්ක කැරොකේ බාර් එකකට යනවා. එහිදී මත්පැන් බොමින් ගී ගයමින් බොහෝ වේලා ගත කරන්න සරරීමන් කැමතියි. සමහරවිට ඔහු මිතුරන් එක්ක කැසිනෝ එකකට ගිහින් සූදු කෙළින්න පුළුවන්. සමහරු රතු එළි දිස්ත්‍රික්කය පැත්තෙ රවුමක් ගහනවා.



1960 ගණන් වලනම් සරරීමෙන් ගෙ ප්‍රියතම විනෝදාංශය වුනේ "මාජොං" නමින් හැඳින්වෙන බෝඩ්ගේම් එක​. ඒත් වර්තමාන සරරීමන් ල ඒකට එච්චර කැමති නෑ. ටිකක් ලොකු පඩියක් ගන්න සරරීමන් ල සති අන්තයේ ගොල්ෆ් ගහන්න ගොඩක් කැමතියි. ගොල්ෆ් කියන්නෙ සරරීමන් ගෙ සමාජ තත්වය පෙන්නුම් කරන සෙල්ලමක්.

සරරීමන් අනිවාර්‍යයෙන්ම රැකියාවේ ජේෂ්ඨයන්ට ගරු කරනවා. ජේෂ්ඨයන් කියන්නේ ඔහුගේ රෝල් මොඩල් එක​. ඔහු තමාගේ ජීවිතයට අවශ්‍යය හැම දෙයක්ම පාහේ ඉගෙන ගන්නේ ජේෂ්ඨයන් දිහා බලලා.

සරරීමන් හොඳ ආදායමක් ලබන නිසා ඔහුට ආර්ථිකය පැත්තෙන් කරදර වෙන්න දෙයක් නෑ. බොහෝ විට ඔහු ආර්ථික වශයෙන් සුවපහසු ජීවිතයක් ගත කරනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ, ළමයි ඉස්තරම්ම ඇඳුම් පැළඳුම් අඳිනවා. ඔහුගේ ළමයි යන්නෙ හොඳම පාසල් වලට​. ඔහුගේ බිරිඳ ඇයගේ යෙහෙළියන් එක්ක නිතර සාප්පු සවාරි යනවා. බිරිඳ ඔහු එක්ක හෝ ඇගේ යෙහෙළියන් එක්ක අවුරුද්දකට සැරයක් පිටරටක හෝ ජපානයේම ඈත පැත්තක සංචාරයක නිරත වෙනවා.



ඒත් සරරීමන් නිතරම රැකියාව නිසාඅ ඇතිවන මානසික ආතතියෙන් පීඩා විඳිනවා. ඔහු මේ පීඩනය මග හරවා ගන්නේ මිතුරන්/කාර්‍යාලීය සගයන් එක්ක විනෝද වීමෙන් සහ මත්පැන් පානයෙන්.

සරරීමන් කාර්‍යාලයේදී මහන්සිවෙලා වැඩ කරන හොඳ සේවකයෙක්. ඔහු හැමවෙලේම ප්‍රධානියාගේ අණට ගරු කරනවා. කොයිවෙලාවක වත් අනවශ්‍යය අවදානම් ගන්නෙ නෑ. හැම වෙලේම සගයන් එක්ක සාකච්ඡා කරලා තීරණවලට එළඹෙනවා. වැඩකට බැස්සම ඉතා කුඩා දේ ගැන පවා හොඳ අවධානයක් යොමු කරනවා. සරරීමන් හැම වෙලේම උත්සහ කරන්නෙ 100% පරිපූර්ණ වැඩක් කරන්න​. සමාගම වෙනුවෙන් ඕන කුණුගොඩකට කරගහන්න සරරීමන් ලෑස්තියි.

සරරීමන් උසස් වෙන පාර ඔහු රස්සාවට ඇතුල්වෙද්දිම තීරණය වෙලා තියෙන්නෙ. ඔහුට තියෙන්නෙ මහන්සිවෙලා වැඩ කරන්න විතරයි. ඔහු මහන්සි වෙලා වැඩ කරොත් ප්‍රධානින් උසස්වීම් දෙමින් ඔහුව නියමිත පාරේ යවනවා.



අවුරුදු 60 දී සරරීමන් විශ්‍රාම යනවා. ඔහු විශ්‍රාම යද්දි ඔහු සේවය කළ සමාගම ඔහුට විශාල මුදල් පාරිතෝශිකයක් සහ තෑගි ලබා දෙනවා. හැම දෙනාම ඔහුට ගරු කරනවා. හැම දෙනාම ඔහු විශ්‍රාම යන එක ගැන දුක් වෙනවා.

විශ්‍රාම ගියාට පස්සෙ සරරීමන් ට ගෙදර ඉන්න එක කම්මැලියි. ඒ නිසා ඔහු බොහෝ විට තවත් අවුරුදු 5 ක් උපදේශක වරයෙක් විදිහට ඒ සමාගමටම අර්ධ කාලීනව සේවය කරනවා. ඒ සඳහා ඔහුට ලැබෙන්නෙ ඔහුගේ අන්තිම පඩියෙන් බාගයක් විතර​. ඒත් සරරීමන් ට පඩිය වැදගත් නෑ. ඔහුට ඕනෙ කරන්න යමක්.

මහළු වයසට පත් වෙන සරරීමන් බිරිඳ එක්ක (අවිවාහක නම් තනියම​) නගර සීමාවේ ඇති නිවසක ජීවත් වෙනවා. විවාහක නම් ඔහු තමාගේ මුණුපුරන් එක්ක කල් ගත කරන්න කැමතියි. ඒත් විශ්‍රාම ජීවිතය සරරීමන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. ඔහු ජීවත් වෙන්නෙ කම්මැලිකමෙන්.



ජපන් සංස්කෘතියේ සරරීමන් ට ඇති වැදගත් කම​




ජපානය කියන්නෙ සොබාවික සම්පත් බහුල රටක් නෙවෙයි. ඒ වගේම වගාව සඳහා සුදුසු බිම් සුලභ රටකුත් නෙවෙයි. මේ නිසා 1868 දී ජපානය නවීකරණය කරද්දි ඔවුන් තමා සතු වටිනාම සම්පත විදිහට හඳුනාගත්තේ මානව සම්පත​.

ජපානය කාර්මීකරණය වෙලා බටහිර ජාතීන් එක්ක කරට කර තරග කරන්න පටන් ගත්තම ඔවුන්ට තිබුනු ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ ප්‍රාග්ධනය සහ සොබාවික සම්පත් හිඟකම​. ඒත් ඔවුන්ට බටහිර ජාතීන් සතු නොවූ දෙයක් තිබුනා. ඒ ඔවුන් ගේ සංස්කෘතියෙන්ම ආපු අල්පේච්ඡ බව, පක්‍ෂපාතීත්වය, තමාට පෙර සමාජය ඉදිරියෙන් තැබීම සහ මහන්සි වී වැඩ කිරීමේ ගුණය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය නැවත ගොඩ නංවද්දී ඔවුන් ඒ සඳහා උපයෝගී කරගත්තේ ඔවුන් ගේ සංස්කෘතියේ ඇති මේ ලක්‍ෂන​.

ජපන් සංස්කෘතියේ වැදගත් සංකල්පයක් තමයි සමුරායි සංකල්පය​. සමුරායි වරු තමාගේ ස්වාමියා වෙනුවෙන් දිවිපිදීමට පවා දෙපාරක් නොහිතපු අය​. ඔවුන් ගේ මුළු ජීවිතයම පැවතුනේ ස්වාමියා වෙනුවෙන් සේවය කිරීමට​. එහිදී තමාගේ පුද්ගලික අභිලාෂයන්ට ලැබුනේ නොවැදගත් තැනක්. ජපන්නු සමුරායි කෙනෙක් සමාන කළේ සකුරා මලකට​. කෙටි, ඉතාම ලස්සන ජීවිතයක් සහ ලස්සන මරණයක්.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය නැවත ගොඩ නංවද්දි මේ සමුරායි සංකල්පය ජපන්නු නවීන සමාජයට ගලපා ගන්නවා. සමුරායි වෙනුවට සමාගමේ සේවකයා සහ ස්වාමියා වෙනුවට සමාගම ආදේශ වෙනවා. සමාගම වෙනුවෙන් ජීවත් වෙන​, සමාගම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්, තමාගේ පුද්ගලික අභිලාෂයන්ට වඩා ඉදිරියෙන් සමාගමේ අභිවෘද්ධිය තියන, ඉතා මහන්සි වෙලා වැඩ කරන සේවකයෙක් බිහි වෙනවා.

මේ සංසිද්ධියේ අග්‍ර ඵලය තමයි සරරීමන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජපානය ආර්ථික සමෘධිය අත් කරගන්න කරපු යුද්ධයේ සටන් වැදුනු සමුරායි වරු තමයි සරරීමන් ලා.


සරරීමන් ගැන නූතන ජපන් සමාජයේ ආකල්පය​




සරරීමන් ගැන නූතන ජපන් සමාජයේ හොඳ වගේම නරක ආකල්පත් තියෙනවා.

සාමාන්‍යය ජපන් පාසල් ශිෂ්‍යයෙක් ගේ සිහින රැකියාව සරරීමන් කෙනෙක් වීම​. ඔහුව කුඩා කාලයේ ඉඳලම යොමු කරන්නේ ඒ පැත්තට​. වෙනත් රටවල කුඩා දරුවන් ගෙන් "ලොකු වුනාම කවුරු වෙන්නද කැමති?" කියල අහද්දි ජපානයේ කුඩා දරුවන් ගෙන් අහන්නෙ "ලොකු වුනාම වැඩ කරන්න කැමති මොන සමාගමේ ද​?" කියලා. කුඩා කාලයේ ඉඳලම ඔවුන් තුළ සමාගමට පක්‍ෂපාතීත්වය ඇති කරනවා.

ඒ වගේම ජපන් සංස්කෘතියේ තමාට පෙර සමාජය ඉදිරියෙන් තැබීම ඉතා උසස් කොට සලකන නිසා සරරීමන් ලා තමාගේ පුද්ගලික ජීවිතය ගැන නොසලකා හැරීම අඩුපාඩුවක් හෝ අවාසනාවන්ත තත්වයක් කියල සලකන්නෙ නෑ. සරරීමන් ගෙ පවුල වෙන්නෙ ඔහුගේ සේවා ස්ථානය​.

ජපානය අද අත් කරගෙන ඇති ආර්ථික සමෘධියට සරරීමන් ලා දක්වන දායකත්වය නිසා ඔවුන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා.

ඒ එක්කම සරරීමන්ලා ගැන අයහපත් ආකල්පත් ජපන්නු තුළ තියෙනවා. පුද්ගලික ජීවිතයක් නොමැති වීම​, නිර්මානශීලීත්වයක් නොමැති වීම වගේ දේවල් නිසා සරරීමන් කෙනෙක් වීම සමහරු පිළිකෙව් කරනවා.

සරරීමන් කෙනෙක් ගේ ජීවිතය උපහාසයට ලක් කෙරෙන පටබැඳි නම් ජපන් සමාජයේ දකින්න පුළුවන්. ෂචිකු (සමාගම් හරක් පට්ටිය​), කයිෂා නො ඉනු (සමාගමේ බල්ලා), කගියෝ සෙන්‍ෂි (සමාගම් සොල්දාදුවා) ඒ අතරින් ප්‍රධානයි.


කරෝෂි




කරෝෂි කියල හඳුන්වන්නේ රැකියාව සම්බන්ධ අධික වෙහෙස හෝ අධික මානසික පීඩනය නිසා සිදුවන මරණ​. ජපානයේ මේ තත්වය ලොකු ප්‍රශ්නයක්. පුද්ගලික ජීවිතයක් නොමැති වීම​, දීර්ඝ කාලයක් රැකියාවේ නිරත වීම සහ ඒකාකාරී ජීවිතය නිසා ජපන්නු අතර කරෝෂි බහුලයි. විශේෂයෙන්ම සරරීමන්ලා මේ තත්වයේ ගොදුරක්.

නිල වශයෙන් වාර්‍ෂිකව කරෝෂි තත්වයට ගොදුරු වන ජපනුන් ගේ ගණන 2000 ක්. ඒත් නිල නොවන ඉලක්කම් මීට වඩා ගොඩක් විශාල බව විශ්වාඅස් කෙරෙනවා. සමහර ඇස්තමේන්තු වලට අනුව ඒක 30,000 තරම් ඉහළ අගයක්.

මේ මරණ සියදිවි නසාගැනීම් හෝ ආතතිය නිසා ඇතිවන ලෙඩ හේතුවෙන් වෙන්න පුළුවන්.


ඔෆිස් ලේඩි 



"ඔෆිස් ලේඩි" නැත්නම් "ඕ.එල්." කියල හඳුන්වන්නේ ජපන් සමාගමක සේවය කරන කාන්තාවන්.

"ඔෆිස් ලේඩි" සාමාන්‍යයෙන් කරන්නේ වැදගත්කමෙන් අඩු රැකියා. ෆොටෝකොපි ගැසීම, තේ පිළිගැන්වීම​, උත්සව සහ අවස්ථා සංවිධානය කිරීම වගේ දේවල් ඔෆිස් ලේඩි කෙනෙක් ගේ වගකීම් අතරට එනවා.

ඔෆිස් ලේඩි ගේ ඇඳුම "බිස්නස් සූට්" කියල හඳුන්වන ඇඳුම​. ඒක සුදු පාට කමිසයක්, ජැකට් එකක් සහ දණිස්ස ගාවට දිග සායකින් සමන්විතයි. බොහෝ විට සාය සහ ජැකට් එක කළු පාටයි.

ඔෆිස් ලේඩි කෙනෙක් බොහෝ විට රැකියාව කරන්නේ විවාහ වෙන තුරු පමණයි. බොහෝ විට ඇය විවාහ වෙන්නේ තමාගේ සමාගමේම සේවය කරන සරරීමන් කෙනෙක් එක්ක​.

සාම්ප්‍රදායිකව ඔෆිස් ලේඩි හැඳින්වෙන්නේ "ෂොකුබා නො හනා" කියල​. ඒකෙ තේරුම "කාර්‍යාලයේ මල​" කියන එක​.


කරියාවූමන්




"කරියාවූමන්" කියල හඳුන්වන්නේ සරරීමන් ගෙ කාන්තා ස්වරූපය​. ඇය විවාහ වීම වෙනුවට රැකියාව තෝරාගෙන තියෙනවා. "කරියාවූමන්" කියන එක හැදිලා තියෙන්නෙ "Career Woman" කියන ඉංග්‍රීසි වචන දෙකෙන්.

සාම්ප්‍රදායිකව ජපානයේ කාන්තාවන් "හොඳ​" රැකියා නොකළත්, නූතන ජපානයේ යම් දුරකට ජපන් කාන්තාවන් විවාහය වෙනුවට රැකියාව තෝරා ගන්නවා. මේ කාන්තාවන් සරරීමන් එක්ක කරට කර ගැටෙමින් ජපන් ආර්ථිකයට තමාගේ දායකත්වය දක්වනවා.

Saturday, January 5, 2019

තෝකියෝ



තෝකියෝ නගරය කියන්නේ ජපානයේ අගනුවර වගේම ලෝකයේ විශාලතම නගරයක්. තෝකියෝ නාගරික ප්‍රදේශය කියන්නේ ලෝක වැඩිම ජනගහණයක් සහිත නාගරික ප්‍රදේශය​. ඒ වගේම තෝකියෝ ලෝකයේ ප්‍රධාන සහ වැදගත්ම නගර කිහිපය අතරට ගැණෙනවා. තෝකියෝ සැලකෙන්නේ ජීවත් වීමට ඉතාම ආරක්‍ෂිත සහ අපරාධ අඩුම නගරයක් විදිහට​. ඒත් ඒ එක්කම තෝකියෝ නගරය ජීවන වියදම ඉතාම අධික නගරයක් විදිහටත් සැලකෙනවා.

තෝකියෝ නගරය නැගෙනහිර ජපානයේ තියෙන වෙරළබඩ නගරයක්. ජපන් බසින් තෝකියෝ කියන එකේ තේරුම "පෙරදිග අගනුවර​" කියන එක (තෝ - පෙරදිග​, කියෝ - අගනුවර​).

තෝකියෝ නගරයේ කොඩිය සහ ලාංඡනය​

තෝකියෝ නගරයේ අර්ථ දැක්වීම​


තෝකියෝ නගරය කිව්වට මේක සරළ නගරයක් නෙවෙයි. තෝකියෝ නගරය කියන එකට විවිධ අර්ථ දැක්වීම් තියෙනවා. ඒ එක් එක් අර්ථ දැක්වීමට අහුවෙන ප්‍රදේශය වෙනස්.

1. තෝකියෝ නගරය​

ඓතිහාසික තෝකියෝ නගරයට අයත් වෙන්නේ මේ ප්‍රදේශය​. මේ ප්‍රදේශය වර්ග කිලෝමීටර 622 ක විශාලත්වයකින් සහ මිලියන 10 ක පමණ ජනගහණයකින් සමන්විතයි (සන්සන්දනාත්මකව මේක කොළඹ දිස්ත්‍රික්කයට වඩා මදක් කුඩා ප්‍රදේශයක්). තෝකියෝ නගරයේ වැදගත් ව්‍යාපාරික ස්ථාන​, ප්‍රධාන සාප්පු සංකීර්ණ​, පාර්ලිමේන්තුව සහ අධිරාජ්‍යයාගේ මාළිගය පිහිටා තියෙන්නේ මේ ප්‍රදේශයේ.


2. තෝකියෝ මහනගරය (මෙට්‍රොපෝලිස්)

ඓතිහාසික තෝකියෝ නගරය සහ එයට බටහිරින් පිහිටි ප්‍රදේශ එක පරිපාලන ඒකකයක් විදිහට අරගෙන ඒක හඳුන්වන නම තමයි තෝකියෝ මහනගරය​. ඒක ජපන් බසින් "තෝකියෝ-තො" කියල හැඳින්වෙනවා. තෝකියෝ මහනගරය ජපානයේ ප්‍රාන්ත 47 න් එකක් විදිහටත් සැලකෙනවා. තෝකියෝ මහනගරය වර්ග කිලෝමීටර් 1808 විශාලත්වයකින් සහ මිලියන 15 ක පමණ ජනගහණයකින් සමන්විතයි (සන්සන්දනාත්මකව මේක මහනුවර දිස්ත්‍රික්කයට වඩා මදක් කුඩා ප්‍රදේශයක්). සාමාන්‍යයෙන් "තෝකියෝ" කිව්වම ඒකෙන් අදහස් කරන්නේ තෝකියෝ මහනගරය​.


3. තෝකියෝ නාගරික ප්‍රදේශය​

පරිපාලනය සඳහා තෝකියෝ නගරය තෝකියෝ මහනගර සීමාවෙන් වෙන් කළත්, ඇත්තෙන්ම තෝකියෝ නගරය ඊට වඩා විශාල ප්‍රදේශයක් පුරා පැතිරී යනවා. ඒක අවට ප්‍රාන්ත තුනක් පුරා පැතිරී පවතින දැවැන්ත ප්‍රදේශයක්. මේ තෝකියෝ නාගරික ප්‍රදේශය වර්ග කිලෝමීටර 8000 ක විශාලත්වයකින් සහ මිලියන 38 ක පමණ ජනගහණයකින් සමන්විතයි (සන්සන්දනාත්මකව මේක ඌව පළාතට මදක් කුඩා ප්‍රදේශයක්. ජනගහණය ලංකාවේ ජනගහණය වගේ දෙගුණයකට ආසන්නයි)


තෝකියෝ නගරය​, මහනගරය සහ නාගරික ප්‍රදේශය​

මේ ලිපියේ "තෝකියෝ නගරය" කියල කියද්දි ඒකෙන් අදහස් කරන්නේ තෝකියෝ මහනගරය​.


එදෝ නගරයේ ආරම්භය


12 වැනි සියවසේ අගභාගයේදී නැගෙනහිර ජපානයේ සුමිදා ගඟ මුහුදට වැටෙන තැන මෝය කටේ තිබුණු කුඩා ධීවර ගමක් හැඳින්වුනේ ජපන් බසින් "මෝය​" කියන තේරුම ඇති "එදෝ" කියන වචනයෙන්.

මේ කාලයේ ජපානයේ ප්‍රධාන නගර වුනු කියෝතෝ, නරා, නගෝයා, ඕසකා වගේ නගර සියල්ලම පිහිටලා තිබුනේ මධ්‍යම ජපානයේ (වර්තමාන කන්සායි ප්‍රදේශයේ). නැගෙනහිර ජපානයට ඒ කාලේ වැදගත් තැනක් හිමි වුනේ නෑ.

මේ කාලයේදී සමුරායි පවුලක් එදෝ ගමට නුදුරුව තිබුනු කුඩා කඳු ගැටයක් මත බලකොටුවක් ඉඳි කරලා ඒ අවට ප්‍රදේශය තමාගේ බල ප්‍රදේශය විදිහට තෝරා ගන්නවා. ඔවුන් තමාගේ වංශයේ නම "එදෝ" කියල වෙනස් කර ගන්නවා.

මේ කාලයේ ජපානයේ ඇතිවුනු බල අරගලයකදී එදෝ වංශික සමුරායි වරු බලවත් සමුරායි පෙළපතක් වුනු මිනමොතෝ වංශයට සහය දෙනවා. මිනමොතෝ වාංශික සමුරායි වරු ජපානයේ බලය තහවුරු කරගැනීමත් සමඟම එදෝ වංශයටත්, ඔවුන් පාලනය කළ ප්‍රදේශයටත් යහපත් කලදසාවක් ලබනවා.

මේ තමයි එදෝ නගරයේ ආරම්භය​.


එදෝ සමය​


එදෝ නගරය කුඩා නොවැදගත් නගරයක් ලෙස දිගටම පැවතුනත්, 1590 දී එය ජපන් ඉතිහාසයේ වැදගත් තැනකට පත් වෙනවා. ඒ එකල ජපානයේ සිටි බලවත්ම සමුරායි වරයෙක් වුනු තොකුගවා ඉඑයාසු තමාගේ බලප්‍රදේශය විදිහට එදෝ නගරය තෝරා ගැනීමත් සමඟම​. එදෝ නගරය ක්‍රමයෙන් ජපානයේ වැදගත් නගරයක් බවට පත් වෙනවා. තොකුගාවා සමුරායිවරු එදෝ බලකොටුව විශාල කරල හදනවා. එදෝ නගරයේ අරටුව වෙන්නේ එදෝ බලකොටුව​.

එදෝ බලකොටුව
1603 දී තොකුගවා ඉඑයාසු ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා බවට පත් වෙනවා. ඔහු තමාගේ පාලන කේන්.ද්‍රය විදිහට තෝරා ගන්නේ එදෝ නගරය​. නිල වශයෙන් ජපානයේ අගනුවර වෙන්නේ අධිරාජ්‍යයා වාසය කළ කියෝතෝ නගරය​. නමුත් සැබෑ පාලකයා වන ෂෝගුන් වරයා වාසය කළ එදෝ නගරය ජපානයේ නිල නොවන අගනුවර බවට පත් වෙනවා. 1603 සිට 1868 දක්වා ජපානයේ ෂෝගුන් තනතුර උසුලන්නේ තොකුගවා වාංශික සමුරායි වරු. මේ නිසා මේ කාලයේ දිගටම ජපානයේ ප්‍රධාන නගරය බවට පත් වෙන්නේ එදෝ නගරය​. ජපන් ඉතිහාසයේ මේ කාලය හැඳින්වෙන්නේ "එදෝ සමය​" කියලා.

1635 දී ෂෝගුන් වරයා වන තොකුගවා ඉඑමිත්සු අළුත් නීතියක් හඳුන්වා දෙනවා. මේ නීතියට අනුව ජපානයේ ප්‍රාදේශීය පාලකයන් හෙවත් දයිමියෝ වරු වසරක් හැර වසරක් එදෝ නගරයේ වාසය කළ යුතු වෙනවා. මේ නීතිය මගින් ෂෝගුන් වරයා බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශීය පාලකයන් දිහා වඩා හොඳින් ඇහැ ගහගෙන සිටීම සහ ඔවුන්ට කැරලි ගැසීමට ඇති ඉඩ ප්‍රස්ථාව අඩු කිරීම​.

මේ නීතියත් සමඟම ධනවත් සමුරායි පවුල් රාශියක් එදෝ නගරයට සංක්‍රමනය වෙනවා. ඔවුන් සමඟ ඔවුන් ගේ අතවැසියන් සහ පිරිවර ජනතාවත් විශාල ප්‍රමානයක් එනවා. මේ අය ධනවතුන් නිසා එදෝ නගරයට එකවරම විශාල මුදල් ප්‍රමානයක් ඇදී එනවා. ඒ එක්කම මේ අළුත් නගර වැසියන්ට සේවා සපයන්න අවන්හල්, නාට්‍ය ශාලා, පන්සල් සහ වෙළඳසැල් විශාල ප්‍රමානයක් එදෝ නගරයේ බිහි වෙනවා. ඒ අළුත් ව්‍යාපාර වල සේවය කරන්න සාමාන්‍යය වැසියන් විශාල ප්‍රමානයකුත් ඒ එක්කම එදෝ නගරයට සංක්‍රමනය වෙනවා.

මේ දැවැන්ත මිනිස් සංක්‍රමනය ජපන් ඉතිහාසයේ වැදගත් සලකුණක්. එදෝ නගරයේ ජනගහණය කෙටි කලකින්ම දෙගුන තෙගුන වෙලා නගරය අවට ප්‍රදේශය පුරාම පැතිර යනවා. 1700 වන විට එදෝ නගරයේ ජනගහණය මිලියනයක්. ඒ ලෝකයේ වැඩිම ජනගහණයක් සහිත නගරය​. මේ කාලයේදී යුරෝපයේ විශාලතම නගර වුනු ලන්ඩන් සහ පැරිස් නගර වල ජනගහණය වුනේ 600,000 පමණයි.


තෝකියෝ


1868 දී ජපන් ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වෙනවා. ඒ ෂෝගුන් වරයා බලයෙන් පහ කරලා වසර 700 කට පස්සේ අධිරාජ්‍යයා නැවතත් බලය ලබා ගැනීම​. බලය තහවුරු කර ගත්තට පස්සෙ අධිරාජ්‍යයා තමාගේ වාසස්ථානය විදිහට තෝරා ගන්නේ ජපානයේ විශාලම නගරය වුනු එදෝ නගරය. ඔහු එදෝ බලකොටුව අධිරාජ්‍යයා ගේ වාසභවනය බවට පත් කර ගන්නවා.

ඒ එක්කම ඔහු එදෝ නගරයේ නම "නැගෙනහිර අගනුවර​" යන අරුත ඇති "තෝකියෝ" කියල වෙනස් කරනවා. තෝකියෝ නගරය මුල්වරට ජපානයේ අගනුවර බවට පත් වෙනවා.

ෂෝගුන් වරයා බලයෙන් පහ වීමත් සමඟම අධිරාජ්‍යයා ජපානය නවීකරණය කිරීමේ වැඩසටහනක් හඳුන්වා දෙනවා. මේ වැඩ සටහන යටතේ ප්‍රාදේශීය පාලකයන් හෙවත් දයිමියෝ තනතුර අහෝසි වෙනවා. ඒ එක්කම තෝකියෝ නගරයේ පදිංචි වෙලා හිටිය දයිමියෝ වරු ආපහු තමාගේ ගම්‍ රටවල් බලා යනවා. ඒ එක්කම තෝකියෝ නගරයෙන් ඉවතට නැවතත් දැවන්ත මිනිස් සංක්‍රමනයක් සිද්ධ වෙනවා. 1873 වෙද්දි තෝකියෝ නගරයේ ජනගහණය 600,000 දක්වා අඩු වෙනවා.

ඒත් ජපානය නවීකරණය වෙද්දි තෝකියෝ නගරය ආශ්‍රිතන නව ව්‍යාපාර සහ කර්මාන්ත රාශියක් බිහි වෙනවා. ඒ එක්කම ආයෙත් තෝකියෝ නගරයට මිනිස්සු ඇදී එනවා. මේ අය ජපානයේ අළුතින් බිහි වූ ව්‍යාපාරික පන්තියට සහ කර්මාන්තශාලා වල රැකියා කළ කම්කරු පන්තියේ අය​. 1900 වෙද්දි තෝකියෝ නගරයේ ජනගහණය මිලියන 2 ක්. ඒ වෙද්දි එය ජනගහණය අතින් ලෝකයේ පස් වෙනි විශාලම නගරය​.

1900 දී තෝකියෝ නගරය​

දෙවෙනි ලෝක යුද්ධයේදී ඇමරිකානු ගුවන් ප්‍රහාර වලින් තෝකියෝ නගරය සම්පූර්නයෙන්ම පාහේ විනාශ වෙනවා. මේ බෝම්බ ප්‍රහාර වලින් ලක්‍ෂයකට අධික ජනතාවක් මරණයට පත් වෙනවා. තවත් මිලියනයක් අවතැන් වෙනවා. බොහෝ දෙනා නගරය අත හැර ගම්බද ප්‍රදේශ වලට පලා යනවා. 1940 දී මිලියන 6 ක් වුනු තෝකියෝ නගරයේ ජනගහණය යුද්ධය අවසන් වෙද්දි මිලියන 2 දක්වා අඩු වෙලා.

බෝම්බ ප්‍රහාර වලින් විනාශ වූ තෝකියෝ නගරය​
යුද්ධයෙන් පසු තෝකියෝ නගරය දැවැන්ත නැවත ගොඩනැගීමේ වැඩසටහනක් යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙනවා. යුද්ධයෙන් පසු සමයේ "ජපන් ආර්ථික ආශ්චර්‍යයේ" කේන්.ද්‍රය වෙන්නේ තෝකියෝ නගරය​. 1967 වෙද්දි ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට සුදුසු තත්වයට නගරය නැවත ගොඩ නංවන්නේ මේ වැඩසටහන යටතේ.

අද වෙද්දි තෝකියෝ නගරය ලෝකයේ ප්‍රමුඛ පෙලේ නගරයක්.


පරිපාලනය​


තෝකියෝ නගරයේ පරිපාලනය ගැන කතා කරන්න කලින් ජපානයේ ප්‍රාදේශීය පරිපාලන ඒකක ගැන අවබෝධයක් අරගෙන ඉන්න ඕනෙ.

මුළු ජපානයම ප්‍රාන්ත (prefectures) 47 කට බෙදල තියෙනවා. මේ ප්‍රාන්ත වලින් නාගරික ප්‍රාන්ත "ෆු" නමිනුත්, ග්‍රාමීය ප්‍රාන්ත "කෙන්" නමිනුත් ජපන් බසින් හැඳින්වෙනවා (උදා : ඕසකා-ෆු, ෆුකුෂිමා-කෙන්). සියළුම ප්‍රාන්ත සඳහා මහජන ඡන්දයෙන් පත්වුනු ප්‍රාන්ත සභාවක් සහ ආණ් ඩුකාරයෙක් ඉන්නවා.

සමහර ප්‍රාන්ත වල සමහර කොටස් "උප ප්‍රාන්ත" (sub-prefectures) යනුවෙන් හැඳින්වෙන පාලන ඒකක වලට බෙදල තියෙනවා. මේවා ජපන් බසින් "ෂිචෝ" කියල හැඳින්වෙනවා.

සියළුම ප්‍රාන්ත සහ උප ප්‍රාන්ත තවදුරටත් ප්‍රාදේශීය පාලන ඒකක වලට කඩල තියෙනවා. මේ ප්‍රාදේශීය පාලන ඒකක ජනගහණය අනුව වර්ග තුනකට බෙදෙනවා.

1. නගර (city) - "ෂි"
2. උප නගර (town) - "මචි"
3. ගම් (village) - "මුරා"

සියළුම නගර, උප නගර සහ ගම් මහජන ඡන්දයෙන් පත් වුනු ප්‍රාදේශීය සභාවක් යටතේ පාලනය වෙනවා. මේ ප්‍රාදේශීය සභාවේ ප්‍රධානියා වෙන්නෙ නගරාධිපති, උප නගරාධිපති හෝ ගම්පති (mayor). ඒ ඒ ප්‍රාදේශීය පාලන ඒකකය තුළ​ බදු එකතු කිරීම සහ පොදු සේවා සැපයීම කෙරෙන්නේ මේ ප්‍රාදේශීය සභා යටතේ.


තෝකියෝ නගරයේ පරිපාලන ඒකක​


ජපානයේ මුල් වරට මේ ප්‍රාදේශීය පාලන ව්‍යූහය හඳුන්වා දෙන්නේ 1889 දී. එහිදී තෝකියෝ නගරය සහිත ප්‍රදේශය "තෝකියෝ නගරය​" ලෙසත්, ඊට බටහිරින් පිහිටි ප්‍රදේශය "තෝකියෝ ප්‍රාන්තය​" ලෙසත් වෙනම පාලන ප්‍රදේශ දෙකකට වෙන් කෙරුනා.

තෝකියෝ නගරය "නගර​" ලෙස හැඳින්වුනු ප්‍රාදේශීය පාලන ඒකක 15 කට බෙදා තිබුනා.

1932 දී තෝකියෝ නගරයේ ජනගහණය වැඩිවීමත් සමඟම මේ නගර 15 නගර 35 ක් දක්වා ඉහළ දැමුනා.

1943 දී තෝකියෝ නගරය සහ තෝකියෝ ප්‍රාන්තය එක් කිරීමෙන් "තෝකියෝ මහනගරය​" (metropolis) ලෙස හැඳින්වුනු නව පාලන ප්‍රදේශයක් බිහි කෙරුනා. මේ විදිහට මහනගරයක් ලෙස හැඳින්වුනු පාලන ප්‍රදේශයකට ජපානයේ තිබුනේ (සහ තියෙන්නේ) තෝකියෝ පමණයි. තෝකියෝ මහනගරය ජපන් බසින් හැඳින්වෙන්නේ "තෝකියෝ-තෝ" නමින්.

මහනගරයකට තියෙන බලතල ප්‍රාන්තයකට තියෙන බලතල වලට සමානයි. එහි වැදගත්කම සහ නාගරික බව සලකලා විශේෂ නමක් දීලා තියෙනවා.

1947 දී ජපානය ඇමරිකාවට යටත් වුනාට පස්සෙ තෝකියෝ මහනගරයේ පාලන ව්‍යූහය නැවත වරක් වෙනස් කෙරෙනවා.

මෙහිදී පැරණි තෝකියෝ නගරය ලෙස සැලකුණු ප්‍රදේශය "විශේෂ නගර​" (special wards) ලෙස හැඳින්වුනු ඒකක 23 කට බෙදනවා. පැරණි තෝකියෝ ප්‍රාන්තයට අයත් වුනු ප්‍රදේශය "නගර​" (cities) 26 කටත්, උප නගර (towns) 3 කටත්, ගම් (villages) 1 කටත් බෙදෙනවා.

මේ විශේෂ නගර වලට හිමි බලතල නගර​, උපනගර සහ ගම් වලට හිමි බලතල වලට වඩා අඩුයි. ඒවායේ පාලනයට මහනගර රජය කෙලින්ම මැදිහත් වෙනවා. උදාහරණයකට ඒවායේ බදු එකතු කරන්නේ මහනගර රජය විසින්. එහෙම කරල තියෙන්නේ ඒ ප්‍රදේශ වල තියෙන විශේෂ වැදගත් කම සලකලා. මේ විදිහට "විශේෂ නගර​" නමින් හැඳින්වෙන පාලන ඒකක තියෙන්නෙ තෝකියෝ නගරයේ විතරයි.

මීට අමතරව තෝකියෝ මහනගරය අවට තියෙන දූපත් අයත් වෙන්නෙත් තෝකියෝ මහනගර පාලන ප්‍රදේශයටමයි. ඒවා වෙනම උප ප්‍රාන්ත (sub-prefectures) 4කට බෙදල තියෙනවා. මේ දූපත් වලින් සමන්විත උප ප්‍රාන්ත හතර උප නගර දෙකකින් සහ ගම් 7 කින් සමන්විතයි.

පහත සිතියමේ පැරණි තෝකියෝ නගරයට අයත් ප්‍රදේශයේ ඇති විශේෂ නගර 23 තද කොළ පැහැයෙනුත්, පැරණි තෝකියෝ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයේ ඇති නගර​, උපනගර සහ ගම් ලා කොළ පැහැයෙනුත් දක්වා තියෙනවා. තෝකියෝ මහනගරය සමන්විත වෙන්නේ මේ කොටස් සියල්ල එක් වීමෙන්.


"විශේෂ නගර​"


තෝකියෝ මහනගරයේ "විශේෂ නගර​" ලෙස හැඳින්වෙන පාලන ඒකක 23 ක් තියෙනවා.



තෝකියෝ නගරයේ "හදවත​" ලෙස සැලකෙන්නේ මේ විශේෂ නගර 23. තෝකියෝ නගරයේ සියළුම වැදගත් ව්‍යාපාරික ස්ථාන​, සාප්පු සංකීර්ණ​, පාර්ලිමේන්තුව සහ අධිරාජ්‍යයාගේ මාළිගාව පිහිටි එදෝ බලකොටුව තියෙන්නේ මේ ප්‍රදේශයේ.

විශේෂ නගර ඓතිහාසිකව විකාශය වුනු හැටි සහ ඒවායේ වර්ග ප්‍රමාණය සහ ජනගහණය මේ වගේ:



නගර​, උපනගර සහ ගම්


තෝකියෝ නගරයේ බටහිර කොටස හැඳින්වෙන්නේ "තමා ප්‍රදේශය​" නැත්තම් "බටහිර තෝකියෝ" කියලා.


මේ ප්‍රදේශය වැඩිපුර සමන්විත වෙන්නේ තෝකියෝ නගරයේ "විශේෂ නගර​" ප්‍රදේශයේ රැකියා කරන අයගේ නිවෙස් වලින්. ඒත් මේ ප්‍රදේශයේත් ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්තශාලා විශාල ප්‍රමානයක් තියෙනවා.

බටහිර තෝකියෝ ප්‍රදේශයේ පරිපාලන ඒකක, ඒවායේ වර්ග ප්‍රමානය සහ ජනගහණය මේ වගේ:



උප ප්‍රාන්ත​


තෝකියෝ නගරය අවට තියෙන දූපත් උප ප්‍රාන්ත 4 කට බෙදලා තියෙනවා. ඒවා අයත් වෙන්නෙත් තෝකියෝ මහනගරයටමයි.

දූපත් වල පරිපාලන ඒකක, ඒවායේ වර්ග ප්‍රමානය සහ ජනගහණය මේ වගේ:




දේශගුණය​


තෝකියෝ නගරය ජපානයේ හැටියට තරමක් ශීතල දේශගුණයක් සහිත නගරයක්. එහි වාර්‍ෂික සාමාන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් විතර වෙනවා. ශීත ඍතුවේදී මේක සෙල්සියස් අංශක 5 විතර වෙනකම් පහත වැටෙන්න සහ ගිම්හානයේදි සෙල්සියස් අංශක 25 විතර වෙනකම් ඉහළ යන්න පුළුවන්.

තෝකියෝ නගරයේ ආර්ද්‍රතාවය  65-75 % විතර අගයක්. ඒ නිසා තෝකියෝ නගරය සැලකෙන්නේ ඉතාමත් පහසු දේශගුණයක් සහිත නගරයක් විදිහට​.

ශීත ඍතුවේ තෝකියෝ නගරයට හිම වැටෙනවා. ඒත් සාමාන්‍යයෙන් තෝකියෝ නගරයේ හිමපතනය ගොඩක් අඩුයි.  හිම වැටෙන දින ගණන අවුරුද්දකට සාමානයෙන් දවස් 10 විතර වෙනවා.

තෝකියෝ නගරයේ හිම පතනයක්
හිමපතනය අඩු වුනාට තෝකියෝ කියන්නෙ වර්‍ෂාපතනය අධික නගරයක්. සරත් ඍතුවේදී මාසයකට මිලිමීටර් 200 ක් තරම් අධික වර්‍ෂාපතනයක් තෝකියෝ නගරයට වැටෙනවා. ඒ වගේම තෝකියෝ කුණාටු අධික නගරයක්. අවුරුද්දකට එක කුණාටුවක් වත් තෝකියෝ නගරයට එනවා. ඒත් විනාශකාරී වෙන්න තරම් දරුණු කුණාටු එන්නෙ කලාතුරකින්.

තෝකියෝ නගරය ලෝකයේ භූමිකම්පා අධිකම නගරයක් විදිහටයි සැලකෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට කුඩා භූමිකම්පා දෙතුන් සීයක් තෝකියෝ නගරයට එනවා. මේක භූමිකම්පා අධික ජපානයේ හැටියටත් අධික අගයක්.

භූමිකම්පාවකට පසු

ජනගහණය​


තෝකියෝ මහනගරයේ ජනගහණය මිලියන 15 ක් විතර වෙනවා. මේකෙන් වැඩ කරන වයසේ ජනගහණය මිලියන 9 ක් විතර​. ජපානයේ හැටියට මේක ඉහළ අගයක්. සාමාන්‍යයෙන් ජපානයේ මහළු වයසේ අයගේ ප්‍රතිශතය ඉහළයි. මේ නිසා තෝකියෝ නගරය තරුණ ජනගහණයක් සහිත නගරයක් විදිහටයි සැලකෙන්නේ.

තෝකියෝ නගරයේ වාසය කරන විදේශිකයන් ගණන ලක්‍ෂ 4 ක් පමණ වෙනවා. මේකෙන් බාගයක්ම චීන ජාතිකයන්. ඊට අමතරව තවත් ලක්‍ෂයක් විතර කොරියානුවන්. ජපානයේ හැටියට තෝකියෝ කියන්නෙ ඉහළ විදේශික ජනගහණයක් සහිත නගරයක්.


ප්‍රවාහනය​


මිලියන 15 ක ජනගහණයක් හිටියත්, ඉතා අධික ජනගහණ ඝනත්වයත් තිබුනත් තෝකියෝ නගරය ක්‍රියාත්මක වෙන්නේ ඔරලෝසුවක් වගේ ඉතාම කාර්‍යක්‍ෂමව​. ඒකට ප්‍රධාන හේතුව තෝකියෝ පොදු ප්‍රවාහන සේවයේ කාර්‍යක්‍ෂමතාවය​.

අධික ජනගහණයක් ඉන්න නගරයක මිනිස්සු පුද්ගලික ප්‍රවාහන මාධ්‍යය පාවිච්චි කරන්න ගියොත් ඇතිවෙන තදබදය ගැන දන්න නිසා රජය නගරය ඇතුලේ පුද්ගලික වාහන පාවිච්චි කරන එකට වැට බැඳලා තියෙනවා. නගරය ඇතුලේ පුද්ගලික වාහන භාවිතා කිරීම ඉතා වියදම් අධික කටයුත්තක්. ඒ නිසා බොහෝ දෙනා එදිනෙදා ගමන් බිමන් වලට පාවිච්චි කරන්නෙ පොදු ප්‍රවාහන සේවා.

දුම්රියක් ඇතුලත 
පොදු ප්‍රවාහන සේවා වලින් ප්‍රමුඛ තැන ගන්නේ දුම්රිය සේවය​. තෝකියෝ නගරය ඇතුලේ ප්‍රධාන දුම්රිය සේවය සපයන්නේ JR යන කෙටි නමින් හැඳින්වෙන "Japan Rail" සමාගම​. මේක 2002 වෙනතුරු රජයේ ආයතනයක් විදිහට ක්‍රියාත්මක වුනු ආයතනයක්. මීට අමතරව තවත් කුඩා දුම්රිය සමාගම් 20 කට අධික ප්‍රමානයක් තෝකියෝ නගරය තුල ක්‍රියාත්මකයි. මේ සමාගම් වලට වෙනම දුම්රිය මාර්ග සහ දුම්රියපොළ තියෙනවා.

දුම්රිය සේවයේම වැදගත් අංගයක් තමයි උමං දුම්රිය සේවය (subway). තෝකියෝ නගරය තුල උමං දුම්රිය සේවා සපයන ප්‍රධාන ආයතනය "Tokyo Metro" සමාගම​.

දුම්රිය පොළක් 
තෝකියෝ නගරය කියන්නේ ලෝකයේ කාර්‍යක්‍ෂම අතින් ඉහළම සහ වැඩිම මගීන් ගණනකට සේවා සපයන දුම්රිය සේවයක් සහිත නගරය​. තෝකියෝ නගරයේ දුම්රියපොළ 600 ක් සහ උමං දුම්රියපොළ 282 ක් තියෙනවා. මේවායින් දිනකට මගීන් මිලියන 30 කට අධික ප්‍රමානයකට සේවා සපයනවා. ලෝකයේ වඩාත්ම කාර්‍යබහුල දුම්රියපොළ තුන (ෂින්ජුකු, ෂිබූයා, ඉකෙබුකුරෝ) වගේම ලෝකයේ වඩාත්ම කාර්‍යබහුල දුම්රියපොළ 50 න් 26 ක් ම තියෙන්නෙ තෝකියෝ නගරයේ. ඒකෙන්ම තෝකියෝ දුම්රිය සේවයේ දැවැන්ත බව හිතා ගන්න පුළුවන්.

විශාල මගීන් ගණනක් පාවිච්චි කරන නිසා කාර්‍යාල වෙලාවට තෝකියෝ නගරයේ දුම්රිය ගමන් ඉතාමත් අප්‍රසන්න අත්දැකීමක් වෙන්න පුළුවන්.

දුම්රිය සේවයට අමතරව බස්, ට්‍රෑම් සහ ටැක්සි සේවාවනුත් තෝකියෝ නගරයේ ක්‍රියාත්මකයි.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව තෝකියෝ නගරයට ඉහළින් අහසේ ජපන් ගුවන් යානා පියාසර කිරීම තහනම් කරල තියෙනවා. මේ නිසා තෝකියෝ නගරයේ ගුවන් තොටුපොළක් නෑ. ගුවන් තොටුපොළක් නැති ලෝකයේ එකම ප්‍රධාන නගරය තෝකියෝ. තෝකියෝ නගරයට අසල ඇති නරිතා ගුවන් තොටුපොළ තමයි ජපානයේ ප්‍රධාන ගුවන් තොටුපොළ විදිහට ක්‍රියාත්මක වෙන්නේ.


සංස්කෘතිය​


තෝකියෝ නගරය විශාල කාර්‍යබහුල නගරයක් නිසා කුඩා නගරවලදී හෝ ගම්බද ජපානයේ ඔබට අත්දකින්න පුළුවන් සාමකාමී බව සහ ආචාරශීලී සුහද බව සමහරවිට දකින්න බෑ. විශේෂයෙන්ම දුම්රියපොළ හෝ කාර්‍යබහුල සාප්පු වලදී නොඉවසිලිවත් කෙනෙකුගේ නොරිස්සුම් සහගත බැලුම්, අවලාද හෝ වැළමිටි ප්‍රහාර වලට ගොදුරු වෙන්න ඔබට සිදුවන්න පුළුවන්.

ඒ වගේම තෝකියෝ නගරය සැලකෙන්නේ සාපේක්‍ෂව අන්ත ජාතිකවාදී දේශපාලනයට බර නගරයක් විදිහට​. ජපානයේ දේශපාලන බලය කොහොමත් තියෙන්නෙ මධ්‍ය ජාතිකවාදී ලිබරල් ප්‍රජාතන්‍ත්‍රවාදී පක්‍ෂයට​. ඒත් තෝකියෝ නගරයේ ඊට වඩා අන්ත ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් වලට බලය තියෙනවා. සමහර විට ඔවුන් තමාගේ නියෝජිතයන් ආණ්ඩුකාර ධූරයට පත් කරගන්න පවා සමත් වෙනවා. මේ අන්ත ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් ජපානය නැවත මිලිටරි කරනය කිරීම සහ අධිරාජ්‍යයාට බලය ලබාදීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම ඔවුන් විදේශිකයන්ට, විශේෂයෙන්ම චීන ජාතිකයන්ට, දැඩිලෙස විරුද්ධයි. මේ නිසා තෝකියෝ නගරය සමහර අවස්ථා වලදී ජපානයේ අනෙක් ප්‍රදේශ තරම් විදේශිකයන් කෙරෙහි මිත්‍රශීලී ආකල්පයක් නොදක්වන බව හිතෙන්න පුළුවන්.

අන්ත ජාතිකවාදී දේශපාලන රැළියක්


තෝකියෝ නගරයේ ප්‍රදේශ


ෂිබූයා


ෂිබූයා කියන්නෙ තෝකියෝ නගරයේ වැදගත්ම සහ කාර්‍යබහුලම ප්‍රදේශය​​. තෝකියෝ නගරයේ විශාලම සාප්පු සංකීර්ණ සහ වැදගත් ව්‍යාපාරික ස්ථාන රැසක් පිහිටලා තියෙන්නෙ ෂිබූයා වල​. ලෝකයේ විශාලම දුම්රියපොළ පිහිටල තියෙන්නෙත් ෂිබූයා වල. ෂිබූයා දුම්රියපොළ ඉදිරිපිට තියෙන පාර මාරුවන ස්ථානය ලෝකයේ විශාලම පාර මාරුවන ස්ථානය සහ ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ තැනක් විදිහට සැලකෙනවා.

උස ගොඩනැගිලි, දීප්තිමත් රාත්‍රී විදුලි ආලෝකය​, දැවැන්ත සාප්පු සංකීර්ණ​, රාත්‍රියේ විනෝද වෙන හොඳින් ඇඳ පැළඳගත් තරුණ තරුණියන්, අවන්හල්, කැරොකේ බාර්, රාත්‍රී සමාජශාලා ෂිබූයා වල ලක්‍ෂන​.


ෂින්ජුකු


ෂිබූයා වලට යාබදව ඇති ෂින්ජුකු ප්‍රදේශය ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථාන වලට​. තෝකියෝ නගරයේ වැඩිම උස ගොඩනැගිලි තියෙන්නේ ෂින්ජුකු වල​. ජපානයේ ව්‍යාපාරික දැවැන්තයන් සියල්ලම පාහේ තමාගේ මූලස්ථාන පිහිටුවාගෙන තියෙන්නේ ෂින්ජුකු වල​. ඒ වගේම ලෝකයේ දෙවැනියට විශාල දුම්රියපොළ තියෙන්නෙත් ෂින්ජුකු වල​. ජපානයේ විශාලම රතු එළි දිස්ත්‍රික්කය වන කබුකිචෝ තියෙන්නෙත් ෂින්ජුකු වලමයි.  තෝකියෝ නගර ශාලාව පිහිටලා තියෙන්නෙත් ෂින්ජුකු වල. ලෝක ප්‍රසිද්ධ තෝකියෝ මැරතන් තරගය පටන් ගන්නේ තෝකියෝ නගර ශාලාව ඉදිරිපිටින්.


ගින්සා


තෝකියෝ නගරයේ "පොෂ්" ප්‍රදේශය තමයි ගින්සා. ගින්සා කියන්නේ චූඕ විශේෂ නගරයේ කොටසක්. මුළු මහත් ජපානයේම ඉඩම් මිල අධිකම ගින්සා වල​. ගින්සා ප්‍රසිද්ධ මිල අධික සුපිරි සාප්පු සංකීර්ණ වලට​. ඒ වගේම තෝකියෝ නගරයේ විශාලම නාට්‍ය ශාලාව වන කබුකිසා නාට්‍ය ශාලාව​, කලාගාර​, අවන්හල් සහ මිල අධික සමාජ ශාලා වලට ගින්සා ප්‍රසිද්ධයි. ගින්සා වල වටපිටාව තෝකියෝ නගරයේ සමහර ප්‍රදේශ තරම් කලබලකාරී නෑ. සාමකාමී සහ "ක්ලාසි" ගතියක් ඔබට ගින්සා වලදී අත්දකින්න පුළුවන්.


අකිහබරා


අකිහබරා කියන්නේ චියෝදා විශේෂ නගරයේ කොටසක්. අකිහබරා ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වලට​. කැමරා, ජංගම දුරකථන​, පරිගණක උපකරන, රූපවාහිණී වගේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගන්න ජපානයේම ඇති හොඳම තැන අකිහබරා. අකිහබරා වලට එන පාරිභෝගිකයන් ගෙන් වැඩි දෙනා "ඔතකු" ලෙස හැඳින්වෙන මංගා සහ ඇනිමේ රසිකයන් නිසා අකිහබරා වල මංගා සහ ඇනිමේ වලට අදාල සංකේත රැසක් දකින්න පුළුවන්.


අසකුසා


දෙවැනි ලෝක යුද්ධයට පෙර තිබුනු "පැරණි" ජපානය අත් විඳින්න නම් යන්න ඕන තැන අසකුසා. තයිතෝ විශේෂ නගරයේ සුමිදා ගඟ අසබඩ ඇති අසකුසා ප්‍රදේශය තෝකියෝ නගරය වසාගෙන පැතිර ගිය නවීකරණයට අහුවෙලා නෑ. මේ නිසා නවීකරණය විසින් ගිල ගත්ත 1930 ගණන් වල තෝකියෝ නගරයේ තිබුනු බොහෝ දේවල් අසකුසා වලදි අදත් දකින්න පුළුවන්. කාර්‍යබහුල ජපානය වෙනුවට අසකුසා වලදී ඔබට හමුවන්නේ කුඩා පැරණි ගොඩනැගිලි වලින් සමන්විත නිස්කලංක සාමකාමී ජපානයක්.

අසකුසා වල ඇති වැදගත්ම දේ "සෙන්සෝ-ජි" නමින් හැඳින්වෙන බෞද්ධ පන්සල​. සෙන්සෝ-ජි පන්සල තෝකියෝ නගරයේ ඇති පැරණිම සහ විශාලම පන්සලක්. මීට අමතරව තවත් බෞද්ධ පන්සල් සහ ෂින්ටෝ දේවාල රැසක් අසකුසා වල තියෙනවා.

ඊට අමතරව "සන්ජා මත්සුරි" නමින් හැඳින්වෙන මිලියන 2 ක පමණ ජන සහභාත්වයෙන් පැවැත්වෙන වාර්‍ෂික සැනකෙලියක්, "සුමිදගවා" නමින් හැඳින්වෙන වාර්‍ෂික ගිනිකෙළි සන්දර්ශනයක්, කුඩා විසිතුරු බඩු විකුණන වෙළඳසැල්, ජපානයේ පැරණිම විනෝද උයන වන "හනයෂිකි", තෝකියෝ අහස් ගස (Tokyo Sky Tree) ලෙස හැඳින්වෙන තෝකියෝ නගරයේ ඇති උසම ගොඩනැගිල්ල​, කබුකි නාට්‍ය ශාලා, "ර්යෝකන්" ලෙසින් හැඳින්වෙන පැරණි අවන්හල් අසකුසා වලදී ඔබට දකින්න පුළුවන්. ඒ වගේම අසකුසා කියන්නේ තෝකියෝ නගරයේදී ගේෂාවක් දකින්න පුළුවන් තැන් අතළොස්සෙන් එකක්​.


ෂිම්බෂි



මිනතෝ විශේෂ නගරයේ කොටසක් වන ෂිම්බෂි කියන්නේ ෂිබූයා සහ ෂින්ජුකු ප්‍රදේශ වල සේවය කරන අය වැඩ ඇරිලා කෑමට​, බීමට සහ විනෝද වීමට පැමිණෙන ප්‍රදේශයක්. ජපන් බසින් "සැලරිමෙන්" කියල හඳුන්වන මේ කාර්‍යාලීය සේවකයෝ ගොඩවදින කුඩා අවන්හල් සහ ඔවුන්ට නවාතැන් සපයන කුඩා හෝටල් විශාල ප්‍රමානයක් ෂිම්බෂි වල දකින්න පුළුවන්.


ඉකෙබුකුරෝ



තොෂිමා විශේෂ නගරයේ කොටසක් වන ඉකෙබුකුරෝ තවත් කාර්‍යබහුල සහ ජනාකීර්ණ ප්‍රදේශයක්. ව්‍යාපාරික ස්ථාන සහ සාප්පු සංකීර්ණ රැසක් ඇති ඉකෙබුකුරෝ ප්‍රදේශය හෝටල්, අවන්හල්, රාත්‍රී සමාජ ශාලා, "ෆුකුරෝ මත්සුරි" නමින් හැඳින්වෙන දැවැන්ත වාර්‍ෂික සැනකෙළියක් සහ ලෝකයේ තුන්වැනි විශාලම දුම්රියපොළ සඳහා ප්‍රසිද්ධයි. ඒ වගේම ඉකෙබුකුරෝ වලදී ඔබට අමුතු විලාසිතා වලින් සැරසී පාරේ යන තරුණ තරුණියන් දකින්න පුළුවන්. ඉකෙබුකුරෝ ප්‍රදේශය ජපානයේ විශාලම යකුසා කල්ලියක මධ්‍යස්ථානයත් වෙනවා.


උඑනෝ



තයිතෝ විශේෂ නගරයේ කොටසක් වන උඑනෝ තෝකියෝ වැසියන් විසින් හඳුන්වන්නේ "පහත් නගරය​" කියල​. ඒකට හේතු දෙකක් තියෙනවා. ඒ සුමිදා ගඟේ පහත් ඉවුර ආශ්‍රිත ප්‍රදේශය වීම සහ තෝකියෝ නගරයේ දුප්පතුන් පදිංචි ප්‍රදේශයක් වීම​. උඑනෝ ප්‍රදේශය අතීතයේ ඉඳලම සැලකුනේ දුප්පත්, අඳුරු සහ අශුභ පැත්තක් විදිහට​. මේ නිසා අදත් උඑනෝ කියන්නේ ආකර්‍ෂනීය තැනක් නෙවෙයි. දුප්පතුන් වැඩිපුර වාසය කරන උඑනෝ අපරාධ වලටත් තරමක් ප්‍රසිද්ධයි (ජපානයට සාපේක්‍ෂව​).

ඒ වුනත් තෝකියෝ ජාතික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර කීපයක් සහ ඉතා ප්‍රසිද්ධ උයනක් උඑනෝ වල පිහිටලා තියෙනවා.


යූරකුචෝ



චියෝදා විශේෂ නගරයේ කොටසක් වන යූරකුචෝ ව්‍යාපාරික දිස්ත්‍රික්කයක්. යූරකුචෝ වල ප්‍රධාන ලක්‍ෂනය තමයි දුම්රිය මාර්ග යට පාරේ හදල තියෙන ඉතා කුඩා අවන්හල්. හවසට මේ කුඩා අවන්හල් වැඩ ඇරිල ගෙදර යන ගමන් බීර බොන සැලරිමෙන් ලගෙන් පිරිල තියෙනවා.


නකමෙගුරෝ


මෙගුරෝ විශේෂ නගරයේ කොටසක් වන නකමෙගුරෝ කාර්‍යබහුල තෝකියෝවෙන් බැහැරව තියෙන නිස්කලංක ප්‍රදේශයක්. නකමෙගුරෝ හරහා ගලාගෙන යන මෙගුරෝ ගඟ නිසා මේ ප්‍රදේශය ඉතාම සුන්දරයි. මෙගුරෝ ගඟ දෙපැත්තෙන් හදල තියෙන උස ගල් බැමි සහ ඒ බැමි උඩ එක පෙළට හදල තියෙන සකුරා ගස් නිසා සකුරා මල් පිපෙන කාලය නකමෙගුරෝ තෝකියෝ නගරයේ ඇති ලස්සනම තැනක් බවට පත් කරනවා.

දෙවෙනි ලෝක යුධ සමයේදී ඇමරිකන් බෝම්බ ප්‍රහාර වලින් දැවී පිළිස්සුනු බොහෝ දෙනා ගිනි නිවා ගන්න මෙගුරෝ ගඟට පැනල තියෙනවා. නකමෙගුරෝ වලදී මෙගුරෝ ගඟ මළ සිරුරු වලින් පිරී ඉතිරී ගිය බවත්, ඔවුන් ගේ දැවෙන සිරුරු වලින් පැන නැගුනු උණුසුමෙන් ගඟේ වතුර බුබුළු දමමින් නැටූ බවත් පැරැන්නෝ කියනවා. සමහරු කියන විදිහට මේ මිය ගිය අයගේ ආත්ම තවමත් මෙගුරෝ ගඟ අවට සැරිසරනවා.


කසුමිගසෙකි



චියෝදා විශේෂ නගරයේ කොටසක් වන කසුමිගසෙකි වල තමයි ජපන් රජයට අයත් සියළුම වැදගත් ස්ථාන පිහිටලා තියෙන්නෙ. පාර්ලිමේන්තුව​, අමාත්‍යාංශ​, ජාතික පොලිස් මූලස්ථානය​, පේටන්ට් කාර්‍යාලය වගේ වැදගත් ආයතන රැසක් කසුමිගසෙකි වල තියෙනවා. මේ නිසා කසුමිගසෙකි කියන එක "රජය​" කියන එකට​ පර්‍යාය පදයක් විදිහටත් භාවිතා වෙනවා. ඒ වගේම උද්ඝෝෂන සහ විරෝධතා වලටත් කසුමිගසෙකි ප්‍රසිද්ධයි (ලංකාවේ ලිප්ටන් වටරවුම වගේ).


ජිම්බෝචෝ



චියෝදා විශේෂ නගරයේ කොටසක් වන ජිම්බෝචෝ අවට තෝකියෝ නගරයේ ඇති විශ්ව විද්‍යාල රැසක් පිහිටලා තියෙනවා. මේ නිසා ජිම්බෝචෝ සැලකෙන්නේ උගතුන් ඉන්න ප්‍රදේශයක් විදිහට​. පොත් සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගන්න තෝකියෝවේ හොඳම තැන ජිම්බෝචෝ. ඒ වගේම පාර අයිනේ ඇති කුඩා අවන්හල් වලටත් ජිම්බෝචෝ ප්‍රසිද්ධයි.


ෆුකගාවා



කෝතෝ විශේෂ නගරයේ කොටසක් වන ෆුකගාවා තවත් නිස්කලංක ප්‍රදේශයක්. තෝකියෝ නගරයේ නවීකරණයට මේ ප්‍රදේශය අහු වෙලා නෑ. වාර්‍ෂිකව පැවැත්වෙන එකිනෙකාට වතුර ගහ ගන්න උත්සවයක් සඳහා ෆුකගාවා ප්‍රසිද්ධයි. ඒ වගේම ජපන් ඉතිහාසයේ සිටි විශිෂ්ඨම කවියා ලෙස සැලකෙන මත්සුවෝ බාෂෝ කලක් ෆුකගාවා හි පදිංචි වෙලා තියෙනවා.


කගුරසකා



කාර්‍යබහුල ෂින්ජුකු විශේෂ නගරයේ කොණක පිහිටලා තියෙන කුඩා සහ නිස්කලංක ප්‍රදේශයක් වන කගුරසකා ප්‍රසිද්ධ ජපන් කෑම වලට​. සාම්‍ප්‍රදායික ජපන් අවන්හල් රැසක් කගුරසක වල දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රංශ අවන් හල් සහ ගේෂාවන්ටත් කගුරසකා ප්‍රසිද්ධයි.


ත්සුකිජි



චූඕ විශේෂ නගරයේ මුහුද අද්දර පිහිටි ත්සුකිජි වල ලෝකයේ විශාලම මාළු වෙළඳසැල පිහිටලා තිබුනා. 2018 ඔක්තෝබර් මාසයේ ඉඳලා මේ මාළු වෙළඳසැල අසල්වැසි කෝතෝ විශේෂ නගරයේ තොයෝසු වලට ගෙනිහිල්ලා තියෙනවා. මේ වෙළඳසැල 1935 දී ඉඳිකෙරුනු එකක්. පැරණි ජපානයේ වෙළඳසැල් වල තියෙන ලක්‍ෂන සියල්ලම මේ වෙළඳසැලේත් දකින්න පුළුවන් වුනා.


තොයෝසු



කෝතෝ විශේෂ නගරයේ පිහිටා ඇති තොයෝසු වල තමයි තෝකියෝ නගරයේ අළුත් මාළු සහ මුහුදු කෑම වෙළඳසැල පිහිටලා තියෙන්නේ. මේ වෙළඳසැල ලෝකයේ විශාලම මාළු වෙළඳසැල වගේම ලෝකයේ විශාලම වෙළඳසැල් කීපයෙන් එකක්. 2018 දී ඉඳි කෙරුණු නවීන වෙළඳසැලක් වන මෙය ත්සුකිජි මාළු වෙළඳසැලට වඩා ගොඩක් වෙනස්.