Friday, November 3, 2017

පොළොන්නරු සමයේ කාලිංග බලපෑම​



පොළොන්නරු යුගයේ තමයි අපේ ඉතිහාසයේ මුල්ම (සහ එකම​) වරට කාලිංග බලපෑම ඇති වෙන්නෙ. මේ බලපෑම නිසා තමයි රජරට ශිෂ්ඨාචාරයේ විනාශයත් ඇති වෙන්නෙ. මේක අපේ ඉතිහාසයේ වැදගත්ම කාල පරිච්ඡේසයක්. අපේ ඉතිහාසයේ ගමන එහෙම්පිටින්ම උඩු-යටිකුරු කරපු හැරවුම් ලක්‍ෂයක්.

පසුබිම​


1017 දි අනුරාධපුරයේ රජකරන්නෙ පස්වන මිහිඳු රජතුමා. මේ කාලයේදී ලංකාවට චෝල (සොළී) ආක්‍රමනයක් එල්ල වෙනවා. මේ ආක්‍රමනයෙන් ඔවුන් රජරට ප්‍රදේශය අල්ලගෙන චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට පාලනය කරනවා.

මේ කාලයේදී කාලිංග රටේ බලය තියෙන්නෙ "ගංගා" කියල රාජ වංශයකට​. ඔවුන් හින්දු ආගම ඇදහූ ඔඩියා භාෂාව කතා කළ පිරිසක්. ඔවුන් චෝල අධිරාජ්‍යයේ යටත් රාජ්‍යයක් (Vassal State) විදිහට තමයි කාලිංග රට පාලනය කළේ.

මේ කාලයේ චෝල අධිරාජ්‍යය කියන්නෙ මුළු දකුණු ආසියානු කලාපයේම තමාගේ අනසක පැතිරවූ කලාපීය සුපිරි බලවතෙක්.

චෝල අධිරාජ්‍යය


ලංකාව නිදහස් වීම​


මේ කාලයේදී රුහුණු රටේ හිටපු කීර්ති කියල කුමාරයෙක් සේනා සංවිධානය කරල සොළීන්ට එරෙහිව සටන් කරලා රජරට බලය අල්ල ගන්නවා. ඒ 1056 දි. ඔහු තමාගේ අගනුවර විදිහට තෝර ගන්නෙ පැරණි සිංහල අගනුවර වුන අනුරාධපුරය නෙවෙයි - සොළීන් අගනුවර විදිහට පාවිච්චි කළ පොළොන්නරුව​.

ඔහු රජවුනාට පස්සෙ හැඳින්වෙන්නේ පළවන විජයබාහු නමින්.

පළවන විජයබාහු රජතුමාට ජයබාහු නම් සහෝදරයෙක් සහ මිත්තා නමින් සහෝදරියක් ඉන්නවා. මිත්තා කුමරිය විවාහ කරගන්නේ පාණ්.ඩ්‍යය රටෙන් එන දෙමළ කුමාරයෙක්. විජයබාහු රජතුමා තමාගේ මෙහෙසිය විදිහට තෝරා ගන්නේ කාලිංග රටේ තිලෝකසුන්දරී නම් කුමාරියක්.

මේ විදිහට චෝල අධිරාජ්‍යයේ යටත් රාජ්‍යයන් එක්ක විවාහ සබඳතා ඇති කර ගත්තෙ චෝල අධිරාජ්‍යයට එරෙහිව සටනක් ඇති වුනොත් උදව් ලබාගන්න කියල හිතන්න පුළුවන්.


 විජයබාහු රජතුමාගෙන් පස්සෙ රජ වෙන්නෙ ඔහුගේ සොයොහුරු සහ යුවරජු වුන ජයබාහු කුමාරයා. ඒ පළවන ජයබාහු නමින්. ජයබාහු රජතුමා වසරකට පසු මිය යනවා. ඊට පස්සෙ විජයබාහු රජතුමාගේ සහ තිලෝකසුන්දරී දේවියගේ පුතා පළවන වික්‍රමබාහු නමින් රජ වෙනවා.

මේ කුමරාගේ මව කාලිංග වීම නිසා ලංකාවේ දේශපාලනයට කාලිංග බලපෑම ඇති වීම මෙතැනින් පටන් ගන්නවා.

 

කාලිංග - සිංහල ආරවුල්


මෙතැනදි සිංහල රාජ සභාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් පළමුවන වික්‍රමබාහු රජතුමා ප්‍රධාන කාලිංග පක්‍ෂය​. අනෙක මිත්තා කුමරිය සහ ඔහුගේ පාණ්.ඩ්‍යය සැමියා ප්‍රධාන සිංහල/පාණ්.ඩ්‍යය පක්‍ෂය​.

මේ දෙවැනි පක්‍ෂය ඔවුන් ගේ පාණ්.ඩ්‍යය මූලය නිසා පාණ්.ඩ්‍යය පක්‍ෂය කියල හැඳින්වුනත්, ඔවුන් ගේ පාණ්.ඩ්‍යය බලපෑම එතැනට පමනක් සීමා වන නිසා සිංහල පක්‍ෂය කියල හැඳින්වීම වඩා සුදුසුයි.


 පළමුවන වික්‍රමබාහු රජතුමා තම මෙහෙසිය විදිහට තෝර ගන්නෙ නැවතත් කාලිංග රටේ කුමරියක්. ඒ සුන්දර දේවි කුමරිය​. එතැනින් කාලිංග පක්‍ෂයේ කාලිංග සබඳකම් තවත් තහවුරු වෙනවා.

සිංහල පක්‍ෂය සමන්විත වෙන්නෙ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනාගෙන්. ඒ මාණාභරන​, ශ්‍රී වල්ලභ සහ කිත්ති ශ්‍රී මේඝ​.

මේ දෙපක්‍ෂය අතර සාමය ඇති කිරීම සඳහා යම්කිසි බලය බෙදා ගැනීමේ ක්‍රමයක් උපයෝගී කර ගන්නවා. එහිදී කාලිංග පක්‍ෂයට රජරට සිහසුන හිමි වෙන අතර සිංහල පක්‍ෂයට ප්‍රාන්ත පාලක තනතුරු හිමි වෙනවා. මාණාභරන කුමාරයාට දක්ඛින දේශයත් (වර්තමාන කුරුණෑගල ප්‍රදේශය ප්‍රධාන කොටගත් බටහිර ලංකාව) ශ්‍රී වල්ලභ සහ කිත්ති ශ්‍රී මේඝ කුමාර වරුන්ට රුහුණත් හිමි වෙන්නේ ඒ අනුව​.

මේ සාමය වඩාත් තහවුරු කිරීම පිණිස මාණාභරන කුමාරයා විවාහ වෙන්නේ කාලිංග පක්‍ෂයේ කුමරියක් වන රත්නාවලී සමඟ​. ඇය පළමුවන විජයබාහු රජු ගේ දියණියක්. ශ්‍රී වල්ලභ කුමාරයා සිංහල කුමරියක් වන සුගාලා සමඟ විවාහ වෙනවා.

මාණාභරන කුමාරයාට පරාක්‍රමබාහු නමින් පුතෙක් සහ මිත්තා, පභාවතී, භද්දාවතී සහ තවත් නම සඳහන් නොවන කුමරියක් ඇතුළු දියණියන් හතර දෙනෙක් ඉන්නවා.

ශ්‍රී වල්ලභ කුමාරයාට මාණාභරන නමින් පුතෙක් සහ ලීලාවතී නම් දියණියක් ඉන්නවා.

පරාක්‍රමබාහු කුමාරයා කුඩා කාලයේදීම පියා වන මාණාභරන කුමාරයා මිය යනවා. එතැන් සිට දක්ඛින දේශයේ පාලනය හිමි වෙන්නෙ කිත්ති ශ්‍රී මේඝ කුමාරයාට​. පරාක්‍රමබාහු කුමරා හැදෙන්නෙ රුහුණු රටේ ශ්‍රී වල්ලභ කුමරු යටතේ.

මෙතැනදී රත්නාවලී කුමරිය ගේ විරුද්ධතාවය මැද ඇගේ දියණියන් දෙදෙනා වන මිත්තා සහ පභාවතී ශ්‍රී වල්ලභ කුමාරයාගේ පුතා වන මාණාභරන කුමරුට විවාහ කර දෙනවා. ඒ සැලසුම සුගාලා කුමරියගේ. ඇය සැලසුම් කරන්නෙ තම පුතාට රජරට සිහසුන අත් කර දෙන්න​. ඊට අවශ්‍යය සිංහල පක්‍ෂයේ බලය ලබා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ විවාහය සිද්ධ වෙන්නෙ.

නමුත් රත්නාවලී කුමරියට අවශ්‍යය වෙන්නෙ තම පුතා වන පරාක්‍රමබාහුට රජරට සිහසුන අත් කර දෙන්නෙ. ඒ නිසා ඇය තමාගේ කාලිංග සබඳකම් වඩාත් තර කර ගන්නවා. ඒ අනුව ඇගේ අනෙක් දියණිය වන භද්දාවතී වික්‍රමබාහු රජු ගේ පුතා වන ගජබාහු කුමාරයාටත්, නම සඳහන් නොවන දියණිය කාලිංග රටේ රජ කුමරෙක්ටත් විවාහ කරල දෙනවා.


පරාක්‍රමබාහු කුමරු රජ වීම​


පරාක්‍රමබාහු කුමාරයා විවාහ වෙන්නෙ මාණාභරන කුමරු ගෙ සොයුරිය වන ලීලාවතී කුමරියත් එක්ක​. ඒ මගින් ඔහුට විවාහ සබඳතා ඔස්සේ සිංහල - කාලිංග දෙපක්‍ෂයටම සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා.

මේ කාලයේදී පරාක්‍රමබාහු - මාණාභරන කුමරයන් දෙදෙනා අතර ඇති වෙන ආරවුල් නිසා පරාක්‍රමබාහු කුමාරයා නැවතත් දක්ඛින දේශයට එනවා. ඔහු එතැන් සිට වෙසෙන්නෙ කිත්ති ශ්‍රී මේඝ කුමරු යටතේ.

කිත්ති ශ්‍රී මේඝ කුමාරයගෙ මරණයෙන් පස්සෙ පරාක්‍රමබාහු කුමාරයා දක්ඛින දේශයේ පාලකයා වෙනවා.

මේ වනවිට රජරට රජු වෙන්නෙ පළවන වික්‍රමබාහු කුමාරයාගේ පුතා වන දෙවන ගජබාහු.

මෙතැනදී ගජබාහු රජතුමා - පරාක්‍රමබාහු කුමාරයා - මාණාභරන කුමාරයා අතර තුන්කොන් සිවිල් යුද්ධයක් ඇති වෙනවා. මේ සිවිල් යුද්ධයෙන් ජයග්‍රාහකයා වෙන්නෙ පරාක්‍රමබාහු කුමාරයා. ඔහු පළවන පරාක්‍රමබාහු නමින් රජරට රජ වෙනවා. ගජබාහු රජතුමා සිහසුන අතහැරලා කන්තලේ ට යනවා. එහිදී ඔහු මිය යනවා. මානාභරන කුමාරයා රුහුනේ දී මිය යනවා.

පළවන පරාක්‍රමබාහු රජ වෙන්නෙ 1153 දී. කාලිංග පක්‍ෂයට හිමි වුන සිහසුන සිංහල පක්‍ෂයට ලැබෙනවා.


පරාක්‍රමබාහු රජසමයේදී ලංකාව යුධමය අතින් ඉතා ප්‍රභල රාජ්‍යයක් වෙනවා. ලංකාවෙ හමුදාව පාණ්.ඩ්‍යය රටේ සිවිල් යුද්ධයකට මැදිහත් වෙනවා. එහිදී චෝල අධිරාජ්‍යයත් එක්ක සටන් කීපයක්ම ඇති වෙනවා. එම සටන් වලින් චෝල හමුදා ලබන පරාජය චෝල අධිරාජ්‍යයේ බිඳ වැටීමටත් එක හේතුවක් කියල සැලකෙනවා.

පරාක්‍රමබාහු රජුගෙන් පසු සමය


පරාක්‍රමබාහු රජතුමාට පුතුන් නෑ. එම නිසා ඔහුගෙන් පස්සෙ රජකම ලැබෙන්නෙ කාලිංග කුමරෙක් ට විවාහ කර දුන් ඔහුගේ සොයුරිය ගේ පුතාට​. ඔහු කාලිංග රටේ ඉඳන් ඇවිත් දෙවන විජයබාහු නමින් රජවෙනවා. සිහසුන නැවතත් කාලිංග පක්‍ෂයට ලැබෙනවා.

දෙවන විජයබාහු රජතුමා එක්ක කාලිංග රාජ වාංශික කුමාරවරු ගණනාවක් ලංකාවට එනවා. ඔහුගේ යුවරජු වෙන්නෙ කීර්ති නිශ්ශංක කියල කුමාරයෙක්.

විජයබාහු රජතුමා එක්ක පැමිණෙන තවත් කාලිංග කුමාරයෙක් ඔහු මරා රාජ්‍යය පැහැරගෙන හයවන මිහිඳු නමින් රජ වෙනවා. නමුත් දින පහකට පස්සෙ කීර්ති නිශ්ශංක කුමාරයා ඔහු මරලා නිශ්ශංකමල්ල නමින් රජවෙනවා.

නිශ්ශංකමල්ල රජුට දෙවන විජයබාහු රජුට වගේ ලංකාවේ රජ පවුල සමඟ කෙලින්ම සබඳකමක් නෑ. ඒ නිසා ඔහුගේ රජකමට නොයෙක් විරෝධතා එල්ල වෙනවා. මේ හේතුව නිසා ඔහු බදු අඩු කිරීම​, වෙහෙර විහාර කරවීම වැනි කටයුතු රැසක් කරලා තියෙනවා.

නිශ්ශංකමල්ල රජතුමාගේ බිසෝවරු දෙදෙනාම (කල්‍යානවතී සහ සුභද්‍රාදේවි) කාලිංග කුමාරිකාවන්.

නිශ්ශංකමල්ල රජතුමා අවුරුදු 9ක් රාජ්‍යය කිරීමෙන් පසු 1187 දී මිය යනවා.

ඊට පස්සෙ රජ වෙන්නෙ ඔහුගේ පුතා වන පළවන වීරබාහු.



සිහසුන සඳහා ඇතිවූ අවුල් වියවුල්


මෙතැනදී ප්‍රභල හමුදා සෙනවියන් කීපදෙනෙක් දේශපාලනයට මැදිහත් වෙනවා. පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රභල හමුදාවේ සේවය කළ නිසා මොවුන්ට විශාල බලයක් හිමිවුනා කියල හිතන්න පුළුවන්.

පළවෙනි වීරබාහු කුමාරයා රජවෙලා පහුවෙනිදා ම තාවුරු සෙනෙවිරත් කියන සෙනවියා ගේ කුමන්ත්‍රනයකින් මරණයට පත් කෙරෙනවා. ඊට පස්සෙ රජ වෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමා ගේ සහෝදරයා වුන දෙවෙනි වික්‍රමබාහු.

මාස තුනකට පස්සෙ කාලිංග රටේ ඉඳල එන නිශ්ශංකමල්ල රජු ගේ සොහොයුරියගේ පුතා වන චොඩගංගා වික්‍රමබාහු රජු මරලා රජ වෙනවා.

මාස නවයකින් පස්සෙ කිත්ති නම් තවත් සෙනෙවියෙක් මෙහෙයවන කුමන්‍ත්‍රනයකින් චොඩගංගා මරණයට පත් කෙරෙනවා. කිත්ති විසින් රජකම පරාක්‍රමබාහු රජු ගේ මෙහෙසිය වුන ලීලාවතී ට භාර දෙනවා. නැවතත් සිංහල පක්‍ෂයට සිහසුන ලැබෙනවා.

වසර තුනකට පස්සෙ නිශ්ශංකමල්ල රජු ගේ තවත් සොහොයුරෙක් වන සහස්සමල්ල කාලිංග රටේ ඉඳන් ඇවිත් රජකම පැහැර ගන්නවා.

වසර දෙකකට පස්සෙ අයස්මන්ත නම් සෙනෙවියෙක් සහස්සමල්ල රජු මරලා රජකම නිශ්ශංකමල්ල රජුගේ මෙහෙසියක් වන කල්‍යානවතීට භාර දෙනවා.

කල්‍යානවතී රැජිණ වසර 6 ක් රාජ්‍යය කරනවා. 1208 දී අයස්මන්ත සෙනෙවියා ඇය බලයෙන් පහ කරලා ධර්මාශෝක කියල තුන් මසක් වයස ළදරුවෙක් සිංහාසනයේ රඳවනවා. වසරකට පස්සෙ ධර්මාශෝක වෙනුවට අනිකාංග කියල කෙනෙක් සිහසුනේ රඳවන්න අයස්මන්ත සෙනෙවියා කටයුතු කරනවා. ධර්මාශෝක සහ අනිකාංග කවුද කියන එක පැහැදිලි නෑ. ඔවුන් කාලිංග පක්‍ෂයේ අය කියල හිතන්න පුළුවන්. සමහර තැනෙක අනිකාංග දෙමළ ආක්‍රමනිකයෙක් කියල සඳහන් වෙනවා.

අනිකාංග සිහසුනේ ඉන්නෙ දවස් 17 යි. වික්කන්තචමුනක්ක කියල සෙනෙවියෙක් ඔහු මරලා ලීලාවතී රැජිණට නැවතත් සිහසුන ලබා දෙනවා

වසරකට පස්සෙ ලෝකිස්සර කියල දෙමළ ආක්‍රමනිකයෙක් ලීලාවතී රැජිණ බලයෙන් පහ කරල සිහසුන පැහැර ගන්නවා.

මාස නවයකට පස්සෙ පරාක්‍රම නම් සෙනෙවියෙක් ලෝකිස්සර පළවා හැරලා ලීලාවතී රැජිණ තුන්වෙනි වරටත් සිහසුනේ තබනවා.

ලීලාවතී රැජිණට සිහසුන දරන්න පුළුවන් වෙන්නෙ මාස 7 යි. පාණ්.ඩ්‍යය රටේ ඉඳල එන පරාක්‍රම පාණ්.ඩ්‍යය සිහසුන පැහැරගන්නවා.

මේ අවසාන කාලයේ ඇති වෙන දෙමළ ආක්‍රමන දෙක (හෝ තුන​) ට හේතුව ලංකාවේ රාජ්‍යය අස්ථාවර වීම කියල හිතන්න පුළුවන්. මේ කාලය චෝල අධිරාජ්‍යයේ බලය ක්‍රමයෙන් බිඳ වැටෙමින් පාණ්.ඩ්‍යය රාජවංශය නැවත බලය තහවුරු කරගත් කාලය​. පාණ්.ඩ්‍යය කුමාරවරු ලංකාවේ දුර්වල රාජ්‍යය පහසු ගොදුරක් විදිහට දකින්න ඇති.

පරාක්‍රම පාණ්.ඩ්‍යය අවුරුදු තුනක් රාජ්‍යය කරනවා.

1215 දී ලංකාවට මෙතෙක් නොවූ විරූ තර්ජනයක් එල්ල වෙනවා. ඒ මාඝ නම් ගංගා වාංශික කාලිංග කුමාරයා ගෙන්. ඔහු නිශ්ශංකමල්ල රජුට නෑකම් තිබ්බ කුමාරයෙක් කියල හිතන්න පුළුවන්. ඔහු ලංකාවට එන්න ඇත්තෙ ඒ උරුමය මත​.

ඔහුගේ හමුදාව දැවැන්ත කුලී හමුදාවක්. ඒකෙ බහුතරය සමන්විත වෙන්නෙ මලයාලම් සෙබළුන් ගෙන්. සමහරවිට පළිගැනීමක් වශයෙන් චෝල රජතුමා මාඝට හමුදාවක් ලබා දෙන්න ඇති.

1215 දී මාඝ පරාක්‍රම පාණ්.ඩ්‍යය රජු මරලා රජරට අල්ල ගන්නවා. නමුත් මේ ආක්‍රමනය කලින් ආක්‍රමන වලට වඩා වෙනස්. මාඝ ගේ හමුදාව රජරට සම්පූර්නයෙන්ම විනාශ කරනවා. රජරට ජනගහණයෙන් කොටසක් මිය යනවා. කොටසක් රුහුණට සහ දක්ඛින දේශයට පලා යනවා. රජරට ඉතුරු වෙන්නෙ තැන තැන තියෙන කුඩා ගම්මාන කීපයක් පමණයි.

මාඝ තමාගේ අගනුවර විදිහට තෝර ගන්නෙ යාපනය​. ඒ රජරට මනුෂ්‍යය වාසයට නුසුදුසු තත්වයේ තිබුනු නිසා.

මේ තමයි රජරට ශිෂ්ඨාචාරයේ අවසානය​.




4 comments:

  1. අපේ ගොබ්බ හැත්ත ඒ කාලේ ඉඳලම බලයට කෑදරකමේ දඟලලා රටම විනාස කරගත්තු ජාතියක්...
    කාළිංග මාඝ ගේ ආක්‍රමණය සහ උන් කරපු විනාශය අනුව මට හිතෙන්නේ, එය ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගෙන ඉන්න අරමුණට වඩා රට විනාශ කිරීමේ අරමුණින් කරපු එකක් කියලා...

    සින්ඩි වලට බ්ලොග් එක එකතු කරලා නැද්ද...

    ReplyDelete
  2. මේක වැරදීනෙ....2 ගජබා සටනෙදි මැරෙන්නෙ නෑ....සංගමු විහාර සෙල්ලිපිය මගින් ඒක තහවුරු වෙනවා....

    ReplyDelete