Friday, June 16, 2017

කොටියා, ව්‍යාඝ්‍රයා සහ දිවියා


මේ පින්තූර දෙකේ ඉන්නෙ අපි කවුරුත් හොඳට දන්න සත්තු දෙන්නෙක්.

පළවෙනි පින්තූරෙ ඉන්න සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Tiger". විද්‍යාත්මක නාමය "Panthera tigris". මේ සතා ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් කීපයක් ජීවත් වුනත් ලංකාවෙ කැලෑවල නෑ.



දෙවෙනි පින්තූරෙ ඉන්න සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Leopard". විද්‍යාත්මක නාමය "Panthera pardus". මේ සතා අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක ජීවත් වෙනවා, ලංකාවත් ඇතුළුව​.



මේ සත්තු දෙන්නට සිංහලෙන් කියන්නෙ මොනවද​? මේ ගැන ලොකු පටලැවිල්ලක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ ගැන මත දෙකක් තියෙනවා.

පළවෙනි මතය අනුව "Tiger" ගෙ සිංහල නම් විදිහට ව්‍යාඝ්‍රයා සහ කොටියා යන නම් දෙකම භාවිතා වෙනවා. "Leopard" ගෙ සිංහල නම දිවියා.

දෙවෙනි මතයට අනුව "Tiger" ගෙ සිංහල නම ව්‍යාඝ්‍රයා. "Leopard" ගෙ සිංහල නම කොටියා.

මම හිතන විදිහට පළවෙනි මතය මුලිනුපුටා දාන්න ඕන වැරදි ව්‍යවහාරයක්. "Leopard" ගෙ සිංහල නම කොටියා මිස දිවියා නෙවෙයි. අපි අනාදිමත් කාලයක ඉඳලා "Leopard" ට කිව්වෙ කොටියා කියල​. දිවියා කියල හැඳින්වුනේ අඳුන් දිවියා සහ කොළ දිවියා කියන ප්‍රමානයෙන් කුඩා කැලෑ බළල්ලු දෙන්නට​.

අඳුන් දිවියා
කොළ දිවියා

මම එහෙම කියන්නෙ මේ හේතු මත පදනම් වෙලා:

1. කොටියා කියන්නෙ අපේ දේශීය වචනයක්. ඒක විදේශීය භාෂාවකින් බිඳිල ආපු එකක් නෙවෙයි. ඒ වගේ දේශීය වචනයක් ලංකාවෙ නැති සතෙක් හඳුන්වන්න පාවිච්චි කරයි කියල හිතන්න බෑ.
අනිත් අතට ව්‍යාඝ්‍රයා කියන්නෙ ඉන්දියානු භාෂා වලින් ආපු වචනයක්. ඉන්දියාවෙ ජීවත් වෙන සතෙක් නිසා ඒක ස්වාභාවිකයි.

2. "කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ" කියල සිංහල ප්‍රස්ථාව පිරුළක් තියෙනවා. ඒකෙ හැටියට කොටියා කියෙන්නෙ පුල්ලි තියෙන සතෙක්. ඉරි තියෙන සතෙක් නෙවෙයි.

3. අර කලින් ප්‍රස්ථාව පිරුළ සහ "කොටි වලිගය අල්ලගත්ත වගේ" වගේ යෙදුම් කීපයක්ම සිංහල භාෂාවේ කොටියා ගැන තියෙනවා. සිංහල ජන කතා වල කොටියො ගැන කීප සැරයක්ම කියැවෙනවා. ලංකාවෙ නැති සතෙක් ගැන ඒ වගේ ජන ශ්‍රැතියක් හැදෙයි කියල හිතන්න අමාරුයි.

4. කොටියාකුඹුර වගේ ස්ථාන නාම කීපයක්ම කොටියගෙ නමින් තියෙනවා. ආයෙත්, ලංකාවෙ නැති සතෙක් ගෙ නමෙන් ඒ වගේ හැදෙයි කියල හිතන්න අමාරුයි.

5. ලංකාවෙ ඉන්නෙ උප විශේෂයේ විද්‍යාත්මක නාමය "Panthera pardus kotiya". මේක දාල තියෙන්නෙ පී.ඊ.පී. දැරණියගල මහත්තය 1956 දි. Tiger ගෙ නමින් ලංකාවෙ Leopard නම් කරන්න ඒ මහත්තයට පිස්සුවක් තිබ්බ කියල හිතන්න අමාරුයි.

මම හිතන විදිහට මේ වැරදි ව්‍යවහාරය එන්න ඇත්තෙ LTTE සංවිධානය නිසා. ඒ සංවිධානය තමාගෙ ලාංඡනය විදිහට පාවිච්චි කරේ ව්‍යාඝ්‍රයෙක්. මොකක් හරි හේතුවකට කවුරු හරි කෙනෙක් Liberation Tigers of Tamil Elam කියන එක දෙමළ ඊළාම් විමුක්ති කොටි කියල වැරදියට පරිවර්තනය කරා. ඊට පස්සෙ ඒක නිතර කියැවෙන යෙදුමක් නිසා ඒක මිනිස්සු අතර ස්ථාපනය වුනා කියල මම හිතනවා.

දැන්වත් මේ වැරදි ව්‍යවහාරය නවත්තමු. අපේ සතාට කොටියා කියමු.

5 comments:

  1. Tiger කියන්නේ ව්‍යාඝ්‍රයා. LTTE එකේ ලාංජනේ හිටපු ව්‍යාඝ්‍රයාව දැකපු අපේ මීඩියා කාරයෝ වෙන්න ඕනේ ඒ සංවිධානයට කොටි සංවිධානය කියල නම දාන්න ඇත්තේ. ඒකට කොටි සංවිධානය කියල නම දාපු එක තමයි අපේ කොටි හපුවට වෙච්ච ලොකුම අසාධාරණේ...

    ReplyDelete
  2. හොඳ පැහැදිලි කිරීමක්.
    ස්තුතියි

    ReplyDelete
  3. දිවියාගල වගේ නම් හැදුනේ ලෙපඩ් නිසා. අර ලූල් කඳුරේ උඩ ගල තියෙන්නේ නම දිවියාගල, දෙල්තොට ටවුමේ උන් කියනවා දිවියා බුදියන් ඉන්නවා පේනවා කියලා. ඌ ලෙපඩ් කෙනෙක්.

    ReplyDelete
  4. පුල්ලි තියෙන එකා දිවියා මිස කොටියා නොවේ කියන්නේ උන් හැමෝටම කොටියා = ටයිගර් කියා උගන්වා ඇති බැවිනි. මේ පැටලුම සෙසු දැනුමට පරස්පර විරෝධිය. ලංකාවේ ඉරි සහිත ටයිගර් ලා නැත. එහෙත් කොටි සිටින බවට ඓතිහාසික මූලාශ්‍ර ඇත. ඒ අනුව කොටියා මලාට ටයිගර් විය නොහැක. එහෙත් අපේ ළදරු/ළමා වියේ (80දශකයෙ මුල) අපට දුන් රූප පොත්වල ටයිගර් යටින් කොටියා කියා ලියා ඉරි සහිත සතෙක් ගේ රුවක් ඇඳ තිබුණි. අතුරු දත්තයක් ලෙස අම්මලාගේ කාලේ පින්තුර පොතක ඉරි ගිය පිටු අතර ඌටම ව්‍යාඝ්‍රයා කියා ලියා තිබු බව මතකය. මේක මම හිතා ගත්තේ මෙහෙමය.

    - ඉරි තියෙන එකා කොටියා ය
    - පුල්ලි තියෙන එකා දිවියය
    - ටයිගර් කොටියා ය
    - ලංකාවේ ඉන්න එකා කොටියා ය (එහෙම නොවේ කියන්න බැරි තරම් ලංකාවේ ළකොටි පුරාවෘත්ත ඇත)
    - ව්‍යාඝ්‍රයා ඉන්නේ ඉන්දියාවේය

    එහෙත් මෙය හුදෙක් වැරදීමක් ඉක්මවන පැටලීමක් නිසා ලංකාවේ කොටි නැත කියන විශාල පිරිසක් බිහිවී තිබේ. මා ඉහත ලියු පේලි වල ගැටලුව ලිහන්නෙකුට කිසියම් එක තැනකින් කතාව දෙකට කඩන්නට සිදු වේ. ඔය සමහරු එය කඩන තැනයි.

    මේ පැටලුම බිහි වන්නේ ආසියානු ලොකු බිළාලයින් ගැන අවබෝධයක් නැති යුරෝපින් නිසා කියා සැක කළෙමි, එයට මනා සහයෝගයක් සපයන රොබට් නොක්ස් ලංකාවේ ටයිගරයින් වෙසෙන බව පවසයි. ඉතාම පැහැදිලි ලෙස මේ අවුල ඉංග්‍රීසි සිංහල පරිවර්තන අවුලකි.

    මේ තුලින් අපි දකින්නේ යුරෝපිය අවබෝධ කිරීම් තුල අප නිර්මාණය කරන පැටලුම් වල දිග පළලයි.

    කෙසේ නමුත් ලෙපර්ඩ් ට කොටියා ට අමතරව දිවියා හෙවත් දීයා කියා කියන බවට සැහෙන ග්‍රාමීය සාක්කි හමුව තිබේ. හඳුන් දිවියා සහ කොළ දිවියා නමින් දෙදෙනෙකුත් ඉන්න නිසා දිවියා කියන වචනය අපේ දේශීය දැනුම් පද්ධතියේ වනගත බිලාල පවුලේ සර්වත්‍ර කුලකය වීමට ඉඩ තිබේ

    ඒ වගේම සමහරුන් ටයිගර්ට බෙන්ගාලි කොටියා කියන බවක් පෙනෙනවා. එහි ලොකු වරදක් මම දකින්නේ නෑ. ඒක හරියට අප්‍රිකාවේ ඉන්න චිම්පන්සියට තඩි වඳුරා කිව්ව වගේ එකක්. මිනිස්සුන්ගේ වචන භාවිතා 100% නිරවද්‍ය කරන්න බෑ. ලාංකීය දැනුම් පද්ධතියට පාලියෙන් ව්‍යාඝ්‍රයා ආවේ නැත්නම් අපි ඕකට කෝමත් කියන්නේ ඉන්දියන් ඉරි කොටියා වගේ නමක්. මේ සියල්ල ඕකේ හැබැයි ඒ මත පස්සේ දවසක ලංකාවේ කොටි නෑ කියල කියන්නේ නැතිනම්.

    ReplyDelete
  5. මටත් මෙතෙක් කල් මේ සතුතු දෙන්නගේ පටලැවිල්ලක් තිබුන නිසයි මේ ප්‍රශ්නය google කලේ.ස්තූතිය විග්‍රහයට.

    ReplyDelete