Monday, February 2, 2015

මහරජ ගැමුණු



ජයන්ත චන්.ද්‍රසිරි දුටුගැමුණු රජතුමා ගැන ෆිල්ම් එකක් කරනවා කියන ආරංචිය මුලින්ම ඇහුවම මට ගියේ මාර ආතල් එකක්.

සිංහල-බෞද්ධ ජාතියේ උප්පති කතාව, සිංහලයේ මහා වීර කාව්‍යය, ලංකාවේ සුන්දරම ආදර කතාව සාමාන්‍යයෙන් ලංකාවෙ වෙනවා වගේ ගොංපාට් කාරයෙක් ගෙ අතට ගිහිල්ල ගොංපාට් එකක් වෙනව වෙනුවට ජයන්ත චන්.ද්‍රසිරි කියන සිරාම වැඩ කාරයා අතට ගියා කියන එක නිසා ඇතිවුන ආතල් එකක් ඒක.
ඒ වෙනකොට මම කැමතිම ටෙලි නාට්‍යය ලැයිස්තුවේ එක, දෙක, තුන ස්ථාන හිමිවෙලා තිබ්බෙ ජයන්ත චන්.ද්‍රසිරි ගෙ නිර්මාන වලට (දඬුබස්නාමානය, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යයා). පොරගෙ ෆිල්ම් තුනක් කලින් බලල තිබ්බ. හැබැයි ජයන්ත චන්.ද්‍රසිරි කියන ටෙලි නාට්‍යය කාරයා තරම් ජයන්ත චන්.ද්‍රසිරි කියන චිත්‍රපටි කාරයා දක්‍ෂ බව මම දැක්කෙ නෑ. ඒ වගේම මම කැමතිම සිංහල චිත්‍රකතාව ඇඳල තියෙන්නෙත් ජයන්ත චන්.ද්‍රසිරි (මැම්බර් හාමු) - මේක ගොඩ දෙනෙක් නොදන්න දෙයක්-.

හැබැයි පස්සෙ ආරංචි වුනා ඒක කොට උඩ ගියා කියල. ඊටත් පස්සෙ මහරජ ගැමුණු පොත එළියට ආව.
පොත කියෙව්වම තමයි තේරුණෙ ජයන්ත චන්.ද්‍රසිරි කියන්නෙ පට්ටම නවකතා කාරයෙක් කියල. එතෙක් මගේ කැමැතිම නවකතා ලැයිස්තුවේ අංක එකට හිටිය සුගතපාල ද සිල්වා ගේ බල්ලො බත් කති දෙවෙනි තැනට ඇදලා දාන්න මහරජ ගැමුණුට පුළුවන් වුනා.

අද ගියා මහරජ ගැමුණු ෆිල්ම් එක බලන්න.

මුලින්ම කියන්න ඕනෙ මට චිත්‍රපට කලාව ගැන තියෙන්නෙ ඉතාමත් අල්ප දැණුමක් කියල. ඒ නිසා මේක කොහෙත්ම චිත්‍රපට විචාරයක් නෙවෙයි. ෆිල්ම් එක බලද්දි මට හිතිච්ච දේ.

ජයන්ත චන්.ද්‍රසිරි මහරජ ගැමුණු කතාවෙන් මතුකරන්න යන ප්‍රධාන දේ දුටු ගැමුණු රජතුමා ගේ අරගලයට පසුබිම් වෙන චින්තන ක්‍රමය. ඒක නම් පට්ටම සිරාවට මෙතනදි කරල තියෙනවා. දුටු ගැමුණු රජතුමා පිටුපසින් ඉන්න දැවැන්ත චරිතය වන විහාරමහා දේවිය ගේ වීරත්වය, බෞද්ධ භික්‍ෂූන් ගේ දායකත්වය සහ කාවන්තිස්ස රජතුමාගේ සූක්‍ෂම උපායශීලීත්වය සාර්ථක විදිහට මතුකරල පෙන්නනවා.

ඒ වගේම සතුරා ගැන අනවශ්‍යය ලේ කෝප කරන මට්ටමේ වෛරයක් ඇති නොකර ජාතිකාභිමානය මතු කරන්න තරම් ජයන්ත චන්.ද්‍රසිරි ශූර වෙනවා.

කැමරා වර්ක්ස් ගැන මට ලොකු දැණුමක් නැති වුනත්, එළාර රජතුමා දඩයමේ යන අවස්ථාව, මාගමට පැනල යන්න යන මිනිස්සුන් ගෙ මළ සිරුරු පාරුවත් එක්කම ගඟේ පාවෙන අවස්ථාව, හාමුදුරුවරු හමුදාවට කලින් එක පෙලට වඩින ජවනිකාව වගේ විශිෂ්ඨ සිනමාත්මක අවස්ථා කීපයක් ෆිල්ම් එකේ තියෙනවා කියල කියන්න පුළුවන්.

සාමණේර හාමුදුරුවෝ අපවත් වෙලා විහාර මහා දේවිය ගේ කුසේ පිළිසිඳින ජවනිකාවත්, අවසන් ජවනිකාවේ විහාර මහා දේවිය සහ දැවැන්ත බෝ ගස එකට මුසු වෙන සීන් එකත් පුදුම කලාත්මකයි.
එළාර රජතුමා ගේ දියණිය වීණා වයන අවස්ථා දෙකත් ඉතාමත් රසවත් විදිහට පෙන්නනවා. පුදුම සුන්දර කලාත්මක බවක්.

රඟපෑම් ගැන කිව්වොත් නම් තනි වචනයකින් "සුපිරි" කියල කියන්න පුළුවන්. එළාර රජු විදිහට ජැක්සන් සහ කාවන්තිස්ස රජු විදිහට ශ්‍රියන්ත තම සුපුරුදු දක්‍ෂතාවය පෙන්නනවා. විශේෂයෙන් ජැක්සන් ගේ රංගනය අති විශිෂ්ඨයි. ඒ වගේම විහාර මහා දේවිය විදිහට කුසුම් රේණුත් නායක හාමුදුරුවන් විදිහට බුද්ධදාසත් පට්ට. නමුත් මම කැමතිම රංගනය ඉදිරිපත් කරන්නෙ උද්දික. ගැමුණු රජතුමා කියල මම හිතේ මවාගෙන හිටපු චරිතය එහෙම්පිටින්ම තිරයේ දිගහැරෙනකොට පිස්සු හැදෙනවා.

රන් මැණිකා ගේ චරිතය රඟපාන බුද්ධිනී පූර්ණිමා සුවිශේෂී දෙයක් නොකලත් උද්දික එක්ක නියම කෙමිස්ට්‍රියක් තියාගන්න සමත් වෙනවා. ඒ නිසාම ආදර කතාව හරිම සුන් දර විදිහට අපිට පේනවා. ඒ වගේම සුළු චරිත රඟපාන නළුවන් ගෙන් නිර්මානය විචිත්‍ර කිරීමට ජයන්තට තියෙන අපූරු දක්‍ෂතාවය මෙතනත් නොඅඩුවම තියෙනවා. අර්ජුණ කමලනාත් වගේ සාමාන්‍යයෙන් සිල්ලර චරිත රඟපාන නළුවන් ගෙන් පවා උපරිමය ගන්න ජයන්තට පුළුවන් වෙලා තියෙනවා.

දැන් නෙගටිව් පොයින්ට්ස්.

මුල්ම ආඬපාලිය නවකතා වලින් ෆිල්ම් හදන්න යන හැම චිත්‍රපටි කාරයටම අහන්න වෙන එක. "පොත තරම් හොඳ නෑ". මෙතනදි ඒක ෆිල්ම් එකේ දුබලතාවයකට වඩා පොතේ ප්‍රභලතාවයක් විදිහටයි මම දකින්නෙ.
ෆිල්ම් එකේ ප්‍රධානම අඩුපාඩුව මේ වගේ වීර කාව්‍යයක් පසුබිම් කරගත්ත ෆිල්ම් එකක් හැටියට දැවැන්ත බවින් අඩු වීම. විශේෂයෙන්ම යුද්ධ ජවනිකා සහ ෆිල්ම් එකේ අනිත් කොටස් අතර පැහැදිලි කොලිටියේ වෙනසක් තියෙනවා. මේකට හේතුව තාක්‍ෂනික සහ ආර්ථික හේතු වෙන්න ඇති. හැබැයි මම දැකපු හොඳම සටන් ජවනිකා තියෙන්නෙ කුරසාවා ගේ ෂිචිනින් නෝ සමුරායි ෆිල්ම් එකේ බවත්, ඒක 1950 ගණන් වල හදපු එකක් බවත් කියන්න ඕනෙ. එළාර සහ දුටුගැමුණු අතර අවසන් සටන ඇන්ටි ක්ලයිමැක්ස් එකක්. ඒකෙන් ෆිල්ම් එකේ ඕවරෝල් වටිනාකමට ලොකු හානියක් වන බව මට හිතුනා. ගැමුණු කුමාරයා මරන්න එන ජවනිකාව නම් සිරාවටම කරල තිබ්බා.

ඊලඟට පොතේ මම කැමැතිම ජවනිකා දෙක වන මොණරාගල කන්ද උඩදි හිද්දලයට පිංගුවා සහ තාකි මුණගැසීම සහ හිද්දලයා හොයාගෙන රජවාසල පෙරහැර කොත්මලේට පැමිණීම ෆිල්ම් එකේ එච්චර සුවිශේෂී විදිහට ඇවිල්ල තිබ්බෙ නෑ. පළවෙනි එක නම් තරමක් දුර්වලයි. දෙවෙනි එකේ ලොකු අවුලක් නැතත් පොතේ තරම් ප්‍රභල විදිහට නිර්මානය වෙන්නෙ නෑ. විශේෂයෙන් ගම් වැසියන් අමතා ගැමුණු කුමාරයා කරන කතාව ෆිල්ම් එකේ නොමැති වීම ලොකු අඩුවක්.

ස්පෙෂල් ඉෆෙක්ට් දුර්වලයි. විශේෂයෙන් එළාර රජතුමා ලංකාවට නැවෙන් එන තැන. හැබැයි අපි හොලිවුඩ් ෆිල්ම් වල ස්පෙෂල් ඉෆෙක්ට් බලලා ඒවට පුරුදු වෙලා ඉන්න බවත්, ඒ මට්ටමේ ස්පෙෂල් ඉෆෙක්ට් ලංකාවේ ෆිල්ම් වලින් බලාපොරොත්තු වෙන එක අසාධාරන බවත් කියන්න ඕනෙ.

මහරජ ගැමුණු එකේ සංගීතය සපයන්න කේමදාස මාස්ටර් නැති එක ලොකු අඩුවක්. තේමා ගීතය සහ එළාර රජතුමාගේ දියණිය ගයන ගීය හැරුණු විට සංගීතයෙන් ෆිල්ම් එකට ලොකු අලංකාරයක් එක් වෙන්නෙ නෑ.
කොහොම වුනත් බය නැතුව දහයෙන් අටක් දෙන්න පුළුවන්.

මම කැමැතිම සිංහල ෆිල්ම් ලැයිස්තුවේ අංක එකට ඉන්න බඹරු ඇවිත් පරද්දන්න මහරජ ගැමුණුට පුළුවන් වෙයිද කියල කියන්න වෙන්නෙ තව සතියකින් හමාරකින් දෙවෙනි පාරට ෆිල්ම් එක බැලුවට පස්සෙ.

No comments:

Post a Comment