අපේ ජාතික වීරයන් පිළිබඳ විස්තර සමාජගත කිරීමේ අභිලාෂයෙන් ලියැවෙන ලිපියකි. ථූපවංශය ඇසුරෙනි
නන්දිමිත්‍ර
එළාර රජු යටතේ මිත්‍ර නම් සිංහල සෙනෙවියෙක් සේවය කළේය. ඔහු ගේ නැඟණිය වාසය කළේ අනුරාධපුර නගරයට නැගෙනහිරින් පිහිටි සිතුල්පව්ව ප්‍රදේශයේ කඩරොද නම් ගමේය. එම නැඟණියගේ පුතා හට මිත්‍ර සෙනෙවියාගේ නමින් "මිත්‍ර" යන නම තබන ලදී.
මිත්‍ර කුඩා දරුවා දණගානා වියේදී නිවසින් ඈතට යාම වළක්වනු පිණිස ඔහුගේ මව දරුවාගේ ඉණ වටා රැහැණක් බැඳ එය නිවසේ කුරහන් ගලට ගැට ගසා තැබුවාය. නමුත් කුඩා මිත්‍ර කුරහන් ගලත් ඇදගෙනම නිවසේ එළිපත්ත දක්වා පැමිණියේය. එළිපත්තේදී කුරහන් ගල පඩියේ පැටලී දරුවාට තව දුරටත් කුරහන් ගල ඇදගෙන යාමට නොහැකි විය. නමුත් කුඩා දරුවා වැර යොදා ඇද්ද විට ඉණවටා බැඳි රැහැණ කැඩී ගියේය. මෙසේ වරපට කැඩී ගිය නිසා ඔහු එතැන් සිට "නන්දිමිත්‍ර" යන නමින් ප්‍රසිද්ධ විය.
ඉතාමත් ශක්තිමත් තරුණයෙක් ලෙස වැඩුණු නන්දිමිත්‍ර ඇතුන් දස දෙනෙකුගේ ශක්තියෙන් යුක්ත වී යැයි කියනු ලැබේ. නන්දිමිත්‍ර තරුණයා අනුරාධපුරයට ගොස් මිත්‍ර මාමා යටතේ එළාර රජතුමාගේ හමුදාවට බැඳී සේවය කළේය.
එකල එළාර රජුගේ විදේශික හමුදා සෙබළු ථුපාරාම මළුව සහ ශ්‍රී මහා බෝධි මළුව විනාශ කරමින් හැසිරීම සිරිතක් කර ගත්හ. නන්දිමිත්‍ර තරුණයා මේ දැක බෞද්ධ සිද්ධස්ථාන රැකීම තම යුතුකමක් කොට සළකමින් මළුවේ සැඟවී සිට එසේ පැමිණන සෙබළුන් අල්ලා එක් පයක් තම දකුණු පයින් පාගා ගෙන අනෙක් පයෙන් අල්ලා දෙකට ඉරා දමා මළ සිරුරු බෝධි මළුවේ ප්‍රාකාරයෙන් එළියට විසි කළේය.
තම සෙබළුන්ට අත්වන විපත දුටු එළාර රජුගේ සෙනෙවියෝ සාහාසිකයා අල්ලා ගැනීම පිණිස මුරකාවල් යෙදුවද, නන්දිමිත්‍ර අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
මෙසේ තනිවම සටන් කොට ජයක් ලැබිය නොහැකි බව තේරුණු නන්දිමිත්‍ර තරුණයා රුහුණට පලා ගොස් කාවන්තිස්ස රජු යටතේ සේවයට පිවිසියේය.
සුරනිමල
කාවන්තිස්ස රජතුමා එළාර රජුගේ හමුදාව මහවැලි ගඟින් මෙගොඩට පැමිණීම වැලැක්වීමට ගඟ දිගට ආරක්‍ෂක රැකවල් යොදා තිබිණි. ඉන් එක් ස්ථානයක් වූ කසාතොට රැකීමට පත්කරන ලද්දේ තම පුතෙකු වූ (අග බිසව වූ විහාරමහා දේවිය ගේ පුතෙකු නොවේ) දීඝාභය කුමරුයි. දීඝාභය කුමරු කසාතොටට ගව් හතරක් නුදුරින් වූ සියළුම ගම් වලින් එක් තරුණයෙක් බැගින් රාජකාරි සඳහා කැඳවීය.
කෙළිවාරි නම් ජනපදයේ කඩවිටි ගම සංඝ හට පුතුන් හත් දෙනෙක් ඇති බව ඇසූ දීඝාභය කුමරු ඉන් එක පුතෙකු රාජ සේවයට එවන ලෙස ඔහුට දන්වා සිටියේය. සංඝ ගේ බාලම පුතා වූ "නිමල" ඉතාමත් සවි බල ඇති තරුණයෙකු වූ මුත් කිසිදු රැකියාවක් නොකළ හෙයින් වැඩිමල් සෝයුරෝ රාජ සේවය සඳහා ඔහුව යවන ලෙස පියා කැමැති කරවා ගත්හ.
නිමල තරුණයාද හිමිදිරියේම කඩවිට ගමෙන් පිටත් වී හිරු නැගෙන විට වන විට දොළොස්ගව්වක් දුරින් පිහිටි කසාතොට ට පැමිණියේය. එතරම් දුරක් එතරම් කෙටි කලකින් පැමිණීම පිළිබඳ විශ්මයට පත් දීඝාභය කුමරු, තරුණයා පරීක්‍ෂා කිරීමට සිතා මිහින්තලය සමීපයේ පිහිටි ද්වාරමණ්ඩල නම් ගමේ වාසය කළ තම මිතුරු බමුණෙකු ට ඔහු අත හසුන් පතක් යැවීය. කසාතොටින් උදෑසන බත කා පිටත් වූ නිමල, ගව් තිස් හයක් දුර ගෙවා දහවල් වනවිට ද්වාරමණ්ඩලයට පැමිණියේය.
මේ පුවත් ඇසූ මිතුරු බමුණා විශ්මයට පත්වී දහවල් බත කෑමට තිසා වැවට ගොස් ස්නානය කොට පැමිණෙන ලෙස තරුණයාගෙන් ඉල්ලා සිටියේය. අනුරාධපුරයට ගොස් නිමල තිසා වැවෙන් දිය නා, ශ්‍රී මහා බෝධියට මල් පුදා ථූපාරාමයද වැඳගෙන දහවල් බතට නැවත මිහින්තලයට පැමිණියේය. බමුණා තරුණයා ගේ දස්කමින් විස්මයට පත්ව ඔහු කාවන්තිස්ස රජු යටතේ සේවයට යවන මෙන් දීඝාභය කුමරුට දන්වා සිටියේය.
දීඝාභය කුමරු නිමල තරුණයාට තෑගි බෝග දී පිය රජතුමා යටතේ සේවය කිරීමට මාගමට යැවීය. නිමල ද එක දිනකින් මග ගෙවා මාගමට පැමිණ කාවන්තිස්ස රජතුමා යටතේ සේවයට බැඳුනේය. බොහෝ සූර වීර වූ නිසා ඔහු "සුරනිමල" නමින් ප්‍රසිද්ධ විය.
මහාසොණ
මල්වතුමඬුල්ලේ උතුරු කරවිටි ගමේ විසූ තිස්ස ට පුතුන් අට දෙනෙක් විය. ඉන් බාලම පුතා සොණ ඉතාමත් ශක්තිවන්තයෙක් විය. ඔහු හත් හැවිරිදි වියේදී තමා තරම් උස තල් ගස් උදුරා දමන්නේය. දස හැවිරිදි වියේදී හොඳින් වැඩුණු තල් ගස් උදුරා දමන්නේය. ඔහු දහසය වන වියට පත් වූ විට ඇතුන් දස දෙනෙකු තරම් ශක්තිමත් වූයේ යැයි කියනු ලැබේ. ඉතාමත් ශක්තිමත් වූ බැවින් සොණ තරුණයා "මහාසොණ" නමින් ප්‍රසිද්ධ විය.
කාවන්තිස්ස රජතුමා ඔහු ගැන අසා, තමා යටතේ සේවයට කැඳවා ගත්තේය.
ගොඨයිම්බර
දොළොස්දහස්
රට නිටුල්විටි නම් ගමේ මහානාග හට පුතුන් හත් දෙනෙක් විය. බාලම පුතා අභය
නම් විය. ඔහු මිටි තැනැත්තෙක් වූ හෙයින් වැඩිමල් සොහොයුරෝ ඔහුට "ගෝඨයා"
නමින් උසුළු-විසුළු කළහ. මිටි වුවද අභය ඉතාමත් ශක්තිමත් තරුණයෙක් විය.
දිනක්
වැඩිමල් සෝයුරන් හය දෙනා හේනක් කෙටීම සඳහා පිටත් ව ගිය ද අභය අලස කමින්
ගෙදරට වී උන්නේය. වැඩිමල් සෝයුරෝ ඉඹුරු වනයකින් කොටසක් ගස් කපා සකස් කොට
නැවත නිවසට පැමිණ, අලස කමින් කමින් ගෙදරට වී නිදා නොසිට හේන කෙටීමට යන ලෙස
කියා සිටියහ. අභය ද තනිවම ඉඹුරු වනයට ගොස් තල් ගස් - පොල් ගස් තරම් වන
ඉඹුරු ගස් තනිවම උදුරා දමා කැලය සුද්ධ කොට පොළව මට්ටම් කොට සකසා නැවත
පැමිණියහ.
වැඩිමල් සෝයුරෝ මේ කර්මාන්තය දැක මහත් විශ්මයට පත් වූය. ඉඹුරු වනයක් ඉදිරූ හෙයින් එතැන් සිට අභය "ගෝඨයිම්බර" නමින් ප්‍රසිද්ධ විය.
කාවන්තිස්ස රජතුමා ගෝඨයිම්බර ගැන අසා සතුටු වී තමා යටතේ සේවයට කැඳවා ගත්තේය.
ථෙරපුත්තාභය
කොටගල කන්ද අසල කැතිගම ගමේ රෝහණ නැමැත්තාට අභය නමින් පුතෙක් උපන්නේය. ඒ දරුවා ඉතාමත් ශක්ති සම්පන්නයෙක් විය. දොළොස් හැවිරිදි වූ විට හතර පස් දෙනෙකුට ඔසවා ගත නොහැකි විශාල ගල් ඉතා පහසුවෙන් ඔසවා ඒ මේ අත විසි කිරීමට හැකියාව ඇත්තෙක් විය. ඔහු දහසය වැනි වියට එළඹෙත්ම ඔහුට පියා විසින් අඟල් තිස් අටක වටප්‍රමානය ඇති වඩු රියන් දොළහක් දිග යගදාවක් සදා දෙන ලදී. අභය තරුණයා එම යගදාවෙන් ගසා වැඩුණු තල් ගස් පොල් ගස් බිම හෙළුවේය.
රෝහණ පසු කළෙක මහාසුමන නම් තෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වී පැවිදි වී රහත් විය. අභය කුමරු ද පියා අනුව යමින් පැවිදි බිමට එළැඹියේය.
දිනක් ගෝඨයිම්බර යෝධයා යම් කටයුත්තක් සඳහා යන අතර තුර පිරිවර ද සමඟ අභය සාමනේරයන් වහන්සේගේ පන්සලට පැමිණියේය. පන්සල් වත්තේ තිබූ පොල් ගස් වලින් කුරුම්බා කඩාගෙන බී පිරිස තැන තැන වැටී නිදන්නට වූහ. ඔවුන් කපා දැමූ කුරුම්බා කෝම්බ පන්සල් වත්ත පුරා වැටී තිබිණි.
අභය සාමණේරයන් මෙය දැක "යස පාඩමක් උගන්වමි" යි සිතා නිදා උන් ගෝඨයිම්බර යෝධයාගේ පාදයේ නිලයක් අල්ලා ඔහු අඩපන කොට පන්සල් වත්ත පුරා බිම දිගේ ඇදගෙන ගියහ. ගෝඨයිම් බරයෝධයා ද සාමණේරයන් ගෙන් සමාව අයැද පන්සල් වත්ත පිරිසිදු කිරීමට පොරොන්දු වූයෙන් ඔහු නිදහස් කරන ලදී.
කාවන්තිස්ස රජතුමා මුණ ගැසුණු ගෝඨයිම්බර යෝධයා මේ පුවත සැළ කල පසු රජු ඒ සාමණේරයන් තම සේවයට කැඳවා එන්නැයි ගෝඨයිම්බර යෝධයාට අණ කළේය. ගෝඨයිම්බර යෝධයා මුලින් කල ඉල්ලීම අභය සාමණේරයන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළද, පසුව ඔහුගේ ඉල්ලීමට එකඟ වී සිවුරු හැර රාජ්‍යය සේවයට එක් විය.
පියා මහණ වූ හෙයින් ඔහු "ථෙරපුත්තාභය" නමින් ප්‍රසිද්ධ විය.
මහාභරණ
කප්කඳුරු නම් ගමේ භරණ නම් තරුණයෙක් විසීය. ඔහු ඉමහත් කාය ශක්තියෙන් ද ජවයෙන් ද යුක්ත විය. දෙළොස් හැවිරිදි වියේදී ගම් වැසියන් සමඟ දඩයමේ යන විට කැලයේ දිව යන හාවුන් පසු පස ලුහුබඳවා ගොස් පයින් ගසා මරන්නේය. දහසය හැවිරිදි වියේදී මුවන්, ගෝනුන් පසු පස එළවා ගොස් පසු පස ගාතයන් ගෙන් අල්ලා පොළවේ ගසා මැරීමට තරම් හැකියාව ඇත්තෙක් විය.
මෙසේ මහත් බලසම්පන්න වූ හෙයින් භරණ තරුණයා "මහාභරණ" නමින් ප්‍රසිද්ධ විය.
කාවන්තිස්ස රජතුමා ඔහු ගැන අසා තමා ගේ රාජ්‍යය සේවයට කැඳවා ගත්තේය.
වෙළුසුමන
ගිරිනිල් ජනපදයේ කෙළයඟන නම් ගමෙහි වාසය කළ වසභ හට පුතෙක් ඇති විය. ඔහු තම මිතුරන් දෙදෙනා වූ වෙළු සහ සුමන ගේ නමින් එම දරුවා වෙළුසුමන යැයි නම් කළේය.
තරුණ වියට පත් වෙළුසුමන තම බාප්පා හා යම් කාර්‍යයකට යන අතරේ කිසිවෙකුටත් දමනය කළ නොහැකි මුරණ්ඩු අශ්වයෙක් දිටීය. බාප්පා ගේ ඉල්ලීමෙන් අශ්වයා මෙල්ල කොට ඌ පිට නැගුණු වෙළුසුමන ඉන්පසු රැස්ව සිටි ජනයාට පෙණෙන පරිදි නොයෙකුත් සරඹ පාමින් තම හැකියාවන් පෙන්නුම් කළේය.
වෙළුසුමන ගේ මේ හැකියාව කාවන්තිස්ස රජතුමාට දැන ගන්නට ලැබී, වහාම ඔහු තමා යටතට කැඳවා රාජ්‍යය සේවයේ යෙදවීය.
ඛංඡදේව
අජනිපව්ව පර්වතය සමීපයේ වූ මීදෙනිය නම් ගමේ අභයට දාව උපන් පුතා පාදයේ සුළු කොරයක් සහිත බැවින් ඔහු "ඛංඡදේව" නමින් ප්‍රසිද්ධ විය.
ඛංඡදේව තරුණ වියට පැමිණි පසු මහත් බල සම්පන්න විය. ගම් වැසියන් සමඟ දඩයමේ යන ඔහු කැලයේ සිටින් කුළු හරකුන් හා පොර බදා උන් අල්ලා පොළවේ ගසා මැරීමට පවා හැකියාවක් සහිත විය.
කාවන්තිස්ස රජතුමා ඛංඡදේව පිළිබඳ දැනගන්නට ලැබී වහාම ඔහු මාගමට කැඳවා රාජ්‍යය සේවයේ නිරත කරවීය.
උන්මාද ඵුස්සදේව
සිතුල්පව්ව සමීපයේ වූ ගොඩිගමුව ගමේ උත්පල හට පුතෙක් සිටි අතර ඒ දරුවා ඵුස්සදේව නමින් හැඳින්විනි.
කුඩා ඵුස්ස්දේව දිනක් අනෙකුත් ගම්වාසී දරුවන් සමඟ පන්සලට ගිය අවස්ථාවක එහි බෝධීන් වහන්සේට පූජා කර තිබූ හක්ගෙඩියක් දැක එය ගෙන මහත් වැර යොදා පිඹීය. එවිට ඉන් නිකුත් වූ හෙණ හඬ පරදන හඬින් බියට පත් ඵුස්ස්දේව ගේ මිතුරෝ උමතු වූවන් මෙන් ඒ මේ අත පලා ගියහ. එබැවින් ඔහු "උන්මාද ඵුස්සදේව" නමින් ප්‍රසිද්ධ විය.
තම පියාගෙන් දුනු ශිල්පය උගත් ඵුස්සදේව තරුණ වියට එළැඹෙත්ම අති දක්‍ෂ දුනු ශිල්පියෙක් විය.
ඔහුගේ දස්කම් ගැන ඇසූ කාවන්තිස්ස රජතුමා ඵුස්සදේව රාජ්‍යය සේවයේ පිහිටුවා ලූහ.
ලභිය වසභ
තරල්පව්ව සමීපයේ වෙරවැසිගම ගමේ මන්ත නැමැත්තා හට වසභ නම් පුතෙක් සිටියේය. ඔහු කුඩා කල සිටම ඉතාමත් කඩවසම් සිරුරක් ඇති හෙයින් "ලභිය වසභ" නමින් ප්‍රසිද්ධ විය.
තරුණ වියට එළඹෙත්ම මහත් බලසම්පන්න වූ ලභිය වසභ ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙක් විය.
වරක් ගම් වාසීන් හා එක්ව වැවක් බැඳීමේ කාර්‍යයකට සහභාගී වූ ඔහු විසි තිස් දෙනෙක්ට ඔසවා ගත නොහැකි විශාල පස් පිඩැලි තනිවම උදැල්ලෙන් අදිමින් වැවේ වැඩ කටයුතු අවසන් කළේය.
ලභිය වසභ ගේ කාය ශක්තිය ගැන ඇසූ කාවන්තිස්ස රජතුමා ඔහු වහාම රාජ්‍යය සේවයට බඳවා ගත්තේය.