Wednesday, April 13, 2016

අපේ ලොකු හාමුදුරුවෝ

අපේ ලොකු හාමුදුරුවෝ




අපේ ගමේ පන්සල අපි ගැටව් කාලේ අන්තයටම පිරිහිල තිබ්බෙ. එක කාලයක් තිබ්බ උපසම්පදා හාමුදුරුවො කෙනෙක් හිටියෙ නෑ. පොඩි සාමනේර උන්නාන්සෙල දෙන්නෙක් හිටියෙ.

පස්සෙ අළුත් නායක හාමුදුරුවො නමක් ආව. නායක හාමුදුරුවො කිව්වට උන්නාන්සෙට 30-35 ඇති. ටිකක් වෙනස් විදිහට හිතන්නෙ. හාමුදුරුවො පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න කොල්ලන්ට ඉඩ දෙනව. නිවාඩුවක් තිබ්බොත් හාමුදුරුවොත් ගහනව. කළු කෙට්ටු ඇඟයි, බූ ගාපු හිසයි නිසා ගමේ කොල්ලො හාමුදුරුවන්ට ආදරේට කියන්නෙ "උසේන් බෝල්ට්". හාමුදුරුවන්ට ෆාස්ට් බෝල් එහෙම හොඳට දාන්න ඇහැකි. කොල්ලන්ට පන්සල් වත්තෙ කුරුම්බ කඩන්න එහෙමත් තහනමක් නෑ.

දැන් පන්සල හරි වෙනස්. ඔක්කොම ගොඩනැගිලි අළුත්වැඩියා කරල, සුදුපාට ගාල. දහම් පාසල ආපහු පටන් අරන්. ධර්ම ශාලාව අළුතින්ම හදල.

අද අවුරුදු දවසෙ හවස හයට හාමුදුරුවො මුළු ගමටම පන්සලට එන්න කිව්ව. ගමේ එවුං තුනෙන් දෙකක් විතර ඇවිත් හිටිය. ඔක්කොටම පන්සිල් දීල අනුසාශනාවක් කරා. පොඩියට පිරිතක් කිව්ව. පිරිත් නූල් බැන්ද.

හාමුදුරුවො ගිය අවුරුද්දෙ වෙසක් එකට ගමේ හැම ගෙදරටම කැටයක් දීල තියෙනවා. අවුරුද්ද පුරාවටම කැටේට පුළු-පුළුවන් විදිහට සල්ලි දාන්න කියල. අද ගම්මු පන්සලට කැට අරගෙන ආව. සාමාන්‍යයෙන් එක කැටේක රුපියක් තුන්දහක් විතර තිබ්බ. ඊට වැඩි කැටත් තිබ්බ. අඩු කැටත් තිබ්බ. පන්සලේ වෙසක් උත්සවය කරන්නෙ ඒ සල්ලි වලින් ලු.

එක පාරට ලොකු ගානක් පිනට දෙන්න මිනිස්සුන්ට හැකියාවක් නෑ කියල - විශේෂයෙන් අවුරුදු මාසෙට පස්සෙ මාසෙ - හාමුදුරුවො දන්න නිසා අවුරුද්ද පුරාවටම සුළුවෙන් කීය කීය හරි එකතු කරන එක මිනිස්සුන්ට පහසුයි කියල හිතල තමයි කැට සංකල්පය දාල තියෙන්නෙ. ඒ වගේම එක පාර ලොකු ගානක් දෙනකොට දන් දෙන සිත පහළ වෙන්නෙ එක පාරයි, මෙහෙම කරද්දි අවුරුද්දෙ හැම දාම දන් දෙන සිත පහළ වෙනව කියලත් අනුසාශනාවෙදි කියවුනා.

අද වැඩේට බැහැල හිටියෙ ගමේ කොල්ලො සෙට් එක. පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න එන එවුන්. ජිම් යන ඇඟක් තියෙන රවීන්.ද්‍ර ජඩේජා වගේ රැවුලක් තියෙන මලයෙක් තමයි වැඩේ නායකත්වය දැරුවෙ.

කොල්ලො ටික හවස් වරුවෙම පන්සලේ නිසා ගමේ තැන තැන බූරු ගහන්නයි අරක්කු බොන්නයි ගිහිල්ල නෑ. (හැබැයි පන්සල් වත්තෙ කොනක හොරෙන් හොරෙන් සිගරට් එකක් ගහනව නං දැක්ක).

මේ වගේ හාමුදුරු නමක් ගමකට ආශිර්වාදයක්. සසර ගමන කෙටි වේවා! බුදුන් දැක නිවන් දකීවා!

Monday, March 21, 2016

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය ගැන - 2 (විදුලි උත්පාදනය)

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය ගැන - 2 (විදුලි උත්පාදනය)




විදුලි පද්ධතියක විදුලිය උත්පාදනය කරන්නේ මූලික වශයෙන් ජෙනරේටර් යන්ත්‍ර භාවිතයෙනි. ජෙනරේටරයකින් විදුලිය උත්පාදනය කිරීමට නම් එය කරකැවිය යුතුය​. ජෙනරේටරය කරකැවීමට වෙනත් ශක්ති ප්‍රභවයක් භාවිතා කළ යුතුය​.

එනම් ජෙනරේටරකින් සිදු වන්නේ යම්කිසි යාන්ත්‍රික ශක්තියක් විද්‍යුත් ශක්තිය බවට හැරවීමයි.

ජෙනරේටරය කරකැවීමට භාවිතා කරන ශක්ති ප්‍රභවයන් අනුව විදුලි බල උත්පාදනය වර්ගීකරණය කළ හැක.

අද ලෝකයේ වාණිජ්‍යය මට්ටමින් විදුලි බල උත්පාදනයට භාවිතා කරන ශක්ති ප්‍රභව මේවාය :

1. ජලය​
2. ගල් අඟුරු
3. ඩීසල්
4. න්‍යෂ්ටික බලය​
5. ස්වාභාවික වායු
6. සුළං
7. සූර්‍ය ශක්තිය​

මින් ජලය​, සුළං සහ සූර්‍ය ශක්තිය පුනර්ජනනීය බල ශක්ති ලෙස හැඳින්වේ. භාවිතා කල පසු ක්‍ෂය වීමක් සිදු නොවන බැවිනි ඒ.

ගල් අඟුරු, ඩීසල් සහ ස්වාභාවික වායු පොසිල ඉන්ධන ලෙස හැඳින් වේ. ඒවා භාවිතයේ දී ක්‍ෂය වේ. එම නිසා පොසිල ඉන්ධන යනු සීමිත ශක්ති ප්‍රභවයකි.

න්‍යෂ්ටික බලය භාවිතයේදී ක්‍ෂය වීමක් සිදු වුවද​, ඒ සඳහා න්‍යෂ්ටික ඉන්ධන භාවිතා කෙරෙන්නේ ඉතා සුළු ප්‍රමාන වලින් නිසා එය එතරම් සැලකිය යුතු තත්වයක් නොවේ.

ලංකාවේ විදුලි උත්පාදනය​


ලංකාවේ වාණිජ්‍යය මට්ටමෙන් විදුලි උත්පාදනයට භාවිතා වන්නේ ජලය​, ගල් අඟුරු, ඩීසල් සහ සුළං බලයයි. සූර්‍ය ශක්තිය භාවිතය ක්‍රමයෙන් වැඩි වන රටාවක් පැවතුනද​, තවමත් එය වාණිජ්‍යය මට්ටමට පැමින නැත​.

ලංකාවේ විදුලිය උත්පාදනය කරන පාර්ශව දෙකකි.
1. ලංකා විදුලි බල මණ්ඩලය (Ceylon Electricity Board - CEB)​
2. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් (Independent Power Producers - IPP)

ලංකා විදුලි බල මණ්ඩලය රජයේ ආයතනයක් වන අතර විදුලි උත්පාදනයෙන් වැඩි පංගුව එමගින් සිදු කරයි.

ඊට අමතරව පුද්ගලික සමාගම් වලට අයත් බලාගාර ද ඇති අතර, ඒවායින් උත්පාදනය කරන විදුලිය විදුලි බල මණ්ඩලය මගින් මිල දී ගෙන​, පාරිභෝගිකයන්ට බෙදා හරී.

ජල විදුලිය​


ජල විදුලි උත්පාදනයේදී ජලාශයක රැස් කරන ජලය පහත මට්ටමක ඇති බලාගාරයේ ඇති ජල ටර්බයිනයක් කරකැවීමට යොදා ගනී.

ලංකාවේ ප්‍රධාන වශෙයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන්නේ මහවැලි සහ කැළණි ගංගා දෙක ආශ්‍රිතවය​.

මෙගාවොට් 10 ට අඩු ධාරිතාවයකින් යුත් ජල විදුලි බලාගාර "මිනි හයිඩ්‍රෝ" හෙවත් "කුඩා ජලවිදුලි බලාගාර​" ලෙසයි.

ලංකාවේ විශාල පරිමාන (මෙගාවොට් 10 ට වැඩි) ජල විදුලි බලාගාර සියල්ලම විදුලිබල මණ් ඩලයට අයත්‍ ය​.

මිනි හයිඩ්‍රෝ බලාගාර තුනක් හැර සියල්ලම පුද්ගලික බලාගාරයි.

දැනට පද්ධතියට එක් කර ඇති ජල විදුලි බලාගාර වලට අමතරව ජල විදුලි බලාගාර තුනක් දැනට ඉඳි වෙමින් පවතී. මේ බලාගාර තුන ඉඳි කළ පසු ලංකාවේ ජල විදුලි බලාගාර ඉඳි කිරීමට සුදුසු ස්ථාන තව දුරටත් නොපවතී. එනම්, ලංකාවේ ජල විදුලි බල ශක්‍යතාවය දැනටමත් සම්පූර්නයෙන්ම ප්‍රයෝජනයට ගෙන අවසන් ය​.

ලංකාවේ විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ලැයිස්තුවක් පහත දැක්වේ.


මීට අමතරව මිනි හයිඩ්‍රෝ බලාගාර රැසක් ඇති අතර ඒවායේ සම්පූර්න ධාරිතාව මෙගාවොට් 400 කට ආසන්නය​.

ගල් අඟුරු


ගල් අඟුරු බලාගාර වල විදුලිය උත්පාදනය කරන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් ලැබෙන තාපයෙන් ජලය වාෂ්ප කොට​, එම හුමාලයෙන් හුමාල ටර්බයිනයක් කරකැවීමෙනි.

මෙම හුමාලය නිපදවීමේ ක්‍රියාව අධික උෂ්නත්වයක් සහ පීඩනයක් යටතේ සිදු කෙරේ. එම අවශ්‍යය උෂ්නත්ව සහ පීඩනයන් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන හෙයින්, සම්පූර්නයෙන්ම නවත්වන ලද ගල් අඟුරු බලාගාරයක් නැවත විදුලිය නිෂ්පාදනය කරන මට්ටමට ගැනීමට දින තුනක් පමණ ගතවේ. මේ නිසා ගල් අඟුරු බලාගාර පණගැන්වූ පසු මාස ගණනක් එක දිගට විදුලිය උත්පාදනය කරයි. ඒවා නවත්වන්නේ නඩත්තු සඳහා පමණි.

ලංකාවේ ගල් අඟුරු  බලාගාර ඇත්තේ එකක් පමණි. ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයයි. එය විදුලිබල මණ්ඩලයට අයත් ය​. දැනට යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය  විදුලිබල මණ්ඩලයට සහ ඉන්දියානු සමාගමකට (NTPC) 50% බැගින් අයිතිය හිමිවන පරිදි ගිවිසුම් ගත කොට ඇත.



ඩීසල්


ඩීසල් බලාගාර වල භාවිතා වන තාක්‍ෂනය අනුව තෙවර්ගයකි.

1. ගෑස් ටර්බයින් (Gas Turbine - GT)
ගෑස් ටර්බයින් බලාගාර වල ටර්බයිනය කරකවන්නේ ඩීසල් බිඳිති සමඟ මිශ්‍ර කළ වාතය දහනය කිරීමෙන් ලැබෙන රත් වූ වායු ධාරාව මගිනි.

2. සංයුක්ත චක්‍ර (Combined Cycle - CC)
සංයුක්ත චක්‍ර බලාගාර වල ගෑස් ටර්බයිනයක් සහ හුමාල ටර්බයිනක් ලෙස ටර්බයින දෙකක් ඇත​. හුමාල ටර්බයිනය කරකැවීමට අවශ්‍යය හුමාලය නිෂ්පාදනය කෙරෙන්නේ ගෑස් ටර්බයිනය කරකැවීමට භාවිතා කළ රත් වූ වාතයෙනි.

3. එන්ජින් (Diesel Engine)
මේ වර්ගයේ බලාගාර වල ටර්බයිනයක් නැත​. විශාල ප්‍රමානයේ ඩීසල් එන්ජිමක් මගින් ජෙනරේටරය කරකවනු ලැබේ.

ලංකාවේ ඇති ඩීසල් බලාගාර වලින් වැඩි ප්‍රමානයක් පුද්ගලික අංශයට අයත් ය​. විදුලිබල මණ්ඩලය සතු බලාගාර ඇත්තේ අතළොස්සකි. පුද්ගලික අංශය සතු වූ බලාගාර රැසක් පසු ගිය වසර කීපය තුළ වසා දමන ලදී. ඒ ඒවායේ ගිවිසුම් කල් ඉකුත් වීම නිසාය​.


සුළං


සුළං විදුලි බලාගාර වල සුළං ටර්බයිනයක් කරකැවීමෙන් විදුලිය නිෂ්පාදනය කරයි.

සුළං විදුලි බලාගාරයක් හැඳින්වෙන්නේ "සුළං ගොවිපළක්" (wind farm) ලෙසිනි.

ලංකාවේ වැඩිම සුළං විදුලි ශක්‍යතාවයක් ඇත්තේ පුත්තලම සිට මන්නාරම දක්වා වන වෙරළ තීරයේයි.

දැනට ලංකාවේ විදුලිබල මණ් ඩලය සතුව එක් සුළං ගොවිපළක් ඇති අතර​, පුද්ගලික සමාගම් සතු සුළං ගොවිපල රැසක් පවතී.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වූ දැවැන්තම සුළං විදුලි ව්‍යාපෘතිය වශයෙන් මෙගාවොට් 100 ක සුළං ගොවිපළක් මන්නාරමේ ඉඳිවීමට යෝජිතය​.



සූර්‍ය ශක්තිය​


සූර්‍ය ශක්තිය මගින් විදුලිය ජනනය කෙරෙන්නේ සූර්‍ය පැනලයක් මතට හිරු එළිය වැටෙන්නට සැලැස්වීමෙනි. මෙමගින් සරළ ධාරවක් උත්පාදනය වේ.

සූර්‍ය ශක්තියෙන් විදුලිය නිපදවීම ක්‍රම දෙකකට සිදු කෙරේ.

1. ස්වාධීන (isolated) - මෙය ජාතික පද්ධතියට සම්බන්ධ නොවේ. කම්හලකට​, වෙළඳ සැලකට හෝ නිවෙසකට විදුලිය සැපයීමට යොදාගත හැක​. දහවල් කාලයේ නිපදවන විදුලිය බැටරියක ගබඩා කොට රාත්‍රියට පාවිච්චි කිරීමේ හැකියාව ඇත​.

2. පද්ධතියට සම්බන්ධිත (grid connected) - මෙම පැනල මගින් උත්පාදනය කෙරෙන විදුලිය කෙලින්ම ජාතික පද්ධතියට සම්බන්ධ කෙරේ. පැනලයෙන් නිපදවෙන සරළ ධාරාව ඉන්වර්ටරයක් මගින් ප්‍රත්‍යාවර්ථ ධාරාවක් බවට හරවා ජාතික පද්ධතියට ලබා දෙනු ලබයි. ලංකාවේ මේ ආකාරයේ සූර්‍ය පැනල හිමි කරුවන්ට ඔවුන් උත්පාදනය කරන විදුලි ඒකක ගණන ඔවුන් ගේ මාසික බිලෙන් අඩු කිරීමේ ක්‍රමයක් අනුගමනය කෙරෙයි (net metering).

සූර්‍ය ශක්තිය නිපදවීම වෙනුවෙන්ම ඉඳිකළ පැනල පද්ධති දෙකක් හම්බන්තොට (1.2MW) සහ තිරප්පනේ (0.1MW) පවතී.

ස්වාභාවික වායු


ලංකාවේ තවමත් විචුලි උත්පාදනයට ස්වාභාවික වායු යොදා නොගනී. මන්නාරම අවට මුහුදේ ස්වාභාවික ගෑස් නිධියක් හමුවුවහොත් ඒ තත්වය වෙනස් විය හැක​. දැනට ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරන කෙරවළපිටිය යුග දනවි බලාගාරය ස්වාභාවික වායු වලින් විදුලිය උත්පාදනයට භාවිතා කළ හැකි බලාගාරයකි.

න්‍යෂ්ටික බලය​


න්‍යෂ්ටික බලයද තවමත් ලංකාවේ විදුලිය උත්පාදනයට යොදා නොගැනේ. න්‍යෂ්ටික බලාගාර සාමාන්‍යයෙන් විශාල ධාරිතාවයකින් (1000MW වැනි) වන නිසා ලංකාව වැනි කුඩා විදුලි පරිභෝජනයක් ඇති පද්ධතියකට න්‍යෂ්ටික බලාගාර නුසුදුසු ය​.


ස්ථාපිත ධාරිතාව (installed capacity)


පද්ධතියක ඇති සියළුම බලාගාර වල සම්පූර්ණ ධාරිතාව ස්ථාපිත ධාරිතාව ලෙස හැඳින්වේ.

ලංකාවේ ස්ථාපිත ධාරිතාව ප්‍රභවය අනුව පහත ආකාර වේ.



Sunday, March 20, 2016

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය​ ගැන - 1 (මූලික සංකල්ප​)

ලංකාවේ විදුලි ක්‍ෂේත්‍රය​ ගැන - 1 (මූලික සංකල්ප​)






විදුලිය යනු ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.

විදුලිය ගැන කතා කිරීමේදී මූලික ගුණාංග තුනක් වැදගත් වේ.
1. ධාරාව (current) - තප්පරයකට ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමානය. මනින ඒකකය ඇම්පියර් (A) වේ.
2. වෝල්ටීයතාවය (voltage) - විදුලි ධාරාව ගලා යාමට ඇති තල්ලුව​. මනින ඒකකය වෝල්ට් (V) වේ.
3. ප්‍රතිරෝධය (resistance) - විදුලි ධාරාව ගලා යාමට ඇති බාධාව​. මනින ඒකකය ඕම් (Ω) වේ. මෙය ධාරාව ගලායන සන්නායකයේ ගුණයකි.




බලය (power)

පරිපථයක් හරහා ධාරාවක් ගලා යාමේදී අපට විවිධ ස්වරූප වලින් කාර්‍යයන් කළ හැක​. විදුලි ප්‍රභවයක කාර්‍යය කිරීමේ හැකියාව "බලය​" ලෙස හැඳින්වේ. බලය මනින්නේ වොට් (W) ඒකකයෙනි.

ශක්තිය (energy)

යම්කිසි කාල සීමාවක් තුල විදුලි ධාරාවක් විසින් කෙරෙන කාර්‍යය ප්‍රමානය මැනෙන්නේ ශක්තියෙනි. ශක්තිය මනින ඒකකය වොට් පැය (Wh) වේ.

බලය සහ ශක්තිය අතර සම්බන්ධතාවය තේරුම් ගැනීමට සරළ උදාහරණයක් යොදා ගත හැක​.

මිනිස්සු දහ දෙනෙකුගෙන් සමන්විත වැඩ කණ්ඩායමක් ගත් විට එහි බලය "මිනිස්සු 10 කි". එම වැඩ කණ්ඩායම දවස් දෙකක කාලයක් පුරා ගෙයක් සෑදුවේ යැයි සිතමු. එවිට එම කණ්ඩායම වැය කළ ශක්තිය මිනිස් දින 20 කි.

මිනිස්සු පස් දෙනෙකුගෙන් සමන්විත වැඩ කණ් ඩායමක් ගත් විට එහි බලය "මිනිස්සු 5 කි". එම වැඩ කණ්ඩායමට ඉහත ගෙය සෑදීමට දින හතරක් ගතවේ. නමුත් වැඩ කණ්ඩායම වැය කළ ශක්තියේ වෙනසක් නැත​. ඒ මිනිස් දින 20 ක් ම වේ.

මේ ආකාරයටම අපි විදුලි උපාංගයක් පාවිච්චි කිරීමේදී එය ක්‍රියා කරවීමට අවශ්‍යය බලය වොට් (හෝ කිලෝවොට් හෝ මෙගාවොට්) වලින් මනිමු. එම උපාංගය යම්කිසි කාලයක් ක්‍රියාකළ විට වැය වන ශක්තිය වොට්පැය (හෝ කිලෝවොට් පැය හෝ මෙගාවොට්පැය​) වලින් මනිමු.

අපි විදුලියට ගෙවන්නේ බලය වෙනුවෙන් නොව ශක්තිය වෙනුවෙනි. අපේ විදුලි බිලේ ඇති "ඒකකයක්" නැතිනම් "යුනිට් එකක්" යනු කිලෝවොට් පැය​ 1 ක ශක්ති ප්‍රමානයකි.

වොට් 100 විදුලි බුබුලක් ක්‍රියා කරවීමට වොට් 100 ක විදුලි බලයක් අවශ්‍යය වේ. එය පැය 10ක් දැල් වූ විට කිලෝවොට් පැයක් (නැතිනම් ඒකක 1 ක​) ශක්තියක් වැය වේ.

විදුලි බලාගාර වල ඇති විදුලිය ජනනය කරන ජෙනරේටර් යන්ත්‍ර වල ධාරිතාවය මැනෙන්නේ එයට ජනනය කළ හැකි විදුලියේ බලය අනුවය​. ඒ අනුව​, වික්ටෝරියා බලාගාරයේ එක් ජෙනරේටරයක් මෙගාවොට් 70 ක බලයකින් යුක්තය​. එම ජෙනරේටරය පැයක් ක්‍රියාත්මක වූ විට මෙගාවොට් පැය 70 ක ශක්තියක් උත්පාදනය කරයි. එනම්, විදුලි ඒකක 70,000 ක් උත්පාදනය කරයි.

සරළ ධාරාව (DC) සහ ප්‍රත්‍යාවර්ථ ධාරාව (AC)


සරළ ධාරාවක ධාරාව සහ වෝල්ටීයතාවය නොවෙනස්ව පවතී. බැටරි, සූර්‍ය කෝෂ වැනි ප්‍රභව වලින් උත්පාදනය කරන්නේ සරළ ධාරාවන් ය​.

ප්‍රත්‍යාවර්ථ ධාරාවක ධාරාව සහ වෝල්ටීයතාවය කාලයත් සමඟ දිශාව මාරු කරයි. සාමාන්‍යයෙන් ප්‍රත්‍යාවර්ථ ධාරාවක ධාරාව සහ වෝල්ටීයතාවය කාලය සමඟ දක්වන්නේ සයිනාකාර වක්‍රයක සම්බන්ධතාවයකි. ජෙනරේටර වලින් උත්පාදනය කරන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවන්‍ ය​.



ජෙනරේටර් වලින් උත්පාදනය කෙරෙන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවන් නිසා රටක විදුලි පද්ධතිය ප්‍රත්‍යාවර්ථ එකකි.

ප්‍රත්‍යාවර්ථ ධාරාවක් තප්පරයකට දිශාව මාරු කරන වාර ගණන එම ධාරාවේ සංඛාතය (frequency) ලෙස හඳුන්වයි. සංඛ්‍යාතය මනිනු ලබන්නේ හර්ට්ස් (Hz) ඒකකයෙනි. ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල විදුලි පද්ධතියේ සංඛ්‍යාතය 50Hz වේ. නමුත් ඇමරිකාව වැනි රටවල් කීපයක මෙය 60Hz වේ.


ජාතික විදුලි පද්ධතිය (National Power System)


රටක ජාතික විදුලි පද්ධතිය කොටස් තුනකින් සමන්විත වේ.
1. ජනනය (generation)
2. සම්ප්‍රේෂනය (transmission)
3. බෙදා හැරීම (distribution)

ජනනය යනු විදුලි බලාගාර වලින් විදුලිය උත්පාදනය කිරීමයි.

මෙම උත්පාදනය කරන විදුලිය විදුලි බලාගාර වල සිට රට පුරා බෙදා හැරිය යුතුය​. ඒ බෙදා හැරීම් මධ්‍යස්ථාන උප පොළවල් (grid substation) ලෙස හැඳින්වේ.

විදුලි බලාගාර වල සිට උප පොළවල් දක්වා විදුලිය රැගෙන ඒම සම්ප්‍රේෂනයයි. මේ සඳහා භාවිතා වන්නේ අධි සැර (high voltage) විදුලි රැහැන් ය​. ඒ සම්ප්‍රේෂනයේදී සිදු වන ශක්ති හානිය අවම කර ගැනීමටය​. ලංකාවේදී මේ සඳහා 220kV සහ 132kV වෝල්ටීයතා භාවිතා වේ.

උපපොළ වල සිට නිවෙස් සහ කම්හල් දක්වා විදුලිය රැගෙන යාම බෙදා හැරීමයි. මේ සඳහා මධ්‍ය සැර (medium voltage) සහ අඩු සැර (low voltage) විදුලි රැහන් ය​. ලංකාවේ මධ්‍ය සැර වෝල්ටීයතාව ලෙස 33kV සහ අඩු සැර වෝල්ටීයතාව ලෙස 400V භාවිතා වේ.


පද්ධති පාලන මධ්‍යස්ථානය (system control center)


ජාතික විදුලි පද්ධතියක විදුලිය ගබඩා කිරීමක් සිදුවන්නේ නැත​. රටේ විදුලිය පාවිච්චි කරන ප්‍රමානයට සමාන ප්‍රමානයක් විදුලිය උත්පාදනය කිරීම සිදු කරයි. එමනිසා ඕනෑම අවස්ථාවක රටක විදුලි පරිභෝජනය විදුලි උත්පාදනයට සමාන වේ.

විදුලි පරිභෝජනයට වඩා උත්පාදනය වැඩි වුවහොත් පද්ධතියේ සංඛ්‍යාතය ඉහළ යයි. උත්පාදනයට වඩා පරිභෝජනය වැඩි වුනහොත් සංඛ්‍යාතය පහළ යයි. මේ අවස්ථා දෙකම පද්ධතියේ අස්ථාවර අවස්ථාවන් ය​. සමතුලිත පද්ධතියක සංඛ්‍යාතය සම්මත අගයේ (50Hz හෝ 60Hz) හෝ ඊට ආසන්න අගයක තිබිය යුතුය​.

සංඛ්‍යාතය ඉහළ ගිය විට බලාගාර වල විදුලි උත්පාදනය අඩු කළ යුතුය​. සංඛ්‍යාතය පහළ ගිය විට බලාගාර වල විදුලි උත්පාදනය වැඩි කළ යුතුය​. මේ කාර්‍යය කිරීම සඳහා බලාගාර වලට අවශ්‍යය උපදෙස් ලබා දෙන්නේ පද්ධති පාලන මධ්‍යස්ථානය (system control center) මගිනි. පද්ධති පාලන මධ්‍යස්ථානයේ සිට පැය 24 පුරාම පද්ධතියේ විදුලි පරිභෝජනය සහ විදුලි උත්පාදනය නිරීක්‍ෂනය කෙරෙයි. සංඛ්‍යාතය සම්මත අගයෙන් බැහැර වන විට පද්ධති පාලන මධ්‍යස්ථානය මගින් බලාගාර වෙත උත්පාදනය අවශ්‍යය ආකාරයට අඩු වැඩි කිරීමට උපදෙස් ලැබෙයි.

Sunday, February 21, 2016

චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්

චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්





ෂෙහාන් කරුණාතිලක ගෙ අති සාර්ථක "චයිනමන්" නවකතාවෙන් පස්සෙ ඔන්න මිනිහ තව නවකතාවක් ලියනවලු.

ඒකත් ලංකාවෙ ක්‍රිකට් ගැන.

කතාව තියෙන්නෙ කොටස් දෙකකට.

පළවෙනි කොටස පටන් ගන්නෙ එක්දාස් නවසිය හැත්තැ ගණන් වල අග හරියෙන්. තරුණ කොලු ගැටව් තුන් දෙනෙක් කොළඹ එනව ලංකාවෙ නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න. තුන් දෙනාම එන්නෙ කෝච්චියෙන්.

පළවෙනි එකා ධනුෂ්ක බණ්ඩාර. මහනුවර විද්‍යාර්ථෙට ගහපු වේග පන්දු යවන්නෙක්. මහනුවර ධර්මරාජෙ ටී.බී. "කෙහෙල් යකා" කෙහෙල්ගමුවට පස්සෙ ලංකාවෙ බිහිවුන වේගවත්ම පන්දු යවන්න. කඟවේනෙක් වගේ බෝල් කරන්නෙ.

දෙවෙනි එකා සුනෙත් හේවාමිතිගේ. මාතර සර්වේෂස් එකේ. බෝලර්ස්ල තුට්ටුවකට මායිම් නොකර හැල්මේ බැටදෙන බැටෙක්. මිනිහගෙ කවර් ඩ්‍රයිව් එක ගහද්දි ඕෆ් සයිඩ් එකේ ෆීල්ඩර්ස් ල එකෙක්ටවත් හෙල්ලෙනවත් වෙලාවක් නෑ.

තුන්වෙනි එකා ගැන වැඩි විස්තරයක් දාල නෑ. ඌ බදුල්ලෙ කොල්ලෙක්. වතු වල මහත්තුරු ක්‍රිකට් ගහද්දි උන්ට නෙට් එකේ බෝල් කරපු පොඩි කොල්ලෙක්. එක වතු මහත්තයෙක් සීසීසී එකේ කොන්ටැක්ට් එකකින් තමයි ඌව කොළඹ එවල තියෙන්නෙ. අපි ඌ ගැන එච්චරයි දන්නෙ. ඌ ගිය ඉස්කෝලයක් ගැන සඳහනක් නෑ. කොටින්ම උගේ නම දාල තියෙන්නෙත් රාජා කියල විතරයි. ඒක රාජසිංහ ද රාජලිංගම් ද කියලවත් අපි දන්නෙ නෑ. හැබැයි දකුණතින් පා දඟ පන්දු යවන මේ කොල්ලට ලෙග් ස්පින්, ගුග්ලි, ෆ්ලිපර්, ටොප් ස්පින් ඕන එකක් ඔට්ටුයි කියල දන්නව.

මුන් තුන් දෙනා සිලෝන් ටීම් එකත් එක්ක ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ක්ලබ් මැචස් ගහනවා. ඉන්ටර්නැෂනල් මැච් ගහනවා.

රාජා ගේ බෝල් වලට ටීම් එකේ පත බැට්ස්මන් ල ඇඹරිල යනව. ලොකු ලොකු නම් තියෙන කොළඹ ඉස්කෝලවලට ගිය මහත්තුරු ප්‍රැක්ටිස් නෙට් වල නිකං විහිළුකාරයො වගේ වෙනව. උං ඒවයෙ ඇරියස් අල්ලන්නෙ ඩ්‍රෙසිං රූම් එකේදි. රාජා ඇවිදින විදිහ, කතා කරන විදිහ, ඌට ඉංග්‍රීසි වචනයක් වත් බැරි වීම, හැඳි ගෑරැප්පු පාවිච්චි කළ නොහැකි වීම වගේ ඌ ගැන හැම දෙයක් ම මේ මහත්තුරුන් ගෙ ඉලක්ක වෙනව. කොටින්ම රාජා ඩ්‍රෙසිං රූම් එකේ බයිට් එක වෙනව. රාජා ව බයිට් නොකරන එවුන් පවා ඌ එක්ක ප්‍රසිද්ධියේ යාළුකම් පවත්වන්න බයයි. රාජා බදුල්ලෙන් එනකොට ගෙනාව ආත්ම විශ්වාසය ටික ටික දිය වෙලා යනවා. මුලදි මුලදි මැච් වල ලකුණු 30-40 දීලා විකට් 5-6 ගත්තු රාජා පස්සෙ පස්සෙ ලකුණු 80-90 දීලා විකට් 2-3 ගන්න ලෙවල් එකට යනවා.

සුනෙත් හේවාමිතිගේ ගේ ප්‍රහාරාත්මක පිති හරඹයට බෝලර්ස්ල බය වෙනවා. හැම මැච් එකේම සුනෙත් ගෙ පළවෙනි ඕවර් හත අටේ හයේ-හතරෙ ඒව දහයක් දොලහක් වරදින්නෙ නෑ. සුනෙත් ඉන්ටර්නැෂනල් මැච් වලත් ලකුණු හැට හැත්තෑව ගහනවා. ලකුණු ගානට වඩා බෝල ගාන වැඩි වෙන්නෙ කලාතුරකින්. හැබැයි කෝච් මිනිහට කැමති නෑ. ඒ කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නැති නිසා. ඒ නිසා කෝච් මිනිහව සිලෙක්ට් කරන්න හොරයි. කෝච් කියන්නෙ ඉන්ටර්නැෂනල් මැච් වල හොඳ ඉනිමක් සෙල්ලං කරන්න නං හොඳ ටෙක්නික් එකක් තියෙන්නෙ ඕනෙ කියල. සුනෙත් ට කවදාවත් සෙන්චරියක් ගහන්න බැරි ලු ටෙක්නික් අවුල් නිසා. සුනෙත් වෙනුවට කෝච් තෝරන්නෙ කොළඹ ඉස්කෝලවලට ගිය පර්ෆෙක්ට් ටෙක්නික් එකක් තියෙන හැමදාම දහයට පහළොවට අවුට් වෙන අවාරෙට පොල් වැටෙනව වගේ සෙන්චරියක් ගහන ප්ලේයර්ල ව. "ඉට්ස් නොට් හව් මෙනි රන්ස් යූ ස්කෝර් සනා. ඉට්ස් හව් යූ ස්කෝර් දෙම්". අන්තිමේදී සුනෙත් ට්‍රයි කරනවා ස්ට්‍රේට් බැට් එකක් තියාගෙන කවර් ඩ්‍රයිව් එක ගහන්න. මිනිහත් දහයට පහළොවට අවුට් වෙන්න පටන් ගන්නව.

ධනුෂ්ක බණ්ඩාර ගෙ බෝල් වලට බැට්ස්මන් ලගෙ හෙල්මට්, ඉළඇට කූඩු, ග්ලවුස් එහෙම හොඳට පුරුදුයි. සිලෝන් ටීම් එකේ ඕපනිං බැට්ස්මන් පවා බණ්ඩ ගෙ බෝලට බැට් එක දාගන්නෙ ඕවෙරේට දෙතුන් පාරයි. හැබැයි ධනුෂ්ක හැමදාම සිලෙක්ට් වෙන්නෙ ඉන්දියා - පකිස්තාන් ටුවර් වලට. ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා නිව් සීලන්ඩ් ටුවර් වලට සිලෙක්ට් වෙන්නෙ රෝයල්, සෙන් තෝමස්, සෙන් පීටර්ස් ට්‍රිනිටි ගහපු කොල්ලො. ලාහෝර් වල, බැංගලෝර් වල දුඹුරු පාට දූවිලි ගොඩවල් උඩ බණ්ඩ දුම දාගෙන බෝල් කරනයවා. විකට් 4-5 ගන්නව. ඉළ ඇට දෙක තුනක් කුඩු කරනවා. හැබැයි ඕස්ට්‍රේලියා ටුවර් එක එද්දි බණ්ඩ හැමදාම ඉන්ජර්ඩ්. බණ්ඩ දන්නව මිනිහට හැමදාම පැයට හැතැම්ම අනූවක වේගෙන් බෝල් කරන්න බෑ කියල. එක්දාස් නවසිය අසූ දෙකේ සවුත් ඇෆ්‍රිකන් රෙබෙල් ටුවර් එකට බණ්ඩත් සයින් කරනවා. සල්ලි වලටම නෙවෙයි. කොළ පාට විකට් එකක බෝල් කරන්න ආසාවට. ඒ ටුවර් එකේ දි බණ්ඩ මයික් ප්‍රොක්ටර් ගෙ හෙල්මට් එක ගැලවෙන්න බවුන්සර් එකක් දානව. තව එකක් වදින්නෙ පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කූඩුවෙ.

බිඳුන ආත්ම විශ්වාසයත් එක්ක රාජා ආපහු කෝච්චියෙම බදුල්ලෙ යනව. අද රාජා පොඩි මැණිකෙ එකේ වඩේ විකුණනවා.

සුනෙත් හේවාමිතිගේ ට ගෙදර ආර්ථික ප්‍රශ්නත් එක්ක දිගටම අතින් වියදම් කරගෙන ක්ලබ් ක්‍රිකට් ගහන එක ප්‍රශ්නයක් වෙනව. ඉන්ටර්නැෂනල් මැච් වලට මිනිහ සිලෙක්ට් වෙන්නෙත් නෑ. සුනෙත් ගෙ මාම සුනෙන්ත් ට මාතර මහජන බැංකුවෙ ජොබ් එකක් සෙට් කරනවා. සුනෙත් ආපහු මාතර යනව. මිනිහ අද වයිෆුයි ළමයි දෙන්නයි එක්ක මාතර පදිංචිය.

බණ්ඩ සවුත් ඇෆ්‍රිකා වල ඉඳන් ඇවිල්ල කටුනායකින් කෙලින්ම යන්නෙ නුවර. ටුවර් එකේ සල්ලි වලින් පොඩි හාඩ්වෙයාර් බිස්නස් එකක් පටන් ගන්නව. අද මිනිහ සාර්ථක ව්‍යාපාරිකයෙක්. බණ්ඩට දැන් පොඩි මුදලාලි බඩක් එහෙම තියෙනවා. ආයෙත් පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කුඩු වෙන්න බෝල් කරන්න බෑ.

කතාවෙ දෙවෙනි කෑල්ල පටන් ගන්නෙ හරියටම අවුරුදු දහයකට පස්සෙ. නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න මාතර සර්වේෂස් ගහපු කොල්ලෙක් කොළඹ එනව කෝච්චියෙන්. ඉස්සර සුනෙත් හේවාමිතිගේ ඉස්කෝලෙ ක්‍රිකට් ගහද්දි වැට අයිනට වෙලා ඇස් පිල්ලන් නොගහ බලන් හිටපු මේ කොල්ල යකෙක් වගේ කලුයි. කඟවේනෙක් වගේ ජව සම්පන්නයි. වමත් පිතිකරුවෙක්. ගහද්දි ගහනව බෝලෙ පතුරු ගැලවෙන්නෙ. හැබැයි කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නෑ.

මේ කොල්ලටත් එහෙන් මෙහෙන් කැපිලි එනව. හැබැයි ටීම් එකේ ඉන්න බඩ මහත ආනන්ද කාරයෙක් මිනිහට උදව් කරනව. මිනිහ වැඩිපුර ලකුණු නොගැහැව්වත් දිගටම මැච් වලට ගන්නව. ටෙක්නික් එක වෙන්ස් කරන්න දෙන්නෙ නෑ. "උඹට පුළුවන් විදිහට ගහපන් මල්ලි". අවුරුදු පහකට පස්සෙ ඕස්ට්‍රේලියාවෙ ඇඩිලේඩ් වල ටෙස්ට් මැච් එකක්........

මම පොඩි විහිළුවක් කරේ.

ෂෙහාන් කරුණාතිලක මෙහෙම පොතක් ලියන්නෙ නෑ.

ගල්කිස්සෙ ප්‍රයිවට් ඉස්කෝලෙක ඉගෙන ගත්ත, නිව් සීලන්ඩ් වල යුනිවර්සිටියක ඩිග්‍රිය කරපු ෂෙහාන් කරුණාතිලක කවදාවත් මෙහෙම පොතක් ලියන්නෙ නෑ.

මේ පොත ලියන්න ඕනෙ අපි.

Monday, February 15, 2016

සිංහල භාෂාව දුප්පත් ද​?

සිංහල භාෂාව දුප්පත් ද​?



ලංකාව අද පත්ව ඇති ඌන සංවර්ධිත තත්වයට හේතුව ලෙස සමහර දෙනෙක් දක්වන හේතුවක් වන්නේ සිංහල භාෂාවයි. සිංහල භාෂාවේ අඩුපාඩු ලෙස ඔවුන් දක්වන හේතු කීපයක් මෙසේය​.

1. අකුරු ගණන වැඩි වීම​
2. ඉස්පිලි, ඇලපිලි ආදිය වැඩි වීම​
3. පර්‍යාය පද වැඩි වීම​
4. කතා කරන භාෂාව සහ ලියන භාෂාව දෙකක් වීම​
5. ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගණන වැඩි වීම​

බොහෝ විට මේ සංසන්දනය කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමඟය​. නමුත් ඔලුගෙඩි තුල ඇති හීනමානය පසෙකින් තබා තරමක් හොඳින් විමසා බැලුවොත් පෙනී යන්නේ සිංහල භාෂාව, විශේෂයෙන්ම ඉංග්‍රීසියට සාපේක්‍ෂව ඉතාමත් දියුණු සහ විද්‍යාත්මක භාෂාවක් බවයි.

අක්‍ෂර මාලාව 

ලිඛිත භාෂාවේ තැනුම් ඒකකය වන්නේ හෝඩිය හෙවත් අක්‍ෂර මාලාවයි. අද ලෝකයේ ඇති හෝඩි ප්‍රධාන කොටස් පහකට බෙදා දක්වනු ලැබේ

1. Alphabetic - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ ස්වර සහ ව්‍යංජන කීපයක එකතුවෙනි. උදාහරන : ඉංග්‍රීසි, ග්‍රීක්, ලතින්

2. Abjad - ව්‍යංජන සඳහා පමනක් සංකේත ඇත​. ස්වර සඳහා සංකේත නැත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ එහි ව්‍යංජනාක්‍ෂර වලින් පමනි. අවස්ථාව අනුව ස්වර කවරේදැයි කියවන්නා උපකල්පනය කළ යුතුය​. උදාහරන : අරාබි, හිබෲ

3. Abugida - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ ව්‍යංජනාක්‍ෂරය සඳහා අමතරව එක් කරන "පිළි" මගිනි. උදාහරණ : සිංහල​, දෙමළ​, ඉතියෝපියානු, තායි

4. Logographic - ශබ්ධ සඳහා සංකේත නැත​. එක් එක් භාෂාමය අදහසක් සඳහා වෙන වෙනම සංකේත ඇත​. උදාහරන : චීන, කන්ජි (ජපන්)

5. Syllabic - එක් එක් ශබ්ධය සඳහා වෙන වෙනම සංකේත ඇත​. උදාහරණ : කනා (ජපන්)

මේ වර්ගීකරනය අනුව ඉංග්‍රීසි Alphabetic හෝඩියක් වන අතර සිංහල Abugida හෝඩියකි.

වඩා විද්‍යාත්මක ලිවීමේ ක්‍රමය වන්නේ Abugida බව අමුතුවෙන් කිව යුතු නැත​.

Alphabetic ක්‍රමයේදී, උදාහරණයකට ඉංග්‍රීසි භාෂාවේදී, ශබ්ධයක් නිරූපනය කිරීම සඳහා අක්‍ෂර කීපයක එකතුවක් යොදාගත යුතු වේ. උදාහරණයකට "බි" ශබ්ධය නිරූපනය සඳහා "bi" යන අක්‍ෂර දෙකේ එකතුවක් යොදා ගනී. සිංහල භාෂාවේදී එය කරන්නේ මූලික ව්‍යංජනාක්‍ෂරය වන "බ​" සඳහා පිල්ලමක් යෙදීමෙනි.

ඉංග්‍රීසියේදී මෙය කර ඇත්තේ එහෙම්පිටින්ම අච්චාරුවක් ආකාරයෙනි. උදාහරන කීපයකින් මෙය මනාව පෙන්වාදිය හැක​.

"ඉ" ශබ්ධය "i" මගින් නිරූපනය කෙරෙන විට "ඊ" නිරූපනය කෙරෙන්නේ "ee" මගිනි. තර්කානුකූලව නම් එය "ii" විය යුතුය​.

"උ" ශබ්ධය "u" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඌ" නිරූපනය කෙරෙන්නේ "oo" මගිනි. තර්කානුකූලව නම් එය "uu" විය යුතුය​.

"ඔ" ශබ්ධය "o" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඕ" සඳහා සමහර විට "oa" යෙදෙන අතර (oak) සමහර විට "o" යෙදේ (dog).

"a" අකුර සමහරවිට "අ" සඳහා යෙදෙන අතර (normal) සමහරවිට "ආ" සඳහා යෙදේ (arm). සමහරවිට "ඇ" සඳහා යෙදේ (bat). සමහරවිට "ඒ" සඳහා යෙදේ (save).

සමහර අවස්ථා වලදී තාර්කික භාවයට එහෙම්පිටින්ම පයින් ගසා "අ" ශබ්ධය සඳහා "u" යොදා ගනී (but).

බොහෝ අක්‍ෂර වින්‍යාසයන් කුමන අවස්ථාවේ කුමන ආකාරයෙන් යෙදේදැයි කියවන්නා හෝ ලියන්නා දැනගත යුත්තේ මතකයෙන් පමනි. එහි කිසිම තාර්කික බවක් නැත​. "cat" කට් නොවී කැට් වන්නේත්, "cut" කුට් නොවී කට් වන්නේත් ඇයිදැයි දන්නේ ඉංග්‍රීසි භාෂාව හැදූ එකාගේ බාප්පා පමණි.

මේ විකාර සහගත භාවිතය නිසා බොහෝ ශබ්ධකෝෂ වල ඉංග්‍රීසි වචන උච්චාරනය කළ යුතු ආකාරය දැක්වීමට වෙනම සංකේත පද්ධතියක් භාවිතා කෙරේ (water - wɔːtə).

මෙවැනි උදාහරණ දහස් ගණනක් දැක්විය හැක​.

නමුත් සිංහල භාෂාවේ මතක තබා ගත යුත්තේ අකුරු පණස් හතර සහ පිල්ලම් යෙදෙන ආකාරය පමණි. පිල්ලම්‍ යෙදෙන ආකාරය අවස්ථා සුළු ගණනක (නු සහ කු වැනි) හැරුණු විට සම්පූර්නයෙන්ම ඒකමිතිකය​. තාර්කිකය​. මේ අකුරු සහ පිල්ලම් යෙදෙන ආකාරය දැනගත් අයෙකුට තමා කිසි දිනෙක නොඇසූ ශබ්ධයක් පවා 90% අවස්ථා වල නිවැරදිව ලිවීමේ හැකියාව ඇත.

ඉංග්‍රීසියේ ඇති "spelling bee" තරග සිංහලෙන් තැබිය නොහැක්කේ ඇයි දැයි මදකට සිතා බලන්න​.

මේ හැරුණු විට මිනිස් දිවකට වර නැගියහැකි සියළුම ශබ්ධ පාහේ සිංහලෙන් ලිවිය හැක​. එසේ නොහැකි ශබ්ධ අතලොස්සෙන් එකක් වූ "F" සඳහා දැන් "ෆ" අකුර හඳුන්වාදී ඇත​. "Z" සඳහා පමණක් තවම අකුරක් නැත​. එය හඳුන්වාදීමත් මහ ලොකු කාරියක් නොවේ. ඊට අමතරව සමහර අප්‍රිකානු භාෂා වල ඇති "ක්ලික්" ශබ්ධ සඳහා සිංහල අකුරු නැත​.

නමුත් ඉංග්‍රීසි භාෂාවේ නොයෙදෙන ශබ්ධ එමටය​. ඒ ශබ්ධ ඉංග්‍රීසි දිවට නුහුරුය​. උදාහරණයකට "මඤ්ඤොක්කා" "පිට්ඨමාංසිකයා" වැනි වචන ඉංග්‍රීසි කතා කරන්නෙකුට නිවැරදිය උච්චාරනය කිරීම සිහිනයකි. එපමනක් නොව ඒ වචන හැරි හැටි ලිවීමට පවා ඉංග්‍රීසියේ පහසුකම් නැත​. "ඨ​" ශබ්ධය ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද​?

ප්‍රාදේශීය ප්‍රබේධ ගතහොත් ඉංග්‍රීසිය යනු එහෙම්පිටින්ම කැඳ හැළියකි. නමුත් මෙය එතරම් සාධාරන කතාවක් නොවන්නේ ඉංග්‍රීසිය ලොව පුරා පැතිරී ඇති හෙයිනි. කෙසේ නමුදු ප්‍රාදේශීය ව්‍යවහාරයන් අනුව ඉංග්‍රීසිය ලියන ආකාරය (colour - color) උසුරුවන ආකාරය (බැට්‍රි - බැටරි) පමණක් නොව යෙදුම් පවා හාත්පසින්ම වෙනස් ය​. ඇමරිකාවේ ගෙටෝ වාසී කලු ජාතිකයෙකු කතා කරන (එබොනික්ස් යන අවමන් සහගත පදයෙන් හඳුන්වන​) ඉංග්‍රීසි භාෂාව අපිට තේරුම් ගත නොහැකි තරම් වෙනස් ය​.

"නිවැරදි" ඉංග්‍රීසිය කුමක්දැයි සිතා ගත නොහැකි තරමට මේ වෙනස් කම් ප්‍රචලිත වී ඇත​. තාර්කිකව ගතහොත් "නිවැරදි" ඉංග්‍රීසිය විය යුත්තේ එංගලන්තයේ කතා කරන ඉංග්‍රීසිය වුවත්, පරිගණක වල "colour" ලෙස ටයිප් කල වචනයක් නිවැරදි වචනයක් ලෙස හඳුනා නොගනී. ඒ ඇමරිකන් කාරයාගේ මුදලේ බලයට පින් සිදු වන්නටය​.

පර්‍යාය පද


පර්‍යාය පද (සමාන වචන​) වැඩි වීම නිසා සිංහල භාෂාව අනවශ්‍යය ලෙස සංකීර්න වී ඇති බව තවත් චෝදනාවකි.

ඉංග්‍රීසි භාෂාවේ පර්‍යාය පද නැතැයි යමෙකුට සිතිය හැකි වුවත් ඒ ඉංග්‍රීසියට කරන නිගරුවකි. පර්‍යාය පද නොමැති වීමට තරම් ඉංග්‍රීසිය දුප්පත් බසක් නොවේ. උදාහරණයකට "water" යන්නට පර්‍යාය පද ලෙස "aqua" සහ "hydro" දැක්විය හැක​.

ඇත්තටම පර්‍යාය පද අවශ්‍යය වන්නේ ඇයි?

"වතුර" යන සංකල්පය අපිට සැමවිටම එකම ආකාරයේ හැඟීම් ජනිත නොකරයි. ජල ගැල්මකදී වතුර ගැන ඇතිවන හැඟීම පිපාසයෙන් පෙළෙන කෙනෙකුට දෙන වතුර වීදුරුවකින් ඇති නොවේ. ඒ සම්පූර්නයෙන්ම වෙනස් හැඟීම් දෙකකි. මේ වෙනස් හැඟීම් ඇඟවීමට පර්‍යාය පද යොදා ගනු ලැබේ. ඒ මගින් කියවන්නාට වඩා පැහැදිලි ලෙස පණිවුඩය සන්නිවේදනය කළ හැක​.

"පිරිත්වතුර" කියා දෙයක් කොහෙවත් නැත​. ඒ වගේම "පැන් ගැල්මක්" කොතැනවත් ඇති නොවේ. "පැන්" වචනයෙන් අඟවන්නේ ප්‍රියජනක හැඟීමකි. "වතුර​" සහ "ජල​" යෙදුම් ඊට වඩා අපක්‍ෂපාතීය​. අරක්කු පානයෙහි ප්‍රිය අයෙක් "මත්පැන්" ලෙස හඳුන්වන දේ අමධ්‍යප පුද්ගලයෙක් "මත්වතුර" ලෙස හැඳින්වූ විට ඔහු අරක්කුවලට දක්වන විරෝධය ඉන් මැනවින් සන්නිවේදනය වේ.

ඉංග්‍රීසිය මේ තරම් දියුණු නැත​. නමුත් ඉංග්‍රීසියේ පර්‍යාය පද නැති බවක් ඉන් අදහස් නොකෙරේ. "water power plant" ලොව කොහෙවත් නැත​. ඇත්තේ "hydro power plant" ය​.

පර්‍යාය පද අඩු වීමෙන් බස වඩා සරළ වී තාක්‍ෂනික භාවිතයට වඩා සුදුසු බව කියැවේ. මෙය සම්පූර්නයෙන්ම වැරදි මතයකි.

සිංහලයේද තාක්‍ෂනික යෙදුම් සඳහා භාවිතා කෙරෙන්නේ චවන අතලොස්සකි. කොත්මලේ ඇත්තේ "ජල විදුලි බලාගාරයකි". "පැන් විදුලි බලාගාරයක්" නොවේ. "දිය විදුලි බලාගාරත්" කොහෙවත් නැත​. තාක්‍ෂනික භාවිතයට පමණක් සිංහලය යොදා ගන්නා කෙනාට ඒ සඳහා යෙදෙන වචන අතලොස්ස දැන ගැනීම පමණක් සෑහේ. සිංහලයේ වතුරට පර්‍යාය පද විසි ගණනකි. නමුත් ජල විදුලි බලාගාර ගැන කියවන්නට "ජලය​" පමණක් දැන් ගැනීම ප්‍රමානවත් ය​.

කියන බස සහ ලියන බස​


සිංහලයේ කතා කරන බස සහ ලියන බස දෙකකි. ඉංග්‍රීසියේද එසේය​. ඒ එසේ නොවේ කියන්නා හරි හැටි ඉංග්‍රීසි නොදන්නා පුද්ගලයෙකි.

ඉංග්‍රීසියෙන් තාක්‍ෂනික පොතක් ලියන්නේ යාළුවන් සමඟ හවසට බාර් එකේ අඩියක් ගසන ගමන් කතා කරන ඉංග්‍රීසියෙන් නොවේ. "above mentioned items were tested more than two years ago" ලෙස ලිවිය යුතු තැන "dude, you know the stuff I was talking about before, we tested them like two years ago" ලෙස ලිව්වොත් එය විහිළුවක් වේ.

එකම වෙනස වන්නේ කතා කරන ඉංග්‍රීසි භාෂාවේ වියරණ පිළිබඳ කතා කරන සිංහල භාෂාවට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වීමයි. එය ඉංග්‍රීසි ලිවීමට ලෙහෙසියක් නොව කතා කිරීමට අපහසුවක් පමණි.


සිංහල සමඟ දියුණු විය නොහැකි ද​?



සිංහල බසේ අඩු පාඩු නිසා දියුණු විය නොහැකියි කියන වැරදි මතය බිඳීමට උදාහරණ දෙකක් දිය හැක​. ඒ චීනය සහ ජපානයයි.

චීන හෝඩිය "logographic" හෝඩියකි. එනම් සෑම අදහසක් සඳහා වෙන වෙනම අකුර බැගින් ඇත​. සාම්ප්‍රදායික චීන හෝඩියේ අකුරු දහස් ගණනක් ඇත​. ඊට අමතරව ඉතිහාසයේ වරින් වර විවිධ උගතුන් මේ හෝඩිය වඩා සරළ කිරීමට ගත් උත්සහයන් නිසා "සරළ කරන ලද​" චීන හෝඩි ගණනාවක් ද ඇත​.

ජපන් හෝඩි තුනක් ඇත​. ප්‍රධාන හෝඩිය වන කන්ජි හෝඩිය චීන බස මත පදනම් වූ "logographic" හෝඩියකි. එහි නිතර භාවිතා වන අකුරු 2000 පමණ ඇති අතර සාමාන්‍යය උගතෙක් අකුරු 5000 පමණ භාවිතා කරයි. මුළු කන්ජි අකුරු ගණන 50,000 පමණ වේ.

කන්ජි අකුරු වලින් ප්‍රකාශ කළ නොහැකි අදහස් ප්‍රකාශ කිරීම සඳහා "හිරගනා" නම් අකුරු 46 ක වෙනත් හෝඩියක් යොදා ගැනේ. මෙය "syllabic" ආකාරයේ හෝඩියකි.

විදේශීය භාෂා වලින් ණයට ගත් වචන ලිවීම සඳහා අකුරු 46 ක "කතකනා" නම් තවත් හෝඩියකි. එයත් "syllabic" ආකාරයේ හෝඩියකි.

ජපන් බසින් ලිවීමේදී මේ හෝඩි තුනේම අකුරු මිශ්‍රව භාවිතා වේ. ඊට අමතරව ජපන් බසේ තිත්, කොමා වැනි විරාම ලක්‍ෂන​, වචන කැඩීම අදිය නැත​. මේ නිසා ජපන් ලියැවිල්ලක් පෙනෙන්නේ එක ගොඩට ලියූ අකුරු සමූහයක් ලෙසිනි.

ජපන් බස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ලෝකයේ අමාරුම බස ලෙසයි.

අද ලෝකයේ තාක්‍ෂනික නිපැයුම් වලින් අඩක පමණ මුල් බිම චීනයයි. ජපානය අද ලෝකයේ තාක්‍ෂනික සහ ආර්ථික දැවැන්තයෙකි. ඉතින් මේ සා අතාර්කික අපහසු භාෂා සමඟ මෙවැනි තාක්‍ෂනික ජයග්‍රහන ලැබීමට ජපනුන්ට සහ චීනුන්ට හැකි නම්, සිංහල වැනි තාර්කික​, පහසු, විද්‍යාත්මක බසක් සමඟ තාක්‍ෂනයට මුහුණ දිය නොහැකියි කියන්නේ අදක්‍ෂ​, නිර්මානශීලි නොවන පුස්සන් පමණි.


තාක්‍ෂනික සිංහල​


සිංහලෙන් තාක්‍ෂනික අදහස් පළ කළ නොහැකියි යන මතයට ප්‍රධාන හේතුවක් වන්නේ "transformer"එකට "තරාපැවිය​"ත් "universal joint" එකට "සර්වලෝක පූට්ටුව"ත් ලෙසින් තාක්‍ෂනික යෙදුම් සැදූ පඬියන් ය​.

වෙනත් භාෂා වලින් වචන ණයට ගැනීම කිසිසේත්ම ලැජ්ජාවට කාරණයක් නොවේ. සිංහලෙන් මටසිළුටු සහ කියන විට අරුත වැටහෙන සරළ වචනයක් (transformer - පරිණාමකය​, bicycle- පාපැදිය​) සෑදිය නොහැකි නම් කල යුත්තේ විදෙස් වචනය සිංහල ආරට ඔපමට්ටම් කර පාව්ච්චි කිරීමය​. එසේ නොමැතිව කියවන විට දිව උළුක් වන කුණුහරුපයක් නිර්මානය කිරීම නොවේ.

beer වෙනුවට "බීර​" යන්න එලෙස ඔපමට්ටම් කර තැනූ කදිම චවනයකි. මෙය අපි අනාදිමත් කලක සිට කර ඇත​. කමිස, කලිසම්, කොකිස්, සපත්තු, අල්මාරි, කුස්සි පමණක් නොව කක්කුස්සි ද පර භාෂා වලින් අපි ණයට ගත් වචනයි. නමුත් දැන් ඒවා සිංහල වචනයි.

මේ සඳහා අවශ්‍යය ලස්සන මට​සිළුටු වචන නිර්මානය කළ හැකි සිංහල උගතුන් සහ​, ඒ වචන උගෙන ඉංග්‍රීසි තාක්‍ෂනික පොත් සිංහලට පරිවර්තනය කල හැකි තාක්‍ෂනික උගතුන් පමනි.

ජපනා ඉංග්‍රීසි වචනයක් වත් නොදැන ලොව දෙවන විශාලම ආර්ථිකය ගොඩ නැංවුයේ නම්, මේසා අනගි බසක් සමඟ අපිට ඉන් බාගයක් වත් දියුණු විය නොහැකි නම් මඩු වලිගයකින් තලා ගත යුත්තේ අපටම මිස බසට නොවේ.

Monday, February 8, 2016

රුවන්ඩාව - 2


රුවන්ඩාව - 2





ජර්මන් යටත් විජිත පාලනය​


1899 වනවිට ජර්මන් වරු රුවන්ඩාව සහ යාබද සහෝදර රාජ්‍යය වන බුරුන්ඩි සම්පූර්නයෙන්ම ග්‍රහනයට ගෙන සිටියහ​.

නමුත් රුවන්ඩාවේ සමාජ​-ආර්ථික​-දේශපාලන ව්‍යූහයේ විශාල වෙනසක් සිදු නොවිනි. ජර්මන් වරු පැරණි ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ම්වාමි වරයාට ඉඩදුන් අතර බදු අය කිරීම පමණක් කළහ​. ඊට අමතරව කතෝලික මිෂනාරි වරු රුවන්ඩා ජාතියනව ක්‍රිස්තියානියට හැරවීමට පටන් ගත්හ​.

ජර්මන් ජාතිකයන් සැලකිය යුතු වෙනස්කම් දෙකක් පමණක් සිදු කළහ​. ඒ මෙතෙක් කල් පැවතුනු ලෙස කෘෂි නිෂ්පාදන වලින් බදු අය කිරීම වෙනුවට මුදලින් බදු අයකිරීම සහ වෙළඳ බෝගයක් ලෙස කෝපි වගාව හඳුන්වාදීමයි. මෙමගින් කෘෂිකර්මය සහ ගවපාලනය මත පදනම් වූ රුවන්ඩාවේ සමාජ​-ආර්ථික​-දේශපාලන පද්ධතිය ක්‍රමයෙන් උඩු යටිකුරු වීම ඇරඹිනි.

මේ අතර ජර්මන් වරු යුරෝපයේ ජාතීන් පිළිබඳ අදහස් රුවන්ඩාවට යෙදීමට පටන් ගත්හ​​. යුරෝපයේ ජාතීන් අතර බෙදීම් මුළුමනින්ම පාහේ වාර්ගික බෙදීම් විය​. උදාහරණයකට යමෙක් ජර්මන් ජාතිකයෙක් වූයේ උපතින් වූ අතර ඔහුට කවදාවත් ප්‍රංශ ජාතිකයෙක් වීමට නොහැකි විය​. මේ නිසා රුවන්ඩාවේ පැවති ජාතීන් අතර සංකීර්න බෙදීම් ජර්මන් වරුන්ට අවබෝධ කරගත නොහැකි විය​.

තමාට අවබෝධ කරගත නොහැකි ඕනෑම දෙයක් පිළිබඳ දක්වන යුරෝපීය ආකල්පය මෙතැනදීද යොදා ගැණුනු අතර​, ජර්මන් වරු හුටු-ටුට්සි-ට්වා බෙදීම ද වාර්ගික එකක් බවට පත් කළ අතර ඒ වෙනුවෙන් ව්‍යාජ ඉතිහාසයක් හා ව්‍යාජ විද්‍යාත්මක ප්‍රවාද නිර්මානය කෙරිනි.

මේ සඳහා පාදක කරගන්නා ලද්දේ 1868 දී බ්‍රිතාන්‍යය ජාතික ජෝන් හැනිං ඉදිරිපත් කළ "හැම්ටික් ප්‍රවාදයයි".
ජෝන් හැනිං

හුටු-ටුට්සි-ට්වා බෙදීම පිළිබද යුරෝපීය ප්‍රවාද​


හුටු-ටුට්සි-ට්වා බෙදීම වාර්ගික මෙන්ම සමාජ​-ආර්ථික ලක්‍ෂන ද සහිත එකක් බව ඉහත සඳහන් කෙරිනි. ප්‍රධාන වශයෙන් ටුට්සි වරු එඬේරුන් ද​, හුටු වරු ගොවියන් ද ට්වා වරු දඩයක්කරුවන් ද වූහ​.

මේ කණ්ඩායම් අතර අහාර පුරුදු වල වෙනස් කම් නිසා ශාරීරික වෙනස් කම් පැවතිනි. දඩයක්කරුවන් වූ ට්වා වරු තම ආහාරයේ පෝෂන ඌනතා නිසා ඉතා මිටි වූහ​. ජර්මානුන් ට්වා වරු පරිණාමයේ පහල අඩියක උන් අර්ධ මනුෂ්‍යයන් ලෙස සැලකූ අතර ඔවුන් හැඳින්වීමට ට්වා යන යෙදුම වෙනුවට අපහාසාත්මක "පිග්මි" යන යෙදුම පාවිච්චි කරන ලදී. පිග්මින්ට කිසිම සමාජ ආර්ථික වරපරසාදයක් නොලැබිනි.

ගොවියන් වූ හුටු වරු තම ප්‍රධාන කෘෂි බෝග මත පදනම් වූ ආහාරය නිසා තරමක් මිටි සහ මහත සිරුරු ඇත්තෝ වූහ​. ඒ අතර ටුට්සි වරු ගව මස් සහ කිරි බහුල ආහාරයක් ගත් නිසා ඔවුහු උස, කෙට්ටු සහ ශක්තිමත් සිරුරු ඇත්තෝ වූහ​.
හුටු ටුට්සි සහ ට්වා වරු අතර වෙනස් කම් දැක්වෙන චිත්‍රයක්

ජර්මන් වරු මෙය වර්ගීකරණය කළේ හුටු වරු ස්වදේශික බන්ටු වරු වන අතර​, ටුට්සි වරු ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් සංක්‍රමනය වූ හැම්ටික් වර්ගයට අයත් ගෝත්‍රයක් ලෙසිනි. හැම්ටික් ගෝත්‍රිකයන් වූ ටුට්සි වරු යුරෝපීයයන්ට සමීප බවත්, ඔවුන් ගේ දිගටි මුහුණු, දික් වූ නාසා සහ උස් සිරුරු වලින් යුත් හැඩහුරුකම වඩා යුරෝපීය බව කියැවිනි.

මේ ව්‍යාජ විද්‍යාත්මක ප්‍රවාද වලින් තුන් ආකාරයකට රුවන්ඩානු සමාජය බෙදීමකට ලක් විය​. තමා හුටු වරුන්ට වඩා උසස් ය යන හැඟීම ටුට්සින්ට ඇති වූ අතර​, ටුට්සින් යනු පිටින් පැමිණි ආක්‍රමනිකයන් පිරිසක් යන හැඟීම හුටු වරුන්ට ඇති විය​. ඒ අතර මේ බෙදීම් වාර්ගික කරණය කළ නිසා එදිරිවාදිකම් වඩා ආක්‍රමනශීලී ස්වරූපයකට පත් කෙරිනි.

ආර්ථික සමාජයීය පෙරළි


මුදල් සහ කෝපි හඳුන්වාදීම නිසා ටුට්සි වරුන් ගේ ගව සම්පතට එතෙක් තිබූ තැන ක්‍රමයෙන් අහිමි වූ අතර ටුට්සි බලය පිරිහීමක්ට ලක් විය​. නමුත් පාලක ටුට්සි පන්තිය විරුද්ධ කර ගැනීම තම පාලනයට අහිතකර බව වටහා ගත් ජර්මානුවෝ ඒ වෙනුවට ටුට්සින් ගේ වාර්ගික උසස් බව පිළිබඳ මිත්‍යාව වැපිරීමෙන් සහ යුරෝපයේ තිබූ ආකාරයේ ප්‍රවේනි දාස ක්‍රමයක් ඇති කර හුටු වරු ටුට්සීන් ගේ ප්‍රවේනි දාසයන් බවට පත් කිරීමෙන් ටුට්සින් තමා වෙත නමා ගත්හ​. ඒ අතර හුටු වරුන්ට මෙතෙක් තිබූ දේශපාලන බලය සම්පූර්නයෙන්ම ටුට්සි වරු අතට පත් කරන ලදී.

මේ ක්‍රමය කෙරහි හුටු විරෝධය වර්ධනය වූ අතර 1911 දී උතුරු රුවන් ඩාවේ හුටු කැරැල්ලක් ඇති විය​. එය ජර්මන් සහයෙන් මැඩලීමට ම්වාමි වරයා සමත් විය​. නමුත් ජර්මන් වරු සමඟ එක්ව හුටු වරුන්ට පහර දීම නිසා ටුට්සි වරු යුරෝපීය යටත් විජිත වාදයේ ඉත්තන් යන හැඟීම හුටු වරු අතර තහවුරු විය​.

බෙල්ජියම් පාලනය​


පළවෙනි ලෝක යුද්ධයේ ජර්මන් පරාජයත් සමඟම ජර්මානු යටත් විජිත ජයග්‍රාහික රටවල් අතර බෙදා දෙන ලදී. රුවන්ඩාව සහ බුරුන්ඩි රාජ්‍යයන් දෙක අයත් වන ලද්දේ අසල් වැසි කොංගෝවේ විශාල යටත් විජිතයකට හිමිකම් කියූ බෙල්ජියමටයි. බෙල්ජිම් වරු මේ රාජ්‍යයන් දෙකම එක් පාලන ප්‍රදේශයක් ලෙස "රුවන්ඩා-උරුන්ඩි" නමින් පාලනය කළහ​.

රුවන්ඩා-උරුන්ඩි ධජය​

බෙල්ජියම් වරු ජර්මන් වරුන්ට වඩා ඉතා දැඩි වශයෙන් මේ රාජ්‍යයන් ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වූහ​. මේ හේතුවෙන් බෙල්ජියම් පාලනය යටතේ රුවන්ඩාවේ සමාජය විශාල පරිවර්තනයකට ලක් විය​.

කෝපි වගාව වඩා ප්‍රචලිත කරන ලද අතර​, ඊට අමතරව මඤ්ඤොක්කා, ඉරිඟු සහ අර්තාපල් වගාවන් ද හඳුන්වා දෙන ලදී. සියළුම ගොවියන්ට තාම් ඉඩම් වලින් යම්කිසි ප්‍රතිශතයක කෝපි වගා කරන ලෙස බල කරන ලද අතර​, බෙල්ජිම් පාලකයන් ටුට්සි ප්‍රාදේශීය නායකයන් හරහා මේ නීති ඉතා දැඩි ලෙස පනවන ලදී. මේ නිසා වරින් වර රුවන්ඩාවේ සාගතයන් ඇති විය​. ජනගහණයෙන් විශාල පිරිසක් මිය යන ලදී.

සාගතයෙන්, ප්‍රාදේශීය කැරලි වලින්, සහ දරුණු බෙල්ජියම් පාලනයෙන් මිදීමට රුවන්ඩා ජාතිකයන් අසල්වැසි කොංගෝවට සහ උගන්ඩාවට පලා යන ලදී. මීට අමතරව රුවන්ඩා ජාතියන් පතල් කම්කරුවන් ලෙස කොංගෝවට ගෙන යාමටද බෙල්ජියම් වරු කටයුතු කළහ​. මේ රුවන්ඩා ඩයස්පෝරාව "බන්‍.යරුවන්ඩා" ලෙස හැඳින්වේ.

කොංගෝවේ පතලක වැඩ කරන රුවන්ඩා ජාතික කම්කරුවන්

බෙල්ජියම් පාලනය යටතේ හුටු-ටුට්සි බෙදීම්


බෙල්ජියම් වරු ජර්මන් පාලනය යටතේ ඇරඹුනු වාර්ගික බෙදීම වඩා තීව්‍ර කරමින් සෑම පුද්ගලයෙක්ටම "වාර්ගික හැඳුනුම්පතක්" ලබා දීමට කටයුතු කළහ​. මේ සඳහා සෑම පුද්ගලයෙක්ම හුටු හෝ ටුට්සි වශයෙන් පැහැදිලිව හඳුනාගැනීම අවශ්‍යය වූ නිසා මිනිසුන් ගේ හිස් කබලේ ධාරිතාව​, නාසයේ දිග, ඇස් වල හැඩය, උස ආදී ශාරීරික ලක්‍ෂන මැනීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී. මෙලෙසින් එක් රැස් කරන ලද දත්ත අනුව ටුට්සි වරයෙක් වීමේ "ශාරීරික සුදුසුකම්" අර්ථ දක්වන ලදී.

රුවන්ඩා ජාතිකයෙක් ගේ නාසයේ දිග සහ ඇසේ හැඩය මැනීම​

එක් රැස් කරන ලද දත්ත​
නමුත් මේ නිගමන ව්‍යාජ ප්‍රවාදයන් මත පදනම් වූ නිසා සත්‍ය වශයෙන් ක්‍රියාවට නැංවීමේදී නොයෙක් ගැටළු මතු විය​. බොහෝ ටුට්සි වරු ටුට්සි වරයෙක් වීමේ "සුදුසුකම්" සපුරා ලීමට අපොහොසත් වූහ​. එබැවින් ඉහත සුදුසුකම් වලට අමතරව හරකුන් දහයක් හෝ වැඩි ගණනක් හිමි වීමද "සුදුසුකමක්" වශයෙන් සලකන ලදී. 

1926 දී මෙම වාර්ගික හැඳුනුම්පත් නිකුත් කරන ලද අතර, එතැන් පටන් සියළුම රුවන්ඩා ජාතිකයන් වෙනස් කළ නොහැකි ලෙස හුටු හෝ ටුට්සි වරයෙක් ලෙස වර්ග කරන ලදී. සාම්ප්‍රදායික බෙදීම මුලිනුපුටා දමා හුටු-ටුට්සි බෙදීම පිරිසිදු වාර්ගික බෙදීමක් කිරීමේ ක්‍රියාවලිය එලෙස සම්පූර්න විය​.

වාර්ගික හැඳුනුම්පතක්


රෝමානු කතෝලික පල්ලිය රුවන්ඩාවේ ව්‍යාජ ඉතිහාසය ස්ථාපනය කිරීමේ විශාල කාර්‍ය භාරයක් කළේය​. රටේ අධ්‍යාපනය මුළුමනින්ම පාහේ භාර වූ කතෝලික පල්ලියට වූ අතර​, ඔවුන් මෙම නිර්මානය කරන ලද ව්‍යාජ ඉතිහාසය තම මිෂනරි පාසැල් වල ඉගැන්වූය​. අධ්‍යාපනය මුළුමනින්ම පාහේ ටුට්සි වරුන්ට සීමා කරන ලදී.

සාගත​​


බලෙන් පටවන ලද කෝපි වගාව නිසා ඇතිවූ සාගතයන් ගෙන් හුටු ගොවිබිම් විනාශ වූ අතර එය ටුට්සි ඉඩම් හිමියන්ට ද තදින් බලපාන ලදී.  1928-29 කාලයේ ඇති වූ සාගතයකින් පසු ම්වාමි වරයා වූ යුහී මුසින්ගා ප්‍රමුඛව ටුට්සි වරු බෙල්ජියම් පාලනයට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර​, 1931 දී බෙල්ජියම් වරු එය පහසුවෙන් මැඩ පැවැත්වූහ​. කැරැල්ල අවසානයේ යුහී මුසින්ගා බලයෙන් පහ කරන ලද අතර ඔහුගේ වැඩිමල් පුත් චාල්ස් මුටාරා ම්වාමි වරයා ලෙස පත්කරන ලදී.

යුහී මුසින්ගා
චාල්ස් මුටාරා 1943 දී කතෝලික සමය වැළඳ ගත්තේය​. කතෝලිකයන්ට විශේෂ වරප්‍රසාද ලැබෙන තත්වයක් යටතේ රටේ විශාල පිරිසක් ම්වාමි වරයා අනුගමනය කළහ​.

චාල්ස් මුටාරා
1943-44 කාලයේ දී රුවන්ඩාවේ නිපදවන ආහාර කොංගෝවට යැවීමේ බෙල්ජියම් ප්‍රතිපත්තිය නිසා තවත් සාගතයක් ඇතිවිය​. එය අද හැඳින්වෙන්නේ "රුසගයුරා සාගතය" නමිනි. පණස් දහසකට අධික ප්‍රාමානයක් මිය ගිය අතර​, ලක්‍ෂයක් පමණ පිරිසක් අසල්වැසි උගන්ඩාවට පලා ගියහ​.

හුටු බලයේ වර්ධනය


දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමඟම රුවන්ඩාව සහ බුරුන්ඩි එක්සත් ජාතීන් ගේ සංවිධානයට අයත් පාලන ප්‍රදේශයක් බවට පත් කරන ලද අතර එහි පරිපාලකයා ලෙස බෙල්ජියම දිගටම කටයුතු කළේය​.

එක්සත් ජාතීන් ගේ පාලනය යටතේ චාල්ස් මුටාරා ඉඩම් ප්‍රතිසංකරණ ක්‍රියාත්මක කරන ලද අතර​, එමගින් හුටු වරුන්ට වඩා වැඩි බලයක් හිමි වන ලදී. මේ අතර රහස් ඡන්ද මගින් මහජන නියෝජිතයන් පත්කර ගැනීම පටන් ගන්නා ලදී. එමගින් හුටු බලය තව දුරටත් වර්ධනය විය​. හුටු වරු වැඩි වැඩියෙන් කතෝලික ආගම වැළඳ ගන්නා තත්වයක් යටතේ කතෝලික පල්ලියද හුටු වරුන්ට වැඩි දේශපාලන සහ ආර්ථික බලයක් ලබා දීමට පක්‍ෂව කටයුතු කිරීමට පටන් ගත්තේය​.

1954 දී එතෙක් ක්‍රියාත්මක වූ ප්‍රවේනි දාස ක්‍රමය අහෝසි කරන ලදී. 


Wednesday, December 23, 2015

රුවන්ඩාව​ - 1



රුවන්ඩාව මධ්‍යම අප්‍රිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි.

භූමි ප්‍රමානය : වර්ග කිලෝමීටර​ 26,338 (ලංකාව මෙන් 40%)
ජනගහණය : මිලියන 11.26 (ලංකාව මෙන් 56%)
ජනගහණ ඝනත්වය : වර්ග කිලෝමීටරයට​ 445
අගනුවර : කිගාලි
භාෂා : කින්.යාරුවන්ඩා, ප්‍රංශ, ඉංග්‍රීසි
ජනවර්ග : හුටු (85%) ටුට්සි (13%) ට්වා(1%)
ආගම් : කතෝලික (57%) ප්‍රොතෙස්තන්ත (26%) වෙනත් ක්‍රිස්තියානි (11%) මුස්ලිම් (5%)


රුවන්ඩාවේ අසල්වැසි රාජ්‍යයන් වන්නේ කොංගෝව​, උගන්ඩාව​, ටැන්සානියාව සහ බුරුන්ඩි යන රාජ්‍යයන් ය​.
අප්‍රිකාණු මහද්වීපය තුළ රුවන්ඩාවේ පිහිටීම​

යටත් විජිත සමයට පෙර ඉතිහාසය​

රුවන්ඩාවේ මුල්ම මිනිස් ජනාවාස ඇරඹෙන්නේ ක්‍රි.පූ. 3000 දී පමණ ට්වා (පිග්මි) ගෝත්‍රිකයන් එරටට පැමිණීමෙනි. ඉන්පසු හුටු සහ ටුට්සි ලෙස හැඳින්වෙන ජන කණ්ඩායම් ද පසුකාලීනව එරටට සංක්‍රමනය වූහ​. මේ සියළුම ජන කණ්ඩායම් වල එකතුවෙන් බන්.යරුවන්ඩා (රුවන්ඩාවේ මිනිසුන්) නම් සංස්කෘතික ඒකකය නිර්මානය වූ අතර​, ට්වා, හුටු සහ ටුට්සි වරු එය තුළ උප කණ්ඩායම් ලෙස පැවතිනි.

බන්.යරුවන්ඩා වරු කින්.යාරුවන්ඩා නම් එකම භාෂාවක් කතා කළ අතර ඔවුන් ගේ සංස්කෘතිය ද බොහෝ දුරට සමාන විය​. නමුත් ට්වා වරු ජීවනෝපාය ලෙස නියැලුනේ දඩයම වූ අතර ටුට්සි චරු එඬේරුන් ලෙසද හුටු වරු ගොවියන් ලෙසද කටයුතු කළහ​.

ටුට්සි - හුටු බෙදීම ජනවාර්ගික බෙදීමක ලක්‍ෂන මෙන්ම සමාජ​-ආර්ථික බෙදීමක ලක්‍ෂනත් සහිත වූ සංකීර්ණ එකක් විය​. ටුට්සි වරු එඬේරුන් වූ අතර හුටු වරු ගොවියන් වූහ​. නමුත් මෙම දෙපිරිස අතර ආවහ​-විවාහ ඇති වූ අතර​, හරකුන් යම්කිසි ප්‍රමානයක් අත්කර ගැනීමෙන් හුටු වරයෙක්ට ටුට්සි වරයෙක් බවට පත්විය හැකි විය​. එමෙන්ම තමා සතු හරකුන් අහිමි වූ ටුට්සි වරයෙක් හුටු වරයෙක් බවට පත්විය​. විශේෂයෙන්ම ධනවත් ටුට්සි වරු සහ ධනවත් හුටු වරු අතර වෙනස ඉතා අල්ප වූ නමුත්, ධනවත් ටුට්සි වරු සහ දුප්පත් ටුට්සි වරු අතර වෙනස පැහැදිලි එකක් විය​.

එඬේරුන් වූ ටුට්සි වරු ක්‍රමයෙන් අනෙකුත් කණ්ඩායම් දෙකට වඩා ධනය සහ දේශපාලන බලය වර්ධනය කර ගත් අතර​, එකොළොස් වන සියවස වන විට වර්තමාන රුවන්ඩාවට අයත් ප්‍රදේශය රුවන්ඩාව නම් ටුට්සි පාලකයෙක් යටතේ පාලනය වුනු රාජධානියක්ව පැවතිනි. මෙම පාලකයා හඳුන්වන ලද්දේ "ම්වාමි" යන නමිනි.

ට්වා, හුටු සහ ටුට්සි වරු රුවන්ඩාවට දකුණින් පිහිටි ප්‍රදේශ වලට ද සංක්‍රමනය වූ අතර​, එම ප්‍රදේශ බුරුන්ඩි නමින් වෙනම රාජධානියක් ලෙස පැවතුනු අතර​, එහි පාලකයා වූයේද ටුට්සි වරයෙකි. රුවන්ඩාව සහ බුරුන්ඩි දේශපාලනිකව වෙනම ඒකකයන් වුවත්, සංස්කෘතික වශයෙන් සම්පූර්නයෙන්ම පාහේ එකිනෙකාට සමාන විය​.

ම්වාමි වරයා ප්‍රධාන කරගත් මධ්‍යගත පාලන ක්‍රමයක් රුවන්ඩා රාජධානියේ පැවතුනු අතර, ඔහුට උපදෙස් දීමට ජන ප්‍රධානීන් ගෙන් සමන්විත කවුන්සිලයක් විය​. මෙම කවුන්සිලයට හමුදා ප්‍රධානීන් මෙන්ම​, ප්‍රාදේශීය නායකයන් ඇතුළත් විය​. හමුදා ප්‍රධානීන් බොහෝ විට ටුට්සි වරු වූ අතර​, ප්‍රාදේශීය ප්‍රධානීන් හුටු සහ ටුට්සි දෙපිරිසටම අයත් වූහ​.


ම්වාමි කිගේලි රුවබුගිරි සහ ටුට්සි වරුන් ගේ බලය වර්ධනය වීම​

ම්වාමි වරයාගේ බලය වැඩිවීමත් සමඟම ඔහු තමා සතු ඉඩම් තම අනුගාමිකයන් ට පවරා දීමේ සම්ප්‍රදායක් ඇති විය​. මෙම ඉඩම් ලබා ගත් බොහෝ දෙනා ටුට්සි වරු වූයෙන් ක්‍රමයෙන් ටුට්සි වරුන් ගේ ධනය සහ දේශපාලන බලය හුටු වරු අභිභවා වර්ධනය වන්නට පටන් ගත්තේය​. දහ අටවන ශත වර්‍ෂය අග භාගය වන විට ටුට්සි වරු හුටු වරුන්ට වඩා පැහැදිලි බලයක් රුවන්ඩා රාජධානිය තුළ ලබා ගෙන සිටියහ​.

රුවන්ඩා රාජධානියේ ධජය​

1853 දී ම්වාමි වරයා ලෙස කිගේලි රුවබුගිරි පත් විය. ඔහු රණකාමී සහ ප්‍රභල පාලකයෙක් වූ අතර​, ඔහුගේ පාලන සමය තුළ ප්‍රධානියෙක් සතු ඉඩම් වල පදිංචි වීමට සහ වගා කිරීමට නම් වැසියන්ට ප්‍රධානියා වෙනුවෙන් ශ්‍රමය ලබා දීමට සිදුවන පරිද්දෙන් නව නීතියක් හඳුන්වා දෙන ලදී. බොහෝ ප්‍රධානින් ටුට්සි වරු සහ බොහෝ ගොවීන් හුටු වරු වූ නිසා මේ ක්‍රමය යටතේ හුටු වරු ටුට්සි වරුන් ගේ ප්‍රවේනි දාසයන් ගේ තත්වයට පත් කෙරිනි.

මේ වනවිට ජර්මන් ජාතියන් රුවන්ඩාවට පැමිණි අතර​, කිගේලි රුවබුගිරි ඔවුන් ගෙන් ගිනි අවි මිලදී ගෙන තම හමුදාව සන්නද්ධ කළේය​. මෙම ප්‍රභල රුවන්ඩා හමුදාව බටහිරින් පිහිටි කුඩා රාජ්‍යයන් යටත් කර ගනිමින් එම රාජ්‍යයන් තම රාජධානියට ඈඳා ගත්හ​. මෙම නව ප්‍රදේශ වල සිටි ජනතාව රුවන්ඩා රාජධානියට එක් වූ පසු ඔවුන් සැලකුනේ හුටු වරුන් ලෙසිනි. මෙමගින් ද තව දුරටත් තහවුරු වන්නේ හුටු-ටුට්සි යන්න වාර්ගික බෙදීමකට වඩා සමාජ​-ආර්ථික බෙදීමක් බවයි.

කිගේලි රුවබුගිරි 1889 දී මිය යන විට රුවන්ඩාව ප්‍රභල මෙන්ම ශක්තිමත් මධ්‍ය පාලනයක් සහිත සමෘධිමත් දේශයක් විය​. නමුත් ඒ වන විටත් බටහිර යටත් විජිත වාදීන් ගේ අවධානය රුවන්ඩාවට යොමු වී තිබිණි.


කිගේලි රුවබුගිරි


යටත් විජිත සමය​

කිගේලි රුවබුගිරි ගෙන් පසු ම්වාමි තනතුර සඳහා රාජකීය පවුලේ බල අරගලයක් ඇති වූ අතර​, මෙම අරගලයෙන් රාජ්‍යයේ බලය දුර්වල විය​. ජර්මන් ජාතික ගුස්ටාව් ඇඩොල්ෆ් වොන් ගොට්සන් 2500 ක හමුදාවක් සමඟ අප්‍රිකාවට පැමිණෙන්නේ මේ අතරය​.

1890 දී බ්‍රසල්ස් හි පැවති සම්මන්ත්‍රනයකින් වර්තමාන රුවන්ඩාව, බුරුන්ඩි සහ ටැන්සානියාව අයත් ප්‍රදේශය ජර්මනියට පවරා දීමට යුරෝපීය ජාතිහු එකඟ වූහ​. මෙම ප්‍රදේශය හැඳින්වුනේ ජර්මන් නැගෙනහිර අප්‍රිකාව නමිනි. ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ පළමු ආණ් ඩුකාරයා ලෙස ගුස්ටාව් ඇඩොල්ෆ් වොන් ගොට්සන් 1893 දී රුවන්ඩාවට පැමිනියේය​.

ගුස්ටාව් ඇඩොල්ෆ් වොන් ගොට්සන්

මේ වනවිට රුවන්ඩාවට බටහිරින් පිහිටි කොංගෝව බෙල්ජියමේ යටත් විජිතයක් බවට පත්ව තිබූ අතර​, උතුරින් (වර්තමාන උගන්ඩාවේ) බුගන්ඩා නමින් ප්‍රභල රාජ්‍යයක් පැවතිනි. රුවන්ඩා රාජධානියේ පාලකයන් ගෙන් සමහරක් බෙල්ජිමෙන් සහ බුගන්ඩාවෙන් පැමිණෙන අනතුරට එරෙහිව ජර්මන් වරු සමඟ මිත්‍ර විය යුතු බවට යෝජනා කළ අතර​, තවත් පිරිසක් ජර්මන් වරුන්ට එරෙහිවිය යුතු බවට යෝජනා කළහ​. මෙම බෙදීම ප්‍රයෝජනයට ගත් ජර්මන් වරු රුවන්ඩාව තම අණසකට පත් කළහ​.

නමුත් ම්වාමි වරයා දිගටම බලයේ රැඳුනු අතර​, රුවන්ඩාවේ සාම්ප්‍රදායික සමාජ​-ආර්ථික​-දේශපාලන ව්‍යූහයේ විශාල වෙනසක් සිදු නොවිනි. ජර්මන් වරු පැරණි ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ම්වාමි වරයාට ඉඩදුන් අතර බදු අය කිරීම පමණක් කළහ​. ඊට අමතරව කතෝලික මිෂනාරි වරු රුවන්ඩා ජාතියනව ක්‍රිස්තියානියට හැරවීමට පටන් ගත්හ​.

ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ ධජය​