Wednesday, October 21, 2015

දයාබර​ නැගනියට​

දයාබර​ නැගනියට​


රන් මාල පළඳවමි
නුඹට මා කවද හරි
කියා නුඹ රවටන්න​
මට නොහැක නැඟනියේ

රන්මාලයක් තියා
කහට තේ උගුරටත්
අතේ සතයක් නොමැති
නුඹෙ අයිය අසරණ ය​

කුඩා සන්දියෙ පටන්
නුඹ තමයි මගෙ දිවියෙ
එකම වස්තුව වුනේ
මගේ පොඩි නැඟනියේ

මා මිතුරු කැලට වත්
ඇස ගැටෙන්නට නොදී
ඇසක් ලෙස රැක ගත්තෙ
මා නුඹව නැඟනියේ

මත් කුඩට මුදල් නැති
නිසා නුඹෙ රන් මාල​
පොට හොරෙන් අරන් ගොස්
විකුණුවේ බැරිම තැන​

අද හෙටම මේ පවිටු
ජීවිතෙන් සමු ගනිමි
ඉන් පසුව නුඹත් මා
මව් පියොත් නිදහස් ය​

මා නොමැති ජීවිතේ
නිදහසේ ගෙවන්නට​
නුඹට හැකි වේ ඉතින්
කමා වන් නැඟනියේ

පඩි දවස​

පඩි දවස​


දුටුවාද වහලුන්
දෑත් බැඳි
යදම් සොලවා
තුටුවන​
උජාරුව​?

රාජාභිෂේකය​


රාජාභිෂේකය​


පුත සාලිය,
යන්න කොත්මලයට​.

ඇමතියන් රැස්ව
අද රාජ සභාවේ
ඔබට රජකම​
දිය නොහැකි බව​
පැවසූහ​
එක හඬින්,
සැඩොල් ලියකට​
පෙම් කල​
වරදට​.

පුත සාලිය,
යන්න කොත්මලයට​.

මා බිසව​,
ඔබ මව​
කතී ද​
ගොවි ලියක් මිස​
රජ ලියක් නොවන බව​
උන්ට අමතක වීද​?
නැත​
එළාරට බියෙන්
බියගුළුව නිවටව​
මුළු ගැන්ව 
සිටි උන්ට​
මා සිහසුන දැරීමට​
එරෙහි වීමට
දිරි වඩනු නොහැකි විය​.
ගොවි පුතුන් පිරිවරා
මා එදා 
විජිත පුරය 
බිඳ හෙලද්දී
නොපෙනෙන තරම්
දුරින් හිඳ​
ඔල්වර නැගූ බව උන්
නොදිටිම් ද මම​.

පුත සාලිය,
යන්න කොත්මලයට​.

උතුරින් පරසතුරන්ට ද​,
දකුණින් ගොළු මුහුදට ද​,
පමණක් නොව​
නැගෙනහිරින් සහ බටහිරින්
හිස් ඔළු ගෙඩි සහ​
පිරුණු බඩ ගෙඩි සහිත​
හිස් මිනිසුන්ට ද 
මැදිව​
මාගම රජ මාළිගයේ
අත පය හකුළා
නිදා උන් මා
මුල් වරට 
සිත් සේ නිදා ගත්තේ
කොත්මලයේ 
පැල් කොටයක
ඔබ මව් එළා දුන්
පැදුර මතය​.

පුත සාලිය,
යන්න කොත්මලයට​.

මේ කිරුළ අපට​
බර වැඩිය​.
ඔබ කුඩා කළ 
දුව පැන සෙල්ලම් කළ​
වෙල් ඉපනැලි ද​,
දිය නෑ දිය කඳුරු ද​,
දහ සය වසක්
සෙනෙහසින් අප රැකි
අප නෑයින් ද​,
අදත් අප 
සෙනෙහසින් පිළි ගනු ඇත​.

පුත සාලිය,
යන්න කොත්මලයට​.

එකෝමත් එක කාලෙක​.......


එකෝමත් එක කාලෙක​.......


එකෝමත් එක කාලෙක​
මම හිටියා
මීයෙක් වෙලා
පොහොසත් ගෙදරක.
ජීවිතය සාදයක්
චීස් වලින් පිරුණ​.
මම හිතුවා
සාදය
තියෙයි කියා
හැමදාම​.
ඒත්
ඒ ගෙදර හිටියා
බළලෙක්.
බළල්ලු මොනවද දන්නෙ චීස් ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
ගෙම්බෙක් වෙලා
ප්‍රංශයේ මඩ වගුරක​.
ජීවිතය පුෂ්ටිමත්.
මැස්සො රැළක් වගේ.
මම හිතුවා
මම කුමාරයෙක් කියා
මඩ වගුරට.
ඒත්
ප්‍රංශ කාරයෝ
මාව අල්ලගෙන
කෑමට ගත්තා
මගේ කකුල්.
ප්‍රංශ කාරයෝ මොනවද  දන්නෙ මැස්සො ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
කටුස්සෙක් වෙලා
ලඳු කැලෑවක​.
ජීවිතය වර්ණවත්
දේදුන්නක් වගේ.
මම හිතුවා 
මම ජීවත් වෙයි කියා
අවුරුදු සීයක්.
ඒත්
හදිසියෙම ආව​
ලැව් ගින්නක්.
ලැව් ගිනි මොනවද දන්නෙ පාට ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
මාළුවෙක් වෙලා
ලොකු විලක​.
ජීවිතය අනන්තයි.
නිල් අහස වගේ.
මම හිතුව 
කවද හරි
පීනනවා කියල
අහස කෙළවරට​.
ඒත්
ඒ විලේ හිටියා
පිළිහුඩුවෙක්.
පිළිහුඩුවො මොනවද දන්නෙ අහස ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
කොල්ලෙක් වෙලා
ලස්සන දූපතක​
නිල් මැණික් කැට වලින් හැදුනු.
මම ආදරය කලා
කෙල්ලෙකුට​
ලස්සන ඇස් තියෙන​
නිල් මැණික් කැට වලින් හැදුනු.
ජීවිතය ලස්සන හීනයක්.
මම හිතුවා 
අවදිවෙන එකක් නෑ කියා
කවදාවත් ම​.
ඒත්
අවදි වෙලා මම .

පාණාතිපාතා වේරමණී




පාණාතිපාතා වේරමණී


ලේනෙක් අල්ලන් කෑවට​
ඉරටු දෙකෙන් මට තැළුවට​
සත්තු මරන එක පව් බව​
දැනං හිටියෙ නැහැ නොවැ මම​

කුස්සියෙ මේසය උඩ ඇති
කුකුළු නාම්බා හවසට​
උයන ගමන් මටත් ටිකක්
දෙනතුරු ඉවසන්නම් මම​

බස් මගියා


බස් මගියා


(බසයට නගිද්දී)
අනේ
අපිව මග දාල යනවද​
නැතිද පොඩි ඉඩක්
ඔය බසය තුළ​
නැද්ද​
හිතක් පපුවක්

(බසයට නැග්ග පසු)
අනේ
ඔහොමත් පටවනවද​
පැක් කරනවා වගේ
සැමන්
නැද්ද​
හිතක් පපුවක්

මහජනයා

මහජනයා


ට්‍රැෆික් රාළහාමිට දී
රුපියල් පන්සීය​
ෂේප් වී 
දඩ කොළයෙන්
ගෙදර අවුත්,
බලමින් පත්තරය​
පගා ගැසූ මන්ත්‍රීතුමා
අරිති
පතුරු
මහජනයෝ