පසුබිම
දෙවන ධර්ම සංගායනාව ඇති වෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසුව. ඒ කියන්නෙ ක්‍රි.පූ. 380 දී පමණ.
මේ කාලයේදී බුදු දහම උතුරු ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත වෙලා තිබුනේ නෑ.
දෙවන ධර්ම සංගායනාව ගැන තියෙන තොරතුරු අසම්පූර්ණයි වගේම විවිධ මූලාශ්‍රයන් එකිනෙකට පරස්පර කරුණු ඉදිරිපත් කරනවා. දෙවන ධර්ම සංගායනාව ගැන අපිට අද ප්‍රධාන මූලාශ්‍ර හතරක් තියෙනවා.
1. දීපවංශය (ක්‍රි.ව. 3 වන සියවසසේ ලියැවුනු ථෙරවාදී ධර්ම-ඉතිහාස ලියැවිල්ලක්)
2. වසුමිත්‍ර (ක්‍රි.පූ. 1 වන සියවසේ විසූ සර්වාස්තිවාදී භික්‍ෂුවක්)
3. විනිතදේව (ක්‍රි.ව. 7 වන සියවසේ විසූ මූලසර්වාස්තිවාදී භික්‍ෂුවක්)
4. සාරිපුත්‍රපරිප්‍රච්ච (ක්‍රි.පූ. 2 වන සියවසේ ලියැවුනු මහාසාංඝික ධර්ම-ඉතිහාස ලියැවිල්ලක්)
මීට අමතරව චීන බසින් ලියැවුනු මහායාන ධර්ම-ඉතිහාස ලියැවිලි සහ තවත් පැරණි ලියැවිලි ගණනාවක මේ ගැන සඳහන් වෙනවා.
මේ ලිපියේ දක්වලා තියෙන්නේ මේ සියළු මූලාශ්‍ර වල එන කරුණු සලකා බලා නිර්මානය කරණ ලද සිදුවුනා යැයි සිතිය හැකි කථාවක්.
දෙවන ධර්ම සංගායනාව
බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසු (ක්‍රි.පූ. 380 පමණ) කාලයේදී වජ්ජි රටේ වෛශාලි නගරයට එවකට භාරතයේ සිටි ප්‍රමුඛ භික්‍ෂුවක් වුනු "යස කාකණ්ඩකපුත්ත" වැඩම කරනවා. එහිදී උන්වහන්සේට දකින්න ලැබෙන්නේ වෛශාලි නගරයේ භික්‍ෂූන් ප්‍රශ්නකාරී සම්ප්‍රදායන් අනුගමනය කරන බව. මේ ගැන ප්‍රශ්න කිරීම නිසා උන්වහන්සේව සහ වෛශාලි භික්‍ෂූන් අතර මත ගැටුමක් ඇති වෙනවා.
යස කාකණ්ඩපුත්ත හිමියන් මේ මතභේදය නිරාකරණය කරගැනිම සඳහා එවකට භාරතයේ විසූ ප්‍රමුඛ ධර්ම-විනය ධර භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කරනවා. මේ අතරින් අහොගංගා පව්වේ "සම්භූත සානවාසී" හිමියන් සහ සන්කස්ස පුර "රේවත" හිමියන් ප්‍රධානයි. මීට අමතරව අවන්ති රට සහ පාවා නුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක භික්‍ෂූන් වහන්සේලා මීට සම්බන්ධ වෙනවා.
භාරතයේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා 800 ක් වෛශාලි නගරයට වැඩම කරන්නේ ධර්ම සංගායනාවක් පවත්වලා ප්‍රශ්නය නිරාකරනය කර ගන්න.
සංගායනාවේදී වෛශාලි නුවර භික්‍ෂූන් ගේ "ප්‍රශ්නකාරී" පිළිවෙත් විදිහට පිළිවෙත් 10 ක් ඉදිරිපත් කෙරෙනවා.
1. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා හරක් අඟක ලුණු බහා තැබීම
2. ඉර හැරුණු පසු ආහාර ගැනීම
3. වරක් ආහාර වළඳා ඉතිරි වූ ආහාර නැවත පසුව වැළඳීම
4. විහාරයක් තුළ වෙන් වෙන්ව උපෝසතා කර්ම කිරීම
5. සංඝයා සම්පූර්නයෙන්ම එක් රැස් වීමට පෙර විනය කර්මයක් කර, පසුව ඒ සඳහා කැමැත්ත ගැනීම
6. තම ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් එළෙසම පවත්වාගෙන යාම
7. දහවල් දානය වැළඳූ පසු නොමේරු කිරි වැළඳීම
8. රා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම
9. වාටි නොමැසූ නිසිදනයක් හිඳ ගැනීම සඳහා පාවිච්චි කිරීම
10. රන් සහ රිදී දානය ලෙස පිළිගෙන පරිහරනය කිරීම
මේ පිළිවෙත් ගැන තීරණයක් ගැනීමට භික්‍ෂූන් වහන්සේලා අට නමක් තෝරා ගන්නවා. එහෙම තෝරා ගන්නේ බටහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් සහ නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් විදිහට.
මෙහිදී තෝරාගන්නා ලද භික්‍ෂූන් වහන්සේලා වුනේ,
බටහිර ප්‍රදේශ නියෝජනය කරමින් - සබ්බකාමී, සාල්හ, බුජ්ජසෝභිත, වසභගාමික
නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරමින් - රේවත, සම්භූත වනවාසී, යස කාකණ්ඩපුත්‍ර, සුමන
අජිත නම් හිමිනමක් විසින් එක එක පිළිවෙත මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර උන්වහන්සේලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන්නේ හයවැනි පිළිවෙත හැර අනෙකුත් සියළු පිළිවෙත් විනය විරෝධී බවත්, ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් කැපනම්, ඒවා පිළිපැදීම විනය විරෝධී නොවන බවත්, ඒවා අකැප නම් ඒවා පිළිපැදීම විනය විරෝධී බවත්.
මේ තීරණයට පසුව රේවත හිමියන් විසින් ධර්ම - විනය කරුණු වල අපැහැදිලිතාවයන් මගහැරීම සඳහා එක් රැස් ව සිටි භික්‍ෂූන් වහන්සේලා ගේ සහභාගීත්වයෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට යෝජනා කරන අතර, එය අද දෙවන ධර්ම සංගායනාව නමින් හැඳින්වෙනවා.
නමුත් සංඝ සභාවේ තීරණයට එකඟ නොවන භික්‍ෂූන් පිරිසක් එම සංගායනාවට සහභාගී නොවී එතැන් සිට වෙනම නිකායක් වශයෙන් කටයුතු කිරීමට පටන් ගන්නවා. මෙය තමයි බුදු දහමේ ප්‍රථම නිකාය භේදය.
සංඝ සභාවේ තීරණය පිළිගත් පිරිස "ස්ථවිරවාදීන්" ලෙස හැඳින්වුනු අතර, එය පිළිනොගත් පිරිස "මහාසාංඝික" ලෙස හැඳින්වුනා.
මතභේදය
මේ තීරණය ගැන විවිධ මූලාශ්‍ර පරස්පර විරෝධී මතයන් ඉදිරිපත් කරනවා. ස්ථවිරවාදී මූලාශ්‍රයන්ට (දීපවංශය වැනි) අනුව රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එතෙක් පැවතුනු විනය නීති වලට අනුකූලව තීරණය ලබා දුන්නා. නමුත් මහාසාංඝික මූලාශ්‍රයන්ට (සාරිපුත්‍රපරිප්‍රච්ච වැනි) අනුව වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි වුනේ නෑ. සංඝ සභාව විසින් එම පිළිවෙත් අකැප ලෙස තීරණය කිරීමෙන් පසුව නව විනය නීති හඳුන්වා දුන්නා.
මෙහිදී කැපී පෙනෙන කරුණ වන්නේ නිකායන් දෙකම තමන් නියම මුල් බුදු දහමේ ආරක්‍ෂකයා ලෙසින් පෙනී සිටීම.
මෙහිදී සිදුවුනා යැයි සිතිය හැක්කේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි නොවුනු බව (බුදුන් වහන්සේ විනය නීති පනවා ඇත්තේ ඒ සඳහා අවශ්‍යතාවයක් පැන නැගුනු අවස්ථාවන් හිදී).
නමුත් රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එම පිළිවෙත් බුදුදහමේ හරයට එකඟ නොවන බවට තීරණය කොට ඒවා අකැප ලෙස නම් කර පසුව නව විනය නීති හඳුන්වාදුන් බව හිතන්න පුළුවන්.
මෙතැනදී මහාසාංඝික ලෙස වෙන් වුනු පිරිස එසේ කරන්නට ඇත්තේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් අනුමත කිරීම නිසා නොව, බුදුන් වහන්සේ විසින් පැනවූ විනය නීති වලට පසුව විනය නීති එක් කිරීමට එකඟ නොවූ නිසා බවත් හිතන්න පුළුවන්.
අවස්ථානුචිත ලෙස විනය නීති වෙනස් නොකර, විනය නීති දෘඩ, නොවෙනස් දෙයක් ලෙස සැලකීමෙන් "නීති මගහැර යා හැකි හිල්" නිර්මාණය කරගත හැකි නිසා එයින් විනය පිරිහී යා හැකි බව ස්ථවිරවාදීන් සිතූ බව හිතන්න පුළුවන්. නමුත් මහාසාංඝික නිකාය සිතන්නට ඇත්තේ වරින් වර විනය නීති වෙනස් කිරීමෙන් ඊට වඩා හානියක් සිදුවිය හැකි බව.
මහාසාංඝික ධර්ම සංගායනාව
විනය නීති පිළිබඳ මතභේදයක් විදිහට පටන් ගන්න මේ නිකාය බෙදීම කෙටි කළකින්ම මූලධාර්මික වෙනසක් බවට පරිවර්තනය වෙනවා.
මහාසාංඝික නිකාය විසින් සංඝ සභාව විසින් දුන් තීරණයට එකඟ නොවුනත් මෙහිදී ඔවුන්ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න සිදු වෙනවා.
සංඝ සභාවේ තීරණය සහ ඉන්පසුව පැවැත්වුනු දෙවන ධර්ම සංගායනාව ඔවුන් ප්‍රතික්‍ෂේප කළත්, ඒවා සඳහා සහභාගී වුනු රේවත, සම්භූත වනවාසී ඇතුළු ජේෂ්ඨ භික්‍ෂූන් රහතුන් වහන්සේලා. ඒ නිසා රහතුන් වහන්සේලාගේ තීරණය ප්‍රතික්‍ෂේප කිරීමත් එක්කම රහතුන් වහන්සේලා යනු සියළු කෙළෙස් දුරු කළ, අවිද්‍යාවෙන් මිදුනු වැරදි නොකරන උතුමන් යන අදහසත් ඔවුන් විසින් නිතැතින්ම ප්‍රතික්‍ෂේප කෙරෙනවා.
රහතන් වහන්සේලා මුළුමනින්ම කෙලෙස් දුරු කළ පිරිසක් යන්නට පටහැණි අදහස් මහාසාංඝික නිකාය තුලින් බිහි වෙන්නේ මේ පරස්පරය පැහැදිලි කර ගැනීමට. මේ අදහස් වල කූඨප්‍රාප්තිය වෙන්නේ මහාසාංඝික ධර්ම සංගායනාව.
දෙවන ධර්ම සංගායනාවෙන් වසර 30-50 පමණ කාලයකට පසු පාඨලීපුත්‍ර නුවරට එක් රැස් වන මහාසාංඝික නිකායේ භික්‍ෂූන් වහන්සේලා 10,000 ක පමණ විශාල පිරිසක්ගෙන් සමන්විත වුනු සංඝ සභාවක් ධර්ම සංගායනාවක් පවත්වනවා.
මෙහිදී මහාදේව නම් භික්‍ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලා පිළිබඳ ප්‍රවාද පහක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රවාදයන් සංගායනාවේදී පිළි ගන්නා අතර, එම අදහස් මහාසාංඝික නිකායේ මතවාදයක් ලෙස ස්ථාපනය කෙරෙනවා.
මේ ප්‍රවාදයන් පහ වෙන්නේ,
1. රහතුන් වහන්සේලා හට තෘෂ්ණාව පහළවිය හැක
2. රහතුන් වහන්සේලා තුළ ඉතා සුළු වශයෙන් ක්ලේෂ පිහිටා තිබිය හැක
3. රහතුන් වහන්සේලාට විචිකිච්ඡාව (සැකය) පහළ විය හැක
4. රහතුන් වහන්සේලා අනෙක් පුද්ගලයන් ගේ උදව් ඇතිව දැණුම ලබා ගනී
5. "අහෝ!" යනාදී හඬනගා කරන ප්‍රකාශයන් ධර්මාවබෝධයට උපකාරී වේ
මීළඟට ඇති වන ගැටළුව වන්නේ රහතන් වහන්සේලා තුළ කෙළෙසුන් පැවතිය හැකි නම්, නිර්වානය ලබා ගත හැක්කේ කෙසේද යන්න. මෙහිදී බෝධිසත්ව සංකල්පය ඉස්මතු වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලා අතර වෙනස ඉස්මතු කිරීම සඳහා බුදුන් වහන්සේට අති-මානුෂීය ගුණාංග ආරෝපණය කිරීමත් ඇති වෙනවා.
මේ සංකල්ප මහායාන බුදුදහමේ සංකල්ප වල මුල් බීජ විදිහට සලකන්න පුළුවන්. නමුත්, මහායාන බුදුදහම සහ මහාසාංඝික නිකාය අතර ඍජු සබඳතාවයක් ඇති බව මෙයින් කියැවෙන්නේ නෑ.