Friday, November 23, 2018

ජපානයේ ඉතිහාසය - 1 (පූර්ව​ ශිලා සහ​ ජෝමොං සමය​​)



පූර්ව​ ශිලා සමය​ (ක්‍යූසෙක්කි ජිදයි)


ජපානයේ මිනිස් වාසයන් පිළිබඳ පැරණිම ස්ථිර සාක්‍ෂි හමුවෙන්නෙ වසර 35,000 - 30,000 තරම් ඈතකදී. මේ කාලයේ අයිස් යුගයක් නිසා මුහුදු මට්ටම පැවතුනේ වර්තමානයට වඩා පහතින්. මේ නිසා ජපන් දූපත් උතුරින් ආසියානු මහද්වීපය සමඟ සම්බන්ධ වෙලා තිබුනා.


මේ බිම් කඩ ඔස්සේ සයිබීරියාවේ ඉඳල මිනිස්සු ජපන් දූපත් වලට සංක්‍රමනය වුනා. ජපානයේ පැරණිම ජනාවාස බිහි කරන්නේ ඔවුන්.

මේ සංක්‍රමන එක වරක් සිදුවූ එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර මිනිස් කණ්ඩායම් සයිබීරියාවේ ඉඳල ජපානයට සංක්‍රමනය වෙලා තියෙනවා. මේ අය වර්තමාන අග්නිදිග ආසියානු වැසියන්ට නෑකම් දක්වනවා. සමහරවිට ඔවුන් ජපන් දූපත් හරහා අග්නිදිග ආසියාව දක්වාම සංක්‍රමනය වෙන්න ඇති. සයිබීරියාවේ ඉඳලා ඇමරිකාවට සංක්‍රමනය වුන ඇමරිකාවේ මුල් පදිංචිකාරයන්ටත් ඔවුන් ගේ නෑකම් තිබ්බ වෙන්න පුළුවන්.

වසර 35,000 පමණ පැරණි ඔප දමන ලද ගල් ආයුධ ජපානයෙන් හමුවෙලා තියෙනවා. මේවා සැලකෙන්නේ මානව ඉතිහාසයේ පැරණිම ඔප දැමූ ගල් ආයුධ අතරට​. විවිධ තාක්‍ෂණික උපක්‍රම මගින් නිපදවන ලද උසස් ගනයේ ගල් ආයුධ ජපන් නව ශිලා යුගයේ සලකුණක්. ගල් ආයුධ සකස් කිරීමේ තාක්‍ෂණය අතින් ජපානය ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වලට වඩා ඉදිරියෙන් හිටපු බව තමයි සාක්‍ෂි වලින් කියැවෙන්නේ.


මේ කාලයේ ජපානයේ දේශගුණය වර්තමානයට වඩා ශීතලයි. උතුරු ජපානය ගස් වලින් තොර හිම කතර හෙවත් තන්ද්‍රා වලින් සමන්විත වුනා. මධ්‍යම ජපානය සමන්විත වුනේ පයින් කුලයේ ගස් වලින් සැදුම් ලත් තායිගා වනාන්තර වලින්. දකුණු ජපානය පයින් සහ සදාහරිත මිශ්‍ර සෞම්‍ය​ වනාන්තර වලින් සමන්විත වුනා.

මේ වනාන්තර වල අලි, යෝධ එල්ක්, මූස්, දුඹුරු වළස්සු සහ ස්ටෙප් බයිසන් වැනි විශාල සතුන් ජීවත් වුනත්, ජපානයේ මුල් පදිංචිකරුවන් වැඩිපුර දඩයම් කළේ ඊට වඩා කුඩා සතුන්. ඊට අමතරව ගංගා වලින් කකුළුවන් සහ ගොළුබෙල්ලන් අල්ලා ගත් බවට සාක්‍ෂි තියෙනවා.

මේ ආදිවාසීන් ජීවත් වුනේ ලී සහ ඉපල් වලින් හදපු සරළ නිවහන් වල. මේ නිවෙස් පොළවේ හාරන ලද නොගැඹුරු වලකින් සහ පොළවෙන් ඉහලට එසවුනු වහලකින් සමන්විත වුනා.




ජෝමොං සමය​ (ජෝමොං ජිදයි)


ජෝමොං සමය පටන් ගන්නේ අවුරුදු 14,000 කට පෙර​. ජපානයේ මුල් වරට දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂන පෙන්වන්නේ මේ යුගයේදී. ජෝමොං සමය බිහි වෙන්නේ අළුත් සංක්‍රමනයක ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි. නවශිලා යුගයේ සංක්‍රමනිකයන්ම වඩා දියුණු ශිෂ්ඨාචාරයක් කරා වර්ධනය වීමෙන්.

අවුරුදු 14,000 කට පමණ පෙරදි ජපානයේ දේශගුණය වඩාත් උණුසුම් වෙන්න පටන් ගත්තා. ඒ එක්කම ප්‍රධාන වෙනස්කම් දෙකක් ඇති වුනා.

දකුණු දිග ජපානයේ තිබුනු සදාහරිත සහ පයින් මිශ්‍ර සෞම්‍යය වනාන්තර ක්‍රමයෙන් උතුරට පැතිරෙන්න පටන් ගත්තා. ඒවා විසින් උතුරට තල්ලු කෙරුණු තායිගා වනාන්තර කලින් තන්ද්‍රා වලින් සමන්විත වුනු බිම් වසාගෙන පැතිර ගියා. මේ වෙනස නිසා ජපානයේ වනාන්‍තර සත්ව වාසයට වඩාත් හිතකර​, ආහාර වඩාත් සුලභ තැන් බවට පත් වුනා. ඒ වගේම උණුසුම් මුහුදු දියැවැල් මගින් ජපානය අවට මුහුදේ ආහාරයට ගත හැකි මුහුදු ජීවීන් සුලභ කලා. ඒ හේතුවෙන් මිනිසුන් ගේ ජීවිත වඩාත් පහසු වුනා. ඒ වගේම ඔවුන් දඩයමට වගේම ශාකමය ආහාර එකතු කරන්නත් පෙළඹුනා.

ඒ එක්කම උණුසුම් දේශගුණය විසින් මුහුදු මට්ටම ඉහළ දැමීම නිසා ජපානය සහ ආසියා මහද්වීපය අතර තිබුනු භූ සබඳතාවය කැඩී ගියා. ජපානය දූපත් පෙළක් බවට පත් වුනා. මේ මගින් ජපානය සහ ආසියාව අතර මානව සංක්‍රමන වඩාත් අසීරු වුනා. ඒ නිසා ජපානය තුල ඔවුන්ටම අනන්‍යය ශිෂ්‍ඨාචාරයක් ගොඩ නැගුනා.

ජෝමොං ශිෂ්ඨාචාරය බිහි වෙන්නේ මේ වගේ පසුබිමක​.

ජෝමොං සමයේදී ආහාර වල විවිධත්වය විශාල වශයෙන් ඉහළ ගියා. මුවන්, වල් ඌරන්, මුහුදු මාළු, ගෙඩි වර්ග​, බෙල්ලන් සහ මුහුදු ක්‍ෂීරපායින් ආහාරයට ගන්න මිනිස්සු පෙළඹුනා.

ජෝමොං ශිෂ්ඨාචාරයේ වැදගත් වෙනසක් වුනේ මිනිසුන් ආහාර සඳහා ශාක භාවිතා කිරීම වැඩි වීම​. ඉතාම ප්‍රාථමික මට්ටමේ කෘෂිකර්මාන්ත ක්‍රම ක්‍රමයෙන් ඇති වුනා. වනගත ශාක ප්‍රයෝජනයට ගැනීම සඳහා සාත්තු කිරීම මේ යුගයේ දී සිදු කෙරිලා තියෙනවා. ඔවුන් බහුලව ප්‍රයෝජනයට ගත්තේ ලැකර්, චෙස්නට්, සෝයා, ලබු, පෙරිලා, රතු මුං, පීච් සහ ගංජා වැනි ශාක​.

ඒ එක්කම මැටි වළං භාවිතය ඇරඹුනා. මේක ලෝකයේ වළං භාවිතා කරපු මුල්ම අවස්ථාවක්​. ජෝමොං ශිෂ්ඨාචාරයේ සළකුණ වෙන්නේ මේ මැටි වළං.


මේ සරළ වළං තැනීමේදී තෙත මැට්ට මත ලණු තද කිරීමෙන් රටා මවන්න මේ අය පෙළඹුනා. "ජෝමොං" කියන නමේ තේරුම "ලණු සදන්නෝ" කියන එක​. මේ වළං සැදීමේ තාක්‍ෂනය මුල් ජෝමොං සමයේ ඉතා සරළ වළං වලින් පටන් අරගෙන පසුව සංකීර්න සහ කලාත්මක අතින් උසස් නිර්මාන දක්වා විකාශය වෙනවා.


මුල් ජෝමොං සමයේ මිනිස්සු ආයුධ වශයෙන් භාවිතා කලේ මුවහත් කළ ගල් ආයුධ​. නමුත් පසුව දඩයම් සඳහා ප්‍රධාන ආයුධය ලෙස දුන්න සහ ඊතලයත්, මාළු බෑමේදී බෙලි කටු වලින් නිම කළ බිලී කොකුත් යොදා ගැනුනා.

ජෝමොං සමයේ මිනිස්සු ගත කළේ අර්ධ සංචාරක දිවි පෙවතක්. මේ නිසා ගෙවල් සෑදීමේ තාක්‍ෂනයේ විශාල දියුණුවක් ඇති වුනේ නෑ.

ක්‍රි.පූ. 1000 පමණ වෙද්දි ජෝමොං ශිෂ්ඨාචාරයේ කලා ශිල්ප සෑහෙන තරම් දියුණු මට්ටමක් පෙන්නුම් කරනවා. කලාත්මක අතින් උසස් මැටි පිළිම මේ සමයේ දකින්න පුළුවන්.


ජෝමොං සමය පටන් ගද්දි ජපානයේ ජනගහණය වුනේ 20,000 ක් පමණ. නමුත් ශිෂ්ඨාචාරයේ දියුණුවත් එක්ක ජනගහණ වර්ධනයේ විශාල වැඩිවීමක් සිදු වුනා. ඇමරිකාවට මුලින්ම මිනිස්සු සංක්‍රමනය වෙන්න පටන් ගත්තේ මේ කාලයේදී නිසා මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

ක්‍රි.පූ. 1500 දී පමණ ජපානයේ දේශගුණය නැවතත් ශීතල වෙන්න පටන් ගත්තා. මේ එක්කම ජනගහණයේ අඩු වීමක් දකින්න පුළුවන්. ජෝමොං වරුන්ට වෙනස් වෙන දේශගුණයට හැඩගැසෙන්න අසීරු වුනු බවත්, ඒ නිසා ඔවුන්ගේ ජනගහණය ක්‍රමයෙන් අඩු වුනු බවත් හිතන්න පුළුවන්.

ඒ එක්කම මුහුදු මට්ටම පහත බැසීම නිසා කොරියානු අර්ධ ද්වීපයට ඇති දුර විශාල වශයෙන් අඩු වුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කොරියානු අර්ධ ද්වීපයේ සිට නව මිනිස් සංක්‍රමන මාලාවක් ඇති වෙන්න පටන් ගත්තා. ගස් කඳන් හාරලා සකස් කරපු ඔරු වලින් ජපානයට ආ මේ නව සංක්‍රමනිකයන් ක්‍රමයෙන් ජපානයේ බටහිර සිට නැගෙනහිරට පැතිරුනා.

නව සංක්‍රමනිකයන් හමුවේ ජෝමොන් වරු ක්‍රමයෙන් උතුරට පසු බැස්සා. පසු නොබැස ඉතුරු වුනු අය නව සංක්‍රමනිකයන් සමඟ මිශ්‍ර වුනා. මේ නව සංක්‍රමනිකයන් "යයෝයි" නමින් හැඳින්වුනු ශිෂ්ඨාචාරයක් බිහි කළා.

මේ තමයි ජෝමොං ශිෂ්ඨචාරයේ අවසානය​.