චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්
ෂෙහාන් කරුණාතිලක ගෙ අති සාර්ථක "චයිනමන්" නවකතාවෙන් පස්සෙ ඔන්න මිනිහ තව නවකතාවක් ලියනවලු.
ඒකත් ලංකාවෙ ක්‍රිකට් ගැන.
කතාව තියෙන්නෙ කොටස් දෙකකට.
පළවෙනි කොටස පටන් ගන්නෙ එක්දාස් නවසිය හැත්තැ ගණන් වල අග හරියෙන්. තරුණ කොලු ගැටව් තුන් දෙනෙක් කොළඹ එනව ලංකාවෙ නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න. තුන් දෙනාම එන්නෙ කෝච්චියෙන්.
පළවෙනි එකා ධනුෂ්ක බණ්ඩාර. මහනුවර විද්‍යාර්ථෙට ගහපු වේග පන්දු යවන්නෙක්. මහනුවර ධර්මරාජෙ ටී.බී. "කෙහෙල් යකා" කෙහෙල්ගමුවට පස්සෙ ලංකාවෙ බිහිවුන වේගවත්ම පන්දු යවන්න. කඟවේනෙක් වගේ බෝල් කරන්නෙ.
දෙවෙනි එකා සුනෙත් හේවාමිතිගේ. මාතර සර්වේෂස් එකේ. බෝලර්ස්ල තුට්ටුවකට මායිම් නොකර හැල්මේ බැටදෙන බැටෙක්. මිනිහගෙ කවර් ඩ්‍රයිව් එක ගහද්දි ඕෆ් සයිඩ් එකේ ෆීල්ඩර්ස් ල එකෙක්ටවත් හෙල්ලෙනවත් වෙලාවක් නෑ.
තුන්වෙනි එකා ගැන වැඩි විස්තරයක් දාල නෑ. ඌ බදුල්ලෙ කොල්ලෙක්. වතු වල මහත්තුරු ක්‍රිකට් ගහද්දි උන්ට නෙට් එකේ බෝල් කරපු පොඩි කොල්ලෙක්. එක වතු මහත්තයෙක් සීසීසී එකේ කොන්ටැක්ට් එකකින් තමයි ඌව කොළඹ එවල තියෙන්නෙ. අපි ඌ ගැන එච්චරයි දන්නෙ. ඌ ගිය ඉස්කෝලයක් ගැන සඳහනක් නෑ. කොටින්ම උගේ නම දාල තියෙන්නෙත් රාජා කියල විතරයි. ඒක රාජසිංහ ද රාජලිංගම් ද කියලවත් අපි දන්නෙ නෑ. හැබැයි දකුණතින් පා දඟ පන්දු යවන මේ කොල්ලට ලෙග් ස්පින්, ගුග්ලි, ෆ්ලිපර්, ටොප් ස්පින් ඕන එකක් ඔට්ටුයි කියල දන්නව.
මුන් තුන් දෙනා සිලෝන් ටීම් එකත් එක්ක ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ක්ලබ් මැචස් ගහනවා. ඉන්ටර්නැෂනල් මැච් ගහනවා.
රාජා ගේ බෝල් වලට ටීම් එකේ පත බැට්ස්මන් ල ඇඹරිල යනව. ලොකු ලොකු නම් තියෙන කොළඹ ඉස්කෝලවලට ගිය මහත්තුරු ප්‍රැක්ටිස් නෙට් වල නිකං විහිළුකාරයො වගේ වෙනව. උං ඒවයෙ ඇරියස් අල්ලන්නෙ ඩ්‍රෙසිං රූම් එකේදි. රාජා ඇවිදින විදිහ, කතා කරන විදිහ, ඌට ඉංග්‍රීසි වචනයක් වත් බැරි වීම, හැඳි ගෑරැප්පු පාවිච්චි කළ නොහැකි වීම වගේ ඌ ගැන හැම දෙයක් ම මේ මහත්තුරුන් ගෙ ඉලක්ක වෙනව. කොටින්ම රාජා ඩ්‍රෙසිං රූම් එකේ බයිට් එක වෙනව. රාජා ව බයිට් නොකරන එවුන් පවා ඌ එක්ක ප්‍රසිද්ධියේ යාළුකම් පවත්වන්න බයයි. රාජා බදුල්ලෙන් එනකොට ගෙනාව ආත්ම විශ්වාසය ටික ටික දිය වෙලා යනවා. මුලදි මුලදි මැච් වල ලකුණු 30-40 දීලා විකට් 5-6 ගත්තු රාජා පස්සෙ පස්සෙ ලකුණු 80-90 දීලා විකට් 2-3 ගන්න ලෙවල් එකට යනවා.
සුනෙත් හේවාමිතිගේ ගේ ප්‍රහාරාත්මක පිති හරඹයට බෝලර්ස්ල බය වෙනවා. හැම මැච් එකේම සුනෙත් ගෙ පළවෙනි ඕවර් හත අටේ හයේ-හතරෙ ඒව දහයක් දොලහක් වරදින්නෙ නෑ. සුනෙත් ඉන්ටර්නැෂනල් මැච් වලත් ලකුණු හැට හැත්තෑව ගහනවා. ලකුණු ගානට වඩා බෝල ගාන වැඩි වෙන්නෙ කලාතුරකින්. හැබැයි කෝච් මිනිහට කැමති නෑ. ඒ කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නැති නිසා. ඒ නිසා කෝච් මිනිහව සිලෙක්ට් කරන්න හොරයි. කෝච් කියන්නෙ ඉන්ටර්නැෂනල් මැච් වල හොඳ ඉනිමක් සෙල්ලං කරන්න නං හොඳ ටෙක්නික් එකක් තියෙන්නෙ ඕනෙ කියල. සුනෙත් ට කවදාවත් සෙන්චරියක් ගහන්න බැරි ලු ටෙක්නික් අවුල් නිසා. සුනෙත් වෙනුවට කෝච් තෝරන්නෙ කොළඹ ඉස්කෝලවලට ගිය පර්ෆෙක්ට් ටෙක්නික් එකක් තියෙන හැමදාම දහයට පහළොවට අවුට් වෙන අවාරෙට පොල් වැටෙනව වගේ සෙන්චරියක් ගහන ප්ලේයර්ල ව. "ඉට්ස් නොට් හව් මෙනි රන්ස් යූ ස්කෝර් සනා. ඉට්ස් හව් යූ ස්කෝර් දෙම්". අන්තිමේදී සුනෙත් ට්‍රයි කරනවා ස්ට්‍රේට් බැට් එකක් තියාගෙන කවර් ඩ්‍රයිව් එක ගහන්න. මිනිහත් දහයට පහළොවට අවුට් වෙන්න පටන් ගන්නව.
ධනුෂ්ක බණ්ඩාර ගෙ බෝල් වලට බැට්ස්මන් ලගෙ හෙල්මට්, ඉළඇට කූඩු, ග්ලවුස් එහෙම හොඳට පුරුදුයි. සිලෝන් ටීම් එකේ ඕපනිං බැට්ස්මන් පවා බණ්ඩ ගෙ බෝලට බැට් එක දාගන්නෙ ඕවෙරේට දෙතුන් පාරයි. හැබැයි ධනුෂ්ක හැමදාම සිලෙක්ට් වෙන්නෙ ඉන්දියා - පකිස්තාන් ටුවර් වලට. ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා නිව් සීලන්ඩ් ටුවර් වලට සිලෙක්ට් වෙන්නෙ රෝයල්, සෙන් තෝමස්, සෙන් පීටර්ස් ට්‍රිනිටි ගහපු කොල්ලො. ලාහෝර් වල, බැංගලෝර් වල දුඹුරු පාට දූවිලි ගොඩවල් උඩ බණ්ඩ දුම දාගෙන බෝල් කරනයවා. විකට් 4-5 ගන්නව. ඉළ ඇට දෙක තුනක් කුඩු කරනවා. හැබැයි ඕස්ට්‍රේලියා ටුවර් එක එද්දි බණ්ඩ හැමදාම ඉන්ජර්ඩ්. බණ්ඩ දන්නව මිනිහට හැමදාම පැයට හැතැම්ම අනූවක වේගෙන් බෝල් කරන්න බෑ කියල. එක්දාස් නවසිය අසූ දෙකේ සවුත් ඇෆ්‍රිකන් රෙබෙල් ටුවර් එකට බණ්ඩත් සයින් කරනවා. සල්ලි වලටම නෙවෙයි. කොළ පාට විකට් එකක බෝල් කරන්න ආසාවට. ඒ ටුවර් එකේ දි බණ්ඩ මයික් ප්‍රොක්ටර් ගෙ හෙල්මට් එක ගැලවෙන්න බවුන්සර් එකක් දානව. තව එකක් වදින්නෙ පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කූඩුවෙ.
බිඳුන ආත්ම විශ්වාසයත් එක්ක රාජා ආපහු කෝච්චියෙම බදුල්ලෙ යනව. අද රාජා පොඩි මැණිකෙ එකේ වඩේ විකුණනවා.
සුනෙත් හේවාමිතිගේ ට ගෙදර ආර්ථික ප්‍රශ්නත් එක්ක දිගටම අතින් වියදම් කරගෙන ක්ලබ් ක්‍රිකට් ගහන එක ප්‍රශ්නයක් වෙනව. ඉන්ටර්නැෂනල් මැච් වලට මිනිහ සිලෙක්ට් වෙන්නෙත් නෑ. සුනෙත් ගෙ මාම සුනෙන්ත් ට මාතර මහජන බැංකුවෙ ජොබ් එකක් සෙට් කරනවා. සුනෙත් ආපහු මාතර යනව. මිනිහ අද වයිෆුයි ළමයි දෙන්නයි එක්ක මාතර පදිංචිය.
බණ්ඩ සවුත් ඇෆ්‍රිකා වල ඉඳන් ඇවිල්ල කටුනායකින් කෙලින්ම යන්නෙ නුවර. ටුවර් එකේ සල්ලි වලින් පොඩි හාඩ්වෙයාර් බිස්නස් එකක් පටන් ගන්නව. අද මිනිහ සාර්ථක ව්‍යාපාරිකයෙක්. බණ්ඩට දැන් පොඩි මුදලාලි බඩක් එහෙම තියෙනවා. ආයෙත් පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කුඩු වෙන්න බෝල් කරන්න බෑ.
කතාවෙ දෙවෙනි කෑල්ල පටන් ගන්නෙ හරියටම අවුරුදු දහයකට පස්සෙ. නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න මාතර සර්වේෂස් ගහපු කොල්ලෙක් කොළඹ එනව කෝච්චියෙන්. ඉස්සර සුනෙත් හේවාමිතිගේ ඉස්කෝලෙ ක්‍රිකට් ගහද්දි වැට අයිනට වෙලා ඇස් පිල්ලන් නොගහ බලන් හිටපු මේ කොල්ල යකෙක් වගේ කලුයි. කඟවේනෙක් වගේ ජව සම්පන්නයි. වමත් පිතිකරුවෙක්. ගහද්දි ගහනව බෝලෙ පතුරු ගැලවෙන්නෙ. හැබැයි කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නෑ.
මේ කොල්ලටත් එහෙන් මෙහෙන් කැපිලි එනව. හැබැයි ටීම් එකේ ඉන්න බඩ මහත ආනන්ද කාරයෙක් මිනිහට උදව් කරනව. මිනිහ වැඩිපුර ලකුණු නොගැහැව්වත් දිගටම මැච් වලට ගන්නව. ටෙක්නික් එක වෙන්ස් කරන්න දෙන්නෙ නෑ. "උඹට පුළුවන් විදිහට ගහපන් මල්ලි". අවුරුදු පහකට පස්සෙ ඕස්ට්‍රේලියාවෙ ඇඩිලේඩ් වල ටෙස්ට් මැච් එකක්........
මම පොඩි විහිළුවක් කරේ.
ෂෙහාන් කරුණාතිලක මෙහෙම පොතක් ලියන්නෙ නෑ.
ගල්කිස්සෙ ප්‍රයිවට් ඉස්කෝලෙක ඉගෙන ගත්ත, නිව් සීලන්ඩ් වල යුනිවර්සිටියක ඩිග්‍රිය කරපු ෂෙහාන් කරුණාතිලක කවදාවත් මෙහෙම පොතක් ලියන්නෙ නෑ.
මේ පොත ලියන්න ඕනෙ අපි.