Showing posts with label නිර්මාන. Show all posts
Showing posts with label නිර්මාන. Show all posts
Friday, October 6, 2017
කඳුකර යක්‍ෂයා
කාලය : 1901
තැන : ලංකාව
බෝයර් යුද්ධයේ සටන් කරල තුවාල ලබපු හමුදා සෙබළෙක් වන ලුතිනන් විලියම් ස්ටේන් විවේක ගන්න ලංකාවට එනවා. ඔහු නවතින්නේ ඔහුගේ ළමා කාලයේ මිත්‍රයෙක් වන දොස්තර ග්‍රෙගරි මිඩ්වින්ටර් එක්ක. දොස්තර මිඩ්වින්ටර් සේවය කරන්නෙ තලවකැලේ ආශ්‍රිත ප්‍රදේශයක වෛද්‍යවරයෙක් හැටියට.
ලුතිනන් ස්ටේන් බෝයර් යුද්ධයේ කෲර කම දෑසින් දැකලා අධිරාජ්‍යවාදය ගැන තිබ්බ විශ්වාසය නැති කරගත්ත සුද්දෙක්.
දොස්තර මිඩ්වින්ටර් ගෙ රෝගීන් අතර වැඩිපුර ඉන්නෙ තේවතු වල සේවය කරන දෙමළ කම්කරුවන් සහ කොත්මලේ ආශ්‍රිත ගම් වල සිංහල ගැමියන්. වසංගත රෝග වලින් මේ මිනිස්සු මැස්සො වගේ මැරෙනවා. මේ මිනිස්සුන් ගෙ ජීවන තත්වය උසස් කරන්න දොස්තර මිඩ්වින්ටර් අවංක උත්සහයක් දරනවා. ඒක බටහිර ශිෂ්ඨාචාරයේ වගකීමක් කියල ඔහු විශ්වාස කරනවා.
දොස්තර මිඩ්වින්ටර් සුදු ජාතික වැවිළි කාරයොන් ගෙ සමාජයක සාමජිකයෙක්. ලුතිනන් ස්ටේන් තමාගෙ මිත්‍රයා එක්ක මේ සමාජ ශාලා වලට යනවා. එතන බිලියඩ් සෙල්ලම් කරන්න එන වැවිළිකාර සුද්දො ඔහුට වැඩිය දිරවන්නෙ නෑ. මේ වැවිලිකාරයො ස්වදේශිකයන්ට සලකන්නෙ සත්තුන්ට වගේ. ඒ නිසාම ලුතිනන් ස්ටේන් වැවිලිකාරයො එකක් ආරවුල් කීපයකුත් ඇති කර ගන්නවා
මේ අතරෙ මිනී කන කොටි දෙන්නෙක් අවට ගම් වල සැරිසරන්න පටන් ගන්නවා. මුං දෙන්නා වතු කම්කරුවන්ව සහ සිංහල ගැමියන්ව මරනවා. මුළු ප්‍රදේශයම ත්‍රාසයෙන් මුසපත් වෙනවා. වැවිලිකාරයො කොටි දෙන්න දඩයම් කරන්න උත්සහ කරනවා. ඒත් කොටි දෙන්නා ඉතාම කපටියි. කොටි දෙන්නගෙ ගොදුරු ගාන 50 පනිනකොට තේවතු වල නිෂ්පාදනයටත් ඒක බලපානවා. මිනිස්සු වැඩට යන්න බය වෙනවා.
කොටි දඩයම් කරන්න යන වැවිලිකාරයෙක් කොටින්ට ගොදුරු වුනාට පස්සෙ වැවිලිකාරයො අකැමැත්තෙන් ලුතිනන් ස්ටේන් ගෙ උදව්ව ඉල්ලනවා. මිනිහ කැමති වෙන්නෙ නෑ.
එක දවසක් ලුතිනන් ස්ටේන් දොස්තර මිතුරා එක්ක කොටින්ට ගොදුරු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන 16 හැවිරිදි ගෑණු ළමයෙක් බලන්න යනවා. ගෑණු ළමය මැරෙනවා. ඒත් සිද්ධියෙන් කම්පනය වෙන ලුතිනන් ස්ටේන් කොටින්ව දඩයම් කරන්න කැමති වෙනවා.
ඊට පස්සෙ තියෙන්නෙ ලුතිනන් ස්ටේන් කැලේ, ගම් සහ තේ වතු අස්සෙ රිංගගෙන කොටි දෙන්න ලුහුබඳින හැටි. කොටි දෙන්න ලුතිනන්ට වෙට්ටු දදා බේරෙනවා. ලුතිනන් ගේම අතාරින්නෙත් නෑ.
හැබැයි මාසයක් විතර ගතවෙද්දි ලුතිනන් ට කොටි දෙන්න ගැන ගෞරවයක් ඇති වෙනවා. ඒ එක්කම ප්‍රදේශයේ අහුමුළු නෑර කරක් ගහද්දි ඔහු දකිනවා කොටි අතින් විඳිනවට වඩා දුකක් යටත්විජිත වාදය නිසා මිනිස්සු විඳින බව. ඔහුගෙ සහයට එන දොස්තර මිඩ්වින්ටර්ටත් ඒක ඒත්තු යනවා.
මාස තුනක දඩයමකින් පස්සෙ කොටි දෙන්නවම මරන්න ස්ටේන් සමත් වෙනවා. හැබැයි ඔහු ඒ ගැන දුක් වෙනවා. කොටින් ගෙ හම ගලව ගන්න එන වැවිලිකාරයෙක්ට ලුතිනන් ස්ටේන් වෙඩි තියන්න තර්ජනය කරනවා. කොටි දෙන්නව තමාගෙ අතින්ම හාරපු වලක වළලලා ඔහු පහුවදා උදේම කෝච්චියෙන් කොළඹ යන්නෙ එංගලන්තය බලා නැව් නගින්න.
මිතුරාව ඇරලලා ආපහු හැරෙන දොස්තර මිඩ්වින්ටර් ට දුම්.රිය වේදිකාවෙදි වත්තක වැඩ කරන මනුස්සයෙක් කතා කරනවා.
"යක්‍ෂයාගෙන් අපිව බේර ගත්තට ඔබේ මිතුරාට ස්තූති කරන්න"
"යක්‍ෂයා තාම ඉන්නවා"
දොස්තර මිඩ්වින්ටර් දුම්.රිය වේදිකාව දිගේ ඇවිදගෙන යද්දි පසුබිමෙන් කැලෑවෙන් වැහුන උස් කඳුගැට දර්ශනය වෙනවා. ඒවා දොස්තර මිඩ්වින්ටර් ට වඩා ගොඩාක් උසයි.
Tuesday, September 27, 2016
මහෞෂධ
නෙත් හැර බැලූ මහේෂ් "කිරි කිරි" හඬින් පැද්දෙන ඇඳෙන් බිමට පැන්නේ තත්පරයකුදු අපතේ නොයවමිනි. වෙනදා ඇඳෙන් බැසීමට ඔහු විනාඩි පහකට වඩා ගත කරතත්, අද ඔහුට කාලය රන් හා වටී. පය බිම ගැටෙත්ම ඔහුගේ සිතට පළමුවෙන්ම ඇතුළු වූයේ මුළුතැන්ගෙයින් ඇරඹී මුළු නිවස පුරාම පැතිරී යන කිරිබත් සුවඳින් අවදි වූ නැවුම් පිරිපුන් හැඟීමකි.
පැකිලෙමින් කුස්සිය කරා ඇදුනු ඔහුව පිළිගත්තේ සිනා කටක් මුහුණ පුරවා ගත් මවයි. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි සෙනෙහස පිරුණු දෑසේ අද ගෞරවයක සළකුනු ද රැඳී තිබෙනු ඔහු දුටුවේය. ලිප මත කිරිබත් මුට්ටියක් දුම් දමමින් කෑම මේසය මතට යාමට බලා හිඳී. මේසය මත කළමනා විසුරුවා ගෙන තේ හදන අක්කා ගේ සහ ලුණුමිරිස් සෑදීම පිණිස කඳුළු පෙරාගෙන ළූණු කපන නංගී ගේ වෙනදා උදෑසනට දක්නට ඇති නිදිබර නොරිස්සුම් බව වෙනුවට ඇත්තේ කඩිසර උනන්දුවකි.
දත් බුරුසුව සහ බාල්දිය දෑතින් ගෙන තුවාය කරේ දමාගෙන මුහුණ සේදීමට ළිඳට යාමට මිදුලට බැස්ස මහේෂ් දුටුවේ දිරාගිය ඇඳ ඇතිරිල්ලකින් හිස සහ දෙවුර පොරවාගෙන, අඟුරු කැටයක් සපමින් මිදුල අමදින පියාය. බොහෝ විට පියාගේ උදේ වරුවෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳ මතයි. නමුත් අද ඔහු ඇඟේ අමාරුව මදකට කල් දමා ඇති සෙයකි.
අද මහේෂ් ගේ සමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නා දිනයයි. මහේෂ් ගමේ පාසැලේ එකොළහ වසරේ පමණක් නොව විද්‍යාලයීය ඉතිහාසයටම සිටි දක්‍ෂතම සිසුවෙක් බව විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේම අදහස විය.
මහේෂ්ලා ගේ ගමේ වැසියන්ගෙන් බහුතරය ගම කෙළවර ඇති කුඩා වැව මෝසම් වැස්සෙන් පිරෙන තුරු අහසට යදින ගොවීහු වූහ. වියළි කලාපීය දුෂ්කර කුඩා ගම්මානයක් වූ එහි ගැමියෝ ගම වටා පැතිර ගත් කටු පඳුරු සහිත වන බූටෑවත්, ඉඳහිට ගම් වදින වල් අලි රංචුවත්, මන්ද පෝෂණයෙන් වියළී ගිය දෙතනක් බඳු නියං අහසත් සමඟ කරන්නා වූ නිරන්තර අරගලයකින් හෙම්බත් වූ පිරිසක් වූහ. නියඟයත් සමඟ කුඩා වැව පතුලටම් සිඳී යන්නේ වැව් පතුල තැනින් තැන පැලී ගිය මැටි කට්ටක් බවට පත් කරමිනි. තැන තැන ඉතිරිවන කුඩා මඩ කඩිති මදුරුවන්ට රජදහනකි. වරින් වර පැතිරයන කැලෑ උන හෙවත් මැලේරියාව, නියඟයත් වියළි පොළොවත් සමඟ පොරබදන ගැමියන් ගේ ඉතිරි වූ සාරය උරා දමන්නේ ඔවුන් හපා ඉවත දමන උක් රොඩු බවට පත් කරමිනි. මෙම කුඩා ගම්මානයේ අවුරුදු පණහක් පමණ ජීවත් වූ මහේෂ් ගේ පියාද මැලේරියාවත් සමඟ කල අඛණඩ සටනින් කෙමෙන් පරාජය ලබමින් සිටින මහළු ගැමියන් ගෙන් අයෙකි.
මහපොළොවත් සමඟ පොරබැදීමට පියාට වලංගු නැතිවන විට පාසල් දිවියට ඒ වන විටත් සමු දී උන් මහේෂ් ගේ අයියා උදැල්ල අතට ගත්තේය. යන්තම් අවුරුදු විසි දෙක පිරුනු තරුණයෙක් වූ ඔහුට පියාට තරම් කැත්ත උදැල්ල දෑතට හුරු නැතත්, ධෛර්‍යය සහ උත්සාහය මගින් ඒ අඩුව පිරවීමෙහි ලා සමත් විය. අට වසරෙන් පසු පාසල පැත්තේ වත් නොගිය අක්කා අයියාට උදව් කිරීම භාර ගත්තාය. මහේෂ් ද පාසල් ගමන නවතා අයියා පසු පස යාමට උත්සාහ කලේ වරක් දෙවරක් නොවේ. නමුත් විදුහල්පති තුමාගේ සිට අයියා දක්වා වූ සියළුම දෙනා ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහුට එම අදහස අත්හැරීමට සිදුවිය.
සාමාන්‍ය පෙළ සමත්වී නගරයේ මධ්‍යමහා විද්‍යාලයට යාමට හැකි වුවහොත් ඔහුට විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා සරසවි වරම් ලැබිය හැක. එවිට ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වී පවුල ගොඩ ගැනීමට හැක. අයියාට අත්ට්‍රැක්ටරයක් හා තව කුඹුරු කෑල්ලක්, අක්කාට හොඳ පෙලවාසියක්, නංගීට සහ මල්ලීට අක්කා සහ අයියා ගිය පාරේ නොයා හොඳ අධ්‍යාපනයක්, ඉපදුණු දවසේ සිට සැපක් විඳ නැතැයි සිතිය හැකි අම්මාට නිවිහැනහිල්ලේ පිනක් දහමක් කර ගැනීමට ඉඩක්, මේ සියල්ලටම වඩා පියාට හරි හමන් බෙහෙත් වේලක් යනාදී වශයෙන් බලාපොරොත්තු, සැලසුම් පොදියක් මහේෂ් ගේ සිත පතුලේ ඇත.
යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන විටම පාසල් ගමන අතහැර දමන ගමේ කොළුකුරුට්ටන් සහ ගැටිස්සියන් තම මුතුන් මිත්තන් කළ ලෙසටම වියළි පොළොව සමඟ පොරබැදීම අරඹති. අනෙක් උන්ට වඩා නාහෙට නාහන කොළු ගැටව් කුමක් හෝ රැකියාවක් සොයා නගරයට ඇදෙති. නගරයට ඇදෙන උන්ගෙන් සමහරු වෙළඳාමක් හෝ වාහනයක් එළවීම වැනි රැකියාවකට වැටී නගරයේම රැඳෙතත්, බොහෝ උන් නැවතත් වියළි පොළොව සොයා ගමට ඇදෙති. නැතහොත් නගරයේම රස්තියාදු වෙමින් පල්වෙන ලුම්පන් සමාජයට එක්වෙති. එවැනි පසුබිමක් තුල මහේෂ් අධ්‍යාපනයෙන් ඉහළට යාම අනෙකුත් සිසුවන්ට ආදර්ශයක් සහ දිරියක් වන බවට විදුහල්පතිතුමා තුල ඇත්තේ දැඩි විශ්වාසයකි.
කිරිසුදු නිල ඇඳුමකින් සැරසුනු මහේෂ් අම්මාගේ අතින් බෙදන ලද කිරිබත් කැට දෙක නංගීගේ අතින් සාදන ලද ලුණුමිරිස් සමඟ බොහෝවේලාවක් තිස්සේ කෑවේය. පළමු දිනයේ නියමිතව තිබුනේ සිංහල විෂයයි. නමුත් මහේෂ්ගේ සිතේ වැඩිපුර තිබුනේ සිංහල විෂයට වඩා දෙමාපිය සොයුරු සොයුරියන් පිළිබඳ සිතුවිලිය. කිරිබත් පිඩක් සෙමෙන් සපන අතරතුර ඔහුගේ නෙත් රැඳී තිබුනේ වීදුරුබෝල වැනි දිළිසෙන පිරිසිදු විශාල ඇස් දෙකෙන් තමාදෙස බලා සිටි කුඩා මල්ලී දෙසයි. ඔහුගේ උගුරේ දැවිල්ලක් හදිසියේම හට ගත්තේ නංගීගේ අතින් ලුණුමිරිසට මිරිස් වැඩිවූ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි කීමට ඔහු නොදත්තේය.
තවමත් හිමිදිරිය නිසා රාත්‍රියේ වට පිනිබිඳු තණපත් මත රැඳී ඇත. නමුත් පෙරදිගින් නැගෙන හිරු රැස් කෙමෙන් චණ්ඩ වත්ම ඒවා මැකී යන්නේ තම කෙටි දිවිය පිළිබඳ සලකුනකුදු තණපත් මත ඉතිරි නොකරමිනි. දැලි රැවුළු කොට මෙන් මුරණ්ඩුව නැගීගත් ගොයම් ගස් කොට මතින් හමාඑන වියළි සුලඟින් ඇවිස්සුනු දුවිලි නිසා මුහුණ හකුළුවා ගනිමින් මහේෂ් ඉපනැලි අතරින් බස් නැවතුම කරා පිය මනින්නට විය. සති ගණනක් නොවට වැස්ස දැන් දැන් එතැයි බලාපොරොත්තුවෙන් කොළ හැලී ගිය ගස් අහසට දෑත් ඔසවාගෙන සිටියදී, සිඳී ගිය වැව දෙසින් හමන සුළඟ ඒවාට ලබාදෙන්නේ දූවිලි මිශ්‍ර මඩ සුවඳක් පමණි. මේ සියල්ල දෙස අකම්පිතව බලා සිටින දැවැන්ත මහල්ලෙක් බඳු සුවිසල් සියඹලා ගස සෙවනේ නගරයට යාම සඳහා බස් රථය එනතුරු රැඳී සිටින ගැමියන් කිහිප දෙනෙකු අලස ලෙස උනුන් හා දොඩමළු වූහ. සියල්ලන් ගේම නෙත් හදිසියේ තමාට යොමු වීම නිසා මද සබකෝලයකට ලක් වූ මහේෂ් යන්තමට ඔවුන් හා සිනා පාමින් කොනෙක අටවා තිබූ බංකුවේ හිඳ ගත්තේය.
බසයට නැගගත් වේලේ සිට මහේෂ්ගේ ගතට දැනුනේ මද නොසන්සුන් හැඟිමකි. කිසිදිනෙක විභාගයකට පෙර බියක් ඔහුගේ සිතට නොදැනුනද, තම දිවියේ තීරණාත්මක කඩඉමට මුහුණ දීමට යන ගමනේදී ගත සිත මදක් සැලීම ස්වභාවික දෙයකැයි සිතමින් ඔහු සන්සුන් වීමට උත්සාහ දැරීය. පහේ කණුව හන්දියට බසය ලඟාවන විට ඔහුගේ දෙපයට මද වෙහෙසකර බවක් දැනුණු අතර සිරුරේ හන්දිපත් වලින් සියුම් වේදනාවක් දැනෙන්නට විය. විවර කරන ලද කවුළු වලින් බස් රථය තුලට ගලා ආ සුළඟ බසය තුල ක්‍රමයෙන් ඉහල යන උණුසුම මකාලීමට කිසිදු උදව්වක් නොදුන්නද, එය මහේෂ් ගේ මුහුණට කඩා වැදුනේ ගතේ හිරිගඩු නංවමිනි. විනාඩි හතළිස් පහක අලස ගමනකින් පසු බස් රථය නගර සීමාවට ළඟා වන විට මහේෂ්ට මද හිසරදයක් සෑදී තිබිණි.
විභාග ශාලාවේ හිඳගත් මහේෂ් මදින් මද නැගී එන හිසරදය සහ නොසන්සුන් බව පලවා හරිනු වස් ප්‍රශ්න පත්‍රයේ තිබිය හැකි යැයි සිතෙන ප්‍රශ්න වලට සිතින් පිළිතුරු සපයන්නට විය. සිංහල මහේෂ්ට කෙදිනකවත් අමාරු විෂයක් වූයේ නැත. එමනිසා බිය වීමට කිසිදු හේතුවක් නොවුවත්, තමාට දැනෙන නුහුරු නොසන්සුන් බව නිසා මහේෂ් තීරණය කලේ සාහිත්‍යය කොටසට මුලින් පිළිතුරු ලිවීමටයි. සිංහල සාහිත්‍යය මහේෂ්ගේ ප්‍රියතම මෙන්ම ඔහු කවදත් වැඩි ලකුණු ලබාගත් විෂයකි.
ප්‍රශ්න පත්‍ර බෙදීම පටන් ගන්නා විට මහේෂ්ගේ හිසරදය සහ හන්දි අතරින් එන වේදනාව තරමක් තදින් දැනෙන්නට පටන් ගෙන තිබිණි. ඒ මදිවාට මෙන් කුස පෙරළාගෙන දැනෙන ඔක්කාරයක් ඔහුගේ අපහසුතාව තීව්‍ර කිරීමට විය. අසහනකාරී සිතුවිලි පලවා හැරීමට ඔහු තමාගේ පෑන් පැන්සල් ඒ මේ අත පෙරලමින් අසාර්ථක උත්සාහයක නිරත විය. ප්‍රශ්න පත්‍රය අතට ලැබුනු සැනින් වෙන කිසිවක් නොබැලූ මහේෂ් කෙලින්ම සිංහල සාහිත්‍යය කොටසේ සාහිත්‍යය විග්‍රහ කොටසට පිළිතුරු ලිවීම ඇරඹූයේ සාර්ථක ලෙස ප්‍රශ්නයකට පිළිතුරු දුන් විට අසහනකාරී හැඟීම් පහව යතැයි බලාපොරොත්තු වෙමිනි. ඔහු තෝරාගත්තේ උම්මග්ග ජාතකය ඇසුරෙන් අසා තිබූ පැනයකි.
මහෞෂධ පණ්ඩිතයන්, කේවට්ටයා, වේදේහ රජතුමා ආදීන් සමඟ විනාඩි හත අටක් සිත වෙහෙසන මහේෂ්ට නිතැතින් ම ශාරීරික සහ මානසික අපහසුතාව අමතකව ගියේය. නමුත් හිටි හැටියේම තමා හිඳගෙන සිටින පුටුවෙන් ඉහළට එසවී පාවීයන බවක් දැනුනු නිසා හේ හිස ගසා දමමින් වට පිට බැලීය. ශාලාධිපතිනිය සහ අනෙකුත් සිසු සිසුවියන් ඔහුට පෙනුණේ තමාට සම්බන්ධ නැති ඈත ලොවක සිටින්නන් මෙන් කුඩාවටය. නිදහසේ ගලා හැලෙන දහඩිය බිඳු නළල මතින් රූරා ගොස් ප්‍රශ්න පත්‍රයේ කිහිප පොළක් තෙත් කලේය. ඉඳිකටු තුඩු දහසකින් අනිනා කලෙක මෙන් හිරිගඩු පිපී යන සීතලක් ඔහුගේ සිරුර පුරා දිව ගිය අතර, පෑන අල්ලාගෙන සිටිය නොහැකි තරම් අත් අප්‍රානවත් විය. ඒවනතුරු කුස තුල පෙරළි කරමින් තිබූ ඔක්කාරය ක්‍රමයෙන් උගුර ඔස්සේ ඉහළට නැගී එනු ද, ඊට සමගාමීව ඔහුගේ කටට වේගයෙන් කෙළ උනන අයුරු ද මහේෂ්ට දැනෙන්නට විය.
මුළු ගතම අප්‍රානිකව යද්දී නිතැතින්ම ඔහුගේ හිස මේසයට පහත් වුවද සිරුර තුලින් ඒ මේ අත දිව යමින් එළියට පැමිණීමට වෙර දරන සත්වයා දමනය කිරීමට එය කිසිදු පිටිවහලක් නොදිනි. ඊළඟ මොහොතේ පසෙකට නැවී වමනය කල මහේෂ් තම කුසත් උගුරත් දවාලමින් අම්මාගේ කිරිබත්, නංගීගේ ලුණුමිරිස් සහ අක්කාගේ තේ වතුර එකම ප්‍රවාහයක් බවට පත්වී විභාග ශාලාවේ බිම පුරා විසිරී යනු දිටීය. කුස හිස් වීමත් සමඟම අවට වටපිටාව අඳුරු වී යන බවක් දැනුනු ඔහු සෙමෙන් පොළොවට පහත් වී බිම වැතිර ගත්තේය. කවුදෝ ගැහැණු ළමයෙක් යටි උගුරෙන් කෙටි විලාපයක් නැගුවාය.
නෙත් හැර බලන විට ඔහු දුටුවේ සුදු පැහැයක් පමණි. සුදු පැහැති බිම, සුදු පැහැති සිවිලිම, සුදු පැහැති බිත්ති, සුදු පැහැති ජනෙල් තිර සහ කඩිසරව ඔබ-මොබ සරන සුදු පැහැති ඇඳුම් ඇඳගත් ගැහැණු සහ පිරිමි යන මේ සියල්ල දිස්වූයේ අපැහැදිලි ඡායාවක් මෙනි. තව්තිසා දෙව්ලොව පිළිබඳ අපැහැදිලි මතකයක් ඔහුගේ සිතට නැගිනි.
තව්තිසා දෙව්ලොවෙන් ව්‍යුතවැ, මව් කුස පිළිසිඳ ගත් මහ බෝසතාණන් වහන්සේ, දස මසකින් අභිනව චන් ද්‍ර රේඛාව සේ දෝහො නොහොත් ඝන රන් පිළිමයක් බඳු වූ රන් වන් පුතණු කෙනෙකුන් සේ මහෞෂධ නමින් මෙලොවට බිහිවිය. එතුමන් මව්කුසින් නික්මුනු බව දැන, සක් දෙව් රජාණෝ නොපෙනෙන ශරීරැතිව අවුත් ඔහු අත රන් සඳුන් ගැටයක් තබා නික්මුනහ. මහෞෂධ කුමරුන් ගේ පියාණන් වූ සිරිවඩ්ඪන සිටාණන්ට වනාහි සත් අවුරුද්දක් මුළුල්ලේ පහරන හිස රුජාවක් තිබිණි. එතුමෝ තුටු පහටුවැ සඳුන් ගැටය අතට ගෙන මඳක් ගලගා නළල ගැල්වූහ. සත් අවුරුද්දක් ප්‍රබන්ධයෙහි පහල හිස රුජාව නෙළුම් පතක නොඇලී රූරාගෙන යන දියත්තක් සේ නැතිවැ ගියේය.
අයියාට අක්කාට දිවි සටන ජය ගන්නට, නංගීට මල්ලීට සිප් නැණ පහන දල්වාලන්නට, මවට සැනසීමක් ළඟා කර දෙන්නට, ගැමියන්ට බලාපොරොත්තුවක වැසි පොදක් ලබා දෙන්නට, පියාණන් ගත පෙළෙන් අසනීප සුව කර ලන්නට යනාදී මේ සියළු පැනයන්ට විසඳුම් ලබා දෙන්නට පැමිණි පින්වත් පුත් කුමරුවා මහේෂ් නම් වූ තමාය. තව්තිසා දෙව්ලොවින් චුත වී මහපොළොවට පැමිනෙන්නට හෝරාව එලැඹ තිබේ.
සුදු හැඳගත් ස්ත්‍රීන් සහ පුරුෂයන් තමා අසලින්ම කඩිසරව උනුන් කතාබහ කරමින් ගමන් කරති. මේ තමාට මහ පොළොවට බිහිවන්නට උපකාර කරන්නන් විය යුතුය.
"මැලේරියාව" සුදු හැඳගත් කාන්තාවක් පවසනු ඔහුට ඇසිණි. "තව ටිකකින් හරියයි". පියාගේ ගත පෙළෙන මැලේරියාව තව මොහොතකින් හරි යනු ඇත. එපමණක් නොවේ. අනෙකුත් සියළු අතුරු අන්තරා ද සමඟම...
සුදු හැඳගත් කාන්තාව තමාගේ අතට මොනවාදෝ දී අත මිට මොළවා ඉවතටා ගියාය. සියළු දේට පිළියම් දෙන රන් සඳුන් ගැටය. ජයග්‍රාහී හැඟීමෙන් මහේෂ් රන් සඳුන් ගැටය තදින් මිට මොළවා ගත්තේය. ඉන්පසු මෙළවූ මිට දෙනෙතට ළංකොට සෙමෙන් අත දිගහැර එදෙස බැලීය.
මොන හත් ඉලව් හඳුං ගැටයක් ද?
ඒ කුවිනැයින් පෙති!
Wednesday, October 21, 2015
පරිසර-වේදය
පරිසර-වේදය
කොළඹ ග්‍රීෂ්මයට හසුවී
දහදියෙන් වැකි ගත
පංකාව යට
සතපා
ශීත කල
බියර් වීදුරුවක් බොමින්
ගොඩවී ෆේස් බුකියට
ගල් අඟුරු බලාගාරයෙන්
දූෂනය වන අහසත්
ජල විදුලි බලාගාරයෙන්
නැතිව යන
දිය ඇල්ලත්
රැක ගැනීමට
සමාජ සටන් කරති
පරිසර වේදී
උතුමෝ
පැතුම
පැතුම
ඉටි පන්දමක්
වෙන්නම් නුඹට
මම
ජීවිතයම
කැප කරන්න
නුඹට
එළියක් වෙන්න.
පහනක්
වෙන්න මට
නුඹ
හැමදාමත්
අළුත් වෙවී
ළඟින්ම ඉන්න
අඳුරට
දයාබර නැගනියට
දයාබර නැගනියට
රන් මාල පළඳවමි
නුඹට මා කවද හරි
කියා නුඹ රවටන්න
මට නොහැක නැඟනියේ
රන්මාලයක් තියා
කහට තේ උගුරටත්
අතේ සතයක් නොමැති
නුඹෙ අයිය අසරණ ය
කුඩා සන්දියෙ පටන්
නුඹ තමයි මගෙ දිවියෙ
එකම වස්තුව වුනේ
මගේ පොඩි නැඟනියේ
මා මිතුරු කැලට වත්
ඇස ගැටෙන්නට නොදී
ඇසක් ලෙස රැක ගත්තෙ
මා නුඹව නැඟනියේ
මත් කුඩට මුදල් නැති
නිසා නුඹෙ රන් මාල
පොට හොරෙන් අරන් ගොස්
විකුණුවේ බැරිම තැන
අද හෙටම මේ පවිටු
ජීවිතෙන් සමු ගනිමි
ඉන් පසුව නුඹත් මා
මව් පියොත් නිදහස් ය
මා නොමැති ජීවිතේ
නිදහසේ ගෙවන්නට
නුඹට හැකි වේ ඉතින්
කමා වන් නැඟනියේ
රාජාභිෂේකය
රාජාභිෂේකය
පුත සාලිය,
යන්න කොත්මලයට.
ඇමතියන් රැස්ව
අද රාජ සභාවේ
ඔබට රජකම
දිය නොහැකි බව
පැවසූහ
එක හඬින්,
සැඩොල් ලියකට
පෙම් කල
වරදට.
පුත සාලිය,
යන්න කොත්මලයට.
මා බිසව,
ඔබ මව
කතී ද
ගොවි ලියක් මිස
රජ ලියක් නොවන බව
උන්ට අමතක වීද?
නැත
එළාරට බියෙන්
බියගුළුව නිවටව
මුළු ගැන්ව
සිටි උන්ට
මා සිහසුන දැරීමට
එරෙහි වීමට
දිරි වඩනු නොහැකි විය.
ගොවි පුතුන් පිරිවරා
මා එදා
විජිත පුරය
බිඳ හෙලද්දී
නොපෙනෙන තරම්
දුරින් හිඳ
ඔල්වර නැගූ බව උන්
නොදිටිම් ද මම.
පුත සාලිය,
යන්න කොත්මලයට.
උතුරින් පරසතුරන්ට ද,
දකුණින් ගොළු මුහුදට ද,
පමණක් නොව
නැගෙනහිරින් සහ බටහිරින්
හිස් ඔළු ගෙඩි සහ
පිරුණු බඩ ගෙඩි සහිත
හිස් මිනිසුන්ට ද
මැදිව
මාගම රජ මාළිගයේ
අත පය හකුළා
නිදා උන් මා
මුල් වරට
සිත් සේ නිදා ගත්තේ
කොත්මලයේ
පැල් කොටයක
ඔබ මව් එළා දුන්
පැදුර මතය.
පුත සාලිය,
යන්න කොත්මලයට.
මේ කිරුළ අපට
බර වැඩිය.
ඔබ කුඩා කළ
දුව පැන සෙල්ලම් කළ
වෙල් ඉපනැලි ද,
දිය නෑ දිය කඳුරු ද,
දහ සය වසක්
සෙනෙහසින් අප රැකි
අප නෑයින් ද,
අදත් අප
සෙනෙහසින් පිළි ගනු ඇත.
පුත සාලිය,
යන්න කොත්මලයට.
එකෝමත් එක කාලෙක.......
එකෝමත් එක කාලෙක.......
එකෝමත් එක කාලෙක
මම හිටියා
මීයෙක් වෙලා
පොහොසත් ගෙදරක.
ජීවිතය සාදයක්
චීස් වලින් පිරුණ.
මම හිතුවා
සාදය
තියෙයි කියා
හැමදාම.
ඒත්
ඒ ගෙදර හිටියා
බළලෙක්.
බළල්ලු මොනවද දන්නෙ චීස් ගැන.
එකෝමත් එක කාලෙක
මම හිටියා
ගෙම්බෙක් වෙලා
ප්‍රංශයේ මඩ වගුරක.
ජීවිතය පුෂ්ටිමත්.
මැස්සො රැළක් වගේ.
මම හිතුවා
මම කුමාරයෙක් කියා
මඩ වගුරට.
ඒත්
ප්‍රංශ කාරයෝ
මාව අල්ලගෙන
කෑමට ගත්තා
මගේ කකුල්.
ප්‍රංශ කාරයෝ මොනවද දන්නෙ මැස්සො ගැන.
එකෝමත් එක කාලෙක
මම හිටියා
කටුස්සෙක් වෙලා
ලඳු කැලෑවක.
ජීවිතය වර්ණවත්
දේදුන්නක් වගේ.
මම හිතුවා
මම ජීවත් වෙයි කියා
අවුරුදු සීයක්.
ඒත්
හදිසියෙම ආව
ලැව් ගින්නක්.
ලැව් ගිනි මොනවද දන්නෙ පාට ගැන.
එකෝමත් එක කාලෙක
මම හිටියා
මාළුවෙක් වෙලා
ලොකු විලක.
ජීවිතය අනන්තයි.
නිල් අහස වගේ.
මම හිතුව
කවද හරි
පීනනවා කියල
අහස කෙළවරට.
ඒත්
ඒ විලේ හිටියා
පිළිහුඩුවෙක්.
පිළිහුඩුවො මොනවද දන්නෙ අහස ගැන.
එකෝමත් එක කාලෙක
මම හිටියා
කොල්ලෙක් වෙලා
ලස්සන දූපතක
නිල් මැණික් කැට වලින් හැදුනු.
මම ආදරය කලා
කෙල්ලෙකුට
ලස්සන ඇස් තියෙන
නිල් මැණික් කැට වලින් හැදුනු.
ජීවිතය ලස්සන හීනයක්.
මම හිතුවා
අවදිවෙන එකක් නෑ කියා
කවදාවත් ම.
ඒත්
අවදි වෙලා මම .
පාණාතිපාතා වේරමණී
පාණාතිපාතා වේරමණී
ඉරටු දෙකෙන් මට තැළුවට
සත්තු මරන එක පව් බව
දැනං හිටියෙ නැහැ නොවැ මම
කුස්සියෙ මේසය උඩ ඇති
කුකුළු නාම්බා හවසට
උයන ගමන් මටත් ටිකක්
දෙනතුරු ඉවසන්නම් මම
බස් මගියා
බස් මගියා
(බසයට නගිද්දී)
අනේ
අපිව මග දාල යනවද
නැතිද පොඩි ඉඩක්
ඔය බසය තුළ
නැද්ද
හිතක් පපුවක්
(බසයට නැග්ග පසු)
අනේ
ඔහොමත් පටවනවද
පැක් කරනවා වගේ
සැමන්
නැද්ද
හිතක් පපුවක්
මහජනයා
මහජනයා
ට්‍රැෆික් රාළහාමිට දී
රුපියල් පන්සීය
ෂේප් වී
දඩ කොළයෙන්
ගෙදර අවුත්,
බලමින් පත්තරය
පගා ගැසූ මන්ත්‍රීතුමා
අරිති
පතුරු
මහජනයෝ
කවියා සහ මහවැලි ගඟ
කවියා සහ මහවැලි ගඟ
ගංගාව ගංගාවකඳු මැදින් ගලා යන
සුන්දර වු හන්තාන
සරසවිය පිස ගලන
ගංගාව ගංගාව
පවසන්න මා සමඟ
සොඳුරු දේ ඔබ දුටුව
පන් හිඳෙන් ගලපන්න
නැහැ සබඳ මම නුඹට
කියන්නම් මා දුටුව
සරසවියෙ බිම වසා
ගලා ගිය කඳුළු ගැන
ගංගාව ගංගාව
පවසන්න මා සමඟ
උනුන් අත් පෙමින් ගෙන
ඇවිද ගිය යුවල ගැන
නැහැ සබඳ මම නුඹට
කියන්නම් මරුන් ගැන
රකුසු දත් විලිස්සා
වියරුවෙන් හඹා ගිය
ගංගාව ගංගාව
පවසන්න මා සමඟ
පෙම්වතුන් මග ඇසෙන
සොඳුරු පෙම් මුණු මුණුව
නැහැ සබඳ මම නුඹට
කියන්නම් මට ඇසුන
රුදුරු රැය විනිවිදින
මරණයේ විලාපය
ගංගාව ගංගාව
පවසන්න මා සමඟ
උදෑසන තණ පලස
පිණි වැටී දිලෙන 'යුර
නැහැ සබඳ මම නුඹට
කියන්නම් මා දුටුව
ලේ කැටිති තණ මතින්
ගල් ගැසුන සීතලට
ගංගාව ගංගාව
පවසන්න මා සමඟ
ඔබේ දිය මත වැටී
පාව ගිය කුසුම් ගැන
නැහැ සබඳ මම නුඹට
කියන්නම් මගේ දිය
කඳ සමඟ ඇදී ගිය
නිසල මළ සිරුරු ගැන
ගංගාව ගංගාව
පවසන්න මා සමඟ
සොඳුරු ගං ඉවුර වැසි
සුසුදු වැලි තලය මත
ක්‍රිෂ්ණ ලා එනතුරා
රාධ ලා ඉන්නවද
නො ඉවසිල්ලෙන් බලා
තත්පරත් ගණිනවද
නැහැ සබඳ මම නුඹට
කියන්නම් මේ වගද
මයිකල් ල රැක ගන්න
ගෲෂ ලට නොහැකි විය
යකඩයන් පිරිවරා
කස්බෙක් ල සරන විට
සැඟව ගිය අසඩක් ල
තවම පැමිණියේ නැත
කොණ්ඩයා (නො)කී කව
කොණ්ඩයා (නො)කී කව
කොණ්ඩෙ වවල
ඇදපු නිසා
ගංජා
දුං
ලෝකෙටම මම
තිරිසනෙක්
වෙලා
දැං
කොණ්ඩෙ කපල
විස්කි ටිකක්
බිව්වා
නං
මාත් අද හොඳ
සිරා පොරක්
තමයි
බං
Wednesday, September 17, 2014
නිදහස
නිදහස
ටැංකියේ මාළු
කොයිතරම් අසරණ ද?
මම වගේ
නිල් අහසේ පහස
සුළං රැලි වල සිසිල
ගස් කොළං පැද්දෙන හඬ
විඳින්න
උන්ට වරමක් නෑ නේද?
උන් කොයිතරම් හිර වෙලාද?
කුරුල්ලා හිතුවා
උගේ කූඩුවේ ඉඳලා.
වීදුරු පළිඟු
වීදුරු පළිඟු
මුළු මහත් දඹදිවම පසිඳු
මාහැඟි පළිඟු බඳුනකි
එහි හිමිකරු වීම
ඉල්ලීස සිටු වරයා ගේ
එකම අරමුණ විය.
පළිඟු බඳුන හිමිකර ගැනීමට
සූ සැටක් ප්‍රයෝග ද
අසූ කෙළක් ධනය ද
යෙදීමට
ඔහුගේ මුළු දිවියම කැපවිය.
ධනය වැය වේ යැයි ලොබින්
නිසි අහරක් නොලද
ඔහුගේ ගත
ඉරටු කූරු මෙන්
සිහින් විය.
පළිඟු බඳුන ගැනම සිතා
නිදි වැරීමෙන්
ඔහුගේ දෙනෙත්
විළිකුන් ඵල මෙන්
රත් පැහැ විය.
දොළොස් වසක ඇවෑමෙන්
ඉල්ලීස සිටු තෙමේ
පළිඟු බඳුන හිමි කර ගත් දින
ඉල්ලීස සිටු මැදුරේ
මහත් සාදයක් විය.
දොළොස් වසක් පුරා
සිටු මැදුරට ආගන්තුක වූ
නෙක රස මසවුළු ද
නෙක සුරා පානයන් ද
නොමසුරුව පිළියෙල කෙරිනි.
මැදුම් යාමය නිමාවත්ම
අමුත්තන් නික්ම ගිය පසු
ඉල්ලීස සිටු තෙමේ
පළිඟු බඳුන දෑතින් ගෙන
සිත් සේ විඳින්නට විය.
සුරාවෙන් මත් වූ
ඔහුගේ දෑත
ඔහුට අකීකරු වූයෙන්
මද ප්‍රමාදයක් බැලූ
පළිඟු බඳුන
ඔහු අතින් බිමට පැන
මියුරු සංගීතය රාවයක් මවමින්
කැබලි සියයක් ව
කාමරය පුරා
විසිරී ගියේය.
වීදුරු කැබලි දෙස
දෙනෙත් දල්වා බලා උන්
ඉල්ලීස සිටු තෙමේ
මද සිනා පා
සයනය වෙත ගොස්
දොළොස් වසකට පසු
සිත් සේ නිදා ගත්තේය.
සකුරා මල
සකුරා මල
ගස් පුරා - වැල් පුරා
නෙක වනින් - නෙක ගඳින්
රොනින් බර - අත වනන
මල් පොකුරු - මැද සරන
දෙ සතියක් - පිපී හිඳ
පෙති සැලී - පරව ගිය
එ සකුරා - මලම වට
පියාපත් - වෙහෙසවන
බමර ඉඳු - බමන'යුරු
මේ කිනම් - අරුමය ද?
Wednesday, July 30, 2014
Behind the Enemy Lines......
I was in an ambush
Behind the enemy lines
Hiding among the bushes
Waiting and Waiting
Then the enemy came
A man without a face
I shot him...dead
Right between the eyes
I walked up to him
Where he was lying
He stared blankly ahead
Face covered in blood
He must've been a fine lad
Young and charming
If I met him in bar
I'd buy him a drink, I promise
But now he just lay there
Without a word, even a smile
What the hell I have done
I didn't even know him
But what else could I do
I was in an ambush
And he was my enemy
Or he really was?
Once............
Once
I was a mouse
In a rich house
Life was a party
Full of cheese
I thought the party would go for ever
But there was this cat
Those cats.....
What do they know about cheese?
Once I was a frog
In a big swamp in France
Life was fat
As a bunch of flies
I thought I was a prince
But they caught me and ate my legs
Those Frenchies.....
What do they know about flies?
Once I was a chameleon
In a bush
Life was colourful
As a rainbow
I thought I would live to be a hundred
But there was this bushfire
Those bushfires.....
What do they know about colours?
Once I was a fish
In a big Lake
Life was vast
As the big blue sky
I thought one day I would swim across the sky
But there was this kingfisher
Those kingfishers.....
What do they know about the sky?
Once I was a boy
In an island
Made of emerald
And I loved a girl
With beautiful eyes
Made of emerald
Life was a flawing dream
Full of joy
I thought I would never wake up
But I did ...........
In a rich house
Life was a party
Full of cheese
I thought the party would go for ever
But there was this cat
Those cats.....
What do they know about cheese?
Once I was a frog
In a big swamp in France
Life was fat
As a bunch of flies
I thought I was a prince
But they caught me and ate my legs
Those Frenchies.....
What do they know about flies?
Once I was a chameleon
In a bush
Life was colourful
As a rainbow
I thought I would live to be a hundred
But there was this bushfire
Those bushfires.....
What do they know about colours?
Once I was a fish
In a big Lake
Life was vast
As the big blue sky
I thought one day I would swim across the sky
But there was this kingfisher
Those kingfishers.....
What do they know about the sky?
Once I was a boy
In an island
Made of emerald
And I loved a girl
With beautiful eyes
Made of emerald
Life was a flawing dream
Full of joy
I thought I would never wake up
But I did ...........
Subscribe to:
Posts (Atom)



















