Showing posts with label කලාව​. Show all posts
Showing posts with label කලාව​. Show all posts

Friday, November 1, 2019

බොන්සයි - 3 (බොන්සයි කලාවේ මූලික නීති රීති​)



බොන්සයි ගසක උස​


බොන්සයි ගසක ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ එහි ඇති කුඩා බව​.

බොන්සයි කලාවේදී ගස් වල ප්‍රමානය​ අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.

මේ විදිහට වර්ග කරද්දි සාමාන්‍යය රීතියක් විදිහට ගසේ උස සඳහන් කළත්, යම්කිසි ගසක් ප්‍රමානය අනුව වර්ග කිරීමේදී එකම සාධකය වෙන්නෙ උස නෙවෙයි. ඒ සඳහා ගසේ මහත​, අතු ප්‍රමානය​, සිටුවා ඇති බඳුනේ ප්‍රමානය​, ගසක් ඔසවා ගැනීමේ පහසුව වගේ කරුණු කීපයක්ම බලපානවා.

1. කුඩා ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 1 සහ 10 අතර​
2. මධ්‍ය ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 10 සහ 36 අතර​
3. විශාල ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 30 සහ 80 අතර​

මේ ප්‍රධාන කොටස් අනු කොටස් වලට බෙදෙනවා.

කුඩා ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. කෙෂිත්සුබො (පොපි ඇට ප්‍රමානය) - උස අඟල් 1 සහ 3 අතර​
2. ෂිතො (ඇඟිලි තුඩු ප්‍රමානය) - උස අඟල් 2 සහ 4 අතර​
3. මමෙ (අල්ලේ ප්‍රමානය​) - උස අඟල් 2 සහ 6 අතර​
4. ෂෝහින් - උස අඟල් 5 සහ 8 අතර​
5. කොමොනො - උස අඟල් 6 සහ 10 අතර​

මධ්‍යම ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. කදතෙ-මොචි - උස අඟල් 10 සහ 18 අතර​
2. චුමොනො - උස අඟල් 16 සහ 36 අතර​
3. චිචු - උස අඟල් 16 සහ 36 අතර​

විශාල ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. ඔමොනො - උස අඟල් 30 සහ 48 අතර​
2. දයි - උස අඟල් 30 සහ 48 අතර​
3. හචි-උයෙ - උස අඟල් 40 සහ 60 අතර​
4. ඉන්පෙරියරු (රාජකීය​) - උස අඟල් 60 සහ 80 අතර​


අපිට සාමාන්‍යයෙන් බොන්සයි කිව්වම හිතේ මැවෙන්නෙ මධ්‍යම ප්‍රමානයේ බොන්සයි ගස්. වඩාත්ම බහුල වෙන්නෙත් මධ්‍යම ප්‍රමානයේ බොන්සයි. ඒ වගේම බොන්සයි කලාවේ තාක්‍ෂනය කුඩා සහ විශාල ප්‍රමානයේ බොන්සයි වලට යොදද්දි තරමක් වෙනස් වෙනවා.

ඒ නිසා මේ ලිපියේ කතා කරන්නෙ මධ්‍යම ප්‍රමානයේ බොන්සයි ගැන​.


බොන්සයි ගසක පෙනුම​


බොන්සයි ගසකින් බලාපොරොත්තු වෙන්නෙ මූලික වශයෙන් කුඩා ගසකට විශාල ගසක පෙනුම ලබා දීම​.



බොන්සයි ගසක "ඉදිරිපසක්" තියෙනවා. ගස තියල තියන්න ඕනෙ ඉදිරිපස නරඹන්නාගේ පැත්තට තියෙන විදිහට​. ගසක් දිහා බලන කෝනයෙන් ගසක පෙනුම විශාල වශයෙන් වෙනස් වෙන නිසා තමාගේ ගසේ "ඉදිරිපස​" තෝරා ගැනීම ඉතාම වැදගත්. සමහරවිට බොන්සයි කලාවේ වැදගත්ම අංගය ඒක වෙන්න පුළුවන්. ගස හැඩ ගැන්වීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ ගසේ ඉදිරිපස තෝරාගැනීම මත​.

ගසේ කඳ ඉහලට යන විට ක්‍රමයෙන් සිහින් වෙන්න ඕනෙ.

ගසේ මුදුන නරඹන්නා දෙසට තරමක් නැවිල තියෙන්න ඕනෙ. හරියට ගස නරඹන්නාට හිස නවා ආචාර කරනවා වගේ.

ගසේ කඳ තුවාල වී නොතිබිය යුතු අතර​, පාසි ආදිය නොබැඳී පිරිසිදු තත්වයේ තියෙන්න ඕනෙ.

ගසේ අතු බෙදෙන්න පටන් ගන්න ඕනෙ ගසේ සම්පූර්න උසෙන් තුනෙන් එකක උසකදී. ඒ කියන්නෙ ගසේ උසෙන් පළවෙනි තුනෙන් එක කඳ පමනක විය යුතු අතර​, ඉතුරු තුනෙන් දෙක අතු සහිත විය යුතුයි.

ගසේ ඉහළට යනකොට අතු වල ප්‍රමානය (මහත සහ දිග​) ක්‍රමයෙන් අඩු වෙන්න ඕනෙ.

ගසේ "ඉදිරිපසින්" බලනකොට ප්‍රධාන අතු කඳ හරස් වෙන විදිහට තියෙන්න බෑ.

අතු බෙදෙනකොට නරඹන්නා දෙසට අතු බෙදෙන්න බෑ.

එකම උසකින් අතු දෙකක් බෙදෙන්න බෑ.

එකම තැනකින් අතු දෙකක් බෙදෙන්න බෑ.

හැකි සෑම විටම අතු බෙදෙන දිශාව වමට​, දකුණට සහ පිටුපසට අතර මාරු වෙන්න ඕනෙ. ඒ කියන්නෙ එක ළඟ අතු දෙකක් එකම පැත්තට බෙදෙන්න බෑ.

ගසේ මුල් පොළව තුලට යාමට පෙර පොඩි දිගක් නරඹන්නාට පේන විදිහට මතුවෙලා තියෙන්න ඕනෙ.

ගසේ මුල් පොළව තුලට යාමට පෙර හොඳින් විහිදිලා තියෙන්න ඕනෙ. ඒවා විහිදෙන වට ප්‍රමානය ගසේ කඳට වඩා පළල් වෙන්න ඕනෙ.

මුල් පේන්න තියෙන හරියෙදි එකිනෙකා පැටලිලා තියෙන්න බෑ.

ගසේ කොළ ගසට සාපේක්‍ෂව කුඩා වෙන්න ඕනෙ.

මියගිය​, වියළුනු සහ රෝගී වුනු කොළ තියෙන්න බෑ.

ගසේ ඉදිරිපසට වඩා පසුපස කොළ වැඩිපුර තියෙන්න ඕනෙ.

කොළ වල මකුළු දැල්, කෘමි සතුන් ගේ අපද්‍රව්‍යය, තැන්පතු ආදිය නැතුව පිරිසිදුව තියෙන්න ඕනෙ.

මල් සහ් ගෙඩි තියෙනව නම්, අඩු පාඩු නොමැති පරිපූර්ණ තත්වයේ තියෙන්න ඕනෙ.

එක බඳුනක ගස් කීපයක් තියෙන අවස්ථාවක​, ඒ සියළුම ගස් එකම වර්ගයේ ගස් විය යුතුයි.

(මේ සමහර නීති සමහර බොන්සයි රටාවන් වලදි බිඳ වැටෙනවා)


බඳුන


බොන්සයි ගසක් අනිවාර්‍යයෙන්ම හිටවන්නෙ බඳුනක​. මේ බඳුන ගසට සාපේක්‍ෂව කුඩා ප්‍රමානයේ එකක් විය යුතුයි.

බඳුන පැතලි විය යුතු අතර​, වටකුරු, ඕවලාකාර හෝ හතරැස් හැඩයෙන් තියෙන්න ඕනෙ.

බඳුන චාම් වෙන්න ඕනෙ. විවිධ වර්ණයන් හෝ විසිතුරු කැටයම් ආදිය තියෙන්න බෑ. බොහෝ විට බඳුන කළු හෝ දුඹුරු පැහැය ගන්නවා.

බඳුන පිරිසිදු වෙන්න ඕනෙ.
බොන්සයි ගස (හෝ ගස්) සහ කලාකරුවා විසින් තෝරාගත් පාසි හැරුණු විට වෙනත් කිසිම ශාඛයක් බඳුනේ තියෙන්න බෑ.

බොන්සයි පස​, කලාකරුවා විසින් තෝරාගත් සොබාවික පෙනුමැති ගල් කීපයක් හැරුණුවිට වෙනත් කිසිම දෙයක් බඳුනේ තියෙන්න බෑ.

බොන්සයි ගස බඳුන තුල ස්ථානගත කරන්නෙ බඳුනේ හරි මැදින් මදක් පසුපසට සහ පැත්තකට වෙන්න​. ගස ස්ථානගත කරද්දි බඳුන සමඟ ගසේ සමබරතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. උදාහරණයකට ගසේ කඳ වමට ඇල වෙනව නම්, ගස මදක් දකුණට වෙන්න ස්ථානගත කරන්න ඕනෙ.

බඳුන කිසිම විටෙක ගස අභිබවා නොයා යුතු අතර​, ගසේ පෙනුම සමඟ මුහු වෙමින් එහි පෙනුම වඩා ඉස්මතු කරන්න ඕනෙ.

Sunday, October 20, 2019

බොන්සයි - 2 (බොන්සයි රටාවන්)



බොන්සයි රටාවන් කියල හැඳින්වෙන්නෙ බොන්සයි ගස් වල හැඩය සහ වෙනත් ලක්‍ෂන අනුව කෙරෙන වර්ගීකරනයන්.

බොන්සයි රටාවන් තීරණය වෙන්නෙ ලක්‍ෂන කීපයක් මත​

1. කඳේ හැඩය​
2. කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය​
3. මුල් වල පිහිටීම​
4. කඳන් සංඛ්‍යාව​
5. ගස් සංඛ්‍යාව​
6. අතු වල හැඩය​

ඒ ඒ රටාවට අයත් ගසක තියෙන්න ඕනෙ ලක්‍ෂන බොන්සයි කලාව ඇතුලෙ මනාව අර්ථ දක්වලා තියෙනවා.

ඒත් ඒ හැම නීතියක්ම අකුරටම පිළිපදින්න අවශ්‍යය නෑ. දක්‍ෂ කලාකරුවා නීතිය රකින්න ඕනෙ තැන වගේම නීතිය බිඳින්න ඕනෙ තැන ගැනත් හොඳ අවබෝධයකින් යුක්තයි.

කඳේ හැඩය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


1. චොක්කන් (විධිමත් ඍජු කඳ​)



වඩාත්ම සරළ බොන්සයි රටාව මේකයි. මේ රටාවේදී ගසේ ශක්තිය සහ බලය පිළිබඳ හැඟීමක් ලබාදෙනවා.

මේ රටාවේදී බොන්සයි ගස පහළ සිට ඉහලට යද්දි ක්‍රමයෙන් සිහින් වන ඍජු කඳකින් යුක්තයි. ගස පොළවට සවිවන තැනට හරි කෙළින් ඉහළින් ගසේ අග්‍රය පිහිටන්න ඕනෙ.

ගසේ අතු කඳ දෙපසින් සමමිතිකව දෙපසට​ විහිදෙන්න ඕනෙ. අතු වල මහත සහ දිග කඳ දිගේ ඉහලට යද්දි ක්‍රමයෙන් අඩු වෙන ආකාරයෙන් පිහිටන්න ඕනෙ. අතුවල හැඩය නිසා ගසට ත්‍රිකෝණාකාර හැඩයක් ලැබෙනවා. අතු කඳට ලම්බකව හෝ මදක් පහළට ඇලව පිහිටනවා. කඳේ උසට සාපේක්‍ෂව අතු කෙටියි. එමඟින් ගසේ උස පෙනුම වැඩි කරනවා.

ගසේ මුල් කඳ වටා සමබරව විහිදෙන්න ඕනෙ.


2. මොයෝගි (අවිධිමත් ඍජු කඳ​)



වඩාත්ම සුලභ බොන්සයි රටාව මේකයි. මේ රටාවෙන් මතු කරන්නේ රිද්මයානුකූල බව​, සමබරතාවය සහ ලාලිතය්‍යයි.

මේ රටාවේදී ගසේ කඳ ඍජු නෑ. එය ඒ මේ අත නැවිල තියෙනවා. ඒත්, ගසේ අග්‍රය පිහිටන්නේ ගස පොළවට සවිවන තැනට හරි කෙලින් ඉහළින්. චොක්කන් රටාවේදී වගේම කඳ ඉහළට යද්දී ක්‍රමයෙන් සිහින් වන හැඩයෙන් යුක්තයි.

ගසේ අතු චොක්කන් රටාවේදී වගේම කඳ දෙපසින් පිහිටනවා. ඒත් කඳේ වක්‍ර හැඩය නිසා අතු පිහිටීමේ සමමිතික බව බිඳිලා තියෙන්න පුළුවන්. ගසේ අතු කඳට මදක් පහතට සිටින ඇලයකින් සම්බන්ධ වෙනවා. ඒ වගේම කඳේ වක්‍රවීමට අනුකූල වෙන විදිහට මද වශයෙන් වක්‍ර වෙලා තියෙන්න ඕනෙ. සමස්තයක් වශයෙන් අතු පිහිටන්නෙ ගසේ ත්‍රිකෝණාකාර හැඩයක් පවතින විදිහට​.

කඳේ වක්‍ර සොබාවය නිසා මුල් සමබරව විහිදෙන්නෙ නෑ. කඳේ පළමු වක්‍රයට විරුද්ධ පැත්තෙ මුල් වඩා සවිමත් විය යුතුයි. ඒ ගස හොඳින් රඳවා ගැනීමට​.


3. ෂකන් (ඇළ වූ කඳ​)



මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නේ හිම ධාවයක් හෝ නායා යාමක් නිසා ඇලවුනු හෝ හිරු එළිය දෙසට වැඩුනු ගහක්.

ෂකන් රටාවේ ගසක කඳ ඍජු හෝ මදක් වක්‍ර වෙනවා. ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ ගසේ අග්‍රය ගස පොළවට සවිවන තැනට හරි කෙළින් නොපිහිටීම​. මේ නිසා සම්පූර්න ගසම පැත්තකට ඇලවුනු සොබාවයක් ගන්නවා. කඳේ ඇලය සිරසේ සිට අංශක 45 කට අඩු වෙන්න ඕනෙ. ගස් කඳ පහළට සිට ඉහළට ක්‍රමයෙන් සිහින් වන හැඩයෙන් තියෙන්න ඕනෙ.

අතු චොක්කන් රටාවේ වගේම කෙටියි. ඒවා කඳ දෙපසින් සමමිතිකව පිහිටනවා. කඳ දිගේ ඉහළට යන විට අතු වල මහත සහ දිහ ක්‍රමයෙන් අඩු වෙන්න ඕනෙ. විශේෂ ලක්‍ෂනය වෙන්නේ අතු කඳට ලම්බකව පිහිටනවා වෙනුවට පොළවට සමාන්තරව පිහිටීම​. මේ නිසා ඇල වූ කඳෙන් එන අසමබර පෙනුම අඩු වෙනවා.

ගසේ මුල් පිහිටන්න ඕනෙ කඳ ඇලවෙන පැත්තට විරුද්ධ පැත්තේ මුල් වඩා ශක්තිමත් වෙන ආකාරයට​.


4. කෙංගයි (කඩා හැළුණු කඳ​)



මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නෙ කඳු මුහුනතක වැඩුනු, පහලින් ඇති ගඟක් හෝ විලක් දෙසට වැඩුනු ගසක්.

කෙංගයි රටාවේ ගසක කඳ මුලින් ඉහළට යොමු වෙන්න පටන් අරගෙන​, එක වරම පහළට හැරිලා වර්ධනය වෙලා තියෙනවා. ගසේ අග්‍රය, ගස සිටුවා ඇති බඳුනේ පහළ මට්ටමටත් පහළින් තියෙන්න ඕනෙ.

ගසේ ප්‍රධාන කඳ පහළට වර්ධනය වෙද්දි, පළමුවන​ කෙළින්ම ඉහළට වර්ධනය වෙලා තියෙන්න ඕනෙ. මේ අත්තේ අග්‍රය ගස පොළවට සවි වන තැනට හරි කෙළින් ඉහළින් පිහිටන්න ඕනෙ. එය කඳට සම්බන්ධ වෙන්නේ කඳ පහතට නැමෙන වක්‍රයේ මුදුනට හැකිතාක් කිට්ටුවෙන්. ඒ වගේම එය පහළට නැමුනු කඳේ වක්‍රයට විරුද්ධ පැත්තට මදක් වක්‍ර වෙලා තියෙන්න ඕනෙ.

කෙංගයි රටාවේ බොන්සයි ගස් සිටුවන බඳුන් වෙනත් රටාවන් වලදී යොදා ගන්න බඳුන් වලට වඩා ගැඹුරුයි.


5. හන්-කෙංගයි (අර්ධ කඩා හැළුණු කඳ​)



හන්-කෙංගයි රටාවේ ගසක පෙනුම කෙංගයි රටාවේ ගසකට බොහෝ දුරට සමානයි. ප්‍රධාන වෙනස වෙන්නේ හන්-කෙංගයි රටාවේ ගසක පහළට වැඩුනු අග්‍රය බඳුනේ පහළ මට්ටමට ඉහළින් පිහිටා තිබීම​.

හන්-කෙංගයි රටාවේ ගසක පහළට වැඩෙන කොටස එක්කෝ ප්‍රධාන කඳ වෙනවා, එහෙම නැත්නම් පළවෙනි අත්ත වෙනවා. අනෙකුත් නීති රීති කෙංගයි රටාවේ ගසකට සමානයි.

මේ රටාවේදීත් යොදා ගන්න බඳුන තරමක් ගැඹුරු එකක්.


6. තකන්-කෙංගයි (කඩා හැළුණු බහු-කඳ​)



තකන්-කෙංගයි රටාවේදී කඳන් හෝ අතු එකකට වැඩි ගණනක් පහළට වර්ධනය වෙලා තියෙනවා. මේ රටාව තරමක් දුර්ලභ රටාවක්.


කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


7. සබමිකි (බොල් කඳ​)



මේ රටාවේදී නිරූපනය කෙරෙන්නෙ අකුණු පහරකින් හෝ වෙනත් ක්‍රමයකින් හානි වුනු කඳක් සහිත ගසක්. මේ රටාවේ ගහක කඳ පැලී හෝ විශාල කුහරයක් සහිතව තියෙනවා.

සාමාන්‍යෙයෙන් කඳේ ඇති කුහරය හදන්නේ ගස නොමැරෙන විදිහට පරිස්සමෙන් කඳේ කුහරයක් හෑරීමෙන්. විශේෂ නියනක් මේ සඳහා යොදා ගන්නවා.


8. ෂරිමිකි (පාවෙන දැව කඳ​)




ෂරිමිකි රටාවේ බොන්සයි ගසක කඳ ගඟක හෝ මුහුදේ පාවෙන ලී කැබැල්ලක ස්වරූපය ගන්නවා. පොත්ත හැලී ගිය සහ සුදු පැහැ වුනු සිනිඳු මතුපිටක් සහිත කඳක් මේ රටාවේ ගසක දකින්න පුළුවන්. ෂරිමිකි රටාවේ බොන්සයි ගසකින් මහළු නමුත් ජීවිතයට එල්ලී සිටින හැඟීමක් ලබා දෙනවා.

විශේෂ උපක්‍රම යෙදීමෙන් (කඳ පිළිස්සීම සහ රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් වැනි) කඳට ෂරිමිකි පෙනුම ලබා දෙන්න පුළුවන්. නමුත් ෂරිමිකි බොන්සයි ගසක සජීවී අතු සහ මුල් සම්බන්ධ කරන සජීවී පොත්තක් අනිවාර්‍යයෙන්ම ඉතුරු කරන්න ඕනෙ. නැතිනම් පෝෂණය නොමැති වීමෙන් ගහ මිය යනවා.

ෂරිමිකි රටාවේ ගසක් නිර්මානය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක්.


මුල් වල පිහිටීම අනුව අර්ථ දැක්වෙන රටාවන්:


9. නෙඅගරි (පෑදුනු මුල්)



මේ රටාවේ බොන්සයි ගසක මුල් පොළවෙන් ඉහලට මතු වී පෑදී තියෙනවා. නෙඅගරි රටාවෙ ගසකින් නරඹන්නාට ලබා දෙන්නේ ඉතා මහළු පුරාණ හැඟීමක්.

නෙඅගරි රටාවේ ගසක පෑදුනු මුල් වල දිග උපරිම වශයෙන් ගසේ සම්පූර්න උසෙන් තුනෙන් දෙකක් වෙන්න ඕනෙ. බොහෝ නෙඅගරි රටාවේ ගස් වල මුල් ඊට වඩා කෙටියි. සමහර විට සම්පූර්න මුල් පද්ධතියම පෑදී තිබුනත්, සමහර ගස් වල මුල් එකක් හෝ දෙකක් පමණක් පෑදී තියෙන්නත් පුළුවන්.


10. සෙකිජොජු (ගල් මත මුල්)




සෙකිජොජු රටාවේ බොන්සයි ගසක මුල් ගලක් මතින් පොළවට සම්බන්ධ වෙනවා. මේ රටාවෙන් නිරූපනය කෙරෙන්නේ ගලක් මත වැඩුනු ගසක්.

සෙකිජොජු බොන්සයි ගසක කඳ තියෙන්නෙ ගලක් උඩ​. ගලේ මතුපිටෙන් දිවෙන මුල් පොළවට සම්බන්ධ වෙනවා. ගසේ කඳ සහ ගල අතර කිසිම ඉඩක් තියෙන්න බෑ.


11. ඉෂිසුකෙ (ගලක් මත වැඩුනු)



ඉෂිසුකෙ බොන්සයි ගසක් හැදිල තියෙන්නෙ ගලක ඇති පැලුමක​. සෙකිජොජු රටාවේ ගසක මුල් පොළවට සම්බන්ධ වුනත්, ඉෂිසුකෙ රටාවේදී මුල් සම්බන්ධ වෙන්නෙ ගලේ ඇති පැලුමට​. සමහර විට ඉෂිසුකෙ බොන්සායි ගසක් සඳහා වෙනම බඳුනක් යොදාගන්නෙ නෑ. බඳුන වෙන්නෙ ගල​.


කඳන් සංඛ්‍යාව මත අර්ථ දැක්වෙන රටාවන්:


12. සොකන් (කඳන් දෙක​)



මේ රටාවේ බොන්සයි ගසක එකම මුල් පද්ධතියකින් පැන නැගුනු කඳන් දෙකක් තියෙනවා.  අනිවාර්‍යයෙන්ම කඳන් දෙකෙන් එකක් අනෙකට වඩා පැහැදිලිවම උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ.

කඳන් දෙක එකිකෙන ගෑවන තරම් ළඟින් පිහිටන්න ඕනෙ. සමහර විට කඳන් දෙක බිම් මට්ටමේදී එකට සම්බන්ධ වෙලා පවා තියෙන්නෙ පුළුවන්. කඳන් දෙක සමාන ස්වරූපයක් ගන්න ඕනෙ. එකක් ඍජු කඳක් නම්, අනෙකත් ඍජු කඳක් වෙන්න ඕනෙ. එකක් වක්‍ර වෙලා නම් අනෙකත් වක්‍ර වෙන්න ඕනෙ. ඒ වගේම ඉදිරියෙන් බැලුවම කඳන් දෙකම පැහැදිලිව දර්ශනය වෙන්න ඕනෙ - එකකින් එකක් වැහෙන්න බෑ.

කඳන් දෙකේ අතු එකිනෙකා දෙසට විහිදෙන්න බෑ. ඒ වගේම කඳන් දෙකේ අතු එකිකෙනා සමඟ පැටෙලෙන්නත් බෑ.


13. සන්කන් (කඳන් තුන​)



සන්කන් රටාවේ බොන්සයි ගසක එකම මුල් පද්ධතියකින් පැන නගින කඳන් තුනක් තියෙනවා. කඳන් තුනෙන් එකක් අනෙක් දෙකට වඩා උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ. කඳන් තුන එක පේලියට සරල රේඛීයව තියෙන්න බෑ. ඒවා ස්ථානගත වෙන්න ඕනෙ අසමමිතිකව​.


14. ගෝකන් (කඳන් පහ​), නන්කන් (කඳන් හත​), ක්‍යූකන් (කඳන් නවය​)



ගෝකන්, නන්කන් සහ ක්‍යූකන් රටාවන් ගේ පිළිවෙනින් කඳන් පහක්, හතක් සහ නවයක් තියෙනවා. මේ රටාවන් හිදී ප්‍රධාන කඳට අමතරව​, අනෙක් කඳන් වලට වඩා මහතින් සහ උසින් වැඩි උප​-ප්‍රධාන කඳන් එකක්, දෙකක් හෝ තුනක් දකින්න පුළුවන්.


15. කබුදචි (කඳන් පොදිය​)



මේ රටාවේදී කඳන් එකකට වැඩි ගණනක් එකම තැනකින් පැන නගිනවා. කඳන් ගණන අනිවාර්‍යයෙන්ම ඔත්තේ ගණනක් විය යුතුයි.


16. කොරබුකි (ඉබි කටුව​)



කොරබුකි රටාවේදී කබුදචි රටාවේදී වගේම කඳන් ඔත්තේ ගණනක් එකම තැනකින් පැන නගිනවා. නමුත් කඳන් වල පොදු පාදම ඉබි කටුවක අර්ධ ගෝලාකාර  හැඩයක් ගන්නවා.


17. ඉකදබුකි (ඍජු පෙරළුනු කඳ​)



මේ රටාවේ බොන්සයි ගසකින් නිරූපනය කෙරෙන්නේ කඩා වැටුනු ගස් කඳකින් පැන නගින කුඩා ගස් සමූහයක්.

ඉකදබුකි රටාවේ බොන්සයි ගසක් තිරස්ව ස්ථාන ගත කළ ඍජු කඳකින් සහ ඉන් පැන නගින කුඩා සිරස් අතු රැසකින් සමන්විතයි.


18. නෙත්සුනගරි (වක් පෙරළුණු කඳ​)



නෙත්සුනගරි රටාවේ බොන්සයි ගසක් ඉකදබුකි රටාවේ ගසකට සමානයි - වෙනස වන්නේ නෙත්සුනගරි රටාවේ ගසක තිරස් කඳ වක්‍ර වී තිබීම​


ගස් සංඛ්‍යාව අනුව අර්ථ දැක්වෙන රටාවන්:


19. සෝජු (ගස් දෙක​)


මේ රටාව සොකන් රටාවට බොහෝ දුරට සමානයි - නමුත් සොකන් රටාවේ ඇති එකම මූල පද්ධතියකින් පැන නඟින කඳන් දෙකක් වෙනුවට ගස් දෙකක් තියෙනවා. ගස් දෙකෙන් එකක් අනෙකට වඩා උසින් සහ මහතින් වැඩි වෙන්න ඕනෙ.

ගස් දෙක සමාන ස්වරූප ගන්න ඕනෙ. එකක් ඍජු කඳ නම්, අනෙකත් ඍජු කඳ වෙන්න ඕනෙ. එකක් වක්‍ර කඳ නම් අනෙකත් වක්‍ර කඳ වෙන්න ඕනෙ. ඒ වගේම ගස් දෙක අනිවාර්‍යෙයෙන්ම එකම වර්ගයේ ගස් දෙකක් වෙන්න ඕනෙ.

ගස් දෙකේ අතු එකිනෙකා දෙසට විහිදෙන්න බෑ. ඒ වගේම ගස් දෙකේ අතු එකිකෙනා සමඟ පැටෙලෙන්නත් බෑ.


20. සම්බොන්-යොසෙ (ගස් තුන​)



මේ රටාවේදී එකම වර්ගයට අයත් ගස් තුනක් තියෙනවා. එක ගසක් අනෙක් දෙකට වඩා උසින් සහ මහතින් වැඩියි.


21. ගොහොන්-යොසෙ (ගස් පහ​), නනහොන්-යොසෙ (ගස් හත​), ක්‍යුහොන්-යොසෙ (ගස් නවය​)




ගොහොන්, නනහොන් සහ ක්‍යූහොන් රටාවන් ගෙදි පිළිවෙලින් එකම වර්ගයේ ගස් පහක්, හතක් සහ නවයක් තියෙනවා. මේ රටාවන් හිදිත් ප්‍රධාන ගසක් සහ උප​-ප්‍රධාන ගස් දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්.


22. යොසෙ-උඑ (කැලය​)



මේ රටාවේදී ගස් විශාල ප්‍රමානයක් යොදා ගන්නවා. එක්කෝ ගස් ගණන ඔත්තේ ගණනක් වෙන්න ඕනෙ - නැතිනම් බැලූ බැල්මට ගණන් කරන්න බැරි තරම් වැඩි ගණනක් වෙන්න ඕනෙ.

එක ගසකට යන ඉඩ ප්‍රමානය අවම නිසා මේ රටාවේදී වැඩිපුර භාවිතා කෙරෙනෙ ඍජු කඳ සහිත ගස්.

ගස් සියල්ලම එකම වර්ගයට අයත් වෙන්න ඕනෙ.


අතුවල හැඩය අනුව අර්ථ දැක්වෙන රටාවන්:


23. බුන්ජින්ගි (වියත්)



මේ රටාවේදී ගසේ අතු ප්‍රමානය අවම කරල තියෙනවා. මේ රටාවේ ගසකින් රළු කර්කෂ හැඟීමක් ලබා දෙනවා. නමුත් ඒ කර්කෂ බවේ ලාලිත්‍යයක් තියෙන්න ඕනෙ.

බුන්ජින්ගි රටාවේ ගසක් සිහින් දිගු, ඒ මේ අත ඇඹරුනු කඳකින් යුක්තයි. කඳේ මුල 60% සිට 90% දක්වා ප්‍රදේශය අතු වලින් තොරයි. කඳේ අග්ගිස්සේ ඉතා කුඩා අතු කිහිපයක් පමණක් දකින්න පුළුවන්. අතු වල දිග කඳේ දිගට සාපේක්‍ෂව ඉතා අඩුයි. සමහර විට කඳේ මැද හරියෙන් මැරුණු අත්තක් තියෙනවා.

කඳේ වක්‍ර වීම් ඉතා තියුණුයි. එක්වරම අංශක 180 කින් හැරෙන කඳන් පවා දකින්න පුළුවන්. බඳුන ඉතා කුඩා නොගැඹුරු එකක්.


24. හොකිදචි (ඉදළ​)



මේ රටාවේ ගහක් උඩ හට හැරවූ ඉදළක ස්වරූපය ගන්නවා. මේ රටාවේ ගසකින් ශීත ඍතුව පිළිබඳ හැඟීමක් ලබා දෙනවා.

හොකිදචි බොන්සයි ගසක කඳ කෙටි ඍජු එකක්. ගසේ සම්පූර්න උසින් තුනෙන් එකක උසකදී අතු බෙදීම ආරම්භ වෙනවා. අතු සැම අතටම විහිදෙන්නේ අර්ධ ගෝලාකාර හැඩයක් ගසට ලබා දෙමින්. එන්න එන්නම සිහින් වන බෙදීම් ගණනාවක් අතු වල දකින්න පුළුවන්. සම්පූර්ණ ගසේ අතු විශාල ප්‍රමානයක් තියෙනවා.

බඳුන නොගැඹුරු එකක් වෙන්න ඕනෙ.


25. තකොසුකුරි (බූවල්ලා)



මේ රටාවේදී කෙටි කඳක් මත වැඩුනු දිගු අතු කීපයක් දකින්න පුළුවන්. අතු ඒ මේ අත ඇඹරුනු හැඩයෙන් යුක්තයි. මේ රටාව දුර්ලභ එකක්.


26. ෆුකිනගෂි (සුළඟට හසුවූ)



මේ රටාවේදී නිරූපනය කෙරෙන්නෙ සුළං පහරට හසු වූ ගසක්. දිශාව​, චලනය සහ ආතතිය පිළිබඳ හැඟීමක් මේ රටාවේ ගසකින් ලබා දෙනවා.

මේ රටාවේ ගහක කඳ සහ අතු එක පසකින් හමන තද සුළඟකට හසු වී ඇති ආකාරයට එක දිශාවකට හැරිල තියෙන්න ඕනෙ. ගසේ කොළ ප්‍රමානය අඩු කිරීමෙන් මේ චලනය පිළිබඳ හැඟීම ඇති කරන්න ලේසියි. මැරුණු අතු යොදාගැනීම මේ රටාවේදී බහුලව කෙරෙනවා.



බොන්සයි ගසක් රටාවන් කීපයක ලක්‍ෂන දක්වන්න පුළුවන්. උදාහරණයකට අතු වල හැඩයෙන් සුළඟට හසු වූ රටාවේ ගහක් මුල් වල හැඩයෙන් ගල් මත මුල් රටාවට අයත් වෙන්න පුළුවන්. සියළුම රටාවන් ගැන හොඳ අවබෝධයක් තිබීමෙන් තමාගේ ගසට වඩාත් සුදුසු හැඩය ලබා දීමට කලාකරුවාට පුළුවන් වෙනවා.

Saturday, October 19, 2019

බොන්සයි - 1 (ඉතිහාසය සහ මූලධර්ම​)



"බොන්සයි" කියන්නේ ජපානයේ ජනප්‍රිය කලාවක්. බොන්සයි කලාවේදී කරන්නේ කුඩා ප්‍රමානයේ ගහකට විශාල ගහක තියෙන ලක්‍ෂන ලබාදීම මගින් විශාල ගහක් කුඩා කරල තියෙනවා යන හැඟීම ඇති කරන එක​.

"බොන්සයි" කියන ජපන් වචනයේ තේරුම "නොගැඹුරු බඳුනක සිටුවන ලද​" කියන එක​. ඒ චචනයෙන් කියැවෙන විදිහටම බොන්සයි ගස් වවන්නේ නොගැඹුරු බඳුන් වල​.


බොන්සයි කලාවේ ඉතිහාසය​


ජපන් සංස්කෘතියේ බොහෝ දේවල් වගේ බොන්සයි කලාවේත් උපත චීනය​.

ක්‍රි.ව​. 8 වන සියවසේදී චීනයේ වංශවතුන් ගේ විනෝදාංශයක් වුනේ "පෙන්ජිං" කලාව​. එහිදී ඔවුන් කුඩා මැටි බඳුන් වල කුඩා ප්‍රමානයේ ශාක වගා කළා. මේ කාලයේදී ජපානය සහ චීනය අතර නිරන්තර සබඳතා පැවතුනු අතර​, චීන සංස්කෘතිය ජපානයට ගලා ආවා. පෙන්ජිං කලාවත් මේ වගේ ආපු එක අංගයක්.

චීන පෙන්ජිං ගහක්
මුල් වරට බොන්සයි ගස් ජපන් සිතුවම් වල නිරූපනය කෙරෙන්නේ 11 වැනි සියවසේ දී. නමුත් මේවා හැඳින්වුනේ "බොන්සයි" කියල නෙවෙයි, "හචි නො කි" කියලා. හචි නො කි කියන ජපන් යෙදුමේ තේරුම "කෝප්පයක හිටවපු ගහ​" කියන එක​. මේ සමයේදී හචි නො කි කලාව සඳහා බහුලව භාවිතා වුනේ බත් කෑමට පාවිච්චි කරන කෝප්ප වල හැඩය ගත් බඳුන්.

කුරු ගස් කලාව බොන්සයි කියලා හඳුන්වන්න පටන් ගත්තේ 18 වන සියවසේ තරම් ඉඳලා. මේ වෙනකොට ජපන් බොන්සයි කලාව චීන පෙන්ජිං කලාවෙන් සෑහෙන තරම් වෙනස් වෙලා ජපන් මුහුණුවරක් අරගෙන​. ප්‍රධානම වෙනස වුනේ කෝප්ප හැඩය ගත් බඳුන් වෙනුවට පැතල නොගැඹුරු තැටි හැඩයේ බඳුන් භාවිතා කිරීම​. ඊට අමතරව ජපන් බොන්සයි කලාකරුවන් චීන සම්ප්‍රදායෙන් බැහැර වෙලා තමාගේ ගස් වලට වඩාත් සොබාවිකත්වයට නැඹුරු පෙනුමක් දෙන්න උත්සහ කළා. ඒ වගේම විසිතුරු ලෙස සැකසූ චීන බඳුන් වලට වඩා චාම් බඳුන් භාවිතා කරන්න පෙළඹුනා.

ජපන් බොන්සයි කලාව බොහෝ දුරට වර්ධනය වුනේ බෞද්ධ භික්‍ෂූන් අතින් වීම මේකට හේතුවක් වෙන්න පුළුවන්.

18 වෙනි සියවසේ අවසානය වෙද්දි බොන්සයි කලාව සාමාන්‍යය ජනතාව අතර ව්‍යාප්ත වෙලා අවසන්. 1780 දී පමණ කියෝතෝ නගරයේ වාර්‍ෂික බොන්සයි ප්‍රදර්ශනයක් පවා පැවැත්වෙන්න පටන් ගත්තා. ජපානයේ සෑම ප්‍රදේශයකින්ම බොන්සයි ගස් මේ සඳහා ඉදිරිපත් කෙරුනා.

බොන්සයි කලාවේ තාක්‍ෂනය අද පවතින තත්වයට සමාන ස්වරූපයකට පත් වුනේ 20 වැනි සියවසේ මුලභාගයේදී. කම්බි භාවිතයෙන් අතු හැඩගැන්වීම සහ අද භාවිතා කරන ආයුධ වලට සමාන ආයුධ භාවිතය පටන් ගත්තේ ඒ කාලයේදී.


බොන්සයි කලාවේ මූලධර්ම​




බොන්සයි කලාව ආවට ගියාට කරන්න බෑ. එහිදී අනුගමනය කරන්න ඕන මූලධර්ම කීපයක් තියෙනවා.

බොන්සයි මූලධර්ම මූලික වශයෙන් පදනම් වෙන්නේ බොහෝ ජපන් කලාවන් ගේ මූලය වන "වබි" සහ "සබි" සංකල්ප මත​.

වබි කියන්නෙ යම්කිසි දෙයක ඇති චාම් බව සහ දෝෂ සහගත බව​. පරිපූර්න නොවන බව​. බොන්සායි කලාවේදී මෙය බොන්සයි ගසක අසමමිතික බව වගේ දෙයකින් නිරූපනය කෙරෙනවා.

සබි කියන්නෙ කාලයත් එක්ක යම් කිසි දෙයක ඇති වන ගරා වැටීම. ජරා ජීර්ණ වීම​. බොන්සයි කලාවේදී මෙය ඉරි තැළුණු ගස් කඳක්, දිරා ගිය අත්තක් වගේ දෙයකින් නිරූපනය වෙනවා.

(වබි සහ සබි ගැන වැඩි දුරට මෙතැනින්)

බොන්සයි කලාවේ ප්‍රධානම මූලධර්ම කීපයක් මේ විදිහට දක්වන්න පුළුවන්


1. කුරු කිරීම​


බොන්සයි කලාවේ මූලිකම දෙය මේක​. බොන්සයි ගහක් ප්‍රමානයෙන් කුඩා වෙන්න ඕන​. නමුත් අනෙකුත් සියළු ලක්‍ෂන වලින් වැඩුනු ගසක පෙනුම තියෙන්න ඕනෙ.


2. කලාකරුවා ගේ අදෘෂ්‍යමාන බව​


ඊළඟට වැදගත්ම මූලධර්මය තමයි කලා කරුවාගේ අදෘෂ්‍යමාන බව​. කිසිම අවස්ථාවක කලා කරුවා විසින් ගසට කරන ලද "සැත්කම්" පේන්න බෑ. හැම විටම ඒවා සොබාවික පෙනුමක් ලබා දෙමින් නරඹන්නාගෙන් වසන් කළ යුතුයි. උදාහරණයකට කපා දමන ලද අත්තක මුල සකසන්නේ අත්ත දිරා ගිහින් කඩා වැටුනු පෙනුමක් එන විදිහට​.


3. දෘෂ්‍ය සබරතාවය​


ගසේ කඳ​, අතු සහ කොළ තනි තනිව ගත් විටත්, සමස්තයක් විදිහට ගත් විටත්, එකිනෙකා සමඟත් මනා දෘෂ්‍ය සමබරතාවයකින් යුක්ත වෙන්න ඕන​. මේ දෘෂ්‍ය සමබරතාවය ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් බොන්සයි කලාකරුවන් විසින් නිර්මානය කරල තියෙනවා.


4. අංගයන් අතර අනුපාතය​


බොන්සයි ගසක අංග​, ඒ කියන්නෙ කඳ, අතු සහ කොළ, අතර මනා අනුපාතයක් තියෙන්න ඕනෙ. ගසක් වැඩුනු ගසක් යන හැඟීම ලබා දෙන්න මේ අනුපාතයක් ඉතාම වැදගත් වෙනවා. මේ අනුපාතයන් පවත්වාගත නොහැකි ගස් වර්ග බොන්සයි සඳහා යොදා ගන්නෙ නෑ. උදාහරණයකට කඳේ ප්‍රමානයට සාපේක්‍ෂව විශාල කොල ඇති ගස් බොන්සයි කලාවට යොදා ගන්නෙ නෑ.


5. අසමමිතික බව​


බොන්සයි ගසක් සමමිතිකව නිර්මානය කරන්නෙ නෑ. යම් කිසි අසමමිතික බවක් කලාකරුවා විසින් ඊට ලබා දිය යුතුයි. ඒ මඟින් බලාපොරොත්තු වෙන්නෙ ගසක සොබාවික පෙනුම ඇති කිරීම​.


6. නීති වල නම්‍යශීලී බව​


අවසාන වශයෙන් මේ සියළුම නීති රීති නම්‍යශීලී බව කලාකරුවා වටහා ගත යුතුයි. බොන්සයි කලාවේ මූලික හරයට හානි නොවන පරිද්දෙන් නීති රීති වෙනස් කිරීමට කලාකරුවාට නිදහස තියෙනවා. මේ වෙනස් කිරීම් කොයිතරම් සාර්ථකද කියන එක රඳා පවතින්නෙ කලාකරුවාගේ දක්‍ෂතාවය මත​.


අවසාන වශයෙන්, බොන්සයි කලාව සෙන් භික්‍ෂූන් විසින් වර්ධනය කරනු ලැබුවේ කලාවක් වගේම සෙන් භාවනා ක්‍රමයක් විදිහට​. ඒ නිසා භාවනාව කියන දෙය මේ සියල්ලට යටින් සියල්ල එක් කරන හුයක් වගේ පවතින්න ඕනෙ.

Sunday, March 4, 2018

කූඹියෝ අවසානය​

කූඹියෝ ඉවර වෙන්නෙ මෙහෙමයි

දැන් උඹල හිතුවෙ අද තමයි ටහිකෙන ප්ලොට් ට්ව්ස්ට් එක තිබ්බෙ කියලනෙ. නෑ බොලව් කතාවක ටහිකෙන ප්ලොට් ට්විස්ට් එක තියෙන්නෙ අන්තිමට​. තව එපි තුනක් තියනවා.

අන්තිම එකේ තියෙන්නෙ මේ වගේ දෙයක්.

එක්සත් කම්කරු පක්‍ෂෙ මල්දෙණිය සර් ගෙ පක්‍ෂෙත් එක්ක එකතු වෙලා ඡන්දෙන් දිනනවා. මල්දෙණිය සර් අගමැති වෙනවා. එතකොට ජෙහානයා උගේ අර නසරානි හිනාව දානවා.

එතකොට කතාවේ අතීතාවර්ජනයක් යනවා. ඒ මීට අවුරුදු පහකට කලින් සිද්ධියක්. ඒ කියන්නෙ ජෙහාන් ට මල්දෙණිය සර් කොන්ත්‍රාත් එක දෙන්න අවුරුද්දකට කලින්.

හෙන පත ලක්‍ෂරි කාමරයක්. ජෙහාන් කවුදෝ පොරක් එක්ක කතා කරනවා. අපිට උගෙ මූණ පේන්නෙ නෑ. උගෙ ඔළුවෙ පිටිපස්ස විතරයි පේන්නෙ. හෙන රළු කටහඬක්.

"පුතා තමුසෙ තමයි මේකට හරියන නියම පුතයා. තමුසෙ මම කියන විදිහට මේක කරනවකො. වරදින්නෙ නෑ."

"හරි සර්. දැන් මොකද්ද සර් කියන්නෙ?"

"පුතා, තමුසෙ දන්නව නේද මල්දෙණිය මහත්තය​?"

"ඔව් සර්. විපක්‍ෂ නායක තුමා නෙ?"

"ආන්න හරි. මිනිහ තමයි. ඉතින් ඔය යකාට කවදාවත් ඡන්දෙකින් දිනල මේ රටේ අගමැති ජනාධිපති වෙන්න බෑ. මිනිහත් ඒ බව දන්නව​. ඒ නිසා මිනිහ හැම තිස්සෙම ට්‍රයි කරන්නෙ මොකක් හරි ගේමකින් ඔතැනට යන්න​."

ජෙහාන් ඇස් පිල්ලන් නොගහ බලාගෙන ඉන්නවා.

"ඉතින් අයිසෙ ඔය යකාට අගමැති වෙන්න තියෙන ලේසිම විදිහ එක්සත් කම්කරු පක්‍ෂෙත් එක්ක සෙට් වෙන එක​. මිනිහ ඒක දන්නව වෙන්න ඕනෙ. මොකද මිනිහත් අවුරුදු තිහක් මේ ගේමෙ නෙ ඉන්නෙ. හැබයි මිනිහට ඕක කරගන්න බෑ. එච්චර මොළයක් තියෙන එකෙක් නෙවෙයි නෙ. ඒ නිසා මිනිහ ඕක කරන්න මොකෙක් හරි එකෙක් ව යොදා ගන්නම ඕනෙ."

"හරි. සර් මට කියන්නෙ ඒ මොකෙක් හරි එකා වෙන්න කියල නෙ"

"නියමයි. මම දන්නව තමුසෙ මීටරේ කියල​. ඒකනෙ මම තමුසෙවම මේකට ගත්තෙ."
ජෙහාන් ස්වයං තෘප්‍තියෙන් හිනාවක් දානවා.

"හොඳට අහ ගන්නව පුතා. තමුසෙ මල්දෙණියට පේන්න පොඩ්ඩක් එහෙ මෙහෙ කැරකෙනවා. ඔය යකා කොහොමත් තරුණ කොල්ලො දිහා විපරමෙන් බලනවා. ඉතිං තමුසෙව අනිවා දකින්නම ඕනෙ. දැකපු ගමන් තමුසෙ නසරාණියා කියල මිනිහට තේරෙයි."

ආයෙත් ජෙහාන් ගෙ හිනාව​.

"එතකොට මිනිහ තමුසෙට කොන්ත්‍රාත් එක දෙයි. මිනිහ කියයි තමුසෙට එක්සත් කම්කරු පක්‍ෂෙ මිනිහට සෙට් කරල දෙන්න කියල​."

"මම ඒක බාර ගන්න ඕනෙ?"

"ඔව්"

"ඊට පස්සෙ ඒක අල කරන්න ඕනෙ?"

"හඃ හඃ හඃ"

නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව​.

"නෑ පුතා. තමුසෙ ඒක එළ කිරි වගේ කරල දෙන්න ඕනෙ"

"සර්?"

"ඔව් අයිසෙ. තමුසෙ ඒක මල්දෙණියට කරල දෙන්න ඕනෙ. ඊට පස්සෙ මල්දෙණිය ඊළඟ ඡන්දෙන් දිනන්න ඕනෙ"

"මට තේරෙන්නෙ නෑ සර්. මල්දෙණිය ඊළඟ අගමැති වුනාම සර් ට තියෙන වාසිය මොකද්ද​?"

"පුතා චෙස් අදිනවද​?"

"ඔව් සර්"

"පුතා චෙස් අදිනකොට අපි හිතන්නෙ ඊළඟ මූව් එක ගැන නෙවෙයි. තව මූව් හතරක් පහක් ඉස්සරහට​"
ජෙහාන් ඇස් දෙක පුංචි කරගෙන අහගෙන ඉන්නවා.

"පුතා. මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔය මල්දෙණිය කාරය සුපිරි මොළයක් කියල. හැබැයි ඕයි මම නෙ දන්නෙ මිනිහගෙ හැටි. ඉතිං ඔය මිනිහ විපක්‍ෂ නායක වෙලා හිටියොත් මිනිස්සු දිගටම හිතන්නෙ ඔය යකා සුපිරි මොළයක් කියල​. ඒ නිසා මිනිහ කවද හරි අගමැති වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සු දැනගන්නෙ මල්දෙණිය කියන්නෙ මොළයක් නෙවෙයි අලයක් කියල​ එතකොට ඔය යකා තමාගෙ ප්‍රතිරූපය විනාශ කරගන්නවා. මිනිහගෙ පක්‍ෂයේ ප්‍රතිරූපයත් එක්කම​. සමහරවිට ආයෙ ගොඩ ගන්න බැරි වෙන්නම​."

ජෙහාන් කාපට් එකට හිනාවෙනවා.

"එතකොට පුතා ඔය එක්සත් කම්කරු පක්‍ෂෙත් දැන් ටික ටික ඔළුව උස්සගෙන එන්නෙ. දැන් බලනවා ගිය පාර ඡන්දෙදි ඔය යක්කු ආණ්ඩු පක්‍ෂෙ ලිස්ට් එකෙන්නෙ ඉල්ලුවෙ. ආණ්ඩු පක්‍ෂෙට ඡන්දෙ දීපු හැම එකාම මනාප දුන්නෙ කම්කරු පක්‍ෂෙ එවුන්ට​. මෙහෙම ගියොත් ඔය යක්කු ටික ආසන හතළිහක් පණහක් ගන්න බැරි නෑ. එහෙම වෙන්න කලින් උංගෙ ප්‍රතිරූපයක් ආයෙ ගොඩ දාන්න බැරි විදිහට විනාශ වෙලා යන්න ඕනෙ. ඒක කරන්න හොඳම විදිහ තමයි මල්දෙණිය ගෙ පක්‍ෂෙට ජැක් ගහන්න සෙට් කරන එක​."

ජෙහාන් සීලිමට හිනාවෙනවා.

"එක ගලෙන් කුරුල්ලො දෙන්නයි පුතා"

"සර් මෙහෙම කියනවට මට සමාවෙන්න ඕනෙ. සර් මාර පොරක් නෙ"

"හඃ හඃ හඃ"

ආයෙත් නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව​.

කැමරාව අංශක එකසිය අසූවක් කැරකෙනවා. අපිට නාඳුනන මිනිහගෙ මූණ පේනවා. බුරුසු උඩු රැවුලෙක්.
ෆ්‍රේම් එකෙන් පිට ඉඳන් ජෙහාන් ගෙ කටහඬ​.

"සර් එතකොට මල්දෙණිය අගමැති වුනාම මොකද කරන්නෙ?"

"පුතා පායන කාලෙට කූඹියො මහන්සි වෙලා කෑම රැස් කරන්නෙ වැස්ස කාලෙට හොඳට කන්න​"

ගිටාර් පාර​. පසුබිමෙන් තේමා ගීතය යනවා.

"පායනා කාලෙදී......."

Friday, October 27, 2017

ජපන් සංස්කෘතිය විදහාපාන වචන - 6 (වබි සහ​ සබි)


ජපානයේ පැරණි අගනුවර වන ක්‍ යෝතෝ නගරයේ තියෙනවා ඉතා පැරණි සහ ඉතා පූජනීය පන්සල් දෙකක්. මින් එකක නම කින්කකු-ජි (රන් විහාරය​). අනෙක ගින්කකු-ජි (රිදී විහාරය​).

රන් විහාරය කියන්නෙ පිටත බිත්ති වලට රන් පත්‍ර අල්ලපු ඉතාමත් ශෝභන සහ උත්කෘෂ්ට නිර්මානයක්. නමුත් රිදී විහාරය ලී වලින් නිම කරපු බොහොම චාම් පෙනුම තියෙන නිර්මානයක්. ඒකට හේතුව රිදී විහාරය නිම කරන්න කලින් ජපානයේ ඇතිවුන යුද්ධයක් නිසා ඒක සම්පූර්න කරන්න එහි නිර්මාන ශිල්පියාට නොහැකි වීම​.

රන් විහාරය​
රිදී විහාරය​

මේ නිර්මාන දෙකෙන් එක නිර්මානයක් සැලකෙන්නෙ කලාත්මක බවින් ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක් හැටියට​. බැලූ බැල්මට අපිට හිතෙයි ඒ රන් විහාරය කියලා. නමුත් ඇත්තෙන්ම විශිෂ්ඨ කලා නිර්මානය විදිහට සැලකෙන්නෙ රිදී විහාරය​.

ඒ "වබි" සහ "සබි" කියන ජපන් සංකල්ප දෙක නිසා. ජපන් සංස්කෘතියේ ඕනෑම නිර්මානයක සෞන්දර්‍යය රඳා පවතින්නේ මේ වබි සහ සබි සංකල්ප මත​.

වබි සහ සබි ජපානයේ හැම තැනම යොදා ගන්නා සංකල්ප​. අපිට ඕනෑම දෙයක් (පිඟානක්, කෝප්පයක්, ගොඩනැගිල්ලක්, මේසයක්, මල් බඳුනක්, ගෙවත්තක්, කවියක්) දැක්ක පමණින් "මේක ජපන් එකක්" කියල හිතෙනවා නම්, ඒ වබි සහ සබි නිසා. ඒත් මේ සංකල්ප විදේශීය භාෂාවලට පරිවර්තනය කරන්න ඉතාම අපහසුයි. විශේෂයෙන්ම බටහිර භාෂා වලට​.

වබි


 
වබි කියන යෙදුමෙන් අදහස් කෙරෙන්නෙ චාම් බව​. නොයිඳුල් බව​. නිහඬ බව​. යම් කිසි දෙයක් නිර්මානය කරද්දි එහි ඇතිවෙන කඩතොලු සහ අසමමිතික බව​. අසම්පූර්ණ බව​. දෝෂ සහගත බව​.

උදාහරණයකට තේ කෝප්පයක් හරියටම රවුමට නොතිබී යම් කිසි ඇදයක් තියෙනව නම්, ඒ එහි තියෙන වබි ගුණය​. ලෑලි කීපයකින් හැදුන මේසයක ලෑලි හරියට නූලටම එකට හා නොවී ඒ අතර හිදැස් තියෙනව නම්, ඒ එහි තියෙන වබි ගුණය​. මල් බඳුනක් දීප්තිමත්ව වර්ණ ගන්වන්නෙ නැතුව චාම් දුඹුරු පාටකින් වර්ණ ගන්වලා තිබ්බොත්,  ඒ එහි තියෙන වබි ගුණය​. ගෙවත්තක් නිහඬ නිස්කලංක බවින් යුක්ත නම්, ඒ එහි තියෙන වබි ගුණය​.


 සබි


සබි යෙදුමෙන් අදහස් වෙන්නෙ යම් කිසි දෙයක ඇති අනිත්‍යය සොබාවය​. කාලය ගතවීමත් සමඟම යම් කිසි දෙයක් ක්‍රමයෙන් දිරාපත් වීම සමඟ එහි ඇති වන ශාන්ත, ගූඪ සුන්දරත්වය​.

උදාහරණයකට පාසි බැඳුන පිළිමයක්, දිරා ගිය ගස් කඳක්, කීරි ගැලවුන ලෑල්ලක්, කොන් නැවුන කඩදාසියක්, ඉරි තැළුනු පිඟානක් අපිට හඟවන්නෙ සබි ගුණය​.

වබි සහ සබි ගුණයන් ගෙන් යුක්ත නිර්මානයක් තමයි කලාත්මක බවින් උසස් නිර්මානයක් විදිහට ජපන් සංස්කෘතියේ සැලකෙන්නෙ. මේ සංකල්ප දෙක එදිනෙදා ජීවිතයේ මෙන්ම විවිධ සංස්කෘතික අංග වලදී යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. වබි සහ සබි සංකල්ප යෙදෙන අවස්ථා කීපයකට උදාහරණ විදිහට​,

සාම්ප්‍රදායික ජපන් සංගීතය​
සාම්ප්‍රදායික ජපන් කවි - විශේෂයෙන් හයිකු කවි
ඉකිබානා හෙවත් මල් සැරසිලි කලාව​
බොන්සායි හෙවත් කුරු ගස් කලාව​
ගෙවතු අලංකරනය​
ගෘහ නිර්මාන ශිල්පය​
ගෘහ භාණ්ඩ​
පිඟන් කෝප්ප​
නාම පුවරු

දක්වන්න පුළුවන්.

සියුම්ව යොදා ගත්ත වබි සහ සබි මගින් හදවත මිරිකා දමන කාන්සියක් සහ දුකක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජපානයේ ගම්බද ප්‍රදේශයකදි මේ හැඟීම ඉතා තදින් දැනෙන්නේ අවට ඇති හැම දෙයක්ම වබි සහ සබි ගුණයෙන් යුක්ත වෙන නිසා. ඒක මනස සන්සුන් කරවන සුළු ඉතාමත් සියුම් ආශ්වාදයක් ඇති කරවන සුවිශේෂී අත්දැකීමක්.


විශේෂයෙන් සලකන්න ඕනෙ කරුණක් තමයි, වබි ගුණය කියන්නෙ දුප්පත් කම හෝ සබි ගුණය කියන්නෙ විනාශ වීම නෙවෙයි කියල​. ඒක දුප්පත් කම විසින් බලෙන් ඇති කළ ගුණයක් නෙවෙයි - චාම් බව විසින් ස්වකැමැත්තෙන් තෝරා ගත් දෙයක්.

වබි සහ සබි සංකල්ප වල මූලය සෙන් බුදු දහම​. වබි සහ සබි මගින් ඇති කරන පාළු, ගූඪ, නිස්කලංක කාන්සිය කියන්නෙ ලෞකික බැඳීම් තුනී කිරීම නිසා ඇති වෙන නිරාමිස ආස්වාදයක්. මේ ලෞකික බැඳීම් තුනී කිරීම භාෂාමය විදිහට ප්‍රකාශ කිරීම අපහසු නිසා මේ වගේ කලාත්මක නිර්මාන වලින් ඇඟවීම සෙන් භික්‍ෂූන් විසින් තෝරාගෙන තියෙනවා. වබි මගින් සරළ චාම් බවේ ඇති සුන්දරත්වය දකින්නත්, සබි මගින් අනිත්‍යය බව පිළිකෙව් නොකර ඒක ආස්වාදය කරන්නත් සෙන් දහම උගන්වනවා.

ධනය සහ බලය ප්‍රදර්ශනය කරන රන් විහාරය උසස් කලා නිර්මානයක් නොවී චාම් රිදී විහාරය උසස් කලා නිර්මානයක් වෙන්නෙ ඒ නිසා.

කූඹියෝ සහ ආප්ප​



කූඹියෝ මාර හිට් එකක් වුනේ ඇයි?

උත්තර දෙකක් තියෙනවා.

එක​, කූඹියෝ කලාත්මක අතින් සෑහෙන ඉදිරියෙන් තියෙන නිසා.

දෙක​, කූඹියෝ කියන්නෙ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන් ගෙ ආත්මීය ප්‍රකාශය නිසා.

කූඹියෝ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන් ගෙ ආත්මීය ප්‍රකාශය වෙන්නෙ ඇයි?
ලංකාවෙ තියෙන්නෙ පාදඩ ධනවාදයක්. ඔව්, ඕනම ධනවාදයක් නිසඟයෙන්ම පාදඩයි තමා. හැබැයි ලංකාවෙ එක ඒ අතරෙනුත් විශේෂයෙන් පාදඩයි. ලංකාවෙ ධනවාදය එහෙම්පිටින්ම විකෘතියක්. 77 ට පෙර තිබ්බ සමාජවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ලක්‍ෂන වුන දැවැන්ත රාජ්‍යය සේවය සහ සුබසාධන ආර්ථිකය එහෙම්මම තියාගෙන, ඒකට දේශපාලඥයා සතු අසීමිත බලය මුසු කරලා, නියමාකාර චින්තන හෝ බුද්ධිමය පරිවර්තනයකින් තොරව කරපු ජේ.ආර්. පප්පගෙ ඊනියා 77 විප්ලවයෙන් බිහි වුන විකෘති දරුවා තමයි ලංකාවෙ අද තියෙන පාදඩ ධනවාදය​.

මේ ධනවාදය ආප්පයක් නං, මේකෙ මදේ ඉන්නෙ නාගරික ධනවත් සහ ඉහළ මැද පාන්තික සමාජය​. ඔවුන් විවිධ ක්‍රම මගින් (සල්ලි, පාසැල්, ඉංග්‍රීසි) මදය "ආරක්‍ෂා" කරගෙන ඉන්නවා. ඒත් වාටියේ ඉන්න පහළ මැද පන්තිය සහ ලුම්පන් සමාජය මේ වැට කඬුළු බිඳගෙන මදයට පැන ගන්න ට්‍රයි කරනවා. මේ පහළ මැද පන්තියට නාගරික සහ ග්‍රාමීය දෙකෙන්ම ආපු අය අයිති වෙනවා. ඔවුන් ගේ ප්‍රධාන ආයුධය තමයි අධ්‍යාපනය​. වාටියෙනුත් එළියෙ ඉන්නෙ සිංහල​-බෞද්ධ​-ගැමි සමාජය​. ඔවුන්ට ආප්ප නෑ. ආප්ප කන්න ඕනෙ නං ඔවුන් මුලින්ම වාටියට නැග ගන්න ඕනෙ. ඒකට සිංහල-බෞද්ධ​-ගැමි මුල් සිඳගන්න ඕනෙ.

කූඹියෝ ෆෑන් ල ඉන්නෙ වාටියෙ. ඔවුන් ගෙ ජීවිතයේ ප්‍රධාන අරමුණ තමයි මදයට පැන ගැනීම​. ඒත් මදයෙන් එල්ල වෙන ප්‍රතිරෝධය හමුවේ ඔවුන්ට ඒ සඳහා දැඩි අරගලයක යෙදෙන්න වෙලා තියෙනවා. ඒ අරගලය නිසා ඔවුන්ට ඊනියා පන්ති වෛරයක් තියෙනවා. මේකට ඊනියා පන්ති වෛරයක් කිව්වෙ මේක ඇත්තම පන්ති වෛරයක්, ඒ කියන්නෙ පන්තිය පිළිබඳ වෛරයක් නොවෙන නිසා. මෙතන තියෙන්නෙ තමාට ඒ පන්තියට ඇතුල් වීමට නොදීම පිළිබඳ වෛරයක්.

සමාජවාදය ගැන ඇති නොදැනුවත්කම නිසා බොහෝ දෙනා මේක හඳුනාගන්නෙ සමාජවාදී ලයින් එකක්
විදිහට​. ඇත්තෙන්ම මේක සමාජවාදී ලයින් එකක් නෙවෙයි. පාදඩ ධනවාදයේ ආත්මීය ප්‍රකාශනයක්.
කූඹියෝ වීරයා වන ජෙහාන් ව විශ්ලේෂනය කරොත් මේක වතුර වගේ පැහැදිලියි. ජෙහාන් එන්නෙ ගැමි මූලයකින්. හැබැයි පියා මියයාමත් එක්ක ඔහු ඒ මුල් සිඳ ගන්නවා. ඊට පස්සෙ කොළඹ ඒමත් එක්ක ඔහු ආප්පේ වාටියට ඇතුල් වෙනවා. දැන් ඔහුට ධනය අවශ්‍යයයි. ඒත් මදයට ඇතුල් වීමේදී ඔහුට එල්ලවෙන ප්‍රතිරෝධය නිසා ඔහු මදයට වෛර කරනවා. ඇත්තෙන්ම නිවැරදිව කිව්වොත් මදයට ඇතුල් වීමට නොදීම නිසා මදයේ ඉන්න එවුන්ට වෛර කරනවා. ඔහුගේ ඒ වෛරය ප්‍රකාශ වෙන්නෙ සමාජ විරෝධී වැඩ වලින්. ජෙහාන් කියන්නෙ සාමාන්‍යය තක්කඩියෙක්. ඒත් කූඹියෝ ෆෑන්ලට ඔහු වීරයෙක්. ඒ ඇයි? තමාට කරන්න බැරි මදයට එරෙහි සමාජ විරෝධී වැඩ ජෙහාන් හරහා කරවාගැනීමේ ෆැන්ටසි ආතල් එකකින් ඔවුන් පෙලෙන නිසා.

මේ "වාටියේ ජනතාව" මතවාදීමය වශයෙන් අනාථ වුන පිරිසක්. ඒ නිසාම ඔවුන් ගේ සමාජ දැක්ම හර සුන්. ඒ හර සුන් සමාජ දැක්ම තමයි ජෙහාන් ගෙ "ටිපි ටිප්" ටෝක් වලින් ප්‍රකාශ වෙන්නෙ. හෙන ගැඹුරු, ඇහුනම "අම්මට සිරි" වෙලා යන ජෙහාන් ගෙ ටෝක් ටිපි ටිප් වගේ. දිය වුනාම මොකුත් නෑ.

ජෙහාන් හෙවත් ආප්ප වාටිය දෙපැත්තෙ තියෙන සමාජ ස්ථර දෙක නියෝජනය කරන යාළුවො දෙන්නෙක් ජෙහාන්ට ඉන්නවා. ප්‍රියන්ත සහ ඇංජි. ජෙහාන් මේ දෙන්නවම දකින්නෙ අවඥාවෙන්. ප්‍රියන්ත ඔහුට අවංක මෝඩයෙක්. ඇංජි බෝරිං. ඒත් මේ දැක්මෙ තියෙන්නෙ තමාට අහිමි වුන සහ ලබා ගන්න බැරි සමාජ පන්ති ගැන තියෙන මිදි තිත්තයි ෆීලිං එක මිස වෙන මොකවත් නෙවෙයි. ජෙහාන් ම කියන විදිහට "මම කවුද​? මට නැතිවෙන්න මොකවත් නෑ". ඒත් නැති වෙන්න දේවල් තියෙන ප්‍රියන්ත ගේ සහ ඇංජිගේ සමාජ බැඳීම් දිහා ජෙහාන් බලන්නෙ අවඥාවෙන්. මාසෙකට දවස් දෙකක් ගමේ යන​, උදේ හවා ඉහළ සමාජයට ඇතුල් වීමේ හීන වලින් පෙළෙන පාදඩ ධනවාදයේ වාටියේ ජනතාවට ජෙහාන් වීරයෙක් වෙන එක පුදුමයක් ද​?

බැලූ බැල්මට කූඹියන්ට ළඟින් යන කතාවක් තමයි ධර්මසේන පතිරාජ ගෙ අහස් ගව්ව​. ඒත් දැවැන්ත වෙනසක් තියෙනවා. අහස් ගව්වෙ කලංසූරිය ගෙ චරිතය චිත්‍රපටියෙදි අනුකම්පාවට ලක් වුන චරිතයක්. ෆිල්ම් එක අවසන් වෙන්නෙ විජය කුමාරතුංග ගෙ චරිතය නගර සභාවේ කම්කරු රැකියාවක් ලබා ගැනීමෙන් සහ කලංසූරිය ගෙ චරිතය සමාජවාදී උද්ඝෝෂනයකට එකතු වීමෙන්. එතැන තියෙන්නෙ සමාජවාදී දැක්මක්. ඒත් ජෙහාන් කියන්නෙ ඊට වෙනස්. ඔහු ධනවාදයේ වාටියේ ඉඳගෙන මදයට ඇතුල් වීමේ ආශාවෙන් ඊට එරෙහිව කැරලි ගහන චරිතයක්. වීරයෙක්.

කූඹියෝ කියන්නෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුං ගෙ ආත්මීය ප්‍රකාශනය​.

Saturday, June 17, 2017

දිව්‍යමය සුළං


ජපන් භාෂාවෙන් "කමිකසෙ" කියන්නෙ "දිව්‍යමය සුළං" කියන එක​. 1274 සහ 1281 දි මොංගෝලියානු අධිරාජ්‍යය දෙපාරක් ජපානය ආක්‍රමනය කරනවා. නමුත් මේ අක්‍රමන දෙකම අසාර්ථක වෙනවා. ඒකට ප්‍රධාන හේතුව හදිසියේ ඇති වන කුණාටුවකින් මොංගෝලියානු නැව් විනාශ වීම​. දෙපාරක් ම මේ සිද්ධිය සිදු වුන නිසා ජපන්නු මේක දේවාත්ම වල (කමි) මැදිහත් වීමෙන් වුන දෙයක් කියල විශ්වාස කලා. මේ කුණාටු දෙක "දිව්‍යමය සුළං" හෙවත් "කමිකසෙ" කියල නම් කරා.

හැබැයි දැන් මේ කියන්න යන්නෙ ඒ දිව්‍යමය සුළං ගැන නෙවෙයි. වෙනත් දිව්‍යමය සුළඟක් ගැන​.

1840 දි පමණ ජපන් චිත්‍ර ශිල්පියෙක් (හෝ කීපදෙනෙක්) චිත්‍රයක් නිර්මානය කරනවා. මේ චිත්‍රය මීටර 10 ක් දිග දැවැන්ත නිර්මානයක්. ඒක කරපු චිත්‍ර ශිල්පියා (හෝ ශිල්පීන්) අදටත් අඥාතයි.

මේ චිත්‍රයේ නම "හෙ-ගස්සෙන්". ඒකෙ තේරුම "පඩ සටන​" (නෑ මුද්‍රණ දෝෂයක් නෙවෙයි).

සම්පූර්න සිතුවම සමන්විත වෙන්නෙ චිත්‍ර දහ අටකින්. මේ චිත්‍ර වලින් කියැවෙන්නෙ කතාවක් (හරියට චිත්‍ර කතාවක් වගේ). වෙනත් සාම්ප්‍රදායික ජපන් ලියැවිලි වගේම මේකත් කියවන්න ඕනෙ දකුණේ සිට වමට​.

පළවෙනි චිත්‍රයේ තියෙන්නෙ සමුරායි කෙනෙක් ගොවියන් හතර දෙනෙක්ට යම් කිසි දෙයක් පැහැදිලි කරනවා. ගොවියන් ගෙ සිනා මුහුණු වලින් සහ රතු පාට කිමෝනෝව ඇඳල ඉන්නෙ ගොවියගෙ අභිනයන් ගෙන් පේන්නෙ සමුරායි වරයා කියන දේ ඔවුන්ට හිතට අල්ලල ගිහින් තියෙන බව​.


දෙවෙනි චිත්‍රයේ මේ පිරිස කොහෙදෝ යන දර්ශනයක් තියෙනවා. සමුරායි වරයා අශ්වයෙක් පිට නැගලා. ගොවියන් දෙදෙනෙක් අතේ කූඩ වල පිරවූ යම් කිසි දෙයක් තියෙනවා.


තුන් වෙනි චිත්‍රයේදී මේ පිරිසට තවත් කෙනෙක් මුණ ගැහෙනවා. ඔහුගේ පිටේ ගහල තියෙන කොඩිය නිසා ඔහු යුධ සෙබළෙක් බව හඳුනගන්න පුළුවන්.


හතර වෙනි චිත්‍රයේදී මේ අය අර කූඩ වල ගෙනාපු දෙය ලිපක් මත තියල උයනව දකින්න පුළුවන්. ඒ දෙය අල වැනි ආහාර වර්ගයක් වගෙයි පේන්නෙ. ගොවියන් දෙන්නෙක් ලහි ලහියේ කෑම උයද්දි සමුරායි වරයා සහ සෙබළා කෑම කනවා.


පස් වෙනි චිත්‍රයේ තමයි සටන පටන් ගන්නෙ. අර කෑම වර්ගය මොනා වුනත් ඒ කෑම උදරයේ වායු නිෂ්පාදනයට ඉවහල් වෙන බව හිතන්න පුළුවන්. පිරිස දෙකට බෙදිලා එකිනෙකාට විරුද්ධව පඩ සටනක් කරනවා. එක ගොවියෙක් ගෙ තොප්පිය ගැලවිලා යන්න තරම් මේ පඩ ප්‍රභලයි.


හය වෙනි චිත්‍රයේදී සටන උච්චස්ථානයකට පත් වෙලා තියෙනවා. එක පිලක් සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා. ඔවුන් ගේ දරුණු ප්‍රහාරයෙන් ගැලවෙන්නෙ අනෙක් පිලට මුකවාඩම් බැඳ ගන්නත්, ලෑල්ලක් භාවිතා කරන්නත් සිදු වෙලා.


හත් වැන්නේ දි ඔවුන් අළුත් උපක්‍රමයක් භාවිතා කරනවා. දෙදෙනෙක් අවන් පත් වලින් ප්‍රතිවාදීන් ගෙ ප්‍රහාරය වෙනතකට යොමු කරද්දි එක් අයෙක් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා.


අට වෙනි චිත්‍රයේදී දරුණු ප්‍රහාර දරා ගන්න නොහැකිව එක පිළක් මේසයක් බාධකයක් විදිහට භාවිතා කරනවා. නමුත් ඔවුන් ප්‍රතිවාදීන් ව අවතක්සේරු කරලා. ප්‍රතිවාදීන් ගේ ප්‍රහාරයෙන් මේසය හිල් වෙලා එයට මුවා වී සිටින අය විසි වෙලා යනවා.


නව වැනි චිත්‍රයේදී මේ පිරිසට තව අය එකතු වෙනවා. එක පිළකට හිස මුඩු කල අයෙක් එකතු වෙද්දි අනෙක් පිළට කාන්තාවක් එක් වෙලා. කාන්තාවත් අනෙක් එය සමඟ හරි හරියට සටන් වදිනවා.


දහවැනි විත්‍රයේ දී තවත් කාන්තාවක් සටනට එක් වෙනවා. මේ අය අළුත් උපක්‍රමයක් අත් හදා බලනවා. විශාල රෙදි ගෝනි දෙකකට පඩ එකතු කරනවා. මේ වෙද්දි කාන්තාවන් දෙන්නා සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා.


එකොළොස් වැනි චිත්‍රයේදි මේ අළුත් උපක්‍රමය අති සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙනවා. ගෝනියෙන් මුදා හරින පඩ ප්‍රහාරයෙන් ප්‍රතිවාදීන් හතර දෙනෙක් විසි වෙලා යන්නෙ කිසිම ප්‍රති ප්‍රහාරයකට ඉඩක් නොලබමින්. පහර දෙන පිලේ ගොවියෙක් අත්පොලසන් දෙමින් සතුට පල කරනවා.


දොළොස් වැනි චිත්‍රයේදී අශ්වාරෝහක හමුදා සටනට එක් වෙනවා. අසු පිට සිට එල්ල වන ප්‍රහාරය දරා ගන්න නොහැකිව එක් අයෙක් බිම වැතිරිලා. සමුරායි වරයා පැත්තක ඉඳන් බොහොම ප්‍රීතියෙන් සටන නිරීක්‍ෂනය කරනවා.


දහතුන් වෙනි චිත්‍රයේදී පාබල සේනාව අශ්වාරෝහකයන්ට එරෙහිව සාර්ථකව ප්‍රතිප්‍රහාර දෙනවා. බිම සිට එල්ල කරන ප්‍රහාරයකින් අශ්වයෙක් පෙරළිලා යන්නෙ අසරුවත් එක්කමයි. පහර දෙන්නා අසල හිඳගෙන තව අයෙක් ඔහුව දිරි ගන්වනවා.


දහ හතර වෙනි චිත්‍රයේදී අපේ පිරිස ඒකාබද්ධ ප්‍රහාරයක් අත් හදා බලනවා. කාන්තාවන් දෙන්නා එල්ල කරන ඒකා බද්ධ ප්‍රහාරයෙන් තවත් අයෙක් ගුවනේ පාවෙලා යනවා. මෙතැනදි පිරිසට සුදු රැවුලක් තියෙන්නෙ මහල්ලෙකුත් එක් වෙලා. ඔහු තවත් කෙනෙක් එක්ක ලොකු සාකච්ඡාවක්.


පහළොස් වැනි චිත්‍රයේදී ගසක් මුලින් ඉදිරී ගුවන් ගත වෙන්නට තරම් ප්‍රභල ප්‍රහාරායක් එල්ල කරන්න අයෙක් සමත් වෙනවා. වටේ ඉන්න පිරිස ඔහු ගැන ඇති කරගත් ගෞරවයෙන් සිනාසෙමින් ඉවතට දුවනවා. මේ වනකොට පිරිසට තවත් සමුරායි කෙනෙක් එකතු වෙලා.


දහසය වැනි චිත්‍රයේදී පිරිස සටන් අභ්‍යාස නවත්තලා නැවතත් අර ආහාර වර්ගය පිළියෙල කරනවා. ඒ ඉදිරියේ එන නියම යුද්ධයට සූදානමෙන්. සමුරායි වරයා සහ ගොවියන් දෙදෙනෙක් අල පොතු සුද්ධ කරන අතර අනෙක් සමුරායි වරයා කාන්තාවක් එක්ක පෙමින් වෙළිලා ඉන්නවා.


දහ හත් වන චිත්‍රයේ තමයි නියම සටන තියෙන්නෙ. අපේ පිරිස මෙතෙක් වෙලා පුහුණු වුනේ මේ සටන සඳහා. ඔවුන් වෙළඳ සැලක් වගේ පේන ගොඩනැගිල්ලක් වට කරලා පහර දෙනවා. ප්‍රහාරයෙන් වෙළඳ සැල සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. ඒක ඇතුලෙ ඉන්නෙ ගෑණු පිරිම විසි වෙලා යනවා. වෙළඳ සැලේ වහලය බඩු මුට්ටු පෙරලිලා යනවා. ඒ අතරෙ සමුරායි කෙනෙක් විසිවෙලා යන බඩු පැහැර ගන්නවා. යුධ සෙබලා පෙරලෙන සකේ බාල්දියකින් හැලෙන සකේ බොනවා.


දහ අටවන චිත්‍රයේදී අපේ පිරිස සටන නිම කරන ආකාරය තියෙන්නෙ. ඔවුන් ගේ ප්‍රහාරය අනුකම්පා විරහිතයි. මුල් ප්‍රහාරයෙන් ඉතුරු වුන සියළුම දේ මේ ප්‍රහාරයෙන් විනාශ කරනවා. එක් අයෙක් ගේ ප්‍රහාරයෙන් පූසෙක් ගුවන් ගත වෙනවා. තවත් දෙන්නෙක් එල්ල කරන ප්‍රහාරයෙන් මහල්ලෙක් ඔහුගෙ හට්ටි-මුට්ටිත් එක්කම විසි වෙලා යනවා.


චිත්‍රය අවසානයේ යම් විස්තරයක් ඇතුළත් කරල තියෙනවා.


මේ මොනවද​? මුන්ට පිස්සුද​?

අපිට මේක අද විකාරයක් වගේ පෙනුනට මේක දේශපාලන චිත්‍රයක්. අද භාවිතාවන කාටූනයක් වගේ.

මෙතන "දිව්‍යමය සුළං" වලින් නිරූපනය වෙන්නෙ අර මුලදි කියපු "කමිකසෙ". මොංගෝලියානු ආක්‍රමනයෙන් පස්සෙ ජපන්නු අතර විශ්වාසයක් ඇති වුනා දේවාත්ම ජපානය ආරක්‍ෂා කරන බවත්, ජපන්නු කියන්නෙ සුවිශේෂී ජාතියක් බවත්. ඇත්තෙන්ම ලෝකයෙන් බාගයක් යටත් කරපු මොංගෝලියානු අධිරාජ්‍යයට අල්ලපු වැටේ තියෙන ජපානය අල්ල ගන්න බැරි වීම නිසා ඒ කතාව බොරුවක් කියල කියන්නත් බෑ.

ඉතින් මේ විශ්වාසයට අනුව දේවාත්ම විසින් දිව්‍යමය සුළං යොදාගෙන ජපානය ආරක්‍ෂා කරනවා. මේ චිත්‍රයේ අපේ පිරිස කරන්නෙත් ඒකමයි. "දිව්‍යමය සුළං" යොදාගෙන ජපානය ආරක්‍ෂා කිරීම​.

ඉතින් මේ ආරක්‍ෂා කරන්නෙ මොකකින් ද​?

1840 කියන්නෙ ජපානයේ බොහෝ දේශපාලන කලබගෑනි තිබ්බ කාලයක්.

17 වෙනි සියවසේදී බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, ඇමරිකාව​, ඕලන්දය ආදී බටහිර ජාතීන් ජපානය එක්ක වෙළඳ ගනු දෙනු කරන්නත්, ඔවුන් ගේ දේශපාලන බලය ජපානයේ පතුරුවන්නත් උත්සහ කරමින් හිටියා.

මේකට ජපන් සමාජයේ ලොකු විරෝධයක් තිබ්බා. ඒ සමුරායි වරුන් ගෙන් සහ ගොවියන් ගෙන්. නමුත් චෝනින් කියල හැඳින්වුන වෙළඳ පන්තිය මේ වෙළඳාම් වලින් ලාබ ලැබුව නිසා ඒකට කැමති වුනා. නමුත් වෙළෙන් දන් ධනවත් වීම නොඉවසපු සමුරායි වරු සහ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය වෙනස් වීම නොඉවසපු ගොවියන් ඒකට විරුද්ධ වුනා.

ඒ නිසා ජපානයේ පාලකයා වුන ෂෝගුන් වරයා 1635 දි සියළුම විදේශිකයන්ට ජපානයෙන් පිට වන ලෙස නියෝග කරනවා. ඔවුන්ට එන්න අවසර දුන්නේ නගසකි වරායේ කුඩා දූපතකට විතරයි. ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත ජපන් ජාතිකයන් සහ ක්‍රිස්තියානි පූජකයන්ට මරණ දඬුවම නියම කරනවා.

1840 වෙද්දි බටහිර ජාතීන් යුධ බලය දක්වලා මේ නීති වෙනස් කරන්න තැත් කරනවා. ෂෝගුන් වරයා ඊට ප්‍රතිචාර දක්වන්නෙ නීති තවත් තද කිරීමෙන්.

මේ චිත්‍රයෙන් දැක්වෙන්නෙ "දිව්‍යමය සුළං" යොදාගෙන බටහිරයන් සහ ඔවුන්ට සහය දුන්න වෙළඳ පන්තිය පරාජය කරලා ජපානය ආරක්‍ෂා කිරීම​.