Sunday, September 24, 2017

පාදඩයා රට ගිය හැටි


ඔන්න බොලව් මීට අවුරුදු 10 කට විතර කලින් වැලේ වැල් නැතුව ෆුල් නන්නත්තාර වෙලා හිටපු මට පිටරටක ජොබ් එකක් කොරන්න චෑන්ස් එක වැදුන​.

ඒකත් සෙට් වුනේ කනාවට​. මගෙ යාළුවෙක් ගෙ අයිය කෙනෙක් එක්තරා සමාගමක මැනේජර් ලෙවල් එකේ හිටියෙ. උංගෙ සමාගමෙන් පිට රටක ජොබ් එකක් කරන්න යවන්න එකෙක් හොයනව. මම දන්න එකෙක් ඉන්නව නං කියපං කියල ඌ මට කිව්ව. ෆුල් ම අනාත වෙලා හිටපු මම "වෙන එවුං මොකටද අයියා මේ මම ඉන්නෙ?" කියල ඉදිරිපත් වුනා නිකං මද්දුම බණ්ඩාර වගේ. ජොබ් එක මට සෙට් වුනා.

පස්සෙ දැනගත්තෙ අරූ මගේ හැටි දන්න නිසා උගෙයි මගෙයි දෙන්නගෙම යාළුවෙක් වුන එකෙක් ගෙන් අහල තියෙනව මාව යවල උගෙ ජොබ් එකටත් කෙල වෙයිද කියල​. දෙන්නගෙම යාළුව මා ගැන පහල වූ මහානුකම්පාවෙන් මම වෙනුවෙන් උගේ පුක ඇපයට තියල තමයි මට ජොබ් එක සෙට් කරල තියෙන්නෙ.

ඉතිං කොහොම කොහොම හරි මම පිටරට ගියා. පිටරට කිව්වට ඒක ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ සීන් එකක් නෙවෙයි. ඉගෙන ගත්ත එකෙක් මලාට යන්නෙ නැති ෆුල් ම චාටර් සීන් එකක්. මුස්ලිම් රටක්.

මුලින්ම ගියේ ටුවරිස් වීස වලින්. ඒ සීන් එක හදිස්සි නිසා වර්කිං වීස හදන්න වෙලාවක් නැති නිසා. මම ගියාට පස්සෙ තමයි ඒ රටේ සමාගම වීසා හදන වැඩේට අත ගැහුවෙ. ඉතිං මම ටුවරිස් වීසා වලින් ඉන්න පුළුවන් උපරිම කාලය වන සති තුන ඉඳල ආපහු ලංකාවට ආව​. සතියකින් වීසා හදල ඉවර වෙලා මට එහෙන් කෝල් එකක් ආව ආපහු වර කියල​. මමත් ගියා.

ප්ලේන් එකෙන් බැහැල ඉමිග්‍රේෂන් කවුන්ටරේට ගිහිල්ල පාස්පෝට් එකයි ඩොකියුමන්ට් ටිකයි දුන්න​. පොඩ්ඩක් අතනින් ඉඳගන්න කියල කිව්ව​. පාස්පෝට් එක ඌ තියාගත්ත​. මට හිකවිල කියල තේරෙන්න තරං වත් ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් ගැන අවබෝධයක් මට තිබ්බෙ නෑ.

පැය දෙක තුනක් ඉඳගෙන හිටියම තමයි තේරුනෙ මොකක් හරි කෙලවීමක් වෙලා කියල​. පුදුම පොරත්වයකින් එහෙ මෙහෙ යන නිලධාරින් ගෙන් ඇහුවට කියන්නෙත් නෑ මොකද්ද සීන් එක කියල​. මාත් කනුවෙ ගැටගහපු හරක වගේ ඉඳගෙන හිටිය​.

මම වගේම පැත්තකට කරපු එවුන් පහළොවක් විතර හිටිය​. එතන ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ජොබ් කරන එකෙක්ට හිටියෙ මම විතරයි. අනිත් ඔක්කොම කම්කරු වැඩට ආපු ඉන්දියන් කාරයො සහ බංගලි. පෝර්මන් වැඩේකට ආපු කොරියන් කාරයෙකුත් හිටිය​.

පැය පහක් විතර එතන ලැග්ගට පස්සෙ යුනිෆෝම් ඇඳපු එවුන් දෙන්නෙක් ඇවිත් අපිව දක්කගෙන ගියා. අපිට පාස්පෝට් ආපහු දුන්න​. වාහනයක් පෙන්නල නැගපියව් කිව්ව​. බාසාව තේරෙන්නෙත් නෑ. උං ඉංග්‍රීසි කතා කරන්නෙත් නෑ. වාහනේට නැග්ගම තමයි නැට්ටටම කෙළවෙලා  ඉන්නෙ කියල බොක්කටම දැනුනෙ.

වාහනේ දාගෙන අරන් ගියා උංගෙ අගනුවර එක්තරා තැනකට​. වෙලාව රෑ හතට විතර ඇති. ප්ලේන් එකේ දීපුව කෑවට පස්සෙ වතුර උගුරක් වත් බීල නෑ.

එතන නිකං මුඩුක්කුවක් වගේ සීන් එකක්. ඉතාම පටු වීදියක තියෙන තරමක් ලොකු කාමරයක්. අඩි දොළහෙ දොළහෙ විතර​. තට්ටු ඇඳන් දෙකකුයි බිම දාපු මෙට්ට තුනකුයි තියෙනව​. ඇටෑච් බාත් රූම් එකක් තියෙනව​. එක දොරයි. ජනෙල් නෑ.

කාමරේට අපිව දාල දොර වහල අගුල දාල යුනිෆෝම් කාරයො ගියා. එතන බාරව ඉන්න එකා නිකං කුඩු කාරයෙක් වගේ ඩයල් එකක්. අවුරුදු විසි පහක විතර කොල්ලෙක්. ටී ෂර්ට් එකක් සහ. ත්‍රී ක්වාටර් එකක් ගහල​. කොන්ඩෙ පොඩ්ඩක් ටින්ට් කරල​. ලාවට රැවුල​. එක කනක කරාබුවක්.

කාමරේ තියෙන්නෙ මද එළියක් දෙන ලයිට් බල්බ් එකක්. ඒකෙන් අහුමුළු යන්තං එළිය වෙනව​. මුළු කාමරේම සිගරට් ගඳයි. දාඩිය ගඳයි. හුජ්ජ ගඳයි.

අරූ කිව්ව ඉඩ තියෙන තැන් වලින් නිදා ගනිල්ල කියල​. සමහර එවුන් ඇඳට ගියා. සමහර එවුන් මෙට්ට උඩ​. මම මීටරේ දාල ඇඳ ළඟම තියෙන මෙට්ටෙ ඇඳ අයිනට වෙන්න ඇල වුනා. මොකක් හරි සීන් එකක් ගියොත් ඇඳ අස්සට හරි රිංගන්න පුළුවන් වෙන්න​.

එක ළඟ එකා සාඩින් පැක් කරල වගේ අපි ඉන්නව​. අපිව බලා ගන්න එකා පුටුවක් උඩ ඉඳගෙන වැලට සිගරට් ගහනව​. නොදන්න රටක මුඩුක්කුවක් වගේ සීන් එකක ඩෙස්පරේට් පුද්ගලයො රොත්තක් මැද මම ඉන්නව​. මගේ බෑග් එකේ ඇමරිකන් ඩොලර් තුන්දාස් ගානක්. අතේ වියදමට සමාගමෙන් දීපු සල්ලි. මගෙ ඔළුවෙ තියෙන්නෙ එකම සිතුවිල්ලයි. මොකෙක් හරි කොයි මොහොතෙ හරි මගෙ බෙල්ල කපල සල්ලි ටිකට කෙලියි. මට නිකං රෙවෙන සයිස්. බෑග් එක ඔලුවට තියාගෙන හිටියෙ කෝකටත්.

මෙට්ට හත් අවුරුද්දකින් ඉර එළිය දැකල නෑ කියල මට ෂුවර්. දකුනු පැත්තට හැරුනම මට පේන්නෙ ඇඳ ඇතුල​. අඟලක විතර දූවිලි තට්ටුවක්. හිස් බියර් බෝතල් දෙකක්. සිගරට් කොට හත අටක්. ගංජ සුරුට්ටු කොට දෙක තුනක්. වමට හැරුනම මම ළඟ නිදාගෙන ඉන්න බංගලියා හෝ ඉන්දියන් කාරයා මට පේනවා. ඌ ළඟ පිළුණු වෙච්ච දාඩිය ගඳයි. ඌට එහා පැත්තෙ තව එවුන් පෝලිමක්. උඩ බැලුවම දූවිලි සහ මකුළු දැල් වලින් වැහුන වහලෙ.

සමහර එවුන් වතුර ඉල්ලගෙන බිව්ව​. මට වතුර බොන්න වත් ෂුවර් නෑ. ෂුවර් තිබ්බත් බය වෙලා හිටිය තරමට වතුර ටිකක් වත් බොන්න හිතෙන්නෙ නෑ. ඔහේ වැටිල හිටිය​. මාව තියාගත්තෙ ඇයි, දැන් මොකද වෙන්නෙ, ඊළඟට මොකද වෙන්නෙ කියන එක ගැන කිසිම හැඟීමක් තිබ්බෙ නෑ.

අපේ බාර කාරය සැරින් සැරේ එළියට ගිහිල්ල එනව. බංගලි සහ ඉන්දියන් කාරයො උංගෙ බාසා වලින් හෙමි හෙමීට ඉඳ හිට කතා කරනව​. උං එකෙක්ටවත් ඉංග්‍රීසි බෑ කියල ෂුවර් නිසා මම කතා කරන්න ට්‍රයි කරේ වත් නෑ.

පාන්දර තුනට විතර බරාස් ගාල දොර ඇරුන​. බාර කාරයා සහ තවත් එවුන් දෙන්නෙක් පාර්සල් වගයක් අරගෙන ආව​. එකෙක් කළු උස මහත ඩයල් එකක්. අනිත් එකාගෙ හැටි මට දැන් මතක නෑ. දෙන්නම අවුරුදු විස්සෙ විසි පහේ කොල්ලො. ටී ෂර්ට් සහ ත්‍රී ක්වාටර් ගහපු උං. කුඩු කාර ලුක් එක.

උං ගෙනල්ල තියෙන්නෙ අපිට කෑම​. අපේ කරුමෙට එදා තමයි රාමසාන් උපවාසය පටන් ගන්නෙ. ඒ නිසා හෙට දවල්ට කෑම නෑ. දැන් කන ටිකක් තමයි. හැබැයි මට කන්න බෑ. බයටම බඩගින්නක් දැනෙන්නෙ නෑ. දැනුනත් මුං ගෙ කෑම ෂුවර් නෑ. ෂුවර් තිබ්බත් ඒ නරකාදියෙ කෑම කාල මොන ලෙඩේ හැදෙයි ද දන්නෙ නෑ.

ගෙනල්ල තිබ්බෙ කුකුල් මස් සහ බත්. බංගලි සහ ඉන්දියන් කාරයො නිදාගෙන හිටපු තැන් වලින් නැගිටල ගිහින් කෑම පාර්සල් ගත්ත​. මම මෙට්ටෙ උඩ ඉඳගත්ත​. අරුං දැක්ක මම කෑම නොකන බව​. එකෙක් මට පාර්සලයක් දික් කරා. මම එපා කිව්ව​.

"සිකන් සිකන්"

ඌ කියන්නෙ කුකුල් මස් කියල​. මම ආයෙත් එපා කිව්ව​. කළු උස මහත එකා මම ළඟ ඉඳගත්ත​. මම දිහා හොඳට බැලුව​. උගෙ මූනෙ කින්ඩි හිනාවක්. මම රෙවෙන්න බය වෙලා කියල උට තේරෙන්න ඇති. ඌ මගෙ මූණටම එබිල මම දිහා බලනව​. කොච්චර බය තිබ්බත් මාත් කෙලින්ම ඌ දිහා බලාගෙන හිටිය​.

"කන්ට්‍රි?" ඌ මගෙන් අහනව​.

"ශ්‍රී ලංකා"

"බුද්ධෝ?"

ඌ අහන්නෙ මම බුද්ධාගමේ ද කියල​. මම ඔළුව වැනුව​. ඌ මෙට්ටෙ උඩ හරි ගැහිල සිගරට් එකක් පත්තු කර ගත්ත. ඌ හිතුවෙ මම බෞද්ධ නිසා මස් කන්නෙ නෑ කියල​. ආයෙ මට කන්න දෙන්න ට්‍රයි කරේ නෑ.

කොහොම කොහොම හරි රෑ ගෙවුන​. උදේ එළිය වැටී ගෙන එද්දි මට තේරුන දැන් තමයි පැන ගන්න චාන්ස් එක කියල​. බාර කාරය සහ අනිත් එවුන් දෙන්න මෙට්ට උඩම නිදි. සරණාගතයොත් ගොඩක් එවුන් නිදි. මම බෑග් එක ගත්ත​. ෂේප් එකේ දොර ළඟට ගියා. ඇහැරල හිටපු ඉන්දියන් කාරයෙක්ට මම කරන්න යන වැඩේ තේරුන​. ඌ ඇස් දෙකෙන් කිව්ව එපා කියල​. මම ඌට "ඉට්ස් ඕකේ" ලුක් එකක් දාල දොර ළඟට ගියා. අරූ ගෙ ඇස් දෙක දොට්ට පනින්න වගේ ලොකු වෙලා. ආපහු "එපා එපා" කිව්ව​. මම ඇහුවෙ නෑ. ඌ නිදාගෙන හිටපු බාරකාරය ව ඇහැරෙව්ව​.

බාරකාරය නැගිට්ට ගමන් දැක්ක මම දොර ළඟ කියල. මගේ අතේ බෑග් එක​. ඌ දුන්නක් වගේ උඩ පැනල නැගිටල දොර ළඟට ආව​. මම නිදාගෙන හිටපු තැනට ඇඟිල්ල දික් කරල පලයං කිව්ව​. මම ගියේ නෑ. ඌට මල පැන්න​. ආපහු පලයං කිව්ව​. මම කිව්ව මගේ බොස්ට කතා කරන්න ඕනෙ කියල​. ඌ "නෝ බොස්. ගෝ බැක්" කිව්ව​. මම ගියෙ නෑ. ඌ මගෙ උරිස්සට අත තියල "දීපං පාස්පෝට් එක​" කිව්ව​. මම ඇහුව "ඇයි?" කියල​. ඌ ආපහු "දීපං" කිව්ව​. මම දැන ගත්ත වැඩේ හරියන්නෙ නෑ කියල​. මම පාස්පෝට් එක දුන්න​. ඌ ඒක සාක්කුවෙ දාගෙන ආපහු නිදා ගත්ත​. මම බල්ලෙක් වගේ ආපහු මෙට්ටෙ උඩට ආව​.

මම කරන්න හැදුවෙ හෙන ගොං වැඩක්. ඒත් ඒ වෙලාවෙ හැටියට ඒක තේරුනෙ නෑ.

ක්‍රමයෙන් උදේ වෙද්දි එක එකා ඇහැරුන​. කොරියන් කාරය උගේ ෆෝන් එකෙන් අපිව බලාගන්න ඉන්න එවුන්ට වැල පෙන්නනව​. උං එක්ක ෂේප් වෙන්න​. සමහර එවුන් බාත් රූම් එකෙන් මූණ හෝද ගත්ත​. මට ඒ පැත්තෙවත් යන්න පිරියක් තිබ්බෙ නෑ.

දහයට විතර අපිට එළියට යන්න අවසර දුන්න​. හැබැයි අපි හිටපු කාමරේ දොර ළඟ ඉඳල දෙපැත්තට අඩි දහයක විතර දුරක් විතරයි. එතන පාරෙ වාහන යන්නෙ නෑ. පටු පාරක්. රාමසාන් දවස පටන් ගන්න නිසා වැඩිය කවුරුත් එළියෙ නෑ. මම ෂේප් එකේ බෑග් එක ඇරල ඩොලර් ටික අරගෙන සාක්කුවෙ දාගත්ත​. බාත් රූම් එකට ගිහින් ඒක ජොකා අස්සෙ දාගත්ත​. උංගෙ රටේ සල්ලි ටිකක් පර්ස් එකේ දාගත්ත​.

එළියට බැහැල බැලුවම පොඩි කඩයක් තියෙනව​. හැබැයි රාමසාන් නිසා කෑම විකුණන්නෙ නෑ. කඩේ එකාට පුකට වැඳල වතුර බෝතලෙකුයි සිගරට් පැකට් එකකුයි ගත්ත​. කාමරේ ඉස්සර පේමන්ට් එකේ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා සිගරට් ගහන්න පටන් ගත්ත​. පට්ට අව්ව​. ගිනි ගන්නව වගේ. සුදු පාට බිත්ති වලින් පරාවර්තනය වෙන අව්ව නිසා ඇස් දෙක හරියට අරින්නත් අමාරුයි.

කොරියන් කාරය සහ ඉන්දියන් කාරයෙකුත් මම ළඟට ආව​. උන් දෙන්නටම හරියට ඉංග්‍රීසි බෑ. කැඩිච්ච ඉංග්‍රීසියෙන් අපි කතා කරා. උන් දෙන්නම ටිකක් වයසක ඩයල්. අවුරුදු 45 විතර ඇති. මට ඒ කාලෙ 27 යි. ඉන්දියන් කාරය හෙනම දුප්පත් ඩයල් එකක්. සරමකුයි කමිසෙයි ඇඳල​. උගෙ සාක්කුවෙන් ගෑණිගෙයි ළමයි දෙන්නෙක් ගෙයි පොටෝ පෙන්නුව​. ඌ සන්තකේටම තිබ්බෙ ඉන්දියන් රුපියල් පණහක් විතරයි. මම උට සිගරට් එකක් දුන්න​. ඌ ඒක ගත්තෙ මට වැඳල​.

දොළහ විතර වෙනකොට මම හිටියෙ දෙවෙනි සිගරට් පැකට් එකේ. මම මගේ තත්වය සමාලෝචනය කරල බැලුව​. එදා නිවාඩු දවසක්. පහුවෙනි ද සිකුරාද​. ඊට පස්සෙ සෙනසුරාද​​. ඔෆිස් අරින්නෙ ඉරිද​. ඒ කියන්නෙ මට මෙතන දවස් තුනක් වත් ඉන්න වෙනව​. මට දැනුනෙ නිකං මාව ෆිල්ම් එකක චරිතයක් වගේ. මේවගේ දෙයක් හැබෑවටම වුනා කියල මට අදහගන්න අමාරුයි.

සම්පූර්න ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නකොට මම දැක්ක අපේ බාර කාරය වීදිය ඈත කොනේ ඉඳල අපේ පැත්තට එනව​. ඌ මම ළඟට ආව​. මම ඌට සිගරට් එකක් දුන්න​. ඌ ඒක ගත්ත​. මම ඌට කිව්ව "සොරි" කියල​. ඌ නිකං ඕව ගණං ගන්න එපා මචං කියනව වගේ මගෙ පිටට තට්ටුවක් දැම්ම​. මම ඌට් එක්ක පොඩි චැටක් දාගෙන හිටිය​. මම උගෙන් ෆෝන් එක ඉල්ලුව කෝල් එකක් ගන්න​. මම හිතුවෙ නෑ ඌ දෙයි කියල​. නිකමට ඉල්ලුවෙ. ඌ ෆෝන් එක දුන්න​.

මම ඒකෙන් ඒ රටේ මගෙ ඔෆිස් එකේ වැඩ කරන ලංකාවෙ යාළුවෙක්ට කෝල් එකක් ගත්ත​. උං දන්නව මම කලින් දවසෙ එන්න හිටියෙ කියල​. උං මම එනකං බලාගෙන ඉඳල​. මම ඌට සැකෙවින් විස්තරේ කිව්ව​. ඌ ඇහුවෙ එක ප්‍රශ්නයයි. "මචං උඹ දැන් කොහෙද ඉන්නෙ?" මම දැනගෙන හිටියෙ නෑ මම ඉන්නෙ කොහෙද කියල. මම ඌට දන්නෑ කිව්ව​. "උඹ ඔහොමම හිටපං. අපි උඹව ගන්න ෆුල් ට්‍රයි එක දෙනව​" ඌ කිව්ව​.

උං ඔෆිස් එකෙන් දස අතේ කෝල් දීල සමාගමේ එච්.ආර්. මැනේජර්ට කොහොම හරි සීන් එක කියල​. නිවාඩු දවසක් නිසා ඌව කන්ටැක්ට් කරගන්න මාර ගේමක් දීල තියෙන්නෙ. සීන් එක කිව්වම ඌ ඉමිග්‍රේෂන් එකට කතා කරල මාව රඳවාගෙන හිටපු තැන අහගෙන​. ඌ තකහනියක් බයික් එකකින් එතනට ආව​. ඊට පස්සෙ සීන් එක බලල තට්ටෙ කහල ආපහු ගියා.

පැය දෙකකින් විතර ඌ සීන් එක ගොඩ දාගෙන යුනිෆෝම් ගහපු එකෙක් එක්ක ආපහු ආව​. මගේ බාරකාරයට ඩොකියුමන්ට් වගයක් පෙන්නුව​. ඌ මාව මුදා හැරිය​. මගේ පාස්පෝට් එක දෙනකොට මම ඌට ආපහු සොරි කිව්ව​. ඌ "යාළුවා පරිස්සමෙන් පලයං" වගේ එකක් කිව්ව​. මම ඉතුරු වෙලා තිබ්බ සිගරට් ටික ඉන්දියන් කාරයට දීල එතනින් ආව​.

එච්.ආර්. මැනේජර් මගෙන් ඇහුව කන්න ඕනෙද කියල​.

"නෝ අයි ජස්ට් වෝන්ට් ටු ටේක් අ ෂවර්"

"ඩෝන්ට් වොරි යූ කැන් හෑව් ඉට් ඉන් නෝ ටයිම්"

ඌ මාව ටැක්සියක දාගෙන මගෙ බෝඩිමට එක්කගෙන ආව​. ටැක්සියෙ එනගමන් තමයි මම උගෙන් වෙච්ච දේ දැනගත්තෙ. අපේ සමාගමෙන් මගෙ වීස ප්‍රොසෙස් කරපු මීහරක මගෙ ජොබ් එක කියල දාල තියෙන්නෙ ගබඩා බාරකරු. ඒක මගෙ අනික් ඩොකියුමන්ට් එක්ක නොගැලපෙන නිසා තමයි මාව රිලීස් නොකරෙ.

බෝඩිමට එද්දි හවස පහට විතර ඇති. පැයක් විතර නාල බනිස් එකක් කාල සිගරට් එකක් එහෙම බීල ෆුල් රිලැක්ස් වෙලා ගෙදෙට්ට කෝල් එකක් ගත්ත​.

"ඇයි පුතේ ඊයෙ කෝල් නොකරෙ? අපි බයවෙලා හිටියෙ"

"සිම් එක දාගත්තෙ අද"

4 comments:

  1. Niyamayi!Hariyata kriyadama chithrapatiyak wageyi.Full of suspension!

    ReplyDelete
  2. මට මේ වගේම තිබ්බ දෙමල ෆිල්ම් එකක් මතක් උනා. අම්මෝ.... පුදුම වැඩක්නේ

    ReplyDelete
  3. Sure ekatama sa.sa.pa ta meka wela thiyenne maladiwainedi

    ReplyDelete