Wednesday, March 25, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 9 (යුධ අගලේ සටන හෙවත් කන්දක් සටන​)



පසුබිම​


උහුද් හි සටනින් මුස්ලිම් වරුන්ට පරාජය අත්කර දුන් පසු අබු සුෆියාන් අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීම ආරම්භ කළා. ඒ අතර මුහම්මද් තුමාත් බෙදුවියන් වරු හැකි තරම් තමාගේ පක්‍ෂයට ගැනීමට උත්සහ කළා. ඒත් මක්කාව ශක්තිමත්ව සිටි මොහොතක් නිසා මුහම්ම්ද් තුමාගේ උත්සහයන් සාර්ථක වුනේ නෑ.

බැනු අසාද් ගෝත්‍රයේ බෙදුවියන් වරු මදීනාවට පහර දීමට සූදානම් වන බව ආරංචි වුනු මුහම්මද් තුමා 150 ක පිරිසක් ඔවුන් කූඩාරම් ගසාගෙන සිටි ප්‍රදේශයට යවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා. බෙදුවියන් වරු පළා ගියත්, සිරකරුවන් තිදෙනෙක් සහ එළුවන් විශාල ප්‍රමානයක් අල්ලා ගැනීමට මුස්ලිම් වරු සමත් වුනා.

ඊළඟ ප්‍රහාරය එල්ල වුනේ බැනු ලහියාන් ගෝත්‍රයට එරෙහිව​. බැනු ලහියාන් ගෝත්‍රයේ නායක කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මදීනාවට පහර දීමට තවත් ගෝත්‍ර කීපයක් සමඟ සැලසුම් කරන බව මුහම්මද් තුමාට ආරංචි වුනා. බැනු ලහියාන් ගෝත්‍රය බලවත් ගෝත්‍රයක් නිසා කෙලින්ම පහර දීමට මැලි වුනු මුහම්මද් තුමා ඒ වෙනුවට රාත්‍රියක ඝාතකයෙක් යවා කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මරා දැම්මා.

ඊට සුළු කළකට පසු බෙදුවියන් වරු කීපදෙනෙක් මදීනාවට පැමිණ තමා ඉස්ලාමය වැළඳ ගැනීමත සූදානම් බවත්, තමාගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට දූතයන් කීප දෙනෙක් ලබා දෙන ලෙසත් මුහම්මද් තුමාගෙන් ඉල්ලා සිටියා. හදිසියේ ලැබුනු අවස්ථාව මග හැරීමට අකැමැති වුනු මුහම්මද් තුමා දස දෙනෙක් ගෙන් යුතු පිරිසක් ඔවුන්ට ලබා දුන්නා. ඒත් බෙදුවියන් වරු බැනු ලහියාන් ගෝත්‍රයට අයත් ඝාතකයන් පිරිසක්. කාන්තාරයට ගිය සැනින් ඔවුන් මුස්ලිම් වරු දහ දෙනා මරා දැම්මා. ඒ තමාගේ නායකයා ඝාතනය කිරීමේ පළිය වශයෙන්.

බැනු අමීර් ගෝත්‍රයේ බෙදුවියන් වරු කීප දෙනෙක් ඔවුන් ගේ නායකයාගේ ඉල්ලීමක් රැගෙන මුහම්මද් තුමා වෙත ආවා. ඒ ඔවුන් ගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට කණ්ඩායමක් ලබා දෙන මෙන් ඉල්ලමින්. ඒ අනුව මුහම්මද් තුමා ඔවුන්ට 40 ක පිරිසක් ලබා දුන්නා. ඒත් ඔවුන් බැනු අමීර් ගෝත්‍රය වෙත යන විට එහි නායකය මිය ගොස් තිබුනු අතර​, නව නායකයා මුස්ලිම් වරුන්ට පහර දුන්නා. ඒ ප්‍රහාරයෙන් මුස්ලිම් වරු 40 දෙනාම මිය ගියා.

මේ අනුව මුස්ලිම් වරුන් ගේ තත්වය එතරම් යහපත් වුනේ නෑ. බෙදුවියන් ගෝත්‍රියන් ඔවුන්ට එරෙහිව සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනට තල්ලු වී සිටියා.


බැනු නදීර් ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මේ අතර මදීනාවේ යුදෙව්වන් මුස්ලිම් වරු දුර්වල වීමෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ කරමින් සිටියා. ඒ අනුව ඔවුන් අබු සුෆියාන් සමඟ රහස් සාකච්ඡා පැවැත්වූවා. මුස්ලිම් වරු සහ යුදෙව්වන් අතර එළිපිටම සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා.

යම්කිසි කරුණක් සඳහා සාකඡාවක් පැවැත්වීමට මුහම්මද් තුමා, අබු බකර්, උමර් සහ අලී ඇතුළු පිරිසක් බැනු නදීර් යුදෙව් ගෝත්‍රයේ ප්‍රදේශයට ගියා. එහිදී ඔවුන්ට දැන ගන්න ලැබුනේ බැනු නදීර් ගෝත්‍රයේ යුදෙව්වන් ඔවුන් මරා දැමීමට සැලසුම් කරන බව​.

මුහම්මද් තුමා බැනු නදීර් ගෝත්‍රයට දින දහයක් ඇතුලත තමාගේ දේපළත් රැගෙන මදීනාවෙන් පිටව යාමට අණ කළා. බැනු නදීර් ගෝත්‍රය එයට අවනත වුනා. ඒත් මුහම්මද් තුමාගේ මදීනාවේ සිටි එදිරිවාදියා වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි රහසින් බැනු නදීර් ගෝත්‍රයේ නායකයන් හමුවී ඔවුන් මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කරන්නේ නම් සහය ලබා දීමට පොරොන්දු වුනා. ඒ අනුව බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් පිට වීම ප්‍රතික්‍ෂේප කර තමාගේ බලකොටු තුලට වැදී ආරක්‍ෂක සටනකට සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රදේශය පිහිටා තිබුනේ මදීනා නගරයට තරමක් ඈතින්. ඔවුන් ගේ බලකොටු සහ නිවෙස් ගොවිබිම් වලින් වටවී තිබුනා. මේ ගොවිබිම් ඝන රටඉඳි ගස් ආවරණයකින් වැසී තිබුනා. මේ නිසා ඔවුන්ට ආරක්‍ෂිත සටනක් කිරීමට සුදුසු වටපිටාවක් තිබුනා.

අලී ඉබ්න් අබු තාලිබ් ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් හමුදාව බැනු නදීර් ගෝත්‍රයට අයත් ප්‍රදේශය සම්පූර්නයෙන්ම වට කරත්, ඔවුන්ට එය ඇතුළට කඩා වදින්න හැකි වුනේ නෑ. යුදෙව්වෝ තම බලකොටු වල සිට ඊතල සහ ගල් වලින් ඔවුන්ට පහර දුන්නා. ඒත් පොරොන් දු වූ පරිදු ඉබ්න් උබෙයි තම සහය ලබා දුන්නේ නෑ. මේ නිසා වැටලීම බිඳ දමන්න යුදෙව්වන්ට නොහැකි වුනා.

මුස්ලිම් වරු බැනු නදීර් ගෝත්‍රයට පහර දීම​

දින පහළොවකට පසු ආහාර අවසන් වීම නිසා යුදෙව්වෝ යටත් වුනා. ඔවුන් සියල්ලන්ටම මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා. මදීනාවෙන් පිටවුනු ඔවුන් මදීනාවට උතුරින් පිහිටි කයිබාර් හි පදිංචි වුනා. ඒ අනුව මදීනාවේ යුදෙව් ගෝත්‍ර තුනෙන් දෙවැනි ගෝත්‍රයටත් මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා.


අබු සුෆියාන් සේනා රැස් කිරීම​


ක්‍රි.ව. 625 සහ 626 අවුරුදු දෙකම අබු සුෆියාන් ගත කළේ විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීමට​. බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් එලවා දැමීම ඔහුට විශාල වාසියක් වුනා. ඔහු පහසුවෙන්ම ඔවුන් සමඟ සන්ධානයකට එලැඹුනා.

බැනු නදීර් ගෝත්‍රය ඉතා උද්‍යෝගයෙන් අබු සුෆියාන් ට සහය දුන්නා. තමාගේ වසරක අස්වැන්නෙන් බාගයක් ලබා දීමේ පොරොන්දුව මත මදීනාවට උතුරෙන් වාසය කළ ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයේ සහය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ඊට අමතරව බැනු අසාද්, බැනු සුලායිම්, බැනු මුරා සහ බැනු ෂුජා වැනි ගෝත්‍ර ගණනාවක් අබු සුෆියාන් සමඟ මදීනාවට එරෙහිව යුධ වැදීමට කැමැත්ත පළ කළා.

ක්‍රි.ව​. 625 ඔක්තෝබර් මාසයේදී අබු සුෆියාන් පාබල සෙබළු 2000 සහ අසරුවන් 50 කගෙන් සමන්විත හමුදාවක් රැගෙන කාන්තාරය හරහා යද්දී බදර් වෙත පැමිණියා. ඔවුන් බදර් හි රැඳී සිටින බව ආරංචි වුනු මුහම්මද් තුමා ඔවුන්ට පහර දෙන්න තීරණය කළා. ඒ අනුව ඔහු සෙබළු 1500 ක හමුදාවක් සමඟ බදර් වෙත ආවා. ඔහු බලාපොරොත්තු වුනේ මක්කා හමුදාව පරාජය කිරීමෙන් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීම​.

නමුත් තමාට සම්පූර්ණයෙන්ම වාසි දායක නොවන අවස්ථාවක යුධ වැදීම අබු සුෆියාන් ප්‍රතික්‍ෂේප කළා. ඔහු මුස්ලිම් වරු බදර් වෙත පැමිණෙන්න පෙර එතැනින් ඉවත්ව තම හමුදාව මක්කාව කරා රැගෙන ගියා.

ක්‍රි.ව. 626 අවුරුද්ද පුරාම මුහම්මද් තුමා අබු සුෆියාන් සමඟ එක් වුනු ගෝත්‍ර වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න උත්සහ කළා. ඒත් මේ ප්‍රහාර එකකින්වත් සාර්ථක ප්‍රතිඵල ලැබුනේ නෑ. බොහෝ විට ඔවුන් මුස්ලිම් හමුදාව පැමිණීමට පෙර පළා ගියා. මේ නිසා තමා බලාපොරොත්තු වුනු යුධ ජය මුහම්මද් තුමාට ලබා ගන්න බැරි වුනා.

ක්‍රි.ව​. 627 ජනවාරි මාසය වෙද්දී විශාල හමුදාවක් රැස් කරන්න අබු සුෆියාන්ට හැකි වුනා. මේ හමුදාව සමන්විත වුනේ මක්කා නගරයෙන් පාබල සෙබළු 4000 සහ අසරු සෙබළු 300, බැනු ගතෆාන් ගෝත්‍රයෙන් පාබල සෙබළු 2000 සහ අසරු සෙබළු 300, බැනු සුලයිම් ගෝත්‍රයෙන් සෙබළු 700, බැනු මුරා ගෝත්‍රයෙන් සෙබළු 400 සහ බැනු ෂුජා ගෝත්‍රයෙන් සෙබළු 700 සහ තවත් ගෝත්‍ර ගණනාවකින්. මේ දැවැන්ත හමුදාවේ සම්පූර්ණ ශක්තිය 10,000 පමණ වුනා.

මෙ හමුදාවට අබු සුෆියාන් එක් කර ගත්තා එවකට මුළු මහත් අරාබියේම සිටි විශිෂ්ඨම රණ ශූරයාව​. ඒ "ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද්". ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් කියන්නේ නම ඇහුවත් ප්‍රතිවාදීන්ව භීතියෙන් සලිත කරන්න සමත් අයෙක්. ඔහුගේ ශක්තිය​, නිර්භීත කම​, අසුන් එළවීමේ හැකියාව සහ කඩු හරඹ හැකියාව ගැන අරාබියේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තිබුනා. සියළුම ගෝත්‍ර අතර ඔහු බියජනක නමක් දිනාගෙන හිටියා.

අබු සුෆියාන් මේ විශාල හමුදාව මදීනාව කරා මෙහයවූවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව කරා එන බව ආරංචි වුනු මුස්ලිම් වරු දැඩි ලෙස කැලඹුනා.10,000 ක සතුරු හමුදාවකට මුහුණ දෙන්න අවශ්‍යය පිරිස් බලය හෝ යුධ ශක්තිය ඔවුන්ට තිබුනේ නෑ. නියත පරාජයක් අභිමුවේ තමා ඉන්නා බව ඔවුන්ට වැටහුනා.

මේ මොහොතේදී මුස්ලිම් වරුන් ගේ ගැලවීමට ආවේ මදීනාවේ වාසය කළ සල්මන් නම් පුද්ගලයා. සල්මන් පර්සියානු ජාතිකයෙක්. මේ නිසා ඔහු හැඳින්වුනේ සල්මාන් අල්-ෆාර්සි නමින්. ඔහුගේ නියම නම රූස්බේ කොෂ්නුදන්. වයස දහසයේදී නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයන් පිරිසක් සමඟ සංවාදයක් කිරීම නිසා ඒක දේවවාදය පිළිබඳ කුතුහලයක් ඇතිවුනු සල්මාන් නිවසෙන් පිට වී මැද පෙරදිග පුරා ඇවිදින්න පටන් ගත්තා. සිරියාවේදී ඔහුව අල්ලාගෙන වහලෙක් ලෙස මදීනාවේ යුදෙව්වෙකුට විකුණා දමනු ලැබුවා. සල්මාන් මදීනාවට ආවේ එහෙමයි. මදීනාවේදී ඔහු ඉස්ලාමය වැළඳ ගත්තා. භක්තිමත් මුස්ලිම් වරයෙක් වූ සල්මාන් මුහම්මද් තුමාට සහ අලීට දැඩි පක්‍ෂපාතීත්වයක් දැක්වුවා.

පර්සියානු ජාතිකයෙක් වූ සල්මාන් අරාබීන්ට නුහුරු වූ යුධ උපක්‍රම ගැන අවබෝධයක් තිබුනු අයෙක්. මක්කා හමුදාව නැවතීම සඳහා යුධ අගලක් කැණීම සුදුසු බව ඔහු මුහම්මද් තුමාට යෝජනා කළා.

මදීනාවට ගිනිකොණ දෙසින් පිහිටා තිබුනු ගිනිකඳු වලින් ගලාගිය ලාවා ප්‍රවාහයන් නිසා මදීනාවේ නැගෙනහිර සහ දකුණු පැති ආරක්‍ෂා වී තිබුණා. මේ ලාවා ප්‍රවාහ වලින් නිර්මානය වී තිබුණු උස් කඳු තරණය කිරීම ඉතාමත් දුෂ්කරයි. මදීනාවට බටහිරින් පිහිටා තිබුනේ තවත් විශාල කඳු වැටියක්. මේ නිසා මදීනාවට පිවිසිය හැකි එකම මග තිබුනේ උතුරින්.

ඒ වසර මදීනාවේ නියඟයක් පැවති වසරක්. මේ නිසා ගොවිතැන් දකුණු සහ බටහිර පැත්තෙන් ඇති කඳු වැටි අතරින් පටු කපොල්ලක් වැටී තිබුනා. මේ කපොල්ල හරහා හමුදාවකට නගරයට ඇතුළුවිය හැකි වුනත්, ඒ මාර්ගය දුෂ්කර,  ඝනව වැඩුනු රට ඉඳි වගාවන් අතරින් වැටී තිබුනු එකක්. මේ නිසා කපොල්ල ඔස්සේ මක්කා හමුදාව පහර දීමට ඉදිරිපත් නිවනු ඇතැයි ඔවුන් තීරණය කලා. යම් හෙයකින් කපොල්ල හරහා පහර දීමට ඔවුන් ඉදිරිපත් වුවොත්, එය ආරක්‍ෂා කිරීමේ වගකීම මේ වන විට මදීනාවේ ඉතිරිව සිටි එකම යුදෙව් ගෝත්‍රය වූ බැනු කුරෙයිසා ගෝත්‍රයට පැවරුනා. මුස්ලිම් වරු උතුරු දිග ආරක්‍ෂාව භාර ගත්තා.

මුස්ලිම් වරු මදීනාවේ උතුරින් අගලක් කණින්න පටන් ගත්තා. මේ අගල අසෙකුට තරණය කළ නොහැකි තරම් ගැඹුරු විය යුතු අතර​, අසෙකුට ඉහළින් පැනිය නොහැකි තරම් පළල් විය යුතු වුනා. අගල කැනීමට ඔවුනට තිබුනේ දින හතක් පමණයි. මේ නිසා දිවා රෑ නොබලා අගල කැපීමේ නිරත වෙන්න ඔවුන්ට සිදු වුනා.

ඒ අවුරුද්ද මදීනාවේ නියඟයක් පැවතුනු අවුරුද්දක්. මේ නිසා මදීනාවේ දැඩි ආහාර හිඟයක් පැවතුනා. ආක්‍රමනිකයන්ට ආහාර ලබා ගැනීම වැලැක්වීම සඳහා මදීනාව අවට තිබුනු ගොවිබිම් සියල්ලේම අස්වැන්න කපා ගැනීමට මුහම්මද් තුමා නියෝග කළා. අස්වැන්න හරිහැටි පීදී නොතිබුණු නිසා මෙයින් ආහාර හිඟය තවත් දරුණු වුනා.

දිවා රෑ නොබලා අගල කැණීම නිසා මක්කා හමුදාව මදීනාවට පැමිණීමට පෙර අගල අවසන් කරන්න ඔවුන්ට හැකි වුනා.

මුහම්මද් තුමා තමාගේ කූඩාරම අගලට නුදුරින් ඇති සලා නම් කුඩා කඳු ගැටයක් මත පිහිටුවා ගත්තා. මේ කඳු ගැටයේ සිට ඔහුට සම්පූර්න යුධ පිටියම නිරීක්‍ෂනය කරන්න පුළුවන්. අගල දිගටම 3000 කින් සමන්විත වුනු මුස්ලිම් හමුදාව ස්ථානගත කෙරුනා. අගල කැපීමේදී ඉවත දැමූ පස් අගලේ මෙපිට ඉවුර දිගට ගොඩ ගසා තිබුනු අතර​, ඒ පස් ගොඩැලි වලට මුවාවී හුන් දුනුවායන් මක්කා හමුදාව අගල අසලට ආවොත් ඔවුන්ට ඊ ප්‍රහාර එල්ල කරන්න සූදනමින් සිටියා.

මදීනාව​

සටන ඇරඹීම​


ක්‍රි.ව​. 627 ජනවාරි මාසයේ මුල සතියේදී අබු සුෆියාන් තමාගේ දැවැන්ත හමුදාව සමඟ මදීනාවට පැමිණියා. බලාපොරොත්තු නොවූ ආකාරයට තමා ඉදිරියේ තිබූ යුධ අගල දුටු ඔවුනු වික්‍ෂිප්ත වුනා. එකවර නගරයට පහර නොදුන් ඔවුන් නගරයට උතුරින් කඳවුරු ලා ගත්තා. අබු සුෆියාන් තමාගේ කූඩාරම පිහිටුවා ගත්තේ උහුද් කන්ද අසල​.

අගල තරණය කිරීමට කිහිප වරක්ම උත්සහ කළත්, ඒ උත්සහයන් අසාර්ථක වුනේ අගල ගැඹුරට සහ පළලට කපා තිබුනු නිසා. මේ නිසා මක්කා හමුදාවට හැකි වුනේ අගල අසලට පැමිණ ඊතල ප්‍රහාර එල්ල කිරීමටත්, මුස්ලිම් වරුන්ට අපහාසාත්මක කවි කීමටත් පමණයි. මුස්ලිම් වරු අගල පසුපස සැඟවී ප්‍රති ප්‍රහාර එල්ල කළා. කිසිවෙකුටවත් බරපතල හානියක් වුනේ නෑ.

අබු සුෆියාන් තීරණය කලේ කෙලින්ම පහර නොදී නගරය වටලා සිටීමටයි. ආහාර අවසන් වුනු පසු මුස්ලිම් වරුන්ට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති වනු ඇති බව ඔහු නිගමනය කළා. ඒ අතර ඔහු මදීනාව තුල සිටි යුදෙව්වන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමත උත්සහ කළා.


බැනු කුරෙයිසා


මදීනාව තුල සිටි එකම යුදෙව් ගෝත්‍රය වුනේ බැනු කුරෙයිසා. දකුණින් ඇති පටු කපොල්ල ඔස්සේ මක්කා හමුදාව ප්‍රහාරයක් එල්ල කළොත් එය මැඩ පැවැත්වීම ඔවුන්ට බාර වී තිබුනා.

අබු සුෆියාන් ගේ ඉල්ලීම අනුව බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානී හුයායි ඉබ්න් අක්තාබ් රහසේම දකුණු දෙසින් මදීනාවට ඇතුල් වුනා. ඔහු බැනු කුරෙයිසා ප්‍රධානීන් හමුවීමට උත්සහ කළත්, ඔවුන් ඊට ඉඩ දුන්නේ නෑ. තමන් මුහම්මද් තුමා සමඟ ගිවිසුමකට එලැඹී ඇති බවත්, එය ආරක්‍ෂා කරන බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියා.

නමුත් හුයායි ඉබ්න් අක්තාබ් උත්සහය අතහැරියේ නෑ. ඔහු බැනු කුරෙයිසා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් අසල තිබූ කඳු ගැටයකට ගෙනගොස් මදීනාව අවට තිබුනු මක්කා හමුදාවේ කඳවුරු ඔවුන්ට පෙන්වූවා. පෙනෙන තෙක් මානය පුරා පැතිරී තිබූ කූඩාරම් දුටු බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ ධෛර්‍යය සිඳී ගියා. මක්කා හමුදාව නියත වශයෙන්ම ජය ගනු ඇති බවත්, මුහම්මද් තුමා සමඟ එක්ව සිටියොත් තමන්ට නියත විනාශයක් අත්වන බවත් ඔවුන්ට වැටහී ගියා.

ඔවුන් තමාගේ ප්‍රධානීන් හමුවී තමා දුටු දේ පැවසූ විට බැනු කුරෙයිසා ප්‍රධානීන් මක්කා හමුදාවට සහය දීම ප්‍රඥා ගෝචර බව තීරණය කළා.

මුහම්මද් තුමාට ඔත්තු කරුවන් මාර්ගයෙන් මේ බව දැනගන්නට ලැබුනා. ඔහු මේ ආරංචියෙන් දැඩි ලෙස කලබලයට පත් වුනා. දෙපැත්තකින් පහර එල්ල වුවහොත් මුස්ලිම් වරුන්ට අත් වෙන්නේ නියත විනාශයක්. ඔහු රහසේම කුඩා කණ්ඩායමක් බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත පිටත් කර හැරියේ ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත්ත තතු දැන ගැනීමට​. මේ කණ්ඩායම සමන්විත වුනේ මදීනා මුස්ලිම් ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍රයන් ගේ ප්‍රධානීන් ගෙන්.

බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත ගිය ඔවුන්ට දැක ගන්නට ලැබුනේ යුදෙව්වන් ආයුධ සහ සන්නාහ සූදානම් කරන අයුරු සහ සටන් අභ්‍යාස වල නිරත වෙන අයුරු. ඔවුන් වහාම මුහම්මද් තුමාට ඒ බව දැන්වූවා. මුහම්මද් තුමා අගල රැකීමේ යෙදී සිටි සෙබළු 300 ක් නගරය රැකීම සඳහා පිටත් කර හැරියා.

යුදෙව්වන් මුස්ලිම් වරුන් ගේ ශක්තිය මැන බැලීම සඳහා රාත්‍රියේ දී රහසින් නගරයට ඇතුල් වී සුළු ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ එක් ප්‍රහාරයකදී සෆියා නම් මුස්ලිම් කාන්තාවක් පිරිමියෙක් මෙන් හිසේ ජටාවක් බැඳ නිවසින් එළියට ගොස් නගරයේ සැරි සරමින් උන් යුදෙව්වෙක්ට පොල්ලකින් පහර දී ඔහු මරා දැම්මා. මේ නිසා යුදෙව්වන් තීරණය කළේ මුස්ලිම් සෙබළු විශාල ප්‍රමානයක් නගරයේ සිටින බව​. මේ නිසා ඔවුන් කෙලින්ම නගරයට පහර දීමට මැලි වුනා.

මේ අතර යුදෙව්වන් නගරයට පහර දී තමාගේ කාන්තාවන් සහ ළමුන් මරා දමනු ඇතැයි අගල ආරක්‍ෂා කරමින් උන් සමහර මුස්ලිම් සෙබළු බිය වුනා. ඔවුන් මුහම්මද් තුමාගෙන් තමාගේ නිවෙස් ආරක්‍ෂා කිරීම සඳහා නගරයට යාමට අවසර ඉල්ලුවා. මේ අතර ආහාර හිඟය දරුණුවටම දැනෙමින් තිබුනා. මුස්ලිම් වරුන් ගේ තත්වය තිබුනේ ඉතාම අවදානම් තැනක​.

කුරානය මේ තත්වය විස්තර කරන්නේ මේ විදිහට​:

"ඔවුන් ගේ ඇස් බියෙන් අඳුරු වුනා. ඔවුන් ගේ හදවත බියෙන් සැලී ඔවුන් ගේ උගුර වෙත පැමිණියා. ඔවුන් ගේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය පළුදු වීමට පටන් ගත්තා."


ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් ගේ ප්‍රහාරය​


මේ අතර මක්කා හමුදාව් සිටි බෙදුවියන් වරු නොසන්සුන් වෙමින් සිටියා. ඔවුන් පුරුදුව සිටියේ කෙටි ප්‍රහාර එල්ල කිරීමට මිස මෙවැනි දීර්ඝ වැටලීම් වලට නෙවෙයි. ඔවුන් සටනට එක්ව සිටියේ සටන අවසානයේ ධනය පැහැර ගැනීම සඳහා. සති කීපයක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබ කඳවුරු ලාගෙන සිටීමට සිදු වීම ඔවුන් නොසතුටට පත් කළා.

මේ නිසා ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මදීනාව ඇතුලට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කලා. විශිෂ්ඨ රණශූරයෙක් වූ ඔහුට මෙය තමාගේ සංග්‍රාමික කුසලතාවය පෙන්වන්න කදිම අවස්ථාවක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අසරු සෙබළු කීප දෙනෙක් සමඟ යුධ අගල තරණය කරන්න තීරණය කළා. අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් ඔහුට එකතු වුනා. මේ අසරුවන් කීප දෙනා යුධ අගල හොඳින් නිරීක්‍ෂනය කර ආරක්‍ෂාව අඩු තැනකින් නගරය තුලට කඩා වැදුනා. ඔවුන් මුහම්මද් තුමාගේ කූඩාරම පිහිටා තිබූ සලා කඳු ගැටය අසල පිහිටි වගුරු බිමක් වෙත පැමිණියා.

මුස්ලිම් සෙබළු වගුර වට කරගත්තත්, ඔවුන්ට පහර දෙන්න ඉදිරිපත් වුනේ නෑ. ඔවුන් ආමර් ට බිය වුනා. ආමර් සමඟ සටනට යාම නියත මරණය ගෙන දෙන්නක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මුස්ලිම් හමුදාව ඉදිරියට ආවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මම සමඟ සටන් කිරීමට මම නුඹලාට අභියෝග කරනවා"

සුපුරුදු පරිදි අලී ඉබ්න් අබු තාලිබ් තම අසිපතත් රැගෙන ඉදිරියට යාමට උත්සහ කළා. නමුත් මුහම්මද් තුමා ඔහු වැළැක්වුවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මාත් එක්ක සටන් කරන්න තරම් නිර්භීත කෙනෙක් නුඹලාගේ මුළු හමුදාවේම නැද්ද​?"

අලී නැවතත් ඉදිරියට යාමට උත්සහ කළා. ඒත් මුහම්මද් තුමා නැවතත් ඔහු වැළැක්වුවා.

"ඔබ මා වළක්වන්නේ ඇයි?"

අලී මුහම්මද් තුමාගෙන් විමසා සිටියා.

"මට ඕනේ වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න​. කිසිවෙකුටවත් පස්සෙ දවසක් මම එදා ආමර් සමඟ සටන් කරන්න ඉදිරිපත් වෙන්න ගියා, නමුත් අලී මට ඉස්සර වුනා කියන්න ඉඩක් නොතියන්න ඕනේ."

අලී නැවතත් හිඳ ගත්තා.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් තුන්වන වරටත් තම අභියෝගය ඉදිරිපත් කළා.

"මුහම්මද් ගේ සෙබළුනී, නුඹලා බය වෙන්නේ ඇයි? මුහම්මද් නුඹලාට කියන දේ ඇත්තක් නම්, නුඹලා මම අතින් මිය ගියොත් නුඹලා පාරාදීසයට යනවා. මම නුඹලා අතින් මිය ගියත් නුඹලා පාරාදීසයට යනවා. ඉතින් නුඹලා බය වෙන්නේ ඇයි?"

අලී නැවතත් ඉදිරියට ගියා. මෙවර මුහම්මද් තුමා ඔහු වැළැක්වුයේ නෑ.

අලී සහ ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අතර සටන​
27 හැවිරිදි තරුණ අලී මුළු මහත් අරාබියේම විශිෂ්ඨතම රණ ශූරයා ඉදිරියට ගියා.

"ආමර්, පිළිම වන්දනාව අතහරින්න​. එයින් ඔබට යහපතක් වෙන්නේ නෑ. අල්ලාහ් ගේ මාර්ගයට එන්න."

ආමර් ඒ ඉල්ලීම අවඥාවෙන් බැහැර කළා.

"ආමර්, ඔබට ඉස්ලාමය වැළඳගන්න බැරිනම්, නිදහස් මිනිහෙක් වෙන්න​. අපි එක්ක සටන් කරන්න එපා. නැවත ඔබේ ගෙදර යන්න​."

ආමර් ඒ ඉල්ලීමත් බැහැර කළා. ඔහු කවදාවත් සටනකින් හිස් අතින් ආපහු හැරිලා ගිහින් නෑ.

අලී තමාගේ අසිපත ඇද ගත්තා.

"ආමර්, එහෙනම් මම අල්ලාහ් ගේ නාමයෙන් ඔබ එක්ක සටන් කරනවා"

තරුණයා ගේ නිර්භීත කම ආමර් පුදුමයට පත් කළා. මින් පෙර කිසි දාක ඔහු ඉදිරියේදී සතුරෙක් මෙතරම් නිර්භීත වෙලා නෑ.

"තරුණයා නුඹ ඉතාම නිර්භීතයි. නුඹේ නම මොකද්ද​?"

"මම අලී, අබු තාලිබ් ගේ පුතා"

ආමර් පසුතැවිල්ලෙන් හිස වැනුවා.

"එහෙනම් මට නුඹත් එක්ක සටන් කරන්න බෑ. නුඹේ පියා අබු තාලිබ් මගේ හොඳ මිත්‍රයෙක්."

"ඒත් මම නුඹත් එක්ක සටන් කරනවා. නුඹ අල්ලාහ් ගේ සතුරෙක්"

ආමර් තමාගේ අසිපත ඇදගෙන සටනට එලැඹුනා. අලී ගේ නිර්භීත කම සහ ඔහු තමාගේ කීර්තිය නොසැලකීම ගැන ඔහු තුළ ඇති වුනේ දැඩි කෝපයක්.

මුස්ලිම් හමුදාව සහ මක්කා අසරු සෙබළුන් ඇසිපිය නොහෙලා සටන දෙස බලාගෙන හිටියා. අලී සහ ආමර් ඉතාම දරුණු සටනක නියැලුනා. එකෙකුට එකෙක් දෙවැනි වුනේ නෑ. සටනින් ඉහළ නැගුනු දූවිල්ලෙන් හාත්පස වැසී ගියා.

ආමර් පිට පිට එල්ල කළ කඩු පහර වලින් අලී ගේ පලිහ බිඳී ගියා. අලී බිඳුනු පලිහ ඉවත දැම්මා. මෙවර ආමර් පහර දුන්නේ අලී ගේ හිසට​. හිස් මුදුණට එල්ල වුනු දරුණු කඩු පහරින් අලී ගේ හිස්වැසුම දෙපළුවී ගියා. ඔහුගේ හිසෙන් ලේ වෑහෙන්න පටන් ගත්තා. කැඩුනු හිස් වැසුම ඉවත දමා මුහුණෙන් ලේ පිස දැමූ අලී නැවත සටනට එලඹුනා.

මෙවර අලීගේ මාරාන්තික කඩු පහරක් ආමර් ගේ ගෙලට එල්ල වුනා. දරුණු තුවාල ලැබූ ආමර් බිම ඇද වැටුනා. සතුරාට අවසන් කඩු පහර එල්ල කිරීමට අලී ඔහුට ළං වුනා. ඒත් එක වරම ඔහු නැවත හැරී පියවර කීපයක් පසු පසට ගොස් මොහොතක් කල් මැරුවා. ඉන්පසු නැවත ආමර් වෙත ගොස් කඩු පහරක් එල්ල කර ඔහුව මරා දැම්මා. මුස්ලිම් වරු ජය ඝෝෂා කළා.

එවිට මක්කා අසරු සෙබලුන් දෙදෙනෙක් වුනු වුනු හුබයිරා ඉබ්න් අබු වහබ් සහ නව්ෆාල් ඉබ්න් අබ්ද් අල්ලාහ් අලී වෙත කඩා පැන්නේ තුවාල ලබා උන් අලී මරා දැමීමට​. අලී වහාම ආපසු හැරී හුබයිරා ට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් හුබයිරා ගේ කඩුව විසි වී ගිය අතර ඔහු ආපසු පළා ගියා. අලී ගේ සහයට පැමිණි සුබායිර් ඉබ්න් අව්වම්, නව්ෆාල් දෙකඩ වී යන ලෙස එක කඩු පහරක් එල්ල කළා.

"සුබයිර්, නුඹේ කඩුව වගේ කඩුවක් අපි කවදාවත් දැකලා නෑ"

මුස්ලිම් සෙබළු සුබයිර් ගේ කඩු පහර ගැන ඔහුට පැසසුවා.

"කඩුව නෙවෙයි, අත​"

සුබායිර් ප්‍රීතියෙන් ඉඟි මරමින් කියා සිටියා.

අනෙකුත් මක්කා අසරුවන් නැවත තමාගේ කඳවුර වෙත පළා ගියා. මුස්ලිම් සෙබළු ඔවුන් ලුහුබැඳීමට උත්සහ කළත්, අලී එය වැළැක්වුවා. පළා යන සතුරා මරා දැමීම ඔහුගේ සිරිත නෙවෙයි.

තුවාල වුනු අලී කූඩාරමක් වෙත ගෙන ගිය මුස්ලිම් සෙබළු ඔහුට සාත්තු කළා.

"අලී, නුඹ අවසාන කඩු පහර ආමර් ට එල්ල කරන්න කලින් ආපහු හැරිලා ගියේ ඇයි?"

එක් අයෙක් අලීගෙන් විමසා සිටියා.

"මම ඔහුට අවසාන කඩු පහර එල්ල කරන්න යද්දී ඔහු මට කෙළ ගැසුවා. එතකොට මගේ හිතේ ඔහු ගැන කෝපයක් ඇති වුනා. මම එවෙලේ ඔහු මරා දැම්මා නම් මම ඔහුව මරන්නේ මගේ කෝපය නිසා. ඒ නිසා මම ආපහු පස්සට ගිහින් මගේ කෝපය පහ වෙන තුරු හිටියා. ඊට පස්සේ මම ඔහුට අවසන් කඩු පහර දුන්නා. ඒ ඔහු ගැන කෝපයෙන් නෙවෙයි, අල්ලාහ් හට කරන සේවයක් විදිහට​."


සන්ධානය බිඳ වැටීම​


පහුවදා මක්කා හමුදාව ආමර් ගේ මරණයට පළිගැනීමක් විදිහට අවට කඳු වලට නැගලා මදීනාවේ කොටු වී උන්නු මුස්ලිම් වරුන්ට දවස පුරාම ඊ ප්‍රහාර එල්ල කළා. මුස්ලිම් වරුන්ට එළියට බහින්න අවසරයක් ලැබුනේ නෑ. ඔවුන් දවසම ගත කලේ ආවරණ තුලට වෙලා.

මේ අතර මදීනාව ඇතුළත ආහාර ප්‍රශ්නය එන්න එන්නම දරුණු වුනා. තව දුරටත් අල්ලා ගෙන සිටීම අපහසු වෙන තැනට ආවා.

මුහම්මද් තුමා සතුරු හමුදාව ඇතුළත බිඳීම් ඇති කරන්න කටයුතු කළා. ඔහු මේ සඳහා යොදා ගත්තේ බැනු ගතෆාන් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු නුආයිම් ඉබ්න් මසූද්.

මුලින්ම මුහම්මද් තුමා උත්සහ කළේ මදීනාවේ වාර්‍ෂික අස්වැන්නෙන් කොටසක් ලබා දීම මගින් බැනු ගතෆාන් ගෝත්‍රය සන්ධානයෙන් ඉවත් කරගැනීමට​. අස්වැන්නෙන් තුනෙන් එකක් ලබා දීමේ පොරොන්දුව මත සටනෙන් ඉවත් වීමට බැනු ගතෆාන් ගෝත්‍රය එකඟ වුනා. නමුත් දැනටමත් හාමතේ උන්නු මදීනා වැසියන් ඊට එකඟ වුනේ නෑ. සාකච්ඡා අසාර්ථක වුනත් තමාට ඉඩක් පෑදීගෙන එන බව මුහම්මද් තුමාට වැටහුනා.

ඊළඟට ඔහු උත්සහ කළේ සන්ධානයේ සිටි විවිධ ගෝත්‍ර එකිනෙකා කෙරෙහි බිඳවීමට​. ඒ අනුව නුආයිම් ඉබ්න් මසූද් රහසේම බැනු කුරෙයිසා යුදෙව්වන් හමුවී ඔවුන්ට කියා සිටියේ අබු සුෆියාන් ඇතුළු මක්කා හමුදාව සටන අතහැර ඉවත් වුවහොත් මුස්ලිම් වරුන් ගේ දරුණු පළිගැනීමකට ලක් වීමට ඔවුන්ට සිදු වෙන බවයි. මේ නිසා සටන අතහැර නොයන බවට සහතිකයක් වශයෙන් මක්කා හමුදාවේ ප්‍රධානීන් කීප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තමාට ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන්න ඔහු බැනු කුරෙයිසා යුදෙව්වන්ට උපදෙස් දුන්නා.

ඊට පසු නුඅයිමා ඉබ්න් මසූද් ගියේ අබු සුෆියාන් හමුවට​. යුදෙව්වන් රහසින් මුහම්මද් තුමා සමඟ එකඟතාවයකට එලැඹී ඇති බවත්, මක්කා හමුදාවේ ප්‍රධානීන් කීපදෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලා පසුව ඔවුන් මුස්ලිම් වරුන්ට පාවා දීමට ඔවුන් සැලසුම් කරන බවත් නුඅයිමා අබු සුෆියාන්ට දන්වා සිටියා. මේ එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස බැනු නදීර් යුදෙව්වන්ට නැවත මදීනාවේ පදිංචි වීමට ඉඩ දීමට මුහම්මද් තුමා එකඟ වුනු බවත් ඔහු අබු සුෆියාන්ට කිව්වා.

නුඅයිමා බලාපොරොත්තු වූ ලෙසටම බැනු කුරෙයිසා යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ඉල්ලා අබු සුෆියාන්ට පණිවුඩයක් එව්වා. නුඅයිමා තමාට කළ අනතුරු හැඟවීම ඇත්ත බව සැක කරන්න අබු සුෆියාන්ට හේතුවක් තිබුනේ නෑ. ඔහු කෝපයෙන් දිලිහුනා. ඔහු වහාම බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු හුයායි ඉබ්න් අක්තාබ් තමා වෙත කැඳවා "කුමන්ත්‍රණය​" පිළිබඳ ඔහුගෙන් විමසා සිටියා.

හුයායි ඉබ්න් අක්තාබ් විශ්මයට පත් වුනා. අබු සුෆියාන් ඔහු ද්‍රෝහියෙක් බවට චෝදනා කළා. තමාගේ ජීවිතය අනතුරේ බව දුටු හුයායි එදා රෑ රහසේම තම සෙබළුන් සමඟ සටන් බිමෙන් පළා ගියා.

බැනු නදීර් ගෝත්‍රය පළාගිය බව දැනගත් බෙදුවියන් ගෝත්‍ර වල උනන්දුව පහ වී ගියා. මේ වන විට මාසයක් පමණ ඔවුන් කඳවුරු ලාගෙන සිටියත් කිසිම වාසියක් ඔවුනට ලැබුනේ නෑ. මදීනාව අවට කාලගුනය ඉතාමත් ශීතාධික වුනා. රාත්‍රියේ හැමූ තද සුළං වලින් ඔවුන් ගේ ගිනිමැල නිවී ගිය අතර කූඩාරම් ගසාගෙන ගියා. දැඩි ශීතලෙන් ඔවුන් අධික පීඩා වින්දා. මේ නිසා ඔවුන් එකිනෙකා සටන අතහැර නැවත ගමරට බලා යාමට තීරණය කළා.

පසුවදා උදෑසන වන විට සටන් බිමේ සිටියේ මක්කා වරු පමණයි. සටන පවත්වාගෙන යාමට තරම් හමුදාවක් ඉතිරිව නොසිටි නිසා සටන අතහැර නැවත මක්කාවට යාම හැර වෙනත් විකල්පයක් අබු සුෆියාන්ට තිබුනේ නෑ.

සටන මාසයක් පමණ කල් ඇදුනත්, සටනින් මිය ගියේ මුස්ලිම් වරු හත් දෙනෙක් සහ සතුරු සෙබළු හතර දෙනෙක් පමණයි.

නමුත් අබු සුෆියාන් සහ මක්කාවේ කීර්තියට එල්ල වුනේ දරා ගන්න බැරි තරම් දරුණු පහරක්.

5 comments:

  1. බ්ලොග් එල ෆොලෝ කරන ගැජට් එක දාන්න පුලුවන්ද... ඔයාගෙ මේ ආටිකල් නිතර මිස් වෙනවා...

    ReplyDelete
  2. මේ ලිපි කියවනකොට මුස්ලිම් නොවන අය හිතන්න පුළුවන්
    මුහම්මද් මදීනා යුදෙව්වන්ට කලදේම අනාගතේ ලංකාවේ මුස්ලිම් අය අපිටත් කරයි කියලා.

    ඒ නිසා එහෙම වැරදි අවබෝධ ඇති නොවන විදියට ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම ලියන්නේ සිද්ධ වුනු දේ. තේරුම් ගැනීම පාඨකයා සතුයි.

      Delete