Sunday, June 25, 2017

ජපන්නු බොන හැටි

ජපන් සංස්කෘතියේ මත්පැන් පානය කරන එක අපේ සංස්කෘතියෙ මත්පැන් පානය කරන විදිහෙන් පොඩ්ඩක් වෙනස්. අපේ බොන පාටියක බොහෝ විට මේන් අයිටම් එක බොන එක වුනාට​, ජපානයේ බොන පාටියක බොන එක එක අංගයක් පමණයි.

උදාහරණයකට බොහෝ විට රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට ගියොත් (ඩිනර් අවුට් එකක්), ඒ එක්ක මත්පැන් පානය අනිවාර්‍යයෙන්ම තියෙනවා. හැබැයි ඒක අපේ "සෙට් වීමකට" වඩා වෙනස්. එතැන මුල් තැන ලැබෙන්නෙ කෑමට​.

ඒ වගේම ජපානයේ බොහෝ දෙනා මත්පැන් පානය කරනවා. කාන්තාවනුත් ඇතුළුව​. බොහෝ දෙනා අඩු තරමෙන් සංකේතාත්මකව හෝ පොඩ්ඩක් බොනව​. බොන්නෙම නැති කෙනෙක් ඉන්නෙ ඉතා කලාතුරකින්.

මත්පැන් වර්ග​


1. සකෙ



ජපානයේ මත්පැන් කියපු ගමන් මතක් වෙන්නෙ සකෙ. සකෙ කියන්නෙ ජපානයට ආවේනික මත්පැන් වර්ගය​.

මේකෙ නමේ පොඩි අවුලක් තියෙනවා. ජපන් භාෂාවෙන් "සකෙ" නැත්තං "ෂු" කියන්නෙ "මත්පැන්" කියන අරුතෙන්. ඒ කියන්නෙ ඕනම මත්පැන් වර්ගයක් ජපන් භාෂාවෙන් කියන්නෙ සකෙ නැත්තං ෂු කියල​. අපි සාමාන්‍යයෙන් සකෙ කියල හඳුන්වන මත්පැන් වර්ගයේ නියම නම "නිහොංෂු" නැත්තං "ජපන් මත්පැන්". ඒත් එදිනෙදා ව්‍යවහාරයේදී සකෙ කිව්වොත් ඒකෙන් අදහස් කරන්නෙ නිහොංෂු.

සකෙ කියන්නෙ පාටක් හෝ රසක් නැති වතුර වගේ මත්පැන් වර්ගයක්. බොද්දි පොඩි සැරක් තියෙනවා. ඒත් ෂැන්ඩි කරන්න අවශ්‍යය නෑ. සකෙ වල සැර 15% විතර වෙනවා.

සකෙ බොන ක්‍රම දෙකක් තියෙනවා. උණුසුම් ව සහ ශීතල ව​. ඔබ සකෙ ඇණවුම් කරද්දි උණුසුම් සකෙ (හොත්තො සකෙ) ද ශීතල සකෙ (කෝල්දො සකෙ) ද කියල කියන්න ඕනෙ.

සකෙ පිළිගන්වන්නෙ "තොක්කුරි" කියල හඳුන්වන පොඩි පෝසිලේන් බෝතල් වල​. සකෙ බොන්නෙ "චොකො" කියල හඳුන්වන පොඩි පෝසිලේන් කෝප්ප වල​. ඒත් වෙළඳපොලේ සකෙ මිලදී ගන්න තියෙන්නෙ සාමාන්‍යය වීදුරු බෝතල් වල දාල​.

තොක්කුරි සහ චොකො
සකෙ හදන්නෙ සකෙ පෙරීම සඳහාම පාවිච්චි කරන විශේෂ සහල් වර්ග කීපයකින්. ඒ සහල් කෑමට පාවිච්චි කරන්නෙ නෑ.

සාමාන්‍යයෙන් සකෙ බොන්නෙ කෑම වේලකුත් සමඟ​. විශේෂයෙන් සුෂි සහ සෂිමි (අමු මාළු) කෑමට තියෙද්දි සකෙ පාවිච්චි කරනවා.


විශේෂ අවස්ථා වලදි පාවිච්චි කරන සිහින් රන් පත්‍ර එක් කරපු "කිංපකු සකෙ" කියල හඳුන්වන සකෙ වර්ගයකුත් තියෙනවා.

2. බියර්



ජපන්නු බියර් හඳුන්වන්නෙ "බීරු" කියල​. බියර් වර්ග විශාල ප්‍රමානයක් ජපානයේ තියෙනවා. ජපන්නු අතර වැඩිපුරම පාවිච්චි වෙන මත්පැන් වර්ගය බියර්.

ජපානයේ බියර් විකුණන්න තියෙන්නෙ මිලි ලීටර 450 බෝතල් වල හෝ කෑන් වල. මිලි ලීටර් 750 බෝතලය පාවිච්චි වෙන්නෙ නෑ.

ජපානයේ බහුලවම තියෙන බියර් වර්ග හයක් තියෙනවා. ඒ අසහි, කිරින්, සප්පොරෝ, සන්තොරි, ඔරියොන් සහ යෙබිසු. ඊට අමතරව කාල්ස්බර්ග් වගේ ජනප්‍රිය විදේශීය බියර් වර්ගත් ඕනෙ තරම් තියෙනවා.


මේ බියර් බොහොමයක සැර 5%. විශේෂ වෙනස් කමක් නැතත්, ලංකාවෙ මිලදී ගන්න තියෙන බියර් වලට වඩා කොලිටියෙන් සෑහෙන ඉදිරියෙන් තියෙන්නෙ.

සැර සහ කොලිටිය අඩු ලාබ බියර් වර්ගයකුත් තියෙනවා. ඒවා හැඳින්වෙන්නෙ "හප්පොෂු" කියල​.

3. ෂෝචූ




ෂෝචූ කියන්නෙ ජපානයේ පෙරන සකෙ වලට වඩා සැර මත්පැන් වර්ග ගණනාවක් හඳුන්වන පොදු නමක්.

බොහොමයක් ෂෝචූ සකෙ වගේම පාටක් හෝ රසක් නැති දියරයක්. නමුත් සකෙ වලට වඩා සැර උගුර පිච්චෙන ගතියක් තියෙනවා.

සාමාන්‍යයෙන් ෂෝචූ වල සැර 25%. නමුත් දෙපාරක් හෝ තුන්පාරක් පෙරපු ෂෝචූ ඊට වඩා සැරයි. 35-40% විතර සැර ෂෝචූ ත් තියෙනවා.

ෂෝචූ ත් සකෙ වගේ ශීතලව හෝ උණුසුම්ව බොන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ෂෝචූ උණුසුම්ව බොන්නෙ නෑ. ෂෝචූ නීට් වගේම අයිස් එක්ක හෝ තේ, කොකාකෝලා, පළතුරු යුෂ වගේ බීමක් එක්ක කලවම් කරල බොන්න පුළුවන්.

ෂෝචූ පෙරන්න සහල්, බාර්ලි, බතල​, සීනි සහ බක්වීට් (සොබ​) පාවිච්චි කරනවා. පෙරන්න පාවිච්චි කරන ද්‍රව්‍යය අනුව ෂෝචූ වල රස​, සුවඳ, සැර සහ කොලිටිය වෙනස්.

4. අවමොරි



අවමොරි කියන්නෙ සහල් වලින් පෙරන මත්පැන් වර්ගයක්. මේ මත්පැන් තියෙන්නෙ ජපානයේ දකුණෙන්ම තියෙන ඔකිනව දූපතේ. අවමොරි පෙරන්න භාවිතා කරන සහල් වර්ගය ජපානයේ වෙනත් ප්‍රදේශ වල වැවෙන්නෙ නෑ. අවමොරි පෙරීම සඳහා ඔකිනව දූපතේ නිපදවන සහල් මදි වෙන නිසා ඒවා තායිලන්තයෙන් ආනයනය කරනවා.

අවමොරි ෂෝචූ වලට වඩා සැරයි. සාමාන්‍යයෙන් අවමොරි වල සැර 30-45% විතර වෙනවා. නමුත් 60% විතර සැර අවමොරිත් මිලදී ගන්න පුළුවන්.

අවමොරි පිළිගන්වන්න සාම්ප්‍රදායිකව පාවිච්චි කරන්නෙ මැටි කේතලයක් සහ මැටි කෝප්ප​. මේ මැටි කේතල හඳුන්වන්නෙ "කර​-කර​" කියල​. ඒවා ඇතුලෙ පොඩි මැටි කෑල්ලක් දාල තියෙනවා. කේතලය හිස් වෙද්දි මැටි කෑල්ලෙන් "කර කර​" ශබ්ධයක් එනවා.

කර​-කර
අවමොරි අවර්ණයි. ඒ වගේම ෂෝචූ සහ සකේ වලට වඩා සැරයි. උගුර දවාගෙන යන තියුණු රහකින් යුක්තයි. අවමොරි සාමාන්‍යයෙන් බොන්නෙ අයිස් හෝ වතුර සමඟ කලවම් කරල​. ඒත් නීට් බොන්නත් පුළුවන්.

"හබුසු" කියල හඳුන්වන විශේෂ අවමොරි වර්ගයක් තියෙනවා. ඒව හදන්නෙ අවමොරි බෝතලය ඇතුලට "හබු" කියල හඳුන්වන පොළඟෙක් දාල​. ඒ අවමොරි දුඹුරු පාටයි. ඒ වගේම ඉතාමත් සැරයි.




5. දොබුරොකු



දොබුරොකු කියන්නෙ සහල් වලින් පෙරන මත්පැන් වර්ගයක්. මේවා පෙනුමෙන් රා වගේ. රසයෙන් තරමක් ඇඹුල්-පැණි රසයෙන් යුක්තයි. සැරෙන් සකෙ වලට සමානයි.

දොබුරොකු මන්ඩි ගතියෙන් යුක්ත නිසා බොන්න කලින් බෝතලය සෙමින් සොලවන්න ඕනෙ. ඒ වගේම දොබුරොකු බොන්නෙ ශීතල කරලා.

6. අමසකෙ



අමසකෙ පෙනුමෙන් දොබුරොකු වලට සමානයි. නමුත් රසයෙන් ගොඩක් පැණි රසයි. අමසකෙ උණුසුම් කරල වගේම ශීත කරලත් බොන්න පුළුවන්. ඒ වගේම අමසකෙ වල මධ්‍යසාර ප්‍රතිශතය ඉතාමත් අඩු නිසා සාමාන්‍යයෙන් මත්පැන් නොබොන කෙනෙක්ට වුනත් බොන්න පුළුවන්.

7. උමෙෂු



"ප්ලම් වයින්" කියලත් හඳුන්වන උමෙෂු හදන්නෙ සකෙ හෝ ෂෝචූ වල ප්ලම් ගෙඩි බහා තැබීමෙන්. ඇඹුල්-පැණි රසයෙන් යුක්ත උමෙෂු විශේෂයෙන් කාන්තාවන් අතර ජනප්‍රියයි. උමෙෂු ගෙවල් වලම සකස් කරගෙන බොන්න පුළුවන් මත්පැන් වර්ගයක්.

8. විස්කි 



ජපානයේ නිෂ්පාදනය කරන විස්කි වගේම "ජැක් ඩැනියෙල්ස්" "ජොනී වෝකර්" වගේ ජනප්‍රිය විදේශීය විස්කි වර්ගත් ජපානයේ මිලදී ගන්න පුළුවන්.

ජපානයේ ප්‍රධානම විස්කි නිෂ්පාදකයන් දෙදෙනා සන්තොරි සහ නික්කා. ඔවුන් නිෂ්පාදනය කරන විස්කි වර්ග විශාල ප්‍රමානයක් ජපන් වෙළඳපොළේ තියෙනවා.

ජපන් විස්කි තත්වයෙන් උසස් වුනත්, ඔරිජිනල් ස්කොට්ලන්ත විස්කි තරම් කොලිටි නෑ.

විස්කි වල සාමාන්‍යය සැර 45% පමණ වෙනවා.

ඒ වගේම "හයිබෝල්" කියල හඳුන්වන විස්කි සහ සෝඩා මිශ්‍රකල කාබනීය කරනය කළ පානයකුත් වෙළඳපොලේ තියෙනවා. මේවායේ සැර 5-10% පමණ වෙනවා. විකුණන්න තියෙන්නෙ කෑන් වල​.

9. වයින්



ජපානයේ නිෂ්පාදනය කරන වයින් වගේම විදේශීය වයින් වර්ගත් වෙළඳපොලේ තියෙනවා. වයින් පානය ගොඩක් ජනප්‍රිය කාන්තාවන් අතර​.

මත්පැන් මිලදී ගැනීම​


ජපානයේ මත්පැන් විකුණන්න විශේෂ වෙළඳසැල් නෑ. සාමාන්‍යය සිල්ලර බඩු කඩේකින් ඔබට සකෙ හෝ බියර් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒත් විශේෂ මත්පැන් වර්ගයක් මිලදී ගන්න නම් මත්පැන් විතරක් විකුනන වෙළඳසැලක් හොයාගෙන යන්න වෙයි.

ඕනෑම අවන්හලක කෑමත් එක්ක මත්පැන් පිළිගන්වනවා. මත්පැන් කියන්නෙ සාමාන්‍යය ජපන් ආහාර වේලක අංගයක්.

මත්පැන් බීමේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත්


ජපානයේ මත්පැන් බොද්දි අනුගමනය කරන්න ඕනෙ සිරිත් විරිත් කීපයක් තියෙනවා. මේවා ජපන්නු තරමක් තදින් සලකනවා. විශේෂයෙන්ම පළවෙනි, දෙවෙනි වීදුරුව යද්දි. පස්සෙ කට්ටියටම පදමට වැදුනම සිරිත් විරිත් තරමක් ලිහිල් වෙනවා.

පළවෙනි ඕඩරය​


පළවෙනි ඕඩරය විදිහට සාමාන්‍යයෙන් හැමෝම බොන්නෙ බියර් හෝ සකෙ. ඒ වගේම පළවෙනි ඕඩරය ඉතා ඉක්මනින් කරන්න ඕනෙ. ඒ නිසා ඔබ අවන්හලට ඇතුල් වෙද්දිම පළවෙනියට බොන්නෙ බියර් ද සකේද කියල හිත හදාගෙන ඉන්න ඕනෙ. සියළුම දෙනා ඉඳගත් විගස වේටර් කෙනෙක් ඇවිත් සකෙ කීයද බියර් කීයද කියල අහගෙන යනවා. විනාඩියක් හෝ දෙකක් ඇතුළත බීම මේසෙ උඩ​.

ඒ වගේම හොඳ සිරිතක් තමයි පළවෙනි ඕඩරය විදිහට හැමෝම එකම දෙයක් ඇණවුම් කිරීම​. අනික් හැමෝම ඕඩර් කරන්නෙ බියර් නම්, ඔබ සකෙ බොන්න ආස වුනත් බියර් එකක්ම ඕඩර් කරන්න ඕනෙ. එහෙම නැත්තම් ඔබ විශේෂයෙන් කැපී පේනවා. ජපන් සංස්කෘතියේ හැමෝම එකම දෙයකට අනුගත වීම ඉතා ඉහළින් සලකන නිසා විශේෂයෙන් කැපී පේන එක නරක දෙයක්.

විශේෂයෙන් ඔෆිස් එකේ අයත් එක්ක කරන මත්පැන් පානයක් හෝ ඩිනර් එකක් නම්, පළවෙනි ඕඩරය බොස් ට හෝ කණ්ඩායමේ ජේෂ්ඨතම සාමාජිකයට කරන්න ඉඩ දෙන එක හොඳ දෙයක්.

දෙවෙනි ඕඩරයේ ඉඳල තමන්ට කැමති දෙයක් බොන්න පුළුවන්.

"කංපායි"



ජපානයේ "චියර්ස්" කියන්නෙ "කංපායි" කියල​. කංපායි කියන එකේ තේරුම "bottoms up". පළවෙනි ඕඩරේ මේසයට ආවට පස්සෙ හැමෝම අනිවාර්‍යයෙන්ම කංපායි කියන්න ඕනෙ. බොන්නෙ බියර් නම් වීදුරු එකට හප්පනවා. බොන්නෙ සකෙ නම් කෝප්ප මුහුණ මට්ටමට ඔසවනවා විතරයි. සාමාන්‍යයෙන් කෝප්ප එකට හප්පන්නෙ නෑ.

ඔෆිස් එකේ මොකක් හරි විශේෂ වැඩක් (උදාහරණයකට ප්‍රොජෙක්ට් එකක සාර්ථක නිමාව​) සමරන්න කරන සාදයක නම් "කංපායි" වෙනුවට "ඔත්සුකරෙසමා දෙස්" කියන්න පුළුවන්. ඒකෙ තේරුම "ඔබට (අපිට​) මහන්සියි" කියන එක​.

ඔබ මත්පැන් නොබොන කෙනෙක් නම්, ඔබ බොන වෙනත් පානයත් (උදා: දොඩම් යුෂ​) එක්ක කංපායි කියන්න සහභාගී වෙයි කියල අනිත් අය බලාපොරොත්තු වෙනවා.

මත්පැන් වැක්කිරීම​



දෙවෙනි තුන්වෙනි ඕඩර් යනකොට තමන්ට කැමති දෙයක් බොන්න පුළුවන්. ඒ වගේම ජපානයේ මත්පැන් වර්ග තුන හතරක් කලවමේ බොන එක සාමාන්‍යය දෙයක්.

මත්පැන් වක්කරද්දි, තමාගෙ වීදුරුව තමා වක්කරගන්නෙ නෑ. ඒ වෙනුවට තමා ළඟපාත ඉන්න අයට වක් කරන්න ඕනෙ. ඒ අය තමාට වක්කරල දෙයි කියල බලාපොරොත්තු වෙන්න ඕනෙ. වෙන කෙනෙක් තමාට මත්පැන් වක් කරද්දි තමාගෙ වීදුරුව මදක් ඔහු දෙසට ඇල කරල අල්ලන්න ඕනෙ.

ඒ වගේම සාදය ටිකක් නැගල යන අවස්ථාවකදී බියර් හෝ සකෙ බෝතලයක් අරගෙන මේසය වටේම ඇවිදිමින් හැමෝගෙම වීදුරු පුරවල දීමෙන් ඔබ වඩාත් ආචාරශීලී පුද්ගලයෙක් කියල තහවුරු කරන්න පුළුවන්.

ඔබ වෙන කෙනෙක් ළඟට ගිහින් ඔහුගේ වීදුරුව පුරවල දීම ඔහුට/ඇයට කරන විශේෂ ගෞරවයක් විදිහටයි සැලකෙන්නෙ.

ඒ වගේම ඔෆිස් එකේ උත්සවයකදි නම් බොස් ගෙ වීදුරුව අනිවාර්‍යයෙන්ම කනිෂ්ඨ සාමාජිකයන් පුරවල දෙන්න ඕනෙ. ඒ වගේම බොස් එකපාරටම තමා කැමතිම මත්පැන් වර්ගයෙන් රවුමක් හැමෝටම ඕඩර් කරොත් වැඩි ප්‍රශ්න කිරීමකින් තොරව ඒක බොන එක නුවණට හුරු දෙයක්.

කණ්ඩායමේ කාන්තාවන් ඉන්නව නම් අනිත් අයගෙ මත්පැන් වීදුරු පුරවල දෙන එක ඔවුන් ගෙ විශේෂ වගකීමක්.

බොන ප්‍රමානය​


අවස්ථා වර්ග දෙකක් තියෙනවා. එකක් ඩිනර් පාටි. ඒකෙදි මුල්තැන ලැබෙන්නෙ කෑමට. ඒහෙම අවස්ථාවක කන් සාක්කුවට වැටෙන්න බොන එක උචිත නෑ.

අනික් එක බොන පාටි. ඒවයෙ ප්‍රධාන අංගය මත්පැන්. එහෙම තැනකදි ඕනෙ තරම් බොන එක ප්‍රශ්නයක් නෑ.

බීල පාරෙ වැටිල ඉන්න අය ඉඳ හිට දකින්න පුළුවන්. ඒක අපේ රටේ තරම් චාටර් දෙයක් විදිහට සැලකෙන්නෙ නෑ.



බිල



සාමාන්‍යයෙන් බිල ගෙවන්නෙ වන වෙනම (බෙත්සු බෙත්සු). හැමෝම ආසන්න වශයෙන් සමාන දායකත්වයක් දරනවා. කාන්තාවන් පිරිමින්ට වඩා අඩු දායකත්වයක් දැක්වීම තමයි සාමාන්‍යය සිරිත​. සමහර විට බොස් හෝ ජේෂ්ඨ සාමාජිකයෙක් සම්පූර්න බිල හෝ ඉන් ලොකු පංගුවක් ගෙවන්නත් පුළුවන්.

ඔෆිස් එකේ අය සහභාගී වෙන සාදයක් නම්, එක්කෙනෙක් සම්පූර්න බිල ගෙවලා, පහුවදාට අනිත් අය ඔහුට තමාගෙ දායකත්වය ගෙවීම සාමාන්‍යය දෙයක්.


සමුගැනීම​



ඩිනර් පාටි හෝ බොන පාටි එක අවන්හලකින් ඉවර වෙන්නෙ කලාතුරකින්. බොහෝ විට අවන් හල් දෙක තුනක් කරා සාදය විහිදෙනවා. එක අවන්හලක බිල ගෙවලා පිරිසම ඊළඟ අවන්හල කරා යනවා. සම්පූර්න සාදය ඉවර වෙද්දි ගොඩක් රෑ බෝවෙලා තියෙන්න පුළුවන්.

තමන්ට පරක්කු වෙනව නම් අවන්හලකින් තව එකකට මාරු වෙන අවස්ථාවකදි සමු ගන්න එක අවුලක් නෑ. නමුත් අතර මැදදි නැගිටල යන්න නම් ලොකු හදිසියක් වෙන්න ඕනෙ.

සමුගෙන යද්දි හැමෝටම හිස නවල ආචාර කරල සුබ රාත්‍රියක් පතන එක හොඳ සිරිතක්.


4 comments:

  1. Niyamai, Japan gigin bona patiyakata giya wagai

    ReplyDelete
  2. Niyamai, Japan gigin bona patiyakata giya wagai

    ReplyDelete
  3. Facebook එකේ පෝස්ට් එක දානකොට ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එකත් එක්ක දාන්න කියලා ඉල්ලා සිටිනවා
    නැතිනම් ලිපිය රසවිඳින්න අපහසුයි පින්තූර වෙනමයි කතාව වෙනමයි තිබුනම

    සුපිරිමයි පෝස්ට් එක

    ReplyDelete
  4. පොලොං අවමොරි එකක් කංපායි කියලා කන් පාත් වෙන්න ගහන්න ආසාවක් ආවා. ගොඩාක් කරුණු දැනගත්තා. ජයවේවා.

    ReplyDelete