Thursday, July 17, 2014

මා දුටු යාපනය - නා කපන වැස්සේ හමුවුන තංගච්චි


අපේ පළවෙනි ඉලක්කය වුනේ කදුරුගොඩ නටබුන් (මේකට යාපනේ මිනිස්සු කියන්නෙ කන්තරෝඩෙයි කියල​). කදුරුගොඩ තියෙන්නෙ ඉස්සර යාපනේ හිටපු රහතන් වහන්සෙලගෙ භෂ්මාවශේෂ තැන්පත් කරල හදපු දාගැබ් සමූහයක්.

කදුරුගොඩ තියෙන්නෙ යාපනයට කිලෝමීටර් පහළොවක් විතර දුරින් උතුරට වෙන්න​. ඉතින් අපි නැග්ග කන්කසන්තුරේ (යාපනේ භාෂාවෙන් නම් කේකේටී) බස් එකකට​.

එහෙම බස් මම දකුණෙ අන්තිමට දැකල තියෙන්නෙ එක්දාස් නවසිය අනූවෙ විතර​. අපි ඒකාලෙ "හුන්ඩු වෑන්" කියල හඳුන්වපු තනිදොරේ වෑන් යාපනයේ පොදු ප්‍රවාහන සේවා සඳහා බහුලව යොදා ගැනෙනවා. ඒවයෙ මිනිස්සු යන හැටි දැක්කම හිත කීරි ගැහිල ගියා. දෙයියන් ගෙ පිහිටෙන් අපි නැගපු බස් එක නං ලොකු තනිදොරේ බස් එකක්. හැබැයි ඒකෙ සමහර ජනේල නෑ. ඒවට ඉටිකොල ගහල තියෙන්නෙ. කලිනුත් කිව්ව වගේ මේක වැහි කාලෙ නිසා ටික දුරක් යද්දි පටන් ගත්ත වැස්සට බස් එක ඇතුළෙ හිටපු සිංහල දෙමළ කොයි කවුරුත් එක විදියට නා ගත්ත​.

විනාඩි හතළිස් පහක විතර දුෂ්කර ගමනකින් පස්සෙ අපි චුන්නාකම් හන්දියෙන් බැහැ ගත්ත​. චුන්නාකම් හන්දියෙ ඉඳල කදුරුගොඩට කිලෝමීටර් පහක් විතර තියෙනවා. ඒ පාරෙ බස් යන්නෙ නැති (හෝ යන්නෙ කලාතුරකින්) නිසා අපි චුන්නාකම් හන්දියෙන් ත්‍රීවිල් එකක් ගත්තා.

කදුරුගොඩ නටබුන් පිහිටල තියෙන්නෙ පොඩි පිට්ටනියක් වගේ තැනක​. ඒ ළඟම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් එකක් සහ හමුදා මුරපොළක් තිබ්බා. ඒ පැත්තම පුදුම පාළුයි. මිනිස් පුළුටක් නෑ. ඒ වෙලාවෙ තිබ්බ මද වැස්සත් එක්ක පුදුම ගුප්ත ලස්සනක් පුළු පරිසරයෙම තිබ්බෙ.

නටබුන් දාගැබ් දහයක් - පහළොවක් විතර තියෙනවා. ඒවා හදල තියෙන්නෙ හතරැස් ගල් වලින්. වැඩිය ලොකු නෑ. උසම දාගැබ අඩි අටකට වැඩිය නෑ. පොඩිම එක අඩි තුනක් වගේ ඇති. අර හතරැස් ගල් හැම එකේම පුංචි සිදුරක් තිබ්බ​. මට හිතුනෙ ඒවා වෙඩි උණ්ඩ නිසා ඇතිවුන සිදුරු කියල​. සමහරවිට වෙන හේතුවක් වෙන්න ඇති.



ආපහු එන්න පිටත් වුනා. හැබැයි ත්‍රීවිල් නැති නිසා චුන්නාකම් හන්දියට එනකං එන්න වෙන්නෙ පයින්. මද වැස්සෙම කුඩ දෙකත් ඉහළගෙන අපි පයින්ම ආව​. එන්න තියෙන්නෙ ගම්බද ප්‍රදේශයක් මැදින්. අපේ ගම් වල වගේ නෙවෙයි එහෙ ගෙවල් පාරට නොපෙනෙන්න තල් අතු වලින් වැටක් ගහල තියෙන්නෙ. ඒ වගේම වෙලාව දවල් දෙළහට​ විතර ඇති වුනත් පාරෙ කවුරුත් මිනිස්සු පේන්න හිටියෙ නෑ. මම හිතන්නෙ ඒක යුද්දෙ නිසා ඇතිවුන හුරුවක් වෙන්න ඇති. අපිත් ඉතින් ආඩියා ළිං බල බල හස් යට තියෙන ගණදෙවි රූප ෆොටෝ ගහමින් හෙමීට ආව​.

පැය බාගයක් විතර යද්දි මුරුගසං වැස්සක් කඩා හැළුන​. එහෙම වැස්සක් මම අත්දැකල තියෙන්නෙ කලාතුරකින්. බාල්දිවලින් වක්කරනව වගේ වතුර වැටෙන්නෙ. ඒ වැස්සෙ යනව තියා හිතන්නවත් බැරි නිසා පාර අයිනෙ තිබ්බ වහපු කඩයක පිළිට ගොඩ වුනා.

අපි කඩපිළට වෙලා සිගරට් එකක් එහෙම ගහගෙන පාර දිහා බලාගෙන හිටියා. අතරින් පතර මිනිස්සු එකෙක් දෙන්නෙක් යනවා. බයිසිකලයක තණකොළ මිටියක් බැඳගත්තු මනුස්සයෙක් ගියා. පුදුම හිතෙන දේ ඒ එක මනුස්සයෙක්වත් කුඩයක් පාවිච්චි කලේ නෑ. අර මහ වැස්සෙ වහින්නෙ නෑ වගේ ගියා.

වැස්ස අඩු වෙන පාටක් නැති නිසා සහ ගොඩක් හවස් වෙලා බස් නැති වුනොත් යාපනේටම පයින් යන්න වෙන නිසා අපි දෙන්නත් වැස්සෙම යන්න තීරණය කලා. කැමරා එක ටී ෂර්ට් එක අස්සෙ ඔබාගෙන කුඩ දෙක බෑග් එකේ දාගෙන වහින්නෙ නෑ කියල හිතාගෙන අපිත් පාරට බැස්ස​. සාමාන්‍ය වෙලාවක නං ඒ වගේ වැස්සක පාරට බහිනවා තියා ඇඳෙන් වත් බහින්නෙ නෑ.

ටික දුරක් යද්දි අපේ පිටිපස්සෙ ඉඳල අවුරුදු දහයක විතර තංගච්චි කෙනෙක් දුවගෙන ආව​. එයා ඉස්කෝලෙ ඇරිල ගෙදර යනවා. සුදු ගවුමක් (සුදු කිව්වට සුදු සහ දුඹුරු පැල්ලම් මිශ්‍ර​) ඇඳගෙන හිටියෙ. කළුම කළුයි. අඟුරු කැටයක් වගේ. දත් ටික සුදුම සුදුයි. හරිම ලස්සන හිනාවක්. සුදු පාට පොඩි දත් පේන්න හිනාවෙනකොට පිච්ච මල් වගේ.

එයා අපෙන් දෙමළෙන් මොනවදෝ ඇහුව​. සමහරවිට "මේ වගේ වැස්සක පාරෙ යන්න උඹලට පිස්සුද?" කියල වෙන්න ඇති. අපි දෙන්නටම දෙමළ බැරි නිසා අපි සිංහලෙන් ම කිව්ව "අපි චුන්නාකම් හන්දියට යනව​" කියල​. මේකි දිගටම අපිට මොනවදෝ කියනවා. මගේ යළුව කිව්ව "මේකි කියන්නෙ 'අයියේ ඉක්මනට දුවල පණබේර ගනින්. අපේ අයියල සෙට් එකක් පිටිපස්සෙන් කැති අරගෙන එනව' කියලද දන්නෙ නෑ" කියල​. මට හිනාව නවත්තගන්න බෑ. අන්තිමේ මම දන්න දෙමළෙන් කිව්ව "තමිල් ඉල්ලෙ" කියල​. ඒකිට හිනාව නවත්ත ගන්න බෑ.

එයා අපිට අඩි තුන හතරක් ඉස්සරහින් අපිත් එක්කම පාරෙ ඇවිදගෙන යනවා. පාරෙ තියෙන වතුර වලවල් වලට පනිනවා. ඉඳල හිටල ආපහු හැරිල අපිට මොනවදෝ කියනවා. හිනාවෙනවා. මාරම සුන්දරයි. අපිත් සිංහලෙන් එයත් එක්ක කතා කරා. ගෙදර කොහෙද​? මොකද්ද ඉස්කෝලෙ? කීයෙ පන්තියෙද ඉන්නෙ? වගේ දේවල්. අපි දිගටම කතා කර කර ආව​. අපි සිංහලෙන්. එයා දෙමළෙන්. අපි කියපු දේවල් එයාටවත්, එයා කියපු දේවල් අපිටවත් තේරුනේ නෑ. මම ජීවිතේට කරපු ලස්සනම කතාබහක්.

චුන්නාකම් හන්දියට කිලෝමීටරයක් විතර තියෙද්දි එයා මොනවදෝ කියල - "මම යන්නම්" කියල වෙන්න ඇති - එක පාරටම අතුරු පාරකට හැරිල දිව්වා. අපි දෙන්නා දිගටම පාර දිගේ ඇවිදගෙන ගියා.

චුන්නාකම් හන්දියට එද්දි අපි දෙන්නගෙම වතුර බේරෙනවා. බස් එකකට වද්ද නොගනියි කියල බය හිතුනත්, එහෙම කරදරයක් වුනේ නෑ. හවස දෙක විතර වෙද්දි යාපනේට ආව​.

ගමන ගැන තිබ්බ එකම පසු තැවීම අර තංගච්චිගෙ පිච්චමල් හිනාවෙ පින්තූරයක් ගන්න කැමරාව එළියට ගන්න බැරි තරමට ඒ වෙලාවෙ වැහැපු එක​.

No comments:

Post a Comment