Tuesday, July 15, 2014

මා දුටු යාපනය​ - යාපනේට ආපු හැටි





2010 අවුරුද්දේ මම යාළුවෙක් එක්ක යාපනේ ගියා.

අපි ගියේ සාමාන්‍යයෙන් මිනිස්සු ට්‍රිප් යන විදිහට වෑන් එකක් හයර් කරගෙන නෙවෙයි. ඒ කාලේ ලේක් හවුස් එකේ බස් එකක් කොළඹ ඉඳං පත්තර අරගෙන යාපනේ යනවා. ටිකක් සුඛෝපභෝගී බස් එකක් (සමහරවිට තාම යනව ඇති). ඒකෙ ටිකට් කලින් බුක් කරල යාපනේ යන්න පුළුවන්. ගිහිල්ල නවතින්න වැල්ලවත්තෙ දෙමළ කාන්තාවක් ගෙ යාපනයේ තිබුන ගෙදරක් සෙට් කරගත්තා.

යාපනේ ගිහිල්ල එහෙ මෙහෙ ගියේ පයින්, බස්වල සහ ත්‍රී විල් වල​. අපි දෙන්නටම දෙමළ බෑ - වචන දෙකතුනක් ඇරෙන්න​. ඒ වුනාට යාපනයේ මිනිස්සුන් ගෙ ආගන්තුක සත්කාරය සහ හමුදාවෙ පොලිසියේ අයගෙ මිත්‍රශීලී සහයෝගය නිසා අපි දෙන්නට කොළඹ ඇවිදිනකොට තරං වත් චාටර් එකක් වුනේ නෑ.

අපි දෙන්න යාපනේට ගොඩ බැහැල තිබ්බෙ ප්‍රභාකරන් ගෙ උපන් දිනේ දවසෙ. එදා යාපනේ කැම්පස් එක ළඟ "ප්‍රභාකරන් මැරුණෙ නෑ" කියල පත්‍රිකා බෙදපු එවුන් දෙන්නෙක් පොලිස් අත් අඩංගුවට පත්වෙලා තියෙනවා. ඒ සෙල්ලං දැනගත්තෙ ආපහු ගෙදර​ ආවට පස්සෙ.

කොළඹින් රෑ හතට විතර පිටත් වුන අපි පහුවෙනිදා උදේ දහයට විතර යාපනේට ආව​. එනකං ගමනෙ මතක තියපු එකම අත්දැකීම වවුනියාවෙන් එහාට පාරෙ තිබ්බ අලි වලවල් සහ බස් එක ඒවට වැටෙනකොට උස්සල පොළවෙ ගහනව වගේ අපි උඩ විසිවෙච්ච හැටි.

යාපනේ ටවුමෙ සයිවර් කඩේකින් උදේ ආහාරය විදිහට තෝසෙ සහ වඩේ කෑවා. එහෙම රස තෝසෙ සහ වඩේ දකුණෙ සයිවර් කඩේකින් නං ජීවිතේට කාල නෑ. කඩේ මිනිස්සු අපිට විශේෂයෙන් වෙනස් ආකාරයකට සැලකුවෙ නෑ. යාපනය හෝ එහෙ මිනිස්සුන් ගෙ සිතිවිලි ගැන කිසිම දෙයක් නොදැන හිටපු අපිට ඒක ටිකක් පුදුමයක් වුනා. අපි බලාපොරොත්තු වුනේ සිංහල මිනිස්සු කිව්වම අපි ගැන ටිකක් වෙනස් ඇහැකින් (හොඳ හෝ නරක​) බලයි කියල​. නමුත් අපි දෙන්න උන්ට සාමාන්‍ය කස්ටමර් ල දෙන්නෙක් විතරයි.

අපිට ඇතිවෙච්ච අනිත් පුදුමය යාපනේ දේශගුණය​. පුත්තලම පැත්තෙ වගේ දේශගුණයක් බලාපොරොත්තුවෙන් ආවත් අපිට හමුවුනේ මහනුවර වගේ දේශගුණයක්. ඒක වැහි කාලෙ නිසා වෙන්න ඇති.

නවතින්න සෙට් කරගත්තු ගෙදර තිබ්බෙ යාපනේ ටවුමෙ ඉඳල කිලෝමීටර් තුන හතරක් දුරින්. එතනට ත්‍රී විල් එකක ආව​. ත්‍රී විල් අයියා ටිකක් සිංහලත් පුළුවන් මාරම ෆ්‍රෙන්ඩ්ලි බුවෙක්. කොළඹ ත්‍රීවිල් කාරයො වගේ පාරවල් නොදන්න එකෙක් සෙට් වුනාම අන්දල ගාන කපන්න කිසිම උත්සහයක් තිබ්බෙ නෑ. අපි මැප් එකෙන් බලල දැනගෙන හිටපු පාර ඔහුට පෙන්නුවම ඔහු හිනාවෙලා කැඩිච්ච සිංහලෙන් කිව්වෙ ඊට වඩා ළඟ පාරවල් තියෙනවා කියල​. යාපනේ හිටපු දවස් දෙක තුනට මේක යාපන වැසියන් ගේ පොදු ලක්‍ෂනයක් බව අපි දැනගත්ත​.

අපි නවාතැනට ආව​. එතන බලාගන්න හිටපු අංකල්ට සිංහල පුළුවන් ඉතාම මද වශයෙන්. කැඩිච්ච සිංහලෙන් ඔහු අපිට දාපු එකම නීතිය "බීල කෑගහන්න එපා" කියපු එක​. අපිත් ඉතින් නාගෙන එහෙම ආපහු යාපනේ ටවුමට පයින් ම ආව​.

No comments:

Post a Comment